ආර්ථිකයට විලාප නැගීමට සැලැස්වීම : ආසියාවේ සියවස තල්ලුවෙමින් ඇත්තේ දෙමුහුන් යුද සමයකටද?

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක

“ ඉතිහාසය පුනරාවර්තනය වෙමින් පවතී. පළමුව ඛෙදවාචකයක් ලෙසය. දෙවනුව විගඩමක් ලෙසය.”

කාර්ල් මාක්ස්

සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදි කඳවුරත් එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදි කඳවුරත් අතර සීතල යුද්ධය උග්‍රව පැවැති 1970 දී චිලියේ මහජන එක්සත් පක්ෂය අති විශාල ජනවරමකින් ආණ්ඩු බලය ලබාගැනීමට සමත් වූ අතර එම පක්ෂයේ නායක සැල්වොදෝර් ඇලන්ඩේ චිලියේ පළමු සමාජවාදි ජනාධිපතිවරයා ලෙස තේරිපත් විය. මේ අවස්ථාවේදී එක්සත් ජනපද ජනාධිපති රිචර්ඩ් නික්සන් විසින් ඇමෙරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවයට දෙන ලද උපදේශය වූයේ චිලියේ ‘ආර්ථිකයට විලාප නැගීමට සලස්වනු’ (Make the Economy Scream) යන්නයි.(1)

ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි සහ තානාපති එඩ්වර්ඩ් කෝරී

ජෝන්. එෆ්. කෙනඩි වර්ගයේ ලිබරල්වාදියෙකු එඩ්වර්ඩ් කෝරි එවකට එක්සත් ජනපද තානාපතිවරයා ලෙස කටයුතු කරමින් කරමින් සිටි අතර ඔහු නික්සන්ගේ එම ප්‍රකාශය පිළිබඳව මෙසේ පවසා තිබේ
“එයින් අදහස් කළේ අපගේ උපරිම බලය යොදමින් චිලිය සහ එහි ජනතාව උපරිම දුෂ්කරතාවන්ට පත් කිරීමටත්, දුප්පතුන් බවට පත්කිරීමටත් කටයුතු කළ යුතුය ” යන්නයි.
ඇලන්ඩේ පත්වීමෙන් පසුව එක්සත් ජනපදය චිලියට ආර්ථික ආධාර ලබා දීම නතර කළ අතර ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථා ද අවහිර කරන ලදි. එක්සත් ජනපදය විසින් චිලිය තුළ දැවැන්ත අසත්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් සහ රට අස්ථාවර කිරීමේ ව්‍යාපාරයක් දියත් කරන ලද බව නෝම් චොම්ස්කි (2) විසින් ලියා තිබේ.
CIA සංවිධානය විසින් චිලියේ ඉතා ප්‍රබල පුවත්පතක් වූ “එල් මර්කුරියෝ ”(El Mercurio) හි විවිධ අසත්‍ය පුවත් පැල කරන ලදි. එමෙන්ම කම්කරු කැළැඹීම්, පෙළපාළි, විරෝධතා සහ වැඩ වර්ජන සඳහා ජනතාව සිය ඒජන්තයන් හරහා පොළඹවන ලදි. මෙම උපක්‍රම CIA විසින් අනුගමනය කරන ලද මෘදු උපක්‍රම ගණයෙහි ලා සැළකෙන ඒවාය. සැබැවින්ම දැඩි උපක්‍රම ද ක්‍රියාවට නැගෙමින් පැවතිණි.

