යුජෙනික්ස්වාදයේ සම්භවය සහ විකාශය- ඉතිහාසයේ අඳුරු යුගයකින් පාඩම් ඉගෙනීම

අජිත් සී. හේරත්
යුජෙනික්ස්වාදය පිළිබඳව ලිපියක් පළ කරන ලෙස පාඨකයන් වෙතින් ලද ඉල්ලීම් කීපයක් අනුව මෙම ලිිපිය පළ කරමු. මෙය කොටස් තුනකින් සමන්විත ලිපියක පළමු කොටසයි. මෙම කොටස තුළ යුජෙනික්ස් වාදය පිළිබඳ නිර්වචනය, එය බිහි වූ ඓතිහාසික පසුබිම,එහි පුරෝගාමි නායකයන් සහ සංවිධාන, ඒවායේ අරමුණු, බ්‍රිතාන්‍ය යේ, ඇමෙරිකාවේ සහ ජර්මනියේ යුජෙනික්ස් ව්‍යාපාරයේ බලපෑම ආදිය විස්තර කෙරේ. සෙසු කොටස්වලින් මාක්ස්වාදී ව්‍යාපාරය යුජෙනික්ස්වාදය පිළිබඳව දරන ලද ස්ථාවරයද,රුසියාවේ යුජෙනික්ස් ව්‍යාපාරයේ ඉතිහාසයද අධ්‍යයනය කෙරේ.තෙවන කොටසෙන් නව යුජෙනික්ස්වාදය හෙවත් ජෙනටික්ස් හෙවත් ජාන තාක්ෂණවාදය පිළිබඳව සාකච්ඡා කෙරේ.

යුජෙනික්ස්වාදය පිළිබඳව ඉගෙනීම වැදගත්වන්නේ ඇයි?

කොරෝනා ප්‍රෝඩාව, ලෝක ආර්ථිකය බිඳ දැමීමේ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය සහ ලංකාවේ ඉරණම යන ලිපිය තුළ වර්තමාන කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව සහ ගෝලීය ආර්ථිකය විනාශ කිරීමේ කුමන්ත්‍රණය මෙහෙයවන කොටස් අතර නව මැල්තුසියන්වාදි සහ යුජෙනිකස්වාදි බලවේග සිටින බව කෙටියෙන් සඳහන් කළෙමු.
යුජෙනික්ස්වාදය යුරෝපයේ බිහිවූයේ චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමවාදය විසින් ජෛව විද්‍යාවේ පමණක් නොව සමාජ සහ දේශපාලන විද්‍යා ධාරාවන්ගේද සිදුවූ විප්ලවකාරි බලපෑමේ පසුබිම තුළය. මානව පරිණාමය පිළිබඳ සිය න්‍යාය ඉදිරිපත් කිරීමේදී ශ්‍රමය විසින් ඉටුකරන ලද භූමිකාව නොතකා හැරීම හේතුවෙන් ද  මිනිසාගේ සමාජ විද්‍යාත්මක සංවර්ධනය නොතකා හුදෙක් ජෛව විද්‍යාත්මක සාධක ගැන පමණක් අවධාරණය කිරීම හේතුවෙන්ද ඩාර්වින්වාදය ඉක්මණින්ම ප්‍රතිගාමි විද්‍යාඥයන් අත මෙවලමක් බවට පත්විය. සමාජයේ බහුතරයකගේ දුප්පත් බවට හේතුව ධනේෂ්වර සූරාකෑම නොව එම පන්තියට අයත් පුද්ගලයන්ගේ පහත් ප්‍රවේණික උරුමය බවට ප්‍රචාරය කෙරිණි. ආබාධිතයන්, රෝගීන්, උමතුවූවන්, අපරාධකරුවන්, ගණිකාවන් ඇතුළු කණ්ඩායම්වල “පහත් ජාන උරුමය“ මගින් අනාගත පරම්පරාවන්ගේ ප්‍රවේණිය දූෂණය වීම වැළැක්වීම සඳහා ඔවුන් වඳ බවට පත්කිරීම හෝ මරණයට පත් කිරීම සිදු කළ යුතුයැයි කියැවිණි. ප්‍රමුඛ යුජෙනික්ස්වාදිහු සිය යටත් විජිතවල ස්වදේශිකයන් සුදු යටත්විජිතවාදින්ට වඩා ජීව විද්‍යාත්මකව පහත් මානව වර්ගයන් ලෙස විස්තර කළහ.

මානව වර්ගය ජීව විද්‍යාත්මකව උසස් සංවර්ධනයක් අත්පත් කරගැනීමට නම් මෙම “පහත් සහ අයෝග්‍ය“ ජාන සංචිතයන් මිහිමතින් තුරන් කර දැමිය යුතුයැයි යුජෙනික්ස්වාදිහු විශ්වාස කළහ. නූතන ජීව විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස බටහිර ලෝකය විසින් සළකනු ලබන තෝමස් හක්ස්ලි වරෙක නිව්ගිනියාවේ ඇබොරිජින් වරුන් මානව සංහතිය නැමැති වංශ සළකුණේ අපිරිසිදු පැල්ලමක් ලෙස විස්තර කරමින් ඔවුන්ව මිහිමතින් තුරන්ව යන්නේ නම් එය සිය තෘප්තියට හේතු වන බව පැවසීය. යටත් විජිතවාදින් විසින් සිය යටත් විජිතවල මිලියන ගණන් ජනයා සංහාරය කරන ලද බව පසුගිය සියවස්වල ඉතිහාසය විමසීමෙන් දැනගත හැකිය. එවැනි සංහාරයන් සාධාරණීකරණය කරන ලද්දේ යුජෙනික්ස්වාදය, සමාජ ඩාර්වින්වාදය වැනි ප්‍රතිගාමි මතවාදයන් මත පදනම් වූ ජීව විද්‍යාත්මක ජාතිවාදය යොදාගැනීමෙනි.

යුජෙනික්ස්වාදින් විසින් පුද්ගලයාගේ ශාරිරික අනුල්ලංඝනීයත්වය රාජ්‍යය වෙත යටත් කරනු ලබයි. රජය විසින් පත් කරනු ලබන විශේෂ අධිකරණ, සෞඛ්‍ය කොමිසම්, විසින් යම් පුද්ගලයෙකු සමාජයේ නිදහසේ ජීවත්වීමට සහ දරුවන් බිහිකිරීමට නුසුදුසු යැයි තීරණය කළහොත් ඔහු හෝ ඇයව බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක්කිරීමට, සමාජයෙන් වෙන්කර තැබීමට රජයට බලය හිමි විය යුතු යැයි යුජෙනික්ස්වාදින් විශ්වාස කළා පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමද සිදු කළහ. 1930-40 දශකවලදී ජර්මනියේ මෙම යුජෙනික්ස්වාදි ප්‍රතිපත්තින් අවසාන වූයේ “අයෝග්‍ය”  සහ “ප්‍රවේණික” වශයෙන් පහත් යැයි නම් කරන ලද පුද්ගලයන් මිලියන ගණනක් සංහාරය කිරීම මගිනි. දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වූ මෙම බිහිසුණු සිදුවීම් හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයටද පුද්ගලයාට තම ශාරිරික අනුල්ලංඝණීයතාව සඳහා වන අයිතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වගන්ති එක්කර තිබේ. එනම් කිසිදු පුද්ගලයෙකු හට බලහත්කාරයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම, වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්කිරීම ආදිය නීති විරෝධීය. එය මූලික මිනිස් අයිතිවාසිකමකි.

එහෙත් කොරෝනා වසංගතයට මුවා වී ඉදිරියට පැමිණි නව යුජෙනික්ස්වාදින් විසින් මෙම අයිතිය ලෝකය පුරාම ජනතාවගෙන් උදුරාගෙන තිබේ. මෙම ප්‍රෝඩාකාරි කොවිඩ්-19 වසංගතයට ප්‍රතිකාර ලෙස ඉදිරිපත් කර ඇති එන්නත් සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ හදිසි අවස්ථා අනුමැතිය යටතේය. එලෙස හදිසි අවස්ථා සඳහා වන අනුමැතිය යටතේ මෙම එන්නත්වලට අවසර දීමට සිදුව ඇත්තේ මෙම කිසිදු එන්නතක කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ පරීක්ෂණ තාමත් අවසන් වී නැති හෙයිනි. එහෙයින් දැන් ලෝකය පුරාම සිදුවන එන්නත් කරණ ව්‍යාපාරය නීති විරෝධී ලෙස පුද්ගලයන් වෛද්‍ය සහ ජීව විද්‍යාත්මක පරීක්ෂණවලට භාජනය කිරීමක් ලෙස සැළකිය හැකිය. පැසිස්ට්වාදයේ  පරාජයෙන් පසු පලා ගොස් පසු භූගත වූ යුජෙනික්ස්වාදය, 70 වසරකට පසු සමස්ත ලෝකයේම ජනතාවගේ ශාරිරික අනුල්ලංඝණීයතාව පිළිබඳ ඇති අයිතිය උදුරාගැනීමට පෙරට පැමිණ ඇත්තේ එලෙසය.

මෙම කොවිඩ්-19 එන්නත් නිපදවන සමාගම්, ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සපයමින් එය මෙහෙයවන විවිධ පදනම් ආයතන සහ ඖෂධ සමාගම් බොහොමයක් පැරණි යුජෙනික්ස්වාදි ව්‍යාපාරයට කවර ආකාරයකින් හෝ සම්බන්ධ ඒවා වන අතර ඒවා විවෘතවම නව යුජෙනක්ස්වාදය හෙවත් ජෙනටික්ස් හෙවත් ජාන තාක්ෂණවාදයට සම්බන්ධ ඒවා වෙයි.

එක්සත් ජනපදයේ උපායමාර්ගික අවශ්‍යතාවන්ට අනුව ගෝලීය ආර්ථිකය විනාශ කර දැමීම නිසා සමස්ත ලෝකය පුරාම මිලියන සිය දහස් ගණනින් දැනටමත් විරැකියාවට, සාගතයට නිවාස අහිමිවීම්වලට ගොදුරු වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයද ලෝක ආර්ථිකය සැලසුම් සහගතව විනාශ කරලීම සඳහා ඊනියා කොව්ඩ්-19 වසංගත ප්‍රෝඩාව සහ යුක්‍රේන යුද්ධය යොදාගැනීම නිසා ඇති වූ ගෝලීය දුර්විපාකයන්ගේ ප්‍රතිඵලයකි. ශ්‍රි ලංකාවේ දුප්පත් මවුවරුන් සිය සිය බිළිඳු දරුවන්ට ආහාර වේලක් සපයා දිය නොහැකිව සිය දිවිනසාගන්නේත්, ළමා පරපුරෙන් 70%කට වඩා විවිධ පෝෂණ ඌනතාවලට ලක්ව ඇත්තේත් ලෝක ජනගහණය අඩු කිරීමේ නව මැල්තුසියන්වාදි පිළිවෙත අනුව සැලසුම් සහගතව නිර්මාණය කරන ලද සාගත තත්ත්වයන් හේතුවෙනි.
1974 දී හෙන්රි කිසිංජර් විසින් ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය පදනම් විය යුතු උපායමාර්ගය පිළිබඳ ලියැවිල්ල තුළ අවධාරණය කර ඇත්තේ විදේශ රටවල ජනගහණය අඩු කිරීම එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාව විය යුතු බවයි. දැනට ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක වන මාරි ස්ටෝපස්, ගුට්මාකර් වැනි යුජෙනිකස් ඉතිහාසයක් සහිත ජාත්‍යන්තර සංවිධාන හරහාත් කෘත්‍රිම ලෙස නිර්මාණය කෙරී ඇති ආර්ථික අර්බුදය සහ ආහාර හිඟය හරහාත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ හෙන්රි කිසිංජර් විසින් යෝජනා කරන ලද මේ වැඩ පිළිවෙළය.

මෙම ප්‍රෝඩාකාරි වසංගත ආඛ්‍යානය පවත්වාගෙන යාම පිණිස විශාල මැදිහත්වීමක් කරන ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භයේ සිටම යුජෙනික්ස්වාදි බලවේග වල මෙවලමක්ව පැවතිණි. එය ගොඩනැගීම සඳහා මැදිහත් වූයේ 1910 දී එක්සත් ජනපදයේ යුජෙනික්ස් වාර්තාකරණ කාර්යාලය බිහිකිරීමට මැදිහත් වූ රොකෆෙලර් පදනමය. එමෙන්ම නව යුජෙනික්ස්වාදි බලවේග විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සපයමින් එය මුළුමණින්ම සිය ග්‍රහණයට ගෙන තිබේ. මාස කීපයකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි හඳුන්වා දෙන්නට තැත් කළ අතර එම සංශෝධනවල අරමුණු වූයේලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්වයක් ප්‍රකාශකළ විට රටක ස්වාධිපත්‍යය නොතකා නොතකා එම රටට ඇතුළු වී බහුජාතික ඖෂධ සමාගම් සහ යුජෙනික්ස්වාදි බලවේගවල සෞඛ්‍යමය කුමන්ත්‍රණ එම රටතුළ ක්‍රියාත්මක කිරීමට නීතිමය අයිතියක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබාගැනීමය. නමුත් අප්‍රිකානු රටවල් 47ක් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ගේ එම උත්සාහය එම වටයේදී අසාර්ථක විය. නමුත් මේ වනවිට ඔවුහු එම රටවලට සිදු කරන බලපෑම් උත්සන්න කරමින් සිටිති.

ලෝකයේ ඉදිරි දශකය තුළ මිනිස් සංහතියේ ඉරණම විසඳනු ඇත්තේ කෘත්‍රිම බුද්ධිය සහ ජාන ඉංජිනේරු විද්‍යාව, සහ තොරතුරු තාක්ෂණය විසිනි. මේවා විසින් තවත් වසර 5කට පසුව මිනිස් ජීවිත මත අද මෙන් දහස්වාරයක ඒකාධිපතිවාදි බලපෑමක් ඇති කරනු ඇත. එහෙයින් යුජෙනික්ස්වාදය පිළිබඳ හැදෑරීම අනාගතයේදී නොනැසී සිටීම සඳහා ඉතිහාසයේ එක් අඳුරු යුගයක සිදුවූ ඛේදවාචකයන්ගෙන් ඉගෙන ගතයුතු අනිවාර්ය පාඩම් ඉගෙන ගැනීමක් ලෙස මිසෙක හුදු බුද්ධිවාදි ව්‍යායාමයක් ලෙස නොසැළකිය යුතුය.

යුජෙනික්ස් යනු කුමක්ද

නිර්වචනය

මානව වර්ගයාගේ අනාගත පරම්පරාව ගුණාත්මකව වර්ධනය කරනු සඳහා තෝරාගනු ලබන ප්‍රවේණිගත ගුණාංග සමූහය “යුජෙනික්ස්”(eugenics) ලෙස හැඳින්වේ. ඒ් අනුව  යුජෙනික්ස් වාදය යනු තෝරාගනු ලබන යහපත් ප්‍රවේණිගත ගුණාංග පමණක් මානව වර්ගයාගේ අනාගත පරම්පරාවන් වෙත සම්ප්‍රේෂණය කිරීම මගින් මීලඟ පරම්පරාවන් ගුණාත්මකව වර්ධනය කළ යුතු බවට පවතින මතවාදය ලෙස නිර්වචනය කළ හැකිය.

යුජෙනික්ස් වාදිහු චාර්ල්ස් ඩාර්වින්ගේ “පරිසරයට වඩාත් ඔරොත්තු දීමට සමත්වන්නා ඉතුරු වනු ඇතැයි ” යන න්‍යාය විශ්වාස කළහ. මෙම ජීව විද්‍යාත්මක න්‍යාය යුජෙනික්ස්වාදින් විසින් මානව සමාජයට ආදේශ කිරීමට උත්සාහ දරන ලදි. එමගින් සමාජයේ සිටින්නා වූ “දුර්වල” සහ “නොගැළපෙන” පුද්ගලයන් ඉවත් කර දැමීම මගින් ශක්තිමත් අනාගත පරම්පරාවක් බිහිකළ හැකි යැයි ඔවුහු විශ්වාස කළ හ.

“සෞඛ්‍යමත් බීජ පමණක් වැපිරිය යුතුය” ධනාත්මක ප්‍රවේණිය පිළිබඳ අදහස සමාජය තුළ ව්‍යාප්ත කිරීමට 1930 දී යුජෙනික්ස් ව්‍යාපාරය විසින් පළකළ පොස්ටරයක් .මෙහි දැක්වෙන “ සුපිරි ආර්ය දේහලක්ෂණ ” සහිත මිනිස් රූපය මගින් සංකේත කර ඇත්තේ නිරෝගීමත් ප්‍රවේණියයි.එමෙන්ම මේ පොස්ටරය මගින් බීජ වැපිරීමට හෙවත් දරුවන් සැදීමට පෙර සෘණාත්මක හෙවත් රෝගී හෝ අයහපත් ප්‍රවේණිය පිළිබඳ පරම්පරා පරීක්ෂණයක් කරන ලෙස ද උපදෙස් දී තිබේ.

සත්ව පාලනයේ යෙදෙන ගොවියෙකු සිය ගව රංචුවේ සිටින රෝගී හෝ දුර්වල සතුන්හට ප්‍රජනනයේ යෙදීමට ඉඩ ලබා නොදෙයි. ඒ ඔවුන් විසින් වදනු ලබන පැටවුන් ද රෝගී සහ දුර්වල සතුන් වීම හේතුවෙන් ගොවිපලේ සත්ව රංචුවම දුර්වල වී ලෙඩ රෝගවලට ගොදුරු වී විනාශ වනු ඇතැයි යන්න විශ්වාස කරන බැවිනි. මෙහිදී යුජෙනික්ස්වාදිහු මානව සමාජය සත්ව රංචුවක් ලෙසත් සමාජය හසුරුවන අධිපතිවාදි ප්‍රභූ පෙළැන්තිය සත්ව ගොවිපළ භාර ගොවියා ලෙසත් සළකනු ලබයි. ඒ් අනුව ප්‍රභූ පෙළැන්තිය විසින් කළ යුත්තේ යුජෙනික්ස්වාදි මග පෙන්වීම් අනුව සමාජයේ සිටින “දුර්වල සහ නොගැළපෙන” පුද්ගලයන් සමාජයෙන් වෙන්කර ඔවුන් විසින් තවත් පරම්පරාවකට උපත ලබා දීම වැළැක්වීමයි. එමෙන්ම “නිරෝගී සහ යෝග්‍ය ” පුද්ගලයන්ට හැකිතාක් උපරිම ලෙස ප්‍රජනනයේ යෙදීමට ඉඩ සැළසීමයි.

වෙනත් වචනවලින් කිවහොත් මෙහිදී යුජෙනික්ස්වාදින්ගේ ඉලක්කය වන්නේ “වඩාත් සුදුසුම”පුද්ගලයන්හට පමණක් ප්‍රජනනයේ යෙදීමට අවස්ථාව සැළැසීම මගින් වඩවඩාත් “යෝග්‍ය සහ නිරෝගී ” අනාගත පරම්පරාවන් බිහිවන පරිදි පරිණාමීය ක්‍රියාවලිය වේගවත් කිරීමය.

දරුවන් බිහි වීම සිදු විය යුත්තේ ස්ත්‍රියක සහ පුරුෂයෙකු අතර ඇතිවන අන්‍යොන්‍ය ආකර්ෂණයේ, බැඳීමේ හෝ ආදරයේ පදනම මත නොවන බව යුජෙනික්ස්වාදිහු විශ්වාස කරති. ඒ වෙනුවට විද්‍යාඥයන් සහ වෛද්‍ය ක්‍රමය විසින් ද සාමාන්‍ය දැනුම විසින්ද ප්‍රජනනයේ යෙදී දරුවන් බිහිකිරීමට අවසර දිය යුත්තේ කාටදැයි යන්න තීරණය කළ යුතු අතර උසස් සහ නිරෝගී ලක්ෂණ සහිත පුද්ගලයන් අතර වන සංවාසය මගින් පමණක් දරුවන් බිහිකිරීම දිරිගැන්විය යුතුය. එමෙන්ම රෝගී සහ පහත් ලක්ෂණ සහිත පුද්ගලයන් හෝ කණ්ඩායම් සමාජයෙන් වෙන්කිරීම, වන්ධ්‍යාකරණයට ලක්කිරීම හෝ අවශ්‍ය නම් මරා දැමීම මගින් ද ඔවුන් තවත් පරම්පරාවක් බෝ කිරීම වැළැක්විය යුතු යැයි යුජෙනික්ස්වාදිහු ඇදහූහ.

යුජෙනික්ස්වාදයේ ආරම්භය

යුජෙනික්ස් යන වචනය මුල්වරට යොදාගනු ලබන්නේ බ්‍රිතාන්‍ය ගවේෂකයෙකු සහ විද්‍යාඥයෙකු වන ෆ්‍රැන්සිස් ගාල්ටන් විසිනි. පරිණාමවාදයේ පියා ලෙස සැළකෙන චාල්ස් ඩාවින්ගේ “ස්වාභාවික වරණය” පිළිබඳ න්‍යාය ඇසුරෙන් ඩාවින්ගේ ඥාතියෙකු මෙන්ම සහායකයෙකු ද වූ ගාල්ටන් විසින් යුජෙනික්ස්වාදය හා සම්බන්ධ න්‍යායන් වර්ධනය කරන ලදි. ඔහුට අනුව “පරිසරයට අඩුවෙන් ගැළපෙන වාර්ගික හෝ රුධිර ප්‍රභේදයන්ට වඩා , පරිසරයට වඩාත් හොඳින් ගැළපෙන වාර්ගික හෝ රුධිර ප්‍රභේදයන් වෙත නොනැසී සිටීමේ සහ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ වැඩි සම්භාවිතාවක් සතුවේ.”

චාල්ස් ඩාවින්
ෆ්‍රැන්සිස් ගාල්ටන්
ග්‍රෙගෝර් මෙන්ඩෙල්

 

යුජෙනික්ස් යන වචනය තමන් විසින් තෝරාගත්තේ මන්දැයි ගාල්ටන් විසින් සිය , Inquiries into Human Faculty and Its Development. කෘතිය තුළ මෙසේ විස්තර කරයි.
“මෙම පොතෙහි අරමුණු වන්නේ විවිධ තේමාවන් රැසක් සමග අඩු වැඩි වශයෙන් සම්බන්ධිත තේමාවක් වන “වර්ගයන්ගේ බෝවීම”  නැතහොත් අප විසින් එය හඳුන්වන පරිදි ‘යුජෙනික්’ යන වචනයෙන් හඳුන්වන දෙයට අදාළ ප්‍රශ්න ස්පර්ශ කිරීම සහ මා විසින් වෙනම වෙනම කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල ඉදිරිපත් කිරීමය.
ප්‍රවේණිය තුළින් උරුම වන යහපත් උසස් ගුණාංග සහිත සහ මනා ගහණයකින් යුක්ත යන තේරුම දෙන ‘එවියේනියෝස්’යන වචනය ද ඊට සමාන වචනය වන එවියේනියා යන වචනයෙන්ද අර්ථ ගැන්වෙන දෙය මිනිසුන්ට සතුන්ට සහ ශාක සඳහා ද සමාන ලෙස යෙදිය හැකිය.”

ස්වකීය ජනිතයන් වෙත තමන් කැමැති සහ තෝරාගනු ලබන ප්‍රවේණික ලක්ෂණ ලබාදීම සඳහා වඩාත් ගැළපෙන ලිංගික සහකරුවා හෝ සහකාරිය තෝරාගැනීම පිළිබඳ සංකල්ප  19 වන සියවසේ පැවැත්මට ආ යුජෙනික්ස් වාදයට ද වඩා පැරණි ඉතිහාසයක් තිබේ.
දෙමව්පියන්ගේ කායික ලක්ෂණ සහ ඇතැම් විට රෝගී තත්වයන් ද දරුවන් වෙත උරුම වන බවට අවබෝධයක් පැරණි ග්‍රීක සමාජය තුළ පැවතිනි. ප්ලේටෝ ඔහුගේ “ජනරජය”(The Republic) නම් කෘතියේ මෙසේ සඳහන් කර තිබේ.

“දුර්වල දෙමව්පියන් දරුවන් බිහිකිරීම නොකළ යුතුය. මක් නිසාද යත් දරුවන් ඔවුන්ගේ පහත් ලක්ෂණ උරුමකරගන්නා බැවිනි. එම දරුවන්ට අර්ථවත් ජීවිතයක් ගත කිරීමට හෝ රාජ්‍යය වෙත කවර ආකාරයකින් දායකවීමට තරම් තරම් ශක්තියක් ඔවුන් සතු නොවේ.”(Plato,The Republic,c. 378 BCE)
දෙමව්පියන්ගේ මානසික ගුණාංගද දරුවන්ට උරුමවන බවට ප්ලේටෝ විශ්වාස කළේය.ඔහු මානසික රෝගී පුද්ගලයන් පිළිබඳව මෙසේ ලිවීය.
“උමතු පුද්ගලයන්හට නගරය තුළ ගැවසීමට ඉඩ නොතැබිය යුතුය. ඔවුන් සම්බන්ධ වගකීම ඥාතීන් සතු දෙයක් මිසෙක රාජ්‍යය සතු නොවේ.ඥාතීන් සිය වගකීම ඉටු කිරීමට අසමත් වන්නේ නම් නීතිය ඔවුනට දඬුවම් පමුණුවනු ඇත.”
(Plato,The Republic,c. 378 BCE)
ප්ලේටෝ මෙහිදී ප්‍රකාශ කරන්නේ වඩාත් උසස් මිනිස් සමාජයක් නිර්මාණය සඳහා වරණීය ප්‍රජනනය සමාජයක් තුළ රාජ්‍යය විසින් බලාත්මක කළ යුතුය යන්නයි.

තෝමස් කැම්පනෙල්ලා

ඉතාලියානු ජාතික දාර්ශනිකයෙකු සහ කවියෙකු වූ තෝමස් කැම්පනෙල්ලා (Tommaso Campanella) විසින් ක්‍රිස්තු වර්ෂ 1623 දී ලියන ලද “හිරුගේ නගරය” නම් කෘතිය තුළ දරුවන් බිහිකීරීම ප්‍රභූ පෙළැන්තියට පමණක් අයිති වරප්‍රසාදිත දෙයක් ලෙස සැළකෙන “පරමාදර්ශී සමාජයක් ” අදහස ඉදිරිපත් කර තිබේ.

1869 දී ෆ්‍රැන්සිස් ගාල්ටන් ඔහුගේ Hereditary Genius නම් කෘතිය මගින් යෝජනා කරන්නේ විශිෂ්ට පුරුෂයන් සහ ධනවත් ස්ත්‍රීන් අතර සිදුවන විවාහයන් මගින් උසස් මිනිස් වර්ගයක් බිහිකළ හැකි බවයි.

1865 දී වර්තමාන ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සැළකෙන ග්‍රෙගෝර් මෙන්ඩෙල් විසින් ප්‍රවේණිය පිළිබඳ මූලික නියමයන් ඉදිරිපත් කරන ලදි.මෑ ශාකයේ ප්‍රභේදයක් යොදාගෙන ඔහු විසින් පවත්වන ලද පරීක්ෂණවල නිගමනයන් වූයේ සෑම ආවේණික කායික ලක්ෂණයක්ම කිසියම් ඒකක දෙකක (වර්තමානයේදී මෙය ජාන ලෙස හැඳින්වේ) සම්බන්ධතාව අනුව සිදුවන බවත් එම ලක්ෂණ එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වන බවත්ය.

ජීව විශේෂයන්ගේ සම්භවය

චාල්ස් ඩාවින් 1859 දී ඔහුගේ “ජීව විශේෂයන්ගේ සම්භවය” (The Origin of Species) කෘතිය පළ කළ පසුව මිනිස් වර්ගයා අභිජනනය කළ හැකි යැයි විශ්වාස කළවුන්ට වැදගත් න්‍යායක් හිමිවිය. ඩාර්වින්ගේ ඥාති සහෝදරයෙකුවූ වූ එංගලන්තයේ විසූ ෆ්‍රැන්සිස් ගාල්ටන් ජීව විශේෂයන්ගේ සම්භවය මගින් ඉදිරිපත් කරන න්‍යායන් සමාජයේ සිටින “නොගැළපෙන, අයෝග්‍ය සහ රෝගී” පුද්ගලයන් සම්බන්ධ තම මතය සනාථ කිරීම සඳහා යොදාගත්තේය.

ප්‍රවේණිය පිළිබද මෙම මූලික දැනුම ද චාර්ල්ස් ඩාර්වින්ගේ ස්වභාවික වරණය පිළිබඳ න්‍යායද මත පදනම්ව ප්‍රැන්සිස් ගාල්ටන් විසින් වරණීය ප්‍රජනනය මගින් මානව වර්ගයා සංවර්ධනය කිරීම පිළිබඳ ඉයුජෙනික්ස්වාදි න්‍යායන් ගොඩ නැගීය.

ෆ්‍රැන්සිස් ගාල්ටන්

ඔස්ට්‍රේලියානු පර්යේෂකයෙකු සහ ලේඛකයෙකු වූ රොජර් සැන්ඩෝල් (Roger Sandall) චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමවාදි න්‍යාය ෆ්‍රැන්සිස් ගාල්ටන්ගේ ජීවිතය වෙනස් කිරීමට බලපෑ ආකාරය ගැන මෙසේ විස්තර කර තිබේ.

“ගාල්ටන්ගේ විද්‍යාත්මක වෘත්තීමය පැවැත්මේ සහ ගෘහස්ථ ජීවිතයේ තීරණාත්මක අවදියකදී ප්‍රකාශයට පත් වූ ඩාර්වින්ගේ පොත විසින් ඔහුගේ  ආගමික විශ්වාසයන් දෙදරා ගිය අතර ඔහුව ජීව විද්‍යාත්මක පර්යේෂණ කරා යොමු කරන ලදි. ගාල්ටන් විසින්ම පවසා ඇති පරිදි මේ සඳහා ඔහුගේ “මනස තුළ ආවේණික නැඹුරුවක් ” නිතරම පැවැති අතර 1859 සිට ම ඔහු සිය පර්යේෂණ පටන්ගත්තේය. ආවේණිය පිළිබඳ මූලික තේමාවන් සහ මානව වර්ධනයේ ශක්‍යතාවන් වටා කරුණු ගොඩ ගැසිණි.”

ජානමය වශයෙන් පරිපූර්ණ පුද්ගලයන්ට පමණක් ප්‍රජනනයේ යෙදීමට ඉඩහැරිය යුතු බව ෆ්‍රැන්සිස් ගාල්ටන් ඔහුගේ අනුගාමිකයන්ට උගන්වන ලදි. 1873 දී ඔහු විසින් ලියන ලද “ආවේණියේ ප්‍රවර්ධනය” (Hereditary Improvement) නම් රචනයේදී ඔහු විසින් අවධාරණය කරන ලද්දේ දුර්වල බෙලහීන පුද්ගලයන් “බ්‍රහ්ම චර්යාව” පිළිපැදිය යුතු බවයි.

“ස්වභාව ධර්මයේ නීති විසින් ම පූර්ව නිශ්චිත විනාශයකට ලක්වීමට නියමිත මොවුන්ගේ පැවැත්ම අවසන් වීමට ඉඩ සැළසිය යුතුය.”යි ඔහුගේ අදහස විය.

ගාල්ටන් විශ්වාස කළේ සමහර නිශ්චිත මානව වර්ග උසස් සහ විශිෂ්ට මානව වර්ග ලෙස සැළකිය හැකි බවත්, පහත් මානව වර්ගවල ප්‍රජනන කටයුතු දැඩි ලෙස පාලනය කළ යුතු බවත්, එවැනි පහත් වර්ගවලට අයත් නිදර්ශක කීපයකට පමණක් ප්‍රජනනයේ නිරතවීමට ඉඩහැරිය යුතු බවත් සහ ඔවුන්ගෙන් පැවැත එන්නන් කීපදෙනෙකුට පමණක් ජීවත්වීමට ඉඩහැරිය යුතු බවත් ය.

සිය රටවන එංගලන්තය විසින් දක්ෂතා සහ කුසලතා පූර්ණ බුද්ධිමත් පුද්ගලයන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ලැයිස්තුවක් සකස් කරමින් ඔවුන් අතර අන්තර් විවාහ සිදු කරන ලෙසට ඉල්ලා සිටිය යුතු බවටත් මෙම බුද්ධිමත් සුපිරි ප්‍රභූ පෙළැන්තියට විශේෂ වරප්‍රසාද ලබාදිය යුතු බවටත් ගාල්ටන් විසින් නිර්දේශ කරන ලදි. දුර්වල බෙලහීන පුද්ගලයන් වෙත කිසිවක් ලබා නොදිය යුතුය. ඔහුට අනුව දිරිගැන්වීමේ ප්‍රදාන ලබාදිය යුත්තේ වරප්‍රසාදිත පන්තියට පමණකි. ඒ සැප පහසු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරමින් සිය ප්‍රජනන කටයුතු වැඩි ශිඝ්‍රතාවයකින් කරගෙන යාමට අවශ්‍ය තත්ත්වයන් ගොඩ නැගීමටය.

“පහත් පන්තීන්” විසින් සිය වර්ගයා බෝ කිරීමෙන් වැළකී “බ්‍රහ්ම චර්යාව” රකිමින් සිටින තාක් කල් දුරට මෙම වරප්‍රසාදිත බුද්ධිමත් පන්තිය විසින් පහත් පන්තීන් වෙත වෙත කාරුණිකව සැළකිය යුතු යැයි ගාල්ටන් නියම කර තිබේ. නමුත් පහත් පන්තිය විසින් සදාචාරමය, බුද්ධිමය, සහ කායිකව වශයෙන් පිරිහුණ බෙලහීන දරුවන් බිහිකිරීම දිගටම සිදු කරන්නේ නම් ඔවුන් රාජ්‍යයේ සතුරන් ලෙස සැළකිය යුතු මොහොතක් එැළඹෙන බවත් ඒ අනුව වරප්‍රසාදිත උත්තම පන්තියේ අනුකම්පාව ඔවුන්ට තවදුරටත් හිමිවිය යුතු නැති බවත් ගාල්ටන් විශ්වාස කළේය.

