දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය V: ලාංකීය ‘සාර්’ හෙවත් එන්. කිව්. ඩයස් පුරාවෘත්තය

30 SEPTEMBER 2016

පළමු කොටස: කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය
දෙවන කොටස: උක් වගා බිම් ලෙයින් තෙත්කළ ’58
තෙවන කොටස: දෙමළ ජනයා සත්‍යග්‍රහ සටන් බිමට
සිව්වන කොටස: අවිගත් සේනා යාපනයේ කච්චේරි භූමිය වටළති

නීල් ක්වින්ටස් ඩයස් යනු එතරම් ප්‍රකට නොවූව ද 1948 න් පසු බිහි වූ ආණ්ඩුවල සුළුතර ජාතීන් පිළිබඳ ආකල්ප හා ප්‍රතිපත්ති තීරණයෙහිලා සුවිශේෂි බලපෑමක් සහිත වූ පුද්ගලයෙකි. ඔහු උග්‍ර සිංහල බෞද්ධ ස්වෝත්තමවාදියෙකු විය. 1954 ඔක්තෝබර් 05 වැනි දින රාජ්‍ය සේවා සහ පළාත් පාලන සේවා බෞද්ධ සමාජ සම්මේලනය (Public Services and Local Government Services Buddhist Societies Federation) පිහිටුවමින් රාජ්‍ය සේවය තුළ බෞද්ධ ආධිපත්‍යය තහවුරු කිරීමේ මූලික පියවර තැබීය. එයට රාජ්‍ය සේවයේ දෙපාර්තුමේන්තු 23ක බෞද්ධ සමාජවල නියෝජිතයෝ සහභාගි වූහ. පෝය දිනයන් රාජ්‍ය නිවාඩු දිනයන් බවට පත් කිරීම කෙරෙහි ඔහුගේ බලපෑම අතිවිශාල ය.

හේ, සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීමේත් උතුරු නැගෙනහිර සිංහල ජනපදකරණයේත් උද්‍යෝගීමත් නියමුවෙකු විය. එස්.ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායකගේ මරණින් පසුව 1960 ජූලි මැතිවරණයෙන් බලයට පත් සිරිමා රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙස ද පසුව ස්ථීර ලේකම්වරයා ලෙසද ඔහු කටයුතු කළේය. සිරිමා බණ්ඩාරනායකගේ පුද්ගලික විශ්වාසවන්තයෙකු සහ උපදේශකයෙකු ලෙස හෙතෙම කැබිනට් ඇමැතිවරුන්ට ද නොමැති බලාධිකාරයක් ගොඩනගා ගෙන සිටියේයැයි 1963 වසරේ යාපනය දිසාපතිවරයා ලෙසින් කටයුතුකළ ලංකාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ නෙවිල් ජයවීර විසින් සඳහන් කර තිබේ. දෙමළ ප්‍රශ්නය පිළිබඳව තම ආරක්ෂක සහ දේශපාලන උපදේශකයා දෙමළ මිනිසුන් ඉදිරිපිට දීම හමුදාවේ කර උඩ නැගී තාප්පය පැනීමට ගොස් ඇඳුම් ඉරාගැනීමේ සිද්ධිය සිරිමා බණ්ඩාරනායකගේ සිංහල බෞද්ධ රදළ උද්දච්චකමට කෙතරම් මදිකමක් වන්නට ඇත්දැයි සිතීම පවා අපහසු ය.

නෙවිල් ජයවීරගේ ස්මරණයන්
නෙවිල් ජයවීර

නීල් ක්වින්ටස් ඩයස් 1961 භාෂා අයිතීන් උදෙසා දෙමළ ජනයා විසින් ගෙනගිය අහිංසාවාදී විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමෙහිලා මිලිටරිමය සහ දේශපාලනමය වශයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළේ ය. 1948 න් පසුව බලයට පත් සිංහල ආණ්ඩු විසින් ගෙන යන දෙමළ විරෝධී පිළිවෙත්වල දිගුකාලීන උපාය මාර්ගික උවමනාවන් සහ අභ්‍යන්තර ගතිකයන් හඳුනාගැනීමේ දී ඒවා ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමීන්ගෙන් එක් අයෙකු වූ නීල් ක්වින්ටස් ඩයස් පිළිබඳව නෙවිල් ජයවීර විසින් තබන ලද පහත සටහන කියවීම වැදගත් ය:

