දේශගුණික විපර්යාස භීෂණයට මුවා වී එන රොකෆෙලර් පදනමේ ගෝලීය ආහාර නිෂ්පාදන ඒකාධිකාරය

ඩෙරික් බ්‍රෝස්

හැඳින්වීම

ගෝලීය සුපිරි ධනේෂ්වර ප්‍රභූ පෙළැන්තිය විසින් විද්‍යාත්මක සහ තාක්ෂණික ක්ෂේත්‍රවල දැනුම පිළිබඳ සිය ඒ්කාධිකාරය යොදාගනිමින් සමස්ත මානව සංහතිය යටත් කරගැනීමේ වෑයමක් දැරෙමින් පවතී. මේ සඳහා ඔවුහු යොදාගන්නා ලද මෙවලම් රහසිගතවත් ඇතැම් විට විවෘතවත් සංවර්ධනය කර ඇත්තේ මූලික වශයෙන් පසුගිය දශක දෙක තුළය. සන්නිවේදන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය,ජාන ඉංජිනේරු තාක්ෂණය මෙන්ම  මානව ස්නායු විද්‍යාව විසින් මෑතකදි අත්පත් කරගත් දැනුම මත පදනම් මිලිටරි මනෝ විද්‍යාවේ විවිධ උප විෂය ධාරාවන් ආදිය දැන් විවෘතවම මානව නිදහසට එරෙහිව යොදාගැනීම ඇරඹී තිබේ. සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය විසින් කරලියට ගෙන ආ සමාජ මාධ්‍ය ජාලා විසින් ස්මාර්ට් දුරකතනයක් සහිත සෑම පෘථිවි වැසියෙකුගේම දෛනික චර්යාවන්, දේශපාලන, සමාජීය හෝ සංස්කෘතික ලැදියාවන්, සෞඛ්‍ය තත්ත්වය, සමාජ සම්බන්ධතාවන් ආදිය පිළිබඳ සියලු දත්ත දෛනිකව එක් රැස් කෙරේ. දැන් බිලියන සංඛ්‍යාත මෙම දත්ත විශ්ලේෂණය කෙරෙන්නේ මිනිස් බුද්ධිය විසින් නොව කෘතිම බුද්ධිය විසිනි. මෙම දැනුම සිය අධිපතිවාදි සැලසුම් සඳහා යොදාගැනීම ගෝලීය ප්‍රභූ පෙළැන්තිය විසින් සිදු කරමින් සිටියි.

පසුගිය ශතවර්ෂය තුල මානව වර්ගයා විසින් දිනාගත් සියලු සමාජීය, දේශපාලන සහ සිවිල් අයිතීන් ද දැන් විවෘතවම උදුරාගනිමින් පවතී. රොබෝ තාක්ෂණය විසින් විස්ථාපනය කරනු ලබන වැඩ කරන  පන්තියේ ස්ත්‍රීන්ට සහ  පිරිමින්ට ස්වකීය ජීවිත කාලයක් පුරා ශ්‍රමය වගුරමින් දායක වූ විශ්‍රාම වැටුප ද අහිමි කෙරෙමින් පවතී. පුද්ගල සහ මහජන සෞඛ්‍යය යනු ඖෂධ සමාගම් සහ නව යුජෙනික්ස්වාදින් විසින් අත්හදා බලන ජාන විකෘතිකාරක එන්නත් යොදාගනිමින් සිදුකෙරෙන බලහත්කාරි එන්නත්කරණයක් දක්වා පිරිහෙලා ඇත. ලෝක ආර්ථික සංසදය විසින් මෙහෙයවන සංක්‍රාන්ති -මානුෂිකවාදි සංස්කෘතිය බලහත්කාරය මගින් සමාජයන් මත ස්ථාපිත කෙරෙමින් ඇත්තේ බහුජාතික සමාගම් සහ රාජ්‍යය ඒ්කාබද්ධව දියත් කර ඇති  බලහත්කාරී  ක්‍රියාමාර්ග සහ මොළ ශෝධනය මගිනි.  ලෝකය සූරාකමින් තර වූ මෙම සමාගම්කාර ධනපතියන් විසින් ලෝක ජනතාව ජීවත්විය යුතු ආකාරය ගැන උපදෙස් දීම හා සීමාවන් පැනවීමට මැදිහත් වීම යුක්ති සහගත කරනුයේ ලෝක ආර්ථික සංසදය විසින් පෙරට දමන ලද “ස්ටේක් හෝල්ඩර් කැපිටලිස්ම්” යනුවෙන් හඳුන්වමින් සීනි තවරන ලද පැසිස්ට් න්‍යාය මගිනි.

ආහාර, ඖෂධ, බලශක්තිය, සන්නිවේදනය ආදි සියලු ක්ෂේත්‍ර මත සිය ඒකාධිකාරය තහවුරු කරගත් ගෝලීය සුපිරි ප්‍රභූ පෙළැන්තිය විසින් ජාතික රාජ්‍යයන් සිය බලහත්කාරය සහ කොල්ලය මෙහෙයවන පාදඩ, කාමුක, මිනීමරු බේබදු මැර කල්ලියක් දක්වා පිරිහෙලා තිබේ. ජාතික රාජ්‍යය තවදුරටත් සිය දේශ සීමාව තුළ වෙසෙන ස්වදේශිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හකුලා දමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත්, වසංගත මර්දන පනත්, කාල ගුණ විපර්යාස වැළැක්වීමේ පනත් ආදිය සම්මත කරමින් පුරවැසියා මුළුමණින්ම බලරහිත කර තිබේ. වසංගත, යුද්ධ, දේශගුණික විප්ර්යාසය ආදි ආඛ්‍යානයන් යොදාගනිමින් රටවල ආර්ථිකයන් විනාශ කර ඔවුන්ව ණය උගුලේ සිරකර ගනිමින් වනාන්තර, ඛණිජ සහ ධීවර සම්පත්,ගොවිබිම්,ගංගා ඇලදොළ ආදි සියලු ජාතික සම්පත් සහ පොදු ආයතන කොල්ලකමින් සිටිති.

ග්‍රීසියේ හිටපු මුදල් ඇමැති යානුස් වරූෆාකිස් විසින් මෙම තත්ත්වය විස්තර කර ඇත්තේ තාක්ෂණික වැඩවසමවාදයක්  (Techno-feudalism) ලෙසය.එහෙත් මෙම තත්ත්වය විස්තර කළ හැක්කේ තාක්ෂණික පැසිස්ට්වාදය ලෙස හෙවත් ගෝලීය ටෙක්නෝ-පැසිස්ට්වාදය (Techno-Fascism) ලෙස මිසෙක තාක්ෂණික වැඩවසම්වාදයක් ලෙස නොවේ. මක් නිසාද යත් නිෂ්පාදන සබඳතා සහ සන්නිවේදන තාක්ෂණය මෙතරම් නවීකරණය වූ යුගයක,තාවකාලික නොමග යැවීම් සහ පසුබැසීම්වලට ලක්ව ඇති නමුත් සිය වස් එකහමාරක් තුළ සංවර්ධනය වූ වැඩකරන පන්තියේ සාමුහික විඥානය මුළුමණින්ම යටපත් කරමින් මිහිතලය මත යළිත් කවර ආකාරයක හෝ වැඩවසම්වාදී පන්ති සබඳතා ස්ථාපනය කිරීම ඓතිහාසිකව කළ නොහැක්කක් බැවිනි.

