කෝපරේට් ෆැසිස්ට්වාදයේ නැගීම: ජාගරිත ධනවාදය යනු ආර්ථික ෆැසිස්ට්වාදයයි – මයිකල් රෙක්ටන්වල්ඩ්

මයිකල් රෙක්ටන්වල්ඩ්

හැඳින්වීම

මයිකල් රෙක්ටන්වල්ඩ් එක්සත් ජනපදයේ කේස් වෙස්ටර්න් විශ්ව විද්‍යාලය, කාර්නගී මෙලොන් විශ්ව විද්‍යාලය, ඩූක් විශ්ව විද්‍යාලය, නෝත් කැරොලිනා මධ්‍යම විශ්ව විද්‍යාලය සහ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය ආදි අධ්‍යාපන ආයතනයන් තුළ ලිබරල් සහ ගෝලීය ලිබරල් අධ්‍යයනයන් පිළිබඳව මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය. 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය නිදහස් චින්තන ව්‍යාපාරය හා සමකාලීන ලෝකායතවාදය ඔහුගේ විශේෂ අධ්‍යයන ක්ෂේත්‍රයන් වේ. ලෝක ආර්ථික සංසදය විසින් පෙරට දමන ලද භාරකාර ධනවාදයේත් එහි සංස්කෘතික පෙරමුණ වන ජාගරිතවාදයේත් ෆැසිස්ට් ප්‍රවණතාවන් පිළිබඳ දරුණු විවේචකයෙකු ලෙස සැළකෙන ඔහු ආර්ථිකය තුළ කොපරේට් ඒකාධිකාරිවාදයට මෙන්ම රාජ්‍ය ඒකාධිකාරිවාදයට ද එරෙහිව නිදහස් ව්‍යවසාය වෙනුවෙන් පෙනී සිටියි.
සමාජ මාධ්‍ය ජාලාවන් තුළ දැඩි ලෙස වාරණයට ලක් වී ඇති ඔහුගේ ටිව්ටර් ගිණුම ස්ථිර ලෙසම අවලංගු කර ඇති අතර එලොන් මුස්ක් විසින් ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් පසුව වුව ද ඔහුගේ ගිණුමට පනවා ඇති තහනම ඉවත් කර නැත.
අප විසින් මෙහිදී පළ කරනු ලබන්නේ හිල්ස් ඩේල් විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ලුද්විග් ‍ෆොන් මිසස්  (Ludwig von Mises) දේශනමාලාව යටතේ මයිකල් රෙක්ටන්වල්ඩ් විසින් 2022 නොවැම්බර් මස 13 වැනි දින පවත්වන ලද “කෝපරේට් ෆැසිස්ට්වාදයේ නැගීම” නම් දේශනය ඇසුරෙන් සකස් කරන ලද ලේඛනයකි. මෙම දේශනයේ නිල ඉංග්‍රිසි ලිඛිත පිටපත තවමත් නිකුත් කර නැත.

මෙම පරිවර්තනය තුළ යොදාගනු ලබන විශේෂ යෙදුම් කීපයක් පිළිබඳව පූර්වයෙන් නිර්වචනය කළ යුතුයැයි අපි අදහස් කරමු.

භාරකාර ධනවාදය (Stakeholder Capitalism)

මෙම ලිපිය තුළ භාරකාර ධනවාදය යනුවෙන් යෙදී ඇති තැන්වල එය යෙදී ඇත්තේ දේශනයේ “Stakeholder Capitalism” යන ඉංග්‍රිසි යෙදුම සඳහාය. සමහර පරිවර්තකයන් විසින් මෙම යෙදුම “හවුල්කාර ධනවාදය” යනු වෙන් සිංහලට පරිවර්තනය කර තිබේ.නමුත් Shareholders සහ Shareholder Capitalism යන යෙදුම්ද ඇතැම් අවස්ථාවලදී “හවුල්කරුවන් ” සහ “ හවුල්කාරි ධනවාදය” ලෙස පරිවර්තනය කෙරී ඇති බැවින් එහිලා මතුවන ව්‍යාකූලත්වය වැළැක්වීම සඳහා මෙහි දී අපි Stakeholder Capitalism යන්න සඳහා “භාරකාර ධනවාදය” යන යෙදුම යොදාගන්නට තීරණය කළෙමු.
ස්ටේක්හොල්ඩර් ධනවාදයේ න්‍යායචාර්යවරුන්ට අනුව එම ධනවාදි මොඩලය විසින් ව්‍යාපාරයක කොටස්හිමිකරුවන්ට පමණක් වගකියනවා වෙනුවට එම ව්‍යාපාරයේ සමාජ පිරිවැය වෙනුවෙන් එහි සේවකයන්ට ගණුදෙනු කරුවන්ට සහ එම ව්‍යාපාරය බලපෑම දැනෙන සියලු ප්‍රජාවන් වෙත සිය කටයුතු ලාභ අලාභ හෝ පාරිසරික හෝ සමාජීය ගැටලු සම්බන්ධයෙන් වගකිව යුතුය. එපමණක් නොව ව්‍යාපාරය ආණ්ඩුකරණය හෙවත් රාජ්‍යය සහ එහි නීති පද්ධතිය සමග සම්බන්ධවන ආකාරය සම්බන්ධයෙන්ද වගකිව යුතුය. එනම් මෙහිදී සිදුවන්නේ සමාගම හෝ ව්‍යාපාරය විසින් සිය බලපෑමට යටත් සියළු ක්ෂේත්‍රයන්හි භාරකාරිත්වය සිය වගකීම යටතට තමන් විසින් පවරාගැනීමය. එහෙයින් මෙම අධිපතිවාදි මොඩලය හැඳින්වීම සඳහා භාරකාර ධනවාදය යන යෙදුම වඩාත් සුදුසු යැයි සිතමු.

ජාගරිත ධනවාදය (Woke Capitalism)

ජාගරිත ධනවාදය යනුවෙන් අප විසින් මෙහිදී පරිවර්තනය කර ඇත්තේ Woke Capitalism යනුවෙන් මෑතකාලීනව දේශපාලන ශබ්ද කෝෂයට එක්ව ඇති යෙදුමය. මෙහි තේරුම අවදි වූ ධනවාදය යන්නයි.  Wokism යනුවෙන් හැඳින්වෙන වචනය යෙදෙන්නේ එක්සත් ජනපදය තුළ අප්‍රිකන් ඇමෙරිකන් ජනයාගේ අයිතීන් උදෙසා මෑතකාලීනව බිහිවූ නව සමාජ ව්‍යාපාරයන්, ගබ්සාව සඳහා පනවා ඇති සියලුම සීමාවන් ඉවත් කිරීම සඳහා වන ව්‍යාපාරය,සංක්‍රාන්තික ලිංගිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරය, දේශගුණික ව්‍යසනය සහ පොසිල ඉන්ධන විරෝධී ව්‍යාපාරය, ස්වදේශික සුළුතර ප්‍රජාවන්ගේ අයිතීන් සඳහා වන ව්‍යාපාරයන් , ආදිය මත පදනම්නව  සමාජීය සහ දේශපාලනික ප්‍රවණතාවන් සහ ඒ්වා පදනම්ව ඇති මතවාදයන් හැඳින්වීම සඳහාය.
කෙසේ වුව ද ප්‍රගතිශීලි සහ විමුක්තිකාමි උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශයට පත්කර ඇති මෙම ව්‍යාපාර පසුකාලීනව කෝපරේට්වාදය විසින් අත්පත් කරගෙන තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඒ්වා යොදාගනිමින් තිබෙන අයුරු දැකගත හැකිය. එකී කොපරේට්වාදි මැදිහත් වීම තුළ ඉහත සඳහන් කළ සියලුම ව්‍යාපාර තුළ ආරම්භයේදී කිසියම් අව්‍යාජ දේශපාලන අරමුණක් පැවතියේ නම් ඒවා ඒවායේ සාමාජිකයන් බහුතරයක් නොදැනුවත්වම අනන්‍යතා දේශපාලනය තුළ ගිල්වා දමා තිබේ. භාරකාර ධනවාදි මොඩලය හරහා අධිරාජ්‍යවාදය විසින් මෙම “වාම ප්‍රවණතාවන්” හයිජැක් කර ඇත්තේ ඔවුන් ලවා කවර අරමුණක් ඉටුකරවාගැනීමටදැයි යන්න විමසිලිමත්වීම වැදගත්ය.
භාරකාර ධනවාදය පිළිබඳ ආකෘතිය හඳුන්වාදෙමින් එය ලෝකය පුරා ක්‍රියාත්මක කරමින් සිටින ලෝක ආර්ථික සංසදය වටා ගොනුවූ සමාගම් විසින් දියත් කිරීමට අපේක්ෂිත 4 වැනි කාර්මික විප්ලවය ඇරඹීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහා පවත්නා ධනවාදි නිෂ්පාදන රටාවන් බිඳහෙළීම ක්‍රියාදාමය මේ වනවිට ප්‍රෝඩාකාරි වසංගත, යුද්ධ සහ බලශක්ති අර්බුද ආදිය හරහා යුරෝපය, එක්සත් ජනපදය සහ ඒවායේ බලපෑමට යටත් ලෝකයේ වෙනත් කලාපයන්හි රටවල දියත් කෙරෙමින් පවතී.මෙයින් පීඩාවට පත්වන පහල කම්කරු ගොවි සමාජ පන්තීන් එක්සත්ව නැගී සිටීම වැළැක්වීම වළක්වනු සඳහා මෙම අනන්‍යතා දේශපාලන සටන්පාඨ පෙරට දමා තිබේ. සැබෑ ලෙසම ගත් කළ මෙම අනන්‍යතා ව්‍යාපාර දැන් පෝෂණය කෙරෙන්නේත් පුහුණු කෙරෙන්නේත් ඒ්වායේ න්‍යාය පත්‍ර සහ සටන්පාඨ සකසන්නේත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව, එක්සත් ජනපදයේ  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික පරිත්‍යාග ආයතනය ( National Endowment for Democracy – NED) , USAID සංවිධානය ඇතුළු බටහිර රාජ්‍ය නොවන සංවිධාන විසිනි. එයට සමාන්තර ලෙස ලෝක ආර්ථික සංසදයේ තරුණ ලෝක නියමුවෝ වැඩ සටහන යටතේ ද මෙම අනන්‍යතා දේශපාලනයේ නායකත්වය සඳහා ලොව පුරා විවිධ පිරිස් පුහුණු කරනු ලබති.
මෙම අනන්‍යතා දේශපාලන කණ්ඩායම්වල පොදු ලක්ෂණය නම් ඔවුහු ඉදිරිපත් කරන සටන් පාඨ බොල් සහ කිසිදු සංයුක්ත පන්තිමය හෝ අධිරාජ්‍ය විරෝධී හරයකින් තොර වාගාලාපයන් වීමය. ඉහත අනන්‍යතා දේශපාලන ව්‍යාපාරය Woke Movement ලෙස නම් කර ඇත්තේ එක්සත් ජනපදයේ කොන්සර්වැටිව්වාදි බලවේග විසිනි.
භාරකාර ධනවාදි ආකෘතිය හරහා බ්ලැක්රොක් වැනි මූල්‍ය සමාගම් සහ ඒවායේ හවුල්කාර කාර්මික නිෂ්පාදන සමාගම් විසින් ලොව පුරා සිදු කෙරෙමින් පවතින මහජන අරමුදල් සහ ස්වාභාවික සම්පත් මංකොල්ලකෑම, එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවාවන් සහ මිලිටරි නිෂ්පාදන සංකීර්ණ විසින් ලොව පුරා දියත් කරමින් සිටින ආක්‍රමණ පිළිබඳ කටුක යථාර්ථයන් වෙතින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා අනන්‍යතා දේශපාලනයේ සටන් පාඨ පෙරට දැමීම සඳහා වාචාල දෙඩවීමද, අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයන් සිදු කිරීමද මෙම අනන්‍යතා දේශපාලන කණ්ඩායම්වලට අධිරාජ්‍යවාදය විසින් පවරා ඇති තවත් එක් කාර්ය භාරයකි.අධිරාජ්‍යවාදයේ ඉලක්කය බවට පත් රටවල් තුළ මෙම අනන්‍යතා දේශපාලනයේ යෙදෙන ක්‍රියාකාරිත්වය විසින් විවිධ ඒ් රටවල ජනකොටස් අතර පවතින්නා වූ සංස්කෘතික වෙනස්කම්, ආගමික ඇදහීම් ආදිය පිළිබඳව මැදිහත්වීම් සිදු කරන්නේ  එම ජනකොටස් අතර ගැටුම් ඇතිවීමට පසුබිම සකස්වන පරිදිය. බොහෝ විට මෙම අනන්‍යතා කණ්ඩායම්වල උද්ඝෝෂණ ව්‍යාපාරයන්ට සමාන්තරව රහසිගත බුද්ධි මෙහෙයුම්ද අදාළ රාජ්‍යයේ බුද්ධි අංශවල කොටස් හෝ බාහිර බුද්ධි අංශවල කොටස් මැදිහත්වීමෙන් දියත් කරනු ලබයි.

4 වැනි කාර්මික විප්ලවයේ සහ භාරකාර ධනවාදි ආකෘතියේ එක් කාර්යභාරයක් ලෙස එහි න්‍යායචාර්යවරුන් විසින් සළකනු ලබන්නේ සංක්‍රාන්තික මානුෂිකවාදි සමාජයක් බිහිකිරීමටය.ඒ සඳහා ඇති බාධාවන් ලෙස ඔවුන් සළකන්නේ ජාතීන්ගේ දේශපාලන ආර්ථික ස්වෛරීත්වය සහ ජාතික සංස්කෘතික ලක්ෂණයන්ය. ඒවාට පහරදීම සඳහා ඉහත Woke Movement හෙවත් “පිබිදුණු ව්‍යාපාරය ”නැතහොත් අනන්‍යතා දේශපාලනික කණ්ඩායම් යොදා ගැනේ. ශ්‍රි ලංකාව, පකිස්ථානය, ඉන්දියාව, ඉන්දුනීසියාව,තායිවානය වැනි ආසියාතික රටවල් තුළ ද මොරොක්කෝව, ඊජිප්තුව, වැනි බටහිර අප්‍රිකානු රටවල් තුළ ද අප්‍රිකාවේ සෙසු බොහෝ රටවල් තුළ ද ලතින් ඇමෙරිකානු රටවල් රැසකද “ලිංගිකත්ව අධ්‍යාපන වැඩ සටහන් ” සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව, USAID ආයතනය ජාතික පරිත්‍යාග ආයතනය  (National Endowment for Democracy -NED ) ආදිය විසින් ඩොලර් බිලියන ගණනක් වෙන් කර තිබේ. ශ්‍රි ලංකාවේ ස්ත්‍රීන්ට “ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය” (Gender Studies) ලබාදීම පිළිබඳ ව්‍යාපෘතීන් මෙහෙයවන්නේ USAID ආයතනය විසිනි. මේ වනවිට බටහිර සමාජය තුළ “ස්ත්‍රීත්වය” යන්න කුමක්දැයි ජෛව විද්‍යාත්මකව නිර්වචනය කිරීම අපරාධයක් බවට පත් කර ඇත්තේත් ඉහත භාරකාර ධනවාදය විසින්  මෙහෙයවනු ලබන  සංක්‍රාන්තීය මානුෂිකත්වය ස්ථාපිත කිරීමේ සැලස්මේ එක් පියවරක් ලෙසය. දරුවන් බිහිකිරීම සහ හදාවඩාගැනීම සෑම ස්ත්‍රියක් සහ පුරුෂයෙකුම සතු මානව මෙන්ම ජෛව විද්‍යාත්මක අයිතියක් වන නමුත් භාරකාර ධනවාදය විසින් නිර්මාණය කිරීමට සැලසුම් කෙරෙන අනාගත ලෝකය තුළ එම අයිතිය ස්ත්‍රින්ගෙන් සහ පුරුෂයන්ගෙන් ඉවත් කර සමාගම් වෙත පවරාගෙන DNA වෙනස් කිරීම මගින් සමාගම්වලට අවශ්‍ය කායික සහ මානසික ලක්ෂණ සහිත දරුවන්  (Designer Babies) විද්‍යාගාර තුළ බිහිකිරීම ඉලක්කය වී තිබේ. මෙම පරීක්ෂණ දැනටමත් බොහෝ රටවල් විසින් නව යුජෙනික්ස්වාදින්ගේ නැතහොත් “ජෙනටික්ස්වාදින්ගේ” මෙහෙයවීමෙන් අරඹා තිබේ. සංක්‍රාන්තික මානුෂිකවාදි සංස්කෘතියක් සඳහා උද්ඝෝෂණය කිරීමට මෙම අනන්‍යතා දේශපාලන කණ්ඩායම් මෙහෙයවනු ලබන්නේ පවත්නා විශ්වීය මානව ආචාර ධර්ම සහ ජාතික සංස්කෘතින්ගෙන් සහ ආගමික විශ්වාසයන්ගෙන් එවැනි දේ සඳහා එල්ලවන බාධාවන් ඉවත්කර සමාගම් විසින් දරුවන් නිෂ්පාදනය කරන ලෝකයක් සඳහා අවශ්‍ය “වෙළඳපොළ මානසිකත්වය” බිහිකිරීමටය.
බටහිර අධිරාජ්‍යවාදය සහ එහි නූතන ධනවාදි මොඩලය වන භාරකාර ධනවාදය විසින් පුහුණු කරන ලද ක්‍රියාකාරිකයන්  විසින්      මෙහෙයවන අනන්‍යතා දේශපාලනය  එය විසින් නියෝජනය කරනු ලබනවා යැයි කියන සංක්‍රාන්තික ලිංගිකයන්ගේ, සුළු ජාතින්ගේ හෝ වෙනත් පීඩිත ප්‍රජාවන් සිය අයිතීන් උදෙසා ගෙන යන අරගලයට කිසිදු ආකාරයකින් සේවයක් නොසලසයි.. එහි දී සිදුවන්නේ මෙම ප්‍රජාවන් පන්ති අරගලයට සහ අධිරාජ්‍ය විරෝධී අරගලයට එරෙහිව විවිධ ආකාරයෙන් ස්ථානගත කිරීම පමණි.