“..කෙසේවුව ද මගේ නව තනතුරේ වැඩ ඇරඹීමට පෙර ආරක්ෂක සහ විදේශ කටයුතු පිළිබඳ ස්ථර ලේකම් එන්.කිව්. ඩයස් මහතා එක් දිනක මට දුරකතන ඇමතුමක් දී ඔහුගේ ප්‍රියතම හෝටලය වූ ගෝල්ෆේස් හෝටලයේදී දිවා ආහාරය සඳහා ආරාධනා කළේය. ඔහු හුදෙක් විදේශ සහ ආරක්ෂක කටයුතු පිළිබඳ ලේකම්වරයා පමණක් නොවීය. පරිපාලන සේවයේ බලගතුම නිලධාරියා ඔහු විය. ඒ බණ්ඩාරනායක මහත්මිය කෙරෙහි ඔහු තුළ වූ බලපෑම නිසා ය. කැබිනට් ඇමැතිවරු පවා ඔහු වෙත ගෞරව සම්ප්‍රයුක්ත භීතියක් දැක් වූහ. පොදුවේ ඔහුව හඳුන්වන ලද්දේ “සාර්“ යන අන්වර්ථ නමිනි. ඔහු සමග දිවා ආහාරය ගැනීමට ලද ආරාධනාව මා තුළ එක්තරා ප්‍රමාණයක චකිතයක් ඇති කළේය.

”මෙයට වසරකට පමණ පෙර මට ඔහු මා මුණ ගැසීමට එවකට ඔහුගේ සහකාර ලේකම්වරයාව සිටි මගේ සොහොයුරු ස්ටැන්ලි ජයවීර ද සමග ගල්ඔයට පැමිණියේය. ඒ හොර ජාවාරම් මර්දනය කිරීමේ නාවික හමුදා මෙහෙයුම් සඳහා ගල්ඔයට බෝට්ටු පැමිණීමේ හැකියාවක් ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා ය. මෙම කෙටි හමුව හැරෙන්නට මේ මිනිසා පිළිබඳ වෙනත් දෙයක් මා දැනසිටියේ නැත.

”ප්‍රණීත ආහාර වේලකින් පසුව ඔහු පැවසුවේ යාපනය දිසාපති ලෙස මා පත් කරන ලෙස අගමැතිවරිය වෙත යෝජනා කරන ලද්දේ ඔහු විසින් බවයි. එම තනතුරට එවකට 33 වියේ පසු වූ මා ළාබාල වැඩි යැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දක්වන ලද දැඩි විරෝධතාව පසෙක දැමීමට ඔහුට සිදු වූ බව ද ඔහු පැවසීය. ඔහු මෙම කාර්යය සඳහා මාව යෝජනා කිරීමට කල්පනා කළේ 14000කින් යුතු කුප්‍රකට මැර හමුදාවක් වූ ගල් ඔය සංවර්ධන මණ්ඩලයේ සේවකයන් පාලනය කරමින් මා විසින් ඉටු කරන ලද කාර්ය භාරය ඔහුගේ සිත් ගත් හෙයින් බව ද එහෙයින් යාපනයේ කැළඹිලිකාරි තත්ත්වය හැසිරවීමට සුදුසුම පුද්ගලයා මා යැයි ඔහු කල්පනා කළ නිසා බවද පැවසීය.

”ඉන්පසුව ඩයස් නුදුරු අනාගතයේදී අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිත සිදුවීම් මාලාවක් පිළිබඳව ඔහුගේ අපූර්ව දැක්ම හෙළි කළේය. මී ළඟ වසර 25 තුළදී දෙමල කැරැළිකාරිත්වය සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය විය හැකි බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් විය. එයට මුහුණ දීම සඳහා රජය දැන් සිටම සුදානම් විය යුතු යැයි ඔහුගේ අදහස විය. යාපනය දිසාපතිවරයා ලෙස මගේ වගකීම වන ‘සිංහල පමණක්’ පනත ක්‍රියාත්මක කිරීමෙන් මෙම අපේක්ෂිත නැගිටීම පිළිබඳව සුදුසු පරිදි කටයුතු කිරීම ඔහුට සහාය විය හැකි යැයි ද ඔහු පැවසීය. අනතුරු ව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඔහුගේ “විශිෂ්ට උපායමාර්ගික සැලසුම“ විස්තර කළේය.