ගාල්ටන් විශ්වාස කළේ සමාජ ප්‍රශ්නවලට හේතුව මානව ජාන ප්ලාස්මාව ( human germplasm /genes) දෝෂ සහිත ජාන නිසා සිදුවන බවය. එමෙන්ම මෙම දෝෂ සහිත ජාන දරන්නා වූ පුද්ගලයන් විසින් දරුවන් බිහිකිරීම වැළැක්විය හැකිනම් දුප්පත්කම,මානසික රෝග,උමතුව,සහ බේබදුකම වැනි අයහපත් ලක්ෂණ සමාජයෙන් ඉවත් කළ හැකි බවද ඔහු විශ්වාස කළේය

මානව වර්ගයාගේ චර්යා ස්වභාවය කෙරෙහි බලපාන මූලික සාධකය වන්නේ ජාන බවත්,පාරිසරික සාධක වෙනස් කරලීම මගින් මිනිසුන්ගේ ජීවන තත්ත්වයන් වෙනස් කරලීමට ගන්නා ලද උත්සාහයන් අසාර්ථකවන බවත් යුජෙනික්ස්වාදිහු විශ්වාස කළහ. එමෙන්ම කළු ජාතිකයන් වැනි සමාජයේ පහළම මට්ටම්වල සිටින මිනිසුන්ගේ දුප්පත් පීඩාකාරි ජීවිතයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ “පහත් ජාන” හෙවත් “පහත් ප්‍රවේණිගත ලක්ෂණ මිසෙක ඔවුන්ට එරෙහිව පවත්නා සමාජ අසාධාරණත්වය සහ හෝ අයුක්තිය නොවන බව ද යුජෙනික්ස්වාදිහු ප්‍රචාරය කළහ.

ගාල්ටන් විසින් සමාජය මත ඇති කරන ලද බලපෑමත් එහි සදාචාරාත්මක පදනමත් පිළිබඳව රොජර් සැන්ඩෝල් මෙසේ සඳහන් කර තිබේ.

“ ඩාර්වින් වාදයේ බලපෑම වූකලී ආධානග්‍රාහි බාධක රැසක් එකම පහරකින් විනාශකර දැමීමට ද සහ නූතන විද්‍යාව සමග පරස්පරවන ප්‍රකාශ මත පදනම්ව ඇති සියලු  ඉපැරණි අධිකාරිත්වයන්ට විරුද්ධව සම්මත විරෝධී කැරැළිකාරිත්වයේ ජීවගුණය මුදාහැරීමට එය සතුව පවතින හැකියාවයි.” යනුවෙන් ෆ්‍රැන්සිස් ගාල්ටන් විසින් සිය ජීවිතයේ පසු කලෙකදී ලියා තිබේ.
“යුජෙනික්ස්වාදය නව ආගමක් ලෙස ජාතික විඥානයට හඳුන්වා දිය යුතුය. එය අනාගතයේදී ස්ථාපිත ආගමික ශික්ෂා ධර්මයක් බවට පත්වීමට තරම් ශක්තිමත්ය.” යි ගාල්ටන් විසින් තවත් වරෙක ප්‍රකාශ කර තිබුණි.
යුජෙනික්ස්වාදය විසින් අවතැන් වූ ආගමික උනන්දුව දේශපාලන බලාත්කාරයේ සේවය සඳහා යොදාගැනිණි. එය ජර්මන් ජාතික සමාජවාදයේ සහායකයෙකු විය.යුජෙනික්ස්වාදය වර්ගවාදි බැහැරකිරීමේ ප්‍රතිපත්තිවල සිට අවසානයේ සමූල සංහාරයක් දක්වා පියවරෙන් පියවර විකාශනය වීම පුදුමයක් නොවේ.

(“How Eugenics Began,” Roger Sandall, Retrieved 6/14/2015. http://www.rogersandall.com/how-eugenics-began/)

“පරිසරයට ගැලපෙන්නා නොනැසී සිටීමටත් සිය වර්ගයා පවත්වාගෙන යාමටත් සමත් වේ ” යන චාර්ල්ස් ඩාවින්ගේ න්‍යාය (survival of the fittest) මිනිස් වර්ගයාට සහ මානව සමාජයට ආදේශ කරමින් 19වන සිය වසේ පසුභාගයේදී ව්‍යාප්ත වූ සමාජ ඩාවින්වාදය (Social Darwinism) නම් ප්‍රතිගාමි න්‍යාය යුජෙනික්ස්වාදින් සිය “විද්‍යාත්මක පර්යේෂණයන්ගේ ” පදනම ලෙස සළකන ලදි.

අර්න්ස්ට් හෙකල්
අර්න්ස්ට් හෙකල්

ඩාවින්ගේ පරිණාමවාදය පුළුල් ලෙස පැතිරී යත්ම එහි සවභාවිකවරණය පිළිබඳ ඔහුගේ නියමයන් මානව සමාජයට ආදේශ කිරීම සිදුවිය. සමාජ ඩාවින්වාදය ලෙස හැඳින්වෙන්නේ මෙම ප්‍රතිගාමි මතවාදයයි. සමාජ ඩාවින් වාදයේ ආරම්භකයෙකු ලෙස සැළකෙන්නේ ජර්මන් ජාතික සත්ව විද්‍යාඥයෙකු වූ අර්න්ස්ට් හෙකල්ය. (Ernst Häckel 1834-1919) ඔහු විසින් ලියන ලද “ජීවයේ අසිරිය ”( Die Lebenswunder-1904) කෘතියේ මෙසේ සඳහන් වේ.

“එහෙයින් පැරණි ස්පාර්ටාවරුන් විසින් වඩාත් ශක්තිමත් දරුවන් තෝරාගැනීම සඳහා ආබාධිත දරුවන් මරා දැමීම මිනිස් ඝාතනයක් යන සංකල්පය යටතට නොවැටිණි.  අපගේ නූතන ආචාර ධර්ම අනුව ද එය තවමත් සිදු වේ. අප විසින් එය අනුමත කළ යුත්තේ ඥාතීන්ට මෙන්ම සමාජයටද ප්‍රයෝජනවත් ක්‍රියාමාර්ගයක් ලෙසය.”
(Ernst Häckel, Die Lebenswunder, 1904, පිටුව. 23)

“ සිය දහස් සංඛ්‍යාත උන්මත්තකයන්,ලාදුරු රෝගීන්,පිළිකා රෝගීන් වැනි බරපතල රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ව අපගේ නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයන් තුළ කෘත්‍රිම ලෙස ජීවත් කරවමින් තබාගන්නා අතර ඔවුන්ට හෝ සමාජයට කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව ඔවුන්ගේ අනවරත වේදනාවන් දිග්ගස්සති.
(Ernst Häckel, Die Lebenswunder, 1904, පිටුව. 134)

“පරිසරයට ගැළපෙන්නවුන්” වෙත ස්වභාව ධර්මයෙන් ත්‍යාග පිරි නැමෙන බැවින් පරිසරයට නොගැළපෙන්නවුන් විනාශයට පත් කරමින් හෝ එසේ වන්නට ඉඩහැරීම මගින් පරිණාමීය ක්‍රියාවලියට සහාය විය යුතු බවට ඔහු තර්ක කළේය.

“ස්වාභාව ධර්මයට අනුව විය යුතු පරිදිම ජෛව පරිසරය තුළ ව්‍යාප්ත වෙමින් පවතින මෙම පැවැත්ම පිළිබඳ කෘර සහ අනුකම්පා විරහිත අරගලය, සියලු ජීවින් අතර පවත්නා මෙම අනවරත සහ ස්ථිර තරඟය ප්‍රතික්ෂේප කළ නොහැකි සාධකයකි;තෝරාගනු ලබන, වරප්‍රසාදිත සහ  පරිසරයට ගැළපෙන සුළුතරයක් පමණක් මෙම තරඟය තුළ සාර්ථකව විනාශ නොවී සිටීමට සමත්වන අතර අති විශාල බහුතරයක් මෙම තරඟය තුළ අනිවාර්යයයෙන්ම කාලකණ්නි සහගත ලෙස විනාශයට පත් වේ ” (From Darwin to Hitler, පිටුව. 80).

ජාතික සමාජවාදයේ විද්‍යාත්මක සම්භවය නම් කෘතිය ලියන ලද ඩැනියෙල් ගස්මාන් පවසන පරිදි අර්න්ස්ට් හෙකල්  “ ජර්මනියේ ප්‍රධානතම වර්ගවාදි, ජාතිවාදි සහ අධිරාජ්‍යවාදි න්‍යායචාර්යවරුන් අතරෙන් එක් අයෙකු බවට පත්ව තිබේ.” (Daniel Gasman, The Scientific Origins of National Socialism, පිටුව. xvii).

විශේෂ අවශ්‍යතා සහ මානසික දුර්වලතා ඇති ළමුන් සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජර්මානු විශේෂඥයෙකු වන ඔටෝ ස්පෙක් විසින් පෙන්වා දී තිබුණේ හෙකල් විසින් වාර්ගික සෞඛ්‍ය පාරිශුද්ධතාව පිළිබඳ න්‍යායන් සහ යුජෙනික්ස්වාදි දේශපාලනය ක්‍රියාත්මක කිරීම සඳහා 1911 දී ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරය තුළ යුජෙනික්ස් උපදේශක මධ්‍යස්ථානයක් පිහිටුවන ලද බවය.

ස්පෙක් විසින් සඳහන් කර ඇති අන්දමට “මෙහි විශේෂිත අරමුණු වූයේ වාර්ගික පාරිශුද්ධතාවයක් සහිත විවාහ සඳහා උපදෙස් දීමය, දේශපාලනික වචනවලින් විස්තර කරන්නේ නම් දරුවන් බිහිකිරීම සඳහා සුදුසු නොවන පහත් සමාජ පන්තිවලින් පැවතෙන පුද්ගලයන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම සඳහා නීති සහ රෙගුලාසි බලාත්මක කරවීම සඳහා උපදේශන කටයුතු සිදු කිරීමයි”

ප්‍රජනන හැකියාව සහිත රෝගී වැඩිහිටියන් විසින් සිය රෝගී ජාන ව්‍යාප්ත කිරීම වැළැක්වීම සඳහා ඔවුන් මරණයට පත්කළ යුතු යැයි ද විශේෂිත කොමිසමක් මගින් අදාළ පුද්ගලයන්ගේ ඉරණම තීරණය කළ යුතු යැයිද අවසානාවන්ත පුද්ගලයන් විශේෂිත විෂ වර්ගයක් මගින් ක්ෂණික සහ වේදනා රහිත ලෙස මරණයට පත් කළ යුතු යැයිද හෙකල් විසින් නිර්දේශ කර තිබේ. (Wonders of Life pp118-119, cited Gasman පිටුව 95).

එමෙන්ම නිවැරදි කළ නොහැකි අපරාධකරුවන් මරා දැමීම මගින් “මානව වර්ගයාගේ බහුතර පිරිසකගේ ජීවන අරගලය පහසුවනවා පමණක් නොව මෙම පිරිහුණ අපරාධකරුවන්ගේ සාපරාධී ගුණාංග (තවත් පරම්පරාවකට ජාන මගින්) සම්ප්‍රේෂණය කිරීමට ඇති හැකියාවද අහෝසි කරන උසස් කෘත්‍රිම වරණයක් එමගින් භාවිතයට නැගෙනු ඇත.” යි හෙකල් අදහස් කළේය.(History of Creation, 1, 172-3 cited Gasman පිටුව 96.)

ඔහු විසින්ම වරෙක ස්වභාව ධර්මයේ සිද්ධාන්තයන් සෘජු සහ නුසුදුසු ලෙස ප්‍රායෝගික දේශපාලන අවකාශයක් තුළ භාවිතයේ යෙදීමේ භයානකත්වය ගැන අනතුරු අඟවා තිබුණ ද ඔහුගේ යුගයේ ජර්මනියේ විශිෂ්ටතම ජීව විද්‍යාඥයා සහ පරිණාමවාදය පිළිබඳ න්‍යායධරයා වූ ඔහු වර්ගවාදයට සහ ඉයුජෙනික්ස්වාදයට විද්‍යාත්මක මුහුණුවරක් ලබාදීම පිළිබඳව දැඩි ලෙස වගකිවයුත්තෙකි. ඔහු වාර්ගික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ විශ්වාස කළ අතර එය මානව පරිණාමයේ ස්වාභාවික ප්‍රතිඵලයක් ලෙස සැළකුවේය. නූතන මානවයාගේ පරිණාමය පිළිබඳ ඔහුගේ රූප සටහන්වල ඔහු කළු සමක් සහිත මිනිසුන් පහත් මානව වර්ගයක් ලෙස සළකමින් පහළින් ස්ථාන ගත කළ අතර සුදු ජාතින් විශේෂයෙන් ජර්මන් වරුන් ඉහළින්ම ස්ථානගත කළේය.

හෙකල් ඕස්ට්‍රේලියාවේ ඇබොරිජන් ජනතාව වානරයන්ට සමාන කලේය. පරිණාමයේ වෘක්ෂය සහිත ඔහුගේ තවත් රූප සටහනක් තුළ ඔහු ගෝරිල්ලා, ඔරංඋටාන් සහ චිම්පන්සියෙකු සහ කළු සමක් සහිත මිනිසෙකු සමානයන් ලෙස පහළින්ම ස්ථානගත කර තිබේ.

H.-P.Haack  Ernst Haeckel: Natürliche Schöpfungsgeschichte, 1868. Erstdruck

The Natural History of Creation නම් කෘතියේ හෙකල් චිත්‍ර සටහන් 12ක් මගින් “වානරයාගේ සිට ග්‍රීක ජාතිකයෙකු දක්වා සිදු වූ පරිණාමය ” විස්තර කර තිබේ. එහි වානරයන් 6ක් සහ මානවයන් 6කගේ රූප සටහන් ඇත. එහි ඉහළම වානරයා චිත්‍රණය කර ඇත්තේ ඔහු විසින් පහළින් ස්ථානගත කර ඇති අප්‍රිකානු හෝ ඕස්ට්‍රේලියාවේ ඇබොරිජන් මිනිසුන්ගේ ලක්ෂ සහිත මිනිසාට සමාන ලක්ෂණවලින් යුක්ත වන ලෙසය. හෙකල් විසින් මෙම රූප සටහන් විශාල වශයෙන් විකෘති කොට දක්වා තිබේ. අප්‍රිකානු හෝ ඇබොරිජන් මිනිසුන් වානරයන්ට සමාන යැයි ඔහු විසින් පළ කරන මතය සමාන කිරීම සඳහා එම රූප සටහන් තුළ වන එම මිනිසුන්ට වානරයන්ගේ කායික ලක්ෂණ ඇතුළත් කොට තිබේ.

හෙකල් විශ්වාස කළේ “පහළම මිනිස් වර්ගයා” තුළ වානරයන්ට වැඩි වටිනාකමක් නැති බවයි.
“ මෙම වනචාරි පහත් මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම මානවකල්පී වානරයන්ට සමාන වේ, වැඩි වන්නේ නම් ඒ ඉතා ස්වල්ප වශයෙන් පමණි.” (From Darwin to Hitler, පිටුව. 109).

බොහෝ විද්‍යාඥයන්ට අනුව හෙකල් විසින් වරණය සහ පරිණාමය පිළිබඳ ඩාවින්වාදි නියමයන් මානව සමාජයට ආදේශ කිරීම මගින් ජර්මනියේ සමාජ ඩාර්වින්වාදය සඳහා පස සකස් කර ඇත. සමාජ විද්‍යාඥ ප්‍රිට්ස් කෝර්නර්ට අනුව ජර්මන් සමාජ ඩාවින් වාදයේ පිතෘවරයා අර්න්ස්ට් හෙකල්ය. හෙකල් සමානත්වයේ, සිවිල් නිදහසේ, සහ වෘත්තීය සමිතිවල ප්‍රබල සතුරෙකි. ඔහු පෙනී සිටියේ පුද්ගලික නිදහස මැඩ පවත්වන ශක්තිමත් රාජ්‍යයක් වෙනුවෙනි.
ජර්මනියේ නාසි හෙවත් ජාතික සමාජවාදී වැඩ පිළිවෙලේ දරුණුතම අංග ලක්ෂණවලට හෙකල්ගේ වැඩපිළිවෙලේ යෝජනාවන් සමානය. හිට්ලර් විසින් හෙකල්ගේ පොත් කියවූවා දැයි පැහැදිලි සාක්ෂි නැති නමුත් ජර්මනියේ ජාතික සමාජවාදය නැගී ආ සමයේ වැඩියෙන්ම අලෙවි පොත් අතර හෙකල්ගේ පොත් ද වීම අහම්බයක් නොවේ.

හෙන්රි ෆෙයාර්ෆීල්ඩ් ඔස්බෝර්න්
ඔස්බෝර්න්

20 වන සියවසේ පළමු අර්ධය තුළ ඇමෙරිකාවේ ප්‍රමුඛ පරිණාම විද්‍යාඥයෙකු වූ හෙන්රි ෆෙයාර්ෆීල්ඩ් ඔස්බෝර්න් දරුණු වර්ගවාදියෙකු විය. 1926 දී අෆ්‍රිකානුවන් සහ ආසියානුවන් සුදු යුරෝපීය කොකේසියානුවන්ට වඩා පහළ මට්ටමේ මිනිස් වර්ගයටන් බව ලියා තිබේ.ඔහු ඔහුගේ “මිනිස් වර්ගයාගේ පරිණාමය කෘතියේ මෙසේ සඳහන් කරයි.”
“මොළය පිළිබඳව පමණක් නොව පමණක් නොව‍,ඉව , බුද්ධිය පිළිබඳවද හිස කෙස්, දත් සහ ලිංගික අවයව වැනි ශාරිරික ලක්ෂණ සහ සංවේදි ඉන්ද්‍රියයන් පිළිබඳවද, සිදු කරන ලද පරීක්ෂණයකින් ඔප්පු කර ඇති පරිදි නිග්‍රෝයිඩ් මානව ප්‍ර වේණිය කොකේසියන්වරුන්ට සහ මොංගෝලියන්වරුනට වඩා පැරණිය. වැඩිහිටි නීග්‍රෝවරයෙකුගේ සාමාන්‍ය බුද්ධි මට්ටම හොමෝ සේපියන් මිනිස් වර්ගයේ 11 හැවිරිදි දරුවෙකුගේ බුද්ධියට සමානය”(Henry Fairfeild Osborn, The Evolution of Human Races,” Natural History, Jan.-Feb. 1926).

තෝමස් හක්ස්ලි
හක්ස්ලි

තෝමස් හක්ස්ලි එංගන්තය තුළ ඩාවින්ගේ ප්‍රධානතම අනුගාමිකයෙකු විය. එමෙන්ම සුදු නොවන ජන වර්ග සුදු මිනිසුන්ට වඩා පහත් මිනිස් වර්ග ලෙස සැළකූ වර්ගවාදියෙකුද විය.ඔහු විසින් මෙසේ ලියා තිබේ.
“කරුණු අවබෝධකරගත හැකි තාර්කිකව සිතන කිසිදු මිනිසෙකු සාමාන්‍ය නීග්‍රෝවෙකු සුදු මිනිසුන්ට වඩා උසස් යැයි තබා සමානය යනුවෙන්වත් සිතන්නට ඉදිරිපත් නොවේ.” (Lay Sermons, Addresses and Reviews, 1871, p. 20).

“අප්‍රිකානුවෙකුට කවර වරප්‍රසාද ලබා දුන්නද ඔහු වඩාත් විශාල මොළයකින් සහ කුඩා හකු සහිත සිය ප්‍රතිවාදියා වන සුදු කොකේසියානුවෙකු සමග හුදෙක් සපාගැනීම්වලින් නොව බුද්ධිමය සිතුවිලින් වන තරඟයකදී තරඟකිරීමට සමත් නොවේ.”
හක්ස්ලි ඕස්ට්‍රේලියාවට යාබද නිව්ගිනියා පිළිබඳ ගවේෂණයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගිනියාවේ ස්වදේශිකයන් හෙවත් ඇබොරිජින් වරු ලෙස හැදින්වෙන් ජනතාව මිහිතලය මතින් අතුගෑවී යන්නේ නම් එය මානව වර්ගයාට වන සෙතක් බව නිගමනය කළේය.
අපගේ පොදු මනුෂ්‍යත්වයේ නැමැති වංශ සළකුණේ පැල්ලමක් බඳු මොවුන් මිහිතලය මතින් තුරන් වී යාම දැකිය හැක්කේ තෘප්තිමත් බවකින් යුතුව පමණි.(Adrian Desmond, Huxley, p. 144).

පරිණාමවාදය “වර්ගවාදයේ විද්‍යාත්මක පදනම බවට පත්වීම”

චාල්ස් ඩාර්වින් මෙන්ම ආරම්භක පරිණාමවාදින් සියලු දෙනා එක් හෝ තවත් ආකාරයක වර්ගවාදීන් වූහ. ඔවුහු අප්‍රිකානුවන්, ඕස්ට්‍රේලියාවේ ඇබොරිජන්වරුන් හෝ ආසියාතිකයන් සැලකුවේ යුරෝපීය සුදු ජාතිකයන්ට වඩා පහත් ජනවර්ගයන් ලෙසය.

ඕස්ට්‍රේලියානු ඇබොරිජන්වරුන් ඝාතනය කර ලන්ඩන් නගරයේ කෞතුකාගාරවල ප්‍රදර්ශනය කරන ලද්දේ නූතන මානවයා සහ වානරයන් අතර මෙතෙක් කල් සොයාගත නොහැකිව තිබූ සම්බන්ධතාව සඳහා නිදර්ශක ලෙසය. ඔටා බෙන්ගා නමැති පිග්මි ජාතිකයා බ්‍රොන්ක්ස් සත්තුවත්තේ වඳුරු කූඩුවක දමා ප්‍රදර්ශනය කරන ලදි.

1850 ට පෙර සිටම වර්ගවාදය නිශ්චිත ලෙසම පැවතුණ ද සුදු යුරෝපීයයන් විසින් ‘අඩුවෙන් පරිණාමය වූ ’ අප්‍රිකානු සහ ඕස්ට්‍රේලියානු ඇබොරිජන්වරුන්ට මත සිය ආධිපත්‍යය තහවුරු කිරීම ‘විද්‍යාත්මකව සාධාරණීකරණය’ කිරීමට  පරිණාමයවාදය යොදාගන්නා ලදි. කලින් කතෝලික දහම නොඅදහවුන්නවුන් පහත් මිථ්‍යාදෘෂ්ඨිකයන් ලෙස වර්ගීකරණය කරමින් ඔවුන් සංහාරය කරමින්ද වහල්බවට පත්කරමින්ද සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට කටයුතු කළාක් මෙන් ඔවුහු මෙවර යොදාගත්තේ පරිණාමවාදයයි. ඕස්ට්‍රේලියානු ඇබොරිජන්වරුන් ඝාතනය කර ලන්ඩන් නගරයේ කෞතුකාගාරවල ප්‍රදර්ශනය කරන ලද්දේ නූතන මානවයා සහ වානරයන් අතර මෙතෙක් කල් සොයාගත නොහැකිව තිබූ සම්බන්ධතාව සඳහා නිදර්ශක ලෙසය. ඔටා බෙන්ගා නමැති පිග්මි ජාතිකයා බ්‍රොන්ක්ස් සත්තුවත්තේ වඳුරු කූඩුවක දමා ප්‍රදර්ශනය කරන ලදි. මනුෂ්‍යයෙකු වෙත මෙවැනි සැළකීමක් කිරීම යුක්ති යුක්ත කළ හැක්කේ කවරක් මගින්ද? ඒ සඳහා යොදාගනු ලැබුවේ පරිණාමවාදයයි. මක් නිසාද යත් අප්‍රිකානුවන්, ඇබොරිජන්වරුන් සහ ආසියාතිකයන් සාවද්‍ය ලෙස සළකන ලද්දේ යුරෝපීය කොකේසියානු වර්ගයට වඩා පහත් ජන වර්ගයන් ලෙස බැවිනි.

පරිණාමය පිළිබඳ සිය පැහැදිලි කිරීම්වල නිගමනය ලෙස ඩාවින් තර්ක කරන්නේ , මිනිසා විසින් යම් දිනෙක තමන්ව මෙහෙයවනු ලබන්නේ ඉවෙන් පමණක් නොව වරණීය ප්‍රජනනය මගින් ද බව අවබෝධ කරගත් විට ඔවුනට ඔවුන්ගේ අනාගත පරිණාමය පාලනය කිරීමේ හැකියාව ලැබීම සිය ඉතිහාසය තුළ මිනිසාට තැබිය හැකි විශාලතම ඉදිරි පියවර බවයි.

ප්‍රජනනය සහ ධනාත්මක ප්‍රවේණිය (positive eugenics) සහ සෘණාත්මක ප්‍රවේණිය ( negative eugenics) ආදි වශයෙන් යුජෙනික්ස්වාදයට අදාළ යෙදුම් ක්‍රමානුකූලව සංවර්ධනය විය. ධනාත්මක ප්‍රවේණිය ලෙස සැළකෙන්නේ ප්‍රජාවක් තුළ යහපත් ප්‍රවේණිගත ලක්ෂණ ප්‍රගුණනය කරමින් වර්ධනය කිරීමයි. මේ සඳහා “උසස් ,නිරෝගී සහ යහපත් ජාන ”සහිත ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර පමණක් ප්‍රජනන ක්‍රියාවන්ට අවසර හිමි වේ.

සෘණාත්මක ප්‍රවේණිය යනු ප්‍රජාවක් තුළ ඇති “අයහපත්, රෝගී සහ පහත් ”ජාන ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා එවැනි දුර්වල පුද්ගලයන් හට විවාහවීම වැළැක්වීම, ඔවුන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔවුන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම ආදිය මගින් ඊළඟ පරම්පරාවට එම දුර්වල සහ අයහපත් ප්‍රවේණිගත ලක්ෂණ සම්ප්‍රේෂණය වීම වැළැක්වීමයි.

1900 ගණන්වල මුල් දශකවල දී ජීව සහ සමාජ විද්‍යාඥයෝ යුජෙනික්ස් පිළිබඳ බැරෑරුම් අධ්‍යයනයන්හි යෙදුණාහ. සමාජීය වශයෙන් වැදගත්වන මානව ගුණාංග කොතෙක් දුරට ප්‍රවේණිය තුළින් ලැබෙන්නේ දැයි සෙවීමට ඔවුහු තුළ දැඩි උනන්දුවක් විය.ඔවුන්ගේ උනන්දුව වඩාත් යොමු වූ ක්ෂේත්‍රයක් වූයේ යම් පුද්ගලයෙකුගේ ප්‍රවේණිය පිළිබඳ අධ්‍යයනයන් මගින් ඔහුගේ හෝ ඇයගේ බුද්ධිමත් ක්‍රියාකාරකම් පූර්වයෙන් අනුමාන කළ හැකිද යන්න සහ සමාජ සම්මතයන්ට එරෙහි හෝ අධිපති විරෝධී චර්යාවන් කෙරෙහි ප්‍රවේණිය කවර ආකාරයකින් බලපාන්නේ ද යන්න ගැනයි. කෙසේ වුව ද ඉයුජෙනික්ස් අධ්‍යයනයන් විද්‍යාගාරවලට හෝ ශාස්ත්‍රීය ආයතනයන්ට පමණක් සීමා නොවීය. එය සංස්කෘතික චින්තනයක් ලෙස ස්කැන්ඩිනේවියානු රටවල්, බොහෝ සෙසු යුරෝපීය රටවල්, උතුරු ඇමෙරිකාව සහ ලතින් ඇමෙරිකාව,ජපානය, චීනය, සහ රුසියාව වැනි කරා ගෝලීය වශයෙන් ව්‍යාප්ත විය.

 

එක්සත් ජනපදය තුළ යුජෙනික්ස් ව්‍යාපාරය

යුජෙනික්ස් ව්‍යාපාරයේ ආරම්භක අරමුණු ලෙස ඓතිහාසිකව ප්‍රකාශ කර ඇත්තේ සමාජයෙන් දුප්පත්කම, ආබාධිත බව, විවිධ ප්‍රවේණිගත රෝග සහ මිනිස් වේදනාවන් තුරන් කර දැමීමය. මෙම අරමුණු විසින් ප්‍රතිඥා දී තිබුණේ සතුටින් පිරුණු සමාජයක් බිහිකිරීමටය. මතු පිටින් ගත් කළ යහපත් ඒවා යැයි බැලූ බැල්මට පෙනෙන හෙයින් එක්සත් ජනපද සමාජයේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සහාය යුජෙනික්ස් ව්‍යාපාරයට එහි ආරම්භයේදී හිමි විය

එක්සත් ජනපදය තුළ යුජෙනික්ස් ව්‍යාපාරය 1900 ගණන්වල මුල දී ආරම්භ වී 1940 ගණන් කරාම එහි පැරණි ස්වරූපයෙන් පැවතිණි. එය වෙත සැළකිය යුතු සහායක් ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගෙන් සහ දේශපාලන නායකයන්ගෙන් ලැබිණි. ඒ අතර සත්ව විද්‍යාඥ චාර්ල්ස් බී. ඩෙවන්පෝර්ට් (Charles B. Davenport),ශාක ජාන විද්‍යාඥ එඩ්වර්ඩ්.එම්.ඊස්ට්( Edward M. East) සහ ජාන විද්‍යාඥ සහ නොබෙල් ත්‍යාගලාභී හර්මාන් ජේ. මුලර් (Hermann J. Muller) ආදි විද්‍යාඥයන් ද ඇමෙරිකන් ජනාධිපති තියොඩෝර් රූස්වෙල්ට්(Theodore Roosevelt), රාජ්‍ය ලේකම් එලිහු රූට්(Elihu Root), එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහකාර විනිසුරු ජෝන් මාර්ෂල් හර්ලාන් (John Marshall Harlan) ආදි දේශපාලන නායකයන්වූහ. නොබෙල් ත්‍යාගලාභි ජෝර්ජ් බර්නාඩ් ෂෝ, ගත්කතුවර එච්.ජී. වේල්ස්, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්, ජැක් ලන්ඩන් ආදින්ගේ සහාය යුජෙනික්ස් ව්‍යාපාරයට හිමි වී තිබිණි.
එක්සත් ජනපදය සහ යුරෝපය තුළ හතු පිපෙන්නාක් මෙන් බිහි වූ විවිධ යුජෙනික්ස්වාදි සංවිධානවල නිලතල දැරූවන් අතර විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් බහුලව දැකිය හැකි විය. සෑම විශ්වවිද්‍යාලකම පාහේ යුජෙනික්ස්වාදි පාඨමාලා ඉගැන්විණි. මේවාට බොහෝ සිසුන් සහභාගි වූ අතර එම පාඨාමාලාවල අන්තර්ගතය තහවුරුකරන ලද විද්‍යාත්මක මතවාදයන් ලෙස බොහෝ දෙනා විසින් පිළිගෙන තිබිණි.

යුජෙනික්ස්වාදය රාජ්‍යයේ ප්‍රතිපත්තියක් බවට පත්වීම

යුජෙනික්ස් මතවාදය විද්‍යාඥයන්ගේ පර්යේෂණ සහ බුද්ධිමතුන්ගේ වාද විවාද සහ තර්කවල සිට ඉක්මණින්ම දේශපාලන ව්‍යාපාරවල සටන්පාඨ බවට පත්විය. ඒ සමගම එම අදහස් විවිධ සංවිධානවල ආක්‍රමණශීලි ප්‍රතිපත්ති බවටත් අවසානයේදී රටේ නීතින් බවටත් පත් වීමේ ක්‍රියාවලිය ආරම්භ විය. සමාජයේ බහුතරයකගේ දුප්පත් බවට හේතුවී ඇත්තේ ප්‍රභූ පෙළැන්තිය විසින් ඔවුන් සූරාකෑම නිසා නොව මේ දුප්පතුන්ගේ පහත් නුසුදුසු ප්‍රවේණික ලක්ෂණ බවත් පැවසෙන මතවාදයක් .“විද්‍යාත්මකව” ඉදිරිපත් කෙරෙන විට කපටි දේශපාලනඥයන් එය ක්ෂණිකව ග්‍රහණය කරගනිමින් තම බලය තහවුරු කරගැනීමට ඒවා යොදාගැනීම පුදුමයට හේතුවක් නොවේ.

මානසික ඌනතා සහිත වූවන් පිළිබඳ පනත

“පොදු මහජනයා අයහපත්,නුසුදුසු සහ රෝගී ප්‍රවේණියක් සහිත වූවන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා ” නීති රීති සම්පාදනය කෙරිණි. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවල් දෙක තුළම යුජෙනික්ස් ව්‍යාපාරය අතිශයින් බලසම්පන්න විය. එක්සත් ජනපදය තුළ දී මෙන් යුජෙනිකස් නීති රීති භාවිතය දැඩි ලෙස ප්‍රකාශිත එකක් නොවූව ද බ්‍රිතාන්‍ය යේදී එම නීතිරීති අප්‍රකාශිතව ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද “මානසික ඌනතා සහිත වූවන් පිළිබඳ පනත” (Mental Deficiency Act) ඊට නිදසුනකි. මෙම පනත යටතේ “මානසික ඌනතා සහිත වූවන්” සමාජයෙන් වෙන්කර තැබීමටත්, රඳවා තැබීමටත් මධ්‍යම අධිකාරියකට බලය පැවැරිණි. මෙසේ වෙන් කර රඳවා තැබීමේ අරමුණ වූයේ ඔවුන්ට විවාහවීම හෝ දරුවන් සැදීමට ඉඩ නොදීමය. එලෙස ඔවුන්ගේ ප්‍රජනන කටයුතු පාලනය කළේ වක්‍රකාරයකිනි. එංගලන්තය කිසි විටෙකත් මානසික ඌනතා සහිත වූවන් හට විවාහවීම තහනම් කරන නිතීරිතී හෝ ඔවුන්ව බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම සඳහා නීතිරීති සම්මත කළේ නැත.
නමුත් එක්සත් ජනපදයේ තත්ත්වය මෙයට ප්‍රතිවිරුද්ධ විය. ඔවුහු යුජෙනික්ස් අරමුණු ඉටුකරගැනීම සඳහා දැඩි නීති රීති සම්මත කරන ලදි.1914වනවිට එක්සත් ජනපදයේ ප්‍රාන්ත 30ක් තුළ “මානසික ඌනතා සහිත වූවන්” හට විවාහ වීම තහනම් කරන නීතිරීති සම්මත කෙරී තිබිණි.

