උතුරු කොරියානුවෝද මනුෂ්‍යයෝය.

උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය. ඊලඟට එහි ඉවුර මත වාඩි වී එකිනෙකා ට තුරුළු වී මුදු ආලිංගනයක සිටි යුවළයි. හිමිදිරියේ නැවුම් සුළඟ විඳිමින් ඇවිදිද්දී මම ඔවුන්ව දිනපතා දුටුවෙමි. දැනටමත් මැකී ගිය ශෝකී සහ මුදු ස්මරණයන් මෙන්ම සිදුවිය යුතුව තිබූ නමුත් සහ කිසි දිනෙක සත්තකින් ම සිදු නොවූ සෙසු සියලු දේ අතර සැරි සරන ඔවුහුද මගේ මනසේ නිර්මිතයක්ද නැතහොත් යථාර්ථයක් දැයි මම තවදුරටත් ඉඳුරා ම නොදනිමි.

අතුරු කොරියාව දෙසට ඇදෙන එක්සත් ජනපද යුද නෞකාවන්

වචනවලට ඒවාට මීට පෙර ආවේණිකව හිමිව තිබූ බලය තවමත් පවතීදැයි මම ඇතැම් විට මවිතවෙමි. අතීතයේ දී මිහිරි කවියක්, පාපෝච්චාරණයක් හෝ ආදරය පළකිරීමක් තුළ යමෙකුගේ සමස්ත ජීවිතයම වෙනස් කිරීමේ හැකියාව තිබු අතර ඇතැම් විට සමස්ත ජාතියක ඉරණම වුව ද වෙනස්කළ හැකිව තිබිණි. එහෙත් මෙය මේ වකවානුවේ තවදුරටත් යථාර්ථයක් ද? ලේඛකයෙකු ලෙස මම බොහෝ විට අපේක්ෂා විරහිතභාවය සහ නිෂ්ඵලත්වය පිළිබඳ හැඟීම්වලින් පීඩා විඳිමි. එසේ වුව ද ජාත්‍යන්තරවාදියෙකු ලෙස මම තවමත් සර්ව අශුභවාදයට යටත්වීම ප්‍රතික්ෂේප කරමි. මම වචන මගේ ආයුධ ලෙස භාවිතා කිරීමට නැවත නැවතත් උත්සාහ කරමින් සිටිමි.

මම උතුරු කොරියාව පිළිබඳ දැනටමත් බොහෝ දෑ පවසා ඇත්තෙමි. මම සේයාරූ පෙන්වා ඇත්තෙමි. මෙම දේශයට සිය පැවැත්ම වෙනුවෙන් දරාගැනීමට සිදු වූ සිතීමට පවා නොහැකි වේදනාවන් ගැන මම කතාකර ඇත්තෙමි. විනාශ කරමින් පවතින අප්‍රිකානු මහාද්වීපයද ඇතුළත්ව ලෝකයේ බොහෝ රටවල ජනයාහට විමුක්තිය ලබාදීමටත් ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමටත් මේ රට පෙන්වා ඇති අසාමාන්‍ය සූදානම ගැන මම නැවත නැවතත් කතාකර ඇත්තෙමි.

එහෙත් උතුරු කොරියානු ජනතාවට එරෙහි ප්‍රචාරක ව්‍යාපෘතිය තවමත් විජයග්‍රාහීය.

ඉතින් මට උත්සාහ කිරීමට ඉඩ දෙන්න. නැවත නැවතත් උත්සාහ කිරීමට ඉඩ දෙන්න.

උතුරු කොරියාව වූකලී මිනිස් ජීවින් ගෙන් සමන්විත සුන්දර රටකි. ඔවුන්ගේ නහරවල ද උණුසුම් සහ රත්පැහැ රුධිරය සංසරණය වෙයි. ඔබට සෘජුව හෝ වක්‍රව පවසා ඇති දේවල් කුමක් වුව ද මෙම මිනිසුන්ට ද ශෝකය සහ වේදනාවන් දැනෙයි. ඔවුහුද සන්තුෂ්ටිය වින්දනය කරති. ඔවුහුද නිරතුරුව සිහින දකිති. ආදරයෙන් බැඳෙති. අවමානයට ලක්කරනු ලැබූ විට, පාවා දෙනු ලැබූ විට සහ අත්හැර දමනු ලැබූ විට ඔවුහුද දුකට පත්වේ. ඔවුහු ද සිනහසීමේහිලා සහ හැඬීමේ සමත්ය. ඔවුහු ද අතිනත දෙති. ඔවුහු ද කෝපයට පත් වෙති, ඇතැම්විට අසීමාන්තික ලෙස. ඔවුන් තුළ ද වඩාත් යහපත් ජීවිතයක් පිළිබඳ ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවන් තිබේ. සිය අනාගතය ගොඩනගා ගනුවස් ඔවුහු ද මහන්සි වී වැඩකරති.