ජෙනරාල් පිනෝෂේ

වසර තුනකට පසුව එක්සත් ජනපදයේ CIA සංවිධානය විසින් සංවිධානය කරන ලද කුමන්ත්‍රණයක් මගින් වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වූ ජනාධිපති ඇලන්ඩේව මරාදමනු ලැබිණි. ඉන් පසුව චිලියේ ඉතා මර්දනකාරි සහ ඇමෙරිකානු ගැති දක්ෂිණාංශික හමුදා රජයක් පිහිටුවන ලදි. රටේ නායකත්වය උදුරාගත් ජෙනරාල් ඕගස්ටෝ පිනෝෂේ වසර 17ක් පුරා චිලිය පාලනය කළේය. ඔහුගේ පාලනය තුළ පුද්ගල ඝාතන, අතුරුදහන් කිරීම්, සමූලඝාතන , “Operation Colombo ” වැනි රහසිගත යුද මෙහෙයුම්, ඇතුළු දැවැන්ත මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සිදු විය. ඇලන්ඩේගේ රජය පෙරළා දැමීමත් සමගම එක්සත් ජනපදයේ ආධාර සහ ආයෝජන චිලිය තුලට ගලා ඒම ආරම්භ විය.

ඇලන්ඩේගේ ඝාතනය විසින් විසින් වරෙක චිලියේ කවි පබ්ලෝ නෙරූදා විසින් “ මහ සයුර, හිම සහ වයින් මත පාවෙන දිගු මල්පෙත්ත ” ලෙස හඳුන්වන ලද චිලී දේශයේ ඉතිහාසය දිශානතිය වෙනස් කෙරිණි. හමුදා කුමන්ත්‍රණයෙන් දින 12 කට පසුව චිලියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුවූත් ඇලන්ඩේගේ රජයේ උපදේශකයෙකු වූත් චිලියේ ප්‍රසිද්ධ කවියෙකු වූ පබ්ලෝ නෙරූදා අභිරහස් මරණයකට ගොදුරු විය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ලේඛන මහජනතාවට විවෘත කිරීමෙන් පසුව සහ ස්වාධීන පරීක්ෂණයකින් පසුව 2015 දී චිලියේ පැවැති ආණ්ඩුව ප්‍රකාශ කළේ නෙරූදා මරා දමන ලද්දේ 1973 කුමන්ත්‍රණ සැලසුමේම කොටසක් ලෙස බවයි

1973 චිලි හමුදා කුමන්ත්‍රණය මෙහෙයවීමෙන් වසර තුනකට පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ CIA සංවිධානය විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් මගින් “ආර්ජන්ටිනියානු ආර්ථිකයේ ගෙක සිර කර එයට විලාප නැගීමට සලස්වමින්” 1976 දී තවත් දකුණු ඇමෙරිකානු රටක් වූ ආර්ජන්ටිනාවේ ඉසබෙල් පෙරෝන්ගේ(Isabel Peron) ආණ්ඩුව පෙරළා දමා එහි මිලිටරි ජුන්ටා ආණ්ඩුවක් පිහිටුවන ලදි. මෙමගින් රට තුළ සිවිල් යුද්ධයක් ඇති කරන ලද අතර 1976-83 අතර කාලයේදී පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අතුරුදහන් කිරීම් සිදු විය.

ශ්‍රි ලංකාව මෙන්ම ආර්ජන්ටිනාව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදිය සමග විවිධ ගිවිසුම් අත්සන් කර තිබිණි. දැන් නැවතත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබෙද්දී බුවනෝස් අයර්ස් නගරය පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි විරෝධතා ව්‍යාපාර පැන නැගෙමින් පවතී. මොන්රෝ ගිවිසුම නැමැති එක්සත් ජනපද යකඩ සපත්තුවට පෑගෙමින් විලාප නගන ආර්ජන්ටිනාවට දැන් එහි 21 වැනි මූල්‍ය ඇප වීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව බල කරමින් සිටිති. (3)

වෙනත් මහාද්විපයක් තුළ ඉතිහාසය විගඩමක් ලෙස පුනරාවර්තනය වීම

වර්තමානයේදී ශ්‍රි ලංකාවේ කොළඹදී සමාජය සහ ආර්ථිකය විලාප නගමින් සිටිති.
එය එක්සත් ජනපදයේ තවත් කොළඹ මෙහෙයුමක් (Operation Colombo) මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි නමුත් එය එක්සත් ජනපදයේ සංවිධානයේ CIA පිටුබලය සහිතව චිලියේ ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිවාදීන් අතුරුදන් කිරීම සඳහා යොදාගත් Operation Colombo හා සමාන නොවේ.

