ප්‍රංශ වසන්තය මැද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම: රනිල් පැරිසියේ බාල් නටද්දි මාක්‍රොන් BRICS ආර්ථික හවුලේ පිහිට පතයි.- ධරිණි රාජසිංහම් සේනානායක

ධරිණි රාජසිංහම් සේනානායක

පසුගිය ජූනි මාසය භූ දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රවල වැදගත් විපර්යාසයන් සිදුවීමට හේතු වූ වර්ධනයන්ගෙන් ගහණ අපූර්ව එකක් වූ අතර එයින් වැදගත්ම සිදුවීම ලෙස සැලකිය හැක්කේ  රුසියාවේ සිදු වූ රාජ්‍ය විරෝධී ‘කුමන්ත්‍රණයයි’. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග භෝජන සංග්‍රහයක සහභාගිවීමද සිදු වූයේ මේ මාසයේදීමය.( මෙයට කලෙකට පෙර මෝදි වෙත එක්සත් ජනපදයට ඇතුළුවීම සඳහා වීසා නිකුත් කිරීම එක්සත් ජනපද බලධාරින් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.) මේ අතර ප්‍රංශ ජනාධිපති මාක්‍රෝන් තමන්ට මේ වසරේ අගෝස්තුවේදී පැවැත්වීමට නියමිත BRICS ආර්ථික හවුලේ සමුුළුවට නීරීක්ෂකයෙකු ලෙස සහභාගිවීමට ආරාධනා පත්‍රයක් එවන ලෙස එම සමුළුවේ සත්කාරක රට වන දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රම්‍ෆෝසා වෙත ආයාචනා කළේය. කෙසේ වුවද BRICS ආර්ථික හවුලේ ආරම්භක සහ ප්‍රධාන රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ‘නැගී එන ආර්ථිකයන් සහිත රටවල් ’ වන අතර උත්ප්‍රාසාත්මක ලෙස වර්තමානයේදී ප්‍රංශය අයත්වන්නේ ‘නැගී එන ආර්ථිකයන් සහිත රටවල්’ ගණයට නොව යුරෝපා සංගමයට අයත් සෙසු සියලුම රටවල් මෙන්ම ‘ කඩා වැටෙමින් පවතින ආර්ථිකයන්’ සහිත රටවල් ගණයටය.

සමහර විට මාක්‍රොන් තුළ BRICS හවුල පිළිබඳව මෑතකදී හටගත් උනන්දුවට හේතුව ඉන්දියාවේ විදේශ ඇමැති ජායිශංකර් විසින් ‘ලෝකයේ දැවෙන ප්‍රශ්න යුරෝපයේ ප්‍රශ්න ලෙස නොසලකන අතරම යුරෝපයේ ප්‍රශ්න සමස්ත ලෝකයම විසින් තමන්ගේ ප්‍රශ්න ලෙස සැළකිය යුතුව ඇති බවට යුරෝපය තුළ ඇති මානසිකත්වයෙන් යුරෝපය මිදිය යුතුව ඇත ’ යනුවෙන් කරන ලද ප්‍රකාශය වන්නට ඇත. බටහිර රටවල රුසියන් විරෝධී සම්බාධක නොතකා ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම ගැන බටහිර රටවල් විසින් නොකඩවා දෙනු ලබන අවවාද ඉන්දිය විදේශ ඇමැතිවරයාට තිත්ත වී ඇති බවක් පෙනෙන්නට තිබිණි.

ජනාධිපති බයිඩන් ඉන්දියානු ආරක්ෂක කටයුතු නවීකරණය සඳහා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තාක්ෂණය ඉන්දියාවට ලබාදීමට ප්‍රතිඥා දෙන අතර එක්සත් ජනපදය සමග සහයෝගිතාව සහ තරඟකාරිත්වය පිළිබඳ සංකීර්ණ ආලිංගන රංගනයක පදපාතයේ නිමග්න ප්‍රංශ ජනාධිපති මාක්‍රොන් ගෝලීය දකුණ වෙත ඉඟි මැරීමත් අතිශයින් කුතුහලය දනවන සුළුය.

මේ අතර ණය උගුලේ සිරවුණ ශ්‍රී ලංකාවේ “ මිලිටරි සරණ” ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූනි මාසයේදී පැවැත්වුණ ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව’ ට සහභාගි වෙමින් (Summit for a New Global Financing Pact) මාක්‍රෝන්ගේ යටත්විජිතවාදි පැරිස් කණ්ඩායම (Club de Paris) සමග ටැංගෝ නැටුමක නිරතවිය.
මෙම සමුළුව වූකලී හුදෙක් ‘දේශගුණික ප්‍රත්‍යාස්ථතාව’ පිළිබඳ නව ලේබලයක් අලවමින් ‘හරිත ශෝධනයකට ලක් කරන ලද’ අලුත් බෝතලයක පුරවා ඇති පරණ වයින් ම බව පෙනී යයි.

බැඳුම්කර මගඩි සහ මූල්‍ය දූෂණ පිළිබඳ තේමාවන් පසෙක ලෑම

වර්තමාන ලෝකයේ පවත්නා අසමානතාව සහ දුප්පත්කම පිළිබඳ වසංගතයෙන් මිදීමේ මග ‘වොෂින්ටන් දෙබෑයන්’ ලෙස සැලකෙන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙන්ම ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානයට(OECD) අයත් පැරිස් කණ්ඩායම විසින්ද මෙහෙයවන වර්තමාන ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහයන් නොවන බව දැනට දශක ගණනාවකට පෙර සිටම පැහැදිලි වෙමින් පවතින දෙයකි.

කෙසේ වුවද මාක්‍රෝන්ගේ මෙම ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව’(Global Financial Pact) විසින් පවත්නා ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ පවත්නා ප්‍රධානතම ගැටළුව වන සංස්ථාපිත දූෂණය පිළිබඳ තේමාවන් පසෙකට වීසිකර ඒ වෙත අවධානය යොමුකිරීම වළක්වනු සඳහා ‘දේශගුණික ව්‍යසනයන්’ පිළිබඳ ආඛ්‍යානය පෙරට ගෙන තිබිණි. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් මූල්‍ය වංචාවන්හි නිරත බලගතු සංවිධාන ජාලයන් පිළිබඳව හෝ අභිරහස් විදේශ බැංකු ගිණුම් පිළිබඳව හෝ බැඳුම්කර වංචාවන් හෝ ශ්‍රි ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා අගමැතිව සිටි සමයේ ඔහුටද චෝදනා එල්ල වූ 2015 මහ බැංකුවේ බැඳුම්කර වංචාවන් පිළිබඳ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු මරා දැමීම වැනි බැඳුම්කර වංචා සම්බන්ධ අපරාධ හෝ ගැන කිසිදු සඳහනක් නොවීය. හිස් වාචාල දේශනවලින් සමන් විත මාක්‍රොන්ගේ මේ ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව’ වූකලී හරිත බැඳුම්කර(Green bonds ) සහ නීල බැඳුම්කර (Blue bonds) පිළිබඳ ප්‍රචාරයක් සහ පිළිගැනීමක් ලබාදෙමින් ඒවා‘ග්‍රහලෝකය ආරක්ෂා කරගැනීමේ නව පෙරමුණක් ’ලෙස හුවාදැක්වීමේ අරමුණින් පවත්වන ලද්දකැයි පෙනී යයි.

දිනේෂ් ෂාෆ්ටර්

දිනේෂ් ෂාෆ්ටර් ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති ලෙස කටයුතු කලේය. ලංකාවේ පළමු පෙළේ ව්‍යාපාරිකයෙකු වූ චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත්‍රයාය. 2022 දෙසැම්බර් මස 15 වැනි දින ඔහුගේ මෝටර් රිය තුළ ඔහුගේ මළ සිරුර හමු විය. ඔහු සිය රථයේ පණ ගන්වා එහි දුම්බටයෙන් නිකුත්වන දුමාරය රිය තුලට පැමිණීමට සලස්වාගෙන සිදු කරගත් සිය දිවි නසාගැනීමකින් මරණය පත්වී ඇතැයි පොලිසිය විසින් ආරම්භයේදී වාර්තා කළ ද ඥාතින් විසින් එය ප්‍රතික්ෂ්ප කරමින් ඔහුට සිය දිවි නසාගැනීමට හේතුවක් නොතිබිණි යැයි පවසමින් වැඩි දුර පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබිණි. එම වැඩි දුරපරීක්ෂණ වලදී හෙළිදරවු වූයේ ඔහු මරණයට පත්වී ඇත්තේ සයනයිඩ් ශරීර ගතවීමෙන් බවය. 2015 රනිල්වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පැවැති නඩුවේ දී දිනේෂ් ෂාෆ්ටර් ඉතා වැදගත් සාක්ෂිකරුවෙකු විය. ඔහුගේ මරණය එම වංචාවට සම්බන්ධ බලගතු පාර්ශ්වයන් හෙළිදරවුවීම වැළැක්වීම පිණිස සිදු කරන ලද්දැකැයි සැලකේ.