”විශිෂ්ට උපායමාර්ගික සැලසුම

”ඩයස් සිය උපාය මාර්ගික සැලසුම මා හමුවේ දිගහරින විට මට හැඟී ගියේ ඔහු 1905 දී ජර්මනිය විසින් පැරිසිය වටලෑමට දියත් කළ ප්‍රසිද්ධ “ෂ්ලීෆන් සැලස්ම (Schlieffen Plan)“ අනුගමනය කිරීමට සැරසෙන බව ය. ඩයස්ගේ උපායමාර්ගික සැලසුමේ කේන්ද්‍රිය කොටස වූයේ අනාගත දෙමළ විප්ලවය මැඩ පැවැත්වීම සඳහා උතුරු ප්‍රදේශය වටලා එනම් මන්නාරම් දිස්ත්‍රික්කයේ අරිප්පු, මරිච්චිකට්ටි, පලෙයි සහ තල්වාපඩු යන ප්‍රදේශ වල ද යාපනය දිස්ත්‍රික්කයේ පුනරීන් හරහා කරෙයිනගර්, පලාලි, පේදුරු තුඩුව සහ අලිමංකඩ ද, වවුනියා දිස්ත්‍රික්කයේ මුලතිවු වලද (එවකට මුලතිවු වවුනියා දිස්ත්‍රික්කයේ කොටසක් විය) සහ නැගෙනහිර ත්‍රිකුණාමලයේ ද හමුදා කඳවුරු වළල්ලක් ඇති කිරීමය. එමෙන් ම ඔහු වැඩිදුරටත් පැවසුවේ දැනටමත් මන්නාරමේ පලෙයි සහ යාපනයේ පලාලිවල හමුදා කඳවුරු පිහිටුවා ඇති බවත් කරෙයිනගර්හි නාවික හමුදාවේ මූලික ස්ථානගතවීම් සිදුව ඇති බවත් ය. එහෙත් ඒවා ගුණාත්මකව සහ සංඛ්‍යාත්මකව වර්ධනය කිරීම ඔහුගේ අරමුණ විය.

”ස්ථාවර හමුදා කඳවුරු උතුරු පළාතේ පිහිටුවීමට රජය විසින් දරන කවර ප්‍රයත්නයක් වුව ද දෙමළ නායකත්වයෙන් දැවැන්ත විරෝධයක් එල්ලවනු ඇති බවට තමන් වටහාගෙන සිටින බව ද ඔහු පැවසීය. කෙසේ වුද අති තීක්ෂණ ලෙස සැලසුම් කරන ලද ප්‍රයෝගයක් මගින් උතුරේ හමුදා කඳවුරු පිහිටුවීමේ ඔවුන්ගේ සැබෑ අරමුණු වසන් කිරීමට ඔහුගේ අදහස වූ බව පෙනිණි. රට මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රශ්න දෙකක් සම්බන්ධව විශාල මහජන මතයක් ඇති කිරීමට ඔහු සැලසුම් කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය. එනම් ලංකාවේ ජාතික උවමනාවන්ට හානිදායක වන ඉන්දියාවේ සිට මෙරටට සිදුවන නීතිවීරෝධී සංක්‍රමණයත්, ලංකාවේ සිට ඉන්දියාවට සිදු කරන හොර බඩු ජාවාරමත් සහමුලින්ම නැවැත්වීමේ අවශ්‍යතාව ගැන තර්ක කරමින් ඒ සඳහා ස්ථාවර හමුදා කඳවුරු පිහිටුවීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම ය. මේ අනුව සම්පූර්ණ මිලිටරි ක්‍රියාන්විතය ම රටේ ප්‍රධාන ප්‍රශ්නයකට විසඳුමක් ලබාගැනීමට, එනම් නීති විරෝධි සංක්‍රමණය සහ හොරබඩු ජාවාරම නැවත්වීමට කරන්නක් ලෙස ව්‍යාජ ලෙස මවා පෑම ය. එවිට එයට එරෙහි වන සියළු අයට තමන් රටට විරුද්ධවන්නවුන් ලෙස දිස්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

