මැතිවරණ, බැඳුම්කර වංචා සහ මුදල් දේශපාලනය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බංකොළොත්වීමේ ව්‍යුහ විද්‍යාව – ධරිණි රාජසිංහම් සේනානායක

ධරිණි රාජසිංහම් සේනානායක

රටවල් බංකොළොත් කිරීම හයිබ්‍රිඩ් ආර්ථික යුද මාදිලියකි

ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ පළමුවරට තමන් විසින් ගන්නා ලද   විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි බවට එනම්  තමන්  බංකොළොත් වී ඇති බවට ප්‍රකාශ කිරීම සිදුවූයේ එය  බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 75ක් පිරීම සැමරෙන අවස්ථාවේදීමය. මෑත වසර කීපය තුළ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමේදී ලැබෙන අවබෝධය තුළ ඒ සඳහා බලපාන ලද මූලික හේතුන් පැහැදිලිව හඳුනාගත හැකිය.
2021 මාර්තු මාසයේදී මෙම බංකොළොත් බව ප්‍රකාශ කෙරෙන අවස්ථාවේදී අතිශයෝක්තියට නංවන ලද “අරගලයේ” ව්‍යාජ උත්කර්ෂයටද  සහ ශ්‍රී ලංකාවේ ගොඩ ගැසුණ ණය කන්දරාව පිටුපස පැවැති රහසිගත ජාත්‍යන්තර ව්‍යුහයන්ගේත් ජාත්‍යන්තර මූල්‍ය ජාලයන්ගේත් (ශ්‍රි ලංකා ඩයස්පෝරාවේ ඇතැම් කණ්ඩායම්ද ඇතුළුව) කොල්ලකාරි උවමනාවන් හඳුනාගැනීමට අපහසුවන ලෙස සැලසුම් සහගතව ගොඩනගා තිබූ ව්‍යාකූලත්වයටද   සමස්ත සමාජයම ගොදුරු වී තිබිණි.

ඉහළ මානව සහ සමාජ සංවර්ධන දර්ශකයන් සහිතව කලක් දකුණු ආසියාවේ ධනවත්ම රටක් ලෙස සැලකුණ ශ්‍රී ලංකාවේ  ආණ්ඩුව විසින්  ඉහළ නගිමින් පවත්නා ජීවන වියදමට එරෙහි මතුවූ විරෝධතා ව්‍යාපාර මැද, තමන්ට ඉන්ධන සහ ආහාර මිලදී ගැනීමට ඩොලර් ‌නොමැති බව හඟවමින් ” බංකොළොත්” බව ප්‍රකාශ කරන ලදි. මෙය සිදුවූයේ ගුප්ත විදේශීය බැංකුවක් වන හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ශ්‍රී ලංකාව විසින් තමන්ට ගෙවිය යුතු ඉතා සුළු ණය පොලී වාරිකයක් ගෙවා නොමැති බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් අධිකරණය තුළ ශ්‍රි ලංකාවට එරෙහිව  නඩු පැවැරීමත් සමගය.

භූ උපායමාර්ගික වශයෙන් වැදගත් මෙම ඉන්දියානු සාගර දිවයින” මුල්‍යමය වශයෙන් බංකොලොත් වීම” පිළිබඳ නාටකය වේදිකා ගත කරන ලද්දේ හරියටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වසන්ත සමුළුව වොෂිංටනයේ පැවැත්වෙමින් පවතින අතරය. මේ වනවිට පශ්චාත් කොවිඩ්-19 යුරෝ බැඳුම්කර ණය උගුලේ සිරවූ රටවල ඉරණම විදහා දැක්වෙන කදිම උදාහරණයක් බව ශ්‍රී ලංකාව පත් වී තිබිණි. එමෙන්ම චීනය සිය වෙළඳ පථ සහ මාර්ග ව්‍යාපෘතිය (Belt and Road Initiative -BRI) හරහා ගෝලීය දකුණේ රටවල් ණය උගුලකට හසුකරගනිමින් සිටින බවට බවට බටහිර රටවල් විසින් චෝදනා කෙරෙමින් පැවැති අතර බටහිර සහ චීනය අතර සීතල යුද්ධය උත්සන්න වෙමින් පැවැතිණි.