වචනවලට ඒවාට මීට පෙර ආවේණිකව හිමිව තිබූ බලය තවමත් පවතීදැයි මම ඇතැම් විට මවිතවෙමි. අතීතයේ දී මිහිරි කවියක්, පාපෝච්චාරණයක් හෝ ආදරය පළකිරීමක් තුළ යමෙකුගේ සමස්ත ජීවිතයම වෙනස් කිරීමේ හැකියාව තිබු අතර ඇතැම් විට සමස්ත ජාතියක ඉරණම වුව ද වෙනස්කළ හැකිව තිබිණි. එහෙත් මෙය මේ වකවානුවේ තවදුරටත් යථාර්ථයක් ද? ලේඛකයෙකු ලෙස මම බොහෝ විට අපේක්ෂා විරහිතභාවය සහ නිෂ්ඵලත්වය පිළිබඳ හැඟීම්වලින් පීඩා විඳිමි. එසේ වුව ද ජාත්‍යන්තරවාදියෙකු ලෙස මම තවමත් සර්ව අශුභවාදයට යටත්වීම ප්‍රතික්ෂේප කරමි. මම වචන මගේ ආයුධ ලෙස භාවිතා කිරීමට නැවත නැවතත් උත්සාහ කරමින් සිටිමි

ඉතින් හොඳින් ඇහුම්කන් දෙව! ඊනියා “නිදහස් ලෝකයේ“ කළමණාකරුවා , සුපරීක්ෂකයා හෝ අන්කවරෙකු ලෙසින් තමන් විසින්ම අභි‍ෂේකයට නංවාගෙන ඇති නුඹ , ඉතින් ඇහුම්කන් දෙව! එසේ නොමැති නම් මම නුඹට කෙලෙස ඇමැතිය යුතු ද? හොඳයි ..ජනාධිපති තුමනි, ඔබ ඔබගේ ටොමාහෝක් මිසයිල වලින් ඔවුන්ට, උතුරු කොරියානු ජනතාවට පහර දෙන විට (ඔබ මෑතකදී සිරියාවට පහරදුන්නාක් මෙන් ) , හෝ ඔබ ඔබගේ සාපරාධී “ මව් බෝම්බයෙන්“ ඔවුන්ට පහර දෙන විට ( දින කීපයකට පෙර ඔබ හුදෙක් ඔබගේ විනාශකාරී බලය ප්‍රදර්ශණය කරනු සඳහා ම , ඔබ වෙත“දෙවියන් විසින් පෙන්වා දෙන ලද“ ඇෆ්ඝනිස්තානයේ සතුරු කඳවුරකට පහර දුන්නාක් මෙන් ), උතුරු කොරියානුවන්ගේද සිරුරු කැබැළිතිව විසිරී යනු ඇත. ජනයා කිව නොහැකි තරම් වේදනාවන්ට ගොදුරුව මිය යනු ඇත. බිරින්ඳන් ශෝකයෙන් වැළපෙමින් ඔවුන්ගේ සැමියන් වළ දමනු ඇත. අත්තම්මලා සහ සීයලාහට ඔවුන්ගේ සිඟිති මුණුපුරු මිණිපිරියන්ගේ මළ සිරුරු කැබැළි සුදුපැහැ රෙදිවලින් ඔතමින් සිටිනු දක්නට හැකිවනු ඇත. සමස්ත ප්‍රදේශයක් ගම්මාන පිටින්ම සදහටම වැනසෙනු ඇත.