මෙම අනන්‍යතාවාදි දේශපාලනය සිය අරමුණු උදෙසා යොදා ගැනීමට භාරකාර ධනවාදි බලවේගයන් කටයුතු කිරීම හේතුවෙන් භාරකාර ධනවාදයට “Woke Capitalism ” යන නමද පටබැඳී තිබේ. මෙම හැඳින්වීම නිර්මාණය කරන ලද්දේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වන රොස් ඩව්තට් විසිනි.
Woke Capitalism යන්න “ජාගරිත ධනවාදය” ලෙස මෙම ලිපිය තුළ පරිවර්තනය කර තිබේ. මේ සඳහා සිංහල භාෂාවේ වෙනත් යෙදුමක් ඇත්දැයි සොයාගත නොහැකි විය. මෙය “පිබිදුණු ධනවාදය” යනුවෙන්ද යෙදිය හැකි නමුත් සිංහල ලේඛන කලාව තුළ දැනටමත් පුබුදු යුගය යනුවෙන් යුරෝපීය කලාවේ පුනර්ජීවන යුගයක් හැඳින්වීම සඳහා යෙදුමක් ඇති බැවින්ද “පිබිදුණු ධනවාදය” යන්න කිසියම් ධනාත්මක අර්ථයක් ඇඟවුම් කරන බැවින්ද අදාළ දේශපාලන සංදර්භය තුලදී Woke යන වචන යෙදෙන්නේ නිශේධනාත්මක හෝ උපහාසාත්මක අර්ථයකින් වන බැවින් මෙහිලා එම “පිබිදුණු ධනවාදය” යන යෙදුම යොදා ගැනුණේ නැත. Woke නැතහොත් awaken යන තේරුම දෙන සංස්කෘතික භාෂාවේ වචනයක් වන “ජාගරිත” යන්න මෙහිලා යොදා ඇත්තේ එය සිංහල භාෂාව තුළ භාවිතා වී ඇත්තේ ඉතා විරල ලෙස හෙයිනි.

මෙම දේශනය තුළ මයිකල් රෙක්ටන්වල්ඩ් කෝපරේට්වාදයේ සහ රාජ්‍යයේ ඒකාග්‍රතාවය විසින් පසුගිය සියවසේ දී ෆැසිස්ට්වාදය බිහිවූ ආකාරය පිළිබඳ ඓතිහාසික සංදර්භය තුළ වර්තමානයේ ලෝක ආර්ථික සංසදය වටා ගොනු වූ දැවැන්ත සමාගම් විශාල ප්‍රමාණයක් විසින් අනුගමනය කරන භාරකාර ධනවාදි මොඩලය විසින් ආර්ථික ඒකාධිකාරයක් ගොඩ නගමින් සිටින ආකාරය පිළිබඳවද එම ඒකාධිකාරය සහ රාජ්‍යය අතර සම්බන්ධතාව විසින් ෆැසිස්ට් ප්‍රවණතාවන් සඳහා දොරටු විවෘත කරන ආකාරයද පෙන්වා දෙයි.
මෙහිදී භාරකාර ධනවාදය විසින් සිය ඒකාධිකාරි අරමුණු ඉටුකරගැනීම සඳහා ESG නිර්ණායක හෙවත් පාරිසරික, සමාජමය සහ ආණ්ඩුකරණය පිලිබඳ දර්ශකයන් යොදාගනිමින් සිය න්‍යායපත්‍රයට එරෙහි සමාගම්වලට ආර්ථික සම්බාධක පනවමින් ඔවුන්ගේ පැවැත්ම අහෝසි කර දමමින් සිටින ආකාරයද ඔහු අපගේ අවධානයට යොමු කරවයි.
බ්ලැක්රොක් වැනි දැවැන්ත වත්කම් කළමණාකරණ සමාගම් විසින් ESG දර්ශකයන් ආයුධ ලෙස යොදාගනිමින් එක්සත් ජනපදය තුළ පවතින සමාගම් වෙත ප්‍රාග්ධන ආයෝජන සැපයුම කපා හරිමින් එම ප්‍රාග්ධනය චීන සමාගම් වෙත ගලායාමට ඉඩ ප්‍රස්ථාව විවර කර ඇතැයිද චීන සමාගම් විසින් ඉදිරිපත් කර ඇති ESG දර්ශකයන් විශ්වාසනීයත්වයෙන් තොර ඒවා බවද රෙක්ටන්වල්ඩ් චෝදනා කරයි.

ESG දර්ශකය, බ්ලැක්රොක් සමාගම සහ චීනය

ESG රෙක්ටන්වල්ඩ්ගේ දේශනය තුළ ESG දර්ශකයන් පිළිබඳ ඔහු විසින් සඳහන් කර ඇති නිරීක්ෂණයන් අනුව යමෙකුට එළැඹිය හැකි නිගමනය වන්නේ ESG දර්ශකය යනු ප්‍රාග්ධන ආයෝජන වෙළඳපොළ වංචනික ලෙස මෙහෙයවීම සඳහා භාරකාර ධනවාදයට අනුගත මූල්‍ය සමාගම් විසින් දියත් කර ඇති කූට උපක්‍රමයක් බවයි. චීනය මේ බව දන්නා අතර චීනය ඒ බව දන්නා බව බ්ලැක්රොක් වැනි චීනය තුළ ආයෝජනය කරන සමාගම් ද දනිති. ඔවුහු අතර අප්‍රකාශිත උපක්‍රමික සම්මුතියක් මේ පිළිබඳව නිර්මාණය වී ඇත්තේ එහෙයිනි. මෙම ESG ක්‍රමය ප්‍රෝඩාවක් යැයි අභියෝග කරමින් එක්සත් ජනපදය තුළ සමග හෝ යුරෝපය සමග සිදු කෙරෙන සිය ආර්ථික කටයුතු අර්බුදයකට පත්කරගැනීමට චීනයට මේ මොහොත තුළ අවශ්‍යවන්නේ නැත.
මේ මොහොත තුළ ලෝක ආර්ථික සංසදයට හෝ බ්ලැක්රෝක් වැනි මූල්‍ය කාටලයන් සිය ප්‍රමුඛතාව දී ඇත්තේ  එක්සත් ජනපදය, යුරෝපය සහ ඒවායේ බලපෑමට යටත් වූ ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ සිය පූර්ණ ඒකාධිකාරය පිහිටුවීමටය. එබැවින් චීනය මත දැඩි පීඩනයක් ඇතිකර  චීන රජය කුපිතකරවාගෙන එහි දොරවල් වසාගනු වෙනුවට ඔවුන් දැනට සිදු කරමින් සිටින්නේ හැකිතාක් චීන ආර්ථිකය විනිවිද එහි සියලු අහුමුළු ක්‍රමානුකූලව විනිවිදීමට උත්සාහ දැරීම බව පැහැදිලිය.

චීනය  ESG ක්‍රමය ප්‍රතික්ෂේප නොකර එය මතුපිටින් පිළිගන්නා නමුත් එය බැරෑරුම් ලෙස චීනය තුළ ක්‍රියාත්මක කරවමින් සිය ආර්ථිකය විනාශ කරගැනීමට ද චීන නායකත්වයට අවශ්‍යව නැත. අනෙක් අතට බිලියන ගණනක් වන චීන ජනතාවගේ ආර්ථික ජීවිතය පවත්වාගැනීමේ අරගලය තුළ අනවරත පීඩනයක් යටතේ නිරතව ඇති චීනය විදේශ ආයෝජකයන් සිය රටට ගෙන්වාගැනීමට කටයුතු කිරීම සම්බන්ධව දොස්පැවරීම මගින් එක්සත් ජනපදයේ සියළු කොන්සර්වැටිව්වාදින්ගේ චීන විරෝධය මයිකල් රෙක්ටන්වල්ඩ්ගේ අදහස් තුළ ද පරාවර්තනය වන ආකාරය දැකගත හැකිය.

කෙසේ වුව ද ඇමෙරිකානු ආර්ථිකය බිඳ දැමීමට චීනයට අවශ්‍යව ඇතැයි සිතිය නොහැකිය. චීනයට අවශ්‍යවන්නේ හොඳ මිලදී ගැනීමේ ශක්තියක් සහිත විශාල මධ්‍යම පන්තියකින් සමන්විත ස්ථාවර ආර්ථිකයක් සහිත ඇමෙරිකාවකි. නිදහස් ව්‍යවසාය පිළිබඳ ප්‍රධානතම මූලධර්මය නම් එය විසින් සිය කොටස්හිමියන් වෙත උපරිම ප්‍රතිලාභ සහතික කළ යුතුව ඇති බවය. උපරිම ප්‍රතිලාභ ලැබීමේ කොන්දේසින් වන්නේ ලාභ ශ්‍රමය, අමුද්‍රව්‍ය, බලශක්තිය යනාදිය මෙන්ම බදු අවම ලෙස ගෙවීමට සිදුවීමයි. ඇමෙරිකානු සමාගම් චීනය වෙත යොමුවන්නේ එහෙයිනි. එය ස්වාභාවික ලෙස සිදුවන ප්‍රාග්ධන ගලායාමක් ලෙස මිසෙක චීන කුමන්ත්‍රණයක් ලෙස දැකීම නිවැරැදි නොවේ.

කෙසේවුව ද ලෝකයේ විශාලතම වත්කම් කළමණාකරණ සමාගම ලෙස සැලකෙන්නාවූත් , භාරකාර ධනවාදි මොඩලය හරහා ගෝලීය ආර්ථික ඒකාධිකාරයක් ස්ථාපිත කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින ලෝක ආර්ථික සංසදයේ විධායක මණ්ඩල අසුනක් හිමිව ඇත්තාවූත් බ්ලැක් රොක් වැනි ඇමෙරිකානු සමාගම් එක්සත් ජනපදය විසින් සිය අංක එකේ සතුරා ලෙස විවෘතවම නම් කර ඇති චීනය තුළ ආයෝජනය කිරීමට මේ තරම් උනන්දුවන්නේ කවර හේතුන් මතදැයි යන්න වැඩිදුරටත් ගැඹුරින් විමර්ශනය කළ යුතු කරුණකි.

චීනය තුළ පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණය ආදි කටයුතු පිළිබඳ නිර්ණායකයන් ගොඩ නංවන්නේ චීන රජය විසින් වන අතර මෙම කටයුතු සඳහා තමන්ට උපදෙස් දීමට කිසිදු බාහිර රාජ්‍යයකට හෝ සමාගමකට අයිතියක් ඇතැයි චීනය විශ්වාස නොකරයි. චීනයේ විවිධ ආර්ථික ක්‍ෂේත්‍රයන් තුළ ඒකාධිකාරිත්වයක් ඇති කරගැනීමට වෑයම් කළ අලිබාබා සමාගමේ ආධිපත්‍යය බිඳ දැමීමට චීනය අනුගමනය කළ දැඩි පිළිවෙත මගින් පැහැදිලි වන්නේ තමන්ගේම සමාගම්වල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වුව චීනය ක්‍රියාත්මක වන ආකාරයයි.

රාජ්‍යය සහ සමාගම් අතර සම්බන්ධය

භාරකාර ධනවාදය යටතේ සිදුවන්නේ ඒ්කාධිකාරි සමාගම් විසින් ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යය අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය පමණක් නොවන බව මහාචාර්ය රෙක්ටන්වල්ඩ් පෙන්වා දෙයි. එයට ප්‍රතිපක්ෂ ලෙස රාජ්‍ය විසින් සමාගම්වල ප්‍රාග්ධනය අවශෝෂණය කරගනිමින් දැවැන්ත ලෙස සිය ආධිපත්‍යය වර්ධනය කරගන්නා ක්‍රියාවලියක් ද පවතින  බවය.

අද තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයකට තුඩු දී ඇති බොහෝ තාක්ෂණික නිෂ්පාදන සහ දැනුම සංවර්ධනය කරන ලද්දේත් මුලදී ඒවා භාවිතා කරන ලද්දේත් එක්සත් ජනපදයේ මිලිටරි අංශ සහ ඔත්තුසේවා ආයතන යන්න විවෘත කරුණකි. අන්තර්ජාලය මුලදී යොදාගන්නා ලද්දේ මිලිටරිමය සහ බුද්ධි අංශවල සන්නිවේදන කටයුතු සඳහාය. එම තාක්ෂණය තමන් විසින් ස්ථාපිත කරන ලද නව සමාගම් හරහා හෝ පැවැති සුළුපරිමාණ තාක්ෂණික සමාගම් අත්පත්කරගෙන ඒවා හරහා හෝ වෙළඳපොළට නිකුත් කිරීමට එක්සත් ජනපද රජයේ මිලිටරි තාක්ෂණික නිෂ්පාදන සංකීර්ණ විසින් කටයුතු කරන ලදි. එමගින් ඔවුහු ඩොලර් ට්‍රිලියන සංඛ්‍යාත මුදලක් ලොව පුරාම එම තාක්ෂණය අලෙවි කිරීම මගින් එම සමාගම් හරහා උපයන ලදි. බිල්ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් විසින් අත්පත් කරගත් ව්‍යාපාරික ජයග්‍රහණ පිටුපස ඇත්තේ ඒවාට එක්සත් ජනපද රජය සමග ඇති සම්බන්ධතාවයි. ඩොලර් බිලියන සිය ගණනක් වටිනා දැවැන්ත රාජ්‍ය කොන්ත්‍රාත් එම සමාගම්වලට වාර්ෂිකව ලබාදීම මගින්ද එම සමාගම්වල ව්‍යාපාරික තරඟකරුවන් කූට උපක්‍රම මගින් විනාශ කර දැමීම හෝ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම්වලට මිලදී ගැනීමට අවස්ථාව උදාකරදීම මගින්ද එක්සත් ජනපද රාජ්‍යය ව්‍යාපාරික කටයුතුවලට මැදිහත් වී තිබේ. ගූගල් වැනි සමාගම් ගොඩ නගන ලද්දේ එක්සත් ජනපද රාජ්‍ය ආයතනවල මැදිහත්වීම සහිතවය. බංකොළොත්වීමට ආසන්නව සිටියේ යැයි කියන ඇමසෝන් සමාගම බේරාගෙන ලෝකයේ ඉහළතම ලාභ උපයන සමාගම බවට පත්කරන ලද්දේ පෙන්ටගනයේ  කොන්ත්‍රාත් එයට ලබාදීම මගින් යැයි පැවසේ. මාර්ක් සකර්බර්ග්ගේ ෆේස්බුක් සහ එලොන් මුස්ක්ගේ ස්ටාර්ලින්ක් සමාගම්වලටද පෙන්ටගනයේ කොන්ත්‍රාත් ලබා දීම දිගටම සිදුවේ.

එක්සත් ජනපද රජය විසින් මේ අයුරින් මැදිහත්වන්නේ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට පමණක් නොවේ. කොවිඩ්-19 වසංගතය සඳහා යැයි කියමින් මුදා හරින ලද mRNA එන්නත් තාක්ෂණය වසංගතය පැමිණීමටත් වසර ගණනාවකට පෙර සිට සංවර්ධනය කරන ලද්දේ එක්සත් ජනපදයේ ආරක්ෂක උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය( Defense Advanced Research Projects Agency) විසිනි. මෙම mRNA  තාක්ෂණය පසුව ෆයිසර් සහ මොඩර්නා සමාගම් වෙත ලබාදී ඒ හරහා ඩොලර් බිලියන සිය ගණනක් උපයන ලදි.  මෙම  mRNA එන්නත් මිලදී ගැනීම සඳහා එක්සත් ජනපද රජය ලෝකයේ සියලුම රාජ්‍යයන් වෙත බලපෑම් කළ බව අද විවෘත රහසකි. එමෙන්ම කොවිඩ්-19 එන්නත්වල සුරක්ෂිතව, කාර්යක්ෂමතාව සහ සැබැවින්ම ඒවායේ අවශ්‍යතාව  පිළිබඳ ඖෂධ සමාගම් සහ රාජ්‍ය විසින් ස්ථාපිත කරන ලද ආඛ්‍යානය  ප්‍රශ්න කරන ලද වෛද්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් ෆේස්බුක්, යූටියුබ්, ගූගල් ඇතුළු සමාජ මාධ්‍යජාලාවන් මෙහෙයවන දැවැන්ත සමාගම් විසින් වාරණය කරන ලදි.
මේ අයුරින් රාජ්‍ය විසින් බදු මුදල් යොදවමින් සංවර්ධනය කරනු ලබන නූතන තාක්ෂණය එය විසින් පිහිටුවනු ලබන හෝ මිලදී ගනු ලබන සමාගම් හරහා වෙළඳපොළට නිකුත්කිරීමද එහිලා ප්‍රතිවිරුද්ධ සහ තරඟකාරි සමාගම් විනාශ කිරීම සඳහා රාජ්‍යය බලය යොදාගැනීමද සිදුවේ. පසුව මෙම සමාගම් විසින් නැවත රාජ්‍යයේ ආධිපත්‍යය තහවුරු කරනු ලැබේ.

සමස්තයක් ලෙස මෙම දේශනයේ වැදගත්කම වන්නේ එය විසින් ඒකාධිකාරි සමාගම් විසින් භාරකාර ධනවාදය නම් ධජය යටතේ නිර්මාණය කර ඇති ESG වැනි මෙවලම් යොදාගනිමින් ගෝලීය ආර්ථිකය සිය ග්‍රහණයට ගැනීමට කටයුතු කරන ආකාරය විචක්ෂණ ලෙස මෙහිලා මහාචාර්ය රෙක්ටන්වල්ඩ් විසින් පැහැදිලි කර තිබීමයි.

අජිත් සී හේරත්

මහාචාර්ය මයිකල් රෙක්ටන්වල්ඩ් විසින් 2022 නොවැම්බර් මස 13 වැනි දින හිල්ස්ඩේල් විශ්ව විද්‍යාලයේදී The Rise of Corporate Fascism යන මැයෙන් පවත්වන ලද දේශනයේ සම්පූර්ණ සිංහල පරිවර්තනය

අද මම කතා කිරීමට යන්නේ කෝපරේට් ෆැසිස්ට්වාදයේ නැගීම (corporate fascism) පිළිබඳවයි. නමුත් දේශනයේ තේමාව “ජාගරිත ධනවාදය යනු ආර්ථික ෆැසිස්ට්වාදයයි” (Woke Capitalism is Economic Fascism )යන්නයි. එහෙයින් මම මෙහිදී ජාගරිත හෙවත් පිබිදුණු ධනවාදය යනු ආර්ථික ෆැසිස්ට්වාදයක් වන්නේ කෙසේද යන්න ගැන සහ එහි ඇති වැරැද්ද කුමක් ද යන්න ගැන අදහස් දක්වමි.
අප දන්නා පරිදි ආර්ථික ෆැසිස්ට්වාදයට 1920-30 ගණන් දක්වා ඈතට දිවෙන දිගු ඉතිහාසයක් පවතී. සත්තකින්ම ෆැසිස්ට්වාදය යන වචනය උපත ලබා ඇත්තේද ඒ යුගයේ දී බව අපි දනිමු. හිට්ලර්ගේ සහ මුසෝලිනිගේ ඒකාධිපතිවාදි පාලන තන්ත්‍රයන් ගැන කථා කරන විට අපගේ මතකයට නිසැකවම එන්නේ ඔවුන්ගේ ජාතිවාදි සහ යුදෙව් විරෝධී පිළිවෙත්ය. නමුත් එහි ආර්ථික ප්‍රතිපත්තියක් ද වූ අතර 1920-30 ගණන්වල යුරෝපයේ පැවැති ඒ්කාධිපතිවාදි පාලනයන්හි ප්‍රධානතම සංඝටකයක් වූයේ සමාගම් පැසිස්ට්වාදයයි.