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නම් කිරීම හේතුවෙන් එයට කොල්ලකාරී පොලී අනුපාත යටතේ ණය ලබා දෙන යුරෝ බැඳුම්කර ප්‍රාග්ධන වෙළඳපොළෙන් ණය ලබාගැනීමට බල කෙරී තිබිණි. ලෝක බැංකුව විසින්  “මධ්‍යම ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය” කිරීම මගින් අටවන ලද ණය උගුලට ශ්‍රී ලංකාව හසුවිය. මෙය සිදුවූයේ හයිබ්‍රිඩ් ආර්ථික යුද්ධෝපක්‍රම භාවිතා කෙරෙන බාහිර ආර්ථික කම්පන මාලාවක් දියත් කෙරෙමින් පැවැති අතරය. එමගින් ” ආර්ථිකයට විලාප නැගීමට” සලස්වන ලදි. ශ්‍රී ලංකාවට එරෙහිව බාහිර බලවේග විසින් දියත්කරන ලද මෙම හයිබ්‍රිඩ් ආර්ථික යුද උපක්‍රමවලට උදාහරණ ලෙස 2019 දී සිදු වූ ඉස්ලාමික රාජ්‍ය සංවිධානය(ISIS) නම් ගුප්ත සංවිධානයක් විසින් දියත් කරන ලදැයි කියවෙන පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව මෙන්ම එයට පසුව කොවිඩ්-19 වසංගතය නම් ප්‍රෝඩාකාරි ආඛ්‍යානය යටතේ වසර දෙකක් පුරා රටේ ආර්ථිකය වසාදමමින් පවත්වාගෙන ගිය ම්ලේච්ඡ ලොක්ඩවුන් හෙවත් නිරෝධායන ඇඳිරි නීතිද දැක්විය හැකිය.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් වසර 74කට පසුව පළමුවරට තමන් සිය විදේශීය ණය ගෙවීමට නොහැකි ලෙස බංකොළොත් වී ඇතැයි ප්‍රකාශ කිරීමට සිදුවීම ( ඇතැමුන් මෙය අවසන් වාරය වනු ඇතැයි අපේක්ෂා කරති) හේතුවෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර අරමුදලේ වොෂින්ටන් සම්මුතිය (Washington Consensus) විසින් සිය ” විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය “යටතේ උපාය මාර්ගික වශයෙන් වැදගත් මෙම දිවයිනේ ආර්ථික ස්වාධිපත්‍යය සහ ජාතික ප්‍රතිපත්ති සැකසීමේ ස්වාධීනත්වය මුළුමණින්ම යටපත් කරන ලදි. ජාත්‍යන්තර මුල්‍ය ණය අරමුදල විසින් දියත් කරන ලද මෙම ” විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය” ඉක්මණින්ම දේශිය ණය ව්‍යාකූල කිරීමේත් ප්‍රසාරණය කිරීමේත් ණය පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත ක්‍රීඩාවක් බවට පත් කරන ලදි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ” යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබඳවද දැඩි උනන්දුවක් දක්වන බව ප්‍රදර්ශනය විය.

මුදල් දේශපාලනය: මැතිවරණ සඳහා මුදල් සෙවීමට බැඳුම්කර මගඩි?

පසුගිය මාසයේදී සිදු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේදී එහි මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රයර් සඳහන් කරන ලද පරිදි: “ශ්‍රී ලංකාව සිය මැතිවරණ වර්ෂයක් කරා එලැඹෙමින් සිටින මෙම අවස්ථාවේදී එය සිය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ පළමු ලක්ෂණ පෙන්නුම් කරමින් සිටියි. එහෙයින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා මැතිවරණයට පෙර සිදුවන දේ මෙන්ම ඉන්පසුව සිදුවන දේ ද අතිශයින් තීරණාත්මකය.”

ශ්‍රී ලංකාව තමන් ලදැයි කියන “නිදහසට” වසර 76 ක් සැපිරීම මෙම පෙබරවාරියේදී සමරන ලද්දේ යුරෝ බැඳුම්කර සහ ඇමෙරිකන් ඩොලර් ණය යටත්විජිතකරණයේ ගොදුරක් බවට පත්ව සිටින අතරය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් උපාය මාර්ගික වශයෙන් වැදගත් වෙරළ බඩ සහ කඳුකර ඉඩම්, බලශක්තිය, ප්‍රවාහනය සහ සන්නිවේදන යටිතල ව්‍යුහයන් වැනි දේශිය වත්කම් සහ සම්පත් විදේශිය සමාගම්වලට තුට්ටු දෙකට විකිණීම සඳහා දිගින් දිගටම සිය පීඩනය උත්සන්න කරමින් සිටියි. මෙම තත්ත්වය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දියත් කර ඇති ” ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙහෙයුම්” පිළිබඳ මූලික ගැටළු ගණනාවක් මතු කර තිබේ. ඒවා නම්  ශ්‍රී ලංකාවේ විදේශීය ණය බැඳුම්කර හිමියන් පිළිබඳව කිසිදු පාරදෘෂ්‍යතාවක් නොමැතිවීම, 2015 දී රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා අරමුදල් සැපයූ බව පෙනී යන මහ බැංකු බැඳුම්කර වංචාවේ අතීතය සහ වර්තමානය ආදිය ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානි පීටර් බ්‍රයර්

