දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය VII: ‘ජාතික ව්‍යාපාර වැඩෙන්නේ ත්‍රස්තය සහ පීඩනයෙනි

පළමු කොටස: කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය
දෙවන කොටස: උක් වගා බිම් ලෙයින් තෙත්කළ ’58
තෙවන කොටස: දෙමළ ජනයා සත්‍යග්‍රහ සටන් බිමට
සිව්වන කොටස: අවිගත් සේනා යාපනයේ කච්චේරි භූමිය වටළති
පස්වන කොටස: ලාංකීය ‘සාර්’ හෙවත් එන්. කිව්. ඩයස් පුරාවෘත්තය
හයවැනි කොටස : අවිහිංසාවේ කාහළයෙන් දෙමළ ගම් බිම් පිබිදේ

 

එක් දහස් නවසිය හැට එකේ අප්‍රේල් 17 වැනි දින දින උදයේ අරලියගහ මන්දිරයට රැස් වූ කැබිනට් ඇමැතිවරු උතුරු නැගෙනහිර හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමට තීරණය කළහ. ෆෙඩරල් පක්ෂය රට බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් උතුරු නැගෙනහිර නීතිය සහ පිළිවෙල පවත්වාගැනීමට නොහැකි බව ද ඔවුන්ගේ බහුතරයේ අදහස විය. මෙහි දී එක් ඇමැතිවරයෙකු මෙම තීරණයට විරුද්ධ වූ අතර ෆෙඩරල් ක්‍රමය යනු රට බෙදීමක් ලෙස ප්‍රකාශ කිරීම මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් යැයි පැවසූ බවට පළවිය. කෙසේ වුව ද මේ දක්වා රටේ නීතිය හා පිළිවෙල පවත්වාගැනීමට නොහැකි බවට පොලිස්පතිවරයා කිසිවිටෙක වාර්තා කර නොතිබිණි. එහෙයින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්‍ඩුව නිර්මාණය කරන ලද හේතුව වූයේ ෆෙඩරල් පක්ෂය රට කැඩීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව ය.

හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උතුර සහ නැගෙනහිර පළාත්වල, විශේෂයෙන් යාපනය අර්ධද්වීපය තුළ දැඩි භීෂණයක් ලංකා හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය විසින් මෙන්ම බැහැරින් එහි ගොස් සිටි සිංහල මැරයන් විසින් ද දියත් කරන ලදී. හදිසි තත්ත්වය යටතේ උතුරු සහ නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් දාමය අධ්‍යයනයේදී 1961 මැයි 2 දින හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම පිළිබඳව දෙවන සෙනේට් සභාවේ පැවැති විවාදයේදී සෙනේට් සභික සෝමසුන්දරම් නඩේසන් විසින් ඉදිරිපත් කරනු ලද ප්‍රකාශය ප්‍රබල ආලෝකයක් සපයයි. ඔහු විසින් එහි දී කරන ලද සම්පූර්ණ ප්‍රකාශය සිංහල බසට නගා පළකිරීම වැදගත් වන්නේ එහෙයිනි.

සෝමසුන්දරම් නඩේසන්

“සභාපතිතුමනි, හදිසි තත්ත්වය ප්‍රකාශ කර සතියකට වඩා ගතවී තිබේ. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් මුළුමණින්ම උදුරාගෙන ඇත. දැඩි ප්‍රවෘත්ති වාරණයක් පනවා තිබේ. දෙදෙනෙකු හැර දෙමළ ජනයාගේ සියළු මහජන නියෝජිතයන් සිරභාරයට ගෙන ඇත. යාපනය නගරාධිපති වන හිටපු රාජ්‍ය ඇමැති සහ කීර්තිමත් සිවිල් නිලධාරියෙකු වූ කන්දයියා වෛද්‍යනාදන් ද හිටපු නීතිපතිවරයෙකු වූ රාජ නීතිඥ එම් තිරුචෙල්වම් ද ඇතුළුව තවත් දෙමළ ජන නායකයන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන දින නියමයකින් තොරව සිර කර ඇත. දෙමළ ජනතා නියෝජිතයන්ගේ හඬ සම්පූර්ණයෙන්ම යටපත් කර තිබේ. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වෙත හමුදාව මුදා හැර ඇත්තේ, විශේෂයෙන්ම යාපනය අර්ධ ද්වීපයේදී, සතුරු ප්‍රදේශයකට කඩා වැදුණු ආක්‍රමණික හමුදාවක් ලෙස ය.

මේ වත්මන් තත්ත්වය රටේ ප්‍රධාන ජාතීන් දෙක අතර සබඳතාවන්ට මෙන් ම රටේ ආර්ථිකයට ද මාරාන්තික සහ සුව කළ නොහැකි තුවාල සිදුවීමකින් තොරව දිගටම පවත්වාගෙනයාමට නොහැකි ය. අපි බරපතල අර්බුද සමයක් හරහා ගමන් කරමින් සිටිමු. මෙවැනි මොහොතකදී මම යෝජනා කරන්නේ ආණ්ඩුව තුළ මේ ගරු සභාවේ සාමාජිකයන්ගේ දැක්ම පිළිබඳව සැකයක් ඉතුරු නොවන පරිදි ඔවුන් සිය දැක්ම සෘජුව සහ අවංකව ප්‍රකාශ කළ යුතුව ඇති බවයි. එමෙන්ම සභාව කල් තැබීමේ යෝජනාව විසින් ලබා දී ඇති අවස්ථාව භාවිතා කරමින් මම වත්මන් තත්ත්වය පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුවේ සැළකිල්ල යොමු කිරීම පිණිස යම් ප්‍රශ්න කීපයක් මතු කිරීමටත් අපේක්ෂා කරමි.

අනම්‍යශීලී දරදඬු ආකල්පයක්

මවිසින් පළමුවෙන් අවධාරණය කිරීමට කැමැත්තේ, කවර හෝ ශිෂ්ට සම්පන්න ආණ්ඩුවක පළමු සහ අතිශය වැදගත් කාර්යය වන්නේ නීතිය සහ පිළිවෙල, පවත්වාගෙන යාම බවයි. නීතිය සහ පිළිවෙළ පවත්වාගෙන යාමට අසමත් ආණ්ඩුවක් ජනතාවට තමන් විසින් සැපයිය යුතු ආරක්ෂාව සැපයීමට අසමත් තත්වයට එය විසින්ම ඇද වැටෙනු ඇත. එහෙයින් සංවිධිත සමාජ සහ දේශපාලන ජීවිතයේදී ආණ්ඩුවක් විසින් නීතිය සහ පිළිවෙල පවත්වාගැනීමට කටයුතු කිරීම අනිවාර්යයක් වෙයි. අප හැම දෙනා එකඟවන මූලික කරුණ මෙය යැයි මම සිතමි. මෙම ආලෝකය තුළ සිට 1961 පෙබරවාරි 21 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදුවීම් විමසා බලනවිට යමෙකුට පෙනී යනු ඇත්තේ නීතිය සහ පිළිවෙල පවත්වාගැනීමේ සිය මූලික වගකීම ඉටුකිරීමට ආණ්ඩුව පැහැදිලිවම අසමත්ව ඇති බවයි.

ගරු සභාපතිතුමනි, තමන් විසින් දෙමළ ජනයාගේ යුක්ති සහගත අයිතීන් යැයි විශ්වාස කරන අයිතීන් පිළිගැනීමට කරනු ලබන ඉල්ලීම් කෙරෙහි ආණ්ඩුව අනම්‍යශීලී දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විශ්වාස කරන ෆෙඩරල් පක්ෂය එම අයිතීන් දිනාගනු සඳහා සත්‍යග්‍රහ ව්‍යාපාරය යනුවෙන් හැඳින්වෙන විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනු ලැබිණි. ෆෙඩරල් පක්ෂය මෙම සෘජු විරෝධතා ක්‍රියාමාර්ගය කෙරෙහි තල්ලු කර දැමීමේ ගෞරවය මෙම ආණ්ඩුවේ භාෂා ප්‍රශ්නය පිළිබඳ දරදඬු ආකල්පයට හිමි විය යුතු ය.‍ නිරායුධ ගැහැණුන් සහ මිනිසුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූ මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ අරමුණ වූයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල කච්චෙරි සහ රජයේ අනෙකුත් කාර්යාලවල සේවයට නිලධාරින් පැමිණීම වළක්වමින් ඒවායේ ක්‍රියාකාරීත්වය නතරකරවීමයි.

ආණ්ඩුවේ ප්‍රකාශකයා කියා සිටියේ සත්‍යග්‍රහකරුවන් විසින් කරන ලද තර්ජනය කිරීම් සහ බියගැන්වීම් සෑහෙන සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. මෙයට සහභාගී වූ විශාල සංඛ්‍යාව සැළකිල්ලට ගැනීමේ දී සැබෑ සත්‍යග්‍රහකරුවෙකුගෙන් අපේක්ෂා කරන උසස් ගුණාත්මක මට්ටම සෑම සත්‍යග්‍රහකරුවෙකුගෙන්ම අපේක්ෂා කිරීම කළ නොහැකි දෙයක් බව පෙනී යනු ඇත. බොහෝ විට ආගමික බැති ගී ගායනා කරමින් කච්චේරියේ ප්‍රවේශ දොරටු අවහිර කරමින් වාඩිලාගත් මෙම නිරායුධ සාමකාමී සත්‍යග්‍රහකරුවන්ට අමතරව දෙමළ බස කතා කරන උතුරු නැගෙනහිර සෙසු ජනතාව ඔවුන්ගේ වැඩකටයුතු වල සාමකාමී ලෙස නිරත වූහ.

