මාළුන්ට සිදු වූයේ කුමක්ද? ආහාර සංස්කෘතියේ විපර්යාසය, ආනයනිත ආහාර මත රඳා පැවතීම සහ විදේශ ණය බර

ආචාර්ය ධරිණි රාජසිංහම් සේනානායක

බාහිර ආර්ථික කම්පන තරංග මාලාවකට මුහුණ දී ඇති ශ්‍රි ලංකාවේ ආහාර සංස්කෘතියේ සහ ජනතාවගේ පෝෂණ තත්ත්වයේ විශාල වෙනසක් සිදුවෙමින් පවතී. ශ්‍රි ලංකාවේ වෙරළතීරයේ ජනතාවන්ගේ සම්ප්‍රදායික ආහාරය වූ පෝෂ්‍යදායි බත් සහ මාළු ක්‍රමානුකූලව පසෙකට දමා ආනයනය කරන ලද කුකුළු මස් (බඩඉරිඟු වලින් නිෂ්පාදනය කරන ලද සත්වාහාර ලබා දෙමින් නිෂ්පාදනය කරන කරන ලද), සුදු තිරිඟුපිටිවලින් නිෂ්පාදිත පාන්, ක්ෂණික නූඩ්ල්ස්, සහ සකස් කරන ලද පැකැට් ආහාර එම තැන අත්පත් කරගෙන තිබේ.

එමෙන්ම නිර්මාංශ ආහාර අනුභව කරන්නන් විසින් භාවිතා කරන ලද ඉතා පෝෂ්‍යදායි කොස්, පොලොස්, කජු මාළුව වැනි ප්‍රෝටීන් සශ්‍රීක ආහාර වෙනුවට රසායනිකව නිෂ්පාදනය කරන ලද සෝයා මීට් ද වොල්නට්,හේසල්නට්, සහ කජු වැනි ඇටවර්ගද ව්‍යාප්ත කරමින් පවතී. දේශගුණික විපර්යාසය, සාගතය, ණය බර ආදි තේමාවන්ගෙන් සමන්විත ආඛ්‍යායනයක් දේශපාලනඥයන් සහ සහ ජනමාධ්‍ය විසින් ගොඩනංවමින් පවතින අතරම නොර්වේ රටින් ආනයනය කරන ලද සැමන් මාළු ටින් ඉහළ මිල ගණන්වලට ලංකාවේ ජනතාව සඳහා මුදා හැර තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවේ සශ්‍රීක පෝෂ්‍යදායි මත්ස්‍ය සම්පත සහ මුහුදු ආහාර වෙන්ව ඇත්තේ සංචාරකයන්ටත්, දේශීය සුපිරි ප්‍රභූ පැළැන්තියටත් පමණි.

අලුත්මාළු සමග රතු කැකුළු හෝ නාඩු සහලින් පිසින ලද බත ජාතික ආහාරයේ ලක්ෂණයක් වී තිබිණි. දකුණේ උත්සව අවස්ථාවන්හිදී සම්ප්‍රදායිකව පොල් කිරි යොදා පිසින ලද කිරිබත් ද සමග බල මාළු ඇඹුල් තියල් ව්‍යංජනය හෝ මිරිස් මාළු ව්‍යාංජනයද අනිවාර්ය අංගයක් ලෙස සැලකුණ කාලයක් තිබිණි. ඒ අතර යාපනයේ සහ උතුරේ ජනතාව කිරිබත් සමග මීන් කුලම්බු මාළු කරිය ආහාරයට ගන්නා ලදි. මහා මුහුදෙන් වට වූ මේ දිවයින තුළ දැන් වසරේ වැඩි කාලයක් තිස්සේ බලමාළු දැකීමට නොමැති අතර කලාතුරකින් දක්නට හැකි වුව ද ඒවා අධික මිලගණන් වලින් යුතුය. ඒ අතර කුඩා මාලු වර්ගද දැන් සාමාන්‍ය ජනයාගේ බත්පත මත මාස ගණනාවක් තිස්සේ දක්නට නොමැති සුඛෝපභෝගී ආහාරයක් බවට පත්ව තිබේ.

බෙංගාලයේ සිට ඉන්දුනීසියාව හෝ වියට්නාමය දක්වා බොහෝ ආසියානු සංස්කෘතින් තුළ බත් සහ මාළු සමෘද්ධියේ සංකේතයක් ලෙස සැලකේ. චීන භාෂාව තුළ මාළුන් යන තේරුම සහිත “යූ”(yu) යන වචනය එම භාෂාව තුළ අතිරික්තය හෝ සමෘද්ධිය යන අර්ථය සඳහාද භාවිතා වේ. ඔවුන්ගේ නව අවුරුදු සුබ පැතුම “නියාන් නියාන් යූ යු ” යන්න විසින් සෞභාග්‍ය හෝ සමෘද්ධිය හෝ සරු මත්ස්‍ය අස්වැන්නක් ප්‍රාර්ථනා කෙරේ. මාළු වෑංජනයක් රහිත ආහාර වේලක් අසම්පූර්ණ එකක් යැයි දකුණු ආසියාවේදී සළකනු ලබයි.

අද ලංකාවේ කවර හෝ මාළු කෑල්ලක් සහිත බත් පැකැට්ටුවක මිල කුකුළු මස් සහිත බත් පැකැට්ටුවකට වඩා මිල අධිකය. දුප්පතාගේ ප්‍රෝටීන් ප්‍රභවය ලෙස සැළකුණ කරවල කෑල්ල තවදුරටත් ඔවුන්ට දරාගත හැකි මිල සීමාවේ නොමැත. මේ අතර ටින් කළ මාළු සාමාන්‍ය වෙළඳපොළේ දක්නට ඇත්තේ ඉතා විරල වශයෙනි. ඒවා තිබුණද ඒවායේ මිල සාමාන්‍ය මිනිසුනට දරාගතහැකි සීමාවක නොපවතී. තමන්ට අයිති අති විශාල මුහුදු සීමාවකටත් සුවිශේෂ සාගර ආර්ථික කලාපයකටත් (Exclusive Economic Zone – EEZ)හිමිකම් කියන ශ්‍රි ලංකාව වැනි රටවල් ටින් කළ මාළු ආනයනය වෙනුවට කළ යුතුව ඇත්තේ අපනයනය කිරීම වුව ද අවාසනාවත් ලෙස සිදුවන්නේ එයට ප්‍රතිවිරුද්ධ දෙයයි.

බත් සහ මාළු වෙනුවට බඩ ඉරිඟු සහ කුකුළු මස්: ආහාරයේ වෙනස්කම්, පෝෂණය සහ රෝග රටාවන්

පරම්පරා ගණනාවක් තිස්සේ  සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් ලෙස ළමා පරම්පරාවන් ලංකාව තුළ හැදී වැඩුණේ ඔවුන්ගේ කායික සහ මානසික වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන,කැල්සියම් සහ අනෙකුත් විටමින් සහ ඛනිජ ලවණ අඩංගු මාළු සහ බත් සහිත ආහාර වේලක් අනුභව කිරීම මගිනි. පිරිසිදු අළුත් මාළු වෙනුවට බඩ ඉරිඟුවලින් නිෂ්පාදිත සත්වාහාර ලබාදෙමින්ද, ප්‍රතිජීවක ඖෂධ ලබා දෙමින් ද අස්වාභාවික ලෙස වර්ධනය කරන ලද ෆාම් කුකුළු මස් තමන්ගේ ප්‍රධාන ප්‍රෝටීන ප්‍රභවය ලෙස යොදාගැනීමට ඉන්දියන් සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් තැනක පිහිටා ඇති මෙම දිවයිනේ වත්මන් ළමා පරම්පරාවට බල කෙරී තිබේ. එමෙන්ම පාරිසරික වශයෙන් විනාශකාරි ඉස්සන් කොටු තුළ වගා කරන ලද ඉස්සන් ලංකාවේ මුහුදෙන් අල්ලා ගත් නැවුම් මාළු වෙනුවට ප්‍රවර්ධනය කරමින් තිබේ.