මෙම ගෝලීය ප්‍රභූ පෙළැන්තිය සිය ඉලක්ක සාධනය සඳහා අවශ්‍ය තැන්වලට ජනතාව දැක්කවීමට සහ ගාල්කිරීමට විවිධ ආඛ්‍යානයන් නිර්මාණය කරයි. ඉරාකයේ සමූලඝාතක අවි, ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එරෙහිව එල්ල වූ ප්‍රහාරය, ඉරාකය සහ සිරියාවේ සහ මැද පෙරදිග ජාතික රාජ්‍යයන් විනාශකිරීම සඳහාත් පිලිපීනය සහ ශ්‍රි ලංකාව තුළ ඇමෙරිකන් හමුදා මැදිහත්වීම් උත්සන්න කිරීම සඳහාත් යොදාගත් යොදාගත් “ ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය”(ISIS) පිළිබඳ ආඛ්‍යානය, 2020 කොවිඩ්-19 ආඛ්‍යානය, දේශගුණික විපර්යාස සහ කාබන්- නයිට්‍රජන් විමෝචනය පිළිබඳ ආඛ්‍යානය මගින් පොසිල ඉන්ධන භාවිතය සීමාකරමින් ලෝකයේ කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදනය සහ බෙදාහැරීම අඩාල කිරීම,යුක්‍රේනය සහ තායිවානය හා සම්බන්ධිත රුසියන් චීන ආක්‍රමණ පිළිබඳ ආඛ්‍යානය, පිටසක්වල ජීවින් පිළිබඳ ආඛ්‍යානය ආදි මෙකී නොකී ආඛ්‍යාන සිය ගණනක් පසුගිය කාලය පුරා දියත් කර තිබේ.

එසේ හෙයින් මෙම ආඛ්‍යානයන් පිටුපස සඟවමින් ඔවුන් විසින් පෙරට දමන න්‍යාය පත්‍රය කුමක්ද ඒවායේ අරමුණු මොනවාදැයි යන්න විමසිලිමත් වීම දේශපාලනික වශයෙන් අතිශයින් වැදගත් අවශ්‍යතාවයකි. ගෝලීය ප්‍රභූ පෙළැන්තියේ ප්‍රධාන නියමුවෙකු වන රොකෆෙලර් පදනමේ සියවස් එකහමාරක මානව විරෝධී ඉතිහාසය මෙන්ම වත්මන් ක්‍රියාකාරිත්වයන් ද පිළිබඳව කෙටි විමසා බැලීමක් කෙරෙන ඩෙරික් බ්‍රොස්ගේ මෙම ලිපිය විමර්ශන පාඨකයන් වෙත ඉදිරිපත් කෙරෙන්නේ එම දේශපාලන අවශ්‍යතාව සැළකිල්ලට ගනිමිනි.

 

රොකෆෙලර් පදනම විසින් සිය ධන සම්පත් “ 2030 න්‍යාය පත්‍රය”(Agenda 2030) වෙත සහ එක්සත් ජාතින්ගේ තිරසාර සංවර්ධනයේ ඉලක්ක වෙත යොමු කිරීම හේතුවෙන් රොකෆෙලර් පදනමේ ඉතිහාසය ලෝක ජනතාව විසින් අමතක කළ යුතුව තිබේද?

අත්ලාන්තික් කවුන්සිලයේ සමුළුවක්

පසුගිය 2022 ජූලි මාසයේදී රොකෆෙලර් පදනමේ සභාපති ආචාර්ය රාජිව් ෂා විසින් දේශගුණ විපර්යාසයන් පිළිබඳ කටයුතු සඳහා ඔවුන්ගේ සම්පත් සහ අවධානය වැඩි කිරීම පිළිබඳව සිය සංවිධානයේ සැලසුම් විස්තර කරමින් ප්‍රසිද්ධ ලිපියක් නිකුත් කරන ලදි. කොමන්පාස්(CommonPass) සහ එන්නත් ගමන් බලපත්‍ර සංකල්පය(vaccine passports) ආදිය පෙරට දැමීමට අරමුදල් සැපයීම මගින් “වසංගත අර්බුදය සම්බන්ධ ඇමෙරිකානු සහ ලෝක ප්‍රතිචාරය ” හැඩගැස්වීමට රොකෆෙලර් පදනම කටයුතු කර තිබේ යැයි ෂා විසින් සඳහන් කර ඇත.

රොකෆෙලර් පදනමේ වත්මන් සභාපති වෛද්‍ය රාජිව් ෂා

1913 දී පිහිටුවන ලද රොකෆෙලර් පදනම විසින් රොකෆෙලර් පවුලේ ධනය මහා පරිමාණ එන්නත්කරණ ව්‍යාපාර සඳහා ද ලෝකය පුරා මහජන සෞඛ්‍ය බලධාරින් ස්ථාපිත කිරීම සඳහාද වියදම් කරමින් “මහජන සෞඛ්‍ය ” නගා සිටුවීම සඳහා යොදන ලද්දේ යැයි කියනු ලැබේ.ඔවුන්ගේ මෙම කාර්යභාරය දිගටම කරගෙන යාම සඳහා රොකෆෙලර් පදනම විසින් “සෘජුවම දේශගුණික විපර්යාසයන් සමග සටන් වැදීම ” කළ යුතුව ඇතැයි රාජිව් ෂා විසින් ප්‍රකාශ කර තිබේ.

“ දේශගුණික විපර්යාසයන් විසින් මනුෂ්‍යත්වය වෙත දැවැන්ත තර්ජනයක් එල්ල කර තිබේ. මනුෂ්‍ය වර්ගයා ගොවිතැන් කරන ආකාරය සහ ආහාර ගන්නා ආකාරය, සිය නිවාස සහ ප්‍රජාවන් සඳහා බලශක්තිය ලබාගන්නා ආකාරය, රෝග වළක්වන සහ රෝගවලින් ආරක්ෂා වන ආකාරය, ජීවත්වන සහ වැඩ කරන ආකාරය පරිවර්තනය කිරීම සඳහා විශේෂිත ක්‍රියාමාර්ග රොකෆෙලර් පදනම විසින් ගත යුතුව ඇති බවට අප විසින් තීරණය කරන ලදි. විශ්වීය සහ තිරසාර අවස්ථාවන් අප විසින් නිර්මාණය කිරීමට යන්නේ එලෙසය. ” යනුවෙන් ෂා සිය ලිපියේ සඳහන් කර තිබේ.

ස්ත්‍රීන්ට “හරිත වෘත්තීන්” ලබාගැනීමට උදව් කිරීම, “ප්‍රතිජනක කෘෂිකර්මය ” තුළ ආයෝජනය, ෆොසිල ඉන්ධන සඳහා එය විසින් වෙන් කළ පරිත්‍යාග මුදල්වලින් ඩොලර් බිලියන 6ක් ඉවත් කිරීම ආදි පියවර මෙම අරමුණු ඉටුකරගැනීමේ දිශාව සඳහා දැනටමත් රොකෆෙලර් පදනම විසින් ගෙන ඇති බව ෂා ප්‍රකාශ කරයි. “අපගේ බොහෝ පරිත්‍යාගයන් අප මෙම අංශයෙන් ඉවත් කරගෙන ඇත්තෙමු. ”යි ෂා පැවසීය.

ඊනියා “පුනර්ජනනීය බලශක්තිය” වෙත මාරු වීම සඳහා වන ක්‍රියාදාම වේගවත් කිරීම සඳහා රොකෆෙලර් පදනම ඉකියා පදනම(Ikea Foundation) සහ ඇමසෝන් අධිපති ජෙෆ් බෙසෝගේ අර්ත් ෆන්ඩ් (Earth Fund) සමග හවුල්ව ක්‍රියා කරයි. මෙම කණ්ඩායම් විසින් ඒ සඳහා අමතරව ඩොලර් බිලියන 10 ක අරමුදලක් රැස්කර ගෙන ඇතැයි ප්‍රකාශ කර ඇත.