කවර කුපිත කිරීමක් යටතේ වුව ද අහිංසාවාදී ලෙස සත්‍යග්‍රහ ව්‍යාපාරයේ නිරතවන ලෙස ෆෙඩරල් පක්ෂ නායකත්වය විසින්ම ජනතාවට උපදෙස් දී තිබේ. ජනතාව පොදුවේ මේ උපදෙස් පිළිපැද ඇති බව කිව යුතු ය. එසේය, ඇතැම් අවස්ථාවලදී තමන්ගේ භාෂා අයිතීන් ඉල්ලමින් ජනතාව රැස්වීම් සහ පෙළපාළි පවත්වා ඇති බව සැබෑවකි. ඇතැම් අවස්ථාවලදී මෙම පෙළපාලි කරුවන් අතර සිටි සමහර තරුණ කොටස් හමුදාව සහ පොලිසිය ඉලක්ක කරමින් අශෝභන සඳහන් කිරීම් කර ඇති බව සැබෑවකි. එහෙත් පොදුවේ ගත් කළ මෙම විරෝධතාවන් අහිංසාවාදි සහ සාමකාමී ඒවා බව සියල්ලන්ම පිළිගන්නා කරුණකි. උතුරු පළාතේ රජයේ දිසාපතිවරයා පවා මෙම සත්‍යග්‍රහකරුවන් විනීත මහත්මාවරුන් පිරිසක් බව ප්‍රකාශ කර තිබිණි.

සිංහල – දෙමළ සමගිය

මෙම දෙපළාතේ සිංහල පදිංචිකරුවන් තමන්ගේ දෛනික රාජකාරි සහ වෙළෙඳ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන ගිය බව ඉතා පැහැදිලි ය. මෙම ජාතීන් විසින් එකිනෙකා අතර සමාජ සබඳතාවන් හෝ වෙළෙඳ ගනුදෙනු වර්ජනයක් කිරීමක් සිදු වූයේ නැත. ඔවුන් එකිනෙකා සමග ගනුදෙනු කළේ කිසිවක් සිදු නොවූවාක් මෙනි. කිසිදු ජාතිවාදී සටන්පාඨයක් හෝ සිංහල විරෝධී හැඟීම් ඇවිස්සීමක් සිදු නොවී ය. විරෝධතාව මුළුමණින්ම ආණ්ඩුවට එරෙහිව එල්ලවූවක් විය. එහෙත් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ යුක්තිසහගත සදාචාරාත්මක හේතුන් කුමක් වුව ද විශාල පිරිසක් එක්රැස්ව රජයේ කාර්යාලවලට ඇතුළු වීම අවහිර කරමින් රජයේ පරිපාලනය නැවැත්වීමට කටයුතු කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතල වරදකි.

මෙවැනි බාධාකිරීම් වලට සහභාගිවන පුද්ගලයන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති, 332, 343 සහ 344 යන වගන්තිවලට අනුව වරදකරුවන් වනවාට අමතරව 140 වගන්තියට අනුව නීති විරෝධී ජනරාශිය නැමැති වරදටද වැරැදිකරුවන් වේ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඉතා බරපතල ලෙස සැළකෙන මෙම වැරදි හේතුවෙන් නිශ්චිතවම රාජ්‍ය යන්ත්‍රයට සිය ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට නොහැකි විය. එයට සහභාගි වූවන්ට තමන් විසින් කරන ලද මෙම බරපතල වැරද්ද “සත්‍යග්‍රහය“ නැමැති වචනය යට සැඟවිය නොහැකි ය. සත්‍යග්‍රහකරුවන් මේ පිළිබඳව දැන සිටියා විය යුතු අතර එහි ප්‍රතිවිපාකයන් විඳීමට ද සුදානම්ව සිටියා විය යුතු ය.

කච්චේරි ප්‍රවේශය අවහිර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යාපනය ජනතාවට තම සළාක ලබාගත නොහැකි වූ අතර රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබාගත නොහැකි විය. එසේ වුව ද මෙලෙස හිරිහැරයට පත් ජනතාවගෙන් අති විශාල බහුතරයක් ද ෆෙඩරල් පක්ෂයේ සත්‍යග්‍රහය දෙස සානුකම්පිතව බැලීමට යොමුව තිබිණි. නමුත් තමන්ගේ සළාක, වැටුප් හෝ විශ්‍රාම වැටුප් හෝ වෙනත් සේවාවන් ලබාගත නොහැකි වූ ඇතැම් අය ෆෙඩරල් පක්ෂයට සිය විරෝධය පළ කළ බව ප්‍රතික්ෂේප කළ නොහැකි ය. දෙමළ බස කතාකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වන ඉල්ලීම්වලට සහාය පළ කරන නමුත් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට එරෙහි විය. ඔවුහු වැඩකරන ජනතාවගෙන් සැළකිය යුතු පිරිසක් නියෝජනය කරන පක්ෂයකි. තම පුරවැසියන් වෙත අත්‍යවශ්‍ය සේවාවන් සහ සළාක සැපයීම ආණ්ඩුවේ නීතිමය මෙන් සදාචාරාත්මක වගකීමක් වෙයි.

යාපනය සත්‍යග්‍රහයේ පළමු සති දෙක තුළ ආණ්ඩුව විවිධ සමුපකාර සමිතිවලට නියෝග නිකුත් කරමින් සළාක බෙදාහැරීම දිගටම සිදුකිරීම සහතික කරන ලදි. නමුත් මෙම ක්‍රියාමාර්ගය සති දෙකකට පසු නතර කරන ලදි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සත්‍යග්‍රහයේ ආධාරකරුවන්ට මෙන්ම එයට එරෙහිවූවන්ට ද සිය සළාක ලබාගැනීමට නොහැකි විය. රජයේ පරිපාලනය අඩාල වූයේ සත්‍යග්‍රහකරුවන්ගේ විරෝධතා ව්‍යාපාරය විසින් පමණක් නොව, රජයේ පරිපාලනය පවත්වාගනිමින් සේවාවන් සැපයීමට විකල්ප ක්‍රමෝපායයන් යොදාගැනීම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා බව ද පැහැදිලි ය.

මෙවැනි තත්ත්වයකදී ඉතා පැහැදිලි ලෙස ආණ්ඩුව විසින් ඉටු කළ යුතු රාජකාරිය කුමක් ද? ආණ්ඩුවේ ඉතා පැහැදිලි රාජකාරිය විය යුතුව තිබුනේ සියලු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින්, කච්චේරිය සහ වෙනත් රජයේ කාර්යාල අවහිර කරමින් සිටි සත්‍යග්‍රහකරුවන් විසුරුවා හැර ඒවායේ ප්‍රවේශයන් විවෘත කර පරිපාලනය පවත්වාගෙන යාමට කටයුතු කරමින් රටේ නීතිය ස්ථාපිත කිරීමයි. මෙම ප්‍රතිඵල ලබාගැනීම කටයුතු කිරීමට රටේ සාමාන්‍ය නීතිය මගින් ආණ්ඩුවට ප්‍රමාණවත් බලයක් ලබා දී තිබේ. බැති ගී ගායනා කරමින් රජයේ කාර්යාල ඉදිරිපිට වාඩිවෙමින් ප්‍රවේශ දොරටු අවහිර කළ නිරායුධ සාමකාමී සත්‍යග්‍රහකරුවන් විශාල පිරිසකගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් රජයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වූ විට එකී තත්ත්වය පාලනය කිරීමට, ලංකාවේදී හෝ ලෝකයේ කවර හෝ ශිෂ්ටසම්පන්න රටක් තුළ දී වුව රටේ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවේ යැයි සිතීමට සිදුවීම විකාරයකි. ආණ්ඩුව විසින් ගත යුතු පළමු පියවරව තිබුණේ කෙසේ හෝ මෙම ව්‍යාපාරයේ නායකයන් අත් අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීමයි. අවශ්‍ය වූයේ නම් මෙම නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහේස්ත්‍රාත්වරයෙකු ගැසට් මගින් පත් කළ හැකිව තිබුණි. මීට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යොදාගනිමින් රජයේ කාර්යාලවල ප්‍රවේශවීමට තිබූ බාධා ඉවත් කළ හැකිව තිබුණි.

අයුතු ජන රාශිය

ෆෙඩරල් පක්ෂය විසින් සත්‍යග්‍රහකරුවන් ලෙස හඳුන්වන මෙම නීති විරෝධී ජනරාශියට සහභාගි වූ පුද්ගලයන් විසුරුවාහැරීම සඳහා රජයට බලය පවරා ඇති අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ වගන්ති කීපයක් මම ගරු සෙනේට් සභිකයන්ගේ දැනගැනීම පිණිස මෙහි දී කියවමි.

