ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුම: “එක් සෞඛ්‍යයක් ප්‍රවේශය”, දේශගුණ විපර්යාස භීෂණය සහ ගොවි ජනතාවට හා ආහාරවලට එරෙහි යුද්ධය

අජිත් සී. හේරත්

මෙම මැයි මාසයේ අවසානයේදී ‌ජිනිවාහිදී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සම්මේලනයෙදී සම්මත කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සඳහා සංශෝධන යෝජනාද, නව වසංගත ගිවිසුමක් පිළිබඳ ‌යෝජනා ඇතුළත් කෙටුම්පතක් ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එහි සාමාජික රටවල් 194 ක ඡන්දයෙන් එය සම්මත කරගැනීමට අපේක්ෂා කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම උත්සාහය තිරයෙන්  පිටුපසින් සිට එය හසුරුවන ගෝලීයකරණවාදි බලවේගවල සහ ඖෂධ සමාගම්වල දුෂ්ට ඒකාධිපතිවාදි අරමුණුද, කෑදර වාණිජ අවශ්‍යතාවන්ද ඉටුකිරීම සඳහා යැයි ලෝකයේ බොහෝ  රටවල විද්‍යාඥයන්,වෛද්‍ය විශේෂඥයන්, නීතිඥයන් ජනමාධ්‍යවේදින්,සිවිල් සංවිධාන සහ  දේශපාලන පක්ෂ වෙතින් චෝදනා එල්ල වී ඇති අතර එමගින් මූලික මානව හිමිකම්, සිවිල් සහ දේශපාලන නිදහස, ජාතින්ගේ ස්වාධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍ය අහෝසි වන බවට පෙන්වා දී තිබේ.

ප්‍රෝඩාකාරි වසංගත කුමන්ත්‍රණය තුළ ලොක්ඩවුන් වැනි ක්‍රියාමාර්ග හරහා, ගෝලීය සැපයුම් මාර්ග අඩාල කිරීම, වෙළඳපොළ වසා දැමීම සහ නිෂ්පාදනය බිඳ දැමීම ආදිය සිදු කරමින් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් බිඳ දමා ඒවා ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයවීම යටතේ බ්ලැක්රොක්, වෑන්ගාඩ්, ජේපී මොර්ගන්‌ චේස් වැනි බටහිර කොල්ලකාරි මූල්‍ය සමාගම්වල ග්‍රහණයට ගත් ආකාරය මෙම වෙබ් අඩවියේ මෙයට පෙර පළ වූ ලිපි මගින්  අප විසින් පැහැදිලි කර ඇත.

මෙම ලිපිය තුළ දී අප විසින් අවධානය යොමු කිරීමට උත්සාහ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුමේ අන්තර්ගත “එක් සෞඛ්‍යයක් සඳහා වන ප්‍රවේශය” සහ වසංගත ඇතිකිරීමට  හේතුවන එක් සාධකයක් ලෙස දේශගුණික විපර්යාසය යන්න ඇතුළත් කිරීම මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය පිටුපසින් සිට එය මෙහෙයවන බලවේග විසින් ඉටුකරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක මොනවාදැයි යන කරුණ  වෙතය.

මෙම ගිවිසුමේ වගන්ති තුළ ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා හුදු වාච්‍යාර්ථයෙන් ගත් කළ එහි කිසිදු වරදක් දැකීමට අපහසු , මානව යහපතම පෙරදැරි කර ගත්, සුන්දර වදන්මාලාවකින් සමන්විත  යෝජනා මාලාවක් බව පෙනී යයි. නමුත් මෙම ‌යෝජනාවන් පිටුපස සිටින බලවේග, ඔවුන්ගේ අතීත ක්‍රියාකාරිත්වයන්, සහ අභිලාෂයන් සහ සැලසුම් තුළ තබා විමසීමට ලක් කරන විට පෙනී යන්නේ  ඒවා මතුපිටින් දිස්වන තරම්  තරම් අහිංසක ඒවා නොවන බව පමණක් නොව සිතාගැනීමටත් නොහැකි තරම් මානව විරෝධී, සාපරාධී සැලසුම් ඒවා තුළ අන්තර්ගතව ඇති බවත්ය.

මෙම ගිවිසුම විසින් සියලුම රටවලට බලපාන පරිදි ගෝලීය වසංගත තත්ත්වයක් හෝ  වෙනත් “අවධානයට යොමුවිය යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක්”   ප්‍රකාශයට පත් කිරීමේ ඒකාධිකාරි බලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පවරා දෙනු ලබයි.  එමෙන්ම ඒවා වැළැක්වීම, ඒවා සඳහා සුදානම්වීම සහ ප්‍රතිචාර දැක්වීමේ සියලු කටයුතු පාලනය කිරීමේ බලයද ඔහු සතුවේ. මෙම ගිවිසුමේ ඇති වගන්ති අනුව “අනාගතයේ ඇති විය හැකි වසංගත ” සඳහා සුදානම් වීමේ පියවරක් ලෙස එවැනි තත්ත්වයකදී අවශ්‍ය කරන එන්නත්,  PCR  රෝග නිර්ණයන කට්ටල  වැනි “වසංගත ආශ්‍රිත සෞඛ්‍ය නිෂ්පාදන” මිලදී ගැනීම සඳහා අදාළ ඖෂධ සමාගම් සමග ගිවිසුම් අත්සන් කරමින්  කල් තබා ඒවා ඇණවුම් කළ යුතුය. මේ සඳහා ජාතික ආදායමෙන් විශාල ප්‍රතිශතයක් වාර්ෂිකව වෙන් කළ යුතුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා “තමන් වෙත ලැබෙන තොරතුරු සහ දත්ත” අනුව වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ විට ඖෂධ සමාගම් සහ ආණ්ඩු විසින් අත්සන් කරන ලද එම ගිවිසුම් බලාත්මක වන අතර ඒවාට ගෙවිය  යුතු මුදල් අදාළ රාජ්‍යයන් විසින් බැර කළ යුතුය. ඔවුන්ට ඒ සඳහා මුදල් ඒ අවස්ථාවේ නොමැති නම් ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වලින් මුදල් ණයට ගෙන හෝ එය ගෙවිය යුතුය. මෙහි දී සිදුවන්නේ එකී මූල්‍ය සමාගම් හෝ ආයතන විසින් එම මුදල කෙලින්ම ඖෂධ සමාගම්වල ගිණුම්වලට බැරකිරීමය. නමුත් අදාළ රටවල ජනතාව එම ණය සහ පොලී ගෙවීමට බැඳී සිටිති. මෙම ” වසංගත කර්මාන්තයේ ”  සශ්‍රීක  ප්‍රතිලාභවල රස දැනී ඇති ඖෂධ සමාගම් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයද, ජාතික රාජ්‍යයන්හි දූෂිත සෞඛ්‍ය බලධාරින්ද, ඇතැම් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ද “වසංගත ආඛ්‍යානයන් ” වටා රොද බැඳ සිටින්නේ අසූචි ගොඩක් වටා ගැවසෙන නිල මැස්සන් රැසක් මෙනි..‌  “දේශගුණික විපර්යාස කර්මාන්තයටද”  අදාළව පවතින්නේ මෙවැනිම දූෂිත තත්ත්වයකි.

මෙවැනි ඊනියා වසංගත හෝ වෙනත් එවැනි  “මහජන සෞඛ්‍යයට බලපාන හදිසි තත්ත්වයන් “පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඖෂධ සමාගම් සහ වෙනත් පුද්ගලයන් සහ ආයතන විසින් පෙරට දමන ආඛ්‍යානය ප්‍රශ්න කෙරෙන කිසිවක් ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ජාලාවල පළවීම වැළැක්වීමට බලය පැවැරෙන වගන්තිද ඉහත වසංගත ගිවිසුමේ සහ 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සඳහා වන සංශෝධන තුළට ඇතුළත් කෙරී ඇත. සිය බල ප්‍රදේශය තුළ  සාවද්‍ය තොරතුරු, සහ වැරදි තොරතුරු ප්‍රචාර වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩු වෙත බලකෙරෙන අතර අන්තර්ජාලය තුළ සිදු කරන වාරණය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතම  බලය පවරාගැනීමට සැලසුම් කර තිබේ. අනිවාර්ය එන්නත්කරණය සහ බලහත්කාරි පරීක්ෂාවන්ට ලක්කිරිම, නිරෝධායන කඳවුරු තුළ ගාල් කිරීම, රටවල් වසා දමමින් ඇදිරි නීති පැනවීම ආදි කටයුතුවලට සෘජුවම මැදිහත්වීමට ද ඔවුන් මේ යටතේ බලය පවරා ගනු ඇත.

මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉටුකරන ලද්දේ මාර්ගෝපදේශන සැපයීමේත් ඒ ඒ රාජ්‍යයන්ගේ ජාතික සෞඛ්‍ය පද්ධතින් අතර සම්පත් සහ විශේෂඥ උපදෙස් හුවමාරුව සම්බන්ධීකරණ ආයතනයක් ලෙසය. නමුත් එය විසින් සපයන කිසිදු උපදේශයක් අනිවාර්යෙන්ම පිළිපැදීමට එහි සාමාජිකයන් නීතිමය වශයෙන් බැඳී නැත. නමුත් මෙම යෝජිත වසංගත ගිවිසුම සහ 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සඳහා වන යෝජිත සං‌ශෝධන සඳහා සාමාජික රාජ්‍යයන් විසින් මෙම මැයි මසදී අත්සන් තැබුවහොත් ඒවා පිළිපැදීමට ඔවුහු නීතිමය වශයෙන් බැඳී සිටිති. යම් හේතුවක් නිසා ඒවා විසින් තම රටේ ජාතික අවශ්‍යතාවන්, හෝ එහි පුරවැසියන්ගේ මානව, සිවිල් සහ දේශපාලන අයිතීන් උල්ලංඝණය කෙරෙන අවස්ථාවලදී ඒ බව පවසමින් ඒවා ඉටු නොකර සිටීමේ අයිතියක් සාමාජික රටවලට නැත. යම් රටක්  එසේ සිදු කළහොත් ඔවුන්ට සෘජුවම දඬුවම් පැමිණවීමේ බලයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට නොමැති වුවද ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක වෙළඳ සංවිධානය, එක්සත් ජාතින්ගේ සංවිධානය සහ වෙනත් රටවල් හරහා සම්බාධක පැනවීම මගින් වක්‍රව දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලියක් ස්ථාපිත ජාත්‍යන්තර ආර්ථික සහ දේශපාලන ව්‍යුහය තුළ පවතී.

ප්‍රෝඩාකාරි කොවිඩ්-19 ආඛ්‍යානය හරහා ඔවුහු ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන්ම  ලංකාවේ ද ආර්ථිකය බිඳ දමන ලදි. ජාතික සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන ලද්දේ ඒ සඳහා වෙන්කිරීම තිබූ අරමුදල් නොපැවැති වසංගතයක් ඇතිබවට මවාපෑම සඳහා යොදාගත් පරීක්ෂණ කට්ටල මිලියන ගණන් මිලදී ගැනීම සඳහාත්, කිසිදිනෙක සෞඛ්‍යමය අවශ්‍යතාවක් ලෙස නොපැවැති එන්නත් වර්ග මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන ගණන් ගෙවීමත් හේතුවෙනි. ජාතික සෞඛ්‍ය පද්ධතියේ මේ බිඳ දැමීම සැලසුම් සහගතවම සිදු කරන ලද්දක් විය.එහි අරමුණ වූයේ එය නැවැත ප්‍රකෘතිමත් කිරීමේ මුවාවෙන් ශ්‍රි ලංකාවේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම ආක්‍රමණය කර එහි තම බලය පිහිටුවීමය. දැන් ජාතික ඖෂධ නියාමක අධිකාරිය සහ ජාතික එන්නත්කරණ ව්‍යාපාරය පාලනය කරන්නේ බිල්ගේට්ස්ගේ GAVI පදනමේ සහ ඖෂධ සමාගම්වල ඒජන්තයන් විසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත ගිවිසුමට “එක් සෞඛ්‍යයක් සඳහා වන ප්‍රවේශය” සහ “වසංගත අවදානම වැඩි කරන සාධකයක් ලෙස දේශගුණ විපර්යාස” යන්න ඇතුළත් කිරීමේ අරමුණ ඒ මගින් ලෝකයේ ආහාර නිෂ්පාදනය සියතට ගැනීමට අවශ්‍ය නීතිමය පදනම සකස් කරගැනීමය. මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව නිල වශයෙන් අත්සන් තැබීමටත් පෙර සිටම ‌එහි ඇති වගන්ති බොහෝමයක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවැති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවද  විසින්ය ක්‍රියාත්මක කරවා ඇති බව පෙනී යයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුම:සම්පූර්ණ සිංහල පරිවර්තනය
Proposal for the WHO Pandemic Agreement:English

ප්‍රෝඩාකාරි වසංගත කුමන්ත්‍රණය හරහා ජාතික සෞඛ්‍ය පද්ධතින් බිඳ දැමීම හා නැවත එය ප්‍රකෘතිමත් කිරීමේ මුවාවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කිරීම

කොව්ඩ්-19 වසංගත ආඛ්‍යානය හරහා ජාතික සෞඛ්‍ය පද්ධතින් බිඳ දමන ලද ආකාරය රෝහල්වල හදිසි ශල්‍ය කර්ම ඇතුළු අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ නැතැයි පවසමින් ප්‍රතිකාර කිරීම අනන්තය දක්වා කල්දැමීම හේතුවෙන් පෙනඩෝල් පෙත්තක්වත් නොමැතිව සිය ඥාතින් මරණය පත්වීම පිළිබඳ ඛෙදජනක ඉරණමට මුහුණ දුන් ශ්‍රි ලංකාවේ ජනතාවට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. ජාතික සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කිරීමට තිබූ ප්‍රතිපාදන සියල්ල ප්‍රෝඩාකාරි වසංගතයක් වෙනුවෙන් වැය කිරීම එම පද්ධතියේ බිඳ වැටීමට බලපාන ලද ප්‍රධාන එක් හේතුවක්විය. ඒ සඳහා බලපෑ තවත් හේතුවක් නම් ජාතික සෞඛ්‍ය පද්ධතිය වෙනත් යටි අරමුණු සහිතව චේතාන්විතව බිඳ දැමීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි.
මෙම වසංගත කුමන්ත්‍රණය පිටුපස සිටින ගෝලීයකරණවාදි බලවේග වල න්‍යාය පත්‍රයේ ඊළඟ අංගය ක්‍රියාවට නැංවීම සඳහා පවත්නා ජාතික සෞඛ්‍ය පද්ධතිය බිමටම සමතලා කර දැමීම ඔවුන්ගේ පැත්තෙන් ගත් කළ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.
එනම් ” වසංගතයෙන් පසු සෞඛ්‍ය තත්ත්වය ප්‍රකෘතිමත් කිරීම” (වසංගත ගිවිසුමේ II වන පරිච්ඡේදය. වගන්තිය 6(b) post-pandemic health system recovery) යටතේ ජාතික සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීම සහ එයට අවශ්‍ය සම්පත් සැපයීමේ මුවාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ඖෂධ සමාගම්වලට ජාතික සෞඛ්‍ය පද්ධතිය ආක්‍රමණය කර අත්පත් කිරීමට අවශ්‍ය පදනම සකස් කිරීමය. දැන් ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ ඉහත කී පදනම් ආයතන සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ගෝලීයකරණවාදි බලවේග විසින් මිසක ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව හරහා ජනතා පරමාධිත්‍යය වෙත වගකීමට බැඳී සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නොවේ. බිල් ගේට්ස්ගේ මානව විරෝධී මෙහෙයුම් පවත්වාගෙන යාමේ මධ්‍යස්ථානයක් සිය ජනාධිපති කාර්යාලය තුළම විවෘත කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉඩකඩ සපයා තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පමණක් නොව වෙනත් බොහෝ ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රතිපත්තිමය ලේඛන, පනත් කෙටුම්පත් සම්පාදනය කරනු ලබන්නේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව, බ්ලැක්රොක් ආදි ආයතන විසිනි. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වනාහි ඔවුන්ගේ ජනතා විරෝධී න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට සහාය වන අතරම එම ජනතාවම සූරා කමින් රැස් කරන බදු මුදලින් පාර්ලිමේන්තු කැන්ටිමේ බූරියානි බුදිමින් සුර සැප විඳින පිංගුත්තරයන් රැළක් පමණි.
අනතුරුදායක ඖෂධ නිෂ්පාදන දුප්පත් රටවලට පැටවීමට අමතරව ගේට්ස් පදනම සැබැවින්ම එම රටවල සෞඛ්‍ය පද්ධතියේ වැඩි දියුණුවට සහාය වන බවට අඟවමින් සෞඛ්‍ය සේවය තුළට රිංගා ඇත. ඒ මගින් සෞඛ්‍යයට බලපාන සමාජීය සහ ආර්ථික නිර්ණායක පසෙකට දමමින් එන්නත් වැනි වඩාත් ලාභ ඉපැයිය හැකි, තාක්ෂණ කේන්ද්‍රිය විසඳුම් පෙරට දමන බව මිෂෙල් ග්‍රීන්ස්ටයින් සහ ජෙරමි ලොෆ්රෙඩෝ විසින් Gray Zone වෙබ් අඩවියට ලියන ලද ලිපියක් මගින් පෙන්වා දී තිබේ. එම ලිපියේ පරිවර්තනයක් අප විසින් මෙයට පෙර විමර්ශන වෙබ් අඩවියේ පළ කරන ලද අතර එයින් උපුටාගත් පරිච්ඡේද කීපයක් පහත දැක්වේ.

