ජාතින්ගේ ධනය සහ න්‍යායේ දුප්පත්කම: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ සම්පත්වල ශාපය සහ මහ බැංකුව පුද්ගලිකරණය -ධරිණි රාජසිංහම්

ධරිණි රාජසිංහම් සේනානායක

සීතල යුද්ධයේ වර්තමාන අවධියේදී උත්සන්න වෙමින් පවත්නා  යුක්රේනයේ සහ ගාසාහි චාලක යුද්ධ මගින් ලෝකයේ අවධානය වෙතකට යොමු කරවමින් පවතින අතර ආසියාව, අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව ඇතුළු ගෝලීය දකුණේ රටවලට එරෙහිව මෙන්ම ලෝකයේ වෙළඳපොළවල් එකිනෙකට සම්බන්ධ කෙරෙන චීනයේ වෙළඳ පථ සහ මාර්ග සමාරම්ක ව්‍යාපෘතියට(Belt and Road Initiative (BRI) එරෙහිවද දියත් කෙරී ඇති හයිබ්‍රිඩ් යුද්ධය උත්සන්න කෙරෙමින් පවතී. කොවිඩ්-19 වසංගත ඇඳිරිනීති හෙවත් රටවල් වසා දැමීම මගින් අටවන ලද උගුලට සිරවී මධ්‍යම ආදායම් ලබන රටවල් 56ක් සිය ආර්ථිකය විනාශයට පත් කරගත් අතර කොල්ලකාරි ජාත්‍යන්තර  ස්වෛරී බැඳුම්කර අලෙවිකරුවන්ගෙන් සහ පුද්ගලික මූල්‍ය ජාවාරම්කාර සමාගම්වලින් ගිනිපොලියට ණය ගැනීම හේතුවෙන් මෙම රටවල් තවදුරටත් එම ණය උගුලේ සිරවෙමින් සිටිති.

ෆිච් වාර්තාව (Fitch report) i අනුව ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, සූරිනාම් හි සිට ඝානා, ලෙබනන්, සහ ශ්‍රි ලංකාව දක්වා ස්වෛරී ණය ගෙවීමට නොහැකි බංකොළොත්වීම් ගණනාවක් පසුගිය වසර දෙක පුරා සිදුව තිබේ.මෙම රටවල දේශිය මුදලේ සහ වැටුප්වල වටිනාකම අසාධාරණ ලෙස වරප්‍රසාදිත ඇමෙරිකානු ඩොලරයට එරෙහිව පහළ වැටී තිබේ. මෙය සිදුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන 34 කටත් වඩා ණය වී සිටියදී මෙන්ම විනාශකාරි යුද්ධවලට මෙන්ම නේටෝ-ක්වාඩ් (NATO- QUAD )යුද යන්ත්‍රයටද  දිගින් දිගටම අරමුදල් සපයමින් සිටින අතරය යන කරුණ මෙහිදී සිහිතබා ගැනීම වැදගත්ය. ඉහත රටවල මුදලේ වටිනාකම ක්ෂණික ලෙස පහත වැටීම විසින් බුද්ධිගලනයකටද හේතු වී ඇති අතර එමගින් තත්ත්වය වඩාත් බරපතල වෙමින් පවතී.

ඉහත ණය බරින් පිඩිතව සිටින රටවල දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මැදිහත්වීමටද, ණය පිළිබඳ සංඛ්‍යාමය දත්ත විකෘති කරමින් ඒ්වා විශාලනය කිරීමටද වොෂින්ටන් සම්මුතියට අයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද අවස්ථාව උදාකරගත හැකි වූයේ මෙම යුරෝ බැඳුම්කර ණය යටත් විජිතවාදය සහ ” බංකොළොත්වීමේ තත්ත්වය” උපයෝගී කර ගනිමිනි. සංවර්ධනය වෙමින් පවතින රටවල් ණය උගුලකට හසුකරගැනීමට කටයුතු කරන්නේ යැයි චීනයට චෝදනා කරන අතරම එක්සත් ජනපදය විසින් තවදුරටත් සිය පොලී අනුපාතයන් ඉහළ දමමින් බාහිර ආර්ථික කම්පන ප්‍රහාර මේ රටවල ආර්ථිකයන්ට එරෙහිව දියත් කරමින් “ආර්ථිකයට” විලාප නැගීමට සලස්වා තිබේ.

දූෂණය මර්දනය කිරීමට යැයි කියමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “ණය අර්බුදය සදහා වන ප්‍රතිකාර” යටතේ පෙරට දමා ඇති “ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ” යටතට මහ බැංකුව පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයෙන් නිදහස් කර ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමේ නීතිය පසුගිය වසරේදී ක්‍රියාත්මක කරනු ලැබිණි.ii 2022 දී ශ්‍රී ලංකාවඉතිහාසයේ පළමුවරට බංකොළොත් තත්ත්වයට පත් වීමට හේතුවූයේ ලංකාව විශාල ලෙස ණය ගැනීමක් කරා යොමු කරන ලද 2015 ශ්‍රී ලංකා මහ බැංකුව තුළ සිදු වූ බැඳුම්කර මගඩියයි.