යුජෙනික්ස්වාදි සංවිධාන සහ නීති

ෆ්‍රැන්සිස් ගාල්ටන් විසින් යුජෙනික්ස් අධ්‍යයනයන් සඳහා 1904 දී ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදි. එමෙන්ම ලන්ඩන් විශ්ව විද්‍යාලයේ (University College, London) හි අසුනක් යුජෙනික්ස් සඳහා වෙන්කරගැනීමට අරමුදල් සපයන ලදි. පසුව මෙම අංශයේ ප්‍රධානියා වූයේ ජීව විද්‍යාවේ සංඛ්‍යාත්මක මානයන් පිළිබඳ අධ්‍යයනය කෙරෙන ජීවමිතික විද්‍යාවේ ආරම්භකයෙකු වූ ගණිතඥ කාර්ල් පියර්සන්ය (Karl Pearson).

කාර්ල් පියර්සන්

පියර්සන් මානසික සහ මානසික ආවේගයන්ගේ සංවර්ධනය කෙරෙහි පරිසරයේ බලපෑමක් නැතැයි විශ්වාස කළ අයෙකි. එමෙන්ම දුගී ජන කොටස්වල ඉහළ උපත් අනුපාතය විසින් ශිෂ්ටාචාරයට තර්ජනයක් එල්ල කරන බවද, “උසස් ප්‍රභූ වර්ග” විසින් “පහත් වර්ගයා” විස්ථාපනය කළ යුතු යැයි ද ඔහු ඇදහීය.

ෆ්‍රැන්සිස් ගාල්ටන් වරෙක ජන සංහාරය සාධාරණීකරණය කළේ මෙසේය.
“ පහත් වර්ගයන් ක්‍රමානුකූලව වඳවී යාමට එරෙහිව යම් මතයක් පවතින නමුත් එම මතයේ බොහෝ කොටස් අතාර්කිකය.”

1911 මැයි 2 වැනි දින මැසචුසෙට්ස් ප්‍රාන්තයේ පාමර් හිදී ඇමෙරිකානු අභිජනනකරුවන්ගේ සංගමයේ යුජෙනික් අංශයේ ([American Breeders Association-ABA) පර්යේෂණ කමිටුව විසින් විශේෂ කමිටුවක් පත් කරමින් නව පනතක් ක්‍රියාවට නංවන ලදි
“  රෝගී සහ පහත් ජාන ප්ලාස්ම ඇමෙරිකානු ජනගහණයෙන් කපා ඉවත්කර හැරීම සඳහා ගැළපෙන හොඳම ප්‍රායෝගික ආකාරය පිළිබඳව අධ්‍යයනය සහ වාර්තාකරණය සඳහා බලය පවරමින් සභාපති විසින් කමිටුවක් පත් කරන ලදි.”

සමාජයට “නොගැළපෙන සහ අයෝග්‍ය” මෙන්ම එනිසා “ඉවත් කර දැමිය යුතු” පුද්ගල කණ්ඩායම් 10ක් ඇමෙරිකානු අභිජනනකරුවන්ගේ සංගමය (American Breeders Association-ABA) විසින් හඳුනා ගන්නා ලදි.

1. මන්ද බුද්ධික( feebleminded)
2. පාදඩ සමාජ පන්තිය ( pauper class)
3. බේබද්දන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් (inebriate class)
4. සියලුම වර්ගවලට අයත් අපරාධකරුවන්-( මෙයට සුළු අපරාධකරුවන්ද දඩ ගෙවීමට අසමත්ව හිරේ යන්නන්ද ඇතුළත්ය)
5. අපස්මාර රෝගීන් (epileptics)
6. උමතුවූවන් (insane)
7. කායික හෝ මානසිකව ආබාධිතවූවන්, වයස්ගත වූවන්, නූගතුන් ඇතුළු දුර්වල, අනාරක්ෂිත සහ වරප්‍රසාද අහිමි සමාජ ස්ථර
8. සමහර විශේෂිත රෝගවලින් පෙළෙන්නන්
9. ශාරීරික විකෘතින් සහිත වූවන්
10. ගොළු, බිහිරි සහ අන්ධ පුද්ගලයන් (මෙම අවසන් වර්ගීකරණය යටතට වැටෙන පුද්ගලයන් ගේ බිහිරි බව හෝ අන්ධභාවය කොතෙක් වන්නේදැයි යන්න ගැන සඳහනක් නොවේ. එනම් ශ්‍රවණය හෝ පෙනීම දුර්වල පුද්ගලයන් සහ මුළුමණින්ම දුර්වල පුද්ගලයන් අතර වෙනසක් දක්වා නැත.

(War Against the Weak: Eugenics and America’s Campaign to Create a Master Race, Edwin Black, Second paperback edition 2012, page 58, ISBN 978-0-914153-29-0.)

ඇමෙරිකානු අභිජනනකරුවන්ගේ සංගමය(ABA) විසින් “ඉවත් කිරීමට” නිගමනය කර ඇත්තේ ඉහත ගණයන්ට අයත්වන පුද්ගලයන් පමණක් නොවේ. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද මුළුමණින්ම “ඉවත් කර ”දැමිය යුතු යැයි ඔවුන්ගේ නිගමනය විය. මෙයට හේතුව ලෙස ඔවුන් විසින් සළකන ලද්දේ “එම පවුල්වල දුරස්ත සාමාජිකයන් පවා සම්පූර්ණයෙන්ම නිරෝගී, යහපත් සමාජ ආර්ථික ජීවිතයක් සහිත පුද්ගලයන් වූවද ඔවුන් තුළද අනාගත පරම්පරාවන්ගේ නිරෝගී පැවැත්ම දූෂණය කළ හැකි අයහපත් ජාන සැඟවී තිබිය හැකි වීම ”ය.
මෙම කමිටුව විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ යුත්තේ “ඉහත වර්ග 10ට අයත් පුද්ගලයන් පමණක්ද නැතහොත් ඔවුන් අයත්වන සම්පූර්ණ ජාන ගහණයමදැයි(ජාන ප්ලාස්මාව) යන්න ගැන බැරෑරුම් ලෙස සළකා බලන ලද බවද සඳහන් වේ.

සමාජයේ සිටින මෙම “නොගැළපෙන, අයෝග්‍ය සහ රෝගී” පුද්ගලයන් “තුරන් කර දැමීමේ කටයුත්ත” කිසියම් නිශ්චිත ප්‍රභූ කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි යන අදහස 20 වන ශතවර්ශයේ මුල් වසර 45 තුළ එක්සත් ජනපදය තුළ ජනප්‍රියව පැවැතිණි.1945 දී නාසි ජර්මනියේ සම්පූර්ණ පරාජයෙන් සමග යුජෙනික්ස්වාදින්ගේ සාපරාධී වැඩසටහන් සම්පූර්ණයෙන්ම හෙළිදරවු වීමෙන් පසුව එක්සත් ජනපදය තුළ යුජෙනික්ස්වාදින්ගේ බලය පිරිහීමකට ලක් විය .

යුජෙනික්ස් වාර්තාකරණ කාර්යාලය (Eugenics Record Office-ERO)

1910 දී එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ලෝන් අයිලන්ඩ්හි කොල්ඩ් ස්ප්‍රිං හාර්බර් නම් ස්ථානයේදී යුජෙනික්ස් වාර්තාකරණ කාර්යාලය (Eugenics Record Office-ERO) පිහිටුවන ලදි. එයට සහාය දැක්වූයේ දුම්රිය මාර්ග ඉදිකිරීම් ව්‍යාපාරයේ දැවැන්තයෙකු එඩ්වර්ඩ් හෙන්රි හැරිමන් (Edward Henry Harriman) විසිනි. මෙහි කටයුතු අධීක්ෂණය කරන ලද්දේ ස්ප්‍රිං කෝල්ඩ් හාබර් හි පිහිටුවා තිබූ පරිණාමය පිළිබඳ පරීක්ෂණාත්මක අධ්‍යයන මධ්‍යස්ථානවලින් එකක අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලද චාර්ල්ස් බී. ඩෙවන්පෝර්ට් (Charles Davenport) විසිනි.

1910 දී කානගී සහ රොකෆෙලර් පදනම් විසින් ලබාදෙන ලද මුල්‍යාධාර මත පිහිටුවන ලද යුජෙනික්ස් පිළිබඳ වාර්තාකරණ කාර්යාලය (Eugenics Record Office-ERO) පිහිටුවීම පිළිබඳ පළ වූ පුවත්පත් වාර්තාවක්

ERO හි කටයුතු පාලනය වූයේ මිසෝරි හි මහාචාර්යවරයෙකු වූ හැරී එච්. ලාෆ්ලින් (Harry H. Laughlin) විසිනි. යුජෙනික්ස් පිළිබඳ වාර්තාකරණ කාර්යාලය (ERO) මෙහෙයුම් ගණනාවක් මෙහෙයවීය. එම මෙහෙයුම් අතර යුජෙනික්ස් පිළිබඳ තොරතුරු සහතික කරගැනීම සහ ඒවා ලේඛනගත කිරීම ප්‍රධාන එකක් විය. එමෙන්ම ඇමෙරිකන් පවුල් වල ප්‍රවේණිය පිළිබඳ තොරතුරු (family pedigrees)  පිළිබඳ දර්ශකයක් සැකසීම ද , එක්සත් ජනපදය පුරා දත්ත රැස් කිරීම සඳහා ක්ෂේත්‍ර සේවකයන් පුහුණු කිරීමද, නිශ්චිත ආවේණික ගති ලක්ෂණ වලට අදාළ පිළිබඳ ප්‍රවේණිගත රටාවන් පිළිබඳ අධ්‍යයනයන්ට සහාය වීම, ශක්තිමත් සහ උසස් වර්ගයේ පරම්පරාවන් බිහිකිරීම සඳහා පාරිශුද්ධ ප්‍රවේණියක් සහිත ස්ත්‍රින් සහ පුරුෂයන් අතර විවාහ කටයුතු සම්බන්ධීකරණය, යුජෙනික සොයාගැනීම් පිළිබඳව සියළු තොරතුරු සන්නිවේදනය ආදිය වේ.

චාර්ල්ස් ඩෙවන්පෝර්ට්ගේ මෙම යුජෙනික්ස් වාර්තාකරණ කාර්යාලයේ කටයුතු විසින් එක්සත් ජනපදයේ යුජෙනික්ස් ව්‍යාපාරයට බැරෑරුම් සංවිධානාත්මක පදනමක් ලබාදුන් අතර දේශපාලන ක්ෂේත්‍රයේ බලගතු පුද්ගලයන් මෙම ව්‍යාපාරය වෙත ආකර්ශණය කරගැනීමට එය සමත්වීම හේතුවෙන් යුජෙනික්ස් මතවාදයන් රටේ නීති බවට පත්වීමේ ආරම්භ විය. එමෙන්ම අතිශය ධනවත් පුද්ගලයන් මෙම ව්‍යාපරයට ආධාර දීම හේතුවෙන් ඔවුන්ගේ පර්යේෂණ, ප්‍රචාරක සහ සංවිධානමය කටයුතු වලට සම්පත්වලින් හිඟයක් නොවිණි.

හැරී එච්. ලාෆ්ලින්

මෙම කටයුතු සාක්ෂාත් කරගැනීම සඳහා ERO ට අවශ්‍ය වූ අමතර මුදල් සම්පාදනය කරන ලද්දේ වොෂින්ටනයේ කානගී ආයතනය(Carnegie Institution), ජෝන් ඩී රොකෆෙලර්, බැට්ල් ක්‍රීක්හි වාර්ගික අභිවෘද්ධිය පිළිබඳ මධ්‍යස්ථානය  (Race Betterment Foundation), සහ මානව අභිවෘද්ධිය පිළිබඳ මධ්‍යස්ථානය(Human Betterment Foundation.) වේ.

ERO ආයතනය පිහිටුවීමට පෙර එක්සත් ජනපදයේ යුජෙනික්ස් කටයුතු මෙහෙයවන ලද්දේ ඇමෙරිකන් අභිජනන සම්මේලනයේ ස්ථාවර කමිටුව විසිනි. එහි සභාපතිවරයා වූයේ මත්ස්‍ය විද්‍යාඥයෙකු වූ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ සභාපති ඩේවිඩ් ස්ටාර් ජෝර්දාන් (David Starr Jordan) විසිනි.

එක්සත් ජනපදයේ යුජෙනික්ස් කටයුතු මෙහෙයවන ලද්දේ ඇමෙරිකන් ඉයුජෙනික්ස් සමාජය (American Eugenics Society)විසිනි.

ලෝකය පුරා සිදු කරන ලද යුජෙනික්ස්   පර්යේෂණ පිළිබඳව වාර්තා 1912,1921, සහ 1932 යන වසරවල පැවැති ජාත්‍යන්තර කොංග්‍රසයට වෙත ඉදිරිපත් කරන ලදි.

1924 එක්සත් ජනපද සංක්‍රමණික නීතිය (1924: U.S. Immigration Act)

යුජෙනිකස් ව්‍යාපාරය හා සම්බන්ධව සිටි බොහෝ ධනවත් කණ්ඩායම් එක්සත් ජනපදය තුළට සිදුවන විදේශිය සංක්‍රමණයට එරෙහිව කටයුතු කළවුන් වූහ. ඔවුහු යුජෙනික්ස් ව්‍යාපාරය රට තුළ බලවත් වෙත්ම සිය සංක්‍රමණ විරෝධී මතවාදයන් ශක්තිමත් කිරීම සඳහා “උසස් සහ පහත් ප්‍රවේණීන් සහිත ජන වර්ග ” පිළිබඳ යුජෙනික්ස්වාදි න්‍යාය යොදාගනිමින් සංක්‍රමණ විරෝධී ප්‍රචාරක කටයුතු සිදු කිරීම ආරම්භ කළහ.

පළමුවන ලෝක යුද්ධයෙන් පසුව, එක්සත් ජනපදය ලෝක බලවතෙකු ගේ තත්ත්වය ලබා ගැනීමත් සමගම .  සුදු යුරෝපීය ඇමෙරිකාවේ යුරෝපීය ජාතීන්ගේ “සෞඛ්‍ය සම්පන්න සහ වාර්ගික වශයෙන් පාරිශුද්ධ ප්‍රවේණිය” අනවශ්‍ය සහ අපිරිසිදු ජාන සමග මිශ්‍ර වී දියාරු වුවහොත් රටේ දේශපාලන සහ ආර්ථික ශක්තිය බිඳ වැටෙතැයි යනුවෙන්  ඇමෙරිකානු ප්‍රභූ පැළැන්තිය සහ වර්ගවාදි විද්‍යාඥයන් අතර පැතිර ගිය භීතියට හේතුව ඉහත සඳහන් කර ඇති පරිදි සංක්‍රමණික විරෝධී බලවේග සහ යුජෙනික්ස්වාදින් අතර ඇති වූ සම්මුතියයි.

ලෝක සාමය පවත්වාගෙන යාම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය සහ යුජෙනික්ස් මත පදනම් වූ ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම “ජාත්‍යන්තරවාදින්” (the Internationalists)ලෙස තමන්ව හඳුන්වාගත් ඇමෙරිකාවේ ව්‍යාපාරික, අධ්‍යාපන සහ ප්‍රකාශන ආදි ක්ෂේත්‍රවල නායකයන් සහ සහ ඇමෙරිකන් රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ නිලධාරින් ගෙන් සැදුම් ලද කණ්ඩායමේ ප්‍රධාන අරමුණ ලෙස ප්‍රකාශ විය. මෙම කණ්ඩායමේ එක් ප්‍රබල සාමාජිකයෙකු වූයේ නිව්යොර්ක්හි නීතිඥයෙකු වූ මැඩිසන් ග්‍රාන්ට්ය. ඔහු විසින් ලියන ලද The Passing of the Great Race (1916) නම් කෘතිය යුජෙනික්ස් ව්‍යාපාරය පිළිබඳ ඇමෙරිකාව තුළ විශාල උනන්දුවක් ඇතිකිරීමට හේතු විය.

එක්සත් ජනපදයට පැමිණෙන සංක්‍රමණිකයන් හේතුවෙන් මතුව ඇති ගැටළු හඳුනාගැනීම සඳහා 1920 ආරම්භයේ සිට කොංග්‍රස් විමර්ශනයන් ගණනාවක් පවත්වන ලදි. එක්සත් ජනපදයේ “යුජෙනික්ස් විශේෂඥයා” ලෙස මෙම කොංග්‍රස් විමර්ශන කමිටුව හමුවේ සාක්කි දුන්නේ හැරි ලාෆ්ලින් (Harry
Laughlin) ය. ඔහු වගුගත කරන ලද දත්ත රැසක් කොංග්‍රස් කමිටුව හමුවට ඉදිරිපත් කළේය. ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් (විශේෂයෙන් ඉතාලිය, ග්‍රිසිය සහ නැගෙනහිර යුරෝපීය රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් අතර විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින සංඛ්‍යා ලේඛන දක්වමින් ඔහු පවසා සිටියේ සංක්‍රමණියන් අතර අපරාධ සඳහා යොමුවන පිරිස් ඉතා ඉහළ ප්‍රතිශතයක් ගන්නා බවයි. එමෙන්ම ඔවුන් අතර “මන්ද බුද්ධික භාවයෙන් පෙළෙන්නන්” ඉතා විශාල ප්‍රතිශතයක් ගන්නා බවද  බව ඔහු මානසික රෝහල්වල සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පැවසීය.
සංඛ්‍යා ලේඛන සහ දත්ත පෙන්වමින් ඔහු ඉදිරිපත් කළ තවත් කරුණක් වූයේ මෙම සංක්‍රමණික කණ්ඩායම් විසින් සාමාජීය සහ ජානමය වශයෙන් “පහත් ”දරුවන් බිහිකිරීමට විශාල වශයෙන් දායක වී ඇති බවයි. ලාෆ්ලින් විසින් මෙම කණ්ඩායම් වර්ග කොට ලැයිස්තු ගත තිබූ අතර ඒ මන්ද බුද්ධික,උමතු,අපරාධකාරී,අපස්මාර,බේබදු සහ ක්ෂය රෝගී, ලාදුරු, සිපිලිස්, අන්ධ,බිහිරි, විරූපි, අනුන්ගේ සහාය අවශ්‍ය වන, පුණ්‍යාධාර මත දිගටම යැපෙන, යාචක, අලස සහ වගකීම් විරහිත ආදි වශයෙනි. මෙම මානව විරෝධී වර්ගීකරණයන් බ්‍රිතාන්‍යයේත් එක්සත් ජනපදයේත් යුජෙනික්ස් සාහිත්‍ය තුළ සුලබව දක්නට ලැබෙන ඒවාය.
1923 දී එක්සත් ජනපදයේ කම්කරු කටයුතු පිළිබඳ ලේකම්වරයා විසින් ඇමෙරිකාවට වැඩියෙන්ම සංක්‍රමණිකයන් පැමිණෙන රටවල් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යුරෝපයේ සංක්‍රමණික කටයුතු පිළිබඳ නියෝජිතයා ලෙස ලාෆ්ලින් යුරෝපයට පිටත් කර හැරියේය. ඇමෙරිකාවට පැමිණෙන සෑම සංක්‍රමණික කම්කරුවෙකුම සම්මුඛ පරීක්ෂණයකට ලක් කර එයින් සමත්වුවහොත් පමණක් ඇමෙරිකාවේ ජීවත් වීමට අවසර දෙන නීතියක් ගෙන ඒමට ලාෆ්ලින් උත්සාහ කළේය.

ලාෆ්ලින් සහ ඔහුගේ යුජෙනිකස්වාදි සහ සංක්‍රමණ විරෝධී සගයන් විසින් කොංග්‍රස් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කරන ලද්දේ දකුණු සහ නැගෙනහිර යුරෝපීය ජාතීන් “ජීව විද්‍යාත්මකව පහත් ජනවර්ග”වලට අයත්වන බවයි. එමෙන්ම සංක්‍රමණික විරෝධීන්ගේ ප්‍රධාන තර්කයක් වූ විදේශීය සංක්‍රමණිකයන් හේතුවෙන් රැකියා අවස්ථා අහිමිවීම පිළිබඳ භීතියද, පළමුවන ලෝක යුද්ධයෙන් පසුව විදේශිකයන් කෙරෙහි ඇමෙරිකානුවන් තුළ පැතිර ගිය වාර්ගික පිළිකුළ සහ වෛරය ද කොංග්‍රස් මණ්ඩලයේ අවධානයට මෙහිදී ලක්විය. මේ අනුව කොංග්‍රස් මණ්ඩලය විසින් දැඩි උනන්දුවකින් යුතුව යුජෙනික්ස්වාදි සිද්ධාන්ත නීති බවට පත්කරමින් සංක්‍රමණික පනත ඇති කරන ලද අතර ජනාධිපති කැල්වින් කූලිජ් ( Calvin Cooidge) විසින් එයට අත්සන් තබමින් එය නීතියක් බවට පත්කරන ලදි.

ඔහු විසින් කොංග්‍රස් මණ්ඩලය හමුවේ දෙන ලද ප්‍රකාශනයකට අනුව 1924 දී නව සංක්‍රමණික නීතියක් පනවන ලදි. ඒ අනුව ඇමෙරිකාවේ “සෞඛ්‍ය සම්පන්න සහ වාර්ගික වශයෙන් පාරිශුද්ධ ප්‍රවේණියක් සහිත ගහණය” දියාරු කිරීමට බලපා ඇතැයි යුජෙනික්ස්වාදින් විසින් කලින් චෝදනා නගන ලද රටවලින් වාර්ෂිකව පැමි‍ණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට කටයුතු කරන ලදි. සංක්‍රමණිකයන් පැමිණීම පාලනය කිරීම රටේ “උසස් ප්‍රවේණියක් සහිත ගහණය ආරක්ෂා කිරීම” සඳහා ගත් එක් පියවරක් පමණක් විය.

1924 වාර්ගික පාරිශුද්ධතාව පිළිබඳ නීතිය (Racial Integrity Act)

1924 දී වර්ජිනියා ප්‍රාන්තයේ ව්‍යවස්ථායකය විසින් ( Virginia General Assembly) වාර්ගික පාරිශුද්ධතාව පිළිබඳ නීතිය (Racial Integrity Act) ක්‍රියාත්මක කරන ලදි. මෙම පනත මගින් අන්තර්වාර්ගික විවාහ තහනම් කිරීම මගින් වාර්ගික බෙදීම් නීතිගත කිරීමද “සුදු වර්ගයට” අයත් වන්නන් යනු කවුරුන්දැයි යන්න නිර්වචනය කිරීම ද සිදුකරන ලදි.

එම නිර්වචනයට අනුව “සුදු වර්ගයට අයත්වූවන් ලෙස සැළකෙන්නේ අමිශ්‍ර කොකේසියන් රුධිරය හැරෙන්නට වෙනත් කිසිදු රුධිර වර්ගයක් සමග කිසිදු මිශ්‍රවීමක් නැති පුද්ගලයන් වේ.”

මෙම පනත ඇතිකිරීමට හේතු වූයේ ජෛව සංඛ්‍යා ලේඛන බියුරෝවේ රෙජිස්ටාර්වරයෙකු වූ වෝල්ටර් ප්ලෙකර් ( Walter Plecker) වැනි යුජෙනික්ස්වාදින් විසින් පවත්වාගෙන ගිය යුජෙනික්ස් සහ “විද්‍යාත්මක ජාතිවාදි” ප්‍රචාරක ව්‍යාපාරයන්ගේ බලපෑමය. මෙම පනත මගින් වාර්ගික ධූරාවලියක් නිර්මාණය කරන ලදි. එහි ඉහළම සිටින්නේ වංශවත්, ධනවත්, සුදු යුරෝපීය ජාතිකයන් වන අතර පහළින්ම ස්ථානගත කර තිබුණේ අප්‍රිකානු ජාතිකයන්ය. අතර මැද ස්ථරයන්ට අයත් වූයේ ස්වදේශික ඉන්දියානුවන් සහ ලතින් අමෙරිකානුවන් ය.

1924 යුජෙනික්ස් වන්ධ්‍යාකරණ පනත (1924 Eugenical Sterilization Act)

මේ අයුරින් ප්‍රජනන කටයුතු පාලනය  සඳහා තවතවත් යුජෙනික්ස්වාදි නීති ඇති කිරීමට වෙහෙසක් දැරූවන් අතර පෙරමුණේම සිටියේ යුජෙනික්ස් වාර්තාකරණ කාර්යාලයේ (Eugenics Record Office-ERO) අධ්‍යක්ෂ හැරී එච්. ලාෆ්ලින් (Harry H. Laughlin)ය. සිරගත කරන ලද, පුනරුත්ථාපනය කරන ලද අපරාධකරුවන්, මානසික හෝ කායික ඌනතා සහිත අය, අපස්මාර රෝගීන් සහ උමතුවූවන් විසින් දරුවන් බිහිකිරීම වැළැක්වීම සඳහා වන නීතියක අවශ්‍යතාව අවධාරණය කරමින් කොංග්‍රස් මණ්ඩල සභිකයන් හමු වූ ඔහු ඒ සඳහා අදාළ පනතේ ආදර්ශ ආකෘතියක් ද ඉදිරිපත් කළේය.

1922 දී ලාෆ්ලින් විසින් ““එක්සත් ජනපදය තුළ ප්‍රවේණික ගුණාංගයන්ගේ වර්ධනය සඳහා වන්ධ්‍යාකරණය””(Eugenical Sterilization in the United States) නම් පොතක් පළ කරන ලද අතර එහි 15 වැනි පර්ච්ඡේදය වූයේ “වන්ධ්‍යාකරණය සඳහා ආදර්ශ යුජෙනික්ස් නීතිය” (MODEL EUGENICAL STERILIZATION LAW”) ඉදිරිපත් කරන ලදි .1924 වර්ජිනියා වන්ධ්‍යාකරණ පනත ( Virginia Sterilization Act of 1924) ලෙස වර්ජිනියාව ප්‍රාන්තය තුළ බලාත්මක කරන ලද්දේ ද හැරී එච්. ලාෆ්ලින්ගේ ඉහත සඳහන් ආදර්ශ වන්ධ්‍යාකරණ නීතිමය ආකෘතියයි.
ලාෆ්ලින්ගේ නීතිමය ආකෘතිය අනුගමනය කරමින් වෙනත් ප්‍රාන්ත රාජ්‍යයන්ද වන්ධ්‍යාකරණ නීති පනවන ලද නමුත් වර්ජිනියාවේ තරම් ඉතා කෘෘර ලෙස දැඩි තීව්රතාවයකින් යුතුව අනෙක් ප්‍රාන්තවල එය ක්‍රියාත්මක නොවීය.ඇතැම් ප්‍රාන්ත තුළ මෙම බලහත්කාරි වන්ධ්‍යාකරණයට එරෙහිව දැඩි ජනමතයක් විය. මෙම පනත බලාත්මක කිරීම පිළිබඳව ජනතා කැමැත්ත විමසමින් ඔරිගන් ප්‍රාන්තයේ පැවැති ජනමත විචාරණයයේදී අති විශාල බහුතරයක් එම පනතට එරෙහිව ඡන්දය පාවිච්චි කරන ලදි. නෙබ්රාස්කා ප්‍රාන්ත ආණ්ඩුකාරයා විසින් මෙම පනතට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරමින් එයට එරෙහිව සිය නිෂේධක බලය පාවිච්චි කරන ලදි. මිනිස් සමාජයේ සමාජිකයන් සත්වයන්ගේ තත්ත්වයේ ලා සැළකීම වැරදි බව ඔහුගේ අදහස විය.බොහෝ ෆෙඩරල් උසාවි සහ ව්‍යවස්ථායකයන් විසින් මෙම බලහත්කාරි වන්ධ්‍යාකරණ පනත ව්‍යවස්ථා වීරෝධී බව තීරණය කරන ලදි. ඒ එය විසින් පුද්ගලයන් හට විෂම ලෙස සැළකීම සහ එහි කෘෘර ස්වභාවය නිසාය.

කෙසේ වුවද වසර 6ක් ඇතුළත එක්සත් ජනපදයේ ප්‍රාන්ත රාජ්‍යය 4ක් තුළ ඉහත බලහත්කාරි වන්ධ්‍යාකරණ පනත අනුමත කරන ලදි.

මේ නිසා මෙය සමස්ත එක්සත් ජනපදයටම බලපාන නීතියක් ලෙස බලාත්මක කිරීමට ලාෆ්ලින් ඇතුළු යුජෙනික්ස්වාදින්ට අවශ්‍ය විය. මේ සඳහා ඔවුන් ගත් ක්‍රියාමාර්ගය වූයේ අදාළ වන්ධ්‍යාකරණ පනතට අදාළ නඩුවක් නිර්මාණය කර එය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගෙන ගොස් එමගින් අදාළ පනතට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාගැනීමය. රටේ ඉහළම අධිකරණය විසින් යම් කරුණක් පිළිබඳව ලබා දෙන තීන්දුව නීතියක් බවට පත්වන්නේ යැයි යන මූල ධර්මය ඔවුහු මෙහිදී භාවිතයට ගත්හ. මෙහිදී ඔවුහු දියත් කළ කුමන්ත්‍රණයේ ගොදුර වූයේ කේරි බක් සහ ඇගේ පවුලේ සාමාජිකයන්ය.

බක්ට එරෙහිව බෙල් නඩුව

අධිපතිවාදි රාජ්‍ය ආයතන, අත්තනෝමතික දේශපාලන බලධාරින් , උමතු විද්‍යාඥයන්, රූකඩ අධිකරණය එක්ව සමාජය පාලනය කිරීමට යාමේදී සමාජයේ පීඩිත සහ අසරණම ජනකොටස්වලට අත්වන ඉරණම පිළිබඳ නිදසුනක් ලෙස ලාෆ්ලින්ගේ වන්ධ්‍යාකරණ නීතියේ ගොදුරක් බවට පත් වූ කේරී බක්ගේ ඉරණම දැක් විය හැකිය.

කේරි බක් සහ ඇගේ මව එමා බක් අපස්මාර රෝගීන් සහ මන්දබුද්ධිකයන් සඳහා වෙන් කරන ලද කොලනියේ රඳවා සිටියදී

අපස්මාර සහ මන්දබුද්ධිකයන් ලෙස රාජ්‍ය ආයතන විසින් තීරණය කරන පුද්ගලයන් සෙසු සමාජයෙන් වෙන්කර තැබීමේ කෘෘර නීතිය අනුව පිහිටුවන ලද “අපස්මාර සහ මන්දබුද්ධිකයන් සඳහා වූ වර්ජිනියා රාජ්‍ය ජනපදයේ ” රෝගියෙකු ලෙස රඳවා සිටි 18 හැවිරිදි කේරි බක් වන්ධ්‍යාකරණයට ලක් කිරීමට අවසර ඉල්ලා එම ජනපදයේ පාලනාධිකාරිවරයා වූ ඇල්බර්ට් සිඩ්නි ප්‍රිඩි විසින් ඔහුගේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. කේරිගේ මානසික වයස අවුරුදු 9ක් වන බවත් ඇය සමාජයට සිය  ප්‍රවේණිගත රෝග මගින් තර්ජනයක් එල්ල කරන බවත් ඔහු විසින් සඳහන් කරන ලදි.  ඔහුගේ පෙත්සමට අනුව කේරිගේ මව වන 52 හැවිරිදි එමා බක් 8 හැවිරිදි දරුවෙකුගේ මට්ටමේ මානසික මට්ටමක් සහිත අයෙකු බව සහ ගණිකා වෘත්තියේ නිරතවීම සහ අසභ්‍ය ලෙස හැසිරීම සම්බන්ධව ඇයට චෝදනා නැගී ඇති බවත් ඇය ද අපස්මාර සහ මන්දබුද්ධිකයන් සඳහා වූ වර්ජිනියා රාජ්‍ය ජනපදයේ රඳවා ඇති බවත් ප්‍රිඩි ගේ පෙත්සමේ සඳහන් විය. එමෙන්ම එමා බක් හට දරුවන් තිදෙනෙකු ඇති බවත් ඔවුන්ගේ පියා කවුරුන්ද යන්න ගැන පවා ඇයට වැටහීමක් නැති බවත් කේරී බක් යනු ඒ දරුවන්ගෙන් එක් අයෙකු බවත් ඇල්බර්ට් සිඩ්නි ප්‍රිඩි විසින් වැඩි දුරටත් සඳහන් කර ඇත.

