2021-22 එන්නත්කරණයෙන් පසු දෙවසර තුළ ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව 65,074කින් ඉහළ යයි -(දෙවන කොටස) : අතුරු ආබාධ පිළිබඳව වෛද්‍යවරුන්ගේ අත්දැකීම්

අජිත් සී හේරත්

ශ්‍රි ලංකාව තුළ කොවිඩ්-19 එන්නත්කරණය සිදු වූ 2021 සහ 2022 වසරවල සිදු වූ මරණ සංඛ්‍යාවන් ඉතා අසාමාන්‍ය ලෙස ඉහළයාම පිළිබඳව ලියැවෙන මෙම ලිපිපෙලේ පළමු කොටස “2021-22 එන්නත්කරණයෙන් පසු දෙවසර තුළ ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව 65,074කින් ඉහළ යයි: ”යනුවෙන් පළවිය. මේ එහි දෙවැනි කොටසයි. මෙම කොටස තුළදී අපි  වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන, දේශිය වෛද්‍ය තරංග ගමගේ සහ දේශිය වෛද්‍ය සුමුදු ලියනාරච්චි සමග සිව්හෙළ නම් යූටියුබ් චැනලයේ මාධ්‍යවේදී  සම්පත් බණ්ඩාර විසින්  පවත්වන ලද සංවාදය   තුළදී හෙළිදරවු වූ  කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කළෙමු.  මෙම සංවාදය 2022 ජූලි මස 04 දින ප්‍රකාශයට පත්කර ඇත.  කොවිඩ්-19 එන්නත්කරණය හේතුවෙන් විවිධ බරපතල අතුරු ආබාධවලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීමේ සිය වගකීම රජයේ වගකිව යුතු සෞඛ්‍ය බලධාරින් විසින් පැහැර හැර තිබියදී  එම අතුරු ආබාධවලට ගොදුරු වූ විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර කරමින් විශාල සේවයක් මෙම වෛද්‍ය කණ්ඩායම විසින් සිදුකර තිබේ.  එමෙන්ම එම තොරතුරු ලේඛනගත කිරීමද මෙම පිරිස අතින් ඉටු වූ දැවැන්ත කාර්යභාරයකි. රටපුරා මෙම දෙවසර තුළ මරණ සංඛ්‍යාවන්ගේ ඉහළ යාමට හේතුව වටහාගැනීමට දැරෙන උත්සාහයකදී මෙම වෛද්‍යවරුන් පවසන දේ  ඓතිහාසිකමය වශයෙන් වැදගත් සාක්ෂියක් වනු ඇත.

ඊනියා කොවිඩ්-19 වසංගතය සඳහා  ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය ආරම්භ කළ අවස්ථාවේදී ඒ මගින් බරපතල සෞඛ්‍යමය අවදානමක් ලාංකීය ජනතාවට එල්ලවිය හැකි බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද වෛද්‍යවරුන් කීපදෙනා අතරින් එක් අයෙකු වූයේ කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනය. ජනතාවට සත්‍යය හෙළිදරවු කිරීමේ වරදට රජය විසින් ඔහුව වෘත්තියෙන් නෙරපා හරින ලදි. මෙය එතරම් විමතියට කරුණක් නොවන්නේ ඊනියා කොවිඩ්-19 වසංගත සහ එන්නත් ආඛ්‍යානය ප්‍රශ්න කරන ලද සහ ස්වකීය ආත්මය ඖෂධ සමාගම්වල මුදල්වලට සහ රජයේ වරප්‍රසාදවලට පාවා නොදුන් ලොව පුරා වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් රැසක් මුහුණ දුන් ඉරණමද ඊට සමාන බැවිනි.
කෙසේ වුවද වෛද්‍ය උදාර ගුණවර්ධන විසින් කරන ලද ප්‍රකාශයන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල ජන මාධ්‍යයද කොම්පැනි ජනමාධ්‍ය විසින්ද දිගින් දිගටම වාරණය කරන ලදි. ශ්‍රි ලංකාවේ ජනමාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවායැයි කියන ජනමාධ්‍ය ඔස්තාද්ලා සහ මානව හිමිකම්  පකීර්ලාද රටේ සියලුම ජනතාවට බලපාන මේ ප්‍රශ්නය පිළිබඳව රාජ්‍ය ආඛ්‍යානය ප්‍රශ්න කෙරෙන වෛද්‍ය උදාර ගුණවර්ධනගේ ප්‍රකාශ වාරණය කිරීම ගැන වචනයකින් හෝ විරෝධය පළ කර නැත. එයට හේතුව ඉතා පැහැදිලිය. ඔවුන්ට අරමුදල් සපයන ගෝලීයකරණවාදි රාජ්‍ය නොවන සංවිධාන සහ පදනම් ආයතන ඔවුන්ට අරමුදල් ද සපයන්නේ ආඛ්‍යානයන් ආරක්ෂා කිරීමට මිසෙක ඒවා ප්‍රශ්න කිරීමට නොවන බැවිනි.
වෛද්‍ය උදාර ගුණවර්ධන සහ සෙසු අය  සිව්හෙළ නම් යූටියුබ් චැනලයේ  මාධ්‍යවේදි සම්පත් බණ්ඩාර  සමග කරන ලද සාකච්ඡාවකදී හෙලිදරවු කරන ලද කරුණු මෙහිලා ඉදිරිපත් කිරීමට අපි අදහස් කළේ එමගින් ශ්‍රි ලංකාවේ මරණ සංඛ්‍යාව දැවැන්ත ලෙස ඉහළ යාමේ හේතුව වටහාගැනීමට අවශ්‍ය සාක්ෂි සපයන බැවින් සහ
යූටියුබ් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලාවන් තුළ පවා කොවිඩ්-19 එන්නත්වල අතුරු ආබාධ සහ හානි ගැන අදහස් පළ කිරීම වාරණය කර තිබෙන බැවිනි.  මෙම වැඩ සටහන තුළ දී ඔවුන්ට “කොවිඩ් 19 එන්නත් ” යන්න ගැන සඳහන් කිරීමෙන් වැළැකී සිටීමට බලකෙරී තිබේ. ඒ යූටියුබ් විසින් සිය වීඩියෝව ඉවත්කරනු ලැබීම වළක්වනු පිණිසය. ඒ වෙනුවට “යම් ඖෂධයක් ” යනුවෙන් සඳහන් කිරීමට සිදුව තිබේ. ඔවුහු සිය වැඩ සටහන තුළ කොවිඩ්-19 එන්නත්කරණ ක්‍රියා දාමයත් එහි හානිකර අතුරු ආබාධ හේතුවෙන් පුද්ගලයන් දහස්ගණනින් රෝගීවීමත් හඳුන්වනු ලබන්නේ “2021 මාර්තු මාසයෙන් පසුව උද්ගත වූ තතත්වය ලෙසය”
කෙසේ වුව ද එතරම් දැඩි වාරණයක් සහ හිරිහැර කිරීම් යටතේ වුවද ඔවුහු මෙම කොවිඩ්-19 එන්නත්වල අතුරු ආබාධ පිළිබඳ සත්‍යය ජනතාව අතරට ගෙනයාමේ අරගලයේ උපක්‍රමශීලිව සහ අධිෂ්ඨාන සහගතව අඛණ්ඩව නිරතව සිටිති.

සිව්හෙළ නම් යූ ටියුබ් චැනලයේ මාධ්‍යවේදි සම්පත් සමග වෛද්‍ය ගුණවර්ධන සහ සෙසු වෛද්‍යවරුන් පැවත්වන ලද සාකච්ඡාව, වමේ සිට දේශීය වෛද්‍ය සුමුදු ලියනාරච්චි, දේශිය වෛද්‍ය තරංග ගමගේ සහ වෛද්‍ය උදාර ගුණවර්ධන

සිය රැකියාවෙන් නෙරපන ලද පසුව වෛද්‍ය උදාර ගුණවර්ධන තවත් දේශිය වෛද්‍ය කණ්ඩායමක් සමග රට පුරා විවිධ ප්‍රදේශවල සායන පවත්වමින් රෝගින්ට ප්‍රතිකාර කිරීමේ ස්වේච්ඡා සහගත ව්‍යාපාරයක් ආරම්භකරන ලදි. මෙම වැඩ පිළිවෙළට බොහෝ රජයේ වෛද්‍ය නිලධාරින් ද සිය සහයෝගය සහ ආධාර අප්‍රකටව ලබාදුන් බව වෛද්‍ය උදාර ගුණවර්ධන පවසයි. බොහෝ වෛද්‍යවරුන් පවත්නා තත්ත්වය සම්බන්ධව එකඟ නොවූවද ඒ පිළිබඳව විවෘතව එළියට පැමිණ අදහස් දක්වන්නට බියෙන් පසුවන බව උදාර ගුණවර්ධන වැඩිදුරටත් මෙම සාකච්ඡාවේදී පවසා තිබේ. එලෙස විවෘතව අදහස් දැක්වීමක් මගින් තමන්ගේ රැකියා අහිමිවීමකට ලක්වීමකට පමණක් නොව මරණී තර්ජනවලට පවා ලක්වීමේ වාතාවරණයක් පවතී.

