දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය III: දෙමළ ජනයා සත්‍යග්‍රහ සටන් බිමට

06 SEPTEMBER 2016

පළමු කොටස: කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය
දෙවන කොටස: උක් වගා බිම් ලෙයින් තෙත්කළ ’58

උතුරු නැගෙනහිර පළාත්වල සියලු පරිපාලන සහ අධිකරණ කටයුතු සිංහල භාෂාවෙන් කිරීමට ඇති කරන ලද පනත් 1961 ජනවාරි මස 01 වැනි දින සිට බලාත්මක කිරීමේ රජයේ තීරණය අත්හිටුවීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලදී දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් බවට පත් කිරීම, යන ඉල්ලීම් පෙරටු කොටගෙන 1961 දී ෆෙඩරල් පක්ෂය විසින් දියත් කරන ලද අහිංසාවාදි සත්‍යග්‍රහ ව්‍යාපාරය සහ එය මර්දනය කිරීමෙහි ලා රජය ගත් මිලිටරිමය ක්‍රියාමාර්ග මෙරට ඉතිහාසය හැඩගැස්වීමෙහිලා අතිශය වැදගත්කමක් ගත් සිදුවීම් ලෙස සැළකිය හැකි ය.

1961 සත්‍යග්‍රහය සහ හමුදා ප්‍රචණ්ඩත්වය

1961 සත්‍යග්‍රහ ක්‍රියාමාර්ගය හරහා දෙමළ සමාජය විසින් සිය අභ්‍යන්තරික විභේදනයන් නොසළකා හරිමින් පළමුවරට අධිපතිවාදි සිංහල රාජ්‍යයේ පීඩනයට එරෙහිව ස්වකීය ජාතික ඉල්ලීම් වෙනුවෙන් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගන ලදි. ඉන් පසුව එළැඹි දශකයන් තුළ දෙමළ ජනතාවගේ විමුක්තිකාමී අනන්‍යතාවයේ මූලික පදනම නිර්මාණය වූයේ මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය විසින් ගොඩ නගන ලද සාමුහිකත්වය විසිනි. මෙම අරගලය තුළ ෆෙඩරල් පක්ෂය දැඩි ලෙස අහිංසාවාදි අරගල ක්‍රියාමාර්ගවල මූල ධර්ම ආරක්ෂා කරමින් කවර කුපිත කිරීම් හෝ ප්‍රචණ්ඩත්වයන් හමුවේ වුව ද ඒවා ආරක්ෂා කරන ලෙස සිය සාමාජිකත්වයට, සත්‍යග්‍රහකරුවන්ට සහ ආධාරකරුවන්ට මෙන් ම පොදුවේ දෙමළ සමාජයටද ආයාචනා කළේය. පොදුවේ දෙමළ සමාජය ද පෙරළා එකී මූලධර්ම තරයේම පිළිපදිනු ලැබිණි. එමෙන්ම තම ඉල්ලීම් සහ අහිංසාවාදී අරගලය ගැන රජය විසින් දක්වන ප්‍රතිචාරයන් පිළිබඳ දෙමළ ජනයා තියුණු දේශපාලන අවබෝධයකින් යුතුව නිරීක්ෂණය කළහ. තමන් ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයන් හමුවේ දැඩි ලෙස අහිංසාවාදි මූලධර්මවලට කැප ව සිටින අතරතුර සත්‍යග්‍රහ ව්‍යාපාරය ප්‍රචණ්ඩ ව්‍යාපාරයකැයි හඳුන්වමින් රජය විසින් ගෙනගිය ද්වේෂ සහගත ප්‍රචාරය දෙමළ සමාජය තුළ ඇති කළේ කලකිරීමක් සහ පිළිකුලකි. එමෙන් ම ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීම පවා ප්‍රතික්ෂේප කළ රජය එය මර්දනයට හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පැනවීමත් හමුදාව සහ පොලිසිය යොදවමින් සිදු කළ ම්ලේච්ඡ මර්දනයත් විසින් රාජ්‍යයේ සිංහල අධිපතිවාදි ප්‍රචණ්ඩ බලයට එරෙහිව අහිංසාවාදි ක්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය ගැන දෙමළ සමාජයේ ඊළඟ පරපුර තුළ අපේක්ෂා භංගත්වයක් ඇති කළේය.