ඇල්බර්ට් සිඩ්නි ප්‍රිඩි

කේරී බක් වෙනත් භාරකාර පවුලක් යටතේ ජීවත් වී ඇති අතර ඇය 6 වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබා තිබේ.කෙසේ වුවද කේරී බක්ගේ “අයහපත් හැසිරීම් නිවැරදි කළ නොහැකි බවට” තමන්ට ඔප්පු වී ඇති බවත් කේරී බක් නීත්‍යානුකූල නොවන දරු උපතක් සිදු කර ඇති බවත් ඔහු විසින් දන්වා තිබේ. මෙහිදී ඇයව හදා වඩාගත් භාරකාර පවුල විසින් ඇයව මන්දබුද්ධික අයෙකු බවත් තවදුරටත් ඇයව බලාගැනීම තමන්ට කළ නොහැකි දෙයක් බවත් පවසමින් අපස්මාර සහ මන්දබුද්ධිකයන් සඳහා වූ වර්ජිනියා රාජ්‍ය ජනපදය වෙත කේරී බක්ව භාර දී තිබේ.

පසුව හෙළි වූ පරිදි කේරි බක් ඇය හදාවඩාගත් භාරකාර පවුලේ පිරිමි සාමාජිකයෙකු වෙතින් ලිංගික අතවරයකට ලක් වී ඇති අතර ඇය ගර්භණී බවට පත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය. මෙම සිදුවීමෙන් සිය පවුලේ ගෞරවයට හානියක් වෙතැයි සිතූ බාරකාර පවුලේ සාමාජිකයන් කේරී බක් මන්ද බුද්ධිකයෙකු ලෙස නම් කරමින් ඉහත “අපස්මාර සහ මන්දබුද්ධිකයන් සඳහා වූ වර්ජිනියා රාජ්‍ය ජනපදය ”  නම් රාජ්‍ය ආයතනය වෙත භාර දී තිබේ.
කෙසේ වුවද පසුකාලීනව සනාථ වී ඇත්තේ එමා බක් නීත්‍යානුකූලව විවාහ සිටි තැනැත්තියක බවත් එහි විවාහ සහතිකය පවා පසුකාලීනව සොයාගෙන ඇති බවත්ය. මෙම විවාහ සහතිකය පිළිබඳ සාක්ෂිය සැඟවීමට ඉතා බලගතු යුජෙනික්ස්වාදීන් ක්‍රියාත්මක වී ඇත්තේ එමා බක් අයාලේ ගොස් අවජාතක මන්දබුද්ධික දරුවන් බිහිකර ඇති බවත් ඇගේ දියණියක වන කේරි බක් යනු පහත් ජන්මයක් සහිත අවජාතක තරුණියක් බවත් පවසමින් ඇය වන්ධ්‍යාකරණයට ලක්කිරීමේ තීන්දුව ලබාගැනීමේ උවමනාව මතය

නඩු විභාගය අධිකරණ පද්ධතිය හරහා ගමන් කරන අතරතුර, ප්‍රිඩී මිය ගිය අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජෝන් හෙන්ඩ්‍රන් බෙල් නඩුව භාර ගත්තේය. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කේරී බක් වන්ධ්‍යාකරණයට ලක් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලද අතර, කේරී බක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විසින් මෙම නියෝගයට එරෙහිව ඇම්හර්ස්ට් ප්‍රාන්තයේ කලාප අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එහි තීන්දුව අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝගයට පක්ෂව දෙන ලදි. පසුව මෙම නඩුව වර්ජිනියාවේ අභියාචනාධිකරණය වෙත යොමු කරන ලදී.

මානසික ඌනතා සහිත පුද්ගලයන් සහ අපස්මාර රෝගීන් සඳහා වන වර්ජිනියා රාජ්‍ය ජනපදය- කේරි බක් සහ ඇගේ මව එමා බක් රඳවා සිටියේ මෙහිය.

අපස්මාර රෝගීන්, මන්දබුද්ධිකයන් , විවිධ අපරාධකරුවන්, සමාජ විරෝධීන්, ආදින් බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම සඳහා ලාෆ්ලින් විසින් ඉදිරිපත් කරන ලද ආදර්ශ පනත අනුව කේරි බක්ව වන්ධ්‍යාකරණයට ලක් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙන ලද නියෝගය අනුමත කළ අභියාචනාධිකරණය ලාෆ්ලින්ගේගේ ආදර්ශ වන්ධ්‍යාකරණ පනත ප්‍රාන්ත සහ ෆෙඩරල් ව්‍යවස්ථා දෙකටම අනුකූල යැයි පවසන ලදි.  පසුව එය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනලදි.

1927 මැයි 2 දින, 8-1 තීන්දුවකින්, බක්, ඇගේ මව සහ ඇගේ දියණිය “දුර්වල මනසක් ඇති” සහ “අසභ්‍ය” [17] පුද්ගලයන් බවත්, ඇය වඳ භාවයට පත් කිරීම රාජ්‍යයේ යහපත පිණිස වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේය. මෙම තීන්දුව විසින් ලාෆ්ලින්ගේ වන්ධ්‍යාකරණ පනත නීත්‍යානුකූල කරන ලද අතර 1974 දී එය ඉවත් කරන තෙක්ම ඒ තත්ත්වය පැවතිණි.

වෙන්ඩෙල්

මෙම තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඔලිවර් වෙන්ඩෙල් හෝම්ස් විසින් “මහජන සුභසාධනය” සඳහා වූ අවශ්‍යතාව පුද්ගලයන්ට සිය ශාරීරික අනුල්ලංඝණීයතාව සඳහා වන අයිතිය අභිබවා යන බවට ඔහුගේ තීන්දුව තුළ තර්ක කළේය.

“පිරිහුණ දරුවන් බිහිකර පසුව ඔවුන් අපරාධකරුවන් බවට පත් වූ පසුව මරාදැමීමට හෝ ඔවුන්ගේ මන්ද බුද්ධිකභාවය නිසා ඔවුන්ට කුසගින්නෙන් පෙළීමට ඉඩ දෙනවාට වඩා සමාජයට නොගැළපෙන මෙම පුද්ගලයන් විසින් ඔවුන්ගේ වර්ගයා බිහිකීරීම වැළැක්වීමට සමාජයට හැකිනම් එමගින් මුළු ලෝකයටම වඩාත් යහපතක් සැලසෙනු ඇත. අනිවාර්ය එන්නත් ලබා දීමේ මූලධර්මය පැලෝපීය නාල කැපීම ආවරණය කිරීමට තරම් පුළුල් වේ.”

විනිසුරු වෙන්ඩෙල් හෝම්ස් මෙසේද පැවසීය.“මන්දබුද්ධිකයන්ගේ පරම්පරා තුනක් හොඳටම ප්‍රමාණවත්ය” ඔහු විසින් මෙම ප්‍රකාශය මගින් අඟවන ලද්දේ කේරි බක්, ඇගේ මව වූ එමා බක් සහ ඇගේ බිළිඳු දියණිය විවියන් පිළිබඳවයි. ඔවුහු තිදෙනාම යුජෙනික්ස් වාදී ආයතන සහ නිලධාරින් විසින් “මන්ද බුද්ධිකයන් ” ලෙස අසාධාරණ සහ සාවද්‍ය ලෙස හංවඩු ගැසීම නිසා කිව නොහැකි තරම් පීඩනයන්ට ගොදුරු වූවෝ වූහ.

කේරි බක් පසුව ඇගේ කැමැත්තෙන් තොරව ශල්‍යකර්මයක් මගින් වන්ධ්‍යාකරණයට ලක්කරන ලදි.  අපස්මාර සහ මන්දබුද්ධිකයන් සඳහා වූ වර්ජිනියා රාජ්‍ය ජනපදයේ ඇගේ රැඳවුම් කාලය නිමා වීමෙන් පසුව ඇය යම් පවුලක ගෘහ සේවිකාවක ලෙස සේවය කළාය. යුජෙනික්ස් බලපෑමට යටත් වූ රාජ්‍ය නිලධාරින් විසින් ඇය මන්ද බුද්ධිකයෙකු යැයිද ඇය වයස අවුරුදු 9 ක දරුවෙකුගේ මට්ටමේ නොමේරූ බුද්ධියක් සහිත අයෙකු යැයිද නිගමනය කරමින් ඇයව සමාජයෙන් වෙන්කරන ලද නමුත් 1983 දී මරණයට පත්වන තෙක්ම ඇය ඇගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ පොත් කියවීම සහ ස්වයං හැදෑරීම් වලට යොමු වෙමිනි.

විවියන් බක්
කේරි බක්ගේ බිළිඳු දියණිය විවියන් බක් ඇයව හදා වඩාගත් ඩොබ්ස් පවුලේ ඇලිස් ඩොබ් සමග. ඇලිස් විසින් විවියන් ඩොබ්ව යුජෙනික්ස්වාදි ආයතන විසින් අනිවාර්ය කරන ලද දෛනික මානසික සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කරන ආකාරයක් මෙහි දැක්වේ. මෙම ඡයාරූපය 1924දී එස්තාබෘක් විසින් ගනු ලැබුවකි.

කේරි බක්ගේ කුඩා දියණිය වූ විවියන්ව බලධාරින් විසින් මෙම “මන්දබුද්ධික ස්ත්‍රියගෙන් ”වෙන් කොට ඇයවද කිසියම් පවුලක් වෙත භාර කරන ලදි. පසුව මාස දෙකක් වයසැති විවියන්ව යුජෙනික්ස් වාර්තාකරණය සඳහා වූ කාර්යාලය මගින් පරීක්ෂණයකට ලක්කර ඇයවද “මන්ද බුද්ධික” අයෙකු ලෙස නම් කරන ලදි. මෙම පරීක්ෂණය කරන ලද්දේ ඉයුජෙනික්ස් වාර්තාකරණ කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු වූ වෛද්‍ය ආතර් එස්ටාබෘෘක් විසිනි. ඔහුගේ වාර්තාව තුළ විවියන් “මානසික පසුබටතාවක් සහිත ” ළමයෙකු ලෙස නම් කර තිබේ. “මන්දබුද්ධිකයන්ගේ පරම්පරා තුනක් ” යන විනිසුරු ඔලිවර් වෙන්ඩෙල් හෝම්ස්ගේ අති අමානුෂික ප්‍රකාශයේ පදනම මෙම ඉයුජෙනික්ස් වාර්තාකරණය සඳහා වූ කාර්යාලයේ කෘෘර සහ අවිද්‍යාත්මක නිගමනයන්ය. ඔවුන් විසින් විවියන්වද “මානසික පසුගාමිත්වයක් සහිත” හෝ “මන්දබුද්ධික ලෙසින් නම් කළ ද ” ඇයගේ කෙටි ජීවිත කාලය තුළ පාසල් යාමට හැකි වූ දෙවසර තුළ ඇය ඉතා හොඳින් සිය අධ්‍යයන කටයුතුවල නිරත වූ දැරියක බව පාසල් වාර්තාවල සඳහන්ය. සරම්ප රෝගයට ගොදුරු වීමෙන් 1932 දී සිදු වූ ඇගේ අවාසනාවත් මරණයට වසරකට පෙර ඈ පාසලේ විශිෂ්ට ශිෂ්‍යාවන්ගේ ලේඛනයට (honors roll) ඇතුළත් කර තිබිණි.

විවියන්ගේ පාසල් ප්‍රගති වාර්තාව

මෙම ලේඛනයට ඇතුළත් කරන්නේ යම් වර්ෂයක් තුළ සිය ඉගෙනුම් ඉලක්ක ඉතා විශිෂ්ට ලෙස සාක්ෂාත් කරගන්නා සිසු සිසුවියන් හෝ එම ඉලක්කද ඉක්මවා යන දක්ෂතා සහිත සිසු සිසුවියන්ය. විවියන් ගේ පාසල වූ වෙනේබල් ප්‍රාථමික විද්‍යාලය විසින් විවියන්ට දෙවන වසර සඳහා ලබාදුන් ප්‍රගති වාර්තාවට වාර්තාවට අනුව ඇය සෑම විෂයයකටම A හෝ B සමාර්ථයන් ලබාගෙන තිබේ.

කේරි බක් දෙවරක් විවාහ වී ඇති නමුත් ඇයට වෙනත් දරුවන් බිහිකිරීමට හැකියාවක් නොවූයේ ඇය වන්ධ්‍යාකරණයට ලක්කර තිබූ බැවිනි. ඇය ඉතා කාරුණික සහ අන්‍යයන්ට දැඩි කැපවීමකින් උදව් කළ අයෙකු බව සමකාලීනයන් ගේ ප්‍රකාශ උපුටා දක්වන ලම්බාර්ඩෝ සඳහන් කර තිබේ. 1983 දී කේරි බක් මහලු නිවාසයකදී මිය ගිය අතර වර්ජිනියාවේ චාලට්විල් හි සූසාන භූමියේ 1932 දී මියගිය ඇගේ එකම දියණිය වූ විවියන්ගේ සොහොන අසල ඇයගේ සිරුර භූමදානය කරන ලදි.

විවියන් දැරියගේ සුසානය

යුජෙනික්ස්වාදින් විසින් සිය ධන බලය සහ දේශපාලන බලය යොදාගනිමින් දුප්පත්කමින් පීඩා විඳි එකම පවුලක පරම්පරා තුනකට එරෙහිව සිදු කරන ලද මේ අපරාධය පිළිබඳව පසුකලෙක විමර්ශනයක නිරත වූ ඉතිහාසඥ පාවුල් ඒ. ලම්බාර්ඩෝ 1985 දී තර්ක කළේ කේරි බක් ගේ හෝ ඇගේ මව එමා බක් හෝ කේරිබක්ගේ දියණිය විවියන් බක් හෝ කිසිවිටෙකත් “මානසික දුර්වලතාවන්ගෙන් ”නොපෙළුන අය බවයි. කේරි බක් වෙනුවෙන් පෙනී සිටි රජයෙන් සපයන ලද නීතිඥයා වූ අර්වින් වයිට්හෙඩ් විසින් ඇය වෙනුවෙන් ඉතා දුර්වල ලෙස තර්ක කළ අතර වැදගත් සාක්ෂිකරුවන් කිසිවෙකුත් කැඳවීමට අසමත් විය. නැතහොත් එය දැනුවත්ව මගහරින ලදි. නීතිඥ අර්වින් වයිට්හෙඩ්, ” අපස්මාර සහ මන්දබුද්ධිකයන් සඳහා වූ වර්ජිනියා රාජ්‍ය ජනපදයේ ” පාලනාධිකාරිවරයා වූ ඇල්බර්ට් සිඩ්නි ප්‍රිඩි ගේ හිතවතෙකු වූ අතර එම ආයතනය සමග සමීපව කටයුතු කළ අයෙකු බවද කේරී බක්ව බලහත්කාරි වන්ධ්‍යාකරණය කිරීම අනුමත කළ එම ආයතනයේ පාලන මණ්ඩලයේ සාමාජිකයෙකු වූ බව ද යුජෙනික්ස් වන්ධ්‍යාකරණ ව්‍යාපාරයේ ප්‍රබල ආධාරකරුවෙකු වූ බවද ලම්බාර්ඩෝ විසින් සඳහන් කර තිබේ.

කේරිගේ නිීතිඥයා වූ අර්වින් වයිට්හෙඩ්

යම් තීන්දුවක් අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීමෙන් පසුව එය රටේ නීතියක් ලෙස සැළකීමේ මූලධර්මය සිය යුජෙනික්ස්වාදි වන්ධ්‍යාකරණ ප්‍රතිපත්ති නීතියක් බවට පත්කරලීම සඳහා යුජෙනික්ස්වාදින් විසින් කේරි බක් නඩුව යොදාගත් බව පැහැදිලිය. කේරි බක්ගේ නිතිඥයා විසින් ඇය වෙනුවෙන් ඉතා අසාර්ථක ලෙස පහළ අධිකරණවල පෙනී සිටිමින් ඒවායේදී එම නඩුව පරාජය වීමට සළස්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ දක්වාම එය ගෙන ගියේ කේරි බක්ට හෝ ඇයගේ පවුලට යුක්තිය ඉටු කිරිමට වඩා යුජෙනික්ස්වාදින්ගේ ඉහත අරමුණ ඉෂ්ට කරගැනීමේ කුමන්ත්‍රණකාරි වුවමනාවට සහාය වීමට ය.

කේරි බක්ට එරෙහිව විනිසුරුවරයා විසින් දෙන ලද තීන්දුව යුජෙනික්ස්වාදින් ලද ජයග්‍රහණයක් විය. මෙම සිදුවීමත් සමගම බලහත්කාරි වන්ධ්‍යාකරණ රැල්ලක් එක්සත් ජනපදය පුරා පැතිරී ගියේය. මානසික රෝගීන් හෝ අපස්මාර රෝගීන් ලෙස නම් කරමින් සමාජයෙන් වෙන්කළ ආයතන හෝ කොළනිවල රඳවා සිටි ස්ත්‍රීන් සහ පුරුෂයන් ද සිරකරුවන් සහ සිරකාරියන්ද ඇතුළු සමාජයේ පීඩිත කොටස් මෙම වන්ධ්‍යාකරණ ව්‍යාපාරයේ ගොදුරු බවට පත් විය.

කේරි බක්ගේ අවසාන ඡායාරූපය වන මෙය කේරි බක් සිය ජීවිතයේ අවසන් කාලය ගත කළ මහළු නිවාසයේදී නීතිය පිළිබඳ ඉතිහාසඥ පෝල් ලම්බාර්ඩෝ විසින් 1982 දී ගනු ලැබූවකි.

1920 දී එක්සත් ජනපදය පුරා ස්ත්‍රීන් සහ පුරුෂයන් 3200ක් බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක්කරන ලද්දේ යුජෙනික්ස්වාදින්ගේ වර්ගීකරණයට අනුව ඔවුන් දරුවන් ලැබීමට නුසුදුසු පුද්ගලයන් ලෙස නම් කර තිබූ බැවිනි.
1929 වනවිට බලහත්කාරය යොදාගනිමින් වන්ධ්‍යාකරණයට ලක්කරන ලද සංඛ්‍යාව එමෙන් 10‍,000කට අධික විය. 1938 දී එම සංඛ්‍යාව 30,000ක් පමණ විය. මෙම සංඛ්‍යාවන් මෙයට වඩා බෙහෙවින් විශාල වන්නට ඉඩ තිබේ. මක් නිසාද යත් බොහෝ රෝහල් සහ සායන මෙම බලහත්කාරි වන්ධ්‍යාකරණයට ලක්කරන ලද්දවුන් පිළිබඳ සංඛ්‍යාලේඛන සහ දත්ත තබාගැනීමට කටයුතු නොකළ බැවින් සහ මෙයට ගොදුරු වූ බහුතරයක් දිළිඳු සංක්‍රමණික යුරෝපීයයන් හෝ අප්‍රිකානු ඇමෙරිකානුවන් හෝ ලතින් ඇමෙරිකානුවන් වූ හෙයිනි.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත රාජ්‍යයන්ගෙන් භාගයකට වඩා සංඛ්‍යාවක් ලාෆ්ලින්ගේ වන්ධ්‍යාකරණ පනත ක්‍රියාවට නංවන ලදි. ඒ අතර කැලිෆෝනියාව, වර්ජිනියාව සහ මිචිගන් යන ප්‍රාන්ත වන්ධ්‍යාකරණ ව්‍යාපාරයේ පෙරමුණේම සිටි රාජ්‍යයන් විය.

සැලසුම්ගතව දරුවන් සැදීම සඳහාවන ව්‍යාපාරය (Planned Parenthood) සහ මාගරට් සේඟර්

සැලසුම්ගතව දරුවන් සැදීම සඳහාවන ව්‍යාපාරය ආරම්භකරන ලද්දේ එක්සත් ජනපදයේ හෙදියක වූ මාගරට් සේඟර් විසිනි. එමෙන්ම එම ව්‍යාපාරයේ ජාත්‍යන්තර සම්මේලනයේ   (International Planned Parenthood Ferderation) නායිකාවද ඇය විය.

මාගරට් සේඟර්

ඇයගේ මව තවත් දරුවන් 11 දෙනෙකු මෙලොවට බිහිකර තිබූණි. ගබ්සාවීම් ගණනාවක් ද හේතුවෙන් දුර්වල රෝගී වූ ඇයගේ මව වයස 50 දී ක්ෂය රෝගය වැළැඳීමෙන්   මරණයට පත්වූවාය. ඇගේ මවගේ මෙම ඉරණම සහ හෙදියක් ලෙසින් සේවය කිරීම තුළ ඇය ලද අත්දැකීම් හේතුවෙන් මාගරට් සේඟර් පවුලක් සඳහා දරුවන් සීමා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ව්‍යාපාරයක් පටන් ගැනීම කරා යොමු කරවන්නට ඇතැයි ඇතැම් ඉතිහාසඥයන් සඳහන් කර ඇත. යුරෝපයේ සංචාරය කළ ඇය එහිදී උපත්පාලන ක්‍රම පිළිබඳ අධ්‍යයනය කළ අතර මේ යුගයේ එක්සත් ජනපදය තුළ උපත්පාලන ක්‍රම භාවිතය හෝ ඒවා පිළිබඳ අධ්‍යාපනය ලබාදීම නීති විරෝධී කටයුත්තක් විය.

1916 දී ඔක්තෝබර් මාසයේ 16 වැනි දින මාගරට් සේඟර් විසින් එක්සත් ජනපදයේ පළමු උපත් පාලන සායනය ආරම්භ කරන ලදි.  ඇයගෙන් උපත් පාලනය පිළිබඳ උපදෙස් සහ තොරතුරු ලබාගැනීම සඳහා ස්ත්‍රීන් විශාල සංඛ්‍යාවක් එම මධ්‍යස්ථානය කර පැමිණිය අතර දින කීපයකට පසු පොලිසිය විසින් එම මධ්‍යස්ථානය වසා දමා මාගරට් සේඟර් දින 30 ක් බන්ධනාගාර ගත කරන ලදි.  නිදහස් වීමෙන් පසුව ඇය එක්සත් ජනපදය පුරා සංචාරය කරමින් උපත්පාලනය සහ පවුල් සැලසුම් පිළිබඳ දේශන පැවැත්වූවාය.

මාගරට් සේඟර් වර්ගවාදි සහ මානව විරෝධී මතවාදයක් වූ යුජෙනික්ස්වාදයේ භක්තිමත් අනුගාමිකාවක් විය. යුජෙනික්ස්වාදින් වූ කලී ප්‍රභූ පෙළැන්තියට අයත්, උසස් අධ්‍යාපනය ලැබූ, රටේ දේශපාලන, නීතිමය, අධ්‍යාපන සහ සෞඛ්‍ය ආයතන හැසිරවීමේ දැවැන්ත අධිකාරයක් සහිත සුදු යුරෝපීය අධිපතිවාදින් වූහ. ඔවුහු ඔවුහු අප්‍රිකානුවන්ට, ලතින් ඇමෙරිකානුවන්ට සහ ස්වදේශික ඉන්දියානුවන්ට එරෙහිව යුජෙනික්ස් වන්ධ්‍යාකරණ ක්‍රියාමාර්ග දියත් කරන ලද්දේ මෙම “අපිරිසිදු ලේ සහිත පහත් ජාතින් විසින් කෙළවරක් නොමැතිව වර්ගයා බෝ කිරීම හේතුවෙන් ” ඔවුන් සංඛ්‍යාත්මකව වර්ධනය වී උසස් සුදු යුරෝපීය වර්ගයාගේ වරප්‍රසාදිත තත්ත්වයන් අහෝසි කරනු ඇතැයි යන බිය නිසාය.එපමණක් නොව යුජෙනික්ස්වාදින් විසින් විසින් මෙම උසස් සුදු යුරෝපීයයන්ගේ වාර්ගික විශිෂ්ටත්වය වර්ධනය කරනු සඳහා තමන් අතරම සිටින සුදු ජාතික මානසික සහ අපස්මාර වැනි රෝගවලින් පෙළෙන්නන් බලහත්කාරී ලෙස වන්ධ්‍යාකරණයට ලක් කරනු ලැබුවේ ඔවුන්ගේ රෝගී සහ පහත් ප්‍රවේණික ලක්ෂණ සමග සම්මිශ්‍රණය වීමෙන් සිය වර්ගයේ උසස් බව පිරිහී දුර්වල යනු ඇති බවට වූ සැකය හේතුවෙනි.

1929 දී ඇමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ රාජ්‍ය උත්සව භූමියක පවත්වන ලද යුජෙනික්ස් සහ සෞඛ්‍ය පිළිබඳ වැඩමුළුවක්

ඉයුජෙනික්ස්වාදින්ගේ මෙම දැක්ම මාගරට් සේඟර් විසින් අඩු නැතිව බෙදා හදාගෙන තිබිණි.
1926 දී මාගරට් සේඟර් විසින් එක්සත් ජනපදයේ අප්‍රිකන් ඇමෙරිකන් සහ ස්වදේශික ඉන්දියානුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කරමින් සිටි සංවිධානයක් වන “කූ-ක්ලක්ස්- ක්ලාන් ”(Ku Klux Klan-KKK) නම් සංවිධානයේ කාන්තා ස්වේච්ජා සාමාජිකයන් වෙත උපත්පාලනය සම්බන්ධව දේශනයක් පැවැත්වූවාය.  1927 දී විනිසුරු ‍ඔලිවර් වෙන්ඩෙල් හෝම්ස් විසින් කේරි බක්ව මන්ද බුද්ධික තැනැත්තියක ලෙස නම් කරමින් ඇයව බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය සඳහා අනුමැතිය ලබාදුන් තීන්දුව මාගරට් සේඟර් විසින් අනුමත කරන ලද අතර ඇය ඒ වෙනුවෙන් විවෘතව පෙනී සිටියාය.

වර්තමානයේ යළි ශක්තිමත්ව විවිධ සංවිධාන නම් යටතේ ක්‍රියාත්මක වෙමින් සිටින නව යුජෙනික්ස් වාදින් විසින් සිය ස්ත්‍රින්ගේ ප්‍රජනන නිදහස, වෙනුවෙන් පෙනී සිටි පරමාදර්ශී චරිතයක් ලෙස මාගරට් සේඟර් ඉහළට ඔසවා තැබෑමට වෑයම් කරන නමුත්, මාගරට් සේඟර් වූකලී  කලී තමා ජීවත්ව සිටි සමයේම ජීවත් වූ කේරි බක්ගේ මව එමා බක් අසභ්‍ය චරිතයක් ඇති මන්ද බුද්ධික ස්ත්‍රියක ලෙස නම් කරමින් අපස්මාර සහ මන්ද බුද්ධිකයන්යැයි සඳහා යැයි වෙන් කළ කඳවුරක රඳවා තබාගැනීම, අනාථ දැරිවියක ලෙස භාරකාර පවුලක් යටතේ හැදුණු වැඩුනු කේරි බක්ව එම පවුලේ සාමාජිකයෙකු විසින් ලිංගික අතවරයකට ලක් වූ පසුව එයට එම පවුලේ බලපෑම මත කේරි බක්ව ද මන්ද බුද්ධිකයෙකු ලෙස නම්කරමින් ඇගේ මව රඳවා සිටි කඳවුර තුළම රඳවා තැබීම, නඩු තීන්දුවෙන් පසු කේරි බක්ව බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම, ඇගේ මාස දෙකක් වයසැති දියණිය විවියන්වද මන්ද බුද්ධිකයෙකු ලෙස නම් කර ඇයගෙන් වෙන් කිරීම යනාදි වශයෙන් සිදුවූ කෘර ක්‍රියාවලිය අනුමත කළ තැනැත්තියකි.  සේඟර් විසින් ඒ් අපරාධ අනුමත කළා පමණක් නොව එය සාධාරණීකරණය සඳහා දැඩි ලෙස පෙනී සිටීමද සිදු කළ අතර ඇය ස්ත්‍රින්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටියෙකු ලෙස පැවසීමට හැකියාව ඇත්තේ ඇය වැනිම යුජෙනික්ස්වාදින්ට පමණකි.
මාගරට් සේඟර් සහ අනෙකුත් යුජෙනික්ස්වාදින් විසින් සකස් කරන ලද පරිසරය තුළ දහස් ගණන් පීඩිත පන්තියේ ගැහැණුන් සහ පිරිමින් බලහත්කාරි වන්ධ්‍යාකරණයට ලක් කරන ලදි.

1939 දී මාගරට් සේඟර් විසින් නීග්‍රෝ ව්‍යාපෘතිය නම් වැඩ සටහන ආරම්භ කරන ලද්දේ ඇමෙරිකාවේ කළු ජනතාව වෙත උපත්පාලන සේවා ලබා දීම ලෙස ප්‍රකාශිතය.
මාගරට් සේඟර් විසින් 1939 දෙසැම්බර් 19 වැනි දින මැසචුසෙට්ස්හි, මිල්ටන් නගරයේ ඇඩම් විදීයේ අංක 255 හි ලිපිනයේ පදිංචි වෛද්‍ය ක්ලැරන්ස් ගැම්බල් වෙත ලියන ලද ලිපියේ මෙසේ සඳහන් වේ.
“අප විසින් සමාජ සේවා පසුබිමක් සහ මිනිසුන් අතර වැඩ කළ හැකි පෞරුෂයක් සහිත කළු දේවගැති තුන් හතර දෙනෙකු වැටුප් ගෙවා බඳවාගත යුතුය. නීග්‍රෝවරුන් වෙත ප්‍රවේශ වීමේදී වඩාත් සාර්ථක සහ බුද්ධිමත්ම ක්‍රමය වන්නේ ආගමික සම්බන්ධයක් හරහා ඔවුන්ට ඇමතීමය.අපට නීග්‍රෝ ජනගහණය තුරන් කර දැමීමේ අවශ්‍යතාවක් පවතී යැයි යන වචනය පිටවීමට අපට අවශ්‍ය නැත. යම් හෙයකින් ඔවුන්ගේ ඉතාම කැරළිකාර කොටස්වල කවරෙකුට හෝ එය දැනුණහොත් එම අදහස නිවැරදි කළ හැකි පුද්ගලයා දේවගැතියෙකි.”
(Sophia Smith Collection, Smith College, North Hampton, Massachusetts.සහ A Social History of Birth Control in America. New York: Grossman Publishers, 1976)

ඇය පවසන මේ උපක්‍රමය පැහැදිලිය. එය කැළේ ගසක් කැපීමට කැළේ ගසක්ම යොදාගැනීම පිළිබඳව වන ඉපැරණි ප්‍රස්ථාව පිරුළ සිහිගන්වන්නකි. කිසියම් ප්‍රජාවක්, ජාතියක් හෝ ජනවර්ගයක් වන්ධ්‍යාකරණය සඳහා පොළඹවාගැනීමට එම කණ්ඩායම් අතරින්ම තෝරාගත් පුද්ගලයන් පුහුණු කොට යෙදවීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය යන්න මාගරට් සේඟර් විසින් පමණක් දරන ලද අදහසක් නොවේ. එය යුජෙනිකස් ව්‍යාපාරයේත් එයට අනුබද්ධ උපත්පාලන ව්‍යාපාරයේත් නායකයන් සියල්ලන්ගේම පොදු අදහස විය. ඇමෙරිකන් යුජෙනික්ස් සමාජයේ උප සභාපති ලෙසද සැලසුම්ගතව දරුවන් සැදීමේ ව්‍යාපාරයේ සභාපති ලෙසද කටයුතු කර ඇති වෛද්‍ය ඇලන් ගුට් මාකර් ද එයට සමාන අදහසක් පළ කර තිබේ.

“මගේ පුද්ගලික හැඟීම නම් අප විසින් සෑම තැනකදීම එක්සත් ජාතින්ගේ සංවිධානය භාවිතා කළ යුතු බවයි. ඔබ කරන්නට යන්නේ ජනගහණය පාලනය කිරීම නම් එය  යැංකීන් විසින් නොව එක්සත් ජාතින් ලවා කරවීම වඩාත් වැදගත්ය. මක් නිසාද යත් එවිට මේ දෙය ජනසංහාරයක් ලෙස නොසැළකෙන බැවිනි. කළු හෝ කහ මිනිසෙකු වෙත එක්සත් ජනපදය ගොස් ඔබගේ බෝ කිරීම අඩු කරන ලෙස පැවසුව හොත් අපිට සුදු මිනිසාගේ ආධිපත්‍යය ලෝකය මත තහවුරු කිරීමේ වෙනත් අරමුණු ඇති බවට අපව ක්ෂණිකව සැකයට ලක්වේ. ඒ සඳහා ඔබට විවිධ සමේ පැහැයන් ඇති මිනිසුන් යැවිය හැකි නම් එය වඩාත් ඵලදායකය.”