නිරාහාරවීම හේතුවෙන් පාසල් තුළ ක්ලාන්තව ඇද වැටෙන සිසු සිසුවියන් පිළිබඳ පුවත් දසත පැතිර යද්දි මේ ඔවුන්ට ලබා දෙන ලද රතුහාල්, කුරක්කන් සහ මුංඇටවලින් නිපදවන ලද ත්‍රිපෝෂ සහ සමපෝෂ ආහාර සලාකය වෙනුවට බහුජාතික කෘෂි- නිෂ්පාදක සමාගම් (Multinational Agri-business Corporations – MNC)විසින් ආනයනය කරන ලද කිරිපිටි, බඩ ඉරිඟු සෝයා වලින් සමන්විත සැකැසූ ආහාර පැකැට් ලබාදෙමින් තිබේ. මෙම ආනයනිත නිෂ්පාදන බොහෝ විට ජාන විකෘතිකරන ලද (GMO · genetically modified organism)බීජ මගින් නිෂ්පාදනය කරන ලද ධාන්‍ය සහ ඇට වර්ග වේ. යුනිසෙෆ් ළමා අරමුදලේ වාර්තාවකට අනුව මේ වසරේ අප්‍රේලයේ දී ශ්‍රි ලංකාව ඩොලර් ණය ගෙවීමට නොහැකි බවට ප්‍රකාශ කළ මොහොතේ සිට ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් 30%ක් මන්ද පෝෂණයෙන් පෙළෙති.

ආහාර සංස්කෘතියේද පෝෂණ රටාවන්ගේද සිදු වූ වෙනස්කම් හේතුවෙන් සිදුවන මන්දපෝෂණයේ ව්‍යාප්තිය, සථූලතාව සහ හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝග, අධික රුධිර පීඩනය, කොලෙස්ටොරෝල් ( සහ මෙම රෝගී තත්ත්වයන් පාලනය සඳහා ගනු ලබන ඖෂධ) සහ ජීවන රටාවේ සිදුවන වෙනස් කම් මෙම දිවයිනේ සිදුවන මරණවලට බොහෝ සෙයින් බලපාන හේතු බවට පත්ව තිබේ. එමෙන්ම මාධ්‍ය විසින් සිය වෙළඳ දැන්වීම හරහා ප්‍රවර්ධනය කරනු ලබන සෝයා පිටි පදනම්ව නිෂ්පාදිත කෙටි ආහාර වර්ග, පේස්ට්‍රි සහ කේක්වර්ග වැනි රසකැවිලි ක්ෂණික ආහාර නාගරික ප්‍රදේශවල නිෂ්පාදකයන් සහ පරිභෝජකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ඊනියා කොවිඩ්-19 වසංගතය පැවැති කාලසීමාව තුළ පැතිර ගිය තවත් වසංගතයක් නම් අධික ලෙස සීනි යොදා නිෂ්පාදිත ස්පංචි සහ විස්කෝතු වර්ග සුළුපරිමාණ ගෘහස්ත නිෂ්පාදකයන් විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කරමින් අලෙවි කිරීමය.

කෙසේ වුවද හෘදයාබාධ සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග වලින් සිදු වූ මරණ “කොවිඩ්-19 වසංගතයේදී” සිදු වූ මරණවලට බලපෑ “වෙනත් හේතුන්” ලෙස වර්ගීකරණය කර තිබේ. අධික ලෙස කෘත්‍රීමව සකස් කරන ආහාර සඳහා බඩ ඉරිඟු පිටි, සෝයා පිටි, පාම් තෙල් සහ විවිධ රසායනික ද්‍රව්‍ය අධික ලෙස යොදාගැනේ. මෝසම් 2ක් විසින් ලබාදෙන , අධික වර්ෂාවෙන් ද සාරවත් සහල් අස්වැන්නෙන් සහ පුළුල් ධීවර සම්පත්වලින් ආශිර්වාද ලත්, කලක් සරුසාර වූ මෙම නිවර්තන දිවයිනෙහි, පල්වීම හා නාස්තිය උත්සන්න වෙමින් පවතී.

වී සහ සහල් ආශ්‍රිත නිෂ්පාදන වලට වඩා ආනයනික බඩ ඉරිඟු විසින් අධික උෂ්ණත්වයක් සහ ආර්ද්‍රතාවක් සහිත රටක් වන ශ්‍රි ලංකාව තුළ දිලීර රෝග සහ වෙනත් හානිකර ජීව විද්‍යාත්මක උවදුරු ව්‍යාප්තවීමේ අවදානම උත්සන්න කර තිබේ. නිදසුනක් ලෙස වසර කීපයකට පෙර ජීව විද්‍යාත්මක අවි නිපදවන විද්‍යාගාරයක් විසින් නිර්මාණය කරන ලද Spodoptera frugiperda නම් මැස්සාගේ සේනා දළඹුවා ( Fall Army Worm) නම් දළඹුවා විසින් දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ ඉරිඟුවගාවට විශාලවශයෙන් හානි සිදු කර දැවැන්ත ආර්ථිකමය විනාශයක් සිදු කරන ලදි. කෙසේ වුවද මෙම දළඹු වසංගතයට දේශිය වී වර්ග තුළ පැවැති ඔරොත්තු දීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පැවැති අතර ඒවා ට සිදු වූ හානිය අවම විය.

අපට අවශ්‍ය ආනයන මත රඳා පැවතීමේ ආහාර සංස්කෘතියක්ද?

සිය රටේ ජනතාව පෙළෙන ප්‍රෝටීන ඌනතාව, දුප්පත්කම, ආදියෙන් ගැලවීම සඳහා මෙන්ම එක්සත් ජනපදයේ ඩොලර් ණය උගුලෙන්ද ගැලවීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිය ධීවර, සාගර සහ ඛනිජ සම්පත් යොදාගත යුතුව ඇති බව වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී. සාගතය සිය ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස තෝරාගෙන ඇති බවට දිස්වන වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ප්‍රතිරාවය කරමින් එක්සත් ජාතින්ගේ විවිධ ආයතන විසින් ද, ශ්‍රි ලංකාවේ වැඩිහිටියන් සහ ළමුන් ඉතා විශාල වශයෙන් සාගතයට සහ මන්දපෝෂණයට ගොදුරුවීමේ අවදානම ගැන අනතුරු අඟවා තිබේ. කෙසේ වුව ද අත්‍යාවශ්‍ය ආහාර සඳහා ස්වයං පෝෂිත තත්ත්ත්වයක් ගොඩනැගීමට කටයුතු කිරීම වෙනුවට කොළඹ පාලකයන් සහ එහි ආර්ථික උපදේශකයන් විසින් කටයුතු කරමින් සිටින්නේ ආහාර ආනයනය මත රඳාපැවතීමේ ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය සඳහාය. කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ සිදු කෙරෙමින් පවතින ව්‍යුහාත්මක ගැලපීම් හරහා ඩොලර් ණය උගුලේ ග්‍රහණය උත්සන්න කිරීමට මං පාදා තිබේ. ප්‍රෝටීන ඌනතාවයෙන් පෙළෙන පාසල් ලමුන්ට ආහාර සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ පුළුල් මුහුදු සීමාව තුළ පවත්නා මත්ස්‍ය අස්වැන්න නෙළාගනු වෙනුවට ශ්‍රී ලංකා රජය යොමුවී ඇත්තේ කුකුළු ආහාර සඳහා බඩ ඉරිඟු විශාල වශයෙන් ආනයනය කිරීමටය. එමෙන්ම මහා පරිමාණ ලෙස බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය බීජ, පොහොර සහ කෘමිනාශක ආනයනය සඳහා එය යොමු වී සිටි. මනුෂ්‍ය සහ සත්ව ආහාර ලෙස මෙම බඩ ඉරිඟු යොදාගැනීමට සැලසුම් කර ඇති අතර එමගින් වී වගාව ලංකාවෙන් තුරන් කරමින් ශ්‍රී ලාංකික ජනයාගේ ප්‍රධාන ආහාරය වූ බත් පත අහෝසි කරනු ඇත.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ විසින් සත්වාහාර සඳහා සෝයා බෝංචි සහ බඩ ඉරිඟු ආනයනයට ඉඩ සැලසීම සඳහා විවෘත ගිණුම් ආනයන සඳහා පනවා තිබූ තහනම මෑතකදී ගැසට් නිවේදනයක් මගින් ඉවත් කරන ලදි. අප්‍රේලයේ දී රජය විසින් ආර්ථික බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පැන නැගුණු ඩොලර් හිඟය හේතුවෙන් ඩොලර් ඉතුරු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම යටතේ ඉරිඟු සහ සෝයා සඳහා මෙම තහනම පනවා තිබිණි.