”ලුතිනන් කර්නල් සේපාල ආටිගල (පසුව ජෙනරාල් ලෙස උසස්වීමක් ලැබූ හමුදාපති ආටිගල) යටතේ TAFFI හෙවත් නීතිවිරෝධී සංක්‍රමණ මර්දන කාර්ය බලකාය (Taskforce Anti Illicit Immigration) නමින් කාර්ය බලකායක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. නීති විරෝධී සංක්‍රමණය සහ හොරබඩු ජාවාරම මර්දනය මෙහි අරමුණ ලෙස මවා පා තිබුණ ද සැබෑ ලෙසම එය සැලසුම් කර තිබුණේ හමුදාමය වශයෙන් උතුර වැටලීම සඳහා ය. මා සමග සමීප ලෙස සම්බන්ධීකරණයක් පවත්වන ලෙසට හා මගේ පරිපාලනයට හමුදා සහාය ලබාදෙන ලෙසටද ආටිගල උපදෙස් දෙන බව ද ඔහු පැවසීය. මේ සඳහා යාපනයේ මගේ පුද්ගලික කාර්යාලයට රේඩියෝ පණිවුඩ හුවමාරු පහසුකම් ලබා දෙන ලෙසට දැනටමත් නියෝග කර ඇති බවද ඔහු දැන්වීය. එමෙන්ම ඔහුගේ උපායමාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීමේදී මගේ සහායට තවත් පරිපාලන නිලධාරින් තිදෙනෙකු පත්කර ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය. ඒ මන්නාරම සඳහා අයි.ඕ.කේ.ජී ප්‍රනාන්දු, වවුනියාවට ආර්.එම්.බී සේනානායක, සහ ත්‍රිකුණාමලය සඳහා එම්.බී සේනානායක (හෝ ඇල්කඩුව) යනාදි වශයෙනි.

”යම් දිනෙක ඉන්දියාව විසින් දෙමළ නැගිටීමකට ඉන්ධන සපයනු ඇති බවත් කැරැලිකරුවන්ගේ නීතිවිරෝධී අවි ජාවාරමේ ප්‍රභවය වනු ඇත්තේ තමිල්නාඩුව වන බවත් එන්.කිව්. ඩයස් විශ්වාස කළේය. මෙම අභියෝගයට මුහුණ දෙනු වස් මුළුමණින්ම නව නාවික උපායමාර්ගයක් සංවර්ධනය කිරීම අවශ්‍ය බව ඔහු පැවසීය. එමෙන්ම ඔහු මුහුදු බෝම්බ ඉවත්කරන නැව් සහ ගජබා සහ විජයබා වැනි ආරක්ෂක නැව්, සංදර්ශනවලට මිසෙක ෆෝක් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන අවි ජාවාරම නැවැත්වීමට නුසුදුසු බවට හෙළාදුටුවේය. ඒ වෙනුවට වේගවත් කුඩා යාත්‍රාවලින් සමන්විත බෝට්ටු යොදාගතයුතු බවත් ඒ සඳහා ඇමෙරිකාවේ විදේශාධාර පැකේජයේ කොටසක් ලෙස භාවිතා කරන ලද PT බෝට්ටු සහ ටෝර්පිඩෝ ලංකාවට ලබාදිය හැකිකමක් වේදැයි තමන් දැනටමත් (එවකට) ඇමෙරිකන් තානාපතිවරයාවූ සිසිල් ලියොන් සමග සාකච්ඡා කළ බවත් පැවසීය. එවකට පැවැකි වියට්නාම් යුද්ධය හේතුවෙන් PT බෝට්ටු ගැන නිතර මාධ්‍යවල පළවිය. පසු කලෙක යාපනය සංචාරයක් සඳහා ඇමරිකන් තානාපති සිසිල් ලියොන් පැමිණි විට මම මේ ගැන විමසා සිටි විට ඔහු ඩයස්ගේ ප්‍රකාශය තහවුරු කළේය. ගජබා සහ විජයබා නැව් ඉවත්කර කුඩා යාත්‍රා යොදා ගැනීම සඳහා තමන් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන බව ඩයස් වැඩිදුරත් ප්‍රකාශ කළේය. අද පවතින ඩ්වෝරා වර්ගයේ බෝට්ටු ගැන එකල අසන්නට නොලැබුණි. එහෙත් ලංකාවේ නාවික හමුදාව 60 දශකයේ මැද භාගයේ දී අත්හදා බැලීම සඳහා හයිඩ්‍රො-ෆොයිල් අධිවේගී යාත්‍රා මිලදී ගත් බව මම දැන සිටියෙමි. යාපනයෙන් ඉවත්ව ආ පසු ලංකා නාවික හමුදාවේ සංවර්ධනයන් ගැන මම සොයා නොබැලුවෙමි.