මෙකී සිදුවීම් මාලාවට පදනම සකස් කළ ඓතිහාසික සන්දර්භය වටහා ගැනීම පිණිස සත්‍යග්‍රහ ව්‍යාපාරයට පසුබිම සකස් කරන ලද තත්ත්කාලීන දේශපාලන වර්ධනයන් සැකෙවින් හෝ සළකා බැලීම අත්‍යවශ්‍ය වේ.

1960 මහ මැතිවරණ
ඩඩ්ලි  සහ ජී.ජී.පොන්නම්බලම්

1960 මහ මැතිවරණෙය්දී ඩඩ්ලි සේනානායකගේ නායකත්වයෙන් යුතු වූ එක්සත් ජාතික පක්ෂය අාසන 50 ක් ලබා ගැනීමට සමත් වූ අතර සී පී සිල්වාගේ නිල නායකත්වය (නොනිල අධිකාරය මේ වනවිටත් බණ්ඩාරනායකගේ වැන්දඹුව වූ සිරිමා බණ්ඩාරනායකට හිමිව තිබිණි.) යටතේ ආසන 46 ක් දිනාගැනීමට ශ්‍රීලනිපය ද සමත් විය. සමසමාජ පක්ෂයට සහ මහජන එක්සත් පෙරමුණට ආසන 10 බැගින් හිමි විය. ෆෙඩරල් පක්ෂයට ආසන 15ක් හිමි වී තිබිණි. ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එජාපයට හිමිව තිබුණු අතර ෆෙඩරල් පක්ෂයේ සහාය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ සැළැස්මක් ශ්‍රීලනිපය විසින් දියත් කරන ලදී. ඒ සඳහා ෆෙඩරල් පක්ෂය සමග ශ්‍රීලනිපය වෙනුවෙන් සාකච්ඡා කළේ බද්යුද්දීන් මොහොමඩ් ය. මෙහි දී තමන්ට ආණ්ඩුවක් පිහිටුවීමට ෆෙඩරල් පක්ෂයේ සහාය ලබා දෙන්නේ නම් කලින් බණ්ඩාරනායක විසින් අත්හැර දමන ලද බණ්ඩා-චෙල්වා ගිවිසුම යලි බලාත්මක කිරීමට ශ්‍රීලනිපය කැමැත්ත පළ කළේය.

 

 

එස්.ජේ. වී. චෙල්වනායගම්

මේ අතර ෆෙඩරල් පක්ෂයේ සහාය එජාපයට ලබා ගැනීම පිණිස ඩඩ්ලි සේනානායක ද සාකච්ඡා ආරම්භ කළේය. එහිදී ෆෙඩරල් පක්ෂය ඉල්ලීම් හතරක් ඉදිරිපත් කළේය.

01. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමෙන් එකඟ වු පරිදි ඉඩම් පවරාගැනීමේ සහ සංවර්ධනය කිරීමේ බලතල සහිතව රට සභා පිහිටුවීම

02. පරිපාලන සහ අධිකරණ කටයුතුවලදී දෙමළ භාෂාව සමාන තත්ත්වයෙහිලා සැළකීම

03. පුරවැසි බව සහ ඡන්ද බලය අහිමි කරන ලද උඩරට දෙමළ වැසියන් ලියා පදිංචි කිරීම කඩිනම් කිරීම අවශ්‍යවන පරිදි 1948 පුරවැසි පනතේ අංක 18 වගන්තිය සංශෝධනය කිරීම

04. පත්කරනු ලබන මන්ත්‍රි නියෝජනය වන 6 දෙනාගෙන් 4ක් උඩරට දෙමළ ජනයා නියෝජනය කිරීම පිණිස ලබා දීම

ෆෙඩරල් පක්ෂයට ඇමති ධූරයක්

මෙහිදී ඩඩ්ලි සේනානායක හමුවේ චෙල්වනායගම් ප්‍රකාශ කර සිටියේ ඉහත ඉල්ලීම් යම් පමණකින් වෙනස් කිරීමට සුදානම් බවත් සේනානායක දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට අවංක උත්සාහයක් දරන බව තමන්ට වැටහී යන්නේ නම් ඔහු වෙත සහාය පළ කිරීමට තමන් සුදානම් බවත් ය.