සීනි මගඩිය මෙන්ම නුදුරු අනාගතයේදීමබඩ ඉරිඟු සහ සෝයා මගඩියක් පිළිබඳවද අසන්නට ලැබේදැයි සැකයක් මතුව තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාව මගින් මෙන්ම , කලින් ජනාධිපතිවරයා යටතේ ආරම්භ වී තවමත් ඇදෙමින් පවතින කාබනික පොහොර මගඩිය මගින්ද අති විශාල ධනයක් වංචා සහගත ලෙස උපයන ලද ව්‍යාපාරික ජාවාරම්කරුවන් සමග රනිල් වික්‍රමසිංහ රජය ද සමීප සම්බන්ධකම් පවත්වයි.

විශාල ධීවර යාත්‍රා මගින් සිදු කරන මහාපරිමාණ මසුන් මැරීම හේතුවෙන් මත්ස්‍ය ගහනය වඳවෙතැයි අනතරු අඟවමින් එයට එරෙහිව උද්ඝෝෂණය කරන මීගමුවේ ධීවර ස්ත්‍රීන්

වර්තමානයේදී අන්ත නවලිබරල්වාදියෙකු වන රනිල් වික්‍රමසිංහගේ රජය විසින් ‘අපනයන මූලික වර්ධනය ‘ මුවාවෙන් දේශීය ආහාර නිෂ්පාදනය “අපනයන ආදේශනය” නමින් හඳුන්වනු ලබන ප්‍රතිපත්තියක් මගින් දැවැන්ත වෙනසකට ලක් කිරීමට කටයුතු කරමින් ඇත. මෙහිදී සිදුවන්නේදේශීය ජනයාගේ පරිභෝජනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය බිඳ වැටෙන පරිදි විදේශ විනිමය ඉපයීම සඳහා අවශ්‍යවන ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රමුඛතාව දීමයි. නමුත් මෙරටට මේ මොහොතේදී සැබෑ ලෙසම අවශ්‍ය වී ඇත්තේ “ආනයනය කරනු ලබන ආහාර වර්ග සඳහා දේශීය ආහාර ආදේශනය” ප්‍රතිපත්තියකට ප්‍රමුඛතාවය දෙමින් වඩාත් පෝෂ්‍යදායි මාළු සහ වෙනත් දේශීය ආහාර නිෂ්පාදනය පුළුල් කිරීමත් ඒ සඳහා දේශීය වෙළඳපොළ සංවර්ධනය කිරීමත්ය. එමගින් විදේශ විනිමය ඉතිරි කර ගත හැකිය. එපමණක් නොව වර්තමානයේදී ජාත්‍යන්තර වශයෙන් ඉන්ධන සහ ආහාර සැපයුමට ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් පනවා ඇති විවිධ සම්බාධක මගින්ද ඉතා බලගතු ජාත්‍යන්තර බලවේග විසින් සංවිධානාත්මක ලෙස ආහාර සැපයුම් මාර්ග සම්බන්ධ ඩිජිටල් දත්ත හුවමාරු පද්ධති හැක් කිරීම මගින් ද ආහාර සැපයුම අඩාල කිරීම නිසා රටතුළ සාගත තත්ත්වයක් ඇති වීම වළක්වාගැනීම දේශීය ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛතාව දීම සිදු කළ හැකිය.

කොවිඩ්-19 ව්‍යුහාත්මක ගැලපීමක්: ආනයනය මත රඳා පවතින ආහාර සංස්කෘතිය

මේ මොහොතේදී දුප්පත්කම, දුෂ්පෝෂණය සහ ණය උගුල පැරදවීම සඳහා ශ්‍රි ලංකාව ඉතා පැහැදිලිව සිය ධීවර, සාගර සහ ඛනිජ සම්පත්වලින් ප්‍රයෝජනය ගත යුතුය. ඉතා පුළුල් ධීවර සම්පත් ප්‍රමාණයක අයිතිය සතු වුව ද ධීවර නිෂ්පාදනය විසින් ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට දක්වන වාර්ෂික දායකත්වය හුදෙක් 2.5%ක් පමණකි. ඉතා වටිනා ඛනිජ සම්පත් වන ග්‍රැෆයිට්, ටයිටේනියම්, සර්කොන් වැනි “විරල වටිනා ඛනිජමය මුලද්‍රව්‍ය” (Rare Earth Elements – REE) හුදෙක් වැලි ලෙස අපනයනය කිරීම නිසා ලංකාව දැන් එමගින් ලබන්නේ ඉතා අවම ආදායමකි.

ජාතික ආහාර නිෂ්පාදන පද්ධතිය සහ රජයේ කෘෂිකාර්මික සහ ධීවර ආයතන සහ ඒ හා අදාළ සේවා සැපයිම වසර දෙකක කොවිඩ්-19 ලොක්ඩවුන් හේතුවෙන් දැවැන්ත පීඩනයකට පත්ව ඇති අතර බහුජාතික කෘෂිව්‍යාපාරික සමාගම් විසින් මෙම අංශ ආක්‍රමණය කිරීමට මේ අවස්ථාව උපයෝගී කර ගෙන තිබේ. මෙම සමාගම් විසින් ඉතා වේගවත්, සැලසුම් සහගත සහ භයානක ‘ව්‍යුහාත්මක ගැලපීම්’ දියත් කර ඇත්තේ ආනයනිත ආහාර මත ශ්‍රි ලංකාව පරාධීන කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහාය. මෙම කෘෂි නිෂ්පාදන සමාගම් විසින් ලංකාවේ ආහාර නිෂ්පාදනය මුළුමණින්ම සියතට ගැනීම මගින් එය ලංකාවේ ආහාර ස්වෛරීත්වය අහිමි කරනවා පමණක් නොව ශ්‍රි ලාංකික ජනතාවගේ සෞඛ්‍යයටද, පෝෂණ තත්ත්වයටද බරපතල තර්ජනයක් එල්ල කරනු ඇත.

ස්වයංතීරණය සඳහා දෙමළ ජනතාව ගෙන ගිය දිගුකාලීන අරගලයේදී කොළඹ සිංහල ජාතිවාදි ආණ්ඩුව විසින් ආහාර සහ ඖෂධ සම්බාධක පනවමින් එම අරගලය විනාශ කිරීමට දරන ලද වෑයම අසාර්ථක වූයේ දෙමළ ස්වයංපාලන ප්‍රදේශ සහලින් සහ එළවළු වර්ගවලින් ස්වයං පෝෂිත කිරීමට එම අරගලයේ නියමුවන් ක්‍රියාත්මක වූ නිසාය. වාකරෙයි, කිලිනොච්චි, වැනි වී වගා කෙරෙන ප්‍ර දේශ දෙමළ අරගලයේ ආහාර ස්වාධිපත්‍යය සඳහා තීරණාත්මක උපාය මාර්ගික වැදගත්කමකින් යුතු ප්‍රදේශ විය. දැන් එම ප්‍රදේශවල වී වගාව වෙනුවට ප්‍රවර්ධනය කෙරෙමින් පවතින්නේ විදේශීය සුපර්මාර්කට්, රෙස්ටෝරන්ට් ජාලයන් සඳහා අවශ්‍ය ගර්කින් වැනි අපනයන බෝග නිෂ්පාදනයටය. යම් ජාතියක් වහල් බාවයට පත් කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට තමන්ගේම ආහාර නිෂ්පාදන හැකියාව අහෝසි කළ යුතුය යන න්‍යාය මෙහිදී ක්‍රියාත්මක වේ. මේ ඛෙදජනක ඉරණම දැන් ලංකාවේ සියලු ජාතින් මුහුණ දෙමින් සිටින අවාසනාවන්ත තත්ත්වයකි.