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටිකෝණය අනුව ශ්‍රී ලාංකික ජනතාව සමග අපගේ කටයුතු කරන්නේ රටට මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් සමෘද්ධිය අත්පත්කරගනිමින් පෙරට යාම සඳහාත් සහාය වනු පිණිසය. එහෙයින් රටේ දේශපාලන පරිසරය අතිශයින් තීරණාත්මකය. මක් නිසාද යත් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළයුතුව ඇත්තේ ජනවරමක් සහිත ආණ්ඩුවක් යටතේ වන බැවිනි. මහජනතාවගේ සහයෝගය මෙම ප්‍රතිසංස්කරණවලට ලැබිය යුතුය.”

මැතිවරණ වූ කලී ” පාන් සහ සර්කස්” වලින් හෝ දීමනා සහ ආගමික උත්සවශ්‍රීයකින් සමන්විත වන්නාවූත් ඡන්ද මිලදීගැනීම සඳහා නොමිලේ යම් යම් දේ දිළිඳු ජනතාව වෙත බෙදාහරින්නාවූත් ව්‍යාපාරික සහ දේශපාලනික ප්‍රභූන් සඳහා අරමුදල් සපයාගැනීමට සිදුකරන බැඳුම්කර වංචාවලින් සමන්විතවන්නා වූත් කාල පරිච්ඡේදයකි. මැතිවරණ පැවැත්වීමට නියමිත මෙම වර්ෂයේ වෙසක් උත්සවය මහ ඉහළින් පැවැත්වීම සඳහා “ආර්ථිකමය වශයෙන් බංකොළොත්” රනිල් වික්‍රමසිංහ රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර ඉල්ලා සිටියේය. මෙම මැතිවරණ වර්ෂයේදී ඉන්දීය අගමැති මෝදි විසින් උත්කර්ෂයට නංවන ලද රාම් දෙවොල පිළිබඳ ආඛ්‍යානය අනුගමනය කිරීමට රනිල් වික්‍රමසිංහද සුදානම්ව ඇති බව ඒ අනුව පෙනී යයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී බ්‍රයර් විසින් මෙසේ ද සඳහන් කරන ලදි.
“අපගේ සංචාරය තුළදී අපි දේශපාලන නායකයන්ටද, ඔවුන්ගේ අදහස්වලටද, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ දෘෂ්ටිකෝණයන්ටද සවන් දුන්නෙමු. එහෙයින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ ආර්ථික වර්ධනයේ මාවත කෙරෙහි ද රට වත්මන් අර්බුදයෙන් මිදෙනු ඇත්තේ කෙසේද යන්න පිළිබඳවද මැතිවරණ සමය තුළ සහ ඉන්පසුව ශ්‍රී ලංකාව තුළ සිදුවන දේවල් බලපානු ඇත.”
එමෙන්ම මීළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය තුළදී ශ්‍රී ලංකාව සිය යුරෝ බැඳුම්කර ණය හිමියන් සමග ගිවිසුමකට එළැඹෙනු ඇතැයි තමන් දැඩි ලෙස අපේක්ෂා කරනු ඇති බවද බ්‍රයර් සඳහන් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක සංවිධානය වන ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවූ අවස්ථාව. ජවිපෙ නායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොල්ලකාරි “ණය ප්‍රතිව්‍යුහගතකරණ” මෙහෙයුම්වලට අනියම් ලෙසින් සහාය පළ කරන අතර එම මෙහෙයුම්වලින් පීඩාවට පත්වන ජනතාව තමන්ට එරෙහිව යාම වැළැක්වීම සඳහා ද ඉදිරි මැතිවරණවලදී එම ජනතාවන්ගේ ඡන්දය තමන් වෙත ලබා ගැනීම සඳහා ද රැවැටිලිකාර උද්ඝෝෂණ ව්‍යාපාරයන්හිද නිරත වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානි පීටර් බ්‍රයර් විසින් යෝජනා කරන ” ජනවරමක් සහිත ආණ්ඩුවක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‌ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම” නම් උපාය මාර්ගයේදී එකී ”ජනවරම සහිත ආණ්ඩුව” බවට පත්වීමට තම පක්ෂය වඩාත් සුදුසුම සංවිධානය ලෙස කොල්ලකාරි බටහිර මූල්‍ය ආයතනවලටද ගෝලීයකරණවාදින්ටද ඒත්තුගැන්වීමට  ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායකයෝ මේ දිනවල නිවට උත්සාහයක නිරතව සිටිති. ( ඡායාරූපය-ලංකාටෘත් වෙබ් අඩවියෙනි)