මහ බැංකුව පාර්ලිමේන්තුවෙන් ස්වාධීන කිරීමේ සිය මෙහෙයුම යුක්ති සහගත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළේ එමගින් මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ මැඩීමට වැඩි බලයක් මහ බැංකු නිලධාරින්ට ලැබෙන බවට වහසි බස් දොඩමිනි. ඒ සඳහා ඔවුහු “ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ” සහ නව නීති ක්‍රියාත්මක කිරීමට බලකරමින් ඒවායින් සිදුවන යහපත පි‍ලිබඳව මහත්සේ වර්ණනා කරන ලදි. කෙසේ වුවද මෙලෙස පාර්ලිමේන්තුවට වගකීමට තමාගේ ඇති බැඳීමෙන් මෑතකදී “නිදහස” ලබාගත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරින් විසින් “ණය බරින් පීඩිත” රට වෙනුවෙන් කරන ලද පළමු වැදගත්ම කාර්යභාරය වූයේ සිය සමස්ත නිලධාරි මණ්ඩලයේ වැටුප අසාමාන්‍ය ලෙස වැඩි කරගැනීමය. සාමාන්‍ය වහරේදී මෙය හැඳින්වෙන්නේ “හැන්ද අත ඇති එකා තමන්ගේ පතටම බෙදාගැනීමක්” ලෙසය. මෙම මගඩිය විසින් පෙන්නුම් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් ප්‍රවර්ධනය කරන ලද” ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ” සහ නව නීතිය විසින් ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිඵලයක් අත් කර දී ඇති බවය.
වොෂින්ටන් සම්මුතියේ ආර්ථික සහ භූ උපායික අවශ්‍යතාවන් ඉටු කරගැනීමේ අරමුණ සාර්ථක කරගැනීම සඳහා රටේ ඉහළම මූල්‍ය පාලන ආයතනය වන ශ්‍රි ලංකා මහ බැංකුව ආක්‍රමණය කරමින් එහි පාලනය බාහිර බලවේග සහ මූල්‍ය උපදේශකයන් යටතට ගැනීමට හැකිවන පරිදි එය පුද්ගලීකරණය කර තිබේද?
මේ අවස්ථාවේදී, යටත් විජිතවාදි පැරිස් කණ්ඩායම සහ ශ්‍රී ලංකාවට ණය දී ඇති පුද්ගලික මූල්‍ය සමාගම් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙහෙයවන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන තුළ “ණය සඳහා ස්වභාවධර්මය හුවමාරුකරණය”(Debt for Nature Swaps) හෝ පාරිසරික,සමාජීය සහ ආණ්ඩුකරණ ණය බැඳුම්කර (Environment Social and Governance- ESG Bonds) වැනි ණය බැඳුම්කරද ඇතුළත් දළ ජාතික නිෂ්පාදිතයට සහ සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වයන්ට සම්බන්ධ බැඳුම්කර, ශ්‍රී ලංකාව සඳහා යෝජනා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගය පරිදි ක්‍රියාවට නංවන ලද නව ශ්‍රි ලංකා මහ බැංකු නීතිය විසින් ශ්‍රී ලංකා මහබැංකුව පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණය මෙන්ම ජාතික ආර්ථික ස්වාධිපත්‍යයද, ප්‍රතිපත්ති සම්පාදන සඳහා වන ස්වෛරීත්වය ආදිය අහෝසි කර දමා තිබේ. මෙම තත්ත්වය විසින් නව බැඳුම්කර වංචාවන් සහ දූෂණ සඳහා දොරටු විවර කරදුනහොත් එය පුදුමයට කරුණක් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත්වීම: ණය අර්බුදය සඳහා වන ප්‍රතිකාරය විසින් ණය උගුල වඩාත් ගැඹුරු කර ඇත්ද?

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් විසින් මෑතකදී iii ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුව ඇතැයි ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාව වැනි රටක් ” බංකොළොත් බව ප්‍රකාශයට පත්කිරීම” වැනි අසාමාන්‍ය සිදුවීම් නිසා මෙන්ම බහුධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටින සහ ගෝලීය දකුණ නියෝජනය කරන BRICS සංවිධානයේ අවශ්‍යතාවන් පරාවර්තනය කිරීමට ඉඩ සැලසීමේ අරමුණෙන්ද වන්නට ඇත. මේ වනවිට BRICS රටවල ආර්ථිකයන්ගේ විශාලත්වය බටහිර කේන්ද්‍රීය G7 රටවල ආර්ථිකයන් අභිබවා ගොස් තිබේ.