උතුරු නැගෙනහිර සහල් බඳුන ලෙස හැඳින්වෙන වාකරෙයි ප්‍රදේශයේ වී වගාව සඳහා භාවිතා කළ ඉඩම් ගර්කින් වගාව සඳහා යොදාගනිමින් තිබේ. ගෝලීය වෙළඳාම සැලසු ම්සහගතව කඩාකප්පල් කිරීම මගින් සිදුවන අවහිරතා වර්ධනය වෙමින් පවතින සංදර්භය තුළ ශ්‍රි ලංකාව තවත් ඩොලර් කීපයක් උපයනු සඳහා දිගුකාලීන ආහාර ස්වෛරීත්වයක අවශ්‍යතාව ද, ජානමය වශයෙන් විකෘති කරන ලද බීජ සහ අස්වැන්න මත රඳා පැවතීම හේතුවෙන් සිදුවන ජෛව විද්‍යාත්මක සහ පාරිසරික හානියද නොතකා හරිමින් මෙම දිවයින මැද පෙරදිග සඳහා කෙසෙල් වත්තක් බවට පත් කරමින් තිබේ.

ඩොලර් ඉපැයීම සඳහා ශ්‍රී ලංකාව තුළ වගා කිරීමට සැලසුම් කෙරෙන බඩ ඉරිඟු සහ ගර්කින් සඳහා අවශ්‍ය වන බීජ, පොහොර සහ වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වනු ලබන්නේ බහුජාතික කෘෂි සමාගම් වෙතින් වන අතර ඒ සදහාද ගෙවීමට සිදුවන්නේ ඩොලර් වලිනි. එහෙයින් මේ මගින් උපයන විනිමය නොසැළකිය හැකි තරම් සුළු වනු ඇත. මෙම බෝග සඳහා ආනයනය කරන බීජ, පොහොර සහ කෘමි නාශක සඳහා කොතෙක් වියදම් කිරීමට සිදුවන්නේ දැයි අපට දැනුම් දී තිබේ.

බෝග විවිධාංගීකරණය යහපත් දෙයක් වුවද ශ්‍රී ලාංකිකයන් විසින් සිය සෞඛ්‍ය සම්පන්න ධීවර සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම සහ සහලින් ස්වයංපෝෂිත වීමේ ඉලක්කය සාක්ෂාත්කරගැනීමද අනෙකුත් දේශීය බෝග වගාවන් ආරක්ෂාකර ගැනීමද අත්හැර නොදැමිය යුතුය. විශේෂයෙන්ම පසුගිය මාසවලදී සිදු වූ ඉන්ධන සහ බලශක්ති සැපයුමට එරෙහිව ජාත්‍යන්තරව සිදු කළ සැලසුම් සහගත අවහිර කිරීම් ද සේනා දළඹුවා වැනි විවිධ ජෛව විද්‍යාත්මක උවදුරු ද සැලකිල්ලට ගෙන බඩ ඉරිඟු වැනි ආනයනය කරන බීජ යොදමින් සිදු කරන බෝග වගාවන් මත සිය ආහාර සැපයුම පරාධීන නොකිරීමට ලංකාව වගබලාගත යුතුය.

ප්‍රමුඛතාවන් පිළිබඳ ප්‍රතිපත්ති අවතැන්වීම, ආර්ථික කම්පන යටතේ බහු ජාතික කෘෂි සමාගම් විසින් දේශීය ගොවි බිම් ආක්‍රමණය කිරීම

‘අපනයනය විසින් මෙහෙයවෙන’ ආර්ථික වර්ධනයක් සහ විවෘත ආර්ථිකයක් ගැන කතා කරන අතරම රනිල් වික්‍රමසිංහ රජය විසින් ආනයනය මත රඳා පවතින ආර්ථිකයක් ප්‍රවර්ධනය කරමින් ආහාර සංස්කෘතියේද, කෘෂිකාර්මික ව්‍යුහාත්මක සැකැස්මේද ආහාර සුරක්ෂිතතාවයේද විශාල සහ වේගවත් විපර්යාසයක් සිදු කිරීමට මං පාදා තිබේ. ආපදා ධනවාදයට ඉඩ සලසන විවිධ බාහිර ආර්ථික “කම්පන” යටතේ ද ගෝලීය කෘෂි ව්‍යාපාර සහ සමාගම් විසින් ජාතික ආහාර නිෂ්පාදන පද්ධතීන් අත්පත් කරගැනීම මගින්ද ප්‍රතිපත්තිමය තීරණ මගින්ද මෙම පරිවර්තනය දැනට කලෙක සිට සිදුවන එකක් බව සැබෑවකි.

මෙයට පෙර 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය විසින්ද, කොවිඩ්-19 දෙවසරක ලොක්ඩවුන් මගින්ද මුහුදු යාම සීමා කිරීම සහ ධීවර වරායන් වසා දැමීම මගින්ද, 2022 එක්සත් ජනපද ඩොලර් ණය උගුල මගින් ඇති කරන ලද ඉන්ධන අර්බුදය තුළ ධීවරයන් සිය බෝට්ටු සඳහා භාවිතා කරන භූමිතෙල් සහ ඩීසල් හිඟය සහ මිල ඉහළයාම් හේතුවෙන්ද ධීවර ප්‍රජාවන් මසුන් ඇල්ලීම පිණිස මුහුදු යාම වළක්වන ලද අතර ඒ මගින් ඔවුන්ගේ ජීවිකාවට මෙන්ම රටේ සෙසු ජනකොටස්වල ආහාරයේ ප්‍රධාන ප්‍රෝටීන ප්‍රභවය වූ මුහුදු මාළු සැපයීමටද බරපතල තර්ජනයක් එල්ලකරන ලදි.

මේ අතර යුරෝපා සංගමයේ ව්‍යාපෘති සහ ට්‍රෝලර් යාත්‍රා මගින් ශ්‍රි ලංකා මුහුදු සීමාව තුළ දැවැන්ත පරිමාණයෙන් මසුන් මැරීම සිදු කරන අතර දේශීය ධීවරයන් බහුතරයකට සිදු වූයේ කුඩා එක්දින බෝට්ටු හෝ සම්ප්‍රදායික බෝට්ටු මගින් නොගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට සීමා වීමටය. දේශීය ධීවරයන් අතර බහු දින යාත්‍රා ඇත්තේ ඉතා සීමා සහිත පිරිසකට පමණි. ඒ අතර ශ්‍රී ලංකාවේ බටහිර වෙරළාසන්නව හයිබ්‍රිඩ් යුද මෙහෙයුමක ආකාරයෙන් සිදු වූ එම්වී පර්ල් සහ එම්ටී ඩයමන්ඩ් යාත්‍රා සම්බන්ධ අනතුරු විසින්ද බටහිර මුහුදේ ධීවර නිෂ්පාදනයට වසර ගණනාවකට යථා තත්ත්වයට පත් කළ නොහැකි හානියක් සිදු කරන ලදි. අනතුරට පත් වූ එම්ටී ඩයමන්ඩ් නැව තුළ පැවැති ටොන් 270,000ක බැරතෙල් විසින් මුහුදු ජලය දූෂණය කරමින් මත්ස්‍ය සම්පත විනාශ කරන ලදි. එම්වී පර්ල් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය ටොන් දහස් ගණනක්ද සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ගෝලිකා බිලියන ගණනක් ද සමුදුර එක්වී එවැනිම විනාශයක් සිදු කරන ලදි. මෙම හයිබ්‍රිඩ් යුද ප්‍රහාරයන් මගින් ධීවර ජනයාගේ ජීවිකාවට පමණක් නොව රටේ සමස්ත ජනතාවගේ පෝෂණයටද බරපතල හානියක් සිදු කර තිබේ.

කොවිඩ්-19 ලොක් ඩවුන් සහ ඉන් පසුව සිදු වූ ප්‍රතිඇරඹුම විසින් ලංකාවේ ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, සහ ඒ හා අදාළ පර්යේෂණ ආයතන සහ රජයේ ව්‍යාප්ති සේවාවන් අඩාල කර දුර්වල කරන ලදි. ඒ අතර බහුජාතික කෘෂි සමාගම් විසින් ණය උගුලට හසු වී දුර්වලව සිටි ගොවි ප්‍රජාව සිය ග්‍රහණයට ගනු ලබමින් සිටියි. මෙලෙස සාගතයක් නිර්මාණය වන තත්ත්වයන් විවිධ බාහිර බලවේග සමග එක්ව නිර්මාණය කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පුළුල් ධීවර හා කෘෂිකාර්මික සම්පත් ඇති සශ්‍රීක හා සාරවත් ඝර්ම කලාපීය රටක් වන ශ්‍රි ලංකාව තුළ සාගතයක් ඇති වන බවට මේ වසරේ අප්‍රේල් මාසයේදී අභූත අනාවැකියක් පළ කර තිබේ.