පැරිස් කණ්ඩායම විසින් නියෝජනය කරනු ලබන්නේ ශ්‍රි ලංකාව සිය ණය උගුලේ සිරකරගැනීමට කටයුතු කළ මිනීමාංශ භක්ෂක බ්ලැක්රොක් වැනි පුද්ගලික මූල්‍ය සමාගම් මෙන්ම ඒවායේ ව්‍යුත්පන්නයන් වන මූඩිස් (Moody’s)/ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard & Poor’s) සහ ෆිච් (Fitch) වැනි ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මෙහෙයවන ජාතික සහ ගෝලීය දූෂිත ජාවාරම්කාර ජාලයන්, ගිණුම් සමාගම්,ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් වැනි නීති සමාගම්, මැකින්සි වැනි උපදේශක සමාගම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැමැති මංකොල්ලකාරි ජාවාරම්කාරි ආයතනයේ හෝ ඇම්ස්ටර්ඩෑම්හි ට්‍රාන්ස් නැෂනල් ආයතනය විසින් හඳුන්වන ලද පරිදි ‘ඇප ලබාදීමේ බිස්නස් වල ’ කොටසක් වන විවිධ නව ලිබරල්වාදි චින්තන පර්ෂදයන් වේ.

අවදානම් සහගත තත්ත්වයක පසුවන රටවල් ණය උගුලට හසුකරවා ගැනීමේ පිණිස දියත් කෙරෙන මෙම ජාවාරම්කාර ක්‍රීඩාවේදී විවිධ ප්‍රෝඩාකාරි ආඛ්‍යානයන් ගොඩ නගමින් ආර්ථික වශයෙන් අවදානම් සහගත තත්ත්වයක පසුවන රටවලට ගෙවාගත නොහැකි තරම් ණය ගැනීමට සිදුවන තත්ත්වයන් නිර්මාණය කෙරේ. අනතුරුව ණය පිළිබඳ දත්ත විකෘති කරමින් සහ නෙටෝවේ මිලිටරි බලයද ඇතුළු විවිධ බලහත්කාරි යාන්ත්‍රණයන් යොදාගනිමින් එම රටවල දුර්වල සහ අවදානම් තත්ත්වයේ පවතින මුදල් ඒකකවලට එරෙහිව අධික ලෙස මුද්‍රණය කරනු ලබන සහ වරප්‍රසාදිත එක්සත් ජනපද ඩොලරය යොදාගනිමින් එම රටවල වත්කම් උරාබීම සිදු කෙරේ.මිනිස් වර්ගයාගෙන් සියයට එකකටත් අඩු ප්‍රතිශතයක් වන අධිරාජ්‍යවාදි ප්‍රභූ පෙළැන්තිය විසින් මානව ඉතිහාසයේ විශාලතම වත්කම් කොල්ලය සිදු කරමින් සිටින්නේ එලෙසය.

2023 මැයි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවේ දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම(Domestic debt restructuring-DDR) සඳහා සිදුකරන ලද ගුප්ත මැදිහත්වීම්වලින් පසුව බංකොළොත් යැයි ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දැඩි ඉහළ යාම ආරම්භ විය. මෙම දත්ත විකෘති කිරීමේ ක්‍රීඩාව මගින් ශ්‍රී ලංකාවේ ණය උද්ධමනය සක්‍රිය කරන ලදි.

ප්‍රංශ වසන්තය ශ්‍රී ලංකාවට: ශ්‍රි ලංකාව ආර්ජන්ටිනාවක් වීම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජනපද සහකාර භාණ්ඩාගාරික ජැනට් යෙලන් සමග පැරිස් සමුළුවේදී

මේ අතර ජූනි මාසයේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ තණ පිටිය මත ‘French Spring’ නම් වූ මෘදු ප්‍රංශ සංස්කෘතික ආක්‍රමණයක් දේශීය ට්විටර් අනුගාමිකයන් සඳහා දිගහැරිණ. එහිදි එඩිත් පියාෆ්ගේ ‘ඔහු මා ඔහුගේ දෑතට ගත් විට’ (quand il me prend dans ses bras) නම් සම්භාව්‍ය ගීතය ගැයෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිය දෑතට ගැනීම සඳහා රහසේම සිය මෙහෙයුම් දියත් කර තිබුණේ සැබැවින්ම ශ්‍රි ලංකාවේ ‘බංකොළොත් ’බවට හේතු වූයේ අති විශාල විදේශ විදේශ ණය ප්‍රමාණය යන්න වසං හරිමිනි. බාහිර සහ අභ්‍යන්තර ණය සංඛ්‍යාවන් අතිශයෝක්තියෙන් දක්වා ශ්‍රි ලංකාවේ ණය උගුල් ආඛ්‍යානය ගැඹුරු කිරීමට හේතුවුණු අනෙකුත් සාධක අතර මෙයද පවතී. යටත්විජිතවාදි කොල්ලකාරි ණයහිමි කල්ලියේ විශ්වාසය දිනාගැනීම සඳහා ශ්‍රී ලංකාවට තම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අත්‍යවශ්‍යයෙන්ම සිදුවීම උත්ප්‍රාසාත්මක දෙයක් විය.

පැරිස් දේශගුණික විපර්යාස සමුළුව පැවැත්වෙන අතරම ප්‍රංශ ධීවර නැව් සිය මසුන් මැරීමේ කටයුතු ඉන්දීය සාගරයේ මධ්‍යය දක්වා ව්‍යාප්ත කිරීම මගින් වඩවඩාත් පැහැදිලි වෙමින් පවතින්නේ තවත් පශ්චාත් යටත්විජිතයක් ගෝලීය අධිරාජ්‍යවාදි ජාලයක මූල්‍ය දූෂණ තුළ සහ ණය බර තුළ ගිලී යමින් පවතින බවය. මෙය සිදුවෙමින් පවතින්නේ මොසැම්බික් දේශයේ ටූනා මත්ස්‍ය සම්පත් කොල්ලකෑම සඳහා ක්‍රෙඩිට් ස්විස් බැංකුව දියත් කළ මගඩිය හෙළිදරවු වෙමින් පවතිද්දි මෙන්ම ණය උගුල තුළ සිරකරන ලද ශ්‍රි ලංකාවේ සාමාන්‍ය ජනතාවට තවදුරටත් මාළු කෑමට නොහැකි තරම් ඒවායේ මිල ගණන් අධික ලෙස ඉහළ යන තත්ත්වයක් තුළය.

ප්‍රංශ ජනාධිපති මාක්‍රෝන් BRICS රටවල් සමග එක්වීමට සිය කැමැත්ත පළ කර ඇත්තේ අප්‍රිකානු රාජ්‍යයන් වන බුර්කිනා ෆාසෝ සහ මාලි රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම පිළිබඳ චෝදනා ලබමින් පසුබැසීමට සිදුවන තත්ත්වයක් උද්ගත වීම නිසාද?
ප්‍රංශ ජනාධිපතිවරයා තමන්ට මෙම අගෝස්තුවේදී පැවැත්වීමට නියමිත BRICS සමුළුවට සහභාගිවීම සඳහා ආරාධනාවක් කරන ලෙස එම සමුළුවේ 2023 සත්කාරක රට වන දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිවිට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්ෆෝසා විසින් තමන් එම ඉල්ලීම පිළිබඳව පසුව සලකා බලන බවට දුන් පිළිතුර පුදුමයට කරුණක් නොවේ.

