ෆයිසර්- මොඩෙර්නා mRNA එන්නත් හෘදයරෝගවලින් සිදුවන මරණවලට හේතුවක්- බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ හෘද රෝග විශේෂඥ අසීම් මල්හෝත්‍රා

පරිවර්තකගේ සටහන

වෛද්‍ය අසීම් මල්හෝත්‍රා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ පුහුණුව ලද හෘදරෝග පිළිබඳ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකි. ඔහු බ්‍රසීලයේ, සැල්වදෝර්හි බහියානා වෛද්‍ය විද්‍යාලයේ සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය ප්‍රතිකාර (Evidence Based Medicine) අධ්‍යයන මධ්‍යස්ථානයේ ආරාධිත මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. වෛද්‍ය මල්හෝත්‍රා හෘද රෝග වැලැක්වීම, රෝග විනිශ්චය සහ කළමනාකරණය පිළිබඳ ලෝක ප්‍රකට විශේෂඥයෙක් වන අතර කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයේ පරිවෘත්තීය මනෝචිකිත්සක සායනයෙහි ගෞරවනීය සභා සාමාජිකයෙකු ද වේ.  එක්සත් රාජධානියේ හර්ට්ෆර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයේ හෘද රෝග පිළිබඳ ප්‍රධාන පරීක්ෂක  ලෙස කටයුතු කරන ඔහු Action on Sugar හි නම් අධික සීනි භාවිතයට එරෙහිව දියත් කරන ලද දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු වේ.  වෛද්‍ය මල්හෝත්‍රා එක්සත් රාජධානියේ අධික සීනි පරිභෝජනයෙන් සිදුවන හානිය, විශේෂයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව සහ තරබාරුකම සඳහා එහි කාර්යභාරය ඉස්මතු කරන ප්‍රධාන ප්‍රචාරකයා විය.
සම්මානලාභී ඇමරිකානු විද්‍යා මාධ්‍යවේදී ගැරී ටෝබ්ස් විසින් වෛද්‍ය අසීම් මල්හෝත්‍රාව විස්තර කරන්නේ “ජීවත්ව සිටින ඕනෑම අයෙකුට වඩා පෝෂණ විද්‍යාවට සහ ඖෂධ සමාගම් පිළිබඳ විවාදයට ආචාරධාර්මික සහ විද්‍යාත්මක කරුණු එන්නත් කිරීමට එක්සත් රාජධානිය තුළදී බොහෝ දේ කර ඇති” අයෙකු ලෙස ය.

ලිබර්ටි සංවිධානයේ අධ්‍යක්ෂ ෂාමි චක්‍රබාර්ති අසීම් මල්හෝත්‍රා පිළිබඳව මෙසේ පවසා තිබේ.

“මහජන සෞඛ්‍ය පිළිබඳ අත්‍යවශ්‍ය වැදගත් විවාදයක් නොසැලකිල්ල සහ සැඟවුණු අවශ්‍යතාවන් සහ ලැදියාවන් විසින් යටපත් කර තිබේ . අසීම් මල්හෝත්‍රා තුළ අපට වෛද්‍ය විශේෂඥයෙක්, අර්ථ දක්වන්නෙක් සහ උපදේශකයෙක් සිටී. අවශ්‍ය අවස්ථාවන්හිදී ඔහු ඔහුගේ වෙදනලාව මයික්‍රෆෝනයකට මාරු කිරීමට ද සහ වැරදි තොරතුරු, වැරදි පරිපාලනය සහ බලය අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව නැගී සිටීමට බිය වූයේ නැත.”

කොවිඩ්-19 යි නමින් ප්‍රකාශ කරන ලද වසංගත තත්ත්වය පාලනය කිරීමට යැයි කියමින් ඒ සඳහා mRNA එන්නත් මුදා හරින ලද අවස්ථාවේදී, වෛද්‍ය මල්හෝත්‍රා එම එන්නත්කරණ ව්‍යාපාරයේ උද්‍යෝගිමත් ආධාරකරුවෙකු විය. ඔහු සිය රාජකාරියට අමතරව එන්නත් මධ්‍යස්ථානවල කටයුතුවලට ස්වේච්ඡාවෙන් සහාය දුන්නේය. එන්නත් පිළිබඳව ප්‍රචාරය සඳහා රූපවාහිනි සහ ගුවන්විදුලි වැඩ සටහන්වලට සහභාගි විය.
නමුත් මෙම එන්නත් පිළිබඳව ක්‍රමානුකූලව ඔහු තුළ සියුම් සැකයක් වර්ධනය වෙමින් පැවැති අතර කොවිඩ්-19 mRNA එන්නත් ලබාගත් ඔහුගේ පියා හදිසි හෘදයාබාධයකින් මරණයට පත් විය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව ඔහුගේ පියාගේ හෘදය ධමනි පටුවීමක් සිදුවී තිබිණි. ඉන්පසුව බ්‍රිතාන්‍ය යේ වෙනත් හෘදය රෝගි විශේෂඥයන් විසින් පවත්වන ලද පර්යේෂණ ද සිය වෘත්තීය සගයන්ගෙන් ලද තොරතුරුද අනුව mRNA එන්නත් පිළිබඳව දත්ත සියලු දත්ත අධ්‍යයනය කරන ලද වෛද්‍ය මල්හෝත්‍රා මෙම mRNA එන්නත්වලින් හෘදයාබාධ සහ වෙනත් බරපතල අතුරු ආබාධ ඇතිකරන බැවින් එම එන්නත් ලබාදීම වහා අත්හිටුවන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේය. මෙය ඔහු විසින් කොවිඩ්-19එන්නත් ප්‍රවර්ධනය කරමින් කලින් දරන ලද ස්ථාවරයට මුළුමණින්ම ප්‍රති විරුද්ධ ස්ථාවරයකි.
ඔහු මෙවැනි ස්ථාවරයකට එළැඹුනේ මන්ද? අව්‍යාජ විද්‍යාඥයෙකු ලෙස තමන් විසින් අධ්‍යයනය කරන ලද නව සාක්ෂි මත පදනම්ව එළැඹී සිය නව නිගමනය තමන් කලින් දරන ලද ස්ථාවරයට මුළුමනින්ම එරෙහි එකක් වුව ද එම වරද පිළිගෙන එන්නත් පිළිබඳ නිවැරදි විද්‍යාත්මක සත්‍යය හෙළිදරවු කිරීමට තරම් විරල ශාස්ත්‍රීය නිර්ව්‍යාජත්වයක් ඔහු තුළ වීම එක් හේතුවකි. දෙවැන්න සිය රෝගීන් පිළිබඳව පමණක් නොව සමස්ත මානව වර්ගයාම පිළිබඳව මේ තීරණාත්මක මොහොතේදී වෛද්‍යවරයෙකු සහ විද්‍යාඥයෙකු වශයෙන් ඉටු කළ යුතුව ඇති කාර්යභාරය අන් සියල්ලටම වඩා වැදගත් යැයි කල්පනා කළ බැවිනි.
කොවිඩ්-19 වසංගත තත්ත්වයක් ලෙස නම්කරමින් ප්‍රෝඩාවක් දියත් කරමින්ද එය මර්දනය සඳහා යැයි කියමින් නම් නවතම ජාන විකෘතිකාරක තාක්ෂණයකට නිෂ්පාදනය කරන ලද mRNA  එන්නත්  මගින්  සමස්ත මනුෂ්‍ය වර්ගයාම එන්නත් කරණය සඳහා උත්සාහ දරන ලද ධනවත් සහ බලගතු බලවේග විසින් අප බොහෝ දෙනෙකුන් රැවටීමට සමත් වූ බව අප විසින් පිළිගත යුතුය. එය අපට ලජ්ජාවීමට කරුණක් ලෙස සළකමින් තවදුරටත් නිහඬව සිටීම මගින් සිදු වන්නේ ඔවුන්ට මේ විනාශය දිගින් දිගටම සිදු කරගෙන යාමට ඉඩ සැලසීම පමණකි.
රැවටීමට ගොදුරුවන පුද්ගලයන් විසින් රැවටීමේ ගොදුරු බවට පත්වෙමින් අනන්ත දුක් විඳින අතරම රවටන්නාටද වඩා එකී රැවටීම ආරක්ෂා කරමින් කිසිවක් සිදු නොවුණා සේ සිටින අවස්ථාවක් මානව ඉතිහාසයේ කවරනම් කලෙක හෝ විණිනම් ඒ මේ අවස්ථාවේදි විය හැකිය.
එක්සත් ජනපදයේ  ෆ්ලෝරිඩාහි ආණ්ඩුකාර ඩිසැන්ටිස් විසින් එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සහ ඖෂධ සමාගම් විසින් තමන්ට සාවද්‍ය තොරතුරු සපයමින් තමන්ව නොමග යවන ලදැයි ප්‍රකාශ කරමින් ඒවාට එරෙහිව නඩු පැවැරීමට කටයුතු සුදානම් කරමින් සිටියි. තමන් සතුව විශේෂඥ දැනුමක් නොමැති ක්ෂේත්‍රයන් තුළ එබඳු දැනුමක් සහිත විශේෂඥයන්ගෙන් උපදෙස් අනුව කටයුතු කරන විට ඔවුන් විසින් තමන් රවටා ඇතියි පසුව වැටහෙන්නේ නම් ඒ බව ප්‍රකාශ කිරීම මගින් තමන් මෝඩයන් බවට පත් වීමක් සිදු නොවේ. ආණ්ඩුකාර ඩිසැන්ටිස් හෝ වෛද්‍ය මල්හෝත්‍රා වැන්නවුන් මෙහිදී පෙන්වන ලද පෞරුෂය අගය කළ යුතු වන්නේ එහෙයිනි.

වෛද්‍ය මල්හෝත්‍රාගේ මෙම සංවාදය අප විසින් පලකරනු ලබන්නේ සත්‍යය හෙළිකිරීමට බොහෝ දේ කැපකර පෙරට පැමිණ සිය වෘත්තීමය සහ දේශපාලන වගකීම ඉටුකළ දිරිමත් මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ පණිවිඩය සමස්ත මිනිස් සමාජය වෙත  ගෙනයාම සඳහා අප මත පැවරෙන වගකීම ඉටු කිරීම සඳහාය. අප එසේ නොකරන්නේ නම් මේ දිරිමත් මිනිසුන් හුදෙකලා කොට විනාශ කර දමනු ඇති අතර ඉන් පසුව අප අප සියලු දෙන වෙනුවෙන් නැගී සිටීමට කිසිවෙකුත්  ඉතිරි නොවනු ඇති බැවිනි.


ටකර් කාල්සන් : “ටකර් කාල්සන් ටුඩේ “(Tucker Carlson Today) වැඩ සටහන වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. එක්සත් ජනපදය තුළ දී අපි එන්නත් ගැන වැඩි පුර කතා නොකරමු. මෙහි එම විවාදය එක්තරා ආකාරයකට අවසන් වී ඇති බව පෙනී යයි. නමුත් එන්නත් පිළිබඳ සැබෑ දත්ත ගලා එමින් පවතී. ඒවායින් සමහරක් අප කම්පනයට පත්කරවන සුළුය. ඒවා පිළිබඳ යම් වැටහීමක් ඇති කරගැනීම දුෂ්කරය. මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයන් කීප දෙනෙකුම මෙම ගැටළු ගැන අවධාරණය කොට කරුණු ඉදිරිපත්කර ඇති නමුත් එන්නත්වල ප්‍රාතිහාර්යය පිළිබඳව ඉදිරිපත් කර ඇති මත ප්‍රශ්න කරන සියල්ලන්ට එරෙහිව ගොඩ නංවා ඇති මාධ්‍ය බාධක බිඳ හෙලමින් පෙරට යාමට තරම් ඔවුන්ගේ කරුණු දැක්වීම් ප්‍රමාණවත් වී ඇති බවක් නොපෙනේ. නමුත් බ්‍රිතාන්‍ය තුළ දී අපගේ අවධානය ඇදගැනීමට සමත් යමක් යමක් සිදුව තිබේ. බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම හෘදය රෝගී විශේෂඥයෙකුවන වෛද්‍ය අසීම් මල්හෝත්‍රා කොවිඩ්-19 එන්නත් වලින් සිදුවන යහපත වෙනුවෙන් පෙනී සිටීමේ තම ආරම්භක ස්ථාවරය වෙනස් කරමින් එම එන්නත් විසින් නිරෝගී පුද්ගලයන් තුළ ඇතිකරන හානිකර කායික බලපෑම පිළිබඳව පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ. එය සිදු වූයේ ඔහුගේ පියාගේ අනපේක්ෂිත මරණයත් සමගය. මෙය අතිශය අසාමාන්‍ය ලෙස උනන්දුව ඇතිකරවන සුළු සිදුවීමකි. මෙම වැඩ සටහන නරඹන සියලු දෙනා තුළ මෙමගින් විශාල බලපෑමක් ඇතිවනු ඇත. මෙම වෛද්‍යවරයා මෙම වැඩ සටහනට සහභාගි වීම ගෞරවයක් ලෙස සළකමු. ඩොක්ටර් මල්හෝත්‍රා, ඔබට ආයුබෝවන්

අසීම් මල්හෝත්‍රා : ඔබට ස්තූතියි ටකර්

ටකර් කාල්සන් : අපට ඔබ පිළිබඳව කෙටි විස්තරයක් පැවැසිය හැකිද? ඔබ පැමිණියේ කොහි සිටද? පසුගිය විසිපස් වසර තුළ ඔබගේ ජීවිතය ගත වූයේ කෙලෙසද යනාදි කරුණු පිළිබඳව?

අසීම් මල්හෝත්‍රා : සත්තකින්ම, මම හැදී වැඩුනේ එංගන්තයේ මැන්චෙස්ටර් වල. ස්කොට්ලන්තයේ එඩින්බර්ග් වෛද්‍ය විද්‍යාලයේදී මම වෛද්‍ය විද්‍යාව හැදෑරුවා. මම දැනට ලන්ඩනයේ හෘදය රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනවා. හෘදය රෝගී තත්ත්වයක් යම් පුද්ගලයෙකු තුළ වර්ධනය වන්නේ කෙසේද යන කරුණ පිළිබඳව පසුගිය වසර 10 තුළ මම විවිධ පර්යේෂණ ගණනාවක් සිදු කළා . එමෙන්ම ජීවන විලාසිතාව සහ හෘදයරෝග අතර සම්බන්ධය පිළිබඳව කේන්ද්‍රීය අවධානය යොමු කරමින් සිදු කළ එම පර්යේෂණ නිසා හෘදය රෝග පිළිබඳ මා තුළ පැවැති අවබෝධයේ සුසමාදර්ශි වෙනසක් සිදුවුණා. නමුත් ටකර් මෙම ක්‍රියාවලියේදී මා විසින් අවබෝධ කර ගනු ලැබුවේ සායනික තීරණ ගැනීම සඳහා වෛද්‍යවරුන්ට ඉතා අවශ්‍ය වන තොරතුරු ඔවුන් වෙත ළඟාවීමේදී විවිධ වාණිජමය අරමුණුවලින් සහ පටු අවශ්‍යතාවලින් දූෂිතව පවතින බවයි. විශේෂයෙන් ම ඖෂධ සමාගම්වල මැදිහත්වීම් නිසා

ටකර් කාල්සන් : බාධා කිරීමට සිදුවීම ගැන කණගාටුයි. දැනට සේවයේ යෙදෙන වෛද්‍යවරයෙකු විසින් එවැනි දෙයක් පවසනු අසන්නට ලැබීම ඉතාම උනන්දු ජනක දෙයක්. ඔබ බ්‍රිතාන්‍ය තුළ මහජන සෞඛ්‍ය පිළිබඳ සාකච්ඡාවන්ට කලෙක සිට සහභාගි වන අයෙකු බව මා විසින් අපගේ ප්‍රේක්ෂකයන් වෙත පැවසිය යුතුයි . ඒ හෘදය රෝග සම්බන්ධයෙන් පමණක් නොව ඔබ විසින් මෙහිදී පැවැසූ පරිදි තරබාරු බව සහ ජීවන රටාවන් ගැනද ඔබ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඔබ මේ දේවල් පිළිබඳව දැඩි අවධානයකින් යුතුව සොයා බලා තිබෙනවා. ඖෂධ සමාගම් හෝ එවැනි සංවිධිත අරමුණු විසින් වෛද්‍ය විද්‍යාත්මක තීරණ සඳහා බලපෑම් සිදු කරන බවට ඔබ විසින් නිගමනය කරන ලද්දේ කවදා ද?

අසීම් මල්හෝත්‍රා : ඉතා වැදගත් ප්‍රශ්නයක්, මම වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබුවේ 2001 වසරේදීයි. මම දැනට අවුරුදු 20කට වැඩි කාලයක් වෛද්‍යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය තුළ කටයුතු කිරීමේදී වසර ගණනාවක් පුරා මගේ අවධානයට ලක් වූ දෙයක් නම් නිදන්ගත රෝගවලින් (chronic diseases) සහ බහුවිධ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටින රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව. ඔවුන්ගේ තත්ත්වය නැවත කිසි දිනෙක වඩාත් යහපත් තත්ත්වයට පත් නොවන බව. ඒ අතරම අපට අසන්නට ලැබුණා ස්ථුලතාව නැතහොත් තරබාරු බව වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති බව. ඒ අවස්ථාවේදී මම තීරණය කළා සිදු වෙමින් පවතින්නේ කුමක්දැයි වටහා ගැනීමට. වසර 10කට 12කට පෙර මා විසින් ඉතා පැහැදිලිව අවබෝධ කරගත් දෙයක් නම් අපි මේ ප්‍රශ්නය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන සුදුසු විසඳුම් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් අපගේ සෞඛ්‍ය පද්ධතිය ඉක්මණින්ම බිඳ වැටෙන බව. අපගේ සෞඛ්‍ය පද්ධතිය දැනටමත් විශාල පීඩනයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මම සිදුවන්නේ කුමක් දැයි සෙවීම සඳහා පර්යේෂණ සිදු කිරීම ආරම්භ කළා. හෘදයරෝග සම්බන්ධ වෛද්‍යවරයෙකු ලෙස මගේ මූලික ප්‍රමුඛතාව වූයේ හෘදයරෝග සම්බන්ධව සොයා බැලීමටයි. නූතන විද්‍යාවේ ජයග්‍රහණ සියල්ලම තිබියදී වුව ද අපි කිසි විටෙක හෘදය රෝග සම්බන්ධ ප්‍රශ්නය පාලනය කිරීමට හෝ එම රෝගය මුලිනුපුටා දැමීම සඳහා නිසි ලෙස මැදිහත් වී නැහැ. මගේ මූලික පර්යේෂණය යොමු වුනේ හෘදය රෝග සම්බන්ධ මෙම ප්‍රශ්නය අධ්‍යයනය සඳහායි. එම අධ්‍යයන ක්‍රියාදාමය තුළ දී මට ඉතා ඉක්මනින් දැනගැනීමට ලැබුණ දෙයක් තමයි අධික කොලෙස්ටෙරෝල් සම්බන්ධ සුසමාදර්ශය සහ වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය තුළ ඉහළ ලාභ උපයන සරුසාර ඖෂධයක්වන ස්ටෑටින් වර්ගයේ ඖෂධ (statin drugs) පදනම්ව ඇත්තේ වැරදි විද්‍යාත්මක පදනමක් මත බව.

ටකර් කාල්සන් : මිනිත්තුවක් දෙන්න, මෙය මාතෘකාවෙන් පිටත දෙයක්, නමුත් මම ඒ පිළිබඳව තවදුරටත් දැන ගැනීමට කැමැතියි. මම හිතුවේ ස්ටෑටින් කාණ්ඩයේ ඖෂධ හෘදයරෝග සුවපත් කිරීමට සමත් වන බව.

අසීම් මල්හෝත්‍රා : එය හොඳ ප්‍රශ්නයක්, යමෙකු ස්ටෑටින් ඖෂධ දෙස බලන විට ඔහු විසින් අවබෝධ කරගත යුතුයි එයින් ඔබ සෞඛ්‍යමය වශයෙන් ලබන වාසිය හෝ ඔබට ඉන් ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි කියා. ජනතාවගේ වැටහීම එය හාස්කම් සහිත ඖෂධයක් බව සහ හෘදයරෝග වැළකීමේ හොඳම ක්‍රමය බව.

ටකර් කාල්සන් : මම සිතා සිටියේත් ඒ ආකාරයට

අසීම් මල්හෝත්‍රා : මම සිදු කළ දෙය තමයි මේ සම්බන්ධ දත්ත විමර්ශනය කර ඒවා සාමාන්‍ය ජනතාවට අවබෝධ කරගත හැකි අන්දමට සකස් කර ඉදිරිපත් කිරීම. නිදසුනක් ලෙස ස්ටෑටින් ඖෂධ ලබාගන්නා බොහෝ දෙනෙකු එය ලබාගන්නේ හෘදය රෝග ඇතිවීම වැළැක්වීම සඳහායි. ලෝකයේ දැනට බිලියනයක් පමණ ජනතාව ස්ටෑටින් ලබාගන්නවා. ඖෂධ කර්මාන්තය තුළ එය ඉතාම සරුසාර සහ ලාභදායි දැවැන්ත ව්‍යාපාරයක්.

