ලෝක සෞඛ්‍ය සංවිධානයේ බිහිවීම සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ රොකෆෙලර් පදනමේ භූමිකාව

 

ලෝක සෞඛ්‍ය කටයුතු පාලනය පිළිබඳව විවිධ පදනම් ආයතන විසින් කුමන භූමිකාවක් ඉටුකළ යුතුව තිබේදැයි යන්න ගැන පොදුවේත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධව ඒවා විසින් කුමන භූමිකාවක් ඉටු කළ යුතුව ඇත්දැයි යන්න ගැන විශේෂයෙනුත් මෑත කාලයේ විවාදයක් වර්ධනය වෙමින්පවතී. මෙම සංවාදයන්ගෙන් බොහෝමයක් භ්‍රමණය වනුයේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ අති විශාල ධන පරිත්‍යාගයන් සහ ලෝක සෞඛ්‍යයේ න්‍යාය පත්‍රය සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධව එහි නැඹුරුව පිළිබඳවත්ය. නමුත් මෙවැනි ක්‍රියාකාරිත්වයන් අලුත් දේවල් නොවේ. විසිවන සියවසේ දී රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation -RF) විසින් ලෝක සෞඛ්‍යයට අදාළව මහා දානපතියෙකු ලෙස කටයුතු කළ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය හැඩගැස්වීම සහ පවත්වාගෙන යාම පිළිබඳව විශාල බලපෑමක් සිදු කරන ලදි. මෙම ලිපිය මගින් 1940-1960 කාල සීමාව අතර දී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රොක්ෆෙලර් පදනම අතර සම්බන්ධය පිළිබඳව පරීක්ෂා කරනු ලැබේ. මෙම පර්යේෂණ පත්‍රිකාවේ ඉංග්‍රිසි මුල් පිටපතට මේ සබඳතාවෙන් පිවිසෙන්න

ඈන් එමානුවෙල් බර්න් Anne- ​Emanuelle Birn

පොදුවේ ලෝක සෞඛ්‍ය කටයුතු පාලනය පිළිබඳවත් විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිබඳවත් විවිධ පදනම් ආයතනවල සහ පුද්ගලික අංශයේ කාර්ය භාරය කුමක් දැයි යන්න වර්ධනය වෙමින් පවත්නා විවාදයකි. නමුත් මෙවැනි ක්‍රියාකාරිත්වය අලුත් ඒවා නොවේ. විසිවන සියවසේ දී රොක්ෆෙලර් පදනම විසින් ලෝක සෞඛ්‍යයට අදාළව මහා දානපතියෙකු ලෙස කටයුතු කළ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඉතා සංකීර්ණ සබඳතාවක් දිගුකාලීනව පවත්වාගෙන යමින් එහි හැඩගැස්වීම සහ පවත්වාගෙන යාම පිළිබඳව සෘජුව සහ වක්‍රව විශාල බලපෑමක් සිදු කරන ලදි.

1940-1980 කාල සීමාව අතර දී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රොක්ෆෙලර් පදනම අතර සම්බන්ධය පිළිබඳව පරීක්ෂා කරනු ලබන කොටස් දෙකකින් සමන්විත ලිපියක පළමු කොටස මෙය වේ. මෙමගින් මෙම ආයතන දෙක අතර “සම්බන්ධතාවේ” පසු බැසීම් සහ ජයග්‍රහණයන්ද වැදගත් අවධීන්ද, බල අරගලයන්ද දිගුකාලීන අභියෝග සහ උභතෝකෝටිකයන්ද පිළිබඳව සොයා බලනු ලැබේ.
ඉතා පැහැදිලි ප්‍රාථමික ප්‍රශ්නය නම් “සම්බන්ධතාව” යන වචනය මෙය විස්තර කිරීමට ගැලපෙන්නේ ද යන්නයි. 1948 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ කිරීම සහ රොක්ෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ (International Health Division -IHD) විසුරුවා හැරීම යන සිදුවීම් එකිනෙක සම්පාත වූ අතර ඒත් සමගම ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ රොකෆෙලර් පදනම සතුව තිබු අතිවිශාල බලපෑම වැහැරීමේ ආරම්භයද සිදු විය. නමුත් අපට පසුව දකින්නට ලැබෙන ආකාරයට ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතන කෙරෙහි ද, මතවාදයන් සහ භාවිතයන් කෙරෙහිද, පුද්ගලයන් කෙරෙහිද රොකෆෙලර් පදනමේ බලපෑම 1910 සිට 1940 දක්වාද අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භක අවුරුදු තුළද ව්‍යාප්තව පැවතිනි. මෙම කාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ ගැඹුරින්ම කාවැදී තිබුණේ රොක්ෆෙලර් පදනමේ අධිපතිවාදි තාක්ෂණ කේන්ද්‍රීය රෝග මර්ධන ආකෘතිය පමණක් නොව සමාජ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම කෙරෙහි වන විරෝධතාවද දේශපාලන ආර්ථික සමාජීය සහ ජීව වෛද්‍ය කොන්දේසි මත පදනම් වූ ප්‍රවේශයක් ද ඒ තුළ විය.

ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ (IHD) අවසානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) බිහිවීම

එම යුගයේ සිටි ඉතාම කෘර ධනවාදියා ලෙස කුප්‍රකටව සිටි තෙල් සමාගම් හිමිකරුවෙකු වූ ජෝන් ඩී. රොක්ෆෙලර් විසින් 1913 දී රොක්ෆෙලර් පදනම ආරම්භ කළ මොහොතේ සිටම ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය(IHD සහ එහි පූර්වගාමී මණ්ඩලය) ජාත්‍යන්තර සෞඛ්‍ය කටයුතු සඳහා සම්බන්ධ වී සිටියහ. රොක්ෆෙලර් සිය ධන පරිත්‍යාගය මගින් උත්සාහ කළේ ලාභ කේන්ද්‍රීය කාර්මික නවීකරණයක් සඳහා සමාජය විද්‍යාවෙන් සහ අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමටත් සමාජ සහ දේශපාලන නැගිටීම් වලින් සමන්විත කැළැඹිලි සහගත යුගයක් තුළ (අරමුණු සහගතවම තමන්ගේම පැවැත්ම උදෙසා) සමාජ ස්ථාවරත්වය පවත්වාගෙන යාමටත්ය. රට තුළ සහ පිටත පොදු සෞඛ්‍යය පිළිබඳ කටයුතු විසින් විද්‍යාත්මක දැනුම බෙදාහැරීම, නිෂ්පාදනයේ ඵලදායකත්වය ඉහළ නංවමින් ආයෝජනයන්ගේ සුරක්ෂිත බව ඇතිකරගැනීම, සමාජීය ප්‍රවර්ධනය සඳහා මහජන සහයෝගය ලබාගැනීම ආදි අරමුණු කරා ළඟාවීමට යොදාගත හැකි කදිම වාහනයක් මෙමගින් ලබා දෙනු ලැබිණි. රටවල් සහ යටත් විජිත 100ක පමණ සංඛ්‍යාවක් තුළ කොකු පණු රෝගවලට අමතරව කහ උණ, මැලේරියා මර්දන ව්‍යාපාර, ක්ෂය රෝගය, පරංගි, ඉන්ෆ්ලුවන්සා, රේබීස්, ෂිස්ටෝසෝමයසිස්, මන්දපෝෂණය සහ අනෙකුත් සෞඛ්‍ය ගැටළු විසඳීම සඳහා එය මැදිහත් විය.( මේ සඳහා වැය කළ මුදල අද
වටිනාකමින් ගත් කළ ඩොලර් බිලියන ගණනකි). එමෙන්ම එය ක්‍රමානුකූලව ඒ ඒ රටවල දේශීය සෞඛ්‍ය ඒකක සහ ජාතික ආයතන වල සහායෙන් සෞඛ්‍ය සේවය ආයතනගත කිරීමට කටයුතු කරනු ලැබිණි. මෙම කටයුතු මෙහෙයවීම සඳහා ලෝකය පුරා මහජන සෞඛ්‍ය ආයතන 25ක් පිහිටුවීමද, වෛද්‍යවරුන්, හෙදියන්, ඉංජිනේරුවන් 2500ක් සඳහා මහජන සෞඛ්‍ය අධ්‍යාපන උපාධි පාඨමාලා ඇරඹීමද රොක්ෆෙලර් පදනම විසින් සිදු කරන ලදි.

ඉන්දියාවේ මවක් සහ දරුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සායනයක් අසල සායනික පරීක්ෂණයකට ලක්වීමට බලා සිටින අන්දම

මහජන සෞඛ්‍ය පිළිබඳ රොක්ෆෙලර් පදනම විසින් ගනු ලැබූ ප්‍රවේශයේ වැදගත්ම ලක්ෂණය වූයේ කෙටිකාලීන තාක්ෂණික විසඳුම් මත පදනම්ව රෝග සුව කිරීමේ ජීව විද්‍යාත්මක ප්‍රවේශයකි. එහි අරමුණ වූයේ ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමෙරිකාවේ සහ එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශවල විශාල “පසුගාමී කලාපයන්”  නිෂ්පාදනය, වෙළෙඳාම, සහ පරිභෝජනය මත පදනම් වූ ධනවාදි ලෝකයට අන්තර්ග්‍රහණය කර ගැනීමයි.

ජාතික ආණ්ඩු වල සහයෝගය ද සහිතව රොක්ෆෙලර් පදනම සිය න්‍යාය පත්‍රය සකස් කරන ලද්දේ තම කාලීන සහ භූගෝලීය පරාමිතින් ට අනුව (බොහෝ විට රැඩිකල් දේශපාලන ව්‍යාපාර නිෂ්ක්‍රිය කිරීමේ ඉලක්කයද සහිතව), රෝගවලට එරෙහිව කාර්යක්ෂම “මැජික් පතුරම්” ගැන විශ්වාසය තබමින් ද, රෝග මර්දනය සහ අධ්‍යාපන ව්‍යාපාරය තමන්ගේම නිලධාරින් විසින් ( නැතහොත්  රොකෆෙලර් විසින් අරමුදල් සපයන ලද ජෝන් හොප්කින්ස් හෝ හාර්වර්ඩ් සෞඛ්‍ය අධ්‍යාපන ආයතනවල පුහුණු කරවන ලද දේශීය විශේෂඥයන් මගින්) පමණක් මෙහෙයවීමට කටයුතු කරමින් ද , අවසානයේ හවුල් ක්‍රියාකාරකම් සඳහා ඒ ඒ ආණ්ඩු විසින් ම වියදම් පියවනු ලැබීම ද අපේක්ෂා කරමිනි.

ඇතැම් අවස්ථාවන්හිදී රොකෆෙලර් පදනමේ උත්සාහයන්ට ස්වදේශීය බලධාරින්ගෙන් විරුද්ධත්වය පළ වූ විට ඔවුන්ගේ එම විරෝධතාව යටපත් කර රොකෆෙලර් පදනමේ ආකෘතිය නැවත බලාත්මක කිරීමට සහාය වූයේ ඔවුන් විසින් වැඩි අවධානයකට ලක් නොවී ක්‍රියාත්මක කරමින් තිබූ ස්වදේශීය බලධාරින්ට ණය ලබාදීමේ ක්‍රියා පිළිවෙතයි. රොකෆෙලර් පදනම විසින් සිය දශක ගණනාවත අත්දැකීම් ඇසුරෙන් වර්ධනය කරන ලද මෙම ණය දීමේ උපක්‍රමය රටක සිටින බලධාරින් විශාල ප්‍රමාණයක් තම අභිමතය සඳහා හැඩගැස්වා ගැනීමේ සහතිකයක් ලෙස භාවිතා කෙරිණි.

රොකෆෙලර් පදනම විසින් මෙක්සිකෝවේ ගුවෙරේරෝ හි පවත්වාගෙන ගිය සෞඛ්‍ය සායනයක්

උදාහරණයක් ලෙස 1920 දී රොකෆෙලර් පදනම විසින් මෙක්සිකෝවේ තෙල් නිෂ්පාදනය කරන ප්‍රාන්තයක් වන වෙරාකෘස් හි ප්‍රධාන වරායක් ආශ්‍රිතව ප්‍රදේශයක පැතිර යමින් තිබූ කහ උණ රෝගයට එරෙහිව සහ ගොවි කැරැළිවලට පදනම් වූ ප්‍රදේශයක පැතිර යමින් තිබූ කොකු පණු රෝගයට එරෙහිව විශාල ව්‍යාපාරයක් දියත් කරනු ලැබිණි. මෙම රෝග දෙකෙන් එකක්වත් මෙක්සිකෝ බලධාරින් විසින් ප්‍රමුඛතාව දෙන ලද ඒවා නොවූ අතර (කහ උණ දැඩි භීතිකාවක් ව පැවතියේ මෙක්සිකෝ අපනයන ළඟා වූ ඇමෙරිකන් වරායන් තුළය) ඔවුන් ඉල්ලා සිටියේ මැලේරියාව සහ ක්ෂයරෝගයට එරෙහිව ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙසය. රොකෆෙලර් පදනම විසින් මේ ඉල්ලීම් නොසළකා හරිනු ලැබිණි. කෙසේ වුව ද ඒ වකවානුවේ රොකෆෙලර් පදනම විසින් භාවිතයේ යොදමින් තිබූ රෝග මර්දන ආකෘතිය තුළ මැලේරියාව හෝ ක්ෂය රෝගය සඳහා භාවිතා කළ හැකි කාර්යක්ෂ්ම ප්‍රතිඵලදායක වැඩපිළිවෙළක් නොතිබිණි. ඔවුන් විසින් මර්දන සඳහා තෝරාගනු ලැබූයේ ඒ වනවිට ඔවුන් සතුව තිබූ මෙවලම්වලින් මර්දනය කළ හැකි රෝග පමණි. ( කහ උණ සඳහා කෘමිනාශක (insecticides) සහ කීට නාශක (larvicides), කොකු පණු රෝගය සඳහා පණු නාශක ඖෂධ(anti-helminthic drugs) යනාදිය ඒ සඳහා උදාහරණ වේ. ඔවුන් ක්ෂය රෝගය වැනි රෝග මර්දනයට කටයුතු කිරිමට උනන්දුවක් නොදැක්වූයේ එවැනි රෝග මර්දනයෙහිලා සනීපාරක්ෂක නිවාස, පෝෂණය ආදි ක්ෂේත්‍රයන් තුළ දිගුකාලීන සමාජීය ආයෝජනයන් අවශ්‍ය වන බැවිනි.

රොකෆෙලර් පදනම රෝග මර්දනයෙහි ලා තාක්ෂණ මූලික ප්‍රවේශයක් සහ ඒ හා සම්බන්ධිත පුහුණුවැඩ පිළිවෙළවල් කෙරෙහි වැඩි අවධානයක් දැක්වුව ද, 1930-1950 අතර කාලයේදී සෞඛ්‍ය සහ රෝග පිළිබඳව තීරණාත්මක සමාජීය හා දේශපාලන රාමුවක් තුළ සමකාලීන “සමාජීය වෛද්‍ය ක්‍රම” සමග සම්බන්ධව කටයුතු කිරීමට එය විසින් නිල නොවන ඉඩකඩක් ඉතා සුළු නිලධාරින් පිරිසකට ලබා දී තිබිණි. මෙවැනි සුළු පරිමාණ උත්සාහයන් අතර සමාජීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් සහ වාම සෞඛ්‍ය ජාත්‍යන්තරවාදීන් ලෙස සැළකුණ යුගෝසලාවියාවේ මහජන සෞඛ්‍ය නායක අන්ද්‍රියා ස්ටැම්පර් සහ වෛද්‍ය විද්‍යා ඉතිහාසයෙකු වූ ස්විස් ජාතික හෙන්රි සිගෙරිස්ට් වැනි අයට පර්යේෂණ සහ ප්‍රවාහන අරමුදල් සැපයීම උදාහරණ ලෙස දැක්විය හැකිය. රොකෆෙලර් පදනමේ වෛද්‍ය විද්‍යා අධ්‍යක්ෂ ඇලන් ග්‍රෙග් විසින් අන්ද්‍රියා ස්ටැම්පර් හට එක්සත් ජනපදයේ සංචාරය කිරීම සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලද අතර එමගින් ස්ටෑම්පර් ජාත්‍යන්තර සෞඛ්‍ය සහයෝගීතාව සමාජීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ සිය අවබෝධය සහ අත්දැකීම් පුළුල් කර ගත්තේය

ජෝන් ඩී. රොකෆෙලර් 1885 දී

.