මේ වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් ණය ගෙවා ගත නොහැකියැයි පවසමින් රට බංකොලොත් බව නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසුව ඉන්ධන හිඟයක් කෘත්‍රීම ලෙස නිර්මාණය කරන ලද අතර සහ ජීවන වියදම බරපතල ලෙස ඉහළ යාම සිදු විය. ඒ හේතුවෙන් පැන නැගි “අරගලයේ ” පසුබිම තුළ සිදු කරන ලද ආණ්ඩු වෙනස් කිරීමේ මෙහෙයුමක් මගින් ජූනි මාසයේදී අර්ධ ආණ්ඩු වෙනසක් සිදු වූ අතර ඒ හරහා ඇමෙරිකන් හිතවාදි රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට පත් විය.

මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ලද සුබසාධන සහ රජයේ වියදම් කප්පාදුව ආරම්භවූයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් භූගෝලීය සන්ධිස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව ණය උගුලක සිරවීම සහ බංකොළොත් වීම පිළිබඳව වගකිව යුතු බටහිර මූල්‍ය සමාගම් සමග ඒ සඳහා වන ඇප ගිවිසුම අත්සන් තැබීමටත් පෙර සිටමය. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය සිය මූලස්ථානය කොටගෙන ක්‍රියාත්මක වන බ්ලැක්රොක් සමාගම ශ්‍රි ලංකාවේ ප්‍රධානතම ණය හිමියාය. ලෝකය පුරා කොවිඩ්-19 ලොක්ඩවුන් මගින් බංකොලොත් කරන ලද ආර්ථිකයන් සහිත රටවල සම්පත් මිලදී ගැනීම සඳහා 2020 දී එක්සත් ජනපද ආණ්ඩුවේ කොවිඩ්-19 ඇප අරමුදල්වලින් (bailout funds) විශාල කුට්ටියක් හිමිකරගත් බ්ලැක්රොක් මූල්‍ය සමාගම වනාහි ලංකාවේ ස්වෛරී ණය වලින් විශාලතම ප්‍රතිශතය අයත් පාර්ශ්වයයි. මේ අතර බ්‍රිතාන්‍යයේ පළමු යටත් විජිතවලින් එකක් සහ ලෝකයේ බදු වංචනිකයන්ගේ ප්‍රියතම මූල්‍ය තිප්පලක් වන කැරිබියන් දූපත්වල සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස් (St. Kitts and Nevis) හි හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ඩොලර් මිලියන 250ක ණය සහ වාරික ගෙවීම අත්හිටුවීම පිලිබඳව ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පවරා ඇත

මේ අතර ඩොලර්-ණය යටත් විජිතවාදය හමුවේ ශ්‍රී ලංකාව අඳුරු අනාගතයකට මුහුණ පා සිටියි.
එක්සත් ජනපදයේ අධිපතිවාදි විදේශ ප්‍රතිපත්තිය පෙරට ගෙන යාම සඳහා ආයුධයක් බවට පත් කර ඇති ඩොලරයට එරෙහිව රුපියලේ අගය දිනපතා පහත වැටෙමින් පවතී. ඩොලරයේ නැගීම විසින් ඩොලර්වලින් ලබාගෙන ඇති විදේශ ණය ගෙවීමේ දේශිය මුදලේ පිරිවැය සංකීර්ණත්වයට පත් කර තිබේ

2021 නොවැම්බරයේදී ලෝක බැංකුවේ දකුණු ආසියාතික අංශයේ උප සභාපති හාර්ට්විග් ෂාෆර් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග උද්ගත වෙමින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදි. හාර්ට්විග් ශ්‍රි ලංකාවේ දින 4ක සංචාරයක නිරත විය.