කෝපරේට්වාදය යනු රාජ්‍ය වෙත සහ රාජ්‍යයේ අනුග්‍රාහක සමාගම් වෙත ආර්ථිකය යටත් කරනු ලැබීමයි. කෝපරේට්වාදය ආර්ථික ඒ්කාධිපතිවාදයේ අනිවාර්ය අංගයකි.කෝපරේට්වාදය 1930 ගණන්වලදී ජර්මනියේ සහ ඉතාලියේ දී එය හිට්ලර් සහ මුසෝලිනි යටතේ භාවිතයේ යෙදිණි. එය ආර්ශමත් ආර්ථික ආකෘතියක් ලෙස එක්සත් ජනපදයේ සහ බටහිර වෙනත් සෙසු බොහෝ රටවල ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බුද්ධිමතුන් පිළිගැනීමට ලක් වී තිබිණි.

සත්තකින්ම ආර්ථික පැසිස්ට්වාදයේ එක්තරා ප්‍රභේදයක් 1930 ගණන්වලදී එක්සත් ජනපදය තුළ භාවිතයේ යෙදීම ආරම්භ වූ අතර එය අද දක්වාම නොනැසී පවතී. එක්සත් ජනපදය තුළ මෙම ප්‍රතිපත්ති පැසිස්ට්වාදය ලෙස නොසැළකිණි. ඔවුහු එය හඳුන්වාගත්තේ “සැලසුම්ගත ධනවාදය ”ලෙසයි.

මෑතකදී බයිඩන් රජයේ ආර්ථික පැසිස්ට්වාදි ප්‍රතිපත්ති ගණනාවක් ක්‍රියාවට නැගෙන ආකාරය අප විසින් දැක ඇත්තෙමු. දේශගුණික විපර්යාස ඉලක්ක කරගත් නියෝග මෙන්ම ක්ෂුද්‍ර විද්‍යුත් පරිපථ සහ විද්‍යාත්මක පනත(Creating Helpful Incentives to Produce Semiconductors and Science Act of 2022 නැතහොත් CHIPS and science Act) ද ඇතුළුව ජනාධිපති ජෝ බයිඩන් ගේ විධායක නියෝග 12කට වැඩි ගණනකගේ බලහත්කාරි ලෙස කඩාවැදීම අපට මෑතකදී දක්නට ලැබිණි.

මේ සියල්ල ආර්ථික පැසිස්ට්වාදයේ මැදිහත්වීම් පිළිබඳ නිදසුන්ය.

අද ආර්ථික පැසිස්ට්වාදය හෝ කෝපරේට්වාදය ගමන්කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ධජයක් යටතේය. මෙම කොපරේට්වාදයට එරෙහිවන්නන් විසින් එය හඳුන්වනු ලබන්නේ “ ජාගරිතධනවාදය” (woke capitalism) ලෙස වන අතර එහි අනුගාමිකයන් විසින් එය හඳුන්වනු ලබන්නේ “භාරකාර ධනවාදය” (stakeholder capitalism) ලෙසිනි.

සත්තකින්ම මේ දෙකම එකක් වන අතර මම එය පැහැදිලි කිරීමට අපේක්ෂා කරමි. මෙම සමාගම් විසින් වාමවාදය භාවිතයේ යෙදීමට හේතුව කුමක්දැයි යන්න පිළිබඳවද එය තුළ ඔවුන්ට ඇති ඵල ප්‍රයෝජන මොනවාද යන්න ගැන ද එහිලා විස්තර කිරීමට මම උත්සාහ දරමි.

කෝපරේට්වාදයේ වාමාංශික වෙස්මුහුණ

අප වෙත පවසා ඇති පරිදි භාරකාර ධනවාදය යනු යම් ව්‍යාපාරයක කොටස් හිමියන්ටපමණක් නොව එහි ගණුදෙනුකරුවන්ට, සැපයුම්කරුවන්ට, සේවකයන්ට සහ අදාළ පලාතේ ප්‍රජාවන්ට ප්‍රයෝජනවත්වන සහ ග්‍රහලෝක යේ යහපැවැත්මටද දායකවන ධනවාදි මාදිලියකි.

භාරකරුවෙකු(stakeholder) යනු සමාගමක චර්යාව මගින් යම් ලාභයක් ලබන්නා වූ හෝ පාඩුවක් විඳින්නා වූ අයෙකු ලෙස සැළකේ. මෙම අර්ථකතනය තුළ තරඟකාරි ව්‍යාපාරික සමාගම්වලට එකී චර්යාවන්ගෙන් සිදුවන බලපෑම සැළකිල්ලට නොගැනේ.

කාබන් මත පදනම් ඉන්ධන භාවිතය පිළිබඳව සමාගම්වල චර්යාවන් වෙනස් කිරීම සඳහා භාරකාර ධනවාදය මැදිහත් වේ. එමෙන්ම සමාගම් විසින් සිදු කරන නිෂ්පාදනයේ ප්‍රතිලාභයන් සහ බාහිර පිරිවැය(benefits and externalities) ද බෙදාහැරීමේ කටයුතුවලටද භාරකාර ධනවාදය මැදිහත් වෙයි.

මෙහි අදහස වන්නේ භාරකාර ධනවාදී ආකෘතිය හරහා සමාගම් ක්‍රියාකාරිත්වයට එහා ගිය ආණ්ඩුකරණ මැදිහත් වීමක් ද සිදුවන බවය.

සම්මත කෝපරේට්වාදයේදී මෙන්ම භාරකාර ධනවාදයේදී ද සමාගම් පළමුව සහ අති මූලිකව ක්‍රියාත්මක වන්නේ තමන්ගේම අවශ්‍යතා වෙනුවෙනි. අනෙක් දේවල් අනුමත කිරීම සහ බලාත්මක කිරීම සිදුවන්නේ රාජ්‍යය මගිනි. භාරකාර ධනවාදයේ අන්තර්ගත අරමුණු සමාගම් සහ රාජ්‍යය විසින් ඒකාබද්ධව “දේශගුණික විපර්යාස ” වැනි පාරිසරික ප්‍රශ්න සඳහා ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවේ. තමන්ගේම පාරිසරික පද්ධතින් තුළ අවදානම් සහගත තත්ත්වයක පසුවන ප්‍රජාවන් කෙරෙහි වන සිය වගකීම සහ කැප කිරීම පිළිබඳව නැවත සිතා බැලීමක් ද එයට අන්තර්ගත වන බව ලෝක ආර්ථික සංසදයේ නායක ක්ලාවුස් ෂ්වාබ් පවසයි.

මෙය භාරකාර ධනවාදයේ සමාජ යුක්තිය පිළිබඳ පැතිමානයයි. මෙහිලා විශේෂ භාරකරුවන්(stakeholders) ලෙස පෙන්නුම් කරනු ලබන්නේ භාරකාර ධනවාදයේ ප්‍රතිලාභ හිමිවිය යුතුයැයි සැළකෙන ස්ත්‍රීන්, කළු සහ දුඹුරු සමක් සහිත ජනයා, ස්වදේශිකයන්, සහ සංක්‍රාන්තික ලිංගිකයන් වැනි අනෙකුත් අනන්‍යතා කණ්ඩායම්ය.කෙසේ වුව ද යථාර්ථය නම් ඔවුන්ට අවසානයේදී කිසිවක් හිමි නොවන බවය.

භාරකාර ධනවාදයේ අනුගාමිකයන් විසින් භාරකාර ධනවාදය ඔවුන් විසින් “නව ලිබරල්වාදය” ලෙසට හඳුන්වනු ලබන දෙයට ප්‍රතිවිරුද්ධව ස්ථානගත කර තිබේ. වර්තමානයේදී නව ලිබරල්වාදය නොමග යවන සුළු වචනයක් බවට පත්ව තිබේ.එය විවිධ පුද්ගලයන් විවිධ අර්ථයන් සඳහා භාවිතා කරනු ලබයි.නමුත් ක්ලාවුස් ෂ්වාබ් සහ ඔහුගේ සම කර්තෘවරයා වන තියෙරි මැලරට්(Thierry Malleret) විසින් මෙම වචනය භාවිතා කර ඇත්තේ භාරකාර ධනවාදයේ සතුරා වන විවෘත වෙළඳ පොළ ආර්ථිකය හැඳින්වීම සඳහාය.

ඔවුන්ට අනුව නිදහස් වෙළඳපොළ යනු තරඟකාරිත්වයට එරෙහිව සහයෝගිතාවද, නිර්මාණශීලි විනාශකාරිත්වයට එරෙහිව ආණ්ඩුමය මැදිහත්වීම ද, ආර්ථික වර්ධනයට එරෙහිව සුබසාධනයද පිහිටුවමින් ලිහිල් ලෙස අර්ථ දැක්විය හැකි අදහස් සහ ප්‍රතිපත්ති සංග්‍රහයකි. ඔවුන් ආර්ථික වර්ධනයට එරෙහිව සුබසාධනය ස්ථානගත කර ඇත්තේ ඒවා එකිනෙකට විරුද්ධ අන්තයන් ලෙස සළකමිනි. මෙහි ඇති අභූතය එයයි. මේ අනුව භාරකාර ධනවාදය නිදහස් වෙළඳපොළක්‍රමය මත පදනම් ධනවාදයට එරෙහිව ස්ථානගත කෙරී ඇති බව පෙනී යයි.

භාරකාර ධනවාදය විසින් එහි සියලු පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ හිමිකර දෙන බව අප වෙත පවසනු ලබයි. නමුත් වෙළඳපොළ ආර්ථිකයට බාධා කිරීම මගින් භාරකාර ධනවාදය විසින් සැබෑ ව්‍යාපාරික භාරකරුවන්ට විශාල අයුක්තියක් සිදු කරනු ලබයි. මෙම අයුක්තියට ගොදුරු වන්නේ ඒවායේ කොටස්හිමියන් හෝ අයිතිකරුවන්, සේවකයන් සහ ගණුදෙනුකරුවන් පමණක් නොවේ. සමස්ත සමාජයම එහි ගොදුරක් බවට පත්වේ.

භාරකාර ධනවාදය විසින් තර්ජනයක් එල්ලකරනු ලබන්නේ නිදහස් ව්‍යවසායන්ට පමණක් නොවේ. එය විසින් පුද්ගලික නිදහසට සහ නිදහස් සමාජයට ඉතා බරපතල තර්ජනයක් එල්ලකරන ආකාරය මම අද ඔබ හමුවේ ඉදිරිපත් කරමි.

ජෙනරල් මෝටර්ස්, ඩොක්ටර් ඊවිල් සහ ක්ලාවුස් ෂ්වාබ්

ජෙනරල් මෝටර්ස් සමාගමේ “2022 Super Bowl” සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වෙළඳ දැන්වීම වෙත අවධානය යොමු කරමි.මෙම වෙළඳ දැන්වීමේ අරමුණ ජෙනරල් මෝටර්ස් සමාගම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා කාබන් විමෝචනය ශුන්‍ය බවට පත්කිරීමට විද්‍යුත් වාහන පමණක් නිර්මාණය කිරීමට තීරණය කිරීම පිළිබඳවයි. එමගින් ග්‍රහලෝකය ආරක්ෂා කර ගැනීමට සිය කැපවීම පෙන්වීමට ජෙනරල් මෝටර්ස් සමාගම මෙහිදී උත්සාහ කරයි.

මෙම වෙළඳ දැන්වීම නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ ඔස්ටින් පවර්ස් චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතය ලෙස සැළකෙන “ ඩොක්ටර් ඊවිල් ” හෙවත් දුෂ්ට විද්‍යාඥයෙකු සහ ඔහුගේ සහායකයන් අතර පෘථිවියට එල්ල වී ඇති පාරිසරික තර්ජනයකින් එය ගලවාගන්නේ කෙසේද යන්න ගැන ඇතිවන සංවාදයක් ලෙසය. පෘථිවියට එල්ලවී ඇති මෙම තර්ජනය අන් කිසිවක් නොව පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් එහි “කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් මතුවන දේශගුණික විපර්යාසය” ලෙස මෙහිලා නිරූපණය වේ.තිරපිටපතේ දැක්වෙන ආකාරයට මෙම ඩොක්ටර් ඊවිල් සහ ඔහු ගේ කණ්ඩායම ඇමෙරිකාවේ ප්‍රමුඛ රථවාහන නිෂ්පාදන සමාගමක් වන ජෙනරල් මෝටර්ස් සමාගම අත්පත් කරගෙන ඉන්පසුව කළ යුතු දේ ගැන සාකච්ඡා කරමින් සිටිති. මෙහිදී ඔහුගේ සහායකයන්ගේ ප්‍රකාශ අනුව පෙනී යන්නේ පෘථිවියේ නරකම සතුරා ලෙස අංක එක ස්ථානය මේ දක්වා හිමිව සිටි ඩොක්ටර් ඊවිල්ට එම ස්ථානය අහිමි කරමින් එම තැන “දේශගුණික විපර්යාසය” නම් වඩාත් බිහිසුණු සතුරා විසින් අත්පත් කරගෙන ඇති බවය. මෙහිදි ඔහුගේ සහායකයෙකු විසින් ඩොක්ටර් ඊවිල් වෙත යෝජනා කරන්නේ පළමුව ග්‍රහලෝකය ගලවාගෙන පසුව එය අත්පත් කරගත යුතු බවයි. ඒ සඳහා ඔවුහු විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයට අවතීර්ණ වේ.

ලෝක ආර්ථික සංසදයේ සංකාන්ත්‍රික මානුෂිකවාදි ප්‍රවණතාවන් ද මෙම වෙළඳ දැන්වීම තුළ අතිරේක වශයෙන් ප්‍රවර්ධනය කරනු දැකිය හැකිය. එනම් ඔහුගේ සහායකයා වන ස්කොට් විසින් බිළිඳු දරුවෙකු වඩාගෙන සිටින අතර එම දරුවාගේ මුහුණ ලෙස දැන්වීමේ අවසාන ජවනිකාවේදී පෙන්නුම් කරන්නේ ඩොක්ටර් ඊවිල්ගේ මුහුණට සමාන මුහුණකි. මෙම දැන්වීම පළවන්නේ පෘථවියේ වෙසෙන සියලුම ස්ත්‍රින් සහ පුරුෂයන් කොවිඩ්-19 වසංගතයෙන් ගලවාගැනීමට යැයි කියමින් ජාන විකෘතිකාරක එන්නත්වලින් එන්නත් කිරීමට දරන ලද බලහත්කාරි උත්සාහයකින් පසුව බව මෙහිලා සිහිපත් කරගැනීම වැදගත්වේ. පෘථිවියේ ඉපිදෙන සෑම දරුවෙකුම සිය ජානමය මුද්‍රාව සහිත ජීවියෙකු බවට පත්කිරීම මෙවැනි දුෂ්ට විද්‍යාඥයන්ගේ සහ ඔවුන් විසින් මෙහෙයවන අධිරාජයන්ගේත් ධනපතියන්ගේත් කෘෘර සහ විකෘති සිහිනයක් බවට පත් වී ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය හෝ සිනමාව තුළ පමණක් නොවේ.

ජෙනරල් මෝටර්ස් වෙළඳ දැන්වීමේ තිර පිටපත මෙසේය. වීඩියෝව නැරඹීම සඳහා මෙහි ක්ලික් කරන්න

ඩොක්ටර් ඊවිල්: නෝනාවරුනි, මහත්වරුනි! ජෙනරල් මෝටර්ස් සමාගම අත්පත් කරගැනීම සඳහා අප විසින් දියත් කරන ලද මෙහෙයුම දැන් සම්පූර්ණ වී තිබේ.

1 වැනි සහායකයා: ඩොක්ටර් ඊවිල්, අපට දැන් අපගේ සම්පූර්ණ ක්‍රියාන්විතයම බලාත්මක කිරීම සඳහා වේදිකාවක් ලෙස ජෙනරල් මෝටර්ස් භාවිතා කළ හැකියි.

2 වැනි සහායකයා(ස්කොට්): අපට දැන් වාහනවල දුම්බටවලින් විෂවායු නිකුත් කිරීම අඩුකළ හැකිය.

ඩොක්ටර් ඊවිල්: මම කණගාටු වෙනවා මම තවදුරටත් ඩොක්ටර් ඊවිල් නොවීම ගැන, මම දැන් ඩොක්ටර් ගුඩ් බවට පත්වෙලාද?. මට තේරෙන්නේ නැහැ මේ විහිළුව…

2 වැනි සහායකයා(ස්කොට්): දැන් ලෝකයට එල්ලවී ඇති අංක එකේ අනතුර ලෙස දේශගුණික විපර්යාසය සැළකෙනවා.

1 වැනි සහායකයා: ඩොක්ටර් ඊවිල් ඔබව දැන් ලෝකයට එල්ලවී ඇති තර්ජන ලැයිස්තුවේ දෙවැනි තැනට වැටී තිබෙනවා.

ඩොක්ටර් ඊවිල්: අංක දෙක බවට පත්වීම මම ප්‍රතික්ෂේප කරනවා.

2 වැනි සහායකයා(ස්කොට්): අප ලෝකයට උදව් කළ යුතුයි. මගේ පුතා වෙනුවෙන්

ඩොක්ටර් ඊවිල්: මට කඳුළු එනවා.

2 වැනි සහායකයා(ස්කොට්): අප ලෝකයට උදව් කළ යුතුයි. මගේ පුතා වෙනුවෙන්

ඩොක්ටර් ඊවිල්: (දෙවැනි සහායකයාගේ පුතා වෙත අවධානය යොමු කරමින්) ඔබගේ පුතා? මම ඔහුව මගේ දරුවා “බේබි-මී ” ලෙස නම් කරනවා

2 වැනි සහායකයා(ස්කොට්): නැහැ, ඔහුගේ නම කයිල්

ෆැබ්‍රිසිනා මහත්මිය: ඔබ පළමුව ලෝකය බේරාගැනීම සඳහා උදව් කළ යුතුයි. ඊට පසුව ඔබට එය අත්පත් කරගත හැකිය.

ඩොක්ටර් ඊවිල්: මට මගේ වැඩ මට ඕනෑ ලෙස කරගන්න දුන්නොත් නරකද? පොඩ්ඩක් ඉන්න මට ඒක තේරුණා. මම පළමුව ලෝකය බේරාගැනීම සඳහා උදව්කරනවා. ඉන් පසුව එය අත්පත් කරගන්නවා.

2 වැනි සහායකයා(ස්කොට්): ඇය එහෙම තමයි කිව්වෙ.