ඔව් ! සත්තකින්ම නුඹලා එය සෑම තැනෙකම සිදු කර ඇත. තවමත් සිදුකරයි. නුඹලා විශ්වයේ ස්වාමිවරුන් ලෙස නුඹලා සිතන්නාහුය. වේදනාවන් සහ විනාශය සෑම තැනෙකම පැතිරවීම නුඹලාට ඉතා හුරුපුරුදු සාමාන්‍ය කටයුත්තකි. එහෙත් මට තවත් එක්වතාවක් ඔබ හට මතක් කිරීමට ඉඩදෙන්න. එය විනෝදජනක කොම්පියුටර් ක්‍රීඩාවක් හෝ රූපවාහිනි වැඩසටහනක් ලෙසින් පෙනෙනු ඇත. එහෙත් එය එසේ නොවේ. එය සත්‍යවශයෙන්ම සිදුවෙනු ඇත. ඔබගේ බෝම්බ හෝ මිසයිල විසින් ඉලක්ක වෙත පහරදෙනවිට එය බියජනක යථාර්ථයකි. එවැනි විනාශයන් මම දැක ඇත්තෙමි. ඇති තරම් දැක ඇත්තෙමි.

ඔබට දැනටමත් පවසා ඇත්තේ මෙය නොවන බව මම දනිමි. එමෙන්ම ඔබ අනෙකුන්ට පවසන දෙය ද මේ නොවන බව මම දනිමි.
උතුරු කොරියානුවන් වූ කලී සීතීමේ හැකියාවක් නැති, මිනිස් හැඟීම් විරහිත හෝ පුද්ගලභාවයක් නැති , කිසිවක් දැකීමේ හෝ පරිකල්පනයේ අසමත්, ආදරය, අනුකම්පාව හෝ වේදනාව වැනි හැඟීම් දැනීමේ අසමත් රොබෝවරුන්ගෙන් සමන්විත ජාතියක් ලෙස පෙන්වනු ලබයි.
ඔබට සත්‍යය දැකීමේ උවමනාවක් නැත. ඔබට අවශ්‍යවනුයේ අනෙකුන්ද සත්‍යය වෙත අන්ධව සිටීමය.

ඔබ සමස්ත උතුරු කොරියානු මහජන සමූහාණ්ඩුවම විනාශ කළ ද ඔබ සත්තකින්ම කිසිවක් දැකීමට අසමත්වනු ඇත. ඔබගේම යුද නැව් සහ සබ්මැරීනවලින් විදිනු ලබන මිසයිල, ඔබගේ ගුවන්යානා හාරක යාත්‍රාවන් මතින් නැගෙන ප්‍රහාරක ගුවන් යානා මෙන් ම බලගතු පිපිරවීම් මවාපාන පරිගණක මගින් නිර්මිත සේයාරූ හැරෙන්නට ඔබ ඇත්තෙන්ම කිසිම දෙයක් නොදකිනු ඇත. එහි දුක්වේදනාවන් නැත. යථාර්ථයට සම්බන්ධයක් නැත. ඛේදවාචකයන් නැත. ඔබට කිසිවක් නොපෙනෙනු ඇත. ඒ කිසිවක් ඔබ වෙත හෝ ඔබගේ පුරවැසියන් වෙත ළඟා නොවනු ඇත.

සත්තකින්ම අන්ධයන් සහ බිහිරන් වන්නේ නුඹලාය. උතුරු කොරියානුවන් නොවේ.
ඔබ සැබැවින්ම එයට කැමැතිය. එසේ නොවේ ද? කරුණාකර ඔබ මේ විනාශකාරීත්වයට කැමැති බව විවෘතව පිළිගන්න. බොහෝ බටහිර වැසියන් එයට කැමැතිය. උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපයේ බහුතර ජනයා හට එය අලුත් කිතිකවන සුළු අත්දැකීමක්, නොමිලේ ලැබෙන විනෝදාශ්වාදයක් සහ ඒකාකාරී, හිස් මූසල සහ ප්‍රේමයෙන් තොර අරුත්සුන් දෛනික ජීවිතයෙන් මොහොතක විරාමයක් වනු ඇත. මිලියන ගණන් ජනයා සිය රූපවාහිනි යන්තු ඉදිරියේ ඇලී ගැලී සිටිනු ඇත. ඔබගේ ජනප්‍රියත්වය මෑතකදී පහළ වැටී තිබේ. එය එසේ නොවේ ද? ඔබ වැඩිවැඩියෙන් මියයිල ප්‍රහාර එල්ලකරන තරමට, වැඩිවැඩියෙන් බෝම්බ හෙළන තරමට, වැඩිවැඩියෙන් රටවල් ආක්‍රමණය කරන තරමට ඔබගේ ජනපදනම් පුළුල්වනු ඇත.