අයහපත්,රෝගී සහ “පහත් ” ප්‍රවේණිගත ලක්ෂණ සහිත පුද්ගලයන් විසින් දරුවන් බිහිකිරීම වැළැක්විය යුතු යැයි මාගරට් සේඟර් විසින් අවධාරණය කළේ මෙසේය.
“යුජෙනික්ස් වන්ධ්‍යාකරණය හදිසි අවශ්‍යතාවයකි…අප විසින් මෙම අයහපත් ප්‍රවේණිගත ලක්ෂණ සහිත පුද්ගලයන් බෝ වීම වැළැක්විය යුතුය.”
“ නුසුදුස්සන් සහ සුදුස්සන් අතර අසමතුලිත උපත් අනුපාතය නිසැකවම ශිෂ්ටාචාරය වර්තමානයේදී මුහුණ දී සිටින විශාලතම අනතුර බවත් එය මෙම පන්තීන් දෙක අතර තොටිලි තරඟයක් ආරම්භ කිරීමෙන් නිවැරදි නොකළ හැකි බවත් උපත් පාලනය පිළිබඳ උපදේශකයෙකු ලෙස පෙන්වා දීමට කැමැත්තෙමි. මෙම ගැටළුවට අදාළව, පහත් පන්තීන් සඳහා උදාහරණ වන, මන්දබුද්ධිකයන්ගේ, මානසික ආබාධිතයන්ගේ, දුප්පත් බවින් පීඩිත සමාජ පන්තීන්වල දරුවන් ලැබීමේ හැකියාව තරඟයක් ලෙස බාර නොගත යුුතුය….
එය ප්‍රතිවිරුද්ධ ලෙස අද දවසේ වඩාත්ම වැදගත් ප්‍රශ්නය වන්නේ කායිකව සහ මානසිකව දුර්වල පුද්ගලයන් විසින් අධික ලෙස දරුවන් හැදීම වළක්වන්නේ කෙසේ ද යන්නයි.”
(Margaret Sanger, The Eugenic Value of Birth Control Propaganda. Birth Control Review, October 1921, page 5)

 

“තම වර්ගයාගේ සංඛ්‍යාව වැඩි කරමින් සහ බෝ කරමින් සිටින මුග්ධයන්ව වෙන්කොට තැබීමට අපගේ අසමත් වීම විසින් පෙන්නුම් කරන්නේ අපගේ මෝඩ එඩිතරකම සහ පමණ ඉක්මවා ගිය හැඟීම්බර ස්වභාවයයි. සීතිමේ හැකියාවක් නැති මෙන්ම වගවිභාගයක් නැතිව දරුවන් බෝ කරන්නවුන්ගේ බර දරමින් සිටින ලෝකයේ නීරෝගී සහ සාමාන්‍ය කොටස්වල වර්ධනය දානපතියන් විසින් දිරිගන්වනු ලබයි. මෙම මිනිස් කසළවල මාරාන්තික බර පිළිබඳව පාඨකයා එකඟවනු ඇතැයි මම සිතමි. වර්ගයාගේ සහ ලෝකයේ අනාගතයට අනර්ථකාරි මෙම ගහණය අඩු කිරීම හෝ අතුගා දැමීමට ක්‍රියා කිරීම වෙනුවට සිදුවන්නේ අනතුරුදායක මට්ටමක ආධිපත්‍යයක් කරා ඔවුන් පරිවර්තනය වීමට ඉඩහැරීමය. කිසිවිටෙකත් මෙලොව උපත නොලැබිය යුතුව තිබූ කිසිදා කෙළවරක් නොවන ලෙසට පැටවුන් වැදීමේ නිරතව සිටින මිනිස් පන්තියකට අප විසින් ගෙවමින් සිටිනවා පමණක් නොව යටත්ව ද සිටින්නෙමු.”
(Margaret Sanger. The Pivot of Civilization, 1922. Chapter on “The Cruelty of Charity,” pages 116, 122, and 189. Swarthmore College Library edition.)

“සමාජයේ තුන්වන කණ්ඩායම වන්නේ සිය ආගමික විශ්වාසයන් සුළු ප්‍රමාණයක් හේතුවෙන් සිය ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාකයන් පිළිබඳ මඳ වශයෙන් හෝ සැළකිල්ලක් හෝ වගකීමක් නැතිව තම සංඛ්‍යාවන් පාලනය නොකරන්නවුන්ය.මෙම කණ්ඩායමේ බොහෝ දෙනා රෝගීන් සහ මන්ද බුද්ධිකයෝ සහ හිඟන්නන් වන අතර ඔවුහු සිය පැවැත්ම වෙනුවෙන් සමාජයේ සාමාන්‍ය සහ යෝග්‍ය පුද්ගලයන්ගේ ආධාර මත යැපෙති. සිතීමට හැකි සියලු දෙනා විසින් මෙම පුද්ගලයන් නැවැත්විය යුතු යැයි සිතන බවට කිසිදු සැකයක් නැත.”

(Margaret Sanger. Speech quoted in Birth Control: What It Is, How It Works, What It Will Do. The Proceedings of the First American Birth Control Conference. Held at the Hotel Plaza, New York City, November 11-12, 1921. Published by the Birth Control Review, Gothic Press, pages 172 and 174.)

“අයහපත් සහ පහත් ප්‍රවේණියක් සහිත පුද්ගලයන්ට (dysgenic groups) ස්වේච්ඡාවෙන් වෙන්ව සිටීම හෝ අනිවාර්යයෙන්ම වන්ධ්‍යාකරණ එන්නත ලබාගැනීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉඩ දිය යුතුය.”

Margaret Sanger, April 1932 Birth Control Review.

සියලු යුජෙනික්ස්වාදින් මෙන්ම මාගරට් සේඟර් ද විශ්වාස කළේ පොදු මානව වර්ගයාගේ ප්‍රවර්ධනය උදෙසා ඇතැම් ජීවිත වල පැවැත්ම අහෝසි කළ යුතු බවය. ඇයට අනුව කායික වශයෙන් විකෘති වූ අංග ලක්ෂණ සහිත අයෙකුහට දරුවන් සැදීමට ඉඩදුනහොත් ඔවුන් විසින් සමස්ත මානව වර්ගයාගේම තත්ත්වය පිරිහෙළනු ඇති බවත් මානව වර්ගයාගේ උපරිම ශක්‍යතාවන් කරා එළැඹීම මේ ආබාධිතයන් විසින් දරුවන් වැදීම මගින් වැළැක්වෙනු ඇති බවත්ය.
“උපතින්ම කායික හෝ මානසික ඌනතා ඇති සෑම අයෙකුට, විකෘති අංග ලක්ෂණ සහිතව ඉපැදෙන සෑම දරුවෙකුටම, ජන්මයෙන්ම දූෂිතව ඉපදෙන සෑම අයෙකුටම තමන්ගේ පැවැත්ම පිළිබඳ අසීමාන්තික වැදගත් කමක් තිබිය හැකිය. එහෙත් මෙම ජීව විද්‍යාත්මක හෝ වාර්ගික වැරදි සඳහා එක් හෝ තවත් ආකාරයකින් ගෙවීමට සිදුවන අපට හෝ අපගේ සියලුම දරුවන්ට එය එතරම් වැදගත් කමක් ඇති දෙයක් නොවේ.”
(Sanger, The Pivot of Civilization පිටුව 234 )””

එක්සත් ජනපද රජය සහ දානපති සංවිධාන විසින් නිව්යෝර්ක්හි මානසික ආබාධිත දිළිඳු පුද්ගලයන් 65,000කට සහන සැලසීම සඳහා ඩොලර් මිලියන 34ක් වෙන් කිරීම මාගරට් සේඟර්ගේ දැඩි විවේචනයට ලක් විය. පුද්ගලයන් කීපදෙනෙකු සඳහා මේ තරම් මුදලක් වෙන් කිරීම පිළිබඳව ඇය දැඩි ලෙස රජයට දෝෂාරෝපණය කළාය.

“මෙම මිනිස් කසළවල මාරාන්තික බර සඳහා අපට දැරීමට සිදුවන දරුණු වියදම පිළිබඳව අපගේ දෑස් විවර කළ යුතුය ”
(Sanger, The Pivot of Civilization පිටුව 215,)

කෙසේ වුවද මෙම මිලියන 34ක මුදල පුද්ගලයන් 65000ක් අතරේ බෙදී ගිය විට එක් පුද්ගලයෙකු සඳහා වියදම් වන්නේ ඩොලර් 523ක් පමණි. මාගරට් සේඟර්ට අනුව මානසික ආබාධිත පුද්ගලයෙකුගේ ජීවිතයක් එතරම් අඩු මිලක් ගෙවීමට තරම්වත් නොවටී.

සමහර පුද්ගලයන්ගේ ජීවිත ජීවත්කරවීමට තරම් වැදගත් කමක් නැතැයි යන්න මාගරට් සේඟර්ගේ විශ්වාසය  විය.
ඇය විසින් මෙසේ ලියා තිබේ.
” සිය දෙමව්පියන්ගේ කෘෘර නොසැළකිළිමත්කමට සහ තෘප්තිකර දරුඵල ලැබීමේ හැකියාවට දෙන දඬුවමක් ලෙස බොහෝ කල් ජීවත්වීමට සමත්වන ආබාධිත ළමුන්ට වඩා සිය ජීවිතයේ පළමු මාස 12 තුළ මරණයට පත්වන ළමුන් කවර ආකාරයකින් බැලුවද වාසනාවන්තය,”
(Sanger, The Pivot of Civilization පිටුව 195,)

මාගරට් සේඟර්ට අනුව ඇතැම් පුද්ගලයන්ට ජීවත්වීම සඳහා අයිතියක් නැත. විසින් Birth Control Review ජර්නලයට ලියන ලද එක් ලිපියක සිරස්තලය වූයේ “අලාභදායක දරුවෝ- මේ ශරීර අමරණීය ආත්මය සඳහා දෙවොලක්ද?”යන්නයි.
(Sanger, The Pivot of Civilization පිටුව 169,)

ජීවත්වීමෙන් කිසිදු ඵලක් නැති බව පෙනී යන ජීවිත අවසාන කර දැමිය යුතු බව ද ඇය විශ්වාස කළාය. වාර්ගික සිය දිවිනසාගැනීම සිදුවිය හැකිද?(“Is Race Suicide Probable?”) යනුවෙන් ඇය විසින් ලියන ලද ලිපියේ මෙසේ සඳහන් කර තිබේ.
“රෝගීන් සහ අපරාධකරුවන් විනාශකර දමනවා වෙනුවට අද අප විසින් කරනු ලබන්නේ රට පුරාම උන්මත්තකාගාර පවත්වාගෙන යමින් ඔවුන්ව පෝෂණය කිරීමය.”
(Sanger, The Pivot of Civilization පිටුව 176,)

යුජෙනික්ස්වාදින් රෝගීන් සහ ආබාධිතයන්ව දුටුවේ සමාජයට බරක් වී එහි සාරය උරා බොන පරපෝෂිතයන් හෝ පිළිල ලෙසය.සමාජය සුවපත් කිරීමට නම් එම පරපෝෂිතයන් සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතුය යන්න සමාජය තුළ ප්‍රචාරය කිරීමට 1930 ගණන්වලදී බ්‍රිතාන්‍ය යුජෙනික්ස් සමාජය (ගාල්ටන් ආයතනය) විසින් සකස් කරන ලද පෝස්ටරයක් -Wellcome Library

මාගරට් සේඟර් විසින් කායික සහ මානසික ඌනතාවලින් පෙළෙන්නවුන් සමාන කරන ලද්දේ පහත් සත්ව විශේෂයක් ලෙසය. එමෙන්ම ඔවුන්ව අයත්විය යුත්තේ පොදු සාමාන්‍ය මනුෂ්‍ය ගණයට නොව වෙනත් වර්ගීකරණයකට බවද ඇය විසින් යෝජනා කර ඇත. ප්‍රවේණික උරුමය සහ දරුවන් සැදීමට අපේක්ෂාකරන දෙමව්පියන්ට තිබිය යුතු කායික සුදුසුකම් ගැන පැවැති සංවාදයකදි ඇය එක් වරක් “ඔවුන්ගේ වර්ගය බෝ කරන” (reproducing their kind)පුද්ගලයන් ගැන සඳහන් කර තිබේ. මෙහිදි ඇය ඔවුන් යනුවෙන් සඳහන් කර ඇත්තේ කායික සහ මානසික ඌනතාවලින් පෙළෙන්නවුන් ය. ඔවුන්ගේ වර්ගය(their kind) බෝකිරීම යනු තවත් එවැනිම කායික සහ මානසික ආබාධිතයන් රැළක් බෝකිරීම බව ඇගේ අදහස විය. තවත් තැනකදී ඇය විසින් “ඔවුන්ගේ වර්ගය පතුරුවා හැරීමක් “(propagating their kind) ගැන සඳහන් කර තිබේ.
(Sanger, The Pivot of Civilization පිටු 208,204,234,)
ඇය එම “ඔවුන්ගේ වර්ගය” යන යෙදුම මෙම මානසික සහ කායික ආබාධිත වූවන් සහ රෝගීන් ගැන සඳහන් කරන සෑම විටෙකම භාවිතා කරන්නේ ඔවුන් මිනිස් වර්ගයාට වඩා පහත් සත්ව වර්ගයක් ලෙස ඇඟවීම මගින් ඔවුන්ව නිර්-මානුෂිකකරණය කිරීම සඳහාය. ඔවුන්ට එරෙහිව බලහත්කාරි වන්ධ්‍යාකරණය, උන්මත්තකාගාර හෝ වෙන්කරන ලද කොලනිවල රඳවා තැබීම ආදි කෘෘර යුජෙනිකස්වාදි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට ඔවුන් සෙසු මිනිසුන් මෙන් දුක,සතුට,වේදනාව දැනෙන, සමාන අයිතිවාසිකම් ඇති කොටසක් ලෙස පිළිගැනීම මගින් කළ නොහැකිය. ඔවුන්ව නිර්-මානුෂිකකරණය කිරීම අවශ්‍ය වන්නේ එනිසාය.

ඔවුන්ගේ වර්ගය (their kind)යන යෙදුම කිසියම් ජනකොටසක් තමන්ට වඩා පහත් කණ්ඩායමක් ලෙස ඇඟවීම සඳහා ස්වෝත්තමවාදින් විසින් යොදාගනු ලබන්නකි.

සේඟර් විසින් මෙම යෙදුම භාවිතා කිරීම සම්බන්ධයෙන් අලානා වාර්ලේ පවසන්නේ බයිබලයේ සත්ව වර්ගයන් ගැන කියැවෙන එක් අවස්ථාවක මෙම යෙදුම යොදාගෙන ඇති හෙයින් සේඟර් එම යෙදුම මානසිකව සහ කායිකව ආබාධිත වූවන්ව පහත් මට්ටමක ලා හැඳින්වීමට  යොදාගෙන ඇති බවයි.

අලානා වාර්ලේ ඒ පිළිබඳව මෙසේ ලියා ඇත.

“ …බයිබලයේ උත්පත්ති කථාවේ 1:25:හි මෙසේ සඳහන් වේ.
“දෙවියන් වහන්සේ විසින් වන සතුන් ඔවුන්ගේ වර්ගයට අනුව මවන ලදි. ගව,එළු,බැටළු ආදි හීලෑ සත්වයන් ඔවුන්ගේ වර්ගය අනුව මවන ලදි.පොළොව දිගේ බඩගා යන සියලු සතුන් ඔවුන්ගේ වර්ගය අනුව මවන ලදි.”

(“God made the wild animals according to their kinds, the livestock according to their kinds, and all the creatures that move along the ground according to their kinds”- Genesis 1:25:)

වර්ගය ( kind)යන වචනය භාවිතා කිරීම මගින් සේඟර් අඟවන්නේ මෙම දුප්පත් සහ බුද්ධිමත් නොවන පුද්ගලයන් අයත්වන්නේ වෙනත් වර්ගයකට බවය. නැතහොත් වෙනත්ම සත්ව විශේෂයකට බවය. ඇයට අනුව මෙම රෝගී පුද්ගලයන් මනුෂ්‍යත්වයෙහිලා සැළකිය නොහැකිය.සේඟර්ට අනුව “අවලම් “ දෙමාපියන්ට ජාතකව උපදිනවුන්ට මේ ලෝකය තුළ මනුෂ්‍යයෙකු බවට පත්වීමට අවස්ථාවක් නැත.“

Mike Wallace and Margaret Sanger, “The Mike Wallace Interview Guest: Margaret Sanger,” Harry Ransom Center. Accessed March 14, 2017 from http://www.hrc.utexas.edu/multimedia/video/2008/wallace/sanger_margaret_t.html.

මේ වනවිට දැකිය හැක්කේ මාගරට් සේඟර් වැනි පුරෝගාමි යුජෙනික්ස්වාදින් නැවත වඩාත් “මානුෂික වාදි“ ලෙස පුනරුත්ථාපනය කිරීමේ උත්සාහයකි. ඒ ඔවුන්ගේ මතවාදයන් ක්ලාවුස් ෂ්වාබ්ගේ ලෝක ආර්ථික සංසදය( World Economic Forum) හෝ ජෝර්ජ් සොරෝස්ගේ “විවෘත සමාජය ” (Open Society) වැනි බලවේග විසින් පෙරට දමන නූතන පාර-මානුෂික සමාජ ඉංජිනේරුකරණයෙහි ලා භාවිතා කළ හැකි මෙවලම් බවට පත් කිරීමය. 2016 එක්සත් ජනපද ජනාධිපති වරණ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පැවසුවේ මාගරට් සේඟර් තමාගේ පරමාදර්ශයක් වූ බවයි.
1953 දී මාගරට් සේඟර් ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඇති කරගත් එකඟතා  අනුව කොළඹ නගරය තුළ උපත් පාලන සායන පිහිටුවීමට ලංකා රජය කටයුතු කරන ලදි.

එක්සත් ජනපදය තුළ අෆ්‍රිකානු ස්ත්‍රීන් බලහත්කාරී වන්ධ්‍යාකරණයට ලක් කිරීම
බලහත්කාරි වන්ධ්‍යාකරණයට එරෙහිව එක්සත් ජනපදයේ ස්වදේශික ඉන්දියානු, අප්‍රිකන් සහ ලතින් ඇමෙරිකන් ස්ත්‍රින් ගේ විරෝධතා ව්‍යාපාරය පොස්ටරයක්

එක්සත් ජනපදයේ සුදු ස්වෝත්තමවාදි ධනේෂ්වර කණ්ඩායම් තුළ වහල් බවින් නිදහස ලද අප්‍රිකානුවන් කෙරෙහි දැඩි භීතියක් විය. ඒ ඔවුන්ගේ අසීමාන්තික ජනගහණ වර්ධනය විසින් තම පැවැත්ම අහෝසි කරනු ඇතැයි යන්න ඔවුන් විශ්වාස කළ බැවිනි. ස්වකීය උසස් ජාන සහ අෆ්‍රිකානු නිග්‍රෝ ජාන සම්මිශ්‍රණය වැළැක්වීම මගින් සිය වාර්ගික පාරිශුද්ධිය සහ උසස් බව රැක ගැනීමටත් “අපිරිසිදු කළු මිනිසුන් “ සංඛ්‍යාත්මකව අඩු කිරීමටත් ඔවුන් “විද්‍යාත්මක පදනමක්“ ලෙස භාවිතා කරන ලද්දේ යුජෙනික්ස් ව්‍යාපාරය ගොඩ නගන ලද විද්‍යාඥයන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මානව විරෝධී මතවාදයන්ය. ඇමෙරිකන් ඉතිහාසය පුරාම මෙම යුජෙනික්ස්වාදි වෛද්‍ය වෘත්තිකයන් විසින් ඇමෙරිකන් අෆ්‍රිකන් ස්ත්‍රීන්ගේ ප්‍රජනක අයිතීන් සහ ශාරිරික අයිතීන් නිරන්තර ව උල්ලංඝණය කළහ‍. මෙම අෆ්‍රිකානු ස්ත්‍රීන් බලහත්කාරි වන්ධ්‍යාකරණයට ලක් කරන ලදි. ඒ සඳහා ඔවුන්ගේ කැමැත්ත හෝ අකැමැත්ත කිසිවිටෙක නොවිමසන ලදි. මක් නිසාද යත් අදාළ ලේඛණ තුළ මෙම අෆ්‍රිකානු ස්ත්‍රීන් තමන් පිළිබඳව තීරණයක් ගැනීමට තරම් බුද්ධිය මුහුකුරා යාමක් නැති මන්ද බුද්ධික හෙවත් “Feeble-minded ” ලෙස වර්ගී කරණය කර තිබූ බැවිනි. වත්මන් නාරිවේදයේ පියා ලෙස සැළකෙන 19 වන සියවසේ විසූ ජේම්ස් මාරියොන් සිම්ස් විසින් ඔහුගේ පරීක්ෂණාත්මක ශල්‍යකර්ම බොහොමයකදී අෆ්‍රිකානු වහල් ස්ත්‍රීන් ශල්‍ය කර්මයන්ට භාජනය කරන ලද්දේ කිසිම වේදනා නාශකයක් ලබා නොදෙමිනි.  1960 දී නොර්ත් කැරොලිනා ප්‍රාන්තය විසින් ගෙන ආ නීතියක් අනුව මන්ද බුද්ධික හෙවත් “Feeble-minded ” ලෙස වර්ගීකරණයට ලක් වූ අෆ්‍රිකානු ස්ත්‍රීන් බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක් කිරීමට රජයට බලතල ලැබිණි. රජයෙන් ජීවනාධාර ලබාගැනීමේ අප්‍රකාශිත කොන්දේසියක් වූයේ අදාළ ඉල්ලුම්කාරිය වන්ධ්‍යාකරණ ශල්‍යකර්මය සිදු කරගැනීම තිබිය යුතුය යන්නයි. නොර්ත් කැරොලිනාවේ අප්‍රිකානු ස්ත්‍රීන් වන්ධ්‍යාකරණයට ලක් වූ ප්‍රතිශතය පසුගිය සියවස තුළ ඉහළ ගියේ මේ අන්දමටය.
1930- 1940 …..23%
1958- 1960 …..59%
1964- 1966 …..64%
(Schoen, Choice and Coercion, 108)
මෙම යුජෙනික්ස්වාදී කෘරත්වයට එරෙහිව ඇතැම් ඇමෙරිකන් අෆ්‍රිකන් ස්ත්‍රීන් විවෘතව හඬ නැගීමට පටන්ගැනීමත් සමග අෆ්‍රිකානු ස්ත්‍රීන් බලහත්කාරි වන්ධ්‍යාකරණයට ලක්කිරීමට එරෙහිවීම එක්සත් ජනපද සිවිල් අයිතීන් ව්‍යාපාරයේ සටන් පාඨයක් බවට පත් විය. මෙම අරගලයේ නායිකාවක් වූයේ අ‍ෆ්‍රිකානු ස්ත්‍රියක වූ ෆැනී ලූ හේමර් (Fannie Lou Hamer)ය. ඉතා දිළිඳු කම්කරු පවුලක උපත ලද ඇයව වෙනත් ශල්‍යකර්මයක් සඳහා රෝහලට ඇතුළත් වූ පසුව ඇගේ කැමැත්ත හෝ ඇගේ දෙමව්පියන්ගේ කැමැත්ත නොවිමසාම වන්ධ්‍යාකරණයට ලක් කර තිබිණි. ඇය මෙම ඉරණමට ලක් වූ වෙනත් අෆ්‍රිකානු ස්ත්‍රින්ගේ සහයෝගයද සහිතව මෙම බලහත්කාරි වන්ධ්‍යාකරණයට එරෙහිව ව්‍යාපාරයක් ගොඩ නැගීමට මූලික වූවාය. එක්සත් ජනපද රාජ්‍ය යන්ත්‍රයේ යුජෙනික්ස්වාදින් විසින් මෙලෙස බලහත්කාරි වන්ධ්‍යකරණයට ලක් කරන ලද්දේ අෆ්‍රිකානු ස්ත්‍රීන් පමණක් නොවේ. ඔවුන් විසින් ලතින් ඇමෙරිකානු ස්ත්‍රීන් සහ ස්වදේශික ඉන්දියානු ස්ත්‍රින්ද මෙලෙසම බලහත්කාරි වන්ධ්‍යාකරණයට ලක් කරන ලදි.

උපත් පාලනය පිළිබඳ මතවාදය එකිනෙකට පසමිතුරු ප්‍රධාන සම්ප්‍රදායන් දෙකක් විසින් වැළඳගෙන තිබේ. උපත් පාලනයට සහ ගබ්සාවට ස්ත්‍රීවාදින් විසින් සහාය පළ කරනු ලබන්නේ එමගින් ස්ත්‍රියගේ සෞඛ්‍ය සහ නිදහස වර්ධනය කිරීමේ මාවතක් ලෙසය. නමුත් ධනේශ්වර ප්‍රභූ පෙළැන්තිය උපත්පාලනය මගින් උත්සාහ කරනුයේ ජනගහණ වර්ධනය සීමා කිරීමේ මෙවලමක් ලෙසය. මාක්ස්වාදි ස්ත්‍රිවාදිනියන් මේ පිළිබඳව 1970 තරම් ඈත කලෙක සිට අනතුරු අඟවා තිබේ.
” අරමුණ වෙත වෘත්තිකවාදින්ගේ කඩාවැදීම විසින් ස්ත්‍රින් ඇතුළ සියලු වැඩකරන පන්තියේ ජනතාවන්ගේ ස්වයංතීරණ අයිතිය පිලිබඳ ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා වන ව්‍යාපාරයක සිට ප්‍රභූ පෙළැන්තියේ වටිනාකම් වැළඳගත් සහ ප්‍රභූ පැළැන්තියට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් දක්වා උපත්පාලන ව්‍යාපාරයේ ඉලක්ක වෙනස් කර තිබේ. මෙම වෘත්තිකයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කර හඳුනාගත හැකිය. ඔවුන් නම් වෛද්‍යවරුන් සහ යුජෙනික්ස්වාදින්ය. ”
(ලින්ඩා ගෝර්ඩන් 1977 “Birth Control: An Historical Study (Part 1 of 2).” Science for the People, 9(2), 10–16.)

 

යුජෙනික්ස් ව්‍යාපාරය සමාජය තුළ ව්‍යාප්ත වීම

1930 ගණන් වන විට යුජෙනික්ස් ව්‍යාපාරය සැලකිය යුතු ප්‍රමාණයකින් සමාජය තුළ ව්‍යාප්තව පැවතිණි. උසස් පාසල්වල සහ විශ්වවිද්‍යාලවල යුජෙනික් පාඨමාලා ඉගැන්වීම ආරම්භ විය. 1933-34 වසරවල චිකාගෝහි පැවැති “ලෝක පොළ” උත්සවයේදී හි දී “මානව වංශාවලිය”(Pedigree-Study in Man) ප්‍රදර්ශනය කරන ලදි. මෙම උත්සවයේ “ප්‍රගතියේ ශතවර්ශය ” යන තේමාව යටතේ ප්‍රදර්ශන මධ්‍යස්ථාන සංවිධානය කර තිබිණි. මානව වර්ගයාගේ යහපත් ආවේණික ලක්ෂණ පවත්වාගෙන යන්නේ කෙසේදැ යි ඒවායේ විස්තර විය. එමෙන්ම “යහපත් ” සහ “පිරිහුණ” පවුල් සඳහා උදාහරණද ප්‍රදර්ශනය විය. ජනාධිපති රූස්වෙල්ට් පවුල සහ ව්‍යාජ නමක් මගින් දක්වන ලද “ඉෂ්මායිල්” පවුල සන්සන්දනය කර තිබිණි. මුතුන් මිත්තන්ගේ පෙළපත් පිළිබඳ අධ්‍යයනය මගින් සිය ප්‍රගතිශීලි දැක්ම වර්ධනය කරගෙන අර්ථාන්විත ලෙස යුජෙනික්ස් මූලධර්ම අනුගමනය කරමින් විවාහ කටයුතු සිදු කර වගකීම් ඉටු කරන ලෙස උත්සවයට පැමිණෙන්නවුන්ගෙන් ඉල්ලා සිටින ලදි. නීරෝගී සහ උසස් ලක්ෂණ සහිත පවුල තේරීමේ තරඟ පැවැත්වුණු අතර යුජෙනික්ස් මූලධර්මවලට අනුව උසස් කායික ලක්ෂණ සහිත පවුල්වලට ත්‍යාග පිරි නැමිණි. එමෙන් කෘෂිකර්මයේදී උසස් බීජ මුහුන්කරණය මගින් හොඳ අස්වැන්නක් ලබාදෙන බෝග නිර්මාණය කිරීමද, සත්ව පාලනයේදී උසස් සතුන් මුහුන්කරණය මගින් වඩාත් නිරෝගී සහ ප්‍ර යෝජනවත් සතුන් නිර්මාණය කිරීමද යන උදාහරණ අනුගමනය කරමින් වඩාත් උසස් ලක්ෂණ සහිත මිනිස් පරපුරක් නිර්මාණය කිරීම සඳහා උනන්දු වන ලෙස ද ප්‍රචාරය කෙරිණි.

මෙවැනි යුජෙනික්ස් ප්‍රචාරක උත්සවයක් තුළ ප්‍රදර්ශණය වූ එක් ප්‍රචාරක පාඨයක් මෙසේ විය.“”

.“ ඇමෙරිකානුවන් වන අපි අපගේ කුකුළන් සහ ඌරන් අභිජනනය කිරීමේදී ඔවුන්ගේ නීරෝගීමත් පැටිකිරිය ගැන කොතෙක් කල් පෙර සිට ප්‍රවේසම් සහගත වී ඇත්ද? එසේ වුවත් අපගේ දරුවන්ගේ පෙළපත එක්කෝ අහම්බය මත හෝ නැතහොත් අන්ධ මතවාදයන්ට අනුව හෝ තීරණය වීමට ඉඩ හැර ඇත්තෙමු.”

( DIANE B. PAUL, CONTROLLING HUMAN HEREDITY: 1865 TO THE PRESENT, ch. 4 (1995)

බ්‍රිතාන්‍ය යුජෙනික්ස් අධ්‍යයන සමාජය (British Eugenics Educational Society)

චර්චිල්                       එච්.ජී වේල්ස්

බ්‍රිතාන්‍ය යුජෙනික්ස් අධ්‍යයන සමාජය (British Eugenics Educational Society) 1907 දී පිහිටුවන ලද්දේ ෆ්‍රැන්සිස් ගාල්ටන් (Francis Galton, 1822-1911)සහ සමාජ ප්‍රතිසංස්කරණවාදිනියක වූ සිබිල් නෙවිල්-රොල්ෆ හෙවත්  සිබිල් ගොටෝ ((Sybil Neville-Rolfe/Sybil Gotto) විසිනි. 1926 දී මෙහි නම ඉංග්‍රීසි යුජෙනික්ස් සමාජය (English Eugenics Society) ලෙස වෙනස් කරන ලදි. බ්‍රිතාන්‍ය යුජෙනික්ස් සමාජය ඉහළ ප්‍රභූ පැළැන්තියට සහ මධ්‍යම පන්තියට අයත් කලාකරුවන්, ගත්කතුවරුන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් සහ දේශපාලනඥයන්ගෙන් සමන්විත වූ සංවිධානයක් විය. එහි වූ ප්‍රසිද්ධ පුද්ගලයන් ලෙස එච්.ජී වේල්ස්, එවකට බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, උපත් පාලන උපදේශිකාවක් වූ මාරි ස්ටෝප්ස් ආදින් නම් කළ හැකිය. මෙම සංවිධානය විවිධ යුජෙනික්ස්වාදි නීති පැනවීමට සහ බලාත්මක කිරීමට දායක වී තිබේ. 1913 මානසික ඌනතා පනත (1913 Mental Deficiency Act) ගෙන එන ලද්දේ ඔවුන්ගේ බලපෑමෙනි. එමගින් බලධාරින් විසින් මානසික ඌනතා ලක්ෂණ සහිතයැයි නම්කරන ලද පුද්ගලයන් සමාජයෙන් වෙන්කර රැඳවීමට රජයට බලය ලැබිණි.

බර්ට්‍රන්ඩ් රසල්
රසල්

නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වූ බර්ට්‍රන්ඩ් රසල්ද යුජෙනිකස් ව්‍යාපාරයේ ඇතැම් මතවාදයන්ට සහාය දැක්වූ අයෙකි. එසේ වුව ද ඔහු එහි සමහර අංග දැඩි ලෙස විවේචනය කළේය. ධනවත් පුද්ගලයන් ගේ ජානමය උරුමය හෙවත් ප්‍රවේණිය දුප්පත් පුද්ගලයන්ගේ ප්‍රවේණියට වඩා උසස් යැයි යන මතවාදයද වර්ගවාදි අගතීන් ශක්තිමත් කිරීම සඳහා යුජෙනික්ස් යොදාගැනීමද ඔහු සිය Marriage and Morals කෘතියේ දී විවේචනය කර තිබේ.

ඒ කෙසේ වුව ද මානව වර්ගයාගේ කායික සහ මානසික ගුණයන් පිරිහෙමින් පවතින බවත් ඒ සඳහා ජානමය උරුමයේ පරිහානිය බලපාන බවත්  බර්ට්‍රන්ඩ්  රසල් ද සෙසු යුජෙනික්ස්වාදින් මෙන්ම විශ්වාස කළ නමුත් සෘණාත්මක ප්‍රවේණිය හෙවත් ප්‍රවේණියෙන් උරුමවන අයහපත් කායික සහ මානසික තත්ත්වයන් සම්බන්ධව යුජෙනික්ස්වාදින්ගේ ප්‍රවේශය ආන්තික ලෙස විෂයමූලික එකක් වී ඇතැයි ඔහු අදහස් කළේය.  කෙසේ වුව ද මානසික ඌනතා සහිත වූවන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම යුක්ති සහගත කළ හැකි දෙයකැයි ඔහු විසින් සඳහන් කර තිබේ. යහපත් කායික සහ මානසික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවර්ධනය කරනු වස් තෝරාගත් උසස් ප්‍රවේණික ලක්ෂණ සහිත අය අතර පමණක් විවාහ සහ දරුවන් බිහිකිරීම සංවිධානාත්මක සැලසුම් කිරීම මගින් වඩාත් මිලිටරිකරණය වූ ජාතියක් බිහිවුනු ඇතැයි රසල් විශ්වාස කළේය. ඔහුට අනුව වාර්ගික පරිහානිය වැළැක්වීම සඳහා බුද්ධිමත් පුද්ගලයන් හැකිතාක් දරුවන් බිහිකිරීම සිදු කළ යුතුව ඇත.

 

සිබිල් නෙවිල්-රොල්ෆ
සිබිල් නෙවිල්-රොල්ෆ

1907 දී බ්‍රිතාන්‍යයේ යුජෙනික්ස් අධ්‍යාපන සමාජය පිහිටුවීමට ෆ්‍රන්සිස් ගාල්ටන් සමග පුරෝගාමි කාර්යභාරයක් ඉටු කළ සිබිල් නෙවිල්-රොල්ෆ (Sybil Neville-Rolfe) හෙවත් සිබිල් කැතරින් ගොටෝ සමාජ ස්වස්ථතාවාදිනියකි. (Social Hygienist) යුජෙනික්ස් අධ්‍යාපන සමාජයේ විශ්වාසය වූයේ සමාජ පන්තිය සහ දුප්පත්කම යමෙකුගේ ජාන උරුමය සහ සෘජුවම සම්බන්ධ දෙයක් බවයි. නෙවිල්-රොල්ෆ ලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමෙහි රාජකීය සමාජය පිහිටුවීමටද මැදිහත් වූ අතර ළමා සුබසාධනය පිළිබඳ කවුන්සිලයේ උප සභාපතිනියද විය. ඔවුන්ගේ අරමුණ වූයේ දුප්පත් සමාජ පන්තිවල සහ අඩු බුද්ධිමත් බවකින් යුතු කොටස්වල දරු උපත් අනුපාතිකය අඩු කිරීම මගින් බ්‍රිතාන්‍ය යේ දුප්පත්කම නැතිකිරීමයි.
1913දී බ්‍රිතාන්‍ය යේ මානසික ඌනතා සහිතවූවන් පිළිබඳ පනත (Mental Deficiency Act) ක්‍රියාත්මක කරන ලද්දේ ඇය විසිනි.