99 වගන්තියට අනුව, “කවර හෝ පොලිස් මහේස්ත්‍රාත්වරයෙක් සහ පොලිස් පරීක්ෂකවරයෙකු, කෝරාලවරයෙකු, මුහන්දිරම්වරයෙකු හෝ උඩයාර්වරයෙකු යන නිලයන්ට නොඅඩු නිලයක් දරන කවර හෝ සාමය රැකීමට බැඳී සිටින නිලධාරියෙකු හට මහජන සාමයට බාධාවන පරිදි හැසිරෙන පස්දෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකුගෙන් සමන්විත නීතිවිරෝධී ජන රාශියක් විසුරුවා හැරීමට නියෝග දීමේ බලය හිමි වන අතර එම නියෝගයට අනුව විසිර යාමට එකී ජනරාශියට සහභාගිවන සාමාජිකයන් නීතිය අනුව බැඳී සිටී.“

100 වන වගන්තියට අනුව, “ඉහත කී පරිදි විසිරෙන ලෙස දෙන ලද නියෝගයකට අනුව එවැනි ජනරාශියක් විසිරී නොයන්නේනම් හෝ එවැනි නියෝගයක් දීමකින් තොරව වුව ද එම පිරිස් දිගටම විසිර නොයා එලෙස හැසිරීමට සඳහා සිය අධිෂ්ඨානය තවදුරටත් පෙන්වන්නේ නම් හෝ පොලිස් මහේස්ත්‍රාත්වරයෙකුට හෝ එවැනි වෙනත් මහජන සාමය පවත්වාගෙන යාමට බැඳී සිටින නිලධාරියෙකුට ඉහත වගන්තියට අනුව එම පිරිස් විසුරුවා හැරීමට බලය යෙදවිය හැකි අතර ඒ සඳහා (නිසි පරිදි කවර හෝ නීතියක් යටතේ බඳවා ගෙන ඇති ආරක්ෂක හමුදාවේ සොල්දාදුවෙකු හෝ එලෙස කටයුතු කරන අයෙකු නොවන) පුද්ගලයෙකුගේ සහාය ලබා ගත හැකි ය. අවශ්‍ය වන්නේ නම් එවැනි ජනරාශියක් විසුරුවා හැරීම සඳහා එයට සහභාගිවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ සිරකර තැබීමට ද නීත්‍යානුකූලව දඬුවම් පැමිණවීමට ද බලය පැවරෙයි.“

101 වගන්තියට අනුව, “එවැනි ජනරාශියක් වෙනත් අයුරෙකින් විසුරුවා හැරීමට නොහැකිනම් මහජන ආරක්ෂාවේ අවශ්‍යතාව මත පළාතේ දිසාපතිවරයාගේ හෝ මහේස්ත්‍රාත්වරයාගේ නීතිමය අනුමැතිය සහිතව එය විසුරුවාහැරීම සඳහා මිලිටරි බලය යොදවීමට පොලිස්පතිවරයාට හැකි ය.“

102 වන වගන්තියට අනුව, “රජයේ දිසාපතිවරයා හෝ මහේස්ත්‍රාත්වරයා හෝ පොලිස්පතිවරයා එවැනි ජනරාශියක් මිලිටරි බලය යොදා විසුරුවා හැරීමට තීරණය කරන ලද විට, ඒ සඳහා ඔහු විසින් මහරැජිනියගේ හමුදාවේ හමුදා සොල්දාදුවන් අධිකාරලත් හෝ අධිකාර නොලත් අණදෙන නිලධාරියෙකු යටතේ යොදාගැනීම හෝ‍ (අග්‍රාණ්ඩුකාරයා විසින් ඒ සඳහා පවරන ලිඛිත නියෝගයක් මත) නිසි පරිදි කවර හෝ නීතියක් යටතේ බඳවා ගෙන ඇති ආරක්ෂක හමුදාවේ සොල්දාදුවන් එවැනි ජනරාශියක නිරත පුද්ගලයන් විසුරුවා හැරීම සඳහා මිලිටරි බලය යෙදවීම මගින් විසුරුවා හැරීමට අත්අඩංගුවට ගැනීමට හෝ සිරකර තැබීමට යොදාගැනීම කළ යුතු අතර රජයේ දිසාපතිවරයාගේ හෝ මහේස්ත්‍රාත්වරයාගේ හෝ පොලිස්පතිවරයාගේ මෙහෙයවීම යටතේ ඉහත විසුරුවාහැරීම්, අත්අඩංගුවට ගැනීම්, සිරකරතැබීම් හෝ වෙනත් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම් සිදුවනු ඇත.

“මෙම කටයුත්තේ නිරතවන නිලධාරීන් තමන් විසින් යෝග්‍යවන්නේ යැයි සිතන පරිදි ජන රාශිය විසුරුවාහැරීමේ දී, අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේ දී, හෝ රඳවා තබාගැනීමේ දී පුද්ගලයාට හෝ දේපලවලට අවම හානියක් වන පරිදි අවම බලයක් යෙදවීමට වගබලාගත යුතු ය.“

අගමැතිනි බණ්ඩාරනායක

අපරාධ විධාන පනතේ 99 වගන්තිය විසින් මහේස්ත්‍රාත්වරයෙකුට හෝ මහජන සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින, පොලිස් පරීක්ෂක නිලයට නොඅඩු කවර හෝ නිලධාරියෙකුට නීති විරෝධී ජන රාශියක් විසුරුවා හැරීමට නියෝග දීමට අවශ්‍ය බලතල පවරා ඇති බව මේ අනුව ඔබට පෙනෙනු ඇත. එමෙන්ම එම නියෝග අනුව එකී නීති විරෝධී ජන රාශියේ සාමාජිකයන් තුමූම විසිර යාමට බැඳී සිටින අතර විසිරී යාම පිණිස 99 වගන්තියෙන් විස්තරවන මහේස්ත්‍රාත්වරයෙකු හෝ සාමය රැකී සිටිමට බැඳී සිටින කවර හෝ නිලධාරියෙකු දෙනු ලබන නියෝගයන්ට අනුව එකී ජන රාශිය විසිරී නොයන්නේ නම් ඔවුන් විසුරුවා හැරීම සඳහා සිවිල් බලකායක්, එනම් පොලිසිය කැඳවීමට 100 වන වගන්තිය විසින් ප්‍රතිපාදන සපයා ඇත.

101 වන වගන්තිය අනුව එකී නීති විරෝධී ජන රාශිය විසුරුවා හැරීම පොලිසිය යොදවා කළ නොහැකි වූ විට මිලිටරිය කැඳවීමට මහේස්ත්‍රාත්වරයාට හෝ වෙනත් මහජන සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින නිලධාරියකුට බලය ඇත. 102 වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයා හෝ පොලිස්පති වරයා එවැනි නීතිවිරෝධී ජනරාශියක් මිලිටරි බලය යොදවා විසුරුවා හැරීමට තීරණය කරන්නේ නම් ඒ සඳහා අධිකාරය ලත් හෝ නොලත් හමුදා නිලධාරියෙකුගේ අණ දීම යටතේ මහ රැජිනගේ හමුදාවේ සොල්දාදුවන් හෝ වෙනත් ඕනෑම ආරක්ෂක හමුදාවක සෙබළුන් යොදවා ඔවුන් විසුරුවාහැරීමට, අත්අඩංගුවට ගැනීමට හෝ සිරකර තැබීමට හෝ නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට හැකි ය. මෙම වගන්තිය අනුව හමුදා නිලධාරින්ට කටයුතු මෙහෙයවීමට බලය පැවරී ඇත. එමෙන්ම එසේ කිරීමේදී පුද්ගලයාට හෝ දේපලවලට අවම හානියක් වන පරිදි අවම බලයක් යෙදවීමට වගබලාගත යුතුයැයිද සඳහන් වේ.

සත්තකින්ම, අපරාධ විධාන සංග්‍රහයේ ඉහත වගන්ති යටතේ උතුරු නැගෙනහිර දෙපළාතේ රජයේ කාර්යාලවල විවිධ කාර්යාල විවෘත කිරීම සඳහා ක්‍රියාමාර්ග පහසුවෙන්ම ගත හැකිව තිබිණ. අවශ්‍ය විණි නම් අපරාධ විධාන සංග්‍රහය යටතේම මිලිටරිය පවා යෙදවිය හැකිව තිබිණි. අප්‍රේල් 18 වැනි දින උදයේ හදිසි තත්ත්වයට මුවා වී මුදාහරින ලදුව කච්චේරි ප්‍රවේශය විවෘත කිරීමට විනාඩි ගණනාවක් තුළ කටයුතු කළ හමුදාව ඇත්ත වශයෙන්ම අපරාධ විධාන පනතේ වගන්ති යටතේ එනම් රටේ සාමාන්‍ය නීතිය යටතේ ම යොදාගත හැකිව තිබිණි. එමෙන්ම මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ මෙම ප්‍රවේශයන් විවෘත කරවීමට ද එහිදී මතුවන විරෝධතාවන් ඉවත් කිරීම සඳහා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ සිරගත කිරීම ද කළහැකිව තිබිණි. ආණ්ඩුව සාමාන්‍ය නීතිය යටතේ තමන්ට පැවරුනු මෙම බලතල භාවිතා නොකළේ මන්ද? රජයේ කාර්යාලවලට අවහිර කරමින් එහි ප්‍රතිඵලයක් ලෙස මේ අයුරින් මහජනයා අසීරුතාවයට පත්කිරීමට ඉඩ දී ආණ්ඩුව සති ගණනාවක් අලසව වාඩි වී සිටියේ මන්ද? ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකළේ මන්ද? නීතිය කඩ කරන්නවුන්, විශේෂයෙන් ම මෙම නීති විරෝධී විරෝධතා ව්‍යාපාරයේ නායකයන් සිරගත කිරීමට ආණ්ඩුවේ කටයුතු නොකළේ මන්ද? ආණ්ඩුව රටේ නීතිය සහ පිළිවෙළ පවත්වාගැනීමට කටයුතු කරන බව පවසන්නේ නම් ආණ්ඩුව මෙම පියවර නොගත්තේ මන්ද?

ආණ්ඩුව ඉතා ඉවසීමකින් කටයුතු කළ බවත් භාෂා අයිතීන් වෙනුවෙන් කරනු ලබන උද්ඝෝෂණයට බාධා කිරීමට ආණ්ඩුව අදහස් නොකළ බවත් ආණ්ඩුව විසින් ප්‍රකාශ කර තිබිණි. ඉවසීමකින් කටයුතු කර ඇත්තේ කුමන කරුණක් අරබයාද? අරාජිකභාවයද?