කෙසේ වුව ද ඔබ ව්‍යාපාරිකයෙකි. ගනුදෙනුව තේරුම්ගැනීම පහසුය. ඔබ ඔබගේ ජනයාගෙන් බහුතරයට අවශ්‍ය දේ ලබා දෙනු ඇත. ඔවුහු ඔබට ඔවුන්ගේ සහාය සහ පිළිගැනීම හිමිකර දෙනු ඇත. “දේශපාලනික නිරවද්‍යතාව පිළිබඳ “ වාගාලාප ඉවත්කළ විට සත්‍යය එයයි.

මානසික වෛද්‍ය විශේෂඥ යුන්ග් විසින් මෙම සංස්කෘතිය “ ව්‍යාධියක්“ ලෙස හඳුන්වයි. එය දැනටමත් මූලික වශයෙන් ලෝකයේ සියළු මහාද්වීප විනාශ කිරීමට දායක වී තිබේ. දැන් එය ලෝකයේ ඉතුරුව පවතින යමක්වේද එයද විනාශකිරීමට උත්සාහ දරමින් සිටියි.
එසේ වුවද ඔබ මෙය වටහාගත යුතුය. ඔබට ඇතැම්විට ඔබගේ සහෝදර මානසික රෝගී ජනතාවගෙන් පුළුල් පිළිගැනීමක් දැනටමත් හිමිව තිබිය හැකිය. එහෙත් ඔබ උතුරු කොරියාව හෝ ලෝකයේ වෙනත් රටක් හෝ පුපුරුවා විනාශකර දැමුවහොත්, එමෙන්ම එයින් පසුව වුව යම්හෙයකින් මිනිස් ශිෂ්ටාචාරයේ පැවැත්ම යම් හෙයකින් ශේෂ වුවහොත් ඔබ සහ ඔබගේ සංස්කෘතිය වසර දසදහස් ගණනක් තිස්සේ මිනිස්වර්ගයාගේ ශාපයට ලක්වනු ඇත. එය අවශ්‍ය දෙයක් යැයි ඔබ සිතනවාද?
සමහර විට ඔබ එය තඹ දොයිතුවකට නොසළකා හරිනු ඇත. සැබැවින්ම වීමට ඉඩ ඇත්තේද එය නොසළකා හැරීමය. එසේ වුව ද ඒ ගැන සිතීමට උත්සාහ දැරීම ප්‍රයෝජනවත් වනු ඇත. නැතහොත් ඔබ ඉතිහාසයට එකතුවනු ඇත්තේ සමූල මිනිස් ඝාතකයෙකු ලෙස පමණක් නොව අහංකාර මුග්ධයෙකු ද ලෙසය.

තූර්ය වාදක කණ්ඩායමේ වාදන ශිල්පිනියක්

තෙවසරකට පෙර උතුරු කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ 60 වන විජයග්‍රහණ සමරු උත්සවය පිළිබඳ මවිසින් සටහන් කරන ලද්දේ මෙලෙසය.

“තූර්යවාදක කණ්ඩායම් දැන් වෙනත් යුද සංගීතයක් වාදනය කරමින් සිටිති. මම වයස්ගත ස්ත්‍රියක ඡායාරූපයට නැගීමට උත්සාහ කළෙමි. ඇයගේ උඩුකය පදක්කම්වලින් වැසී තිබිණි. මම කැමරාවේ සංවාරකය එබීමට සැරසෙත්ම ඇගේ කම්මුල් දිගේ විශාල කඳුළු බිදු ඇදහැලෙනු දුටුවෙමි. ඇයව ඡායාරූපයට නැගීමට මට නොහැකි බව මට එක්වරම වැටහිණි. සත්තකින්ම මට එය කළ නොහැකිය. ඇගේ මුහුණ බෙහෙවින් රැළිවැටී තිබිණි. එසේ වුව එහි තාමත් එක්තරා යොවුන් පෙනුමක් සහ අසීමාන්තික මුදු බවක් දැකිය හැකි විය. ඒ මා බොහෝ කලෙක සිට සොයමින් සිටි මුහුණ විය. එහෙත් මට මගේ ලයිකා කැමරාවේ සංවාරකය ක්‍රියාත්මක කළ නොහැකි විය.