ඩොක්ටර් ඊවිල්: ස්කොට්, ඔබට ඒක තේරුණේ නැහැ නේද? ඔබට ඒක තේරුණාද?

2 වැනි සහායකයා(ස්කොට්): මට තේරුණේ නැත්තේ මොකක්ද?

ඩොක්ටර් ඊවිල්: ස්කොට්, ඔබට ඒක තේරුණේ නැහැ.

2 වැනි සහායකයා(ස්කොට්): ඔන්න ඉතින් අපි ආපහු එකම තැන කැරකෙනවා.

ඩොක්ටර් ඊවිල්: ඔබට කවදාවත් ඒක තේරෙන්නේ නැහැ.

2 වැනි සහායකයා(ස්කොට්): මාව මෙතරම් පහත් කර කතා කිරීම ඔබ විසින් නතර කළ යුතුයි.

(ඩොක්ටර් ඊවිල් සිය අසුන මත සවිකර ඇති කිසියම් විද්‍යුත් බොත්තම් පුවරුවක් එබීමට වෑයම් කරයි. ෆැබ්‍රිසිනා මහත්මිය ඩොක්ටර් ඊවිල්ගේ අතට පහරක් ගසා එය වළක්වයි.)

2 වැනි සහායකයා(ස්කොට්): ඔබ හැසිරෙන්නේ ලමයෙක් වගේ. ඔබට මගේ බොත්තම් එබීම තවදුරටත් කළ නොහැකියි.

ෆැබ්‍රිසිනා මහත්මිය: නවත්තන්න ඔය රණ්ඩුව! අපි කාබන් පිය සටහන් යම් ප්‍රමාණයකට අඩු කළ යුතුව තිබෙනවා

ඩොක්ටර් ඊවිල්: ඕන කෙහෙම්මලක්, හොඳයි අපි ඔක්කොම විද්‍යුත් වාහන නිෂ්පාදනය සඳහා යොමු වෙමු. 2025 දී ලෝකයේ සැමට විද්‍යුත් වාහන!

ෆැබ්‍රිසිනා මහත්මිය: හැමෝම නගින්න

( සියල්ලන් විද්‍යුත් රථවලට ඇතුළු වීමට සැරසේ. නමුත් ඩොක්ටර් ඊවිල් විසින් ස්කොට් සහ දරුවා විද්‍යුත් රියකට ඇතුළුවීම වළක්වයි.)
ඩොක්ටර් ඊවිල්: ඔබ එන්න අවශ්‍ය නැහැ ස්කොට්. ඔය දරුවා “බේබි මී ” දවසක මේ සමාගම මෙහෙයවීම භාරගත යුතුයි.

තිරය මත ස්කොට්ගේ දරුවාගේ මුහුණ දිස්වේ. එම මුහුණ ඩොක්ටර් ඊවිල්ගේ මුහුණමය.
[සංගීතය]

මෙම වෙළඳ දැන්වීම මයික් මයර්ස්, සෙත් ග්‍රීන්, රොබ් ලෝ සහ ඩොක්ටර් ඊවිල්ගේ චරිතය රඟපෑ මින්ඩි ස්ටර්ලින් ඇතුළත් ඔස්ටින් පවර්ස් චිත්‍රපට මාලාවේ ප්‍රතිවාදනයක් ලෙස සැළකිය හැකිය. ෆැබ්‍රිසිනා මහත්මිය, ස්කොට් ඇතුළු ඔහුගේ සහායකයන් විසින් ඩොක්ටර් ඊවිල් වෙත පවසන්නේ දේශගුණික විප්රයාසය ලෝකයේ පළමු සතුරා බවට පත්ව පළමු සතුරා ලෙස ඔහු දරන ලද ස්ථානය දැන් වෙනස් කර ඇති බවත් එහෙයින් එම ස්ථානය නැවත ලබාගැනීම සඳහා දේශගුණ විපර්යාසයන් පැරදවීමේ විසඳුම්වලට සහාය දිය යුතු බවත්ය. මෙහිලා ඔහුගේ සහායකයන් ලෝකය මත සිය ආධිපත්‍යය තහවුරු කිරීමේ ඩොක්ටර් ඊවිල්ගේ දුෂ්ට සැලසුම් අත්හැර දැමිය යුතු යැයි නොපවසති. ෆැබ්‍රිසිනා මහත්මිය පවසන්නේ පළමුව දේශගුණ විපර්යාසය පරාජය කර ලෝකය විනාශයෙන් ගලවාගෙන අනතුරුව එය අත්පත් කරගත යුතු බවකි.

මොලි ටාෆ්ට්

සුපිරි වීරයෙකු ලෙස පෙනී සිටින සැබෑ ලෝකයේ දුෂ්ටයෙකු වූ ජෙනරල් මෝටර්ස් සමාගම ප්‍රබන්ධමය දුෂ්ට චරිතයක් වූ ඩොක්ටර් ඊවිල් විසින් අත්පත් කරගැනීම පිළිබඳ උත්ප්‍රාසය මග නොහරින ගිස්මෝඩෝ (Gizmodo)සඟරාවේ තීරු ලිපි රචිකාවියක් වූ මොලි ටාෆ්ට්ට (Molly Taft) විසින් එහි ඇති ලජ්ජා විරහිතබව පෙන්වා දී තිබේ.
“දේශගුණ විපර්යාසයන් ප්‍රතික්ෂේප කිරීමේ ජෙනරල් මෝටර්ස් සතු දිගු ඉතිහාසය විසින් මෙම වෙළඳ දැන්වීම වේදනාකාරි වාච්‍යාර්ථයක් බවට පත් කර තිබෙන අතර එය පරිසරය දූෂණය කරන සමාගම් සිය අපකීර්තිය හරිත ශෝධනයකට ලක් කරගැනීමට දරන්නා වූ උත්සාහයන් ගැන අනතුරු ඇඟවීමක් ද වේ. ”(Molly Taft, Gizmodo)

නමුත් ටාෆ්ට්ට අනුව ජෙනරල් මෝටර්ස් විසින්ම තමාව මෙම සංකේතාත්මක චරිතය වන ඩොක්ටර් ඊවිල් ලෙස නිරූපණය කරගැනීම අර්ධ වශයෙන් දක්ෂ එකක් වන අතර එය විසින් අදාළ කරුණු ඇටකටු දක්වාම ඡේදනය කර තිබේ. මෙය අප තුළ යම් උත්ප්‍රාසයක් දනවයි.නමුත් ජෙනරල් මෝටර්ස් සමාගම ඩොක්ටර් ඊවිල් ලෙස නිරූපණය කිරීම ටාෆ්ට් වැනි නිරීක්ෂකයන්ට අනුව විහිළුවකි. සමාගම විසින් උත්ප්‍රාසාත්මක ලෙස යෝජනා කරන්නේ එය ටාෆ්ට් වැනි අය විසින් යෝජනා කරන පරිදි අපරාධකාරි බලවේගයක් නොවන බවය. අවසානයේදී ගත් කල ඩොක්ටර් ඊවිල් යනු ප්‍රබන්ධමය දුෂ්ට චරිතයක් වන අතර ජෙනරල් මෝටර්ස්හි සැබෑ විධායක නිලධාරියා නොවේ.
මෙම වෙළඳ දැන්වීමේ වඩාත් උත්ප්‍රාසාත්මකම දෙය වන්නේ අවිඥානක ලෙස ජෙනරල් මෝටර්ස් මගින් ලෝක ආර්ථික සංසදය නියෝජනය කරවීමය. එය ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ සහ සභාපති ක්ලාවුස් ෂ්වාබ් විසින් ප්‍රවර්ධනය කරනු ලබන “ආචාර ධාර්මික වටිනාකම්” සහ සංස්කෘතියට අනුව නිර්මාණය කෙරී තිබේ. ක්ලාවුස් ෂ්වාබ් ඔස්ටින් පවර්ස් චිත්‍රපට මාලාවේ ඩොක්ටර් ඊවිල්ගේ දුෂ්ට චරිතයට සමාන කිරීම බෙහෙවින් ජනප්‍රිය සන්සන්දනයක් බවට පත්ව තිබේ.

දේශගුණික විපර්යාස ව්‍යසනවාදය පිළිබඳ ලෝකයේ ප්‍රමුඛතම ප්‍රචාරකයා ෂ්වාබ්ය. ඔහු සහ ඔහුගේ කෝපරේට් භාරකරුවන් එය ලෝක ආර්ථික සංසදයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. ෂ්වාබ් ඔහුගේ නිර්මාණයක් වන භාරකාර ධනවාදය පිළිබඳ න්‍යාය හරහා මෙම දේශගුණික විපර්යාස ව්‍යසනවාදය බලාත්මක කරමින් බාහිර ආර්ථික සහ දේශපාලන බලවේගවලට එරෙහිව එය යොදවමින් තිබේ.

විවිධ සමාගම් මෙම න්‍යාය පත්‍රයට කොතෙක් දුරට අනුගතවන්නේ දැයි මැනීම සඳහා යොදාගනු ලබන්නේ “පාරිසරික,සමාජීය සහ ආණ්ඩුකරණය” පිළිබඳ මෙම දර්ශකයන්ය (Environmental Social and Governance index – ESG).

භාරකාර ධනවාදය විසින් එහි හවුල්කාර සමාගම් ඒවායේ ඒකාධිකාරි ආර්ථික උන්නතිකාමය දිරිගන්වමින් ලෝක ඒවා සමාගම් විසින් පාලනය කෙරෙන ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා මෙහෙයවයි.

සිය වෙළඳ දැන්වීම තුළ ක්ලාවුස් ෂ්වාබ්ව ප්‍රතිරූපනය කිරීමට ජෙනරල් මෝටර්ස් සමාගමට සැබැවින්ම අවශ්‍යව තිබේද? මෙම ප්‍රතිරූපනය සවිඥානක එකක් වූව ද නොවූව ද මෙම වෙළඳ දැන්වීම විසින් නිසැකවම ෂ්වාබ්ගේ භාරකාර ධනවාදය පිළිබඳ න්‍යායන් සිහියට නංවයි.

ක්ලාවුස් ෂ්වාබ්ව ඩොක්ටර් ඊවිල්ට සමාන කරමින් දැනට වසර කීපයක සිට අන්තර්ජාලය පුරා ව්‍යාප්තව පවතින ඡායාරූප, වීඩියෝ සහ ලිපි ආදිය පිළිබඳවද මෙම වෙළඳ දැන්වීම සඳහා යොදවන්නට ඇති ඩොලර් මිලියන ගණනක් විය හැකි අති විශාල මුදල පිළිබඳවද අවධානය යොමුකළ විට එළැඹිය හැකි නිගමනය වන්නේ එය නිර්මාණය කළ කලාශිල්පීන් කණ්ඩායම මෙම සන්සන්දනය පිළිබඳ නොදැන සිටින්නට ඉඩක් නැති බවය.

එම වෙළඳ දැන්වීම තුළ ක්ලාවුස් ෂ්වාබ් ඩොක්ටර් ඊවිල් ලෙස නිරූපණය කිරීම සිදුව ඇත්තේ අවිඥනකවද නැතහොත් සවිඥානවකද යන කරුණ පසෙකට දැමූවද එය විසින් ජෙනරල් මෝටර්ස් සහ එහි පාරිභෝගිකයන් හට පිලිගැනීමට බලකෙරී ඇති න්‍යායපත්‍රය පිළිබඳව “මුකපූට්ටූ කෙරෙන” විවේචනයක් ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම ඩොක්ටර් ඊවිල් වෙළඳ දැන්වීම විසින් භාරකාර ධනවාදී සංස්ථාපනය තුළ යම් දුෂ්ට ක්‍රියාකාරිත්වයක් ද පවතින බව නිහඬව පිළිගනියි.
ලෝක ආර්ථික සංසදය සහ එහි කෝපරේට් හවුල්කරුවන් විසින් සිය ව්‍යාපෘතිය “සාධාරණත්වය ” සහ “තිරසාර බව ” යන වචන මගින් ඔප දමා හැඩවැඩ ගන්වා ඉදිරිපත් කිරීමට කවර වෑයමක් දැරුණද භාරකාර ධනවාදය යටතේ පනවන ලද නියෝග තුළ නපුරු සහ රැවටිලි සහගත දෙයක් පවතින බවට හැඟීමක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

“ජාගරිත ධනවාදය ”(woke capitalism) කෝපරේට්වාදයේ ෆැසිස්ට් උපාංගයක් ලෙස

මෙම භාරකාර ධනවාදය “ජාගරිත ධනවාදය ”(woke capitalism) ලෙස ද හැඳින්වේ. මෙම හැඳින්වීම නිර්මාණය කරන ලද්දේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වන රෝස් ඩවුතට්(Ross Douthat) විසිනි.

එය යොදාගන්නා ලද්දේ ජාගරිත න්‍යාය පත්‍රය විසින් ප්‍රවර්ධනය ප්‍රවර්ධනය කරන නව පන්නයක කෝපරේට් ක්‍රියාකාරිකවාදයක් හැඳින්වීම සඳහාය. එනම් ලාභ ලැබීම සිය අරමුණු කොටගත් සමාගම් විසින් ලිංගිකත්වය, බහුත්වවාදය,සංක්‍රාන්තික ලිංගික අයිතිවාසිකම්, සංක්‍රමණ ප්‍රමිතියක් නොමැතිවීම, ඡන්දක්‍රම ප්‍රතිසංස්කරණ, දේශගුණික විපර්යාස අවම කිරීම වැනි අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කිරීම හැඳින්වීම සඳහාය.

රෝස් ඩවුතට්

මෙම යෙදුම පිළිබඳව තවදුරටත් පැහැදිලිකිරීමක යෙදෙන ඔහු විසින් යෝජනා කර ඇත්තේ ජාගරිත ධනවාදය ක්‍රියාත්මක වන්නේ සංකේතීය වටිනාකම් සඳහා ආර්ථික වටිනාකමක් ආදේශ කිරීම මගින් බවය.

ජාගරිත ධනවාදය යටතේ සමාගම් විසින් සිය සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට ඉහළ වැටුප්, මනා ප්‍රතිලාභ හෝ නිෂ්පාදිත භාණ්ඩ අඩුමිලට සැපයීම වැනි සිය ලාභ රේට්ටු අඩුවන පරිදි මුදල් වැය කිරීමට සිදුවන සැබෑ සහන සැලසීම වෙනුවට වාග්-මායාවන් ඉදිරිපත් කරයි.

ජාගරිත ධනවාදය විසින් මේ හා සමාන ප්‍රතිඥාවන් ලිබරල් සහ දේශපාලන ප්‍රභූන් ඇතුළු ප්‍රභූ පෙළැන්තිය වෙත ද ඉදිරිපත් කරයි. එනම් මැට් විසින් පෙන්වා දුන් පරිදි , අධික බදු මුදල් පැනවීමෙන් සහ ඒකාධිකාරය ගොඩ නැංවීම සීමා කෙරෙන නීතිවලින් ඔවුන්ව ආරක්ෂා කිරීම යනාදියයි.

මේ සම්බන්ධව වෙනත් පැහැදිලි කිරීම් ද තිබේ. එයින් එකක් නම් සමහර සමාගම් ජාගරිතවාදි ක්‍රියාකාරිත්වයකට යොමුව ඇත්තේ ට්විටර් මැරයන් සහ ජාගරිත ක්‍රියාකාරිකයන් විසින් තමන් අවලංගු කිරීමෙන් වැලැකි සිටීම සඳහාය. ඇතැම් මතයකට අනුව සමාගම් ජාගරිතවාදය අනුගමනය කරන්නේ ජාගරීය බව හොඳ අලෙවි උපක්‍රමයක් වන හෙයිනි. තවත් සමහර මතයකට අනුව සමාගම් ජාගරිතවාදයට යොමුව ඇත්තේ ඒවායේ ප්‍රගතිශිලි කොටස් හිමියන්ගේ ඉල්ලීම් නිසාය.
නමුත් මේ කිසිදු පැහැදිලි කිරීමකින් ජාගරිත ධනවාදය යනු කුමක්දැයි නිශ්චිතව පැහැදිලි වන්නේ නැත. මක් නිසාද යත් ජාගරිත ධනවාදය කා වැදී පරිමාණය සහ එයට ජාගරිත ධනවාදයේ උපරිම ප්‍රකාශනය වන භාරකාර ධනවාදය සමග ඇති සම්බන්ධතාව පිළිගැනීමට ඒවා අසමත්ව ඇති බැවිනි.
භාරකාර ධනවාදය සමග ජාගරිත ධනවාදය සියළු වාග් මායාවන් ඉක්මවමින් ව්‍යාප්ත වී තිබේ. මහජන සම්බන්ධතා ව්‍යාපාර සහ වෙළඳ ප්‍රචාරක ව්‍යාපාර ලිබරල්වාදින්ගේ බාහිර ප්‍රචාරක ආවරණ පමණි.වාම ලිබරල්වාදි මහජන නියෝජිතයන් විවිධ ක්‍රම මගින් අවනත කරවාගෙන අවශ්‍ය පරිදි මෙහෙයවීම,බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන්ට දීමනා සහ වරප්‍රසාද ලබා දීම ආදිය ඉහත පැහැදිලි කිරීම් තුළ විස්තර නොකෙරේ.

ජාගරිත ධනවාදය විසින් සමාගම්වල ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑම් කරමින් ඒවායේ චර්යාවන් සැලකිය යුතු පරිදි වෙනස් කර තිබේ.“ජාගරීයත්වයේ ” උපරිමයේදී සමාගම් සහ රාජ්‍යය එහි ග්‍රහණයට යටත් කර ගනු ලබයි. එය සීමා සහ තහංචි පැනවීමේ අවියක් බවට පත්ව තිබේ.

භාරකාර ධනවාදය හෝ ජාගරිත ධනවාදයේ නියෝග අනුගමනය කිරීමට එකඟ වී ඇති සමාගම්වලින් සැදුම්ලත් කාටලය විසින් ජාගරිතවාදි ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කරන සිය ව්‍යාපාරික තරඟකරුවන් වෙන් කර හඳුනා ගැනීමේ උපකරණයක් ලෙස ජාගරිත ධනවාදය යොදාගන්නා අතර ඉන්පසුව ඔවුන් වෙත ප්‍රාග්ධන ආයෝජන සැපයීම වළක්වමින් ඔවුන්ව මූල්‍යමය වශයෙන් හාමත්කරවා විනාශයට පත්කර තරඟයෙන් ඉවත් කිරීම සිදු කරනු ලබයි.

මෙම ජාගරිත එසේ නැත්නම් භාරකාර ධනවාදය සමස්ත සමාජයේ බහුතරයකගේ අවශ්‍යතාවන් සිය ජාගරිතවාදි න්‍යාය පත්‍රයට යටත් කරමින්, නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද, නිෂ්පාදනය කරන්නේ කෙසේද, අලෙවි කළ යුත්තේ කුමක්ද, කාටද යන සියළු කටයුතු පාලනයකට යටත් කරගෙන තිබේ. මෙය සමස්ත සමාජයේම කෝපයට හේතුවිය යුතු කරුණකි.