යාපනයේ කච්චේරිය ඉදිරිපිට දෙමළ ස්ත්‍රීන් සත්‍යග්‍රහයේ – 1961 අප්‍රේල්

”ඩයස් පැවැසූ පරිදි යාපනය දිසාපතිවරයා ලෙස මගේ කාර්යභාරයන් වනුයේ උතුරු පළාත ආවරණය වන පරිදි හමුදා කඳවුරු ඉදිකිරීමට බලය පැවරීමත් දෙමළ ජනයාගේ ඉල්ලීම් පිළිබඳව අනුකම්පා විරහිතව කටයුතු කිරීම, රාජ්‍යයේ ප්‍රශ්න කළ නොහැකි බලාධිකාරය තහවුරු කරනු වස් හැකි සෑම විටෙකම ඔවුන්ට එරෙහිව බලය යෙදීම‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ආදිය වේ. එමෙන්ම සිංහල පමණක් පනත කවර මිලක් ගෙවීමට සිදු වුවද උතුරු පළාත තුළ බලාත්මක කළයුතු බවත් මේ දක්වා එය කිරීමට රජය අසමත් වූයේ දෙමළ ජනයා මත ප්‍රමාණවත් තරම් බලයක් නොයෙදවූ නිසා බවත් ඔහු පැවසීය. පැහැදිලිවම, ඔහුට මා පෙනෙන්නේ විරෝධය දක්වන දෙමළ සත්‍යග්‍රහකරුවන් නැමැති බැටළු රංචුව තමන්ට අවශ්‍ය දිසාවට දැක්කිය හැකි පරිපාලනමය ගොපළු සුනඛයෙකු ලෙසය.“ (Into the turbulence of Jaffna – a chapter extracted from the author’s unpublished memoirs, titled “Dilemmas“ by Neville Jayaweera Part 1)

එන්.කිව්. ඩයස්ගේ දේශපාලන දැක්ම සහ භාවිතය ගැන නෙවිල් ජයවීර සිය සටහනේ මෙසේ ද සඳහන් කර තිබේ.

“…..එන්.කිව්. රජයේ සේවකයෙකු හෝ මිලිටරි උපායමාර්ගික විශේෂඥයෙකුට වඩා ශ්‍රී ලංකා ඉතිහාසය නමැති ආගාධයෙන් මතුව ආ සිංහල බෞද්ධ ජාතිකවාදය නැමැති රළ පෙළ මත පාවුනු සංකේතමය ප්‍රපංචයකි…“

“…එක් රාමුවක් තුළ දී එන්.කිව්. රජයේ සේවකයෙකු වුව ද 1956 සිංහල බෞද්ධ පුනරෝදයේ එල් එච් මෙත්තානන්ද, එෆ්. ආර් ජයසූරිය, කේ.එම්.පී. රාජරත්ත, හේන්පිටගෙදර ඤානසීහ සමග එක ‍පෙළට සිටි පුරෝගාමියෙකු සහ පුරාකෘතික ආන්තික ජාතිකවාදියෙකු විය…“

“..යුරෝපීය ඇඳුම අතහැර ජාතික ඇඳුමට මාරු වූ පළමු පරිපාලන නිලධාරියා ඔහු විය. ඉන්දියනුවන් සහ දෙමළ ජාතිකයන්, රොමානු කතෝලික පල්ලිය සහ බටහිර සංස්කෘතියට එරෙහිව ඔහු තුළ වෛරී අතිථීභීතිකාවක් ( xenophobic) සහ පිළිකුළක් විය. එමෙන්ම ඔහු තුළ දැඩි ඉන්දීය භීතිකාවක් විය. ඉන්දීය සාගර කලාපය තුළ ඉන්දියානු ආධිපත්‍යයේ අනිවාරණීය බව උපකල්පනය කරමින් ලියැවුනු පණික්කාර් ලියැවිල්ල කියවීමෙන් සහ ධාරණය කරගැනීමෙන් පසුව ඔහුගේ විශ්වාසය වූයේ එක්කෝ ලංකාව මුළුමණින්ම යටත් කර ඈඳාගැනීමට, නැතහොත් එය ඉන්දියාව මත යැපෙන පරිදි ස්ථාවර ලෙස දුර්වල කිරීමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ කූට සැලසුමක් ඇති බවයි…“