බ්‍රෙට්න්වුඩ් ආයතනයන් තුළ පවත්නා කාර්යක්ෂමතාව සහ හැකියාවන් සංවාදයට ලක්කරමින් ගුටරේස් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එම ආයතනවල නියෝජනයේ සීමා සහිත ස්වභාවය සහ ප්‍රාග්ධන හිඟය හේතුවෙන් වර්තමාන ලෝක ආර්ථික අවශ්‍යතාවන් සපුරාලීමෙහිලා ඒවායේ විශාලත්වය ප්‍රමාණවත් නොවන බවය
.” සත්‍ය තත්ත්වය නම් ඒවා බෙහෙවින් කුඩා බවට පත්වී තිබීමය. වර්තමාන ගෝලීය දළ ජාතික නිෂ්පාදිතයන්ට සාපේක්ෂව ලෝක බැංකුවේ සමස්ත වත්කම් ඉතා අඩු ප්‍රතිශතයක් නියෝජනය කරයි. එනම් අද එය සතුව ඇත්තේ 1960 දී පැවැති ප්‍රතිශතයෙන් පහෙන් එකකි. එහෙයින් අර්ථවත් ප්‍රාග්ධන සැපයීමක අවශ්‍යතාව අප හමුවේ පවතී” යනුවෙන් ගුටරේස් ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය රඳා පවතින ප්‍රධාන කුළුණු 3කි.

මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දියත් කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන් ප්‍රධාන කුළුණු 3ක් මත රඳා පවතී.
එයින් ප්‍රධානතම එක වන්නේ “ගිජු ලිහිණි අරමුදල්” ලෙස හැඳින්වෙන බ්ලැක්රොක් වැනි කොල්ලකාරි ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර අලෙවිකරුවන්ගෙන් දිගින් දිගටම ණය ලබාගැනීමට සිදුවන තත්ත්වයක බංකොළොත් බවට පත් ණය ගැති රට සිරකර තැබීමය. බ්ලැක්රොක් යනු ලෝකයේ විශාලතම වත්කම් කළමණාකරණ සමාගම වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියාද වෙයි. ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නම් මගින් ලෝක බැංකුව විසින් අටවන ලද උගුලට ගොදුරු වූ ශ්‍රී ලංකාවට සහන පොලී අනුපාතයන්ට ණය ගැනීමේ අවස්ථාව අහිමි කළ පසුව එයට ණය ගැනීමට සිදුවූයේ ඉහළ පොලී අනුපාතයක් ගෙවීමට සිදුවන බ්ලැක්රොක්, වෑන්ගාඩ් , වැනි මූල්‍ය සමාගම් වෙතිනි. ශ්‍රි ලංකාව මත විශාල ණය කන්දක් ගොඩගැසීමට හේතුවූයේ මෙම අධික පොලී සහිත ණයයි. මෙම තත්ත්වයට වගකිව යුතුවන්නේ මුග්ධ දූෂිත සහ ආකාර්යක්ෂම දේශපාලනඥයන්, මහ බැංකුවේ ප්‍රධානීන් සහ ඔවුන්ගේ ව්‍යාපාරික හවුල්කරුවන් ආදින්ය. දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණ යට මැදිහත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම් විසින් රැකියා නියුක්තිකයන්ගේ අරමුදල් වැනි පොදු අරමුදල් සහ වත්කම් ගසාකමින් දූෂිත විදේශිය ණය ගෙවීමේ බර සම්පූර්ණයෙන්ම අසරණ සහ දිළිඳු රටවැසියන් වෙත පවරා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන රඳා පවතින දෙවැනි කුළුණ වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි මහජන සුබසාධන වියදම්ද ඇතුළු රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සහ ආර්ථිකයේ වර්ධනයක් සිදු කරනු වෙනුවට එය තවදුරටත් කඩාවැටීම සිදුවන පරිදි බදු අයකිරීම් ඉහළ දැමීමය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙළ රඳා පවතින තුන්වන කුළුණ නම් භූමිය, බලශක්තිය සහ සන්නිවේදනය, ප්‍රවාහනය වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් වත්කම් පුද්ගලිකකරණය කිරීම සහ කුණු කොල්ලයට විකිණිමය. මේ මගින්ද රාජ්‍ය ආදායම අඩුවන අතර ඒ හේතුවෙන් ඉහළ යන පාරිභෝගික මිල හේතුවෙන් ජනතාව හිඟමනට පත්කරවා ඇත.
මේ සියල්ල මගින් තහවුරු කරනුයේ කලක් අපව යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදි හාම්පුතුන්ගේ නව යටත්විජිතවාදි ණය ගැති වහල් බන්ධනයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙහෙයුම් මූලික වශයෙන් සැලසුම්කර ඇත්තේ යුරෝ බැඳුම්කර ණය උගුලේ කාලය දිගු කිරීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පුද්ගලික අංශයේ ණය දෙන සමාගම් සහ ඒවායේ නියෝජිතයන්වන යටත්විජිතවාදි පැරිස් කණ්ඩායම, ඔවුන්ගේ අවහ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටින ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් චාන්ස් වැනි ගිණුම් සහ නීති උපදේශක සමාගම් ආදියේ දිගුකාලීන බලපෑමට ලංකාව යටත් කිරීමේ අරමුණෙන් බව පැහැදිලිව දැක ගත හැකිය. සම්පූර්ණ ක්‍රමයම දූෂණයට සහ වංචාවන්ට ගොදුරු කෙරී ඇති අතර ණය පිළිබඳ දත්ත විකෘති කරමින් රටේ ණය ගැති භාවය දෙගුණ තෙගුණ කරමින් පවතින අතර ණය හිමියන් කවුරුන්ද ඔවුන්ගෙන් ගෙන ඇති ණය ප්‍රමාණයන් හෝ ඒවා ලබාගත් දින වකවානු ගැන කිසිදු පාරදෘෂ්‍යභාවයක් රහිතය.