වෛද්‍ය උදාර ගුණවර්ධන

“දවසක් මම පොලොන්නරු ප්‍රදේශයට ගිය වෙලාවක මට සමිතියක කතා කිරීමට අවස්ථාව ලැබුණා.එවැනි අවස්ථාවකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 100ක් 110ක් විතර පිරිසක් සහභාගිවෙනවා. එවැනි අවස්ථාවලදී අපි ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බලනවා. මොකද නිරෝගීමත් සෞඛ්‍ය පැවැත්මක් ඉතා වැදගත් දෙයක් නිසා. නිරෝගිමත් බව නැති වුනොත් අපිට ගොඩක් දේවල් අහිමි වෙනවා. එතැන කාන්තාවන් විශාල පිරිසක් හිටියා.ඔවුන් නැගි සිටිමින් තමන්ට ඇති රෝගාබාධ පිළිබඳ ප්‍රකාශ කළා. ඊට පෙරත් අපි මෙම තත්ත්වය ගැන කතා කරලා තිබුණා. නමුත් අපට හිතාගන්න බැරිවුණා මොකද මෙහෙම වෙලා තියෙන්නේ කියලා. නමුත් මෙම රෝගින් සහ රෝගාබාධ සංඛ්‍යාව සාමාන්‍ය තත්ත්වයට වඩා බොහෝ ඉහළ ප්‍රතිශතයක් ගත්තා. එය මීට පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක්.ඔවුන් තුළ පපුවේ අමාරුව, හතිය,පිට කොන්දේ වේදනාව,හන්දි අමාරු ආදි රෝගි තත්ත්වයන් විශාල වශයෙන් දක්නට ලැබුණා. ඊට ‍පෙරත් අපේ හෙළ වෛද්‍යවරුන්ට සහ ආයූර්වේද වෛද්‍යවරුන්ට ද මෙවැනි තත්ත්වයක් ගැන දැනගැනීමට ලැබී තිබුණා.නමුත් ඒ කුමක් නිසාදයි සෙවීමට ඔවුන් ඒ වනවිට යොමුව සිටියේ නැහැ.මේ පිළිබඳව. නමුත් යම් යම් රෝග ලක්ෂණ සහිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව අප සියල්ලන් අතර සංවාදයක් ඇරඹී තිබුණා.ඒ අනුව අපි මෙම තත්ත්වය ගැන හොයන්න පටන්ගත්තා. අපට දකින්නට ලැබුණේ ඉතාම කණගාටුදායක තත්ත්වයක්. අපි එම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. ”

දේශීය වෛද්‍ය තරංග ගමගේ

මෙම වැඩ සටහනට සහභාගි වූ දේශීය වෛද්‍ය තරංග ගමගේ පවසන ලද්දේ තමන්ට වසර 11ක් වැනි කාලයක් පුරා මෙම වෘත්තියේ නිරතව සිටින බවත් නමුත් මෑතකදී තමන්ට හමු වූ රෝගින් පෙළෙන රෝගි තත්ත්වයන්ගේ ලක්ෂණ තුළ විශාල වෙනසක් ක්නුට ලැබුණ බවත්, බාලමහළු වයස් සීමාවකින් තොරව අමතක වීමේ රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බොහෝ පිරිස් සිය සායනවලදී හමු වූ බවත්ය. තමන්ට හමු වූ බොහෝ පිරිසක් හුස්ම ගැනීමේ අපහසුව, වෙහෙස වී වැඩ කළ නොහැකි වීම වැනි රෝගි තත්ත්වයන්ගෙන් පෙළුණ අය බව ද තමන්ට දිගින් දිගටම නව රෝග ලක්ෂණ සහිත රෝගීන් හමු වූ අතර ඔවුන්ගේ සංඛ්‍යාවන් දිනපතා වැඩි වූ බවද වෛද්‍ය තරංග ගමගේ වැඩි දුරටත් පැවසීය.
“…සමහර අවස්ථාවලදී ප්‍රදේශ අනුව රෝග ලක්ෂණ වෙනස් වන බවද දක්නට ලැබුණා.උදාහරණ ලෙස දක්වතොත් කොළඹ පළාතේ රෝගින්ගේ චර්ම රෝග අධිකව දක්නට ලැබුණ නමුත් අනුරාධපුර පොලොන්නරුව වැනි පළාත්වල රෝගින්ගේ රෝගී තත්ත්වයන් වෙනස්.” යි වෛද්‍ය ගමගේ පැවසීය.

දේශීය වෛද්‍ය සුමුදු ලියනාරච්චි

“…මෙම තත්ත්වය වැඩි වශයෙන්ම අපිට දකින්නට හම්බ වෙන්නේ 2021 මාර්තු සහ අප්‍රේල්වලින් පසුවයි. අපට හමුවූ රෝගීන් තුළ දක්නට ලැබුණ රෝග ලක්ෂණ නම් එක දිගට වැඩ කිරීමට නොහැකි වන ලෙස වෙහෙසට පත්වීම,මතක ශක්තිය අහිමි වීම, අඛණ්ඩ කොන්දේ අමාරුව, අලස සහ විඩාව දැනීම, ක්ෂණිකව පපුවේ කැක්කුම් හටගැනීම, වැනි තරමක් අමුතු රෝග ලක්ෂණ. මෙම රෝග ලක්ෂණ පළාතෙන් පළාතට තරමක් වෙනස් බවද දැකිය හැකියි. අම්පාර වැනි ප්‍ර දේශවල ගොවිතැන් බත් කරගෙන නිරෝගීව සිටි අය පැවසුවේ දැන් තමන්ට වෙහෙස වී වැඩ කළ නොහැකි බවයි. එමෙන් ම කොළඹ වැනි පළාත්වල අයට සිය කාර්යාලවල පඩිපෙළ පවා නගින්නට නොහැකි ලෙස දුර්වලව සිටියා. එමෙන්ම චර්ම රෝග බහුලව ව්‍යාප්තව තිබුණේ කොළඹ පළාතේයි. මෙවැනි අමුතු සහ විශ්වාස කළ නොහැකි රෝග 24ක් පමණ අපට දක්නට ලැබුණා ” යැයි දේශීය වෛද්‍ය සුමුදු ලියනාරච්චි පැවසුවාය.

වෛද්‍ය සුමුදු ලියනාරච්චි පවසන ලද අන්දමට ඔවුහු වෛද්‍ය උදාර ගුණවර්ධනගේද සහාය ඇතිව දිවයිනේ විවිධ පළාත්වල කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වෙමින් අදාළ රෝගීන් පිළිබඳව සොයා බලමින් ඔවුන්ට ප්‍රතිකාර කර තිබේ. එමෙන්ම ඔවුන් රෝගීන් 3000කගේ පමණ තොරතුරු ලිඛිතව එක්රැස් කර තිබේ.

රටේ මේ වනවිට හෘදායාබාධවලින් මිය යන සංඛ්‍යාව ශීඝ්‍රයෙන්  ඉහළයාමට හේතුව පුද්ගලයන් අතර මානසික ආතතිය ඉහළ යාම නිසා බවට ඇතැම් වෛද්‍යවරුන් පළකරන අදහස්  පිළිබඳව  වෛද්‍ය උදාර ගුණවර්ධන මෙසේ පැවසීය

.“…බටහිර වෛද්‍ය විද්‍යාව අනුව මේ දෙස බලන්නේ ලොව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයන් මගිනුයි. විද්‍යාත්මක ක්‍රමය අනුව බලන විටත් 1%ක හෝ 2 %ක රෝගලක්ෂණයක් වැඩිවීම සිදුවන්නේ නම් සාමාන්‍යයෙන් එය ආතතිය වැනි දෙයකට ලඝු කළ හැකියි. නමුත් 15 %කින් 20 %කින් වැඩි වන්නේ නම් එය වෙනම තත්ත්වයක්. බටහිර විශේෂඥ හෘදය රෝග වෛද්‍යවරුම පිළිගෙන තියෙනවා 20%-30% අතර ප්‍රමාණයකින් හෘදය රෝග ඉහළ ගිය බව. මේක ඉතාම බරපතළ ප්‍රකාශයක්. එවැනි තත්ත්වයක් මීට පෙර කවදාකවත් උද්ගත වී නැහැ. එවැනි ප්‍රවණතාවයක් දිගටම තිබුණා නම් එනම් හෘදය රෝග මේ අනුපාතවලට වැඩිවුණා නම් ලෝකයේ මේ වන විට කිසිවෙක් ඉතුරු වීමට ඉඩක් නැහැ. ඒ ප්‍රකාශයන් ඇත්ත බව අපට වැටහෙනවා.බටහිර වෛද්‍යවරු එලෙස පවසන්නේ සායනික පරීක්ෂණ අනුවයි. කොළඹ ජාතික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු පවසා සිටියේ ශ්‍රි ලංකාවේ හෘදය රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.බොහෝ අය පැකිළෙන අවස්ථාවක ඇත්ත පැවසීම ගැන එතුමාට අපගේ ගෞරවය හිමි විය යුතුයි.