මහ බැංකු බැඳුම්කර මගඩි සහ ඝාතන: අධිකරණ විගණන සහ ඒවා යටපත් කිරීම

2015 මහබැංකු බැඳුම්කර වංචාවට හවුල් වූ පාලක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධිත දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රභූන් විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී විදේශ ණය ගනුදෙනු හරහා දැවැන්ත මුදල් සම්භාරයක් වංචනික ලෙස ගසාකන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එහි උපදේශකයන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණවල ප්‍රතිඵල, යහපාලනය සහ දූෂණ මර්දනය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව පෙන්වනු ලැබූවද  එවකට අගමැති සහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ පාසල් මිතුරෙකුවූත් සිංගප්පූරු පුරවැසියෙකුවූත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රභූ කල්ලියක් විසින් 2015 මැතිවරණයට පෙර සිදු කරන ලද බැඳුම්කර වංචාව පිළිබඳව ඔවුන් විසින් කිසිදු සඳහනක් කර නැත. වොෂින්ටන් සම්මුතියේ (Washington Consensus) වහලුන් වන ඔවුන්ට උපදෙස් සපයා ඇත්තේ ඒ සම්මුතියට සම්බන්ධ උපදේශකයන් සහ බැඳුම්කර වෙළඳාමේ නිරත ආර්ථික ඝාතකයන් විසිනි.

2008 දී ආසියානු මූල්‍ය වෙළඳපොළ බිඳවැටීමට බලපාන පරිදි කූඨ මූල්‍යමය වංචාවන්හි නිරත වූ බවට චෝදනා එල්ලවී ඇති ‌‌ප්‍රකෝටිපතියෙකුවන ජෝර්ජ් සෙරෝස් 2016 දී ශ්‍රී ලංකාවට පැමිණ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ සමග ශ්‍රී ලංකා ආර්ථික සංසදයේ සම්මන්ත්‍රණයකට සහභාගි වූ ආකාරය. මෙය සිදුවූයේ ශ්‍රී ලංකාවේ දැවැන්තම මූල්‍ය වංචාව වන 2015 මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී වසරකට පසුවය. මෙම මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ව්‍යාපාරික සහ දේශපාලන සගයන්ටද චෝදනා එල්ලවී තිබේ

2015 මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වූයේ එක්සත් ජනපද සහස්‍ර අභියෝගිතා ගිවිසුම් (Millennium Challenge Corporation – MCC) සහ වි‌ශේෂ මෙහෙයුම් පිළිබඳ හමුදා ගිවිසුම (Special Operations Forces Agreement – SOFA) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටියදී අත්සන් තැබීමට නියමිතව තිබියදීය.

2019 දී මෙම ගිවිසුම් දෙකම ශ්‍රී ලංකා ජනතාව සහ එවකට ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඒ මගින් ඉන්දීය සාගරය තුළ උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානය පිහිටි ශ්‍රී ලංකාවේ භූමිය මත ස්ථාවර ඇමෙරිකන් හමුදා කඳවුරු පිහිටුවීමට ඉඩ සැලසෙන ඇතැයි බිය වූ හෙයිනි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආණ්ඩු වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් එක්සත්වූ ජනපදයට මතු වූ  අතර අද්භූත ආර්ථික යුද මාදිලියේ ප්‍රහාරයක් ලෙස සැළකිය හැකි බෝම්බ ප්‍රහාර මාලාවක් පාස්කු ඉරු දින  දියත්වූ අතර එහි වගකීම ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදි සංවිධානය විසින් භාරගත් බවට ප්‍රකාශ විය. මෙම ප්‍රහාරයන්ගේ අරමුණ වූයේ “ආර්ථිකයට විලාප නැගීමට” සැලැස්වීමය.

ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය ආයතනය වන මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව හෙළිදරවූ පසුව “පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්” (Perpetual Treasuries Ltd ) නම් මූල්‍ය ආයතනයේ හිමිකාර මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් මහේන්ද්‍රන් සේවයෙන් නෙරපන ලදි. මේ වංචාව පිළිබඳ ජාතික මට්ටමේ පරීක්ෂණ ගණනාවක් සිදු වූ අතර බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාවන් තුළ පාද සටහන් විශාල සංඛ්‍යාවක් සටහන් කළවුන් අතර ඇමැති හර්ෂ ද සිල්වා ද විය. බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සිදුකළ ජාත්‍යන්තර සමාගමක් විසින් සකස්කළ අධිකරණ විගණන වාර්තාව තුළ මෙම වංචාව මගින් වාසි ලැබූ බැඳුම්කර හිමියන්ගේ නම් හෙළිදරවු කරන්නට ඇතැයි සිතිය හැකි අතර අලුතෙන් පත් වූ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් මෙම අධිකරණ විගණන වාර්තාව යටපත් කර වළලා දමන ලදි.

2015 මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ මූල්‍ය අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදීම සිදු වූයේ නම් ශ්‍රී ලංකාව 2021දී යුරෝ බැඳුම්කර ණය උගුලට හසුව බංකොළොත්වීම සිදු නොවන්නට ඉඩ තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි අතිවිශාල අධිකාරයක් සහිතව බලහත්කාරි මැදිහත්වීමක් කරන්නට ඉඩ සැලසුණේ ද මුදලේ වටිනාකම බිඳවැටී ජනතාව හිඟමනට සහ අපේක්ෂා භංගත්වයට පත්කළේද මෙම “බංකොළොත් වීම” හේතුවෙනි. උත්ප්‍රාසය නම් දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එක්වී ශ්‍රී ලංකා රජයට ණය කටයුු පිළිබඳ උපදෙස් සපයන්නේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම්වලට ඉඩ සලසමින් දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පවා මැදිහත්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉඩ දී ඇත්තේත් ඉහත බැඳුම්කර වංචාව පිළිබඳ අධිකරණ විගණන වාර්තාව යටගැසීමට කටයුතු කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින්ම වීමය.

2015 ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණයන්ට අවසාන ප්‍රහාරය එල්ලකර ඇත්තේ එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් ම්ලේච්ඡ ලෙස කොළඹදී ඝාතනය කර දැමීම මගිනි. වගවීම සහ මූල්‍ය යහපාලනය පිළිබඳ කටයුතු පවතින්නේ ඒ තරම් ඉහළ මට්ටමකය.

ඩොලර් මිලියනයක් වටිනා ප්‍රශ්නයක්: වාණිජ ණය සඳහා වසර 10ක සහන කාලයක්?

මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මුදල් සපයාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වාණිජ ණය ලබා දෙන සමාගම් සමග සිය ආණ්ඩුව විසින් පවත්වාගෙන යන  ණය ප්‍රතිව්‍යුහගතකරණ ගනුදෙනුවල කොටසක් ලෙස මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මුදල් ණයට ලබාගැනීම සඳහා  මෙයට පෙර රට බංකොළොත් කිරීමට හේතු වූ කොල්ලකාරි පුද්ගලික බැඳුම්කර වෙළඳ සමාගම් සමගම නැවතත් ද්විපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික ගිවිසුම් ඇති කර ගැනීමට  බංකොළොත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අවශ්‍යව ඇත්ද යන්න දැන් මතුව ඇති ඉතා වැදගත් ප්‍රශ්නයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙහෙයුම් පවත්වාගෙන යන්නේ කොල්ලකාරි පොලී අනුපාත අයකරන යුරෝ බැඳුම්කර අලෙවිකරුවන් නියෝජනය කරන යටත්විජිතවාදි පැරිස් කණ්ඩායම සමග මෙන්ම පාරදෘෂ්‍යභාවයකින් තොර ගනුදෙනු සඳහාද , මූල්‍ය දූෂණ සහ අභ්‍යන්තර තොරතුරු වෙළඳාමේ නිරත ගෝලීය සහ ජාතික ජාලයන් හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල් ණය උගුලේ පැටැලවීමට කටයුතු කිරීම පිළිබඳව දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් වැනි සමාගම් සමග ද හවුලේය.

එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාදාමයට 2015 මහ බැංකු බැඳුම්කර වංචාවට සහභාගිවූ ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ ප්‍රභූ සාමාජිකයන්ද සම්බන්ධ වී සිටිති.