කෙසේ වුවද ප්‍රංශ ජනාධිපති මාක්‍රොන් රටවල් වෙත යොමුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහ විසින් දකින්නට ඇති බව පැහැදිලිය. නමුත් ඔහු තවමත් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ පැතීම හැර අන් විකල්පයක් නොමැත’ යන මිථ්‍යාවයි. ඔහු ගිනීපොලියට ණය දෙන යටත්විජිතවාදින්ගෙන් තවදුරටත් ණය ගනිමින් ශ්‍රි ලංකාව තවදුරටත් දිගුකාලීන ණය උගුලක වඩාත් දැඩි ලෙස සිරකරවීමට කටයුතු කිරීම මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට පූර්ණ වශයෙන්ම යටත් විය.
.
කොල්ලකාරි යුරෝබොන්ඩ් පුද්ගලික ණය දෙන සමාගම්වලින් ණය ලබාගැනීම තහනම් කෙරෙන නීති පනවන ලෙසත්, ගෝලීය දකුණේ රටවලින් සහ ආයතනවලින් පමණක් ද්විපාර්ශ්වික ණය ලබාගන්නා ලෙසත්,BRICS රටවල් විසින් පිහිටුවන ලද නව සංවර්ධන බැංකුවෙන් (New Development- NDB)ණය ලබාගැනීමට යොමු වෙමින් ආජන්ටිනාව පත්ව ඇති ඉරණමට ගොදුරු වීමෙන් වළකින ලෙසත් සිවිල් සමාජය විසින් කරන නොකඩවා ලද ඉල්ලීම් 2015 දී රටේ ඉහළම මූල්‍ය ආයතනය වන මහ බැංකුවේ විශ්වාසය සහ ගෞරවය විනාශ කරන ලද මහ බැංකු බැඳුම්කර වංචාවට හවුල්වීම හේතුවෙන් ‘බැඳුම්කර හොරා’ යන විරුදාවලියෙන් පුද ලද වර්තමාන ජනාධිපතිවරයා විසින් මුළුමණින්ම නොතකා හැර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් සහ සහාය ලබාගනිමින් කටයුතු කළ ආර්ජන්ටිනාව කොල්ලකාරි යුරෝබැඳුම්කර හෙජ් අරමුදල්වලින් දිගින් දිගටම ණය ගැනීමට කටයුතු කරන ලදි.

ස්වාභාවික සම්පත්වලින් අනූන ධනවත් රටක් වූ ආර්ජන්ටිනාව දැන් 9 වෙනි වතාවටද තමන් ණය ගෙවාගත නොහැකි ලෙස බංකොළොත් වී ඇතැයි ප්‍රකාශයට පත් කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට 22 වරක් යටත් වෙමින් ලබාගත් ණය සඳහා ඇප ලබා ගත්තේය. එහෙයින් ආර්ජන්ටිනාව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් කණ්ඩායම නම් යටත්විජිතවාදි කල්ලියෙන් ණය ලබාගැනීම වෙනුවට වෙනත් විකල්ප සොයා යමින් BRICS රටවල් විසින් පිහිටුවා ඇති නව සංවර්ධන බැංකුවට (NDB)සම්බන්ධ වීම සඳහා ඉල්ලුම් කර තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හෝ, ව්‍යාපාරික ප්‍රජාව හෝ එයට සම්බන්ධිත චින්තන පර්ෂද හෝ, කෝපරේට් මාධ්‍ය හෝ ජනමාධ්‍යවේදින් හෝ බැඳුම්කර අලෙවිකරුවන් හෝ BRICS රටවල් පිළිබඳව සහ නව සංවර්ධන බැංකුව පිළිබඳව හෝ අඩුතරමින් ‘ගෝලීය දකුණක්’ පිළිබඳව හෝ අසා ඇති බවක් නොපෙනෙයි.

දෙවියන්ගේ සන්ධ්‍යාව: න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ රුසියාව තුළ ආණ්ඩු පෙරළීමේ මෙහෙයුම්

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට සහ හමුදා ප්‍රධානින්ට එරෙහිව කුමන්ත්‍රණකාරි කැරැල්ලක් ගැසූ බව පැවසෙන වාග්නර් නම් රුසියානු පුද්ගලික ආරක්ෂක සමාගමේ නායක යෙව්ගිනි ප්‍රිගෝෂින් සිය මොස්කව් ගමන අතරමගදී රොස්ටොව් නගරයේ රුසියානු හමුදා ප්‍රධානින් සමග සාකච්ඡාවක නිරත වෙමින්

මේ අතර රුසියානු දේශපාලන රඟ මඬල මත තවත් අපූර්ව දේ සිදුවෙමින් පැවතිණි. ‘ධනයෙන් සහ බලයෙන් අනූන’ යුක්රේන ජනාධිපති තැන්පත් සෙලෙන්ස්කි විසින් ජූනිමාසයේදී ප්‍රකාශකර සිටියේ රුසියානු පුද්ගලික මිලිටරි හමුදාවක් වන වාග්නර් කණ්ඩායමේ නායක යෙව්ගිනි ප්‍රිගෝෂින් විසින් මොස්කව් කරා සිය හමුදාකණ්ඩායම් යොමුකරමින් ආරම්භකරන ලද මිලිටරි පෙළපාලිය වූකලී නෙටෝවේ සහාය ලබමින් රුසියානු ජනාධිපති පුටින්ගේ රජයට එරෙහිව දියත් කරන්නට නියමිතව ඇති සහ සියල්ලන් පුල පුලා බලා සිටි ප්‍රතිප්‍රහාරයේ ආරම්භය බවයි. නමුත් මෙම ප්‍රවෘත්තිය සහ රූපරාමු පැය 24ක් තුළ අතුරුදන් වූයේ ‘පුටින්ට එරෙහි කුමන්ත්‍රණය’ පිලිබඳ කතාන්දරය ද සමගය. ඒත් සමගම ගෝලීය කෝපරේට් මාධ්‍ය විසින් පුටින්ගේ අවසානය සහ රුසියාවේ බිඳී විසිරීයාම පිළිබඳව මහත් අභිරුචියෙන් යුතුව කරන ලද අනුමානවලින් සමන්විත පණ්ඩිතමානි විශ්ලේෂණයන්ගේ අතුරුදන්වීම ද සිදු විය.

බෙලාරුසියානු ජනාධිපති ලුකෂෙන්කෝ සහ රුසියානු ජනාධිපති පුටින්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බලයෙන් පහකිරීම සඳහා දියත් කර ඇතැයි පැවසුන මෙම කුතුහලය දනවන ‘කුමන්ත්‍රණ’ ක්‍රීඩාව පෙනී යන පරිදි දැන් පුටින්ගේ සගයෙකු වූ බෙලාරුසියන් ජනාධිපති ලුකෂේන්කෝ විසින් ‘චෙක්මේට්’ කර අවසන් කර තිබේ. හදිසියේ කොහේදෝ සිට මතු වූ බෙලාරුසියන් ජනාධිපතිවරයා වාග්නර් නායකයා ගෙන් ඉල්ලා සිටියේ මොස්කව් ගමන නතර කර බෙලාරුසියාවට පැමිණෙන ලෙසය. ප්‍රිගෝෂින් එයට එකඟ වූ අතර ‘පුටින් විරෝධී කුමන්ත්‍රණය’ එතැනින් නිමා වූ බව පැහැදිලි විය. සමහර අන්ත පුටින් විරෝධී බටහිර රාජ්‍ය නායකයන්ද ඇතුළුව සෙසු ලෝකය සැනසුම් සුසුම් හෙළන ලද්දේ රුසියානු න්‍යෂ්ටික අවි වර්තමාන ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ ඉවසිලිමත් සහ පළපුරුදු නායකත්වය යටතේම තවදුරටත් පවතින බව තහවුරු වූ හෙයිනි.

මේ සියල්ලෙන් අනතුරුව වාග්නර් පුද්ගලික හමුදාවේ නායක ප්‍රිගෝෂින් දිස්වූයේ ශෝකාන්ත වීරකාව්‍යයක කවටයෙකු ලෙසය. පසුව වාග්නර් නමින් හඳුන්වන ලද මෙම පුද්ගලික හමුදාව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ගොඩ නගන ලද්දේ 2014 දී යුක්රේනයේ රුසියානු හිතවාදි යනුකොවිච් රජය බටහිර ආධාර ලැබූ නවනාසිවාදි කණ්ඩායම් විසින් පෙරළා දමන ලද අවස්ථාවේදීය. ඒ යුක්රේනයේ බලය අල්ලාගත් මෙම රුසියන් විරෝධී කණ්ඩායම් විසින් නැගෙනහිර යුක්රේනයේ වාර්ගික රුසියන් ජනකොටස් වලට එරෙහිව අනුගමනය කරන ලද සංහාරක මෙහෙයුම්වලින් ඔවුන්ව ආරක්ෂා කිරීමට ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රාන්තවල රුසියානු ජනතාව විසින් ගොඩනගන ලද මහජන මිලිෂියාවන්ට ආධාර කිරීම පිණිසය. මෙම පුද්ගලික මිලිටරි හමුදාව නෙටෝවේ සහාය ලද අයිසිස් ත්‍රස්තවාදින්ට එරෙහිව සිරියානු ජනාධිපති බෂිර් අල් අසාද්ට සහාය වීමේ මෙහෙයුම්වලට මෙන්ම අප්‍රිකාවේ එක්සත් ජනපදය සහ වෙනත් බටහිර රාජ්‍යයන් විසින් ගොඩනගන ලද ඉස්ලාමිය ත්‍රස්තවාදි කණ්ඩායම්වලට එරෙහිව සටන්වැදීම සඳහා අප්‍රිකානු රාජ්‍යයන් ගණනාවකටම සහාය වී තිබේ.