දිවයිනේ බහුල සම්පත් ප්‍රයෝජනයට ගන්නවාට වඩා, රනිල් වික්‍රමසිංහ පාලනයේ ආර්ථික ප්‍රතිපත්ති සහ සංවර්ධන න්‍යාය පත්‍රය සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාව පළමු අවස්ථාවේ දීම ණය උගුලට හසු කරගන්නා ලද “ණයහිමියන්” තෘප්තිමත් කිරීමට බව පෙනේ. දකුණු හා මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූට අනුව, “බලයේ” පිටුබලය ලබන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වොෂින්ටන් සම්මුතියද අභිබවා යන නව ලිබරල්වාදියෙකු ලෙස කීර්තියක් ලැබීම පුදුමයක් නොවේ!

මත්ස්‍යයන්ට සිදු වූයේ කුමක්ද? යුරෝපා සංගමයේ සාගර කොල්ලය සහ ආඛ්‍යාන ක්‍රීඩාව

යුරෝපා සංගමය, ජපානය, වැනි රටවල් සහ බහුජාතික ධීවර සමාගම් දැවැන්ත පරිමාණයෙන් ශ්‍රි ලංකා මුහුදු සීමාව තුළ මසුන් මරද්දි ශ්‍රි ලංකා රජය සහ ජනමාධ්‍ය මත්ස්‍ය ගහණය අඩු වීම පිළිබඳව ඉන්දීය ධීවරයන්ට එරෙහිව ආඛ්‍යානයක් ගොඩ නගමින් සැබෑ සාගර සම්පත් කොල්ලය වසංකරමින් සිටියි. නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද තමිල්නාඩුවේ දිළිඳු ධීවරයන් පිරිසක් 2014 මාර්තු මස 17 වැනි දින යාපනය උසාවිය මගින් නිදහස් කිරීමෙන් පසු නාවික හමුදාව විසින් ඔවුන්ගේ බෝට්ටු වෙත රැගෙන යන ආකාරය photo credit AP-TheDiplomat

මත්ස්‍ය සම්පත ක්ෂය වීම සම්බන්ධයෙන් ඉන්දියානු ධීවරයින්ට දොස් පැවරීම ලංකාවේ කොම්පැණි මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කරන ආඛ්‍යානයයි, නමුත් ඉන්දියානු සාගර ටූනා කොමිසමේ (Indian Ocean Tuna Commission-IOTC) නිල දත්ත පෙන්නුම් කරන්නේ යුරෝපීය සංගමයේ ට්‍රෝලර් සමාගම් විසින් විශේෂයෙන් ප්‍රංශය සහ ස්පාඤ්ඤය විසින් කලාපයේ විශාලතම ආසියානු රටවල් ඉන්දියාවට ඉන්දුනීසියාව වඩා මසුන් අල්ලා ඇති බවයි. ඇත්ත වශයෙන්ම, ඉන්දියානු ධීවරයින් මසුන් අල්ලන්නේ උතුරු මුහුදේ මිස ධීවර සම්පත් බහුල ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ හෝ ශ්‍රි ලංකාවට අයත් විශේෂ සාගර ආර්ථික කලාපයේ (Exclusive economic zone-EEZ) නොවේ.

ඉන්දීය ධීවරයින්ට දොස් පැවරීමේ මාධ්‍ය ආඛ්‍යානය විසින් ඉන්දියානු සාගර රටවල් අතර බෙදීම් ප්‍රවර්ධනය කරමින් ඉන්දියන් සාගරයේ දුරස්ථ කලාපයන්හි ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් අධික ලෙස මසුන් ඇල්ලීමට එරෙහිව එම ක්‍රියාව තහනම් කිරීම සඳහා ඉන්දියානු සාගර රටවල් එකමුතු වීම වළක්වයි, “සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්” ලෙස බටහිර මාධ්‍ය විසින් හැඳින්වෙන සන්නද්ධ ධීවරයන් විසින් ප්‍රංශය බටහිර ඉන්දියන් සාගරයේ අධික ලෙස මසුන් අල්ලන විට ඒවා සිය බලය යොදා නැවත අත්පත් කරගැනීම සිදු කරයි. ස්පාඤ්ඤය සහ යුරෝපා සංගමයේ සෙසු රටවලට එරෙහිව ඉන්දියානු සාගරයේ “නව යටත්විජිත කොල්ලය” සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත.

තමන් විසින් සිදු කරන ලද අපරාධය සම්බන්ධයෙන් එම අපරාධයට ගොදුරු වන පුද්ගලයාටම චෝදනා කිරීමේ ප්‍රචාරක උපක්‍රමය සම්බන්ධයෙන් බටහිර අධිරාජ්‍යවාදි ප්‍රචාරක යාන්ත්‍රණය දක්වන්නේ සුවිශේෂී නිර්මාණශීලි බවකි. සෝමාලියානු ජනයාට අයත් ධීවර බිම්වල සමස්ත මත්ස්‍ය සම්පත දැවැන්ත ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණ කොල්ලකන බටහිර සහ ජපන් ධීවර සමාගම් වින්දිතයා බවටත් එයට එරෙහිව සන්නද්ධව සටන් කරන සෝමාලි ධීවරයන් මුහුදු මංකොල්ලකරුවන් බවටත් පත්වන්නේ මෙම ප්‍රචාරක න්‍යායට අනුවය.

මේ අතර දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන විනාශයන් පිළිබඳ ආඛ්‍යානයට සහ සාගර පාරිසරික සංරක්ෂණ කලාපවලට ( environmental protection Areas – MPA)මුවා වී දැවැන්ත බහුජාතික සමාගම් විසින් ධීවර නිෂ්පාදන අංශය ආක්‍රමණය කරමින් සිදු කරන “නීල ආර්ථික සාගර කොල්ලය”(Blue economy Ocean grab ) පිළිබඳව ඉන්දුනීසියානු ධීවර ප්‍රජාව ලෝකයේ අවධානය යොමු කරවා ඇත.
2022 වර්ෂයේ ජූලිමාසයේදී පෘතුගාලයේ ලිස්බන්හිදී පවත්වන ලද එක්සත් ජාතින්ගේ සාගර කටයුතු පිළිබඳ ගෝලීය සම්මේලනයක් පවත්වන ලදි. එහි තේමාව වූයේ “ඉලක්ක 14 වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා නවීකරණය සහ විද්‍යාව මත පදනම්ව සාගරය සම්බන්ධ කටයුතු වේගවත් කිරීම “(Scaling up ocean action based on science and innovation for implementing Goal 14) යන්නයි. එහිදී පවත්වන ලද සිය දේශනය තුළ ට්‍රාන්ස්නැෂනල් ඉන්ස්ටිටියුට් ආයතනයේ පර්යේෂකයෙකු වන කාර්ස්ට්න් පෙඩර්සෙන් (Carsten Pedersen) විසින් පෙන්වා දෙන ලද්දේ ලෝකයේ සාගර ආර්ථිකය වර්තමානයේදී ඉතා දැඩි ලෙස පාරජාතික සමාගම් (TransNational Companies – TNCs) 100ක් විසින් දැඩිලෙස පාලනය කරන බවයි.එම සමාගම් විසින් සාගර ආර්ථික ප්‍රාග්ධනයෙන් 60%ක් සංකේන්ද්‍රණය කරගෙන ඇති බවත් ඔහු විසින් එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ. (මේ පිළිබඳව වැඩිදුර හැදෑරීම සඳහා කියවන්න)