“..Global Justice Now වෙබ් අඩවියට අනුව“ නව එන්නත් සංවර්ධනය සඳහා ගේට්ස් පදනමේ දැවැන්ත අවධාරණය විසින් …. සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම වැනි අනෙකුත් වඩාත් අත්‍යවශ්‍ය වැදගත් ප්‍රමුඛතාවලින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එහි සාමාජික රටවල අවධානය ඉවත් කර ඇත.”
ආචාර්ය ඩේවිඩ් ලෙගේ විස්තර කරන අන්දමට “ ලෝක සෞඛ්‍ය පිළිබඳ ගේට්ස්ට ඇත්තේ යාන්ත්‍රික දැක්මකි. ඔහු සොයන්නේ වාසි සහිත ක්ෂණික විසඳුම්ය. ඔහු විසින් සහාය දෙන සියළු වැඩ සටහන් පවතිනුයේ එවැනි වාසි සහගත ක්ෂණික විසඳුම් සොයන රාමුවකය. එහි තේරුම ලෝක සෞඛ්‍ය සම්මේලනය විසින් හඳුනාගනු ලබන ප්‍රධාන ගැටළුවලට කිසිදු විසඳුමක් නොලැබෙන බවයි. එම ගැටළු අතර විශේෂයෙන්ම සෞඛ්‍ය පිළිබඳ සාමාජීය සාධක සහ සෞඛ්‍ය පද්ධති සංවර්ධනය කිරීම ආදිය වෙයි.”
2011 දී ලෝක සෞඛ්‍ය සංවිධානය අමතමින් ගේට්ස් මෙසේ පැවසීය“ සියලු සාමාජික රටවල් 193 වෙත පැවසිය යුත්තේ ඔබගේ සෞඛ්‍ය පද්ධතිවල කේන්ද්‍රීය අවධානය යොමුවිය යුතු කරුණ බවට එන්නත් පත් කළ යුතු බවය.”
ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ඈන් එමානුවෙලා බර්න් (Anne Emanuelle Birn) 2005 දී මෙසේ ලියා තිබේ.“ ගේට්ස් පදනමට ඇත්තේ සෞඛ්‍ය යනු ආර්ථික, සාමාජීය සහ දේශපාලන සංදර්භයන් හා සම්බන්ධයක් නැති තාක්ෂණික සොයාගැනීම්වල නිෂ්පාදනයක් බවට සිතන පටු අවබෝධයකි.”
“ගේට්ස් පදනම විසින් ඉතා කාර්යක්ෂම ලෙස කාලයක් තිස්සේ ගෝලීය සෞඛ්‍යය සමග පුද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් එය ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කර තිබෙනවා.” යි බර්න් Grayzone වෙත පැවසුවාය.
බිල් ගේට්ස් “සෞඛ්‍ය පද්ධති සඳහා දැඩි ලෙස විරුද්ධ බවත් එය සම්පූර්ණ මුදල් නාස්තියක්” බවත් නිතර පුද්ගලික කතාබහ තුළ තමා සමග පවසා ඇතැයි GAVI හි එක් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු විසින් වාර්තා කර ඇත.
මෙම ප්‍රපංචය GAVI සන්ධානයේ ප්‍රතිපත්තිමය ඉලක්ක සැලසුම් කිරීම තුළද පරාවර්තනය වේ. GAVI විසින්ද දුප්පත් රටවල සෞඛ්‍ය පද්ධති ගොඩ නැංවීම සහ ශක්තිමත් කිරීම වැනි තිරස් ප්‍රවේශයක් වෙනුවට එන්නත්කරණය වැනි ඉහළ සිට පහලට සිදුවන සිරස් ප්‍රවේශයක් කෙරෙහි සිය අවධානය යොමු කර ඇත.
Global Public Health හි වාර්තාවක් මගින් “සෞඛ්‍ය පද්ධතින් ගැන ගේට්ස්ගේ ප්‍රවේශය එනම් විශේෂිත රෝග කේන්ද්‍රීය කොටගත් ප්‍රවේශය විසින් එනම් එන්නත්කරණය වැනි උපක්‍රම විසින් මහජන මුදලින් නඩත්තු කරන සෞඛ්‍ය පද්ධති යටපත් කර ඇති ආකාරය පෙන්වා දෙයි. මෙම වාර්තාව ලියා ඇති කැතරිනි ස්ටොරෙන්ග් මෙසේ ද සඳහන් කර ඇත.“ GAVI වැනි ගෝලීය සෞඛ්‍ය සඳහා මදිහත්ව ඇති නව සංවිධාන විසින් දැන් සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම ට අදාළ ජාත්‍යන්තර  සෞඛ්‍ය විවාදය සිරකර ඇත්තේ ඔවුන්ගේ රෝග කේන්ද්‍රිය ප්‍රවේශය සහ විධික්‍රම භාවිතයේ යෙදවීම පහසුවන පරිදි සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරන්නේ කෙසේ ද යන්න ගැන කෙරෙන සාකච්ඡාවකටය.”
කැතරිනි ස්ටොරෙන්ග් ( Katherini Storeng) වෙත සිය අදහස් දක්වන ලද GAVI සන්ධානය තුළ කලින් සේවය කළ නිලධාරියෙකු, එනම් GAVI හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි ජුලියාන් ලොබ්-ලෙවිට් ( Julian Lob-Levitt ) විසින් ප්‍රකාශ කර ඇත්තේ “සැලසුම් කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමට සහ නිමා කිරීමටත් සති 4ක් ගත වන සහ වසරකට 8 වරක් ක්‍රියාවට නැංවීමට සිදුවන එන්නත්කරණ ව්‍යාපාරයේ නිරර්ථකත්වය සහ මුග්ධත්වය පිළිබඳ තමන්ට වැටහීමක් තිබුණ බවත් එය විසින් සෞඛ්‍ය පද්ධතිය මුළුමණින්ම බිඳ දමන ලද බවත්” ය.”
(බිල් ගේට්ස් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මිලදී ගැනීම සහ ලෝක ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීම, මිෂෙල් ග්‍රීන්ස්ටයින් සහ ජෙරමි ලොෆ්රෙඩෝ, 2020 ජූලි 08 The Grayzone)

එකම සෞඛ්‍යයක් ප්‍රවේශය හරහා ගෝලීය ආහාර නිෂ්පාදනය සියතට ගැනීමට ගෝලීයකරණවාදින් දියත් කර ඇති කුමන්ත්‍රණය

මේ අයුරින් ලෝකයේ ජාතික සෞඛ්‍ය පද්ධතින් බිඳ දමා ඒවාට ආධාර සැපයීමේ මුවාවෙන් බිල් ගේට්ස් පදනම, රොකෆෙලර් පදනම ඇතුළු ගෝලීයකරණවාදි බලවේග විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා දියත් කළ සැලැස්මට ගොදුරු වූ රටවල් සිය ගණනක් අතර ලංකාවද එකක් පමණි. නමුත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආධිපත්‍ය තහවුරු කිරීමට පමණක් නොවේ. ගෝලීය ආහාර නිෂ්පාදනයද පූර්ණ වශයෙන්ම සියතට ගැනීමට ඔවුන්ට අවශ්‍ය ව තිබේ.
කිසියම් රටක් ආහාර නිෂ්පාදනය එකී රටේ සමස්ත ජනතාවගේම පැවැත්ම හෝ විනාශය සඳහා බලපාන සාධකයකි. ඒ වෙනුවෙන් වන ප්‍රතිපත්ති සම්පාදනය ජාතික ස්වාධිපත්‍යයට සහ ජනතා පරමාධිපත්‍යයට යටත් විෂයයක් වන අතර ආහාර නිෂ්පාදනය සඳහා බාහිර රාජ්‍යයන් හෝ ආයතන හෝ සමාගම් යටතට පත්කර ගැනීමට නම් ඒකී රටේ ආහාර නිෂ්පාදනය ජාත්‍යන්තරව මැදිහත් විය හැකි විෂයයක් බවට පත්කළ යුතු බව වටහා ගෙන ඇති ගෝලීයකරණවාදිහු ඒ සඳහා වන සිය සැලසුම් දැන් ක්‍රියාත්මක කරමින් සිටිති.
මේ සඳහා ඔවුන් “ජාත්‍යන්තර හෙවත් ගෝලීය තර්ජන දෙකක්” පිළිබඳ භීෂණ ප්‍රචාරක ව්‍යාපාරයක් දශක ගණනාවක් තිස්සේ දියත් කරමින් පවතී. ඒවා නම් “ජාත්‍යන්තර අවධානයට යුතු මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයන් හෙවත් ගෝලීය වසංගත තත්ත්වයන්” සහ කාබන් විමෝචනය ඉහළ යාම හේතුවෙන් පෘථිවි වායුගෝලයේ උෂණත්වය ඉහළයාම නිසා සිදු වෙතැයි කියනු ලබන “දේශගුණික විපර්යාසයන්” වේ.
විවිධ ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ජනමාධ්‍ය මෙන්ම ප්‍රෝඩාව විද්‍යාව බවට මවාපෑමේ කලාව සඳහා පුහුණු කර ඇති විවිධ විද්‍යාඥයන්, විශේෂඥයන් සහ ජනමාධ්‍යවේදින්, දේශපාලනඥයන් ආදි බලවේග යොදාගෙන වර්ධනය කරන ලද මෙම තර්ජන දෙක පිළිබඳ ආඛ්‍යානය විසින් රටවල් ආර්ථික සහ දේශපාලන වශයෙන් ග්‍රහණයට ගැනීම සිදුවේ.
ප්‍රෝඩාකාරි වසංගත ආඛ්‍යානය හරහා ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල ජාතික සෞඛ්‍ය පද්ධතීන්ගේ පාලනය අත්පත් කරගත් ඔවුහු දැන් එම සෞඛ්‍ය පද්ධතින් මෙවලමක් ලෙස යොදාගනිමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයද අත්පත් කරගැනීමේ සැලසුමක් ක්‍රියාවට නංවමින් සිටිති. ඒ සඳහා විවිධ සැලසුම් ඔවුන් ක්‍රියාවට නගමින් ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ “එක් සෞඛ්‍යයක් ප්‍රවේශය” ගෝලීය ආහාර නිෂ්පාදනය සියතට ගැනීම සඳහා ඔවුන් දියත් කරන ලද්දකි.

වසංගත ගිවිසුමේ අදාළ වගන්ති

“10. එක් සෞඛ්‍යයක් සඳහා ප්‍රවේශය ද ඇතුළත් ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ බහු ආංශික සහයෝගීතාවක් හරහා මානව සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කරමින්ද,”

(ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුමේ පූර්විකාව, 10 වැනි වගන්තිය)

“(b) “එක් සෞඛ්‍යයක් ප්‍රවේශය ” (One Health approach) යන්නෙහි අර්ථය තිරසාර සමතුලිතතාවකින් සමන්විත සහ මනුෂ්‍යන්ගේත්, සත්වයන්ගේත්, පරිසර පද්ධතීන්ගේත් සෞඛ්‍යමත් පැවැත්ම වෙනුවෙන් වරණීය ලෙස සකස්කරන ලද මනා ලෙස අන්තර්ග්‍රහණය කරන ලද්දාවූත්, ඒකීය ප්‍රවේශයකි. මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යය, ගෘහස්ත සත්වයන් සහ වන ජීවින්, ශාක සහ පුළුල් පරිසරය සමීප ලෙස සම්බන්ධව ඇති බවත් අන්‍යොන්‍ය ලෙස රඳා පවතින බවත් මේ මගින් පිළිගැනේ.”
(ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුමේ 1 වැනි පරිච්ඡේදය. හැඳින්වීම,1.යෙදුම් නිර්වචන )

3. ගිවිසුමේ පාර්ශවයන් විසින්, පාරිසරික, දේශගුණික, සමාජීය, මානව සහ ආර්ථික සාධක විසින් වසංගත අවදානම වැඩි කරනු ලබන බව පිළිගනු ලබන අතර ඒවා හඳුනාගනිමින් සුදුසු පරිදි වෙනත් ජාත්‍යන්තර මෙවලම් සමග අන්තර් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරමින් සහ ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික මට්ටම්වලදී අදාළ ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීමේදී එම සාධක සැළකිල්ලට ගැනීමට උත්සාහ කරනු ලබයි.

(වසංගත ගිවිසුමේ II වන පරිච්ඡේදයේ 3 වන වගන්තිය)

මෙහිදී යම් කිසි රාජ්‍යයක් විසින් මෙම වසංගත අවදානම වැඩි කරන සාධක ලෙස , පාරිසරික, දේශගුණික, සමාජීය, මානව සහ ආර්ථික යන්න පිළිගනු ලැබුවහොත්, එම ක්ෂේත්‍රයන් තුළ ප්‍රතිපත්ති සැකසීමේ කටයුතුවලට මැදිහත්වීමට ලෝක සෞඛ්‍ය  සංවිධානයට ඉඩ ලැබේ. ඖෂධ සමාගම් සහ වෙනත් එවැනි යටි අරමුණු සහිත රොකෆෙලර්, බිල් සහ මෙලින්ඩා ගේට්ස්, හෙන්රි වෙල්කම් වැනි පදනම් ආයතන සහ විවිධ අධිරාජ්‍යවාදි රටවල න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවමින් සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙවැනි ක්ෂේත්‍රයන්හි ප්‍රතිපත්ති සම්පාදනයන්ට සීමාරහිත ලෙස  මැදිහත් වීමට ස්වෛරී ජාතික රාජ්‍යයන් විසින් ඉඩදිය යුතුද?

දේශගුණික විපර්යාස සහ වසංගත

මෙහිදී අපි පළමුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත ගිවිසුමේ II පරිච්ඡේදයේ 3 වන වගන්තිය යටතේ වසංගත අවදානමේ වැඩිකිරීමට හේතුවන සාධක අතරින් එකක් ලෙස දේශගුණික සාධක ඇතුළත්කර ඇත්තේ මන්දැයි විමසා බලමු.
ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳව මහා භීෂණ ව්‍යාපාරයක් ගොඩ නගමින් ඒ හරහා සිය සැලසුම් තුළට ලෝක ජනතාව ගාල්කිරීමේ කුමන්ත්‍රණයට හවුල් වී සිටින ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වෙබ් අඩවියේ “දේශගුණය” නම් තේමාව යටතේ මෙසේ සඳහන් කර ඇත.

“දේශගුණික විපර්යාසයන් මිනිස් ජීවිත සහ සහ සෞඛ්‍ය කෙරෙහි විවිධ ආකාරයෙන් බලපානු ලැබේ. යහපත් සෞඛ්‍යයක අනිවාර්ය සංඝටකයන් වන, පිරිසිදු වාතය, සුරක්ෂිත පානීය ජලය, පෝෂ්‍යදායි ආහාර සැපයුම, ආරක්ෂිත නිවාස එය විසින් තර්ජනයක් එල්ල කරනු ලබන අතර ගෝලීය සෞඛ්‍ය විසින් දශක ගණනාවත් තිස්සේ අත්පත්කරගැනීමට සමත් වූ ප්‍රගතිය අඩාල කිරීමේ විභවයක් එය සතුවේ.
2030 සහ 2050 අතර කාලය තුළ දේශගුණික විපර්යාස හේතුවෙන් මැලේරියාව, දුෂ්පෝෂණය, පාචනය සහ තාප පීඩනය ආදිය හේතුවෙන් පමණක් දළ වශයෙන් අතිරේක මරණ 250000ක් පමණ වසරක සිදු වෙතැයි අපේක්ෂා කෙරේ.2030 වනවිට සෞඛ්‍යයට සිදුවන හානිය එක්සත් ජනපද ඩොලර් බිලියන 2-4ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. සුදානම්වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සඳහා ආධාර නොලැබෙන්නේ නම් දුර්වල සෞඛ්‍ය සේවා යටි ව්‍යුහයන් පවතින කලාපවල, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට මෙම තත්ත්වයට ඔරොත්තු දීම සඳහා වන හැකියාව ඉතා අවම වනු ඇත.
පොසිල ඉන්ධන කැණීමේ සහ දැවීමේ ප්‍රතිඵලයක් වන හරිතාගාර ආචරණය දේශගුණ විපර්යාස සහ වායු දූෂණය සඳහා දායකවන ප්‍රධාන සාධක වේ. ප්‍රවාහනය, ආහාර සහ බලශක්ති භාවිතය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ සහ පුද්ගලික තෝරාගැනීම් තුළ හරිතාගාර ආචරණය අඩුකිරීමේ සහ වායූ දූෂණය අඩු කිරීම වැනි ප්‍රධාන සෞඛ්‍යමය-සම ප්‍රතිලාභ ලැබීමේ විභවයක් පවතී. දූෂණය සඳහා හේතුවන බලශක්ති පද්ධතින් ඉවත් කිරීම සහ නිදසුනක් ලෙස පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රියාකාරි චලනය මගින් ආදිය මගින් කාබන් විමෝචනය මෙන්ම ගෘහස්ථ වියදම් අඩුකර ගැනීම මෙන්ම වසරකට මිලියන 7ක අඩු ආයු කාලයකින් සිදුවන මරණවලට හේතුවන වායු දූෂණය පාලනය වැනි ප්‍රතිලාභ ලබාගත හැකිය.”
(Climate change- ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙනි.)

2023 හරිත මූල්‍යකරණ පිළිබඳ සමුළුව හරහා ගෝලීය උණුසුම පිළිබඳ භීතිය ව්‍යාප්ත කිරීම

2023 ජූනි 22-23 යන දිනවල ප්‍රංශයේ පැරිස් නගරයේදී ලෝකය පුරා රාජ්‍ය නායකයන් සිය ගණනක්, එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් ඒජන්සි ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, බැංකු සහ මූල්‍ය ආයතනවල විධායක මට්ටමේ නියෝජිතයන්, දේශගුණික විපර්යාස තේමාව යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන සහ දේශගුණික විපර්යාස භීතිකාව වපුරන විද්‍යාඥයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව’ (Summit for a New Global Financing Pact) පැවැත්විණි.
මෙම සමුළුවේ ප්‍රකාශිත අරමුණ වූයේ “දේශගුණික විපර්යාස, ජෛව විවිධත්ව අර්බුදය සහ සංවර්ධන අභියෝග ආදියට මුහුණ දීම සඳහා බ්‍රෙට්න්වුඩ් ක්‍රමයට ඔබ්බෙන් ගිය නව ගෝලීය මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමය” . ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ කුමක් වුවද මේ සමස්ත සමුළුවේම ඉලක්කය එක් තැනකට නාභිගත වී තිබිණි. එනම් දේශගුණ විපර්යාසය සහ පරිසර සංරක්ෂණය පිළිබඳව වසර ගණනාවක් තිස්සේ ගොඩ නගන ලද ඩිස්ටෝපියානු ආඛ්‍යානය යොදාගනිමින් ගෝලීය දකුණේ රටවල ස්වාභාවික සම්පත් සූරාකෑම සහ මූල්‍ය වත්කම් උරාබීම මෙන්ම උපායමාර්ගික වශයෙන් වැදගත් සාගර සහ ගොඩබිම් කලාපයන් තුළ ස්ථානගත වීම සඳහා ආයුධ වශයෙන් යොදාගත හැකි මූල්‍යමය මෙවලම් ස්ථාපිත කිරීමය.
මෙම සමුළුවට සහභාගි වූ යුරෝපීය මධ්‍යම බැංකුවේ සභාපතිනිය ක්‍රිස්ටින් ලගාර්ඩ් (Christine Lagarde) සිය කතාව ආරම්භ කළේ සමුළුවේ මූල්‍යකරණ සැලසුම් ඉලක්කවල අවශ්‍යතාව අවධාරණය කිරීමට අවශ්‍ය පදනම සකස් කිරීම සඳහා දේශගුණික ව්‍යසනවාදි භීෂණය තවදුරටත් වැපිරීම මගිනි. ඇය විසින් මෙසේ පවසන ලදි..