සම්පත් ප්‍රතිස්ථාන ගත කරන ආකාරය පිළිබඳ පැහැදිලි සැලසුමක් හෝ විස්තරයක් රාජිව් ෂා ගේ නිවේදනයේ සඳහන් නොවේ. ෂා විසින් ලියා ඇත්තේ “2025 සිට 2030 අතර කාලය සඳහා සංයුක්ත දැක්මක් සහ සැලසුමක් සංවර්ධනය කිරීම ” තම සංවිධානයේ ඉලක්කය බවයි. එය රොකෆෙලර් පදනමේ භාරකරුවන් සමග වසරක් ඇතුළත බෙදාගන්නා බව ඔහු විසින් පවසා තිබේ. මෙම ලිපිය නිකුත් කිරීමෙන් අනතුරුව මේ දක්වා ඒ පිළිබඳව කිසිදු නව තොරතුරක් ප්‍රකා‍ශයට පත් කර නැත.

ජෝන් ඩී. රොකෆෙලර් 1885 දී

ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සහ රොක්ෆෙලර් පදනමේ නිර්මාතෘ ජෝන් ඩී රොක්ෆෙලර් විසින් සිය ධනය උපයාගනු ලැබුවේ රොකෆෙලර් පදනම දැන් එරෙහිව ඇති තෙල් කර්මාන්තය මගින් බව ෂා සිය ලිපිය තුළ පිළිගෙන තිබේ.

“මෙහි යම් උත්ප්‍රාසයක් තිබේ. අපගේ පදනමේ නම අයිති ජෝන් ඩී රොකෆෙලර් විසින් ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සමාගම පිහිටුවන ලද අතර ඔහු ඔහුගේ ධනය උපයාගත්තේ වර්ධනය වෙමින් පැවැති එක්සත් ජනපදය වෙත කාබන් බලශක්තිය ලබාදීම මගිනි.” යනුවෙන් ෂා ලිවීය. කෙසේ වෙතත්, ඔහු පවසන්නේ රොකෆෙලර් පදනම දැන් අවධානය යොමුකර ඇත්තේ ජෝන් ඩී රොකෆෙලර් විසින් “විද්‍යාත්මක පරිත්‍යාගශීලිත්වය” ලෙස හඳුන්වන දෙය කෙරෙහි බවය. එනම් “සෑම පුද්ගලයෙකුගේම යහපැවැත්ම වැඩිදියුණු කිරීමට, සැමට අවස්ථාව විවෘත කිරීමට” නවීන විද්‍යාව හා තාක්ෂණය භාවිතා කිරීම කෙරෙහි බවය.

“නිසැකවම, රොක්ෆෙලර් පදනම වැනි ආයතනයකට ඊටත් වඩා ඉහළ වගකීමක් ඇත, මන්ද අපි එම ක්‍රියාවලියේ ඊටත් වඩා විශාල ප්‍රතිලාභියෙකු වන බැවිනි.” යි ෂා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් ඒජන්සිය වෙත පවසා ඇත. දේශගුණික විපර්යාසයන් පිළිබඳ පුවත් වාර්තා කිරීම සඳහා රොකෆෙලර් පදනම ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත අරමුදල් ලබා දී තිබේ.

රොකෆෙලර් පදනමේ ඉතිහාසය තුළ වැඩිදුර කිමිදීමට පළමුව සහ රොකෆෙලර් පදනමේ ධන පරිත්‍යාගයන් මගින් මනුෂ්‍ය වර්ගයා ගලවාගැනීම පිළිබඳව සැකයෙන් බැලිය යුත්තේ ඇයි දැයි යන්න විමසා බැලීමට පළමුව අපි රොකෆෙලර් පදනමේ සභාපති වෛද්‍ය රාජිව් ෂා යනු කවරෙක්දැයි වඩාත් සමීපව විමසා බැලිය යුතු වෙමු.

ගෝලීයකරණයේ ඒජන්තයා

රජිව් ජේ.ෂා (“රාජ්”) යනු ඇමරිකානු රජයේ හිටපු නිලධාරියෙක්, වෛද්‍යවරයෙක් සහ සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥයෙක් වෙයි. ඔහු එක්සත් ජනපද රජයේ තනතුරු ගණනාවක සේවය කර ඇත. ෂා 2010-2015 දක්වා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) 16 වැනි පරිපාලක ලෙස සේවය කළේය. ඔහු USAID පරිපාලක ලෙස පත් කරන ලද්දේ ජනාධිපති ඔබාමා විසිනි. ඔහුගේ පත්වීම එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් ඒකමතිකව තහවුරු කරන ලද අතර, 2010 ජනවාරි 7 වන දින රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හමුවේ දිවුරුම් දෙන ලදී.

USAID හි ප්‍රතිරූපය ගොඩ නංවා ඇත්තේ “සිවිල් විදේශ ආධාර” හසුරුවන “එක්සත් ජනපද ෆෙඩරල් රජයේ ස්වාධීන ආයතනයක්” ලෙසය. USAID යනු ලොව විශාලතම නිල ආධාර ඒජන්සි අතරින් එකක් වන අතර එක්සත් ජනපදයේ විදේශ ආධාරවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙන්නේ මෙම ආයතනය හරහාය. කෙසේ වෙතත්, USAID සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික පරිත්‍යාගය (National Endowment for Democracy- NED) විදේශ ආධාර ලබා දීමේ මුවාවෙන් මධ්‍යම බුද්ධි ඒජන්සියට (CIA) හිතකර ක්‍රියාකාරකම් සිදු කරන මෙවලමක් යැයි චෝදනා එල්ල වී තිබේ. USAID හි අරමුදල් හරහා NED ලාභ නොලබන ආයතනයක් ලෙස නිර්මාණය කරන ලදී. සංවිධාන දෙකම එක්සත් ජනපද ප්‍රතිපත්තිය සමඟ නොගැලපෙන රටවල “ක්‍රියාකාරීකයන්ගේ” ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමට සම්බන්ධ වී ඇත.

1980 සහ 90 ගණන් වල දී නිකරගුවාවේ සැන්ඩිනිස්ටා සමාජවාදි රජයට එරෙහිව සටන් කළ කොන්ට්‍රාස් පැරා මිලිටරි කණ්ඩායම්වලට USAID සහ NED විසින් අරමුදල් සැපයීම 1950 සහ 60 ගණන්වලදී ලතින් ඇමරිකාව පුරා ආණ්ඩු පෙරලා දැමීමට CIA සංවිධානය දරන ලද උත්සාහයන්ට විචාරකයින් විසින් සමාන කර තිබේ.

රාජිව් ෂා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ද සේවය කළ අතර, ගෝලීය එන්නත් කර්මාන්තය නැවත හැඩගැස්වීමට සහ එන්නත් සහ ප්‍රතිශක්තිකරණ සඳහා වූ ගෝලීය සන්ධානය (GAVI) සඳහා ඩොලර් බිලියන 5 කට වඩා වැඩි මුදලක් රැස් කිරීමට උපකාර වූ ප්‍රතිශක්තිකරණ සඳහා ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් (International Financing Facility for Immunization-IFFI )ක්‍රමය නිර්මාණය කරන ලද්දේ ඔහු විසිනි.