“එක්සත් ජාතින්ගේ සංවිධාන පද්ධතිය තුළ උත්සන්න වෙමින් පවතින බහුජාතික සමාගම්වල ග්‍රහණය විසින් සාගර සම්පත් කොල්ලය වඩාත් තීව්ර කොට තිබේ. මෙම සමාගම් විසින් සාගර ආර්ථිකය තුළ ආයෝජනය කිරීම් සහ මුල්‍ය සම්පත් යෙදවීම් පිළිබඳව දොඩමළු වී සිටිති. සාගර සංරක්ෂණ කලාපයන් [Marine Protected Areas] පිළිබඳව එක්සත් ජාතින්ගේ 2030 න්‍යාය පත්‍රය සඳහා අරමුදල් සපයන්නන් වන දානපති පදනම් ආයතන ද ප්‍රංශය, ජර්මනිය සහ ස්වීඩනය වැනි රටවල්වල මුල්‍යාධාර ලබන සාගර මෙහෙයුම් අරමුදල ( Blue Action Fund ) ද විසින් මෙම සංරක්ෂණ න්‍යාය පත්‍රය පෙරට ගෙන යාම සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියනයක් යොදවා තිබේ. නමුත් මෙම මුදලින් සතයක්වත් ඒ ඒ රටවල ආණ්ඩුවලට හෝ ධීවර ප්‍රජාවන් වෙත නොලැබේ. ඒවායින් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ විශාල ජාත්‍යන්තර සංරක්ෂණ සංවිධාන වෙතය. WFF, Conservation International සහ The Nature Conservancy යනු ඒ අතර කීපයකි. සමහර අවස්ථාවන්හිදී මෙම සංවිධානවල අයවැය ඇතැම් රටවල ධීවර අමාත්‍යාංශවල අයවැයට වඩා විශාලය.”

මේ අතර ශ්‍රී ලංකාව සිර වී ඇති ඩොලර් ණය උගුල සහ තමන් බංකොළොත් බවට එය විසින් කරන ලද ප්‍රකාශය විසින් ගෝලීය සමාගම්වලට සහ වොෂින්ටන් සම්මුතියට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ වෙළඳ ප්‍රතිපත්තියේ අභ්‍යන්තරයටම සිය ආක්‍රමණය විහිදුවාලීමට ඉඩ සලසා ඇත. එමෙන්ම ඒ මගින් දැනට ක්‍රියාත්මක වෙමින් පවත්නා ජාතික ආහාර සුරක්ෂිතතාව, ප්‍රතිපත්ති සහ සංස්කෘතිය පිළිබඳ ව්‍යුහාත්මක ගැලපීම් තුළ විශාල අධිපතිවාදි මැදිහත් වීමක් ඔවුහු සිදු කරමින් සිටිති. මෙය ද්විත්ව අනතුරක්ද නැතහොත් පත්ලටම සූරා කමින් සිදු කෙරෙන මංකොල්ලයක්ද( race to the bottom)?

මේ අතර 2022 නොවැම්බර් දිනැති කඩිමුඩියේ එළි දක්වන ලද පර්යේෂණ” පත්‍රිකාවක් විසින් “කැලරි කාර්යක්ෂමතාව” සඳහා ආනයන ආහාර මත යැපීම යහපත් බව ප්‍රකාශ කරමින් කෘෂිකාර්මික හා ධීවර අංශවල දියත් කෙරෙමින් පවතින ව්‍යුහාත්මක ගැලපුම් සාධාරණීකරණය කිරීමේ උත්සාහයක් දරා ඇත.

මෙම පර්යේෂණ පත්‍රිකාවේ කතුවරුන් කියා සිටින්නේ “ආහාර හිඟයක් සහිත පවුල් විසින් භාවිතා කිරීමට පුරුදුව සිටින ආනයනය කරන ලද ආහාර (කැලරි) වැය කරන මිලට ඉහළම කාර්යක්ෂ්මතාවක් ලබාදෙන බව” සහ “… ධාන්‍ය සහ පරිප්පු, වියලි බෝංචි, කඩල, සෝයා වැනි ආනයනිත ශාකමය ආහාර මත රඳාපවතින නාගරික පවුල්වල ආහාර සඳහා කරන වැයකිරීම්වල ඉහළම කාර්යක්ෂමතාවක් හිමිකරගන්නා බව” ත්ය.

“ අපගේ පර්යේෂණයේ ප්‍රතිඵල විසින් ඉල්ලා සිටින්නේ දේශීය ආහාර නිෂ්පාදනයට හිතකර ප්‍රතිපත්ති සහ ඒ සඳහා වන පක්ෂග්‍රාහීත්වය ආහාර හිඟයෙන් පෙළෙන සහ නාගරික පවුල්වලට අසමානුපාතික ලෙස බලපාන බැවින් ආහාර හිඟයෙන් පෙළෙන සහ නාගරික පවුල්වලට ආනයනික ආහාර අහිමි නොකරන විචක්ෂණ වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසය.” යි එම පත්‍රිකාවේ කතුවරුන් විසින් වැඩි දුරටත් සඳහන් කර තිබේ.”iv

මේ අනුව ගුණාත්මක වශයෙන් ඉහළ දේශීය ආහාර බෝග සංවර්ධනයට සහ ලංකාවට අයත් පුළුල් ධීවර සම්පත් ප්‍රයෝජනයට ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරමින් විදේශ විනිමය ඉතිරි කරගනු වෙනුවට අපනයනය මූලික කොට ගත් ආර්ථික වර්ධනයක් ඇති කරගැනීමේ මුවාවෙන් අපනයනය ඉලක්ක කරගත් ආහාර බෝග වගාවට යොමුවූත් සහ දුප්පත් මිනිසුනට අවශ්‍ය අත්‍යවශ්‍ය කැලරි සහ ප්‍රෝටීන ලබා ගැනීම සඳහා ලාභ බඩඉරිඟු වැනි ආනයනිත ආහාර මත පදනම් වූත් විකාර සහගත ප්‍රතිපත්තියකට ශ්‍රී ලංකා ආණ්ඩුව යොමු විය යුතුයැයි මෙම පත්‍රිකාව විසින් අඟවනු ලබයි.

විවෘත වෙළඳපොළ අපනයන මූලික ආර්ථික වර්ධනය පිළිබඳ සටන් පාඨයට මුවා වෙමින් දේශිය බත් සහ මාළු කෑම වේලට වඩා අඩු පෝෂ්‍ය ගුණයකින් යුතු ලාබ බඩ ඉරිඟු ආනයනය විසඳුම ලෙස හුවා දක්වමින් තිබේ. සාවද්‍ය ලෙස ස්ථානගත කරන ලද ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමුඛතාවන් මේ මගින් පරාවර්තනය වේ. මෙම සාවද්‍ය ප්‍රතිපත්තිය ආනයන වියදම වැඩි කරමින් ණය උගුලේ තවදුරටත් සිරවීමට හේතුවක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ළමුන් ප්‍රෝටීන ඌනතාවන්ට ගොදුරුව දුක් විඳින්නේ ශ්‍රී ලංකාව සතුව මත්ස්‍ය සම්පතින් ගහණ මෙවැනි විශාල මුහුදු කලාපයකට පවතිද්දීය

මේ අතර ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අල්ලන ලද ඉහළ ප්‍රමිතියේ නැවුම් බලමාළු අපනයනයට යුරෝපා සංගමයට සහ ගැඹුරු මුහුදේ මසුන් අල්ලන ට්‍රෝලර් සමාගම්වලට ඉඩ ලබා දෙන රහසිගත ගිවිසුමකට සහ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තැබීමෙන් පසු එමගින් ලබන ලාභය ශ්‍රී ලංකාවට අහිමි වී තිබේ. එයට ආදේශකයක් ලෙස සිදු කෙරෙන ධාන්‍ය ආනයනය විසින් නිසැකවම ප්‍රෝටීන ඌනතාව සහ මන්දපෝෂණය උත්සන්න කරනු ඇත. රට වටා විශාල මුහුදු සීමාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ජාතික ධීවර කර්මාන්තය විසින් දළ දේශිය නිෂ්පාදනය වෙත සිදු කෙරෙන දායකත්වය 2%කට සීමා වී ඇත්තේ දිවයිනට අයත් සශ්‍රික මත්ස්‍ය සම්පත මේ ආකාරයට කුණුකොල්ලයට විදේශ රටවලට සහ සමාගම්වලට විකිණීම හේතුවෙනි.