මහාචාර්ය අන්ද්‍රියා ස්ටැම්පර් (යුගෝසලාවියාව) 1948 දී පැවැති පළමුවැනි ලෝක සෞඛ්‍ය සම්මේලනයේ සභාපතිවරයා විය.
වෛද්‍ය හෙන්රි ඊ සිගෙරිස්ට්

.

 

 

 

 

 

 

 

 

 

1926 දී ට්සාග්‍රෙබ් හිදී මහජන සෞඛ්‍ය පාසලක් පිහිටුවීම සඳහා ද ක්‍රොඒෂියන් ගොවි පක්ෂය සමග සබඳතා ගොඩ නගාගැනීම මගින් ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන අතර සබඳතා ජාලයක් පිහිටුවීම සඳහාද ස්ටම්පර් රොකෆෙලර් පදනමෙන් විශාල වශයෙන් මුල්‍යාධාර ලැබීය. 1930 දී පිටුවහල් ගතව සිටින සමය තුළ ස්ටැම්පර් රොකෆෙලර් පදනමේ ජෝන් බ්ලැක් ග්‍රාන්ට් සමග චීනයේ ග්‍රාමීය පළාත්වල සංවර්ධන මට්ටම් ඇගයීම සඳහා චීනයේ සංචාරය කළේ චීනය තුළ විප්ලවීය අරගලය වර්ධනය වෙමින් පවතින සමයේය. ඇලන් ග්‍රෙග් විසින් සිගෙරිස්ට්ව රොකෆෙලර් පදනම විසින් පවත්වාගෙන යන ලද ජෝන් හොප්කින්ස් ආයතනය මෙහෙයවීම සඳහා බඳවාගත් අතර එමගින් සිගෙරිස්ට් හට එක්සත් ජනපදය තුළ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම සඳහා සිය ලොබි කිරීම්වලටත් වෛද්‍ය විද්‍යාව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් තුළ සෝවියට් සංගමය ලබමින් තිබූ වර්ධනයන් පිළිබඳ අවධානය යොමු කරවීමටත් පුළුල් අවස්ථාවන් විවර විය. මෙම පුද්ගලයන් සහ රොකෆෙලර් පදනමේ ඔවුන්ගේ නායකයන් විසින් රොකෆෙලර් පදනමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයඅතර සබඳතාවයට අදාළව වැදගත් භූමිකාවක් ඉටු කර තිබේ.

ජෝන් බී ග්‍රාන්ට් /චීනයේ දී උපත ලද ග්‍රාන්ට්ගේ දෙමව්පියන් මිෂනාරි සේවයේ නිරතවූවන්ය. චීනයේ දී වෛද්‍ය අධ්‍යාපනය ලැබූ ඔහු එහි සමාජ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම උගත්තේය.
වෛද්‍ය වැන් සිලෙ හයිද – ලෝක සෞඛ්‍ය සම්මේලනයේ 1954 සහ 1955 සැසිවාර වල සභාපති ලෙස කටයුතු කරන ලදි.
.

රට තුළ සිය ක්‍රියාකාරිත්වයට අමතරව රොකෆෙලර් පදනම විසින් පළමු ලෝක යුද්ධයෙන් පසුව ජිනීවා පදනම් කොට ගෙන බිහිව තිබූ ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානය (League of Nations Health Organisation -LNHO) හරහා එවකට ගොඩනැගෙමින් පැවති සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර බහුපාර්ශ්වික සැකැස්මකට ආධාර කරන ලදි. ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානය (LNHO) සිය ආකෘතිය ගොඩ නගා ගනු ලැබුවේ අර්ධ වශයෙන් රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය (IHD) අනුගමනය කරමිනි. ඒ සඳහා IHD හි සේවය කළ පුද්ගලයන් සම්බන්ධ කරගනිමින්ද, ජාත්‍යන්තර සෞඛ්‍ය කටයුතු පාරජාතික විශේෂඥයන්ගෙන් සැදුම් ලද ජාලයක් මගින් ආයතන ගත කිරීමේ න්‍යාය පත්‍රය, වසංගත පිළිබඳ නිරීක්ෂණ කටයුතු පුළුල් කිරීම, එන්නත් සහ ඖෂධ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියක් සකස් කිරීම ආදි වශයෙන් වන IHD හි අරමුණු  ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානය(LNHO) තුළද අන්තර්ගත විය. ඇමෙරිකානුවන් කීප දෙනෙකු උපදේශකයන් ලෙස ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානය(LNHO)  තුළ කටයුතු කළ නමුත් එක්සත් ජනපදය ජාතින්ගේ සංගමයේ සාමාජිකයෙකු නොවූ බැවින් රොකෆෙලර් පදනම කටයුතු කලේ ආදේශක නියෝජිතයෙකු වශයෙනි.

සිය කුසලතා පිරිපුන් නායකයා වන පෝලන්ත ජාතික ලුද්වික් රායික්මාන් යටතේ ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානය(LNHO) සංවිධානයේ සෞඛ්‍ය සඳහා ප්‍රවේශය පදනම් වූයේ ජීවත්වීම, වැඩ කිරීම සහ දේශපාලන තත්ත්වයන් සෞඛ්‍යයට බලපාන ප්‍රධාන සාධක ලෙස සැළකිල්ලට ගනු ලබන සමාජීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් මතය. රයික්මාන්ගේ මෙම දැක්ම පිළිගනු ලැබුවේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය (IHD) හි ඉතා සුළු පිරිසක් වන නමුත් රොකෆෙලර් සංවිධානය විසින් දිගටම ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානය(LNHO) හි පැවැත්ම සඳහා අරමුදල් සපයනු ලැබිණි. එනම් කාර්ය මණ්ඩලයෙන් භාගයකට වඩා වැටුප් ගෙවනු ලැබුවේ රොකෆෙලර් පදනම විසිනි.

වෛද්‍ය ලුද්වික් විටෝල්ඩ් රයික්මාන් – ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් සංවිධානයේ නිර්මාතෘවරයා ලෙස සැළකේ.
විල්බර් ඒ සෝයර්
.

 

 

 

 

 

 

 

 

 

 

දෙවන ලෝක යුද්ධ සමයේදී ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානයේ  (LNHO) සම්පත් සහ කාර්ය මණ්ඩලය ඉවත් කරනු ලැබිණි. ( නමුත් එහි පසමිතුරු සංවිධානය වූ පැරිසියේ ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය සංවිධානයට (International d’Hygie`ne Publique) පසුව නාසින් සමග සහයෝගයෙන් කටයුතු කළේ යැයි යන චෝදනාව එල්ල විය.)  1943 දී එක්සත් ජනපදයේ අනුග්‍රහය ලද එක්සත් ජාතීන්ගේ සහන සහ පුනරුත්ථාපන පරිපාලනය( United Nations Relief and Rehabilitation Administration -UNRRA) විසින් ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානයේ (LNHO)‍ ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් අවශෝෂණය කරගත් අතර යුද්ධයෙන් හානි වූ රටවලට අතිවිශාල වෛද්‍ය ආධාර සහ සහන සේවා සපයමින් ව්‍යාප්ත විය. – රටවල් 40 කින් බඳවාගත් වෘත්තිකයන් 1400ක් එක්සත් ජාතීන්ගේ සහන සහ පුනරුත්ථාපන පරිපාලනය UNRRA කාර්ය මණ්ඩලයේ සේවය කළ අතර එහි වාර්ෂික පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 80 ක් විය.

UNRRA සංවිධානය තුළ ද රොකෆෙලර් පදනමේ සළකුණු සහ ග්‍රහණය දැකිය හැකි විය. ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ (IHD)  සේවය කළ ප්‍රවීණයෙකු වූ සෙල්ස්කර් ගුන් UNRRA හි සැලසුම් සකස් කර මෙහෙයවන ලදි. 1944 දී රොකෆෙලර් පදනමෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව එහි සෞඛ්‍ය මෙහෙයුම් කටයුතු බාර ප්‍රධානියා වූයේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ  (IHD) අධ්‍යක්ෂක විල්බර් සෝයර් ය. ජාතීන්ගේ ලීගයේ සෞඛ්‍ය සංවිධානය (LNHO) සහ එක්සත් ජාතීන්ගේ සහන සහ පුනරුත්ථාපන පරිපාලනය(UNRRA)
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා පූර්වගාමී සංවිධාන වූවා පමණක් නොව එයට පිරිස් බලය සැපයූ සැපයුම් මාර්ගයද විය.
කෙසේ වුව ද සහන සහ පුනරුත්ථාපන පරිපාලනය( Relief and Rehabilitation Administration -UNRRA) වෙතින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අරමුදල් පූර්ණ වශයෙන් පැවරීම  1947 දී ඩොලර් මිලියන 5ක් ලබාදීම මගින් සිදු විය.

රොකෆෙලර් පදනම සතුව අලුතින් බිහිවූ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉතා සමීප තුන්වන සම්බන්ධයක් ද තිබිණි. ඒ වෛද්‍ය ෆ්‍රෙඩ් සොපර් ය. ඔහු රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය (IHD) විසින් බ්‍රසීලය තුළ දියත් කර තිබූ මැලේරියා වාහක ඇනොෆීලිස් ගැම්බියා සහ කහ උණ මර්දනය කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙස දශක දෙකක් කටයුතු කර තිබිණි. පසුව ඔහු පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව ( Pan American Sanitary Bureau – PASB) සංවිධානයේ ප්‍රධානියා බවට පත් වී 1947-58 කාලය තුළ එම තනතුරේ කටයුතු කළේය. මෙම සංවිධානය පසුව 1958 දී පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය සංවිධානය (Pan American Health Organization) නමින් මෙම සංවිධානයේ නම වෙනස් කරන ලදි.

පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝවේ වෛද්‍ය ෆ්‍රෙඩ් සොපර් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චිෂොල්ම් 1948 දී
.
පෑන් ඇමරිකන් සෞඛ්‍ය බියුරෝවේ හියු කමින්ග් සිය විශ්‍රාම යාමට ආසන්නයේදී ෆ්‍රෙඩ් සොපර් සමග 1947 දී කරකාස් නගරයේදී

 

 

 

 

 

 

 

 

1902 දී ගොඩනගන ලද ලෝකයේ පැරණිම ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය වන පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව (PASB) ස්වාධීනව පැවතීමට සමත්වනු ඇත්ද නැතහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළට දිය වී යනු ඇත්දැයි යන කරුණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශක්තිය ඔප්පු කරන වැදගත් සාධකයකි. මෙම තත්ත්වය ඇතිවීමට රොකෆෙලර් පදනම වක්‍රව හේතු වී තිබේ. සොපර් ගේ තේරී පත් වීම විසින් පෑන් ඇමෙරිකන් බියුරෝවේ (PASB) නායකත්වය එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ පාලනයෙන් ඉවත් කිරීමේ ආරම්භය සළකුණුකරිණ. මොවුන්ගෙන් අන්තිමයා වූයේ හියූ කමින්ග් පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝවේ අධ්‍යක්ෂකවරයා ලෙස 1920 සිට කටයුතු කළේය. සොපර්ගේ පත්වීම විසින් මවා පෑවේ පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති අරමුණු වලින් මිදී ඇතිබවයි. ඒ වෙනුවට ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයක සෘජු සැපයුම් මාර්ගය බවට පත්වූයේ රොකෆෙලර් පදනමයි.

පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝවෙහි (PASB) වැඩ භාරගත් පසුව ද රොකෆෙලර් පදනම විසින් සොපර්ගේ පළමු වසර වැටුප ගෙවන ලදි. ඔහු තව දුරටත් රොකෆෙලර් පදනමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස ම කටයුතු කළේය. සොපර් මේ ගැන මෙසේ පැවසීය

මගේ සේවා ගිවිසුම වූයේ පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව (PASB) මගේ සේවය ලබා දෙන ගමන් ම රොකෆෙලර් පදනමේ වැඩ සටහනේ අවශ්‍යතා ඉටු කිරීම මිසෙක එය අත්හැර දැමීම නොවේ.”

පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝවට දිගටම සහාය දීම මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නොසළකා හරින බවක් ප්‍රදර්ශණය කිරීමට රොකෆෙලර් පදනමට අවශ්‍ය නොවීය. නමුත් සොපර්ගේ නියෝගය පරිදි එය විසින් අභ්‍යන්තරික ක්‍රියාමාර්ගයක් ලෙස වැටුප් සහ ගමන් වියදම් සඳහා එක් හෙද කාර්ය මාණ්ඩලිකයෙකු වෙත ඩොලර් 8500ක් ගෙවන ලදි. සොපර් රූකඩයක් නොවීය. නමුත් පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව(PASB) සකස් වී තිබුණේ රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය (IHD) ලතින් ඇමෙරිකාව තුළ සිදුකරමින් සිටි කටයුතු දිගටම කරගෙන යාම සඳහා බව රොකෆෙලර් පදනමේ සභාපති චෙස්ටර් බර්නාර්ඩ් හට සැකයකින් තොරවම වැටහී තිබුණ අතර 1950 දී කළ ප්‍රකාශයකින් ඔහු ඒ බව සාධාරණීකරණය කළේය.

සොපර් යටතේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ  (IHD) ප්‍රතිපත්ති සහ දර්ශනය පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව (PASB) තුළ ක්‍රියාව නංවන ලදි. පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව විසින් අවසානයේදී අපගේ කාර්යයන් බාර ගනු ඇත.”

ලිබේරියාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ සේවකයෙකු නිවසකට ඩීඩීටී ඉසීමෙන් පසු නිවසේ බිත්තියක් මත එම දිනය වාර්තා කරන අයුරු

(PASB) හි වැඩ බාරගැනීමෙන් පසුව දැඩි ආත්ම විශ්වාසයකින් යුතු සොපර් පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝවේ කටයුතු ව්‍යාප්ත කිරීමට සැලසුම් කළේය. ඔහු විසින් පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව (PASB) හි මුදල් තත්ත්වය පරීක්ෂා කළ අතර අනාගත කටයුතු සඳහා සඳහා තැන්පත් කර තිබු ඩොලර් මිලියනයක් සොයාගැනීමට ඔහු සමත් විය. මේ මුදල බ්‍රසීලය සහ එක්සත් ජනපදය ඇතුළු සාමාජික රටවලින් ලැබුණ පරිත්‍යාගයන් විය. පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව (PASB) හි දැවැන්ත ආදායම් සහ වියදම් එම සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය තුළට අවශෝෂණය කර ගැනීමට බාධාවක් ලෙසින් එතරම් විශාල මුල්‍ය සම්පත් නොතිබූ ලෝක සෞඛ්‍ය සංවිධානයට වැටහිණි. පසුව 1949 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව (PASB) සමග ගිවිසුමක් ඇති කරගනිමින් ලතින් ඇමෙරිකන් කලාපය තුළ සැළකිය යුතු ස්වාධීනත්වයක් සහිතව කලාපීය සංවිධානයක් ලෙස සිය කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දුනි. අනතුරු එය විසින් ඉක්මණින්ම ලතින් ඇමෙරිකානු රාජ්‍යයන්ට සුවිශේෂි වූ ආයතනයක් ලෙස සිය අනන්‍යතාව ගොඩනගා ගැනීමට සමත් විය. සොපර් ඔහුගේ අනම්‍යශීලි පූර්වගාමියා මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට විරුද්ධ වූවෙකු නොවීය. නමුත් ඔහු විසින් භාවිතා කළ උපක්‍රම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය භූගෝලීය වශයෙන් සංවිධානය වූ කලාපීය කාර්යාලවල එකතුවක ආකාරයක් ගත් කේන්ද්‍රගත නොවූ ව්‍යුහයක් සහිත සංවිධානයක් බවට පත් විය. මෙම කලාපීය සංවිධාන අතර ප්‍රබලතම සහ ධනවත්ම සංවිධානය සොපර්ගේ පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව (PASB) වූ අතර එමගින් ඔහු අති විශාල බලයක් සියතට ගත්තේය.