මෙකී මූල්‍ය පහසුකම් ක්‍රමය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන එන්නත් මිල දී ගැනීමට මුදල් නැති ගෝලීය දකුණේ දුප්පත් රටවලට “පහසු ගෙවීමේ ක්‍රමය” යටතේ ණය පහසුකම් ලබාගැනීම සංවිධානය කරයි. මෙම ණය පහසුකම් බොහෝ විට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ බ්ලැක්රොක් හෝ වෑන්ගාර්ඩ් වැනි පුද්ගලික මූල්‍ය සමාගම් වෙතින් විශාල පොලියක් යටතේ ලබාගැනීමට ඉහත දුප්පත් රටවලට සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සඳහා සුදානම් වීමේ මාර්ගෝපදේශනය යටතේ රටවල් විසින් වසංගත ඇති වීමට පෙර තමන්ට අවශ්‍ය ඖෂධ සඳහා ඖෂධ සමාගම් සමග ගිවිසුම් ඇති කරගත යුතු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “ගෝලීය වසංගත තත්ත්වයක් ” ප්‍රකාශ කළ වහාම ඉහත ගිවිසුම් සක්‍රිය වන අතර ඖෂධ සමාගම්වලට අදාළ එන්නත් ඇණවුම් සඳහා මුදල් ගෙවීම ඒ ඒ රටවල් විසින් සිදු කළ යුතුය. මෙහිදී සිදුවන්නේ අදාළ මූල්‍ය ආයතන විසින් සෘජුවම අදාළ මුදල ඖෂධ සමාගම්වලට ගෙවීමයි. මෙහිදී ඒ ඒ රටවල ආණ්ඩුවලට එම එන්නත් තමන්ට අවශ්‍ය නැතැයි ප්‍රතික්ෂේප කිරීමට ඉඩක් නැත. ඔවුන් විරුද්ධ වුවද නොවූවද අදාළ මුදල එන්නත් සමාගම්වල ගිණුමට බැර වේ. එවිට අදාළ රජය එම ණය මුදල සහ පොලිය අදාළ මූල්‍ය සමාගමට ගෙවීමට බැඳි සිටියි. මෙහිදී සැළකිල්ලට ගත යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියලු තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව ඖෂධ සමාගම් සහ ඒවා තුළ ආයෝජනය කර ඇති බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ GAVI පදනම වැනි ආයතන සතුව අපරිමිත හැකියාවක් පවතින බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල්වලින් හරි අඩකට වඩා සැපයෙන්නේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, GAVIපදනම සහ වෙනත් පුද්ගලික දානපති පදනම්, සහ ඖෂධ සමාගම් විසිනි.

ජාත්‍යන්තර සෞඛ්‍ය ක්‍රියාමාර්ග කළමනාකරණය කිරීමේදී, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින ජාතීන් සඳහා අවශ්‍ය එන්නත් ලැයිස්තුව ඉදිරියට ගෙන යාමේදී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ GAVI ඉටු කරන කාර්යභාරය පිළිබඳව මම පුළුල් ලෙස වාර්තා කර ඇත්තෙමි.

ෂා ත්‍රෛපාර්ශ්වික කොමිසමේ (Trilateral Commission) සහ විදේශ සබඳතා කවුන්සිලයේ (Council of Foreign Relations-CFR)මෙන්ම ඔහු අත්ලාන්තික් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සාමාජිකයෙකි.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන්ගෙන් සහ මධ්‍යම රජයේ නිලධාරින්ගෙන් සමන්විත විදේශ සබඳතා කවුන්සිලය ගෝලීය භූ දේශපාලනය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. විදේශ සබඳතා කවුන්සිලය එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය සැඩගැස්වීම කෙරෙහි කොතෙක් දුරට බලපෑමක් එල්ල කරන්නේ දැයි පසුගිය දශක කීපය තුළ පර්යේෂණයන් සිදු කල කීප දෙනා අතරින් එක් අයෙක් වන්නේ දේශපාලන පර්යේෂකයෙකු වන ජී. එඩ්වර්ඩ් ග්‍රිෆින් ය.(G. Edward Griffin) ඔහුගේ එක් උපස්ථාපනයකදී (presentation) ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ විදේශ සබඳතා කවුන්සිලය යනු එහි මතුපිටින් පෙන්වන පරිදි හුදු චින්තන පර්ෂදයකට එහා ගිය බලපෑම් සහගත සංවිධානයක් බවයි.

“විදේශ සබඳතා කවුන්සිලය මෙහෙයවනු ලබන්නේ අද දක්වාම පවතින රහසිගත සමාජයක් විසිනි. එය මුල දී ජේ.පී මොර්ගන් සහ සමාගම තුළ සිටි කණ්ඩායමක් සම්බන්ධව සිටි පෙරමුණු සංවිධානයකි. දැන් එය රොකෆෙලර් සමාගම් සමූහය විසින් මෙහෙයවයි.බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීම තවදුරටත් මෙහි ඉලක්කය නොවේ. ඒ වෙනුවට පුද්ගලික හස්තයන් සහ ලෝකයේ බැංකු පද්ධතිය විසින් වැඩවසම්වාදි ආකාරයකට මෙහෙයවන ගෝලීය සාමූහිකයක් නිර්මාණය කිරීම එහි අරමුණයි.”

ජී. එඩ්වර්ඩ් ග්‍රිෆින් .

රොකෆෙලර් සමාගමේ “ මේසය නැවත සකස් කිරීම”(Reset the Table) නම් වාර්තාව විසින් කොවිඩ් සම්බන්ධිත ආහාර අර්බුදයක් පිළිබඳව අනුමාන කර ඇත්තේ එය සිදුවීමට වසර දෙකකට පෙරය.

පසුගිය වසර 100 තුළ විදේශ සබඳතා කවුන්සිලයේ සාමාජිකත්ව ලැයිස්තුව තුල රොකෆෙලර් පවුලේ සාමාජිකයන්ගේ භ්‍රමණය වන නාම ලැයිස්තුවක් දැකිය හැකි විය. ප්‍රධාන වශයෙන්ම IV වැනි ජෝන් “ජේ ” රොකෆෙලර්, නිකොලාස් රොකෆෙලර්, ස්ටීවන් සී. රොකෆෙලර්, සුසාන් කෝන් රොකෆෙලර්, කණිෂ්ට ඩේවිඩ් රොකෆෙලර් සහ ත්‍රෛපාර්වික කොමිසමේ සම නිර්මාතෘවරයෙකු වූ ජ්‍යෙෂ්ට ඩේවිඩ් රොකෆෙලර් ඒ අතර වූහ.

ලෝක ආර්ථික සංසදය( World Economic Forum) හෝ බිල්ඩබර්ග් කණ්ඩායම( Bilderberg group) වැනි සංවිධාන ගැන දන්නා බොහෝ වර්තමාන පාඨකයන්ට ත්‍රෛපාර්ශ්වික කොමිසම පිළිබඳව දැනුවත්භාවයක් නැත. නමුත් චෙස්බෝර්ඩ් එකේ සිටින ක්‍රීඩකයන් ගැන නිවැරදිව අවබෝධ කරගැනීමට නම් ඔවුන් පිළිබඳවද දැන සිටිම වැදගත්වනු ඇත.