කෙසේ වුවද කොළඹ ආණ්ඩුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ විවිධ උපදේශකයන් සමග එක්වී “දේශගුණික ව්‍යසනය” පිළිබඳ ආඛ්‍යානය ගොඩ නැංවීම වේගවත් කරමින් සිටියි. ඒ වගා කිරීම, පරිභෝජනය සහ ජාතික ආහාර සුරක්ෂිතතාව මත පදනම් වූ රටාව විශාල වශයෙන් පරිවර්තනය කරමින් “අපනයන ආදේශන” නමින් හැඳින්වෙන ආනයනිත ධාන්‍ය මත රඳා පැවැත්ම තහවුරු කරන ප්‍රතිපත්තියට ආධාර කිරීම සඳහාය. නමුත් දේශගුණික විපර්යාසයන් නිසා සිදුවන වෙනස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය ඉහළ යෑම පිළිබඳවද වගා කළහැකි බිම් ප්‍රමාණය වැඩිවීමට ඇති ඉඩ පිළිබඳව ද වන සාක්ෂි වැඩි වැඩියෙන් ලැබෙමින් පවතින බවට යෝජනා කිරීම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවන් ව්‍යාකූල කිරීමට සහ අවධානය වෙනතකට යොමු කිරීමට ද බලපාන බව පෙනී යයි.

ද්විත්ව ව්‍යසනය සඳහා වන සුපිරි අමාත්‍යාංශය: අපනයන ආදේශනය සහ සාගතය ප්‍රතිපත්තිමය තෝරාගැනීමක් ලෙස

රනිල් වික්‍රමසිංහ සෑම විටෙකම වොංෂින්ටන් සම්මුතියටද එහා ගිය ආන්තික නව ලිබරල්වාදියෙකු විය. ඔහුගේ ආණ්ඩුව විසින් සිදු කරමින් සිටින වෙළඳ ලිබරල්කරණය සහ කෘෂි සහ ධීවර ක්ෂේත්‍රයන්හි සිදුකරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ විසින් පුද්ගලික සමාගම්වල අසීමාන්තික ආක්‍රමණයකට ඉඩ සලසන අතර එමගින් ශ්‍රි ලංකාව සාගත තත්ත්වයකට යොමු කෙරෙමින් පවතී.
පාරිසරික විනාශය හුවා දක්වමින් ශ්‍රි ලංකාව තුළ කාබනික සහ රසායනික පොහොර පිළිබඳ අර්බුදයක් නිර්මාණය කරමින් දේශීය ආහාර නිෂ්පාදනය අඩාල කළ සිය පූර්වගාමියා වූ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන ගෝලීය දේශගුණික ව්‍යසනය පිළිබඳ ආඛ්‍යානය(The Global Anthropocene Climate Catastrophe Narrative) හඹා යමින් රටට අදාළ සුවිශේෂි සංදර්භය නොතකා හැර තිබේ. විශේෂයෙන්ම සාගත තත්ත්වයක් පිළිබඳ අවදානම මතුවෙමින් පවතින සංදර්භයකදී ඔහු ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන ප්‍රතිපත්තියකට යොමු වීමේ අවශ්‍යතාව බැහැර කරමින් ව්‍යසන ධනවාදයට සහ කෘෂි සමාගම්වලටද සාගර සම්පත් කොල්ලකන සමාගම්වලටද උපරිම ලෙස ලාභ ලැබීමට ඉඩ සලසා තිබේ.

ආහාර සංස්කෘතියේ ද ආහාර සුරක්ෂිතතාවයේද විශාල පරිවර්තනයක් සිදු කෙරෙමින් පවතින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්ෂේත්‍රයන් ගණනාවක කටයුතු තමන් වෙතම පවරාගෙන ගොඩ නගාගෙන ඇති සුපිරි අමාත්‍යාංශයක් යටතේය. ඒවා නම් ආරක්ෂක, මුදල්, ආර්ථික ස්ථාවරකරණ, සහ ජාතික ප්‍රතිපත්ති, තාක්ෂණික කටයුතු, කාන්තා කටයුතු, ළමා කටයුතු සහ සමාජීය පරිසර, සහ ආයෝජන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ 11 ය. තමන් යටතේ පවතින මෙම අමාත්‍යාංශවල රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් ඔහු අපේක්ෂා කරන්නේ සියල්ල විකුණා දැමීමේ සිය ප්‍රතිපත්තියට නිහඬව සහාය දැක්වීම පමණි. චීනයට එරෙහි සිය යුද්ධය වේගවත් කරමින් සිටින එක්සත් ජනපදය විසින් තමන්ට ගැති ආර්ථික ඝාතකයෙකු යටතේ පිහිටුවන ලද ආණ්ඩුවක් මගින් උපායමාර්ගික වැදගත්කමක් සහිත මෙම දිවයින මත ඩොලර් ණය යටත්විජිතවාදය තවදුරටත් තහවුරු කර තිබේ.

කාබනික පොහොර වෙත මාරු වීමට දරන ලද උත්සාහය මෙන්ම මත්ස්‍ය ප්‍රෝටීන අත්හැර ආනයනිත බඩ ඉරිඟුවලින් නිෂ්පාදිත සත්වාහාර ලබා දී නිෂ්පාදනය කරන ලද කුකුළු මස් වලට මාරු වීම මහත් ව්‍යසනයක් සඳහා වන වට්ටෝරුවක් මෙන්ම ලබන වසරේදී සිදුවෙතැයි අපේක්ෂා කරන සාගතය සහතික කරන ප්‍රතිපත්තියක්ද වනු ඇත. එමෙන්ම කෘෂි සහ ධීවර කර්මාන්තයට අදාළ ආයතන ද ඒ හා සම්බන්ධ රාජ්‍ය සේවාවන්ද පසුගිය කොවිඩ්-19 ආඛ්‍යානයේ ලොක්ඩවුන් යටතේ දුර්වල කරනු ලැබීම හේතුවෙන් බහුජාතික කෘෂි සහ ධීවර සමාගම්වලට ලංකාවේ ජාතික ආහාර සංස්කෘතිය සහ ආහාර සුරක්ෂිතතාව ආක්‍රමණය කිරීමට ඉඩ සැලසිණ.

වසංගත, සාගතය, භීතිය, දේශගුණික අර්බුදය සහ ණය ගැතිභාවය මැද වේදිකාගත කරන ලද ව්‍යාජ පොහොර අර්බුදය ආදියෙන් සමන්විත ආඛ්‍යානය විසින් කාලයක් තිස්සේfi සිදුවෙමින් පවතින සාම්ප්‍රදායික ආහාර, ආහාර සංස්කෘතියේ සහ පෝෂණ තත්ත්වයන්ගේ සිදුවෙමින් පැවැති පරිවර්තනය මේ වසරේදී වේගවත් කර ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මෙය ද්විත්ව අනතුරක් වෙත වේගයෙන් උත්සන්න වෙමින් පවතින තත්ත්වයක් ද?

ගෝලීය ප්‍රත්‍යාරම්භයන් මැද දේශීය විසඳුම්

ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවට සිය විශේෂ සාගර ආර්ථික කලාපයේ සම්පත් ආරක්ෂා කරගැනීමට සහ උපයෝගී කරගැනීමට රාජ්‍ය මෙහෙයවීම යටතේ වන ක්‍රියාත්මක සැලසුමක් අවශ්‍යය. එමෙන්ම එම සැලසුම මගින් බඩ ඉරිඟු බීජ, ඒ සඳහා වන පොහොර සහ කෘමිනාශක, සත්ව සහ මිනිස් ආහාරය සඳහා බඩඉරිඟු ආනයනය වෙනුවට වී සහ කුරක්කන් වැනි දේශීය බෝග වලට ප්‍රමුඛතාව ලබාදිය යුතුය. එමෙන්ම එම සැලසුම මගින් හරිතාගාර ආචරණය ට මං පාදන වායූන් මුදාහරින රතු මස් නිෂ්පාදනය අඩු කළ යුතුය.