ක්‍රිස්ටින් ලගාර්ඩ්

“… වසර 8 කට පෙර එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලේකම් බැං කි මූං COP 21 සමුළුව ආරම්භකරමින් පවසන ලද්දේ ගෝලීය ඌෂ්ණත්ව ඉහළයාම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීම සඳහා‘පැරිසිය විසින් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ යුතුව ඇත.’ යනුවෙනි. නමුත් අද මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා අප වෙත විවරව ඇති කවුළුව අපගේ දෑස් හමුවේ වැසී යමින් පවතී: පසුගිය වසර 8 තුළ ලෝකය පුරාම ඌෂ්ණත්වය වාර්තාගත ආකාරයකින් ඉහළ ගොස් ඇති අතර තීරණාත්මක 1.5°C සීමාව අවම වශයෙන් 2027ට වසරකට පෙර ඉක්මයනු ඇත.

සියළු වාර්තා බිඳ දමමින් නියඟයන්, උණුසුම් වායු ධාරා සහ ගංවතුර ලෝකය පුරා වසංගතයන් මෙන් පැතිර යමින් පවතී. ඒවා සියළු මහාද්විප තුළ බරපතල හානි සහ වේදනාවන් ඇතිකරමින් අනාගතය පිළිබඳ දැක්මක් ලෙස සේවය කරයි. පැරිස් දේශගුණික ඉලක්ක සම්පූර්ණ කිරීමට හැකි සියළු පියවර ගැනීම සියලු දෙනාගේම රාජකාරිය බවට පත්විය යුතුය.”

(යුරෝපීය මධ්‍යම බැංකුවේ සභාපතිනි ක්‍රිස්ටින් ලගාර්ඩ් ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේදි පවත්වන ලද කතාව)

එක්සත් ජාතින්ගේසංවිධානයේ මහලේකම් පෘථිවිය රත්වී උණු වී වැගිරෙන බව පවසයි

2023 ජූනි 15 වැනි දින නිව්යෝර්ක්හිදි පැවැති මාධ්‍ය හමුවක් අමතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස්ද පහත ප්‍රකාශයන් නිකුත් කරමින් මෙම අඬහැරයට එක්විය. මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ සිවිල් සමාජයේ “දේශගුණික නායකයන් ” හමුවීමෙන් පසුවය.

අන්තෝනියෝ ගුටරේස්

“අපි විනාශයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටිමු. ඇස් ඇර බලන්න. මෙය නැගී සිට පියවරක් ගැනීමට කාලයයි.”
“ගෝලීය උෂ්ණත්වය ඉහළයාම 1.5 C° කට සීමා කිරීම තවමත් කළ හැකි දෙයකි. නමුත් ඒ සඳහා අප විසින් ඒ සඳහා කාබන් විමෝචනය 45%කින් අඩු කළ යුතුව තිබේ.කෙසේ වුවත් වර්තමාන ප්‍රතිපත්ති විසින් මේ සියවස අවසාන වනවිට ගෝලීය උෂණත්වය 2.8 ක් දක්වා ඉහළ යාමට හේතු වනු ඇත. එය විසින් මහා ව්‍යසනයක් ඇති කරනු ඇත.”
“ මහා දේශගුණික විපර්යාසයක් වැළැක්වීම සඳහා රටවල් විසින් ගල් අඟුරු සහ අනෙකුත් පොසිල ඉන්ධන භාවිතා කිරීම අත්හැර දැමිය යුතුය. ”
“කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා කඩිනම් ගෝලීය ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබේ. එය ආරම්භ විය යුත්තේ පොසිල ඉන්ධන කර්මාන්තය නැමැති දේශගුණික අර්බුදයේ හදවතෙනි.”
“රටවල් විසින් පොසිල ඉන්ධන භාවිතය අත්හැර දැමිය යුතුය.තෙල්, ගල් අඟුරු සහ ගෑස් ඒවා අයත් පොළෝ ගර්භය තුළම පැවතීමට ඉඩ හැරිය යුතුය.

(Guterres calls for phasing out fossil fuels to avoid climate ‘catastrophe’)

බ්ලැක්රොක් සමාගම කාබන් විමොචනය ශුන්‍ය කිරීමට සපථ කරයි

බ්ලැක්රොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලැරී ෆ්ලින්ක් 2021 දී සිය විධානයක නිලධාරින් වෙත යවන ලද ලිපිය මගින් කාබන් විමෝචනය, පෘථිවිය උණුසුම් වීම, දේශගුණ විපර්යාස ආදිය පිලිබඳව ගත යුතු “මූල්‍යමය ක්‍රියාමාර්ග” පිළිබඳව උපදෙස්දී තිබේ.
. “දේශගුණික අවදානම වූකලී ආයෝජන අවදානමකි ” යැයි එහි ලා සඳහන් කර ඇති ඔහු, දේශගුණික අවදානම වැළැක්වීම සඳහා සහ ඒ වෙනුවෙන් වඩාත් හොඳින් සුදානම් වීමේ කටයුතු සඳහා ආයෝජනය කරන්නාවූත් භාරකාර ධනවාදයේ ESG ව්‍යාපෘති සංකීර්ණය පිළිගන්නා වූත් සමාගම් සඳහා වෙන් කරන ප්‍රාග්ධන ආයෝජනයන් දැවැන්ත ලෙස ඉහළ නැංවීම සඳහා ආයෝජනයන් පිළිබඳ තිරසාර දර්ශකයක්(Sustainable Index for Investments) නිර්මාණය කිරීම පිළිබඳවද එහිලා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ආයෝජන චර්යාවන් තුළ දැවැන්ත වෙනසක් සිදු කිරීමට ෆ්ලින්ක් මෙලෙස ප්‍රතිඥා දුන්නේය.
“තිරසාර බව කෙරෙහි අවධානය යොමු කරන සමාගම් වෙත සැපයෙන ආයෝජන ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි” සමාගම්වල විධායක නිලධාරින් වෙත ඔහු විසින් යවන ලද ලිපිය මගින් අනතුරු අඟවා තිබිණි. ප්‍රාග්ධන ආයෝජනයන් තුළ දැවැන්ත වෙනස් කිරීමට තුඩු දුන් බලපෑමක් අපට දක්නට ලැබෙන්නේ එහෙයිනි. සෑම සමාගමකම කළමණාකරණ කණ්ඩායමට තම සමාගම විසින් ගන්නා තීන්දු සිය කොටස් වෙළඳපොළ මත බලපාන ආකාරය ගැන නැවත වතාවක් සළකා බැලීමට මේ අනුව සිදුව තිබේ.
ෆ්ලින්ක් සිය ලිපිය මගින් සිය සමාගම්වල කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා වන සැලසුම් (Net Zero Plan) ඉදිරිපත් කරන ලෙස සියලු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් වෙත දන්වා තිබේ.

ඔවුන් සියලු දෙනා එක්ව ගොඩ නගමින් සිටින ආඛ්‍යානය මෙබඳුය.
“පොසිල ඉන්ධන භාවිතය, සත්ව පාලනය, වී වැනි ඇතැම් ආහාර භෝග වගාව හේතුවෙන් වායුගෝලය තුළ කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීම ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් වායු ගෝලයේ උණුසුම ඉතා ශිඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන දේශගුණික විපර්යාස හේතුවෙන් වසංගත රෝග බෝවීම ඉතා ශිඝ්‍රයෙන් ඉහළ යයි.”
මෙම ආඛ්‍යානය ගොඩ නැගීම හරහා ඔවුන් විසින් විවිධ ක්ෂේත්‍රයන් තුළ ඉටුකරගැනීමට අපේක්ෂිත අරමුණු ගණනාවක් පවතින නමුත් අප විසින් මෙහිලා අවධානය යොමු කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත ගිවිසුම තුළට එක් කර ඇති “එක් සෞඛ්‍යයක් ප්‍රවේශය ඇතුළු සෙසු අදාළ වගන්තිවල අරමුණු මොනවාද සහ ඒ මගින් ලෝක ජනතාවගේ ජීවිතවලට කෙබඳු බලපෑමක් වනු ඇත් ද යන්න පිළිබඳවය.

“එක් සෞඛ්‍යයක් ප්‍රවේශය මත පදනම්ව ලෝකයේ ආහාර පද්ධතින්ගේ හදිසි වෙනසක් කිරීම අවශ්‍යව තිබේ.” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්

2022 ඔක්තෝබර් මස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය “එක් සෞඛ්‍යයක්” පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරි සැලසුම පාර්ශ්වයන් සතරක සහභාගිත්වය සහිතව එළිදක්වන ලදි. එම පාර්ශ්වයන් මෙසේය.
1.එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය( Food and Agriculture Organization of the United Nations -FAO)
2. එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩ සටහන (United Nations Environment Programme -UNEP)
3. සත්ව සෞඛ්‍යය සඳහා වන ලෝක සංවිධානය(World Organisation for Animal Health -WOAH)
4. ලෝක සෞඛ්‍ය සංවිධානය

“බරපතල සෞඛ්‍යමය තර්ජන සහ මනුෂ්‍යන්ගේත්, සතුන්ගේත්, ශාකවල සහ පරිසරයේත් සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍යවන්නා වූ සම්පත් සම්පාදනය කිරීම සඳහා මෙම චතුර්විධ පාර්ශ්වයන් සිය බලවේගයන් එකාබද්ධකරනු ඇත ” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.
මෙම නිවේදනය ප්‍රතිරාවය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අදානම් ගෙබ්‍රෙයේසස් මෙසේ පැවසීය.
” මනුෂ්‍යයන්ගේත්, සතුන්ගේත් ග්‍රහලෝකයේත් සෞඛ්‍ය සුරකින එක් සෞඛ්‍යයක් ප්‍රවේශය මත පදනම්ව ලෝකයේ ආහාර පද්ධතින්ගේ හදිසි වෙනසක් කිරීම අවශ්‍යව තිබේ.”
මෙම එක් සෞඛ්‍යයක් වැඩ සටහනේ එක් කොටසක් වන්නේ “ආහාර යනු ඖෂධය” යන නව න්‍යාය පත්‍රය එක්සත් ජනපදයේ ධවල පත්‍රිකාව විසින්ද පෙරට දමන නව න්‍යාය පත්‍රයේ කොටසකි.

ජනමාධ්‍යවේදීනි කෝරි ලින් (Corey Lynn) පවසන අන්දමට,
“ආහාර යනු ඖෂධ වේ” යන සටන් පාඨය යොදා ගනු ලබන්නේ ප්‍රචාරක ව්‍යාපාරයක් ලෙසත්, වැඩ සටහන් දියත් කිරීමටත්, ප්‍රතිපත්තීන් වෙන් කරනු ලැබීමට සහ මූල්‍ය සම්පාදනයන් සඳහාත්, දත්ත එක්රැස් කිරීම සඳහාත්, සෞඛ්‍ය සේවා කර්මාන්තය සහ ආහාර සැපයුම එකට බැඳ තැබීම සඳහාත්, අවසාන වශයෙන් පුද්ගලයන්ගේ ආහාර පරිභෝජනය හරහා ඔවුන් පිළිබඳ ඔත්තු බලමින් ඔවුන්ව පාලනය කිරීම සඳහාත්ය”
ඩිජිටල් ආහාර සළාක ක්‍රමය ස්ථපිත කිරීම සඳහා අතිරේක පෝෂණ ආධාර වැඩ සටහන (Supplemental Nutrition Assistance Program- SNAP) සහ ස්ත්‍රී, බිළිඳු, සහ ළමා වැඩ සටහන (Children Program -WIC) හෝ ඒ හා සමාන වෙනත් ව්‍යාපෘතින් කඩතුරා ලෙස යොදාගනිමින් ඒවා යටතේ පුද්ගලයන් එක්රැස් කරනු ඇත. මේ මගින් පුද්ගලයන්ගේ ආහාර මිලදී ගැනීම් පිළිබඳ දත්ත එක්රැස් කිරීමටත්, ඒ හරහා එම මිලදී ගැනීම් පාලනය කරනු ලැබීමටත් අවස්ථාව උදා කරගනු ලබයි.
මෙම අතිරේක පෝෂණ ආධාර වැඩ සටහන (SNAP) ගෝලීය පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීමට සහාය වන දැවැන්ත සමාගම් අතර ගූගල්, ඇමසෝන් වැනි දැවැන්ත සමාගම්ද සම්බන්ධ වී ඇත.
මේ සඳහා සම්බන්ධ වී සිටින අනෙකුත් පාර්ශ්වයන් නම් Instacart සමාගම, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, ආහාර නිෂ්පාදන සම්මේලනය ආදියයි. Benefits Data Trust පදනම විසින් අතිරේක පෝෂණ ආධාර වැඩ සටහන (SNAP) වෙත ශිෂ්‍යයන්ව සම්බන්ධ කිරීමට කටයුතු කරයි. Medicaid සහ Affordable Connectivity Program යන සමාගම් විසින් අන්තර් ජාල පහසුකම් සම්පාදනය කිරීමට මැදිහත් වේ.
මෙය පරිත්‍යාගශිලිත්වයේ වෙස්මුහුණ යටතේ සිදුවන ඔත්තු බැලීමේ සහ පාලනය කිරීමේ දුෂ්ට අරමුණු සඟවාගත් වැඩ සටහනක් බව පෙනී යයි. ” නමුත් යම් ශිෂ්‍යයෙකු කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කරන ලද පසුව, හෝ ආණ්ඩුව විසින් සාවද්‍ය තොරතුරු ලෙස හඳුන්වන පුවතක් අන්තර්ජාලයේ පළ කරන ලද පසුව ඔහුට චීස් බර්ගර් එකක් මිලදී ගැනීමේ අවස්ථාව අහිමි කරන ලබන තෙක් මෙම සියල්ල එනම් සෞඛ්‍ය සේවාවන්, ආහාර, අන්තර්ජාල ප්‍රවේශය ආශ්චර්යජනක ප්‍රතිලාභ ලෙස පෙනී යනු ඇත. මෙය යක්ෂයා සමග කරන ගනුදෙනුවක් වැනිය” යනුවෙන් ජනමාධ්‍යවේදි කෝරි ලින් පවසයි.

ආහාර සහනාධාර හරහා ඩිජිටල් දම්වැලක ගැට ගැසීම
ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාවට දෙන සහනාධාර හරහා ඔවුන්ගේ දත්ත මංකොල්ල කෑම දැනටමත් ඇරඹී තිබේ.”අස්වැසුම” දත්ත රැස් කිරීමේ මෙවලම

ලින් සඳහන් කර ඇති ආකාරයට ඔබ වෙත ලබා දෙන ආහාර සලාකයකට ඔබව බැඳ තැබීමට මෙම දැවැන්ත බලසම්පන්න සමාගම් සහ ඒවායේ රූකඩ බවට පත්ව ඇති ආණ්ඩු සමත් වුවහොත් ඔබ ඔවුන්ගේ උගුලේ සිරවනු ඇත. ඔවුහු ක්‍රියාත්මක වන්නේ තිරයේ පිටුපස සිට අවතාර මෙනි. ඔවුන්ගේ කටයුතු කිසිදු විනිවිද භාවයකින් තොරවන අතර ඒවා සම්බන්ධව කිසිවෙකුට වගකීමට ඔවුහු බැඳී නොසිටිති.
“ඒවා සාමාන්‍ය සංවිධාන නොවේ. නව ලෝක රටාවේ ගෝලීයකරණවාදින්ගේ මනුෂ්‍යත්වයට එරෙහි න්‍යාය පත්‍රය මෙහෙයවන ප්‍රමුඛ සංවිධාන වන්නේ ඒවාය. ඔවුන් සමග මෙන්ම ඔවුන් හරහා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනක් පවතී. සෞඛ්‍ය සම්පන්න ආහාර සලාකයක් පිරිනැමීමකට වඩා දෙයක් මෙහි සිදුවෙමින් පවතී.” යි ලින් සඳහන් කළාය.
එක්සත් ජනපදයේ ධවල මන්දිරය විසින් “එක් සෞඛ්‍යයක් ප්‍රවේශය” ප්‍රවර්ධනය කරමින් නිකුත් කරන ලද පත්‍රිකාවක මෙසේ සඳහන් වේ. “එක් සෞඛ්‍යයක් ප්‍රවේශය යනු සාගින්නට සහ ආහාර සම්බන්ධ රෝග වලට බොහෝ සෙයින් ගොදුරුවන ප්‍රජාවන් අතර අසමාන කම් නැති කරමින් 2030 වනවිට ඒවා අඩුකිරීම සඳහා වූ පරිවර්තනීය දැක්මකි”
මේ සඳහා වන මුලපිරීම් වලදී එක්සත් ජනපදය විසින් “පෝෂණය සහ සෞඛ්‍ය සේවා සැපයීම ඒකාබද්ධ කරන නව ව්‍යාපාර සහ නව ක්‍රමවේදයන් තුළ ආයෝජනය කිරීමට” සැලසුම් කර තිබේ. ඒ අතර ” ආහාර සුරක්ෂිත බව ඇතිකිරීමට සහ කුසගින්න නැති කිරීම සඳහා වන නියාමක සහ නවීකාරක ව්‍යාපෘතින්” ක්‍රියාත්මක කරන සමාගම් සඳහා ඩොලර් බිලියන 2.5ක් වෙන් කර තිබේ.
තවත් ඩොලර් බිලියන 4ක් පෝෂ්‍යදායි ආහාර සඳහා ප්‍රවේශයන් වැඩි දියුණු කිරීම, සෞඛ්‍ය සම්පන්න තේරීම් ප්‍රවර්ධනය, කායික ක්‍රියාකාරකම් ඉහළ දැමීමආදිය සඳහා වන පරිත්‍යාගශීලි කටයුතුවලට වෙන් කර තිබේ
කෝරි ලින් ජනමාධ්‍යවේදිනිය ධවල මන්දිරයේ මෙම වැඩ සටහන ගැන සඳහන් කරමින් පවසන්නේ මෙහිදී යහපත් කටයුතු ස්වල්පයකට මුවා වී දැවැන්ත දුෂ්ට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවය.
” මිනිසුන්ට ආධාර කිරීම හොඳ දෙයක්, දුෂ්ට යටි අරමුණු නැත්නම්. කායික අභ්‍යාස හෝ සීනි රහිත ආහාර ගැනීම සාදරයෙන් පිළිගත යුතු ප්‍රවේශයන් බවට සැකයක් නැහැ. නමුත් මේ න්‍යාය පත්‍රයේ ඉතුරු කොටස මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් සැලසුම් කරන ලද්දක් නොවේ.
..මෙම පත්‍රිකාව විමසුමට ලක් කරන විට පෙනී යන්නේ එය හොඳ දෙයක් බව, හරියට ලෝක ආර්ථික සංසදයේ  [World Economic Forum] ඒක ධවල පත්‍රිකාවක් පමණ කියවන කෙනෙකුට ඒ මගින් යහපත් සිදුවෙනවා කියන හැඟීම ඇති වෙනවා වාගේ. කොහොම වුණත් කවුරු හරි මෙම පත්‍රිකාව අනෙකුත් ධවල පත්‍රිකාවන්, වෙබ් අඩවිවල පවතින තොරතුරු සහ මෙම ආයතන සහ සංවිධානවල අභ්‍යන්තර ලේඛන එකට තබා අධ්‍යයනය කරනවිට දකින්නට ලැබෙන්නේ වෙනම චිත්‍රයක්. ඔවුන් දන්නවා හුඟක් අය මෙම ප්‍රහේලිකාවේ සියළු කොටස් එකට ගලපා ඒ දෙස බැලීමට උත්සාහ නොකරන බවත් ඒ නිසාම ඔවුන් තුළ සම්පූර්ණ චිත්‍රය දැකීමට අසමත් කමක් පවතින බවත්.”
මෙම ” එක් සෞඛ්‍යයක් ප්‍රවේශයේ” ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජනපද ධවල මන්දිරය පුද්ගලික සංවිධාන ගණනාවක් සමග එක් වී කටයුතු කරයි. ඇමෙරිකන් හාර්ට් ඇසෝසියේෂන්, ළමා රෝග පිළිබඳ ඇමෙරිකන් පදනම, ඒකාබද්ධ කොමිසම, නැෂනල් ග්‍රොසරීස් ඇසෝසියේෂන්, ආහාර නිෂ්පාදකයන්ගේ සම්මේලනය සහ රොකෆෙලර් පදනම ඒ අතර වේ.