සමහර සිවිල් සමාජ සංවිධාන සහ ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් වසර 10ක ණය ගෙවීම් අත්හිටුවීමේ සහන කාලයක් සහ අවසානයේදී කොල්ලකාරි පොලී අනුපාත අයකරන (ඇමෙරිකන් බ්ලැක් රොක් සහ එහි දකුණු ආසියාතික හවුල්කරුවන අදානි වැනි) පුද්ගලික යුරෝ බැඳුම්කර  අලෙවිකරුවන්ගෙන් ණය  ලබාගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටිති.
නමුත් දේශපාලනඥයන් විසින් “ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මැතිවරණ පැවැත්වීමේ” හෝ “අයහපත යහපත බවට පත්කිරීමේ” නාමයෙන් යුරෝ බැඳුම්කර ‌අලෙවිකරුවන්ගෙන් ණය  ලබාගැනීමට ගිවිසුම් ඇතිකරගනු ඇත්ද යන්න අවධානය යොමුව තිබේ.

වෙනත් වචනවලින් කිවහොත් බැඳුම්කර වංචා ගණනාවකට හවුල්ව සිටින බංකොළොත් රනිල් වික්‍රමසිංහ පාලනය විසින් විපක්ෂයද සිය මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් සපයාගැනීම සඳහා 2021 දී රට බංකොළොත් බවට පත්කළ යුරෝ බැඳුම්කර වෙ‌ළෙන්දන්ගෙන්ම ණය ලබාගැනීමට යොමු කරනු ඇත්ද? එවැනි උත්සාහයක් විසින් විවිධ දේශපාලන පක්ෂ කෑදර ලෙස බලය ලබාගැනීමට බලු පොරයක නිරතවී සිටින තත්ත්වයක් තුළ එවැනි බහුපාර්ශ්වික හෝ ද්විපාර්ශ්වික මූල්‍ය දූෂණ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය විනාශය කරා ගෙන නොයනු ඇතැයි සිතිය හැකිද?

මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ නාමයෙන් මැතිවරණ පැවැත්වීමට හැකිවීම යන ප්‍රතිඵලය විසින් ඒ සඳහා කොල්ලකාරි වාණිජ ණය ලබාදෙන්නන්ගෙන් ණය ලබාගනිමින් ජනතාව මත තවත් ණය කන්දක් පැටවීමේ සහ එමගින් තවත් වරක් රට බංකොළොත් බවට පත්කිරීමේ මාවත යුක්ති සහගත කරනු ඇත්ද? රූකඩ සංදර්ශනයක් බවට පත්ව ඇති පාර්ලිමේන්තුවාදය වෙනුවෙන් ජනතාව එවැනි කැපවීමක් කළ යුතුව තිබේද? එවැනි ප්‍රතිඵලයක් තුළ වංචා කෙරෙන මුදල් සම්භාරයන් කොටසක් පැනමා පත්‍රිකා(Panama Papers) මගින් හෙළිදරවු කරන ලද විදේශිය බැංකු කරා යොමු කිරීම යුක්ති සහගත සහ නීත්‍යානුකූල බවට පත් කිරීම සිදු නොවනු ඇත්ද?

ජාත්‍යන්තර මූදලේ කොල්ලකාරි උපදේශකයන්ගේත් සහ ආර්ථික ඝාතකයන් ගේත් අනුකම්පා විරහිත හෙට්ටුකිරීම් කුප්‍රසිද්ධ කරුණකි.

මේ සංදර්භය යටතේ ශ්‍රී ලංකා රජය විසින් පුද්ගලික මූල්‍ය සමාගම්වලින් ගනු ලබන ණය සඳහා වසර 10ක ණය සහන කාලයක් ලබාදීම කළයුතුව ඇතැයි යනුවෙන් සිවිල් සමාජ සංවිධාන විසින් දැඩි ලෙස අවධාරණය කළ යුතුව තිබේ.

බැඳුම්කර වංචා මගින් වාසි ලබන්නෝ කවරහුද?

2021 දී ශ්‍රී ලංකාව පළමුවරට තමන්ට ස්වෛරී විදේශීය ණය ගෙවාගත නොහැකි බවට එනම් තමන් ආර්ථික වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අසීමාන්තික හා අසාධාරණ ලෙස වරප්‍රසාදිත ඇමෙරිකානු ඩොලරයට එරෙහිව රුපියලේ වටිනාකම ශීඝ්‍රයෙන් පහත වැටිණි. මේ හේතුවෙන් වැඩකරන පන්තියේ ජනතාවන් දැඩි දරිද්‍රතාවයකට ඇද හෙළන ලදි. නමුත් ඒ මගින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යටත්විජිතවාදි පැරිස් කණ්ඩායම විසින් නියෝජනය කරනු ලබන ජාත්‍යන්තර ණය හිමියන්ට, යුරෝ බැඳුම්කර අලෙවිකරුවන්ට සහ ඒ හා සම්බන්ධිත මූල්‍ය ජාලයන්ට ” ණය ප්‍රතිව්‍යුහගතකරණයේ” නාමයෙන් මිනීමරු පොලී අනුපාත මගින් අධික ලාභ ලැබීමටත්, අවසාන වශයෙන් ජනතාවගේ ආර්ථික ස්වාධිපත්‍යය සහ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ස්වාධීනත්වය උදුරාගැනීමටත් ඉඩකඩ විවර විය.