ආණ්ඩුවේ වාගාඩම්බර

ආණ්ඩුවට කිරීමට සිදුව ඇත්තේ කොතරම් කණගාටුදායක පාපෝච්චාරණයක්ද? නැත සභාපතිතුමනි. මහජනතාව මෙම බොරු විශ්වාස කිරීමට තරම් බොළඳ යැයි විශ්වාස කිරීමට අපි ආණ්ඩුවට ඉඩ දිය යුතු නැත්තෙමු. ආණ්ඩුවට අවශ්‍ය විණි නම් නීතිය බලාත්මක කරමින් සන්නද්ධ හමුදාවන්ගේ සහාය ඇතිව ඉතා පහසුවෙන් කච්චේරියේ ප්‍රවේශ දොරටු විවර කිරීමට, අවශ්‍ය විණි නම් රටේ සාමාන්‍ය නීතිය යටතේම, නීතියේ අධීක්ෂණය යටතේ එය කළ හැකිව තිබිණි.

එහෙත් සාමාන්‍ය ශිෂ්ට සම්පන්න ආණ්ඩුවක් කටයුතු කරන ආකාරයකින් කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව උත්සාහකළේ ප්‍රති-සත්‍යග්‍රහයක් සංවිධාන කිරීමට කටයුතු කිරීම ය. ආණ්ඩුව ෆෙඩරල් පක්ෂයේ සත්‍යග්‍රහය හේතුවෙන් තමන්ගේ සළාක, විශ්‍රාමවැටුප් හෝ වැටුප් අහිමි වූ ජනතාව පොළඹවමින් ෆෙඩරල් පක්ෂ නායකයන්ට එරෙහිව ප්‍රති සත්‍යග්‍රහයක් දියත් කරමින් ෆෙඩරල් පක්ෂයට සිය සත්‍යග්‍රහය අත් හැරවීමට බල කිරීමට තැත් කළේය. නීතිය ආරක්ෂා කරනු වෙනුවට ආණ්ඩුව මෙහිදී කර ඇත්තේ නීතිය උල්ලංඝණය කිරීමට මිනිසුන් පොළඹවා ඊට අවසර දීමයි.

යාපනයේ නිකුත් කළ මුද්දරය

සමහර ආණ්ඩුවේ ඇමැතිවරුන් “කාලය“ ඔවුන්ගේ පැත්තේ බවට ප්‍රකාශයන් ද කර තිබිණි. ඔවුන් සිතුවේ නීතිය ක්‍රියාත්මක නොකර අරාජිකත්වයට ඉඩදුනහොත් කාලය ඔවුන්ගේ ගැලවුම පිණිස එනු ඇති බවයි. සත්තකින්ම කාලයත් සමග තත්ත්වයේ වර්ධනයක් නොවූ බව පැහැදිලි ය.

ආණ්ඩුවේ මෙම කණගාටුදායක නිෂ්ක්‍රීයත්වය ෆෙඩරල් පක්ෂයේ ප්‍රචාරාත්මක කටයුතු සඳහා වාසි සහගත ලෙස බලපෑ අතර ඒ හේතුවෙන් ආණ්ඩුව නීතිය සහ පිළිවෙළ ඇතිකිරීමට කටයුතු නොකරන්නේ යැයි යන හැඟීම අහිංසක සාමාන්‍ය ජනයාගේ මනස තුළ ඇති විය. මිනිසුන් එසේ විශ්වාස කිරීම ගැන ඔවුන්ට දොස් පැවරීමට කිසිවෙකුට නොහැකි ය. මක් නිසාද යත් නිරායුධ මිනිසුන් පිරිසක් විසින් කච්චේරියේ දොරටු අවහිර කිරීම හේතුවෙන් යාපනය ජනතාවට ඔවුන්ගේ සහල් සළාකය ලබාදීමට නොහැකි ආණ්ඩුවක් මෙහි පවතින බැවිනි.

රජයේ කාර්යාල විවෘත කිරීම සඳහා අවශ්‍යවන භෞතික සම්පත් හෝ හෝ විකල්ප ක්‍රම යොදාගනිමින් ජනතාවට අත්‍යවශ්‍ය දේවල් සැපයීමට මානසික සම්පත් ආණ්ඩුවට නොතිබූ බවක් පෙනෙන්නට නොතිබිණි. එසේ නොමැති නම්, අවශ්‍ය නම් හමුදාව හෝ යොදාගෙන නීති කඩකරන්නවුන් විසුරුවා හැරීම හෝ නායකයන් නීතිය හමුවට ගෙන ඒම වෙනුවට සත්‍යග්‍රහකරුවන්ගේ නීති කැඩීමේ ක්‍රියාදාමය පිට වරද පටවමින් සමස්ත ජනතාවටම දඬුවම් ලබාදීමට ආණ්ඩුවට අවශ්‍ය වූයේද?

නීතිය සහ පිළිවෙළ ඇති කිරීම කෙරෙහි වන සිය අධිෂ්ඨානය පිළිබඳව සිය රාජාසන කථාවේදී කරන ලද වාගාඩම්බර ප්‍රකාශයන් කුමක් වුව ද මෙම ආණ්ඩුව කුමන හෝ ගුප්ත හේතුවක් නිසා නීති කඩකරන්නවුන්ගේ කෙරෙහි ඉවසීම ප්‍රගුණ කරමින් සිටියේය. ආණ්ඩුවක් විසින් නීති කඩකිරීම ඉවසනු ලබන්නේ නම් එම නීති කඩකරන්නවුන් විසින් කුමක් කරනු ඇතැයි අපේක්ෂා කරන්නේද? නීති කඩකිරීම අත්හැර දැමීමද? නැතහොත් සත්‍යග්‍රහය නමින් හැඳින්වෙන මෙම නීති කැඩීමේ ව්‍යාපාරයට තවතවත් පිරිස් සම්බන්ධ කරගැනීමද? ආණ්ඩුව රටේ සාමාන්‍ය නීතිය අනුව නිසි පරිදි කටයුතු කළා නම් මීට බොහෝ කලකට පෙර තත්ත්වය පාලනය කළ හැකිව තිබූ බවත් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් සාමාන්‍ය ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහිමිකිරීමට අනවශ්‍ය බවත් පැහැදිලි නොවන්නේද? කවර තත්ත්වයක් යටතේ හෝ සාමාන්‍ය ජනතාවගේ නිදහස අහිමිකිරීම සාධාරණීකරණය කළ හැක්කේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමෙන් එවැනි තත්ත්වයක් පාලනය කළ නොහැකිවන්නේ නම් පමණි.

ෆෙඩරල් පක්ෂය විසින් සත්‍යග්‍රහ ව්‍යාපාරය තීව්‍ර කිරීමටත්, එය සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයක් දක්වා වර්ධනය කිරීමටත් තීරණය කළ පසුව යාපනය කච්චේරිය අසල වූ නීති කඩකරන්නවුන් ඔවුන්ගේ ව්‍යාපාරය නිදැල්ලේ සතිගණනාවක් පුරා ගෙන ගියහ.

ඔවුන්ගේම තැපැල් මුද්දර විකිණීම සහ සමාන්තර තැපැල් සේවයක් පවත්වාගැනීමද ඇතුළත් වූ මෙම අනර්ථකාරී සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය දිගටම කරගෙන යාමට කවර හෝ හේතුන් මත ඔවුහු තීරණය කර තිබිණ. මේ මගින් ඔවුහු තැපැල් ආඥා පනත උල්ලංඝණය කර ඇත. යාපනයේ කිසිවෙකු අඩුතරමින් ෆෙඩරල් පක්ෂ නායකත්වය විසින් හෝ මෙම විකල්ප තැපැල් සේවය බැරෑරුම් ලෙස නොගත් අතර ඒ මගින් ලියුම් යැවීමට තරම් එය විශ්වාස කිරීමට ද කිසිවෙකු ඉදිරිපත් නොවූහ. එහෙත් සමහරුන් මෙම මුද්දර විකිණීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියේ පවුම් හයක් දක්වාෆෙඩරල් පක්ෂ අරමුදලට මුදල් සෙවීමේ අරමුණෙනි. ලියුම් බෙදාහරින්නන් ලෙස කටයුතු කළවුන් අතර ෆෙඩරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද විය. මෙම තැපැල් සේවය දින කීපයකින් නතරවන බව යාපනයේ ජනතාව දැන සිටියහ.

සාමාන්‍ය චාරිත්‍ර ප්‍රකාර උත්සවයකින් පසු ෆෙඩරල් පක්ෂ නායකයන් විසින් ශ්‍රී ලංකාවේ නීතිගරුක රජයේ හමුදාව සහ පොලිසිය ඉදිරිපිටදීම උත්සවකාරයෙන් මෙම මුද්දර විකිණීමත් මෙම තැපැල් සේවයේ සමාරම්භයත් සිදු කරනු ලැබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් මේ ලියුම් බෙදන්නන් විසින් මේ මුද්දර අලවා මේ තැපැල් සේවය මගින් බෙදා හරින ලද පළමු ලියුම් බෙදා හැරියේ යාපනය දිසාපතිවරයා සහ පොලිස් අධිකාරිවරයා වෙත ය. මෙයට අමතරව තවදුරටත් මේ මුද්දර විකිණීම හෝ එමගින් ලියුම් බෙදාහැරීමක් සිදු වූයේදැයි සැක සහිත ය. තමන්ගේ ලියුම් හුවමාරුවේදී ඒවායේ ආරක්ෂාව පිළිබඳව හෝ කලට වෙලාවට ඒවා අදාළ යොමුව වෙත ළඟාවීම පිළිබඳව කිසිදු අවදානමක් ගැනීමට ජනතාව සුදානම් නැති බැවිනි.

නීතිය සහ පිළිවෙළ පවත්වාගැනීම සඳහා ආණ්ඩුව විසින් පැහැදිලිව ක්‍රියාත්මකව කළ යුතුවූ රාජකාරිය කුමක්ද? පළමු මුද්දරය විකිණූ වහාම, තැපැල් සේවය ආරම්භ කළ වහාම ෆෙඩරල් පක්ෂ නායකයන් සහ මුද්දර අත් අඩංගුවට ගෙන ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කර දඬුවම් පැමිණවීම ආණ්ඩුවේ පැහැදිලි රාජකාරිය විය. මෙය සිදු නොකළේ මන්ද?