ජාගරිත ධනවාදය එයට අනුගතවන්නන් සහ නොවන්නන් බෙදා වෙන්කිරීමේ වරණීය යාන්ත්‍රණයක් ලෙස ද ක්‍රියාත්මක වේ. එලෙස වෙන්කර හඳුනාගැනීම්වලට ලක්වන්නේ සමාගම් හෝ ව්‍යවසායයන් පමණක් නොවේ. මෙම ජාගරිත ක්‍රියාවලියට අනුගත වීමට අකැමැති පුද්ගලයන් හඳුනාගැනීම සඳහාද මෙම යාන්ත්‍රණය යොදාගැනේ.
“ජාගර විරෝධී ” පුද්ගලයන් ඔවුන්ගේ සමාජ දේශපාලන ජීවිතය වෙතින් වෙන් කර හුදෙකලා කර නිහඬකර දැමීම සිදුවන ආකාරයටම භාරකාර ධනවාදයට අනුගත නොවන සමාගම් ආර්ථික ක්‍රියාවලියෙන් ඉවත් කර දැමීම සිදු වේ.
සමාගමක් අවලංගු කරදැමීම එක්සත් ජනපදයේ MyPillow සමාගම සම්බන්ධව සිදුවූවාක් මෙන් අවශ්‍යයෙන්ම  දේශපාලන හේතුන් වල ප්‍රතිඵලයක් ලෙස සිදු නොවේ.
එම අවලංගු කිරීමේ ක්‍රියාදාමය සිදුවන්නේ කොටස් වෙළඳපොල, බැංකු කර්මාන්තය,රක්ෂණ කර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත හරහා සිදුවන ආයතනගත කරන ලද ක්‍රියාදාමයක් ලෙසය.
මම ඒ පිළිබඳව පසුව තව මොහොතකින් කතා කරමි.

ESG ව්‍යාපෘතිය තුළ සඟවා ඇති ඒකාධිකාරිවාදි න්‍යාය පත්‍රය

මෙම ESG හෙවත් පාරිසරික,සමාජීය සහ ආණ්ඩුකරණය පිළිබඳ ඇගයීමේ ක්‍රමය( Environmental, Social and Governance Index) සමාගම් සඳහා භාවිතයේ යොදමින් ඇති සමාජීය ඇගයුම් ක්‍රමයක් (Social Credit Score)ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි.

එය තමන්ගේ “ජාගරිත ක්‍රියාවලියට ” අවනත පුද්ගලයන්ට හෝ සමාගම්වලට ත්‍යාග සහ වරදාන ලබාදීමත් එයට එරෙහිවන පුද්ගලයන්ට හෝ සමාගම්වලට දඬුවම් ලබාදෙමින් ඔවුන්ගේ හුස්ම හිරකර විනාශකර දැමීමත් සඳහා භාවිතා වන ක්‍රමයකි.

දැනටමත් ජාගරිත ක්‍රියාවලියට එක්ව සිටින මූල්‍ය ආයතන විසින්  එයට එක් නොවන්නවුන් වෙතින් ප්‍රාග්ධන ආයෝජනයන් ඉවත් කිරීම හරහා  ඔවුන්ගේ පැවැත්ම අහෝසි කර දමනු ලබයි. සංගතවාදි සැලසුම්කරුවන් විසින් ESG දර්ශකය යොදාගනු ලබන්නේ ජාගරිත ධනවාදි නැතහොත් භාරකාර ධනවාදි කාටලයේ සාමාජිකත්වය සඳහා ප්‍රවේශවීමේ අවසරපත්‍ර නිකුත් කරන ව්‍යාපෘතියක් ලෙසය. මෙය කාටල් ව්‍යාපෘති සංකීර්ණයකි.

සංගතයේ සැලසුම්කරුවන්ගේ අරමුණ මෙම ජාගරිතවාදි බලහත්කාරය හරහා නිෂ්පාදනය සහ බෙදාහැරීම හැකිතාක් සිය පාලනය යටතට ගැනීමය.
පර්යේෂණයන් මගින් තහවුරු කර ඇත්තේ ESG ආයෝජනයන් කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ට එරෙහිව මහා පරිමාණ සමාගම්වලට වාසි සැලසෙන පරිදි භාවිතයේ යෙදෙන බවය.
ජාගර ධනවාදය සැබැවින්ම ඒකාධිකාරිත්වය හිමිකරගැනීම සඳහා කරනු ලබන ක්‍රීඩාවකි.එය හස්බ්‍රෝ විසින් මෑතකදී නිකුත් කරන ලද “මොනොපොලි ක්‍රීඩාවට”(Hasbro – Monopoly Game) සමාන නොවේ.

ජාගරිත ධනවාදි කාටලය එය විසින් තමන්ව හඳුන්වාගන්නා පරිදි පහල සිට ඉහලට ක්‍රියාත්මක වන බිම් මට්ටමේ ක්‍රියාකාරිකයන් විසින් ගොඩ නගන ලද ව්‍යාපාරයක් නොවේ.එය මෙහෙයවන්නේ ඉහළ සිටය. මේ පිළිබඳව ඉපොක් ටයිම්ස්හි නේතන් වෝර්සෙස්ටර් මෙසේ සඳහන් කර තිබේ.

නේතන් වෝර්සෙස්ටර්

“ESG හි ජාත්‍යන්තරවාදි හෝ ගෝලීයකරණවාදි ස්වරූපය තුළ අලුත් කිසිවක් නැත. සත්‍ය වශයෙන්ම ESG යන යෙදුම නිර්මාණය වී ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානය, ස්විට්සර්ලන්ත රජය, මෝර්ගන් ස්ටැන්ලි, ඩොයිෂර් බෑන්ක්, ක්‍රෙ ඩිට් ස්විස් ගෘප් සහ ගෝල්ඩ්මන් සැක්ස් වැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර බැංකු සමූහයක් යනාදියේ ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයක් ලෙසය. ”
(නේතන් වෝසෙස්ටර් දි ඉපොක් ටයිම්ස්)

ESG යනු භාරකාර ධනවාදයේ අංගයකි. භාරකාර ධනවාදය මෙහෙයවන යාන්ත්‍රණය එයයි. ESG යනු භාරකාර ධනවාදයේ නියෝග අනුව සමාගම් හැසිරෙන්නේ දැයි විශ්ලේෂණය කිරීම පිණිස යොදා ගැනෙන මෙවලමකි.

ESG දර්ශකවල අගයන් අනුව සමාගම් ශ්‍රේණිගත කිරීම

පාරිසරික (E),සමාජීය(S), ආණ්ඩුකරණය (G)ආදි ක්ෂේත්‍රයන් තුළ සමාගම්වල භාවිතය සහ සැලසුම් අනුව ඔවුන්ව ශ්‍රේණිගත කරනු ලැබේ.

පාරිසරික කාර්ය සාධනය (E)

පාරිසරික කාර්ය සාධනය යටතේ සමාගම් ශ්‍රේණිගත කිරීම්වලට ලක් කරනු ලබන්නේ දේශගුණික විපර්යාසයන්ට හේතුවන ක්‍රියාකාරිත්වයන් සම්බන්ධව සම්බන්ධව සමාගම්වල සැලසුම් සහ භාවිතය අනුවය.

සාමාජීය කාර්ය සාධනය (S)

සාමාජීය කාර්ය සාධනය යටතේ සමාගම් ශ්‍රේණිගත කිරීම්වලට ලක්වන්නේ ඔවුන් “සමාජ යුක්තිය” ඉටුකිරීම පිණිස කරනු ලබන කාර්යභාරය වෙනුවෙනි.මේ සඳහා ඇතැම් සුළුතර ප්‍රජාවන් වෙත යුක්තිය ඉටුකිරීමට කොතෙක් දුරට අදාළ සමාගම් මැදිහත්වන්නේ දැයි විමසා බැලේ.

ආණ්ඩුකරණය පිළිබඳ කාර්ය සාධනය (G)

ආණ්ඩුකරණය පිළිබඳ කාර්ය සාධනය යටතේ ඇගයීමට ලක්කරනු ලබන්නේ යම් සමාගමක් කොතෙක් දුරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන්නේද යන කරුණ යටතේය. එමෙන්ම රාජ්‍යය සමග සමාගමක් කටයුතු කරන ආකාරයද එහි දී ඇගයීමට ලක්කෙරේ.

ESG යනු මවා පා ඇති පරිදි හොඳ ආයෝජන මෙවලමක් නොවන බව පෙනී යන්නේ එය විසින් අනෙකුත් ආයෝජනයන් තරම් ප්‍රතිලාභ ලබා නොදෙන නිසාය. සැබැවින්ම එය ආයෝජන මාධ්‍යයක් ලෙස සාර්ථක වී ඇත්තේ ප්‍රධාන පෙළේ වත්කම් කළමණාකරණ සමාගම් (Asset Management Companies) සඳහා මුදල් සහ ඩොලර් පොම්ප කිරීමේදී පමණි.මෙම ESG ක්‍රියාවලිය මෙහෙයවන්නේ ඔවුන් විසින් වන අතර එයින් අති විශාල ලෙස ලාභ උපයනු ලබන්නේද ඔවුන් පමණි.සෙසු සියල්ලන් පරාජිතයන් වේ.

මම දැන් යළිත් අතීතය වෙත පිවිසීමට අපේක්ෂා කරමි. නමුත් බොහෝ ගැඹුරට නොවේ.

ඔබට මෙය තේරුම්ගැනීම පහසුවනු පිණිස එය සංදර්භයක් තුළ ඉදිරිපත් ඒ මගින් හැකිවනු ඇත.

භාරකාර ධනවාදය හෙවත් “Stakeholder Capitalism”හි උපත සහ විකාශය

අප විසින් මෙහිදී සාකච්ඡාවට ලක් කරනු ලබන භාරකාර ධනවාදය හෙවත් “ස්ටේක් හෝල්ඩර් කැපිටලිස්ම් ”පිළිබඳ සාකච්ඡා බොහෝ කලෙක සිට සිදුවෙමින් පවතී.

සමාගම්වල සමාජීය වගකීම් පිළිබඳ එම විවාදය මිල්ටන් ෆ්‍රීඩ්මාන් යුගය දක්වා ඈතට විහිද තිබේ.ඔබ අතරින් බොහෝ අය ඇතැම් විට මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ “ව්‍යාපාරවල සමාජ වගකීම: ඔවුන්ගේ ලාභය නැංවීම සඳහාය” යන තීසිසය ( The Friedman Doctrine: The Social Responsebilities of Business is to Increase its Profitism- Newyork Times 1970) කියවා ඇතැයි මම සිතමි.එය 1970 දී නිව්යෝර්ක් ටයිම්ස්හි පළවිය.
මෙම තිසීසයේදී ෆ්‍රීඩ්මාන් විසින් ඊනියා “ආත්මයක් සහිත සමාගම්” පිළිබඳ න්‍යාය ප්‍රතික්‍ෂේප කර තිබේ. එම තිසීසයේදී ෆ්‍රීඩ්මාන් විසින් අවධානය යොමු කර ඇත්තේ කාර්ල් කේසන් (Carl Keyson) විසින් 1957 දී ලියන ලද “නූතන සමාගම්වල සමාජීය වැදගත්කම” යන ලිපියෙන් ඉදිරිපත් කරන ලද අදහස් කෙරෙහිය.
වර්ධනය වෙමින් පවතින සමාජමය වගකීම් හමුවේ සමාගම් සිය ලාභය ඉපැයීමේ පරමාර්ථවලින් බැහැරව සමාජීය ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතුය යන්න කේසන්ගේ අදහස විය.
කේසන් සිය ලිපිය මගින් “ නූතන සමාගම් සිය කෑදර සහ කොල්ලකාරි ක්‍රියාකාරිත්වයන්ගෙන් ඉවත් විය යුතුය. ව්‍යාපාර සිය සමාජ පිරිවැයෙන් විශාල කොටසක් සේවකයන් හෝ ප්‍රජාව මත පැටවීමට වෑයම් නොකළ යුතුය. නූතන සමාගම වූකලී ආත්මයක් සහිත සමාගමකි.” යනුවෙන් තර්ක කරයි.
කේසන්ගේ “සමාගම්වල සමාජමය වගකීම” පිළිබඳ අදහස අපට ක්ලාවුස් ෂ්වාබ්ගේ “භාරකාර ධනවාදය” පිළිබඳ න්‍යා යේ මුල් තුළ දැකිය හැකිය.

ෆ්‍රීඩ්මාන් සඳහන් කර ඇති පරිදි, සමාගම්වල සමාජ වගකීම් පිළිබඳ මෙම සංකල්පය විසින් ආර්ථික ක්‍රියාකාරකම් තුළට දේශපාලනය ආනයනය කළ ද, බහුතරයකට හෝ ඒකාධිපතියෙකුට නැතහොත් වර්තමානයේදී නම් ලෝක ආර්ථික සංසදය වැනි සංවිධානයකට සහ එහි හවුල්කරුවන්ට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම හරහා අවනතභාවය ලබාගැනීමටත් “ අත්‍යවශ්‍ය සමාජවාදී ” බලහත්කාරයකටත් ඉඩ සලසයි.

සමාගමක් සිය ලාභය ලැබීමේ අරමුණට අමතරව සමාජමය වගකීම් පිළිබඳ නියෝග ක්‍රියාත්මක කිරීමට යාම මගින් සමාජයකට යහපතක් සිදු නොවේ. බදු වංචාවන්, කොටස් හිමියන්, ගනුදෙනුකරුවන් සහ සේවකයන් ආදි කොටස් රැවටීම, වෙළඳපොල විකෘතිකිරීම ආදිය ප්‍රබල ලෙස ඉහළයාම සිදුවන්නේ නම් සමාජයකට සිය අවශ්‍යතා ඉටුකරගැනීම අපහසු වනු ඇත.

එපමණක් නොව භාරකාර ධනවාදය පිළිබඳ වාග් මායාවන් විසින් නිදහස සමාජයක පදනම අවදානමට පත් කරයි.
භාරකාර ධනවාදය විසින් නිදහස් වෙළඳපොළ පිළිබඳ මූලධර්මයන්ට අනුව ක්‍රියාත්මක වන බලවේග මත “සමාජීය වගකීමක් සහිත චර්යාවන් ” පිළිපදින ලෙස සිය නිලධාරිවාදි අයෝමය හස්තය මගින් බල කරනු ලබයි.

“සමාජමය වගකීම් ඉටුකරනු සඳහා සමාගමක් පවත්වාගෙන යාමේ අදහස තුළ සාමුහිකවාදය පිළිබඳ පැහැදිලි අර්ථයකින් තොරව සාමූහිකවාදි ඉලක්කයන් වෙත ළඟාවීමක් ගැන ප්‍රකාශ වූවද එය වඩාත්ම විවෘත සාමුහිකවාදයක් පිළිබඳ දර්ශනයකට වඩා වෙනස් එකක් නොවේ.”යනුවෙන් ෆ්‍රීඩ්මාන් සඳහන් කළේය.

ෆ්‍රීඩ්මාන් ගේ වචන භාරකාර ධනවාදී න්‍යාය පත්‍රය,විශේෂයෙන්ම ESG න්‍යාය පත්‍රය මැනීම සඳහා භාවිතා කළ හැකි කදිම මිනුම්දණ්ඩකි.
භාරකාර ධනවාදී මොඩලය පිළිබඳ කතිකාව ආරම්භවන්නේ 1971 දී ක්ලාවුස් ෂ්වාබ් විසින් යුරෝපීය කළමණාකරණ සංසදය(European Management Forum) ආරම්භ කිරීමත් ඔහුගේ පළමු පොත වන “යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ නූතන ව්‍යවසාය කළමණාකරණය ”( Modern Enterprise Management of Mechanical Enginiering) නම් කෘතිය පළ කිරීමත් සමගය.
මෙම පොත මගින් ඔහු සිය සම්පූර්ණ නව ආර්ථික මොඩලය අප වෙත ඉදිරිපත් කරයි.ඔහු එය රචනා කර ඇත්තේ ඔහුගේ මවු බස වන ජර්මන් වලිනි.
මෙම පොත ඔහු විසින් ලියන ලද්දේ ඊට වසරකට පෙර එනම් 1970 දී මිල්ටන් ෆ්‍රීඩ්මාන් විසින් පළ කරන ලද තීසීසයට ප්‍රතිචාරයක් ලෙස පෙනී යයි.

1971 දී පළ කරන ලද සිය කෘතිය තුළ ක්ලාවුස් ෂ්වාබ් මෙසේ සඳහන් කර ඇත.
“ දිගුකාලීන වර්ධනයක් සහ සමෘද්ධියක් ලබාගැනීම සඳහා නූතන ව්‍යවසාය කළමණාකරණය විසින් එම ව්‍යවසායේ කොටස් හිමියන්ට පමණක් නොව (එහි බලපෑමට යටත් සියලු දෙනාට එනම්) භාරකාර පාර්ශ්වයන්ට ද සේවය කළ යුතුව තිබේ.”

එතැන් සිට මේ දක්වාම ක්ලාවුස් ෂ්වාබ් සහ ඔහුගේ ලෝක ආර්ථික සංසදය මෙම ව්‍යවසායන්ගේ “භාරකාර පාර්ශ්වයන් ” පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කරමින් සිටියි. භාරකාර ධනවාදී මොඩලය පිළිබඳ මෙම වාග් මායාවන්ගේ ප්‍රධාන උල්පත ලෝක ආර්ථික සංසදය වන අතර ලෝකය පුරා සමාගම්,ආණ්ඩු, රාජ්‍ය නොවන සංවිධාන,සිවිල් සමාජ සංවිධාන, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ආදිය විසින් එය වැළඳගෙන තිබේ. ඉතාමත් විවාදාත්මක ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ද මෙම භාරකාර ධනවාදය පිළිබඳ මතවාදය පිළිගෙන තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආර්ථික සැලසුම් වනාහි අන් කිසිවක් නොව සියල්ල උදුරාගෙන අහිමිකරන ලද පහල පන්තීන් උදෙසා “සමාජවාදය ” නිර්දේශ කරන්නා වූත් , සියල්ල අත්පත් කරගත් සමාගම්වල අයත් ප්‍රධානින් රාජ්‍යය නායකයන් බවට පත්ව එම ප්‍රභූ පෙළැන්තිය විසින් ඉහළ සිට මෙහෙයවන්නාවූත් ඒකාධිකාරයකි. මෙය දරුණු බියකරු සිහිනයකි.