ඔබගේ කෑම වේල තීරණය කිරීමට ඔවුහු දැනටමත් කල්ලි ගැසී සිටිති.

රොකෆෙලර් පදනම, ඇමෙරිකන් හාර්ට් ඇසෝසියේෂන් (American Heart Association) සහ ක්‍රොගර් සමාගම (Kroger) විසින් “ආහාර යනු ඖෂධ වේ” යන විෂය යටතේ පර්යේෂණ කටයුතු මුලපිරීමට සහ දියත් කිරීමට දැනටමත් හවුල් වී ඇත. එයට න්‍යායාත්මකව හොඳ යැයි පෙනෙන බෙහෙත් වට්ටෝරු සහ වෛද්‍යමය වශයෙන් සකස් කළ ආහාර වැනි වැඩසටහන් ඇතුළත් වේ. නමුත් රොක්ෆෙලර් පදනම වැනි ආයතන වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් සැබෑ සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය කරන කුඩා ගොවීන් ගේ පැවැත්ම අහෝසි වීමේ තර්ජනයක් මතුව තිබේ.
රොකෆෙලර් පදනමේ සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ “පරිත්‍යාගශීලී” අරමුදල්වලින් 2006 දී දියත් කරන ලද අප්‍රිකාවේ හරිත විප්ලවයක් සඳහා වූ සන්ධානය (AGRA) ක්‍රියාකාරිත්වය විමසා බලමු. ජෛව තාක්‍ෂණය සහ රසායනික පොහොර ප්‍රවර්ධනය කිරීම මත කේන්ද්‍රගත වූ AGRA හි උපාය මාර්ග හේතුවෙන් එම ප්‍රයත්නය මගින් ඉලක්ක කරගත් අප්‍රිකානු ජාතීන් 18 ක තත්වය සැළකිය යුතු මට්ටමකින් නරක අතට හැරිණි. AGRA හි මඟ පෙන්වීම යටතේ කුසගින්න 30% කින් වැඩි වූ අතර ග්‍රාමීය දරිද්‍රතාවය විශාල වශයෙන් ලෙස ඉහළ ගියේය.
පසුගිය 2022 ජූලි මාසයේදී රොකෆෙලර් පදනමේ සභාපති ආචාර්ය රාජිව් ෂා විසින් දේශගුණ විපර්යාසයන් පිළිබඳ කටයුතු සඳහා ඔවුන්ගේ සම්පත් සහ අවධානය වැඩි කිරීම පිළිබඳව සිය සංවිධානයේ සැලසුම් විස්තර කරමින් ප්‍රසිද්ධ ලිපියක් නිකුත් කරන ලදි. කොමන්පාස්(CommonPass) සහ එන්නත් ගමන් බලපත්‍ර සංකල්පය(vaccine passports) ආදිය පෙරට දැමීමට අරමුදල් සැපයීම මගින් “වසංගත අර්බුදය සම්බන්ධ ඇමෙරිකානු සහ ලෝක ප්‍රතිචාරය ” හැඩගැස්වීමට රොකෆෙලර් පදනම කටයුතු කර තිබේ යැයි ෂා විසින් සඳහන් කර ඇත.
1913 දී පිහිටුවන ලද රොකෆෙලර් පදනම විසින් රොකෆෙලර් පවුලේ ධනය මහා පරිමාණ එන්නත්කරණ ව්‍යාපාර සඳහා ද ලෝකය පුරා මහජන සෞඛ්‍ය බලධාරින් ස්ථාපිත කිරීම සඳහාද වියදම් කරමින් “මහජන සෞඛ්‍යය ” නගා සිටුවීම සඳහා යොදන ලද්දේ යැයි කියනු ලැබේ. ඔවුන්ගේ මෙම කාර්යභාරය දිගටම කරගෙන යාම සඳහා රොකෆෙලර් පදනම විසින් “සෘජුවම දේශගුණික විපර්යාසයන් සමග සටන් වැදීම ” කළ යුතුව ඇතැයි රාජිව් ෂා විසින් ප්‍රකාශ කර තිබේ.
“ දේශගුණික විපර්යාසයන් විසින් මනුෂ්‍යත්වය වෙත දැවැන්ත තර්ජනයක් එල්ල කර තිබේ. මනුෂ්‍ය වර්ගයා ගොවිතැන් කරන ආකාරය සහ ආහාර ගන්නා ආකාරය, සිය නිවාස සහ ප්‍රජාවන් සඳහා බලශක්තිය ලබාගන්නා ආකාරය, රෝග වළක්වන සහ රෝගවලින් ආරක්ෂා වන ආකාරය, ජීවත්වන සහ වැඩ කරන ආකාරය පරිවර්තනය කිරීම සඳහා විශේෂිත ක්‍රියාමාර්ග රොකෆෙලර් පදනම විසින් ගත යුතුව ඇති බවට අප විසින් තීරණය කරන ලදි. විශ්වීය සහ තිරසාර අවස්ථාවන් අප විසින් නිර්මාණය කිරීමට යන්නේ එලෙසය. ”
“..ස්ත්‍රීන්ට “හරිත වෘත්තීන්” ලබාගැනීමට උදව් කිරීම, “ප්‍රතිජනක කෘෂිකර්මය ” තුළ ආයෝජනය, ෆොසිල ඉන්ධන සඳහා එය විසින් වෙන් කළ පරිත්‍යාග මුදල්වලින් ඩොලර් බිලියන 6ක් ඉවත් කිරීම ආදි පියවර මෙම අරමුණු ඉටුකරගැනීමේ දිශාව සඳහා දැනටමත් රොකෆෙලර් පදනම විසින් ගෙන ඇති බව ෂා ප්‍රකාශ කරයි. “අපගේ බොහෝ පරිත්‍යාගයන් අප මෙම අංශයෙන් ඉවත් කරගෙන ඇත්තෙමු. ” යනුවෙන් ෂා සිය ලිපියේ සඳහන් කර තිබේ.
ඊනියා “පුනර්ජනනීය බලශක්තිය” වෙත මාරු වීම සඳහා වන ක්‍රියාදාම වේගවත් කිරීම සඳහා රොකෆෙලර් පදනම ඉකියා පදනම(Ikea Foundation) සහ ඇමසෝන් අධිපති ජෙෆ් බෙසෝගේ අර්ත් ෆන්ඩ් (Earth Fund) සමග හවුල්ව ක්‍රියා කරයි. මෙම කණ්ඩායම් විසින් ඒ සඳහා අමතරව ඩොලර් බිලියන 10 ක අරමුදලක් රැස්කර ගෙන ඇතැයි ප්‍රකාශ කර ඇත.
“මහා ප්‍රත්‍යාරම්භය” (Great Reset) න්‍යාය පත්‍රය පෙරට දැමීමේදී කිරීමේදී රොක්ෆෙලර් පදනම ලෝක ආර්ථික සංසදය (WEF) සමඟ හවුල් වී ඇති බැවින් ඩාවෝස් රැස්වීමට ෂා පැමිණීම පුදුමයට කරුණක් නොවිය යුතුය.
COVID-19 භීතිකාව අතරතුර රොකෆෙලර් පදනම විසින් “කොමන් පාස්” ( CommonPass) නම් යමෙකු විසින් එන්නත් ලබාගෙන ඇත්ද නැත්ද යන්න සත්‍යාපනය කෙරෙන ඩිජිටල් ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් ලබා දී තිබේ. ඊනියා “එන්නත් ගමන් බලපත්‍ර” යනු අනාගතයේදී සෑම පෘථිවි වැසියෙකු සඳහාම ඩිජිටල් හැඳුනුම් පතක් නිර්මාණය කිරීම සඳහා ලෝක ආර්ථික සංසදය සහ අනෙකුත් තාක්ෂණ ඒකාධිපතිවාදින් විසින් යොදාගනු ලබන පහසුම මාවතයි.

රොක්ෆෙලර් පදනමේ ව්‍යාජ පාරිසරික ව්‍යාපාරය
මියගිය සොල්දාදුවන්ගේ ඇටසැකිළි මත ගොඩගසන ලද ධනය බෙදාගන්නා  ධනපතියන් දැක්වෙන  සෝවියට් කාටූනයක් (1952).  පිටුපස බිත්තියේ ඇති පින්තූරවලින් දැක්වෙන්නේ  ඇල්ෆ්‍රඩ් ක්රුප්, ජේ.පී මොර්ගන්, ජෝන් ඩි රොකෆෙලර් සහ හෙන්රි ‌ෆෝර්ඩ්  ඇමෙරිකානු ධනපතියන්ගේ පින්තූරයි. කාටූන් ශිල්පී   ක්රුක්රිනිස්කිගේ  නිර්මාණයකි.

රොකෆෙලර් පදනම සිය සම්පත් යොදාගනිමින් තාක්ෂණය මත පදනම් ඒකාධිපතිවාදි කරා අපව තල්ලු කරන්නේ ප්‍රෝඩාකාරි වසංගත තත්ත්වයන්ට මුවා වෙමින්ද නැතහොත්  දේශගුණික විපර්යාසයන් පිළිබඳ භීතිකාවන් හරහා දැයි යන්න එතරම් වැදගත් කරුණක් නොවේ. මක් නිසාද යත් අවසන් ප්‍රතිඵලය එකම වන බැවිනි. පුද්ගලිකත්වය සහ තෝරාගැනීමේ නිදහස අහිමි වීම,සමාජීය ණය ගිණුම් ලකුණු ක්‍රමය(social credit scores), අප විසින් විමෝචනය කරනු ලබන කාබන් ප්‍රමාණය නිතිපතා මැනෙන කාබන් පිය සටහන් ගිණුම(Carbon Footprint Account) යටතේ අපව අනවරත ලෙස නිරීක්ෂණයට ලක් කෙරෙන ලෝකයක් තුළ අපව පාලනය කෙරෙනු ඇත
රොකෆෙලර් පදනම සහ එහි වර්තමාන සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු ප්‍රශ්න කළ යුතුව ඇත්තේ ඒ නිසාය. සැබෑ තත්ත්වය නම් ව්‍යාජ පාරිසරික හේතුන් හුවා දක්වමින් මහජනතාවට හානිකර විෂ සහිත දේවල් ව්‍යාප්ත කිරීමේ ඉතිහාසයක් රොකෆෙලර් පදනම සතුවන බවයි.
වර්තමාන, විෂ සහිත, ප්‍රචණ්ඩ ආහාර පැරඩයිමය සහ එහි ඒකාධිකාරි ව්‍යාපාරික මොඩලය ගොඩ නැගුනේ 1950 සහ 60 දශකයන්හි පෙරට දමන ලද “හරිත විප්ලවය ” පදනම් කොටගෙනය. මෙම හරිත විප්ලවයේ කොටසක් ලෙස එවකට මෙක්සිකන් ජනාධිපති මනුවෙල් එවිලා කමාචෝ විසින් මෙක්සිකෝවේ කෘෂිකර්මය අධ්‍යයනය සහ නවීකරණයට ආධාර කිරීමට මෙක්සිකෝවට පැමි‍ණෙන ලෙස රොකෆෙලර් පදනමට ආරාධනා කරන ලදි.
1943 දී ශාක ප්‍රවේණි විද්‍යාඥයෙකු වූ නොර්සන් බෝර්ලවුග් (Norman Borlaug) සහ ඔහුගේ පර්යේෂකයන් කණ්ඩායම මෙක්සිකෝවට ගොස් ඊනියා හරිත විප්ලවය ආරම්භ කළහ. බෝර්ලවුග් හට රොකෆෙලර් පදනම සහ ෆෝර්ඩ් පදනම විසින් අරමුදල් සපයනු ලැබූ අතර,මෙම ආයතන දෙකම උනන්දු වූයේ ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ප්‍රතිලාභ ලබා දෙන ජාත්‍යන්තර කෘෂිකාර්මික ප්‍රමිතීන් ස්ථාපිත කිරීමටය.
හරිත විප්ලවය බොහෝ විට අති සාර්ථක දෙයක් ලෙස හුවා දක්වනු ලබන්නේ බෝග අස්වැන්නේ වැඩිවීම සහ ළදරු මරණවල කැපී පෙනෙන පහත වැටීම හේතුවෙනි. නමුත් මෙම ඊනියා හරිත විප්ලවය තුළ පළිබෝධනාශක බහුලව භාවිතා කිරීම පිළිකා ඇතුළු සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඉහළ යාමට හේතු වී ඇති බවට බොහෝ සාක්ෂි මතුවෙමින් පවතී. හරිත විප්ලවය තුළ වඩාත්ම කුප්‍රකට සිදුවීම් ලෙස සැලකෙන්නේ ලොව බහුලවම භාවිතා වන වල් නාශකය වන ග්ලයිෆොසේට් පිළිකා රෝග ගණනාවකට හේතු වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස සමාගමට එරෙහිව පවරන ලද නඩු හේතුවෙන් ඩොලර් බිලියන ගණනක් වන්දි ගෙවීමට සිදු ව තිබේ. ග්ලයි පොසේට් (glyphosate) යනු කෘෂි නිෂ්පාදන දැවැන්තයෙකු වන මොන්සැන්ටෝ(Monsanto) සමාගමේ නිෂ්පාදනයක් වන අතර දැන් එය අයත් වන්නේ බේයර් (Bayer)සමාගමටය.
හරිත විප්ලවයේ අනෙක් ප්‍රතිඵලය වූයේ ජාන විප්ලවයයි. මෙය සාමාන්‍ය ජනතාව අතර ව්‍යාප්ත වූයේ ජානමය විකෘතිකිරීම් වලට ලක්කරන ලද සත්ව හා ශාක (Genetically Modified Organism- GMO) යනුවෙනි. නැතහොත් ජානමය වෙනස්කම් වලට ලක් කරන ලද ආහාර ලෙසය. මෙම ජාන විප්ලවය සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ද හරිත විප්ලවය සඳහා පෙරමුණ ගත් කණ්ඩායම් ම වේ. එනම් දැවැන්ත ඖෂධ සමාගම් කාටලය සහ දැවැන්ත තෙල් නිෂ්පාදන සමාගම්ය. රොකෆෙලර් සහ ජර්මනියේ නාසි යුද අපරාධවලට සම්බන්ධ ඉතිහාසයක් සහිත සම්බන්ධ අයිජී ෆාර්බන් (IG Farben) යන සමාගම් සතුව ඩෝ ඇග්‍රෝසයන්ස් ( Dow AgroScience),ඩුපොන්ට් බයෝටෙක්නොලොජි (DuPont Biotechnology) සහ කුප්‍රකට මොන්සැන්ටෝ (Monsanto) සමග වැඩ කරන බේයර් ක්‍රොප් සයන්ස් (Bayer CropScience) සහ BASF ප්ලාන්ට්සයින්ස් (BASF PlantScience) යන අනුබද්ධ ආයතන ඇත.
මේ හානිකර කෘමිනාශක, ජාන විකෘතික ආහාර(GMO), ඒකාකාරි බෝග වගාව(mono cropping) සහ කුඩා ගොවීන් විනාශ කිරීම පිළිබඳ රොකෆෙලර් පදනමේ ඓතිහාසික උරුමයයි.
රොක්ෆෙලර් පදනම කියා සිටියේ ඊනියා කොවිඩ්-19 වසංගතය “එක්සත් ජනපද ආහාර ක්‍රමය පරිවර්තනය කිරීම” සඳහා අවස්ථාවක් ඉදිරිපත් කළ බවයි.2020 ජූලි මස 28 වැනි දින රොකෆෙලර් සමාගම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව වන “(කෑම) මේසය යළි සැකසීම: එක්සත් ජනපද ආහාර ක්‍රමයේ පරිවර්තනයක් සඳහා වන මොහොත මුණගැසීම ” (Reset the Table: Meeting the Moment to Transform the U.S Food System) තුළ
“ප්‍රධාන කර්මාන්තයක් වන ආහාර සැපයුම හැඩගැස්වීමේ දිශාව තීරණය කිරීම සඳහා රොකෆෙලර් සමාගමට සිය බලපෑමේ හැකියාව සහ ධනය යෙදීමේ අවස්ථාවක් නැවත වරක් උදාවී ඇත” යනුවෙනි.
උත්ප්‍රාසාත්මක ලෙස, මෙම “(කෑම) මේසය නැවත සැකසීම” ලේඛනය තුළ “රොකෆෙලර් පදනම සිය හරිත විප්ලවය තුළ “බීජ වැපිරීමේ සහ පරිමාණය කිරීමේ විශාල කාර්යභාරයක් ඉටු කළ” බව සටහන් කරන අතරම, රොකෆෙලර් හරිත විප්ලවය “වැඩි පෝෂ්‍යතාවක් සහිත ආහාර නොතකා හැර ප්‍රධාන ධාන්‍ය සඳහා අධික ලෙස අවධාරණය කිරීමේ උරුමයක් ඉතිරි කර ඇති බව ද පාංශු සාරවත් බව ක්ෂය කරන රසායනික පොහොර මත යැපීම සහ ජලය අධික ලෙස භාවිතා කිරීම සිදු කර ඇති බවද ” සඳහන් කර තිබේ. කිසිදු ලජ්ජාවකින් තොරව රොකෆෙලර් පදනම දැන් පෙනී සිටින්නට සැරසෙන්නේ කලින් තමන් විසින් ම නිර්මාණය කරන ලද ගැටළු සඳහා දැන් තමන් සතුව මැජික් විසඳුම් සතුව ඇති බවය.
මේ එකම ආකාරයේ සුපුෂ්පිත සහ නූතන වදන්මාලාවක් භාවිතා කිරීම විසින් ඔවුන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය, ඛනිජ තෙල් කර්මාන්තය, සහ වෛද්‍ය ක්ෂේත්‍රය තුළට රිංගා ඒවා අත්පත්කරගැනීමට අවස්ථාව සලසා දී තිබේ. එමෙන්ම ලෝකයේ සත්ව සහ බෝග නිෂ්පාදනයේ යෙදෙන විශාල කෘෂිකාර්මික ආයතනයන්හි පාලනය ප්‍රචණ්ඩ, විනාශකාරි සහ වියදම් අධික ක්‍රම මගින් අත්පත් කරගැනීමට ඔවුහු සමත්ව සිටිති. මහජනතාව සහ ආහාර සැපයුම ආරක්ෂා කිරීම සඳහා වන බොහෝ ජාත්‍යන්තර සහ ජාතික ආයතන රොකෆෙලර් නැමැති මෙම බිහිසුණු ඒකාධීකාරි කාටලය විසින් ආක්‍රමණය කර තිබේ.
“ආහාර යනු ඖෂධ වේ” යන පාඨය යටතේ දියත් කර ඇති මේ ව්‍යාපෘතිය මගින් ඔබගේ ආහාරය සඳහා ඔවුන් ඉදිරිපත් කරනු ඇත්තේ ජාන ඉංජිනේරුකරණය යටතේ නිපදවන ලද ආහාර, විද්‍යාගාර තුළ වර්ධනය කරන ලද කෘත්‍රිම මස් සහ අවසාන වශයෙන් විවිධ කෘමින්ය. එපමණක් නොව එම ව්‍යාපෘතිය ආහාර සහ සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ කිරීමේ මෙවලමක් ලෙසද ක්‍රියාත්මක වනු ඇත එමගින් ඔබ ඔවුන් විසින් නිර්දේශ කරනු ලබන ඉහත ආහාර මිලදී ගන්නවාද නැද්ද යන්න ඩිජිටල් සෞඛ්‍ය හැඳුනුම් පතෙහි දත්ත මගින් දැනගත හැකිය.
” ආහාර යනු ඖෂධ බව ඇත්තක්. නමුත් මෙම මුලපිරීම්වල සැබෑ අරමුණ එය නොවේ. ආහාර සහ ඖෂධ ඒකාබද්ධ කිරීම හරහා ඔවුන් සිදු කිරීමට තැත් කරන්නේ සෞඛ්‍ය සේවා සැපයීමේ මුවාවෙන් ජනතාව පාලනය කිරීමේ යාන්ත්‍රණයන් නිර්මාණය කිරීමටයි.