ඒ මොහොතේ යමක් මගේ උගුරේ හිරවන්නාක් මෙන් මට දැනිණි. මම මගේ ආම්පන්න බෑගයේ ඇවිස්සුවේ දෑස් පිසදා ගැනීමට යමක් සොයනු පිණිසය. මගේ උපැස් යුවලේ වීදුරු කඳුළු වාෂ්පයෙන් බොඳවූයෙන් මට මොහොතකට කිසිවක් දැකගත නොහැකි විය. මට මහ හඬින් ඉකිගැසිණි. ඒ එක්වරක් පමණි. තුර්යවාදනයන් ගේ උච්චස්වරය නිසා කිසිවෙකුට එය නෑසෙන්නට ඇත.
පසුව මම වඩාත් ඇය වෙත සමීප වූයෙමි. මම ඇය වෙත නැමී ආචාර ක‍ළෙමි. ඇයද ප්‍රතිචාර දැක්වූවාය. ගිනියම් වූ ප්‍රධාන චතුරස්‍රය මැද අප වෙන් වෙන්ව අපගේ ආත්මීය සාමය අත්වින්දෙමු. මෙහි මේ මොහොතේ සිටීමට ලැබීම ගැන මා සතුටුවන බව මට එක්වරම වැටහිණි. මා මෙන්ම ඇයද ජීවිතයේ ඇතැම් දේ අහිමි වූ අයෙකු වන්නට ඇත. ඇයට බොහෝ දේ අහිමිව ඇත. ගෙවී ගිය කාලය තුළ ඇයට අඩුතරමින් ඇගේ ආදරණීයයන් අඩකට වඩා අහිමිවන්නට ඇති බව මට සහතිකය. මට ද යමක් අහිමිව තිබේ. දැන් මට අහිමිව ඇත්තේ තවමත් ලෝකය සිය ආධිපත්‍යයට නතුකරගෙන සිටින මගේ සංස්කෘතියට ගෞරවය සහ එය හා ඇති සම්බන්ධයයි. එම සංස්කෘතිය වරෙක මගේම වී තිබූ අතර දැන් එය ජනතාවන්ගේ මුහුණු විනාශකරදමා පසුව ඔවුන්ගේ සිරුරු නාපාල්ම් සහ ගින්දරෙන් පුලුස්සා දමමින් සිටියි.
එය උතුරු කොරියානු මහජන සමූහාණ්ඩුවේ 60වන සමරු සංවත්සරය විය. එය කඳුළින්ද, අලුපැහැ හිසකෙස් පිළිබඳ මතකය විසින් ද විසිතුරු මල්වෙඩි සහ සහ ආචාර පෙළපාළි විසින් ද ගිනිබත් මතකයන් විසින් ද සනිටුහන් කරනු ලැබූ සංවත්සරයකි.
එම සැන්දෑවේ නගරය වෙත පැමිණීමෙන් අනතුරුව අවසානයේ දී මම ගංගාව වෙත ඇවිද ගියෙමි. එය මුදු එනමුදු ඝන මිහිදුම් පටලයකින් වැසී ගොස් තිබිණි. එහි ඉවුරේ නිසලව නිහඬව එකිනෙකා වැළැඳ හුන් පෙම් යුවළක් දුටුවෙමි. තරුණියගේ හිසකේ ඇගේ පෙම්වතාගේ උරහිස මත කඩා හැලී තිබිණි. ඔහු මහත් බැතියෙන් ඇගේ අත අල්ලාගෙන සිටියේය. මම මගේ කැමරාව එසවීමට වෑයම් කළේ නිරායාසයෙනි. එහෙත් මවිසින් හදිසියේම එම උත්සාහය අත්හැරිණි. ඒ මගේ දෑස විසින් දකිමින් සිටින ලද දෙයක් හෝ මගේ මනසේ මැවුණු දෙයක් හෝ වේවා එය දර්ශන සූචකය මත පිළිබිඹු නොවනු ඇතැයි වන හදිසියේ ම හටගත් මහත් බිය හේතුවෙනි“

මෙම සිදුවීම මගේ මතකයේ රැඳී ඇත්තේ ඒ ආකාරයෙනි.