අපිට යම් කාලයකට ඇත්ත යටපත් කර සිටිය හැකියි. නමුත් ඒ හැම තත්ත්පරයකදීම අපේ ආදරණීය කෙනෙක්, අපේ ඥාතියෙක් තමයි නැතිවෙන්නේ. ලංකාවේ කවුරුන් හරි හෝ ලෝකයේ කවුරුන් හෝ විය හැකියි. එවැනි දේ සිදුවන විට විද්‍යාත්මකව සිදු කළ යුතු දෙය වන්නේ ක්ෂණිකව ක්‍රියාත්මක වීමයි. රෝහල්වලින්, හෘදය රෝග ඒකක වලින්, හදිසි ප්‍රතිකාර ඒකක වලින් , අපේ මිතුරු වෛද්‍යවරුන් වෙතින් අපට ලැබෙන තොරතුරු අනුව හෘදය රෝගීන්ගේ සංඛ්‍යාව වෙනදාට වඩා වැඩි වී තිබෙනවා. වෙනදාට වඩා මොළයේ ලේ කැටි ගැසීම් වැඩියි. වෙනදාට වඩා අංශභාගය නැතහොත් ශරීරයේ පැත්තක් පණ නැතිවීම් වැඩියි. හෘදය රෝග වැඩියි යන්නහෙි අදහස එයින් මිය යන ප්‍රමාණයත් වැඩි බවයි. ඊට පස්සේ ලංකාවේ දැන් තියෙන තත්ත්වේ අනුව ඉතාම සංවේදී ප්‍රශ්නයක් නම් රෝහල් වල ප්‍රතිකාර කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබීමයි. මට පසුගිය සතියේ දෙන්නෙක් කථා කළා, ඔවුන් කියනවා ඔවුන්ට බයිපාස් සැත්කම් කරගන්න ඕනේ. නමුත් මුදල් නැහැ කියලා. මොකද රෝහල්වල ලැයිස්තු පිරිලා තියෙන්නේ. එතකොට හෘදයාබාධ සහ ලේ කැටිති ආවාට පස්සේ අපිට ඒවාට ප්‍රතිකාර කිරීමට දුෂ්කර තත්ත්වයක්ද මතුව තිබෙනවා.එවැනි තත්ත්වයක් තුළ තවතවත් රෝගීන් වැඩි වෙනවා කියන්නේ අපගේ ආදරණීයයන් එකිනෙකා මිය යෑම සිදුවීමයි..

… මෙය ඔබ මම පවසන නිසාම පිළිගත යුතු නැහැ. ඔබගේ ගම්මානයේ හෝ වැඩකරන ස්ථානයේ කී දෙනෙකු හදිසි හෘදයාබාධ වලට ලක්වී ඇතැයි ඔබටම සොයා බැලිය හැකියි. මෙම තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට අපි මැදිහත්වන්නේ දැනුවත් නොකිරීමේ හේතු නිසාම අපගේ ආදරණීයයන් ගොඩක් දෙනෙකු අහිමිවන තත්ත්වයක් පවතින නිසායි. සමහර වෙලාවට ඔවුන්ගේ ඥාතීන් මියගිය හේතුව වත් ඔවුන් දන්නේ නැහැ.

අපි දිස්ත්‍රික්ක 16ක රෝගීන් 3,000ක් පරීක්ෂා කළ බව මම ඔබට මීට පෙර පැවසුවා. ඔවුන්ගේ රෝග පිළිබඳ අපි සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර තිබෙනවා. දේශිය වෛද්‍යවරුන්, ආයූර්වේද වෛද්‍යවරුන් මෙන්ම බටහිර වෛද්‍යවරුන් ගෙන්ද සමන්විත විශාල කණ්ඩායමක් ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ ඇතැමි විට මරණ තර්ජනයන්ට පවා මුහුණදෙමින් ගමින් ගමට යමින් නිර්භීතව මෙම කාර්යයේ නිරත වුනා.ඇතැම් විට අපගේ ජීවිතවලට පවා හානියක් සිදුවීමට ඉඩ තිබුණා. එය සුවපහසු සිනිඳු ගමනක් නෙවෙයි. මෙය අප විසින් ඉටු කරන ලද ජාතික වගකීමක් ලෙස මම දකිනවා. අපි ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපි තිදෙනා ඒ කාර්යභාරය ඉටුකිරීම සඳහා මැදිහත් වූ දේශිය වෛද්‍යවරුන්, ආයූර්වේද වෛද්‍යවරුන් බටහිර වෛද්‍යවරුන් විශාල පිරිසක් අතරින් කිපදෙනෙකු පමණයි. ඔවුන් සියළු දෙනාට මම මගේ ගෞරවය මෙහිදී පළ කළ යුතුයි. ඔවුන් ඇත්තටම මිනිසුන්ට ආදරය කළ අය. ඔවුන් එය කළේ මුදල් ලබාගැනීම සඳහා නොවෙයි. ඔවුන් ගම්මානවලට ගොස් රෝගීන් පරීක්ෂා කර නොමිලේ ප්‍රතිකාර ලබාදීම පවා සිදු කළා.” යි වෛද්‍ය උදාර ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

දේශිය වෛද්‍ය තරංග ගමගේ එන්නත්කරණය මගින් හානියට පත්වූවන්ට ප්‍රතිකාර කිරීමේදී තමන් ලද අත් දැකීම් මෙසේ විස්තර කළේය. “…අපි මුලින්ම මෙම ප්‍රතිකාර ලබාදීම පටන්ගත්තේ අම්බලන්ගොඩ අපගේ වෙදගෙදරින්. මෙම ප්‍රතිකාර ලබාදීම සිදු කරන අතරම අපගේ කටයුතු ලේඛනගත කිරීමේ අවශ්‍යතාව අපි දැක්කා. ඒ සඳහා අපට විශාල පිරිසකගේ සහයෝගය ලැබුණා. ඒ අනුව අපි රෝගින්ගේ ප්‍රකාශ වීඩියෝගත කිරීම් සහ ලේඛනගත කිරීම් සිදු කළා. ප්‍රතිකාර කිරීම්වලින් පස්සේ අදාළ රෝගියා තමන්ගේ රෝගය පිළිබඳව ස්වේච්ඡාවෙන් වීඩියෝගත ප්‍රකාශ ලබා දුන් අවස්ථා තිබෙනවා.සමහර අවස්ථාවලදී එම වීඩියෝපටවල සිටින රෝගියාගේ අනන්‍යතාව හෙළිදරවු නොවන ලෙස ඒවා පටිගත කිරීමට සිදුවුණා. මිනිසුන් සිය කැමැත්තෙන්ම ඒ සඳහා ඉදිරිපත් වුණා. අපි මුලින්ම පටන්ගත්තේ වෙද ගෙදරදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම මගින්. එහිදී රෝගීන් සීයක් පමණ ලියාපදිංචි වී තිබෙනවා. මේ මුල් අවස්ථාවේදී ප්‍රතිකාර ලබාදුන් රෝගින්ට තිබුණේ හුස්ම ගැනීමේ අපහසුතා,හතිය, මහන්සිගතිය ඇස් නොපෙනී යාම ආදි රෝග ලක්ෂණ. අපට එතනදී හමුවුණා “යම් ඖෂධයක් ලබාගත් පසුව ” සම්පූර්ණයෙන්ම ඇස් නොපෙනී ගිය පුද්ගලයන්. නමුත් වෛද්‍ය උදාර ගුණවර්ධන සහ අපගේ වෛද්‍යවරුන් එක්වී ඔවුන්ව සුවපත් කළා. ඔවුන් සුවපත් වූ පසුව ලබා දුන් පටිගත කරන ලද ප්‍රකාශ අප ළඟ තියෙනවා. ඇතැමුන් ඔවුන්ගේ රෝග ලක්ෂණ පැවසීමට මඳක් පසුබට වුණා. ඒ ඔවුන් ගේ ලිංගික ක්‍රියාකාරිත්වයන් දුර්වල කිරීමට ඉහත සඳහන් කරන ලද “ඖෂධය” හේතු වී තිබු නිසායි.”