ගෝඨාභය රාජපක්ෂගේ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ප්‍රතිඥාව ගෑස් ටැංකි පුපුරා යාම සහ රසායනික පොහොර තහනම

2021 වසරේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ CO-26 සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව. ලංකාවේ කාබන් විමෝචනය 2030 වනවිට ශුන්‍ය කිරීමට ප්‍රතිඥා දෙමින් පවසා සිටියේ ‘මෙම ග්‍රහලෝකය ආරක්ෂා කිරීමට සඳහා ඕනෑම දෙයක් කිරීමට තමන් පසුබට නොවන’ බවය. මේ අනුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 වනවිටද ගෝලීයකරණවාදින්ගේ දේශගුණ විපර්යාස න්‍යාය පත්‍රයට ලංකාව යටත් කර තිබූ බව ඉතා පැහැදිළිය.
මෙම “ග්‍රහලෝකය බේරාගැනීමේ” අරගලයේදී, “ඕනෑම දෙයක්” කිරීමට ගෝලීයකරණවාදින් හමුවේ ප්‍රතිඥා දුන් නමුත් ඔහුට අඩුතරමින් ඔවුන් වෙනුවෙන් කාරණා දෙකක් එයට අදාළව කිරීමට හැකි විය.

ගෑස් ටැංකි පුපුරා යාම

පොසිල ඉන්ධන භාවිතය ඉන්ධන භාවිතය අඩු කිරීමට රජය විසින් ගෝලීයකරණවාදින් වෙත ප්‍රතිඥා දුන් පසුව ගෙවී ගිය කාලයේදී සාමාන්‍ය ජනතාව ආහාර පිසීම සඳහා භාවිතා කරන එල්.පී ගෑස් ටැංකි පුපුරා යාම ආරම්භ විය. මේ මගින් ගෑස් සැපයුම සහ බෙදා හැරීම සෑහෙන කාලයක් සඳහා බොහෝ සෙයින් අඩාල විය. විදුලි ලිප් භාවිතය, හෝ සම්ප්‍රදායික දර ලිප් හෝ පොල්කටු අඟුරු ආදිය ඉන්ධන ලෙස භාවිතා කිරීමට එම විකල්ප කරා ලඟාවීමේ අවස්ථාව තිබූ සියලු දෙනා උත්සාහ දරන ලදි.
කෙසේ වුවද ගෑස් ටැංකි පුපුරා යාම පිළිබඳව විවිධ පාර්ශ්වයන් වෙතින් විවිධ ආඛ්‍යානයන් ඉදිරිපත් විය. ගෑස් අසුරන ටැංකි සහ ඒවාට සවිකර ඇති වෑල්ව ප්‍රමිතියෙන් බාල ඒවා වීම, ගෑස් නිෂ්පාදනය කළ සමාගම විසින් ඒවායේ සංයුතිය වෙනස් කිරීම ආදිය මෙන්ම බාහිර බලවේගයක්විසින් මෙහෙයවන යම් සංවිධිත පිරිසක් විසින් පුපුරන ද්‍රව්‍ය භාවිතා කරමින් එය සිදු කිරීම ආදිය ඒ ආඛ්‍යානයන් අතර විය.
අවසානයේ මේ සම්බන්ධව නිශ්චිතව වගකිව යුතු කිසිවෙක් නොමැතිවම මෙම ආඛ්‍යානය කාලයත් සමග යටපත් විය. කෙසේ වුවද කාබන් විමෝචනය අඩුකිරීම සඳහා පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට ගෝඨාභය රාජපක්ෂ විසින් ගෝලීයකරණවාදින් හමුවේ දෙන ලද ප්‍රතිඥාව සහ ලෝකයේ වෙනත් රටවල සිදු වූ මේ හා සමාන සිදුවීම් අඅතර යම් සම්බන්ධයක් තිබේදැයි විමසා බලන්නට කිසිවෙකුත් උනන්දු වූ බවක් දක්නට නොලැබේ.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම

කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා යාමේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගත් තවත් පියවරක් වූයේ “කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වී ඇතුළු බෝග වගාව මගින් සිදුවන කාබන් විමෝචනය අඩු කිරීම” සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත්ය.
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සඳහා ගෝඨාභය රජය ගත් තීරණය බොහෝ දෙනා ගේ දැඩි විවේචනයට ලක් විය. එය ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ජාතිකවාදි ළිංමැඩි උපදේශකයන්ගේ උපදෙස් අනුව ගත් ඔලමොට්ටල තීරණයක් යැයි බොහෝ දේශපාලන විශ්ලේෂකයන් විසින් හඳුන්වා දෙන ලදි.
නමුත් රසායනික පොහොර තහනම සිදුව ඇත්තේ වියත්මග විසින් දෙන ලද “ජාතිකවාදි” උපදෙසක් අනුව නොව බලගතු ජාත්‍යන්තර බලවේග විසින් පෙරට දමන “දේශගුණ විපර්යාස වැලැක්වීමේ ගෝලීයකරණවාදි න්‍යාය පත්‍රයට අනුව” බව සමාන්තර ජාත්‍යන්තර සිදුවීම් විමසා බලන විට පෙනී යයි. මක් නිසාද යත් ලෝකයේ තවත් රටවල් ගණනාවක් මෙම කාලය තුළ ගොවීන්ගේ දැඩි විරෝධය නොතකා රසායනික පොහොර භාවිතය අඩුකිරීමට හෝ තහනම් කිරීමට කටයුතු කර ඇති බැවිනි. මේ රටවල් තමන් එම තීරණය ගැනීමට හේතුව ලෙස දක්වන ලද්දේ දේශගුණ විපර්යාසයන්ට හේතුවන පරිදි පෘථිවියේ උෂ්ණත්වය ඉහළයාමට බලපාන හරිතාගාර ආචරණයට හේතුවන නයිට්‍රස් ඔක්සයිඩ් (N2O.) වායුව විමෝචනය වැලැක්වීම සඳහා එම තීරණය ගත් බවයි.
2015 පැරිස් දේශගුණික ගිවිසුම අනුව හරිතාගාර වායූ විමෝචනය අඩුකිරීම මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කට (1.5C°) සීමා කිරීමට ලෝකයේ රටවල් එකඟවී තිබේ. එම ගිවිසුම අනුව තමන් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය වාර්තාකිරීමට එම රටවල් බැඳී සිටිති. ශ්‍රි ලංකාවද මෙම ගිවිසුමට අත්සන් තබනලද රටවල් අතරින් එකකි.
ප්‍රකට ජනමාධ්‍යවේදියෙකු වන මයිකල් ෂෙලන්බර්ගර් විසින් පෙන්වා දෙනුයේ “ගෝලීය පරිසරය සුරැකීමේ ඒකාධිකාරය” තමන් විසින්ම පවරාගත් එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහන (United Nations Environment Programme – UNEP) ශ්‍රි ලංකාවේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ශ්‍රි ලංකා රජය ගත් තීරණය පිටුපස සිටින බවයි.
2014 දී එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහන විසින් දියත් කරන ලද “කෘෂිකර්මය සහ ආහාර සඳහා පරිසර පද්ධතීන්ගේ සහ ජෛව විවිධත්වයේ ආර්ථිකය” නම් වැඩ සටහන තුළදී ඔවුන් විසින් අවධාරණය කර ඇත්තේ “එක් හෙක්ටයාරයකට නිපදවන ආහාර ප්‍රමාණය වැඩි කිරීම පිළිබඳව රටවල් විසින් වර්තමානයේ පවත්වාගෙන යන අවධානයෙන් ඉවත් විය යුතු බව”ය.

නමුත් එක්සත් ජාතින්ගේ ආහාර වැඩ සටහනට අනුව 2008 දීටත් වඩා දරුණු ආහාර අර්බුදයක් පවතින විට සහ 2022 වර්ෂයේ ජනවාරියේ සිට ආහාර හිඟයෙන් පීඩා විඳින ජනතාව මිලියන 400කින් වැඩි වී ඇති විට එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනට ලෝක ආහාර නිෂ්පාදනය අඩු කිරීමට අවශ්‍යව ඇත්තේ මන්දැයි මයිකල් ෂෙලෙන්බර්ගර් සිය ලිපිය තුළ ප්‍රශ්න කර තිබේ.
එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනේ වැඩ බලන අධ්‍යක්ෂ ජොයිස් ම්සුයා 2019 දී ප්‍රකාශ කර සිටියේ “රසායනික පොහොර නිෂ්පාදනය විසින් පෘථිවියේ නයිට්‍රජන් සමතුලනය අහෝසි කර දමා ඇත” යනුවෙනි.
2019 වසරේ ඔක්තොබර් මාසයේදී එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහන විසින් කොළඹදී පවත්වන ලද හමුවකදී ලෝකයේ රටවල් විසින් නයිට්‍රජන් දූෂණය අඩකින් කපා හැරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ බලකෙරෙන “මාර්ග සිතියමක්” නිකුත්කරන ලදි.
ගෝඨභය රාජපක්ෂ බලයට පත්වූයේ රනිල්-මෛත්‍රි ආණ්ඩුව මෙම වැඩසටහන්වලට එකඟතාව පළකිරීමෙන් පසුවය. ඒ අනුව ඔහුගේ රජයට අවශ්‍ය විදේශ ආධාර ලබාගැනීමට නම් ඔහු මෙම “නයිට්‍රජන් කප්පාදු කිරීමේ සැලැස්ම” ක්‍රියාත්මක කළ යුතුව තිබිණි. තමන් විදේශිය බලපෑම්වලට යටත් නොවන දේශප්‍රෙමියෙකු ලෙස පවත්වාගෙන ගිය ප්‍රතිරූපයට හානි නොවන පිණිස ඔහු උතුරු මැද ජනතාව වකුගඩු රෝගවලින් මුදාගැනීමේ සිය ජනහිතකාමි වැඩ පිළිවෙළේ පියවරක් ලෙස මෙම “රසායනික පොහොර තහනම” 2021 අප්‍රේලයේදී වේදිකා ගතකරන ලදි. පාලකයන් කුමන පාවාදීමත් හොරකමක් හෝ දූෂණයක් කළද ඒ කරන්නේ “හුදෙක් හුදී ජන සැපසුව පිණිස බව” ජනතාව වටහාගත යුතුය.
ලෝකයේ සියළුම රටවල් වෙත සිය රසායනික පොහොර වීරෝධී න්‍යාය පත්‍රය පැටවීමේ අරමුණෙන් එක්සත් ජාතින් විසින් ” ආහාර පද්ධති පිළිබඳ සංවාදය”(Food System Dialogue) නම් වැඩසටහනක් 2021 ජූනි මාසයේදී, එනම් රසායනික පොහොර තහනමෙන් මාස දෙකකට පසුව කොළඹදී පවත්වන ලදි. “ශ්‍රී ලංකාව විසින් සමාරම්භය දෙන ලද -ආහාර පද්ධති පිළිබඳ සංවාදය- වනාහි 2021 දී නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිත ආහාර පද්ධති පිළිබඳ එක්සත් ජාතින්ගේ සමුළුවට අදාළව ශ්‍රි ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ජාතික සහ පළාත් මට්ටමින් පවත්වාගෙන යන ලද සංවාද මාලාවක කොටසකි.” යනුවෙන් එහිදී ප්‍රකාශයට පත් විය.
2021 වසරේ සැප්තැම්බරයේදී නිව්යෝර්ක්හිදී පවත්වන ලද ආහාර පද්ධති පිළිබඳ එක්සත් ජාතින්ගේ සමුළුවේදී (UN Food System Summit) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ පවසා සිටියේය. ” රසායනික පොහොර භාවිතය විසින් සෞඛ්‍යයට සහ පරිසරයට හානිකර බලපෑම් එල්ලකර තිබේ. මෙම හානිකර ද්‍රව්‍ය ආනයනය සීමා කිරීමට මගේ රජය විසින් නිර්භීත පියවරක් මේ වසරේදී ගෙන තිබේ.” එසේම එම ක්‍රියාමාර්ගයට විරෝධය දක්වන ලද ගොවීන්ට දොස් පැවරීමටද ඔහු එහිදී අමතක නොකළේය. ” රසායනික පොහොරවලට දිගු කලක් තිස්සේ ඇබ්බැහිව සිටින ගොවින්ගේ මානසිකත්වය වෙනස් කිරීම අභියෝගයක් බව ඔප්පු වී තිබේ.”

රසායනික පොහොර තහනමේ ප්‍රතිඵල

එක්සත් ජාතින්ගේ පරිසර පදනම විසින් බල කරන ලද රසායනික පොහොර තහනම ක්‍රියාවට නැඟීම මගින් ගෝඨාභය රාජපක්ෂ රජය කෘෂි නිෂ්පාදනය වෙත ඉමහත් විනාශයක් සිදු කරන ලදි. මෙම තහනමෙන් පසු ශ්‍රී ලංකාවේ වී අස්වැන්න 50%කටත් අඩු ප්‍රතිශතයකින් පහළ වැටිණි. එම වසරේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450කට වැඩි හාල් ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවිය. එමෙන්ම වසර තුනක ගෙවීමේ කාලයකට යටත්ව ආධාර ලෙස සහල් මෙට්‍රික් ටොන් එකක් ලබා දෙන චීනයෙන් ඉල්ලා සිටීමට ද ශ්‍රි ලංකා රජයට සිදු විය. Kynetec for CropLife Asia නම් සංවිධානයක් විසින් 2022 නොවැම්බරයේදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව 80%ක් පමණ ගොවීන්ට තමන්ට අවශ්‍ය කෘෂි රසායන මිලදී ගැනීම සඳහා ඉහළ මිලක් ගෙවන්නට සිදුව තිබේ. එමෙන්ම 79%ක් ගොවීන්ට තමන්ට අවශ්‍ය කෘෂි රසායන ද්‍රව්‍ය මිලට ගැනීමට නොහැකි වී ඇත්තේ ඒවා අදාළ වෙළඳසැල් තුළ නොපැවැතීම හේතුවෙනි‍.
පොදුවේ ගත්කළ මෙම වාර්තාව අනුව ගොවීන් 75%කට වැඩි ප්‍රමාණයක වගාවන් වල්පෑලෑටි, කෘමි සහ රෝග උවදුරුවලට ඉතා ඉහළ මට්ටමකින් ගොදුරු වී තිබේ. ඔවුන්ගේ අස්වැන්න 54%කින් පහල වැටී ඇති අතර 25%ක් පමණ වන ගොවීහු වගා කටයුතුවලින් ඉවත් වීමට සුදානම්ව සිටිති.
රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට (24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ලංකාදීප පුවත්පත සමග පවසා ඇත.
සෑම ගොවියෙකුටම මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කරයි.
පසුගිය වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 1,130,164 කින්ද ( 36 % කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 626,527 කින්ද (30%කින්) පහළ ගොස් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල කියා සිටියි. ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1,756,691කි.
රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47,000කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේ දී පෙනී ගිය බව පවසන මහාචාර්යවරයා එය ඊට පෙර වසරට සාපේක්ෂව 16%ක පමණ පහළ යෑමක් බව සඳහන් කරයි. තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හය දහස් අසූ හතරක් වූ බව සිය ගණනය කිරීම් අනුව අනාවරණය වූ බවද ඔහු පෙන්වාදෙයි.
ගෝඨාභය රාජපක්ෂගේ මෙම රසායනික පොහොර තහනම සම්බන්ධව ඔහු බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක් වුවද එම විවේචනය මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට බල කරන ලද ජාත්‍යන්තර සංවිධාන දක්වා ගෙන නොයාමට ඒ බොහෝ දෙනා පරිස්සම් වී තිබේ. මෙම විෂයයන් පිළිබඳ විශේෂඥයන්ගේත්, සිවිල් බුද්ධිමතුන්ගෙත්, ජනමාධ්‍යවලත් අවස්ථාවාදි නිහඬත්වය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ පොහොර තහනම වූකලී ලංකාවේ කෘෂිකර්මාන්තය විනාශ කරලමින් එය සියතට ග්‍රහණයට ගැනීමට සැලසුම් කර ඇති බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, රොකෆෙලර් පදනම වැනි පදනම් ආයතන සහ දැවැන්ත කෘෂි නිෂ්පාදන සමාගම්වල කුමන්ත්‍රණයේ එක් පියවරක් පමණක් බව වටහාගැනීමට තවමත් ලාංකීය ගොවි ජනතාවගෙන් බහුතරයකට හැකිවී නැත.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් රසායනික පොහොර තහනම් කරන ලද්දේ එම ආණ්ඩුව විසින් ප්‍රකාශිත පරිදි උතුරු මැද පළාතේ ගොවීන් පෙළෙන වකුගඩු රෝගයට විසඳුමක් ලෙසින් හෝ එහි විරුද්ධවාදින් විවේචකයන් චෝදනා කරන පරිදි ඔහුගේ “ඔළමොට්ටල ජාතිකවාදි” තීරණයක් නිසා නොවන බව අපි දැන් දනිමු. එය එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහන විසින් ගෝලීයව දියත් කර ඇති “නයිට්‍රස් ඔක්සයිඩ් විමෝචනය අඩුකිරීමේ” සටන් පාඨය යටතේ ශ්‍රි ලංකාව වැනි රටවල් මත පටවන ලද ක්‍රියාමාර්ගයකි.
මෙහිදී පාස්කු ප්‍රහාරය, දෙවසරක කොවිඩ්-19 ලොක් ඩවුන්, බ්ලැක්රොක් වැනි කොල්ලකාරි සමාගම්වලට ගත් ණය සහ ගිනි පොලිය ගෙවීමට සිදුවීම, පාලකයන්ගේ දූෂණ ආදිය හේතුවෙන් ආර්ථික ආගාධයක පතුලටම වැටී සිටි සාමාන්‍ය ජනතාව සාගතයක් කරා යොමු කිරීමක් සිදුවන බව දැන සිටියද ඉහත ජාත්‍යන්තර සංවිධාන හෝ ශ්‍රි ලංකා රජය ඒ පිළිබඳව කිසිදු සැළකිල්ලක් දක්වා නැති බව පෙනී යයි.