ටකර් කාල්සන් : ඔබ නිවැරදියි.
.
අසීම් මල්හෝත්‍රා :ඔබ අදාළ දත්ත දෙස බලන විට බලන විට පෙනී යන්නේ ඒවා බොහෝමයක් ඖෂධ සමාගම්වල අනුග්‍රහය සහිත දත්ත බවයි. ස්ටෑටින් ඖෂධ ලබාගන්නා පුද්ගලයෙකු හෘදය රෝගවලට ගොදුරු නොවන්නේ යැයි යන්න යථාර්ථයේදී නිසැකවම පක්ෂපාති නිගමනයක් වුවත් එය පරම සත්‍යයක් ලෙස මොහොතකට අප විසින් පිළිගත්තා යැයි සිතමු. නමුත් ඇත්ත වශයෙන්ම ස්ටෑටින්වලට හෘදයරෝග වැළැක්වීමේ හැකියාවේ ප්‍රතිශතය 1%ක් පමණයි. ඔබ මා වෙත පැමිණ මගෙන් මෙසේ විමසනවා: “ඩොක්ටර්, මම හිතනවා ස්ටෑටින් ගන්න. මට හෘදයාබාධයක් නැහැ. නමුත් මම හිතනවා මට හෘදයාබාධයක් හැදෙන එක ඒකෙන් වළක්වන්න පුළුවන් වෙයි කියලා.” එවිට මම ඔබට කියනවා “හොඳයි අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු ”. ඊට පසුව මම ඔබට ඒ සම්බන්ධ මේ සැබෑ තොරතුරු ලබා දෙනවා. ඒ මගින් මම ඔබට උදව් කරනවා එම ඖෂධය ගැනීම හෝ නොගැනීම පිළිබඳව දැනුවත් තීරණයක් ගැනීමට. සමහර විට ඔබ මේ දත්ත සැලකිල්ලට ගන්න ඉඩ තියෙනවා. මම හිතන විදියට 1%ක් කියන්නේ මහ විශාල දෙයක් නෙවි. මම හිතනවා මම ඔබට වෙනත් දෙයක් නිර්දේශ කරන්න, ඔබගේ ආහාර හෝ ජීවන රටාවන් වෙනස් කළ යුතු ආකාරය ගැන මම ඔබට කියනවා. මම වසර ගණනාවක් තිස්සේ ප්‍රකාශයට පත් කරන ලද්දේ මේ කරුණු පිළිබඳවයි.

ටකර් කාල්සන් : 1%?

අසීම් මල්හෝත්‍රා : ස්ටෑටින් ගැනීමෙන් ඔව්. 1%ක් පමණ සෞඛ්‍ය ප්‍රතිලාභයක් පමණයි ඔබට ලැබෙන්නේ. නමුත් ඔබට හෘදයාබාධයක් වැළැඳී ඇත්නම් එම ඖෂධය ගැනීමෙන් ඔබට ඊළඟ අවුරුදු 5 තුළ නැවැත හෘදයාබාධයක් වැළඳීමේ හැකියාව අඩු කරන්නේ 40ට 1ක් (2.5% ක් )ලෙසයි. එමෙන්ම ඔබගේ ආයුෂ දීර්ඝ කිරීමේ ඉඩකඩ වැඩි කරන්නේ 83ට එකක් (1.2%) ලෙසයි. මට අවශ්‍ය වුනේ වැරැදි තොරතුරු කපා හරින්නටයි. ඒ ආකාරයට අපි රෝගියා සමග දැනුවත් සාකච්ඡාවක් පවත්වනවා.

ටකර් කාල්සන් : හොඳයි, නමුත් මම හිතනවා ස්ටෑටින් ගැනීමෙන් පුද්ගලයෙකු වෙත හානිකර ප්‍රතිඵලයක් නොලැබෙනු ඇතැයි කියා.

අසීම් මල්හෝත්‍රා : බරපතල අතුරු ආබාධ වාර්තා වී නැහැ. නමුත් මෙම ඖෂධය විසින් ජීවිතයේ ගුණාත්මක පැවැත්මට යම් අහිතකර බලපෑමක් එල්ලකරනවා. සත්තකින්ම වෛද්‍යවරුන් වශයෙන් අප කරන්නේ ජනතාව තම වේදනාවන්ගෙන් මුදවා ගැනීමයි. ඇතැම් විට 10% සිට 40% දක්වා වන පිරිසකට වෙහෙස, ක්ලාන්ත ගතිය, මාංශපේෂි කැක්කුම, වැනි ලක්ෂණ ඇති විය හැකියි. එය විසින් ජීවිතයේ ගුණාත්මක පැවැත්මට හානි සිදු කරනවා. නමුත් රෝගියා දැනුවත් කිරීමේ අපේ සාකච්ඡාවේදී මම මෙසේ කියනවා “ මෙම ඖෂධය ගැනීමෙන් ඔබ ලබන ප්‍රයෝජනය ඉහතදීත් මා විසින් පැවැසූ පරිදි මහ විශාල එකක් නොවන බව ඔබට දැනුම් දෙන්න මට අවශ්‍යයි. නමුත් ඖෂධය නතර කළහොත් තත්ත්වය ගැනත් මට කියන්න බැහැ. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, ව්‍යායාම කිරීම, හොඳින් නිදාගැනීම ආදිය මගින් ඔබට හෘදය රෝග වළක්වාගැනීමේ වඩාත් හොඳ තත්ත්වයක් ගොඩ නගා ගත හැකියි.” මම එහෙම කියන්නේ 80%ක් හෘදයාබාධවලට හේතුවන්නේ ජීවන රටාව සහ පාරිසරික සාධකයි.

ටකර් කාල්සන් :ඔබ පවසන්නේ මා විසින් මෙතෙක් අසා ඇති දේවලට සම්පූර්ණ වෙනස් දෙයක්. එය උනන්දුව දනවන සුළුයි. එය සම්පූර්ණයෙන්ම වෙනස් ආකර්ෂණීය පර්ච්ඡේදයක්. මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔබ එලැඹි නිගමනය වන්නේ අපගේ දැක්ම හැඩගස්වන්නේ ඖෂධ සමාගම් විසින් බවද?

අසීම් මල්හෝත්‍රා : සත්තකින්ම ඔව්. වෛද්‍ය ඉතිහාසයේ වඩාත්ම නිර්දේශ කරන ලද ඖෂධ සහ වඩාත් කාර්යක්ෂ්ම ලෙස සලකන ලද ඖෂධ ඇත්ත වශයෙන්ම ඒ හිතන තරම් විශිෂ්ට සහ කාර්යක්ෂ්ම ඒවා නෙවෙයි. ඒවායින් ලැබෙන ගුණය ඉතා සීමා සහිතයි. මෙම තත්ත්වය විසින් මාව යොමු කරා සම්පූර්ණ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය (Medical Industrial Complex) පිළිබඳව පරීක්ෂණය කිරීම සඳහා. මේ අවස්ථාවේදී මට තවත් සිදුවීම් කීපයක් දක්නට ලැබුණා. 2012 දී බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය විසින් අධික ලෙස ජනතාව ඖෂධ භාවිතය සඳහා යොමු කිරීමට එරෙහිව “ Too Much Medicine” යන නමින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා. එමෙන්ම මේ රටේ JAMA Internal Medicine සඟරාව විසින්ද අඩුවෙන් ඖෂධ භාවිතා කිරීම දිරිමත් කරන “ Less is More” නම් ව්‍යාපාරයක් දියත් කර තිබුණා. ටකර්, මම මේ කරුණු ඉදිරිපත් කළේ ඔබ වෙත සහ ප්‍රේක්ෂකයන් වෙත පුළුල් චිත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහායි.හෘදය රෝග සහ පිළිකා රෝගවලට පසුව ගෝලීය වශයෙන් සිදුවන මරණ සඳහා තුන්වන ස්ථානය ගන්නා හේතුව වන්නේ ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබ වෙත නිර්දේශ කරන ඖෂධවල අතුරු ආබාධ බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ටකර් කාල්සන් : එය විශ්වාස කිරීමටත් අසීරු දෙයක්

අසීම් මල්හෝත්‍රා : සත්තකින්ම ඇත්ත තත්ත්වය ඒකයි. ඇත්තෙන්ම මෙම විශ්ලේෂණය සිදු කළේ ගෞරවනීය කොක්රේන් සහයෝගිතාවයේ (Cochrane Collaboration) සම නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් වන (පීටර් ගවුචර්) විසිනුයි. මේ සියල්ල අවබෝධ කර ගැනීමෙන් පසුව මා තුළ රෝගීන් මේ ඖෂධ පිළිබඳව දැනුවත් කර ඔවුන්ගේ දැනුවත් එකඟතාව ( Informed Consent) සහිතව ඖෂධ නිර්දේශ නොකරන්නේ කුමක් නිසාද යන්න ගැනත් ප්‍රශ්නයේ මූලික හේතුව කුමක්ද යන්න ගැනත් මා තුළ ප්‍රශ්නයක් මතුවුණා. මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට කටයුතු කළේ සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය ප්‍රතිකාර විධික්‍රම ත්‍රිත්වය (Evidence Based Medicine Triad) නම් ඉතාම සරල සහ මනෝඥ ලෙස ක්‍රමයක් මත පදනම්වයි. එම ත්‍රිත්ව විධික්‍රමයේ සංරචකයන් නම් රෝගයට ප්‍රතිකාර කිරීම (treat illness), අවදානම් කළමණාකරණය(manage risks), වේදනාවෙන් මුදවා ගැනීම(relieve suffering) යනාදියයි. මේ සඳහා 1996 දී සාක්ෂි මත පදනම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ පියා ලෙස සැලකෙන ඩේවිඩ් සැකෙට් ( David Sackett) විසින් ඉතා වටිනා පර්යේෂණ සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. එමගින් මූලිකව අදහස් කරන්නේ ඔබ ඔබගේ සායනික විශේෂඥතාව, අත්දැකීම් සහ පවත්නා හොඳම සාක්ෂි රෝගියා වෙත ඉදිරිපත් කරමින් රෝගියාගේ පුද්ගලික සුදානම සහ චර්යාත්මක ඇගයුම් පිළිබඳව සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු බවයි. රෝගියාගේ දැනුවත් එකඟතාව ලබාගැනීම යනු එයයි. මෙම සංරචකයන් ත්‍රිත්වයේ එකක හෝ යම් වැරැද්දක් ඇත්නම් ඔබට හොඳම ප්‍රතිඵලය ලබාගත නොහැකි බව වටහා ගැනීමට රොකට් විද්‍යාව පිළිබඳ දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ.

ටකර් කාල්සන් : එය නිවැරදියි.

අසීම් මල්හෝත්‍රා : සාක්ෂි මත පදනම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මේ වනවිට මායාවක් බවට පත්ව තිබෙනවා. මක් නිසාද යත් එය වාණිජ අරමුණු විසින් ග්‍රහණයට ගැනීම හේතුවෙන්. මෙහිදී මම වෛද්‍ය විද්‍යාව තුළ ස්ටීවන් හෝකින්ස් (Stephen
Hawking) ට සමාන අයෙකු ලෙස සැළකෙන ස්ටැන්ෆෝර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ජෝන් අයෝනිඩිස් (John Ioannidis) උපුටා දක්වන්න දක්වන්න කැමැතියි. ලෝකයේ වඩාත්ම උපුටා දැක්වීම්වලට ලක්වුණ පර්යේෂණාත්මක කෘතින් ඉදිරිපත් කළ වෛද්‍ය විද්‍යාඥයා ලෙස සැලකෙන්නේ ඔහුයි.

මෑත කාලිනව පළ කර ඇති පර්යේෂණ පත්‍රිකා බහුතරයක් කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු සහ වැරදි ඒවා බව මහාචාර්ය ජෝන් අයෝනිඩිස් මෑතකදි ප්‍රකාශයට පත් කළ පර්යේෂණ පත්‍රිකාවක් මගින් පෙන්වා දෙනවා. මෙයට හේතුව වෛද්‍යවරුන් විසින් සිය සායනික තීරණ ගැනීම සඳහා උපයෝගි කොට ගනු ලබන පර්යේෂණාත්මක දත්ත සහ වාර්තාවන් කවර ආකාරයක් ගත යුතු දැයි තීරණය කරන්නේ ඖෂධ සමාගම් විසින් වීමයි. මෙම දත්ත සහ වාර්තාවන් බහුතරයක් ඖෂධ සමාගම් විසින් විකෘතිකරන ලද හෝ දූෂණය කරන ලද ඒවා. මේ නිසා වෛද්‍යවරුන්ට ලැබෙන්නේ ඖෂධවල කාර්යක්ෂ්මතාව සහ සුරක්ෂිතතාව පිළිබඳව අතිශයෝක්තියට නංවන ලද අසත්‍ය තොරතුරුයි.

දැන් අපි මේ සංදර්භය කොවිඩ්-19 එන්නත් සඳහා අදාළ වන්නේ කෙසේදැයි විමසා බලමු. 2021 ජනවාරි මාසයේදී පළමු කොවිඩ්-19 එන්නත් වටයට පසුව මම එක්තරා එන්නත් මධ්‍යස්ථානයක කටයුතුවලට සහාය වෙමින් සිටියා. මම වයස 40 ගණන්වල මුල සිටින කෙනෙක්. ඒ නිසා මම අනිවාර්යයෙන්ම අධි අවදානමක් සහිත වයස් කාණ්ඩයට අයත් අයෙකු නොවේ. මුලින් ම ෆයිසර් එන්නත්වල මාත්‍රා දෙකම ලබාගත් අය අතරින් මම එක් අයෙක්. ඒ මම එන්නත් මධ්‍යස්ථානයක සේවය කළ නිසාත් එතැන ඉතුරුවුණ මාත්‍රා තිබුණ නිසාත්.

චිත්‍රපට අධ්‍යක්ෂිකා ගුයිරින්දර් චාදා

ඉන් මාසයකට පමණ පසුව එංගලන්තයේ ඉතා ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වන ගුයිරින්දර් චාදා (Guirinder Chadha) මාව ඇමතුවා. ඇය බෘස් ස්ප්‍රින්ග්ස්ටීන් පිළිබඳව නිර්මාණය වුණ “Bend it like Beckham” ,”Blinded by the Light” චිත්‍රපට සඳහා දායක වී ඇති අයෙක්. ඇය මගේ මිතුරියක්.
ඇය මා අමතා මගෙන් ප්‍රශ්න කළා , ඇය විසින් විවිධ බ්ලොග් අඩවි වලින් සහ අතනින් මෙතනින් එන්නත් පිළිබඳව අසන ලද තොරතුරු සම්බන්ධයෙන්, ඒවායින් බොහෝමයක් සැබැවින්ම සත්‍යයයි ලෙස යමෙකුට සිතිය හැකි එන්නත් තුළ අඩංගු මයික්‍රොචිප්, ජනගහණ පාලන සැලසුම් වැනි විකාර සහගත දේවල්,
ඔබ දන්නවා ඇය මැදි වයසේ ස්ථූල තැනැත්තියක්. ඉතින් මම ඇයට පැවසුවා “බ්‍රිතාන්‍ය තුළ පමණක් නොව ලෝකය පුරාමත් ඖෂධ සමාගම්වල දූෂණ හෙළිදරවු කිරීමට ඉතා දැඩි ලෙසම ක්‍රියාත්මක වන අය අතරෙන් මම එක් අයෙක්. ඒ තොරතුරු කුමක් වුවත් සම්ප්‍රදායික ක්‍රමයට නිෂ්පාදනය කරන ලද එන්නත් යනු වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය තුළ ඉතාම හානිදායක බවින් අඩුම සොයාගැනීම යන්න මම තවමත් විශ්වාස කරනවා. ”

අපි මේ ගැන කලින් කතා කළා ටකර්. ඔබ ඔබගේ එන්නත් ලබාගෙන තියෙනවා.

ටකර් කාල්සන් : මම එන්නත් වර්ග බොහෝමයක් ලබාගෙන තියෙනවා. මගේ සියලුම දරුවන් බොහෝ එන්නත් වර්ග ලබාගෙන තියෙනවා. මම එන්නත්වලට විරුද්ධ නැහැ.

අසීම් මල්හෝත්‍රා : මම 2021 පෙබරවාරියේදී “ගුඩ් මොර්නිං බ්‍රිටන්” වැඩ සටහනට සහභාගි වුණා. මක් නිසාද යත් ගුරින්දර් චාදා ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රසිද්ධ කර තිබුණා කොවිඩ්-19 එන්නත් ගැනීම සඳහා මා විසින් ඇය තුළ විශ්වාසයක් ඇති කළ බව. මම එතැනදි පැවැසුවා එන්නත් ගැනීම සඳහා මිනිසුන් තුළ පසුබටතාවයක් ඇති වීමට බලපාන හේතු ගැන. එක පැත්තකින් ඖෂධ සමාගම්වල දූෂණ නිසා ජනතාව ඒවා විශ්වාස නොකිරීම වැනි ඉතාම සාධාරණ සහ තර්කාන්විත හේතු තියෙනවා. ඒ වගේම මම මීට ඉහතදී සඳහන් කළ තර්කාන්විත නොව හේතුන් ද තියෙනවා. මම එතැනදී පැවසුවා එන්නත් යනු තවමත් ආරක්ෂිතම ප්‍රතිකාරය බවත්.

එන්නත් වල ගුණය පිලිබඳව මා තුළ යම් සැකයක් තිබුනත් ටකර් මට සම්පූර්ණ සත්‍යය කුමක්දැයි වටහාගත නොහැකි වුණා. අපි ඒ ගැන තව මිනිත්තුවකින් කතා කරමු. එන්නත් විසින් ශරීරයට යම් හානියක් කිරීමට ඇති ඉඩ කඩ පිළිබඳ සත්‍යය ගැඹුරින් වටහා ගැනීමට මට නොහැකි වුණා. පසුව තත්ත්වය ඉතාම අසාමාන්‍ය ලෙස පරිණාමය වුණා.

මාස කීපයකට පසුව අප්‍රේලයේදී මට මගේ මිතුරෙකු වන ඉතා කීර්තිමත් හෘදය රෝග විශේෂඥයෙක් හමුවුණා. ඔහු වයස 30 ගණන්වල ආරම්භයේ සිටි කෙනෙක්. මම මෙහිදී ඔහුගේ නම සඳහන් කරන්නේ නැහැ.

ඔහු මට මෙසේ පැවසුවා. “ අසීම් මම කොවිඩ්-19 එන්නත ලබාගත්තේ නැහැ. මට ඒ සම්බන්ධව යම් ප්‍රශ්නකාරි බවක් තිබෙන්නේ ”යි ඔහු පැවැසුවා. ඒ කුමක්දැයි මම ඇසුවා.

එවිට ඔහු “ මම ෆයිසර් එන්නත අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ මූලික පර්යේෂණ වාර්තාවන් එනම් ෆයිසර් එන්නත ගෝලීය වශයෙන් අනුමත කිරීම සඳහා යොදාගත් අහඹු පාලිත පරීක්ෂණ (Randomized Controlled Trial) වාර්තාවන් කියෙව්වා. එම වාර්තාවල පරිපූරක උපග්‍රන්ථයේ (supplementary appendix) හි වාර්තා කර ඇති අන්දමට එන්නත් ලබා දුන් කණ්ඩායම (vaccine group) තුළ හෘදයාබාධ 4ක් ද එන්නත ලබා නොදුන් පාලිත කණ්ඩායම ( placebo group)අතර එක් හෘදයාබාධයක් ද වාර්තා වී තිබෙනවා. ඒක බොරුවක් වෙන්නත් පුළුවන්. සමහර විට එය අහම්බයක් විය හැකියි. නමුත් මෙය ඇත්තක් නම් ඉදිරි වර්ෂ කීපය තුළ අපට විශාල ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදු වෙනවා.” යනුවෙන් පැවසුවා.

මම සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටියා. මේ අතර 2021 ජූලි මාසයේදී විශ්‍රාමික වෛද්‍යවරයෙකු වූ මගේ තාත්තා අනපේක්ෂිත හෘදායාබාධයකට ගොදුරු වුණා. ඔහු බ්‍රිතාන්‍ය වෛද්‍ය සම්මේලනයේ ගෞරවනීය උප සභාපතිවරයා ලෙස කටයුතු කළා. එමෙන්ම එන්නත් සම්බන්ධව මෙන්ම එන්නත්කරණ ව්‍යාපාරය සම්බන්ධවද දැඩි ලෙස පක්ෂපාතිත්වය පළ කළ අයෙක්.
මම මගේ තාත්තා හොඳට දන්නවා. ඔහු ඉතාම නිරෝගී අයෙක්. එමෙන්ම ක්‍රීඩාශීලි අයෙක්. ඔහු කොවිඩ්-19 ලොක්ඩවුන් පැවැති කාලයේ දිනකට පියවර 10,000ක් ඇවිද්දා. ඔහු ඉතා සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගත්තේ. එමෙන්ම ඔහුගේ හෘදයේ තත්ත්වය ඉතා හොඳින් පැවැති බව මම දැන සිටියා. ඔහු හෘදයාබාධයකට ගොදුරු වුනා. මම පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියා. මක්නිසාද යත් මේ මරණය හේතු මට අදහාගත නොහැකි වූ නිසා

ටකර් කාල්සන් : ඔහු ඒ හෘදයාබාධයෙන් මරණයට පත්වුණා?

වෛද්‍ය මල් හෝත්‍රා සහ ඔහුගේ පියා වෛද්‍ය කයිලාෂ් චාන්ද් මල්හෝත්‍රා

අසීම් මල්හෝත්‍රා : ඔව් ඔහු එයින් මරණයට පත් වුනා. ඔහුගේ අසල්වැසි වෛද්‍යවරුන් දෙදෙනෙක් ඔහු හමුවීමට පැමිණ සිටියා. ඔහුට ඒ හෘදයාබාධය වැළඳුනේ ඔවුන් ඉදිරියේදීමයි. මාත් ඔහු සමග ඒ මොහොතේ දුරකතනයෙන් සම්බන්ධ වී සිටියා. ඔහුට එය සැදුන වහාම මම හෘදයාබාධයක් සඳහා අවශ්‍ය කටයුතු කිරීමට සැලසුම් කළා. මක් නිසාද යත් මම දැන සිටියා ඒ මොහොතේම ගිලන් රථයක් කැඳවීම සිදු කරනවා නම් රෝහල්වලට පැමිණෙන හදිසි හෘදයබාධ රෝගීන්ගෙන් 50%කගේ ජීවිත ගලවාගන්න පුළුවන් බව . මම කිව්වා බයවෙන්න එපා, අපි එයාව බේරගන්නවා කියලා. මේ මොහොත ජාතික සෞඛ්‍ය සේවය(NHS) මත විශාල බරක් පැටවී තිබුණ අවස්ථාවක්. ගිලන් රථය පැමිණියේ විනාඩි 30කින් පසුවයි. මම ඒ මොහොතේ එතැන සිටි අය සමග FaceTime මගින් සම්බන්ධ වී සිටියා.

ටකර් කාල්සන් : හරිම කණගාටුදායකයි.