මේ අතර බටහිර අධිරාජ්‍යවාදයේ නව සීතල යුද්ධය රතු මුහුදේ දී සෘජු උණුසුම් යුද්ධයක් බවට පත්වෙමින් පවත්නා තත්ත්වය තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “ණය හිලවු කිරීමේ ප්‍රතිකාර” යටතේ නව යටත්විජිතවාදයේ ස්වෛරී ණය බැඳුම්කර  උගුලට තවතවත් සිරකරන ලද ශ්‍රී ලංකාව වැනි ගෝලීය දකුණේ රටවල් එම යුද පෙරමුණුවල කුලී හමුදාවන් බවට පත්කිරීමේ ක්‍රියාදාමයද උත්සන්න වෙමින් පවතී. ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකාවෙන් පරිත්‍යාග වශයෙන් ලැබී ඇති නාවික යාත්‍රා කීපයක් සමගින් ගාසා යුද කලාපයේ යේමන් හූති හමුදාවන්ට එරෙහි යුද මෙහෙයුම්වලට සම්බන්ධ වී තිබේ.

සැඟවුණු හයිබ්‍රිඩ් ආර්ථික යුද්ධය දැන් සිදුවෙමින් පවතින්නේ ලෝකයේ සාගර සහ අභ්‍යවකාශයේ සිදු කෙරෙන සයිබර් මෙහෙයුම්, නීතිමය යුද්ධ, ජීව විද්‍යාත්මක යුද්ධ සහ සෘජු බලශක්ති ආයුධ (Directed Energy Weapons- DEW) මගින් දේශගුණ විපර්යාස දියත්කරමින් සිදු කෙරෙන දේශගුණික යුද්ධ, දත්ත විකෘති කිරීම, Deep Fake වැනි සජීවිමය ග්‍රැෆික් විකෘතිකරණ වැඩසටහන් සහ කෘත්‍රිම බුද්ධිය මගින් සිදු කරන ප්‍රචාරක සහ සාවද්‍ය තොරතුරු ව්‍යාපාරය ආදිය උපයෝගි කරගනිමිනි. මේ සියල්ල මගින් හෙළිදරවු වෙමින් පවතින්නේ සර්ව අවකාශ ආධිපත්‍යය (Full Spectrum Dominance – FSD) අත්පත්කරගනු සඳහා ක්ෂිතිජයට එහා මෙහෙයුම් (Over the Horizon Operations -OTH) මාදිලිය යොදාගනිමින් ශ්‍රී ලංකාව වැනි ණය යටත්විජිතවාදයේ ගොදුරු බවටපත් භූ උපායික වශයෙන් වැදගත් ගෝලීය දකුණේ රටවල් වෙත එල්ලකෙරෙමින් පවතින අනවරත පීඩනයයි.

ගිල්වා දැමිය නොහැකි ගුවන් යානා ප්‍රවාහක නෞකාවක අසාමාන්‍ය ” බංකොළොත්වීම”

.ඉන්දීය සාගරයේ හරි මැද පිහිටා ඇති ශ්‍රී ලංකාව ලෝකයේ අතිශය කාර්ය බහුල වෙළෙඳ, බලශක්ති සැපයුම් නාවික මාර්ග මෙන්ම මුහුදු යට සන්නිවේදන කේබල් පද්ධති යා කෙරෙන වැදගත් සන්ධිස්ථානයක ස්ථානගතව තිබේ. මෙවැනි වාසි සහගත භූගෝලීය පිහිටීමක් සහිත රටක් වන ශ්‍රී ලංකාවට එහි ස්වෛරී ණය ගෙවාගත නොහැකි ලෙසින් තමන් බංකො‌ළොත් වී ඇති බවට මෙම “ආසියානු 21 වන සියසේදී” ප්‍රකාශ කිරීමට සිදුවීම අසාමාන්‍ය සිදුවීමකි.

සංචාරකයන්ගේ ආදරයට ලක්ව ඇති උපාය මාර්ගික වශයෙන් වැදගත් මෙම දිවයින දළ ජාතික නිෂ්පාදනය සහ ඉහළ මානව සහ සමාජ සංවර්ධන දර්ශකයන් අනුව දකුණු ආසියානු කලාපයේ ධනවත් රටක් ලෙස තවදුරටත් පවතී. ලෝක බැංකුව විසින් ශ්‍රි ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ( Middle Income Country- MIC) ලෙස 2019 දී ලැයිස්තු ගත කරන ලදි. මෙම දිවයින ” වටිනා බිම් කැබැල්ලක්” සහ ” ගිල්වා දැමිය නොහැකි ගුවන් යානා ප්‍රහාරක නෞකාවක් ලෙස ද ඇතැමුන් විසින් විස්තර කර තිබේ.