පැට්‍රික් වුඩ්

පැට්‍රික් වුඩ්(Patrick Wood) තාක්ෂණතන්ත්‍රවාදය පිළිබඳව බොහෝ කලෙක සිට පර්යේෂණයේ නිරත වන්නෙකු වන අතර Technocracy.news හි නිර්මාතෘවරයාද ඔහුය. ඔහු විසින් මෑතකදී වාර්තා කර සිටියේ ත්‍රෛපාර්ශ්වික කොමිසමේ 50 වැනි සංවත්සරයේදී එය විසින් ස්වයං ප්‍රකාශිත “නව ජාත්‍යන්තර ආර්ථික රටාවේ ” මස්තකප්‍රාප්තිය සළකුණු කරන ලද බවය. මාර්තු 12 වැනි දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදි පවත්වන ලද ත්‍රෛපාර්ශ්වික කොමිසමේ පූර්ණ සැසිවාරයේ ප්‍රධාන තේමාව වූයේ ගෝලීයකරණය පිළිබඳව මතුව ඇති කරුණු සාකච්ඡා කිරීමය. පැට්‍රික් වුඩ් විසින් වාර්තා කර ඇති අන්දමට මෙහිදී මෙයට සහභාගි වූ එක් කොමිසම් සාමාජිකයෙකු විසින් මෙසේ පවසා තිබේ.

“මෙම 2023 වසර නව ගෝලීය රටාවක පළමු වසරයි ”

බ්‍රෙෂෙන්ස්කි

වුඩ් විසින් සඳහන් කර ඇති අන්දමට ත්‍රෛපාර්ශ්වික කොමිසමේ සම- නිර්මාතෘවරයෙකු වන්නේ ස්බිග්නියෙව් බ්‍රෙෂෙන්ස්කිය.(Zbigniew Brzezinski) ඔහු ඔහුගේ ජීවිත කාලය තුළ එක්සත් ජනපදයේ බොහෝ ජනාධිපතිවරුන්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.බ්‍රෙෂෙන්ස්කි “යුග දෙකක් අතර:ටෙක්නිට්‍රොනික්  යුගයේ ඇමෙරිකාවේ භූමිකාව ” (Between Two Ages: America’s Role in the Technetronic Era) නම් කෘතියේ කතෘවරයාය. ඔහු මෙම කෘතිය මගින් 1930 ගණන්වල ඇමෙරිකාවේ තාක්ෂණතන්ත්‍රවාදි ව්‍යාපාරයේ පුනර්ජීවනයක් ඇති කිරීමට උත්සාහ කර තිබේ.
.
අවසාන වශයෙන්, රාජිව් ෂා ගේ අත්ලාන්තික් කවුන්සිල සාමාජිකත්වයද අවදානම් පිළිබඳ සීනු හඬවනු ලබයි. බොහෝ ඇමෙරිකානුවන් අත්ලාන්තික් කවුන්සිලය පිළිබඳව දැනගත්තේ ටිවිටර් සමාගම මිලදී ගත් එලොන් මුස්ක් විසින් මහජනයාගේ දැනගැනීම පිණිස මුදාහරින ලද “ ට්විටර් ෆයිල්ස් ”විසින් සිදු කරන ලද අනාවරණයන් නිසාය. කෙසේ වුවද මෑත වසර කීපය තුළ අත්ලාන්තික කවුන්සිලය ක්‍රියාත්මක වන්නේ තිරයෙන් පිටුපස සිටය.2018 වසරේදී අත්ලාන්තික කවුන්සිලය ෆේස්බුක් සමාගම සමග හවුල්කාරිත්වයක් ගොඩ නගන ලද්දේ “fake news” හෙවත් අසත්‍ය ප්‍රවෘත්ති සමග සටන් වැදීම සඳහාය. ගතවූයේ මාස 6ක් පමණි.ට්විටර්, යූටියුබ් සහ ෆේස්බුක් විසින් දියත් කරන ලද කුප්‍රකට “2018 මාධ්‍ය සංහාරයේදී” ස්වාධීන මාධ්‍ය සහ මාධ්‍ය වේදින්ගේද පර්යේෂකයන්ගේද ගිණුම් 500ක් පමණ වසා දමන ලදි.

වෛද්‍ය ෂා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේ 2022 සම්මේලනයේදීද කතා කළ අතර ඔහුව ලෝක ආර්ථික සංසදයේ “න්‍යාය පත්‍ර දායකයෙකු” ලෙස ලැයිස්තුගත කර ඇත. ඩාවෝස් හි දී CNBC සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගෙන් විමසනු ලැබුවේ “එන්නත් ලබාගැනීමට පුද්ගලයන් ඉදිරිපත් නොවීම හේතුවෙන් නිසා ලොව පුරා ජාතීන් එන්නත් මත “වාඩි වී” සිටින බැවින් ඒ පිළිබඳව ඔහු කරන්නේ කුමක්ද යන්නයි. ෂා පිළිතුරු දෙමින් මෙසේ පැවසීය

“ බොහෝ දෙනෙකු එන්නත් ලබාගැනීමට ඉදිරිපත් නොවන්නේ දැන් එන්නත් පිළිබඳව අසීමිත ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය වී තිබීම නිසාය. එන්නත්වල කාර්යක්ෂමතාව, ඒවායේ සුරක්ෂිත බව ආදිය සම්බන්ධයෙන්, මේ නිසා ඒවා අවශ්‍යව ඇති බොහෝ දෙනෙකු ඒවා ලබාගැනීමට ඉදිරිපත් වන්නේ නැහැ. මක්නිසාද යත් ඔවුන් වෙත එන්නත් පිළිබඳව අසත්‍ය තොරතු ඉදිරිපත් කර ඇති නිසයි. මෙම තත්ත්වය අනෙක් පැත්ත පෙරලීම සඳහාත් වසංගතයේ ගමන් මග වෙනස් කිරීම සඳහාත් අප විසින් ආයෝජනය කළ යුතුව තිබෙනවා.”

රටක් තුළ “අධි අවදානම් තත්ත්වයේ පසුවන කණ්ඩායම්” 90% ක් කරා ළඟා වීමේ අරමුණ සහිතව රොක්ෆෙලර් පදනම ලොව පුරා රටවලට එන්නත් ලබාගැනීමේ හැකියාව වර්ධනය කරනු සඳහා ආයෝජනය කරන බවද “වසංගතවලට ලෝකය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව යම් ආකාරයක ජාත්‍යන්තර ගිවිසුමක් තිබිය යුතු” යැයි තමා විශ්වාස කරන බව ද ෂා පැවසීය, ඔහුට අනුව එවැනි ගිවිසුමක් මගින් “වඩා හොඳ තත්‍ය කාලීන නිරීක්ෂණ පද්ධතියක්” නිර්මාණය කරගත යුතුව තිබේ.

“මහා ප්‍රත්‍යාරම්භය” (Great Reset) න්‍යාය පත්‍රය පෙරට දැමීමේදී කිරීමේදී රොක්ෆෙලර් පදනම ලෝක ආර්ථික සංසදය (WEF) සමඟ හවුල් වී ඇති බැවින් ඩාවෝස් රැස්වීමට ෂා පැමිණීම පුදුමයට කරුණක් නොවිය යුතුය.
COVID-19 භීතිකාව අතරතුර රොකෆෙලර් පදනම විසින් “කොමන් පාස්” ( CommonPass) නම් යමෙකු විසින් එන්නත් ලබාගෙන ඇත්ද නැත්ද යන්න සත්‍යාපනය කෙරෙන ඩිජිටල් ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් ලබා දී තිබේ. ඊනියා “එන්නත් ගමන් බලපත්‍ර” යනු අනාගතයේදී සෑම පෘථිවි වැසියෙකු සඳහාම ඩිජිටල් හැඳුනුම් පතක් නිර්මාණය කිරීම සඳහා ලෝක ආර්ථික සංසදය සහ අනෙකුත් තාක්ෂණ ඒකාධිපතිවාදින් විසින් යොදාගනු ලබන පහසුම මාවතයි.