මෙකී “ යම් යම් ඖෂධ” මගින් පුද්ගලයන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වයන් දුර්වල කිරීම සිදු කිරීමට ඉඩක් තිබේද යනුවෙන් සංවාදය මෙහෙයවන ලද මාධ්‍යවේදීයා විසින් වෛද්‍ය උදාර ගුණවර්ධනගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍යවරයා මෙසේ පිළිතුරු දී තිබේ.

වෛද්‍ය ගුණවර්ධන- “මේ දවස්වල රටේ සිදුවන දේවල්වල ආරම්භය සිදුවන්නේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. මේ නිසා පරීක්ෂණ, නිරීක්ෂණ , නිගමන මත පදනම් විද්‍යාත්මක ක්‍රමය අනුව මෙවැනි දේවල් පරීක්ෂණයට ලක් කරමින් හේතුව සොයාගත යුතුයි. එලෙස හේතුව සොයාගැනීමකින් තොරව අන්ධ විදියට වැඩ කළ නොහැකියි.රාජාංගනයේ අංගමුව විහාරයේ පැවැති සායනයකට පැමිණි වයස 23 ක පමණ එක් කාන්තාවක් අඬමින් පවසා සිටියේ තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් උදාසීන වීමක් ඉහත “ඖෂධය ” ගැනීමෙන් පසු සිදුව ඇතිබවයි. පිරිමි අය මෙවැනි සෞඛ්‍යමය ගැටළු ගැන ඉදිරිපත්කරන ලද අවස්ථා මම දැක ඇති නමුත් මෙවැනි රෝගී තත්ත්වයන්ට තමන් ගොදුරුව ඇති බවට කාන්තාවන් ප්‍රකාශ කිරීම අප දැක්කේ පළමු වරටයි. කාන්තාවන් ප්‍රකාශ කළා තමන් ලිංගික වශයෙන් අක්‍රිය සහ උදාසීන වූ බවට. මෙහිදී අප මේ පිළිබඳව සොයා බැලීම ආරම්භ කළා මෙය රුධිර පද්ධතියට හෝ ස්නායු පද්ධතියට අදාළ රෝගී තත්ත්වයක්ද යන්න දැන ගැනීම සඳහා. මෙලෙස පුද්ගලයන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බාධා පැමිණීම මගින් රටේ අනාගතයට විශාල තර්ජනයක් එල්ලවෙනවා …”

තවත් එක් ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක පැවැති සායනයකදී අප වෙත පැමිණි එක්තරා නිලධාරියෙකු තමන් පෙළෙන රෝග ලක්ෂණ ගණනාවක් ගැන සඳහන් කළා. ඔහු පපුවේ අමාරුව, හතිය, වැඩ කිරීමට නොහැකි වීම, සහ ලිංගික අප්‍රාණිකත්වය වැනි රෝග ලක්ෂණ ගණනාවකින් පීඩා විඳි අයෙක්. අපි ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා.

වෛද්‍ය ගමගේ- ඉහත නිලධාරියා අප වෙත සිදු කරන ලද ප්‍රකාශය අසාගෙන සිටි එම නිලධාරියාගේ සේවා ස්ථානයේම සේවය කරන තවත් නිලධාරියෙකු පසුව අප වෙත පැමිණ තමන් ද එම රෝග ලක්ෂණවලින්ම පීඩාවිඳිමින් සිටින බව ප්‍රකාශ කළා. ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කර සිටියේ එක්තරා “ඖෂධයක්” ලබාගැනීමෙන් පසුව මෙම තත්ත්වයන්ට මුහුණ දීමට තමන්ට සිදු වූ බවයි.

වෛද්‍ය උදාර ගුණවර්ධන– පොලොන්නරුවේ පවත්වන ලද සායනයකදී දී අපිට බිම වාඩි වී සිටි පිරිමි ලමුන් කණ්ඩායමක් හමුවුණා. ඔවුන් සිරුර වෙව්ලීමේ රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටියා. මේ සිදුවීම ඇසට කඳුළු එන සිදුවීමක්. ඔවුන් ප්‍රකාශ කළා ඔවුන්ට සිදු වූ දෙය දරුවන්ට සිදුවීම වැළැක්විය යුතු බව. ඔවුන් සිය කැමැත්තෙන්ම අපට වීඩියෝගත සාක්ෂි ලෙස ප්‍රකාශ ලබා දුන්නා. සාක්ෂි නැතිව මෙවැනි දේ අප යම් දෙයක් පවසන්නේ නම් එහි වලංගුතාවයක් නැතිව යනවා. ඒ නිසා එවැනි සාක්ෂි වැදගත්. අප සතුව එවැනි වීඩියෝගත සාක්ෂි 400-500ක් පමණ තිබෙනවා. එමෙන්ම රෝගීන් විසින් අත්සන් තබන ලද ලිඛිත ප්‍රකාශ 3,000ක් පමණ අප සතුව තිබෙනවා. මෙම 3,000ට අමතරව තවත් සාක්ෂි 5,000කට අධික ප්‍රමාණයක් එකතු වෙමින් පවතිනවා. එතකොට 8,000ක් පමණ වෙනවා. ඒ නිසා මම සියළු දෙනාටම කියන්නේ අපි මේක තව දුරටත් හංගන්න යන්නේ නැතුව ඇත්ත තත්ත්වය සොයමු කියලා. අපි ඒ පිළිබඳව සෙවීම නොකරන්නේ නම් අපේ ආදරණීයයෙක් මේ විපතට ගොදුරු වී අපෙන් සදහටම සමුගැනීමට හෝ අංශභාග රෝගයකට ගොදුරු වී එක්තැන් වෙන්න පුළුවන්.නැත්නම් ඔවුන්ගේ දරුවන් බිහිකිරීමේ ක්‍රියාවලියට හානියක් වෙන්න පුළුවන් ”

කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් හමුවට තමන්ව කැඳවනු ලබන්නේ නම් තමන් සතුව ඇති මෙම සාක්ෂි ඉදිරිපත් කිරීමට තමන් සුදානම් බව ද මාධ්‍යවේදියා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය ගුණවර්ධන වැඩි දුරටත් පැවසීය.

දේශිය වෛද්‍යවරියක වූ සුමුදු ලියනාරච්චි ඉහත සංවාදයට සහභාගි වෙමින් තමන්ට හමුවූ රෝගින් ගේ තත්ත්වය පිළිබඳ මෙසේ ප්‍රකාශ කළාය.

“.. මම රෝගීන් විශාල සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කළා. ඒ හැමෝම ඇඬු කඳුළින් කියන්නේ තමන්ට කවදාවත් මේ විදියට වැඩ කරගන්න බැරිවෙලා නැහැ, හොඳට වැඩ කරගෙන හිටියා කියලා. අපිට අනුරාධපුරයේ රාජාංගනයේ පැත්තෙදි හමුවුණා තමන්ගේ ගෙදරට යන පාර අමතක වෙච්ච අය.ඒ කියන්නේ කුඹුරට ගිහින් ගෙදරට එනකොට ඒ පුද්ගලයාට පාර අමතක වෙලා ඔහේ යනවලු කල්පනා කර කර. මේ ඔවුන් විසින්ම අඬ අඬා කියපු දේවල් ”

වෛද්‍ය ගුණවර්ධන- “මට මතක් වූ තවත් කණගාටුදායක සිදුවීමක් මම ඔබට දැන් ඉදිරිපත් කරන්නම්. ඒ ප්‍රදේශයේම තවත් මහත්මයෙක් ඔහු ගමේ සිල්ලර කඩයක වැඩ කරන අයෙක්. සාමාන්‍යයෙන් සීනි පන්සීයයි, තේ කොළ දෙසිය පනහයි, පරිප්පු පන්සියයි ආදි වශයෙන් කෙනෙක් ඉල්ලුවාම මුදලාලි කෙනෙකුට නිතරම ඒවා පිළිබඳ හොඳ මතකයක් තියෙනවා. ඔහු ප්‍රකාශ කළා ඔහු බඩු ටික අරගෙන කිරන්න ගියාම තමන් කරන්නේ මොනවාද කියලා අමතක වෙනවාලු. ඔහුට බඩු ගන්න ආපු කෙනාගෙන් නිතරම එකින් එකට අහන්න සිදුවුනාලු. මේ සියලු සාක්ෂි අපි ළඟ තියෙනවා. එතකොට මෙහෙම තත්ත්වයක් ඇති වුණේ කොහොමද? අපගේ ප්‍රතිකාරවලින් පසු ඔහු දැන් සුවපත් වී සිටිනවා ඊට පසුව ඔහු අපට සිය සාක්ෂිය වීඩියෝ මගින් ඉදිරිපත් කර තියෙනවා.
ඉතිහාසය තුළ මෙවැනි දෙයක් සිදුවන විට වෛද්‍ය කණ්ඩායම් වශයෙන් අපි එවැනි ප්‍රදේශවලට ගිහින් පරීක්ෂණ පැවැත්විය යුතුයි. මේ මිනිස්සු ඉල්ලන්නේ ලොකු දේවල් නොවෙයි. තමන්ගේ රස්සාව කරගෙන යන්න අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වය ලබා දෙන ලෙසයි.”