මෙම සාරවත් ඝර්මකලාපීය දිවයින සතුව තමන්ට අවශ්‍ය ආහාර නිපදවාගැනීමේ හැකියාව පවතී. එමෙන්ම එය සාගර සහ ඛනිජ සම්පත්වලින් පොහොසත්ය. කෙසේ වුව ද ලෝක බැංකුව විසින් මධ්‍යම ආදායම් රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර වසර 3ක් ගතවීමෙන් අනතුරුව 2022 දී ඉතිහාසයේ පළමුවරට සිය “ණය ගෙවාගත නොහැකි මට්ටමට තමන් ආර්ථික වශයෙන් බංකොළොත් වී ඇතැ”යි ප්‍රකාශ කිරීම සිදු විය. මෙම බංකොළොත් බව ප්‍රකාශ කරන ලද්දේ හුදෙක් එහි විදේශ විනිමය හිඟය හෙවත් ” අයුක්ති සහගත ලෙස වරප්‍රසාදිත තත්ත්වයක පසුවන ඇමෙරිකන් ඩොලර් ” ලංකාවට ප්‍රමාණවත් තරමින් නොමැති වීම නිසාය. ඩොලර් හිඟය හේතුවෙන් රටට අත්‍යාවශ්‍ය ආහාර සහ ඉන්ධන මිලදී ගත නොහැකි බවට ප්‍රකාශ කෙරිණි. ඒ අතර රටට තෙල් සහ ගෑස් ගෙන එමින් පැවැති සැපයුම් නෞකාවන්ට රටට ඇතුළුවීම අවහිර කරමින් සම්බාධක පනවා තිබිණි. ඒ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව, සහ විවිධ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවන ලද සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයන් විසින් අරඹා මෙහෙයවන ලද ” අරගලය” නම් ව්‍යාජ විරෝධතා ව්‍යාපාරය මගින් ආර්ථික වශයෙන් පීඩාවට පත් ජනතාවන්ගේ විරෝධය ගසාකමින් එය නොමග යවමින් සැබෑ ලෙසම සිදුවෙමින් පවතින කුමන්ත්‍රණකාරි හයිබ්‍රිඩ් ආර්ථික යුද්ධය වෙතින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කෙරිණි. මෙම ඊනියා අරගලය තුළ කිසිදු අධිරාජ්‍ය වාදයට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවට එරෙහි කිසිදු සටන්පාඨයක් පෙරට ගැනීම ඉතා දැනුවත්ව සහ සංවිධානාත්මක ලෙස වළක්වමින් පැවැතිණි. අරගලය හරහා ජනාධිපති ලෙස බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ සමච්චල් සහගත සිනහවකින් යුතුව පැය 15ක විදුලි කප්පාදුවක් සහ සාගත තත්ත්වයක් පිළිබඳ භීතිය වපුරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම්වලට ඉඩ සලසා දුන්නේය.

එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සඳහා පවත්වන ලද Sea Vision පුහුණු වැඩමුළුව

මේ වසරේ ජූනි සහ ජූලි වන විට එක්සත් ජනපද නාවික හමුදාව සහ සාගර දර්ශන මෙහෙයුම් (Sea Vision Operations) ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ ධීවර ප්‍රජාවන් මත මත පනවන ලද විවිධ ලොක්ඩවුන් සහ බාධක බලසම්පන්න රටවල් විසින් දියත් කරන ලද ජීව විද්‍යාත්මක යුද අභ්‍යාස එහි උපරිමය කරා ළඟා විණි. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුව(DoD) විසින් මෙහෙයවන ලද මෙම ‘සාගර දර්ශන’ (‘Sea Vision’) මෙහෙයුම් පැවැත් වෙන අතරතුර තෙල් සහ ගෑස් සම්බාධක හේතුවෙන් ශ්‍රි ලංකාව මුළුමණින්ම පාහේ වසා දමා තිබිණි.
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් මෙහෙයවන ලද මෙම සාගර දර්ශන මෙහෙයුම තුළ එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව සමග යුද අභ්‍යාස සිදුකරමින් සිටින අතර තුර ලංකාව වෙත රුසියන් ඉන්ධන රැගෙන පැමිණි නෞකාවන් අභිරහස් ලෙස අතුරුදන්වීම සිදුවිය.
කෙසේ වුව ද ඉන්දියානු සාගරය මැද පිහිටි මෙම දිවයින ඇමෙරිකාව, ඉන්දියාව, සහ QUAD මිලිටරි සන්ධානය විසින් මුහුදෙන් සහ ගොඩ බිමෙන් පනවන ලද සම්බාධක සහ අවහිර කිරීම් මගින් වටලා තිබිණි. එක්සත් ජනපදයේ සහ ශ්‍රි ලංකාවේ නාවික හමුදා විසින් ඒකාබද්ධව පවත්වන ලද සාගර දර්ශන මෙහෙයුම පැවැත්වෙන අතරතුර ශ්‍රි ලංකාවට පැමිණි ගුවන් යානා දකුණු ඉන්දියාවට හරවා යවන ලදි.
ඉන්දියානු තෙල් සමාගම (IOC) ඉන්ධන සුළු ප්‍රමාණයක් අලෙවි කරමින් දැවැන්ත ලාභයක් ලබාගනිද්දි ඉන්ධන සහ ගෑස් හිඟයෙන් පීඩා විඳි ජනතාව විරෝධතා ආරම්භ කළහ. වොෂින්ටනයේ විශේෂ උපදේශකයන්ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමද කොළඹට පැමිණි අතර ආර්ථිකය සම්පූර්ණයෙන්ම වසා දැමිණි.
මේ අනුව අරාබි වසන්තය ආකාරයේ ආණ්ඩු පෙරළීමේ අත්පොතට අනුව දියත් කරන ලද මෙහෙයුමකින් වොෂින්ටනයේ ආර්ථික ඝාතකයා වූ රනිල් වික්‍රමසිංහ බලයට පත් විය.මාස තුනකට පෙර මානව සංවර්ධනය සහ සමාජමය දර්ශක අනුව දකුණු ආසියාවේ ධනවත්ම රටවල් අතරින් එකක් ලෙස සැළකුණ  ලංකාව ඔහු බලයට පත්වී කෙටි කළක් ඇතුළත බංකොළොත් බව ප්‍රකාශයට පත් කෙරුණේ පැය 15ක විදුලි කප්පාදුව, සම්පූර්ණ ඉන්ධන කප්පාදුව, සහ සාගතය පිළිබඳව ද අනතුරු අඟවමිනි.
(ධරිණි රාජසිංහම් සේනානායක, විමර්ශන,    ලංකාවේ  ණය අර්බුදය පිටුපස ඇමෙරිකන් මිලිටරි සහ මූල්‍ය මෙහෙයුම් ) 