මෙම මිලිටරි කණ්ඩායම ‘වාග්නර්’ නමින් සිය සමාගම නම් කරන ලද්දේ 19 වැනි සියවසේ ජර්මනියේ විසූ සම්භාව්‍ය සංගීතවේදියෙකු, සාහිත්‍යකරුවෙකු මෙන්ම නාට්‍යකරුවෙකුද වූ රිඩ්ර්ඩ් වාග්නර්ගේ නාමය අනුව යමිනි. වාග්නර් නායක ප්‍රිගෝෂින් විසින් නායකත්වය දෙන ලදැයි වාර්තා වුණු මෙම ‘කුමන්ත්‍රණකාරි නැගිටීම’ බටහිර ජනමාධ්‍ය විසින් “දෙවියන්ගේ සන්ධ්‍යාව නැතහොත් මරණය”යන අරුත් දනවන “Götterdämmerung” යන ජර්මන් වදනින් හඳුන්වන ලදි. “Götterdämmerung” යනු රිචර්ඩ් වාග්නර් විසින් රචිත Der Ring des Nibelungen නම් කොටස් 4කින් සමන්විත ඔපෙරාවේ අවසන් කොටසයි.
ජර්මන් සංගීතවේදී වාග්නර්ගේ නමට අනුව නම්කරන ලද රුසියානු පුද්ගලික මිලිටරි හමුදාවේ නායක ප්‍රිගෝෂින්ගේ ‘කැරැල්ල’ වාග්නර්ට සම්බන්ධයක් සහිත“Götterdämmerung” නමින් හඳුන්වන්නට ඇත්තේ එය විසින් පුටින්ගේ අවසානය ළඟාකරවනු ඇතැයිද ඉන් පසුව බටහිර අධිරාජ්‍යවාදය විසින් අපේක්ෂිත ‘නව ලොවක්’ රුසියාව තුළ බිහිවනු ඇතැයිද යන විශ්වාසය නිසා වියහැකිය.

කෙසේ වුවද වාග්නර් හමුදා කණ්ඩායම විසින් අනුගමනය කළේ එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ පුද්ගලික බ්ලැක්වෝටර්ස් වැනි පුද්ගලික මිලිටරි සමාගම් විසින් අනුගමනය කරන ලද සම්ප්‍රදායයන්ම බව බටහිර මාධ්‍ය තුළ කිසිදු සඳහනක් නොවිණි. ස්කාර්හිල් (Scarhill)විසින් 2008 දී රචිත සිය “බ්ලැක්වෝටර්: ලෝකයේ බලගතුම කුලී හමුදාවේ නැගීම” (Blackwater: The Rise of the world’s most powerful mercenary army) නම් කෘතියේ සඳහන්වන්නේ එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය උරෙනුර ගැටෙමින් දියත් කළ ඉරාක සහ ඇෆ්ඝනිස්ථාන යුද්ධවලදී සිදු වූ බොහෝ අපරාධවලට බ්ලැක්වෝටර්ස් සම්බන්ධ බවයි. බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදියෙකු වූ ෆිල් මිලර් විසින් රචිත ‘කීනි මීනි: ශ්‍රි ලංකාවේ යුද අපරාධ සිදු කර නිදැල්ලේ සිටින කුලී හමුදාව ’ (Keenie Meenie, the British Mercenaries who got away with war crimes in Sri Lanka) නම් කෘතිය පදනම්ව ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් රහස්‍යගත ලේඛන ලෙස නම් කර ඇති යම් යම් මිලිටරිමය ලේඛනවල එම රහස්‍යගතබව සඳහා පනවා තිබූ කාලය ඉකුත්වීම හේතුවෙන් මහජනයා සඳහා විවෘත කිරීම හේතුවෙන් මතු වූ තොරතුරු මත පදනම්වය. ඒ මගින් ලංකාවේ වාර්ගික සහ ආගමික යුද්ධයක් ලෙස හුවා දක්වන ලද යුද්ධයේ බාහිර මැදිහත්කරුවන් පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරවු කර තිබේ.

බ්ලැක්වෝටර් පුද්ගලික මිලිටරි සමාගම එහි නම දැන් ‘ඇකඩමි’ ලෙස වෙනස් කර තිබේ. එයට බ්ලැක්රොක් වත්කම් කළමණාකරණ සමාගම සමග හෝ බ්ලැක්ස්ටෝන් හෙජ් අරමුදල සමග සම්බන්ධයක් ව්‍යුහාත්මක සම්බන්ධයක් නැත.

මේ අතර ඩිස්ටෝපියානු සුරංගනා කතාව පිටපතක එන සිදුවීමක් සිහිගන්වමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝස් සහ නේටෝ යුද යන්ත්‍රයේ සෙසු සාමාජිකයන් එක්ව ‘පුටින්ගෙන් පසු රුසියාව සහ නව ලෝක රටාවක් ගොඩනැගීම’ පිළිබඳ සීනාරියෝ සිතියම් සහ ආකෘතින් ගොඩ නැගීමේ කටයුත්තේ වෙහෙස නොබලා නිරතවෙමින් සිටියහ. ඉන්පසුව වාග්නර් ‘කුමන්ත්‍රණය’ හා බටහිර ඔත්තු සේවාවන්ගේ සම්බන්ධයක් නැතැයි ව්‍යාජ ලෙස ප්‍රතික්ෂේප කිරීමට යොමුවූහ.

සීතල යුද්ධ ප්‍රචාරක කටයුතු සහ සාවද්‍ය තොරතුරු පැතිරවීම උත්සන්න කරමින් එක්සත් ජනපද ජාතික බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ කාෂ් පටෙල් ප්‍රකාශ කර සිටියේ ප්‍රිගෝෂින් ප්‍රධාන චරිතය රඟ දක්වන ලද ‘නව වාග්නර් ඔපෙරාව’ ජනාධිපති පුටින් විසින් රචනා කර වේදිකා ගත කරන ලද්දක් බවයි.ඒ අනුව පෙනී යන්නේ ජනාධිපති පුටින් තමන්ගේම අරමුණු වේදිකාගත කර රඟදැක්වීම හැරෙන්නට වෙනත් දෙයක් සඳහා එතරම් දක්ෂයෙකු නොවන බවය.

ගින්දර සමග ක්‍රීඩා කිරීම? න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රුසියාව තුළ ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ දියත් කිරීම මගින් මානව සංහතියේ පැවැත්ම පිළිබඳ අවදානම උත්සන්න කිරීම

රුසියාව තුළ සිදුවීම් දිග හැරෙමින් පවතින අතර ලෝකයේ අවධානය යොමු වෙමින් පැවතියේ ආණ්ඩු වෙනස්කිරීමට බාහිර බලවේගයන් දරන උත්සාහයන් වෙත සහ එක්සත් ජනපදය විසින් මෙහෙයවන නෙටෝ යුද යන්ත්‍රය යුක්‍රේනයේ සීමාවට ගමන් කිරීම හේතුවෙන් මතුවිය හැකි න්‍යෂ්ටික යුද්ධයක් විසින් මතුකෙරෙන මානව සංහතියේ පැවැත්ම පිළිබඳ ගැටලුව වෙතය. මෙම කරුණු පිළිබඳ අවධානය ඊනියා දේශගුණික විපර්යාසය විසින් මානව සංහතිය වෙත එල්ලකරනු ලබනවායැයි හුවා දක්වන ව්‍යාජ තර්ජනයට වඩා බරපතල තර්ජනයක් ලෙස සැලකිය යුත්තේ රුසියානු ජනාධිපති පුටින් විසින් සිය රාජ්‍යයේ පැවැත්ම පිළිබඳව බාහිරින් එල්ලවන බරපතල තර්ජනයක් හමුවේ තමන්ට න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සිදුවන දැනටමත් අනතුරු අඟවමින් රතු ඉර ඇඳ ඇති හෙයිනි.

නූතන වාග්නර් ඔපෙරාව ක්ෂණික අවසානයක් කරා ළඟාවීම සහ රුසියාවේ න්‍යෂ්ටික අවි වල පාලනය ක්‍රෙම්ලිනය සතුවීම ලෝකයට විශාල අස්වැසිල්ලක් විය. බෙදා වෙන්කර පාලනය කිරීමේ අරමුණෙන් බාහිර බලවේග විසින් දියත් කෙරෙන ආණ්ඩු වෙනස් කිරීමේ මෙහෙයුම් සැලසුම් කෙරී ඇත්තේ රටක් තුළ අවුල්ජාලාවන් ඇවිලවීම, ප්‍රචණ්ඩත්වයේ රැලි මාලාවන් මුදාහැරීම සහ අභ්‍යන්තර ගැටුම් උත්සන්න කිරීම තුළ බාහිර බලවේගයන්ගේ ක්‍රියාකාරිත්වයන් සැඟවීම යනාදි අරමුණු ඉටුකරගත හැකිවනු පිණිසය.
ආණ්ඩු වෙනස් කිරීමේ සහ රටවල් තුළ අවුල්ජාලාවන් නිර්මාණය කිරීමේ පෙන්ටගන් සහ රාජ්‍ය දෙපාර්තුමේන්තු අත්පොත් අනුව සිදුකෙරෙන මෙහෙයුම්වලට තවත් උදාහරණයක් ලෙස මෑතකදී සුඩානයේ මතු වූ සිදුවීම් පෙන්වා දිය හැකිය. මෑතකදී චීනය විසින් මැදපෙරදිග කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම පිණිස සිදු කරන ලද තීරණාත්මක මැදිහත්වීම්වලට උදාහරණයක් ලෙස කලාපයේ දිගුකාලීන සතුරු රාජ්‍යයන් ලෙස සැලකුණ ඉරානය සහ සවුදි අරාබිය අතර ඇති වූ සාම ගිවිසුම දැක්විය හැකිය.