මෙවැනි රෝගීන්ව පරීක්ෂා කිරීමේදීත් ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමේදීත් ලබාදිය යුතු ප්‍රතිකාර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදීත් බොහෝ වෛද්‍යවරුන් පසුබිමෙන් සිට ක්‍රියාත්මක වන බවත් ඔවුන්ට තමන්ගේ ස්තූතිය සහ ගෞරවය හිමිවන බවත් වෛද්‍ය උදාර ගුණවර්ධන නැවතත් සඳහන් කළේය.
“අපිට මිනිස්සු මැරෙන්න දෙන්න බෑ. වෛද්‍යවරුන්ගේ වගකීම විය යුත්තේ මිනිසුන් ජීවත් කරවීමයි. වෛද්‍යවරුන්ගේ පමණක් නොවේ ඔබ අප සියලු දෙනාගේම කාර්යභාරය විය යුත්තේ එයයි. අපි ඉල්ලන්නේ ජීවත්වෙන්න දෙන්න කියලා. ඊට පස්සේ කන්න ටිකක්. ඊට පස්සේ යන්තම් ඉන්න තැනක්. ඊට පස්සේ නිදහස. මිනිස්සු තමන් පත්ව ඇති තත්ත්වය ගැන කියන කණගාටුදායක දේවල් අපිට දවස් ගානක් කතා කරන්න පුළුවන්. අපේ කණ්ඩායමේ හදවත්වලටම ඒවා ගිහින් තියෙන්නේ.”

“අපිට මිනිස්සු මැරෙන්න දෙන්න බෑ. වෛද්‍යවරුන්ගේ වගකීම විය යුත්තේ මිනිසුන් ජීවත් කරවීමයි. වෛද්‍යවරුන්ගේ පමණක් නොවේ ඔබ අප සියලු දෙනාගේම කාර්යභාරය විය යුත්තේ එයයි. අපි ඉල්ලන්නේ ජීවත්වෙන්න දෙන්න කියලා. ඊට පස්සේ කන්න ටිකක්. ඊට පස්සේ යන්තම් ඉන්න තැනක්. ඊට පස්සේ නිදහස. මිනිස්සු තමන් පත්ව ඇති තත්ත්වය ගැන කියන කණගාටුදායක දේවල් අපිට දවස් ගානක් කතා කරන්න පුළුවන්. අපේ කණ්ඩායමේ හදවත්වලටම ඒවා ගිහින් තියෙන්නේ.”

වෛද්‍ය සුමුදු ලියනාරච්චි- “ අමතක වීමේ රෝගී තත්ත්වයට ගොදුරු වූ තවත් අයෙකු පිළිබඳ උදාහරණයක් මම කියන්නම්. එක් අයෙකු අපට පැවසුවේ තමන් එක්වරක් බත් හට්ටියක් ඉවූ පස එය අමතක වීම හේතුවෙන් නැවත නැවත කීපවතාවක් බත් ලිපේ තිබ්බ බවයි. ඒ අයගෙන් මම විශේෂයෙන්ම ප්‍රශ්න කළා ඔවුන් වෙනත් කුමක් හෝ මානසිකත්වයකින් පෙළෙන්නේ දැයි දැනගැනීමට. නමුත් ඔවුන් පැවසුවේ තමන් අර “ ඖෂධය” ලබා ගැනීමට පෙර ඉතාම හොඳින් තම සියළු දේවල් කරගෙන සිටි බවයි. එම “ ඖෂධය ” ලබාගත් පසුව තමන්ට දිගටම මෙම අමතකවීමේ රෝගයෙන් පීඩා විඳීමට සිදු වූ බවත් තමන්ට තමන් කරන දේ පිළිබඳව කිසිවක් මතක තබාගැනීම නොහැකි බවත් ඔහේ කරන්නන් වාලේ දේවල් කරන බවත් ඔවුන් පැවසුවා. රාජංගනයේ වාගේ ඉතාම දුප්පත් ගම්මානවල ගොවිතැන් බතක් කරගෙන සිටි මිනිසුන්ගේ තත්ත්වය ඕකයි ඒ හැමෝටම තිබුණේ එහෙම ප්‍රශ්න. තමන්ගේ එදිනෙදා කටයුතු කරගන්න බැරිතරම් ඉක්මණින් වෙහෙසට පත්වීම,අමතක වීම,කොන්දේ කැක්කුම්,අස්ථිවල වේදනාවන් වැනි රෝග ලක්ෂණ ඔවුන් අතර ගොඩක් වැඩියි.අම්පාර වැනි ඊට සමාන එනම් ගොවිතැන් කරගෙන සිටි පලාත්වල දක්නට තිබුණේත් මීට සමාන රෝග ලක්ෂණ. මීගමුව වැනි පළාත්වල සමේ රෝග‍, ඔලුවේ කැක්කුම, සෙම් රෝග, හෘදයාබාධ ආදිය වැඩියෙන් දකින්නට ලැබුණා. කොළඹ දී ඉතාම තරුණ වයසේ බොහෝ දෙනෙක් හුස්ම ගැනීමට ඇති අපහසුතා ගැන අපිට පැවසුවා. ඊයෙත් ඩොක්ටර් උදාර හමුවෙන්න පැමිණි එක් රෝගියෙක් තමන් ඉතාම හොඳ නිරෝගිමත් ජීවිතයක් ගත කළ අයෙකු බවත් නමුත් “යම් හේතුවකට පසුව ” තමන් දැන් හුස්ම ගැනීමේ දැඩි අපහසුවකින් පෙලෙන බවත් කතා කිරීමට සහ ඇවිදීමට පවා අපහසු බවත් ප්‍රකාශ කළා. එවිට එයත් සමග පැමිණි අනිත් අයත් තමනුත් එම “හේතුව නිසාම ” අදාළ දිනයේ සිට එවැනිම රෝගි තත්ත්වයන්ගෙන් පෙළෙන බව ප්‍රකාශ කළා. ”

මෙහිදී මෙම වෛද්‍ය වෘත්තිකයන් විසින් “යම් ඖෂධ ” හෝ යම් “හේතුවක් ” යනුවෙන් හඳුන්වනු ලබන්නේ කොවිඩ්-19 එන්නත් සහ ඒවා ලබාගැනීම පිළිබඳව බව ඔබ වෙත නැවතත් සිහිපත් කරමු. ඔවුන්ට ව්‍යාංගයෙන් ඒ බව සඳහන් කිරීමට සිදුව ඇත්තේ කොවිඩ්-19 එන්නත්වලින් අතුරු ආබාධ සිදුවන බව ප්‍රකාශ කිරීම සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි වාරණයක් පවතින බැවිනි.