එනිසා සමහර විශ්ලේෂකයන් විසින් නිර්-ඩොලර්කරණය සහ විවිධ මුදල් වර්ග භාවිතය සඳහාත් තෙල් සහ ගෑස් රුසියාවෙන් ලබාගන්නා ලෙසත් යෝජනා ඉදිරිපත් කර තිබේ. බටහිර රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවන ලද නමුත් ඇමෙරිකන් ඩොලරයට එරෙහිව වඩ වඩාත් ශක්තිමත් වෙමින් පවතින එකම මුදල් ඒකකය රුසියානු රූබලයයි. පසුගිය සතියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව අතර පැවැති හමුවීම්(4) පිළිබඳ වාර්තා සත්‍යයක් නම් ආර්ජන්ටිනාවේ සිට ශ්‍රි ලංකාව දක්වා සිදුවෙමින් පවතින ගෝලීය-දේශීය ණය ගැති පාලනය සහ එහි අසාර්ථක ප්‍රතිපත්ති දිගටම පවතිනු ඇත.(4)

විරෝධතාවන් පෙරටම ඇදෙමින් පවතිද්දී දේශපාලන සරදමකට මෙන් කොළඹ මානව හිමිකම් ක්‍රියාකාරින් සමහරෙකු සහ “අරගලයේ සුපිරි තාරකාවන් ” අතරින් සමහරෙකු චිලියේ හමුදා ආණ්ඩුවේ විරුද්ධවාදින් 119ක් අතුරුදන් කළ “1973 ඔපරේෂන් කලම්බු ” ගැන අසා ඇති බවක් පෙනී යයි. ප්‍රචාරක මෙහෙයුම් මැද උත්සන්නවන අමතක වීමේ රෝගයද, පශ්චාත් යටත්විජිත පුරෝගාමී මවාපෑම් සහිත ඇල්බඩෝර් වැනි ෆැන්ටසි චිත්‍රපට සහ එක්සත් ජනපදයේ “ මා ද ගොදුරකි” ව්‍යාපාරයේ ( ‘me too movement’) ආවේගශිලිත්වයද අධ්‍යක්ෂ හඳගමගේ හොඳම උත්සාහයන් සහිතව වුව ද කෆ්කාසියානු සිහිනයක් බවට පත්ව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතනවල මංකොල්ලකාරි පිළිවෙත් හේතුවෙන් සිය ආර්ථික ජීවිතය බිඳ වැටීම නිසා හටගත් ජනතා විරෝධය ගසාකමින් “විරෝධතාවයේ ” නිරතවන ඇතැම් “ අරගල කණ්ඩායම්” අත දක්නට ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට පක්ෂපාති සටන්පාඨ පුවරුය.

මෙම වසරේ අප්‍රේලයේදී ඉතිහාසයේ පළමු වතාවට සිය ණය ගෙවිය නොහැකි බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් මවාපාන ලද බංකොළොත් බවට පසුව, ඉන්දිය සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ලක්ෂ්‍යයක පිහිටා ඇති මෙම දිවයින එක්සත් ජනපදයේ පූර්ණ සර්ව-මාන ආධිපත්‍යයවාදයේද( Full-spectrum dominance-FSD), සයිබර් මෙහෙයුම් වලට ඉඩ සලසන ඩිජිටල් යටත්විජිතවාදයේද ණය උගුල් මත පදනම් නව යටත්විජිතවාදයේද, ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර හා සම්බන්ධිත ඇප ලබා දීමේ ජාවාරම්වලද ගොදුරක් බවට පත් වී ඇති බව වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී.(5)

කෙසේ වුව ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝ-ඇමෙරිකානු ජාතින්ට අයත් පුද්ගලික ණය දෙන්නන්ගේ සංවිධානයවන පැරිස් කණ්ඩායම විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවලට සහභාගිවන ලෙස ශ්‍රි ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන් වෙත එනම් චීනය සහ ඉන්දියාව වෙත කරන ලද ආරාධනයට ඔවුන් විසින් ප්‍රතිචාර දක්වා නොමැත යන කාරණාව සැළකිල්ලට ගෙන වොෂින්ටනයට යටත්වීමේ මාර්ගයට වෙනස් විකල්ප මාවත් වෙත යොමුවීම ශ්‍රී ලංකාවට ගතහැකි වඩාත් ඥානාන්විත පියවර වනු ඇත.