අසීම් මල්හෝත්‍රා : ඔවුන් ඔහුව යන්ත්‍රයට සම්බන්ධ කළ මොහොතේ මම දැක්කා හෘදය ස්පන්දන කම්පන දැක්වෙන තිරය මත සමතලා රේඛාව…..ඒ මොහොතේදී මම දැනගත්තා…. මෙය මගේ මුළුමහත් වෘත්තිය ජීවිතය පුරාම මම නිතර දකින දෙයක් . ඔව් එය ඉතා පැහැදිලියි.

ටකර් කාල්සන් : ඔබගේ පියාගේ වයස කීයද?

වෛද්‍ය කයිලාෂ් චාන්ද් මල්හෝත්‍රාගේ අවමගුල් උත්සවය

අසීම් මල්හෝත්‍රා : ඔහුගේ වයස 73යි. ටකර්, මට පුද්ගලිකව එය ඉතා විනාශකාරි අත්දැකීමක්, මගේ පවුලේ මට ඉතිරිව සිටි අවසාන සාමාජිකයා ඔහුයි. අවුරුදු තුනකට කලින් මගේ අම්මා මට නැති වුනා . මම ඉතාම ලාබාල වයසේ පසුවන විට මට මගේ සහෝදරයාව නැති වුණා. දැන් මම මගේ පවුලේ සියලු දෙනාගෙන්ම වියෝ වී හුදෙකලා වූ අයෙක්.
නමුත් මම පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියා. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල මට විශ්වාස කළ නොහැකි වුණා. ඔහුගේ හෘදය ධමනි දෙකක් ඉතා බරපතල ලෙස පටු වී අවහිරවී තිබුණා. මෙය විශ්වාස කළ නොහැකි දෙයක්. මම ඊට වසර ගණනාවක සිට නිතිපතා ඔහුගේ හෘදය සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට අදාළ ස්කෑන් පරීක්ෂණ සිදු කර තිබුණා. ඔහුගේ හෘදයේ තත්ත්වය ඉතාම සෞඛ්‍ය සම්පන්නව පැවතුණා. ඒ නිසා මම හිතුවා ඔහු තුළ කිරීටක ධමනි රෝගී තත්ත්වයක් ක්ෂණිකව වර්ධනය වන්නට (Rapid Progression of Coronary Artery Disease) ඇතැයි කියා.
නමුත් එය බලපාන්නට ඇති හේතුව මට සිතාගත නොහැකි වුනා. හෘදය රෝගයක් ඇති වන්නේ කෙසේද, එය වර්ධනය වන්නේ කෙසේද යන්න සොයා බලන පර්යේෂණවලට මම සම්බන්ධ වී සිටියා. හෘදයාබාධවලට බොහෝ විට හේතු වන්නේ අයහපත් ආහාර, ව්‍යායාම නොකිරීම මෙන්ම දැඩි මානසික ආතතියද ඒ සඳහා බලපානවා. මානසිත ආතතිය දැඩි අවදානම් සහගත සාධකයක්. මගේ තාත්තා මානසික ආතතියකින් පසු වූයේදැයි මම කල්පනා කළා. මගේ අම්මාගේ මරණය හේතුවෙන් ඔහු වසර එකහමාරකට පසුවත් දැඩි දුකකින් සහ මානසික පීඩනයකින් පසු වූයේද? මට ඒ මොහොතේ සිතාගත හැකි වූ එකම හේතුව එය පමණි. නමුත් මා තුළ සැකයක් පැවතුණා.

මට එය වටහාගැනීමට අපහසු වුණා. ඊට මාස කීපයකට පසුව “ද ටයිම්ස් ” පුවත් පතේ ජනමාධ්‍යවේදිනියක විසින් මා අමතනු ලැබුවා. ඇය මෙසේ පැවසුවා.”හොඳින් අහගන්න, ඩොක්ටර් මල්හෝත්‍රා, ඔබ හෘදය රෝග සම්බන්ධ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙක්, අපට දැනගන්නට ලැබුණා ස්කොට්ලන්තයේ නොදන්නා හේතුන් මත සිදුවන හෘදයාබාධ 25%කින් ඉහළ යාමක් පිළිබඳව. ඔවුන් ඇත්තටම දන්නේ නැහැ මොකක්ද සිදු වෙමින් පවතින්නේ කියා.”

වෛද්‍ය අසීම් මල්හෝත්‍රා සහ ඔහුගේ මව වෛද්‍ය අනිෂා මල්හෝත්‍රා

ටකර්, මේ මොහොත වනවිටත් මේ හෘදයාබාධ සහ එන්නත් අතර සම්බන්ධයක් ගැන මට වැටහී තිබුණේ නැහැ. නමුත් මම පැවසුවා නිරෝධායන ඇඳිරිනීති නැතහොත් ලොක්ඩවුන් හේතුවෙන් මිනිසුනට සිදු වූ දේවල් එනම්, අයහපත් ආහාර, ස්ථූලතාව, සහ මානසික ආතතිය ඒ සඳහා හේතුවන්නට ඇතැයි මම අනුමාන කරන බව.ඇත්තටම එයට වසරකට පෙර සිටම මම අනුමාන කළා ලොක්ඩවුන් වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් හෘදය රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බව.
නමුත් මේ තරම් දැවැන්ත පරිමාණයකින් ඉහළ යාමක් ගැන මම අනුමාන කළේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම අප එය දැක්කා. මම ඇයට පැවසුවා මිනිසුන් ගනු ලබන ආහාර වල සිදු වූ වෙනස් කම්, මානසික ආතතියේ ඉහළ යාම ආදිය හේතු විය හැකි බව. එයට ඇය පැවසුවා “ඒත් ඩොක්ටර් අපට වාර්තා ලැබෙමින් පවතිනවා… එන්නත් මෙයට හේතුවක් ලෙස සැළකිය හැකිද යන්න ගැන ඔබ සිතන්නේ කුමක් ද ? ”
හොඳ විද්‍යාඥයෙකු ලෙස එම සාධකය සම්පූර්ණයෙන් බැහැර කිරීම අවිද්‍යාත්මක ප්‍රවේශයක් බව එවිට මම ඇයට පැවසුවා. නමුත් එය බොහෝ විට සිදු වීමට ඉඩ නොමැති දෙයක් බවත් මම ඇයට පැවසුවා.

සති දෙකකට පසුව සිදුවීම් කීපයක් එක දිගට සිදුවුණා. සිදුවීම් උද්වේගකර නාටකයක් ලෙස දිගහැරෙන්නේ මෙතැන් සිට. ඇමෙරිකාවේ හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු වන ස්ටීවන් ගුන්ඩ්‍රි (Steven Gundry) විසින් “Circulation”(සංසරණය) නම් ලෝකයේ ඉතාම ප්‍රමුඛ හෘද රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක සඟරාවක් තුළ පර්යේෂණ සාරාංශයක් පළ කළා. ඔහුගේ රෝගීන් සිය ගණනාවක් සම්බන්ධව ඔහු විසින් කරන ලද පර්යේෂණයේදී අනුව ෆයිසර් හෝ මොඩෙර්නා වැනි mRNA එන්නත් විසින් කිරීටක ධමනි සම්බන්ධ ඉදිමීමේ රෝගී තත්ත්වයන් වර්ධනය කරන බවට සාක්ෂි ලැබී තිබුණා.ඒ අනුව වසර 5 කින් පසුව හෘදයාබාධයක් වැලැඳීමේ හැකියාව 11%ක් වූ පුද්ගලයෙකු තුළ mRNA එන්නත ගැනීමෙන් සති 10ක කාලයකට පසුව හෘදයාබාධයක් වැළඳීමට ඇති ඉඩ 25%ක් දක්වා වර්ධනය වෙනවා. ඒ කියන්නේ එන්නත ගැනීමෙන් මාස දෙකක් තුළ පුද්ගලයෙකුට හෘදයාබාධයක් වැළධීමේ හැකියාව 25%කි ඉහළ යනවා.
අපි එය මෙලෙස තේරුම් ගැනීමට උත්සාහ කරමු ටකර්. මම අද ඉඳලා දවසකට සිගරට් 40ක් බොනවා. ඒ අතරම ව්‍යායාම කිරීම සම්පූර්ණයෙන්ම නවත්වලා අයහපත් ආහාර පරිභෝජනය කරනවා. නමුත් mRNA එන්නත විසින් සිදු කරන පරිදි මාස දෙකක වැනි කෙටි කාලයක් තුළ මට හෘදය රෝගයක් වැළඳීමේ අවදානම 25%ක් දක්වා ඉහළ දැමීමට ඒ නරක සෞඛ්‍ය පුරුදු එකක්වත් සමත් වන්නේ නැහැ.

ටකර් කාල්සන් : ඔබ මෙය පවසන්නේ බැරෑරුම්වද?

අසීම් මල්හෝත්‍රා : සත්තකින්ම, මෙම දත්ත ගැන මගේ අවධානය යොමු වුනා. නමුත් එය අහම්බයක් වීමට ඇති ඉඩ කුමක්ද කියා මම හිතුවා. කුමක් වුනත් විද්‍යාඥයෙකු ලෙස ඔබ වෙනත් තොරතුරු ද විමසා බැලිය යුතුය. ඊට පසුව ඉතාම ගෞරවනීය බ්‍රිතාන්‍ය වෛද්‍ය ආයතනයක හෘදයරෝග විශේෂඥයෙකු මා ඇමතුවා. මම මෙහිදී ඔහුගේ හෝ එම ආයතනයේ නම සඳහන් කරන්නේ නැහැ ඔහුගේ ආරක්ෂාව සඳහා. මම මේ වෛද්‍යවරයාව ඉතා හොඳින් අඳුනනවා. ඔහු ඉතා අවංක පුද්ගලයෙක්. මම ඔහු සමග වසර ගණනාවක් එක්ව වැඩ කොට තිබෙනවා. ඔහු මට මෙසේ පැවසුවා
“ අසීම් ඔබ වෙත යම් වැදගත් දෙයක් ගැන පැවසීමට මට අවශයයි. ඒ ගැන මම ලොකු අප්සෙට් එකක ඉන්නේ. ”
මම ඇහුවා මොකක් ගැනද කියලා.
“ මෙම ආයතනය විසින් පවත්වන ලද හෘදය රෝග පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයකදි ධමනි සහ හෘදය වස්තුවේ ඡායාරූප පරීක්ෂා කරන විට අහම්බෙන් හමු වූ දෙයක්. mRNA එන්නත් ගනු ලැබූ පුද්ගලයන්ගේ හෘදය වස්තුවේ විශාල ඉදිමීම් දක්නට ලැබුණා එන්නත නොගත් පුද්ගලයන් හා සන්සන්දනය කරන විට. මෙය mRNA එන්නත් පිළිබඳ සංඥාවක්.
ඉන් පසුව මෙම ආයතනයේ ප්‍රධාන විද්‍යාඥයන් ඇතුළු අදාළ පිරිස් හදිසි රැස්වීමක් පැවැත්වූවා. එම රැස්වීමේදී ප්‍රධාන පර්යේෂකයා පැවසුවා අපි මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන්න යන්නේ නැහැ. අපි එහෙම කළොත් අපිට ඖෂධ සමාගම්වලින් ලැබෙන අරමුදල් අහිමිවීමට ඉඩ තියෙනවා.”

ටකර් කාල්සන් : එය විශ්වාස කිරීමටත් නොහැකියි.

අසීම් මල්හෝත්‍රා : ඉතින් මේ පුද්ගලයා බොහෝ සෙයින් කණගාටුවටත්, ව්‍යාකූලතාවයටත් පත් වී සිටියා. මට මගේ තාත්තාගේ හදිසි මරණයට බලපෑ හෘදයාබාධය මතක් වුණා.

ටකර් කාල්සන් : කවුරුවත් මේ ගැන හඬක් නැගුවේ නැත්තේ ඇයි?

අසීම් මල්හෝත්‍රා : අභ්‍යන්තර රැස්වීමේදී ඔවුන් ඒ බව කිව්වා. ඇත්ත! ඔවුන් ඒ ගැන අදහස් පළ කළේ පර්යේෂකයන්ගේ අභ්‍යන්තර රැස්වීමේ දී පමණයි.

ටකර් කාල්සන් : කවුරුවත්ම කීවේ නැද්ද, මේක සදාචාර විරෝධී දෙයක්, වහාම නවත්වන්න කියලා.

අසීම් මල්හෝත්‍රා: මම හිතන්නේ මේ මිනිසුන් කැළැඹීමට පත් වෙලා හිටියේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කණිෂ්ඨ වෛද්‍යවරු සහ කණිෂ්ඨ පර්යේෂකයන්. ඔවුන්ගේ බොස්ට එරෙහිව යාමට ඔවුන්ට අවශ්‍යතාවක් හෝ හැකියාවක් තිබුනේ නැහැ. ඔබට මේ තත්ත්වය තේරුම්ගත හැකි වනු ඇතැයි මම හිතනවා. එය පහසු දෙයක් නොවෙයි. නමුත් සත්තකින්ම ඔවුන් මෙය හෙළිදරවු කළ යුතුව තිබුණා. මම හිතුවා මට අවශ්‍ය සංඥාව ලැබුණා කියලා. මෙය සිදු වූයේ 2021 ඔක්තෝබර් සහ නොවැම්බර්වල. මම ග්‍රේට් බ්‍රිටේන් නිව්ස් (GB News) චැනලය වෙත ගියා. එහි දී මම කිව්වා ඇහුම්කන් දෙන්න,අපට මෙම තොරතුරු ලැබී තියෙනවා. අපි දන්නවා හෘදයාබාධවල ඉහළ යාමක් පවතින බව. වහාම පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය තොරතුරු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තියෙනවා කියලා. මං කිව්වේ එච්චරයි. එම සම්මුඛ සාකච්ඡාව ඉතා වේගයෙන් පැතිරී ගියා.

මේ අතර තිරයෙන් පිටු පස සිට වෛද්‍ය විද්‍යාව සම්බන්ධ නිල ආයතන කීපයක් මට කතා කළා. මා විසින් එන්නත් විරෝධී සාවද්‍ය තොරතුරු පතුරුවා හරිමින් වෛද්‍ය වෘත්තිය අපහාසයට ලක්කර ඇති බවට නිර්නාමික දුරකතන ඇමතුම් විශාල සංඛ්‍යාවක් මගින් දැනුම් දී ඇති බව ඔවුන් පැවසුවා. මා විසින් ඉදිපත් කළ සාක්ෂි ඉතා ප්‍රබල සහ පැහැදිලි ඒවා වුණත් ඔවුන් මට එරෙහිව එලෙස චෝදනා කළා.

ටකර් කාල්සන් :හොඳයි, ඔවුන් මෙහිදී සම්පූර්ණයෙන්ම අමතක කළා, ඔබ ආරම්භයේදී කොවිඩ් එන්නත් සායනයක සේවය කළ අයෙකු බව?

අසීම් මල්හෝත්‍රා : ඔව් සත්තකින්ම, ඇත්තටම එම චෝදනා නැගීම සම්පූර්ණයෙන්ම තේරුමක් නැති දෙයක්. මම ආරම්භයේදී ගුඩ් මොර්නිං බ්‍රිටන් වැඩ සටහන්වලට සහභාගි වෙමින් පවසා තිබුණා කොවිඩ්-19 එන්නත් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි යනුවෙන් සහ ඒ පිළිබඳව බිය නොවන ලෙස. මම සති කීපයක් මේ චෝදනා සම්බන්ධව කටයුතු කළා. මම මගේ ප්‍රතිචාරය ලිඛිතව ඉදිරිපත් කළා. මට වෙනත් බොහෝ අයගෙන් සහයෝගය ලැබුණා. එයින් පසුව ඔවුන් මට අනතුරු ඇඟවීමේ අවවාදයක් කර මට මගේ පාඩුවේ සිටීමට ඉඩ හැරියා.
ඊට පස්සේ හොඳයි මට දැන් මේ ගැන මොකක්ද කරන්න පුළුවන් කියලා මම හිතුවා. මේ වනවිට බ්‍රිතාන්‍ය රජය ජාතික සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයට කොවිඩ්-19 එන්නත් ගැනීම අනිවාර්ය කරන නීති සම්පාදනය කිරීමට ලෑස්ති වෙමින් සිටියේ. කිසියම් අමුතු දෙයක් සිදුවෙමින් පවතින බව මට තේරුණා . මේ අනිවාර්ය කරන්න යන්නේ පැහැදිලිවම හානි සිදු කිරීමට ඉඩ ඇති එන්නතක්.
අපි දන්නවා වෛරසයක් පරිණාමය වන්නේ එහි හානිදායක බව අඩුවන දිශාවට කියලා. නිශ්චිතවම ඔමික්‍රෝන් හානිදයාක බවින් අඩු එකක්.

බ්‍රිතාන්‍ය රජය විසින් ජාතික සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලවලට කොවිඩ්-19 එන්නත් ලබාගැනීම අනිවාර්ය කෙරෙන නීති රීති සම්මත කිරීමේ සුදානමට එරෙහිව ජාතික සෞඛ්‍ය වෘත්තිකයන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණයක්. නව ජාන විකෘතිකරණ mRNA නම් තාක්ෂණයකට අනුව නිෂ්පාදනය කරන ලද සහ හුදෙක් පර්යේෂණාත්මක මට්ටමේ පවතින එන්නතක් අනිවාර්ය කිරීම මගින් තමන් විද්‍යාගාර මීයන්ගේ තත්ත්වයට පිරිහෙළා ඇතැයිද එය මානව අයිතීන් උල්ලංඝණයක් පමණක් නොව සියලු වෛද්‍ය විද්‍යාත්මක ආචාරධර්ම උල්ලංඝණය කිරීමක් යැයි ද මේ උද්ඝෝෂණයට සහභාගිවූවන්ගේ මතය විය.

සෑම දෙනෙකුම අසීමාන්තික ලෙස ශික්ෂණය කිරීමකට හීලෑකිරීමකට ගොදුරු කර තිබෙනවා. වෛද්‍යවරු සිතනවා මෙම එන්නත් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි, කාර්යක්ෂ්මයි කියලා. ඒ නිසා තවත් මාස කීපයක් ගත කරමින් මෙම දත්ත පූර්ණ ලෙස විශ්ලේෂණයකට සහ ඇගයීමකට ලක් කිරීමටත් අනතුරුව වෛද්‍ය සඟරාවක පළකිරීමටත් මම තීරණය කළා. මෙම කාලය තුළ ක්‍රියාකාරිකයෙකු මම අතිශය උනන්දු සහගත අත්දැකීම්වලට මුහුණ දුන්නා. මම හිතනවා සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම තුළ අපව අභ්‍යන්තරව පිරිසිදු කෙරෙන බලවත් දෙයක් තියෙනවා කියලා. මම “ ග්‍රේට් බ්‍රිටන් නිව්ස් ” (GB News) සාකච්ඡාවට ගිය පසුව ෆයිසර් සමාගමේ දූෂණ හෙළි කරන ලද එහි සේවය කළ දෙදෙනෙකු මට කතා කළා. සිදුවන්නේ කුමක් ද කියා ඔවුන් මට පැහැදිලි කළා. ඊට පසුව මම ගවේෂණාත්මක මාධ්‍යවේදීන් තිදෙනෙක් සමග කතාකළා . ඉන් පසුව මම ඔක්ස්ෆොර්ඩ්, ස්ටැන්ෆෝර්ඩ් සහ හාර්වර්ඩ් විශ්ව විද්‍යාලවල විශිෂ්ට විද්‍යාඥයන් සමග සම්බන්ධකම් ගොඩ නගාගත්තා මේ පිළිබඳව පර්යේෂණ සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට. මම මෙහිදී විශිෂ්ට යැයි හඳුන්වන්නේ ඔවුන් ඔවුන්ගේ අවංක කම අතින්ද විශිෂ්ටයන් වන නිසායි. ඔවුන් ඖෂධ සමාගම් සමග සම්බන්ධකම් සහිත අය නොවේ. මා විසින් ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂා කරන ලද දත්ත තියුණු ලෙස විමර්ශනය කිරීමට ඔවුන්ගේ සහාය ලබාගත්තා. ඒ සඳහා මම මාස කීපයක් ගත කළා. ඊලඟට මෙම පර්යේෂණ පත්‍රිකාව බාහිර ප්‍රතිවිමර්ශනය (external peer review) සඳහා යොමු කළා. ඉන් මාස කීපයකට පසුව එය ප්‍රසිද්ධ කරනු ලැබුවා The Journal of Insulin Resistance නම් වෛද්‍ය සඟරාවක් තුළ. මම මෙම වෛද්‍ය සඟරාව තෝරාගත්තේ ඔවුන් ඖෂධ සමාගම්වලින් මුදල් ලබානොගන්නා ජර්නලයක් නිසායි. මෙම මාතෘකාවට නැවත මොහොතකින් පැමිණීමට අපේක්ෂා කරනවා. ඖෂධ සමාගම් සම්බන්ධ ගැටළුව නම් ඔවුන් තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සිදු කෙරෙන බලපෑමයි. මෙම මේ ජර්නලය තෝරාගැනීමට හේතු වූ අනෙක් කරුණ නම් ඔවුන් පත්‍රිකාවක් සඳහා වචන 10,000 ක් උපරිමය වන පරිදි ඉඩකඩක් ලබා දී තිබීමයි. මට අවශ්‍ය වුණේ එන්නත් සම්බන්ධ දත්ත විසින් අප වෙත ප්‍රකාශ කෙරෙන දෙය පිළිබඳ සියලු දෙනා තුළ පුළුල් අවබෝධයක් ඇති කිරීමටයි.

ඔබ එන්නත්වලින් ලබන වාසිය කුමක්ද, ඔබ වෙත එයින් සිදුවීමට ඉඩ ඇති හානිය කුමක්ද ආදි කරුණු පිළිබඳවයි. හොඳයි අපට වැරැදුණේ කොතැනකදීද? ඉදිරියට යාම සඳහා ඇති විසඳුම් මොනවාද? ඊට පසුව මම මෙම එන්නත්වලින් අප ලබන සැබෑ ප්‍රතිලාභ මොනවාදැයි එනම් උදාහරණ ලෙස කොවිඩ් මගින් මරණයට පත්වීම වැලැක්වීම සඳහා එන්නත් විසින් සිදුකරන දායකත්වය කුමක්දැයි ආදිය සොයා බැලීම සඳහා අවශ්‍ය විශ්ලේෂණයක් සිදු කළා. ටකර්, බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් මරණ පිළිබඳ සැබෑ ලෝකයේ දත්ත විසින් ලෝකය පුරා සිදුවන දෙය ඔබට අනුමාන කළ හැකියි.