හදිසි නීතිය

හදිසි තත්ත්වය ප්‍රකාශකිරීමට පෙර පවා මේ මුද්දරවල හිඟය හේතුවෙන් එම තැපැල් සේවය බිඳ වැටී තිබිණි. එමෙන්ම ජනතාව තමන්ගේ මුද්දරය මිල දී ගත්ත ද ඒවා තම ලියුම් සඳහා භාවිතා කිරීමට තරම් ජනතාව තුළ ඒ පිළිබඳව විශ්වාසයක් නොවන බවට ඔවුහු අවබෝධ කරගෙන සිටියහ. එයට අමතරව මෙම “පියුන් මහත්වරුන්“ තමන්ගේ වෙනත් කටයුතු හේතුවෙන් කාර්ය බහුලව සිටි අතර “මහ තැපැල් ස්ථානාධිපති“ තුළ මෙම තැපැල් සේවය සතියකට වඩා පවත්වාගෙන යාමට ද අදහසක් නොතිබිණි. මෙම තැපැල් සේවය හුදෙක් ෆෙඩරල් පක්ෂ සාමාජිකයන් විසින් තම සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරය සංකේතාත්මකව ඉදිරියට ගෙන යාමේ අරමුණින් සැලසුම් කරන ලද්දක් පමණක් විය. ඔවුහු සැබැවින්ම අපේක්ෂා කළේ, සැම දෙනාම අපේක්ෂා කළේ, ආණ්ඩුව විසින් නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි යන්න ය. ෆෙඩරල් පක්ෂයේ මෙම ක්‍රියාමාර්ග මෙන් ම වැඩි දුරටත් සිවිල් නීතිය කඩකිරිමේ ඔවුන්ගේ ඉලක්ක කෙරෙහි ද ආණ්ඩුව ඉවසා සිටියේය. ඒ මන්ද?

හමුදාපති රිචඩ් උඩුගම

මෙම තැපැල් මුද්දර මෙන්ම ඒවා භාවිතා කළ“තැපැල් කාර්යාල“ ද පළමු දවසේම තහනම් නොකළේ මන්ද? මෙම“මහතැපැල් ස්ථානාධිපති“ සහ ඔහුගේ “පියන් මහත්වරුන්“ අපරාධ විධාන පනත යටතේ නීතිය හමුවට පැමිණවූයේ නැත්තේ මන්ද? අවම වශයෙන් මෙම අදියරේ දී පවා අපරාධ විධාන සංග්‍රහයේ නීති ක්‍රියාත්මක කොට කච්චේරි දොරටු විවෘතකිරීම සිදු නොකළේ මන්ද? පුද්ගලයන් කීපදෙනෙකු විසින් තැපැල් සේවයක් පටන්ගත් පසුව එය නැවැත්වීමට ආණ්ඩුවට රටේ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවන බව මවාපෑමට අවස්ථාව එනතෙක් බලා සිටීමක් ද? කවර තත්ත්වයක් යටතේ වුව, හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වැනි විශේෂ පියවරයන් ගැනීමට පෙර සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කර එහි ප්‍රතිඵල ඇගයීමකට ලක් කර ඒ අනුව වැඩි දුර පියවර ගැනීමට කටයුතු නොකළේ මන්ද?

ඒ වෙනුවට දින 50 කට ආසන්න කාලයක් තිස්සේ කච්චේරි ගණනාවක පරිපාලන කටයුතු අඩාල කරමින් සිදුකළ බරපතල නීති උල්ලංඝණය කිරීම්වලට සමාව දෙමින් සිටි මෙම ආණ්ඩුව විසින්, මේ අයුරින් තැපැල් ආඥා පනත උල්ලංඝණය කිරීම තුළ ෆෙඩරල් පක්ෂය භාෂා අයිතීන් ඉල්ලීමේ මුවාවෙන් ඇත්තටම ඉල්ලන්නේ වෙනම රාජ්‍යයක් බව හදිසියේම දැකීමට සමත්ව තිබේ. නැතහොත් එලෙස මවාපානු ලැබේ. මුදල් ඇමැති වරයා පසුගිය දිනෙක තමන්වම හුවා පුම්බා දක්වමින් ෆෙඩරල් පක්ෂයේ මෙම සෙල්ලම කල් තබාම දැකීමට තමන් සමත් වූ බවත් අධිකරණ භාෂා පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී රාජ්‍ය භාෂාවක් ලෙස “දෙමළ භාෂාව“ ද එම පනතට ඇතුළත් කිරීමට තමන් එරෙහිවූයේ තම දුරදක්නා නුවණ නිසා බවත් පාරම් බා ඇත.

තැපැල් ආඥා පනත උල්ලංඝණය කරමින් ෆෙඩරල් පක්ෂය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය සිංහල ජනතාවගේ හැඟීම් දෙමළ ජනතාවට එරෙහිව ඇවිස්සීමට යොදා ගනු ලැබිණි. නූතන ලෝකය තුළ කිසිදු රාජ්‍යයක් කායික බලාත්කාරය එහි පදනම ලෙස යොදාගනිමින් ගොඩ නැංවිය හැකි බවට සාමාන්‍ය මිනිසාට වටහා ගැනීමට අපහසු ය. එමෙන් ම තැපැල් මුද්දර විකිණීමෙන් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම මන්ත්‍රී රාජකාරිය අත්හැර දමා “පියුන් මහත්වරුන්“ ලෙස ලියුම් බෙදන්නට යාමෙන්, නිරායුධ මිනිසුන්ගේ උපවාසවලින් හෝ යාඥාවන්ගෙන්, කච්චේරිවල සහ රජයේ කාර්යාලවල ප්‍රවේශ දොරටු අවහිර කිරීමෙන්, කච්චේරි භූමිය අත්පත් කරගැනීමෙන් හෝ අහිංසාවාදය භාවිතයෙන් වෙනම රාජ්‍යයක් ඇති කිරීම ද කළ නොහැකි ය.

මෙයට අමතරව, ෆෙඩරල් පක්ෂයේ ව්‍යවස්ථාව මගින් සහ එය වෙත හිමි වූ ජනවරම මගින් ද ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටියි. එය කිසි විටෙකත් එහි ප්‍රතිපත්තීන් රහසක් ලෙස සඟවා තබා නැත. භාෂා ප්‍රශ්නයට විසඳුමක් දීම සම්බන්ධයෙන් පෙඩරල් පක්ෂයේ ආකල්පය වනුයේ එහි නමින් ද ගම්‍ය වන පරිදි ෆෙඩරල් රාජ්‍යයයක් නිර්මාණය කිරීම ය. මෙය එම පක්ෂය ඔවුන්ගේම තැපැල් මුද්දර කීපයක් විකිණීමට යාම හේතුවෙන් මිනිසුන් විසින් හදිසියේම සොයාගත් අභිරහසක් නොවේ.

ෆෙඩරල් පක්ෂය, ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිළිබඳ සිය ඉල්ලීම මේ දක්වා අත්හැර නොමැත. ඔවුහු මැතිවරණ වලට තරඟ කළේ මෙම ප්‍රතිපත්තිය මත පදනම්ව ය. මෙහි කිසිදු අපරාධකාරීබවක් හෝ දුෂ්ටත්වයක් නැත. කරුණක් ලෙස පවසන්නේ නම් ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිළිබඳව පළමුවරට යෝජනා කරනු ලැබුවේ අභාවප්‍රාප්ත බණ්ඩාරනායක මහතා විසිනි. ඒ සිය ඉංග්‍රිසි අධ්‍යාපනය හමාරකිරීමෙන් පසු ලංකාවට පැමිණ කෙටි කලක් තුළ ය.

කෙසේ වුව ද ආණ්ඩුවට පළමුවරට ෆෙඩරල් පක්ෂය විසින් ෆෙඩරල් ක්‍රමයක් හෝ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින බවට දැනගැනීමට ලැබුණේ, එකම ස්ථානයක එනම් යාපනය කච්චේරිය ඉදිරිපිට හැරෙන්නට වෙනත් කිසිදු තැනක කාර්යාලයක් පවා නොතිබුණාවූත්, තැපැල් කටයුතු සඳහා විකල්ප ක්‍රමයක් ලෙස කිසිවෙකු විසින් පිළි නොගත්තාවූත්, සිය අකාර්යක්ෂම තැපැල් සේවය ෆෙඩරල් පක්ෂය විසින් පටන් ගැනීමෙන් පසුව යැයි මොහොතකට පිළිගත්ත ද, එය පටන්ගත් මොහොතේම එයට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ කටයුතුකර නීතිය සහ පිළිවෙළ පවත්වාගැනීමට ආණ්ඩුවට කටයුතු කිරීමට නොහැකිවූයේ මන් ද? ආණ්ඩුව විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නය එයයි.

අහිංසාවාදී පිළිවෙතක්

ආණ්ඩුවට මෙහිදී මුහුණ දීමට සිදුව තිබුණේ සන්නද්ධ කැරැල්ලකට නොවේ. එමෙන්ම ජීවිත සහ දෙපොළ හානිය වළකාලීම සඳහා හදිසි නීති තත්ත්වය පැනවීම අත්‍යවශ්‍යවූ 1958දී මෙන් මිනිස් ඝාතන, මංකොල්ලකෑම් හෝ මිනිසුන් පණපිටින් පුළුස්සා දැමීම් සිදුවන තත්ත්වයකටද නොවේ. වාර්ගික ගැටුමක් පිළිබඳ කිසිදු අවදානමක් උතුරු සහ නැගෙනහිර පළාත්වල මතුව තිබුණේ නැත. මෙම ප්‍රදේශවල ජීවත් වූ සිංහල ජනතාව තමන්ගේ එදිනෙදා කටයුතු සහ ජීවනෝපායයන් සාමාන්‍ය පරිදි පවත්ගනිමින්ද, දෙමළ ජනයා සමග වූ මිත්‍රශීලි සම්බන්ධය මත ඉතාමත් ආරක්ෂා සහිත වාතාවරණයක පසු වූහ.