කෙසේ වුවද මේ සියල්ලෙන් පසුව වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වී ඇත්තේ ඩොලර් බිලියන 2,9ක නොවැදගත් ණය මුදලකි. එයද ලබා දෙනු ඇත්තේ වසර 4ක් පුරා කඩින් කඩය. එමගින් සිදු කෙරෙනු ඇත්තේ ආර්ථිකයට සහ සමාජයට “කම්පන ප්‍රතිකාරයක්” ලබාදීමත් තවදුරටත් බ්ලැක්රොක් වැනි පුද්ගලික මූල්‍ය සමාගම්වලින් ණය ලබාගැනීමේ අවස්ථාව විවර කර දීමත්ය. එමගින් අවසානයේදී සිදුවනු ඇත්තේ වර්තමාන ණය උගුලේ තවදුරටත් සිරවීමට සිදුවීම පමණි. සත්තකින්ම වඩාත් තාර්කික පියවර වන්නේ සියළු ණය ගෙවීම අත්හිටුවීම සහ ශ්‍රි ලංකාවේ ණයවලින් 50%කට හිමිකම් කියන පුද්ගලික මූල්‍ය අංශයෙන් ණය ලබාගැනීම තහනම් කිරීමත් පමණි.

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමිකරුවන් වන චීනය සහ ඉන්දියාව “ ප්‍රශ්නයේ බර බෙදා හදා ගැනීමේ ” නාමයෙන් ණය අඩු කිරීමේ “හෙයාර් කට්” එකක් සඳහා අනෙකුත් ණය හිමියන් සමග ( “පොදු රාමුවක්” තුළ සම්බන්ධ කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍යව තිබේ.
නමුත් මෙම ආසියානු දැවැන්තයන් ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය ( Organization for Economic Corporation and Development – OECD) සංවිධානයේ පැරිස් කණ්ඩායම වෙනුවෙන් ජපානය විසින් කරන ලද ආරාධනය පිළිගෙන යුරෝ-ඇමෙරිකන් පුද්ගලික ණය බැඳුම්කර වෙළෙන්දන් සමග වාඩි වී සාකච්ඡා කිරීමට කැමැති වනු ඇත්දැයි යන්න තවමත් ප්‍රශ්නයක් ලෙසම ඉතුරුව තිබේ.

ඉන්දියානු සාගර කලාපය සහ ආසියාව ගෝලීය වර්ධනයේ මධ්‍යස්ථානය බවට පත්වෙමින් උදාවෙන ආසියානු නවෝදයේ සියවස තුළ ඉන්දියාව සහ චීනය පිළිබඳව සැළකිල්ලට ගත යුතුව ඇත්තේ යුරෝ-ඇමරිකානු පැරිස් සමාජය සහ වොෂින්ටන් සන්ධානය සමග තරඟ වැදීමේ හැකියාව සහ තමන්ගේම භූ දේශපාලනික අරමුණු සහිත රාජ්‍ය පාර්ශ්වයන් ලෙසය.
එහෙයින් ශ්‍රි ලංකාවේ මහ බැංකුව සහ ශ්‍රී ලංකා රජය කළ යුතුව ඇත්තේ පැරිස් කණ්ඩායම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජපානය විසින් මෙහෙයවන මෙහෙයවන ආධාර ලබාදෙන්නන්ගේ රැස්වීම්වලින් සහ පොදු රාමුවෙන් ඉවත් වී මෙම ආසියානු දැවැන්තයන් සමග සෘජුවම සම්බන්ධ වී ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහ ධරණීය සංවර්ධනයේ මාවතක් තෝරා ගැනීම නොවේද? මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් කණ්ඩායම විසින් මෙහෙයවන ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාදාමය සැම්බියාවට ණය පිළිබඳ යුක්තිය ඉටු කරන ලෙස මෑතකදී බ්‍රිතාන්‍ය යෙන් ඉල්ලා සිටි ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

