ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ආණ්ඩුවට උපදෙස් දෙන  ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නීති සමාගම ලංකාවේ ණය හිමි බ්ලැක්රොක් සමාගමේ ගනුදෙණු කරුවෙක්

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සිය ණය හිමියන් වන බ්ලැක්රොක් වැනි පුද්ගලික මුල්‍ය සමාගම්,ආසියානු සංවර්ධන බැංකුව වැනි අන්තර් ජාතික මුල්‍ය ආයතන සහ විවිධ රටවල් සමග සාකච්ඡා කිරීමේදී තමන් නියෝජනය කිරීම සඳහා සේවය ලබාගෙන ඇත්තේ ස්වකීය උපදේශන සේවාවන් සඳහා ඩොලර් මිලියන ගණන් අයකරන ජාත්‍යන්තර නීති උපදේශක සමාගමක් වන Lazard and Clifford Chance වෙතිනි. මෙම සමාගම සිය උපදේශකයා ලෙස බඳවාගන්නට ලංකාවේ ආණ්ඩුවට උපදෙස් දුන්නේ කවුරුන්දැයි අපි නොදනිමු. නමුත් මෙහි පැහැදිලි අක්‍රමිකතාවක් සහ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුමක් පවතී.
ශ්‍රි ලංකාවේ ණය බරෙන් අති විශාල ප්‍රතිශතයකට හිමිකම් කියන බ්ලැක්රොක් සමාගම   ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් චාන්ස් (Lazard and Clifford Chance) නීති උපදේශක සමාගමේ දිගු කාලීන ගනුදෙනුකරුවෙකි.
විවෘත කොටස් සහිත මෝටර් රථ රක්ෂණ සහ තාක්ෂණ සමාගමක් වන Root, Inc වෙත දිගුකාලීන ඉහළ සුරක්ෂිත ණයක් ලෙස ඩොලර් මිලියන 300ක් ලබාදෙන බ්ලැක්රොක් සමාගමටත් එය සමග කටයුතු කරන සම ආයෝජකයන්ටත් උපදෙස් දෙමින් ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් සමාගමේ ප්‍රධාන උපදේශක තනතුර දරන ඇන්ඩෘෘ යන්ග් මෙසේ පවසා ඇත.
“බහු විධ ප්‍රායෝගික ක්ෂේත්‍ර සහ නියාමන පාලනයන් හරහා විහිදුණ ණය ගනුදෙණුවක් සඳහා පහසුකම් සැලසීමේදී අපගේ දිගුකාලීන ගනුදෙනුකරුවෙකු වන බ්ලැක්රොක් සමාගම වෙත සහාය දැක්වීමට අපට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙමු.”

 “We were pleased to support our longtime client BlackRock on a deal that spanned across multiple practice areas and regulatory regimes to facilitate a term loan with enormous complexities.”

Lead partner Andrew Young –  Lazard and Clifford Chance

ඇන්ඩෘ යන්ග්ට අනුව බ්ලැක්රොක් සමාගම ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නීති උපදේශන සමාගමේ දිගුකාලීන ගණු දෙනු කරුවෙකි. ණය හිමියා වන බ්ලැක්රොක් සමාගම සමග වන ණය ආරාවුලක් නිරාකරණය කිරීම සඳහා ණයගැතියාවන ශ්‍රි ලංකා ආණ්ඩුව ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් සමාගමේ සේවය ලබාගැනීම කොතෙක් දුරට ඥානාන්විත ක්‍රියාවක් ද? ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් මෙහිදී සැබෑ ලෙසම නියෝජනය කරන්නේ බ්ලැක්රොක් සමාගමද? මෙය නම් අපූරු උපදෙස් ලබාගැනීමකි
ඉන්ධන,ආහාර සහ ඖෂධ ලබාගැනීමේ දී දැඩි විනිමය හිඟය නිසා සාගින්නේ පසුවන, ඖෂධ නොමැතිව හෝ රෝහල් කරා යාමට වාහන නොමැතිව මරණයට පත්වන, දින ගණන් දිවා රෑ ඉන්ධන පෝලිම්වල ලතැවෙන ලාංකීය ජනතාව එම තත්ත්වයට පත්වන පරිදි ණය උගුළක් ඇට වූ බ්ලැක්රොක් වැනි සමාගම් වෙනුවෙන් වක්‍රව පෙනී සිටින  නීතිඥ සමාගම්  සඳහා නීතිමය ගාස්තු පවා ගෙවීමට සිදුව ඇත. ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේ උපදේශනය ලබාගැනීමට පෙර ශ්‍රි ලංකා රජයේ මුදල් අමාත්‍යාංශය හෝ මහ බැංකු බලධාරින් හෝ ඒ පිළිබඳව අත්‍යාවශ්‍ය පෙර විපරම් සිදු නොකළේද? නැතහොත් ඔවුන්ද දැනුවත්ව මේ කුමන්ත්‍රණයට හවුල් වී ඇත්ද?
එසේත් නැතහොත් ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සිය නීති උපදේශන කටයුතු සඳහා බඳවාගන්න ලෙස ශ්‍රි ලංකා රජයට උපදෙස් දී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද? නැතහොත් එක්සත් ජනපද තානාපතිනියද? නැතහොත් බ්ලැක්රොක් සමාගම විසින්මද?
ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් සමාගම විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ශ්‍රි ලංකා රජයට දෙනු ලබන එකම උපදේශය වනු ඇත්තේ බ්ලැක්රොක් වැනි ණය හිමි සමාගම්වල සියලු කොන්දේසි පිළි අරගන්නා ලෙස පමණි.

ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) 183 වැනි මහා සභා රැස්වීම අමතමින් එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මෙම නීති උපදේශකයන් බඳවාගැනීමේ කටයුත්ත පිළිබඳව මෙසේ ප්‍රශංසා කර ඇත.

“පළමුව ණය අර්බුදය විසඳිය යුතුයි. IMF වෙත ගොස් ණය සහ නීති උපදේශකයින් බඳවා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අපි සාදරයෙන් පිළිගනිමු.“