බ්ලැක්රොක් සහ බෑන්ක් ඔෆ් ඇමෙරිකා ඇතුළු කොල්ලකාරි මූල්‍ය කාටලයන් සමාජ වගකීම් භාරගැනීමේ උත්ප්‍රාසය

දැන් නැවතත් ESG වෙත අවධානය යොමු කරමි.
ඒ පිළිබඳව මෙවැනි කථා අපට නිතරම අසන්නට ලැබේ.
“ සියල්ලන්ටම ESG අවශ්‍යය. මෙය මෙහෙයවන්නේ බිම්මට්ටමේ සිටය. මේ ඉල්ලීම් අප වෙත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රජාවන්, ආයෝජකයන්, සුළු ආයෝජකයන් ආදින් විසිනි. ඔවුන්ට මෙම ESG අවශ්‍යව තිබේ.ඔවුන්ට සමාජමය වශයෙන්, පාරිසරික වශයෙන් වගකීම් සහගත වීමට අවශ්‍යව තිබේ.”

නමුත් මේ සියල්ල සම්පූර්ණ අසත්‍යය ප්‍රලාපයන් වේ.
මක් නිසාද යත් මෙය ඉංජිනේරුකරණය කරමින් පවතින්නේ ඉහළින් වන බැවිනි. මෙම ESG ක්‍රමයට පක්ෂපාතිවන්නන් සහ අනුග්‍රාහකයන් කවරහුද?

ඔබට එහි අනුග්‍රාහක ලැයිස්තුවේ ඉහළින්ම හමුවනු ඇත්තේ බ්ලැක්රොක් සමාගමයි (Blackrock.Inc). බ්ලැක්රොක් යනු ලෝකයේ විශාලතම වත්කම් කළමණාකරණ සමාගමයි (Asset Management Company). ඩොලර් ට්‍රිලියන 80 ක් ලෙස සැලකෙන ලෝකයේ සමස්ත වත්කම්වලින් ඩොලර් ට්‍රිලියන 10ක් බ්ලැක්රොක් සමාගමේ කළමණාකරණයට යටත්ය. එක්සත් ජනපදයේ ෆෙඩරල් ආණ්ඩු ගණනාවක විශ්‍රාම වැටුප් අරමුදල් පාලනය කරන්නේ බ්ලැක්රොක් සමාගම විසිනි.

ෆ්ලින්ක්

2019 දී බ්ලැක්රොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලැරී ෆ්ලින්ක් විසින් “භාරකාර ධනවාදය” පිළිබඳ සාකච්චා කිරීම සඳහා ලෝකයේ ප්‍රධාන සමාගම් 181ක ප්‍රධානින් සහභාගිත්වය සහිත වටමේස සාකච්ඡාවක් කැඳවන ලදි. ඇමෙරිකාවේ කොටස් හිමි ධනවාදයේ (Shareholder Capitalism) අවසානය ප්‍රතිනිර්වචනය කිරීමද භාරකාර ධනවාදය ( Stakeholder Capitalism) පිළිගැනීමද සිදු කරන ලද්දේ යැයි සැළකේ.

එතැන් සිට කෝපරේට් ඇමෙරිකාව සම්පූර්ණයෙන්ම සහ නිල වශයෙන් ජාගරවාදයට (Wokism) නතු විය.
මෙහි තේරුම කුමක්ද?

 

දේශගුණික ව්‍යසනවාදය හරහා සිදු කෙරෙන ප්‍රාග්ධන කොල්ලය

සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් වෙත ලැරී ෆ්ලින්ක් විසින් 2021 දී ලියන ලද ලිපිය මගින් අනාගත ආයෝජනයන් සම්බන්ධව සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ. “දේශගුණික අවදානම වූකලී ආයෝජන අවදානමකි ” යැයි එහි ලා සඳහන් කර ඇති ඔහු, දේශගුණික අවදානම වැළැක්වීම සඳහා සහ ඒ වෙනුවෙන් වඩාත් හොඳින් සුදානම් වීමේ කටයුතු සඳහා ආයෝජනය කරන්නාවූත් භාරකාර ධනවාදයේ ESG ව්‍යාපෘති සංකීර්ණය පිළිගන්නා වූත් සමාගම් සඳහා වෙන් කරන ප්‍රාග්ධන ආයෝජනයන් දැවැන්ත ලෙස ඉහළ නැංවීම සඳහා ආයෝජනයන් පිළිබඳ තිරසාර දර්ශකයක්(Sustainable Index for Investments) නිර්මාණය කිරීම පිළිබඳවද එහිලා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ආයෝජන චර්යාවන් තුළ දැවැන්ත වෙනසක් සිදු කිරීමට ෆ්ලින්ක් මෙලෙස ප්‍රතිඥා දුන්නේය.

“තිරසාර බව කෙරෙහි අවධානය යොමු කරන සමාගම් වෙත සැපයෙන ආයෝජන ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි” සමාගම්වල විධායක නිලධාරින් වෙත ඔහු විසින් යවන ලද ලිපිය මගින් අනතුරු අඟවා තිබිණි.
ප්‍රාග්ධන ආයෝජනයන් තුළ දැවැන්ත වෙනස් කිරීමට තුඩු දුන් බලපෑමක් අපට දක්නට ලැබෙන්නේ එහෙයිනි. සෑම සමාගමකම කළමණාකරණ කණ්ඩායමට තම සමාගම විසින් ගන්නා තීන්දු සිය කොටස් වෙළඳපොළ මත බලපාන ආකාරය ගැන නැවත වතාවක් සළකාබැලීමට මේ අනුව සිදුව තිබේ.
ෆ්ලින්ක් සිය ලිපිය මගින් සිය සමාගම්වල කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා වන සැලසුම් (Net Zero Plan) ඉදිරිපත් කරන ලෙස සියලු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් වෙත දන්වා තිබේ.

ෆ්ලින්ක් විසින් ප්‍රතිරාවය කර ඇත්තේ ලෝක ආර්ථික සංසදයේ ක්ලාවුස් ෂ්වාබ්ගේ මෙම උමතු තර්ජනකාරි වදන්ය. .

“එක්සත් ජනපදයේ සිට චීනය දක්වා වන සෑම රටක්ම මෙයට සහභාගි විය යුතුය.එමෙන්ම තෙල් සහ ගෑස් වල සිට තාක්ෂණ කටයුතු දක්වා සියලු කර්මාන්තයක්ම පරිවර්තනය විය යුතුය.කෙටියෙන් පවසන්නේ නම් අපට ධනවාදය තුළ මහා ප්‍රත්‍යාරම්භයක් අවශ්‍යව තිබේ. ”

මේ අනුව පෙනී යන්නේ මේ හුදෙක් ලෝක ආර්ථික සංසදයේ ප්‍රචාරක පාඨයන් නොවන බවය. දැන් මෙය මෙහෙයවන්නේ ලෝකයේ ප්‍රමුඛතම වත්කම් කළමණාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විසිනි.

ලෝක ආර්ථික සංසදය සහ එහි නායක ක්ලාවුස් ෂ්වාබ් විසින් ඉදිරිපත් කරන ලද භාරකාර ධනවාදය නැතහොත් ස්ටේක්හෝල්ඩර් කැපිටලිස්ම් ධජය යටතේ ගෝලීය ධනවාදී මොඩලය දැවැන්ත වෙනසකට ලක් කිරීමට යැයි කියමින් සමාගම්වල කොටස් හිමියන්ගේ බලය විස්ථාපනය කරමින් ධනේෂ්වර නිෂ්පාදනය සහ බෙදාහැරීම මෙන්ම ආයෝජන සහ මූල්‍ය කර්මාන්තයන් තුළත් ඒකාධිකාරයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාදමයේ තවත් එක් පියවරක් ලෙස බ්ලැක්රොක් මූල්‍ය සමාගමේ ලැරී ෆ්ලින්ක් විසින් ඉහත ක්ෂේත්‍රයන් තුළ දැවැන්ත සමාගම්වල ප්‍රධානින් වටමේස සාකච්ඡාවකට කැඳවන ලදි. මෙම වටමේස සාකච්ඡාව පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේය. නිව්යෝර්ක් ටයිමිස්හි පළ වූ මෙම ඡායාරූපයේ එයට සහභාගි වූ සමාගම් ප්‍රධානින් කීප දෙනෙකු දැක්වේ. ඉදිරිපෙළ දකුණේ සිට වමට, ඇක්සෙන්චර් නොර්ත් ඇමෙරිකා සමාගමේ ජූලී ස්වීට්,බෑන්ක් ඔෆ් ඇමෙරිකාහි බ්‍රයන් මොයිනිහාන්,ඇපල් සමාගමේ ටිම් කුක්,ඔස්ටින්හි විස්ටා ඉක්විටි පාට්නර්ස් සමාගමේ රොබර්ට් එෆ් ස්මිත්, පිටුපස පෙළ වමේ සිට දකුණට, ඇමසෝන් සමාගමේ ජෙෆ් බෙසෝස්, ජෙනරල් මෝටර්ස් සමාගමේ මාරි බාරා, බ්ලැක්රොක් සමාගමේ ලැරී ෆ්ලින්ක්

භාරකාර ධනවාදී මොඩලය ස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ බ්ලැක්රොක් සමාගමේ ලැරී ෆ්ලින්ක් පමණක් නොවේ.ලෝකයේ ප්‍රධාන පෙළේ වත්කම් සමාගම් 10න් 10ම මෙම භාරකාර ධනවාදි ක්‍රමය ස්ථාපනය සඳහා දායක වී සිටිති.
ඔහු ප්‍රධාන පෙළේ සමාගම්වලප්‍රධාන විධායක නිලධාරින් වෙත 2022 දී යවන ලද ලිපිය මගින් භාරකාර ධනවාදයේ අයෝමය හස්තයේ ග්‍රහණය තවදුරටත් දැඩි කිරීමට උත්සාහ දරා තිබිණි.
“භාරකාර ධනවාදය සාර්ථක ධනවාදි සමාගම් විසින් බොහෝ කලෙක සිට ක්‍රියාත්මක කරන ලද වැඩ පිළිවෙලකි ”ෆ්ලින්ක්ට අනුව
“භාරකාර ධනවාදය යනු සමාජමය හෝ මතවාදිමය න්‍යාය පත්‍රයක් නොවේ. එය දේශපාලනය පිළිබඳ දෙයක් හෝ නොමග යැවීමක්ද නොවේ.එය ජාගරීයත්වයද නොවේ. එය හුදෙක් ධනවාදය පමණි.”

ධනවාදය පිළිබඳව ෆ්ලින්ක්ගේ මෙම නිර්වචනය මිල්ටන් ෆ්‍රීඩ්මාන් හෝ ලුද්විග් ෆොන් මිසස්( Ludwig von Mises) විමතියට පත්කරනු නිසැකය.

භාරකාර ධනවාදයේ වගකීම් මොනවාදැයි ෆ්ලින්ක් විසින් වැඩිදුරටත් පැහැදිලි කරන්නේ මෙලෙසය.
“තමන් වටා වෙනස්වෙමින් පවතින ලෝකය තුළ හෝ තරඟකාරි නව සමාගමක් විසින් තමන්ව විස්ථාපනය කිරීමේ අවදානම හමුවේ නොනැසී සිටීම සඳහා සමාගම් පරිණාමය විය යුත්තේ කෙලෙසදැයි යන්න පිළිබඳව අඛණ්ඩ ලෙස සිදුවන ද්විතීයික මැදිහත්වීමේ ක්‍රියාදාමයක් සෑම විටෙකම ධනවාදි ක්‍රමයේ පදනම මත පවතී. ”

අනතුරුව ඔහු මෙසේ පවසමින් සිය භාරකාරි ධනවාදි මොඩලයට අනුගතවන සමාගම් වලට ඔවුන්ගේ පැවැත්ම පිළිබඳව බියක් ඇතිකරගත යුතු නැතැයි පහත පරිදි සහතික වෙයි.

“භාරකාර ධනවාදය සඳහා කැපවෙන සමාගම්, වෙනත් සමාගමක් විසින් විස්තාපනය නොකරනු ඇති අතර ප්‍රාග්ධන ආයෝජනයන් සඳහා උරුමකරුවන් වන්නෝද ඔවුහුම වෙති. ”

ඉන් පසුව ඔහු මෙසේද සඳහන් කර ඇත.
“පසුගිය දශක තුන තුළ මට ගණන්කළ නොහැකි තරමට විවිධ සමාගම්වල විධායක නිලධාරින් මුණ ගැසීමට සහ ඔවුන් වෙතින් සැබෑ ලෙසම ශ්‍රෙෂ්ඨ වූ සමාගම් ගෞරව කරන්නේ මොනවාටදැයි යන්න ගැනත් අවබෝධකරගැනීමටත් අවස්ථාව ලැබී තිබේ. ඔවුන් සතු පොදු ගුණාංග නම් සිය අරමුණ පිළිබඳ පැහැදිලි හැඟීමක් සහිත වීමත්, ස්ථාවර වටිනාකම් දැරීමත්, ඔවුන්ගේ සමාගම්වලට අදාළ සියලු ප්‍රධාන පාර්ශ්වයන් සමග හොඳ සබඳතාවයක් පවත්වාගෙන යමින් ඔවුන්ගේ අව්‍යශ්‍යතාවන් ඉටු කිරීමේ වැදගත්කම පිළිගැනීමත් යනාදියයි.”

මේ අයුරින් ඔවුහු ඔබගේ ලෝක ආර්ථික ක්‍රමය වෙනස් කර එය අලුතින් නම් කර තිබේ.
බ්ලැක්රොක් යනු ලෝක ආර්ථික සංසදයේ භාරකාර ධනවාදය පිළිබඳ සංකල්ප සහ ESG මිනුම් දඬු පිළිගත් එහි සාමාජික සහ හවුල්කාර සමාගම් අතරින් එකක් පමණි.

 ESG නිර්ණායක හරහා භාරකාර ධනවාදි මොඩලයට බලහත්කාරි ලෙස අවනත කරවාගැනීමේ ව්‍යාපාරය සහ අවනත නොවන්නවුන් ආර්ථිකමය, සමාජමය සහ දේශපාලනමය වශයෙන් අහෝසි කර දැමීමේ ක්‍රියාවලිය

සමාගම්වල පාරිසරික, සමාජමය, ආණ්ඩුකරණ කාර්යසාධනය හෙවත් ESG මැනීම සඳහා දර්ශක කීපයක් පවතී.කොටස් වෙළඳපොළට තමන්ගේම ESG දර්ශකයක් තිබේ.සමාගම් ශ්‍රේණිගත කිරීම සඳහා ලෝක ආර්ථික සංසදය විසින් ඔවුන්ගේම ලකුණු ලබාදීමේ ක්‍රමයක් පවත්වාගෙන යයි.බොහෝ සමාගම් විසින් භාවිතයේ යොදවා ඇත්තේ ලෝක ආර්ථික සංසදයේ දර්ශකයන්ය. ඔවුහු මෙම සංකල්පය පිළිගැනීම සඳහා බැඳී සිටිති.
ලෝක ආර්ථික සංසදයේ භාරකාර ධනවාදය සහ මිණුම් දඬු භාවිතයේ යොදවා ඇත්තේ බ්ලැක්රොක් සමාගම පමණක් නොවේ. “බෑන්ක් ඔෆ් ඇමෙරිකා ” (Bank of America- BoC) බැංකුවද දැඩි ලෙස ඒවා ප්‍රවර්ධනය කරමින් සිටියි. පසුගිය වසරේ මැයි මස දී ඩාවෝස් හි පැවැති ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සම්මේලනයට සහභාගි වූ BoCහි ප්‍රධාන විධායක නිලධාරි බ්‍රයන් මොයිනිහාන් (Brian Moynihan) විසින් ESG ප්‍රමිතීන් ගෝලීයකරණ කිරීම පිළිබඳව පැවැති සංවාද මණ්ඩපයකදී යෝජනා කරන ලද්දේ ආයෝජකයන් සඳහා ESG “සයිඩ් කාර් එකක තත්ත්වයෙන් ” පවත්වාගෙන යාම පිළිබඳව ලෝක ආර්ථික සංසදය සෑහිමකට පත් නොවිය යුතු බවයි.
ESG සඳහා සිදු කෙරෙන ආයෝජනයන්ට අමතරව වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 6ක් භාරකාර ධනවාදය වෙනුවෙන්ද වෙන් කළ යුතු යැයි ද ESG ආයෝජනය කිරීමෙන් ඔබ්බට ගොස් සමස්ත ආර්ථිකයම භාරකාර ධනවාදය සඳහා ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇතැයිද ඔහු විසින් පවසන ලදි.මේ තත්ත්වයේ වර්ධනයක් ඇති කිරීම සඳහා BoC බැංකුව වැඩ කරමින් සිටින බව වැඩිදුරටත් පැවසූ බ්‍රයන් මොයිනිහාන් ESG දර්ශකය අනුව පහළින් ශ්‍රේණිගත කෙරෙන සමාගම් වෙත ණය ලබාදීම නොකළ යුතුව ඇතැයි ද අවධාරණය කළේය.

මෙම ප්‍රකාශ මගින් ගම්‍යමාන වන දෙය ගැන අප සාකච්චා කළ යුතුය.

මෙහි තේරුම නම් එක්සත්ජාතින්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රය කොල්ලකාරි සමාගම් හරහා අපගේ බොටුව තුළට ගිල්ලවීමට වෑයමක් දැරෙමින් පවතින බවය. මේ සඳහා ලෝකයේ ප්‍රමුඛතම වත්කම් කළමණාකරණ සමාගම් 10 ම වැඩ කරමින් සිටිති. වෑන්ගාඩ් ගෘප් (Vanguard Group)නම් එක් මූල්‍ය සමාගමක් හැරෙන්නට සෙසු සමාගම් 9 ම ලෝක ආර්ථික සංසදයේ සාමාජික සංවිධාන වීම කුතුහලය දනවන දෙයකි. වෑන්ගාඩ් ගෘප් සමාගම ලෝකයේ දෙවන විශාලතම වත්කම් කළමණාකරණ සමාගම වන අතර එය විසින් කළමණාකරණය කරනු ලබන වත්කම්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 7.5කි. වෑන්ගාඩ් ගෘප් සමාගමද භාරකාර ධනවාදය සහ ESG දර්ශකයන් සිය උපරිම බලහත්කාරය යොදමින් ප්‍රවර්ධනය කරනු ලබන සමාගමකි.
වෑන්ගාඩ් ගෘප් සමාගම සිය වෙබ් අඩවිය තුළ පහත පරිදි ප්‍රකාශ කර තිබේ.
“අපගේ අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් දර්ශක ගත කර තිබේ. එමෙන්ම ESG මූලධර්ම පිළි නොපදින සමාගම් සියල්ල බැහැර කිරීමේ උපාය මාර්ගයක් අප විසින් අනුගමනය කරනු ලැබේ ”

ESG යනු සිය නියෝග පිළිපදින ජාගර ධනවාදයේ අනුගාමිකයන්ට තෑගි ලබා දෙන සහ එය ප්‍රතික්ෂේප කරන විරුද්ධවාදින්ට දඬුවම් ලබාදීමට භාවිතාකරන ක්‍රමයක් බවට ඉහත ප්‍රකාශයද වැදගත් සාක්ෂියක් ලෙස සැළකිය හැකිය.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන අධිකාරය කෝපරේට්වාදි උවමනාවන් වෙනුවෙන් යොදවාගැනීම

ලෝක ආර්ථික සංසදයේ ESG ව්‍යාපෘතියට අනුගත සමාගම් ලැයිස්තුව දෙවැනි වන්නේ එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනට අයත් සමාගම් සහ සංවිධාන ලැයිස්තුවට පමණි. ලෝක ආර්ථික සංසදයේ එම ලැයිස්තුවට ආයෝජන සමාගම්, බැංකු සහ රක්ෂණ සමාගම්. ඖෂධ සහ බලශක්ති සහ ආහාර නිෂ්පාදන සමාගම් ඇතුළු ලෝකයේ ප්‍රධාන පෙළේ සියලු සමාගම් ඇතුළත් වේ.
මෙම සමාගම් සියල්ල එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් නිර්දේශිත “වගකීම් සහගත ආයෝජනයන් පිළිබඳ මූලධර්ම” පිළිපැදීමට බැඳී සිටිති.
එම මූලධර්ම පහත දැක්වේ.