එක්සත් ජනපදය විසින් කොරියාවට එරෙහිව මෙහෙයවන ලද යුද්ධයේ අල්ලාගන්නා ලද උතුරු කොරියානු විප්ලවවාදීන්
1950 වසරේදී එක්සත් ජනපදය විසින් ගුවනින් හෙළන ලද බෝම්බවලින් විපතට පත් උතුරු කොරියානුවෝ

 

 

 

 

 

 

 

 

 

 

 

 

බටහිර ජාතීන් විසින් දැනටමත් මිලියන ගණන් උතුරු කොරියානුවන් මරා දමා තිබේ. තව කී දහසක් අතුරුදන් වීමට නියමිතව තිබේද? හුදෙක් යටත් වීම ප්‍රතික්ෂේප කිරීමේ හේතුව නිසාම? අධිරාජ්‍යවාදයට වහල්කම් කිරීමට ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් ගෙවීමට සිදුවන මිල කවරක්ද? ජීවිත මිලියනයක් ද? නැතහොත් මිලියන දහයක් ද? කරුණාකර නිවැරදි සංඛ්‍යාව පවසනු මැනවි. ඔබ ව්‍යාපාරිකයෙක් බැවින් ඔබට එය පහසුවෙන් කළ හැකිය. එහෙයින් ඔබගේ සංඛ්‍යාව අවංකව පවසනු මැනවි!
උතුරු කොරියානු මහජන සමූහාණ්ඩුව කිසිවිටෙක කිසිදු රටක් ආක්‍රමණය කර නැත. තමන් “තර්ජනයට ලක්ව ඇතැයි“ පවසන එක්සත් ජනපදය දුසිම් දුසිම් ගණන් රටවලට පහර දී තිබේ. ලොව පුරා මිලියන ගණන් ජනයාගේ ජීවිත සොරාගෙන තිබේ. ඔවුන්ගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංස්කෘතිය දූෂණය කර තිබේ.
මගේ පාඨකයන් සමග බෙදාගත යුතු එක්තරා දසුනක් මගේ මනස තුළ ඇදී තිබේ. මගේ මෙම ලිපිය මා හැඟීම්වලට යටත්ව ලියන ලද්දැකැයි අවමානයට ලක්කිරීමේ අවදානමක් පැවතියද මම එය තුට්ටුවකට මායිම් නොකරමි. කැටයම් දමන ලද සහ අලංකාරිකයන්ගෙන් ගහණ සම්භාව්‍ය රචනාවන්ට මේ කාලය නොවේ. ඉදින් මෙය කියවනු මැන.
එක් මොහොතකදී මම අප නියෝජිත කණ්ඩායමෙන් මොහොතකට මිදීමට සමත් වූයෙමි. ඒ අගනුවර වූ පියොන්ග්යෑන්ග්හිදීය. මම ඒ විසල් ගං ඉවුර දිග සීමාවක් නොපෙනෙන උද්‍යානය හරහා ඉපැරණි බලකොටු පසුකරමින් නොකඩවා ඔහේ ඇවිද්දෙමි. සිය කෙස් කළඹේ විසල් පටියක් දවටා සිටි එක් කුඩා දැරියක් මම එක්වරම දුටුවෙමි. ඇය සුදු සපත්තු යුවලක් පැළැඳ සිටියාය. හිරු අවරට යමින් තිබිණි. ඇගේ මව, ඒ සරල සහ සුන්දර ස්ත්‍රිය, ඇය සමග කතාකරමින් සිටියාය. ඇය ඇගේ දියණියට කොතෙක් නම් ආදරය කරන්නේද කොතරම් හොඳින් ඇය රැකබලාගන්නේ ද යන්න ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරිණි. ඔවුනට මා නොපෙනිණි. මම ඔවුන්ව නිරීක්ෂණ කළේ තරමක් දුර සිටය. මෙම මනුෂ්‍ය ප්‍රාණීන් දෙදෙනා අතර වූයේ කොතෙක් නම් ආදරයක් ද? එකිනෙකා කෙරෙහි වූයේ කොතරම් මුදු කාරුණික බවක් ද, ඔවුහු කොතරම් සන්සුන්ව පසු වූයේද? මව ඇගේ දියණියගේ මුහුණ පිරිමදිමින් අසල වූ රුක්ගොමුව වෙත අත දිගුකරමින් දියණියහට යමක් විස්තර කළාය. ඔවුන්ගේ මුහුණු මුළුමණින්ම ශාන්තය, එහි බියක් හෝ ආතතියක් දක්නට නොවිණි. එහි වූයේ ආදරය පමණි.
මම දිගටම ඇවිද්දෙමි. මා තවමත් සිටියේ උද්‍යානය තුළය. මම පිරිසක් විසින් වටකරගත් යුවළක් දුටුවෙමි. එය පවුලේ ඡායාරූපයක් ගන්නා අවස්ථාවක් විය. පෙනෙන පරිදි විවාහ උත්සවයක් විය. ඔවුහු මංගල ඇඳුම්වලින් සැරසී සිටියහ. මනාලයාගේ මුහුණේ විශාල කොටසක් වසාගත් විශාල අව්කණ්ණාඩිය මා දුටුවේ එවිටය. ඔහු අන්ධ අයෙකි. නිසැකවම මුහුණේ කළු කණ්ණාඩියෙන් වැසුණු කොටස දැඩිලෙස පිලිස්සීමකට ලක්ව ඇති බව සිතිය හැකි විය. ඔහුගෙ අනාගත බිරිඳ ලාබාලය. ආකර්ශණීයය. ඇය පසුවූයේ දැඩි සතුටකින් බව දක්නට ලැබිණි. ඇය දැඩි උද්දාමයකින් යුතුව දොඩමළුව සිටියාය. මෙම තරුණ ආකර්ෂණීය ගැහැණිය, දරුණු ලෙස තුවාල ලැබ අන්ධ බවට පත්ව සිටි සිය අනාගත සහකරුවා සමග සිය දිවිගමනේ ඉතුරු කාලය එක්ව ඇවිද යනු වස් අතිනත ගෙන සිටි අන්දම මම නතරව බලා සිටියෙමි.