2015 මහ බැංකු බැඳුම්කර වංචාවේ චුදිතයෝ රවි කරුණානායක, හර්ෂද සිල්වා, අර්ජුන් මහේන්ද්‍රන් සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

2021 වසරේදී බංකොලොත්බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ණය ධාරිතාව සහ ප්‍රමාණය ගැන සාකච්ඡා වට විශාල ගණනාවක් පවත්වා ඇති අතර ණය පිළිබඳ ඉලක්කම් සෙල්ලමද අතොරක් නැතිව සිදුවිය. ඒ අතර ණය ගෙවීමට මුදල් සපයාගැනීමට විකුණන ලෙස බලකෙරී ඇති දේපොළවල වෙළඳපොළ වටිනාකම් පහත දැමීම (“haircuts” ) මගින් “ණය හිමියන් අතර සමානත්වය පිළිබඳ ගිවිසුම”(parity of treatment for creditors) යටතේ විවිධ ණය හිමියන්ට විශාල වාසි ලබාගැනීමට ඉඩ සලසනු ලැබිණි. නමුත් ජනතාවට ලැබුණ සහනය අල්ප විය.

මෙම සිදුවීම් දෙස ආපසු හැරී බැලීම තුළ ලැබෙන දැනුම සහ අවබෝධය මෙන්ම ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධනය පිළිබඳ විශේෂඥයන් 183 දෙනෙකු විසින් 2022 ජනවාරියේදී නිකුත් කරන ලද ප්‍රකාශනය අනුවද දැන් පැහැදිලිව දැකගත හැකි දෙය නම් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් වාණිජ ණය ලබාදෙන පුද්ගලික සමාගම් විසින් ශ්‍රී ලංකාව තුළ සහ ඩයස්පෝරා දේශපාලන සහ ව්‍යපාරික ප්‍රභූ ජාලය සමග හවුලේ කටයුතු කරමින් සිදු කරන ලද මූල්‍ය වංචාවන් සහ දූෂණ 2021 බංකොළොත් බවට පත්වීමට බලපාන ලද ප්‍රධාන හේතුව වූ බවය. එමෙන්ම එම ප්‍රකාශිත බංකොළොත් බව හරහා විශාල ප්‍රතිලාභ ඉපැයීමට ඔවුහු කටයුතු කර තිබේ.

අවසාන වශයෙන් බංකොළොත්බවට හේතුවූයේ එයට පෙර ආසන්න වසර කීපයක් තුළදී පුද්ගලික මූල්‍ය වෙළඳපොලෙන් සහ බැඳුම්කර අලෙවි කරුවන්ගෙන් විශාල වශයෙන් ණය ලබාගැනීම බව පැහැදිලිය. විශාලතම ණය හිමියා වන්නේ බ්ලැක්රොක් සමාගම වන අතර නෝර්වේ හි ” සවරින් වෙල්ත් ෆන්ඩ්” (Sovereign Wealth Fund )දෙවන ස්ථානය ගනී.
“නිදහස” ලැබීමෙන් ගතවූ 75 වසරක කාලය තුළ ශ්‍රිලංකාව සිය සංවර්ධන කටයුතු සඳහා ගන්නා ණය ආපසු ගෙවීමට සමත්වූයේ එම ණය ලබාගෙන තිබුණේ ද්විපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික ණය ලබාදෙන්නන් වෙතින් සහනශීලී නැවත ගෙවීමේ පදනමක් මත ගත්  වූ නිසාය.

නමුත් 2019 දී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නම් කිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවට සිය ආර්ථික අර්බුදයේදී ණය ලබාගැනීමට සිදුවූයේ ඉහළ පොලී අනුපාතයක් යටතේ පුද්ගලික යුරෝ බැඳුම්කර වෙළඳපොළ වෙතිනි. එමගින් ඒ වනවිටත් ණය බරින් පීඩිතව සිටි රට මධ්‍යම ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය මගින් අටවන ලද ණය උගුල තුළ තවදුරටත් සිරවීම සිදුවිය.