සත්‍යග්‍රහකරුවන් ඉතා දැඩි ලෙස අහිංසාවාදී ප්‍රතිපත්තියට බැඳී සිටියහ. ඔවුන් සිටියේ නිරායුධව ය. ඔවුහු කාලය ගත කළේ ආගමික ගී සහ යාතිකා ගායනා කරමිනි. අහිංසාවාදය ෆෙඩරල් පක්ෂයේ ඇදහීම සහ විශ්වාසය විය. අතරින් පතර කලාතුරෙකින් අහිංසාවාදයේ ජීවගුණයට නොගැලපෙන දෑ කලාතුරකින් සිදු වුවද සමස්ත ජනතාවම පසුවූයේ සාමකාමීව සහ සන්සුන්ව ය. සාමාන්‍ය නීතිය කිසි දිනෙක ක්‍රියාත්මක කිරීමක් සිදු වූයේ නැති අතර එය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වූ බවක් ද දක්නට නැත.

මෙවැනි තත්ත්වයකදී, ආණ්ඩුව පවසන පරිදි වෙනම රාජ්‍යයක් බිහිකිරීමේ අන්තරායයක් පැන නැගුණ තත්ත්වයකදී වුව, සාමාන්‍ය නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළේ මන්ද? ඒ වෙනුවට ඉතා නොවැදගත් සහ අරුත් විරහිත හේතුන් මත හදිසි තත්ත්වය ප්‍රකාශ කරනු ලැබ ඇත. ලෝකයේ බොහෝ රටවල්වල හදිසි නීතිය පැනවීමට විධි විධාන ඇතිමුත්, කිසිදු ශිෂ්ට සම්පන්න රටක් නිරායුධ මිනිසුන් පිරිසක් රජයේ කාර්යාල දොරටු අවහිර කළ පමණින් හෝ විහිළු සහගත තැපැල් සේවයක් ආරම්භ කළ පමණින් හෝ පරිපාලන කාර්යාල භූමිය අත්පත් කරගැනීමේ අභිප්‍රායයන් ප්‍රකාශ කළ පමණින් හෝ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට කටයුතු කර නැත. මෙවැනි සමාන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෙසු රටවල් අනුගමනය කර ඇති පියවර නම් , ඒ අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත්වන්නා වූ රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාවට නැංවීමයි.

1956 දී දෙමළ ජනතාව විසින් පවත්වන ලද  සාමකාමි විරෝධතා ව්‍යාපාරයට  එරෙහි පොලිස්  ප්‍රචණ්ඩ ක්‍රියාවන්

සභාපති තුමනි, ආණ්ඩුව විසින් රටේ නීතිය සහ පිළිවෙළ ඇති කරනු සඳහා රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට අවම උත්සාහයක් පවා නොදරා ඇති විටෙක හදිසි තත්ත්වයක් ප්‍රකාශකිරීමට ආණ්ඩුවට කිසිදු නීතිමය සහ සදාචාරාත්මක අයිතියක් නැති බවට මා මෙහිදී දැඩි ලෙස මගේ ස්ථාවරය සහ දැක්ම ප්‍රකාශ නොකරන්නේ නම් මවිසින් මගේ රාජකාරිය සහ වගකීම ඉටුනොකළා වනු ඇත. හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1961 අප්‍රෙල් මස 17 වැනි දාය. මහජන ආරක්ෂක පනතේ 1947 හි අංක 25 යටතේ වන රෙගුලාසි ගණනාවක් සහ හදිසි තත්ත්ව නියෝග යටතේ (විවිධ විධිවිධාන සහ බලය පැවරෙන) රෙගුලාසි ගණනාවක් , 1961, එකම දවසේ පනවනු ලැබිණි. මෙම රෙගුලාසිවලින් සමහරක් විශේෂයෙන්ම පනවා ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට පමණක් වන අතර මෙම හදිසි තත්ත්වයේ බලපෑම දැනුනේ මෙම දෙපළාතේ දෙමළ භාෂාව කතා කරන ජනතාවට, විශේෂයෙන්ම යාපනය අර්ධද්වීපයේ පදිංචිකරුවන්ට පමණි.

මෙම හදිසි නීති රෙගුලාසිවලට සහ නියෝගවලට අදාළව මවිසින් මතුකිරීමට අපේක්ෂා කෙරෙන පළමු කාරණය වන්නේ එම රෙගුලාසි සහ නියෝග පිළිබඳව දෙමළ භාෂාව කතා කරන ජනතාව දැනුවත් කිරීම ආණ්ඩුවේ මූලික වගකීමක් නොවන්නේ ද යන්නයි. මෙම ආණ්ඩුවට දෙමළ භාෂාව කථා කරන ජනතාව වෙත කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කළ යුත්තේ කෙසේද යන්න ගැ‍න මනා පළපුරුද්දක් තිබේ.

උදාහරණයක් ලෙස, භාෂා ප්‍රශ්නය ගැන දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙසෙන ප්‍රදේශ තුළ තම ප්‍රචාරක මතවාදයන් ගෙන යාමට වුවමනා වූ විට එන්.ඊ වීරසූරිය මහතා විසින් ‘ඔබ්සර්වර්’ පත්‍රයට ලියන ලද ලිපි දෙමළ භාෂාවට පරිවර්තනය කර බෙදාහැරීමට මේ ආණ්ඩුව විශාල මුදලක් වියදම් කිරීමට පසුබට වූයේ නැති බව අපි දනිමු. නමුත් සැමදෙනාගේ පුදුමයට මෙන් සාමාන්‍ය අහිංසක දෙමළ ජනතාවගේ ජීවිතවලට බලපාන මෙම රෙගුලාසි සහ නියෝග පිළිබඳව රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත්තේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණකි. මෙහි තේරුම දෙමළ භාෂාව කතා කරන ජනතාව විසින් පිළිපැදිය යුතු යැයි ආණ්ඩුව විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි සහ නියෝග පිළිබඳව එම ජනතාව දැනුවත් කිරීම නොවැදගත් කාරණයක් ලෙස ආණ්ඩුව සිතන බවද? සිංහල භාෂාව කියවීමට ලිවීමට හෝ කථාකිරීමට හැක්කේ දෙමළ ජනයා අතරින් ඉතා සුළු පිරිසකට පමණි. ඉංග්‍රිසි භාෂා හැකියාව ඇත්තේ 8%ක් පමණ වන සුළු ප්‍රතිශතයකට ය. ජනගහණයේ සෙසු පිරිසට වන්නේ කුමක්ද?

සිංහලෙන් පමණක්

මේ රට පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයන් තම රෙගුලාසි ප්‍රසිද්ධියට පත්කළේ ඉංග්‍රිසි භාෂාවෙනි. එහෙත් ඔවුහු අණබෙරකරුවන් මගින් (Beating the Tom-Tom) ද වැදගත් නිවේදන පැහැදිලි කිරීමට කටයුතු කිරීම මගින් මේ ගැටළුව විසඳීමට කටයුතු කළහ. නැතහොත් ඔවුහු මෙම රෙගුලාසි ගුවන් විදුලිය හෝ පුවත්පත් මගින් ප්‍රසිද්ධ කළ පසුව ඒවායේ අන්තර්ගතය වටහාගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදීමට කටයුතු කළහ. නිදහසත් සමගම රෙගුලාසි භාෂා තුනෙන්ම ගැසට්පත්‍රයේ පළවනු ඇතැයි කියනු ලැබිණි.

එහෙත් අවාසනාවකට මෙන් අඩු තරමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් ලබාදී ඇති දේවල් පවා ආරක්ෂා කිරීමකින් තොරවම අධිරාජ්‍යවාදයේ මාවත් ඔස්සේ ආපසු යාමක් සිදුවන බව පෙනී යයි. මෙවැනි ක්‍රියාවන් ආණ්ඩුවේ අවංකභාවය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට හේතු නොවන බව කණගාටුවෙන් වුවද කිව යුතු ය.

මවිසින් මතුකිරීමට අදහස් කරන දෙවන කාරණය මෙයයි. ඉංග්‍රිසී අධ්‍යාපනයක් ඇත්තවුන් පවා මේ හදිසි තත්ත්වය පැනවීම ගැනද එහි රෙගුලාසි සහ නියෝග ගැන ද දැනගත්තේ පුවත්පත් හෝ “ගැසට්“ පත්‍රය කියවීමට අවස්ථාව ලැබීමෙන් පසුව පමණි.

යාපනය කච්චේරිය ඉරිදිපිට සත්‍යග්‍රහ සටන්කරුවන්

ගුවන්විදුලි යන්ත්‍ර ඇති අය ප්‍රවෘත්තිවලට සවන්දීමෙන් දැනගත්හ. මෙවැනි ප්‍රවෘත්ති පැතිරයාමට යම් කාලයක් ගත වේ. නීතිය සහ පිළිවෙළ පුනස්ථාපනය කෙරෙහි ආණ්ඩුව තුළ ඇත්ත වශයෙන්ම උනන්දුවක් විණි නම් එය විසින් කළ යුතුව තිබුණේ හදිසි තත්ත්වයක් ගැන සහ ප්‍රකාශිත රෙගුලාසි සහ නියෝග ගැන ජනතාව දැනුවත්වීමේ ක්‍රියාවලිය සඳහා අඩුතරමින් එක් දිනක හෝ කාලයක් ලබා දීම ය. හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමෙන් පසුව එම නීති කඩකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ජනතාවට අනතුරු හැඟවීමට කටයුතු කිරීමෙන් කිසිවක් අහිමි නොවනු ඇත. අණබෙර මගින් හෝ පත්‍රිකා බෙදාහැරීම මගින් හෝ වෙනත් දැනුවත්කිරීමේ ක්‍රම මගින් හෝ තමන්ට යටත්වීමට සිදුවන හදිසි නීති රෙගුලාසි සහ නියෝග ගැන උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමයි.