වී වගාවෙන් ගොවීන් පලවා හැරීමේ ගෝලීය කුමන්ත්‍රණය

ආසියාවේ ප්‍රධාන ආහාර බෝගයක් වන වී වගාව ඉහත බහුජාතික සමාගම්වල සහ අධිරාජ්‍යවාදි ආයතනවල ඉලක්කයක් බවට පත්ව ඇත්තේ දැනට බොහෝ කලෙක සිටය. වී වගාවේ බීජ නිෂ්පාදනය සහ ජාන සම්පත් තම පාලනය යටතට ගැනීම, වී වගාව සඳහා යොදාගෙන ඇති ඉඩම් වෙනත් අපනයන බෝග සඳහා යොදා ගැනීම, වී වගාව ආර්ථික වශයෙන් පාඩු සිදුවන වගාවක් බවට පත් කිරීමට විවිධ උපක්‍රම යොදමින් ගොවි ජනතාව අධෛර්යමත් කිරීම, වරින්වර විවිධ හානිකර වල්පැළෑටි, පලිබෝධක වර්ග මුදාහැරීම ඔවුන් විසින් ඒ සඳහා දියත් කර ඇති උපක්‍රමයන්ය.
ශ්‍රි ලංකාවේ රසායනික පොහොර තහනමේ එක් ප්‍රධාන ඉලක්කයක් වූයේ ද වී වගාවයි.
වී වගාව විසින් වායුගෝලය උණුසුම්වීමට හේතුවන හරිතාගාර වායූන් මුදා හැරීම පිළිබඳව ලෝක බැංකුවේ බ්ලොග් වෙබ් අඩවිය තුළ මෙසේ අවධාරණය කර ඇත.
” වෙනස්වන දේශගුණික තත්ත්වයන්, ඉහළ යන උෂ්ණත්වයන්, නිරන්තර නියඟයන්, ගංවතුර, සහ කුණාටු ආදිය විසින් වී වගාවත්, වීගොවියන්ගේ ජීවන වෘත්තියත් විනාශ කරමින් තිබේ.කෙසේ වුවද වී නිෂ්පාදනය එය විසින්මද දේශගුණය කෙරෙහි බලපෑමක් ඇති කරයි : හරිතාගාර ආචරණයට හේතුවන මිතේන් නයිට්‍රස් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වැනි වායු විමෝචන කිරීම වි නිෂ්පාදනයේ සහ ඒ හා සම්බන්ධිත වෙනත් ආර්ථික ක්‍රියාකාරිත්වයන්ගේ අතුරු ප්‍රතිඵල වේ.
වී වගාව ලෝකයේ මීතේන් විමෝචනයෙන් 10%කට සහ ලෝකයේ ප්‍රධනතම සහල් කල්දේරම ලෙස සැලකෙන දකුණු නැගෙනහිර ආසියානු කලාපයේ මිතේන් විමෝචනයෙන් 25-33% අතර ප්‍රමාණයකට වගකිව යුතු වේ.
සුබාරංචිය නම් දේශගුණික සුහුරු කෘෂිකර්මය (climate-smart agriculture-CSA) අප අනුභව කරන ආහාර “හරිතකරණය” සඳහා විසඳුමක් ලෙස ඉදිරිපත්ව ඇත.මෙම භාවිතයන් විසින් අස්වැන්න වැඩි කරන අතරදේශගුණික නම්‍යශිලිතාව ඉහළ දමමින් හරිතාගාර ගෑස් විමෝචනය අඩු කරයි.”
ලෝකයේ වී නිෂ්පාදනය කරන ප්‍රධානතම රටක් වන බංග්ලා දේශයේ වී නිෂ්පාදනය විසින් හරිතාගාර වායු විමෝචනය කරන ආකාරය අවධාරණය කරමින් 2023 වසරේදි නිකුත් කළ තවත් අධ්‍යයන පත්‍රිකාවක මෙසේ සඳහන් වේ.
” වී වගාව මත පදනම් වූ නිෂ්පාදන පද්ධතින් විසින් වසරකට කාබන් ග්‍රෑම් මිලියන 523ක් (Mg) නිෂ්පාදනය කරන බවට වාර්තා වී ඇත. මෙය සමස්ත ගෝලීය කෘෂි නිෂ්පාදනය විසින් 2012 වසරේදී නිෂ්පාදනය කරන ලද කාබන්ඩයොක් සයිඩ් ප්‍රමාණයෙන් 8.8-10% ක් වේ.”
වී වගාව විසින් සිදුකරතැයි කියන “හරිතාගාර වායු විමොචනයන්” පිළිබඳව තවත් මෙවැනි අධ්‍යයන පත්‍රිකා සිය ගණන් දැකිය හැකිය.මෙම අධ්‍යයන සැලසුම් කෙරී ඇත්තේම වී වගාවේදී විමෝචනය කරන මිතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් යන වායූන් හරිතාගාර ආචරණයට හේතුවන බවත් ඒ මගින් වායුගෝලයේ උෂණත්වය ඉහළ ගොස් විනාශකාරි දේශගුණික විපර්යාසයන් ඇතිවන බවත් සනාථ කිරීමේ ඉලක්කය සහිතවය.
දැන් නැවතත් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුමේ වන පරිච්ඡේදයේ 3 වන වගන්තිය වෙත අවධානය යොමු කරමු.
“3. ගිවිසුමේ පාර්ශවයන් විසින්, පාරිසරික, දේශගුණික, සමාජීය, මානව සහ ආර්ථික සාධක විසින් වසංගත අවදානම වැඩි කරනු ලබන බව පිළිගනු ලබන අතර ඒවා හඳුනාගනිමින් සුදුසු පරිදි වෙනත් ජාත්‍යන්තර මෙවලම් සමග අන්තර් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරමින් සහ ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික මට්ටම්වලදී අදාළ ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීමේදී එම සාධක සැළකිල්ලට ගැනීමට උත්සාහ කරනු ලබයි.”
ඉහතදී අප විසින් පෙන්වා දුන් පරිදි එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහ ලෝක බැංකුවේ ප්‍රකාශ , විවිධ අධ්‍යයන පත්‍රිකා ආදිය මගින් වී වගාව විසින් විමෝචනය කරනු ලබන “හරිතාගාර ආචරණ වායූන්” නිසා දේශගුණික විපර්යාස ඇතිවන බව තහවුරු කිරීමට වෑයම් දරා ඇත.මෙම ආඛ්‍යානය ගොඩ නැගෙන්නේ නිශ්චිත අරමුණක්ඇතිවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහත පරිච්ඡේදයේ 3 වගන්තිය තුළ, “වසංගත අවදානම ඉහළයාමට බලපාන” සාධක අතරට දේශගුණයද ඇතුළත් කර තිබේ. දැන් ඔබට මොවුන්ගේ ක්‍රීඩාව කුමක්දැයි වටහා ගැනීමට අපහසු නොවනු ඇත.
මෙම වසංගත ගිවිසුම සම්මත වී බලාත්මක වුවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවැරෙන බලතල අනුව, යම් ගෝලීය වසංගතයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද, එම අවදානම උත්සන්න වීමට දේශගුණික විපර්යාස බලපාන බවද නිගමනය කළ හැකිය. ඉන් පසුව ඔහුට එම දේශගුණික විපර්යාස ඇතිවීමට බලපාන හරිතාගාර වායු විමෝචනය අඩුකරන ලෙසට රටවලට නියෝග කිරීමේ නීත්‍යානුකූල බලය හිමි වේ. ඒ අනුව දැනටමත් හරිතාගාර ආචරණයට හේතුවන වගාවක් ලෙසින් සළකා ඇති වී වගාව විශාල ප්‍රතිශතයකින් හෝ අඩු කරන ලෙස හෝ එවැනි වායු විමෝචනය අඩු කෙරෙන කෘෂි තාක්ෂණික ක්‍රම භාවිතා කරන ලෙස හෝ රජයට නියෝග දීමේ බලතල ඔහු සතුවේ.
එවැනි” තාක්ෂණික ක්‍රම” සාමාන්‍ය ගොවි ජනතාව සතුව නැති අතර ඒවා මිලදී ගැනීම සඳහා වත්කමක් ද ඔවුන් සතුව නැත. මෙහි තේරුම වී වගාවෙන් ජීවත්වන දශ ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනයාට සිය ජිවිකාව අහිමිවන බවය. එපමණක් නොව ගොවි ජනයා මෙලෙස වී වගාවෙන් පළවා හැර ඔවුන්ගේ ඉඩකම් අල්ලාගැනීම සඳහා දැවැන්ත කෘෂි සමාගම්වලට මේ මගින් පහසුවෙන් දොරටු විවර කර දීමක් සිදුවනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනටමත් කෘත්‍රිම බුද්ධිය මගින් සිදු කරන ස්මාර්ට් කෘෂිකර්මයක් ගැන වාචාල දොඩවන්නේ මොවුන්ගේ න්‍යාය පත්‍රය පෙරට දැමීමටය.

වසංගත ආඛ්‍යානය සහ පශු සම්පත් විනාශ කිරීම

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුම තුළ එම සංවිධානය විසින් දැනට ප්‍රවර්ධනය කරමින් පවතින “එක් සෞඛ්‍යයක් සඳහා වන ප්‍රවේශය “(One Health Approach) පිළිබඳව මෙසේ දැක්වේ.
වසංගත ගිවිසුමේ අදාළ වගන්ති
“10. එක් සෞඛ්‍යයක් සඳහා ප්‍රවේශය ද ඇතුළත් ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ බහු ආංශික සහයෝගීතාවක් හරහා මානව සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කරමින්ද,”
(ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුමේ පූර්විකාව 10 වැනි කරුණ)
“(b) “එක් සඳහා වන සෞඛ්‍යයක් ප්‍රවේශය ” (One Health approach) යන්නෙහි අර්ථය තිරසාර සමතුලිතතාවකින් සමන්විත සහ මනුෂ්‍යන්ගේත්, සත්වයන්ගේත්, පරිසර පද්ධතීන්ගේත් සෞඛ්‍යමත් පැවැත්ම වෙනුවෙන් වරණීය ලෙස සකස්කරන ලද මනා ලෙස අන්තර්ග්‍රහණය කරන ලද්දාවූත්, ඒකීය ප්‍රවේශයකි. මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යය, ගෘහස්ත සත්වයන් සහ වන ජීවින්, ශාක සහ පුළුල් පරිසරය සමීප ලෙස සම්බන්ධව ඇති බවත් අන්‍යොන්‍ය ලෙස රඳා පවතින බවත් මේ මගින් පිළිගැනේ.”
(ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත වසංගත ගිවිසුමේ 1 වැනි පරිච්ඡේදය. හැඳින්වීම,1.යෙදුම් නිර්වචනය )

මෙම වසංගත ගිවිසුමේ 1 වැනි පරිච්ඡේදයේ ““එක් සඳහා වන සෞඛ්‍යයක් ප්‍රවේශය ” සම්බන්ධව ඉහත දක්වා ඇති පරිදි නිර්වචනය කෙරී ඇත. මෙහි “… තිරසාර සමතුලිතතාවකින් සමන්විත සහ මනුෂ්‍යන්ගේත්, සත්වයන්ගේත්, පරිසර පද්ධතීන්ගේත් සෞඛ්‍යමත් පැවැත්ම…” යනුවෙන්ද “…මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යය, ගෘහස්ත සත්වයන් සහ වන ජීවින්, ශාක සහ පුළුල් පරිසරය සමීප ලෙස සම්බන්ධව ඇති බවත් අන්‍යොන්‍ය ලෙස රඳා පවතින බවත්..” යනුවෙන් සඳහන් වේ.
එන්නත් නිපදවන ඖෂධ සමාගම් තුළ ආයෝජනය කර ඇති බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, එන්නත් අලෙවි කිරීමේ අතරමැදි “බිස්නස් මොඩලයක්” ලෙස සැළකිය හැකි GAVI පදනම, මානව විරෝධී සහ විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ආචාර ධර්ම උල්ලංඝණය කරමින් මානව සහ සත්ව ගෙනෝමය පිළිබඳ ජාන විද්‍යාත්මක පර්යේෂණ පවත්වන යුජෙනික්ස්වාදි හෙන්රි වෙල්කම් පදනම, මිනිස් සංහතිය මිලියන 500ක් දක්වා අඩු කිරීමට කැස කවන රොකෆෙලර් පදනම වැනි ආයතන සහ සමාගම්වල අරමුදලෙන් යැපෙන ගමන්, ඔවුන්ගේ ව්‍යාපාරික සහ වෙනත් දුෂ්ට මානව විරෝධී අරමුණු ඉටු කිරීම සඳහා කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමකින් ‌තොරව ස්වභාවික ප්‍රතිශක්තිකරණය පිළිබඳ සාධකය ප්‍රතිශක්තිය පිළිබඳ සිය නිර්වචනයෙන් කටු ගා දැමූ, පසුගිය ව්‍යාජ කොවිඩ්-19 වසංගතයට අදාළව ජාන විකෘතිකාරක mRNA තාක්ෂණය මගින් සමස්ත මානව සංහතිය එන්නත් කිරීමට උපදෙස් සපයන ලද ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි අපරාධකාරි සංවිධානයකට ” මනුෂ්‍ය, සත්ව සහ පරිසර පද්ධතියේ සමතුලිත සෞඛ්‍යමත් පැවැත්ම ගැන” හෝ “…මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යය, ගෘහස්ත සත්වයන් සහ වන ජීවින්, ශාක සහ පුළුල් පරිසරය සමීප ලෙස සම්බන්ධව ඇති බවත් අන්‍යොන්‍ය ලෙස රඳා පැවැත්ම..” ගැන කිසිවෙකුට හෝ උපදෙස් දීමට, නියෝග දීමට ඒ සඳහා ගිවිසුම් අත්සන් තබන ලෙස බල කිරීමට හෝ තබා අඩු තරමින් කිසිවෙකු සමග ඒ ගැන සඳහන් කිරීමටවත් සදාචාරාත්මක අයිතියක් නැත.
නමුත් ඔවුන් “මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යය ගෘහස්ත සත්වයන් සහ වන ජීවින්, ශාක සහ පුළුල් පරිසරය සමීප ලෙස සම්බන්ධව ඇති බවත් අන්‍යොන්‍ය ලෙස රඳා පවතින බවත්” නිර්වචනය කරමින් ” එක් සෞඛ්‍යයක් සඳහා ප්‍රවේශය” ප්‍රවර්ධනය කරනු ලබන්නේ මානව සෞඛ්‍යයට අමතරව එම ක්ෂේත්‍රයන්ද සිය ආධිපත්‍යයට යටත් කර ගැනීම සඳහාය.
ලෝක ජනගහණය අඩු කිරීමේ කෘර මැල්තුසියන්වාදි සිහිනය දකින මෙම බලවේග ඒ සඳහා වර්තමාන ආහාර නිෂ්පාදන පද්ධතින් සහ සැපයුම් මාර්ගවලට එරෙහිව අනවරත රහසිගත යුද්ධයක් දියත් කර තිබේ. ගෝලීය ආහාර නිෂ්පාදනය අවම කිරීම මගින් ලෝක ජනගහණය පාලනය කිරීමේ අරමුණ ඉටුකරගත හැකි වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. දේශගුණ විපර්යාස සහ වසංගත පිළිබඳ බියජනක ආඛ්‍යානයන් ගොඩ නගමින් ආහාර බෝග වගාව, කිරි, බිත්තර, මස් වැනි ප්‍රෝටීන ප්‍රභවයන් නිෂ්පාදනය කෙරෙන සත්ව ගොවිපොලවල් වසා දැමීම මගින් පශු නිෂ්පාදන කර්මාන්තය විනාශ කිරීම, දැවැන්ත ධීවර සමාගම්වලට මත්ස්‍ය සම්පත කොල්ලකෑමට ඉඩ දී පරිසර සංරක්ෂණයේ නාමයෙන් සාමාන්‍ය ධීවරයන්ගේ ජිවිකාව විනාශ කිරීම හරහා මාළු වැනි ප්‍රෝටීන් සඳහා සාමාන්‍ය ජනතාවන් ප්‍රවේශය විය නොහැකි තත්ත්වයක් ඇති කිරීම ආදිය එම අරමුණ ඉටුකර ගැනීමට යොදාගෙන ඇති විවිධ උපක්‍රම අතරින් කීපයකි.
පසුගිය දශක කීපයක් තිස්සේ වසර කීපයකට වරක් කුකුළන්, පක්ෂින්, ඌරන්, ගවයන් වැනි පශු නිෂ්පාදනයට අදාළ සත්වයින් ඇසුරෙන් මිනිසුන් ආසාදනය කෙරෙන රෝග පිළිබඳ නිරන්තර භීතිකාවක් පවත්වාගෙන යන ලදි. මෙම වසංගත භීතිකාවන් හේතුවෙන් ලෝකය පුරා රටවල කුකුළන් ඌරන්, ගවයන් බිලියන ගණන් මරා විනාශ කරන ලදි.