එක්සත් ජනපද මිලිටරි නිෂ්පාදන ව්‍යාපාරික සංකීර්ණයට සම්බන්ධ රහස් ඔත්තු සේවා ආයතන සහ විශේෂ බලකායන් විදේශීය රාජ්‍යයන්ට එරෙහිව එම රාජ්‍යයන්ට බාහිරව සිට දියත් කරන මෙහෙයුම් (ක්ෂිතිජයෙන් එහා මෙහෙයුම් /Over the Horizon-OTH) සර්ව අවකාශ ආධිපත්‍ය මෙහෙයුම් (Full Spectrum Dominance-FSD) සහ ආණ්ඩු පෙරලීමේ මෙහෙයුම් සඳහා විශේෂඥයන් වේ. බොහෝ විට එය සිදුවන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස්මුහුණට’ ආවරණය වෙමිනි. පසුගිය වසරේදී ණය උගුලේ සිරකරන ලද ශ්‍රි ලංකාවේදී සිදු වූයේ එයයි. ඉන්දීය සාගරය තුළ සීතල යුද්ධය උත්සන්න වෙමින් පවතිද්දී හයිබ්‍රිඩ් ආර්ථික යුද්ධයක් ශ්‍රී ලංකාවට එරෙහිව දියත් විය.

‘ලංකාව පළමුවරට ණයගෙවාගත නොහැකිව බංකොළොත්ව තිබේ’ යනුවෙන් තමන් විසින්ම වේදිකාගත කරන ලද නාටකය උපයෝගී කරගනිමින් වොෂින්ටන් දෙබෑයන්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් ලංකාවේ ආර්ථික ස්වෛරීත්වය සහ ප්‍රතිපත්ති තීරණය කිරීමේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම උදුරා ගන්නා ලද්දේ ‘අරාබි වසන්තය’ පන්නයේ විරෝධතා ව්‍යාපාර විසින් සමස්ත සමාජයේම අවධානය වෙනතකට යොමු කරමින් පවතින අතරය. එක්සත් ජනපදයේ දකුණු ආසියාතික කලාපය භාර සහකාර ලේකම්ගේ ‘හමුදාවේ සහාය ලබන’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ද ‘ලංකාව බංකොලොත් වී ඇත’ යන ආඛ්‍යානය සහ ‘නැත අන් සරණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතනු විනා ’යන මිථ්‍යාවද සමාජය වෙත පහසුවෙන් අලෙවි කරන ලද්දේ ලංකාවේ බංකොලොත් වීමට හේතුව චීනය යන ප්‍රචාරක ව්‍යාපාරයද පැතිර යමින් පවතින අතරය.ඒ මගින් ලංකාවේ ණයවලින් 70ක් බටහිර මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇතැයි යන සත්‍යය යටපත් කරන ලදි.මේ සියල්ල පසුබිමේ ඒ වනවිටත් ලංකාව බංකොලොත් යැයි ප්‍රකා‍ශ කිරීමට බලකෙරෙන නාටකයේ තිර පිටපත අනුව සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් දිවයිනේ හැමිල්ටන් රිසර්ව් බැංකුව (Hamilton Reserve Bank of St Kitts and Nevis ) විසින් ලංකාවට එරෙහිව නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම් සහ රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය

අරගලය හරහා බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජනපදයේ දකුණු ආසියාතික කලාපය භාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සමග ජනාධිපති මන්දිරයේදී

පැරිස් නගරයේ පැවැති මාක්‍රෝන්ගේ “නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට” සහභාගිවීමෙන් අනතුරුව ලංකාවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ට ලැබුණ නියෝග අකුරටම පිළිපදිමින් දේශීය හෝ අභ්‍යන්තර ණය (Domestic Debt Restructuring-DDR) ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භකරන ලද්දේ රටපුරා දීර්ඝ නිවාඩුවක් ප්‍රකාශයට පත්කරමින් රටේ සියලුම බැංකු වසා දමමිනි.

උපාය මාර්ගික වශයෙන් වැදගත් මෙම දිවයින තමන් ලබාගත් ණය වාරික සහ පොලිය ගෙවීමට නොහැකිව තමන් බංකොළොත් වී ඇතැයි ප්‍රකාශ කිරීමට ඉතිහාසයේ පළමුවරට සිදුවූයේ බාහිර ඩොලර් ණය හේතුවෙන් වුව ද දැන් එයට සිය අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කඩිමුඩියේ කටයුතු කිරීමට සිදුව ඇත්තේ පැරිස් කණ්ඩායමේ කොල්ලකාරි හෙජ් ණය අරමුදල් හිමියන් වෙත ‘ඔබලාගේ සියලු නියෝග අකුරටම පිළිපැදීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සුදානම් ’ යන ධනාත්මක පණිවිඩය යැවීමට යැයි කියනු ලැබේ.

කෙසේ වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති එකඟතාවන්ට අනුව එයට බලය පැවැරී ඇත්තේ බාහිර ඩොලර්- සම්බන්ධ ණය පිළිබඳව කටයුතු කිරීමට මිසෙක දේශිය හෝ අභ්‍යන්තර (රුපියල්) ණය සම්බන්ධව කටයුතු කිරීමට නොවේ. ජාතික මුදල් ඒකකවලින් නිකුත් කරන ලද ණය පිළිබඳව කටයුතු කිරීම මුළුමණින්ම ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුත්තකි.
ශ්‍රී ලංකාව මේ පැහැදිලිවම අත් දකිමින් සිටින්නේ ලංකාවේ අභ්‍යන්තර හෝ දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ (DDR)අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රහසිගත මෙහෙයුම් සඳහා අවසරය සහ බලය පවරා දීමේ ප්‍රතිඵලයද? එය සිදු වී ඇත්තේ මාක්‍රොන්ගේ නව ගෝලීය මූල්‍ය ගිවිසුමේ කොටසක් ලෙස ද?

2022 වසරේ අප්‍රේලයේදී ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශයට පත් කෙරෙන විට ශ්‍රි ලංකා රජයේ විදේශ වත්කම් දෙපාර්තුමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රි ලංකාවේ විදේශ ණය නැතහොත් බාහිර ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 26ක් ලෙස සඳහන්ව තිබිණි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥයන්ගේත් එයට සම්බන්ධ ගණකාධිකාරිවරුන්ගේත් සැක කටයුතු මැදිහත්වීම්වලින් අනතුරුව ලංකාවේ විදේශ ණය ප්‍රමාණය බිලියන 86ක් දක්වා ඉතා අභිරහස් ලෙස ඉහළ ගොස් තිබේ. මේ මගින් ලංකාවේ ණය පිළිබඳ දත්තවල අව්‍යාජත්වය,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගණුදෙනුව විසින් ඉල්ලා සිටින පරිදි කොල්ලකාරි ජාත්‍යන්තර පුද්ගලික මූල්‍ය සමාගම්වලින් තවදුරටත් ණය ගැනීම තහනම් කෙරෙන නීති පනවන ලෙසත් ඒ වෙනුවට BRICS රටවල් විසින් ගොඩ නගන ලද නව සංවර්ධන බැංකුව වෙතින් මූල්‍යමය සහායන් ලබාගන්නා ලෙසත් ලංකාවේ සිවිල් සමාජ කණ්ඩායම් විසින් ඉල්ලා සිටින ලද්දේ ඒ නිසාය.
මැක්‍රොන්ගේ නව ගෝලීය මූල්‍ය ගිවිසුමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ඉදිරිපත් කර ඇති නවතම කොන්දේසිය ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සංඛ්‍යා ක්‍රීඩාව උත්සන්න කිරීම සහ ණය උගුලේ ග්‍රහණය තවත් දැඩි කිරීමට පසුබිම සකස් කිරීමය. ඒ මගින් උපාය මාර්ගික ජාතික වත්කම් වන ඉඩම්, ප්‍රවාහන, බලශක්ති සහ ටෙලිකොම් අංශයේ යටිතල පහසුකම් ආදිය තුට්ටු දෙකට කොල්ලකෑමට විදේශීය සමාගම්වලට පහසුකම් සැලසීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරමින් සිටියි.