ගැඹූරු මුහුදේ මසුන් මරන රාජ්‍යයන් සමග වන එකඟතාවන් සහ ගිවිසුම් නැවත විමර්ශනයකට ලක් කර ශ්‍රී ලංකාවේ පවත්නා ආහාර සහ පෝෂණ අර්බුදයත් සාගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමත් සැලකිල්ලට ගෙන එවැනි විදේශ රාජ්‍යයන් සමග ඇතිකරගෙන ඇති ගිවිසුම් සහ එකඟතාවන් අත්හිටුවිය යුතුය.එමෙන්ම ප්‍රංශ, ජපන්, කොරියන් සහ වෙනත් පුද්ගලික සමාගම් විසින් පුද්ගලික සහ රාජ්‍ය හවුල් ව්‍යාපාර උපයෝගී කරගනිමින් සිදු කරන ඉන්දීය සාගරයේ ධීවර සම්පත් කොල්ලය තහනම් කළ යුතුය.

මොරිෂස් දිවයිනේ පිහිටුවා ඇති ජපන් ධීවර කඳවුරු විසින් අප්‍රිකානු රටවලට අයත් මුහුදු සීමාවන්හි සහ ඉන්දිය සාගරය තුළ සිය ධීවර මෙහෙයුම් සිදු කරන ආකාරය දැක්වෙන සිතියමක්.

අධික ලෙස මසුන් ඇල්ලීම නිසා ඉන්දීය සාගරය සහ ශ්‍රී ලංකාවේ විශේෂ සාගර ආර්ථික කලාපය තුළ මසුන් ගහණය තුනී වීම සහ වඳවීම වැලැක්වීමට යුරෝපා සංගමය සහ ඉන්දීය සාගරයට අයත් නොවන ගැඹුරු මුහුදේ මසුන් අල්ලන වෙනත් රාජ්‍යයන් සහ සමාගම් විසින් සිදු කෙරෙන මසුන් ඇල්ලීම නැවැත්වීම ක්ෂණික අවශ්‍යතාවයක් වී තිබේ. ඒ අතරම ශ්‍රි ලංකාව ක්‍රමයෙන් සිය ධීවර නිෂ්පාදනය සහ මත්ස්‍ය තෙල් නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුතු කළ යුතුය.

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට නම් මසුන් මැරීමට මුහුදුයාමට භාවිතා කෙරෙන කුඩා බෝට්ටු සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ධීවරයන්ට සහ ගොවීන්ට අවශ්‍යවන භූමිතෙල් සහ ඩීසල් වැනි ඉන්ධන සහන මිලකට ලබාදීමට රජය කටයුතු කළ යුතුය. අවධානයට යොමු කළ යුතු අවසාන සහ වඩාත් වැදගත් කරුණක් වන්නේ දකුණු මුහුදේ මසුන් මැරීම සිදු නොකරන ඉන්දියන් ධීවරයන්ට දෝෂාරෝපණය කරමින් ධීවර කටයුතු පිළිබඳව ඉන්දියාව සමග ගැටුමකට එළැඹෙනු වෙනුවට ශ්‍රි ලංකා රජය ඉන්දියානු රජය සමග සමීපව කටයුතු කරමින් යුරෝපා සංගමය සහ අනෙකුත් ගැඹුරු මුහුදේ මසුන් මරන සමාගම් සහ ඔවුන්ගේ දේශීය එජන්තවරුන්ගේ මසුන් මැරීම තහනම් කරවීම සඳහා කටයුතු කළ යුතුව ඇති බවය. ශ්‍රී ලංකාවේ විශේෂ සාගර ආර්ථික කලාපය තුළ සහ මධ්‍යම ඉන්දීය සාගර කලාපය සිය කොලනි බවට පත්කර ගනිමින් සහ ශ්‍රී ලංකාවට නුදුරු චාගෝස් වැනි දිවයින් තුළ කඳවුරු බඳිමින් මෙම බාහිර රටවල් සහ සමාගම් විසින් දැවැන්ත පරිමාණයෙන් මසුන් මැරීම හේතුවෙන් දැනටමත් හිඟවෙමින් පවතින මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීමටත් වර්ධනයටත් අවස්ථාව සැලසිය හැක්කේ එමගිනි.

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක
සමාජ මානව විද්‍යාඥ

පරිවර්තනය: අජිත් සී හේරත්

සටහන්

Race to the bottom

Race to the bottom යන සමාජ-ආර්ථික යෙදුම භාවිතා වන්නේ විදේශිය ආයෝජනයන් හෝ විදේශීය ආර්ථික ක්‍රියාකාරිත්වයන් ආකර්ෂණය හෝ දිනාගනු පිණිස යම් කිසි රජයක් විසින් සිය රට තුළ බලපවත්නා යම් යම් නීති රීති ඉවත් කිරීම, සමාගම් බදු අඩු කිරීම, ආදිය මගින් ව්‍යාපාර සඳහා හිතවාදි පරිසරයක් නිර්මාණය කිරීම ලෙස සැළකේ. ගෝලීයකරණ ක්‍රියාදාමය උත්සන්නවන විට මෙම ප්‍රපංචය රටවල් අතර කියාත්මක වේ. කිසියම් නිශ්චිත ක්ෂේත්‍රයක වෙළඳාමට හෝ නිෂ්පාදනයට අදාළව භූ ගෝලීය කලාපයන් අතර තරඟය උත්සන්නවන විට මෙය සිදුවීම නිරීක්ෂණය කළ හැකිය. මෙම ක්‍රියාමාර්ගවල අරමුණු ලෙස කම්කරු අයිතීන් ඉවත් කිරීම, නිෂ්පාදන සහ ව්‍යාපාරික වියදම් අඩු කිරීම, පාරිසරික නීති රීති, විශ්‍රාම වැටුප් සඳහා වන අයිතිය ඉවත් කිරීම, අමුද්‍රව්‍ය සහ බලශක්තිය අදාළ ආයෝජකයන්ට පහසු මිලට ලබා දීම, දණ්ඩ මුක්තිය ආදි වරප්‍රසාද මෙහිදී ආයෝජකයන් වෙත පිරි නැමේ. වර්තමානයේදී ශ්‍රි ලංකාවේ සිදුවන්නේ මෙම සියලු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ණය හිමියන් විසින් ශ්‍රී ලංකා ආර්ථිකය ආක්‍රමණය කිරීම සඳහා කොන්දේසි ලෙස ඉදිරිපත් කිරීමයි.

වොෂින්ටන් සම්මුතිය(Washington Consensus)

වොෂින්ටන් හි සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, සහ එක්සත් ජනපද රජයේ භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුව වැනි ආයතන විසින්, ආර්ථික අර්බුද තුළ ගිලී ගිය සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඉදිරිපත් කරන ලද “සම්මත” ප්‍රතිසංස්කරණ මට්ටමේ ලා සැළකෙන ආර්ථික ප්‍රතිපත්ති වට්ටෝරු 10ක් අඩංගු වැඩ පිළිවෙලකි. වොෂින්ටන් සම්මුතිය යන මෙම යෙදුම මුලින්ම භාවිතා කරන ලද්දේ 1989 දී ඉංග්‍රිසි ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් විලියම්සන් (John Williamson) විසිනි.
සාර්ව ආර්ථික(macroeconomic) ස්ථායීකරණය, වෙළඳාම සහ ආයෝජන යන දෙකටම අදාළව ආර්ථිකය විවෘත කිරීම සහ දේශීය ආර්ථිකය තුළ වෙළඳපල බලවේග පුළුල් කිරීම වැනි ක්ෂේත්‍රවල නිදහස් වෙළඳපල ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති මෙම වට්ටෝරුවලට ඇතුළත් විය. විලියම්සන් විසින් වොෂින්ටන් සම්මුතිය යන යෙදුම යොදාගත් අර්ථයට වෙනස් පුළුල් ආකාරයකට ඔහුගේ විරෝධයද නොතකා පසුව යොදාගනු ලැබිණි. මෙම දෙවැනි අර්ථ නිරූපණය අනුව එම යෙදුම භාවිතාකරන ලද්දේ ඉතාම දැඩි ලෙස වෙළඳපළ මත පදනම් වූ ආර්ථිකමය ප්‍රවේශයක් සඳහාය. මෙය ඇතැම්විට වෙළඳපොළ මූලධර්මවාදය නැතහොත් නව ලිබරල්වාදය ලෙස හැඳින්විණි.