පිස්සු ගව රෝගය ( Bovine spongiform encephalopathy-Mad Cow Disease-BSE)

පිස්සු ගවරෝගය යනුවෙන් හැඳින්වෙන්නේ ගවයන්ගේ ස්නායු පද්ධතිය ආසාදනය වීමෙන් සෑදෙන රෝගයකි. ගවයන්ගේ අසාමාන්‍ය චර්යාවන්, ඇවිදීමේ දුෂ්කරතා, බර අඩුවීම සහ අවසානයේ දී පක්ෂාඝාතයට ලක්වීම මෙහි රෝග ලක්ෂණ වන අතර ප්‍රියොන් නම් විකෘති ප්‍රෝටීනයක් හේතුවෙන් මෙය සිදුවේ යැයි විශ්වාස කරනු ලැබේ.
19 වන සියවසේ මැද වනතෙක් කෘෂිකර්මය බ්‍රිතාන්‍ය ආර්ථිකයේ ප්‍රධාන අංශය විය.දෙවන ලෝක යුද්ධය වනතෙක් බ්‍රිතාන්‍යයට සිය වෙනත් යටත් විජිත වලින් ආනයනය කළ ආහාර මගින් සිය වැඩි වෙමින් පවතින ජනතාවගේ ආහාර අවශ්‍යතා සැපයිය හැකි වූ නමුත් දෙවන ලෝක යුද්ධ සමයේ සැපැයුම් මාර්ග අඩාල වීමද යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යයට විශාල වශයෙන් එහි යටත් විජිත අහිමි වීමද හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සඳහා ආරක්ෂණ වාදය කරා යොමු වන්නට සිදු විය. මේ අනුව ඒහි කෘෂිකර්මය සංවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජන සිදු වූ අතර 1973 දී යුරෝපීය පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හේතුවෙන් එයට නව වෙළඳපොළවල දොරටුද විවර විය.
පිස්සු ගව රෝගය 1980-85 දශකයේ ආරම්භවන විට පශු කර්මාන්තය බ්‍රිතාන්‍ය කෘෂිකර්මාන්තයේ විශාලතම අංශය විය. එය බ්‍රිතාන්‍යයේ සමස්ත කෘෂි නිෂ්පාදනයෙන් 38%ක් විය. පිස්සු ගව රෝගයට හේතුව කිරි අස්වැන්න වැඩි කරගැනීම සඳහා ඔවුන්ට වෙනත් සත්ව ප්‍රභවයන්ගෙන් ලබාගෙන සකස් කරන ලද අධි ප්‍රෝටීනමය සත්වාහාරයක් ලබාදීම නිසා බව විශ්වාස කෙරිණි. කෙසේ වුවද මෙම රෝගය ආරම්භවූයේ යැයි කියන ස්ථානය සහ කාලය පිළිබඳ විවිධ පරස්පර තොරතුරු පවතී. මෙම රෝගය වෙනත් සතුන්ට ආසාදනය නොවන බව පැවසුණද පසුව එය මගින් බැටළුවන් සහ පූසන්ද ආසාදනය වූ බවට පුවත් පළ වී තිබේ.
මේ හේතුවෙන් ආසාදනයවීමට ඉඩ ඇතැයි සැළකෙන ගවයන් මිලියන 4.4ක් බ්‍රිතාන්‍ය තුළ මරාදමන ලද බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද ගවයන් විශාල සංඛ්‍යාවක්ද එක්සත් ජනපදය ඇතුළු රටවල් විසින් මරා දමනලදි. බ්‍රිතාන්‍යයෙන් මස් ආනයනය කිරීම බොහෝ රටවල් විසින් තහනම් කරන ලදි.
1994 සිට විවිධ පුද්ගලයන් සුළු පිරිසකට පිස්සු ගව රෝගයේ රෝග ලක්ෂණවලට සමාන ස්නායු රෝගවලට ගොදුරු වූ අතර BSE ආසාදනය වූ ගවමස් ආහාරයට ගැනීම නිසා සිදුවන්නට ඇතියි විශ්වාස කෙරිණි එම රෝගය
1995දී 19 හැවිරිදි ස්ටීවන් චර්චිල්ට ආසාදනය වී මරණයට පත්වීම මෙම රෝගය පළමු වරට මිනිසෙකුට ආසාදනය වූ අවස්ථාව ලෙස සැළකේ. BSE ආසාදනය වූ ගවමස් ආහාරයට ගැනීම නිසා මෙය සිදුවන්නට ඇතැයි මුලදී විශ්වාස කළ බ්‍රිතාන්‍ය රජය විසින් පවත්වන ලදපරීක්ෂණවලින් පසුව නිගමනය කෙරුණේ ඔහුගේ මරණය හා පිස්සු ගව රෝගය අතර සම්බන්ධයක් නැති බවය.Variant Creutzfeldt-Jakob disease නැතහොත් vCJD ලෙස නම් කරන ලදි.
කෙසේ වුවද පසුව නැවතත් 2001 වසරේදී මෙම පිස්සු ගව රෝගය වසංගතයක් ලෙස නැවැත පැතිරෙන බව බ්‍රිතාන්‍ය විසින් නිවේදනය කරන ලදි.මෙමගින් පුද්ගලයන් 50,000ක් පමණ මරණයට පත්වනු ඇතැයි මහාචාර්ය නීල් ෆර්ගසන් විසින් සකස් කරන ලද සංඛ්‍යාමය ආකෘතින් අනුව ප්‍රක්ෂේපණය කරන ලදි. මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය විසින් නැවත වතාවක් තවත් ගවයන් මිලියන 6.5ක් මරා දමන ලදි. නමුත් ෆර්ගසන්ගේ සංඛ්‍යා ලේඛන වැරැදි බව සනාථ විය. 1980 ගණන්වල සිට මේ දක්වා මෙම රෝගයෙන් මරණයට පත්ව ඇත්තේ 2,800ක ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවකි.

කුරුළු උණ 2005 H5N1

2005 කුරුළු උණ නම් වසංගතයක් පැතිරෙමින් පවතී යැයි ආසියාවේ සහ ලෝකයේ තවත් ඇතැම් රටවල පැතිර ගිය භිතිය හේතුවෙන් එම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රටවල් රැසක් විසින් මිලියන ගණන් කුකුළන් මරා දමන ලදි.
මෙම භීෂණයට පදනම් වූයේ බ්‍රිතාන්‍ය මහචාර්යවරයෙකු වන නීල්ෆර්ගසන් නැවැත වතාවක් සාවද්‍ය සංඛ්‍යා ලේඛන මත පදනම්ව මෙම කුරුළු උණ වසංගතයෙන් පුද්ගලයන් මිලියන 200ක් ලොව පුරා මරණයට පත්වනු ඇතැයි සාවද්‍ය සංඛ්‍යාත්මක ප්‍රක්ෂේපන සහ අනුමාන ඉදිරිපත් කරමින් දියත් කළ භීෂණයයි. එය 1918 ස්පාඤ්ඤ උණ වසංගතය මෙන් දරුණු එකක් වනු ඇතැයි තවත් බොහෝ විශේෂඥයන් අනාවැකි පළ කරන ලදි. නමුත් මෙයින් මරණයට පත්වූයේ පුද්ගලයන් 100කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවට වාර්තා පළවිය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේද පිටු බලය ලද මෙම කුරුළු උණ භීෂණ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස වියට්නාමය, දකුණු කොරියාව ඇතුළු රටවල් 10ක් තුළ 2005 මාර්තු වනවිට කුකුළන් සහ තාරවන් ඇතුළු ගොවිපොළවල ඇති කරන පක්ෂීන් මිලියන 50ක් මරා දමන ලදි.
2005 ජූලි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටියේ ආසියාව තුළ කුරුළු උණ මගින් මිනිසුන් ආසාදනය වීම වැළැක්වීම සඳහා ඩොලර් මිලියන 150ක් සහ පක්ෂින් අතර එය පැතිරීම වැළැක්වීම සඳහා තවත් ඩොලර් මිලියන 100ක් අවශ්‍ය බවය.
2005 සැප්තැම්බරයේදී පැවැත්වුණු යුරෝපියන් ඉන්ෆ්ලුවන්සා සම්මේලනයේදී කුරුළු උණ වසංගතය සඳහා එන්නත් නිපදවීමේ පර්යේෂණවලට විවිධ රටවල් විසින් ඩොලර් මිලියන ගණන් දීමට පෙරොන්දු විය. කැනඩාව ‌කැනේඩියන් ඩොලර් මිලියන 34ක් ද, ජර්මනිය යුරෝ මිලියන 24ක් ද, යුරෝපා සංගමය යුරෝ බිලියනයක්ද ආදි වශයෙන් විශාල මුදල් සම්භාරයක් වසංගත සඳහා ප්‍රතිචාර දැක්වීමේ කටයුතුවලට ලබා දෙන ලදි. කෙසේ වුවද මේ මුදල් කවර ආකාරයකින් වියදම් කරන්නේ දැ යන්න නියෝජිතයන් වෙත පැහැදිලි කිරීමක් සිදු නොවීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ෆ්ලුවන්සා නියෝජිත කණ්ඩායමේ නායක ක්ලාවුස් ස්ටූවර්, යුරෝපා රටවල ආණ්ඩු එක් කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ඖෂධ සමාගම්වලින් ඖෂධ ඇණවුම් කිරීමේ කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දිය යුතු බවත් එමගින් අඩුමිලට කුරුළු උණ ඖෂධ සහ එන්නත් ලබාගත හැකි බවත් යෝජනා කලේය. එමගින් ඉතිරිවන මුදල් අනාගත වසංගත සඳහා සුදානම්වීමේ කටයුතු සඳහා ස්ථාවර අරමුදලක් පිහිටුවිය හැකි බවද ඔහුගේ අදහස විය. කෙසේ වුව ද මේ මුදල් වෙන් කිරීම් සහ ඒවා වියදම් කරන ආකාරය පිළිබඳ කිසිවක් සාමාන්‍ය මහජනයාට විවෘතව සිදු නොවිණි.
2005 අගෝස්තු මාසයේදී රෝෂ් ඖෂධ සමාගම විසින් කුරුළු උණ සඳහා නිපදවන ලදැයි කියන ටැමිෆ්ලූ එන්නත් මාත්‍රා මිලියන 3ක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බවට පොරොන්දු විය.
2005 නොවැම්බර් මාසයේදී ProMED නම් වෛද්‍ය විද්‍යාත්මක පුවත්පළ කෙරෙන වෙබ් අඩවියට ජපානයේ ටෝකියෝ නගරයේ ආසාදක රෝග පිලිබඳ ජාතික ආයතනයේ මසාටෝ ටෂිරෝ නම් ජපන් වෛරස් විද්‍යාඥයෙකු ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වූයේ චීනය තුළ පුද්ගලයන් 300 දෙනෙකු කුරුළු උණ රෝගයෙන් මරණයට පත්ව ඇති බවත් චීනය එම රෝගයෙන් සිදුව ඇති සත්‍ය මරණ සංඛ්‍යාව ලෝකයෙන් සඟවන බවත්ය. නමුත් තමන් ඒලෙස සඳහන් නොකළ බව කියමින් ටෂිරෝ පසුව එම පුවත ප්‍රතික්ෂේප කර තිබේ.
පිස්සු ගව රෝගය මෙන්ම කුරුළු උණ රෝගය පිළිබඳවද අතිශයෝක්තියෙන් දියත් කරන ලද බියගැන්වීමේ ව්‍යාපාරය විසින් ඖෂධ සමාගම්වලට ඩොලර් මිලියන සිය ගණන් ඉපැයීමේ අවස්ථාවන් විවර වූ අතර සාමාන්‍ය ප්‍රමාණයේ සත්ව ගොවිපොළවල් පවත්වාගෙන ගිය දුප්පත් ගොවීන්ගේ ආදායම් මාර්ගයන් විනාශයට පත්වීම සිදු විය.
සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව තමන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවන්ගෙන් 20%ක් පමණ සපයාගන්නේ කුකුළු, තාරා, වැනි සත්ව නිෂ්පාදන ඇසුරෙනි. මෙම H5N1 කුරුළු උණ වසංගතය භීතිය හේතුවෙන් වියට්නාමයේ පමණක් කුකුළන් මිලියන 50ක් මරා දමා තිබේ. දකුණු ආසියාතික රටවල ආර්ථිකයට මෙම කුරුළු උණ වසංගතය නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 10කට අධික යැයි ආහාර සහ කෘෂිකම සංවිධානය පවසා තිබේ.
ඉන්දුනීසියාවේ ගොවීහු මෙම කුරුළු උණ වසංගතය දෙස බැලුවේ සැක සහිත ලෙසය. කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමි ගොවින් නිෂ්පාදන කටයුතුවලින් පලවා හැරීම සඳහා විශාල බහුජාතික සමාගම් ගෙන යන වැඩ පිළිවෙළක් ලෙසත් , ආණ්ඩුවල දූෂිත දේශපාලනඥයන් විදේශිය වලින් මුදල් ආධාර ලබාගැනීමට කරන දෙයක් ලෙසත් ඔවුහු මෙම කුරුළු උණ වසංගතය පිළිබඳ පුවත් බැහැර කරන ලදි.
මෙම කුරුළු උණ වසංගතය මගින් සුළුපරිමාණ ලෙස ස්වකීය දෛනික පෝෂණය සඳහා හෝ අමතර ආදායමක් ඉපැයීම සඳහා පවත්වාගෙන ගෘහස්ථ මට්ටමින් කුකුලන් ඇති කරන (Backyard poultry production) ලද දුප්පත් ජනතාවට එම කටයුතු වලින් ඈත්වීමට බල කෙරිණි. වියට්නාම් බලධාරින් එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ මාර්ගෝපදේශනය සහ ආධාර සහිතව සත්ව පාලනය කාර්මිකකරණය කිරීමට කටයුතු කරණ ලදි. එමගින් විශාල පරිමාණයේ වාණිජ සත්ව ගොවිපොළවල් ස්ථාපිත කරන ලද අතර කුඩා පරිමාණයේ දුප්පත් කුකුළු ගොවිපොළ හිමියන්ගේ සංඛ්‍යාව 2010 වනවිට මිලියන 8 සිට මිලියන 2 දක්වා අඩු කර දැමිණි.
මෙම කුරුළු උණ වසංගත ආඛ්‍යානය හරහා එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයටත් ලෝක සෞඛ්‍ය සංවිධානයටත් ලෝකය පුරා සත්ව පාලන කටයුතුවලට මැදිහත්වීමට අවස්ථාව සැලසිණි. 2005 දී, කුරුළු සහ වසංගත ඉන්ෆ්ලුවෙන්සා පිළිබඳ ජාත්‍යන්තර හවුල්කාරිත්වය( International Partnership on Avian and Pandemic Influenza) පිහිටුවන ලද්දේ කුරුළු උණ රෝගයේ බලපෑම පිළිබඳ වැඩි වැදගත්කමක් දීම, අදාළ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීම සහ අනාගත වසංගතවලට වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීම සඳහා රෝග වාර්තා කිරීම සහ නිරීක්ෂණ වැඩිදියුණු කිරීම සඳහා ය. මේ මගින් ලෝකයේ සියලු රටවල් තමන්ගේ රටවල සත්ව පාලන කටයුතු පිළිබඳ ජෛව විද්‍යාත්මක දත්ත සහ අදාළ වෛරස් සාම්පල හෝ වෙනත් ජීවි ද්‍රව්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත නිතිපතා ලබාදීමට බැඳී සිටින තත්වයක් උද්ගත විය. මෙම දත්ත ලෝක සෞඛ්‍ය සංවිධාන තුළ විශාල බලයක් හිමිකරගෙන සිටින ඖෂධ සමාගම් වෙත සහ වෙනත් බාහිර ආයතන වෙත ලැබීම මගින් තමන්ගේ රටවලට සත්ව පාලන කටයුතුවලට මෙන්ම මහජන සෞඛ්‍යයටද හානියක් වෙතැයි බොහෝ රටවල ස්වාධීන විශේෂඥයන් මේ සම්බන්ධව සිය කණස්සල්ල පළ කරන ලදි.
2005 වසරේ අගොස්තුවේදී එක්සත් ජනපදයේ මායින් හි ජීව තාක්ෂණ සමාගමක් වෙත කුරුළු උණ වසංගත වෛරස් සාම්පලයක් රැගෙන යාමට තැත් කළ අයෙකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 5ක් එරට අධිකරණය විසින් දඩගසන ලදි. මෙම සමාගම විසින් මෙම වෛරස් සාම්පලය යොදාගනිමින් කුරුළු උණට එරෙහිව එන්නතක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කළ බව කියැවිණි.