පියොන්ග්යාන් හි ඇති රංගශාලාවක්

උද්‍යානයේ ඇවිද ගිය මෙම පැය කීපයට අමතරව මට උතුරු කොරියාවේ බොහෝ දේ දැකගත හැකි විය. මිහිතලය මත දැඩිම ආරක්ෂක රැකවල් යොදා තිබුණ දේශ සීමාවට මුහුණ ලා සිටියෙමි. උත්තරීතර මහජන සභාවේ ස්ථාවර කමිටුවේ සභාපති යන්ග් හ්යොන්ග් සොබ් සමග මම බටහිර රටවල් සිය සතුරා නොමිනිස් ගති ඇත්තවුන් ලෙස හුවා දැක්වීමට ගෙන යන ප්‍රචාරණය ගැනද දර්ශන විද්‍යාව ගැන ද සාකච්ඡා කළෙමි. ශ්‍රේෂඨ න්‍යායවේදියෙකු සහ දාර්ශනිකයෙකු වූ ජෝන් කොබ් සමග ද මම දර්ශනය සහ භවසත්තාවාදය පිළිබඳව අප රැගත් බසය පියොන්ග්යෑන්ග්හි සිට දේශසීමාව කරා යන අතරතුර කතා කළෙමි.

මහා උත්සව සෑම තැනෙකම විය. විචිත්‍ර ප්‍රසාංගික වැඩ සටහන්ද දේශන, පෙළපාලි සහ සංගීතයද සෑම තැනෙකම විය. එහෙත් උද්‍යානයේ දී මා දුටු දේ තරම් කිසිවක් මගේ හදවතේ ගැඹුරට කා වැදුනේ නැත. එහි දී මම මවක විසින් සිය දියණිය වෙත දැක් වූ අසීමිත දයාව සහ ආදරය දුටුවෙමි. එමෙන් මම එහි දී ස්වාභාවිකත්වය සහ සුන්දරත්වය ද, සරල බව සහ ප්‍රේමයේ සංතුෂ්ටිය සමග මුසු වූ ප්‍රශාන්තභාවයේ සහ ගරුත්වයේ ද රශ්මිධාරාවන් සිය ආබාධිත අන්ධ සහකරුවා සමග වූ ස්ත්‍රියක වෙතින් විහිදෙන අයුරු දුටුවෙමි.
ඒ වූකලී උතුරු කොරියාවයි. මට මගේම දෑසින් දැක බලාගැනීමේ වරප්‍රසාදය හිමි වූ උතුරු කොරියාවයි. ලෝක කළමණාකරුවා විසින් “ වගබලා ගැනීමේ “ නාමයෙන් විනාශ කිරීමට යන උතුරු කොරියාවයි. ඒ උතුරු කොරියාවේ දී මට වැටහුණු දෙය නම්, ලෝකයේ වෙනත් බොහෝ රටවලදී, බොහෝ අවස්ථාවලදී ද දුටු ඒ ආදරය තවමත් මේ මිහිමත පැවතිය හැකි බවය. කිසිදු කෲරත්වයකට, කිසිදු ම්ලේච්ඡත්වයකට එය කිසි දිනෙක පරාජය කළ නොහැකි වනු ඇත.