මෙම වර්ධනයන් සැළකිල්ලට ගත් රොකෆෙලර් පදනම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විධිමත් ලෙස සබඳතා පැවැත්වීමේදී පරිස්සම් සහගත විය. එනම් එය ආධාර කරන අතරම එය තුළ තමන්ට ඇති බලපෑම සැඟවීමට වෑයම් දරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවීම සඳහා 1946 දී නිව්යෝර්ක් හි පැවැත්වුණු ජාත්‍යන්තර සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වූ අයගෙන් විශාල සංඛ්‍යාවක් දෙනා රොකෆෙලර් පදනමට අයත් ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය (IHD) යටතේ කටයුතු කළ සෞඛ්‍ය නිලධාරින් වූහ. නමුත් රොකෆෙලර් පදනම සෘජු ලෙස මැදිහත් නොවීය. නමුත් රොකෆෙලර් සාමාජිකයෝ ඒ වෙනුවට 1946 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විධිමත් ලෙස පිහිටුවීමට පෙර සිටම තමන් දශක ගණනාවක් තිස්සේ හුරුපුරුදුව සිටි ක්‍රමය, එනම් තිරය පිටුපස සිට මෙහෙයවීම ආරම්භ කරමින් තමන් ට සම්බන්ධ පුද්ගලයන් මෙහෙයවූහ.

වෛද්‍ය තෝමස් පරාන් – 1946 ජාත්‍යන්තර සෞඛ්‍ය සම්මේලනයේ සභාපතිවරයා විය

.

බ්‍රොක් චිෂොල්ම්- කැනේඩියානු වෛද්‍යවරයෙකු වූ චිෂොල්ම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස 1948-53 කාලය තුළ සේවය කළේය
රේමන්ඩ් බී ෆොස්ඩික්, රොකෆෙලර් පදනමේ සභාපතිවරයා ලෙස 1936 සහ 48 කාලය තුළ කටයුතු කළේය
.

 

 

 

 

 

 

 

 

 

1947 දී රොකෆෙලර් පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ජෝන් ග්‍රාන්ට් විසින් රෝග වැළැක්වීමේ ඖෂධ සහ සෞඛ්‍ය ආර්ථිකය පිළිබඳ සමුළුවේ වාර්තාවන් කොමිසමේ විධායක ලේකම්වූත් , මනෝ චික්ත්සක සහ කැනඩාවේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා වූත් බ්‍රොක් චිෂොල්ම් වෙත දැඩි උනන්දුවකින් යුතුව යවන ලදි. රොකෆෙලර් පදනම සමග එතරම් පූර්ව ගනුදෙනුවක් නොතිබූ චිෂෝල්ම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක පිළිබඳ තමා තුළ වන මඳ අවබෝධය ප්‍රකාශ කළ නමුත් ග්‍රාන්ට්ගේ දායකත්වය නිල හෝ පුද්ගලික මට්ටමින් පිළිගත්තේය. එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානය සාමාජිකත්වය ගැනීම අවිනිශ්චිතව පවතින විට ග්‍රාන්ට් විසින් සිය අදහස් චිෂොල්ම් හරහා ක්‍රියාත්මක කරවීමට උත්සාහ දරන ලදි. උදාහරණයක් ලෙස ඇමෙරිකානු මහජන සෞඛ්‍ය සංගමය විසින් සෞඛ්‍ය සේවා බියුරෝවක් ස්ථාපිත කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත කර තිබුණ නිර්දේශය ග්‍රාන්ට් විසින් දිරිමත් කරන ලදි. අවිධිමත් ඉල්ලීමක් ලෙස වුව ද ග්‍රාන්ට්ගේ මෙම උත්සාහය නිර්භීත එකක් ලෙස දැකිය හැක්කේ ජාතික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ගැන එක්සත් ජනපදය තුළ මේ අවදියේ පැවැති රළු සංවාදය සැළකිල්ලට ගන්නා විටය. රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සම්බන්ධයේ වැදගත් පුරුකක් වූ ග්‍රාන්ට් විශ්වීය සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් සහ චීන පාරම්පරික ප්‍රජා ප්‍රතිකාර ක්‍රම යන දෙකම වෙනුවෙන් පෙනී සිටීමට යාම මගින් සිය පදනම් පරදුවට තැබීය. එමෙන්ම එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්වීම පිළිබඳව එක්සත් ජනපද කොංග්‍රසයේ විවාදයක් ද  රොකෆෙලර් පදනම විසින් ඉල්ලා සිටියේය.

ජාතීන්ගේ ලීගයට සම්බන්ධ නොවීම මගින් සිදු කළ වරද නැවත සිය රට විසින් සිදු කරනු ඇතැයි බියවෙමින් එක්සත් ජනපදයේ සම්භාවනීය ශෛල්‍ය වෛද්‍යවරයෙකු වූ තෝමස් පරාන්( ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ තනතුරට යෝජනා වීමට නියමිතව සිටි) විසින් 1947 ජූනි 17 වැනි දින සෙනේට් මණ්ඩලය හමුවේ උද්වේගකර ප්‍රකාශනයක් සිදු කළේය.

“රොකෆෙලර් පදනමේ සභාපති රේමන්ඩ් ෆොස්ඩික් විසින් සෞඛ්‍ය වූකලී ජාත්‍යන්තර සම්බන්ධතාවන් සහ සහයෝගීතාව තුළ එක්සත්භාවය මුණ ගැසෙන ස්ථානය යැයි අර්ථකතනය කර තිබේ. සෞඛ්‍ය පිළිබඳ අවශ්‍යතාව විසින් නියෝජනය කරනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සඳහා බෙහෙවින් ඵලදායක ක්ෂේත්‍රයන්ය. එක් ජාතියක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දේ දිනාගන්නා විට එය විසින් අනෙකුත් ජාතියකින් කිසිවක් උදුරා නොගනියි. සෞඛ්‍ය අවශ්‍යතා තුළ එකට වැඩ කළ හැක්කේ කෙසේ දැයි ඉගෙන ගන්නා පාඩම වෙනත් වඩාත් අසීරු ක්ෂේත්‍රවලදී වැදගත් වටිනා කමක් හිමිකරගනු ඇත.”

මෙම යුගයේදී රොකෆෙලර් පදනම සිය කටයුතු සැලසුම් කළේ පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ සෝවියට් සංගමය ප්‍රමුඛ සමාජවාදි කඳවුර සහ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනවාදි කඳවුර අතර පැවැති සීතල යුද්ධයට ගැලපෙන පරිදිය. රොකෆෙලර් පදනමේ වෛද්‍ය විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්ෂ රොල්ෆ් ස්ටෘතර්ස් මෙසේ වාර්තා කළේය.

“තෝමස් පරාන් පත් කළ යුතු යැයි එක්සත් ජනපදය අවධාරණය කළේ නම් රුසියාව සම්බන්ධ නොවනු ඇති අතර එවිට එය ලෝක සෞඛ්‍ය සංවිධානයක් නොවනු ඇත.”

තෝමස් පරාන් ගෞරවනීය සෞඛ්‍ය නායකයෙකු ලෙස සැළකුණ ද මෙම ගැටළුව විසින් එනම් “පරාන් හට පුළුල් සහයෝගයක් හිමි නොවීමේ තත්ත්වය” හේතුවෙන් රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ (IHD) අධ්‍යක්ෂ ජෝර්ජ් සට්‍රෝඩ් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු අධ්‍යක්ෂ ධූරය සඳහා චිෂොල්ම්ට සහාය පළකිරීම ට යොමු විය. චිෂොල්ම් ගේ නායකත්වය තුළ කාර්යක්ෂ්මතාව පිළිබඳ ගැටළු පැවතියද ඔහුගේ “අවංක බව, අවබෝධය සහ දැඩි උනන්දුව” ස්ට්‍රෝඩ්ගේ පැසසුමට ලක් විය.

ඉරාකයේ ගංගාවක වතුර රැඳී ඇති ස්ථානයක මදුරු කීට වර්ග වර්ග නිර්ණය සඳහා සාම්පල ලබාගන්නා සෞඛ්‍ය නිලධාරින් පිරිසක්

1948 මාර්තු 12 වැනි දින එක්සත් ජනපද සෙනේට් මණ්ඩලය විසින් එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්වන්නේ ද නැද්ද යන්න ගැන තීරණය කිරීමට සෙනේට් සාමාජිකයන්ගේ ඡන්දය විමසන ලදි. මෙම කරුණ ගැන ඡන්දය විමසීමක් මගින් තීරණය කිරීමට යාම ගැන එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය නායකයෝ ලජ්ජාවට පත් වූ අතර සිය අසතුට පළ කළහ. කෙසේ වුවද 1948 අප්‍රේල් මස 07 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය බිහිවීමෙන් මාස තුනකට පසුව එනම් 1948 ජූලි මස දී එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් විය. මෙම එක් වීම සඳහා එක්සත් ජනපදය පනවනු ලැබූ එක් කොන්දේසියක් වූයේ මාසයක් කල් තබා දැනුම්දීමකින් පසුව ඒකපාර්ශ්විකව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට එය සතුව අයිති තිබිය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් ඇතුළු කිරීමයි. සරදමකට මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය සඳහා එක්සත් ජනපදය යෝජනා කළේ සෝවියට් සංගමයේ නියෝජිතයන් විසිනි. කෙසේ වුවද 1949-56 කාලසීමාව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වූයේ සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල් මිසෙක එක්සත් ජනපදය නොවේ.

එක්සත් ජනපදයේ සාමාජිකත්වය තහවුරු වීමත් සමගම රොකෆෙලර් පදනම ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ සිය සැලසුම් ක්‍රියාවට නැංවීම ආරම්භ කළේය. 1948 දී පැවැති පළමු ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී (World Health Assembly -WHA) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ලෙස චිෂෝල්ම් පත් කරන ලදි ලෝක සෞඛ්‍ය සම්මේලනය “අපගේ කැමැත්ත දිනාගන්නා පරිදිම දේවල් සිදු කළා ” යැයි ෆ්‍රෙඩ් සොපර් සිය අදහස් පළ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය කාර්යාලවල අඩුපාඩුකම් ගැන සහ යටත් විජිත ආණ්ඩු විසින් මතුකරන බාධාවන් පිළිබඳව පැවැති සංවාද ගැන පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝවේ අධ්‍යක්ෂවරයා ලෙස සොපර් විසින් සඳහන් කර ඇත . ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය වශයෙන් බෙදන ලෙස ලෙස බලකරමින් සොපර් සහ එක්සත්
ජනපදය විසින් ඉටු කරන ලද භූමිකාව ද, එය සාර්ථකවීම ගැන සොපර් ගේ තෘප්තිමත් ප්‍රකාශයන්ද සැළකිල්ලට ගන්නා කළ මෙය අවංක නොවන නිරීක්ෂණයක් ලෙස පෙනී යයි.

“ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ  (IHD) කාර්ය මණ්ඩලය මෙන් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයට
ක්ෂේත්‍රය තුළ බිම් මට්ටමේ දැනුමක් නොමැතිවීම” ඉක්මණින්ම ස්ට්‍රෝඩ්ගේ සැළකිල්ලට ලක්විය.
මහජන සෞඛ්‍ය පිළිබඳ චිෂොල්ම්ගේ පුහුණුව මඳකම සහ පසුබිම පිළිබඳව තම අඛණ්ඩ සැකය පවතිද්දීම වුව ද සොපර් විසින් පුද්ගලිකව ඔහුව ආරක්ෂා කරන ලදි. සොපර් වරෙක මෙසේ පැවසීය
“චිෂොල්ම් සෑම විටෙකම දේශපාලන පීඩනයට එරෙහිව නැගී සිටියේය.”
අභිනවයෙන් බිහිවූ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිබඳව රොකෆෙලර් පදනම විසින් පවත්වාගෙන ගිය සියුම් විපරම් කටයුතු සමග එක්ව කටයුතු කිරීම රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ අනාගත ඉරණම විය. මෙයට පෙර වරෙක ජෝන් ග්‍රාන්ට් සඳහන් කර තිබූ පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන අවධානය යොමුව තිබුණේ මැලේරියා, ක්ෂය රෝගය, ලිංගාශ්‍රිත රෝග,මාතෘ සහ ළමා මරණ, පෝෂණය, පාරිසරික සනීපාරක්ෂාව ආදියයි. මෙම ක්ෂේත්‍රයන් රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ (IHD) ද උනන්දුව හිමිව තිබූ ක්ෂේත්‍රයන්ය.
අවසානයේදී සියල්ලන් අපේක්ෂා කළේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය  (IHD) මෙම ක්ෂේත්‍රවල කරමින් සිටි කටයුතු ක්‍රමානුකූලව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත භාර දෙනු ඇතැයි යනුවෙනි.
බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍රව සිටි රොකෆෙලර් පදනමේ මැලේරියාව පිළිබඳ විශේෂඥයෙකු වූ පෝල් රසල් මෙයට එකඟවූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියාවට ප්‍රමුඛතාව දී තිබූ බැවිනි.
“වැඩ එකිනෙක පැටැලීම සහ දෙතුන්වරක් සිදුවීම මේ අනුව අපේක්ෂා කළ යුතුය”
ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව කරමින් සිටි අතර වැඩ භාර දීම ඒ ඒ ක්ෂේත්‍රයන් තුළදී පෝල් රසල්ගේ පසුබිම් සහායද ඇතිව සිදු විය.
1948 ඔක්තෝබරයේදී පැවැත්වුණු ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ (IHD) විද්‍යා අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධාන හමුවකදී ස්ට්‍රෝඩ් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය කටයුතු ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය (IHD) මත පදනම්ව සිදුකිරීමේ ප්‍රතිඵල පිළිබඳව කරුණු වශයෙන් ප්‍රශ්න කළේය. භාරකාර පාර්ශ්වයන්ට අවශ්‍යවූයේ රොකෆෙලර් පදනමේ මහජන සෞඛ්‍ය වැඩසටහන සුරක්ෂිත කිරීමටය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබුණේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යංශය (IHD) සතුව පැවැති දැනුම භාවිතයේ යෙදීම මෙන්ම එහි සහාය සහිතව නව දැනුම ලබාගැනීමට කටයුතු කිරීම ද කෙරෙහිය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දියුණු රටවල ජනතාවන් භුක්ති විඳින සෞඛ්‍ය වරප්‍රසාද තම තමන්ගේ රටවල ජනතාවටද ලබාදීම සඳහා ලෝකය පුරා ආණ්ඩුවලට සහාය වනු ඇත. එහෙයින් අදාළ වැඩ සටහන් සිදුකිරීමේ දී තරඟකාරිත්වය වෙනුවට ඒවා පරිපූර්ණව සිදු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ  (IHD)) නිලධාරින් සමීපව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පැහැදිලිය.” යි ස්ට්‍රෝඩ් තර්ක කළේය.

වෛද්‍ය පෝල් එෆ් රසල් 1894-1983 මැලේරියා රෝගය පිළිබඳ විශේෂඥයෙකි
ජෝර්ජ් සට්‍රෝඩ් – රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ (IHD) අධ්‍යක්ෂ
ඇලන් ග්‍රෙග්
.

 

 

 

 

 

 

 

 

ඔහු විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය “ හෘදයංගමව“ පිළිගනු ලැබූ අතර සංවිධාන දෙකෙහි උනන්දුව යොමුව ඇති ක්ෂේත්‍රයන් සම්බන්ධව ගැටුමක් ඇතිවීම ප්‍රතික්ෂේප කරන ලදි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉඩ දෙමින් සමහර ක්ෂේත්‍රවලින් ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ (IHD) කටයුතු ඉවත් කරගත් අතර නව ක්ෂේත්‍රයන් සඳහා යොමු වීමට සැලසුම් කළේය. නමුත් ඔහු පැවසුවේ බොහෝ ක්ෂේත්‍ර තුළ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ  (IHD) කටයුතු නතර කිරීම “නුවණට හුරු නැති බව“යි.