2009 ඌරු උණ වසංගත ප්‍රෝඩාව

2009 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් විවිධ රාජ්‍යයනුත් ඒවායේ සෞඛ්‍ය බලධාරිනුත් ජනමාධ්‍යයත් විසින් කරළියට ගෙන එන ලද “ඌරු උණ ” නැතහොත් H1N1 වසංගතය ගැන ඇතැම් විට ඔබ අසා තිබෙන්නට පුළුවන. මෙහිදී එවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාගරට් චෑන් විසින් ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර එය ප්‍රෝඩාවක් බව බව පසුව සනාථ වූ අතර එමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ ඇති දූෂිත භාවයේ පරිමාණය හෙළිදරවු විය.
ඌරු උණ වසංගතය හෙවත් H1N1 වෛරසයෙන් ආසාදිතයෙකු හමු වී ඇතැයි පළමුවරට ජන මාධ්‍ය විසින් වාර්තාකරන ලද්දේ මෙක්සිකෝවේ වේරාකෘස් හි ලා ග්ලොරියා ගම්මානයෙනි. එඩ්ගාර් හර්නැන්ඩස් නම් 5 හැවිරිදි ළමයෙකු දින කීයක සිට උණ රෝගයෙන් පීඩා විඳි අතර ඔහුගේ උගුරේ තදබල දැවිල්ලක් පවතී යැයි ඔහු විසින් පවසා තිබිණි. ඔහු තුළ තවදුරටත් ආහාර රුචියක් නොවූ අතර සිරුර පුරා පැතුරුණ වේදනාවන්ගෙන් පීඩා වින්දේය.
දින 4 කට පසුව හර්නැන්ඩෙස් සම්පූර්ණයෙන් සුව වී නැගිට්ටේය. ඔහු තුළ එම උණ රෝගය හදිසියේ මතු වූ ආකාරයෙන්ම එය ඔහු වෙතින් ඉවත්ව යාමද සිදුවී තිබිණි. එය සාමාන්‍ය උණක් හැරෙන්නට වෙන කිසිවක් නොවිණි. හර්නැන්ඩස්ට පෙර එම ගම්මානයේ තව බොහෝ දෙනෙකුන්ටද එම උණ රෝගය වැළැඳී සුව වී තිබිණි.
මෙක්සිකෝ ජනමාධ්‍ය සහ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් මෙම පුවත වහාම ලෝකය පුරාම ව්‍යාප්ත කරන ලදි. එම පුවත්වලට අනුව මහා බිහිසුණු වසංගතයක් මෙක්සිකොවේ ඌරු පට්ටිවලින් ඇරඹී ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවතින අතර එය විසින් පුද්ගලයන් මිලියන දුසිම් ගණන් මරාදමනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය, වසංගත මර්දන ආයතන, ඒ ඒ රටවල් සෞඛ්‍ය බලධාරින්, වෛරස් විශේෂඥයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් ආදින් උපුටා දක්වමින් ජනමාධ්‍ය හරහා සමාජය මත භීෂණ ව්‍යාපාරයක් ගොඩ නැගීමද ඊට සමාන්තර සිදු විය.
ඌරු උණ නමින් හඳුන්වන ලද ඉන්ෆ්ලුවන්සා රැල්ල මාරාන්තික එකක් නොවීය. වසංගතයක් තත්ත්වයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එතෙක් පැවැති නිර්වචනය අනුව මෙය වසංගතයක් ලෙස නම් කිරීමට නොහැකි වූයේ එහෙයිනි. කෙසේ හෝ වසංගත තත්ත්වයක් ප්‍රකාශ කරගැනීමේ උවමනාවකින් පෙළුණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීන් විසින් ඒ සඳහා සිදුකරන ලද්දේ වසංගතයක් පිළිබඳ එතෙක් පැවැති නිල නිර්වචනයේ ඒ දක්වා පැවැති ” අදාළ රෝගයේ මාරාන්තික බව සැළකිල්ලට ගතයුතුය” යැයි කියැවෙන නිර්ණායකය කිසිදු පැහැදිලි කිරීමකින් තොරව රහසේම ඉවත් කිරීමය. එය සිදු වූයේ 2009 මැයි මසදීය.
පසුව 2009 දී ඌරු උණ (swine flu- H1N1) රෝගයෙන් පුද්ගලයන් 65,00ක් බ්‍රිතාන්‍ය තුළදී පමණක් මිය යනු ඇතැයි නීල් ෆර්ගසන් විසින් අනතුරු අඟවන ලදි. ජනමාධ්‍ය විසින් නිර්මාණය කරන ලද ඌරු උණ භීතිකාව පහ වූ පසුව පැහැදිලි වූයේ එයින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 457ක් බවයි.
බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොල් ෆ්ලින්(Paul Flynn) විසින් යුරෝපා පාර්ලිමේන්තු කවුන්සලය වෙනුවෙන් සිදු කරන ලද විමර්ශන වාර්තාව තුළ, මෙම ඌරු උණ වැනි හානිදායක බවින් අඩු ඉන්ෆ්ලුවන්සා ආසාදන රැල්ලක් 1918 ස්පාඤ්ඤ වසංගතයට සමාන කිරීමට ලෝක ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එයට උපදෙස් දෙන පුද්ගලයන් දරන උත්සාහය ගැන අංක 26 යටතේ මෙසේ සඳහන් කර ඇත.

“26. ජනවාරියේ සංවිධානය කරන ලද විභාගයෙහි අරමුණ වූයේ සාමාන්‍යයෙන් එක්තරා ආකාරයක හැඟීම්බර විවාදයක් ලෙස වර්ගීකරණයට ලක්කරන ලද සංදර්භයක් තුළ සංවේදී තේමාවක් පිළිබඳ විවාද කිරීමට වාස්තවික වේදිකාවක් ප්‍රදානය කිරීමය.
කලින් ශත වර්ෂවල හටගත් මාරාන්තික වසංගත හා මෙම H1N1 ඉන්ෆ්ලුවන්සා වසංගතය සම්බන්ධ කිරීමත් එයට සමාන කිරීමට තැත් කිරීමත් පිළිබඳව ජර්මනියේ මුන්ස්ටර් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිළිබඳ සහයෝගිතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වූ වසංගතවේදය පිළිබඳ මහාචාර්ය කයිල් විසින් විවේචනය කර තිබේ. ඔහුගේ දැක්ම අනුව 1918 වසරේ යුරෝපයේ ව්‍යාප්ත වූ “ස්පාඤ්ඤ උණ ” (Spanish flu) සහ H1N1 ඉන්ෆ්ලුවන්සා සන්සන්දනය කිරීම නුසුදුසු දෙයකි. මක් නිසාද යත් මෙම අවස්ථා දෙකේ සැබෑ මරණ සහ ආසාදිතයන් පිළිබඳ සංඛ්‍යාවන් කොහෙත්ම සන්සන්දනය කළ නොහැකි බැවිනි. ස්පාඤ්ඤ උණ පැතිරුණේ සොල්දාදුවන් මගින් පහසුවෙන් රෝග ව්‍යාප්ත විය හැකි පළමු ලෝක යුද්ධ සංදර්භය තුළය. ඔවුහු භයානක ලෙසින් මන්දපෝෂණයට ගොදුරු වී සිටි අතර පෙනිසිලින් වැනි අද සාමාන්‍ය ප්‍රාථමික ප්‍රතිකාර සහ ඖෂධ ලෙස සැළකෙන වෛද්‍ය පහසුකම් පවා ඔවුනට නොතිබිණි. මෙවැනි සංසන්දනයක් මගින් සිදු වූ එකම දෙය අනවශ්‍ය භීතිකාවක් යුරෝපීය ජනතාව තුළ ඇති කිරීම පමණි.”

(Rapporteur: Paul FLYNN,Memorandum:The handling of the H1N1 pandemic: more transparency needed, Social, Health and Family Affairs Committee, AS/Soc (2010) 12 ,23 March 2010)

2009 ජූනි මාසයේදී ඌරු උණ මගින් පුද්ගලයන් 141ක් මරණය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කරන ලදි. මේ මියගිය සියලු දෙනාම පාහේ වෙනත් රෝගවලින් පෙළෙමින් සිටි පුද්ගලයන්ය. ආසාදිතයන් අති බහුතරයක රොග ලක්ෂණ ඉතා මෘදු ඒවා විය. “සූඩ්ඩොයිෂ ට්සයිටුන්ග් “(Süddeutsche Zeitung) විසින් ඌරු උණ ආසාදනය වී සුව වූ අයෙකු සම්මුඛ පරීක්ෂණයට ලක් කළ විට ඔහු පවසා තිබුණේ “මට තිබුණ ප්‍රධාන ප්‍රශ්ණය බඩු ගේන්න කඩේ යන්නේ කවුද යන්න ගැනයි ” යනුවෙනි.
කෙසේ වුවද “ඌරු උණ” බිහිසුණු වසංගතයක් ලෙස මවා පාමින් ගොඩ නගන ලද ආඛ්‍යානය ජනමාධ්‍ය විසින් ලොව පුරාම වර්ධනය කරන ලදි. මෙහි ප්‍රතිඵලය වූයේ ලොව පුරා බොහෝ රටවල සත්ව ගොවිපොලවල සිටි ඌරන් මිලියන ගණනින් මරා දැමීමය.
2009 මැයි මාසයේදී ඊජිප්තු රජය ඌරන් සංහාරය අරඹන විට ඌරු උණ ඊජිප්තුවට පැමිණ නොතිබිණි. එකදු පුද්ගලයෙකු හෝ සතෙකු එයින් ආසාදනය වී නොතිබිණි. කෙසේ වුවද 3,00,000ක් ඌරන් පොලිසිය සහ මහජන සෞඛ්‍ය නිලධාරින් එක්ව ඝාතනය කරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඌරු උණ භීතිකාව පුස්සක් බවට පැහැදිලි වූ පසු ඊජිප්තු රජය සිය තනුව හෙමින් සීරුවේ වෙනස් කරමින් ඌරන් මරාදැමුවේ පරිසරයේ අපිරිසිදු බව නිසා බව ප්‍රචාරය කරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඌරු උණ භීතිකාව පුස්සක් බවට පැහැදිලි වූ පසු ඊජිප්තු රජය සිය තනුව හෙමින් සීරුවේ වෙනස් කරමින් ඌරන් මරාදැමුවේ පරිසරයේ අපිරිසිදු බව නිසා බව ප්‍රචාරය කරන ලදි. හොස්නි මුබාරක් රජය මේ අවස්ථාව යොදාගත්තේ ඉතා දිළිඳු සහ දැඩි වෙනස් ලෙස සැළකීම්වලට ලක්වෙන සබ්බාලීන් හෙවත් කසල අහුළන්නන් ලෙස හැඳින්වෙන ක්‍රිස්තියානි ප්‍රජාවේ ජීවිකාව අහිමි කරමින් ඔවුන් කයිරෝවෙන් පලවා හැරීම සඳහාය. දහස් ගණන් ගොවීන්ට සිය ආදායම් මාර්ග පමණක් නොව පරම්පරා ගණනක් තිස්සේ අභිජනනය මගින් ගුණාත්මක ලෙස වර්ධනය කර තිබූ සත්ව ගහණයද සදහටම අහිමි විය. මෙමගින් ඊජිප්තුවේ ආහාර නිෂ්පාදනයට බරපතල හානියක් සිදු කරන ලදි.ඌරන් විනාශ කිරීමට පැමිණි පොලිස් නිලධාරින් හා මෙම දිළිඳු කොටස් අතර දරුණු විදී සටන් ඇති විය.
ඉන්දුනීසියාව ඌරු මස් ආනයනය නතර කර දැමූ අතර ඉරාක රජය වල් ඌරන් මරාදැමීමට නියෝග දුන්නේය. නොර්වේ විසින් සත්ව ගොවිපොළ දෙකක ඌරන් 1400ක් පමණ මරා දමන ලදි.ලෝකයේ රටවල් ගණනාවක් ඌරු මස් ආනයනය නතර කළ අතර එම මස් පරිභෝජනය නවත්වන ලෙස ජනතාව වෙත නිවේදනය කරන ලදි.
මෙහි ප්‍රතිඵලය වූයේ සුළු පරිමාණ ඌරු කොටු පවත්වාගෙන ගිය දුප්පත් ගොවීන්ට සිය ගොවිපොළවල් පවත්වාගත නොහැකිව ඒවා වසා දමා ජිවත්වීම සඳහා වෙනත් රැකියාවන් සොයා ගැනීමටය.
ඉහත දැක්වුණ කුරුළු උණ හා ඌරු උණ වසංගත අවස්ථාවලදී සුළු පරිමාණ සත්ව ගොවිපොළවල් හිමියන් සහ ගෘහස්ථ මට්ටමින් සතුන් ඇති කරන්නන්හට එම සත්ව නිෂ්පාදන කටයුතුවලින් ඉවත් වීමට බල කෙරිණි. ඔවුන්ට සිය ගොවිපොළවල සනීපාරක්ෂක තත්ත්වයන් ක්ෂණිකව වර්ධනය කරන ලෙස ආණ්ඩු විසින් බල කරනු ලැබුවද ඒ සඳහා කිසිදු ආධාරයක් ලබාදීම සිදු නොවිණි. මෙයින් සිදු වූ දැවැන්ත පශු නිෂ්පාදන සමාගම්වලට ඒම ක්ෂේත්‍රය සීමා වීමය. මස් සහ බිත්තර පරිභෝජනය පහළ යාමට මෙම නිරන්තර වසංගත භීතිකාව සහ ඒ හේතුවෙන් මිල ඉහළයාම බලපෑවේය.

“ලෝකයම සඳහා එක් කෘෂිකර්මයක්”
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන තාක්ෂණය භාවිතා කරමින් ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයේ පරිවර්තනයක් කිරීමට සැලසුම් කර ඇති බව අවධාරණය කරයි. මෙම කටයුතු සඳහා ආරම්භයක් දීමට පුද්ගලික අංශයේ ආයෝජකයන්ට හැකි සෑම සහයෝගයක්ම දීමට තමන් ගේ රජය කැප වී සිටින බව ඔහු පවසයි. (photo-news.lk)

සොබා දහම විසින් නිර්මාණය කර ඇති ආහාරවල සවභාවයට හා සැපයුමට වඩා හොඳින් කෘත්‍රිම ජීව විද්‍යාව, ජාන ඉංජිනේරුකරණය උපයෝගී කරගනිමින් එම කටයුත්ත තමන්ට සිදු කළ හැකියයි ගෝලීයකරණවාදි ප්‍රභූ පෙළැන්තිය විශ්වාස කරයි. මෙම සැලසුම ගොවීන් වගාබිම්වලින් ඉවත් කර ගොවීන් රහිත කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවන ගොවිපොළවල් පිළිබඳ. සැලසුම සමග මෙන්ම වගාබිම් සුළ මෝල් සහ සූර්ය පැනල මගින් පුරවා දැමීම සමගද සම්බන්ධ වේ. ආහාර පද්ධතින් තුළ විසඳුම් ලබා දිය යුතු ගැටළු ගණනාවක් ඇතත් මෙම නොමඟ යවන සුළු න්‍යාය පත්‍රය විසින් සිදු කරනු ඇත්තේ ආහාර සුරක්ෂිතභාවය විනාශ කිරීම පමණි.
නෙදර්ලන්තයේ සිට ඉන්දියාව දක්වා ලෝකය පුරා ගොවීහු විරෝධය දක්වති. මෙමවිරෝධතා ව්‍යාපාරයන් තුළ පොදු බවක් නැති බව දිස්වන නමුත් සැබෑ ලෙසම ඒවා තුළ පොදු බවක් පවතී. තමන්ගේ ජීවිතය වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බව ගොවි ජනතාව වටහා ගනිමින් සිටිති. මෙම තත්ත්වය උද්ගත වීමට බලපා ඇති හේතුන්වලට නිදසුන් ලෙස, දේශිය නිෂ්පාදනය අඩාල කෙරෙන පරිදි ක්‍රියාත්මකවන නව ලිබරල් වෙළඳ ප්‍රතිපත්ති විසින් පවත්වාගෙන ආහාර ආනයනය කිරීම් සහ මිල පහත හෙළිම්ද, රජයෙන් ලබා දෙන සහන ඉවත් කිරීමද, “කාබන් විමෝචනය ශුන්‍ය කිරීම” නම් අතාත්වික ඉලක්කය වෙත ළඟාවීම සඳහා දියත් කර ඇති මෙහෙයුම්ද දැක්විය හැකිය. මේ සෑම දෙයක් හරහාම දිවෙන පොදු හුය නම් එක් හෝ තවත් ආකාරයකට ගොවිතැන් කිරීම තවදුරටත් කළ නොහැකි දෙයක් බවටත් මූල්‍යමය වශයෙන් ප්‍රායෝගික නොවන දෙයක් බවටත් පත්කිරීමය. මෙහි ඉලක්කය බහුතරයක් ගොවීන් වගාබිම්වලින් පලවා හරිමින් ආහාර හිඟයක් ඇතිකිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව විනාශ කිරීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමය .
“ලෝකයම සඳහා එක් කෘෂිකර්මයක්”(one world agriculture) යන ගෝලීය න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරනු ලබන්නේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ලෝක ආර්ථික සංසදය (World Economic Forum )වැනි සංවිධාන විසිනි. මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ආහාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ බේයර්, කොර්ටේවා, සින්ජෙන්ටා,කාර්ගිල්ස් වැනි සමාගම් සම්බන්ධව සිටින අතර, තොරතුරු තාක්ෂණයේ දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සහ ගූගල් වැනි සමාගම් කෘත්‍රිම බුද්ධිය මගින් පාලනය වන ගොවින්ගෙන් තොර ඩිජිටල් ගොවිපොළවල්, කෘත්‍රිම මස් නිෂ්පාදනය කරන විද්‍යාගාර ආදිය සඳහා අවශ්‍ය තාක්ෂණය සැපයීමට ද සම්බන්ධවී ඇත. එමෙන්ම වෙළඳ පොළ කටයුතු සඳහා ඇමසොන් සහ වෝල්මාර්ට් වැනි සුපිරි අලෙවි ජාලයන් සම්බන්ධ වී ඇත.
මෙම න්‍යාය පත්‍රය වනාහි මානුෂික ජීවිතයේ සහ චර්යාවන්ගේ සියලු පැතිමානයන් පාලනය කිරීම සහ පරිවර්තනය කිරීමට අවශ්‍යව ඇති ඩිජිටල්-කෝපරේට් මූල්‍ය සංකීර්ණයේ සැලසුමකි. මෙම සංකීර්ණය විසින්, එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක ආර්ථික සංසදය, ලෝක වෙළඳ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන හරහා එහි න්‍යාය පත්‍රය ගෝලීය වශයෙන් සම්බන්ධීකරණය කිරීමේ හැකියාව සහිත විශාල බලපෑමේ හැකියාවකින් යුත් බිල් සහ මෙලින්ඩාගේටස්, රොකෆෙලර් වැනි පදනම් ආයතන සහ චින්තන සංචිතයන්ද ඇතුළු අධිකාරිවාදි ගෝලීය ප්‍රභූ පිරිසක් නිර්මාණය කර තිබේ
(The ‘Food Transition’ Is a War on Food, Farmers and the Public; Colin Todhunter)

මූලාශ්‍ර

  1. A global food crisis
  2. FRONTIERS 2018/19, Emerging Issues of Environmental Concern
  3. Roadmap for Action on Sustainable Nitrogen Management 2020-2022
  4. Sri Lanka: Impact Assessment Study of 2021 Ban on Conventional Pesticides and Fertilizers
  5. Carbon footprint and greenhouse gas emissions from rice based agricultural system calculated with a co-designed carbon footprint calculation tool
  6. Greening the rice we eat
  7. Bird flu 2005: the ongoing story
  8. The government fully supports private entrepreneurs committed to advancing modern agriculture through cutting-edge technolog
  9. Speech by Christine Lagarde, President of the ECB, at the Summit for a new global financing pact in Paris
  10. Guterres calls for phasing out fossil fuels to avoid climate ‘catastrophe’