මෙහිදී අවධානයට ගත යුතු වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාව සතු මෙම නිශ්චිත මූලෝපායික වත්කම් මීට පෙර එක්සත් ජනපද සහස්‍රයේ අභියෝගය පිළිබඳතා සහයෝගිතා ගිවිසුම (US Millennium Challenge Corporation Compact-MCC)තුළ ලැයිස්තුගත ගත කර අත්පත්කරගැනීම සඳහා ඉලක්ක කර තිබූ ජාතික සම්පත් බවය.  නමුත් ගෝලීය බලවතුන්ගේ අනවරත උපායමාර්ගික ඉලක්කයක් බවට පත්ව ඇති මෙම දිවයිනේ ජනතාව විසින් එම ගිවිසුම ප්‍රතික්ෂේප කරන ලදි

බැඳුම්කර වංචා මගඩියේ නව පෙරමුණු සහ සාවද්‍ය තොරතුරු :හරිත සහ නීල බැදුම්කර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් සහ අධිකාරය විසින් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කරන ලද මැදිහත්වීමට සමගාමීව,“ මානව ක්‍රියාකාරිත්වයන් හේතුවෙන් ඇතිවන දේශගුණික ව්‍යසනයන් ” පිළිබඳව නොයෙකුත් වාචාල දෙඩවීම් හරහා නීල සහ හරිත බැඳුම්කර පිළිබඳව අවශ්‍යතාව අවධාරණය කිරීමද සිදුවිය. මේ මගින් තවත් බැඳුම්කර වංචා මගඩියක් සඳහා නව පෙරමුණක් විවෘත කර තිබේ. කොවිඩ්-19 වසංගත ආඛ්‍යානය හරහා යුරෝ බැඳුම්කර ණය උගුලේ සිරකරගන්නා ලද ගෝලීය දකුණේ රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් සඳහා ශ්‍රි ලංකාවේ වත්මන් ඉරණම විසින් වැදගත් පාඩම් ගණනාවක් උගන්වයි.

ශ්‍රී ලංකාව සිය ණය උගුලට හසු කරගනිමින් එහි ජනතාවගේ  ජීවිත වල සියලු සාරය උරා බී හපයක් බවට පත් කිරීමේ සාපරාධී  ක්‍රියාදාමයේ  හවුල්කරුවෙකු සහ නියමුවෙකු වූ බ්ලැක්රොක් සමාගමේ වෙබ් අඩවිය හරිත බැඳුම්කරවල ඉලක්ක සහ ප්‍රතිලාභ පිළිබඳව වර්ණනාවක යෙදෙන  ආකාරය

මාක්‍රොන් විසින් ගෝලීය ණය සහ පාරිසරික විනාශයන් පිළිබඳ ආඛ්‍යානයන් එකිනෙකට සම්බන්ධ කරමින්, ඒවා එකට ඇනීම සහ කලවම් කිරීම මගින් නිමවන ලද නීල සහ හරිත බැඳුම්කර හුවා දක්වා ඇත්තේ බාල අච්චාරු නවකතාවක දැක්වෙන වීර චරිතයක් ලෙස දේශගුණික ව්‍යසනයෙන් ග්‍රහලෝකය ගලවාගැනීමට පහල වූ වීරයෙකු ලෙසය. නමුත් නීල සහ හරිත බැඳුම්කර පිළිබඳ සත්‍යය නම් ඒවා තවත් ගෝලීය පරිමාණ බැඳුම්කර මගඩියක් පමණක් බවත් එය සැලසුම්කර ඇත්තේ පැරිස් කණ්ඩායම විසින් නියෝජනය කෙරෙන යුරෝ-බැඳුම්කර ජාවාරම්කාර සමාගම්වල කොල්ලකාරි උවමනාවන් ඉටුවන පරිදි බවත් එය විසින් ගෝලීය දකුණේ ජනයා පීඩාවට පත් කරමින් පවතින ණය බර, දේශගුණික අයුක්තිය සහ අසමානතාව තවදුරටත් උත්සන්න කෙරෙනු ඇති බවත්ය.

ඇට්ලන්ටා බ්ලැක්ස්ටාර් නම් වෙබ් අඩවිය විසින් 2017 ජනවාරි 31වැනි දින යාවත් කාලීන කරන ලිපියක් “ප්‍රංශය විසින් අප්‍රිකාවේ රටවල් 14කට යටත්විජිතවාදයේ ප්‍රතිලාභ සඳහා බදු ගෙවීමට බල කරනු ලබයි ” යන මැයෙන් යුතුව පළ කරන ලදි.

එම ලිපිය අනුව පහත දැක්වෙන අප්‍රිකානු රටවල් 14ට වසර 1961 සිට ඒවායේ විදේශ විනිමය තැන්පතුවලින් 65%ක් ප්‍රංශය සමග හවුල් විනිමය අරමුදලක් සඳහා ප්‍රංශය තුළ තැන්පත් කරන ලෙස ගිවිසුමකට එකඟවීමට බලකෙරී ඇත. මෙයට තවත් 20%ක් එකතු කෙරී ඇත්තේ මූල්‍ය අවදානම්වලදී සිදුවන පාඩු පියවීම සඳහාය.මේ අනුව මෙම රටවලට තමන්ගේ කටයුතු සඳහා ඉතිරිවන්නේ 15%ක් පමණි. මෙම ක්‍රියාදාමය සිදුවන්නේ මෙම රටවල් විසින් ප්‍රංශයේ මෙහෙයවීම යටතේ පිහිටුවන ලද බටහිර අප්‍රිකානු මූල්‍ය සහ ආර්ථික සංගමය හරහාය. මෙම සංගමයේ පොදු විනිමය මුදල CFA-Franc නමින් හඳුන්වන අතර එය මුද්‍රණය කිරීම සිදුවන්නේ ප්‍රංශයේ භාණ්ඩාගාරය විසිනි.
මෙම ලිපිය තුළ nsnbc.me වෙබ් අඩවියේ ක්‍රිස්ටොෆ් ලේමාන් විසින් 2012දී ලියන ලද ලිපියක උදෘතයක් මෙසේ දක්වා ඇත.

“ප්‍රංශය විසින් අප්‍රිකාව එයට අයත් සම්පත් ම උපයොගි කරගනිමින් එය වහල්භාවයටත් ණයගැති භාවයටත් පත් කර තිබේ. මෙම රටවල් තුළ බිලියන 12,0000ක් ආයෝජනය කරන විට 3% පොලිය ලෙස ප්‍රංශයට බිලියන 360ක් හිමිවේ. ප්‍රංශය විසින් නැවැත මෙය 6% හෝ එයට ඉහළ පොලියකට අප්‍රිකාවටම ණය දීම සඳහා යොදාගනී. අප්‍රිකාවේ රුධිරය මගින් ප්‍රංශය පෝෂණය කෙරෙන්නේය යන ප්‍රකාශය අතිශයෝක්තියක්,අනතුරු ඇඟවීමක් හෝ විප්ලවකාරි එකක් නොවේ.”

ප්‍රංශය මෙම අප්‍රිකානු රටවල් මත පටවා ඇති ගිවිසුම් අනුව එම රටවල් තුළ යම් වටිනා ස්වාභාවික සම්පත් මතු වූ විට ඒවා අලෙවි කිරීමේදී ප්‍රමුඛතාව දිය යුත්තේ ප්‍රංශය වෙතය.