රොක්ෆෙලර් පදනමේ ව්‍යාජ පාරිසරික ව්‍යාපාරය

රොකෆෙලර් පදනම සිය සම්පත් යොදාගනිමින් තාක්ෂණය මත පදනම් ඒකාධිපතිවාදි කරා අපව තල්ලු කරන්නේ ප්‍රෝඩාකාරි වසංගත තත්ත්වයන්ට මුවා වෙමින්ද නැතහොත් දේශගුණික විපර්යාසයන් පිළිබඳ භීතිකාවන් හරහා දැයි යන්න එතරම් වැදගත් කරුණක් නොවේ. මක් නිසාද යත් අවසන් ප්‍රතිඵලය එකම වන බැවිනි. පුද්ගලිකත්වය සහ තෝරාගැනීමේ නිදහස අහිමි වීම,සමාජීය ණය ගිණුම් ලකුණු ක්‍රමය(social credit scores), අප විසින් විමෝචනය කරනු ලබන කාබන් ප්‍රමාණය නිතිපතා මැනෙන කාබන් පිය සටහන් ගිණුම(Carbon Footprint Account) යටතේ අපව අනවරත ලෙස නිරීක්ෂණයට ලක් කෙරෙන ලෝකයක් තුළ අපව පාලනය කෙරෙනු ඇත.

මෙම ප්‍රභූ තාක්ෂණික ඒකාධිපතින්ට අවශ්‍ය පරිදි අප අපගේ පුද්ගලික නිදහස, සමාජීය දේශපාලන සහ සදාචාරාත්මක වටිනාම් පිළිබඳ හෘදය සාක්ෂිය, අයුක්තියට සහ අසාධාරණයට එරෙහිවීමේ අයිතිය, බලහත්කාරි එන්නත්කරණය හෝ වෙනත් කායික ඒකාග්‍රතාවය උල්ලංඝණය කිරීම්වලින් ආරක්ෂා වීමේ අයිතිය වෙනුවෙන් පෙනී නොසිට, කීකරු ළමුන් ලෙස අප හැසිරෙන්නේ නම් ඔවුන් අපගේ සමාජීය ණය ගිණුමට ධන ලකුණු ලබා දෙනු ඇත. අප එම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට එරෙහි වන්නේ නම් අපගේ එම නරක චර්යාවන් සඳහා සෘණ ලකුණු ලබා දෙමින් අවසානයේදී අපව විවිධ දණ්ඩනයන්ට යටත් කරනු ඇත.එම දණ්ඩනයන් ඕනෑම එකක් විය හැකි අතර ඒවාට ඔබව යටත් කිරීමට අධිකරණය හමුවේ පැවැත්වෙන සාධාරණ නඩු විභාගයකින් ඔබව වැරැදි කරුවෙකු යැයි තීරණය කිරීම මෙම තාක්ෂණික ඒකාධිපතිවාදින් විසින් නිර්මාණය කිරීමට යන ලෝකය තුළ අත්‍යවශ්‍ය කරුණක් නොවේ. ඔවුහු ඔබගේ බැංකු ගිනුම තහනම් කෙරෙනු ඇත. ඔබට ආහාර මිලදී ගැනීමට හෝ බල ශක්තිය ලබාගැනීමට ඇති අයිතිය අහෝසි කරනු ඇත. අවසානයේදී ඔබව මානසික රෝගියෙකු ලෙස නම් කරමින් කිසිවෙකුත් නොදන්නා තැනක රඳවමින් පුනර්-ශික්ෂණයකට ලක් කරනු ඇත. මෙම තත්ත්වය ඔවුන් විවිධ ස්ථානවලදී දැනටමත් අත්හදා බලා තිබේ.

කොවිඩ්-19 එන්නත්කරණය අනිවාර්ය කෙරෙන මර්දනකාරි නීතිවලට එරෙහිව කැනඩාවේ ට්‍රක් රථ රියැදුරන් සිදු කළ උද්ඝෝෂණයට සහභාගි වූවන්ගේ බැංකු ගිණුම් ජස්ටින් ටෘඩෝස්ගේ රජය විසින් තහනම් කළේ කිසිදු අධිකරණ නියෝගයකින් පවා තොරවය. මේ මගින් එම ට්‍රක් රියැදුරන් ට තම දරුවන්ට ආහාර මිලදී ගැනීමට, ගෙවල් කුලී ගෙවීමට හෝ පාසල් ගාස්තු ගෙවීමට හෝ අවස්ථාව ලබා නොදී ඔවුන්ගේ සමාජීය සහ පුද්ගලික ජීවිතය විනාශ කිරීමට උත්සාහයන් දැරිණි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම හෝ ඔවුන්ගේ ඒකාධිපතිවාදි 2030 න්‍යාය පත්‍රයට එරෙහි යමක් සමාජ මාධ්‍යජාලාවල පැවැසූ විට PayPal වැනි සමාගම් අදාළ පුද්ගලයන්ගේ ගිණුම් තහනම් කරමින් ඒවායේ ඇති මුදල් තම සමාගමට බැර කර ගැනීමට කටයුතු කරන ලදි.
මේ සියල්ල අපගේ ග්‍රහලෝකයේ ආරක්ෂාව වෙනුවෙන් යැයි අපට පවසනු ලැබේ.

රොකෆෙලර් පදනම සහ එහි වර්තමාන සභාපතිවරයා විසි් ඉදිරිපත් කරනු ලබන කරුණු ප්‍රශ්න කළ යුතුව ඇත්තේ ඒ් නිසාය. සැබෑ තත්ත්වය නම් ව්‍යාජ පාරිසරික හේතුන් හුවා දක්වමින් මහජනතාවට හානිකර විෂ සහිත දේවල් ව්‍යාප්ත කිරීමේ ඉතිහාසයක් රොකෆෙලර් පදනම සතුවන බවයි.

වර්තමාන, විෂ සහිත,ප්‍රචණ්ඩ ආහාර පැරඩයිමය සහ එහි ඒ්කාධිකාරි ව්‍යාපාරික මොඩලය ගොඩ නැගුනේ 1950 සහ 60 දශකයන්හි පෙරට දමන ලද “හරිත විප්ලවය ” පදනම් කොටගෙනය. මෙම හරිත විප්ලවයේ කොටසක් ලෙස එවකට මෙක්සිකන් ජනාධිපති මනුවෙල් ඒවිලා කමාචෝ විසින් මෙක්සිකෝවේ කෘෂිකර්මය අධ්‍යයනය සහ නවීකරණයට ආධාර කිරීමට මෙක්සිකෝවට පැමි‍ණෙන ලෙස රොකෆෙලර් පදනමට ආරාධනා කරන ලදි.
1943 දී ශාක ප්‍රවේණි විද්‍යාඥයෙකු වූ නොර්සන් බෝර්ලවුග් (Norman Borlaug) සහ ඔහුගේ පර්යේෂකයන් කණ්ඩායම මෙක්සිකෝවට ගොස් ඊනියා හරිත විප්ලවය ආරම්භ කළහ. බෝර්ලවුග් හට රොකෆෙලර් පදනම සහ ෆෝර්ඩ් පදනම විසින් අරමුදල් සපයනු ලැබූ අතර,මෙම ආයතන දෙකම උනන්දු වූයේ ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ප්‍රතිලාභ ලබා දෙන ජාත්‍යන්තර කෘෂිකාර්මික ප්‍රමිතීන් ස්ථාපිත කිරීමටය.