ටකර් කාල්සන් : සත්තකින්ම

අසීම් මල්හෝත්‍රා : මෙහිදී මට සොයා ගැනීමට ලැබුණ දෙය මෙයයි‍. කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සැලකුණේ වර්තමාන ඔමික්‍රොන් ප්‍රභේදයට මාරාන්තික බවකින් වැඩි එකක් ලෙසයි. පසුගිය වසරේ ඩෙල්ටා රැල්ල උත්සන්න වූ කාලයේදී එන්නත් සම්බන්ධ දත්ත විශ්ලේෂණයට ලක් කරා. එහිදී මම එම දත්ත වයස් කාණ්ඩ අනුවත් සහ එන්නත් කරන ලද සහ එන්නත් නොකරන ලද කණ්ඩායම් අනුවත් ආදි වශයෙන් වෙන් කර අධ්‍යයනය කළා. එහි දී මා ලද එක් ප්‍රතිඵලයකට අනුව වයස 80ට වැඩි එක් පුද්ගලයෙකු කොවිඩ්-19 මගින් මරණයට පත්වීම වැලැක්වීම සඳහා පුද්ගලයන් 230 දෙනෙක් එන්නත් කිරීමට සිදුවෙනවා.

ටකර් කාල්සන් : වයස 80ට වැඩි අය?

අසීම් මල්හෝත්‍රා : ඔව්. වයස 80ට වැඩි අය

මේ වයස් කාණ්ඩයේ අය සැළකෙන්නේ ඉහළම අවදානමක පසුවන කණ්ඩායමක් ලෙසයි. වයස 70-80 වයස් කාණ්ඩයේ එක් පුද්ගලයෙකු කොවිඩ්-19 මගින් මරණයට පත්වීම වැළැක්වීම සඳහා පුද්ගලයන් 523ක් එන්නත් කළ යුතුයි. වයස් කාණ්ඩය වඩාත් මැදි විය හෝ තරුණ වයස කරා එන විට පුද්ගලයන් එක් අයෙකු මරණයට පත් වීම වැළැක්වීම සඳහා එන්නත් කළ යුතු සංඛ්‍යාව පුද්ගලයන් දහස් ගණනක් වෙනවා. මේ දත්ත අදාළ වන්නේ වඩාත් භයානකයැයි සැලකුණ ඩෙල්ටා රැල්ල පැවැති කාලයටයි. ටකර් මෙහි අවධානයට ගත යුතු යම් සංඥාවක් තිබෙනවා. සැබෑ ලෝකයේ දත්ත සමග සන්සන්දනය කරන්නේ නම් මෙය ඉතා හොඳ තත්ත්වයක් ලෙස සැළකිය යුතු එකක්. නමුත් මෙහි දී නිරෝගිත්ව පරිශිලක පක්ෂග්‍රාහිත්වය යන පර්යේෂණ දෝෂය( healthy user bias) සිදුව තිබෙනවා.( healthy user bias ලිපියේ අවසානයේ වන සටහන් බලන්න)

එන්නත් ලබාගත් බොහෝ පුද්ගලයන් එන්නත් ලබාගැනීමට පසුබට වූ පුද්ගලයන්ට වඩා නිරෝගී අය. ඔක්ස්ෆෝඩ් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ මධ්‍යස්ථානයේ මහචාර්ය කාර්ල් හෙනෙගන් (Carl Heneghan) මට කතා කළා. ඔහු පැවසුවා ඔහු වයස 80 වැඩි පිළිකා රෝගීන් කීප දෙනෙකුට ප්‍රතිකාර කරමින් සිටි බවත්, ඔවුන් එන්නත් ලබා නොගැනීමට තීරණය කළ බවත් අවසානයේදී ඔවුන් කොවිඩ්-19 මගින් මරණයට පත් වූ බවත්.
මෙම සිදුවීම මේ අයුරින් අර්ථගැන්වීමේ තේරුම කුමක්ද? එම රෝගීන් ඒ වනවිටත් බරපතල පිළිකා රෝගයක් හේතුවෙන් අතිශය අවදානම් සහගත තත්ත්වයක සිටි අයයි. වයස 80ක නිරෝගී අයෙකු සහ වයස 80ක රෝගී අයෙකු හෝ අවදානමේ සිටින යම් අයෙකු පිළිබඳ දත්ත ඔබට සංසන්දනය කළ නොහැකියි. නමුත් මේ සැබෑ ලෝකයේ දත්ත (real world data). පෙනෙන ආකාරයට හොඳම ඒවා.

ඔමික්‍රොන් ගැන තත්ත්වය කුමක්ද? අපි බ්‍රිතාන්‍යයේ ඔමික්‍රොන් රැල්ල පටන්ගත් මේ වසරේ ජනවාරියේ සිට මාස තුනක කාලයක් දක්වා වන දත්ත විශ්ලේෂණය කළා. ඔබ වයස 80 වැඩි නම් කොවිඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ඔබ මරණයට පත්වීම වැලැක්වීම සඳහා පුද්ගලයන් 7300ක් එන්නත් කළ යුතුයි. වයස වඩාත් අඩු අයෙකු කොවිඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයෙන් මරණයට පත්වීම වැලැක්වීම සඳහා පුද්ගලයන් දස දහස් ගණනින් එන්නත් කළ යුතු වෙනවා. මෙය වඩ වඩාත් විකාරයක් බවට පත්වෙමින් පවතින බව පෙනී ගියා. එසේ නම් ප්‍රශ්නය වන්නේ මෙයයි. මෙම එන්නත් මගින් සිදුවන හානිය කුමක්ද? එන්නත ලබා දීම දිගටම සිදුවන්නේ කුමන ආකාරයක ගුණාත්මක බවක් සහිත සාක්ෂි මතද?

ඉහලම ගුණාත්මක බවකින් යුතු සාක්ෂි ලෙස සැලකෙන්නේ අහඹු පාලිත පර්යේෂණ දත්ත( randomized controlled trial data) යි. ස්ටැන්ෆොර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ රොබර්ට් කප්ලාන් (Robert Kaplan) , බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ සහකාර සංස්කාරක (පීටර් ඩෝෂි), වෛද්‍ය ජෝසෆ් ෆ්‍රයිමාන් ( Joseph Fraiman) යන විද්‍යාඥයන්ට ෆයිසර් සහ මොඩෙර්නා එන්නත්වල සායනික පර්යේෂණ දත්ත ලබාගැනීමටහැකි වුණා. අපි මේ දෙස මෙහෙම බලමු. මෙම සායනික පර්යේෂණවල ප්‍රතිඵල අනුව තමයි මෙම ෆයිසර් සහ මොඩෙර්නා එන්නත් සඳහා අනුමැතිය හිමි වුණේ. මෙම දත්ත ලබාගත් පර්යේෂණ සිදු කරනු ලැබුවේ ෆයිසර් සහ මොඩෙර්නා සමාගම් විසිනුයි.

මෙම මූලික සායනික පර්යේෂණ දත්ත අනුව එන්නත් වල හානිකර ප්‍රතිඵල ලෙස ආබාධිත බව, ජීවිතය පෙර පරිදි සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නොහැකි වීම, රෝහල් ගතකිරීම් ආදිය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඒ අනුව කොවිඩ්-19 මගින් සිදුවන හානියටත් වඩා වැඩි හානියක් mRNA එන්නත් මගින් සිදුවන බවත් රොබර්ට් කප්ලාන්, පීටර් ඩෝෂි, ජෝසෆ් ෆ්‍රයිමාන් යන විද්‍යාඥයන් විසින් සොයාගත්තා. එන්නත්වල හානිකර අතුරු ප්‍රතිපල එතරම්ම බැරෑරුම් ඒවා.

ටකර් කාල්සන් : හොඳයි, සාමාන්‍ය මිනිසුන්ට තේරෙන ලෙස වෙනත් වචනවලින් කියනවානම් mRNAඑන්නත ලබාගැනීමෙන් වැළකී සිටිනවාට වඩා mRNA එන්නත් ලබාගැනීම ඉතා භයානකයි.

අසීම් මල්හෝත්‍රා : බොහෝ දෙනෙකු සඳහා තත්ත්වය ඒකයි. අපගේ පර්යේෂණයේ නිගමනයද එයයි. පැහැදිලිව පෙනෙන්ට තියෙන දෙයත් ඒකයි. එන්නත්වල හානිය සහ වාසිය අතර අනුපාතය එයයි . ටකර් මේ ෆයිසර් සහ මොඩෙර්නා සායනික පර්යේෂණවලදී එන්නත් ලබා දී ඇති පුද්ගලයන් 800න් එක් අයෙකුට බරපතල හානිකර අතුරු ආබාධ ඇතිවුණා.

ටකර් කාල්සන් : මට එන තිත්ත ප්‍රශ්නයක් අසන්නට ඉඩ දෙනවාද? මෙම සායනික පර්යේෂණ දත්ත ආරම්භයේ සිටම අප සතුව තිබුණාද?

අසීම් මල්හෝත්‍රා : ඔව්, අප සතුව තිබුණා.

ටකර් කාල්සන් : මෙම සායනික පර්යේෂණ සහ ඒවාට අනුව එන්නත් අනුමත කිරීම සිදු වී වසර 2ක් ගත වී තිබෙනවා. දැන් අපට මේ ගැන අසන්නට ලැබෙන්නේ වසර දෙකකටත් පසුවයි. ඒ ඇයි?

අසීම් මල්හෝත්‍රා : මක් නිසාද යත් ඒවා ප්‍රසිද්ධ නොකරපු නිසා. ඉහත කප්ලාන් ප්‍රමුඛ කණ්ඩායම මෙම දත්ත ප්‍රතිවිමර්ශනයකින් පසු “Vaccine” නම් ජර්නලය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. මෙම දත්ත ඔබට ලබාගත හැකි ගුණාත්මක බවින් ඉතාම ඉහළ දත්ත. ඒවා ඔබට ඇමෙරිකාවේ VAERS දත්ත සමග සන්සන්දනය කළ හැකියි. මම බ්‍රිතාන්‍යයේ යෙලෝ කාඩ් ක්‍රමය(Yellow Card System) සමග එය සන්සන්දනාත්මකව විමසා බැලුවා. මෙය අසාමාන්‍ය දෙයක් ටකර්, මම වැරදිද?
අපි මේ දෙස ඓතිහාසික දෘෂ්ටිකෝණයකින් විමසා බලමු.
1976 දී ඌරු උණ එන්නත තහනම් කළේ එය විසින් එය ලබාගත් පුද්ගලයන් 100,000 කින් එක් අයෙකුට ගිලියාන් බැරේ සින්ඩ්‍රෝම්( Guillain-Barre syndrome) නම් ස්නායු රෝගයක් සැදීමට හේතුවන නිසා. 1999 දී රොටා වයිරස් එන්නත (Rotavirus Vaccine)තහනම් කළේ එය විසින් ළමුන් 10,000කින් එක් අයෙකුට බඩවැල්වල ආබාධ ඇති කළ නිසා.
නමුත් කොවිඩ්-19 එන්නතින් සිදුවන හානිකර ප්‍රතිඵල සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද? ආරම්භක සායනික දත්තවලට අනුව කොවිඩ්-19 එන්නත්වල බරපතල හානිකර ප්‍රතිඵල ලබාදෙන අනුපාතය සෑම 800කින්ම එක් අයෙක්. දැන් තත්ත්වය පරිණාමය වෙලා තියෙනවා. මම බ්‍රිතාන්‍ය තුළ පර්යේෂණ දත්ත විමසා බැලුවා. ඒ අනුව හෘදයාබාධ හේතුවෙන් රෝහල්ගතවන සංඛ්‍යාවන් දැවැන්ත පරිමාණයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වයස 16 -40 අය අතර හෘදයාබාධ 25%කින් ඉහළ යාම සහ mRNA එන්නත් අතර සම්බන්ධය සොයා ගැනීමට ඊශ්‍රායෙලය සමත් වී තිබෙනවා. එයට හේතුව එන්නත් මිසක කොවිඩ් නොවන බව තේරුම් ගැනීමට මහා විශාල මොළයක් අවශය වන්නේ නැහැ. ඉතින් මම එළියට ඇවිත් මේ ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් කළා. මම ඉල්ලා සිටියා එන්නත්කරණය වහාම නවත්වන ලෙසත් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්. මගේ අදහස අනුව කිසිවෙකු මෙම එන්නත් ලබා නොගත යුතුයි. ප්‍රශ්නය මේ සියල්ල සිදු වූයේ කෙසේද යන්නයි. මේ ගැන පැහැදිලි කළ හැකි එකම ආකාරය පියවරක් පිටුපසට ගොස් විමසා බැලීමයි. මම සෑම විටෙකම ප්‍රශ්නයක් සම්බන්ධව මූලික හේතුව සොයන කෙනෙක්. අපි සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ගැන කතා කරනවා නම් පවත්නා හොඳම සාක්ෂි මොනවාදැයි අප විසින් සොයා බැලිය යුතුයි. අපි ආපසු ගොස් සියල්ල පරීක්ෂා කර බැලිය යුතුයි. මෙම වර්තමාන තත්ත්වය වටහා ගැනීම සඳහා අවශ්‍ය වන දැඩි සාධක මොනවාද?

එක් සාධකයක් නම් සිය හවුල්කරුවන් සඳහා ලාභ උපයා දීමට ඖෂධ සමාගම් නීතිමය වශයෙන් බැඳී සිටීමයි. නමුත් ජනතාවට අවශ්‍ය හොඳම ප්‍රතිකාරය ලබාදීමට ඔවුන් කිසිදු ආකාරයකින් නීතිමය බැඳීමකට යටත් කර නැහැ. මෙහි ඇති විශාලම අපචාරය ඖෂධ සමාගම්වල අයහපත් චර්යාවන් පාලනය කිරීමට ඖෂධ පාලනය සඳහා වන ආයතන අසමත් වීමයි. එමෙන්ම වෛද්‍යවරුන්, ශාස්ත්‍රීය ආයතන, වෛද්‍ය විද්‍යාත්මක සඟරා, ජනමාධ්‍ය යන කණ්ඩායම් සහ ආයතන මුල්‍යමය වාසි ලබාගැනීම සඳහා ඖෂධ සමාගම් සමග සම්බන්ධව කටයුතු කිරීමයි

ටකර් කාල්සන් : මහජන සෞඛ්‍යයට හානියක් කිරීම සඳහා. මම හිතන්නේ වඩාත් කම්පනයට පත් කරවන කොටස මෙයයි. අපි දෙදෙනා එක්ව කුමක් හෝ මගඩියක් කර ධනවත් වෙනවා යැයි සිතමු. නමුත් අපි මිනී මරන්නේ නැහැ. ඖෂධ සම්බන්ධ දූෂණවල ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් මරණයට පත්වෙනවා

අසීම් මල්හෝත්‍රා : මම දන්නවා. අපි එය පැහැදිලි කළ යුත්තේ කෙසේද? අන් සැමටම පළමුව ඔබ සමහර විට දන්නවා ඇති එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (Food and Drug Administration-FDA)ඔවුන්ගේ අරමුදල්වලින් 65%ක් ලබාගන්නේ ඖෂධ සමාගම්වලින් බව. ඒ මගින් ඉතා විශාල අවශ්‍යතා පිළිබඳ ගැටුමක් (conflict of interest)නිර්මාණය කරනවා. බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන පාලන ආයතනය ( The Medicines and Healthcare products Regulatory Agency -MHRA) ඔවුන්ගේ අරමුදල්වලින් 86%ක් ලබා ගන්නේ ඖෂධ සමාගම්වලින්. මෙය විශාල ප්‍රශ්නයක්. නමුත් සාමාන්‍යයෙන් සිදුවන දෙය මෙයයි. ෆයිසර් විසින් සායනික පර්යේෂණය සැලසුම් කරනවා. ඔවුන් විසින්ම විශ්ලේෂණයද සිදු කරනවා. ඔවුන් දළ දත්ත( raw data) ලෙස අප විසින් හඳුන්වන ලබන දත්ත ඔවුන් ළඟ තබාගන්නවා. සායනික පර්යේෂණයට සහභාගි කරගන්නා සියලු රෝගීන්ගේ සියලු දත්ත මෙම දළ දත්ත ගණයට වැටෙන අතර ඒවා පිටු ලක්ෂ ගණනකින් සමන්විත විය හැකියි. එම දත්තවලට මොනවාද වෙන්නේ? ඔවුන් එම දත්තවල සඳහන් අතුරු ආබාධ පිළිබඳව නිසි ලෙස විමර්ශනය කරනවාද? නැහැ. ඔවුන් ඊට පසුව එම දත්තවල සාරාංශ ප්‍රතිඵල පමණක් ඖෂධ නියාමනය සඳහා වන ආයතනවලට ලබාදෙනවා. ඉන් පසුව එම ආයතන විසින් ඒවා අනුමත කරනවා.

ටකර් කාල්සන් : මම මෝඩ ප්‍රශ්නයක් අහන්නද? මිලියන 340ක් ජනතාව වෙනුවෙන් තීරණ ගන්නා ඖෂධ නියාමන ආයතන අදාළ සියලුම දත්ත ඖෂධ සමාගම්වලින් ඉල්ලා සිටින්නේ නැත්තේ ඇයි?

අසීම් මල්හෝත්‍රා : ඔවුන්ට සියලුම දත්ත ලැබෙනවා. නමුත් ඔවුන් ඒවා නිවැරදි ලෙස විශ්ලේෂණය කිරීමට කාලය වැය කරන්නේ නැහැ. මම හිතන්නේ මුල්‍යමය අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්ද මීට හේතු වෙනවා. අපි දන්නවා 2006 සිට 2009 දක්වා කාලය තුළ එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය (FDA) තුළ සේවය කළ කොමසාරිස්වරුන් 10 දෙනාගෙන් 9 දෙනෙකුම FDAහි සේවය අවසන් කිරීමෙන් පසුව ඖෂධ සමාගම්වල විශාල වැටුප් සහ වෙනත් වරප්‍රසාද සහිත තනතුරු භාරගත්තා. මෙම ඖෂධ පාලන ආයතන සහ ඖෂධ සමාගම් අතර ඇත්තේ කැරකෙන දොරටුවක්. මම හිතන්නේ මෙය මුල්‍යමය අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්වල සම්මිශ්‍රණයක්. තවත් ගැටළුවක් වන්නේ මෙම පුද්ගලයන් තමන්ගේ තනතුරුවල වගකීම ඉටු කිරීමට තරම් වෘත්තීය සුදුසුකම්, අත්දැකීම් හෝ දැනුමක් නොමැති පුද්ගලයන් වීමයි. මේ තරම් පැහැදිලි දත්ත තේරුම්ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත්තේ එම හේතුවෙන්. ඔවුන් විසින් මෙම එන්නත් අත්හිටුවිය යුතුව තිබුණා. ෆයිසර් මෙම එන්නත්වල හානිකර අතුරු ආබාධ ගැන හොඳින් දැන සිටි නමුත් ඔවුන් විසින් විසින් එම දත්ත නොසලකා හැර ඇති බවත් යෝජනා කිරීමට අවශ්‍ය පමණටත් වඩා සාක්ෂි පවතිනවා. ඔවුන් ජනතාවට වන හානිය ගැන කිසිදු තැකීමක් සිදු කළේ නැහැ. ෆයිසර් යනු ලාභ උපයන මැෂිමක් පමණයි. මෙම එන්නත් වලින් ජනතාව එන්නත් කිරීමට ආරම්භයේ සිටම කිසිදු ඉඩක් නොදිය යුතුව තිබුණා.

ටකර් කාල්සන් : ෆයිසර් ආයතනයේ ප්‍රධානියා වන පශු වෛද්‍ය ඇල්බර්ට් බෝර්ලාට මේ පිළිබඳව කිසිදු දඬුවමක් ලබා දී නැත්තේ ඇයි? මට එය තේරුම් ගැනීම අපහසුයි.

අසීම් මල්හෝත්‍රා :හොඳයි අපි විමසා බලමු ඖෂධ සමාගම්වලට දඬුවම් ලබාදීමේ ඉතිහාසය පිළිබඳව සහ ඔවුන් විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද අපරාධ ගැන. 2009 සහ 2014 අතර කාලය තුළ ෆයිසර් සමාගමද ඇතුළුව ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් 10ක් විසින් ඩොලර් බිලියන 14ක් දඩ මුදල් වශයෙන් ගෙවා තිබෙනවා. මෙයින් විශාල සංඛ්‍යාවක් දූෂණය සහ වංචාව, නීති විරෝධී ලෙස ඖෂධ අලෙවිය, ඖෂධ පිළිබඳ සහ ඒවායින් සිදුවන හානිකර අතුරු ආබාධ පිළිබඳ දත්ත සැඟවීම ආදිය නිසා එක්සත් ජනපදය විසින් ගෙවීමට නියම කරන ලද දඩ මුදල්. මෙම සිදුවීම්වලින් ඉතාම බරපතල එක වන්නේ මර්ක් (Merck) සමාගම විසින් 1999දී ප්‍රති-ප්‍රදාහ (anti-inflammatory) ඖෂධයක් ලෙස අලෙවි කරන ලද වියොක්ස් ඖෂධය(Vioxx ) සම්බන්ධ මගඩියයි. එය නිෂ්පාදනය කර ඉදිරිපත් කරන ලද්දේ එය ibuprofen වලට වඩා යහපත් සහ අඩුවෙන් බඩේ අමාරුව ඇතිකරන එකක් ලෙස හඳුන්වමිනුයි. අවසානයේදී මෙම ඖෂධය අත් හිටුවනු ලැබුවා.මෙම වියොක්ස් ඖෂධය විසින් හෘදයරෝග වැළඳීමේ අවදානම දෙගුණයක් කළා. ඇස්තමේන්තු කරන ලද ආකාරයට එය විසින් 60,000 ඇමෙරිකානුවන් ගේ මරණයට හේතු වී තිබෙනවා. එය සන්සන්දනය කළ හැක්කේ වියට්නාම් යුද්ධයේදී  මරණයට පත්වූ ඇමෙරිකානුවන්ගේ සංඛ්‍යාවටයි. මම හිතන්නේ එය සුළු සංඛ්‍යාවක් නොවෙයි.