ෆීලික්ස්  ඩයස්

ශ්‍රීලනිපය ද ෆෙඩරල් පක්ෂයේ සහාය තමන්ට හිමි කරගැනීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද්දේ මේ අතරවාරයේ ය. චෙල්වනායගම් හමුවීමට පැමිණි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ෆෙඩරල් පක්ෂයේ සහාය තමන්ට ලබා දෙන්නේ නම් බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම මුළුමණින්ම ක්‍රියාත්මක කරන බව ද ඒ බවට රාජාසන කථාවේදී විවෘත ප්‍රතිඥාවක් දෙන බවද ප්‍රකාශ කළේය.

චෙල්වනායගම් ඩඩ්ලි සේනානායක නැවත හමු වූ විට ෆෙඩරල් පක්ෂයේ ඉල්ලීම් ඉටු කිරීමේ දුෂ්කරතාව ප්‍රකාශ කළ ඩඩ්ලි සේනානායක ඒවා මඳ වශයෙන් සැර බාල කරන ලෙස ඉල්ලා සිටියේය. චෙල්වනායගම් මෙහිදී දෙමළ භාෂාවට සමාන තත්ත්වයක් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම අත් හැර දමා ඒ වෙනුවට උතුරු නැගෙනහිර පළාත්වලදී දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත්කරන්නේ නම් සහ පරිපාලන අධිකරණ කටයුතුවල දී දෙමළ භාෂාව භාවිතයට ප්‍රමාණවත් ඉඩක් ලැබෙන්නේ නම් තමන්ට සෑහිමකට පත්විය හැකි බවට එකඟ විය. එමෙන්ම පත් කරනුලබන මන්ත්‍රි නියෝජනය තුළ උඩරට දෙමළ නියෝජනය වෙනුවෙන් කලින් ඉල්ලා සිටි ආසන 04 වෙනුවට 01ක් පමණක් ලබාගැනීමට ද එකඟ විය.

චෙල්වනායගම් – සේනානායක දෙවන සාකච්ඡා වටයේදී බණ්ඩා-චෙල්වා ගිවිසුමේ වූ රට සභා පිහිටුවීමට කටයුතු කිරීමට තමන්ට නොහැකි බව ද ප්‍රකාශ කර සිටි අතර එසේ වුව ද තමන්ට සහාය දෙන්නේ නම් දෙමළ ජනයාගේ අයිතීන් වැඩිදුරටත් උල්ලංඝනය කිරීමෙන් වළකින බවට පොරොන්දු විය. එමෙන්ම චෙල්වනායගම් වෙත ඇමැති තනතුරක්ලබා දීමට හැකි බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. චෙල්වනායගම් ඇමැති තනතුරු ප්‍රතික්ෂේප කරමින් එජාපය සමග සාකච්ඡා වලින් ඉවත් විය.

ශ්‍රීලනිප පොරොන්දු සංශෝධනය කරයි

ශ්‍රීලනිපයේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, සී. පී. සිල්වා, ඒ. පී ජයසූරිය සහ මෛත්‍රීපාල සේනානායක සමග පැවැති සාකච්ඡා වටයේදී චෙල්වනායගම් එජාපය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් ඔවුන් වෙත ද ඉදිරිපත් කළේය.

මෙහි දී රට සභා පිහිටුවීමට කටයුතු කිරීමට තමන්ට නොහැකි බව ශ්‍රීලනිප නියෝජිතයෝ අවධාරණය කළහ. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් පමණක් බලය විමධ්‍යගත කිරීමට නොහැකි බව ඔවුන්ගේ තර්කය විය. රට සභා වෙනුවට දිස්ත්‍රික් සභා පිහිටුවීමට කටයුතු කළ හැකි බවද රට සභාවලට දීමට පොරොන්දු බලතල දිස්ත්‍රික් සභාවලට දීමට හැකි බවද ඔවුහු ෆෙඩරල් පක්ෂයට දැනුම් දුන්හ.