හරිත විප්ලවය බොහෝ විට අති සාර්ථක දෙයක් ලෙස හුවා දක්වනු ලබන්නේ බෝග අස්වැන්නේ වැඩිවීම සහ ළදරු මරණවල කැපී පෙනෙන පහත වැටීම හේතුවෙනි. නමුත් මෙම ඊනියා හරිත විප්ලවය තුළ පළිබෝධනාශක බහුලව භාවිතා කිරීම පිළිකා ඇතුළු සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඉහළ යාමට හේතු වී ඇති බවට බොහෝ සාක්ෂි මතුවෙමින් පවතී.හරිත විප්ලවය තුළ වඩාත්ම කුප්‍රකට සිදුවීම් ලෙස සැලකෙන්නේ ලොව බහුලවම භාවිතා වන වල් නාශකය වන ග්ලයිෆොසේට් පිළිකා රෝග ගණනාවකට හේතු වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස සමාගමට එරෙහිව පවරන ලද නඩු හේතුවෙන් ඩොලර් බිලියන ගණනක් වන්දි ගෙවීමට සිදු ව තිබේ. ග්ලයි පොසේට් (glyphosate) යනු කෘෂි නිෂ්පාදන දැවැන්තයෙකු වන මොන්සැන්ටෝ(Monsanto) සමාගමේ නිෂ්පාදනයක් වන අතර දැන් එය අයත් වන්නේ බේයර් (Bayer)සමාගමටය.

ඊනියා හරිත විප්ලවයේ ධාවක බලවේගයන් වූයේ ද දැවැන්ත තෙල් සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය පිටුපස සිටි මූල්‍ය සංගත සහ සමාගම් ය. රොකෆෙලර් ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සමාගම් ජාලය සහ පොහොර නිෂ්පාදන කර්මාන්තයේ නිරත ඩුපොන්ට් ඩෝ කෙමිකල් සහ හර්කියුලස් පව්ඩර් වැනි ඔවුන්ගේ හවුල්කාර සමාගම් මෙම ඊනියා හරිත විප්ලවය තුළ දැවැන්ත ලාභ උපයා තිබේ.කෙසේ වුව ද මෙම වැඩ සටහනට සහභාගිවීමට තරම් ප්‍රාග්ධනයක් නොමැති වූ හුදෙක් සිය පැවැත්ම උදෙසා අරගල කරමින් සිටි “තෙවන ලෝකයේ රටවල්” නූතන තාක්ෂණය ලබාගැනීම සඳහා මෙම වැඩ සටහනට සහභාගිවීම උත්සාහ කළ විට රොකෆෙලර් පදනම ඔවුන් මත සිය පූර්ණ ග්‍රහණය ස්ථාපිත කිරීමට එම අවස්ථාව යොදාගත්තේය.එය සිදු කරන ලද්දේ මෙසේය. රොකෆෙල්ර් වරුන්ගේ පාලනය යටතේ පවතින චේස් මෑන්හැටන් බැංකුව ඒ ඒ රටවලට ණය දීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හවුල්කාර ව්‍යාපෘතින් ආරම්භ කළ අතර එමගින් ඉහළ පොලී සහිත ණය මුදල් දුප්පත් තෙවන ලෝකයේ රටවල් වලට ලබාදීම සිදුවිය. මෙම ණය ලබා දීමේදී අත්සන් තැබෙන ගිවිසුම් අනුව ණය ගෙවීමට නොහැකි වන රටවල වත්කම් පවරාගැනීමට අදාළ ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලට බලය ලැබේ.
පසුගිය කොවිඩ්-19 ඊනියා වසංගතයේදී සිදු වූ එන්නත් ජාවාරමේදී ද සිදු වූයේ මීට සමාන ක්‍රියාවලියක් බව අප විසින් ඉහත දී පෙන්වා දී ඇත.

හරිත විප්ලවය සහ ජාන විප්ලවය

හරිත විප්ලවයේ අනෙක් ප්‍රතිඵලය වූයේ ජාන විප්ලවයයි.මෙය සාමාන්‍ය ජනතාව අතර ව්‍යාප්ත වූයේ ජානමය විකෘතිකිරීම් වලට ලක්කරන ලද සත්ව හා ශාක (Genetically Modified Organism- GMO) යනුවෙනි. නැතහොත් ජානමය වෙනස්කම් වලට ලක් කරන ලද ආහාර ලෙසය. මෙම ජාන විප්ලවය සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ද හරිත විප්ලවය සඳහා පෙරමුණ ගත් කණ්ඩායම් ම වේ. එනම් දැවැන්ත ඖෂධ සමාගම් කාටලය සහ දැවැන්ත තෙල් නිෂ්පාදන සමාගම්ය. රොකෆෙලර් සහ ජර්මනියේ නාසි යුද අපරාධවලට සම්බන්ධ ඉතිහාසයක් සහිත සම්බන්ධ අයිජී ෆාර්බන් (IG Farben) යන සමාගම් සතුව ඩෝ ඇග්‍රෝසයන්ස් ( Dow AgroScience),ඩුපොන්ට් බයෝටෙක්නොලොජි (DuPont Biotechnology) සහ කුප්‍රකට මොන්සැන්ටෝ (Monsanto) සමග වැඩ කරන බේයර් ක්‍රොප් සයන්ස් (Bayer CropScience) සහ BASF ප්ලාන්ට්සයින්ස් (BASF PlantScience) යන අනුබද්ධ ආයතන ඇත.
මේ හානිකර කෘමිනාශක, ජාන විකෘතික ආහාර(GMO), ඒකාකාරි බෝග වගාව(mono cropping) සහ කුඩා ගොවීන් විනාශ කිරීම පිළිබඳ රොකෆෙලර් පදනමේ ඓතිහාසික උරුමයයි.

රොක්ෆෙලර් පදනම කියා සිටියේ ඊනියා කොවිඩ්-19 වසංගතය “එක්සත් ජනපද ආහාර ක්‍රමය පරිවර්තනය කිරීම” සඳහා අවස්ථාවක් ඉදිරිපත් කළ බවයි.2020 ජූලි මස 28 වැනි දින රොකෆෙලර් සමාගම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව වන “(කෑම) මේසය යළි සැකසීම: එක්සත් ජනපද ආහාර ක්‍රමයේ පරිවර්තනයක් සඳහා වන මොහොත මුණගැසීම ” (Reset the Table: Meeting the Moment to Transform the U.S Food System) තුළ
“ප්‍රධාන කර්මාන්තයක් වන ආහාර සැපයුම හැඩගැස්වීමේ දිශාව තීරණය කිරීම සඳහා රොකෆෙලර් සමාගමට සිය බලපෑමේ හැකියාව සහ ධනය යෙදීමේ අවස්ථාවක් නැවත වරක් උදාවී ඇත” යනුවෙනි.