මූලික සංකල්ප සහ පළමු ආදර්ශය සපයන ලද ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව නොමැතිවූයේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැත්මට ඒමට ඉඩක් නොතිබිණි යැයි අවධාරණය කරමින් විද්‍යා අධ්‍යක්ෂවරුන් ස්ට්‍රෝඩ් හා එකඟවූහ. එසේ වුව ද ඔවුහු ස්ට්‍රොඩ්ගේ ශුභවාදය බැහැර කළේ නැත.
1951 දී ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය (IHD) විසුරුවා හරින ලදි. එහි ක්‍රියාකාරකම් අර්ධ වශයෙන් රොකෆෙලර් පදනමේ නව සෞඛ්‍ය අංශය වූ වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්යාංශය ( Division of Medicine and Public Health – DMPH) වෙත අවශෝෂණය කර ගන්නා ලදි. මෙම නව කාර්යාංශයේ ප්‍රධානියා වූයේ විසුරුවා හරින ලද ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ  (IHD)ජ්‍යෙෂ්ඨයෙකු වූ ඇන්ඩෘ වොරන්ය. 1954 වන තෙක් වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්යාංශය (DMPH) විසින් අවධානය යොමු කළේ වෘත්තීය අධ්‍යාපනය, සෞඛ්‍ය සුබසාධන ප්‍රතිපත්ති, සහ සෞඛ්‍ය විද්‍යාවේ සංවර්ධනය ආදි ක්ෂේත්‍රවලට එය යොමූ වූ අතර සහ ෂිස්ටොසොමයාසිස් නම් පරපෝෂිත පනු රෝගයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග කටයුතු කරන ලදි.

ස්වාධීන ආයතනයක් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ථාපිතවීම සැකයකින් තොරවම දැඩි වේගයකින් සිදු විය. ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අවකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් සෙසු නව සංවිධාන විසින් ද ඇමෙරිකාවේ “කරුණු 4 සංවර්ධන වැඩසටහන( American Point IV development programs)” සහ බ්‍රිතාන්‍ය යටත් විජිත සුබසාධක ක්‍රමය යනාදිය විසින් ඉක්මණින්ම අල්ලා ගන්නා ලදි. රොකෆෙලර් පදනම විසින් ද තමන්ගේ ම අරමුණු සහ ඉලක්ක මහජන සෞඛ්‍ය වෙතින් කෘෂිකර්මය(හරිත විප්ලවය) සහ ජනගහන පාලනය යනාදි ක්ෂේත්‍ර කරා වෙනස් කරගන්නා ලදි. රොකෆෙලර් පදනම විසින් මෙම සැලසුම් දැඩි සුපරීක්ෂාවකින් යුතුව සීතල යුද්ධයට ගැලපෙන පරිදි රාමුගත කළ අතර දැන්
එම කරුණු එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන වැදගත් සාධක ලෙස සැළකේ.

ප්‍රංශ කැමරූන්හි මැලේරියා මර්දන ව්‍යාපාරයේ සේවකයන් පිරිසක්

සොපර් දිගටම සිටි ස්ථාවරය වූයේ මැලේරියා සහ අනෙකුත් බෝවෙන රෝග වලට එරෙහි ගෝලීය ව්‍යාපාරය සඳහා පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝව (PASB)සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පවතින්නාක් බඳු වූ අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගයක් පැවතිය යුතු බවයි. රොකෆෙලර් පදනම සෑම විටෙකම වැඩ කළේ ද්විපාර්ශ්විකවය. මැලේරියා වාහක මදුරුවා විනාශ කිරීමේ සිය අරමුණ ඉටුකරගැනීම සඳහා විශාල පරිමාණයේ සම්පත් ප්‍රමාණයක් සහ බහුපාර්ශ්වික සංවිධානයකට පමණක් සැපයිය හැකි සම්බන්ධීකරණයක් අවශ්‍යවන බව සොපර් සිය අත්දැකීමෙන්ම දැන සිටියේය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1955 දී දියත් කළ මැලේරියා වාහක මදුරුවා විනාශකිරීමේ ව්‍යාපාරයේ අත්‍යාවශ්‍ය චරිතයක් බවට සොපර් පත්වීමට නියමිතව තිබිණි. කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුන් ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය වසා දමනවාට විරුද්ධ වූ අතර ඇතැමුන් උපදෙස් දුන්නේ රොකෆෙලර් පදනම කොකුපණු රෝගය පාලනය කිරීමේ සිය ආරම්භක වැඩසටහන් වෙත යොමු විය යුතු බවයි. තවත් සමහරුන් ගේ නිර්දේශය වූයේ මිත්‍රශීලි නමුත් දුරස්ථ සම්බන්ධයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පවත්වාගෙන යා යුතු බවයි.

ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ  (IHD) යාවජීව නිලධාරියෙකු වූ මාර්ෂල් බැල්ෆෝර් ගේ අදහස වූයේ

“ලෝක සෞඛ්‍ය සංවිධානය කෙරෙහි අප විසින් උඩඟු බවකින් යුතු ආකල්පයකින් කටයුතු කරනු ලැබීම ඥානාන්විත හෝ යුක්ති සහගත දෙයක් යැයි මම නොසිතමි. ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් සහ ප්‍රතිපත්ති අනුමත කිරීමකින් තොරව අප ඔවුන්ට සදාචාරමය සහායක් දෙමින් සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාව සහ කීර්තිනාමය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය” යන්නයි.

වෙනත් සංවිධානවලට වඩා ආණ්ඩු හෝ අනෙකුත් ආයතන සමග සෘජුව ගණුදෙනු කිරීමේ රොකෆෙලර් පදනමේ ප්‍රතිපත්තිය වෙනස් නොවී පැවතිණි. එමෙන්ම රොකෆෙලර් පදනම තාමත් මේ සියළු තැන්වල පැවතිණි.

දශක තුනක් පුරා දකුණු ඇමෙරිකාවේ සහ ඉතාලියේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ  (IHD) වැඩ බැලූ ලෙවිස් හැකට් සඳහන් කර ඇති අන්දමට

“අඩුවැඩි වශයෙන් සියලු ජාත්‍යන්තර සංවිධාන විසින් භාවිතා කරනු ලබන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය (IHD) විසින් පළමුවරට නියාමකත්වය දුන් ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම්ය. මෙම අනෙකුත් සංවිධාන විසින් උරුම කරගෙන ඇත්තේ ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය (IHD) පුද්ගලයන්, සම්බන්ධතා, ප්‍රවේශයන් සහ උපකරණය.”

මෙම ස්ථාවරයට ස‍ෙසු අයගේ එකඟතාව හිමිවිය.

“ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන ලද දේවල් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පදනම බවට පත් වී තිබේ.“

ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශයේ වියැකියාම ගැන 1950 රොකෆෙලර් පදනමේ වාර්ෂික වාර්තාවේ වන පහත සඳහන එක්තරා ආකාරයක ස්වාභිමතාර්ථසාධක අනාවැකියකි.

“වර්තමානයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කලාපීය සහ ජාතික සංවිධාන ගණනාවක සහාය සහිතව සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කය ගෝලීය පරිමාණ දෙයක් බවට පත්කර තිබේ.”

1950 ගණන් වලදී රොකෆෙලර් පදනම උපදෙස්  උපදෙස් සැපයීමට සීමා වූ විශ්‍රාමික අධිරාජයෙකු ලෙසින් දිස් විය. එය දැන් පෙර මෙන් දෛනිකව බලය විදහාපාන සංවිධානයක් නොවූ අතර තිරය පිටුපස සිට විවිධ ආකාරයෙන් කටයුතු කරමින් තීරණාත්මක කාර්යයක් ඉටු කළ සංවිධානයක් බවට පත් විය. ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අපේක්ෂිත අවසානයත් සමගම රොකෆෙලර් පදනමේ සටෘතර්ස් ජීනිවා නුවර සතියක් ගතකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ
“පුද්ගලික තොරතුරු වෘත්තිමය දක්ෂතාවන්” දැන හඳුනාගැනීමට කටයුතු කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පරිපාලකයන්ගේ දැඩි උනන්දුවට ලක් වූ කරුණක් විය.

“එකම කාර්යය නැවත නැවත කිරීමේ දෝෂය සිදුවීම වැළැක්වීම සඳහා ද ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුකිරීමට නොහැකි දේවල් රොකෆෙලර් පදනම ලබා ඉටුකරවාගැනීමද සඳහා චිෂොල්ම් විසින් රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සමීප සහයෝගීතාවක් ගොඩ නැංවීමට උනන්දුවන අතර අපගේ දීර්ඝකාලීන අත්දැකීම් සහ ඉලක්ක සහ ස්වාධීන දැක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින්ගේ ඇගයීමට ලක්ව තිබේ.” යි ස්ටෘතර්ස් සඳහන් කරයි.

වෛද්‍ය රාජ්කුමාරි අම්රිත් කොවුර් 3 වන ලොක් සෞඛ්‍ය සම්මේලනයේ සභාපතිනිය 1950
මිල්ටන් අයි රෝමර්
.
මාර්කොලිනෝ ගෝමස් කන්දාවු 1972- ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති 1953-1973

 

 

 

 

 

 

 

 

විශේෂයෙන් 1950 දී රොකෆෙලර් පදනමේ නිලධාරින් විශාල සංඛ්‍යාවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුවල සේවය කිරීම සඳහා ආරාධනා කෙරිණ. එමෙන් ම ඉතා පසු දශකවලදී ද අහඹු ලෙස සහ නිරතුරුව එය සිදු විය. ජාත්‍යන්තර සෞඛ්‍ය කාර්යාංශය විසුරුවා හැරීමෙන් පසුව එහි සේවය කළ රොකෆෙලර් පදනමේ කාර්ය මණ්ඩලය තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුවලට එක්විය යුතුදැයි විපිලිසර වූයේ ඒ වනවිට අදාළ ක්ෂේත්‍රයන් තවදුරටත් රොකෆෙලර් පදනමේ උනන්දුව හිමිවූ ඒවා නොවූ බැවිනි. එසේ වුව ද වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (DMPH) වොරන් ඔවුන් වෙත සහතික වූයේ එවැනි තනතුරු සම්බන්ධතා නඩත්තු කිරීම සඳහා වැදගත් වන බවයි. නිදසුනක් ලෙස මැලේරියා මර්දන කටයුතු වැනි ක්ෂේත්‍රයන්හිදී එය වැදගත් බව සැලකිණ. හෙදකටයුතු සඳහා වන විශේෂඥඋපදේශක කමිටුවේ සාමාජිකත්වය සඳහා රොකෆෙලර් පදනමේ හෙදියන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණ අතර තවත් අයෙකුට කහ උණ මර්දන කටයුතු පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකත්වය සඳහා 1954 දී ආරාධනා කෙරිණි.
රොකෆෙලර් පදනම 1950 ගණන්වලදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව සම්මන්ත්‍රණ පැවැත් වූ අතර සනීපාරක්ෂක ඉංජිනේරු වැනි විෂයයන් සම්බන්ධ විද්‍යාඥයන්ගේ ගමන් වියදම් දරමින් සහාය දෙන ලදි. රොකෆෙලර් පදනමේ විශේෂඥ සහාය සඳහා කෙරුණු ඉල්ලීම් සළකා බැලුණේ දැඩි පරීක්ෂාකාරී බවකින් යුතුවය. 1948 දී රොකෆෙලර් පදනමේ මැලේරියාවේදී පෝල් රසල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මැලේරියා ප්‍රදර්ශන වැඩ සටහනකට ලතින් ඇමෙරිකානු රටක් නම් කිරීමට මැළි විය ඒ සොපර් විසින් “අමාරු වැඩ නොකර සිටීමට“ උපදෙස් දෙනු ඇතැයි අවධාරණය කරමිනි. වසර කීපයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසර 2ක් සඳහා මැලේරියා මර්දන උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට රසල් හට ආරාධනා කරන ලදි. මෙම රාජකාරිය වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (DMPH) වොරන් විසින් ඉතා කැමැත්තෙන් රසල් හට පවරන ලද අතර අරාධනය පැමිණ තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙනි.

වෛද්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සහ ප්‍රජා සෞඛ්‍ය සහ සංවර්ධනය යන ක්ෂේත්‍ර තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දියත් කර තිබූ ඇතැම් වැඩසටහන් තුළ රොකෆෙලර් පදනමේ සමහර අනුකණ්ඩායම් කටයුතු කළහ. චිෂොල්ම් යටතේ ප්‍රබල ජවයකින් යුතුව දියත් කරන ලද සමාජ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සඳහා වූ මෙම සහයෝගීතාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග මර්දන කටයුතු ද පුළුල් කරන ලදි.රොකෆෙලර් පදනමේ ජෝන් ග්‍රාන්ට් 1952 දී පැවැත්වුණු වෘත්තික සහ තාක්ෂණික අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ කමිටුව රැස්වීමට ද 1950 ගණන්වලදී මහජන සෞඛ්‍ය පිළිබඳව පැවැති විශේෂඥ රැස්වීම් ගණනාවකටද “නිරීක්ෂකයෙකු“ ලෙස සහභාගි විය. රොකෆෙලර් පදනමේ උප සභාපති ඇලන් ග්‍රෙග් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ
විශේෂඥ මණ්ඩලය තුළ 1952 දී සේවය කළේය. එමෙන්ම ඔහු විසින් ස්ටෑම්පර් සහ සීගෙරිස්ට් වැනි රොකෆෙලර් පදනමේ සහයෝගය ලබමින් සිටි සමාජ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ වාමාංශික විශේෂඥයන් සහිත විශේෂඥ මණ්ඩල කීපයකද සාමාජිකත්වය දරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු සුඩානයේ ගොන්ඩර් මධ්‍යස්ථානයේදී හෙදි පුහුණු වැඩසටහනක

මෙම විද්වත් මණ්ඩල විසින් සකස් කරන ලද වාර්තාවලින් ඉතා ප්‍රබල ලෙස නිර්දේශ වූයේ හුදෙක් සායනික ප්‍රතිකාර ක්‍රම වෙත පටු ලෙස අවධානය යොමු කරනවා වෙනුවට ප්‍රජා මූලික සහ සමාජ ශුභසාධනය මත පදනම් වූ සංයුක්ත සහ පුළුල් ප්‍රවේශයක අවශ්‍යතාවයයි. මෙම කරුණ ගැන වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්යාංශයේ කාර්ය මණ්ඩල සාමාජික (DMPH) ජෝන් මයර් සඳහන් ක‍ළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රොකෆෙලර් පදනම යන දෙකම සමාන උභතෝකෝටිකයකට මුහුණ දෙමින් සිටින බවයි. සිය නායකයන්ට වඩා දේශපානික රැඩිකල් බවක් දැක්වුව ද ස්ටෑම්පර්ඩ් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සනීපාරක්ෂාව, රෝග වැළැක්වීමේ ප්‍රතිකාර සහ සමාජ වෛද්‍ය විද්‍යාව පිළිබඳ යුරෝපීය අධ්‍යයන උපාධි පුහුණු සම්මන්ත්‍රණයකදී වැළැක්වීමේ ප්‍රතිකාර සහ සුවකිරීමේ ප්‍රතිකාර එකිනෙකින් වෙන්කිරීම සහ එකිනෙකට එරෙහිව පිහිටුවීමෙන් මතුවන දුෂ්කරතා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු වෛද්‍ය විද්‍යාල “සෞඛ්‍ය පිළිබඳ විද්‍යාල“ ලෙස නම් කරන ලෙස ද යෝජනා කර සිටියේය.