“මීට ප්‍රතිවිරුද්ධ අනෙක් රාමුව තුළ ඔහු යටත්විජිත සිවිල් පරිපාලන නිලධාරියකු පිළිබඳ පරම ආකෘතියක් මෙන්ම පුක්කා සාහිබ් කෙනෙකු ද විය. ඔහුට සිංහල හොඳින් කථා කිරීමට හෝ ලිවීමට නොහැකිය විය. උද්දච්ඡකමක් සහ දුරස්බවක් ඔහු තුළ විය. උපතින්ම ධනවතෙකු වූ ඔහු කොළඹ ප්‍රභූවරුන්ගේ ටෙනිස් සමාජයක සාමාජිකයෙකු ලෙස ආකර්ශණීය අන්දමින් එකල ටෙනිස් ක්‍රීඩා කළේය. නිතිපතා ගොල්ෆේස් හෝටලයේදී ඔහුගේ ප්‍රියතම ජීරණ උත්තේජක මත්පැන් වර්ග, ජින් සහ ටොනික් සමග දිවා ආහාරය ගත්තේය….ඔහු ඔහුගේ ආන්තික ජාතිකවාදයට කැප වූ අතර බොහෝ පරිපාලන නිලධාරින් මෙන් අල්ලස් හෝ දූෂණයට නතු නොවූ පුද්ගලයෙකු විය.“ (නෙවිල් ජයවීර – එම)

‘අනාගත දෙමළ තර්ජනය’

ඉන්දියාව විසින් ශ්‍රි ලංකාව ආක්‍රමණය කරනු ඇතැයි ද එහිලා උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනයා ඉන්දියාවේ සහායක බල ඇණියක් ලෙස කටයුතු කරනු ඇතැයි ද යනුවෙන් දෙමළ ජනයා පිළිබඳ වූ සතුරු ආකල්පයෙන් මෙහෙයවුනු සිංහල පාලක පන්තිය එයට කල්තබා මුහුණ දීමේ සුදානමක් ලෙස ලංකාවේ දෙමළ ජනතාව ජාතියක් ලෙස පැවැත්ම අහෝසි කර දැමීමට ආරම්භයේ සිටම සැලසුම් කර ඇති බව පැහැදිලි ය. එය ඉතා සැලසුම් සහගත ලෙස විවිධ කාලවකවානු තුළ විවිධ මුහුණුවරින් දියත් වුණු සැලසුම්ගත ජන සංහාරක ක්‍රියාදාමයකි.

වමේ සිට: එන්.කිව්.ඩයස්, බෞද්ධ ජාතික බලවේගයේ උප සභාපති ටී.යූ. ද සිල්වා සහ බෞද්ධ ජාතික බලවේගයේ නායක එල්.එච්.මෙත්තානන්ද