ආසියාවේ 21 වැනි සියවස තුළ ගෝලීය ආර්ථිකයට විලාප නැංවීමට සැලැස්වීම

ලෝක ඉතිහාසයේ වසර 200ක යුරෝ ඇමෙරිකානු ගෝලීය ආධිපත්‍යයට පසුව නැගී එන ආසියානු නවෝදයේ සියවස විසින් ශ්‍රි ලංකාවම දෙවන යටත් විජිතවාදයේ සහ දෙවන සීතල යුද්ධයේ පෙරමුණු සටන් අතර ස්ථානගත කර තිබේ. මෙය ආසියානු සියවස ලෙස සැළකෙන්නේ මෙම සියවස තුළ ආසියාවේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික සහ ජනගහණ රටාවන් ගේ වර්ධනය වන රටාවන් විසින් ආසියාවේ ආධිපත්‍යය තහවුරු කෙරෙමින් පැවතීම නිසාය.(6)

ලෝකය පුරා මිලිටරි කඳවුරු 750ක් පවත්වාගෙන යමින්ද සම්බාධක පැනවීමේ අත්තනෝමතික බලය උපයෝගි කරගනිමින් ගෝලීය මුදල් සංචිතය ආයුධයක් කරගනිමින්ද පොලී අනුපාතයන් ඉහළ දමමින්ද පවත්වාගෙන යන ආධිපත්‍යය අත්හැර දමමින් “ ජිවිතයේ සැඳෑ සමයේ අවසන එයින් සන්සුන් ලෙස සමුගන්නා වියපත් මිනිසෙකු මෙන්” සමුගැනීමට එක්සත් ජනපදය සුදානම් නොවන බව වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී. ඒ වෙනුවට පෙන්නුම් කරමින් ඇත්තේ ශීඝ්‍රයෙන් ඉහළ යන සම්බාධක පැනවීම් සහ ඇමෙරිකානු මධ්‍යම බැංකුව ( Federal Reserve) විසින් ඉහළ දමන පොලී අනුපාතයන් හේතුවෙන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ විසින් නිර්මාණය කරගත් උද්ධමනය ගෝලීය ආර්ථිකයේ ගෙල මිරිකීම මගින් එක්සත්ජනපදය විසින් ලබාගැනීමට උත්සාහ දරන “විසඳුමක්” ලෙසයි.

මෙය ආසියානු සියවස විනාශකරලීම සඳහාත් සඳහා මතුවෙමින් පවතින නව ආර්ථිකයන් තුලින් වාසි ලැබූ ගෝලීයකරණය ප්‍රති-ආකෘතිකරණයකට ලක් කිරීම මගින් අර්බුදයට ලක්ව ඇති යුරෝ-ඇමෙරිකන් මූල්‍ය සහ මිලිටරි අධිරාජ්‍යයේ අවශ්‍යතාවන් වෙනුවෙන් සේවයෙහි යොදා ගැනීම සඳහාත් දැරෙමින් පවතින උත්සාහයක්ද?
එය එසේ නම්, කොවිඩ්-19 වසංගත ලොක්ඩවුන් හේතුවෙන් සිදු වූ ආර්ථිකමය විනාශයට පසුව ඩොලර් ණය සුනාමියකට මුහුණ දී ඇති ගෝලීය දකුණේ රටවල් නැමැති ගල් අඟුරු පත්ලේ කැනරි පක්ෂියාගේ තත්ත්වයට ඉන්දියානු සාගරයේ මැද පිහිටා ඇති ශ්‍රි ලංකාව පත්ව ඇති බව පැහැදිලිය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් මේ මාසයේ වොෂින්ටනයේදී පවත්වන ලද හමුවේදී අවධානයට ලක් වූ කරුණු වූයේ එක්සත් ජනපදය සහ යුරෝපය තුළ පවත්නා ඉහළ පොලී අනුපාතයන් සහ උද්ධමනය පිළිබඳවත් අඳුරු අනුමාන සහිත යුක්‍රේන යුද්ධය පිළිබඳවත්ය. යුරෝ කලාපයේ “සාරවත් මුදල් මුද්‍රණ යන්ත්‍රය” පිළිබඳව හෝ එක්සත් ජනපද ආණ්ඩුවේ ඩොලර් ට්‍රිලියන 31ක දැවැන්ත ණය කන්දරාව පිළිබඳව කිසිවෙකු විසින් මෙහි ලා සඳහන් කර නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ඇතිවිය හැකි විනාශකාරි තත්ත්වයන් පිළිබඳව අනුමාන කිරීම් බොහොමයක් පැවතුණද ගෝලීය දකුණ ගොදුරු වෙමින් පවත්නා ණය සුනාමිය සහ දිළිඳුකම පිළිබඳවත් ලෝකයේ වර්ධනය වෙමින් පවතින විෂමතාවන් පිළිබඳවත් ඔවුන් සතුව කිසිදු විසඳුමක් නැත. කොවිඩ්-19 පිටුපස වන බිහිසුණු සැලසුම් පිළිබඳව යම් සංඥාවක් වොෂින්ටන් සම්මුතියේ (Washington Consensus) තේමා ගීතය වන the worst is yet to come” අඩංගු වේ. ඒ අනුව ඔවුහු ආර්ථිකය විනාශ කර සමාජයට විලාප නැගීමට සලස්වන සිය “විසඳුම් දියත් කර ඇති අතර ”ගෝලීය ආර්ථිකයට “ නරකම දේ තාමත් සිදුව නැත.” පසුගිය වසර දෙක පුරාම අපි එය නැවත නැවතත් අසා ඇත්තෙමු.