ත්‍රිකුණාමලයේ දිසාපතිවරයා විසින් ත්‍රිකුණාමල කච්චේරිය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරතව සිටි ජනතාව වෙත හදිසි තත්ත්වය ප්‍රකාශකිරීම ගැන දැනුම් දෙමින් කච්චේරි පරිශ්‍රයෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටියේය. 18 වැනි දා උදේ 10 වනවිට සියලු සත්‍යග්‍රහකරුවන් සාමකාමීව ඉවත්වී තිබිණි. ත්‍රිකුණාමලයේදී කච්චේරි දොරටු විවෘත කිරීමට බලය යොදා සත්‍යග්‍රහකරුවන් විසුරුවා හැරීමක් අවශ්‍ය වූයේ නැත. මඩකලපු දිසාපතිවරයාද මෙම ක්‍රමයම අනුගමනය කළේය. එහිදී ද එම ප්‍රතිඵලයම ලැබිණි. එහෙත් කිසියම් අභිරහස් හේතුවක් නිසා යාපනය දිසාපතිවරයා මෙම අර්ථාන්විත ක්‍රියාමාර්ගයට එළැඹුණේ නැත.

ඒ වෙනුවට අප්‍රේල් 18 වැනි දින උදයවරුවේ කිසිදු පූර්ව ඇඟවීමකින් හෝ ඇඳිරි නීතිය පැනවීම ගැන සත්‍යග්‍රහකරුවන් වෙත කිසිදු දැනුම් දීමකින් තොරව යාපනය කච්චේරිය ඉදිරිපිට රැස්ව සිටි මිනිසුන්ට අනුකම්පා විරහිතව පහර දෙන ලදි. ස්ත්‍රීන්ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ට්‍රක්රථවලට පටවා එතැනින් ඉවත් කරන ලදි. කච්චේරිය ඉදිරිපිට නවතා තිබූ පා පැදි සහ මෝටර් රථ වලට ද මිලිටරිය විසින් පහර දී විනාශ කර දමනු ලැබ ඇත. වාර්තා වී ඇති දේ සත්‍ය නම් නිරායුධ සත්‍යග්‍රහකරුවන්ට සහ අප්‍රාණික වස්තූන් වන පා පැදි වැනි දේවලට පහර දීමේ දී හමුදාව සැළකිය යුතු ධෛර්යයක් සහ වීරත්වයක් පෙන්වා තිබෙන බව පැහැදිලි ය. “මහා යාපන සංග්‍රාමය“ නමින් ඉතිහාසගත වන යුද්ධයක නිරත වූ නවීන අවි ආයුධවලින් සන්නද්ධ වූ ලංකා හමුදාව අන්ධකාරයට මුවා වී නිරායුධ සත්‍යග්‍රහකරුවන් පිරිසකට පහර දී අතුගා දැමීමේ සිදුවීම, ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් අතිවිශාල ජයග්‍රහණයක් ලෙස සළකන බව මා හට දැනගැනීමට ලැබිණි.

කෘතහස්ත යුද්ධෝපායයන්

එහෙත් ලංකා හමුදාවේ මෙම වික්‍රමාන්විතයන් සමග ත්‍රිකුණාමලයේ හෝ මඩකලපුවේ දිසාපතිවරුන් විසින් ඉතා ඉවසිලිමත් ලෙස කටයුතු කරමින් ස්වේච්ඡාවෙන් විසිර යාමට සත්‍යග්‍රහකරුවන් එකඟ කරගෙන ලද ඒක පුද්ගල ජයග්‍රහණයන් සමග සන්සන්දනය කිරීමෙන් වැළකිය නොහැක.

මෙම “මහා යාපන සංග්‍රාමය“ නිම වූ වහාම යාපනයේ මාවත් කරා ගමන් කළ හමුදාව මග රැක සිටිමින් ඇඳිරි නීතිය පැනවූ බවක් නොදැන මහමග සිටි සියලු දෙනාට ඇඳිරි නීතිය කඩකළා යැයි පහර දෙනු ලැබිණි. හමුදාවේ යාපනය වික්‍රමාන්විතය පිළිබඳව සවිස්තරාත්මකව කතා කිරීමට මේ විවාදය තුළ මට අවශ්‍ය නැත. හදිසි නීතිය ඉවත් කළ පසුව එය පිළිබඳව විමර්ශනය කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙනු ඇත.

යාපනය අර්ධද්වීපය තුළදී හමුදාවේ හැසිරීම ගැන මතුව ඇති ප්‍රශ්නය ආණ්ඩුව විසින් සිය අවධානයට යොමුකළ යුතු වැදගත් කරුණකි. හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කරන මොහොතවන විට ෆෙඩරල් පක්ෂය විසින් අරඹන ලද තැපැල් සේවය නැවතී තිබිණි. එයට හේතු වූයේ මුද්දර නොමැතිකම, තැපැල් කාර්යාල නැතිකම, ගනුදෙණුකරුවන් නැතිකම සහ තැපැල් පියන්ලා (මෙහි පියන්ලා ලෙස හැඳින්වෙනුයේ ෆෙඩරල් පක්ෂයේ මන්ත්‍රීවරුන් ය. හුදෙක් සංකේතාත්මක විරෝධය දැක්වීමක් ලෙස ඇරඹුණු මෙම තැපැල් සේවයේ දී ලියුම් කීපයක් බෙදීමට ෆෙඩරල් පක්ෂ පා. මන්ත්‍රිවරුන් සහභාගී විය. – පරිවර්තක) ට මෙම ව්‍යාජයට සහභාගිවනවාට වඩා වෙනත් වැදගත් කටයුතු තිබීම වැනි කාරණා ය. එයින් ඔවුන් අපේක්ෂා කළ එකම දෙය ෆෙඩරල් පක්ෂය ම පැවසූ පරිදි රටේ සිවිල් නීති කඩකිරීමේ සංකේතාත්මක ක්‍රමයක් ලෙස එය යොදාගැනීමයි. එසේ හෙයින් යාපනය අර්ධද්වීපයේ ජනතාවගෙන් කවර කොටසක් හෝ සහභාගි වූ එකම නීති විරෝධී කටයුත්ත ලෙස සැළකිය හැක්කේ රජයේ කාර්යාලවල කටයුතු වලට අවහිර කිරීම ය.

මවිසින් මෙයට පෙර ද ප්‍රකාශ කළ පරිදි කර්නල් උඩුගමගේ ආඥාව යටතේ ලංකා හමුදාව විසින් සිය කෘතහස්ත යුදෝපායයන් විදහා දක්වමින් යාපනය කච්චේරිය අසල සිටි නිරායුධ අහිංසාවාදී සත්‍යග්‍රහකරුවන් 200කට ආසන්න පිරිසක් මවිතයට පත් කිරීමට සමත් විය. කිසිදු වෙඩි තැබීමකින් තොරව, එනමුත් බයිසිකල් චේන්, බැටන්පොලු, රයිපල් මිටවල, මෙන්ම සිය දෙපා දැඩි නිපුණතාවයකින් යුතුව හසුරුවමින් සතුරා පළවා හැරි ලංකා හමුදාව විජයග්‍රහණයේ ධජය එසැවීමට සමත්විය.

එයින් පසුව කිරීමට ඉතුරුව තිබුණේ මහජනයාට සිය කටයුතු කරගත හැකි වන පරිදි විවිධ රජයේ කාර්යාලවල ප්‍රවේශ දොරටු විවෘතව තබා ගැනීම ය. මහජනයා නැවත රැස්වීම වැළැක්වීම සඳහාත් සිය කටයුතු රජයේ කාර්යාල මගින් ඉටු කරගැනීම සඳහා අවශ්‍යතාව තිබූ පුද්ගලයන්හට පමණක් ප්‍රවේශ වීමට ඉඩ සැලසීමත් ආදිය මෙහෙයවීම සඳහා මුර සංචාරක රාජකාරි කිරීමත් පමණි. අවට ජනතාව සන්සුන්ව සහ සාමකාමී ලෙස තම සාමාන්‍ය කටයුතුවල නිරතව සිටියහ.