සිබිල් නෙවිල්-රොල්ෆ 1917 දී “සමාජය නැවත ගොඩනැගීම සඳහා යුජෙනික මූලධර්ම” ( “The Eugenic Principle in Social Reconstruction ) නම් ලිපියක් ලියුවාය.

යම් පුද්ගලයන් ජීව විද්‍යාත්මක ප්‍රවේණිය අනුව සෙස්සන්ට වඩා උසස් බව ඇය විශ්වාස කළාය. එමෙන්ම පහත් පන්තින්වල සමහර පුද්ගලයන් එම පන්තිවලම සෙස්සන්ට වඩා ජීව විද්‍යාත්මක ප්‍රවේණිය අනුව උසස් බවත් ඔවුන්ගේ එම උසස් ප්‍රවේණිය හේතුවෙන් ඉහළ ජීවන තත්ත්වයන් කරා ළඟාවීමට ඔවුන් සමත්වන බවත් ඇයගේ අදහස විය. ඒ් අනුව ඔවුන් එසේ කිරීමට සමත්වන්නේ ඔවුන්ට උපතින්ම සෙස්සන්ට වඩා ඵලදායි බවක් සහිත සහ සමාජීය වශයෙන් ප්‍රයෝජනවත් බවක් බවක් උරුම කරගෙන සිටින නිසාය. මේ හේතුවෙන් ඔවුහු ආර්ථික ස්වාධීනත්වය ළඟාකර ගැනීමට සමත්වන බව ඇය විසින් සඳහන් කර තිබේ.
එමෙන්ම උසස් ප්‍රවේණික ගති ලක්ෂණ සහිත දෙමව්පියන්ගෙන් උපදින දරුවන් ඇතැම් විට ප්‍රවේණික ලක්ෂණ අතින් දෙමව්පියන්ට වඩා පහත් විය හැකි බවත් එනිසාම ඔවුන්ට ආර්ථික ස්වාධීනත්වය ළඟාකරගත නොහැකි බවත් ඇයගේ මතය විය.

ඇංග්ලෝ-සැක්සන් ජාතිය ආරක්ෂාකර ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ආයතන විසින් යුජෙනික්ස් ප්‍රතිපත්තීන් යොදාගත යුතු ආකාරය ගැන සිබිල් නෙවිල්-රොල්ෆ විසින් දිගටම බලපෑම් සිදු කරන ලදි.
සිබිල් නෙවිල්-රොල්ෆ  විසින් ස්ත්‍රින්ගේ සෞඛ්‍යය සහ ළමා සුබසාධනය පිළිබඳ බ්‍රිතාන්‍ය රජය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සමාජ ප්‍රතිසංස්කරණවාදි ඉල්ලීම් ලෙස සැළකිය හැකි වුව ද ඒවා කිසිවිටෙකත් එකී ප්‍රතිසංස්කරණ මගින් විසඳාලීමට අපේක්ෂා කරතැයි කියන ලද ගැටළුවලට හේතුවූ සමාජ ආර්ථික දේශපාලන ගැටළු ගැඹුරින් ආමන්ත්‍රණය කළ ඒවා නොවීය.
අධික සූරාකෑම හේතුවෙන් කම්කරු පන්තිය ඇතුළු වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයන් පහත මට්ටමක පැවතීම මෙන්ම අතළොස්සක් අත ධනය එක්රැස් වීම සෑම සමාජීය ගැටළුවකම මූල හේතුව ලෙස සැළකිය හැකි අතර සිබිල් නෙවිල්-රොල්ෆ වැන්නවුන් මෙම ප්‍රධාන ප්‍රශ්නය මගහැර ගණිකා වෘත්තීය, සමාජ රෝග, දුප්පතුන් අතර දරු උපත් අනුපාතිකය ඉහළ යාම, අනාථ දරුවන් පිළිබඳ ප්‍රශ්නය වලට විසඳුම් ලෙස යෝජනා කරන ලද්දේ තාක්ෂණික ප්‍රවේශයකි.
කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීම, පැය 8ක වැඩ දිනය,වෘත්තීය අයිතිවාසිකම් මාතෘ හා ප්‍රසූත නිවාඩු, සනීපාරක්ෂක කම්කරු නිවාස, නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් ආදි සැබෑ සමාජ ප්‍රතිසංස්කරණ කිසි විටෙකත් සිබිල් ගොටෝ හෝ ඇය විසින් නියෝජනය කරන ලද යුජෙනික්ස් වාදින්ගේ සටන්පාඨ හෝ ඉල්ලීම් අතර නොවීය.

සිබිල් නෙවිල්-රොල්ෆ ඇතුළු යුජෙනික්ස්වාදින් විසින් බ්‍රිතාන්‍ය පාලනය වෙත ඉදිරිපත් කරන ලද යුජෙනික්ස්වාදි ප්‍රතිසංස්කරණ යෝජනා

1901-1903 අතර කාලයේ නිවාස අහිමි කම්කරුවන් සඳහා පවත්වාගෙන යන ලද කම්කරු නිවසකදී ආහාර ගන්නා කම්කරුවන්

1. කම්කරු නේවාසිකාගාරවල (workhouses)වල නේවාසිකව සිටින කම්කරුවන් දරුවන් සැදීමට යොමුවීම අධෛර්යමත් කිරීම. කම්කරු නේවාසිකාගාර යනු නිවාස අහිමි කම්කරුවන් හට රාත්‍රිකාලය ගත කිරීම සඳහා වෙන් කරන ලද නවාතැන් ශාලාවේ. මේවා ඉතා තදබදව පවතින නිසි සනීපාරක්ෂක පහසුකම් නැති ස්ථාන වේ.

2. සමලිංගික සම්බන්ධතා අධෛර්යමත් කිරීම

3. තරුණ තරුණියන් හැකි තාක් අඩු වයසේදී ආර්ථික ස්වාධීනත්වය ලබාගැනීම එනම් රැකියාවක් ලබාගැනීම දිරිමත් කිරීම සහ එමගින් ඉතා තරුණ වයසේදී දරුවන් ලබාගැන්වීම දිරිගැන්වීම

4. දික්කසාද වීම පහසු දෙයක් බවට පත් කෙරෙන ක්‍රමයක් ස්ථාපිත කිරීම මගින් ඉතා තරුණ වයසේදී තෝරාගත්  සහකරුවෙකු හෝ සහකාරියක නොගැළපෙන බව අවබෝධ වූ විට පහසුවෙන් වෙන් වීමට අවස්ථාව සැලසීම

5. විවාහ බැඳීමකින් තොරව වුව පිළිසිඳගෙන උපත ලබන දරුවෙකු සම්බන්ධයෙන් වුවද එම දරුවාගේ රැකවරණය සහ පෝෂණය සම්බන්ධ වගකීම පියාට සහ මවට පැවරෙන පරිදි “අවජාතක දරුවන් ” පිළිබඳ ප්‍රතිපත්ති වෙනස් කිරීම.

6. ජානමය සංචිත පිළිබඳ දත්ත රැස්කිරීමටත් ඒවායේ යෝග්‍ය/ අයෝග්‍ය බව හෝ උස්පහත් බව ගැනත් රටේ යහපතට හේතුවන පරිදි යුජෙනික්ස් ප්‍රතිපත්ති මනා ලෙස භාවිතයේ යෙදවිය හැක්කේ කෙසේද යන්න ගැනත් අධ්‍යයනය කිරීම සඳහාත් යුජෙනික්ස් ප්‍රතිපත්ති මත පදනම් වූ බල සම්පන්න දොපාර්තුමේන්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පිහිටුවීම

7. යුජෙනික්ස්වාදි භාවිතයන් අවබෝධ කරගැනීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට රජයට හවුල්වීම සඳහා යුජෙනික්ස්වාදින්ව දිරිගැන්වීම

8. ලන්ඩනයේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීම. මේ යටතේ නිවාස සඳහා අවම ප්‍රමිතියක් ඇතිකිරීම, ස්වාධීන ආර්ථික පැවැත්මක් රහිත අයට රජය විසින් මෙම අවම ප්‍රමිතියක් සහිත නිවාස ලබාදීම පිළිබඳව සිබිල් නෙවිල්-රොල්ෆ යෝජනා කර ඇත.
රැකියා විරහිතයන්ට හෝ නිවාසයක් ලබාගැනීමට තරම් ආදායමක් නැති අයට රජය මගින් ලබාදෙන නිවාස අවම ප්‍රමිතියක් සහිතව පවත්වාගෙන යාම මගින් ඔවුන් තුළ ස්වාභාවිකවම වඩාත් හොඳ තත්ත්වයක නිවාසයක් ලබාගැනීම සඳහා උනන්දුවක් ඇතිවන බව සිබිල් නෙවිල්-රොල්ෆ අදහස් කර ඇත. මේ අනුව තමන්ගේ ජීවන තත්ත්වයන් වර්ධනය කරගැනීමට සමත්වන එම ප්‍රජාවේ කාර්යක්ෂ්ම පුද්ගලයන්ට තමන් ජානමය උරුමය අතින් සෙසු අයට වඩා උසස් අය බව ඔප්පු කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිබිල් නෙවිල්-රොල්ෆ පැහැදිලි කරයි. එලෙස ජානමය වශයෙන් උසස් බව ඔප්පුකරන අය තරුණ වයසේදීම විවාහවී දරුවන් ලැබීම සඳහා දිරිගැන්විය යුතුය.

9. දරුවන් සංඛ්‍යාව සහ ගැබ් ගැනීමට අවශ්‍ය කාලය තීරණය කිරීමේදී වඩාත් පාලනයක් සහිතව එය කිරීමට කාන්තාවන්ට හැකිවන පරිදි උපත්පාලනක්‍රම භාවිතා කිරීම සිදු කළ යුත්තේ කෙසේදැයි යන්න ජනතාවට අධ්‍යාපනය ලබාදීම

10. විවාහයක් අනුමත කිරීමට පෙර අදාළ යුවල විසින් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම විවාහයකදී අවශ්‍යතාවක් බවට පත් කිරීම.මෙම ක්‍රියාමාර්ගය තොරතුරු ලබාගැනීමේ අවශ්‍යතාව මත පමණක් ක්‍රියාත්මක කළ යුතු බව සිබිල් ගොටෝ පවසයි. නමුත් ඇය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාමාර්ගය විවාහවීමට සහ දරුවන් සැදීමට අවසර දීමට තරම් ජානමය උරුමය අතින් අදාළ පුද්ගලයා සුදුසුද නැද්ද යන්න ගැන තීරණය කෙරෙන ක්‍රියාදාමයක කොටසක් බවට පත්වනු ඇති බවය.

11. පාසල් අධ්‍යාපනය තුළ යුජෙනික්ස් අධ‍්‍යාපනය අනිවාර්ය කළ යුතුය. සියලුම ගුරුවරුන් යුජෙනික්ස් පිළිබඳ අධ්‍යාපනය ලබා ළමුන්ට ද එය ඉගැන්විය යුතුය.

12. නිරෝගීමත් සහ යෝග්‍ය ප්‍රවේණියක් සහිත සියළු පුද්ගලයන්ගේ ජාන උරුමය ව්‍යාප්ත කිරීමේ වගකීම පිළිබඳව අවසානයේදී පුළුල් අවබෝධයක් ලැබෙන පරිදි යුජෙනිකස් පිළිබඳව අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසිය යුතුය.
එමෙන්ම ඉතා හොඳින් ගැළපෙන තත්ත්වයන් යටතේ විවාහ වෙමින් දරුවන් බිහිකිරීම ද එමගින් ඔවුන්ගේ යෝග්‍ය බව සහ ජාන උරුමය ඊළඟ පරපුරට ලබා දීම ඔවුන්ගේ වගකීමක් බව සිබිල් සිබිල් නෙවිල්-රොල්ෆ පෙන්වා දෙයි.

13. දරුවන් ඇති පුරවැසියන්ගෙන් අයකරනවාට වැඩියෙන් දරුවන් නැති පුරවැසියන්ගෙන් බදු අය කෙරෙන ක්‍රමයක් ස්ථාපිත කිරීම. මෙය ක්‍රියාත්මක කළ යුත්තේ නිශ්චිත පන්තියක් වෙතින් අයකෙරෙන සමස්ත බදු ප්‍රමාණයේ වෙනසක් නොවන පරිදි සකස් කරන ලද ප්‍රතිපත්තියක් මගිනි.මෙවැනි ක්‍රමයක් මගින් දරුවන් ඇති පුද්ගලයන්ට බදුවලින් නිදහස් වීමට ඉඩ සැළසිය යුතුව ඇති අතර එමගින් සමස්ත බදු ප්‍රමාණයේ මතුවන පියවීම සඳහා දරුවන් නොමැති පුද්ගලයන්ගෙන් අයකෙරෙන බදු ප්‍රමාණය ඉහළ දැමිය යුතුය. සිබිල් නෙවිල්-රොල්ෆ ගේ අදහස වූයේ මෙමගින් දරුවන් ඇති දෙමාපියන් වෙත ආර්ථික ප්‍රතිලාභයක් හිමිකර දෙන අතරම ඔවුන් මත බදු පිළිබඳ අමතර පීඩනයක් වැළකීම ද සිදුවන බව මෙන්ම එමගින් දරුවන් සැදීම සඳහා දෙමව්පියන් දිරි ගැන්වෙන බවය.

සිබිල් නෙවිල්-රොල්ෆ විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනා සමාජ සුබසාධනය සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා ලෙස බැලූ බැල්මට දිස්වුවද ඒවා තුළ සමාජ සුබසාධනවාදය තුළ පැවතිය යුතු අනිවාර්ය අංගයක් වන ප්‍රජාතාන්ත්‍රික ප්‍රෙව්ශයක් දැකිය නොහැකිය.සමාජ සුබසාධනවාදයේ අරමුණ වරප්‍රසාදිත ධනවත් පන්තිය විසින් රැස්කරගන්නා ලද ධනයෙන් යම් ප්‍රමාණයක් දුප්පත් සමාජ පන්තින්ගේ යහපැවැත්ම උදෙසා රාජ්‍යය මැදිහත්වීම මගින් යෙදවීමයි. නමුත් යුජෙනික්ස්වාදින්ගේ අරමුණ දුර්වල, රෝගී සහ අයෝග්‍ය ජාන උරුමයන් සහිත පුද්ගලයන්ගේ ප්‍රජනනය සීමා කිරීමත් යහපත්, යෝග්‍ය උසස් ජාන සහිත පුද්ගලයන්ගේ ප්‍රජනනය දිරිගැන්වීමත් සඳහා රාජ්‍යය යන්ත්‍රය මැදිහත් කරවාගැනීමටය.

මෙහි ඇත්තේ යුජෙනික්ස්වාදය තුළට අවශෝෂණය වූ සමාජ ස්වස්ථතාවාදින් සමාජයේ පහළම පන්තීන්වල අන්ත දුප්පත් ජනකොටස් පාලනය කිරීම සඳහා සමාජ සුබසාධනවාදයේ නමින් ඉදිරිපත් කරන ලද යුජෙනික්ස්වාදි වැඩ සටහනකි. ඇය නිවාස ප්‍රශ්නය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා ගැන අවධානය යොමු කරමු. මෙහිදී ඇය කිසිදු ආදායම් මාර්ගයක් නොමැති වූවන්ගේ හෝ ඉතා අඩු ආදායම් ලබන්නවුන් පෙළෙන නිවාස ප්‍රශ්නය විසඳීමට යෝජනා කරන්නේ යුජෙනිකස්වාදි යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ කඩඉම් පරීක්ෂණයක් ලෙසය. නැතහොත් සමාජයට ඇතුළත් කරගැනීමේ පෙරහනයක් ලෙසය. ඇයගේ සෙසු යෝජනාවන් මෙන්ම නිවාස නැතියවුන් පිළිබඳ යෝජනාවද සමාජ සුබසාධනවාදි ප්‍රවේශයක් ගන්නා බව පෙනුණද සැබැවින්ම ඇත්ත එය නොවේ. ඇයගේ ප්‍රවේශය සෑම විටෙකම යුජෙනික්ස් මූලධර්ම මත පදනම් වූ සමාජ ස්වස්ථතාවාදි ප්‍රවේශයකි. නිවාස නොමැතියවුන් හේතුවෙන් නිර්මාණය වෙතැයි යුජෙනික්ස්වාදින් විසින් අනුමාන කරන සමාජ ගැටළු එනම් ගණිකා වෘත්තීය,අපරාධ, ලෙඩ රෝග,බේබදු බව සහ මත්ද්‍රව්‍ය භාවිතය ආදිය මගින් සමාජයේ යහපත් සාමාජිකයන්ගේ පැවැත්මට එල්ලවිය හැකි තර්ජනය වළකාලීමට ප්‍රමාණවත් වන මට්ටමින් රජය විසින් අවම පහසුකම් සහිත නිවාස එම පුද්ගලයන්ට ලබා දිය යුතුය. එම අවම පහසුකම් ලබා දීමෙන් අනතුරුව සිය ජීවන තත්ත්වය ඉහළ දමාගැනීමේ “ජානමය උරුමය සහිත” කාර්යක්ෂ්ම පුද්ගලයන් සමාජයට ප්‍රයෝජනවත් පුද්ගලයන් බවට පත්වී සමාජයේ කොටසක් බවට පත්වනු ඇත. අකාර්යක්ෂ්ම සෙස්සන් පිළිබඳව සමාජයේ හෝ රාජ්‍යයේ උපරිම වගකීම වනු ඇත්තේ ඔවුන් සෙසු සමාජයට හානියක් නොවන මට්ටමක සීමා කර පවත්වාගැනීමයි.
.යුජෙනික්ස්වාදි සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය අධ්‍යයනය තුල ග්‍රෙටා ජෝන්ස් මෙසේ සඳහන් කර ඇත.

“..රාජ්‍ය මැදිහත්වීමේ ඉලක්කය විය යුත්තේ දුප්පත්බව තුරන් කිරීම යන්න යුජෙනික්ස් ව්‍යාපාරයේ අදහස නොවීය. මෙය පළමු සහ දෙවන ලෝක යුද්ධය අතර කාලය තුළ දුප්පත්කම, පෝෂණය සහ අයහපත් සෞඛ්‍ය අතර සම්බන්ධතාව පිළිබඳව ඔවුන්ගේ ආකල්පය තුළ ද දැකිය හැකිය. 1920 සහ 1930 අතර කාලය තුළ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ වාර්තා ඇසුරෙන් අයහපත් සෞඛ්‍ය සහ දුප්පත්කම පිළිබඳව විමර්ශන සැළකිය යුතු ප්‍රමාණයක් සිදුව තිබේ. එමෙන්ම වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය මගින්ද විමර්ශන ගණනාවක් සිදු කර ඇත.එම විමර්ශන මගින් නුසුදුසු නරක ආහාර සහ අප්‍රමාණවත් ලෙස ආහාර ගැනීමත් අයහපත් සෞඛ්‍ය තත්ත්වයත් අතර පවතින සම්බන්ධය පිළිබඳව දැඩි සාක්ෂි සහිතව තහවුරු කර තිබේ.රැකියා විරහිත ආධාර දීමනා සහ රෝගීන් වෙත ගෙවන ආධාර දීමනා ඉහළ දැමීමත් විශාල කම්කරු පන්තික පවුල්වලට ආධාර කිරීමත් අවශ්‍ය බවට ඉදිරිපත් කරන ලද තර්කයේ කොටසක් ලෙස මෙම මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.නමුත් දෙවන ලෝක යුද්ධයේ ආරම්භය විසින් දුප්පත්කම සහ යහපත් සෞඛ්‍ය අතර සම්බන්ධය පිළිබඳ ඇති වූ පොදු එකඟතාව හේතුවෙන් සමාජ පන්තිය සහ අයහපත් සෞඛ්‍ය අතර සම්බන්ධය පිළිබඳව පැවැති මතවාදි සංග්‍රාමය යටපත් විය.දුප්පත්කම සහ පෝෂණය පිළිබඳ තවත් විමර්ශනයන් ගණනාවක් 1920 ගණන්වලදී පවත්වන්නට යෙදුනේ පතල් කර්මාන්තය පැවැති දිස්ත්‍රික්කවල පැතිර ගිය මන්ද පෝෂණයට හේතුව පතල් කම්කරුවන්ගේ වැටුප් කපාහැරීම බවට පාර්ලිමේන්තුව තුළ සහ පුවත්පත් විසින් මතු කරන ලද චෝදනා හේතුවෙනි. මෙම පරීක්ෂණ වාර්තා තුළ දුප්පත්කම සහ අයහපත් සෞඛ්‍යය පිළිබඳ ගැටළු වනාහි දුප්පතුන්ගේ වගකීම් විරහිතභාවයේ සහ මන්ද බුද්ධිකභාවයේ ප්‍රතිඵලයක් ලෙස යෝජනා කර ඇත්තේ එකි වාර්තාව සැකසීමේදී  බලපාන ලද යුජෙනික්ස් සංකල්ප හේතුවෙනි.”

(Greta Jones, Eugenics and Social Policy between the Wars පිටුව 720)

මාරි ස්ටෝප්ස්
මාරි ස්ටෝප්ස්

බ්‍රිතාන්‍ය යේ පුරෝගාමි යුජෙනික්ස්වාදිනියකි. ශ්‍රි ලංකාවද ඇතුළු ලෝකය පුරා වන්ධ්‍යාකරණ සැත්කම්, ගබ්සාකිරීම් ආදි කටයුතුවල නිරතවන මාරි ස්ටෝප්ස් ඉන්ටර්නැෂනල් සංවිධානය බිහිකිරීමට පදනම් වූ පුරෝගාමි සංවිධානය   බිහිකරන ලද්දේ ඇය විසිනි.

1918 සිට 1930 ගණන්වල මුල්භාගය දක්වා ඇය විසින් විවාහය සහ උපත්පාලනය ගැන පොත් ගණනාවක් පළ කර තිබේ.මෙයින් එක් පොතක් නම් කර ඇත්තේ “දිදුළන මාතෘත්වය” (Radiant Motherhood-1920) නමිනි. එම පොතේ එන “නව ප්‍රභාශ්වර ජාතියක්” නම් පර්ච්ඡේදය තුළ මාරි ස්ටෝප්ස්  උපත්පාලනය සඳහා ඇය ගෙන යන පුළුල් ව්‍යාපාරය පදනම්ව ඇති න්‍යාය පත්‍රය හෙළිදරවු කර තිබේ.

” මානසික සහ කායික වශයෙන් අයෝග්‍ය තත්ත්වයක පසුවන්නවුන් දෙමව්පියන් බවට පත්වීම කළ නොහැකි දෙයක් බවට පත් කිරීම ප්‍රජාව මත පැවරෙන හදිසි වගකීමකි. මක් නිසාද යත් ඔවුහු නිශ්චිතවම තමන්ට ලැබෙන දරුවන් වෙත ද එම කායික සහ මානසික අයෝග්‍යතාවන් සම්ප්‍රේෂණය කරනු ඇති බැවිනි.”

මෙම “අයෝග්‍ය”පුද්ගලයන් වහාම වන්ධ්‍යාකරණයට ලක්කිරීමට ඇයට අවශ්‍යව තිබේ. එමෙන්ම එවැන්නන් අනිවාර්යයෙන්ම වන්ධ්‍යාකරණයට ලක් කිරීම සඳහා නීති පැනවීම වෙනුවෙන්ද ඇය පෙනී සිටියාය.

“දිගින් දිගටම පිරිහෙමින් පවතින ප්‍රවේණික උරුමයද, මන්දබුද්ධිකයන් සහ මානසික අසමතුළිතතාවයෙන් පෙළෙන්නන්ද විසින් නිරෝගීමත් වෘක්ෂයක් පුරා පැතිරුණු පිළිලයක් මෙන් සමාජ සම්ප්‍රදායන් විනාශ කරදමනු ඇත.”

“අපේක්ෂා විරහිත ලෙස ජරාජීර්ණ වූවන් සහ වාර්ගික රෝගවලට ගොදුරු වූවන් වන්ධ්‍යාකරණයට ලක්කිරීමටද දරුවන් අතර ඉඩක් සහිතව ඔවුන් ව සෞඛ්‍ය සම්පන්න ලෙස වර්ධනය කිරීම සඳහා දරුවන් දරාසිටින මවට අධ්‍යාපනය ලබාදීමටද අවශ්‍ය නීති සම්මත වූ විට අප අතර වර්තමානයේදී විශාල පරිමාණයෙන් වර්ධනය වෙමින් පවතින අපෙක්ෂා විරහිතභාවයෙන්ද දුරාචාරයෙන් ද සුන්බුන් වූ ජීවිත අතර ගිලන්වුණ අපගේ ජාතිය ඉක්මණින්ම සුවපත්බව ලබාගනු ඇත.”

ඇය මෙම පරිච්ඡේදයේදී නිෂ්ඵල ජීවිත ” මුලිනුපුටා දැමීම මගින් ” මිනිස් ජීවිතයේ උපරිම සුන්දර ආකාරය වෙත ළඟා විය හැකියයි අවධාරණය කර තිබේ.

රෝගී , බේබදු, දුරාචාරයෙහි හැසිරෙන දෙමව්පියන් අනිවාර්ය වන්ධ්‍යාකරණයට ලක් කරන ලෙස මාරි ස්ටෝප්ස් විසින් ජනගහණ වර්ධන අනුපාත පිළිබඳ ජාතික කොමිසමෙන් ඉල්ලා සිටියාය. මෙහිදී ඇය විසින් මෙම පුද්ගලයන් ද යොදාගනු ලැබ ඇති විශේෂණ පද වූයේ “කිසිදු බලාපොරොත්තුවත් තැබිය නොහැකි නරක පුද්ගලයන්, උරුමයෙන් ලද රෝගවලින් හෝ, බේබදුකම නිසා හෝ අයහපත් චරිතය නිසා නරක් වූ පුද්ගලයන්, අපතයන්, ලෙඩ්ඩු,කාලකණ්ණින්, පරපෝෂිතයන්, පිස්සන් සහ අපරාධකරුවන් “යනාදියයි.

ඇය සිය “බුද්ධිමත් දෙමව්පියෝ “(Wise Parenthood) කෘතියේ මෙසේ සඳහන් කර තිබේ.
“ඉතා බියජනක ඉහළ ප්‍රතිශතයකින් සමන්විත අයෝග්‍ය දුර්වල සහ රෝගී පුද්ගලයන් විසින් අපගේ වර්ගය දුර්වල කර තිබේ.”
1921 දී මාරි ස්ටෝප්ස්ගේ පළමු පවුල් සැලසුම් සායනය උතුරු ලන්ඩනයේදී ආරම්භ කරන ලදි. එය මෙහෙයවන ලද්දේ ඇය විසින් පිහිටුවන ලද සංවර්ධනාත්මක උපත් පාලනය සහ වාර්ගික ප්‍රගතිය සඳහා වන සමාජය (The Society for Constructive Birth Control and Racial Progress) විසිනි. ඇයගේ මෙම උපත්පාලන සායන විශාල වශයෙන් පිහිටුවන ලද්දේ අඩු ආදායම් ලබන දුප්පත් ජනයා වෙසෙන ප්‍රදේශවල වීම පුදුමයට කරුණක් නොවේ. දුප්පතුන් ගේ උපත් අනුපාතිකය අඩු කිරීමත් ඇය විසින් ම”පහත්,දුරාචාරයේ හැසිරෙන සහ මන්දබුද්ධිකයන් ” ලෙස හඳුන්වන්නවුන් ඉපැදීම වළකාළිමත් මෙහි අරමුණ විය.

1934 දී ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ වර්ගයන් අතර සිදුවන මිශ්‍ර විවාහවලින් උපත ලබන දරුවන් උපතේදීම වන්ධ්‍යාකරණයට ලක්කළ යුතු බවයි. 1956 දී එනම් ඇයගේ මරණයට දෙවසරකට පෙර ඇය ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍ය යේ පිරිමින්ගෙන් තුනෙන් පංගුවක් බලහත්කාරි වන්ධ්‍යාකරණයට ලක්කළ යුතුව ඇති බවයි. එය පටන්ගත යුත්තේ කැත සහ ලෙඩ පිරිමින් වඳබවට පත් කිරීම මගින් බවද ඇය වැඩි දුරටත් පවසා ඇත.

(Robert A. Peel of the Galton Institute (editor). Marie Stopes, Eugenics and the English Birth Control Movement [Proceedings of a Conference organized by the Galton Institute, Chameleon Press, London], 1996,පිටු 54 – 81).

මාරි ස්ටෝප්ස් ජර්මනියේ නාසි පාලනයේ විවෘත ආධාරකාරියක වූ අතර ඇය 1935 දී බර්ලින් නගරයේ පැවැති ජනගහණ විද්‍යාව පිළිබඳ කොංග්‍රසයට සහභාගිවූවාය. 1939 දී ඇය හිට්ලර් වෙත ඇය විසින් ලියන ලද පෙම් කවි එකතුවක් ද සමග ලිපියක් යැව්වාය.එහි මෙසේ සඳහන් විය.
“ආදරණීය හිට්ලර් මහතාණෙනි, මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දෙය ආදරයයි.ඔබ මගේ මේ තිලිණය පිළිගෙන එය ඔබගේ ජාතියේ තරුණ ජනයාට ලබා දීමට කටයුතු කරන්නේද?”

මාරි ස්ටෝප්ස් විසින් ලෝකයේ ශ්‍රේෂ්ඨතම දෙය ආදරය යැයි පවසමින් ජන සංහාරක පැසිස්ට්වාදියෙකු වෙත සිය පෙම් කවි යවන ලද මුත් ඇය සිය පුත්‍රයා වූ හැරී එක්තරා තරුණියක වෙත දක්වන ලද ප්‍රේමය එතරම් ශ්‍රේෂඨ දෙයක් ලෙස සැළකුවේ නැත. එයට හේතුව වූයේ එම තරුණිය ඇස් පෙනීමේ දුර්වලතාවක් නිසා ඇස් කණ්නාඩි පැළැඳීමයි. ස්ටෝප්ස්ගේ යුජෙනික්ස්වාදි මිනුම් දඬුවලට අනුව එම තරුණිය රෝගි ජාන උරුමයක් සහිත සැළකේ. මාරි ස්ටෝපස්ගේ විරෝධය නොතකා හැරී එම තරුණිය සමග විවාහවීම හේතුවෙන් ස්ටෝපස් ඔහුව සිය පවුලෙන් නෙරපා හැරියාය.
(Dominic Lawson. “A Simple Lesson in Humanity.” The Independent, September 17, 2008.)

1942 දී හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් යුරෝපයේ යුදෙව්වන්, රුසියානුවන් ඇතුළු මිලියන ගණනාවක් ජනතාව සංහාරය කරමින් සිටින විට ඇය විසින් ලියන ලද කවියක මෙසේ සඳහන් විය.
“කතෝලිකයන් සහ ප්‍රසියන්වරුද යුදෙව්වන් සහ රුසියන්වරුද සාපයකි. නැතහොත් එයටත් වඩා නරක පාපයකි.( ‘Catholics and Prussians, The Jews and the Russians, All are a curse, Or something worse…’)
ඇයගේ මෙම පැසිස්ට්වාදි දැක්ම සහ භාවිතය අමතක කර ඇය විශිෂ්ට ස්ත්‍රිවාදිනියක ලෙස පුනරුත්ථාපනය කිරීමට බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල ප්‍රභූ පෙළැන්තියද ජනමාධ්‍යද ජාත්‍යන්තර උපත්පාලන කර්මාන්තයද වෑයම් දරමින් සිටිති. මෙය සමාන කළ හැක්කේ මිලියන ගණනාවක් ජීවිත විනාශ කරන ලද හිට්ලර්ව විශිෂ්ට ජන නායකයෙකු ලෙස හඳුන්වාදීමට තැත් කිරීමකටය. මොවුහු දෙදෙනාම පුද්ගලයන් බලහත්කාරි වන්ධ්‍යාකරණයට යොමු කළ අතර සමාජයේ ඉතාම දුර්වලතම අසරණතම සාමාජිකයන් ගේ ජීවිත විනාශ කිරීම ප්‍රවර්ධනය කිරීමද සිදු කළ අය වෙති.

මාරි ස්ටෝප්ස් ආරම්භක සායන පිළිබඳ දැන්වීමක්

මාරි ස්ටෝප්ස් සහ අනෙකුත් යුජෙනික්ස්වාදින් කම්කරු පංතික ජනයා මත උපත්පාලනය සහ වන්ධ්‍යාකරණය ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන ලද්දේ ඔවුන්ගේ “රෝගී, කිලිටි,කැත, පහත්, මන්ද බුද්ධික‍,උමතු සහ අපරාධකාරි ලක්ෂණ සහිත ජාන උරුමය” මගින් ප්‍රභූ පෙළැන්තියේ “නිරෝගී, පාරිශුද්ධ,සුන්දර, උසස්, බුද්ධිමත්, කාර්යක්ෂම, ඵලදායි ලක්ෂණ සහිත ජාන උරුමය” දූෂණය වීම වැළැක්වීමේ අරමුණෙනි.