භූ උපායික සම්පත්වල ශාපය

විදේශ විනිමය තැන්පතු ලෙස එක්සත් ජනපද ඩොලර් හිඟයක් පැවැතුණද ශ්‍රි ලංකාව සෙසු මිණුම් දඬු අනුව පොහොසත් රටකි. ලෝකයේ සියලුම දත්ත හෝ න්‍යායන් මගින් හෝ මෙම ආනුභූතික යථාර්ථය(අඩු තරමින් සමාජ විද්‍යාඥයන් සඳහා හෝ ) ප්‍රතික්ෂේප කළ නොහැකිය. අනෙකුත් කවර හෝ දකුණු ආසියාතික රටක සංචාරය කිරීම මගින් පැහැදිලි වනු ඇත්තේ ණය පිළිබඳ ප්‍රෝඩාකාරි දත්ත ක්‍රීඩාව මගින් ප්‍රවර්ධනය කරන ලද ” බංකොළොත් බව” හෝ “සාගතය” පිළිබඳ ආඛ්‍යානයන් මගින් කුමක් පැවසුණ ද මෙම දිවයින සතුව වඩාත් යහපත් යටිතල ව්‍යුහයන් සහ හෞතික ජීවන තත්ත්ව දර්ශකයක් (Physical Quality of Life Index-PQLI ) පවතින බවය.

ශ්‍රි ලංකාව පළමුවරට තමන්ට ස්වෛරී ණය ගෙවාගත නොහැකි ලෙස තමන් ආර්ථික වශයෙන් බංකොළොත් බව ප්‍රකාශ කිරීම සිදු වූයේ ගුප්ත විදේශිය බැංකුවක් වන කැරිබියන් කලාපයේ ස්ථානගතව ඇති හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුවක් පැවැරීමත් සමගය. මෙම නඩුව මගින් ශ්‍රි ලංකාවට එරෙහිව නගන ලද චෝදනාව වූයේ ශ්‍රි ලංකාව විසින් තමන්ට ගෙවීමට නියමිත ණය වාරික සඳහා පොලිය ගෙවීම පැහැර හැර ඇතැයි යන්නයි. කෙසේ වුවද මෙම පැහැර හැර ඇති බවට සඳහන් මුදල රටක් බංකොළොත් බව ප්‍රකාශ කිරීම සාධාරණීකරණය කළ හැකි තරම් විශාල වූවක් නොවේ. මෙය සිදුවන අතර වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්කිරීම සඳහා එක්සත් ජනපදයේ ” ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික භාරය” (National Endowment for Democracy – NED) විසින් අරමුදල් සපයන ලද ” අරගලය” නම් උද්ඝෝෂණය හරහා තත්ත්වය ව්‍යාකූල කිරීමේත් නොමග යැවීමේත් උපාය මාර්ගයක් දියත් වෙමින් පැවැතිණි. රනිල් වික්‍රමසිංහ බලයට පත්වනතෙක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පහසු සහ නිර්බාධිත ආකාරයකින් පවත්වාගෙන යාම සිදු විය.

ලොව පුරා හමුදා කඳවුරු 800කින් පමණ සමන්විත එක්සත් ජනපදය විසින් මෙහෙයවන නේටෝ යුද යන්ත්‍රය තුළ මෙම උපාය මාර්ගික දිවයින යටත් කර ගැනීමට දිගු කලක් තිස්සේ දැඩි උවමනාවක් පැවතිණි. චීනය සමග ආර්ථික යුද්ධය උත්සන්න වීමත් එක්සත් ජනපදයේ ආසියාවර්තන උපායමාර්ගයත් (pivot to Asia ) හේතුවෙන් මෙම උවමනාව තවත් උත්සන්න විය. මෙම දිවයිනේ ජනතාවන්ට දුක්විඳීමට සිදුව ඇත්තේ එය සතු භූ උපායික සම්පත්වල ශාපයට ගොදුරුවීමත් නිදහසින් පසු එය පාලනය කළ දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රභූ පෙළැන්තිය ආර්ථික විවිධාංගීකරණයට සහ කාර්මිකකරණයට අසමත්වීමත් යන හේතුවෙන් යැයි යමෙකුට තර්ක කළ හැකිය.