හමුදා භීෂණය

එහෙත් ඒ වෙනුවට හමුදාව කළේ කුමක්ද? උතුරු සහ නැගෙනහිර සමස්ත ජනතාව මත, නිශ්චිතවම යාපනයේ ජනතාව මත හමුදාව මුදාහැර ඇත්තේ මන්ද? ඇඳිරි නීතිය පනවා ඇත්තේ කුමන අරමුණක් වෙනුවෙන්ද? එය එම අවස්ථාවේ අවශ්‍ය වූවා යැයි යන තර්කය මොහොතකට පිළිගත්ත ද එය මේ දක්වාම පවත්වාගෙන යන්නේ ඇයි? ඇඳිරි නීතියට යටත් නොකළ ගම්මානවල පවා හමුදාව විසින් තමන්ගේම ඇඳිරිනීතියක් පනවාගෙන යනු ලබන්නේ මන්ද? සාමාන්‍යයෙන් වසරේ මෙම උණුසුම් දිනවල උදේ 4.00ට නැගිට තමන්ගේ කුඹුරට යන ගොවි ජනතාව ඉන් වළකා උදයේ 6.00 වන තෙක් නවතාගෙන ඇත්තේ ඇයි? යාපනය විදීවල ගමන් කරන අහිංසක ජනයාට හමුදාව විසින් පහරදෙනු ලබන්නේ ඇයි? හමුදාවේ සමහරුන් බලහත්කාරයෙන් කඩවලින් බඩුමුට්ටු, ආහාර ද්‍රව්‍ය පැහැරගනිමින් ෆෙඩරල් පක්ෂ නායකයාගෙන් එම බිල අයකරගන්නැයි පවසන්නේ මන්ද? යුද තත්ත්වයකදි මෙන් උතුරේ ජනයාගේ මෝටර් රථ හමුදාව විසින් බලයෙන් අත්පත් කරගනිමින් සිටින්නේ ඇයි? ඉන්ධන සදහා කච්චේරියෙන් බලපත් නිකුත් කරන්නේ මන්ද? ඉන්ධන බලපත්‍ර ලබාගැනීමට කච්චේරිය ඉදිරිපිට සිටින ජනතාවට හමුදාව විසින් පහත් ලෙස සමච්චල් කරන්නේ කුමන අරමුණක් ඉටු කරගැනීමටද? රාත්‍රි කාලයේ නිවාසවල පහන් දැල්වීමට තහනම් කර ඇති හමුදාව ඔවුන්ගේ නිවාස සහ වැටවල්වලට ගිනි තබන්නේ ඇයි? ඔවුන්ගේ නිවාසවලට ගල්ගසමින් එහි වරද ජනතාවටම පටවන්නේ ඇයි? මෙම නීතිවිරෝධී සහ සංවිධිත ත්‍රස්තවාදය යාපනය අර්ධද්වීපය මත මුදා හැර ඇත්තේ, යාපනය වැසියන් මත ත්‍රස්තය මුදාහරිමින් භාෂා අයිතිය දිනාගනු වස් ඔවුන් ගෙන යනු ලබන අරගලය අත්හැර දමනතෙක් ඔවුන්ට පහර දෙන ලෙස නිකුත් කර ඇති නියෝගයක් හේතුවෙන්ද?

අද ඉතිහාසයේ මීට පෙර නොවූ විරූ අයුරින් උතුරු සහ නැගෙනහිර පළාත් තුළ, නිශ්චිතවම යාපනය අර්ධද්වීපය තුළ බරපතල ලෙස නීතිය උල්ලංඝණය කිරීම් සිදු වේ. මෙම නීතිය උල්ලංඝණය කිරීම් සිදුකරන්නේ නීතියේ ආරක්ෂකයන් වන හමුදාව සහ පොලිසිය විසිනි. හමුදාවේ සිය ත්‍රස්තවාදී උපක්‍රම මගින් ජනතාව කුපිත කිරීමට උත්සාහ කළ වාර අනන්ත ය‍. හමුදාව විසින් මෙම ක්‍රියාවන් දියත් කරනු ලැබූවේ රජයේ කාර්යාල විවෘත කිරීම පිණිස නම් මේ දක්වා එය පවත්වාගෙන යාමට කිසිදු හේතුවක් නැත.

එපමණක් නොවේ. යාපනය උසාවිය තුළ ඇසීමට නියමිතව තිබූ නඩු කොළඹ උසාවිය වෙත මාරු කිරීමෙන් ආණ්ඩුව අධිකරණ පරිපාලන කටයුතුවලට බලපෑම් කිරීමට උත්සාහ දරා ඇත. එමගින් චෝදනා ලද හමුදා නිලධාරීන්ට හෝ වෙනත් පුද්ගලයන්ට එරෙහිව සාක්ෂි දීමට නියමිත සාක්ෂිකරුවන් උසාවිය හමුවේ පෙනී සිටීම වළකා ඇත. කවර හෝ හේතුවක් නිසා මෙම නඩුවලදී යුක්තිය ඉටුකිරීමට යාපනයේ විනිශ්චයකාරවරුන් කටයුතු කරනු ඇතැයි ආණ්ඩුවට විශ්වාස කළ නොහැකි නම් කළ යුතුව තිබුණේ එම කටයුත්ත සඳහා වෙනත් විනිශ්චයකාරවරුන් පත් කිරීම මිස අපරාධය සිදුවූවා යැයි සැළකෙන තැන සිට සැතපුම් 200ක් ඈතට ගෙන යමින් විමර්ශන සහ පරීක්ෂණ කටයුතුවලට බාධාකිරීම නොවේ.

ඉතිහාසය විසින් අපට යම් පාඩමක් උගන්වනු ලැබ ඇත්නම් ඒ වූ කලී ජාතික ව්‍යාපාරයන්ගේ වර්ධනය සිදුවන්නේ ත්‍රස්තය සහ පීඩනය නිසා බව ය. යාපනය අර්ධ ද්වීපය තුළ ලංකා හමුදාවේ හැසිරීම විසින් භාෂා අයිතීන් දිනාගනු සඳහා වන ජාතික සුළුතරය විසින් දියත් කර ඇති ව්‍යාපාරයට ප්‍රගාමකයක් සපයා තිබේ. සන්නද්ධ බලය මගින් ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇති ප්‍රශ්නයට විසඳුමක් සොයාගත නොහැකි බවද සඳහන් කළ යුතු ය. ලංකාව පෙරට යා යුතු නම් භාෂා ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයාගත යුතු ය.

දැන් මතුවන ප්‍රශ්නය නම්, මෙම භාෂා ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට කටයුතු කළ හැක්කේ මොන ආකාරයටද? මේ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුව තුළ ගැඹුරින් සාකච්ඡා කිරීමට මම අදහස් කරමි. තවත් සෙනේට් සභිකයන් ගණනාවක් ප්‍රශ්න මතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බැවින් මෙම ප්‍රශ්නයේ සියළු මානයන් සාකච්ඡාවට ගත යුතු යැයි යෝජනා කරමින් මෙම සභාවේ කටයුතුවලට බාධා කිරීමට අදහස් නොකරමි. මා විසින් පැවසීමට අදහස් කරනු ලබන්නේ, අභාවප්‍රාප්ත බණ්ඩාරනායක මහතා සැම විටම විශ්වාස කළ පරිදි, මෙම ප්‍රශ්නය ආතතීන් රහිත සන්සුන් වාතාවරණයක් තුළ, අවශ්‍ය නම් වට මේස සම්මන්ත්‍රණයකදී සාකච්ඡා කළ යුතු බවයි. රජයේ සමහර පාර්ශ්වයන් තුළ පවත්නා වැරදි වැටහීම් එබඳු වට මේස සාකච්ඡාවකදී විසඳාගැනීමට සිතීම යෝග්‍ය වේ. මෙම ප්‍රශ්න වට මේස සාකච්ඡාවක් හමුවේ දැඩි විවාදයන්ට ලක් කර ජාතික ප්‍රශ්නයට යම් විසඳුමක් සොයාගැනීමට හැකිවනු ඇතැයි බණ්ඩාරනායක මහතා විසින් බොහෝ වරක් යෝජනා කර ඇත.

අභාවප්‍රාප්ත බණ්ඩාරනායක මහතා විසින් යෝජනා කළ විසඳුම මත පදනම්ව සාකච්ඡා කළ යුතු යැයි මම යෝජනා නොකරමි. භාෂා ප්‍රශ්නය පිළිබඳ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්තිය පිළිබඳව මේ ආණ්ඩුවේ සාමාජිකයන් සමග වාදයක පැටළීමට ද මම අදහස් නොකරමි. මම කීමට අදහස් කරන එකම දෙය බහුතර ජාතිය විසින් තමන් බහුතරය නිසාම ඔවුන්ගේ කැමැත්ත ඉතා පහසුවෙන් සුළු ජාතින් මත පැටවිය හැකි යැයි සිතන්නේ නම් කිසිදු විසඳුමක් කර නොඑළැඹිය හැකි බවයි. එමෙන්ම ආණ්ඩුවේ සමහර සාමාජිකයන් සිතන පරිදි රාජ්‍ය භාෂා පනත, දෙමළ භාෂා (විශේෂ විධිවිධාන) පනත, අධිකරණ භාෂා පනත ආදි පනත්වල සීමාවන් යටතේ සාකච්ඡා කිරීමෙන් ද විසඳුමක් ලබාගත නොහැකි ය.

මෙම ප්‍රශ්නය පක්ෂ දේශපාලනයේ කෙළි බඩුවක් වීමෙන් ගලවාගෙන සියළු පක්ෂ සහභාගිවන ජාතික මට්ටමේ වටමේස සමුළුවකින් විසඳාගත හැකි නම් එය ඉතා මනෝඥ වනු ඇත. එය කළ නොහැකි නම්, මම ගරු අගමැතිනිය වෙත යෝජනා කරන්නේ , අභාවප්‍රාප්ත බණ්ඩාරනායක මහතා විසින් භාෂා ප්‍රශ්නයට විසඳුමක් සඳහා ඉදිරිපත් කර ලද ප්‍රතිපත්තිය මත පදනම්ව ඉදිරියට යාම පිණිස කළ හැක්කේ කුමක් දැයි තීරණය කළ හැකිවන පරිදි වාර්තාවක් සකස්කිරීමට ඇය විසින් සුදුසු යැයි සිතන අයුරින් පත්කරනු ලබන විශේෂඥයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් හෝ කොමිසමක් පත්කිරීමට තාමත් ප්‍රමාද නැති බවත් ය. එනමුත් මම ඉතා ගෞරවයෙන් යුතුව සඳහන් කරන්නේ මේරටේ නීතිය සහ පිළිවෙළ පවත්වා ගනු පිණිස රටේ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවත් මෙම හදිසි නීතිය තවත් එක් දිනක් හෝ පවත්වා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බවත් ය.“

(-සෝමසුන්දරම් නඩේසන් – හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම පිළිබදව දෙවන සෙනේට් සභාවේ පැවැති විවාදය 1961 මැයි 02).

(මතු සම්බන්ධයි)

මෙම ලිපිය    2017 මැයි  23 දින  JDS වෙබ් අඩවියේ පළ විය.