මෙහිදි දේශිය වෛද්‍ය තරංග ගමගේ එක් වැදගත් දෙයක් හෙළිදරවු කළේය. එනම් අදාළ ඖෂධයේ (එන්නත්වල) යම් විශේෂිත තොග අංක (Batch Number) නිකුත් කරන ලද “ ඖෂධ ” ලබාගත් පුද්ගලයන් ඒවාටම ආවේණික අතුරු ආබාධ සමූහයකට ගොදුරු වී ඇති දක්නට ලැබුණ බවය. එනම් යම් යම් පළාත්වල සඳහා නිකුත් කරන ලද වෙනස් වෙනස් තොග සඳහා වෙනස් රෝග ලක්ෂණ සමූහයක් දක්නට ඇත්තේ ඒ නිසාය. වෛද්‍ය ගමගේ පවසන ආකාරයට මෙම “ඖෂධයේ බැච් නොම්මරය ” දන්නේ නම් ඔවුන් පෙළන රෝග ලක්ෂණ මොනවාදැයි ක්ෂණිකව පැවසිය හැකි තරමටම මෙම කරුණ නැවත නැවතත් ඔවුන් ගේ සායනික කටයුතුවලදී සනාථ වී තිබේ. ෆයිසර් එන්නත්වල යම් විශේෂිත තොග අංක යටතේ නිකුත් කරන ලද එන්නත් තොග ලබාගත් පුද්ගලයන්ට විශේෂිත රෝගලක්ෂණ සමූහයකට ගොදුරු වීම පිළිබඳව සාක්ෂි ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොවේ. මේ පිළිබඳව මීළඟ පර්ච්ඡේදයකදී වැඩි දුර විමසා බලමු. දැන් නැවතත් මෙම වෛද්‍යවරුන් ඉදිරිපත් කරන කරුණු වෙත අවධානය යොමු කරමු.

වෛද්‍ය ගමගේ- “ගිරාඳුරුකෝට්ටේ වාහනයකින් යාමට පාරක් පවා නොමැති ඉතාම දුප්පත් ගමක දී අප විසින් සායනයක් පවත්වන ලද අවස්ථාවේදී අපට විශාල ආවේගශීලී සිදුවීම්වලට මුහුණ දීමට සිදුවුණා. අපි විශාල කණ්ඩායමක් එතැනට ගිහින් අදාළ කටයුතුවල නිරත වෙමින් සිටියා.අපිරෝගීන්ව පරීක්ෂා කරමින් ඔවුන්ට ඖෂධ ලබාදුන්නා . එතැනට ප්‍රදේශවාසින්  විශාල පිරිසක් පැමිණ සිටියා. ගම්වැසියන්ගෙන් උපරිම සහයෝගය ලැබුණා. මේ අවස්ථාවේදී සමහර රාජ්‍ය නිලධාරින් එතැනට පැමිණ අපට හිරිහැර කරමින් හැසිරුණු ආකාරය ඇත්තටම කණගාටුදායකයි. එම නිලධාරින්ගෙන් මම ඇහුවා ඇයි ඔබතුමාලා මේ විදියට කරන්නේ කියලා. එක්කෝ එයාලට මේක ගැන දැනුවත්කමක් තිබුණේ නැහැ. හැබැයි මම ඒ වෙලාවෙ ඒ හැම නිලධාරියෙකුටම කිව්වේ ඔයාලටත් ගොඩක් කල් යන්න කලින් මේ රෝග ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම එනවා.ඔයාලා මේ ඖෂධ(එන්නත) පාවිච්චි කරලා තියෙනවානම් අවුරුදු දෙකක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ රෝග ලක්ෂණ ටික එළියට එනවා කියලා. මේ ගිරාඳුරුකෝට්ටේ ගම්මානයේ කාන්තාවන් වැඩි දෙනෙක් කුඹුරු වැඩ කරන අය.එයාලා අඬ අඬ කිව්වා අපිට කලින් දවසකට කරන්න පුළුවන් වෙච්ච වැඩ ප්‍රමාණය දැන් කරන්න බෑ කියලා. කතරගම අපි කරපු සායනයේදී අපිට හමු වූ රෝගීන් වැඩි දෙනෙකු මුහුණ දී සිටි ප්‍රශ්නය නිදිමත ඇතිවීමයි. කතරගම අපි සායනය පැවැත්වූයේ නගරාසන්න ප්‍රදේශයක. මේ කතරගම නගරයේ තියෙන විශේෂත්වය තමයි මේ අය වැඩ කරන්නේ රාත්‍රි කාලයේදී වීමයි. යම් ඖෂධයක් (කොවිඩ්-19 එන්නත්) භාවිතා කළ පසුව මොවුන්ටද සිය වෘත්තිමය කටයුතු කරගෙන යාමේ අපහසු තත්ත්වයක් ඇති වී තිබුණා. කතරගම සායනයට අපි දැනුම්දීමකින් තොරව ගිහින් අහඹු ලෙස එක් රැස් වූ පිරිසක් තමයි මුලින්ම පරීක්ෂා කළේ මුලදී මිනිසුන් 50-60ක් පමණ පරීක්ෂා කළා. නමුත් ඔවුන් හරහා මෙම සායනය ගැන දැනගත් බොහෝ පිරිස් පසුව දිගටම එන්නට පටන්ගත්තා.ඉතා විශාල පිරිසක් එලෙස පැමිණියා. නමුත් අපිට සායනය නැවැත්වීමට සිදු වුණා එදින අපි අම්පාරේ සායනයක් පැවැත්වීමට යොදාගෙන තිබූ නිසා. ”

දේශිය වෛද්‍ය තරංග ගමගේ එලෙස කොවිඩ්-19 එන්නත්කරණයට ලක්වීම නිසා විවිධ අතුරු ආබාධවලට ගොදුරු වූ දුප්පත් ජනතාව වෙත ප්‍රතිකාර ලබාදීමේදී රජයේ බලධාරින් විසින් තමන් එම කටයුතුවල නිරත වීම වැළැක්වීම සඳහා විවිධ තර්ජන සහ හිංසා පීඩාවන් කෙළවරක් නොමැතිව දියත් කළ බවයි. අම්පාරේ පැවැත්වීමට නියමිතව තිබූ සායනය කඩාකප්පල්කිරීමට රජයේ බලධාරින් විසින් ගත් උත්සාහය හේතුවෙන් විශාල කළබැගෑනියක් ඇතිවූ බවත්, එම සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය විසින් පවා වාර්තා කරන ලද බවත්, මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත ව තිබූ සායනයක් සඳහා විශාල වෛද්‍ය කණ්ඩායමක් ඖෂධද රැගෙන සායනය පැවැත්වීමට නියමිතව තිබූ විහාරස්ථානය වෙත ගිය අවස්ථාවේදී එම විහාරාධිපති හිමිනම වෙත රජයේ බලධාරින් විසින් දැඩි බලපෑම් සිදු කිරීම නිසා එම සායනය එහි පැවැත්වීමට ඉඩදිය නොහැකි මට්ටමකට එම හිමිනම අසරණව සිටි බවත් වෛද්‍ය තරංග ගමගේ විසින් මෙහිලා හෙළිදරවු කර තිබේ.

මෙහිදී වෛද්‍ය උදාර සම්පත්ද රජයේ බලධාරින්ගෙන් තමන්ට එල්ල වූ හිරිහැර සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පවසන ලදි

“ එම අවස්ථාවේ මමත් එතන සිටියා. ඔවුන් සතුව පැවැති බලය යටතේ අපිව අත් අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණ පවා දියත්වන්නට ඉඩ තිබුණා. අපි මෙම සායන පවත්වාගෙන යාම සඳහා විඳපු දුෂ්කරතාවන් ගැන රටේ ජනතාව විසින් දැනගත යුතුයි. අපි පාන්දර දෙකට විතර නැගිටලා ගියේ. අපි ඒ දුක්වින්දේ අපට පෞද්ගලික වාසියක් සඳහා නොවෙයි. එදා රෝගීන් 300ක් විතර එන්න හිටියා. ඒක රජයේ බලධාරින් විසින් විවිධ බලපෑම් සිදුකොට නතර කළා. එහෙම දුක්පීඩාවන් විඳගෙන මේ දේවල් පිළිබඳව සොයා ගැනීමට අපි කටයුතු කළා. දැන් බොහෝ දෙනෙකු මේ දේවල් ගැන දන්නවා. අපිට අවශ්‍ය වෙන්නේ තවදුරටත් කෙනෙක් මරණයට පත්වීම වැළැක්වීමටයි.”

නිරෝගීව සිය දිවි පෙවෙත ගත කළ පුද්ගලයන් හදිසියේ හෘදයාබාධ රෝගවලින් මරණයට පත්වන විට සාමාන්‍ය මරණ පරීක්ෂණවලින් පමණක් මගින් එම හෘදයාබාධවලට බලපෑ සැබෑ හේතුව සෙවීමට අවශ්‍ය පරීක්ෂණ සිදු නොවන බවත් ඒ සඳහා විශේෂ පරීක්ෂණ පැවැත්විය යුතු බවත් වෛද්‍ය උදාර සම්පත් පෙන්වා දුන්නේ මෙසේය.