ටකර් කාල්සන් : වසර 11ක වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකානුවන් 59,000ක් මරණයට පත්වුණා. ඒ අනුව එය වසර 11ක යුද්ධයකින් මැරුණ සංඛ්‍යාවටත් වැඩි සංඛ්‍යාවක්.

අසීම් මල්හෝත්‍රා : ඒ එක ඖෂධයකින් සිදුවුන මරණ සංඛ්‍යාව පමණයි. නමුත් වඩාත් අවධානය යොමු කළ යුතු දෙය තමයි ඔවුන්ට පනවන ලද දඩය පිළිබඳව. විමර්ශනයකින් අනතුරුව මර්ක් සමාගමට එරෙහිව 2011 දී ඩොලර් මිලියන 950ක් දඩයක් නියම කරනු ලැබුවා. නමුත් මර්ක් සමාගම විසින් මෙම ඖෂධය අලෙවි කිරීමෙන් ලද ආදායම සළකා බලන විට සහ ඔවුන් විසින් වැය කරනලද සියලු වියදම් අඩු කළ විට පවා ඔවුන් ඩොලර් බිලියන 1ක ලාභයක් නිසැකවම ලබා තිබෙනවා. මෙම ඖෂධය හෘදයාබාධ ඇති කිරීමට හේතුවන අතර මර්ක් සමාගමේ විද්‍යාඥයන් ඒ බව දැන සිටියා.
මේ සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ වූ විට සහ එය සම්බන්ධ නඩුවට අදාළ සියලු සාක්ෂි විමසා බලන විට ඔබට හමුවන එක් වැදගත් දෙයක් තමයි, මර්ක් සමාගමේ ප්‍රධාන විද්‍යාඥයා විසින් 2000 මාර්තුවේදී යවන ලද අභ්‍යන්තර ඊමේලය. ‍

එහි මෙසේ සඳහන් වෙනවා “මෙම ඖෂධය විසින් හෘදයවාහිනි වලට අයහපත් බලපෑමක් කිරීම අවාසනාවන්ත තත්ත්වයකි. නමුත් ඖෂධයේ මෙන්ම අපගේද තත්ත්වය ඉතා යහපත්ය.” හොඳයි, දැන් මේ චර්යාව අපට විස්තර කළ හැක්කේ කෙසේද ටකර්? මම කියන්නේ යන්නේ තරමක් මතභේදකාරි දෙයක්, නමුත් සාක්ෂි මත පදනම් වූ දෙයක්.

ස්ව-උන්නතකාමි පරපීඩක මනෝව්‍යාධිකයා (psychopath) පිළිබඳ ආරම්භක ජාත්‍යන්තර නිර්වචනය ගොඩ නංවන ලද කීර්තිමත් අධිකරණ මනෝවිද්‍යාඥ වරයෙකු වූ වෛද්‍ය රොබර්ට් හෙයාර් (Dr. Robert Hare)මෙම ආයතන, එනම් නීතිමය වශයෙන් සමාගමක් ලෙස සැළකෙන ආයතනය සම්බන්ධව පවසන ලද දේවල් ඉතා වැදගත්. ඖෂධ සමාගම් වැනි මෙම ආයතන සාමාන්‍යයෙන් ඔවුන්ගේ ව්‍යාපාරික චර්යාවන් පවත්වාගෙන යන්නේ ස්වෝන්නතකාමි පරපීඩක මනෝව්‍යාධික ආයතනයක් ලෙස බව, නැතහොත් ස්වෝන්නතකාමි පරපීඩක මනෝව්‍යාධිකයෙකු ලෙස බව ඔහු පවසනවා. එහි තේරුම කුමක්ද? සෙසු අයගේ ආරක්ෂාව පිළිබඳ නිර්දය නොසැලකිල්ල, ලාභය සඳහා සෙස්සන් රැවටීම, රැවටිලි සහගත බව, බලහත්කාරය ආදි දුෂ්ට ලක්ෂණ මෙම සමාගම් සතුව පවතිනවා. එහෙයින් ස්වෝන්නතකාමි පරපීඩක මනෝව්‍යාධිකයා යන නිර්වචනය මෙම ආයතන සඳහා ඉතා හොඳින් ගැලපෙනවා. පියවරක් පිටුපසට ගොස් මගේ දැනුම උපරිම වශයෙන් යොදාගෙන මේ තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ දැරීමේදී මා අවබෝධ කරගත් දෙය එයයි. මොහොතකට නැවතී සිතන්න, එක්සත් ජනපදය සහ ලෝකය පුරා සෙසු රටවල් මෙම එන්නත් අනිවාර්ය කිරීමට කටයුතු කරමින් සිටින්නේ ඇයි? ඔවුන් මෙම හානිකර එන්නත්වලින් අහිංසක දරුවන් එන්නත් කිරීමට උත්සාහ දරන්නේ මන්ද? මම හිතනවා මෙය පරිහානියේ සහ කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස. මගේ උපකල්පනය මෙයයි. පසුගිය දශකය පුරා කිසිවෙකුගේ අවධානයට ලක් නොවී, කිසිදු පාලනයකට හෝ විරෝධතාවයකට ලක් නොවී, මෙම ස්වෝන්නතකාමි පරපීඩක මනෝව්‍යාධික ආයතන විසින් වර්ධනය කරගන්නා ලද දෘෂ්‍යමාන සහ අදෘෂ්‍යමාන බලය විසින් අප සියල්ලන්ගේ ජීවිත ග්‍රහණයට ගෙන තිබෙනවා.

ටකර් කාල්සන් : ඔබ පවසන දෙය සත්‍යයක් බව මම විශ්වාස කරනවා.

අසීම් මල්හෝත්‍රා :මම හිතන විදියට මෙම ගැටළුව විසඳීමට ඇති එකම ආකාරය ප්‍රශ්නයට බලපෑ මූලික හේතු පාලනය කිරීමයි. නිදසුනක් ලෙස, ඉතා සෘජු ක්‍රියාමාර්ග වලට එළැඹිය යුතුයි. ඖෂධ සමාගම්වලට ඖෂධ සංවර්ධනය සඳහා සම්බන්ධ වීමේ හැකියාව ඇති නමුත් ඔවුන්ට ඒ සම්බන්ධ විද්‍යාගාර පරීක්ෂණ සහ සායනික පර්යේෂණ සිදු කිරීමට හෝ දළ දත්ත ඔවුන් සඟවා තබාගැනීමට ඉඩ නොදිය යුතුයි. එමෙන් ඖෂධ පාලක ආයතන සිය අරමුදල් ඖෂධ සමාගම්වලින් ලබා නොගත යුතුයි.

ටකර් කාල්සන් : සත්තකින්ම ඖෂධ පාලක ආයතන ඖෂධ සමාගම්වලින් මුදල් ලබා නොගත යුතුයි.

අසීම් මල්හෝත්‍රා : එමෙන්ම දේශපාලනඥයන් විසින් ඖෂධ සමාගම්වලින් සිය මැතිවරණ කටයුතු සඳහා ආධාර හෝ පරිත්‍යාග ලබා නොගත යුතුයි. ආණ්ඩුවක වගකීම පිළිබඳ මූල ධර්ම ගැන අවධානය යොමු කරමු. ආණ්ඩුවක මූලික වගකීම වන්නේ බාහිර සතුරන්ගෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමයි. එමෙන් ආණ්ඩුව විසින් පුර වැසියන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් ඉටු කළ යුතුයි. ඖෂධ සමාගම්වලින් මුදල් ලබා ගන්නේ නම් ඔවුන්ට එය කළ නොහැකියි.
ටකර් කාල්සන්: හොඳයි, එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය ( FDA) තමන්ගේ අරමුදල්වලින් වැඩි හරියක් ලබාගන්නේ ඖෂධ සමාගම්වලින් නම් එය උමතුවක් බව කිවයුතුයි. ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය( FDA) කියන්නේ ඖෂධ සමාගම් පාලනය කරන ආයතනයයි. මෙය සිදුවිය හැක්කේ කෙසේද?

අසීම් මල්හෝත්‍රා :මෙම ප්‍රශ්නය පවත්න්නට එක් හේතුවක් නම්, ක්‍රමයේ පවත්නා අසමත්කම්, දුර්වලකම්, සහ දූෂණ පිළිබඳව ජනතාව නොදැන සිටීමයි. මාස කීපයකට පෙර මම බ්‍රිතාන්‍ය වෛද්‍ය සම්මේලනය විසින් සංවිධානය කරන ලද රැස්වීමකට දේශනයක් පැවැත්වීම සඳහා සහභාගි වුනා. මෙය සිදුවූයේ ෆයිසර් සහ මොඩෙර්නා mRNA එන්නත් ගැන මගේ පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමට පළමුවයි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සම්මේලනයේ සභාපතිවරයාද එහි සිටියා. බ්‍රිතාන්‍ය යේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය( MHRA) සිය අරමුදල්වලින් 86%ක් ලබා ගන්නේ ඖෂධ සමාගම්වලින් බව පැවැසූ විට ඔහු පුදුමයටත් කම්පනයටත් පත් වුනා. ඔහු ඒ බව දැන සිටියේ නැහැ. මහජන සෞඛ්‍ය පිළිබඳ ජාතික මට්ටමේ තීරණ ගනු ලබන සහ මෙම එන්නත් ගැනීම සඳහා ජනතාවට බල කරන බොහෝ දෙනෙකු ක්‍රමයේ පවත්නා දුර්වලකම් සහ දූෂණ ගැන දන්නේ නැහැ. එමෙන්ම වෛද්‍යවරු, සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ මොකක් ද වෙමින් පවතින්නේ කියලා. අඩු තරමින් ඔවුන් තමන් නොදන්නා බවවත් දන්නේ නැහැ. මේ තත්ත්වයට ඒකත් එක් හේතුවක්.

ටකර් කාල්සන් : මේ වනවිට පරිවාරයේ දී එන්නත් පිළිබඳ විශාල කතාබහක් ඝෝෂාවක් පවතිනවා. කුතුහලය කියන එක පොඩ්ඩක් හෝ සහිත ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකු විසින් මේ ගැන සොයා බැලිය යුතු නොවේද? “ මේ මිනිස්සු එන්නත්වලට විරුද්ධව කෑගසන්නේ ඔවුන්ට වැහී ඇති පිස්සුවක් නිසාද? ඔවුන් කියන්නේ මොනවාද” යන්න සොයා බැලිය යුතු නොවේද? එන්නත් සම්බන්ධ ප්‍රශ්න මතු වී තිබේ. එසේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරු තුළ කුතුහලයක් මතු විය යුතු නොවේද? වෛද්‍යවරුන්ට ගෙවනු ලබන්නේ ප්‍රශ්න දෙස කුතුහලයක් සහිතව බැලීමට නොවේද? විද්‍යාවේ පදනම කුතුහලයයි.

අසීම් මල්හෝත්‍රා : සත්තකින්ම

ටකර් කාල්සන් : ඔබත් වෛද්‍යවරයෙක්, ඒ නිසා ඉතා ගෞරව සම්ප්‍රයුක්තව මම ඔබගෙන් මෙය ඇසිය යුතුයි. දේවල් දැනගැනීමේ උවමනාව නිසා මම බොහෝ දුක් විඳ තිබෙනවා. ඉතාම ඉහළ අධ්‍යාපනයක් ලද වෛද්‍ය වෘත්තිකයන් තමන් හමුවේ ඇති සාක්ෂි කන්දක් නොසළකා හරිමින් මේ වැරදි මාවතේම දිගටම යාමට තීරණය කර ඇත්තේ මන්ද?

අසීම් මල්හෝත්‍රා : එය විශිෂ්ට ප්‍රශ්නයක්, මෙම තත්ත්වයට එරෙහිව අප සටන් කළ යුත්තේ කෙසේද? මෙහිදී සඳහන් කළ යුතු මනෝ විද්‍යාත්මක ප්‍රපංචයන් දෙකක් තිබෙනවා. එකක් නම් පුද්ගලයන් තුළ පවත්නා භීතියයි. මෙම වසංගතයේ ආරම්භක දින ගැන සිහිපත් කරන්න. තේරුම්ගත හැකි පරිදිම ජනතාව බියපත් වී සිටියා. ආරම්භක කොවිඩ්-19 ප්‍රභේදය වයස්ගත වූවන්ට සහ අවදානම් සහිත සෞඛ්‍ය තත්ත්වයක පසුවූවන්ට විනාශකාරි එකක් වූ බව අමතක නොකරමු.

ටකර් කාල්සන් : එමෙන්ම එම වෛරසය පිළිබඳ නොදැනුවත්කම, එය හදිසියේම කඩාපාත් වූ දෙයක්.

අසීම් මල්හෝත්‍රා : නමුත් විවේචනාත්මක චින්තනයේ හැකියාව භීතිය විසින් අහෝසි කරනවා.

ටකර් කාල්සන් :එය නිවැරදියි.

අසීම් මල්හෝත්‍රා : මෙම තත්ත්වයට එරෙහිව සටන් කිරීමේ දී අපට හමුවන දෙවන ප්‍රපංචය චේතාන්විත අන්ධභාවයයි(willful blindness). මනුෂ්‍ය වර්ගයා සත්‍යය නුදුටු ලෙස දෑස වසාගෙන සිටීමට හේතු වන්නේ එමගින් ලැබෙන ආරක්ෂිත බව පිළිබඳ ව්‍යාජ හැඟීම පිළිබඳ ඇති කැමැත්ත, ගැටුම්කාරි තත්ත්වයකට මැදිහත් වීමට ඇති නොකැමැත්ත, සාංකාව සහ මානසික ආතතීන්ට ගොදුරු වීමට ඇති අකැමැත්ත, සහ කීර්තිය ලැබීමේ සහ ආරක්ෂාකර ගැනීමේ කැමැත්ත ආදිය නිසයි . මෙයට එරෙහිව අපට සටන් කළ හැකි වන්නේ කෙසේ ද, ඒ සඳහා අපි නිර්දය සහ ශක්තිමත් සාක්ෂි මත පදනම් විය යුතුයි. එය කළ යුතුයි. මම එසේ පවසන්නේ සානුකම්පිත සහ ධෛර්ය සම්පන්න ආකාරයකින්. මම වරෙක යම් ජනමාධ්‍ය වේදීන් පිරිසක් සමග සාකච්ඡා කළා . ඔවුන්ගෙන් සමහරු කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයේ ශක්තිමත් ආධාරකරුවන්. සමහරුන් වඩාත් ආන්තික ස්ථාවරවලට යමින් එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කරන්නවුන් හඹා ගොස් ඔවුන්ව බලහත්කාරයෙන් එන්නත් කළ යුතුයැයි යන මතය දැරූ අය. මම මගේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔවුන් සමග පැයක් පමණ සාකච්ඡා කළා. මම එන්නත් ලබාගත් පුද්ගලයෙක්, එමෙන්ම මා සතුව ඉතා ප්‍රබල සාක්ෂි තිබුණා ඔවුන් වෙත ඉදිරිපත් කිරීමට. මේ නිසා මම හිතනවා ඔවුන් මට සවන් දීමට වඩාත් විශාල කැමැත්තක් සහ උනන්දුවක් දැක් වුවා කියලා. අප විසින් එය කළ යුතු ආකාරය එයයි.

ටකර් කාල්සන් : ක්‍රම පද්ධති පිළිබඳව ඔබ ඉතා තියුණු විශ්ලේෂකයෙකු බව පෙනෙනවා. කීර්තිය සහ ගරු බුහුමන් ලැබීම සියලුම දෙනාටම අවශ්‍යව තියෙන දෙයක්. ඔබ සඳහන් කළා එය මනුෂ්‍ය චර්යාවන් සඳහා උත්තේජකයක් වන බව. නමුත් එය සම්බන්ධව පවතින්නේ තමන් සම්බන්ධිත හෝ බැඳී සිටින කණ්ඩායම තුළ රජයන අධිපතිවාදි මතයට දක්වන එකඟතාවය මතයි. විද්‍යාව සම්බන්ධව ගත් කළ ක්ණ්ඩායම් මතවාදයට යටත් වීම විද්‍යාවේ මරණයයි. එය විද්‍යාවේ අවසානයයි. කීර්තිය යන්න අප විසින් සම්බන්ධ කළ යුත්තේ නිදහස් විමර්ශනය සමගයි. මෙය සිදු වූයේ කෙසේද?

අසීම් මල්හෝත්‍රා : එය සැබැවින්ම වැදගත් කරුණක්. සත්තකින්ම මම සතුටු වෙනවා ඔබ විසින් එය මතු කිරීම ගැන. එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ඇන්තනි ෆවුචී විසින් කොවිඩ්-19 එන්නත්වල අවශ්‍යතාව හුවා දැක්වීමටත් ඒ පිළිබඳව විශ්වාසය තැබිය යුතු බව අවධාරණය කිරීමටත් නිතර දෙවෙලේ මතුරන ලද “ විද්‍යාව විශ්වාස කරනු”(trust the science) යන පාඨය ගැන සිතා බලන්න. මා විසින් මගේ ජීවිතයේදී අසා ඇති ඉතාම අවිද්‍යාත්මක නැත හොත් විද්‍යා විරෝධී ප්‍රකාශය එයයි.

ටකර් කාල්සන් : මාත් ඒ ගැන හිතුවේ එහෙමයි.

අසීම් මල්හෝත්‍රා : වෛද්‍ය විද්‍යාව භෞතික හෝ රසායන විද්‍යාව මෙන් තථ්‍යවාදි විද්‍යාවක් නොව ව්‍යවහාරික විද්‍යාවක්. එහි දී සැලකීමට ගනු ලබන සාක්ෂි නිතර වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස වෛද්‍ය විද්‍යාලය තුළ ඔබ ඉගෙන ගනු ලබන දේවල්වලින් 50%ක් නැතහොත් බාගයක් පමණ වසර 5ක් ඇතුළත යල් පනින හෝ සහමුලින්ම වැරැදි ඒවා බවට පත්වෙනවා යැයි සැලකෙනවා. ගැටළුව වන්නේ වැරදි ලෙස සැලකීමට නියමිත මොන බාගයදැයි පැවසීමට කිසිවෙකුට නොහැකි වීමයි. දේවල් ඔබ විසින්ම ඉගෙන ගැනීමට ඔබ ඉගෙන ගත යුතුයි. ඒ නිසා ෆවුචීගේ ප්‍රකාශය කිසිදු තේරුමක් ඇති දෙයක් නොවේ. මා අසා ඇති සහ දැක ඇති දේවල් අනුව ෆවුචි සම්බන්ධ මගේ වැටහීම නම් ඔහු සාක්ෂි මත පදනම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ගැන කිසිදු අවබෝධයක් සහිත අයෙකු නොවන බවයි.

ටකර් කාල්සන් : මටත් පෙනෙන්නේ ඒ ආකාරයටම තමයි.

අසීම් මල්හෝත්‍රා : මම හිතන්නේ නැහැ ඔහු එය චේතාන්විතව සිදු කරන දෙයක් ලෙස. නමුත් පවත්නා යථාර්ථයේදී “ විද්‍යාව විශ්වාස කරනු!” යන්නෙහි තේරුම අපි කලින් කථා කළ පරිදි ස්වෝන්නතකාමි පරපීඩක මනෝව්‍යාධිකයෙකු විශ්වාස කරන ලෙස කරන නියෝගයකට සමානයි.

ටකර් කාල්සන් : ඔව් මම හිතන්නේ එය මන්ත්‍රයක් ජපකිරීමක් වාගෙ දෙයක් කියලා. “විද්‍යාව විශ්වාස කරනු ” අඩු තරමින් ඒ වචනවලට තේරුමක්වත් තියෙනවාද? නමුත් මේ තත්ත්වය විසින් පෙන්නුම් කරන්නේ ක්‍රම පද්ධතියේ බිඳවැටීමයි. දැන් අප විසින් කොවිඩ්-19 සමග සටන් වැදීම සඳහා ගොඩ නගා ඇති යන්ත්‍රයේ ප්‍රධානියා මේ පුද්ගලයායි. නමුත් මෙම පුද්ගලයාගේ වැරදි ක්‍රියාමාර්ගවලට එරෙහිව “ නෑ, ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි ” කියා පැවසීමට අප අතර සිටින දහස් ගණන් වෛද්‍යවරුන් අතරින් කිසිම අයෙක් ඉදිරිපත් වී නැහැ. මෙය විශාල ගැටලුවක් ලෙස මම දකිනවා. මෙය වෛද්‍ය විද්‍යාලය තුළ ලද අධ්‍යාපනයේ ප්‍රශ්නයක්ද

අසීම් මල්හෝත්‍රා : මෙය එක්තරා ආකාරයක වෛද්‍ය අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රශ්නයක් ලෙස මම දකිනවා . මෙහිදී තවත් කරුණක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. බ්‍රිතාන්‍ය ජනතාව ඉතා අධික ලෙස ඖෂධ භාවිතයට යොමු වී ඇති බවත්, වෛද්‍ය ප්‍රජාව ඒ වෙනුවෙන් යමක් කළ යුතුව ඇති බවත් වටහා ගත් පසුව මා විසින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය සමග 2015 දී බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විද්‍යාල තුළ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ගෙන ගියා.
ඉන් පසුව මා විසින් බ්‍රිතාන්‍ය යේ සිටින ඉහළම පෙළේ වෛද්‍යවරයෙකුගේ සමකර්තෘත්වයෙන් යුතුව මේ පිළිබඳව පත්‍රිකාවක් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එය මූලික වශයෙන් ගත් කල අධික ලෙස ඖෂධ භාවිතය යොමුවීම හේතුවෙන් සිදුවන හානි වළක්වාලීම සඳහා රාජකීය වෛද්‍ය විද්‍යාලයේ දැනුවත් කිරීමේ ව්‍යාපාරයට සම්බන්ධ දෙයක්. මෙම පත්‍රිකාවේ අන්තර්ගත එක් නිර්දේශයක් තමයි , විවේචනාත්මකව දත්ත ඇගයීමක් සිදු කළ යුතු ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට වෛද්‍ය විද්‍යාල මගින් වෛද්‍යවරුන්ට ආධාර කළ යුතුය කියන එක.
අනිත් කරුණ අප මුලින් සඳහන් කළ ස්ටෑටින් ඖෂධවල ගුණය 1% යන කරුණ කිසි විටෙකත් වෛද්‍යවරුන් විසින් රෝගීන් සමග සාකච්ඡා කරනු ලබන්නේ නැහැ. එය වෛද්‍ය විද්‍යාත්මක සාහිත්‍යය තුළ සාක්ෂි සහිතව තහවුරු කර ඇති කරුණක්. ඔබ විසින් ආචාරධාර්මික,සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් පිළිපදින්නේ නම්, රෝගියාගේ දැනුවත් එකඟතාව ඔබ විසින් යෝජනා කරන ප්‍රතිකාරය සඳහා ලබාගැනීමට ඔබ විසින් එම ප්‍රතිකාර ක්‍රමයේ හෝ ඖෂධයේ අවදානම් සහගත බව සහ ප්‍රයෝජන පිළිබඳව පාරදෘෂ්‍ය සන්නිවේදනයක් සිදු කළ යුතුයි. ඔබ එසේ සිදු නොකරන්නේ නම් රෝගියා වෙනුවෙන් ඔබට ඔබගේ ප්‍රතිකාර ක්‍රමයේ හොඳම ප්‍රතිඵලය ලබාගත නොහැකියි.