රජයේ වියදම් සහ සුබසාධන වියදම් කපා හැරීම, වැඩ කරන ජනතාව වෙත දැවැන්ත බදු ගාස්තු පැනවීම ඇතුළු ආර්ථිකය හකුළුවන නිර්දේශ සහිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙම අසාර්ථක වට්ටෝරුව ශ්‍රි ලංකාව වෙත ද ඉදිරිපත් කර තිබේ. එමගින් 2023 පිළිබඳව ඔවුන්ගේම විනාශකාරි අනුමානයන් යථාර්ථයක් බවට පත් කිරීමටත් ආර්ථිකයට විලාප නැගීමට අවශ්‍ය තත්ත්වය ගොඩනැගීමටත් කටයුතු කර තිබේ. මෙවර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බල කෙරෙන ප්‍රතිසංස්කරණ අතර ගෑස්, ඉන්ධන, විදුලිය‍, ජලය සඳහා අධික මිල ගණන් අය කිරීම ආදිය වෙයි. තමන් විසින් කිසිසේත්ම වග නොකිව යුතු ජාත්‍යන්තර ණය කන්දරාවකට යටවී ඇති අවාසනාවන්ත පුරවැසියන්ගේ තත්ත්වය ඉහළ යන ජීවන වියදම විසින් තවදුරටත් අයහපත් කරමින් පවතී.