“හදවත් රෝගයකින් කෙනෙක් මරණයට පත් වූ විට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරන්නේ මරණයට හේතුව හදවත් රෝගයක් බවයි. නමුත් හදවත් රෝගය ඇතිවීමට බලපෑ සැබෑ හේතුව කුමක්දැයි සෙවීමට පරීක්ෂණ පැවැත්වීමට දැන්වත් ආරම්භ කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. හේතුව හොයාගැනීමකින් තොරව ප්‍රතිකාරයක් කළ නොහැකියි.”

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයා විසින් සැබෑ තත්ත්වය දැනගෙන එය වසංකරනවා විය නොහැකි දැයි වැඩ සටහන මෙහෙය වූ මාධ්‍යවේදීයා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වෛද්‍ය උදාර සම්පත් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ බටහිර වෛද්‍යවරයෙකු ලෙස මට එලෙස පැවසිය නොහැකියි.පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නේ නීතිගරුක වෛද්‍යවරුන් විසින්. ඔහු පරීක්ෂණ වලදී ඔහුට දකින්නට හම්බ වෙන්නේ ලේ කැටිති සිරවීමක්. ඔහුට පෙනෙන්නේ ඒ කොටස. එතකොට එතැනින් එහාට ගිහින් බිම් මට්ටමින් කරුණු සොයා බැලීමක් කළ යුතුයි. අපි මෙවැනි අතුරු ආබාධ පිළිබඳ වාර්තා එක් රැස් කරමින් විශේෂ පරිගණක වැඩසටහනක් මගින් එම දත්ත විශ්ලේෂණය කරමින් වාර්තාවක් සකස් කර තිබෙනවා. එම වාර්තාව බොහෝ දෙනෙකුගේ දායකත්වයෙන් සකස්කරන ලද එකක්.

මෙම වාර්තාවට අනුව පපුවේ අමාරුව 15%-20%ක් විතර පිරිසකට හැදී තිබෙනවා. එමෙන්ම වෙහෙස දැනීම සහ හුස්මගැනීමේ අපහසුතා(Shortness of breath) වලිනුත් 20%ක් විතර පීඩා විඳිනවා. මේ අතර බටහිර වෛද්‍යවරයෙක් විසින් නිර්භීතව ප්‍රකාශ කර තියෙනවා හෘදයාබාධවලට පුද්ගලයන් ගොදුරු වීම 30 %කින් විතර වැඩිවෙලා කියලා. එම ප්‍රකාශයට පදනම් දත්ත සහ අපගේ වාර්තාවලින් විසින් පෙන්වා දෙන ලද දත්තවල ගැලපීමක් මේ අනුව අපිට දකින්නට පුළුවන්. මම ඉල්ලා සිටින්නේ දැන්වත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා. මේ වනවිට රෝහල්වල බරපතල අර්බුදයක් පවතිනවා බෙහෙත් සහ උපකරණ හිඟයක් පවතින අවස්ථාවක ශල්‍යකර්ම පවා කර ගැනීමට නොහැකි අවස්ථාවක තවතවත් හෘදය රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවුනොත් අපගේ ශල්‍ය වෛද්‍යවරුන් අසරණ වෙනවා. දැනටත් හෘද ශල්‍යකර්මයක් සඳහා අවස්ථාව ලබාගැනීමට වසර දෙකක පමණ කාලයක් අපේක්ෂාවෙන් බලාසිටින රෝගීන්ගේ දිග ලැයිස්තුවක් තියෙනවා. ඒ කියන්නේ දුප්පත් මනුස්සයෙකුට ඔපරේෂන් එකක් කරගන්න සමහර විට අවුරුදු 2-3 අතර කාලයක් ලිස්ට් එකේ ඉන්න ඕනේ.”

දේශිය වෛද්‍ය සුමුදු ලියනාරච්චි පවසා සිටියේ මෙයට පෙර කිසිදු ආකාරයක හෘදය ආශ්‍රිත රෝගාබාධයක ලක්ෂණ නොපෙන්වූ බොහෝ දෙනෙකු ඔවුන් තුළ හදිසියේ හටගත් පපුවේ කැක්කුම්, අතපය හිරිවැටීම් සහ වේදනාවන් පිලිබඳව තමන්ට දැනුම් දුන් බවයි. එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා සිටියේ මේ රෝගීන් රෝහල් වෙත ප්‍රතිකාර ලබාගැනීමට ගිය විට ඔවුන්ට වෙත ඔවුන්ගේ රෝගය හෝ එයට බලපාන ලද හේතුන් පිළිබඳව කිසිදු දෙයක් පැහැදිලි නොකර කුමක් හෝ බෙහෙතක් ලබා දී මාස තුනකින් ආපසු පැමිණෙන ලෙස දන්වා ආපසු යවන බවත් මේ රෝගීන් සියලු දෙනා තමන් හදිසියේ මෙවැනි රෝගාබාධවලට ගොදුරුවීමට බලපෑ හේතුව දැනගැනීමේ දැඩි උවමනාවකින් පෙලෙන බවත් ඔවුන් සියලු දෙනා තරුණ වයස්වල අය බවත්ය.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් තමන් මෙම එන්නත් ලබාගත් පසුව මුහුණ දුන් අත්දැකීම් තමන් වෙත දැනුම් දුන් ආකාරය හෙළිකරමින් වෛද්‍ය උදාර සම්පත් මෙසේ ප්‍රකාශ කළේය.
“පෙරේදා මට දුරකතන ඇමතුමක් ආවා එක්සත් රාජධානියෙන්. මට ඇමතුම දුන් පුද්ගලයා කිසිවක් කතා නොකර දිගටම අඬන්න පටන්ගත්තා.ඉතාම නිරෝගීව ජීවත් වූ ඔහුගේ බිරිඳ හදිසියේම මරණයට පත් වෙලා.ඔහුගේ බිරිඳ මරණයට පත්වූයේත් මෙම එකම හේතුව නිසා කියලා අපි අනුමාන කරනවා. ඔහු පැවසුවේ මම මේක මීට පෙර දැනගෙන හිටියානම් මගේ බිරිඳ මිය යාමට සිදු වෙන්නේ නැහැ කියලා. අපගේ වීඩියෝ වගයක් බලලා දුරකතන අංකය හොයාගෙන තමයි මට කතා කළේ. මේ වනවිට විදේශ රටවල විශාල වශයෙන් අපි මේකට නිර්මාණය කරපු ප්‍රතිකාරය බොහෝ අය භාවිතා කරනවා. මෙම මේක කියන්නේ අපි නිර්මාණය කරපු මෙම ඖෂධය ප්‍රචාරයක් ලබා දෙන්න නොවේ. ඔහුටත් අතක් හිරිවැටීමක් සහ පපුවේ කැක්කුමක් ඇවිත් තිබුණා. ඔහු අපගේ ප්‍රතිකාරය භාවිතා කරන්න පටන්ගෙන තිබුණා.”

මෙම සංවාදයේදී වෛද්‍ය සම්පත් ඇතුළු පිරිස හෙළිදරවු කරන ලද තවත් වැදගත් කරුණක් වූයේ එන්නත්කරණයට ලක් වූ ගර්භණී ස්ත්‍රීන් විශාල සංඛ්‍යාවක් ගබ්සාවට ගොදුරු වීමය.

“එතකොට විදේශ රටවල සිදුවන ගබ්සාවීම් පිළිබඳව මට කතා කළ තවත් කාන්තාවක් පැවසුවා.මෙය කිසිවෙක් නොදන්නා නමුත් දන්න දන්න අය ගබ්සාවීම් සිදුවෙන බව කතා වෙන බවත් ඇය පැවසුවා. විදේශ රටක සිටියත් ඇය මේ කිසිවක් (කොවිඩ්-19 එන්නත්) අරගෙන නැහැ. ඇය ඒ නිසා මේ තත්ත්වයෙන් බේරිලා තියෙනවා. ඇයට ඕනකම තියෙන්නේ ලංකාවේ ඉන්න ඥාතින් බේරාගන්න.”

ලෝකයේ සියළුම ආණ්ඩු විසින් සාමාන්‍ය ජනතාව කරා මෙවැනි විනාශයක් ගෙන ඒමට මානව වර්ගයාට සතුරු බලවේගයන්හට ඉඩ දුන්නේ ඇයිදැයි යන්න පිළිබඳව සිතන විට තමා තුළ දැඩි කම්පනයක් සහ වේදනාවක් ඇති වූ බව වෛද්‍ය සම්පත් ප්‍රකාශ කළේය.