උතුරු කොරියානුවෝද මනුෂ්‍යයෝය.

මෙම රචනාව මගේ සාමාන්‍ය ලේඛන ශෛලියෙන් පිටස්තරය. එය දාර්ශනික රචනාවක් නොවන්නාක් මෙන් ම වාර්තාකරණයක් ද නොවේ. එය කුමක් ලෙස පෙනෙනු ඇත්දැයි යන කරුණ මම මායිම් නොකරමි. මට අවශ්‍ය වූයේ මගේ පාඨකයන් සමග යමක් බෙදාගැනීමයි. මේ මොහොතේ මා තුළ වන යමක්, පවත්නා තත්ත්වයට එරෙහිව මා තුළ කැරැළි ගසන්නාවූත්, කෑ මොර දෙමින් කඩා බිඳ දැමීමේ ආවේගයකින් මා පෙළන්නාවූත් යමක් මගේ පාඨකයන් සමග බෙදා හදා ගැනීමටයි.

මට දැන් නිශ්චිතව වැටහෙන දෙය නම් මා මේ මොහොතේම එහි, එනම් පියොන්ග් යෑන්ග් වෙත යෑමේ උවමනාවකින් පෙළෙන බවයි. කිසිවෙකුගේ ආරාධනාවක් නොමැති වුව ද මට එහි ආපහු යාමට අවශ්‍යය.

ලෝකයේ “සුපර්වයිසර්“ හෝ “මැනේජර්“ උතුරු කොරියාවට පහරදීමට තීරණය කළහොත් මට මගේ දෙපයින් නැගී සිට ඔහුගේ යුද නෞකාවන්ට සහ මිසයිල වලට මුහුණ දීමට අවශ්‍යය. සෑම විටෙකම මෙන් ම, වෙඩි නොවදින කබාවලින් තොරව, කැමරාව සහ පෑන සහ සරල නෝට්පෑඩයක් සහ වාසනාව ගෙන එන සංකේතයක් ලෙස මගේ සාක්කුවේ නිරතුරුව ඇති ඉතා කුඩා ආසියානු මකර අනුරුව පමණක් සහිතව මම එයට මුහුණ දෙමි.
මම බිය නොවෙමි. උතුරු කොරියානු ජනතාවගෙන් බහුතරය බියවෙතැයි මම නොසිතමි. බියට පත්ව ඇත්තේ ලොව පුරා සිටින නැවත නැවතත් මහා මනුෂ්‍ය ඝාතන කිරීමට සුදානම්වන්නවුන් පමණකි. අවම වශයෙන් අවිඥානකව හෝ අවම වශයෙන් ඔවුන්ගේම අරුතින් හෝ ඔවුන්ගේ උන්මත්තක මනෝභාවය තුළ ඔවුහු බියපත්ව සිටිති.

Andre Vltchek
අන්ද්‍රෙ විල්ෂෙක්

මෙම ලිපිය ප්‍රව්දා වෙබ් අඩවියේ පළ වූවකි

අන්ද්‍රෙයි-විල්ට්ෂෙක්

අන්ද්‍රෙ විල්ෂෙක් දාර්ශනිකයෙක්, නවකතාකරුවෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියෙකුද වෙයි. ඔහු රටවල් බොහෝ ගණනක යුද්ධ සහ දේශපාලන අර්බුදයන් සිය නිර්මාණ සහ වාර්තා ඉදිරිපත් කොට ඇත.ඔහුගේ නවතම නිර්මාණයන් වනුයේ විප්ලවීය නවකතාවක් වන “Aurora“ සහ දේශපාලන විශ්ලේෂණයන් වන “Exposing Lies of Empire“ සහ “Fighting Against Western Imperialism“ යන ග්‍රන්ථයන්ය. Ruwanda Gambit යන විවාදාත්මක වාර්ථා චිත්‍රපටයද ඔහුගේ නිර්මාණයකි.ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ බොහෝ රටවල ජීවත්ව ඇති ඔහු වර්තමානයේ නැගෙන ආසියාවේ වාසය කරයි.

Leave a Reply