වර්තමානයේදී මාරි ස්ටෝප්ස් ඉන්ටර්නැෂනල් ආයතනය ලෝකයේ විශාලතම ගබ්සා සහ උපත්පාලන සේවා සපයන ආයතනයයි. එම ආයතනය වැඩි පුර අවධානය යොමු කර ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල දුප්පත් ස්ත්‍රින් සහ පුරුෂයන්ගේ විසින් දරුවන් බිහිකිරීම අඩු කිරීමට හෝ මුළුමණින්ම වැළැක්වීමටය.

වර්තමානයේ මාරි ස්ටෝපස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වෙබ් අඩවිය ඔවුන්ගේ සංවිධානයේ අරමුණ පිළිබඳව මෙසේ පවසයි.
“උපත්පාලනය සහ ගබ්සා සඳහා අප විසින් සේවාවන් සපයන ආකාරය හැඩ ගැසී ඇත්තේ විශාල වශයෙන්ම අපගේ ඉතිහාසය විසිනි.එමෙන්ම අපගේ පවුල් සැලසුම් ව්‍යාපාරයේ පුරෝගාමින් දෙදෙනා වන ආචාර්ය මාරි ස්ටෝපස් සහ වෛද්‍ය ටිම් බ්ලැක්ගේ ජීවිත විසිනි.”

මාරි ස්ටෝප්ස් ඉන්ටර්නැෂනල් සංවිධානය ශ්‍රි ලංකාවේ සිය ක්‍රියාකාරකම් පිළිබඳව සිය වෙඩ් අඩවියේ දක්වා ඇති ආකාරය

මෙය සත්‍යයකි. මාරි ස්ටෝප්ස් ඉන්ටර්නැෂනල් සංවිධානය අද පවා මෙහෙයවෙන්නේ මාරි ස්ටෝපස්ගේ යුජෙනික්ස්වාදි දැක්මට අනුවය.එය ක්‍රියාත්මක වන්නේ හෙන්රි කිසිංජර්ගේ 1974 දුප්පත් රටවල ජනගහණය අඩු කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේත් බ්‍රිතාන්‍ය රජයේත් විදේශ ප්‍රතිපත්තියට අනුවය

සිය මතවාදය සහ ක්‍රියාමාර්ග සමාජය මත ස්ථාපිත කිරීමට යුජෙනික්ස්වරුන් යොදාගත් උපක්‍රම

1. යුජෙනික්ස් මිනුම් දඬු අනුව “උසස් ප්‍රවේණිගත ලක්ෂණ සහිත” යැයි සැළකෙන පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට තමන් විසින් වැඩියෙන් දරුවන් බිහිකළ යුතු යැයි ඒත්තු ගැන්වීම. මෙම උපාය මාර්ගයේ අපේක්ෂිත ප්‍රතිඵලය වූයේ “උසස්“ වර්ගයට අයත් ජන කොටස ජනගහණය ක්ෂණිකව ඉහළ යාම මගින් ඔවුන්ගේ පිරිසිදු උසස් රුධිර ප්‍රවාහයේ පැවැත්ම ශක්තිමත් කිරීමය.නාසි ජර්මනියේදී මානව අභිජනන මධ්‍යස්ථාන පිහිටුවීමේ අරමුණ වූයේ රාජ්‍යයේ මැදිහත් වීම සහිතව සුපිරිවර්ගයට අයත් උසස් ප්‍රවේණියක් සහිත නිල් ඇස් සහ රන්වන් හිසකෙස් සහිත දරුවන් විශාල වශයෙන් බිහිකිරීමය.මෙම දරුවන් බිහිකිරීම සිදු වූයේ විවාහයන්ට පිටතින්ය. ඉහළ නාසි නිලධාරින් සමග “උසස් ප්‍රවේණියක් සහිත ස්ත්‍රින් ” සංවාසයේ යෙදවීමෙන් මෙම දරුවන් බිහිකරවන ලදි.

2. “පහත් ප්‍රවේණිගත ලක්ෂණ සහිත” පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට විසින් දරුවන් බිහිකිරීම විවිධ ක්‍රම මගින් අධෛර්යමත් කිරීම මගින් දරු උපත් වැළැක්වීම නැතහොත් අවම කිරීම.මෙමගින් මෙම “පහත් මිනිස් වර්ගයා” ගේ අපිරිසිදු දුර්වල රුධිරය අනාගත මානව පරම්පරාවන්ට එක්වීම වැළැක්වෙනු ඇතැයිද ඔවුන් සංඛ්‍යාත්මකව පහතවැටීම හේතුවෙන් ඔවුන්ගෙන් “උසස්”වර්ගයට අයත් ජනකණ්ඩායමට වන හානිය වළක්වාගත හැකිවනු ඇතැයිද යුජෙනික්ස්වාදිහූ විශ්වාස කළහ.

3. යම් නිශ්චිත “පහත් ප්‍රවේණිගත ගුණාංග” සහිත පුද්ගලයන් “උසස් ප්‍රවේණිගත ගුණාංග” සහිත පුද්ගලයන් අතර ආවාහ-විවාහ කටයුතු සිදු කිරීම තහනම් කළ යුතුය. මෙහි අර්ථය අන්තර්-වාර්ගික විවාහ, ආබාධිත සහ ආබාධිත නොවන පුද්ගලයන් අතර,රෝගී සහ නිරෝගී පුද්ගලයන් අතර ආවාහවිවාහ තහනම් කළ යුතු බවය. එමෙන්ම ඉහළ උසස් සුපිරි පෙළැන්තියට අයත් පුද්ගලයන් “නුසුදුසු“ ජනවර්ගවලට, ආගමික ප්‍රජාවන්ට, හෝ ආර්ථිකමය වශයෙන් පහත් පන්තීන්ට අයත් පුද්ගලයන් සමග විවාහවීමෙන් ඔවුන්ගේ රුධිරය “පිරිහෙනු” ඇතැයිද,“අපිරිසිදු ” වනු ඇතැයිද යුජෙනික්ස්වාදිහු සිය ඉගැන්වීම්වලදී ප්‍රචාරය කළහ.

4.බරපතල ලෙස කායික මානසික බෙලහීනතාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් පොදු සමාජයෙන් වෙන්කර තැබියයුතු බවත් ඔවුන් සඳහා විශේෂයෙන් ජනපද, නේවාසිකාගාර, ප්‍රතිකාර සහ ශික්ෂණ මධ්‍යස්ථාන, කඳවුරු තුළ පිහිටුවිය යුතු බවත් යුජෙනික්ස්වාදින් ගේ ස්ථාවරය විය.මෙම බෙලහීන පුද්ගලයන් එම ස්ථානවලට ගාල්කිරීමේදී ඔවුන්ගේම යහපත සඳහා එය සිදු කරන බව ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඒත්තු ගැන්වීම සිදුවිය.මෙම වෙන් කිරීම මගින් ඔවුන් විවාහ වීම සහ දරුවන් බිහිකිරීම වළක්වන ලදි.

5.මානසික ඌනතා සහිත පුද්ගලයන්, අපරාධකරුවන් සහ වෙනත් සුවකළ නොහැකි රෝගවලින් පෙළන්නන්, බේබද්දන්,අනුන්ගෙන් යැපෙන්නන් බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක් කළ යුතු යැයි යුජෙනික්ස්වාදින් ගේ ස්ථාවරය විය. එමගින් මෙම නුසුදුසු සහ දෝෂ සහිත ජාන අනාගත පරම්පරාවන්ට සම්ප්‍රේෂණය වීම වළක්වාලීමට අදහස් කරන ලදි. මේ සඳහා 1924 ලාෆ්ලින් විසින් පනතක් ගෙන එන ලදි.

6. අඩුමිලට හෝ නොමිලේ උපත්පාලන පහසුකම් / ගබ්සාව කිරීමේ පහසුකම් ලබාදීම මගින් ආබාධිත දරුවන් බිහි කිරීම වැළැක්වීම,
“නුසුදුසු සහ පහත්“ ජනවර්ගයන්ට, සමාජ පන්තීන්ට අයත් ජනතාව අතර ඉහත පහසුකම් ප්‍රචලිත කිරීම මගින් ඔවුන් සංඛ්‍යාත්මකව වර්ධනය වීම වැළැක්වීම.

7. උපතට පෙර හෝ පසුව ආබාධිත සහ දුර්වල දරුවන්ද තවදුරටත් සමාජීය යහපත වෙනුවෙන් ඵලදායි කාර්යයක් කළ නොහැකි රෝගීන් සහ වයස්ගතවූවන් ද මරාදැමීම,මෙමගින් “සුපිරි උසස්” පෙළැන්තියේ අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය සම්පත් නාස්තිවීමද එම පන්තියට එල්ලවන තර්ජනයන්ද වළකාගත හැකි යැයි යුජෙනික්ස්වාදිහු අපේක්ෂා කළහ.

යම් මිනිස් කොටසක උසස් හෝ පහත් බව තීරණය කරන්නේ කවුරුන් විසින්ද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයාගැනීම මගින් යුජෙනික්ස්වාදයේ සැබෑ අරමුණු වටහාගැනීම පහසු වෙයි. එමෙන්ම වඩාත් පරිපූර්ණ මිනිස් සමාජයක් නිර්මාණය කිරීමේ වඩාත් නිවැරදි සහ කාර්යක්ෂම මග ලෙස යුජෙනික්ස්වාදි උපක්‍රම භාවිතය ලෙස හුවා දක්වමින් ඔවුන් පවසන බොරු තේරුම් ගැනීමටද මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයාගැනීම මගින් හැකිවනු ඇත.

එක්සත් ජනපදයේ යුජෙනික්ස්වාදි ඉැගැන්වීම්වල අනුගාමිකයන්ව සිටි ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසිවාදි සගයන් නොර්ඩික් නැතහොත් ආර්ය ජාතිය ලෝකයේ උසස්තම ජාතිය ලෙස සැළකූහ.ඔවුහු තමන්ද එම උසස් වර්ගයට අයත් බව විශ්වාස කළහ. සමාන කායික මානසික ගුණාංග, බුද්ධිමත්බව, පෙනුම, හැඟීම්වල ස්වාභාවය සහ මානසික හැකියාවන් සහිත වුන් මෙම සුපිරි ජාතියට අයත් බවද නාසිවාදින්ගේ විශ්වාසය විය. එහෙයින් තමන් අයත් එම සුපිරි ජාතිය ලෝකයේ සෙසු සියළු ජාතින්ට ඉහළින් ඔසවාතැබීමටද, සෙසු ජාතින් විනාශ කිරීම හෝ යටත් කර සිය සේවයට යොදවාගැනීමද නාසිවාදින්ගේ අරමුණ විය.
“නුසුදුසු පහත්” ජාතින් විසින් සිය “වර්ගයා බෝ කිරීම” නැවැත්වීමේ පහසුම සහ වඩාත් කාර්යක්ෂම ක්‍රමය ඔවුන් සමූලඝාතනයට ලක්කිරීම බව හිට්ලර් ප්‍රමුඛ නාසිවාදින්ගේ අදහස විය. මෙම පහත් ජාතින් ජර්මනියේ 3 වන රයික් පාලනයේ නායකත්වයට සහ සුපිරි ආර්ය ජාතියේ ආර්ථික සමෘද්ධියට සහ සමාජ සංතුෂ්ටියට තර්ජනයක් බව බවට නාසිවාදිහු ජර්මනිය තුළ දැඩි ප්‍රචාරයක් ගෙන යන ලදි.
නාසිවාදිහු තමන් අයත් යැයි කියනු ලබන ආර්ය ජනවර්ගයටම අයත් කායික සහ මානසික ඌනතා සහිත වූවන්, අපස්මාර රෝගීන්, මත්පැන් සහ මත්දුව්‍යවලට ඇබ්බැහි වූවන්, ආබාධිත දරුවන්, ආදින්වද මරා දමමින් සිය ජාතියේ රුධිරය“පිරිසිදු” කරගනු ලැබිණි.
නාසි නායකයන් විසින් දියත් කළ මහා පරිමාණ යුද්ධයේ අරමුණ වූයේ වෙනත් රටවල “පහත් සහ නුසුදුසු” ජාතින් මානව වර්ගය තුළින් අතුගා දැමීම පමණක් නොව එම යුද්ධය තුළදී තමන්ගේම ජාතියට අයත් “දුර්වල පුද්ගලයන්” විනාශවන්නට ඉඩහරිමින් වඩාත් ශක්තිමත් පුද්ගලයන් පමණක් ඉතුරුවන ක්‍රියාදාමයක් ලෙස ද එය ප්‍රයෝජනයට ගැනීමය. මෙය “වඩාත් ශක්තිමත් සහ පරිසරයට ගැළපෙන තැනැත්තා ඉතුරු වනු ඇතැයි “ යන සමාජ ඩාර්වින්වාදි මතය ක්‍රියාවට නැංවීමකි.මෙම පිරිපහදු කිරීම මගින් ආර්ය ජාතියේ සුපිරිබව තවදුරටත් ඉහළ නැංවීමට අදහස් කරන ලදි.

නාසි ජර්මනිය සහ යුජෙනික්ස් ව්‍යාපාරය

ජර්මනියේ නාසිවාදින් විසින් බර්ගන්-බෙල්සන් හිදී පවත්වාගෙන සිර කඳවුරට යාබදව හමු වූ සමූහ මිනීවලක්. 1945 අප්‍රියෙල් මස 15 වැනි දින මෙම ස්ථානය අත්පත් කරගත් බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට කුණුවෙමින් පැවැති මළසිරුරු 10000ක් පමණ මෙම ස්ථානයේදී හමු විය. ඔවුහු පළමුව යහපත් ප්‍රවේණියක් සහිත පුද්ගලයන් සහ අයහපත් ප්‍රවේණියක් සහිත පුද්ගලයන් ලෙස සමාජය බෙදා වෙන් කර එම කණ්ඩායම් දෙක අතර මානුෂික අන්තර් ක්‍රියාකාරිත්වය වළක්වන ලදි. අනතුරුව “අයහපත් ප්‍රවේණියක්” සහිත පුද්ගලයන් පිළිබඳ භීතිකාවක්, පිළිකුළක්  අනෙක් කණ්ඩායම තුළ ඇති කරන ලදි. මෙම දුර්වල සහ අයහපත් ප්‍රවේණියක් සහිත පුද්ගලයන් සළකන ලද්දේ “මිනිස් කසළ” ලෙසය. නාසි ජර්මනියේදී මහා සංහාරයකින් අවසන් වූයේ මෙම ක්‍රියාදාමයයි.

ජර්මනියේ “වාර්ගික පාරිශුද්ධතාවාදින්” නැතහොත් “වර්ග ස්වස්ථතාවාදින්” ද වෛද්‍යවරුන්ද, නාසි ප්‍රචාරකයන්ද ආබාධිත පුද්ගලයන්ව සැළකුවේ “ජීවත් වීමෙන් කිසිදු පලක් නැති” පුද්ගලයන් ලෙසය. එවැනි අමානුෂික හැඳින්වීම් සහිත භාෂාවක් විසින් විසින් සේවය කරන ලද්දේ ආබාධිතයන්ට එරෙහිව ගන්නා ලද කෘෘර ක්‍රියාමාර්ග සමාජය හමුවේ සධාරණිකරණයෙහිලාය. මෙම ක්‍රියාමාර්ග නම් බලහත්කාරි වන්ධ්‍යාකරණය සහ සමූලඝාතනයට ලක්කිරීමය.ආරම්භයේ සිටම හිට්ලර්ගේ ජාතික සමාජවාදි පක්ෂය හෙවත් නාසි පක්ෂයේ ඉලක්කය වූයේ ජර්මන් ජනගහණයේ අඩංගු “ජීව විද්‍යාත්මකව පහත් ජනකොටස් ” වලින් ජර්මනිය “පිරිසුදු” කිරීමය.

මෙම සිවු හැවිරිදි දරුවා රිචර්ඩ් යෙනෙ කවුෆ්බෙයරන් මානසික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් 1945 මැයි මාසයේදී මරා දමන ලදි.එය සිදුවූයේ මිත්‍ර හමුදා විසින් නාසි ජර්මනිය පරාජයට පත් කර සති කීපයකටද පසුවය. නාසි ජර්මනියේ යුතනේසියා වැඩ සටහන යටතේ මරා දමන අවසාන දරුවා ලෙස වාර්තා වී ඇත්තේ රිඩර්ඩ් ය. මෙම ඡායාරූපය එක්සත් ජනපදයේ පිහිටුවා ඇති දෙවන ලෝක යුද්ධයේ සිදුවූ ජන සංහාරය පිළිබඳ කෞතුකාගාරයෙනි.courtesy of National Archives and Records Administration, College Park, Md.

නාසි ජර්මනිය විසින් දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමටත් පළමුව නාසි පාලනය විසින් සිය යුජෙනික්ස්වාදි ප්‍රතිපත්තීන්වලට ජනතා සහයෝගය ලබාගැනීම සඳහා ප්‍රචාරක කටයුතු ආරම්භ කරන ලදි. මහජනතාව දැනුවත් කිරීමේ සහ ප්‍රචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය (Ministry of Public Enlightenment and Propaganda) මෙන්ම අනෙකුත් නාසි රාජ්‍ය ආයතනද වන්ධ්‍යාකරණ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනයෙහි සහ ක්‍රියාත්මක කිරීමෙහිලා දායක වී තිබේ. නාසිවාදි ප්‍රචාරකයන් සහ “ස්වස්ථතාවාදින් ”(hygienists) විසින් සිය ප්‍රචාරක කටයුතු සඳහා ජායාරූප, චිත්‍රපටි,පත්‍රිකා,පෝස්ටර්, ගුවන් විදුලි වැඩ සටහන්, සම්මන්ත්‍රණ සහ වැඩමුළු ආදිය ආකෘතින් යොදාගත්හ. ඉතා බරපතල මානසික සහ කායික ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටි දරුවන් දැක්වෙන ඡායාරූප සහ චිත්‍රපටි ප්‍රදර්ශනය කරමින් රාජ්‍ය යේ බලහත්කාරි යුතනේසියා සහ වන්ධ්‍යාකරණ වැඩසටහන්වලට ජනතාවගේ සහයෝගය ලබාගැනීම සිදුවිය.

1939 දී ජර්මන් රජය විසින් සියලු රෝහල්, සායන සහ හෙදියන් වෙත දන්වා සිටියේ උපතින් යම් විකෘතිතා සහිත සියලුම දරුවන් පිළිබඳ ලියාපදිංචි කිරීම් සිදු කරන ලෙසය. 1941 දී නැවතත් සියලු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් වෙත රජය විසින් නියෝග කරන ලද්දේ සියලු ආබාධිත පුද්ගලයන් පිළිබඳ වාර්තා කරන ලෙසය. යුද්ධය පැවැති කාලයේදී ජර්මන් වෛද්‍යවරුන් විසින් බිළිඳුන්ද ඇතුළු දරුවන් 5000ත් 10000ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කරන ලදි.

කිසියම් කායික සහ මානසික ආබාධවලින් පෙළුණ මෙම දරුවන්ගේ ඡායාරූප යොදාගන්නා ලද්දේ නාසි යුජෙනිකස් වැඩ සටහනේ ප්‍රචාරක කටයුතු සඳහාය.මෙම ඡායාරූපය මත ජර්මන් භාෂාවෙන් සුදු අකුරින් සටහන්ව ඇති පාඨය මගින් කියවෙන්නේ “ජාතික සමාජවාදි රාජ්‍යය විසින් අනාගතයේදී ජීවත්වීමට නියමිත එහෙත් ජීවත්වීමෙන් කිසිදු ඵලක් නැති මිනිසුන්ට ඉපැදීමට ඉඩ නොදෙනු ඇත.”(United States Holocaust Memorial Museum, courtesy of G. Howard Tellier)

නාසිවාදයේ එක් මතවාදිමය උල්පතක් වූයේ යුජෙනික්ස්වාදයයි. ඒ් අනුව ඔවුන් විසින් විශ්වාස කරන ලද්දේ අපරාධ සහ සමාජ ප්‍රශ්නවලට හේතුව වන්නේ ජීව විද්‍යාත්මක සහ ජනවාර්ගික හේතූන් බවය. මෙම ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා නාසිවාදින් විසින් කෘෘර වෛද්‍ය සහ වාර්ගික ප්‍රතිපත්ති හඳුන්වා දෙන ලදි.

ක්ෂණික සහ තීරණාත්මක ක්‍රියාමාර්ග නොගතහොත් අපරාධ සහ සමාජ පරිහානිය දිගටම වර්ධනය වනු ඇතැයි භීතියක් නාසිවාදින් සහ “වර්ග ස්වස්ථතාවාදින් ” විසින් සමාජය තුළ වපුරන ලදි. 1936 දී පළ කරන ලද “බේබදු ගැහැණියකගේ විනාශකාරි උරුමය” නම් මෙම ප්‍රචාරක පොස්ටරය මගින් පෙන්නුම් කරන්නේ අධික මත්පැන් පානයෙන් සමාජයට එල්ලවන තර්ජනයයි. මෙම රූපසටහන නිර්මාණය කර ඇත්තේ ඉතා දැඩි අගතීන් මත පදනම්වය. එක් බේබදු ස්ත්‍රියකගෙන් වසර 83ක කාලයක් තුළ දරු මුණුපුරු මිණිපිරියන් 894ක් බිහිවන බව මෙමගින් නිරූපණය කර ඇත. ඉන් 40 දෙනෙකු දුප්පතුන් සඳහා ඉදිකළ නිවාසවල ජීවත්වන්නවුන් වනු ඇත. 67 දෙනෙකු දැඩි අපරාධකරුවන් බවට පත්වෙනු ඇති අතර, 7 දෙනෙකු මිනීමරුවන් බවට පත් වේ. 181 දෙනෙකු ගණිකාවන් බවට පත්වන අතර 142ක් යාචකයන් බවට පත්වනු ඇත. මේ අයුරින් මෙම සම්පූර්ණ 894 දෙනාගෙන් 437 දෙනෙකුම එනම් 50%කට ආසන්න ප්‍රමාණයක් සමාජ විරෝධීන් බවට පත්වන අතර ඔවුන් වෙනුවෙන් සමාජයට එකල ජර්මනියේ භාවිතා වූ මුදල වන රයිෂ්මාක් මිලියන 5ක් වියදම් කිරීමට රජයට සිදුවනු ඇතැයි ද එහි දැක්වේ. (මෙය වත්මන් මුදල් වටිනාකම අනුව ඩොලර් මිලියන 40කි.)

1936 ප්‍රචාරක පත්‍රිකාවකි. බේබදු ගැහැණියකගේ විනාශකාරි උරුමය (United States Holocaust Memorial Museum, courtesy of Roland Klemig)

මෙම ප්‍රචාරක පත්‍රිකාවේ අරමුණ මෙවැනි මත්පැන්වලට ඇබ්බැහි වූ ගැහැණුන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම මගින් රයිෂ්මාක් මිලියන සිය දහස් ගණනින් ඉතුරු කර ගැනීමට රජයට හැකි බව සමාජයට ඒත්තු ගැන්වීමයි.එමෙන්ම එබඳු බේබදු ස්ත්‍රියක් විසින් බිහිකරන අපරාධකරුවන්ට ගොදුරුවන පුද්ගලයන්ගේ ජීවිතද ආරක්ෂා කරගැනීමට හැකි බවයි. එමෙන් ම ආබාධිතයන් සහ රෝගවලින් පෙළෙන්නන් වඳ බවට පත්කිරීමට සමාජයේ සහයෝගය ලබාගැනීමට නාසිවාදින් විසින් මෙවැනිම ලාභ-පාඩු ගණනය කර බලන ප්‍රස්ථාර සහ වගු සහිත ප්‍රචාරක කටයුතුවල නිරත වූහ.

මිනිස් ප්‍රජනනය නැතහොත් දරුවන් බිහිකිරීම සම්බන්ධව තීරණ ගැනීමේ අයිතිය සහ ඒ පිළිබඳ පූර්ණ පාලනය රාජ්‍යය සතු විය යුතුය යන යුජෙනික්ස්වාදි මතය 1930 සහ 1940 දශකවලදී ජර්මනියේ නාසිවාදි පාලනය විසින් එහි උපරිම කෘෘර අන්තය කරා ගෙන යනු ලැබිණි. ජර්මනියේ නාසිවාදි පාලනය විසින් යුදෙව්වන් මිලියන 6ක්ද, සෙසු “පහත් සහ නුසුදුසු ” ජනකණ්ඩායම් මිලියන 5ක්ද ඝාතනය කර දැමිණි. මෙම දෙවන ලෝක යුද්ධයේදී නාසිවාදය විසින් සෝවියට් සංගමය තුළ විනාශ කරන ලද ජීවිත මිලියන 27ට අමතරවය.

පැවැත්ම අහෝසි කළ යුතු “නුසුදුසු පහත් ” ජනකණ්ඩායම් ලෙස සැළකුණේ යුදෙව්වන්, රොමාවරුන්,ජිප්සීවරුන්, මානසික සහ කායික ඌණතා සහිත පුද්ගලයන්,සමලිංගිකයන්, මානසික රෝගීන්, ගොළු, බිහිරි සහ අන්ධ පුද්ගලයන්, අපස්මාර රෝගීන්, ශාරිරික විකෘතිීන් ඇති පුද්ගලයන් සහ අනෙකුත් ජනකණ්ඩායම් සහ නාසිවාදි පාලනයට එරෙහිවූ කොමියුනිස්ට්වාදින් සහ ක්‍රිස්තියානිවරුන්ය. එමෙන්ම පෝලන්ත ජාතිකයන්ද, අන්තර් වාර්ගික පවුල්වල උපත ලැබුවන්ද අෆ්‍රිකානුවන් සහ වෙනත් කළු සම ඇති ජනවර්ගයන්ද නාසිවාදින් විසින් පහත් ජනවර්ග ලෙස සැළකූහ.

“යෝග්‍ය සහ උසස්” ජනවාර්ගයේ යහපැවැත්ම උදෙසා “නුසුදුසු සහ පහත්” ජනවර්ගයන්ද, ඉහත සඳහන් සියලු කණ්ඩායම්ද සංහාරය කිරීම හිට්ලර්ගේ විසඳුම විය. මිලියන 11ක් ජනයා බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක්කිරීම ප්‍රමාණවත් විසඳුමක් නොවන බව ජර්මන් නාසි යුජෙනික්ස්වාදින්ගේ අදහස විය. මක්නිසාද යත් ඔවුන් වන්ධ්‍යාකරණයට ලක්කළද ඔවුන්ගේ දේශපාලනික සහ සංස්කෘතික බලපෑමේ ශේෂයන් ඉතුරුවන බැවිනි. සමූලඝාතනය විසින් මෙම පහත් මිනිසුන්ගේ බෝවීම ක්ෂණිකව නතරකරනවා පමණක් නොව ඔවුන්ගේ සමාජ ආර්ථික දේශපාලන බලපෑමද සමාජයෙන් තුරන් කරනු ලබයි. එපමණක් නොව එලෙස සංහාරයට ලක්වන්නවුන්ගේ දේපළ සහ ධනය අත්පත් කරගැනීමටද උසස් සුපිරි ආර්ය ජනවර්ගයට ජීවත් වීම සඳහා වඩාත් පුළුල් ඉඩකඩක් (Lebensraum) සපයාගැනීමටද එමගින් අවස්ථාව උදාවේ.

යුජෙනික්ස් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ලද එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් සියලු රටවල දී මෙන්ම ජර්මනියද ආරම්භයේදීම වන්ධ්‍යාකරණ ප්‍රතිපත්තිවලට යොමු නොවීය. ඔවුන් ආරම්භයේදී ජර්මානුවන් සහ යුදෙව්වන් අතර විවාහ තහනම් කිරීම, විවාහයේදී වාර්ගික පරිශුද්ධත්වය මෙන්ම උසස් ලක්ෂණ සහිත දරුවන් සැදීම සඳහා සහකාරුවෙකු හෝ සහකාරියක තෝරාගැනීමට උපදෙස් දෙන සායන පැවැත්වීම,ධනාත්මක ප්‍රවේණිය ඉදිරියට ගෙනයාම සඳහා වැඩ සටහන් සකස් කිරීම, ආර්යයන් අතර සිදුවන විවාහවලදී ඔවුන්ට විශේෂ වරප්‍රසාද සහ දීමනා ලබාදීම ආදි ක්‍රියාමාර්ග ආරම්භයේදී සිදු විය. ජර්මනියේ නාසිවාදි පාලනයේ බලය ස්ථාවර වීමත් සමගම රාජ්‍යයේ සෘජු මැදිහත්වීමෙන් යුජෙනික්ස් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු විය. බලහත්කාරි වන්ධ්‍යාකරණය සඳහා නීති පනවන ලද්දේ ඉන් අනතුරුවයි.

ජර්මනිය 1933 ජූලි මස 14 වැනි දින  වාර්ගික පවිත්‍රකරණය(Racial Hygiene) සඳහා අනිවාර්ය වන්ධ්‍යාකරණ නීතිය පනවන ලදි. මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවේණික සෞඛ්‍ය පිළිබඳ අධිකරණ (Die Erbgesundheitsgerichte-EGG) ස්ථාපිත කරන ලදි. මෙම වාර්ගික පවිත්‍රකරණ වැඩ පිළිවෙළ යටතේ නාසිවාදි ජර්මනිය තුළ පුද්ගලයන් මිලියන 3.5ක් වන්ධ්‍යාකරණයට ලක් කරන ලදි.ආරම්භයේදී මෙම වන්ධ්‍යාකරණ ව්‍යාපාරයට ගොදුරු වූයේ සිය දරුවන්ට මානසික ඌනතා ,මානසික රෝග,විවිධ ආබාධ සහ රෝග ප්‍රවේණිය මගින් ලබාදීමට ඉඩ ඇතැයි සැකයට ලක් වූ පුද්ගලයන්ය.

වාර්ගිකව සහ ජානමය වශයෙන් පාරිශුද්ධ, පරිපූර්ණ සුපිරි ආර්ය ජාතියක් බිහිකරනු සඳහා තෝරාගනු ලබන පුරවැසියන් ඒ සඳහා සිය කායික සහ මානසික සුදුසුකම් පෙන්විය යුතුය. නාසි වෛද්‍යවරුන් විසින් දැරියකගේ ශාරිරික අංගලක්ෂණ මිනුම් ගත කරන අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ.මෙම පරීක්ෂණ වලින් අසමත්වන්නවුන් ආර්ය ජාතියට අයත් නොවන්නන් ලෙස සැළකිණි. photo-spiegel-tv

“උසස් වර්ගයට” අයත් මිනිසුන්ගේ ලක්ෂණ ලෙස නිල්වන් ඇස්, රන්වන් හිස කේ, සුදු සම, සමමිතික මුහුණ ඇතුළු වෙනත් කායික ලක්ෂණ ජර්මනියේ නාසිවාදින්ටත් කලින් මුලින්ම හඳුන්වා දෙන ලද්දේ එක්සත් ජනපදයේ යුජෙනික්ස් වාදින් විසිනි. ධනාත්මක ප්‍රවේණිගත ලක්ෂණ ආරක්ෂා කිරීමේ සංකල්පයන් විසින් වාර්ගික පාරිශුද්ධතාව (Rassenhygiene -racial hygiene) සඳහා වන ව්‍යාපාර පැන නැගිනි. පහත් ජාතින් ලෙස ඔවුන් නම් කරන ලද යුදෙව්වන් ඇතුළු සෙසු ජනකණ්ඩායම් ද ආබාධිතයන් සහ රෝගීන්ද සිරකරුවන් ද බලහත්කාරි ලෙස වන්ධ්‍යාකරණය කිරීමෙන් ඔබ්බට යමින් සිය වාර්ගික පාරිශුද්ධතාව සඳහා මිනිස් සංහාරයන් ආරම්භ කරන ලදි.

අවසානයේදී “සුපිරි ආර්ය වර්ගයේ ප්‍රවේණිය” අමිශ්‍රව පිරිසිදුව පවත්වාගෙන යාම සඳහා “අර්ධ යුදෙව්වන්” ද ඇතුළුව ජර්මන් නොවන ජාතින් වන්ධ්‍යාකරණයට ලක්කිරීම සඳහාද මෙම නීතින් පුළුල් කරන ලදි.
ඉතිහාසඥ මයිකල් බෙරෙන්බවුම් (MICHAEL BERENBAUM) සිය The Uniqueness and Universality of the Holocaust, in A MOSAIC OF VICTIMS: NON-JEWS PERSECUTED AND MURDERED BY THE NAzIS නම් කෘතියේ සඳහන් කර ඇති අන්දමට ඉතා සංවිධානාත්මකව මරාදමන මිලියන 11ක් වන ජනතාවගෙන් මිලියන 6ක් යුදෙව්වන් වූ අතර මිලියන 5ක් සෙසු ජනකොටස්වලට අයත්වූවන් වූහ.
1939 වනවිට ජර්මනිය වන්ධ්‍යකරණයෙන් ඔබ්බට යමින් යුතනේසියා(euthanasia) හෙවත් රෝගීන් සහ කායිකව දුර්වල වූවන්, යුදෙව්වන් ආදින් මරණයට පත් කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන ලදි. “ආර්ය” ජර්මන් ජාතියටම අයත් මානසික ඌනතා සහිතවූවන්,ආබාධිතයන්, උමතුවූන් අපස්මාර රෝගීන් ආදින්ද ඇතුළුව 70000ක් පමණ යුතනේසියා වැඩසටහන යටතේ සංහාරය කරන ලදි.