සී පී ද සිල්වා

එමෙන්ම සිංහල භාෂාව හා සමාන තත්ත්වයක් දෙමළ භාෂාවට ලබාදීම ශ්‍රීලනිපය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. උතුරු සහ නැගෙනහිර පළාත්වලදී අධිකරණ සහ පරිපාලන කටයුතු සඳහා දෙමළ භාෂාව භාවිතා කිරීමට හැකිවන පරිදි අවශ්‍ය පියවර ගැනීමට සුදානම් බවද ඔවුහු දැනුම් දුන්හ. එමෙන්ම තමන් විසින් මෙම කරුණු සම්බන්ධයෙන් ගන්නා පියවර සිය රාජාසන ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරන බවට ද ශ්‍රීලනිපය පොරොන්දු විය. එසේ වුව ද 1948 පුරවැසි පනතට සංශෝධන ගෙන ඒම ද ඔවුහු ප්‍රතික්ෂේප කළහ.‍

සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රීලනිපය විසින් ෆෙඩරල් පක්ෂයේ ඉල්ලීම් විශාල වශයෙන් ඉවත දමා තිබුණ ද එජාපයට සහාය ලබා නොදී විපක්ෂය සමග ඡන්දය භාවිතා කිරීමට ෆෙඩරල් පක්ෂය එකඟ විය. බණ්ඩාරනායක සහ චෙල්වනායගම් අතර ඇති කරගත් එකඟතාව කඩාකප්පල් කිරීමට එජාතික පක්ෂය විසින් ගෙනගිය දැඩි දෙමළ විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරය මෙහි දී ෆෙඩරල් පක්ෂ නායකත්වයේ සැළකිල්ලට ලක්විය.

මේ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීමට එජාපයට නොහැකි වූ අතර එක්කෝ ශ්‍රීලනිපය විසින් නව ආණ්ඩුවක් පිහිටුවීම හෝ මහ මැතිවරණයක් පැවැත්වීම කළයුතුව තිබුණි. නව රජයක් පිහිටුවීම සඳහා තම සහාය ශ්‍රීලනිපය වෙත ලබා දෙන බවට අග්‍රාණ්ඩුකාරයා හමුවේ ෆෙඩරල් පක්ෂය වෙනුවෙන් චෙල්වනායගම් ප්‍රකාශයට පත් කළ ද එය නොතකා හැරි අග්‍රාණ්ඩුකාරයා පාර්ලිමේන්තුව විසිරුවා හැර නව මහ මැතිවරණයක් ජූලියේදී පැවැත්වීමට තීරණය කළේය. අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලකගේ මේ තීරණය ගැන විවිධ මත පළවී තිබේ.

සිරිමා බණ්ඩාරනායක

පළමු වැන්න ඔහු එක්සත් ජාතිකය වෙත පක්ෂපාති වීම නිසා මෙම තීරණය ගත් බව ය. තවත් මතයක් වන්නේ සී.පී. ද සිල්වා අගමැති බවට පත්වීම වළක්වා ඊළඟ මැතිවරණයේදී ශ්‍රීලනිප නායිකාව ලෙස සිරිමා බණ්ඩාරනායක පත්කිරීමට ශ්‍රිලනිපයේ රත්වත්තේ සහ බණ්ඩාරනායක කඳවුරට අවශ්‍යවීම හේතුවෙන් ඔලිවර් ගුණතිලක විසින් මෙම තීරණය එජාප නායකත්වයේද අනුමැතිය සහිතව ගත් බව ය. කෙසේ වුව ද මෙම තීරණය පිටුපස වූ සැබෑ හේතුව වූයේ ෆෙඩරල් පක්ෂයේ ද තීරණාත්මක සහාය සහිතව පිහිටුවන සභාග ආණ්ඩුවක් තුළින් දෙමළ ජනයාගේ ඉල්ලීම් පිළිබඳ ව කේවල් කිරීමට එයට ශක්තිමත් ස්ථාවරයක් හිමිවන බැවින් එය වළක්වා එහි කේවල් කිරීමේ බලය හීන කිරීමට ඉහත සියළු පාර්ශවයන්ට තුළ තිබූ අවශ්‍යතාවය බවඅනුමාන කළ හැක.