ඩයස් ප්‍රමුඛ සිංහල ජාතිවාදි බලවේග “අනාගත දෙමළ තර්ජනයකට“ මුහුණ දීමේ පළමු පියවර ලෙස රාජ්‍ය බලය යොදා දෙමළ ජනයා ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් දුර්වල කිරීමට සැලසුම් කළහ. එහිදී දයා විරහිතව දෙමළ ජනයාගේ මානව සහ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ඔවුන්ගේ සාමූහික ආත්මගරුත්වය විනාශ කර දැමූහ. තමන් මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන විට දෙමළ ජනයා සිය පැවැත්මට ඇති අවසාන විකල්පය ලෙස සන්නද්ධ අරගලයකට යොමුවන බව ඔවුහු දැන සිටියහ. දෙමළ ජනයාගේ අයිතීන් උදුරාගැනීමේ ක්‍රියාදමයේ ආරම්භක අවධියේම ඔවුහු තම සැළැස්මේ මීලඟ පියවර ලෙස උතුරු-නැගෙනහිර හමුදා කඳවුරු ජාලයක් පිහිටුවීම සැලසුම් කරන ලද්දේ එම සන්නද්ධ නැගිටීම ද මිලිටරිමය වශයෙන්ම විනාශ කර දමනු සඳහා ය. සිංහල පාලක පන්තිය කිසි කලෙක දෙමල ජනයාගේ ඉල්ලීම් ලබාදීමේ උවමනාවක් නොවුනු අතර ඔවුන් සැලසුම් කලේ සෑම විටෙකම එම ඉල්ලීම් උදෙසා ගොඩ නැගෙන දේශපාලන ව්‍යාපාරයේ ස්වරූපය කුමක්වුවද එය මර්දනය කර විනාශ කර දැමීම ය. 2009 උපරිමයට ගෙනඑන ලද දෙමළ ජන වර්ග සංහාරක යුද ව්‍යාපෘතියේ මුළික සැලසුම් දියත් වූයේ 1950 දශකයේ දීය. ගෙවී ගිය කාලවකවානුව පුරාම සිංහල පාලක පන්තිය සිදු කළේ එකී අපරාධයේ ගොදුර වීමට නියමිතව සිටි ජන සමූහය “බෙදුම්වාදීන්, ත්‍රස්තවාදීන්“ ලෙස හංවඩු ගසමින් සිය අපරාධකාරිත්වය වසාගැනීමට කටයුතු කිරීම ය. 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ රාජ්‍ය භාෂා පනත ගෙන ආ මොහොතේ පටන් චෙල්වනායගම්ගේ සිට ප්‍රභාකරන් දක්වා වූ දෙමළ නායකත්වය සමග සිංහල රාජ‍්‍යය විටින් විට පවත්වන ලද සාකච්ඡාවන් හෝ එකඟතාවන්ගේ අරමුණ වූයේ දෙමළ ජනයාගේ යුක්ති සහගත ඉල්ලීම් ලබා දී ඔවුන්ට ආත්ම ගෞරවයක් සහිත පුරවැසියන් ලෙස ජීවත්වීමට ඉඩ සලසමින් අවසන් සාමකාමී විසඳුමක්ට එළැඹීම නොව, පැවැති තත්ත්වය කළමණාකරණය කර සිය ජන සංහාරක වැඩ පිළිවෙළේ ඊළඟ පියවර වඩාත් ශක්තිමත් සථාවරයක සිට ආරම්භ කිරීම සඳහා ය.

නීල් ක්වින්ටස් ඩයස්: අනාගත වක්තෲවරයෙක්ද? සූක්‍ෂම අපරාධකරුවෙක්ද?

නෙවිල් ජයවීර සිය ලියවිල්ල තුල එන්.කිව්. ඩයස්ගේ ජාතිවාදි සහ අධිපතිවාදි ස්ථාවරයන් පිළිබඳ විවේචනාත්මක ආකල්පයක් දැරූ නමුත් ඔහු අනාගතයේදී සන්නද්ධ දෙමළ අරගලයක් මතුවීම පිළිබඳ ව ඩයස්ගේ දුර දක්නා නුවණ පිළිබඳව කරන අතිශයෝක්ති සහගත වර්ණනය මගින් මෙම ඓතිහාසික ක්‍රියාවලියට අදාළව හේතුඵල සම්බන්ධය නොසළකා හැර ඇත.

“..ඩයස්ගේ සුසමාදර්ශය තුළ ඔහුගේ මහා උපාය මාර්ගික සැලසුමේ විශිෂ්ට බව, නිර්භයත්වය, සහ දුරදක්නා සුළු බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. කෙසේ වුවද මෙහි ක්‍රියාකාරි සංකල්පය “ඔහුගේ සුසමාදර්ශයයි“. විශේෂයෙන් ම සමාජ- දේශපාලනික ප්‍රශ්න සැළකිල්ලට ගැනීමේ දී සුසමාදර්ශයන් ඒවා විසින්ම යුක්ති සහගත වන්නේ නැත. භෞතික විද්‍යාවන්හිදී සුසමාදර්ශයන් පරීක්ෂණයට ලක්වනුයේ අනුභූතික නිර්ණායකයන්ට එරෙහිව වන අතර දේශපාලන සහ සමාජ විද්‍යාවන්හිදී ඒවා පරීක්ෂණයට ලක්වන්නේ විශ්වීය වශයෙන් පිළිගත් වටිනාකම් සහ සදාචාර පරීක්ෂාවන්ට එරෙහිව ය. අප විසින් ඒකී සුසමාදර්ශයන් ප්‍රශ්න කළ යුත්තේ ඒවා විසින් මූලික අයිතීන්, සමානාත්මතාව, නිදහස සුරකිනු ලබන්නේ ද , සියලු දෙනා වෙත යුක්තිය ඉටුකරනු ලබන්නේ ද යන්න සහ ඒවා විසින් වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සියලූ ජන කණ්ඩායම් අතර සංහිඳියාව සාමය වර්ධනය කරන්නේ ද යන්න පිළිබඳවයි. මෙම සංදර්භය තුළ ඩයස් සුසමාදර්ශය පිළිබඳ ගැටළු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත…“ (Into the turbulence of Jaffna – a chapter extracted from the author’s unpublished memoirs, titled “Dilemmas“ by Neville Jayaweera Part 1)