1950 ගණන්වල මුල්භාගයේදී රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සහයෝගීතාවෙන් පවත්වාගෙන ගිය සමාජ වෛද්‍ය විද්‍යාත්මක උත්සාහයන්ගේ ප්‍රධාන කුළුණක් වූයේ ග්‍රාන්ට්ය. 1951 දී ඔහු විසින් තම “ වෛද්‍ය ප්‍රතිකාර සංවිධානය සඳහා ජාත්‍යන්තර සැලසුම“ නිල පත්‍රිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක සේවා දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කරන ලදි. එමගින් සිය නිර්දේශ අදාළ විශේෂඥ මණ්ඩල වෙත ඉදිරිපත් කරන ලදි. මෙම කෘතිය විසින් ප්‍රාදේශීයකරණය ලද සෞඛ්‍ය පද්ධති සහ ග්‍රාමීය සෞඛ්‍ය කමිටුවල වැදගත්කම අවධාරණය කරන ලදි.

මෙම වසරේ පසු භාගයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ග්‍රාන්ට් ව ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රජා සංවිධාන සහ සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ පර්යේෂණ මෙහෙයුමක් සඳහා වූ ත්‍රි පුද්ගල කාර්ය මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස නම් කරන ලදි. මෙම පර්යේෂණ මෙහෙයුමට අරමුදල් සපයන ලද්දේ රොකෆෙලර් පදනම විසිනි.

මෙම පර්යේෂණයේ අරමුණ වූයේ ග්‍රාන්ට්ගේ යෝජනාවක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය  (ළමුන් සඳහා වන එක්සත් ජාතින්ගේ හදිසි ජාත්‍යන්තර අරමුදල- United Nations International Children’s Emergency Fund- UNICEF) සහ එක්සත් ජනපද ආණ්ඩුව අතර සහයෝගීතා වැඩපිළිවෙළක් මගින් අග්නිදිග ආසියාතික රටවල් පුනරුත්ථාපනය සඳහා ඇති හැකියාව සොයා බැලීමටයි. මේ යටතේ ප්‍රජා වැඩ සටහන්වල ආර්ථික සහ සමාජීය පැතිකඩ , ස්වයං ආධාරක උත්සාහයන් ආදිය අධ්‍යයනය කරමින් කොමියුනිස්ට් වාදය ව්‍යාප්තවීම වැළැක්වීමේ උපක්‍රමයේ කොටසක් ලෙස ඒවා යොදාගත හැකි අයුරු සැළකිල්ලට ගැනිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය ද ග්‍රාන්ට්ගේ සේවය ලබාගැනීමට දැඩි උනන්දුවක් දක්වන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුරෝපයේ නව සමාජ සුබසාධන නීති අධ්‍යයනය සඳහා ස්වීඩනය, ස්කොට්ලන්තය සහ බෙල්ජියම යන රටවල් තුනේ අධ්‍යයන චාරිකාවක නිරත වීමට ආරාධනා කරන ලදි. මේ සඳහා ඔහුට රොකෆෙලර් පදනම විසින් ඩොලර් 50000ක් ගෙවන ලදි. ග්‍රාන්ට් රයිලිගේ නීරීක්ෂණය වූයේ මෙම රටවල් බොහෝ දියුණු මට්ටමක පවතින බවත් එහෙයින්ම වර්ධනයක් සඳහා ඇත්තේ ඉතා අඩු අවකාශයක් බවත්ය.

පූර්ව විප්ලවීය වියට්නාමයේ BCG එන්නත්කරණ වැඩසටහන

1950 ගණන්වල මැද භාගයේදී රොකෆෙලර් පදනමේ නායකයෝ විශ්වාස කළේ රොකෆෙලර් සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියලු රැස්වීම් තුළ නියෝජනය වීමට අවශ්‍යතාවක් නැති බවයි. ඒ වෙනුවට යහපත් සම්බන්ධතාවක් සහ සහේතුක ලෙස සමීප සම්බන්ධතා විධියක් පවත්වාගෙන යායුතු බවයි. මෙලෙස සම්බන්ධතාවන් තුලනය කිරීම යනු අතිශය සමීප සම්බන්ධයක් පවත්වා නොගනිමින්ද අනවශ්‍ය ලෙස දුරස්ථ කර නොගනිමින්ද සම්බන්ධතාව පවත්වාගැනීම විය.

ඉතා ඉක්මණින්ම රොකෆෙලර් පදනමේ විශේෂඥයන් වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එවනු ලබන ආරාධනා කිරීම්
නැවතිණි.

“ඔන්කොසෙරසියාසිස් රෝගය සම්බන්ධ සුවිශේෂිත ගැටළු පිළිබඳ දැනුමක් ඇති අය අප අතර නොවීම හේතුවෙන් අප විසින් සම්මන්ත්‍රණය නියෝජනය කිරීමට අසමත් වීම එහි ඵලදායි බවට හානියක් නොවන බවට මට සහතිකය.”

සිය සම්පත් වෙනත් තැන්වල යෙදවීමට සිදු වීම නිසා රොකෆෙලර් පදනම නව දානපතියන් සෙවීමට කටයුතු කළේය. ඔවුහු මෙවැනි උත්සාහයන් මීට පෙර ද සිදුකර තිබුණි. 1949 දී ලෝක සෞඛ්‍ය සංවිධානයට නව ගොඩනැගිල්ලක් ගැනීම සඳහා රොකෆෙලර් පදනම විසින් යෝජනා කරන ලද්දේ ෆෝර්ඩ් පදනමෙන් ආධාර ඉල්ලා සිටින ලෙසයි. 1951 දී රොකෆෙලර් පදනම සහ කෙලොග් පදනම විසින් ඇමෙරිකන් ඩොලර් 150,000 බැගින් පොලී රහිත ණය මුදලක් ලෙස සපයන ලද්දේ පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝවට ප්‍රධාන කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීමටයි.
කෙලොග් පදනම රොකෆෙලර් පදනම විසින් දෙනු ලබන අධි ශිෂ්‍යත්ව වැඩ සටහන් සඳහා ද දායක විය. රොකෆෙලර් පදනමේ නියාමක අධි ශිෂ්‍යත්ව වැඩසටහනේ භූමිකාව සිදුවෙමින් පැවැති වැදගත් ක්‍රියාවලියක් විය. පළමුව ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව සමහර වැදගත් ක්ෂේත්‍රවල අධිශිෂ්‍යත්ව වැඩසටහන් අත්නොහැර සිටීමට වෑයම් කළහ. එම ක්‍ෂේත්‍ර ලෝක සෞඛ්‍ය සංවිධානයේ උනන්දුවට ලක් වූ ක්ෂේත්‍ර නොවීය. මක් නිසාද යත් ලෝක සෞඛ්‍ය සංවිධානය නැඹුරුව සිටියේ අධි ශිෂ්‍යත්ව සඳහා ක්ෂේත්‍ර සහ පුද්ගලයන් තෝරාගැනීම සාමාජික රටවලටම ඉඩහැරීමේ ප්‍රතිපත්තියක් වෙත බැවිනි.

ඇමෙරිකන් නොවන අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යත්ව වැඩ සටහන පවත්වාගෙන යාමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුදානම ගැන රෙකෆෙලර් පදනම විසින් ප්‍රශ්න කර තිබේ. මෙම ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සාධාරණීකරණය කළේ මෙම ආයතනවලට සහභාගිවන අතිවිශාල ශිෂ්‍ය සංඛ්‍යාව උපුටා දක්වමිනි. රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර මතුවූ තවත් ගැටළුවක් වූයේ රොකෆෙලර් සංවිධානයේ විශේෂ ව්‍යාපෘතීන් සඳහා පුහුණු කරන ලද විශේෂඥයන්ව පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “ හොරෙන් බඳවා ගැනීම“ ය. “ අන්‍යෝන්‍ය සැළකිල්ල සහ අසාමාන්‍ය අනුග්‍රහය“ සඳහා රොකෆෙලර් පදනම විසින් කරන ලද ඉල්ලීමේ අර්ථය වන්නේ රොකෆෙලර් පදනමේ සේවය සඳහා නියමිත පුද්ගලයන්හට ආකර්ෂණීය වැටුප් සහ දීමනා ලබා දී ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත බඳවාගැනීමෙන් වැළැකිය යුතු බවයි.
මෙම පුද්ගලික ප්‍රහාරයන් සහ දෝෂාරෝපණ චිෂොල්ම්ගේ දැඩි අවධානයට ලක් විය. මක් නිසාද ක්ෂේත්‍ර ව්‍යාපෘතීන් සඳහා රොකෆෙලර් පදනමේ ශිෂ්‍යත්වධාරීන් බඳවාගැනීමට කටයුතු කිරීමේ දී ඔහු විසින් රොකෆෙලර් ශිෂ්‍යත්ව නාම ලේඛණය භාවිතා කිරීමට අවසර ඉල්ලීමට කටයුතු කර තිබු බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘතීන් සැලසුම් කිරීමට තමන් සහභාගී නොවී ඒවාට අරමුදල් සැපයීමට රොකෆෙලර් පදනම කටයුතු කළේ නැත. පිලිපීනයේ මැනිලාහි සනීපාරක්ෂාව පිළිබඳ විද්‍යාලයේ ඉල්ලීමක් සම්බන්ධයෙන් වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්යාංශයේ (DMPH) අධ්‍යක්ෂ වොරන්හට ද නිශ්චිතවම ගැටළුවකට මුහුණ දීමට සිදු විය. “මට දැඩි ලෙස පැවසිය හැකි එකම දෙය අපි ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා හෝ වෙනත් මැදිහත්කරුවෙකු හරහා ක්‍රියාත්මක නොවන බවයි.” යි ඔහු විසින් සඳහන් කර ඇත.  කෙසේ වුව ද වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්යාංශය (DMPH) ඇමෙරිකන් ඩොලර් 20,000ක් ප්‍රදානය කළද ඒ ජොන් හොප්කින්ස් පීඨය වෙත සංචාරයක් සඳහා පමණි. 1952 දී ඔවුහු තව දුරටත් ඒකාබද්ධ ව්‍යාපෘතිවල නිරත නොවීමට අන්‍යෝන්‍ය
එකඟතාවකට පැමිණියහ. එසේ වුව ද පරපෝෂික කෘමී පාලනය සහ කෘමිනාශනය පිලිබඳ ජීව විද්‍යාත්මක පරීක්ෂණ කටයුතුවලදී සාපේක්ෂව සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට එකඟ වූහ. අනෙක් අතට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දියත් කර තිබූ ආදර්ශ ව්‍යාපෘතිවලින් තමන්ගේ ඇතැම් නිශ්චිත අධ්‍යයනයන් සඳහා වාසි ලබාගැනීමට රොකෆෙලර් පදනම කටයුතු කරන ලදි.

මෙම වෙනස් කම් තිබියදී වුව ලෝක සෞඛ්‍ය සංවිධානය ජීවනාලිය ලෙස රොකෆෙලර් පදනම දිගටම පැවතිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ වූ බොහෝ ඇමෙරිකානුවන් චිෂොල්ම් යටතේ ඇති වූ තත්ත්වයන් නිසා රොකෆෙලර් පදනමට තොරතුරු වාර්තා කළහ.සමහරුන්ට විමධ්‍යගත සංවිධානයක් අවශ්‍ය වූ අතර සමහරුන් විශ්වාස කළේ හෙන්රි සිගේරිස්ට් ජෝන් හොප්කින්ස් ආයතනයෙන් ස්වයං පිටුවහලකට එලැඹ නැවත ස්විට්සර්ලන්තයට ගියේ ජාතික සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව චිෂෝල්ම් මත එල්ල වූ අයථා බලපෑම් වලින් වෙහෙසට පත්වීම නිසා බවයි.

චීනයේ සමාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිරිපිට ග්‍රාන්ට්

මේ අතර ග්‍රාන්ට් සමාජ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමවල සංවර්ධනය ගැන සමීපව නිරීක්ෂණය කරමින් සිටියේය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වැඩ සටහන සම්බන්ධ කෙරෙන ඇගයීම ඉහළ යාම ගැන ග්‍රාන්ට් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය පැසසුමට ලක් කළේය. නමුත් තායිලන්තයේ තාක්ෂණික සහාය පිළිබඳ ඔහුගේ විවේචනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලය දැක්වූයේ ආරක්ෂාකාරී ප්‍රතිචාරයකි. ඒ ඔවුන්ගේ අරමුණ වූයේ රොකෆෙලර් පදනමේ අවබෝධය සහ අනුමැතිය දිනාගැනීම වූ බැවිනි. ලෝක සෞඛ්‍ය සම්මේලනයේ (World Health Assembly -WHA) වාර්ෂික හමුව ද රොකෆෙලර් පදනමේ තක්සේරු කිරීම් උරගා බැලෙන තැනක් විය. 1952 ලෝක සෞඛ්‍ය සම්මේලනයට රොකෆෙලර් පදනමේ විවාදශීලී නිරීක්ෂකයෙකු ලෙස එයට
සහභාගිවීමට ස්ටෘතර්ස් වෑයම් කළේය. නමුත් චිෂොල්ම්ගේ අදහස වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග නිල ගනුදෙනු පවත්වන රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවක් සිටින බැවින් රොකෆෙලර් පදනමේ නියෝජිතයාට පමණක් එම තත්ත්වය ප්‍රදානය කිරීම නුසුදුසු බවයි. කෙසේ වුව ද චිෂෝල්ම්  ස්ටෘතර්ස්ට ආරාධනා කළේ සාමාන්‍ය පුරවැසියෙකු ලෙස සම්මේලනයට සහභාගිවන ලෙසත් දිවා ආහාරය අවස්ථාවේදී තමන් හා තොරතුරු සාකච්ඡා කළ හැකි බවත්ය.

ගුනාර් මිර්දාල් 1964
.
මහාචාර්ය චාල්ස් එඩ්වර්ඩ් අමොරි වින්ස්ලෝ
.
වෛද්‍ය කාර්ල් ඉවාන්ග් (නෝර්වේ) 2 වනලෝක සෞඛ්‍ය සම්මේලනයේ සභාපති 1949

 

 

 

 

ප්‍රසිද්ධ බුද්ධිමතුන් වන ගුනාර් මිර්දාල් සහ චාල්ස් එඩ්වර්ඩ් අමෝරි වින්ස්ලෝ යන අය විසින් රෝග වැළැක්වීමේ ආර්ථිකය පිළිබඳව සිදු කරන ලද දේශන ගැන ස්ටෘතර්ස් දැඩි ලෙස කලකිරීමට පත්විය. නමුත් විශාලතම කුණාටුව ඇතිවීමට හේතූ වූයේ නෝර්වේජියානු විධායක මණ්ඩලයේ සභාපති කාර්ල් ඉවාන්ග් විසින් සිදු කරන ලද දේශනය සහ ජනගහන අධ්‍යයන සහ උපත් පාලනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම ගැන ඔහු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙනි. පසුව එළැඹී දින කීපයේදී  “අතිශය හැඟීම්බර විවාද” මේ සම්බන්ධව ඇති විය. ප්‍රංශය, බෙල්ජියම, අයර්ලන්තය,සහ ඉතාලිය යන රටවල් තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට තර්ජනය කළහ. ඉතා උණුසුම් වාද විවාදවලින් පසුව මෙම රටවල් මුහුණ දෙන ආගමික සහ දේශපාලනික පීඩනය විසින් ජනගහන පාලනය පිළිබඳව තේමාව තාක්ෂණික ගැටළු සාකච්ඡා කිරීමට ගත් උත්සාහය
පරාජය විය. කාර්ල් ඉවාන්ගේ යෝජනාව ඡන්ද විමසීමකට ඉදිරිපත් නොකෙරිණි. එසේ වුව ද ඉන්දියාව තුළ උපත්පාලන උපදේශන කටයුතු දිගටම පවත්වාගෙන යාමට තීරණය විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය බෙදී යාමට පවා හේතූවීමට ඉඩතිබූ මෙම මෙම සිදුවීම විසින් රොකෆෙලර් පදනමේ කාර්යභාරයක් විය යුතු ක්ෂේත්‍රයක් සළකුණු කරන ලදි. එම කාර්ය භාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ සමග එකිනෙක මත සම්පාත නොවන ලෙස ක්‍රියා කළ යුතු ව තිබිණි යැයි බොහෝ දෙනාගේ අදහස විය. උපත්පාලනය පිළිබඳ යෝජනාව ලෝක සෞඛ්‍ය සම්මේලනය තුළ පරාජයට පත්වීම රොකෆෙලර් පදනමේ නායකත්වයේ නොසතුටට හේතුවක් වූ බව පැහැදිලිය. එම සිදුවීමෙන් හරියටම මාසයකට පසුව රොකෆෙලර් පදනමේ ඉහළම නායකයා වන 3 වන ජෝන් ඩී රොකෆෙලර් විසින් “ ආරාධිතයන්ට
පමණක් සීමා“ වූ විශේෂ සම්මේලනයක් ජනගහණ ප්‍රශ්නය ගැන ඉහළම විද්වතුන් සමග සාකච්ඡා කිරීමට කැඳවන ලදි.
මෙම විශේෂිත සමුළුවෙන් ටික දිනකට පසුව ජෝන් ඩී රොකෆෙලර් විසින් ජනගහණ කවුන්සිලය (Population Council ) පිහිටුවන ලදි.  මේ මගින් මේ අර්බුදකාරී විෂය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන මැදිහත්වීම ප්‍රදර්ණය නොවන මට්ටමකින් පවත්වාගෙන යාමට තීරණය කළ බවක් දිස් විය. මෙම ජනගහණ කවුන්සිලය රොකෆෙලර් පදනමෙන් ද ස්වාධීනව පිහිටුවන ලද්දේ එම පදනමේ සාමාජිකයන් අතර ද මෙම ප්‍රශ්නය ගැන බෙදීමක් තිබූ බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මුහුණ දෙමින් සිටි විශාලතම ගැටළුව මුල්‍ය සම්පත් හිඟයයි. සාමාජික රටවලට දෙන තාක්ෂණික ආධාර වැඩි කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියද 1953 සහ 1954 වසර දෙකම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී තිබුණේ ඔවුන් ලබාදීමට පොරොන්දු වූ ඩොලර්
මිලියන 12න් මිලියන 8ක් පමණි. ඩොලර් මිලියන 30 ක අයවැය හිඟය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සිය වියදම් කපා හැරීමට සිදුව තිබිණි.
රොකෆෙලර් පදනමේ එක් නිලධාරියෙකු මෙසේ දොස් පැවරීය

“ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් පවත්නා අයවැයෙන් එක් එක් ව්‍යාපෘති සඳහා වෙන්කළමුදල් ඉවත්කරගැනීම සඳහා වන ප්‍රඥාව වර්ධනය කරගනිමින් සිටිනවා සිටිනවා.”

තරඟකාරි යුනිසෙෆ් සංවිධානයේ “අධිරාජ්‍යය ගොඩ නැංවීමේ දෘෂ්ටිය” පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය බියෙන් පසුවන බව රොකෆෙලර් කාර්ය මණ්ඩලයට අවබෝධයක් තිබිණි. සැබැවින්ම යුනිසෙෆ් සංවිධානයට රාජ්‍යයන්ගෙන් විශේෂයෙන්ම එක්සත් ජනපද ආණ්ඩුවෙන් විශාල වශයෙන් මුල්‍ය සහ වෙනත් ආධාර ලැබුණි. යුනිසෙෆ් සංවිධානය ආරම්භක ගිවිසුම මගින් එකඟ වූ පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයට යටත්ව වැඩ කරනවා වෙනුවට ඉහත ආධාර මගින් ලද ශක්තිය හේතුවෙන් ස්වාධීනව වැඩකිරීමට
වැඩියෙන් නැඹුරු විය.
ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත එක්සත් ජනපද රජයේ සහාය සහ ආධාර ලැබීමේ අවශ්‍යතාව විශාල වශයෙන් දැනෙමින් පැවති අතර එහි නියෝජිතයෝ රොකෆෙලර් පදනම වෙත ආධාර පතා සියලු දිසාවලින් ලඟාවූහ. එක්සත් ජනපදය සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ සම්භාවනීයතම පුද්ගලයා වූ ලෝක සෞඛ්‍ය පිළිබඳ ජාතික පුරවැසි කමිටුවේ සභාපති ෆ්‍රෑන්ක් බෝදෙරෝ (LNHO හි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව සිට පසුව මිල්බෑන්ක් සමරු පදනමේ විධායක් අධ්‍යක්ෂ තනතුර හොබවන ලද) විසින් 1953 ලෝක සෞඛ්‍ය පිළිබඳ ජාතික සම්මේලනයට සහභාගි වන ලෙස නෙල්සන් රොකෆෙලර් වෙත ආයාචනා කරන ලදි.

ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ මහජන උනන්දුව ඇතිකරනු සඳහා සහ එක්සත් ජාතින්ගේ සංවිධානයට ජාතීන්ගේ ලීගයේ ඉරණම අත්වීමෙන් වැළැක්වීම සඳහා 1951 දී පිහිටුවන ලද මෙම කමිටුව විසින් සම්මේලනයේ තම කථිකයන් ලෙස චිෂොල්ම්, එලිනොර් රූස්වෙල්ට්, එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍ය සහ රොකෆෙලර් පදනමේ සභාපති ඩීන් රුස්ක් යන අය දැනටමත් පෙළගස්වා තිබිණි.. නමුත් රොකෆෙලර් පවුලේ පැමිණීම අනිවාර්යයෙන්ම වැදගත් ලෙස සැළකිණි. 1953 මැයි මස දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ තනතුරට වෛද්‍ය මාර්කොලිනො කැන්ඩාවු පත්වීමත් සමගම රොකෆෙලර් පදනම සමග වූ දුරස්ථ සමීපත්වයේ මුද්‍රාව නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය මත සළකුණු කරන ලදි.
කැන්ඩාවු රොකෆෙලර් පදනමේ ශිෂ්‍යත්වලාභියෙකු වූ අතර රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව (IHD)යටතේ සොපර් සමග බ්‍රසීලයේ ඇනොෆිලීස් ගැම්බියා මර්දන ව්‍යාපාරය තුළ කටයුතු කර ඇත. පසුව ඉතා කෙටි කලක් සඳහා පෑන් ඇමෙරිකන් සෞඛ්‍ය බියුරෝවේ (PASB)දෙවැන්නා ලෙස කටයුතු කර ඇත. ආරම්භයේදී සමීප අන්තර් සම්බන්ධතා පැවැත්විණි. එක් වාරයක් පමණක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීමෙන් පසු චිෂොල්ම් 1953 ජූනි මස ඉල්ලා අස්වන බව ග්‍රාන්ට් ට කල්තබා දැනගන්නට ලැබිණි. සොපර් සිය පැරණි සගයන් සමග දිගටම සබඳතා පවත්වාගෙන ගියේය. රොකෆෙලර් පදනම තුළ චිෂොල්ම්ගේ අනුප්‍රාප්තිකයා පිළිබඳව සැළකිය යුතු මට්ටමක ගැටුම් පැවතිණි.
බ්‍රිතාන්‍යයන් පකිස්ථාන අපේක්ෂයෙකුට සහාය දුන් අතර වතිකානුව සහයෝගය දුන්නේ ඉතාලියානුවෙකුටය. කෙසේ වුව ද චිෂොල්ම්ගේ මැදිහත්වීම හරහා බ්‍රසීලයෙන් පැමිණි කැන්ඩාවු ගේ නම යෝජනා වූ අතර ඔහු නිසැකවම තනතුරට පත්වෙතැයි බොහෝ දෙනා විසින් අනුමාන කරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිපාලනය වෙත කැන්ඩාවු විසින් ශක්තිමත් නායකත්වයක් සපයනු ඇති බවට සොපර් සිය විශ්වාසය පළ කළේය. කැන්ඩාවුගේ මෙම පැටිකිරිය කුමක් වුවද රොකෆෙලර් පදනම ජාත්‍යන්තර සෞඛ්‍යය පිළිබඳ ඔහුගේ දැක්ම නිකම්ම භාරගැනීමට සුදානම් නොවූ අතර ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විමසීමකින් පසුවීමට තීරණය කර තිබිණි. කැන්ඩාවුගේ පත්වීම පිළිබඳව රොකෆෙලර් පදනමේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනාගෙන් ඔහු වෙත සුබ පැතුම් ලැබිණි. කැන්ඩාවු එයට සිය හෘදයංගම ස්තූතිය පළ කරමින් මෙසේද පැවසීය.

“මෙම අභියෝගාත්මක සහ උද්‍යෝගීජනක ඉලක්කය සපුරාගැනීම සඳහා ඔබගේ සහාය මට අවශ්‍ය වනු ඇති අතර මීට වසර ගණනාවකට පෙර රොකෆෙලර් පදනම වෙතින් ඒ සඳහා අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා ගැනීමට තරම් මම ප්‍රමාණවත් තරම් වාසනාවන්ත වී ඇත්තෙමි.”

වෛද්‍ය සොපර් සහ කැන්දාවු 1953 දී
ස්ඩ්නි සහ එමිලි කාර්ක් – Foto -Jeremy Kark

 

 

 

 

 

 

 

 

කැන්ඩාවු විසින් රොකෆෙලර් පදනමේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ බොහෝ කලක් සේවය කර තිබුණ ද ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රොකෆෙලර් පදනම අතර අනාගත සබඳතාවන්ගේ ස්වභාවය පරාධීන එකක් වනු ඇත්ද නැතහොත් ස්වාධීන එකක් වනු ඇත් ද නැතහොත් මේ දෙකෙහිම මිශ්‍රණයක් වනු ඇත් යන්න තවදුරටත් ගැටළුවක් ව ඉතුරුව පැවතිණ. උදාහරණයක් ලෙස කැන්ඩාවු වරෙක ස්ටෘතර්ස්ට පැවසුවේ තමා තුළ සමාජ විද්‍යාඥයන් බඳවාගැනීමට විශේෂයෙන් මහජන සෞඛ්‍ය පිළිබඳ සමාජ මානව විද්‍යායන් බඳවාගැනීමට උනන්දුවක් පවතින බවත්ය.මෙම ප්‍රකාශය රොකෆෙලර් පදනම මේ ක්ෂේත්‍රය ගැන දරන අදහස කුමක්දැයි දැන ගැනීමට කරන ලද වෑයමක් හෝ නැතහොත් ප්‍රසිද්ධ මනෝ චිකිත්සක මානව විද්‍යාඥ කෝරා ඩි බුවාගේ
උපදේශනය මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චිෂොල්ම් යටතේ 1950 දී ආරම්භ කරන ලද උත්සාහයන් නැවත පටන්ගැනීමට දරන වෑයමක්ය යනුවෙන් සටෘතර්ස් අනුමාන කළේය. මේ අතර රොකෆෙලර් පදනමේ හෙද විශේෂඥ මාරි ටෙනන්ට් හට දැනගැනීමට ලැබුණේ “තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරනු ඇත්තේ වසර 5ක් පමණක් බවත් අනතුරුව නැවතත් බ්‍රසීලයට යාමට ඔහු අදහස් කරන බවත්” කැන්ඩාවු  විසින් පවසා ඇති බවයි. ඔහු විසින් මෙම ප්‍රකාශය කරන ලද්දේ සමහර විට ඔහු තුළ මුලින් පැවැති සැකසහිත තැන් නිසා විය හැකිය. නැතහොත් මෙම තොරතුර සම්පූර්ණයෙන් ම සාවද්‍ය “තොරතුරක්” විය හැකිය. මක් නිසාද යත් රොකෆෙලර් පදනමේ ජීව විද්‍යාත්මක සහ වෛද්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ රොබර්ට් මොරිසන් “කැන්ඩාවු ගේත්, ඔහුගේ ප්‍රධාන සහායකයන්ගේත්, අංශ ප්‍රධානීන්ගේත් හැකියාවන් සහ අවංකත්වය
ගැන දැඩි ලෙස පැහැදී සිටි” බැවිනි. එමෙන්ම කැන්ඩාවු විසින් නිසැකවම ඔහුගේ පරිවාර ක්ෂේත්‍ර මුරපොළවල් වලට වඩා මූලස්ථානය තුළ තමා පිළිබඳව යහපත් හැඟීමක් ඇතිකරවන්නට සමත් වී ඇතැයිද“ මොරිසන් සඳහන් කර ඇත.

රොකෆෙලර් පදනමේ පුනර්ජීවනය එහි කාර්ය මණ්ඩලයෙන් ඔබ්බටද විහිදී ගියේ එක්සත් ජනපද නියෝජිත හෙන්රි වෑන් සිලේ හයිදෙ, හැරී එස් ටෘමන්ගේ ප්‍රධාන ජාත්‍යන්තර සෞඛ්‍ය උපදේශක සහ 1948 සිට 1952 දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය තුළ එක්සත් ජනපද නියෝජිත යන අයගේ අදහස් ද ඇතුළත් කරනු සඳහාය. “ කැන්ඩාවු යටතේ ජීනිවාහි වාතාවරණය බෙහෙවින් යහපත් අතට හැරී ඇතැයි“ සිලේ හයිදෙ වාර්තා කළේය. සමුළුවට නොපැමිණෙන සෝවියට් කඳවුරට අයත් රටවලින් ලැබෙන දේ බලා නොඉඳ සැබෑ ලෙසම සම්මේලනයට පැමිණෙන සාමාජික රටවලින් ලද කෝටා මත යථාර්ථවාදී ලෙස පදනම් වූ අයවැයකින් එය සිදු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ කළ රොකෆෙලර් පදනමේ ශිෂ්‍යත්වලාභියෙකු වාර්තා කළේ  ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සෑම අයෙකුම පුද්ගලිකව සම්මුඛ පරීක්ෂණයට ලක්කර ඔවුන් ගේ වැඩ කටයුතු සහ අනාගත ව්‍යාපෘතින් පිළිබඳව පුද්ගලිකව සාකච්ඡා කිරීමේ කැන්ඩාවුගේ වැඩපිළිවෙළ විසින් චිෂොල්ම්ගෙන් කැන්ඩාවු වෙතට නායකත්වය මාරුවීමේ ක්‍රියාදාමය වෙත පහසුකම් සැලසුවාක් මෙන්ම චිෂොල්ම් පිලිබඳ කාන්සාව නැතිකිරීමට ද හේතු විය. මෙම ක්‍රියාදාමය ඇතැමුන්ගේ උපහාසයටද හේතු විය.

1954 ඔක්තෝබරයේදී රොකෆෙලර් පදනමේ නව සභාපති ඩීන් රුස්ක් විසින් කැන්ඩාවු හට දිවාභෝජනයක් සඳහා ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ සටහන් සහ “ පුද්ගලික සංවිධානයක් විසින් නූතන ලෝකය තුළ වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය ප්‍රතිකාර ගැන කළ යුතුව ඇත්තේ කුමක්ද“ යන්න ආදිය ගැන සාමාන්‍ය කතාබහක යෙදෙනු සඳහා ද ආරාධනා කරන ලදි. මෙක්සිකෝවේ හෘදය රෝග අධ්‍යයන ආයතනය, සැන් පාවුලෝ සහ සන්තියාගෝහි මහජන සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපන ආයතන සහ පෝෂණය පිළිබඳ නව මධ්‍යම ඇමෙරිකානු ආයතනය වැනි ආයතන පිහිටුවීම හරහා අධ්‍යාපනය, පර්යේෂණ සහ පුහුණුව සඳහා රොකෆෙලර් සංවිධානයේ සහාය අවශ්‍ය බව කැන්ඩාවු යෝජනා කළේය. අතුරු පසින් පසුව රුස්ක් විසින් ලෝක උපත්
පාලනය පිළිබඳ ප්‍රශ්නය කැන්ඩාවුගේ ස්ථාවරය කුමක්දැයි විමසන ලදි. තමාට පිටත්ව යාමට සිදුව ඇති බවට ඇඟවීමෙන් පසුව කැන්ඩාවු විස්තර කළේ මෙම ප්‍රශ්නය ගැන නිහඬව සිටීමට තමන්ට උපදෙස් ලැබී ඇති බවයි. එසේ වුව ද ඔහු ජනගහණ- ආහාර ප්‍රශ්නය ගැන ද අනෙකුත් එක්සත් ජාතීන්ගේ ආයතන විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත “ ප්‍රශ්න විසඳනවාට වඩා ප්‍රශ්න ඇතිකරන බවට“ නගනු ලබන චෝදනා ගැන ද පූර්ණ දැනුවත් භාවයක සිටියේය. කැන්ඩාවු විසින් තර්ක කළ පරිදි “උපත් පාලනය වැනි කටයුතු පුද්ගලික ආයතන සඳහා වඩාත් සුදුසු වේ“.