2022 නොවැම්බර් මස 22 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුංග්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරි වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න යන නිලධාරින් සහභාගිවූ උත්සවයකදී එක්සත් ජනපද නාවික හමුදාව විසින් භාවිතා කළ වෙරළාරක්ෂක නෞකාවක් වන “කටර් ඩග්ලස් මුන්රෝ” ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිල වශයෙන් “විජයබාහු” ලෙසින් නම් කරමින් සේවයට ඇතුළත් කරගැනීම සඳහා පැවැති උත්සවයේ අවස්ථාවක්. 2021 ඔක්තෝබර් මස 26 වැනිදින එක්සත් ජනපදය විසින් මෙම නෞකාව ශ්‍රි ලංකාවට පරිත්‍යාග කරන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ සාගර ස්වාධිපත්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීමට එක්සත් ජනපදයේ ඇති අඛණ්ඩ කැපවීම යළිත් අවධාරණය කෙරිණි. (photo-US Embassy in Sri Lanka)

එක්සත් ජනපදය ආසියාව වෙත හැරීමත් සමගම ” ආර්ථිකයට විලාප නැගීමට සැලැස්වීම” සඳහා විවිධ බාහිර ආර්ථික කම්පනවලින් සමන්විත හයිබ්‍රිඩ් ආර්ථික යුද මෙහෙයුම් උත්සන්න කෙරිණි. ISIS නම් ත්‍රස්තවාදි සංවිධානයක් විසින් දියත්කළ බව කියැවෙන පාස්කු ඉරුදින දියත් කළ ප්‍රහාරයන්ද අයත්වන්නේ මෙම හයිබ්‍රිඩ් යුද මෙහෙයුම් ගණයටය. ඉන් අනතුරුව ඊනියා කොවිඩ්-19 වසංගත ආඛ්‍යානය යටතේ දියත් කළ නිරෝධායන ඇඳිරි නීති මගින් රට වසා දමමින් රටේ ආර්ථිකය වසර දෙකක් පුරා බිඳ වැට්ටීමට ගත් ක්‍රියා මාර්ගයද, එම්වී පර්ල් සහ ඩයමන්ඩ් නෞකාවන් අභිරහස් ලෙස ගිනිගැනීම සහ එය උපයෝගි කරගනිමින් වරායන් සහ ධීවර ජනයා ඉලක්ක කරමින් දියත්වුණු ආර්ථික ප්‍රහාරයන්ද, අරගලය මෙහෙයුමද මෙම ආර්ථික කම්පන මාලාවන්ට අයත් විය. මෙම කම්පන විසින් මුග්ධ අකාර්යක්ෂ්ම සහ දුෂිත දේශපාලනඥයන් යොමු කරන ලද්දේ කොල්ලකාරි ජාත්‍යන්තර පුද්ගලික මූල්‍ය සමාගම් වෙතින් ඉහළ පොළියට ණය ලබාගැනීම සඳහාය. මෙම ණය ලබාගැනීම් විසින් රට “ආර්ථික වශයෙන් බංකොළොත්” යන නාටකය රඟ දැක්වීමට අවශ්‍ය වේදිකාව නිර්මාණය වූ අතර ඒ මගින් එක්සත් ජනපද ඩොලර් ණය උගුල උත්සන්න කරවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම්වලට අවකාශය නිර්මාණය විය.

අප ජීවත්වන්නේ නව යටත්විජිතවාදි යුගයක මිස පශ්චාත් විජිතවාදි යුගයක නොවේ. බ්ලැක්රොක් වැනි යුරෝ බැඳුම්කර අලෙවිකාර සමාගම් විසින් ශ්‍රී ලංකාව ණය උගුලක හසුකරවන ලද බව වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී. එක්සත් ජනපද රජය විසින් එහි CARES පනත යටතේ කොවිඩ්-19 ඇප අරමුදල් මගින් බ්ලැක් රොක් සමාගමට දැවැන්ත අරමුදල් ප්‍රමාණයක් ලබාදුන් බවත් එහි අරමුණ වූයේ කොවිඩ්-19 ලොක්ඩවුන් විසින් සහ සැපයුම් මාර්ග බිඳහෙළීම විසින් බිඳවැටුණු ආර්ථිකයන් සහිත ගෝලීය දකුණේ රටවල වත්කම් තුට්ටු දෙකට කොල්ලකෑමට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම බවත් එමෙන්ම පැහැදිලිය. මෙම මෙහෙයුම දියත් වූයේ වොෂින්ටනය විසින් මෙහෙයවන දේශිය ප්‍රභූ පෙළැන්තියේ ආධාරයෙනි. චීනයට සහ එහි වෙළඳ පථ සහ මාර්ග සමාරම්භක ව්‍යාපෘතියට (BRI) එරෙහිව බටහිර විසින් දියත්කරන ලද සැඟවුණු හයිබ්‍රිඩ් යුද මෙහෙයුම්ද මෙම උපාය මාර්ගය තුළ ප්‍රධාන ඉලක්කයකි.