2020 ජූලි මස 28 වැනි දින රොකෆෙලර් සමාගම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව වන “(කෑම) මේසය යළි සැකසීම: එක්සත් ජනපද ආහාර ක්‍රමයේ පරිවර්තනයක් සඳහා වන මොහොත මුණගැසීම ”

උත්ප්‍රාසාත්මක ලෙස, මෙම “(කෑම) මේසය නැවත සැකසීම” ලේඛනය තුළ “රොකෆෙලර් පදනම සිය හරිත විප්ලවය තුළ “බීජ වැපිරීමේ සහ පරිමාණය කිරීමේ විශාල කාර්යභාරයක් ඉටු කළ” බව සටහන් කරන අතරම, රොකෆෙලර් හරිත විප්ලවය “වැඩි පෝෂ්‍යතාවක් සහිත ආහාර නොතකා හැර ප්‍රධාන ධාන්‍ය සඳහා අධික ලෙස අවධාරණය කිරීමේ උරුමයක් ඉතිරි කර ඇති බව ද පාංශු සාරවත් බව ක්ෂය කරන රසායනික පොහොර මත යැපීම සහ ජලය අධික ලෙස භාවිතා කිරීම සිදු කර ඇති බවද ” සඳහන් කර තිබේ. කිසිදු ලජ්ජාවකින් තොරව රොකෆෙලර් පදනම දැන් පෙනී සිටින්නට සැරසෙන්නේ කලින් තමන් විසින් ම නිර්මාණය කරන ලද ගැටළු සඳහා දැන් තමන් සතුව මැජික් විසඳුම් සතුව ඇති බවය.

මේ එකම ආකාරයේ සුපුෂ්පිත සහ නූතන වදන්මාලාවක් භාවිතා කිරීම විසින් ඔවුන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය, ඛනිජ තෙල් කර්මාන්තය, සහ වෛද්‍ය ක්ෂේත්‍රය තුළට රිංගා ඒ්වා අත්පත්කරගැනීමට අවස්ථාව සලසා දී තිබේ.එමෙන්ම ලෝකයේ සත්ව සහ බෝග නිෂ්පාදනයේ යෙදෙන විශාල කෘෂිකාර්මික ආයතනයන්හි පාලනය ප්‍රචණ්ඩ, විනාශකාරි සහ වියදම් අධික ක්‍රම මගින් අත්පත් කරගැනීමට ඔවුහු සමත්ව සිටිති. මහජනතාව සහ ආහාර සැපයුම ආරක්ෂා කිරීම සඳහා වන බොහෝ ජාත්‍යන්තර සහ ජාතික ආයතන රොකෆෙලර් නැමැති මෙම බිහිසුණු ඒ්කාධිකාරිවාදි කාටලය විසින් ආක්‍රමණය කර තිබේ.

අප විසින් මේ සියල්ලටම පසුවත් රොකෆෙලර් පදනම මානව යහපත සදහා වන බලවේගයක් ලෙස විශ්වාස කළ යුතුද?

දේශගුණික විපර්යාසයන්ට එරෙහි අරගලය තුළ යුජෙනික්ස්වාදි නයාය පත්‍රය සඟවා තිබේද?

ලිපිය අවසන් කිරීමට පෙර තවත් එක් දෙයක් අවසන් වශයෙන් සටහන් කරමි. ඒ රොකෆෙලර් පදනම විසින් යුජෙනික්ස් ව්‍යාපාරයට අරමුදල් සැපයීමේ විස්තීර්ණ ඉතිහාසය පිළිබඳවයි. රොකෆෙලර් පවුල විසින් ගබ්සාව,වන්ධ්‍යාකරණය සහ වෙනත් ක්‍රම වලට මුවාවෙමින් “ජනගහණ පාලනය” පිළිබඳ යුජෙනික්ස්වාදි න්‍යාය පත්‍රය පෙරට දැමූ බවට පැහැදිලි සාක්ෂි සහ ලේඛනගත තොරතුරු විශාල සංඛ්‍යාවක් පවතී.

මෙම ව්‍යාපාරවලට අරමුදල් සැපයීමේ ඉතිහාසය හේතුවෙන් රොකෆෙලර් පදනමේ සැබෑ අරමුණු කෙරෙහි සැකයෙන් යුතුව බැලීමට ඕනෑතරම් හේතු තිබේ.

2021 සැප්තැම්බර් මාසයේදී රොකෆෙලර් පදනම විසින් “යුජෙනික්ස්වාදි ව්‍යාපාරය සමග අපගේ සම්බන්ධතාවන් පිළිබඳ ඉතිහාසය පිලිබඳව අප දැන් විමර්ශනයකට ලක් කරමින් සිටිමු.” යි සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදි. රොකෆෙලර් පදනම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම විමර්ශනය ක්‍රියාවලියට “කරුණු හෙළිදරව් කිරීම” සහ “කටුක බව දනවන සත්‍යයන්” සමඟ කටයුතු කිරීම ද ඇතුළත් වන බවයි. වෛද්‍ය ෂා ප්‍රකාශ කර සිටියේ “රොකෆෙලර් පදනම විසින් යුජෙනික්ස් ව්‍යාපාරයට අරමුදල් සැපයීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුවෙමින් පවතී ”යනුවෙනි.

“රොකෆෙලර් පදනම සිය අතීතයේ ද්වේෂ සහගත උරුමයන්ට මුහුණ දෙමින් සිටී -බොහෝ දෙනෙකුට තිබූ අවස්ථාවන් යටපත් කරන ලද නීති, ව්‍යුහයන් සහ පද්ධති විසින් අපගේ ප්‍රදානලාභීන්ට සහ ඔවුන් විසින් සේවය කරන ලද පුද්ගලයන්ට ඒවා ජයගැනීමට සහාය වෙමින් තිබේ” යනුවෙන් රාජිව් ෂා සඳහන් කර ඇත.

ඉදිරි විමර්ශනයක් මගින් රොකෆෙලර් පදනමට සහ අනෙකුත් දානපතියන්ට මඟ පෙන්වූ යුජෙනික්ස් දර්ශනය සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේ ව්‍යාපාරය අතර සම්බන්ධකම් හෙළිදරව් කිරීමට අපේක්ෂා කරමි.

 

ඩෙරික් බ්‍රෝස්

ඩෙරික් බ්‍රෝස් (Derrick Broze) , ද ලාස්ට් ඇමෙරිකන් වගබොන්ඩ්හි (The Last American Vagabond) කර්තෘ මණ්ඩල ලේඛකයෙකි. ඔහු ගත්කතුවරයෙක්, ලේඛකයෙක් , දේශකයෙක් සහ ක්‍රියාකාරිකයෙක්ද වේ.ඔහු Free Thinker Radio on 90.1 Houston නම් රේඩියෝවේ සම නිවේදකයෙකි.එමෙන්ම දැනුවත් ප්‍රතිරෝධක ජාලයේ සහ හූස්ටන්හි නිදහස් චින්තකයෝ යන සංවිධානවල නිර්මාතෘවරයාද ඔහුය.

පරිවර්තනය- විමර්ශන

මෙම තේමාවට සම්බන්ධිත වෙනත් ලිපි.

1. ලෝක සෞඛ්‍ය සංවිධානයේ බිහිවීම සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ රොකෆෙලර් පදනමේ භූමිකාව

2. කොරෝනා ප්‍රෝඩාව, ලෝක ආර්ථිකය බිඳ දැමීමේ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය සහ ලංකාවේ ඉරණම

3. මධ්‍යම බැංකු ඩිජිටල් මුදල්ක්‍රමය(CBDC)) මිනිස් නිදහස අහෝසි කරනු ඇත

4. කොවිඩ්-ඔමික්‍රොන් අර්බුදය, ලෝක ව්‍යාප්ත මුල්‍ය බිඳ වැටීම, උද්ධමනය සහ ඩිජිටලීකරණය

5. යුජෙනික්ස්වාදයේ සම්භවය සහ විකාශය- ඉතිහාසයේ අඳුරු යුගයකින් පාඩම් ඉගෙනීම