1960 ජූලි මහ මැතිවරණය

1960 ජූලි මහ මැතිවරණයේදී සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ දෙක ශ්‍රීලනිපය සමග නිතරඟ ගිවිසුමකට එළැඹි අතර ෆෙඩරල් පක්ෂය උතුරු සහ නැගෙනහිර පළාත්වල තමන් තරඟ නොකරන ආසනවලදී ශ්‍රිලනිපයට ඡන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී ඉහත දැක්වූ පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ෆෙඩරල් පක්ෂය සමග ඇතිකරගත් මූලික එකඟතාවන් මිසෙක මැතිවරණයට අදාළව කිසිදු නව ගිවිසුමක් හෝ එකඟතාවක් ලිඛිතව ෆෙඩරල් පක්ෂය සමග ඇති කර නොගැනීමට ශ්‍රීලනිපය ප්‍රවේසම් සහගත විය.

සිරිමා බණ්ඩාරනායකගේ පළමු ඇමැති මණ්ඩලය

මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය ආසන 75ක් හිමිකරගත් අතර පත් කරනු ලබන මන්ත්‍රීන්ද සමග එය 81ක් විය. එජාපයට හිමි වූයේ ආසන 30ක් පමණි. ෆෙඩරල් පක්ෂය ආසන 16ක් හිමි කර ගැනීමට සමත් විය. මෙම ප්‍රතිඵල අනුව ෆෙඩරල් පක්ෂයේ සහාය නොමැතිව නව රජයක් පිහිටුවීමට ශ්‍රිලනිපයට හැකියාව ලැබිණි. මේ අනුව ෆෙඩරල් පක්ෂයට දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීමට පාර්ලිමේන්තුව තුළ කේවල් කිරීමේ හැකියාව අහෝසි විය. ඔවුනට හුදෙක් තම අයිතීන් උදෙසා ශ්‍රීලනිපය කලින් ලබා දුන් වාචික පොරොන්දු මත දෑස් දල්වා බලා සිටීමට සිදු විය.

ශ්‍රීලනිපය නව රජයක් පිහිටුවීම සඳහා කටයුතු කළේ ෆෙඩරල් පක්ෂය සමග කිසිදු සාකච්ඡාවක් නොකර ඔවුන් මුළුමණින්ම එම ක්‍රියාදාමයෙන් බැහැර කරමිනි. ශ්‍රීලනිප නායකත්වය සමග සන්නිවේදනය කිරීමට ෆෙඩරල් පක්ෂය දැරූ සියළු උත්සාහයන් ව්‍යර්ථ විය.

1960 අගොස්තු 12 වැනි දින නව ශ්‍රීලනිප රජය විසින් ඉදිරිපත් කරන ලද රාජාසන කථාව ඉතිහාසයේ පළමුවරට දෙමළ බසින් ද සිදුකරනු ලැබූව ද එහි අන්තර්ගතය විසින් ෆෙඩරල් පක්ෂයේ මෙන්ම සමස්ත දෙමළ ජනතාවගේ ද අපේක්ෂාවන් සුන් කරන ලදී. දෙමළ භාෂා අයිතිය පිළිබඳ විධිවිධාන හෝ දිස්ත්‍රික් සභා ඇතිකිරීම පිළිබඳව මැතිවරණයට පෙර ඇති කරගත් එකඟතාවන්ට අදාළ කිසිදු සඳහනක් එහි නොවිණි.

සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව ලෙස 1961 ජනවාරි 01 දින සිට බලාත්මක කරන බවට නිවේදනය කළ ශ්‍රීලනිප රජය එයින් නොනැවතී අධිකරණ කටයුතුවලදී යොදාගත හැකි එකම භාෂාව බවටද සිංහල භාෂාව නම් කරන ලදී.

ෆෙඩරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාට මෙම සිංහල ස්වෝත්තමවාදි වැඩ පිළිවෙළ පරාජය කිරීමට කළ හැකි කිසිවක් නොවිණි. පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ බලය දේශපාලනිකව ශුන්‍ය වී තිබිණි. ශ්‍රිලනිපයට සහාය දුන් සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවල නායකයන් ද තත්ත්වය පිළිබඳ ගැඹුරු දාර්ශනික විග්‍රහකරමින් ‘දීප්තිමත් අනාවැකි’ පළකළා මිසෙක දෙමළ ජනයාගේ අයිතීන් තහවුරුවන කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරිපත් නොවූහ.