2012 වසරේදී පමණක් ප්‍රංශය  විසින් පහත දැක්වෙන රටවලින් දළ වශයෙන් ඩොලර් බිලියන 28ක්  (වි‍දේශ විනිමය තැන්පතු වලින් 65%ක් සහ අවදානම් ගාස්තු ලෙස 20%ක් ) ප්‍රංශයේ භාණ්ඩාගාරය වෙත ලබාගෙන තිබේ.
 රට දළ  විදේශ විනිමය තැන්පතුවල වටිනාකම  (රත්රන්ද ඇතුළුව)

 

එක්සත් ජනපද ඩොලර් බිලියන වලින්   වසර 2012 සඳහා

කොංගෝව 5.55
අයිවරි කෝස්ට් 4.24
මාලි 1.31
ගැබෝන් 2.35
ගිනියා 4.4
චැඩ් 1.16
මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව 0.16
සෙනෙගාල් 2.25
බුර්කිනා ෆාසෝ 0.63
නයිගර් 1.17
ටෝගෝ 0.51
බෙනින් 0.69
කැමරූන් 3.38
ගිනි බිසවු 0.19
එකතුව 27,99

ඇත්ත වශයෙන්ම, නිල් සහ කොළ බැඳුම්කර විසින්  එකම ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු හෝ සමහර විට තිදෙනෙකු මරා දැමීමට සමත්වනු ඇත: ගෝලීය දකුණු රටවල යුරෝබොන්ඩ් වෙළඳ ණය උගුල් හා සම්බන්ධ දූෂණයේ දුගඳ දුරු කිරීම සහ එම රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ‘පාරිසරික සංරක්ෂණය’ සම්බන්ධ කිරීමේ මුවාවෙන් එම රටවල වනාන්තර සහ ධීවරබිම් සමාගම් වෙත පවරාගැනීම එම සැඟවුණු ඉලක්කයන්ය. එමෙන්ම මේ මගින් ගෝලීය සහ දේශිය ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ සටන්පාඨය යටතේ සමස්ත ආහාර නිෂ්පාදනය සහ සැපයුම සියතට ගැනීම සඳහා සැලසුම් කර ඇති “ ගෝලීය හරිත ප්‍රත්‍යාරම්භය”( Green Global Reset) දියත් කිරීමට අවශ්‍ය පදනමද ඔවුන් විසින් නිර්මාණය කරගනු ඇත.
සදාකාලික ණය උගුලක සහ බංකොලොත්භාවයක ගිල්වා ඇති ආර්ජන්ටිනාවේ ඉරණම අත්වීමෙන් වැළකීම සඳහා ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානයට(OECD) අයත් පැරිස් කණ්ඩායම වැනි බටහිර කොල්ලකාරි ආයතනවලට අයත් නොවන ගෝලීය දකුණේ රටවල ආධාරය සහ රටවල නව සංවර්ධන බැංකුවේ අරමුදල් ලබාගත හැකිවන පරිදි චීනය සහ ඉන්දියාව සමග සහයෝගිතාව වර්ධනය කෙරෙන සමතුලිත විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසත් මතුවෙමින් පවතින ඉල්ලීම් රනිල් වික්‍රමසිංහ රජය විසින් සම්පූර්ණයෙන්ම නොතකා හැර තිබේ.

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.

මූලාශ්‍ර

[1] Credit Suisse fined £350m over Mozambique ‘tuna bonds’ loan scandal 

[2] One Country, Nine Defaults: Argentina Is Caught in a Vicious Cycle

පරිවර්තනය- අජිත් සී හේරත්

සටහන්

හරිත බැඳුම්කර(Green Bond)

හරිත බැඳුම්කර(Green Bond) පිළිබඳ “ඉන්වෙස්ටෝපිඩියා” වෙබ් අඩවියේ සඳහන් වන නිර්වචනය මෙසේය.
““ හරිත බැඳුම්කරයක් යනු දේශගුණික සහ පාරිසරික ව්‍යාපෘති සඳහා මුදල් රැස් කිරීම සඳහා විශේෂයෙන් වෙන් කර ඇති ස්ථාවර ආදායම් මෙවලම් වර්ගයකි . මෙම බැඳුම්කර සාමාන්‍යයෙන් වත්කම්-සම්බන්ධ වන අතර නිකුත් කරන ආයතනයේ, සමාගමේ හෝ රාජ්‍යයේ ශේෂ පත්‍රයේ පිටුබලය ඇත. එබැවින් ඒවා සාමාන්‍යයෙන් ඒවා නිකුත් කරන්නන්ගේ අනෙකුත් ණය බැඳීම් හා සමාන ණය ශ්‍රේණිගත කිරීම දරයි..

21 වන ශතවර්ෂයේ පළමු දශකය දක්වා දිවෙන, හරිත බැඳුම්කර ඇතැම්විට දේශගුණික බැඳුම්කර ලෙස ද හැඳින්වේ, නමුත් මෙම පද දෙක සැමවිටම සමාන නොවේ. දේශගුණික බැඳුම්කර විශේෂයෙන් කාබන් විමෝචනය අඩු කරන හෝ දේශගුණික විපර්යාසවල බලපෑම් සමනය කරන ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර සපයන අතර හරිත බැඳුම්කර ධනාත්මක පාරිසරික බලපෑමක් ඇති ව්‍යාපෘතිවලට අදාළ මෙවලම්වල පුළුල් කාණ්ඩයක් නියෝජනය කරයි.”

නීල බැඳුම්කර (Blue bonds)

නීල බැඳුම්කර (Blue bonds) පිළිබඳව එම වෙබ් අඩවියේ නිර්වචනය මෙසේය
“සාගර සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක වන තිරසාර සාගර මූල්‍යකරණය සඳහා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට නීල බැඳුම්කර (Blue bonds)සහාය වේ. 2018 දී හඳුන්වා දුන් නීල බැඳුම්කර ධනාත්මක පාරිසරික, ආර්ථික සහ දේශගුණික ප්‍රතිලාභ ලබා දෙන සාගර පාදක ව්‍යාපෘති වෙත මූල්‍ය ආයෝජනයන් යොමු කිරීම අරමුණු කර ගෙන ඇත.”

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ කර්මාන්තය (The global credit rating industry)

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ඒකාධිකාරය ආයතන 3ක් අත සංකේන්ද්‍රණය වී තිබේ. ඒවා නම් මූඩිස්(Moody), ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්( Standard & Poor), සහ ෆිච් (Fitch)යන ණය ශ්‍රෙණිගත කිරීමේ ආයතන වේ. ණය සුරැකුම් නිකුත් කරන රටවල්, ආයතන හෝ සමාගම් පිළිබඳව වාස්තවික විශ්ලේෂණයන් සහ ස්වාධීන ඇගයීම් සිදු කිරීම සඳහා යොදාගනු ලබන ශ්‍රේණිගත කිරීම් මෙම ආයතන විසින් සිදු කරනු ලබයි. මෙම ශ්‍රෙණිගත කිරීම් ණය ලබාදෙන්නන් විසින් උපයෝගි කරගනු ලබන්නේ එම ණය ආපසු ගෙවීම සඳහා ණය ගනු ලබන පාර්ශ්වය වෙත පවතින හැකියාව පිළිබඳ තක්සේරුවක් ඇති කරගැනීම සඳහාය.

ESG ශ්‍රේණිගත කිරීමේ ආයතන යනු මොනවාද?

ESG යන අකුරුවලින් නියෝජනය වන්නේ පාරිසරික, සමාජීය, සහ ආණ්ඩුකරණය(Environmental, Social, and Governance-ESG) යන ක්ෂේත්‍රයන් වේ. භාරකාර ධනවාදයේ (Stakeholder Capitalism) න්‍යායචාර්යවරුන්ට අනුව සමාගම් විසින් වගකිව යුත්තේ එහි කොටස් හිමියන්ට පමණක් නොව එය එහි ආර්ථික ක්‍රියාකාරිත්වයේ බලපෑමට යටත් සියලු දෙනාම වෙතය.එනම් එහි සේවකයන්, බෙදාහරින්නන්, පාරිභෝගිකයන්, එහි නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන පාරිසරික සීමාවේ වෙසෙන ජනතාවන්, එමගින් පරිසරයට සිදුවන බලපෑම, ආදිය සම්බන්ධව වගකීම් බාරගෙන ඒවාට මැදිහත් විය යුතුය යන්නය.

මෙම භාරකාර ධනවාදය පිළිබඳව න්‍යාය ප්‍රවර්ධනය කිරීම පුළුල් ලෙස සිදුවන්නේ 1970 දශකයෙන් පසු නමුත් එය වඩාත් ප්‍රායෝගික ලෙස ව්‍යාප්ත කිරීම සිදු කෙරෙන්නේ ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ ක්ලාවුස් ෂ්වාබ්ගේ නායකත්වය යටතේය.
ESG නිර්ණායක යනු යම් සමාගමක් විසින් පාරිසරික (E), සමාජීය (S) සහ ආණ්ඩුකරණය(G) යන ක්ෂේත්‍රවල කරන මැදිහත්වීම් ඇගයීමට ලක් කෙරෙන ක්‍රමයකි. මේ වනවිට ලෝක ආර්ථික සංසදයට සම්බන්ධ දැවැන්ත සමාගම් ගණනාවක් මෙම නිර්ණායකයන් මෙවලමක් ලෙස භාවිතා කිරීම අරඹා තිබේ.

මහාචාර්ය මයිකල් රෙක්ටන්වල්ඩ්ගේපෙන්වා දෙන්නේ ESG දර්ශකය යනු ප්‍රාග්ධන ආයෝජන වෙළඳපොළ වංචනික ලෙස මෙහෙයවමින් ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රයන්හි ඒකාධිකාරයක් ස්ථාපනය කිරීම පිණිස සඳහා භාරකාර ධනවාදයට අනුගත මූල්‍ය සමාගම් විසින් දියත් කර ඇති කූට උපක්‍රමයක් බවයි.
ESG යනු භාරකාර ධනවාදයේ අංගයකි. භාරකාර ධනවාදය මෙහෙයවන යාන්ත්‍රණය එයයි. ESG යනු භාරකාර ධනවාදයේ නියෝග අනුව සමාගම් හැසිරෙන්නේ දැයි විශ්ලේෂණය කිරීම පිණිස යොදා ගැනෙන මෙවලමකි.