වගකීම් සහගත ආයෝජනයන් පිළිබඳ මූලධර්ම

1 වැනි මූලධර්මය: අපගේ ආයෝජන විශ්ලේෂණ සහ තීරණ ගැනීමේ ක්‍රියාදාමය තුළට පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණය (ESG) පිළිබඳ මූලධර්ම හා බැඳුණා වූ කරුණු නීතිගත කිරීමට අපි කටයුතු කරන්නෙමු.
2 වැනි මූලධර්මය: ව්‍යවසාය හිමිකාරිත්වය පිළිබඳ අපගේ ප්‍රතිපත්තින් සහ භාවිතයන් තුළට පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණය (ESG) පිළිබඳ මූලධර්ම අන්තර්ග්‍රහණය කිරීමට අපි කටයුතු කරන්නෙමු.
3 වැනි මූලධර්මය: අප විසින් ආයෝජනය කරනු ලබන ව්‍යාපාරික ආයතන විසින් පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණය (ESG) පිළිබඳ කටයුතු කරන ආකාරය පිළිබඳ තොරතුරු සෙවීමට අපි කටයුතු කරන්නෙමු.
4 වැනි මූලධර්මය:මෙම මූලධර්ම සඳහා ආයෝජන කර්මාන්තය තුළ පිළිගැනීමක් ඇතිකරවීමට ද ඒවා ක්‍රියාත්මක කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීමට ද අපි කටයුතු කරන්නෙමු.
5 වැනි මූලධර්මය: මෙම මූලධර්ම ක්‍රියාත්මක කිරීමේදී අපගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට එක්සත්ව වැඩ කිරීමට අපි කටයුතු කරන්නෙමු.
6 වැනි මූලධර්මය: මෙම මූලධර්මයන් ක්‍රියාත්මක කිරීමට සිදු කෙරෙන අපගේ සෑම ක්‍රියාකාරකමක් සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව වාර්තා කිරීමට අපි කටයුතු කරන්නෙමු.

මෙම මූලධර්ම පිළිබඳ ප්‍රකාශනය පිළිගනිමින් ලෝකය පුරා වත්කම් කළමණාකරණ සමාගම්, වත්කම් හිමිකරුවන්, සහ වත්කම් සේවා සම්පාදක සමාගම් ආදිය නියෝජනය කරමින් තබා ඇති අත්සන් සංඛ්‍යාව 4700කි. මේ සියලු දෙනා භාරකාර ධනවාදයේ නියෝග සහ එහි මෙවලම වන ESG ප්‍රතිපත්තීන් පිළිපැදීමට බැඳී සිටිති.

ව්‍යාපාරික කටයුතුවල සියලුම පැතිමානයන් කරා ESG ව්‍යාප්තව පවතී. 1 වැනි සහ 3 වැනි මූල ධර්ම යටතේ කුමන සමාගම් තුළ ආයෝජනය කළ යුතු දැයි පැහැදිලි කරයි. ESG තමන් සඳහා අදාළ කරගතයුත්තේ කෙසේදැයි යන්න ගැන 2 වැනි සහ 6 වැනි මූලධර්ම මගින් විස්තර කෙරේ. ESG ප්‍රතිපත්තීන් ප්‍රවර්ධනය කිරීමෙහිලා ස්වකීය තරඟකාරි සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි යන්නට අදාළ වන්නේ 4 වැනි සහ 5 වැනි මූලධර්මයන් වේ.
මෙම මූලධර්මයන්ගේ ඉලක්කය ESG ආයෝජනයන් විශ්වීයකරණය කිරීමයි. මෙය අපගේ නහය අස්සේ රිංගමින් සිදුකෙරෙන විප්ලවයකි.
වර්තමාන කොටස් වෙළඳපොළ තුළ සිටින සමාගම් විශාල සංඛ්‍යාවක් ඉහත මූලධර්මයන් විසින් ඉල්ලා සිටින අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට අසමත්වන්නේ යැයි ප්‍රකාශයට පත්කරමින් ඔවුන් වෙත ප්‍රාග්ධන ආයෝජනයන් ගලා ඒම අවහිර කරමින් ඔවුන්ව එයින් පළවාහැර මූල්‍යමය වශයෙන් විනාශ කිරීමට භාරකාර ධනවාදයේ නියමුවන් විසින් කටයුතු කරනු ඇත. එපමණක් නොව බැංකු පද්ධතිය රක්ෂණ සමාගම් විසින්ද මෙවැනිම මූලධර්ම අනුගමනය කිරීමට එකඟ වී ඇති ඉහත මූලධර්ම සපුරාලීමට අසමත් සමාගම් වෙත සේවා සැපයීම අත්හිටුවමින් ඔවුන්ගේ ගෙල සිරකිරීමට තවදුරටත් කටයුතු කරනු ඇත.

වගකීම් සහගත බැංකු ක්‍රමයක් සඳහා වන මූල ධර්ම

භාරකාර ධනවාදය විසින් බැංකු ආයතන සහ රක්ෂණ සමාගම් වෙතද “වගකීම් සහගත බැංකු ක්‍රමයක් සඳහා වන මූල ධර්ම ” හඳුන්වා දී තිබේ. එය ඉහත සඳහන් ආයෝජන සමාගම් විසින් පිලිපැදිය යුතු “වගකීම් සහගත ආයෝජනයන් පිළිබඳ මූලධර්ම” වලට සමාන මූල ධර්ම පද්ධතියකි. ESG ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාගමක් වෙත විවිධ දර්ශකයන් මගින් ලබා දෙනු ලබන “ලකුණු ” මට්ටම අනුව එම සමාගම තමන්ට රක්ෂණ ආවරණ හෝ ණය ලබාගැනීමට සුදුසුකම් සපුරා ඇත්දැයි තීරණය වනු ඇත.
කිසියම් සමාගමක් විසින් ESG ව්‍යාපෘතියට අනුගතවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සමාගමට තමන්ට අවශ්‍ය ණය මුදල්, ආයෝජන හෝ රක්ෂණ ආවරණ ලබාගැනීමට ඇති සියලු අවස්ථා වසා දමනු ඇත. එසේ කිරීමට හැකි වන්නේ එම ණය මුදල් ලබාදෙන බැංකු පද්ධති සමාගම්ද රක්ෂණ සමාගම්ද ESG ව්‍යාපෘතියෙන් පිටස්තරව සිටින කිසිදු සමාගමක් සමග ගනුදෙනු නොකිරීමට ප්‍රතිඥා දී ඇති බැවිනි.මෙම “ආර්ථික සම්බාධක ” පැනවීම සිදුවන්නේ ESG ව්‍යාපෘතියට ඇතුළත් වීම ප්‍රතික්ෂේප කරන සමාගම්වලට පමණක් නොවේ. ESG ව්‍යාපෘතිය සම්බන්ධවන නමුත් ඒ තුළ තමන්ගේ කැපවීම මැනෙන දර්ශකවලට අනුව ප්‍රමාණවත් ඉහළ ලකුණු මට්ටමක් ලබාගැනීමට අසමත්වන සමාගම්වලටද ඉහත සම්බාධක මගින් දඬුවම් ලබාදීමට භාරකාර ධනවාදයේ නියමුවන් කටයුතු කරනු ඇත.

වගකීම් සහගත බැංකු ක්‍රමයක් සඳහා වන මූල ධර්ම යටතේ පැහැදිලිවම පහත ප්‍රකාශය අන්තර්ගත වේ.
“මෙහි අත්සන් තබන ලද බැංකු විසින් ඔවුන්ගේ භාවිතයන් සහ උපායමාර්ගයන් සමාජය විසින් සිය අනාගතය පිළිබඳ දැක්මකියන් යුතුව සැලසුම් කරන ලද තිරසාර සංවර්ධන ඉලක්කවලට සහ දේශගුණික විපර්යාස පිලිබඳ පැරිස් ගිවිසුමට අනුරූප ලෙස වන ලෙස සකස් කරගත යුතුය.”

මෙම ප්‍රකාශය මගින් “සමාජය” එක්සත් ජාතින්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වලට සහ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමට එකඟ වී ඇතැයි ඇඟවීමට උත්සාහ දරයි. ඒ හේතුවෙන් බැංකු සහ ඒවායේ ගණුදෙනුකරුවන් විසින් ද එම ඉලක්ක සහ ගිවිසුම් පිළිපැදිය යුතුව තිබේ යැයි මෙම ප්‍රකාශය මගින් වැඩි දුරටත් අඟවා තිබේ. නමුත් සත්‍යය නම් ලෝකයේ කිසිදු රටක සමාජයක් මෙවැනි දේශගුණික විපර්යාස පිළිබඳ ගිවිසුම්වලට හෝ තිරසාර සංවර්ධන ඉලක්කවලට සිය ඡන්දය මගින් කිසිම අවස්ථාවක කැමැත්ත පල කර නැති බවය. ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක්ද ලබා දී නැති බවය.මෙවැනි ගිවිසුම් සහ ඉලක්ක ජනතාවන් මත පැටවීමට කටයුතු කරන්නේ කිසි දිනෙක කිසිදු රටක ජනතාවක් විසින් සිය ඡන්දයෙන් තෝරා පත් කර නොගන්නා ලද ලෝක ආර්ථික සංසදයේ “භාරකාර ධනවාදි ” හවුල්කරුවනුත් එහි අතවැසි සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන එක්සත් ජාතින්ගේ සංවිධානයත් විසිනි. “සමාජයට” අවශ්‍යව ඇත්තේ කුමක්ද යන්නත් ඒ සඳහා “සමාජය” ගෙවිය යුතු මිලත් තීරණය කරන්නේ ඔවුන් විසිනි.

මෙම තත්ත්වය විසින් එක්සත් ජනපදය තුළ සමාගම් සහ පුද්ගලයන් ආර්ථිකමය වශයෙන් දුර්වල කෙරෙනවා පමණක් නොව එය මූල්‍ය සමාගම්වල සහ ඒකාධිපති පාලනයන්ගේ තත්ත්වය වඩාත් ශක්තිමත් කරයි.එය නිශ්චිතවම දෙබිඩි ප්‍රමිතීන් භාවිතයේ යෙදෙන චීනය සම්බන්ධව මතුවන ගැටළුවයි.ඉහල සිට පහලට ක්‍රියාත්මක වන ආණ්ඩුවේ පාලනය විසින් සමාගම්වල චර්යාවන් තීරණය කරයි.

චීනය, ESG ව්‍යාපෘතිය සහ බ්ලැක්රොක්හි චීන ආයෝජන

චීනයේ සමහර සමාගම් ESG ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව පැවසේ. නමුත් එක්කෝ එය වරදවා විස්තර කර තිබේ.නැතහොත් වෙනත් දෙයක් විය හැකිය. එය සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ රාජ්‍යය මගිනි. ඔවුහු ESG දර්ශකයේ අවශ්‍ය ලකුණු මට්ටම් සපුරා නැත.සත්තකින්ම ඔවුහු එය අතිශයෝක්තියෙන් දක්වති. එහෙයින් චීනය වෙත ප්‍රාග්ධනය විශාල වශයෙන් ගලායාම සිදු වේ.ඔවුහු මෙය භාවිතාකරන්නේ චීනය වෙත ප්‍රාග්ධනය ගලායාම වැඩි කරනු පිණිසය.
එය සිදුවන්නේ කුමන හේතුවක් මතදැයි මම ඔබට පැහැදිලි කරන්නෙමි.

“ චීනය වූකලී සමස්ත ලෝකයටම ආදර්ශයකි” යනුවෙන් ජනප්‍රිය පාඨයක් පවතී.
නමුත් ප්‍රාග්ධනය චීනයට ගලා යන්නේ මේ නිසාය. චීනයේ ESG ලකුණු මට්ටම් කිසි සේත්ම විශ්වාස කළ නොහැකි ඒවාය.කිසිදු පාරදෘෂ්‍යභාවයක් නැත. කිසිදු ප්‍රමාණාත්මක මිණුමක් නැත.එය උපරිම වශයෙන් ගුණාත්මක වන අතර සීමා සහිතය. එමෙන්ම එය අපයෝජනය කර ඇත.
එසේ නම් ඔවුන් මෙය කරන්නේ කුමක් සඳහාද?
බ්ලැක්රොක් සමාගම විසින් ඔවුන්ගේ ගණුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ චීනයේ කොටස් සහ බැඳුම්කර වෙළෙඳපොළ(Equity and bond market) තුළ සිදු කරන ආයෝජනයන් තෙගුණ කරන ලෙසය.ඒ සඳහා ඔවුහු පහත පරිදි හේතු දක්වා තිබේ.
“චීනය ලෝකයේ කළඹ ආයෝජනයන්(investment portfolio) තුළ නියෝජනය වන්නේ ඉතා අවම මට්ටමකිනි. ගෝලීය මිණුම් දඬු අනුවද එම තත්ත්වය අපට දැකගත හැකිය.”

හොඳයි අපිට මෙහිදී දැකගත හැකිවන්නේ බ්ලැක්රොක් සමාගම විසින් එක්තරා ආකාරයකට “ සමාජ යුක්තිය” ඉටු කිරීමට සැරසෙන බවකි.

“චීනය නියෝජනය වන්නේ අඩුවෙනි. එහෙයින් අපි ඔවුන් වෙත මුදල් ලබා දිය යුතුවෙමු.”

පෙරළා බ්ලැක්රොක්හි ලැරී ෆ්ලින්ක් කුල්මත් කරනු පිණිස චීනය පළමුවරට බ්ලැක්රොක් සමාගම වෙත පූර්ණ හිමිකාරිත්වය සහිත වත්කම් කළමණාකරණ සමාගමක් (wholly owned onshore mutual fund business in China)චීනය තුළ පිහිටුවීමට ඉඩ සලසනු ලැබිණි. (මෙහි දී චීනය විසින් සිය ඩොලර් ට්‍රිලියන 3.5ක අන්‍යෝන්‍ය අරමුදල් කර්මාන්තය විදේශ වෙළඳපොළ සඳහා විවෘත කරනු ලැබිණි.)

මේ සම්බන්ධව ලැරී ෆ්ලින්ක් විසින් මෙසේ පවසන ලදි.

“චීනයේ ආයෝජකයන්හට මුල්‍ය වෙළඳපොළවල් වෙත ප්‍රවේශවීමට ඇති අවස්ථාවන් ඉහළ නැංවීමට සහ ආයෝජන කළඹ ගොඩනැංවීමට හැකි තත්ත්වයක අප සිටීම අපට ගෞරවයකි. මෙය ඔවුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම සේවයක් සලසනු ඇත.”

මෙහිදී චීන සමාගම්වල ESG ප්‍රමිතීන් පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඇගයීමට ලක් කරන්නට ඇති ආකාරය කුතුහලය දනවනු ලබන දෙයකි.ඔවුහු ඉතා පහත් අන්දමට ESG නිර්ණායක හමුවේ අසමත් බව පෙනී යයි.
“කොමන් සෙන්ස් සොසයිටි ” නම් සංවිධානය සිය නිරීක්ෂණයන් මෙසේ දක්වා තිබේ.

“බ්ලැක්රොක් වැනි සමාගම් ඔවුන්ගේ කටයුතු ලෝකය ගලවාගැනීම සඳහා යැයි හුවා දක්වමින් සමහර විට ලෝකයේ ඉතාම දරුණු අන්දමින් ප්‍රමිතීන් උල්ලංගණය කරන්නවුන් වෙත සිය ආයෝජනයන් සිදු කරමින් සිටිති. ”

චීනය සමග පවත්වාගෙන යනු ලබන ආර්ථික, භූදේශපාලනික සහ මානුෂික තත්ත්වයන් අතිශයෝක්තියෙන් හුවා දැක්වීමට නොහැකිය. මක් නිසාද යත් චීනයේ යුදවාදයේ ව්‍යාප්තිය පෝෂණය කරනු ලබන්නේ මෙම ආයෝජනයන් මගිනි. එමෙන්ම බ්ලැක්රෝක් සමාගම විසින් චීනය තුළ මිලිටරි සහ ඔත්තු බැලීමේ තාක්ෂණයන් සංවර්ධනය කිරීමෙහිලා සිදුකර ඇති ආයෝජන සෘජුවම චීනයේ වාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ මානව අයිතීන් උල්ලංඝණයන් සමග සම්බන්ධය.
අවධානයට ගත යුතු වඩාත් වැදගත්ම දෙය වන්නේ මෙම ආයෝජනයන් විසින් ඒකාධිපතිවාදි කොමියුනිස්ට් පාලනතන්ත්‍රයන් ශක්තිමත් කරන සමාගම්වලට ආධාර කිරීම මගින් විවෘත වෙළඳපොළ ක්‍රමයට තර්ජනයක් එල්ල කරනු ලැබීමය.

ESG ගමන් කරමින් පවතින්නේ එවැනි දිශාවක් කරාය.

කෝපරේට් ආර්ථික පැසිස්ට්වාදයේ නැගීම

මේ සියලු දෙය විසින් ගොඩ නගමින් පවතින්නේ කෝපරේට් ආර්ථික පැසිස්ට්වාදයකි. භාරකාර ධනවාදය වූකලී ආර්ථික පැසිස්ට්වාදයේ ආකාරයකි.