පෙබරවාරි 20: සත්‍යග්‍රහ ව්‍යාපාරයේ ආරම්භය

නැවතත් පාර්ලිමේන්තුවෙන් පිටත සාමකාමී විදී විරෝධතා ව්‍යාපාර පැවැත්වීම හැරෙන්නට ෆෙඩරල් පක්ෂයට කිසිදු විකල්පයක් ඉතුරුව නොතිබිණි. ශ්‍රීලනිපයේ මේ නින්දිත රැවටීම් සහ නින්දා සහගත සැළකීම්වලින් කෝපයට පත් දෙමළ සමාජයේ වඩාත් රැඩිකල් කොටස් දැඩි උද්ඝෝෂණ ව්‍යාපාරයන්ට අවතීර්ණ වන ලෙස චෙල්නායගම් ඇතුළු ෆෙඩරල් පක්ෂ නායකත්වයට බල කළහ.

අනෙක් පසින් ශ්‍රීලනිප නායකත්වය එවැනි විරෝධතා මතුවුවහොත් සම්මුති විරහිතව ඒවා මැඩ පවත්වන්නට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටි අතර යාපනය වඩ වඩාත් මිලිටරිකරණය කිරීම එහි ප්‍රධාන පියවරක් විය.

1961 පෙබරවාරි 20 වැනි දින ෆෙඩරල් පක්ෂය විසින් උතුරු සහ නැගෙනහිර පළාත්වල කැඳවන ලද සත්‍යග්‍රහ ව්‍යාපාරය මුහුණ දුන් තත්ත්වයන් ලංකාවේ ඉරණම කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් විය.

මෙම සත්‍යග්‍රහය ආරම්භයේදී ෆෙඩරල් පක්ෂය සිය සාමාජිකයන්ට සහ ආධාරකරුවන්ට උපදෙස් ලබා දුන්නේ ඉතා දැඩි ලෙස සාමකාමී විරෝධතාවක මූල ධර්ම ආරක්ෂා කරන ලෙස හා කවර කුපිත කිරීමක් හමුවේ වුව ද ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත නොවන ලෙස ය. එමෙන්ම මෙම ව්‍යාපාරයට සහභාගිවන පොදු ජනතාව වෙත ද ඔවුහු ඒ සඳහා විවෘත ලෙස ආයාචනා කළහ.

පෙබරවාරි මස දියත් කිරීමට යන මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය නවතා දමන ලෙස අගමැතිනි සිරිමා බණ්ඩාරණායක ෆෙඩරල් පක්ෂ නායකත්වය දැනුම් දුන්න ද ඔවුහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. ආණ්ඩුව විසින් සිය සියළු අවම යුක්ති සහගත ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට තවදුරටත් සිංහල ස්වෝත්තමවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන තත්ත්වයක් තුළ සාමකාමී විරෝධතා දැක්වීම හැරෙන්නට වෙනත් විකල්පයක් තමන් සතුව නැති බවත්, එය තමන් සතු අයිතියක් බවත් ෆෙඩරල් පක්ෂයේ ස්ථාවරය විය. ☐

(මතු සම්බන්ධයි)

සිව්වන කොටස: අවිගත් සේනා යාපනයේ කච්චේරි භූමිය වටළති

අජිත් සී. හේරත්

මූලාශ්‍ර:

* Sathyagraha and The Freedom Movement of the Tamils in Ceylon – S Ponniah
* Sinhala Army Attacks Tamil Sathyagrahis 1961 – (Tamilnation.org)
* The Way Out for the Tamil Speaking People -The Minority problem And the Ceylon Revolution – V Karalasingham (introduction by P.B. Tampoe)
* Sri Lanka: The Holocast And After – L. Piyadasa
* The National Question in Sri Lanka – Edmund Samarakkody (marxist.org)
* S.J.V Chelvanayakam and the Crisis of Sri Lankan Tamil Nationalism: A Political Biography – A. Jeyarathnam Wilson – 1947 – 1977