ටකර් කාල්සන් : සත්තකින්ම

අසීම් මල්හෝත්‍රා : එක් රෝගියෙක් ඇවිත් මගෙන් මෙහෙම අහන්න පුළුවන්, “ අහන්න ඩොක්ටර්, අහවල් දත්ත අනුව මම අහවල් පෙත්ත ගැනීමට කැමැතියි”. තවත් රෝගියෙක් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් කියන්න පුළුවන්. වෛද්‍යවරයා කළ යුත්තේ ඔවුන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහාය වීමයි. මේ වසංගත කාලය තුළ ඒ ප්‍රවේශය අපිට සම්පූර්ණයෙන්ම නැතිවුණා . මෙම ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කාලය ඇවිත්.

ටකර් කාල්සන් : ආචාරධාර්මික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී ඔබට රෝගියාගේ දැනුවත් කැමැත්ත අවශ්‍ය වෙනවා. රෝගියාගේ දැනුවත් කැමැත්ත නොමැතිව ඔබට ආචාර ධාර්මික වෛද්‍ය විද්‍යාවක් ගැන කතාකළ නොහැකියි.

අසීම් මල්හෝත්‍රා : සත්තකින්ම.

ටකර් කාල්සන් : නමුත් ඒ සමස්ත සංකල්පයම වාෂ්ප වෙමින් පවතින බවක් පෙනෙන්නේ.?

අසීම් මල්හෝත්‍රා : සම්පූර්ණයෙන්ම.

ටකර් කාල්සන් : එය සිදුවෙමින් පවතින්නේ කෙසේද?

අසීම් මල්හෝත්‍රා :අපි පළමුව මෙම ප්‍රශ්නය ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. ඔවුන්ට ඒ පිළිබඳව හෙළි දරවු කළ යුතුයි. මම හිතනවා ඇමෙරිකානු ජනතාව මේ ගැන දැනගත්විට ඔවුන් කම්පනයටත් කෝපයටත් පත් වෙයි. නමුත් මම හිතන්නේ ඔවුන් විසින් මෙම ප්‍රශ්න ඔවුන්ගේ වෛද්‍යවරුන්ගෙන් ඇසිය යුතුයි. එමෙන්ම වෛද්‍යවරුන්ද මේ තත්ත්වය අවබෝධ කරගතයුතුයි. අපගේ වගකීම සහ රාජකාරිය වන්නේ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි පිළිබඳ අපගේ දැනුම යාවත්කාලීන කරගැනීමයි. විශ්වාසය පවත්වාගෙන යාමට නම් වෙනස් වන සාක්ෂි සමග අප ද වෙනස් විය යුතුයි.එය ඉතාම වැදගත්. මට එය කිරීමට සිදුවුණා.

ටකර් කාල්සන් : විශ්වාසය පවත්වාගෙන යාමට…? මම එ් පිලිබඳව අපේක්ෂාවෙන් සිටිනවා. පහුගිය සිකුරාදා රාත්‍රියේ මගේ නිවසේ පැවැති සාදයකට වෛද්‍යවරයෙක් පැමිණ සිටියා. මම මේ පිළිබඳව ඔහු ගැන කතා කළේ නැහැ. නමුත් මම ඒ ගැන කල්පනා කරමින් සිටියා. ඔබට තේරුම්ගත හැකිද සෑම විටෙකම වෛද්‍යවරුන්ට පක්ෂාපාති වූ සහ ගෞරව කළ අය වූ මා වැනි අය අතර පසුගිය දෙවසර තුළ දී වෛද්‍යවරුන් කෙරෙහි පැවැති විශ්වාසය කොතරම් පළුදු වී තිබේද යන්න? ඔබ සිතනවාද, වෛද්‍යවරුන්ට මෙය තේරුම්ගත හැකි වෙයි කියා? ?

අසීම් මල්හෝත්‍රා : නමුත් තවමත් වෛද්‍ය වෘත්තිය වඩාත්ම ගෞරවනීය වෘත්තීන් අතර එකක්.

ටකර් කාල්සන් : සත්තකින්ම, සෑම දෙනෙකුම වෛද්‍යවරුන්ට ගෞරව කරනවා. මම මට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට හැම විටම ම ආදරයෙන් සහ ගෞරවයෙන් සැලකුවා. නමුත් පසුගිය දෙවසර තුළ සිදු වූ දේවල් දෙස බලන විට ජනතාව තුළ සැකයක් ඇති වී තිබෙනවා.

අසීම් මල්හෝත්‍රා : මා විසින් අධ්‍යයනය කර ඇති දත්ත අනුව 1980 ගණන්වල සිට ඇමෙරිකාව තුළ වෛද්‍යවරුන් කෙරෙහි වූ විශ්වාසය පහල වැටී තියෙනවා. එයට හේතුව වෛද්‍ය ක්‍රමය වඩ වඩාත් වාණිජකරණය වීම සහ වෙළෙඳපොළකරණය වීමයි. මෙයට හේතුව වාණිජ අවශ්‍යතාවන් වෛද්‍යවරයා සහ රෝගියා අතර සම්බන්ධය තුළට පැමිණීමයි. වාණිජ අවශ්‍යතාවන් රෝගියා සහ වෛද්‍යවරයා අතර සංවාදයේ කොටසක් ලෙස සැලකියි යුතුවත් නැහැ. මක්නිසාද යත් වෛද්‍යවරුන් විසින් නිතරම වාගේ තමන්ට මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි පරීක්ෂණ සහ ප්‍රතිකාර නිර්දේශ කරනවා. එය සහමුලින් ආචාරධාර්මික සහ සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට පටහැනි දෙයක්. තොරතුරු පිළිබඳ අසමමිතිකතාවක් පවතිනවා.

රෝගියා දන්නවාට වඩා බොහෝ දේ වෛද්‍යවරයා දන්නවා. රෝගියා විසින් වෛද්‍යවරයාව විශ්වාස කරනු ලබනවා. නමුත් වෛද්‍යවරයා විසින් රෝගියාගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව දෙනු වෙනුවට සවිඥානකව හෝ අවිඥානකව තමන්ට මුල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන වෛද්‍ය වෘත්තීක භාවිතයක නිරත වෙනවා. මම බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයට දැඩි ලෙස පක්ෂපාතිත්වය දක්වන කෙනෙක්. එයට එක් හේතුවක් නම් නිසිලෙසත්, ආචාර ධාර්මිකවත් සිදු කරන විට එම සේවය විසින් ලබා දෙන ප්‍රතිකාරවල ඉහළ ගුණාත්මක බව ගැන මම දන්නා නිසා. ජාතික සෞඛ්‍ය සේවය තුළ රෝගීන්ට ප්‍රතිකාර කරන විට මූල්‍යමය ප්‍රතිලාභ ගැන සිතීමට මට අවශ්‍යතාවක් ඇතිවුණේ නැහැ. මම රෝගියාට ඉතාම සුදුසුවන ක්‍රියාමාර්ග පමණක් නිර්දේශ කළා.
මම දන්නවා ඇමෙරිකාව තුළ තත්ත්වය වෙනස්. ඇමෙරිකාව සෞඛ්‍ය සේවය සඳහා ඩොලර් ට්‍රිලියන 3.5ක් එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 18%ක් වාර්ෂිකව වියදම් කරනවා. නමුත් බටහිර ලෝකය තුළ ඉතාම අයහපත් සෞඛ්‍ය ප්‍රතිඵල තමයි ඇමෙරිකාව තුළ දක්නට ඇත්තේ. එක්සත් ජනපදයේ ප්‍රාන්ත රාජ්‍යයන්ගේ සෞඛ්‍ය වියදම් දෙස බැලූ විට පෙනෙන දෙයක් තමයි සෞඛ්‍ය සඳහා ඉහළින්ම වියදම් කරන ප්‍රාන්තවල සෞඛ්‍ය ප්‍රතිඵල ඉතා පහල මට්ටමක පැවතීම. කරන වියදමට එදිරිව ප්‍රතිකාරයේ ගුණය සහ ප්‍රතිඵලය අතර ඇත්තේ ප්‍රතිලෝම සමානුපාතිකත්වයක්. මම මේ ගැන ලිවීමට අදහස් කරනවා.

ටකර් කාල්සන් : එසේ සිදු වීමට හේතුව කුමක්ද?

අසීම් මල්හෝත්‍රා : ඔබට වියදම අඩු කිරීම මගින් ප්‍රතිකාරයේ ගුණය ඉහළ නැංවිය හැකියි. ඒ සඳහා කළ යුත්තේ රෝගියාගේ දැනුවත් එකඟතාව ලබාගැනීමේ ක්‍රියාදාමය අනුගමනය කිරීමයි. එය සිදු කළ යුතු යැයි මා යෝජනා කරන්නේ රෝගියා සහ වෛද්‍යවරයා අතර දැනුවත් එකඟතාව පිළිබඳ සැබෑ ක්‍රියාදාමයක් සහිත සහ මා විසින් විස්තර කළ පරිදි රෝගියා වෙත තොරතුරු ලබාදීම ඉතා හොඳින් සිදුවන තැන් පිළිබඳ දත්ත මත පදනම්වයි. නිදසුනක් ලෙස ස්ටෑටින් පිළිබඳව සත්‍ය තොරතුරු ඔවුන්ට ලබා දුන් විට ඔවුන් බොහෝ දෙනෙකු සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වීම සිදු වෙනවා. ඔවුන් ශල්‍යකර්මයන්ට භාජනය වීම සිදුවන්නේ අඩුවෙන් වන අතර ඖෂධ භාවිතයද අඩුවෙන් සිදු කරනවා. ඔබ මේ ප්‍රතිඵල දෙස බලන විට ඒවා නරක නැති බව ඔබ තේරුම් ගනියි. ඔවුන්ගේ තත්ත්වය වඩාත් යහපත් අතට හැරී පවතින අතර වඩාත් බලාත්මක වී සිටිනවා.

ටකර් කාල්සන් : ඖෂධ නිර්දේශ කිරීම පිළිබඳව නැවතත් අවධානය යොමු කරන්න කැමැතියි. කොවිඩ්-19 එන්නත් පිළිබඳ වෛද්‍ය ප්‍රජාවේ ප්‍රතිචාරය පිළිබඳ මාව පුදුමයට පත් නොකිරීමට එක් හේතුවක් වූයේ පසුගිය වසර 20ක කාලයක් තිස්සේ මා විසින් දක්නා ලද දේවල් නිසයි. එහි විශාල වෙනසක් තියෙනවා. එක්සත් ජනපදය තුළ වෛද්‍යවරුන් ඕනෑම ඖෂධයක් සඳහා නිර්දේශ පත්‍රයක් ලියා දෙනවා. මේ රට තුළ විශාල වශයෙන් ඖෂධ නිර්දේශ කිරීම් සිදු වෙනවා. එය ඉතාම පැහැදිලිව පෙනෙන්නට තියෙන දෙයක්. දත්ත විසින් පෙන්නුම් කරනවා එය කොතෙක් දුරට ව්‍යාප්තව ඇති දෙයක්ද කියා. මේ මොකක්ද සිදුවන්නේ?

අසීම් මල්හෝත්‍රා : මා විසින් එය හඳුන්වනු ලබන්නේ සාවද්‍ය තොරතුරු මත පදනම් වූ වෛද්‍යවරුන්ගේ සහ සාවද්‍ය තොරතුරු මත පදනම්ව නොදැනුවත්ව හානියට ලක්වූ රෝගීන්ගේ වසංගතය ලෙසයි. වෛද්‍යවරුන්ගේ සායනික තීරණ අනුව රෝගීන් වෙත ඖෂධ නිර්දේශ කිරීම වෙත අනිවාර්යෙන්ම සෘණාත්මක ලෙස බලපාන සාධක ගණනාවක් තියෙනවා. අපි දැනටමත් මේ ගැන කතා කර තිබෙනවා. නමුත් මම නැවත කෙටියෙන් ඒ ගැන සඳහන් කරන්නම්. ඉන් එක් සාධකයක් නම් පර්යේෂණ සඳහා අරමුදල් සැපයීමේදී සිදුවන බලපෑම්. මෙම බලපෑම් හේතුවෙන් පර්යේෂණයේ ප්‍රතිපල ඖෂධ සමාගම්වලට ලාභ ලැබෙන පරිදි වෙනස් කිරීම සිදු වෙනවා. ඒ මගින් රෝගින්ට යහපතක් සිදුවන්නේ නැහැ. දෙවෙනි කරුණ පර්යේෂණය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක සඟරා විසින් සිදු කරන ඖෂධයේ කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳව පක්ෂපාති වාර්තා කිරීම්, තුන්වන සාධකය නම් ජනමාධ්‍ය විසින් සිදු කෙරෙන ඒ ආකාරයේම ඖෂධ සමාගම්වල නිෂ්පාදනවලට පක්ෂපාති වාර්තා කිරීම්,
හතරවන සාධකය ආරක්ෂණවාදි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය.ඒ කියන්නේ තමන්ගේ නිර්දේශ මත ලබාගන්නා ප්‍රතිකාරවලින් රෝගියාට හානි සිදුවුව හොත් ඒ සඳහා වන්දි ඉල්ලා අධිකරණයට යාමට නොහැකි වන පරිදි වෛද්‍යවරයාට ලබා දෙන දණ්ඩ මුක්තිය. මේ නිසා රෝගියාට සිදුවන අතුරු ආබාධ සහ හානි නිසා තමන්ට දඬුවම් ලැබේ යැයි යන බියකින් තොරව හිතුමතයේ ඖෂධ සමාගම්වලට වාසි ලැබෙන පරිදි ඖෂධ නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට අවස්ථාව ලැබෙනවා. මෙය හැඳින්වෙන්නේ Defensive medicine ලෙසයි. ඒ වාගේම සාවද්‍ය සහ පක්ෂපාති තොරතුරු සහිතව රෝගින් වෙත නිකුත් කරන අත් පත්‍රිකා තවත් සාධකයක් ලෙස සැළකිය හැකියි. එමෙන්ම වාණ්ජ-අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් තවත් වැදගත් සාධකයක්. අවසාන සහ වැදගත්ම සාධකය සෞඛ්‍ය විද්‍යාත්මක සංඛ්‍යා ලේඛන වටහා ගැනීමට වෛද්‍යවරුන් සතු නොහැකියාව.

අවශ්‍ය තොරතුරු සහ දත්ත රෝගියාට අවබෝධ කරගත හැකි පරිදි සකස් කර ඉදිරිපත් කිරීමට රොකට් විද්‍යාව පිළිබඳ දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ . නමුත් දේවල් කළු සහ සුදු ලෙස දකිමින් වෛද්‍යවරුන් විසින් සිය සායනික තීරණ ගන්නා විට සිදු වන්නේ කුමක්ද? ඔවුන් වෛද්‍ය විද්‍යාත්මක සඟරාවල ඖෂධය පිළිබඳ පර්යේෂණයේ නිගමනය පමණක් කියවනවා. ඒ අනුව අහවල් ඖෂධය ප්‍රයෝජනවත් කියලා තීරණය කරනවා .

“ ඔක්කොම හොඳයි, මේ පෙත්ත ගන්න, මේ ස්ටෑටින් පෙත්ත ගන්න, ඒක ඔයාගේ ජීවිතය බේරාගන්න යන්නේ….” හැබෑටම ? නමුත් යථාර්ථය වෙන්නේ ස්ටෑටින් විසින් ඔබගේ ජීවිතය බේරා නොගනු ඇති බවයි. නමුත් ඔබ රෝගියාට පැවසිය යුතුව තිබෙනවා ස්ටෑටින් ඖෂධයේ ගුණය 1%ක් පමණක් බව. නමුත් ඒක සිදුවන්නේ නැහැ.
ඒ නිසා අප විසින් ඖෂධ භාවිතා කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුව තිබෙනවා. අපි තවම කතා කළේ නැහැ ජීවන විලාසිතාව නිසා වැළඳෙන රෝග ගැන.

ටකර් කාල්සන් : සත්තකින්ම

අසීම් මල්හෝත්‍රා : ස්ථූලතාව හෙවත් තරබාරු වීම ගැන අවධානය යොමු කරමු. ගෝලීය ව සිදුවුණ කොවිඩ් මරණ 90%ක් සිදුවුණේ සිය ජනගහණයෙන් බාගයකට වඩා සංඛ්‍යාවක් අධික ස්ථුලතාවයෙන් පෙළෙමින් සිටි රටවල් තුළයි. බ්‍රිතාන්‍ය යේ 175,000ක් ලෙස සැළකෙන කොවිඩ් මරණවලින් පැහැදිලිවම කොවිඩ් නිසා මරණයට පත්ව ඇත්තේ ඉන් 10%ක් පමණයි. මරණයට පත් සෙසු 90%ම වෙනත් නිදන්ගත රෝගවලින් පෙළුණ අයයි.

ටකර් කාල්සන් : අප්‍රිකාවේ මරණ සංඛ්‍යාව අඩුවෙන් සිදුවුණේ ඒනිසාද?
අසීම් මල්හෝත්‍රා : ඔව් සමහර විට. එය ඉතා උනන්දුජනක පුවතක්. අපි ජනතාවගේ ජීවන රටාව යහපත් අතට වර්ධනය කරන්නේ නම්, අපි මීට වසර ගණනාවකට පෙර බරපතල ප්‍රශ්නයක් තියෙන බව දැනගත් අවස්ථාවේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා නම් අපිට මෙම සමහර රෝග ගැන අහන්න ලැබෙන්නේ නැහැ. මේවායින් රෝග ගොඩකට හේතු වී ඇත්තේ ආහාර ඇබ්බැහිය සහ ආහාර කර්මාන්තයයි. ඒ වාගේම කෘත්‍රීම ලෙස නිෂ්පාදිත සහ රසකාරක සහිත ආහාර පරිභෝජනය ඉහළ යාමයි. මම මගේ රෝගීන්ට උපදෙස් දෙන්නේ අධික ලෙස කෘත්‍රිම ලෙස සකසන ලද ආහාර පරිභෝජනයට නොගන්නා ලෙස. බ්‍රිතාන්‍ය යේ ආහාර වේලක කැලරි ප්‍රමාණයෙන් භාගයක්ද එක්සත් ජනපදයේ ආහාර වේලක අඩංගු කැලරි ප්‍රමාණයෙන් භාගයකටත් වඩාද ලැබෙන්නේ කර්මාන්ත ශාලා තුල විවිධ රසායනික ද්‍රව්‍ය සහිතව සකස් කරන ලද ආහාරවලින්. අධික ලෙස සකස් කරන ලද ආහාරයක් හඳුනාගන්නේ කෙසේද? එය ඉතා පහසු දෙයක්. ආහාර පැකැට්ටුවේ අඩංගු ද්‍රව්‍ය 5ක් හෝ ඊට වැඩි නම් එය අධික ලෙස සකස් කරන ලද (ultra processed) ආහාරයක් ලෙස සැලකෙනවා. එවැනි දේවල් ආහාරයට ගන්න එපා. සීනි, පිරිපහදු කාබෝහයිඩ්‍රේට්, සෞඛ්‍යයට හානිකර තෙල්වර්ග ආදිය එකට මිශ්‍රකර රසය ඇතිකරවන සුළු ලෙස නිෂ්පාදනය කරනවා. ඒවා මගින් ආහාරයට ඇබ්බැහි වීම් ඇති කරනවා.

ටකර් කාල්සන් : ඔව් ඒ ආහාර මගින් ඇබ්බැහිවීම් ඇති කරනවා.

අසීම් මල්හෝත්‍රා : ඒ වාගේම ඇබ්බැහිය යනු නිදහස් කැමැත්ත නොවේ. එය විසින් අධි පරිභෝජනයට යොමු කරවනවා. මෙවැනි ප්‍රශ්න පාලනය කළ ආකාරය ගැන ඉතිහාසය තුළින් අපට ඉගෙනගැනීමට ඇත්තේ කුමක්ද? ඇමෙරිකාව ලෝකයේ දුම්කොල භාවිතා කිරීම පාලනයට යොමු වූ පළමු රටවල් අතරින් එකක්. මට මතකයි 1980 ගණන්වල මගේ ඥාතීන් මුණ ගැසීමට මම කැලිෆෝනියාවට පැමිණි අවස්ථාව. ඒ අවස්ථාවේ පොදු ස්ථානවල දුම්පානය තහනම් කර තිබුණා. ඇමෙරිකාව විසින් එය කර ඇත්තේ බ්‍රිතාන්‍යයටත් කලින්. හෘදයරෝග වෛද්‍යවරයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් මේ දෙස බලනවානම් අපට නිරීක්ෂණය කරන්න පුළුවන් 70 සහ 80 දශක වලදී හෘදයාබාධ සංඛ්‍යාව 50%කින් අඩු වී තිබෙනවා. එයට හේතුව සිගරට් භාවිතය අඩුවීම නිසායි. බොහෝ දෙනෙකු ඒ පිළිබඳව දන්නේ නැහැ. නමුත් එය සිදු වූයේ කෙලෙසකද? එය සිදුවුණේ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දුන් නීති අනුව. මම දේවල් තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින අයෙක් නොවේ. මක් නිසාද එය අසාර්ථක උපක්‍රමයක් නිසා. ඇමෙරිකාවේ ඇල්කොහොල් භාවිතය සීමා කිරීම සඳහා ගෙන ආ නීතිවල ප්‍රතිඵල කුමක්දැයි ඔබ දන්නවාද?