අප වෙත පවසමින් ඇති පරිදි ප්‍රශ්නය වන්නේ නිදහස් වෙළඳපොළ ආර්ථිකය නොවේ. සැබෑ ප්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ ලෝක ආර්ථික සංසදය විසින් පෙරට දමා ඇති ධනවාදි ආර්ථික මොඩලයයි. මේ සියලු අර්බුදයන්ට හේතුවී ඇත්තේ එයයි. වෙළඳපොලවල් බිඳවැටෙමින් පවතින්නේත් ජනතාවන් වඩවඩාත්දුගී බවට ඇදවැටී ඇත්තේත් ඒ නිසාය.
තමන්ගේ ආර්ථිකයන් සංවර්ධනය කිරීමෙන් වළකින ලෙස බලකරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ආණ්ඩුවලට අල්ලස් ලබා දීම සිදු කරන්නේත් එම ආර්ථික මොඩලයේ න්‍යායපත්‍රයට අනුවය.
ඔවුහු අපගේ මුදල් පිටතට පොම්ප කරමිනි සිටිති. අපට අපගේ ප්‍රාග්ධනය අහිමිවෙමින් පවතින්නේ අප මෙම දේශගුණික විපර්යාස ව්‍යසනවාදය විශ්වාස කරන බැවිනි.

සැබෑ ප්‍රශ්නය නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය නොවේ. සැබෑ ප්‍රශ්නය කෝපරේට්වාදය නැතහොත් කෝපරේට් ආර්ථික පැසිස්ට්වාදයයි.
මෙම සමාගම් භාරකාර ධනවාදි සටන්පාඨය යටතේ ලෝක ආර්ථික සංසදය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය සමග එක්වෙමින් අතිරේක ආණ්ඩුකරණ පීඩනයක් සමාගම් සහ පුද්ගල චර්යාවන් ඔවුන්ට අවශ්‍ය පරිදි හැඩගස්වනු පිණිස එල්ලකරමින් සිටිති. මෙය අප සියළු දෙනාටම බලපාන දෙයකි.

“බාරකාර ධනවාදය යනු සමාජමය හෝ මතවාදිමය න්‍යාය පත්‍රයක් නොවේ. එය දේශපාලනය පිළිබඳ දෙයක් හෝ නොමග යැවීමක්ද නොවේ.එය ජාගරීයත්වයද නොවේ. එය හුදෙක් ධනවාදය පමණි.” යනුවෙන් බ්ලැක්රොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලැරී ෆ්ලින්ක් විසින් කර ඇති ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ ලෙස ඔහු විසින් ප්‍රවර්ධනය කරනු ලබමින් සිටින කෝපරේට්වාදය විසින් නිශ්චිත මතවාදිමය,දේශපාලන න්‍යාය පත්‍රයක් සාක්ෂාත් කරගැනීමේ ඉලක්කය සහිතව, රාජ්‍යය තුළට සමාගම්වල බලය මැදිහත් කරවා එහි මර්දනකාරි බලය සහ සම්බාධක ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කර තිබේ.මෙහිදී සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත න්‍යාය පත්‍රය අන් කිසිවක් නොව ජාගරීයත්වයයි. ජාගරවාදය ෆැසිස්ට්වාදයේ ආකාරයකි.
මේ වනවිට ඔබට එය පැහැදිලිව ඇතැයි මම සිතමි.

භාරකාර ධනවාදය අනුයන සමාගම් කාටලය විසින් රාජ්‍යය අත්පත් කරගැනීම සහ එම නව රාජ්‍යය විසින් පෙරළා සෙසු ස්වාධීන ව්‍යවසායන් පවරාගැනීම

භාරකාර ධනවාදය ලෝකයේ සෑම කෙළවරකම මැදිහත් වෙමින් පවතී. ඒ සෑම තැනකම තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබේ. භාරකාර ධනවාදී මොඩලය අනුගමනය කරණ සමාගම් විසින් ආණ්ඩුවල භාරකාරිත්වය ද පවරාගෙන තිබේ. සමාගම්වල “වගකීම් සහගත භාරකාරිත්වය ” පිළිබඳ ආකෘතිය( Coporate Stakeholder Model) ආණ්ඩුකරණය සහ භූදේශපාලනික ආකෘතියක් බවටද පත්ව තිබේ.

ෆ්‍රීඩ්මාන් විසින් අනුමාන කළ පරිදිම සමාගම් සහ රාජ්‍යය ඒකාබද්ධව කටයුතු කෙරෙන මෙම දෙබිඩි ආකෘතිය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත කිසිදු ආකාරයකට වග නොකියයි.
මේ පිළිබඳව ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ ටෙරන්ස් කොන්රන් විසින් මෙසේ ලියා තිබේ.
“…රාජ්‍යය විසින් මෙහෙයවන කාර්මික ප්‍රතිපත්තියක් පිළිබඳව ඇමෙරිකාවේ සහ කැනඩාවේ දේශපාලන කව අතර ජනප්‍රිය වෙමින් පවතින මතය අයහපත් ආර්ථිකය නම් කාසියේ එකපැත්තකි.
පාරිසරික, සමාජමය සහ ආණ්ඩුකරණ ප්‍රතිපත්ති පිළිබඳව ගෝලීය වශයෙන් නීති පනවන්නන් සහ ඒවා බලාත්මක කරවන්නන් ලෙස සමාගම්වල බලය ස්ථාපිත කිරීම පිණිස කොපරේට්වාදි කවයන් අතර මුලින් කී ප්‍රවණතාවට සමාන්තරව ගොඩනැගෙමින් පවතින ව්‍යාපාරය එම කාසියේ අනෙක් පැත්තයි.”
මෙය වඩාත් සරල ලෙස පැහැදිලි කළහොත් ඒකාධිකාරි සමාගම් විසින් රාජ්‍යය අත්පත් කරගෙන “රාජ්‍ය විසින් කාර්මික ප්‍රතිපත්ති තීරණය කළ යුතුය” යැයි පවසන විට එහි තේරුම ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සිය ඒකාධිකාරිත්වයට නෛතික සහ දේශපාලන බලයක් ද ආරෝපණය කරගැනීම බවය. එමගින් සිය භාරකාර ධනවාදි මොඩලයට හෝ ESG ප්‍රමිතියට එකඟ නොවන ව්‍යාපාරික තරඟකරුවන් රාජ්‍ය බලය හරහා අහෝසි කර දැමීම ඔවුන්ගේ අරමුණයි.
සාමාන්‍යයෙන් ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයකට පමණක් හිමි විය යුතු බලතල දැන් ESG අනුගමනය කරන සමාගම් විසින් පවරාගනිමින් තිබේ.
සමාගම් විසින් පාරිසරික, සමාජමය සහ ආණ්ඩුකරණය පිළිබඳව නීති පනවන අතර රාජ්‍යය විසින් සිය අයෝමය හස්තය යොදාගනිමින් එම නීති ක්‍රියාත්මක කරවයි. මෙය පැහැදිලිව රාජ්‍යය සතු බලය භාවිතා කිරීමකි. මෙම සමාගම් දැන් ආණ්ඩුකරණ බලය භාවිතා කරනු ලැබේ.
අපට මෙය පසුගිය කාලයේදී දැකගත හැකි විය. මෑතකදී ෆේස්බුක් විසින් එක්සත් ජනපදයේ ස්වදේශික ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙත සිය දත්ත ගබඩාවන්ගේ වෙත විශේෂ දොරටුවක් විවෘත කර දෙමින් ෆේස්බුක් පරිශිලකයන්ගේ දත්ත කොල්ලකෑමටත්, ඔවුන්ගේ සන්නිවේදන කටයුතු වාරණය කිරීමටත් අවස්ථාව සලසා දෙන ලද බවට වාර්තා විය. මෙය මෙවැනි සිදුවීම් අතර වාර්තාවූ එක් සිදුවීමක් පමණි.මෙවැනි සිදුවීම් විශාල සංඛ්‍යාවක් තිබේ.
ජනාධිපති ජෝ බයිඩන්ගේ රජය විසින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වීම මර්දනය කිරීමට යැයි කියමින් තොරතුරු සංසරණය ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ වාරණය කිරීම විශාල වශයෙන් සිදු කරනු ලැබේ.
මේ ආකාරයට රාජ්‍යය සහ සමාගම් ඒකාබද්ධ වීමේ ක්‍රියාවලිය වර්ධනය වෙමින් පවතින ආකාරය අපට දැකගත හැකිය. ෆැසිස්ට්වාදය පිළිබඳ මූලික නිර්වචනයට අනුව මෙය ෆැසිස්ට්වාදය මිසෙක වෙනත් කිසිවක් නොවේ. එකි නිර්වචනය තුළ “රාජ‍්‍ය යේ දේශපාලන සහ ආණ්ඩුකරණ බලය මෙහෙයවන සමාගම්” යනුවෙන් විස්තර වන්නේ මේ දැන් සිදුවෙමින් පවතින ක්‍රියාවලියයි.
ඇතැම් වාමාංශිකයන් පවා දැන් මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය ගැන පුදුමවන්නට පටන්ගෙන තිබේ. සාමාන්‍ය යෙන් වාමාංශිකයන් විසින් සිය අවධානය යොමුකරන්නේ සමාගම්වල මැදිහත්විම් සිදුවන විට පමණි.රාජ්‍යය විසින් සිය බූට් සපත්තුවෙන් ඔවුන් පාගා දැමුව ද එය ප්‍රශ්නයක් ලෙස ඔවුහු නොසළකති.
මේ සිදුවෙමින් පවතින්නේ සමාගම් විසින් ගෝලීය ආණ්ඩුකරණය අත්පත්කරගැනීමකි.එය සත්‍යයකි. නමුත් එහි එතැනින් ඔබ්බටද යන දෙයක් පවතී.

මේ යටතේ පුද්ගලික කර්මාන්ත රාජ්‍යයට යටත් කිරීමේ ක්‍රියාවලියක්ද සිදුවෙමින් පවතී.
භාරකාර ධනවාදි ආකෘතියේ ආණ්ඩුකරණය තුළ සිදුවන්නේ වාමාංශිකයන් “බියට පත්කරවන” පුද්ගලීකරණය ක්‍රියාදාමය පමණක් නොවේ. මෙහි වඩාත්ම අයහපත් දෙයනම් සමාගම් රාජ්‍යයේ නියෝජිතයන් බවට පත් කරමින්, ඒවා රාජ්‍ය දේහයේ අවයව බවට පත්කිරීමය.
මේ අනුව විවිධ අති දැවැන්ත සමාගම්වල වත්කම් සමුච්චයකරණය මගින් රාජ්‍යය විශාල වශයෙන් වර්ධනය වීම, ව්‍යාප්ත වීම,සහ බලගතුවීම සිදුවේ. මෙම සමාගම්වල සහායෙන් රාජ්‍යයේ ආධිපත්‍යය වඩාත් දැවැන්ත එකක් බවට පත්වේ.
මේ යටතේ සිදුවන්නේ රාජ්‍ය අරමුදල් “තිරසාර සංවර්ධනයට ” හෝ ESG ව්‍යාපෘතින් පිළිපදින සමාගම් වෙත හරවා යවමින්ද එකී වැඩ පිළිවෙළට යටත් වීම ප්‍ර තික්ෂේප කරන සමාගම් වලට අරමුදල් සැපයීම වළක්වමින්ද ඔවුන්ගේ ගෙල හිරකර ආර්ථිකමය වශයෙන් විනාශයට පත් කිරීම පමණක් නොවේ.
මේ යටතේ පුර වැසියන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් විශාල දත්ත සංචිතයන්, කෘත්‍රිම බුද්ධිය සහ 5G තාක්ෂණය යොදාගනිමින් පුරවැසියන් පිළිබඳ ඔත්තු බැලීම සහ ඔවුන්ව අත්තනෝමතික පාලනයකට යටත් කිරීම ආදියද සිදුවනු ඇත.

කොවිඩ්-19 එන්නත් කරණය සඳහා ගෝලීයව දියත් වූ මහාපරිමාණ ප්‍රචාරක සහ බලහත්කාරි ව්‍යාපාරයේදී ලෝකයේ සියලුම රාජ්‍යයන් විසින් ඖෂධ සමාගම්වල ඒකාධිකාරය ආරක්ෂා කළා පමණක් නොව එන්නත්වලින් සිදුවන හානි සඳහා නඩු පැවරීම්වලින් හෝ වන්දිගෙවීම්වලින් නිදහස් දණ්ඩමුක්තියක් ද ඔවුන්ට ලබා දුන් බව රහසක් නොවේ. මේ වෙනුවෙන් පෙරළා රාජ්‍ය විසින් ලද ප්‍රතිලාභය වූයේ සිය අත්තනෝමතික බලය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය වාහනයක් සපයාගැනීමට හැකිවීමය. මේ හරහා රාජ්‍යය විසින් ලබාගත් දෙය එයයි.
මේ ආකාරයෙන් භාරකාර ධනවාදය මා විසින් මෙයට පෙර සඳහන් කරන ලද ආකාරයේ “ ආණ්ඩුකරණ- මානසිකත්වයක්” (govern-ment-alities) බවට පත්වී තිබේ. වෙනත් ආකාරයකින් පවසතොත් රාජ්‍යයේ උපකරණ ලෙස සන්නද්ධ වූ පුද්ගලික ආයතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිදු ආකාරයකින් යටත් නොවෙමින් කටයුතු කිරීම මෙහිදී සිදු වේ.

“දේශපාලනික වශයෙන් නිවැරදි අදහසට” ප්‍රතිවිරුද්ධ ලෙස පෙනුණද භාරකාර ධනවාදය හෝ කෝපරේට්වාදය කවර වේශයකින් පෙනී සිටිය ද එය ඒකාධිපතිවාදයක් බැවින් ඒවාට එරෙහිවීම ෂි ජී පෙන් වසර දෙකකට පෙර ලෝක ආර්ථික සංසදයේ දාවෝස් සමුළුවේදී පිළිගත් පරිදි ප්‍රතිගාමි දෙයක් නොවේ. ඇතැම් වාමාංශිකයන් පවසන පරිදි එය සමානත්මතාවාදය ද නොවේ.
රාජ්‍යයේ සහ සමාගම්වල ආධිපත්‍යය දරන ප්‍රභූන් සුළු පිරිසක් විසින් තමන් අත ඒකරාශි කරගත් සම්පූර්ණ ආර්ථික බලය සහ දේශපාලන බලයද යොදාගනු ලබන්නේ සමාජය පාගා දමමින් තව තවත් හැකි තාක් ධනය තමන් වෙත ගොඩ ගසා ගැනීම සදහාය. ඔවුන් නැවත නැවතත් “ධනය නැවත බෙදා හැරීම මගින් සමාජ යුක්තිය ඇති කිරීම ” පිළිබඳව කොතරම් ප්‍රතිඥාවන් ලබා දුන්න ද ඒවා හිස් වචන පමණි. ඔවුහු වාමාංශය සිය අරමුණු සඳහා පාවිච්චි කරති. ඔවුන් සිදු කරමින් සිටින්නේ මෙයයි.

ඔවුහු ඒකාධිපතිවාදයේ ප්‍රවීණයෝ වෙති. ඔවුහු සිය ඒකාධිපතිවාදි අභිලාෂයන් “තිරසාර බව” සහ “සමාජ යුක්තිය ” වැනි වාග්මායාවන් යට සඟවමින් පෙරට දමති. ඔවුහු හුදු ඒකාධිපතිවාදින් වීමෙන් නතර නොවෙති. ඔබ සතු සියළු දෙය ඔවුන් වෙත පවරා දීමට ඔබට සිදු වෙනු ඇත. “සමාජමය වශයෙන් වගකීම් සහගතවීම” පිළිබඳ කොන්දේසින් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට සැරසෙන්නේ එම අරමුණ ඉටු කරගැනීම සඳහාය.

ආර්ථික පැසිස්ට්වාදයට එරෙහිව නැගී සිටීම

ඉදිරියේදී පළ කිරීමට නියමිත මගේ පොත වන “මහා ප්‍රත්‍යාරම්භය සහ විමුක්තිය සඳහා අරගලය:ගෝලීය න්‍යාය හෙළිදරවු කිරීම ”( The Great Reset and Struggle For Liberty: Unraveling The Global Agenda) තුළ මම මේ ආර්ථික ෆැසිස්ට්වාදය නැතහොත් භාරකාර ධනවාදය හරහා ඇතිකිරීමට සැලසුම්කර ඇති මහා ප්‍රත්‍යාරම්භය සමග සටන් කිරීම සඳහා කරුණු 9කින් සමන්විත සැලසුමක් ඉදිරිපත් කර ඇත්තෙමි.
සමාන්තර ආර්ථික, සන්නිවේදන සහ සමාජමය ව්‍යුහයන් බිහිකිරීමට අමතරව මෙම ආර්ථික ෆැසිස්ට්වාදය, භාරකාර ධනවාදය, ජාගරිත කෝපරේට්වාදය ආදි විවිධ ස්වරූපයන් හඳුනාගත හැකි මෙම ඒකාධිපතිවාදයට අභියෝග කිරීම සඳහා අප විසින් ESG ප්‍රතිපත්තීන් පෙරට දමන සමාගම්, බැංකු සහ වත්කම් කළමණාකරණ සමාගම් සමග ආර්ථික කටයුතු අත්හැර දැමීමද කළ යුතුව තිබේ. එමෙන්ම භාරකාර ධනවාදයට පක්ෂපාතිව ව්‍යවස්ථාදායකය තුළ නීති සම්මත කිරීම, ආර්ථිකය දේශපාලනීකරණය කිරීම සහ සිවිල් සමාජය අතුගා දැමීම මගින් භාරකාර ධනවාදය ප්‍රවර්ධනය කිරීමේ යෙදෙන සියලු මධ්‍යම දේශපාලන සැලසුම්කරුවන් සහ දේශපාලන සංවිධාන අප විසින් ප්‍රතික්‍ෂේප කළ යුතුව තිබේ.

 

පරිවර්තනය සහ සැකසුම: අජිත් සී හේරත්

 

වැඩිදුර විමර්ශනය සඳහා

1. The Rise of Woke Capitol
2. The Social Significance of the Modern Corporation,Carl Kaysen
3. LARRY FINK’S 2022 LETTER TO CEOS: The Power of Capitalism
4. Nathan Worcester- Environmental, Social, and Corporate Govenance Scores Are Changing The Oil Industry
5. Business Roundtable Redefines the Purpose of a Corporation to Promote ‘An Economy That Serves All Americans
6. 181 Top CEOs Have Realized Companies Need a Purpose Beyond Profit
7. BlackRock Shareholders Ask for Implementation Plan on Stakeholder Capitalism
8. Fink Thinks BlackRock Already ‘Operates in Accordance’ With New Purpose of a Corporation
BlackRock annual meeting reveals ‘cognitive dissonance’ on stakeholder capitalism implementation
9. China’s social credit score – untangling myth from reality
10. Shareholder Value Is No Longer Everything, Top C.E.O.s Say
11. What are the Principles for Responsible Investment?
12. BlackRock becomes first to operate wholly owned China mutual fund biz
13. Dr Evil