පාරිසරික කාර්ය සාධනය(E) යටතේ සමාගම් ශ්‍රේණිගත කිරීම්වලට ලක් කරනු ලබන්නේ දේශගුණික විපර්යාසයන්ට හේතුවන ක්‍රියාකාරිත්වයන් සම්බන්ධව සම්බන්ධව සමාගම්වල සැලසුම් සහ භාවිතය අනුවය.
සාමාජීය කාර්ය සාධනය(S) යටතේ සමාගම් ශ්‍රේණිගත කිරීම්වලට ලක්වන්නේ ඔවුන් “සමාජ යුක්තිය” ඉටුකිරීම පිණිස කරනු ලබන කාර්යභාරය වෙනුවෙනි.මේ සඳහා ඇතැම් සුළුතර ප්‍රජාවන් වෙත යුක්තිය ඉටුකිරීමට කොතෙක් දුරට අදාළ සමාගම් මැදිහත්වන්නේ දැයි විමසා බැලේ.
ආණ්ඩුකරණය පිළිබඳ කාර්ය සාධනය (G) යටතේ ඇගයීමට ලක්කරනු ලබන්නේ යම් සමාගමක් කොතෙක් දුරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන්නේද යන කරුණ යටතේය. එමෙන්ම රාජ්‍යය සමග සමාගමක් කටයුතු කරන ආකාරයද එහි දී ඇගයීමට ලක්කෙරේ
සමාගම්වල මෙම ESG කාර්ය සාධන මට්ටම් ඇගයීමට ලක් කෙරෙන ආයතන කීපයක් පවතින අතර ලෝක ආර්ථික සංසදය ඒ සියගු කටයුතු මෙහෙයවයි.ලෝකය පුරා සිය ආර්ථික ආධිපත්‍යය යොදාගනිමින් මෙම ESG නිර්ණායකයන් පිළිපැදීමට බලකෙරෙන බ්ලැක්රොක් සමාගම වැනි මූල්‍ය සමාගම්වලට තමන්ගේම ESG නිර්ණායක පවතී.
එහෙත් මෙම ESG නිර්ණායක ඒවා ප්‍රවර්ධනය කරනු ලබන කිසිවෙකු විසින් පිළිපදින්නේද යන්න ගැටළුවකි. ලෝකයේ ඉහළම ධනවතෙකුම මෙන් මූල්‍ය වංචනිකයෙකුද ලෙස සැළකෙන ජෝර්ජ් සොරෝස් විද්‍යුත් මෝටර් සඳහා බැටරි නිෂ්පාදන සමාගමක් පිහිටුවීමට කටයුතු කළ අතර එනිසා ඔහු සහ ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ නිපදවන එලොන් මුස්ක් අතර ගැටුමක් ඇති විය. මෙහිදී ජෝර්ජ් සොරෝස් ලෝක ආර්ථික සංසදය සමග එලොන් මුස්ක් ට ඇති ප්‍රතිවිරෝධතා සහ එම සංසදය තුළ තමාට ඇති බලපෑමේ හැකියාව උපයෝගි කරගනිමින් ටෙස්ලා සමාගම පිළිබඳ නිර්ණායකවලදී එය ඉතා පහල මට්ටමකින් ශ්‍රේණිගත කිරීමට කටයුතු කළේය. විද්‍යුත් මෝටර් රථ පාරිසරික වශයෙන් හිතවාදි යැයි පවසන ලෝක ආර්ථික සංසදය විසින් සිය ESG ශ්‍රේණිගත කිරීම්වලදී ටෙස්ලා සමාගම ස්ථානගත කර ඇත්තේ පරිසරය සහ ආශ්‍රිත ජනජීවිතය විනාශකරමින්  කැණීම් කටයුතුවල නිරතවන  දැවැන්ත තෙල් නිෂ්පාදන සමාගමක් වන Exxon ශ්‍රේණිගතකර ඇති මට්ටමටත් වඩා පහලිනි.  Exxon සමාගම ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ වැසියන්ට එරෙහිව වධ බන්ධන පැමිණවීම් සහ අතුරුදහන් කිරීම් සිදු කරන ලදැයි නඩුවක් ඇමෙරිකාවේදී විභාගයට පත්වුණ අතර සමාගම එම චෝදනාවලට වරදකරු ලෙස  අධිකරණය විසින් තීන්දු කරන ලදි.  ඒ අනුව Exxon සමාගමට වින්දිතයන් සඳහා වන්දි ගෙවීමට සිදුවිය. 2000 සිට 2021 දක්වා සම්පූර්ණ කාලය තුළම Exxon සමාගම විසින් තමන් එම වරද සිදු කළ බව ප්‍රතික්ෂේප කරන ලදි.
ESG පිළිබඳ වැඩි දුර විස්තර සඳහා මෙම ලිපිය කියවන්න

ක්ෂිතිජයෙන් එපිට මෙහෙයුම් (Over-The-Horizon (OTH) operation)

ක්ෂිතිජයෙන් එපිට මෙහෙයුම් යනු යම් රාජ්‍යයක් විසින් තම සීමාවෙන් එපිටදී සිදු කරන මෙහෙයුම්ය.ඒවා වර්ග තුනකට බෙදා දැක්විය හැකිය.
1. චාලක ප්‍රහාර ( kinetic strike)
ප්‍රහාරය සිදු කරන රාජ්‍යය විසින් කෘස් මිසයිල වැනි දිගු දුර අවි භාවිතා කරමින් සිදුකරන ක්ෂිතජයෙන් එපිට මෙහෙයුම් ප්‍රෙභ්දයක් ලෙස සැලකේ
2.ඉලක්කගත රාජ්‍යයේ සීමාවන් රහසිගතව විනිවිදිමින් සිදු කරන මෙහෙයුම්
මේ යටතට නියමුවන් රහිත ඩ්‍රෝන ගුවන්යානා හෝ සබ්මැරීන අදාල ඉලක්කගත රාජ්‍යයේ ගුවන් හෝ සාගර අවකාශයන්ට රහසිගතව ඇතුළු වෙමින් සිදු කරන ප්‍රහාර අයත්වේ.
3. විශේෂ හමුදා බලකායන් අදාළ ඉලක්කගත රාජ්‍යයට රහසිගතව ඇතුළුවී එය තුළ ස්ථානගතවෙමින් සුවිශේෂිත සහ ඉහළ වැදගත්කමකින් යුතු වැදගත් ඉලක්ක විනාශ කිරීම සඳහා දියත් කරන මෙහෙයුම්.
එක්සත් ජනපදය විසින් ලෝකය පුරා පිහිටුවා ඇති රහසිගත ලිලිපෑඩ් කඳවුරු මගින් කෙරෙන මෙහෙයුම් මෙම ගණයට අයත් ඒවා ලෙස සැලකිය හැකිය.

සර්ව අවකාශ ආධිපත්‍යය(Full-Spectrum Dominance)

සර්ව අවකාශ ආධිපත්‍යය යනු යම් මිලිටරි සංවිධානයක් විසින් සියලු යුද අවකාශයන්හි පූර්ණ ආධිපත්‍යය තහවුරු කරගනිමින් ලබන ජයග්‍රහණයකි.එය භූමිය, ගුවන්, සමුද්‍ර, භූගත, අභ්‍යවකාශ, මනෝවිද්‍යාත්මක සහ ජීව-හෝ සයිබර් තාක්‍ෂණික , සංජානන යන යුද අවකාශයන්හි අතිවිශාල සම්පත් විවිධත්වයක් ඵලදායී ලෙස සතුකර ගනිමින් ඒ වා පූර්ණ ලෙස සිය පාලනය යටතට ගැනීමට යම් හමුදාවක් සතු හැකියාව සර්ව අවකාශ ආධිපත්‍යය ලෙස හැඳින්වේ.

සර්ව අවකාශ ආධිපත්‍යයට වාතය, මතුපිට සහ උප මතුපිට මෙන්ම විද්යුත් චුම්භක යුද අවකාශය සහ තොරතුරු අවකාශය වැනි භෞතික යුධ අවකාශය ඇතුළත් වේ;මෙකී භෞතික අවකාශයන් පාලනය කිරීමේ හැකියාව ලබාගැනීම යනු සතුරු හමුදාවන්ට ඒවායේ සම්පත් යොදාගැනීමේ හැකියාව සීමා කිරීමය.