එන්.කිව්.ඩයස්

දෙමළ ජාතික අරගලය සන්නද්ධ අරගලයක් දක්වා විකාශනය වූයේ දිගුකාලීනව ප්‍රචණ්ඩ පීඩනයට එරෙහිව දෙමළ සමාජයෙන් පැන නැගුන ස්වාභාවික ප්‍රතිචාරයක් ලෙස මිසක බාහිර ලෝකයෙන් වියුක්ත රික්තයක් තුළ එහිම අභ්‍යන්තර ගතිකයන් නිසා නොවේ. යමෙකුට තමන් කිසියම් ක්‍රියාවක් සිදු කරන විට එහි ලා සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත ඉලක්කය මෙන්ම නිශේධනය කළ යුතු අතුරු ප්‍රතිඵල පිළිබඳව ද යම් තක්සේරුවක් නොතිබිය නොහැක. ‘දෙමළ ජාතිය’ ජාතියක් ලෙස පැවැත්ම අහෝසි කරලීම අවසාන ඉලක්කය කොට දියත් කරන ලද මෙම ක්‍රියාදමයේදී දෙමළ ජනතාවගේ පැත්තෙන් මතුවූ ප්‍රතිරෝධය සිංහල පාලක පන්තිය විසින් අපේක්ෂා කළ, එනමුත් අනිවාර්යයෙන්ම විනාශකර දැමිය යුතු අතුරු ප්‍රතිඵලයක් විය. නීල් ක්වින්ටස් ඩයස් අනාගත වක්තෘ වරයෙකුට වඩා තම ක්‍රියාවන්හි ප්‍රතිඵල සහ අතුරු ප්‍රතිඵල පිළිබඳව හොඳ ඉවක් තිබූ සූක්ෂ්ම අපරාධකරුවෙකු ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය.

ඉන්දීය මැදිහත්වීම පිළිබඳව ඩයස්ගේ ආකල්ප සාවද්‍ය බව දැන් ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ. සැබැවින්ම ඉන්දියාව මැදිහත්වූයේ යාපනය දෙමළ අරගලය පාලනය සහ සීමා කරනු කරනු පිණිස සිංහල පාලක පන්තිය සමග ඇතිකරගත් එකඟතාවක් හරහා මිසෙක දෙමළ ජනයා සමග ඇතිකරගත් එකඟතාවකින් නොවන අතර 1987 දී ඉන්දීය හමුදාවන්ට එරෙහිව සටන් කරන ලද්දේ දෙමළ විමුක්තිකාමීන් මිසක කොළඹ සිංහල පාලක පන්තිය නොවේ.

නෙවිල් ජයවීර තම ලියැවිල්ල මගින් තවත් එක් වැදගත් හෙළිදරවු කිරීමක් කරයි. එනම් මීට දශක ගණනාවකට පෙර ලංකාවේ පැතිර ගිය “කල්ලතෝනි භීතිකාව “ අන් කිසිවක් නොව, උතුරු නැගෙනහිර ස්ථාවර ලෙස හමුදා සහ නාවික හමුදා කඳවුරු ජාලයක් ඉදිකිරීමේ සැලැස්ම සාධාරණීකරණය කරනු වස් සංවිධිතව දියත්කළ මනෝ විද්‍යාත්මක මෙහෙයුමක ප්‍රතිඵලයක් බව ය.☐

(මතු සම්බන්ධයි)

හයවැනි කොටස: අවිහිංසාවේ කාහළයෙන් දෙමළ ගම් බිම් පිබිදේ

අජිත් සී. හේරත්