ඩොනල්ඩ් ලූ (State Department photo by Freddie Everett/ Public Domain)

මෙම සැඟවුණු මෙහෙයුම් විසින් මතුකරන ලද දූවිල්ල සහ දුමාරය කෙමෙන් පහව යනවිට ශ්‍රී ලංකාවේ ” අසාමාන්‍ය සහ අස්වාභාවික බංකොළොත්වීම” පිටුපස පවත්නා සත්‍ය හෙළිදරවු වෙමින් පවතී. මේ හේතුවෙන් එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ට ” ශ්‍රි ලංකාවේ ආර්ථික පුනරාගමනය” පිළිබඳ සුරංගනා කතා මවාපෑමට සිදුව තිබේ.

මේ අතර මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරින් විසින් තමන්ටම ඉතා දූෂිත ආකාරයෙන් ඉතා ඉහළ මට්ටමකින් වැටුප් වැඩි කර ගැනීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පිළිබඳ වගකිව යුතු ඉහළම ආයතනය තවදුරටත් ශ්‍රි ලංකාවේ මහජනතාවට සහ පාර්ලිමේන්තුවට වගනොකියන බවද? එමෙන්ම “යහපත් ආණ්ඩුකරණයේ නාමයෙන් ” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන ලද නියෝග අනුව ශ්‍රී ලංකා මහ බැංකුවද පුද්ගලීකරණය කෙරී ඇති බව ද?

මේ මොහොතේ පැන නැගෙන ඩොලර් මිලියනයක් වටිනා ප්‍රශ්නය මෙයයි. නව මහ බැංකු පනත යටතේ “පාර්ලිමේන්තුවට වගකීමට තමාට ඇති බැඳීමෙන් නිදහස් වූ”  මහබැංකුවේ නිලධාරින් විසින් තමන්ටම සිදුකරගන්නා ලද වැටුප් වැඩිකරගැනීමේ සිදුවීම සමග, “ස්වභාව ධර්මය වෙනුවට ණය හුවමාරුකරණය, නිල් සහ හරිත බැඳුම්කර ආදිය යටතේ ශ්‍රී ලංකාව තවදුරටත් යුරෝ බැඳුම්කර ණය උගුලේ දිගින් දිගටම හිර කර තබාගැනීමටත් එහි වත්කම් සහ ස්වාභාවික සම්පත් කොල්ලකෑමටත් කටයුතු කරමින් සිටින යටත්විජිතවාදි පැරිස් කණ්ඩායම සහ කොල්ලකාරි ණය හිමියන් විසින් යෝජනා කරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ යටතේ එන දළ ජාතික නිෂ්පාදනය හා බැඳුණාවූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිගැනීමට මහ බැංකුවේ ඇති අනාගත සුදානමේ සම්බන්ධයක් පවතීද?
මේ අතර සිවිල් සමාජ කණ්ඩායම් විසින් ණය ආපසු අයකිරීම අත්හිටුවමින් වසර 10 ක සහන කාලයක් ලබා දෙන ලෙසත් පුද්ගලික මූල්‍ය වෙළඳ පොළෙන් ණය ලබාගැනීම තහනම් කරන ලෙසත් කරන ලද ඉල්ලීම සම්පූර්ණයෙන්ම නොතකා හැර තිබේ.

(මතු සම්බන්ධයි)

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.

මූලාශ්‍ර

[i] Sovereign Defaults at Record High.

[ii] The Central Bank of Sri Lanka (CBSL) is the apex financial institution in Sri Lanka. The CBSL Act No. 16 of 2023 (CBA) brought into law in September 2023, supersedes the Monetary Law Act (MLA) No. 58 of 1949 that established the CBSL In 1950 as a semi-autonomous body. Under the new act, the CBSL shall be autonomous and accountable.

[iii] IndepthNews: UN Chief calls for reform of IMF, World Bank, stresses BRICS roll

(The Wealth of Nations and the Poverty of Theory: IMF, Sri Lanka’s Resource Curse, and Privatization of the Central Bank ,Darini Rajasingham-Senanayake, Posted on March 10th, 2024)

වෙනත් ලිපි

1.මැතිවරණ, බැඳුම්කර වංචා සහ මුදල් දේශපාලනය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බංකොළොත්වීමේ ව්‍යුහ විද්‍යාව – ධරිණි රාජසිංහම් සේනානායක
2. බැඳුම්කර මගඩි හරිත ශෝධනය කිරීම සහ සොබාදහම මූල්‍යකරණයට ගොදුරු කිරීම: දේශගුණික විද්‍යා ප්‍රබන්ධවලට එරෙහිව දේශීය යථාර්ථයන්
3. ප්‍රංශ වසන්තය මැද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම: රනිල් පැරිසියේ බාල් නටද්දි මාක්‍රොන් BRICS ආර්ථික හවුලේ පිහිට පතයි.- ධරිණි රාජසිංහම් සේනානායක