ටකර් කාල්සන් : එය සාර්ථකයි. ඒ මගින් සිරෝසිස් රෝගීන් ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවුණා.

අසීම් මල්හෝත්‍රා : සෞඛ්‍යට හානිකර ද්‍රව්‍ය පරිභෝජනය වැලැක්වීම සඳහා අදියර 3කදී ඒ් සඳහා ක්‍රියාත්මක විය යුතුයි. මෙය හඳුන්වන්නේ “ මහජන සෞඛ්‍ය පිළිබඳ A ත්‍රිත්වය” යනුවෙන්. පිළිගැනීම(Acceptability), මිලදී ගැනීමේ හැකියාව(Affordability), සහ සුලබතාව(Availability) යනු එම A ත්‍රිත්වයයි. සිගරට්වලින් බදු අයකර ඒවායේ මිල ඉහළ දැමීම මගින් විශාල බලපෑමක් වුණා සිගරට් භාවිතය අඩුවීමට. පොදු ස්ථානවල දුම්පානය තහනම් කිරීම, දුම්කොළ නිෂ්පාදන සඳහා වෙළඳ දැන්වීම් ප්‍රචාරය තහනම් කිරීම, ආදියද එවැනි සාර්ථක ක්‍රියාමාර්ග.
අධික ලෙස සකස් කරන ලද ආහාර සම්බන්ධවද එවැනි මූලධර්ම භාවිතා කරන්නේ නම් බොහෝ රෝග වැළැක්වීම පිළිබඳව සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. මිනිසුන්ගේ ආහාර රටාවන්ගේ සිදුවන වෙනස් වීම් විසින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා වේගයෙන් වෙනස් කරනවා. මම මගේ රෝගීන්ගේ ආහාර රටාවන් වෙනස් කිරීම මගින් ඔවුන්ට හෘදයාබාධ වැළදීමේ අවදානම සති කීපයක් තුළ අඩුකළා. ඔවුන්ට තමන් කැමැති හොඳ දේවල් ආහාරයට ගත හැකියි. නමුත් සීනි සහ අධික ලෙස සකස් කරන ලද ආහාර අනුභවය කපා හරින්නේ නම් වසර කීපයක් තුළ ජනගහණ මට්ටමින් ජනතාව අතර පවත්නා ස්ථූලතාවයේ අනුපාතය අඩු කරගත හැකියි.

ටකර් කාල්සන් : මට ඔබ වෙතින් ඇසීමට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. නමුත් කෙටි කාලයක් පමණයි තවත් ඉදිරිව තිබෙන්නේ. නමුත් මේ ප්‍රශ්නය අහන්න ඉඩ දෙන්න. වසංගතයක් හෝ අන් කවරක් ලෙසින් එය හඳුන්වන ලැබුවද මේ කොවිඩ් යන දෙයෙහි ආරම්භයේ සිටම අපි දැන සිටියා තරබාරු පුද්ගලයන්ට ඒ මගින් වැඩි අවදානමක් ඇති බව. යමෙකුගේ තරබාරුකම වැඩිවන තරමට ඔහු මියයාමට ඇති ඉඩ ප්‍රමාණයද වැඩියි. ඔබ සිතනවාද මහජන සෞඛ්‍ය බලධාරින් තරබාරුකම පිළිබඳ සෞඛ්‍ය ගැටළුව ගැන අවධානය යොමු කරනු ඇතැයි කියා. එය මෙහි සෑහෙන කලෙක සිට පවතින ප්‍රශ්නයක්. නමුත් ඒ ගැන කිසිම සඳහනක් නැහැ. ඔවුන් ව්‍යායාම මධ්‍යස්ථාන වසා දැමුවා. ඔවුන් ව්‍යායාම මධ්‍යස්ථාන හිමිකරුවන් සිය මධ්‍යස්ථාන විවෘත කිරීමට උත්සාහ කළ විට ඔවුන්ව හිරේ දැම්මා. මේ සාකච්ඡාව ආරම්භයේදීම ඔබ සඳහන් කළා චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වූ ඔබගේ මිතුරියක විසින් මේ සියල්ල පිටුපස ඇති ලෝක ජනගහණ පාලන සැලසුමක් පිළිබඳව සඳහන් කළ බව. එය පිස්සු අදහසක් බව මට සිතෙනවා. මම එය විශ්වාස කරන්නේ නැහැ. නමුත් අනෙක් අතට මහජන සෞඛ්‍ය බලධාරින් විසින් මහජනයාට බලකරනවානම් ඔවුන් මරණයට පත්වීමට ඉඩ ඇති දේවල් කරන ලෙස, ඔබට මේ දේවල් වෙනත් ආකාරයකට විස්තර කළහැකිද? මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

අසීම් මල්හෝත්‍රා : එය හඳුන්වන්නේ සමාගම් විසින් මහජන සෞඛ්‍ය ආක්‍රමණය කිරීම යනුවෙන් ටකර්. මෙම වසංගතය තුළ සිටින ඉතාම බලපෑම් සහගත පුද්ගලයන් අතරින් එක් අයෙක් නම් බිල් ගේට්ස්. මම ඔහු ගැන මෙහිදී සඳහන් කරන්නේ ඔහු වසංගතය තුළ යහපත් දෙයක් කරනවා යැයි යන අර්ථයෙන් නොවේ.

ටකර් කාල්සන් : සත්තකින්ම

අසීම් මල්හෝත්‍රා : බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ලෝකයේ බොහෝ රටවල ආණ්ඩුවලට බලපෑම් කිරීමේ හැකියාවක් සහිත ආයතනයක්, එමෙන්ම ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලබාදෙනවා. බිල් ගේට්ස් මාධ්‍ය ආයතනවලට මුදල් ලබා දෙනවා. මේවා මත ඔහුට විශාල බලපෑමක් කළ හැකියි. එපමණක් නොව බිල්ගේට්ස් විසින් මැක්ඩොනල්ඩ්ස්, කොකා කෝලා සහ ඖෂධ සමාගම්වල විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා.

ටකර් කාල්සන් : විශ්වාස කිරීමටත් නොහැකි දෙයක්

අසීම් මල්හෝත්‍රා :ඔව් සත්‍ය වශයෙන්ම, මෙය මා විසින් මෑතකදී ප්‍රසිද්ධ කළ පත්‍රිකාවක කොටසක්. මම ඒ ගැන කතා කළා. මේ අනුව අප තේරුම්ගත යුත්තේ ගෝලීය මහජන සෞඛය පිළිබඳ ගන්නා තීරණ පාලනය කළ හැකි බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අවශ්‍යතා පිළිබඳ ගැටුම් නැතහොත් සැඟවුණු අරමුණු තියෙනවා.

ටකර් කාල්සන් : ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදියි

අසීම් මල්හෝත්‍රා : මම “ ගුඩ්මෝර්නින් බ්‍රිටන් ” වැඩ සටහනට 2020 දී සහභාගි වූ අවස්ථාවේදී මාවිසින් සඳහන් කළ එවකට අපේ අගමැති බෝරිස් ජොන්සන් කොවිඩ්- 19 වැළඳී රෝහල් ගත කර ඇති බව. ඔහුට තරමක් අමාරු වුණේ ඔහුගේ තරබාරු කම නිසා.ඉන් පසුව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මගෙන් විමසා සිටියා කළ යුතු දේ කුමක්දැයි බෝරිස් ජොන්සන්ට පවසන ලෙස.

නමුත් මගේ හඬ හුදෙකලා එකක් වුණා. මම මට පුළුවන් තරම් උත්සාහ කළා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මගේ අදහස් ඉදිරිපත් කරන්න. නමුත් කොවිඩ්-19 පිලිබඳ “නිවසේ රැඳි සිටිනු, ලොක්ඩවුන්, කොවිඩ්-19 ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම මගින් ජාතික සෞඛ්‍ය සේවය මත අධික බරක් පටවා එය බිඳ වැටීමට නොදී ආරක්ෂා කරගනු, ජීවිත ආරක්ෂා කරනු ” වැනි තේමා සහිත සංවිධිත ප්‍රචාරයට මගේ හඬ යටපත්වුණා. නමුත් ඔවුන් සැබෑ ලෙසම පැවසිය යුතුව තිබුණේ නිවසේ රැඳී සිටිනු, සෞඛ්‍ය දායක ආහාර ලබාගනු, ජීවිත ආරක්ෂා කරනු යනුවෙන්.
මහජන සෞඛ්‍යට අදාළ තොරතුරු සන්නිවේදනයක් තුළ අපි දෛනික පදනමින් අඛණ්ඩ ලෙස ජනතාවට කොව්ඩ්-19 වඩාත් හානිකර ලෙස බලපෑමට හේතුවන සෞඛ්‍යයට අහිතකර ආහාර පාන ගැනීමෙන් වැළකී සෞඛ්‍යදායක ආහාර ගන්නා ලෙස දැනුම් දුන්නා නම් ඇත්තටම අපිට බොහෝ ජීවිත බේරා ගැනීමට හැකියාව තිබුණා

ටකර් කාල්සන් : කවර අවස්ථාවක දී හෝ බොරිස් ජොන්සන් එන්නත් ගැන සඳහන් කළාද? ඔහු ඉතාමත් බුද්ධිමත් අයෙක්. මම දකින ආකාරයට ඔහු පසු කාලීනව කොවිඩ්-19 එන්නත් අනිවාර්ය කිරීම සඳහා මෝඩ පක්ෂපාතිත්වයකින් යුතුව ක්‍රියාත්මක වන අයෙක් බවට පත් වුණා. ඔහු ඔහුගේ දැක්ම වෙනස් කර ගත්තාද? ඔබ සිතන්නේ කුමක්ද?

අසීම් මල්හෝත්‍රා : මම බොරිස්ව සෘජු ලෙස හඳුනන්නේ නැහැ. එමෙන්ම ඔහු සිතන්නේ කුමක්ද යන්න ගැන මම දන්නේත් නැහැ. නමුත් මම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් සමග එක්ව කටයුතු කර තිබෙනවා. මාසයකට පමණ පෙර මම කොන්සර්වැටිව් පක්ෂ මන්ත්‍රි කණ්ඩායමක් සමග පැවැති හමුවකදී මම කොවිඩ්-19 එන්නත්වල අතුරු ආබාධ හා සම්බන්ධිත දත්ත ඉදිරිපත් කරා. එම දත්ත දැකීමෙන් ඔවුන් කම්පනයටත් මවිතයටත් පත් වුණා .ඔවුන් දැන් පිළිගන්නවා මෙම එන්නත්වල කිසියම් ප්‍රශ්නයක් ඇති බව. ඔවුන්ගෙන් එක් අයෙකු වන ඩැනී කෘෘගර් ( Danny Kruger) වඩාත් ඉදිරියට යමින් වෙස්ට්මිනිස්ටර් පාලිමේන්තුවේදී පැවැති විවාදයකදී ප්‍රකාශ කළා ඔහු තමන් පිළිබඳව ලජ්ජාවන බව තමන් මෙම හානිකර එන්නත් අනිවාර්ය කිරීමේ නීතිවලට සහාය දීම පිළිබඳව. ඔහු ඉතා විමර්ශනශීලි සහ තාර්කිකව සිතන පුද්ගලයෙක්. ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍ය අගමතිවරයාව සිටි කාලයේ ඔහුගේ කතා පිටපත් රචකයා ලෙස කටයුතු කළේ ඩැනී කෘෘගර්.
දැන් එන්නත් පිළිබඳ තොරතුරු වෙනස් වී තිබෙනවා. එම තොරතුරු අනුව එහි ප්‍රශ්නයක් තිබෙනවා.
ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස මම මෙසේ පැවසිය යුතුයි. මනුෂ්‍ය වර්ගයා තුළ පවතින යහපත් ගුණාංග පිළිබඳව මම විශ්වාස කරනවා ටකර්, මම හිතනවා බොහෝ මිනිසුන්ට නිවැරදි දෙය කිරීමට අවශ්‍යව තිබෙනවා කියා.

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ්-19 එන්නත්වල හානිකර අතුරු ආබාධ පිළිබඳව වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේදී 2022 දෙසැම්බර් මස 14 වැනි දින පැවැති විවාදයේදී කොන්සර්වැටිව් පක්ෂයේ මන්ත්‍රි ඩැනී කෘගර් විසින් හානිකර mRNA එන්නත්වලින් ජනතාව එන්නත් කරවීම වහාම අත්හිටුවිය යුතුයැයි යෝජනා කරමින් සිය කතාව පවත්වන අවස්ථාවේදී පාර්ලිමේන්තු ගෘහය තුල රැඳි සිටියේ මන්ත්‍රිවරුන් අතළොස්සක් පමණි. සමස්ත බ්‍රිතාන්‍යයේම බාල මහලු සියලු දෙනාගේම ජීවිත පිළිබඳ තීරණාත්මක සංවාදයක් පැවැත්වෙන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු තුළ තත්ත්වය මෙබඳු විය. මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ උපත ලෙස සමහරුන් විසින් සළකන බ්‍රිතාන්‍යයේ තත්ත්වයයි. අඩු තරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ නමට හෝ මෙවැනි සංවාදයක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ මිනිසුන් එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් හෘදයාබාධ වැළැඳී මරණයට පත්වන නමුත් අඩු තරමින් ඒ ගැන පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කළ යුතු යැයි සිතන එකෙකු හෝ ලංකාවේ ඊනියා මහජන නියෝජිතයන් අතර නැත.

ටකර් කාල්සන් : මා එකඟයි

අසීම් මල්හෝත්‍රා : මිනිසුන්ට සත්‍යය දැනගැනීමට අවශ්‍යයි. ඔවුන් අසාධාරණයට වෛර කරනවා. මෙම වසංගත කාලය තුළ අපි දැකපු දෙයක් තමයි, මිනිසුන්ට සත්‍ය දැනගැනීමේ අවස්ථාවන් අවහිර කර තිබීම. එනිසා ඔවුන්ට අයුක්තිය සහ අසාධාරණය ගැන දැනගැනීමට විදිහක් තිබුණේ නැහැ. ඔවුන් එය දැනගත් විට ඔවුන් මේ ක්‍රමය වඩාත් යහපත් ආකාරයට වෙනස් කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

එනිසයි, මෙම වේදිකාව හරහා මම විශාල ජනතාවකට මෙම පණිවිඩය ලබාදීමට උත්සාහ කරන්නේ. මම දන්නවා ඔබට දැවැන්ත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටිනවා. මට අවශ්‍යයි සෑම ඇමෙරිකන් පුරවැසියෙක්ම මොහොතකට නතර වී සිදුවන දෙය කුමක්දැයි සිතා බැලීමට. ඔවුන් ඇත්තටම සිතනවාද ආණ්ඩු විසින් ඔවුන්ගේ ජනතාවන් සඳහා හොඳම දේ සිදු කරමින් සිටින බව? මක් නිසාද ආණ්ඩු විසින් එහෙම නොකරන බව ඉතා පැහැදිලි නිසා.

ටකර් කාල්සන් : එය අවාසනාවන්ත තත්ත්වයක් වුණත් ඇත්ත එයයි. නමුත් බ්‍රිතානයේ තත්ත්වය වෙනස් කියලා මම විශ්වාස කරනවා. නමුත් ඇමෙරිකාව තුළ එය ආරම්භයේ සිටම පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් අතර ප්‍රශ්නයක් බවට පත් කරනු ලැබුවා. එක පක්ෂයක් හෝ කණ්ඩායමක් එක් පැත්තක, තවත් කණ්ඩායමක් හෝ පක්ෂයක් විරුද්ධ ස්ථාවරයක. එවැනි දේ සිදුවන විට එක්සත් ජනපදය තුළ සංවාදයක් පැවැත්වීම අපහසු දෙයක් බවට පත්වෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ මෙය අනිවාර්යයෙන්ම දේශපාලනික දෙයක් කියලා. මෙය දේශපාලනිකකරණයට ලක්වූයේ කුමන හේතුවක් මතදැයි මට තවමත් වටහාගත නොහැකියි. ඒ පිළිබඳව ඔබට යම් අදහසක් තිබේ ද?

අසීම් මල්හෝත්‍රා : එය තරමක් අමුතුයි. මම එක්සත් ජනපදයට නිතර පැමිණෙනවා. මට ඇමෙරිකාව පුරාම මිතුරන් සිටිනවා. මට කැලිපෝනියාවේත්, ඉන්ඩියානාවලත් ඥාතින් සිටිනවා, ඔවුන් වෛද්‍යවරුන්. මම මගේ පත්‍රිකාව පළ කිරීමට පෙර මම යම් යම් අය සමග එන්නත්වල යම් ප්‍රශ්නයක් ඇති බවට ප්‍රකාශ කළ විට ඔවුන් පැවසුවේ කුමක්ද, “ අසීම් ඔබ එය නොපැවසිය යුතුයි. එසේ කළ හොත් ඔවුන් ඔබ දක්ෂිණාංශිකයෙක් නැතහොත් රිපබ්ලිකන්වාදියෙකු ලෙස හංවඩු ගසයි. එහෙමත් නැත්නම් ට්‍රම්ප්ගේ ආධාරකරුවෙකු ලෙස ලෙස නම් කරයි. ” යනුවෙන් ඔවුන් පැවසුවා.

ටකර් කාල්සන් : එන්නත අපිට දුන්නේ ට්‍රම්ප්

අසීම් මල්හෝත්‍රා : මම අදහස් කරන්නේ එහි කිසි තේරුමක් නැති බව. මම ඔවුන්ට පැවසුවා “ වෛද්‍ය විද්‍යාත්මක සංවාදයක් දේශපාලනීකරණයට ලක්කිරීම බුද්ධිමය බංකොළොත්කම භාවිතයේ යෙදවීමක් ” බව.

ටකර් කාල්සන් : එම ප්‍රකාශය ඉතාමත් අගය කරනවා. මම එයට උපරිම වශයෙන් එකඟයි. නමුත් වාර්තාකරණය සඳහා මම මෙය පැවසිය යුතුයි. ඔබ ට්‍රම්ප් ගැන සිතන්නේ කුමක් වුවත්, ඔහු තවමත් එන්නත වෙනුවෙන් පෙනී සිටින අයෙක්. මෙතන සිදුවන්නේ කුමක්දැයි මම දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ එය අනිවාර්යයෙන්ම දේශපාලනික දෙයක් කියා.මෙම ප්‍රශ්නය දේශපාලනිකකරණයට ලක් කළේ වෙනත් න්‍යාය පත්‍රයන් සහ සැලසුම් ඉෂ්ට කරගැනීම සඳහා යැයි මට සිතී තිබෙනවා. නමුත් ඒවා කුමක් දැයි මට හරියටම සිතා ගත නොහැකියි.

අසීම් මල්හෝත්‍රා : මම අවංකවම විශ්වාස කරනවා අදාළ දත්ත මෙම පුද්ගලයන් වෙත ඉදිරිපත් කළහොත්, සිදුවුණ දෙය දැකීමට ඔවුන්ට අවස්ථාවක් ලැබුණහොත්, මම හිතනවා ප්‍රශ්නයේ මූලික හේතු අවබෝධ කරගැනීමට ඔවුන් සමත් වෙයි කියලා. ඒ වාගේම ඔවුන්ව රවටා ඇති ආකාරය ඔවුන් වටහා ගතහොත් ඒ බව ඔවුන්ගේ මනසින් ඉවත් කිරීමට සමත් වෙතැයි මම හිතන්නේ නැහැ.
මම හිතනවා මම දන්න තොරතුරු ජනාධිපති ට්‍රම්ප් දන්නවානම් ඔහු එළියට ඇවිත් මෙසේ කියයි. “ ඒ වෙලාවේ නිවැරදියැයි කියලා අපි සිතපු දේ අපි කළා. දැන් තොරතුරු වෙනස් වෙලා තියෙනවා.ඒ නිසා මෙය (එන්නත්කරණය) වහාම නැවැත්විය යුතුයි. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙම වෛද්‍ය ආයතන සහ ආණ්ඩු ජනතාවට එරෙහිව නොව ජනතාව සඳහා වැඩ කරන ලෙස ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතුයි.”

ටකර් කාල්සන් : එක්සත් ජනපදය තුළ මේ සම්බන්ධව දිගටම කටයුතු කරපු පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් කෙරෙහි සමාජයේ විශාල ගෞරවයක් තියෙනවා. ඔබ විසින් අද සාක්ෂි සහිතව ඔප්පු කර ඇති දෙය ඔවුන් ඉතා තාර්කිකව සහ සවිස්තරාත්මකව ආරම්භයේදීම හෙළිදරවු කළා. ඔවුන්ගෙන් එක් අයෙකු නම් වෛද්‍ය පීටර් මැක්කුලෝෆ් (Peter McCullough), අනෙක් පුද්ගලයා බොබී කෙනඩි (Robert Francis Kennedy junior). මැක්කුලෝෆ්ගේ දේශපාලන අදහස් ගැන මම දන්නේ නැහැ. නමුත් කෙනෙඩි ඩිමොක්‍රටික් පාක්ෂිකයෙක්. ඔවුන් විසින් කළ මේ හෙළිදරවු කිරීම් හේතුවෙන් ඔවුන්ගේ ජීවිත සමාජීය, ආර්ථික සහ දේශපාලනික වශයෙන් විනාශ කරනු ලැබුවා. ඔවුන් ඒ ගෙවනු ලැබුවේ යුක්තිය වෙනුවෙන් සටන් කිරීම සඳහා වන මිලයි. අවුරුදු දෙකකට කලින් හිතාගන්නත් බැරි දෙයක්, ඔවුන්ට සිදු වූ දෙය සිත් කම්පා කරවන සුළුයි. ඔබ විසින් මේ හෙළිදරවු කිරීම් සිදු කරන විට ඔබට බ්‍රිතාන්‍ය තුළ මුහුණපෑමට සිදු වූ තත්ත්වයන් මොනවාද?