ඩීන් රුස්ක්
කොරෝ ඩු බුවා 1948

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කටයුතු පිළිබඳ කැන්ඩාවුගේ න්‍යාය පත්‍රය ගැන රොකෆෙලර් පදනම සෑහීමකට පත්වීමෙන් පසුව පුරුදු ගැටළු යළි අරඹිණි. කැන්ඩාවු යටතේ අධි ශිෂ්‍යත්ව පිළිබඳ ආතතීන් නැවත මතු විය. ඒ රොකෆෙලර් පදනමේ අධි ශිෂ්‍යත්ව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්ය මණ්ඩලයේ අතිවිශාල පිරිසකගේ අයැදුම් පත්‍ර ආයතනිකව අනුමත නොවීම හේතුවෙනි. කැන්ඩාවු විසින් රොකෆෙලර් පදනමේ ඇතැම් පුද්ගලයන් හමුවී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ ද කලාපීය කාර්යාලවලද ස්ථාවර තනතුරු සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන සමහර පුද්ගලයන්ගේ අයැදුම් පත් ගැන “ සානුකම්පිතව සළකා බලන ලෙස ආයාචනා කරන ලදි.
කැන්ඩාවු විසින් වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය කාර්යාංශයේ (DMPH) අධ්‍යක්ෂ වොරන් වෙත ලිපියක් ලියන ලද අතර ඒ මගින් සියලු ශිෂ්‍යත්ව අපේක්ෂකයන් පිළිබඳව දැඩි විමසීමකින් පසුවන බවට පොරොන්දු වී ඔහුගේ ද සහාය ඉල්ලා සිටියේය.

“දිගින් දිගටම අධිශිෂ්‍යත්ව ලබාදීම පිළිබඳව ඔබට සළකා බැළිය නොහැකි කරුණක් බව අපි අවබෝධ කරගෙන සිටිමු. කෙසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම ආරම්භක දුෂ්කර අවධියේදී එහි කාර්ය මණ්ඩලයේ සංවර්ධනය සඳහා එයට සහාය වීමට ඔබ එකඟවීම පිළිබඳව අපි ඔබට දැඩිලෙස කෘතඥ වෙමු.”

රොකෆෙලර් පදනමේ කාර්ය මණ්ඩලය සැක කළේ කැන්ඩාවුට අවශ්‍ය වී ඇත්තේ රොකෆෙලර් පදනමේ වියදමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා අවශ්‍ය වන කාර්ය මණ්ඩලය හැකිතාක් පුහුණුකරවා ගැනීමට බවයි. එමෙන්ම ඔහු දැන් උත්සාහ කරමින් සිටින්නේ මුලින් තමන් හා සිදු කරන ලද එකඟතාවන් සියුම් ලෙස වෙනස් කරමින් සිතාගැනීමට ද නොහැකි තරම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා ලබාගැනීමට බවද ඔවුහු අනුමාන කළහ. මක් නිසාද යත් පුහුණු වැඩ සටහන් යනු අඩු වැඩි වශයෙන් අඛණ්ඩ ක්‍රියාවලියක් බැවිනි. මෙලෙස පොරොන්දුවෙමින් වොරන් මෙම සාකච්ඡාව අවසන් කළේය.

” ඔබ දන්නා පරිදි ස්ථීර සහ දිගුකාලීන කටයුතු සඳහා අවශ්‍ය පිරිස් පුහුණු කිරීමට ඔබ සහ ඔබගේ සගයන්ට සහාය වීම පිණිස අපි අපට හැකි සෑම දෙයක්ම කිරීමට උනන්දු වෙමු. නමුත් අපගේ අරමුදල් වල සීමාසහිත බව නිසා පුද්ගලයන් පුහුණු කළ යුත්තේ නිවසට ආසන්නවය. එමෙන්ම කාර්ය නියුතු ක්ෂේත්‍ර නිලධාරින්ට සහාය දීමට නොහැකිය.”

වසර කීපයක් සඳහා රොකෆෙලර් පදනම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය නැවත ඉහළ ගියේය. 1953 වසරේ එය ශිෂ්‍යත්ව 2ක් වූ අතර 1959 දී එය 8 දක්වා වැඩි විය. 1963 දී එය නැවතත් 1ක් විය. 1964 දී ශිෂ්‍යත්ව දෙකක් ලබාදුන් අතර 1968 දී නැවතත් 1කි. මේ වන විට ලෝක සෞඛ්‍ය සම්මේලනය විසින් ශිෂ්‍යත්ව සඳහා විශාල අරමුදලක් පිහිටුවා තිබු අතර රොකෆෙලර් පදනමේ සහාය තවදුරටත් අවශ්‍ය නොවීය.

1955 දී රොකෆෙලර් පදනමේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය ප්‍රංශයේ ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වෙත ලබාදුන් රැකියා අවස්ථාවක් ගැන නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය වටා අර්බුදයක් මෝරන්නට විය. රොකෆෙලර් පදනමේ සහකාර අංශ අධ්‍යක්ෂවරයෙකු වූ ජෝන් මයර් මේ පිළිබඳව කැන්ඩාවු වෙත දැඩි දෝෂාරෝපණාත්මක ලිපියක් යැවීමට අදහස් කළ ද එවැන්නකින් වළකින ලෙස ඔහුට ඉහළින්  උපදෙස් දෙනු ලැබිණි. මේ පිළිබඳව වැඩිදුරටත් ඉහළ මට්ටමේ රහසිගත සාකච්ඡා පැවැති අතර එහිදී තීරණය වූයේ “විධිමත් ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව ප්‍රශ්නයට ප්‍රවේශ විය යුතු බවය. ” අප විසින් දෙවියන්ගේ වැඩ භාරගත යුතු නැතැයි යන අදහස මත රොකෆෙලර් පදනම විසින් එවැනි ස්ථාවරයක් ගැනීමේ අවශ්‍යතාව සාධාරණිකරණය කළ නොහැකි බවට තීරණය කරන ලදි.

මෙම සන්ධිස්ථානයේදී රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර තවදුරටත් දුරස් වීම ඇරඹුණි. මෙහි ඉහත දක්වන ලද නිව්යෝක් නුවරදී රුස්ක් සහ කැන්ඩාවු අතර හමුව විසින් කැන්ඩාවු හට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සීමාරහිත කාලයක් කටයුතු කිරීමට නිල නොවන අනුමැතිය ලැබුණ අතර ඔහු 1973 දක්වා එම තනතුරේ දැරුවේය. කැන්ඩාවු විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය මැලේරියා මර්දන ව්‍යාපාරයේ කටයුතු සහ වර්ධනය වන පරිපාලන කටයුතු, සහ ලෝකය පුරා සෞඛ්‍ය සේවකයන්ට පුහුණු ශිෂ්‍යත්ව 50000ක් ලබාදීමේ දැවැන්ත කටයුතු ආදිය මෙහෙයවන ලදි. රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර අන්තර් ක්‍රියා අවමතම මට්ටමක පැවතියේ 50ස් ගණන්වල පසු භාගයේ
සිට සහ 60 දශකය තුළ වීම අවධානයට යොමුවිය යුතු කරුණක් ලෙස දැකිය හැකිය. මැලේරියා මර්දන ව්‍යාපාරය හැඩගැස්වීම සඳහා ප්‍රධාන වැඩකොටසක් ඉටුකළේ සොපර් වූ අතර පෝල් රසල් සහ අනෙකුත් රොකෆෙලර් පදනමේ නිලධාරින්ද එයට සම්බන්ධවී කටයුතු කළහ.

නමුත් ආසියාවේත් අප්‍රිකාවේත් ලතින් ඇමෙරිකාවේත් ජාතීන් ගණනාවක් විමුක්ති අරගල හරහා අලුතෙන් නිදහස ලබාගැනීමත් සමගම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ඉහළ යන්නට පටන් ගත් අතර ඒ සමගම එහි නිලධාරිකරණයද ඉහළ ගියේය. මැලේරියා මර්දන උත්සාහයන් සඳහා මුල්‍ය ආධාර සැපයුවේ නිත්‍ය සාමාජික රටක් විසින් නොව ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනත් රටවල් කීපයක් විසිනි. මේ හේතුව නිසා රොකෆෙලර් පදනම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මධ්‍යම වේදිකාවෙන් තවදුරටත් ඈතට චලනය විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන උපදේශකයා ලෙස රොකෆෙලර් පදනමේ කාර්ය භාර්ය ක්‍රමානුකූලව වියැකී ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර දුන් වඩාත් ප්‍රබල මුල්‍ය දානපතියන්ගේ (එනම් ඇමෙරිකා එක්සත් ජනපද රජයේ වැනි) ව්‍යාපෘති, යෝජනා සහ සැලසුම් සඳහා ප්‍රමුඛත්වය දීමටත් ඔවුන්ගේ උපදෙස් පිළිපැදීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළ නිසාය. සෝවියට් කඳවුර සමග පැවැති සීතල යුද්ධ පසුබිම තුළ අධිරාජ්‍යවාදී කඳවුරේ නායකත්වය දැරූ ඇමෙරිකාවේ දේශපාලන
පිටුබලය ලෝක සෞඛ්‍ය සංවිධානයට ගෝලීයව සිය කටයුතු ව්‍යාප්ත කිරීමේ දී මහඟු පිටුබලයක් විය.

කෙසේ වුව ද රොකෆෙලර් පදනම සමග සමහර සහයෝගිතා ක්‍රියාමාර්ග දිගටම පැවතිණි. 1958 දී රොකෆෙලර් පදනම විසින් සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයුම් කාර්ය අත්පොත සඳහා ඇමෙරිකන් ඩොලර් 25000ක් පරිත්‍යාග කරන ලදි. ලෝකයේ රටවල් 12ක් තුළ අනෙකුත් සංවිධානවලද සහායෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය උපදේශක මට්ටමින් සහභාගි වූ ප්‍රෝටීන් මන්දපෝෂණයට එරෙහි පර්යේෂණ වැඩසටහනක් සඳහා රොකෆෙලර් පදනම ඇමෙරිකන් ඩොලර් 250,000ක් ප්‍රදානය කරන ලදි. 1960 දී රොකෆෙලර් පදනමේ නව අංශයක් වූ වෛද්‍ය සහ ස්වාභාවික විද්‍යා ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක් වී
කෙන්යාවේ ග්‍රාමීය මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයකට සහ කොංගෝ සමූහාණ්ඩුවේ හෙද විදුහලකට ද වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන විවිධ වැඩ සටහන්වලටද ආධාර කරන ලදි. අතීතයේදී මෙන් ම රොකෆෙලර් පදනම විසින් පුහුණු කරන ලද ලොව සිව්දිගින් පැමිණි වි‍ශේෂඥයෝ ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ සේවය කළහ.

නමුත් රොකෆෙලර් පදනම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම් පිළිගනු ලබනවාට වඩා ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබීමේ අවධියක් එළැඹෙමින් තිබිණි. ඔවුහු සහාය දීම සඳහා අවධානය යොමු කළේ ඉතා කුඩා පරිමාණ ව්‍යාපෘතින්වලට පමණි. උදාහරණයක් ලෙස කොකු පණු රෝගය පිළිබඳ ග්‍රන්ථ නාමාවලියක් ප්‍රකාශයට පත් කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘතියට මුල්‍යාධාර සැපයීම දැක්විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද තමන්ගේ පැත්තෙන් රොකෆෙලර් පදනමේ ව්‍යාපෘතිවලට සහභාගිවීමට පසුබට බවක් දක්වන ලදි. USAID ආයතනයේ පරිපාලන නිලධාරිනි ලියෝනා බවුම්ගාර්ට්නර් විසින් 1963 දී USAID ආයතනය, රොකෆෙලර් පදනම, සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වී අනුබද්ධ සෞඛ්‍ය සේවකයන් සහ කාර්ය
මණ්ඩල අවශ්‍යතා පිළිබඳ ඒකාබද්ධ අධ්‍යයන වැඩසටහනක් දියත් කිරීමට යෝජනා කරන ලද අවස්ථාවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කැන්ඩාවු විසින් විසින් පොරොන්දු වූයේ තම සංවිධානයෙන් ඒ සඳහා සංඛ්‍යා ලේඛන විද්‍යාඥයෙකු ලබාදීම සඳහා පමණි.

“ලෝක සෞඛ්‍ය සංවිධානය අනුග්‍රාහක ආයතනයක් ලෙස සැළකිය නොහැකිය” යි ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

මේ අතර රොකෆෙලර් පදනම සමාජ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලට ඉඩදීමේ ප්‍රතිපත්තිය අත්හැර දමමින් තිබිණි. එයට හේතුව වූයේ ඇලන් ග්‍රෙග්ගේ විශ්‍රාම යෑමත් ජෝන් ග්‍රාන්ට්ගේ මරණයත්ය. එමෙන්ම එක්සත් ජනපදය තුළ මැකාර්තිවාදි කොමියුනිස්ට් විරෝධය උත්සන්නවීම හේතුවෙන් සමාජවාදී රටවල් විසින් පෙරට දමන ලද අදහසක් වූ සමාජ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය වෙනුවෙන් පෙනී සිටීමට රොකෆෙලර් පදනම පසුබට වන්නට ඇති බව සිතිය හැකිය. 1953 දී රොකෆෙලර් පදනම විසින් ජොන් ග්‍රාන්ට්ව, වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය පිළිබඳව පර්යේෂණ සහ ප්‍රයෝගික ස්ම්බන්ධිකරණ පද්ධතියක් පිහිටුවීම සඳහා පුවර්ටෝ රිකෝ වෙත යවන ලද අවස්ථාවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙලෙස දැනුවත් කීරීමට ග්‍රාන්ට් උනන්දු විය.

“ඔවුන්ගේ වර්තමාන වැඩකටයුතු මුළුමණින්ම බහුවිධ ස්ථාවර ස්වදේශික සංවිධාන මගින් විස්ථාපනය කළ යුතුය.”

වසර 4කට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා ජාතික පුරවැසි කමිටුව වෙත රොකෆෙලර් පදනම, මිල්බෑන්ක්, කෙලොග් සහ ඇවලොන් යන සමාගම් සහ පදනම් විසින් මුල්‍ය ප්‍රදානයන් පිරිනමන ලද විට පමණක් ඉහත අරමුණු ක්‍රියාවට නැංවීමේ අවස්ථාව උදාවිය. මෙම මුල්‍ය ආධාර මගින් ප්‍රධාන සෞඛ්‍ය නියෝජිතයන්ට 1958 දී මිනියාපොලිස්හි පැවැති ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගිවීම සඳහාත් පුවර්ටෝ රිකෝ වෙත ගොස් ග්‍රාන්ට් විසින් සංවිධානය කරන ලද වෘත්තීමය සැසිවාරයන්ට සහභාගිවීමටත් දිවයිනේ සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවන්ගේ ප්‍රගතිය විමසා බැලීමටත් අවස්ථාව උදා විය.

නමුත් මෙය විෂම පර්ච්ඡේදයක් විය. 1954 න් පසුව රොකෆෙලර් පදනමේ යුරෝපිය කාර්යාලය ධාරිතාව සහ ක්‍රියාකාරිත්වය 90%කින් අඩු කරන ලදි. මෙම කාර්යාලයේ පැවැත්ම ලෝක සෞඛ්‍ය සංවිධානයට අතිශයින් වැදගත් එකක් විය. රොකෆෙලර් පදනමේ වැඩසටහන් මහජන සහ ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රවලින් තවදුරටත් ඈතට ගෙන යන ලදි. එසේ වුව ද ආර්බෝවයිරස් සහ අනෙකුත් ඝර්ම කලාපීය බෝ වෙන රෝග පිළිබඳ මූලික විද්‍යාත්මක පර්යේෂණ ද සමහර ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් ද දිගටම පවත්වාගෙන යන ලදි.