මෙම වාර්ගික පවිත්‍රකරණ වැඩ පිළිවෙළ යටතේ නාසිවාදි ජර්මනිය තුළ පුද්ගලයන් මිලියන 3.5ක් වන්ධ්‍යාකරණයට ලක් කරන ලදි. 1939 වනවිට ජර්මනිය වන්ධ්‍යකරණයෙන් ඔබ්බට යමින් යුතනේසියා(euthanasia) හෙවත් රෝගීන් සහ කායිකව දුර්වල වූවන්, යුදෙව්වන් ආදින් මරණයට පත් කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරන ලදි. දළ වශයෙන් 70000ක් පමණ රෝගීන් යුතනේසියා වැඩපිළිවෙළ යටතේ මරාදමන ලදි. මෙහිදී “ආර්ය” ජර්මන් ජාතියටම අයත් මානසික ඌනතා සහිතවූවන්,ආබාධිතයන්, උමතුවූන් අපස්මාර රෝගීන් ආදින්ද යුතනේසියා යටතේ සංහාරය කරන ලදි.

නාසි ජර්මනියේ පරාජයෙන් පසු නියුර්න්බර්ග් හිදී පැවැති යුද අපරාධ පිළිබඳ අධිකරණය විසින් කාර්ල් බ්‍රාන්ඩ්ට් නම් නාසි වෛද්‍යවරයා සිදුකළ අපරාධවලට වරදකරු යැයි තීන්දුව ලබාදුන් මොහොත

.දෙවන ලෝක යුද සමයේ සහ ඉන් පසුව යුජෙනික්ස් ව්‍යාපාරය කලින් එය විද්‍යාවක් ලෙස හුවා දක්වමින් එයට ආ වැඩූ අය විසින් ම එය ව්‍යාජ විද්‍යාවක් ලෙස හඳුන්වමින් දැඩි ලෙස හෙළා දකින්නටත් විවේචනය කරන්නටත් පටන් ගත්හ. යුජෙනික්ස් යන වචනය සංවිධාන සහ ප්‍රකාශන නම්වලින් ඉවත් කර දැමීමේ ක්‍රියාවලියක් ඇරඹිණි. 1954 දී බ්‍රිතාන්‍ය යේ Annals of Eugenics නම් ජර්නලයේ නම Annals of Human Genetics නමින් වෙනස් කරන ලදි. 1972 දී ඇමෙරිකන් යුජෙනික්ස් සමාජයේ (American Eugenics Society) නම සමාජ ජීව විද්‍යා අධ්‍යයන සමාජය (Study of Social Biology) ලෙසත් එහි ප්‍රකාශනය වූ Eugenics Quarterly හි නම Social Biology ලෙසත් වෙනස් කරන ලදි.

පසුව එක්සත් ජනපදයේ බොහෝ කොටස් තුළ යුජෙනික්ස් ව්‍යාපාරය කෙරෙහි විරෝධතාවක් මතු විය. බොහෝ දේශපාලනඥයන්, ආගමික නායකයන්, විද්‍යාඥයන් ප්‍රසිද්ධියේම යුජෙනික්ස්වාදය සහ එහි මධ්‍යස්ථානය වූ ERO හි කටයුතු ප්‍රසිද්ධියේ හෙළා දකින්නට පටන්ගත්හ. අවසානයේදී කාර්නගී ආයතනයට ERO මධ්‍යස්ථානය වසා දැමීමට සිදු විය.

පළමු ලෝක යුද්ධය සමයේදී බොහෝ යුරෝපීය රටවල සහ එක්සත් ජනපදයේ දේශපාලන නායකයෝ සහ රාජ්‍ය ප්‍රධානීහු යුජෙනික්ස්වාදයට සහාය ලබා දුන්හ. නමුත් දෙවන ලෝක යුද්ධ සමයේ සහ ඉන් පසුව එය විද්‍යාවක් ලෙස තවදුරටත් සැළකුණේ නැත. විශේෂයෙන්ම ජර්මනියේ නාසිවාදය විසින් සිය “ආර්ය සම්භවයක් නොමැති ” ජාතින් සංහාරය කිරීමේ ව්‍යාපාරය සඳහා යුජෙනික්ස්වාදය යොදාගත් බැවිනි.

යුජෙනික්ස්වාදය විසින් මිනිස් ජීවිතයක වටිනාකම පිළිබඳ සමාජ හෘදය සාක්ෂිය නිෂ්ක්‍රිය කර දැමීම

අතීතයේ යුජෙනික්ස්වාදි ව්‍යාපෘතින් හෝ වර්තමානයේ ජාන විද්‍යාත්මක ව්‍යාපෘතින්වල ප්‍රකාශිත අරමුණවන්නේ නිරෝගී ශක්තිමත් අනාගත මිනිස් පරම්පරාවක් බිහිකිරීමය. එහෙත් එම ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාමාර්ගවලදී “රෝගී ,බෙලහීන සහ පහත් ” ජාන අනාගත පරම්පරාවන්ට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම කටයුතු කිරීම අනිවාර්ය අංගයක් ලෙස සැළකේ. ඒ සඳහා එම ජාන සම්ප්‍රේෂණය කරන පුද්ගලයා සිරගත කිරීම හෝ ඔවුන් සඳහා ම වෙන් කළ කොලනි තුළ ගාල් කිරීම මගින් ඔවුන්ව සමාජයෙන් වෙන්කිරීම, වන්ධ්‍යාකරණය වැනි ක්‍රියාමාර්ග මගින් ඔවුන්ගේ ප්‍රජනන හැකියාවන් අහෝසි කර දැමීම, හෝ ඝාතනය කිරීම ආදි උපක්‍රම අනුගමනය කිරීමට යම් සමාජයකට සිදුවනු ඇත. වර්තමානයේදී මෙය සිදුවනු ඇත්තේ වෙනත් ආකාරයකටය. එනම් වර්තමාන ජාන තාක්ෂණයේ සංවර්ධන මට්ටම අනුව අනුව දුර්වල ජාන සංස්කරණය කිරීමේ ජාන සංස්කාරක ප්‍රතිකාර ක්‍රමවලට මෙම කණ්ඩායම් බලහත්කාරයෙන් යොමු කෙරෙනු ඇත. මෙම ක්‍රම මගින් ඉවත් කෙරෙන “රෝගී ,බෙලහීන සහ පහත් ” ලෙස සැළකෙන පුද්ගලයන්ද නිරෝගී, යහපත් සහ උසස් ලෙස යුජෙනික්ස්වාදින් විසින් සළකන ලබන පුද්ගලයන් මෙන්ම මිනිස් හැඟීම් සහිතවන්නාවූත් දුක් වේදනාවන්, ආදරය, කුසගින්න ආදිය දැනෙන මානව සමාජයේම සමාජිකයන්ය. යම් සමාජයක එක් කොටසක් විසින් තවත් කොටසක පැවැත්ම අහෝසි කරලීම සඳහා යොමු කිරීම එතරම් පහසු දෙයක් නොවේ.
මෙම දුර්වල, පහත් පුද්ගලයන් ගේ පැවැත්ම අහෝසි කළ යුත්තේ මානව වර්ගයාගේ යහපත් අනාගත පැවැත්ම වෙනුවෙන් යැයි පවසන විට සමාජයේ බහුතරයක් තුළ එවැනි ක්‍රියාමාර්ග යුක්ති සහගත කළ හැකිය. යුජෙනික්ස්වාදින් සිදු කළේද එයයි. ඔවුහු පළමුව යහපත් ප්‍රවේණියක් සහිත පුද්ගලයන් සහ අයහපත් ප්‍රවේණියක් සහිත පුද්ගලයන් ලෙස සමාජය බෙදා වෙන් කර මානුෂික අන්තර් ක්‍රියාකාරිත්වය වළක්වන ලදි. අනතුරුව “අයහපත් ප්‍රවේණියක්” සහිත පුද්ගලයන් පිළිබඳ භීතිකාවක්, පිළිකුළක් අනෙක් කණ්ඩායම තුළ ඇති කරන ලදි. මෙම දුර්වල සහ අයහපත් ප්‍රවේණියක් සහිත පුද්ගලයන් සළකන ලද්දේ “මිනිස් කසළ” ලෙසය. නාසි ජර්මනියේදී මහා සංහාරයකින් අවසන් වූයේ මෙම ක්‍රියාදාමයයි.
යුජෙනික්ස් ව්‍යාපෘතින් සමාජය තුළ සාධාරණීකරණය කරන ලද්දේ පුද්ගලයන්හට සතුටින් ජීවත්විය හැකි සමෘද්ධිමත් සමාජයක් බිහිකිරීමෙහි ලා අත්‍යවශ්‍ය වන ක්‍රියාමාර්ග ලෙසය. එමෙන්ම පුද්ගලයන්ගේ ප්‍රජනන කටයුතු පූර්ණ ලෙස පාලනය කිරීමට රාජ්‍යයට අයිතියක් ඇතැයි යන මතයද ඔවුහු ක්‍රමානුකූලව තහවුරු කළහ.
මේ අනුව යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට
1.විවාහවීම, දරුවන් සැදීම, තහනම් කිරීමට,
2. විවාහ විය යුත්තේ කවුරුන් අතරදැයි තීරණය කිරීමට
3. උපදින දරුවන්ගෙන් ජීවත්වීමට ඉඩ දියයුත්තේ කවර දරුවන්ටද සහ කොපමණ සංඛ්‍යාවකටද යන්න
තීරණය කිරීමේ අයිතිය රාජ්‍යයට පැවරෙන අතර යුජෙනික්ස්වාදින් විසින් එ් සඳහා සමාජ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය අධ්‍යාපන සහ ප්‍රචාරක කටයුතු සිදු කරන ලදි.

මෙම ක්‍රියාදාමය ආරම්භයේදී මෙම යුජෙනික්ස්වාදි වැඩසටහන්වලට පුද්ගලයන් සම්බන්ධ කරගත්තේ ස්වේච්ඡාවෙනි. නමුත් අවසානයේදී එම වැඩ සටහන් පුද්ගලයන් මත පටවන ලද්දේ බලහත්කාරයෙනි. සහයෝගිතාවයේ වැදගත්කම පිළිබඳ ඉදිරිපත් කරන ලද ප්‍රචාරක පාඨ අවසානයේ අනිවාර්ය සහභාගිත්වය පිළිබඳ රාජ්‍ය අණපනත් බවට පත් විය. යුජෙනික්ස්වාදින් සිය ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට යොදාගත් තාක්ෂණික උපකුම වූයේ වන්ධ්‍යාකරණය සහ මරණයට පත් කිරීමයි.සමාජයට “අනවශ්‍ය දුර්වල පුද්ගලයන් ” විසින් දරුවන් බිහිකිරීම වැළැක්වීමට හැකි සියලුම ආකාරයේ කෘෘර ක්‍රියාමාර්ග ගනු ලැබිණි.

සමාජය මත යුජෙනික්ස් ප්‍රතිපත්ති භාවිතයේ යෙදීමට ගත් සෑම පියවරක් විසින්ම මිනිස් ජීවිතයක වටිනාකම පිළිබඳව සමාජය අසංවේදී බවට පත් කෙරිණි. යුජෙනික්ස් ප්‍රතිපත්ති විසින් හුදෙක්  පුද්ගලයන්ගේ ජානමය සංයුතිය නිසාම එක් මිනිස් කණ්ඩායමක් පහත් යැයි ද තවත් මිනිස් ‍කණ්ඩායමක් උසස් යිද යන අදහස පිළිගැනීමට සමාජය යොමු කරන ලදි. පරමාදර්ශී මානව කණ්ඩායමක් ලෙස සළකනු ලබන යම් නිශ්චිත “සුපිරි,ශ්‍රේෂ්ඨ සහ උසස් ” කණ්ඩායමකට ගරු කළ යුතු බවත් ඔවුන්ට යටත්ව සිටිය යුතු බවත් යුජෙනික්ස්වාදින් විසින් සමාජයට උගන්වන ලදි. මෙම සුපිරි කණ්ඩායමේ පැවැත්මට ආධාරවන පරිදි සමාජයේ “අනවශ්‍ය දුර්වල පහත් ” ජනගහණය අඩුකරලීම සඳහා ඔවුන්ව වන්ධ්‍යාකරණයට ලක්කිරීම හෝ මරා දැමීම අත්‍යවශ්‍යවන බව සමාජයට ඒත්තු ගන්වන ලදි. වයස අවුරුදු 5 දක්වා වයසේදී දුර්වල සහ රෝගී මෙන්ම මානසික ආබාධිත දරුවන් මරාදැමීමට අවසර දීම පිළිබඳ අදහස පැරණි ස්පාර්ටා සමාජයේ මෙන්ම බොහෝ ඉපැරණි සමාජවල පැවැති කෘෘර චාරිත්‍රයක් නමුත් එම සම්ප්‍රදාය නූතන සමාජය තුළ භාවිතයට ගෙන ඒමට යෝජනා කරන ලද්දේ යුජෙනික්ස්වාදින් විසිිනි. මෙම ළදරුවන් මරා දැමීමේ යෝජනාවේ අරමුණ වූයේ සමාජයට “කිසිදු ප්‍රයෝජනයක් නැති ” දරුවන් සඳහා සමාජයේ සම්පත් “නිස්කාරණේ නාස්ති කිරීම” වැළැක්වීමයි.

යුජෙනික්ස්වාදින් විසින් මුලින්ම ඉලක්ක කරන ලද්දේ සමාජයේ දුර්වලතම සහ ඉතා අසරණම පුද්ගලයන්ය. ඉන් පසුව “ඉතා නරක ජාන සහිත” යම් නිශ්චිත “ සමාජ විරෝධී” පුද්ගලයන්ව විනාශ කර දැමිය යුතු පුද්ගලයන් ලෙස සළකුණු කරන ලදි. මේ ආකාරයේ සංවිධිත සහ ක්‍රමානුකූල ජනගහණය අඩුකිරීම් සංවිධිත ජන ශුන්‍යකරණයක් (systematic depopulation) ලෙස හැඳින්වේ. පොදු සමාජ,ආගමික, වාර්ගික හෝ ජීව විද්‍යාත්මක ලක්ෂණ සහිත ජනකණ්ඩායමක් සමූහ වශයෙන් සංවිධිතව ක්‍රමානුකූලව මරා දැමීම සිදුවන මෙම ආකාරයේ ජනශුන්‍යකරණය ජන සංහාරයක් ලෙසද හැඳින්වේ.

ආගම්, මානව සබඳතා සහ යුජෙනික්ස්වාදය

සමාජයක වයස්ගතවූවන්, රෝගීන්, දරුවන් ආදින් රැක බලාගැනීම සමාජයේ සෙසු සමාජිකයන්ගේ සහ පවුල්වල සාමාජිකයන්ගේ යුතුකමක් සහ වගකීමක් ලෙස බොහෝ ආගම්වල ආචාරධර්ම පද්ධතීන් පද්ධතීන් තුළ ඉගැන්වෙන බැවින් “සමාජයට වැඩක් නැති ආබාධිතයන්, කායිකව දුර්වල වූවන්, වයස්ගතවූවන් සහ රෝගීන් විනාශ කර දැමීම යුක්ති සහගත කරන යුජෙනික්ස්වාදය සමග ආගමික ආචාරධර්ම පද්ධතීන් එක්ව ගමන් නොකරයි.
එමෙන්ම සමාජයේ එකිනෙක සමාජිකයන් අතරපවතින ඥාතිත්වය, මිත්‍රත්වය, සහෝදරත්වය පිතෘත්වය හෝ මාතෘත්වය වැනි සම්බන්ධකම් සමාජයක් තුළ යුජෙනික්ස් ඉගැන්වීම් ක්‍රියාත්මක කිරීමට බාධාවක්ව පවතී. එහෙයින් යුජෙනික්ස්වාදිහු මානව වර්ගයාගේ සංවර්ධනය වෙනුවෙන් ඉහත සම්බන්ධකම් නොතකා හරිති. නිදසුනක් ලෙස යුජෙනික්ස් ප්‍රතිපත්ති අනුව යම් දරුවෙකු ආබාධිතයෙකු යැයි සළකා මරණයට පත් කිරීමට හෝ වන්ධ්‍යාකරණයට පත් කිරීමට රාජ්‍යය ක්‍රියාත්මක වන විට පවුලේ සෙසු සාමාජිකයන්, දෙමව්පියන්,අසල්වැසියන් හිතමිතුරන් ආදින්ගේ විරෝධයක් එයට එරෙහිව පැන නැගෙනු ඇත. එහෙයින් මෙම මානුෂික සබඳතා විස්ථාපනය කර එතැනට සුපිරි ප්‍රභූ පෙළැන්තිය විසින් මෙහෙයවන රාජ්‍යය ආදේශකිරීමට යුජෙනික්ස්වාදය කටයුතු කරයි. එයට අනුව රාජ්‍යය වෙනුවෙන් තමන් සිදු කරන කැපවීම සිය පවුලේ සාමාජිකයන්, ඥාතින් හෝ මිතුරන් අසල්වැසියන් හෝ පොදුවේ සමාජයේ දුර්වලයන් වෙනුවෙන් පවත්නා අනුකම්පාව, ආදරයට වඩා ශක්තිමත් විය යුතුය.නාසි ජර්මනියේ ක්‍රමයෙන් ක්‍රමය උත්සන්න කරනලද මිනිස් සංහාරයන් ජර්මන් සමාජය තුළ යුක්ති සහගත වූයේ එම මිනිමැරුම් සිදු කරන්නේ සිය වර්ගයාගේ ප්‍රගතිය වෙනුවෙන් යැයි එම සමාජයට ඒත්තුගැන්වීමට නාසිවාදින් සමත් වූ බැවිනි.

දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදය පවත්වාගැනීමට යුජෙනික්ස්වාදින් සහ කතෝලික පල්ලිය අතර පැවැති සම්මුතිය

කෙසේ වුවද කතෝලික ආගමික ආයතන සහ යුජෙනික්ස්වාදය අතර සෑම කරුණක් සම්බන්ධයෙන්ම එකිනෙකට පසමිතුරු අදහස් දැක්වූයේ නැත. ඔවුහු එකඟවූ කරුණු බොහෝ දේවල් තිබිණි. කතෝලික පල්ලිය තමන්ගේ යටත් විජිතවල ස්වදේශිකයන් දුටුවේ වනචාරින් සහ මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙසය. ඔවුන්ට බයිබලය ඉගැන්වීම මගින් ඔවුන්ගේ ආගමික ප්‍රවේණිය නිවැරදි කිරීමට කතෝලික පල්ලිය විසින් කටයුතු කරන ලදි. සිය සම්ප්‍රදායික ආගම් සහ ඇදහීම් අත්හැර දැමීමට මැලිවූ ස්වදේශිකයන් සංහාරයට ලක්කරන ලදි.
යටත් විජිතවල ස්වදේශික ජනයා සම්බන්ධව කතෝලික පල්ලියේ මෙම පිළිවෙත්ම වෙනස් ආකාරයකට පෙරට ගෙන යමින් යුජෙනික්ස්වාදිහු චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමවාදය යොදාගෙන වර්ගවාදයට විද්‍යාත්මක පදනමක් දුන්හ.

ලින්ඩා නායිකර් සිය “දකුණු අප්‍රිකාව තුළ ජාතිය වර්ගය ගොඩනැගීමෙහිලා යුජෙනික්ස්වාදය සහ ආගම විසින් ඉටු කළ භූමිකාව” (The role of eugenics and religion in the construction of race in South Africa) නම් රචනය තුළ පෙන්වා දෙන්නේ යුජෙනික්ස්වාදය හරහා විද්‍යාත්මක ජාතිවාදය දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන් විසින් පාලනය කරන දේශපාලන ආයතන ආක්‍රමණය කිරීමට පෙර සිටම ඒවා සුදු ආගමික වර්ගවාදයක උපකරණව පැවැති බවයි.

“19 වන ශතවර්ශයේ යුජෙනික්ස් අධ්‍යයනයන් විසින් වර්ගවාදයට විද්‍යාත්මක සළකුණක් සපයන ලදි. එය විසින් වාර්ගික මිශ්‍රවීම්වලින් මතුවන අනතුර පිළිබඳ අවධාරණය කෙරිණි.  බාහිර පෙනුමේ වෙනස්කම්, බුද්ධිමත් බව, ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ගොඩ නැගීමේ හැකියාව ආදිය ජානමය ප්‍රවේණිය විසින් තීරණය කරනවා පමණක් නොව එය හා සම්බන්ධතාවක්ද දක්වන බවට පවතින විශ්වාසයන් විද්‍යාත්මක ජාතිවාදය ලෙස නිර්වචනය කළ හැකිය. වාර්ගික මිශ්‍රණය වූකලී සුදු යුරෝපීය ශිෂ්ටාචාරය අතුරුදන් වීමට පවා හේතු විය හැකි සමාජීය අපරාධයක් බවටත් එහෙයින් එය වහාම නැවැත්විය යුතු බවටත් බලපෑම් සහගත විද්‍යාඥයන් විසින් අනතුරු අඟවන ලදි.  ග්‍රාන්ට් මැඩිසන් (Grant Madison) විසින් ඔහුගේ “ශ්‍රේෂ්ඨ ජාතියක අවසානය ” (The passing of the great race) නම් බලපෑම් සහගත කෘතිය තුළ සඳහන් කර ඇත්තේ මිශ්‍ර විවාහවල දරුවන් විසින් “අපිරිසිදු රුධිරය” සුදු ජනවර්ගය කරා රැගෙන එන බවත් එය දිගටම සිදුවීමට ඉඩහැරියහොත් එය විසින් සුදු ජාතියේ “වාර්ගික පාරිශුද්ධත්වය” උදුරාගනු ඇති බවත්ය.”

“මානව විවිධත්වය කෙරෙහි යුජෙනික්ස්වාදින් විසින් පෙරට දමන ලද වාර්ගික ප්‍රවේශය පදනම්ව ඇත්තේ සමාජීය අවශ්‍යතා මත මිසෙක සාක්ෂි හෝ තර්ක මත පදනම්ව නොවේ. දක්නට ලැබෙන පරිදි එහි ඉලක්කය සුදු පුරුෂ ස්වෝත්තමවාදයට ආධාර කෙරෙන විද්‍යාත්මක සුසමාදර්ශයක් ස්ථාපනය කිරීමය. 18 වන සියවසේ යුරෝපය විසින් විද්‍යාත්මක වර්ගවාදයට සහාය දක්වන ලදි. ඒ අළුතෙන් ආක්‍රමණය කරන ලද යටත්විජිත මත කිසියම් උත්තරීතර භාරකරුවෙකුගේ ආකාරය ගන්නා ඒකාධිකාරි ආධිපත්‍යයක් බලාත්මක කිරීම සඳහාය. මෙම යුගයේ විද්‍යාත්මක අදහස් වියමන් කර ඇත්තේ සමාජය පාලනය කිරීමේ අරමුණු ඉටු කරගැනීම සඳහා බව පෙනී යයි. යටත් විජිතවල ව්‍යාප්තිය සහ වර්ධනය වෙමින් පැවැති වහල් වෙළඳාම විසින් “පහත් ජනවර්ගයක් ලෙස” යම් ජන කොටසත් නම් කරමින් කිසිදු දුර්විපාකයක් ලැබීමේ බියකින් තොරවම ඔවුන්ව වහල්බවට පත්කර සූරාකෑමේ අවශ්‍යතාවක් මතු කරන ලදි.”

මහාචාර්ය E.P.ග්රූන්වල්ඩ් විසින් බයිබල් පාඨ උපුටා දක්වමින් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයත් කළු මිනිසුන් පහත් ලෙස සැළකීමත් යුක්ති සහගත කළ ආකාරය ලින්ඩා නායකර් මෙසේ පෙන්වා දෙයි.

“..වර්ණභේදවාදි ප්‍රතිපත්තිය යුක්ති සහගත කළ හැකි බයිබල් පාඨ යොදාගැනීමට කිසි විටෙකත් ක්‍රිස්තියානි අෆ්‍රිකානාර්වරුන් (දකුණු අප්‍රිකාවේ සුදු යටත් විජිත ජනපදවාසින් හඳුන්වන ලද්දේ අෆ්‍රිකානාර්වරුන් ලෙසය) පසුබට නොවිය යුතු බවට මහාචාර්ය ග්රූනවල්ඩ් (Groenewald) විශ්වාස කරන ලදි .ඔහු පවසන ලද්දේ වර්ණභේදවාදය යුක්ති සහගත කිරීම සඳහා බයිබලයේ ඉගැන්වීම් යොදාගැනීම සම්බන්ධව පුළුල් එකඟතාවක් පවතින බවය. ග්රූන්වල්ඩ්ට අනුව මානුෂික ඒකීයත්වය ඒකාකාර නොවුණත් එම ඒකීයත්වය බයිබලය විසින් උසස් කොට සළකනු ලබයි. එහෙත් බයිබලය විසින් උත්පත්ති කථාව 1:21,මැතිව් 19:4, ක්‍රියා 17:26 යන පර්ච්ඡේදවල විවිධ ජාතින් ගැන සඳහන් කර තිබේ. මිනිසුන් විසින් බබෙල්හි කුළුණ නිර්මාණය කරන විට දෙවියන්ගේ මැදිහත්වීම අනුව ඔවුන් එකිනෙකා වෙන වෙනම ප්‍රදේශවලට යොමු කර ඔවුන්ට එකිනෙකා තේරුම්ගත නොහැකිවන පරිදි විවිධ භාෂාවන් ඔවුන් සඳහා නිර්මාණය කළ බව පැවසෙන බයිබල් පුරාවෘත්තය වර්ණභේදවාදී ප්‍රතිපත්ති යුක්ති සහගත කිරීමට යොදාගත හැකි යැයි ඉදිරිපත් කර ඇත්තේ ගරූන්වල්ඩ් විසිනි. සෑම ජාතියකටම ඔවුන්ටම වෙන්වූ වාසස්ථානයක් සහ නිශ්චිත කාලයක් ලබාදුන් ආකාරය අමොස් 9:7 සහ ක්‍රියා 17 හි සඳහන් වන බවත් ක්‍රියා 2:8 දැක්වෙන පෙන්තකොස්ත සිදුවීම්වලින් තහවුරු කර ඇත්තේ ජාතින්ව වෙන් කරන ලද තත්ත්වයන් මොනවාද යන්න බවත් එම වෙන්වීම් කාලයේ අවසානය දක්වා පවතින බවත් ගරූන්වල්ඩ් උපුටාදක්වයි.”

“.. ග්රූන්වල්ඩ්ගේ දැක්ම වූයේ ජනවර්ග වෙන් කිරීම දෙවියන් වහන්සේගේ දැනුවත් ක්‍රියාවක් බවයි. දෙවියන් විසින් ජනතාවන් ඔවුන්ගේ වර්ණය සහ සම්භවයට අනුව වෙන්කරන ලදි.සෑම පුද්ගලයෙකුම අයත්වන ජනවර්ගය තීරණය කරන ලද්දේ ඔවුන්ගේ හමේ සහ හිස කේ වල වර්ණයට සහ ස්වරූපයට ගැලපෙන පරිදිය. දේශපාලනික,ජාතික, ආගමික හෝ සාමාජීය කවර කටයුත්තකදී වුව ද ජනතාවන් ජීවිතයේ සියලුම අවස්ථාවන්හිදී මෙම වෙන්වීම පවත්වාගෙන යනු ඇතැයි යන්න දෙවියන්ගේ බලාපොරොත්තුව විය.වර්ණභේදවාදී ප්‍රතිපත්තියට දෙවියන්ගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබේ.

“..දිව්‍යමය පනත උපුටා දක්වමින් ග්රූන්වල්ඩ් පවසන්නේ සුදු සහ කළු මිනිසුන් සංවර්ධනය විය යුත්තේ වෙන වෙනම බවය. ග්රූන්වල්ඩ්ගේ ඉතාම වැදගත් න්‍යායවන්නේ පල්ලිය කළු සහ සුදු මිනිසුන් අතර සමානත්වයට විරුද්ධ බවටත් කළු මිනිසුන් සුදු මිනිසුන්ට වඩාපහත් ජන කොටසක් බවත්ය.”

නව ඉයුජෙනික්ස්වාදි ව්‍යාපාරය

යුජෙනික්ස් න්‍යායන් ට අනුව “පූර්ණ වාර්ගික පාරිශුද්ධියකින් යුතු සුපිරි ජාතියක්” බිහිකිරීම සඳහා ජර්මනියේ ජාතික සමාජවාදි හෙවත් නාසිවාදි පාලනය විසින් සිදු කරන ලද මහා මිනිස් සංහාරය හේතුවෙන් කලින් එම න්‍යායන් පිළිගත් සහ එයට සහාය දැක්වූ බොහෝ දෙනෙකුන් ක්‍රමානුකූලව ඒ වෙතින් ඉවත්වන්නට පටන් ගත්හ. කෙසේ වුව ද එම ව්‍යාපාරය ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණයෙන් පසුව නතර වූයේ නැත.එමෙන්ම සිය මතවාදයන්ට එරෙහිව සමස්ත ලෝකය පුරාම දැඩි විරෝධතාවක් මතුවුවද යුජෙනික්ස්වාදින් සිය කටයුතු අත්හැර දැමුවේ නැත

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉයුජෙනික්ස් ව්‍යාපාරයේ “විද්‍යාත්මක ජාතිවාදය“ ක්‍රියාත්මක වූයේ අප්‍රකටවය. මක් නිසාද යත් ඉයුජෙනික්ස් මතවාදය සහ හිට්ලර්ගේ නාසිවාදි ආර්ය ස්වෝත්තමවාදයද වාර්ගික පවිත්‍රකරණයද අතර වූ සමානාත්මතාවන් ලෝකය හමුවේ අනාවරණය වූ බැවිනි. ඔවුන්ගේ සංවිධාන නාම, විධික්‍රම සහ සටන්පාඨ වාර්ගික අවධානයෙන් සමාජවරණීයවාදය (social selection) වෙත යොමුවුවද මූලික අභිලාෂයන් සහ අරමුණු අප්‍රකටව නොවෙනස්ව පවතී.

මූලාශ්‍ර

  1. Ernst Haeckel: Natürliche Schöpfungsgeschichte, 1868. Erstdruck
  2. Richard Wiekart, From Darwin to Hitler
  3. Daniel Gassman, The Scientific Origins of National Socialism, 1971
  4. FREEDOM IN SCIENCE AND TEACHING-FROM THE GERMAN OF ERNST HAECKEL, WITH A PREFATORY NOTE, By T. H. HUXLEY, F.R.S.1879
  5. MPG Primer: A History of Eugenics (2020)
  6. Henry Fairfeild Osborn,The Evolution of Human Races,” Natural History, Jan.-Feb. 1926
  7. Edwin Black, War Against the Weak: Eugenics and America’s Campaign to Create a Master Race
  8. Brown, E. Richard, Rockefeller medicine men : medicine and capitalism in America
  9. Bill Gates and the Myth of Overpopulation
  10. The Gates Family, Eugenics and COVID-19
  11. National Security Study Memorandum,NSSM 200,Implications of Worldwide Population Growth,For U.S. Security and Overseas Interests,(THE KISSINGER REPORT),December 10, 1974
  12. Buck v. Bell: The Test Case for Virginia’s Eugenical Sterilization Act
  13. britannica,survival of the fittest
  14. Racial Integrity Act of 1924
  15. T. Roosevelt letter to C. Davenport about “degenerates reproducing”
  16. “The Nams: feeble-minded as country dwellers,” by Charles Davenport
  17. International Planned Parenthood Federation Expands Programs With $1.7 Million Gift From Bill & Melinda Gates Foundation
  18. The Working Class and NeoMalthusianism
  19. Nikolai Krementsov,WITH AND WITHOUT GALTON
  20. THE BIOLOGICAL STATE: NAZI RACIAL HYGIENE, 1933–1939
  21. Chesterton’s Warning,Eugenics and Other Evils:An Argument Against the Scientifically Organized Society (1922)
  22. In Defense of Sanity: The Best Essays of G.K. Chesterton
  23. Buck v. Bell
  24. In the Letters of an ‘Imbecile,’ the Sham, and Shame, of Eugenics,Paul A. Lombardo
  25. THE EUGENICS CRUSADE ,Finding Carrie Buck
  26. SALLY J. TORPY,Native American Women and Coerced,Sterilization: On the Trail of Tears in the 1970s
    AMERICAN IMIAN CULTURE AND RESEARCHJOURNAL 24:2 (2000) 1-22
  27. Trevor Burrus,The United States Once Sterilized Tens of Thousands –Here’s How the Supreme Court Allowed It
  28. The Truth About MARGARET SANGER29.
  29. Margaret Sanger. Woman, Morality, and Birth Control. New York: New York Publishing Company, 1922
  30. Margaret Sanger. “The Eugenic Value of Birth Control Propaganda.” Birth Control Review, October 1921
  31. Margaret Sanger. The Pivot of Civilization, 1922
  32. Margaret Sanger, quoted in Charles Valenza. “Was Margaret Sanger a Racist?” Family Planning Perspectives, January-February 1985
  33. Margaret Sanger, April 1932 Birth Control Review.
  34. Ironside, P. (2006). The Social and Political Thought of Bertrand Russell: The Development of an Aristocratic Liberalism. Cambridge: Cambridge University Press.
  35. Russell, B. (1929). Marriage and morals. H. Liveright.
  36. Marie Carmichael Stopes. The Control of Parenthood, 1920.
  37. Marie Carmichael Stopes. Radiant Motherhood: A Book for Those Who are Creating the Future (London: G.P. Putnam’s Sons), 1920.
  38. Ryan Matters,mRNA “Vaccines”, Eugenics & the Push for Transhumanism,
  39. Linda Naicker,The role of eugenics and religion in the construction of race in South Africa
  40. Dominic Lawson. “A Simple Lesson in Humanity.” The Independent, September 17, 2008.
  41. New eugenics
  42. The secret history of Britain’s universities and eugenics
  43. Undermining Morals-Citizens Commision on Human Rights, United Kingdom
  44. How the Huxley family influenced the world
  45. Laura I Appleman,Hiding in Plain Sight: Public Health, Eugenics, and COVID-19
  46. British Eugenics: Race Versus Class
  47. Matt Ridley, Genome: The Autobiography of a Species in 23 Chapters (1999).