මේ මොහොත තුළ පැන නැගෙන ඩොලර් මිලියනයක් වටිනා ප්‍රශ්නය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය සඳහා සිදුකරනු ලබන මැදිහත්වීම් විසින් ශ්‍රී ලංකාවට එහි බැඳුම්කර වංචාවන් පිළිබඳ ඉතිහාසය නොසළකා හරිමින් සිය මැතිවරණ පැවැත්වීම සඳහා කොල්ලකාරි පුද්ගලික ණය වෙළපොළෙන් ණය ලබාගැනීමට බලකෙරෙමින් පවතීද යන්නයි. එසේනම් එම ණය ගැනීමට සිදුවන්නේ හරිත සහ පින්ක් ශෝධනයට ලක්කරන ලද පාරිසරික, සමාජීය සහ යහපාලන බැඳුම්කර (Environmental, Social and Governance -ESG-Bonds)මගින්ද? එමෙන්ම දුප්පත්කම පිටුදැකීමේ “අස්වැසුම” ගෙවීම් සඳහා අරමුදල් සැපයීමට කියමින් ද එම බැඳුම්කර මගින් ණය ලබාගැනීම හේතුවෙන් රට දිගින් දිගටම ණය මත යැපෙන තත්ත්වයක් මතු නොවන්නේද?

කෘත්‍රිම බුද්ධිය භාවිතයට පැමිණ ඇති මෙම වකවානුවේ ණය පිළිබඳ දත්ත විකෘති කිරීම ඉතා පහසු ක්‍රීඩාවක් බවට පත්ව ඇති බව පෙනී යයි. එමෙන්ම එම විකෘති දත්ත මත පදනම්ව ගොඩ නගන ලද ප්‍රබන්ධ, අරාබි වසන්තය මාදිලියේ ව්‍යාකූල “අරගල” උපාය මාර්ගය, උද්ඝෝෂණ සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය; බංකොළොත් බව ප්‍රකාශයට පත්කිරීම, ආදිය ගෝලීය මූල්‍ය හා වත්කම් අරමුදල් මෙහෙයවන ප්‍රභුවරුන් දියත් කරන ලද ” හයිබ්‍රිඩ් ආර්ථික යුද මාදිලියක්” බව දැන් වඩාත් පැහැදිලි වෙමින් පවතී. බ්ලැක්රොක් වැනි මූල්‍ය සහ වත්කම් කළමණාකරණ සමාගම් ක්‍රමානුගත ලෙස ගෝලීය දකුණේ රටවල් කොල්ලකමින් ඒවා දිළිඳු බවට පත් කරමින් සිටිති. රටවල් බංකොළොත් කිරීම හයිබ්‍රිඩ් ආර්ථික යුද මාදිලියක් ලෙස භාවිතා කිරීම බොහෝ කලෙක එක්සත් ජනපදය විසින් සිය අරමුණු ඉටුකරගැනීමෙහි ලා යොදා ගනු ලැබ තිබේ. 1973 දී චිලියේ සැල්වදෝර් ඇලන්ඩේගේ සමාජවාදි රජය පෙරළා දමනු සඳහා එවකට එක්සත් ජනාධිපති රිචර්ඩ් නික්සන් සී.අයි.ඒ සංවිධානය වෙත ලබා දුන් කුප්‍රකට උපදේශය වූයේ ” ආර්ථිකයට විලාප නැගීමට සලස්වනු!” යන්නය.

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.

සටහන්

හෙයාකට් (Hair Cut)

මූල්‍ය කටයුතුවලදී හෙයාකට් එකක් නැතහොත් කොණ්ඩය කැපීමක් ලෙස හඳුන්වන්නේ යම් වත්කමක පවත්නා වෙළෙඳ පොළ වටිනාකම සහ නියාමක වත්කම් හෝ ණය අවදානම ගණනය කිරීමේ අවශ්‍යතාව මත එම වත්කම වෙත ආරෝපනය කරනු ලබන වටිනාකම් අතර වෙනසයි. මෙහිදී හෙයාකට් එකක ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ යම් කිසි වත්කමක් සඳහා හදිසි විකිණීමක් හෝ ඈවර කිරීමක් සිදුවන විට වටිනාකම පහළ වැටීමට ඉඩ ඇති ප්‍රමාණය අනුවය. වත්කමක මිලෙහි අවදානම හෝ වාෂ්පශීලතාව විශාලවන තරමට හෙයාකට් එකද විශාල වේ

මූලාශ්‍ර

[i] Opening Remarks by Peter Breuer, Senior Mission Chief for Sri Lanka at the Press Briefing on Sri Lanka

[ii] Statement by academics on dealing with Sri Lankan debt, January 2023