අසීම් මල්හෝත්‍රා : එය උනන්දුව ඇතිකරවන සුළුයි. ලන්ඩනයේ විවිධ ශික්ෂණ රෝහල්වල හෘදය රෝග විශේෂඥයන් රැසක් මා ඉදිරිපත් කළ තොරතුරු සහ දත්ත පිළිගෙන ඒ අනුව කටයුතු කරනවා. ඔවුහු මා කළ දෙය පිළිබඳව මට ප්‍රශංසා කළා.
තවත් හෘදයරෝග දේපාර්තුමේන්තු දෙකක කාර්ය මණ්ඩල විසින් නැවත වතාවක් වැඩිදුර බූස්ටර් හෝ එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බවට මට දැනගැනීමට ලැබුණා. ඔවුන් මා පවසන්නේ කුමක්දැයි ඉක්මණින්ම වටහාගත්තා. මේ සියලු දෙනාම මට රහසින් සුබ පැතුවා, මාව දිරිමත් කළා. නමුත් මේ ගැන එළියට ඇවිත් ප්‍රසිද්ධියේ කතා කිරීමට ඔවුන් බිය වුණා. මෙයින් පැවැති තත්ත්වය පිළිබඳ මගේ අවබෝධය තහවුරුකරගැනීමට හැකිවුණා. එය පහසු දෙයක් වුනේ නැහැ ටකර්. අපි එය මෙසේ වටහාගැනීමට උත්සාහ දරමු. ඔබ විසින් කීප වරක් සම්මුඛ සාකච්ඡා සඳහා ආරාධනා කර ඇති ජෝර්දාන් පීටර්සන්ගේ බොහෝ කෘතින් මම කියවා තියෙනවා.
මේ වාගේ දේවල් මම මගේ වෘත්තීය ජීවිතය පුරාම සිදු කර තිබෙනවා. එය මා වෙනුවෙන් සිදු කරන දෙයක්. එය විද්‍යාත්මක අව්‍යාජත්වය සහ පරිපූර්ණත්වය වෙනුවෙන් නිවැරදි දෙය කිරීමට ඉදිරිපත් වීමක් සහ මගේ රෝගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛ තැන දීමක්. නමුත් සත්‍යය හෙළිදරවු කිරීමට බිය නොවීමත් මෙයට සම්බන්ධ දෙයක්. නමුත් ඔබ සත්‍ය හෙළිදරවු කළ පසුව එම ක්‍රියාමාර්ගයේ ප්‍රතිවිපාකවලට ඔබ මුහුණ දිය යුතුයි. ඇතැම් විට ඔබට කෙටිකාලීනව විශාල ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය හැකියි. බොහෝ දෙනෙකුන් බිය වී සිටිනවා. මෙම බොරුව සහ අනතුර නැමැති අලියා එන්න එන්නම විශාල වෙනවා ඔබ සත්‍යය හෙලිදරවු කර බොරුව විනාශ නොකළ හොත්. මම දැන සිටියා මට දරුණු ප්‍රතිප්‍රහාරයකට මුහුණ දීමට සිදුවෙන බව. මහජන සෞඛ්‍ය පිළිබඳව ඔබ විසින් පළ කරනු ලබන උපදේශාත්මක අදහස් ඖෂධ සමාගම්වල ලාභ ඉපැයීමේ අවශ්‍යතාවන්ට හෝ කිසියම් බංකොලොත් මතවාදි කල්ලියකට තර්ජනයක් වුවහොත් ඔවුන් වෙතින් ඔබට එරෙහිව ප්‍රහාර එල්ලවෙනවා. බොහෝ විට ඒවා අඛණ්ඩ සහ විෂකුරු ප්‍රහාර.

මම එයට මුහුණ දුන්නා. සීනි විසින් සිදු කරන හානිය පිළිබඳ බ්‍රිතාන්‍ය තුළ පළමුවෙන් මතුකළ පුද්ගලයන් අතරින් එක් අයෙක් මම. වරෙක ඔවුන් මාව ක්වාක් වරයෙකු( quack) ලෙස හැඳින්වූ බව මට මතකයි. තිරයෙන් පිටුපසදී මේ සියලු දෙයට මම මුහුණ දී තියෙනවා.

ටකර් කාල්සන් : ඔවුන් ඔබව ක්වාක්වරයෙකු ලෙස හැඳින්වූවා?

අසීම් මල්හෝත්‍රා :ඔවුන් මම ස්ටේටින් ඖෂධය අධිමාත්‍රාවලින් නිර්දේශ කිරීම ගැන මා විසින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයට ඉදිරිපත් කරන ලද මගේ පර්යේෂණ පත්‍රිකාව ඉල්ලා අස්කරගන්නා ලෙස තර්ජනය කළා. මම මේ සියල්ල හරහා ගමන් කර තියෙනවා. ඔබ මේ නින්දා අපහාස, හිරිහැර, තර්ජනය කිරීම් වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගත යුතුයි. මට අපහාස කරනු ලැබූ අතර ඔබට අන්තර්ජාලය පුරා දැනටත් මේ සියල්ල දැකිය හැකියි. නමුත් මම උත්සාහ කලේ නිවැරදි දෙය කිරීම සඳහා පමණයි. නමුත් එය පහසු දෙයක් නොවුනත් කවුරුන් විසින් හෝ එය කළ යුතුව තිබෙනවා.

ටකර් කාල්සන් : “ ඔබ සත්‍ය හෙළිදරවු කරන විට එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සුදානම් විය යුතුය”. අපි අපගේ සාකච්ඡාව එම පාඨයත් සමග අවසන් කරමු. ඔබගේ පියා පිළිබඳ මේ කරුණ මට මෙයට තිරය මතට ගෙන ඒමට අවශ්‍ය වුණා. නමුත් අපි දැන් එය කරමු.

සමුගනිමි තාත්තේ. ඔබගේ අනපේක්ෂිත හදිසි මරණය නිරර්ථක එකක් නොවන බවට මා විසින් වග බලාගන්නා බවටත් කිසි දිනෙක මහජනයා උදෙසා යෙදවීමට අනුමත නොකළ යුතුව තිබුණා වූ mRNA එන්නත්වලින් ඔවුන්ගේ දැනුවත් කැමැත්තකින් තොරව ඔවුන්ට එන්නත්කරවා අනවශ්‍ය ලෙස දුක් පීඩාවන්ට පත්කරන ලද සියලු දෙනා උදෙසා යුක්තිය ඉටු කිරීමට මම කැපවන බවට මම ඔබ වෙත මුළු හදින්ම ප්‍රතිඥා දෙමි

එහි ඔබගේ පියාගේ අවමගුලේ ඉතා ශෝකජනක ඡායාරූප දැක්වෙනවා. ඔබ මේ කාර්යයේ නිරතවන විට ඔබ ඔබගේ පියා නිතර සිහිපත් කරනවාද?

අසීම් මල්හෝත්‍රා : සෑම විටෙකම, මම මගේ තාත්තාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ඔහු ඉතාම සදාචාර සම්පන්න පුද්ගලයෙක්. ඔහු ඉතා කාරුණික මනුෂ්‍යයෙක්. මගේ අම්මාත් එහෙමයි. අපි සියලු දෙනාම හැඩ ගස්වන්නේ අපගේ දෙමාපියන් විසින් . ඔවුන්ගේ ඔවුන් දෙදෙනාගේම මරණයන් අනපේක්ෂිත ලෙස සිදුවුණත් එවැනි දෙමව්පියන් ලැබීමට තරම් මම වාසනාවන්තයි කියලා මම හිතනවා. මම ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. කුඩා කාලයේ සිටම අප අයත් ප්‍රජාවට සේවය කළ යුතුය යන හැඟීමත්, එය දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යයත් මට ලබාදුන්නේ ඔවුන්. ඒ නිසායි අපගෙන් බොහෝ දෙනෙකු වෛද්‍ය සේවයට ඇතුළුවුණේ. මක් නිසාදයත් අපට රෝගීන්ට උදවුකිරීමට සහ ඔවුන්ගේ වේදනාවන්ගෙන් ඔවුන්ට සහනයක් දීමට අවශ්‍ය වූ නිසා. මගේ දෙමව්පියන් මට ඒ සඳහා ශක්තිය ලබාදුන්නා. මට තාත්තා නැති පාළුව දැනෙනවා. නමුත් මම ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. මම සෑම විටෙකම ඔහුගේ අරමුණ පෙරටගෙන යාමට කටයුතු කරනවා.

ටකර් කාල්සන් : ආමේන්, මම අගය කරනවා මෙපමණ වෙලාවක් අප සමග ගත කිරීම ගැන. ඔබට ස්තූයි ඩොක්ටර්

අසීම් මල්හෝත්‍රා : ඔබට ස්තූතියි ටකර්, මට මෙම අවස්ථාව ලබාදීම මම අගය කරනවා

 

සැකසුම සහ පරිවර්තනය – අජිත් සී හේරත්

 

සටහන්

The healthy user bias නිරෝගිත්ව පරිශිලක පක්ෂග්‍රාහිත්වය

The healthy user bias නිරෝගිත්ව පරිශිලක පක්ෂග්‍රාහිත්වය ලෙස හෝ නිරෝගි සේවක පක්ෂග්‍රාහිවය යනුවෙන් හැඳින්වෙන්නේ වසංගත රෝගයක් සඳහා යම් නව ඖෂධයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක කාර්යක්ෂමතාව, සුරක්ෂිතතාව ඇගයීමට ලක් කෙරෙන සායනික අත්හදාබැලීමක ප්‍රතිඵල වල නිරවද්‍යතාවයට බලපාන පරීක්ෂණ දෝෂයක් නැතහොත් පක්ෂග්‍රාහිත්වයකි. බොහෝ පර්යේෂණවලදී මෙවැනි පර්යේෂණ දෝෂ විසින් ප්‍රතිඵලවලට හානි සිදු කිරීම වැළැක්වීමට යම් යම් ක්‍රියාමාර්ග ගනු ලබයි. පර්යේෂණයේ නිදර්ශක ලෙස ගනු ලබන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රතිඵල විශ්ලේෂණයේදී සැලකිල්ලට ගැනීම, ඒ පිළිබඳ දළ දත්ත නිසි පරිදි වාර්තා කිරීම, පර්යේෂණයට සහභාගිවන පුද්ගලයන් සංඛ්‍යාව පුළුල් කිරීම, වැනි ක්‍රියාමාර්ග ඒ අතර වේ.

මෙය නිදර්ශක හෝ සාම්පල ලෙස සායනික අත්හදාබැලීමට සහභාගිවන පුද්ගලයන් තෝරාගැනීමේදී සිදු කරනු ලබන්නකි. ඔවුහු සාමාන්‍ය ජනගහණයේ නියෝජනය නොකරයි. සායනික පරීක්ෂණයකට ස්වේච්ඡාවෙන් සහභාගි නොවන පුද්ගලයන්ට වඩා ස්වේච්ඡාවෙන් සහභාගි වන පුද්ගලයන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් ලෙස සාමාන්‍ය වශයෙන් සැලකේ. එනම් සාමාන්‍ය ජනගහණයේ සාමාන්‍යයට වඩා මෙම පුද්ගලයන් සෞඛ්‍ය සම්පන්න අය වෙති. ස්වේච්ඡාවෙන් සහභාගිවීමට ඉදිරිපත් නොවන පුදගලයන්ට ඒ සඳහා බලපානු ලබන හේතුවන්නේ තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ දක්වන සැලකිල්ල සහ කිසියම් වෙනත් රෝගයක් සඳහා දී ඇති වෛද්‍ය උපදෙස් හෝ ප්‍රතිකාර පිළිපැදීම නිසාය. මේ නිසා පර්යේෂණයට සහභාගිවන පිරිස සාමාන්‍ය ජනගහනයේ හරස්කඩක් හෝ නියෝජනයක් ලෙස බොහෝ විට නොසලකනු ලබයි. මෙවැනි තත්ත්වයකදී පර්යේෂණයේ ප්‍රතිඵල සඳහා බලපාන්නේ පුද්ගලයාගේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ ගුණාංගද නැතහොත් අත්හදා බලනු ලබන ප්‍රතිකාරය හෝ ඖෂධයදැයි යන්න පැහැදිලිව නිගමනය කළ නොහැකිය.

අධ්‍යයනය සඳහා යොදාගනු ලබන ප්‍රතිකාරය හෝ ඖෂධය පිළිබඳ සායනික අත්හදා බැලීමට සහභාගි කරවාගනු ලබන නිදර්ශක පුද්ගලයන් (සාම්පල) පුද්ගලයන්ගේ ස්වභාවය අනුව එම නිදර්ශක හෝ සාම්පල පක්ෂපාති ඒවා වියහැකිය.
වීලන් ඔහුගේ කෘතියේදී මෙසේ පවසයි.
අප දත්ත රැස් කිරීමේ අරමුණින් පර්යේෂණයක් තුළ කුමන ක්‍රියාකාරකමක හෝ පුරුද්දක නිරත වීමට තෝරා ගන්නා පුද්ගලයින් එම “ප්‍රතිකාර” වල නිරත නොවන පුද්ගලයින්ගෙන් සැලකිය යුතු ආකාරවලින් වෙනස් විය හැකි බවත් එම නිසා,
පර්යේෂණයේ ප්‍රතිඵලයට බලපා ඇත්තේ ඇත්ත වශයෙන්ම ප්‍රතිකාරයද නැතහොත් සාම්පල ලෙස තෝරාගත් පුද්ගලයන් අතර වෙනස්කම්දැයි තෝරාගැනීම අභියෝගයක් බව චාර්ල්ස් වීලන් Charles Wheelan ඔහුගේ Naked Statistics කෘතියේදී පෙන්වා දී තිබේ.

උදාහරණයක් ලෙස ජ්‍යෙෂ්ඨ හෙවත් වයස්ගත පුරවැසියන් තුළ පිහිනීම සහ සෞඛ්‍යය අතර සම්බන්ධය අධ්‍යයනය කිරීමට පර්යේෂණයක් සිදු කරන විට මතුවන තත්ත්වයන් සළකා බලමු. මෙම පිහිනීම නම් ක්‍රියාකාරකමට සහභාගි නොවන පිහිනුම් තටාකයෙන් පිටත සිටින ඔවුන්ගේ සාමාන්‍ය සම වයසේ මිතුරන්ට වඩා පිහිනන ජ්‍යෙෂ්ඨයන් වෙනස් විය හැකි බව අප දැන සිටිය යුතුය. පිහිනීමට කාලය ගත කරන ජ්‍යෙෂ්ඨයන් ඔවුන්ගේ ආහාර වේල වැනි ඔවුන්ගේ ජීවිතයේ වෙනත් පැතිවලදී ඔවුන්ගේ සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් විය හැකිය. මීට අමතරව, මහලු වියේදී පිහිනීමට හැකි අය ඔවුන්ගේ සම වයසේ මිතුරන්ට වඩා හොඳ ශාරීරික තත්වයක සිටින අතර, එම නිසා ඔවුන් වෙනත් ක්‍රිඩා සඳහා ද අඛණ්ඩව සහභාගී වේ. මේ නිසා මෙම පරීක්ෂණය තුළින් නිරවද්‍ය ප්‍රතිඵල ලබාගැනීමට නම් සම වයස, සමාන සමාජ පරිසරය, සමාන ආහාර පුරුදු , වෙනත් ක්‍රීඩාවන්හි නිරතවීමේදී දක්වන සමානතා, ආදි සාධක පර්යේෂණයට යොදාගනු ලබන කණ්ඩායම් දෙකේම නිදර්ශක පුද්ගලයන් සඳහා සමාන ලෙස පැවැතීමට වගබලාගතයුතුය.

යම් සායනික අත්හදා බැලීමකට සහභාගි වීමේදී සෞඛ්‍ය සම්පන්න බව සහ ක්‍රියාකාරි බව පූර්ව කොන්දේසියක් ලෙස සැලකේ. එය විශේෂිත කම්කරු කණ්ඩායම් අධ්‍යයනය කිරීම වැනි වෙනත් තත්වයන් තුළ දිස්විය හැකිය.

නිදසුනක් වශයෙන්, අසනීප තත්ත්වයෙන් සිටින කෙනෙකුට කායිකව වෙහෙසවීමට සිදුවන කම්කරුවෙකු ලෙස රැකියාවක් කිරීමට අපහසුය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කායික ශ්‍රමිකයින් පිළිබඳ අධ්‍යයනයන් යනු දැනට කායික ශ්‍රමයේ නියැලීමට තරම් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් පිළිබඳ අධ්‍යයනයන් වන අතර, එය යමෙකු කායික ශ්‍රමය යෙදවීමට තරම් සෞඛ්‍ය සම්පන්න වේ නම් එම රැකියාවේ නිරතවනු ලැබීමට ඉඩ ඇති පුද්ගලයන් පිළිබඳ අධ්‍යයනයක්ලෙස සැලකිය නොහැකිය.

ඇතැම් අවස්ථාවලදී The healthy user bias නිරෝගිත්ව පරිශිලක පක්ෂග්‍රාහිත්වය ඖෂධ සමාගම් විසින් තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබාගැනීම සඳහා සායනික පර්යේෂණවලදී දැනුවත්ව වංචනික ලෙස යොදාගනී. මෙහිදී මෙම අත්හදා බැලීමේ ප්‍රතිඵල විද්‍යාත්මක වශයෙන් වලංගු නොවෙන අතර ඒ මත පදනම් ව එම ඖෂධය රෝගීන්ට ප්‍රතිකාර සඳහා යොදාගැනීමේ අවශ්‍ය ගුණය ලබාගැනීමට නොහැකි වනවා පමණක් නොව රෝගියා හානිකර අතුරු ආබාධයන්ට ද ගොදුරු විය හැකිය.

Defensive medicine ආරක්ෂණවාදි වෛද්‍ය විද්‍යාව

මෙහිදී සිදුවන්නේ යම් රෝගියෙකුට යම් නිශ්චිත ප්‍රතිකාරයක් කිරීමට පෙර එම ප්‍රතිකාරයේ දී මතුවිය හැකි හානිකර ප්‍රතිඵල සම්බන්ධ වගකීම්වලින් වෛද්‍යවරයාත් එම ප්‍රතිකාරයට සම්බන්ධ කාර්ය මාණ්ඩලය සහ සෞඛ්‍ය ආයතනයත් රක්ෂණ ආයතනත් නිදහස් කරමින් රෝගියා විසින් ගිවිසුමකට අත්සන් තැබීමය. මේ මගින් හිතමතා හෝ නොසැළකිලිමත්කම නිසා යම් ප්‍රතිකාරයකදි තමන්ට සිදුවන හානියක් සම්බන්ධව අධිකරණය වෙත ගොස් නඩු පවරා වන්දි ඉල්ලීමට හෝ අදාළ පාර්ශ්වයට දඬුවම් ලබාදීමට ඇති අවස්ථාව රෝගියාට අහිමි කෙරේ.
එක්සත් ජනපදය තුළ වෛද්‍යවරුන්ට එරෙහිව පනවන නඩු මෑතකාලයේදී විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අධික වශයෙන් ඖෂධ නිර්දේශ කිරීම වැරැදි ඖෂධ නිකුත් කිරීම, ඖෂධවල හානි පිළිබඳ දැනුවත් නොකිරීම වැනි කරුණු හේතුවෙනි මේ හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් අධික අවදානමක සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන අතර ඔවුහු ප්‍රතිකාර ලබා දීමට එකඟවන්නේ ප්‍රතිකාරය මගින් කිසියම් හානියක් ඇති වුවහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට නොයනබවට ගිවිසුමකට රෝගියා විසින් අත්සන් තැබීමෙන් පසුව පමණකි.

Quackery ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම

ක්වාකරි සාමන්‍ය ව්‍යවහාරය අනුව හොර වෙදකම ලෙසසැලකේ. නොසැලකිලිමත් සහ අවිද්‍යාත්මක රෝග විනිශ්චයන් ම පදනම්ව වැරැදි ප්‍රතිකාර ලබා දෙමින් රෝගියාගෙන් මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ ලැබීමේ උපක්‍රමයකි. හොර වෙදෙකු ලෙස හැඳින්වෙන්නේ “වෛද්‍ය නිපුණතා සඳහා වංචනික හෝ නූගත් මවාපෑමක්” හෝ “වෘත්තීය වශයෙන් හෝ ප්‍රසිද්ධ වෙළඳපොල වැනි ජනාකීර්ණ ස්ථානවලදී තමන් සතුව නැති කුසලතා, දැනුම, සුදුසුකම් හෝ වෛද්‍ය බලපත්‍ර ඇති බවට මවාපෑමේ යෙදෙන පුද්ගලයෙකි; පොදු ජනාකීර්ණ ස්ථානවල තුවාල තෙල්, දත් සහ හිස කැක්කුම සඳහා ආදි ස්වයං නිෂ්පාදිත ඖෂධ විකිණීමෙන් ජිවිකාව සපයා ගන්නා ලද පුද්ගලයන් ගොඩවෙදුන්, හොරවෙදුන් හෝ ක්වාක් වෙදුන් ලෙස හැඳින්වේ. යුරෝපයේ සහ වෙනත් බොහෝ රටවල මධ්‍යතන යුගයටද පෙර සිට මෙවැනි ක්වාක් වෛද්‍යවරුන් සිටි අතර ඔවුහු එම යුගයේදී ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස සැලකුණේ නැත. ඒ වෙනුවට ඔවුන් සැලකුණේ දුප්පතාගේ වෛද්‍යවරයා ලෙසය. බටහිර වෛද්‍ය විද්‍යාව වඩවඩාත් ආයතනගත වී සංවිධිත දැනුම් පද්ධතියක් බවට පත්වන විට එයින් පිටස්තරව සිටි වෛද්‍යවරුන් ක්වාක්වරුන් ලෙස සැලකිණි. අද මෙම වචනය ඖෂධ සමාගම්වල අධිපතිවාදි ආඛ්‍යානයට යටත් වූ බටහිර වෛද්‍ය ආයතනවල ආඛ්‍යානයට එරෙහිව නැගී සිටින වෛද්‍යවරුන් අවඥාවට පත් කිරීම සඳහා ඖෂධ සමාගම්වල ප්‍රචාරක කටයුතුවලදී යොදා ගැනේ.