පසු වේදිකාවෙන් තිරය පිටුපසට

ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව එම යුගය තුළ පැවැති අතිශයින් බලපෑම් සහගතම සෞඛ්‍ය ක්‍රියාකාරිකයා ලෙස හැඟීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය මත ඇති කිරීමට රොකෆෙලර් පදනම කටයුතු කිරීම පුදුමයක් නොවේ. දෙවන ලෝක යුද්ධයට පෙර යුරෝපයේ බලගතු රටවල් විසින් අවධානය යොමු කළේ ඔවුන්ගේ යටත්විජිත ජාලයන් වෙතය. ඔවුන්ගේ අන්තර් අධිරාජ්‍යවාදි සහ වෙළඳ පසමිතුරු කම් බලගතු ජාත්‍යන්තර සංවිධාන බිහිකිරීමෙහිලා බාධාවක් විය. නමුත් එක්සත් ජනපදය විසින් ඔවුන්ගේම ජාත්‍යන්තර සෞඛ්‍ය නායකත්වයක් උතුරු, දකුණු සහ මධ්‍යම ඇමෙරිකානු රටවල් අතර ඇතිකිරීමට වෑයම් කරන ලදි. ඒ අයුරින් ආරම්භයේ සිටම ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නොනිල නායකයා බවට රොකෆෙලර් පදනම පත් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවීමෙන් පසුව රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව වසා දැමීමෙන් පසුව වුව එය මුළුමණින්ම අතුරුදන් වීමක් නොවීය. ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රොකෆෙලර් පදනමේ බෝ වෙන රෝග මර්දනය පිළිබඳ අදහස් සහ ප්‍රවේශය ලෝක සේඛ්‍ය සංවිධානයේ න්‍යාය පත්‍රය සහ භාවිතය තුළට කා වැදී තිබේ. මෙය සෘජු සහ වක්‍ර දෙයාකාරයෙන්ම සිදු විය. සෘජු බලපෑම සිදු වූයේ රොකෆෙලර් පදනම විසින් සපයන ලද දුරස්ත උපදෙස්, රොකෆෙලර් නිලධාරින් පරම්පරා ගණනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ කටයුතු කිරීම, රොකෆෙලර් පදනම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලය සඳහා දෙන ලද ශිෂ්‍යත්ව සහ ප්‍රදානයන් අතිවිශාල සංඛ්‍යාව යනාදිය මගිනි. වක්‍ර බලපෑම සිදු වූයේ රොකෆෙලර් පදනම විසින් දේශිය සහ ජාත්‍යන්තර සංවිධාන සහ පුද්ගලයන් සමග දශක ගණනාවක් තුළ කටයුතු කරමින් ද ඔවුන්ට සහාය වෙමින්ද ඇති
කරන ලද සම්ප්‍රදායන් දිගටම පැවතීම හේතුවෙනි.

අවධානයට ලක්විය යුතු වැදගත් දෙයක් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් භාවිතයට නංවන ලද්දේ රොකෆෙලර් පදනම විසින් බහුලව භාවිතයේ යොදන ලද තාක්ෂණ-ජීව විද්‍යාත්මක සුසමාදර්ශය පමණක් නොව රොකෆෙලර් පදනමේ ජාත්‍යන්තර සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට අයත් සමහර වාමංශික නිලධාරින් ඉතා සුළු පිරිසක් විසින් භාවිතයට නංවන ලද සමාජ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයද වීමයි. මෙය නිශ්චිතවම සළකුණු වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භක කාලයේදීය. රොකෆෙලර් පදනමේ කාර්ය මණ්ඩලයට අයත් නිලධාරියෙකු නොවූ චිෂොල්ම් තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා බවට පත්වූ පසුව රොකෆෙලර් සංවිධානය විසින් තම පරිපාලනය මත එල්ල කරන ලද දැඩි පීඩන හමුවේ පවා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම විකල්ප දැක්ම කරා විවෘත කිරීමට කටයුතු කරන ලදි. මේ යුගයේ රොකෆෙලර් පදනම විසින් තමන් මෙම සම්ප්‍රදායන් දෙකම
පවත්වාගෙන යන බව පෙන්වීමට සියුම් වෑයමක නිරතවන ලදි. නමුත් ඒ වෙනස් පරිමාණවලිනි.

කැන්දාවු කොන්ගෝවේ නිරීක්ෂණ චාරිකාවක
1960 දශකයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පළකරන ලද ප්‍රචාරක සඟරාවක්

 

 

 

 

 

 

 

 

 

පසුකාලීනව ක්‍රමානුකූලව රොකෆෙලර් පදනමේ ක්‍රියාකාරිත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රදර්ශනය වීම අඩුවන්නට එක් හේතුවක් නම් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බල කඳවුරු අතර සිදු වූ බලහුවමාරුවයි. රොකෆෙලර් පදනම විසින් දියත් කරන ලද මැලේරියා මර්දන ව්‍යාපාරය වැනි බෝවෙන රෝග මර්දන වැඩසටහන් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළට තදින් කා වැදී තිබුණ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කැන්ඩාවුගේ දීර්ඝ සේවා කාලය තුළ රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුරස්වීම සනිටුහන් විය.
එක් මට්ටමකදී ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ කැන්ඩාවුගේ නැගීමේ විරෝධාභාසය රොකෆෙලර් පදනමේ බලපෑම පහලවැටීම සමග සම්පාතවීම දර්ශනය විය. මක් නිසාද යත් රොකෆෙලර් පදනමේ ප්‍රවේශය ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ තහවුරුව තිබූ හෙයින් රොකෆෙලර් පදනම එය තුළ පැවතීම අත්‍යවශ්‍ය දෙයක් නොවීය. වෙනත් මට්ටමකදී මෙම විසම්බන්ධය විසින් අදහස් වූයේ සමාජ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධය විසින් විවෘත කරන ලද අවස්ථාවන් වියැකෙන්නට නියමිත බවයි.

රොකෆෙලර් පදනම විසින් අනුග්‍රහය දක්වන ලද සමහර කමිටු තුළ සමාජ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර පිළිබඳ උපදේශකයන් ශේෂ වුව ද කොමියුනිස්ට් විරෝධී මැකාර්තිවාදය විසින් ඇමෙරිකාවේ සෞඛ්‍ය අංශයේ වාමාංශික මතධාරීන් මුළුමණින්ම අතුගා දමන ලදි. මෙම මැකාර්තිවාදී උමතුවේ සුවිශේෂී ගොදුරක් වූයේ සෞඛ්‍ය ක්‍රම සහ ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයෙකු වූ මිල්ටන් රෝමර් ය. ඔහු එක්සත් ජනපදය තුළ මර්දනකාරී පරිසරය අතහැර 1950 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ කිරීම සඳහා පිටත් විය. නමුත් ඔහුගේ ලෝක සෞඛ්‍ය සංවිධාන පත්වීම අවලංගු කරන ලදි. ඒ ඔහු විසින් පක්ෂපාතිත්වය දිවුරුම් දීමේ ලේඛනයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහුගේ ගමන් බලපත්‍රය එක්සත් ජනපද රජය විසින් අහෝසි කරන ලද බැවිනි.

එමිලි කාර්ක් දකුණු අප්‍රිනාවේ සායනික වැඩසටහනකට සහභාගි වෙමින් foto-Jeremy-kark

1950 පසුභාගයේ සහ 1960 දශකයේ දී ලතින් ඇමෙරිකාව සහ අප්‍රිකාව වැනි වෙනත් කලාපවල සිට පැමිණි සමහර සමාජ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ උපදේශකයන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළහ. උදාහරණයක් ලෙස සිඩ්නි සහ එමිලි කාර්ක් දැක්විය හැකිය. ඔවුහු විසින් සාර්ථක ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන ආකෘතියක් දකුණු අෆ්‍රිකාව තුළ ගොඩ නංවා තිබිණි.මෙම කටයුත්තට රොකෆෙලර් පදනමේ නිලධාරි ජෝන් ග්‍රාන්ට් විසින් ආධාර කර තිබිණි. එමිලි සහ සිඩ්නි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විවිධ ක්‍රියාකාරකම් වලට සහභාගි වූහ.
නමුත් කැන්ඩාවු යටතේ සහ සෝවියට් කඳවුර නැවතත් ක්‍රියාකාරි සාමාජිකත්වය ලබාගැනීම හේතුවෙන් සීතල යුද්ධ සතුරුකම් ඉහළ ගිය තත්ත්වයක් යටතේ 1950 ගණන්වල මැද යුගයේ දී සමාජ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ මෙම ජාත්‍යන්තර සෞඛ්‍ය සම්ප්‍රදාය ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ කොන්කර දැමිණි. අප මෙම ලිපියේ 2 වන කොටසේ දී දකින අන්දමට එය නැවත මතුවූයේ 1960-70 අතර කාලයේදීය.

රොකෆෙලර් පදනම තිරය පිටුපසට ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වේදිකාවෙන් පමණක් නොවේ . ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ දර්ශනයෙන්ද එය බැහැරවිය.

1959 එක්සත් ජනපද සෙනේට් මණ්ඩල වාර්තාවේ උප සිරස්තලයක් වූයේ “ මනුෂ්‍ය වර්ගයාගේ යහපැවැත්ම උදෙසා සාමූහිකව වැඩ කිරීම“ යන්නයි. එය විසින් ප්‍රතිරාවය කරන ලද්දේ 1913 දී රොකෆෙලර් පදනමේ ආදර්ශ පාඨය වූ“ ලෝකය පුරා මිනිස්වර්ගයාගේ යහපත සඳහා“ යන්නයි. මෙම පිටු 150කින් යුතු ලියැවිල්ල විසින් රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සබඳතාව ගැන සඳහන් වන්නේ පිටු දෙකක පමණි. එය ද අන්තර් සංවිධාන අතර පර්යේෂණ සහයෝගිතාව පිළිබඳවයි. ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මූලික අරමුණු ස්ථාපනය කිරීම සඳහා රොකෆෙලර් පදනම විසින් කරන ලද පුරෝගාමී කාර්යය ගැන කිසිවක් සඳහන් නොවේ.

රොකෆෙලර් පදනමේ උපදේශන කටයුතු, නීත්‍යානුකූලත්වය, ව්‍යාපෘති සඳහා මුදල් ලබාදීම ආදිය බරපතල ලෙස අඩුවන්නට පටන්ගත්තේ එක්සත් ජනපද රජය 1956 ඉන්ෆලුවන්සා වසංගතය පැතිරීමත් සමග සිට ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ලබාදීමට පටන් ගැනීම, සෝවියට් කඳවුර නැවත ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළු වීම සහ මැලේරියා මර්දන ව්‍යාපාරය කොමියුනිස්ට්වාදයට එරෙහිව සටන් කිරීම සඳහා යොදාගැනීමේ හැකියාව ගැන ඇමෙරිකාව කටයුතු කිරීම ආදිය සිදුවෙමින් පවතින විටය. මේ අයුරින් රොකෆෙලර් පදනමේ සංවිධානමය බලය ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ පිරිහුණු නමුත් ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ එහි මතවාදීමය ප්‍රවේශය ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ ආයතනගත වී පැවතිණි.

සාරාංශය ලෙස, රොකෆෙලර් පදනම විසින් අසීමාන්තික ලෙස දරන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන් ම මෙන් ම ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම පිළිබඳ බර සහ වගකීම ය. රොකෆෙලර් පදනම නොපැවතියේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හැඩගැස්ම මෙලෙස සිදුවේ යැයි සිතිය නොහැකිය. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය 1950 ගණන්වලදී ස්ථාවරත්වයට පත්වූ අතර රොකෆෙලර් පදනම ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිය ප්‍රාරම්භක භූමිකාව අත්හැර දැමීමත් සිදු විය. රොකෆෙලර් පදනමේ සැඟවුණු බලපෑම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකයන් සහ ජයග්‍රාහකයන් දැන සිටි නමුත් රොකෆෙලර් පදනම එදිනෙදා කටයුතුවලට මැදිහත් නොවන බවට දැඩි අවබෝධයක් පැවතිණි.
.
2 වන කොටසේ දී සාකච්ඡා කිරීමට නියමිත පරිදි රොකෆෙලර් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සබඳතා නැවත ආරම්භ වනුයේ 1970 දීය. ඒ සාමාජික රටවල් ගණනාවක සහයෝගයද සහිතව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රොකෆෙලර් පදනමේ රෝග මර්දන ව්‍යාපාර මොඩලය ප්‍රශ්න කිරීමත් සමගය. මෙම රටවල බලපෑම යටතේ නව අධිපති විරෝධී ආර්ථික රටාවක් පිළිබඳ ඉල්ලීම් ප්‍රබලවන පසුබිම යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සුරක්ෂිතබව සඳහා ප්‍රජා මූලික සෞඛ්‍යමය ප්‍රවේශයක් වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය යොමු විය. නමුත් මෙවර එවැනි සමාජ යුක්තිය මත පදනම් වූ උත්සාහයන් සඳහා රොකෆෙලර් පදනමෙන් හිමිවූයේ පටු සහායකි. මක් නිසාද යත් රොකෆෙලර් පදනම නව ලිබරල්වාදය කරා යොමු වී තිබූ බැවිණි. එමෙන්ම සිය රෝගමර්දන සුසමාදර්ශය නැවත ඔසවා තබනු වස් ඔවුන් විසින් සතුරු ආකල්පයකින් වැඩ කරන බව බොහෝ දෙනාගේ වැටහීම විය. රොකෆෙලර් පදනම සහ
ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සම්බන්ධතාව සංකීර්ණ වූත්, පිතෘමූලිකවාදි ස්වරූපයක් ගත්තාවූත්, එක්නෙකාට දෝෂාරෝපණය කරගන්නාවූත්, අපේක්ෂා භංගත්වය සහ කලකිරීම් ගහණ වූත් එකිනෙකා මත රඳාපවතින සුළුවූත්, එකිනෙකා රවටන සුළුවූත් සම්බන්ධයක් වූ අතර ඒ තුළ සැබෑ සහයෝගයක්ද දක්නට ලැබිණි.

එක්තරා ආකාරයකින් සමාජ වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්ව වැඩකිරීමේ අවකාශය අවසන්ව තිබුණේ 1950 ගණන්වලදීමය. ඒ කිසි දිනෙක සමාජ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ප්‍රවේශය තමන්ගේ මූලික හරයාත්මක ප්‍රවේශය ලෙස රොකෆෙලර් පදනම විසින් නොසැළකුණ නමුත් නටබුන් අත් නොහැර තබාගත් ඒ අවස්ථාවේදී මේ දිසාව වෙතට ගමන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට පැවැතියේ සුළු අවකාශයකි. මෙම නොගැලපීම නැවතත් 1970 සහ 1980 ගණන් වලදී නැවතත් ප්‍රතිරාවය විය. නමුත් ප්‍රතිවිරුද්ධ දිසාවන්ටය. ලෝක සෞඛ්‍ය සංවිධාන වඩාත් සමාජ-දේශපාලනික ප්‍රවේශයක් අනුගමනය කළ අතර රොකෆෙලර් පදනම “නොසලකා හරින ලද රෝග“, “ළමා ජීවිත ගලවා ගැනීම“ සහ එන්නත්කරණය හරහා තාක්ෂණ ජීව ප්‍ර වේශය නැවතත් ශක්තිමත්
කරන්නට පටන්ගත්තේය.

මෙම පෙරළි හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අති ප්‍රබල “දාන පාරමිතාව“ විසින් ජාත්‍යන්තර හෝ ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මහජනයා විසින් තෝරා නොගන්නා ලද සහ ඔවුන්ව නියෝජනය නොකරන මෙම බලවේගයන්ගේ භූමිකාව පිළිබඳව සදාකාලික සහ වැදගත් දෙගිඩියාවක් ඇතැම් විට නිහඬව ද ඇතැම් විට මහත් ඝෝෂාවක් නගමින් ද මතු කරයි

පරිවර්තනය – අජිත් සී හේරත්