කිසියම් බලගතු රටවල් කීපයක් විසින් ඒ ඖෂධ (කොවිඩ්-19 එන්නත්) යොදාගනිමින් ලංකාවේ ජනතාව යම් පරීක්ෂණයකට ලක් කළාදැයි යන්න ගැන තමන් තුළ දැඩි පවතින සැකය දේශිය වෛද්‍ය තරංග ගමගේ විසින් ද මෙහිදී ඉදිරිපත් කරන ලදි. එක් එක් පලාත්වල ලබාදුන් එන්නත්වල වෙනස් වෙනස් අතුරු ආබාධ මතුවීම හේතුවෙන් ඒ පළාත්වලට බෙදාහරින ලද එන්නත්වල වෙනස් වෙනස් සංඝටක යොදාගන්නට ඇතැයි ද තමන් සැක කරන බවද ඔහු පැවසීය.
මෙහිදී වෛද්‍ය උදාර සම්පත් විසින් තමන් විසින් සකස් කරන ලද වාර්තාව ඇසුරෙන් එන්නත්වල ඒ ඒ අතුරු ආබාධවලට ගොදුරු වූ පුද්ගල සංඛ්‍යාවන් පිළිබඳ දත්ත ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කරන ලදි. මෙම වාර්තාව සකස් කර ඇත්තේ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් 1400ක ගෙන් ලබාගත් දත්ත අනුව බව ඔහු පවසයි.

  • හතිය/ඇදුම / හුස්මගැනීමේ අපහසුතා 15%-20%
  • දරුණු පිටකොන්දේ වේදනාවන් 30%
  • අපස්මාරය 2%-3%
  • හන්දිපත්වල වේදනා 30%-40%
  • ශක්තිය අඩුවීම/වෙහෙස 30%-40%
  • දරුණු හිසරදය 20%
  • ආහාර ගැනීමේ අපහසුතා 8%
  • මතකය අඩුවීම 15%-20%
  • සමේ පළු සහ බිබිලි ඇතිවීම 8%-10%
  • ඇස් නොපෙනී යාම
  • ස්ත්‍රින්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා
  • ගබ්සාවීම්

මතකය අහිමිවීමේ රෝග තත්ත්වයට ගොදුරු වූ පිරිස අතර පාසල් දරුවන්ද විශාල පිරිසක් සිටින බවත් එය අවධානයට ගත යුතුව ඇති ඉතාමත්ම අවාසනාවත් තත්ත්වයක් බවත් වෛද්‍ය තරංග ගමගේ මහතා ප්‍රකාශ කළේය.ඉතා හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි දරුවන් මෙම එන්නත්කරණයෙන් පසුව මතකය අඩුවීමේ හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලදී දක්වන පසුබටතාව නිසා  දෙමව්පියන් දරුවන්ට දොස්පැවරීම් සිදුකරන නමුත් එහි සැබෑ හේතුව මෙම දරුවන් එන්නත්කරණයේ අතුරු ආබාධවලට ගොදුරු වීම බව ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් ප්‍රධාන විහාරස්ථානයක හිමිනමක්ද සිය මතකය අහිමි වී යාම පිළිබඳව තමන් වෙත දැනුම් දුන් බවද වෛද්‍ය උදාර සම්පත් ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකාවේ ස්ත්‍රීන් තමන්ගේ ප්‍රජනක සෞඛ්‍යයට එන්නත ගැනීමෙන් පසු සිදුව ඇති බරපතල හානිය ගැන කතා කිරීමට පොදුවේ පසුබටතාවක් දක්වන නමුත් ඉඳහිට කීපදෙනෙකු තමන් සමග මේ පිළිබඳව කතාකළ බව දේශිය වෛද්‍ය සුමුදු ලියනාරච්චි ප්‍රකාශ කළාය. ඇයට අනුව එන්නත ලබාගත් ඇතැම් අයගේ ඔසප්වීම් මාස ගණනාවකට නතර වී තිබේ. ඇතැම් අය මසකට දෙතුන්වරක් ඔසප්වීම්වලට හෝ රුධිරය වහනයවීම්වලට ලක් වී තිබිණි. එමෙන්ම ගබ්සාවීම්වලටද එන්නත ලබාගත් ස්ත්‍රින් විශාල පිරිසක් ගොදුරු වී තිබිණි.

“වයස් කාණ්ඩ අනුව විමසා බලන විට ලංකාවේ එන්නත ලබාදුන් අවුරුදු 14 සහ අවුරුදු 85 අතර සියලුම වයස් කාණ්ඩවල පිරිස අතුරු ආබාධවලට ගොදුරු වී ඇති බව අපට ලැබී ඇති දත්තවලින් පෙනී යනවා.විශේෂයෙන්ම අවුරුදු 40-60 අතර අයගේ ප්‍රමාණය වැඩියි. ඊශ්‍රායලයේ පවත්වා ඇති පරීක්ෂණයක් අනුව වයස 16-39 අතර එන්නත්කරණයට ලක්වූ පිරිස් අතර හෘදයාබාධවලට ගොදුරු වූවන් සංඛ්‍යාව ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව පෙනී ගොස් තියෙනවා. එමෙන්ම හදිසි හෘදයාබාධ පිලිබඳව හදිසි ප්‍රතිකාර සේවා සඳහා ලැබෙන ඇමතුම් ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසනවා. සාමාන්‍යයෙන් හෘදයාබාධයක් ඇතිවන්නේ වයස අවුරුදු 50ට හෝ 60ට ඉහළින් අය අතරවීම යන කරුණ අප විසින් මෙහිදී අවධානයට ගත යුතුයි ” යනුවෙන්ද වෛද්‍ය උදාර සම්පත් පැවසීය.
තමන්ගේ අරමුණ රජයට හෝ සෞඛ්‍ය බලධාරින්ට හෝ වෙනත් කිසිවෙකුට හෝ චෝදනා එල්ලකිරීම හෝ අපහාස කිරීම නොව තමන් රෝගින්ට ප්‍රතිකාර කිරීමේදී අසන්නට දකින්නට ලද දේවල් පිළිබඳව ඉදිරිපත් කරමින් පවත්නා තත්ත්වය පිළිබඳව සියල්ලන්ගේ අවධානය යොමු කිරීම බවත් දේශිය වෛද්‍ය සුමුදු ලියනාරච්චි වැඩ සටහන අවසානයේදී පැවසුවාය.

තමන් සතුව දැනට එන්නත්වල අතුරු ආබාධවලට ගොදුරු වූ පුද්ගලයන් 3,000කගේ පමණ දත්ත පවතින බවත්, තවත් 5,000ක් පමණ එකතු කරමින් සිටින බවත් තමා ඇතුළු කණ්ඩායම රුපියල් කෝටියකට වඩා වැඩි ඖෂධ ප්‍රමාණයක් නොමිලේ ලබාදෙමින් රෝගීන් 15,000ක් පමණ සුවපත් කිරීමට කටයුතු කළ බවත් වෛද්‍ය උදාර සම්පත් විසින් පවසන ලදි.

“අපගේ කණ්ඩායම අතර පවතින දැඩි එකඟතාවක් තමයි කවර බලපෑම්, තර්ජන ගර්ජන අපට එරෙහිව එල්ලවූවත් අපි ජනතාවට සේවය කිරීම සඳහා මේ ස්වේච්ඡාවෙන් කරගෙන යන වැඩ කොටස හෝ අප දකින සත්‍යය ජනතාව වෙත පවසමින් ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කිරීම හෝ නතර නොකළ යුතු බව. එමෙන්ම රජයේ බලධාරින් විසින් මගේ වෘත්තිය අහිමි කළා. විවිධ අපහාසවලට ලක් කළා. තවත් ඔවුන්ට කරන්න තියෙන්නේ මගේ වෛද්‍ය බලපත්‍රය අවලංගු කිරීම සහ අවසාන වශයෙන් මගේ ජීවිතය විනාශ කරන එක. නමුත් මම ඒ කුමක් සිදුවුවත් ජනතාව වෙනුවෙන් මගේ සේවය දිගටම කරගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මම එය කරන්නේ සියලුම වෛද්‍යවරුන්ගේ නාමයෙන් සහ වෛද්‍ය වෘත්තිය වෙනුවෙන්. මම එය පවසන්නේ හදවතට එකඟව.මෙවැනි අවස්ථාවලදී සමහරුන් තම පුද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. සමහරුන් අනුගේ යහපත වෙනුවෙන් පෙනී සිටිනවා. මම මේ මොහොතේදී තෝරාගත්තේ අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමයි. මොකද මේ තරම් පැහැදිලි ඇත්තක් පවතින විට එය යටපත් කිරීමට ඉඩදී පසෙකට වී නිහඬව සිටීමට මට නොහැකි බැවින්. ”

(විශේෂ ස්තූතිය සිව්හෙළ යූටියුබ් නාලිකාව වෙත)

මතු සම්බන්ධයි.