“ඉදිරියෙන්ම සිටින වෙළඳපොලවල් ” (Frontier Markets) ලෙස ඔවුන් දකින රටවලට ඉහළ පොළී අනුපාතයන්ට ණය ලබා දෙමින් විශාල වශයෙන් ලාභ උපයන ලද පුද්ගලික මුල්‍ය සමාගම් දැන් උත්සාහ දරමින් සිටින්නේ ලංකාව තමන් බංකොළොත් බව ප්‍රකාශ කිරීම හේතුවක් කරගනිමින් රටට බලහත්කාරයෙන් ඇතුළු වී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වෙන්දේසියේ දමා ඇති ශ්‍රි ලංකාවේ උපායමාර්ගික වත්කම් සහ රාජ්‍ය ව්‍යාපාරවලින් ලාභ ලැබීමටය. මෙම වෙන්දේසියේ දමන ව්‍යාපාර සහ වත්කම් අයත් වන්නේ ඉඩම්,වාරිමාර්ග, බලශක්තිය, ප්‍රවාහනය, ටෙලිකොම් යටිතල ව්‍යුහයන්, වාරිමාර්ග සහ ජලාශ ආදි ක්ෂේත්‍රයන්ටය. ඊනියා “ඉදිරියෙන්ම සිටින වෙළඳපොලවල” ඔවුන්ගේ සමපේක්ෂන ආයෝජනවල පිරිවැය දැරීමට බල කෙරෙනු වෙනුවට, මෙම OECD ණය හිමියන් දැන් නැවතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දුප්පත් රටවල “ ණය කප්පාදුවට ”( IMF-PC Debt Haircut) පෙර ප්‍රතිලාභ ලබා ගැනීමට උත්සාහ කරති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම යටතේ දැන් සිදුවෙමින් පවතින පොදු දේපොල සහ ජාතික සම්පත් වෙන්දේසිය ශ්‍රී ලංකාව දැන් ඩොලර් ණය යටත්විජිතවාදී උගුලේ ගෙල මුලින්ම සිර වූ ගොදුරක් බව පෙන්වන සාක්ෂියකි. එය සිදු වූයේ ආර්ථිකය විලාප නැගීමට සලස්වනු වස් දියත් කරන ලද වසර 4ක දෙමුහුන් ආර්ථික යුද්ධයක බාහිර කම්පනයන් විසිනි.

ඩොලරයට එරෙහිව රුපියලේ අගය තවදුරටත් බාල්දු වෙමින් පවතින අතරතුර ඉතා වටිනා රාජ්‍ය ව්‍යවසායන් සහ බලශක්ති යටි ව්‍යුහයන් පාර්සල් කොට ණය හිමියන්ට සහ බ්ලැක්රොක් වැනි කොල්ලකාරී සමාගම්වලටද අදානි සහ අම්බානි වැනි ඔවුන්ගේ හවුල්කරුවන්ටද විකුණා දමා තිබේ.(5)

ගෝලීය ආර්ථිකය විලාප නගද්දී, ශ්‍රි ලංකාව තුළ කෘත්‍රිම ලෙස ඇති කරන ලද දේශපාලන සහ ආර්ථික කැළැඹීම විසින් වොෂින්ටන් සම්මුතියට (Washington Consensus) ලංකාවේ ආර්ථික සහ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳවත්, දේශපාලන ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය පිළිබඳවත් පාලනය සියතට ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙමගින් ඩොලර් භාවිතයෙන් ඉවත්වීමට හෝ බටහිර සම්බාධකවලට ඉලක්ක වී ඇති රුසියාවෙන් අඩු මිලට තෙල් හෝ ගෑස් මිලදී ගැනීමට හෝ නොහැකි තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

ජෝන් පර්කින්ස් (John Perkins) ගේ ජනප්‍රිය කෘතිය වූ “ ආර්ථික ඝාතකයෙකුගේ පාපෝච්චාරණය” (Confessions of an Economic Hit Man) විසින් එක්සත් ජනපද ඩොලරය වටා ගොඩ නගන ලද ණයගැති සහ ණයහිමි සම්බන්ධතාවද නියෝග මත පදනම් වූ ක්‍රමය(rules-based order) පරිපාලනය කිරීම සඳහා නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ආයතන ද විසින් ස්වාභාවික සම්පත්වලින් ගහණ නමුත් දුප්පත්භාවයේ ගිලී නොනැසී සිටීමට වෙර දරන ජාතින්ගේ ස්වෛරීත්වය අහිමි කෙරෙමින් පවතින ආකාරය මැනවින් විස්තර කර තිබේ. මෙම සැලසුම තුල ආණ්ඩු පමණක් නොව සම්පූර්ණ ජනගහණයම මෙම ඩොලර් උගුල තුළට අසරණව ඇද වැටී තිබේ.

දෙමුහුන් ආර්ථික යුද්ධයේ බාහිර ආර්ථික කම්පන ප්‍රහාරයන්

ලංකාවේ ණය අර්බුදයේ මූලික හේතුව අයහපත් පරිපාලනය සහ දූෂිත දේශපාලනයයි. නමුත් පසුගිය වසර 4 පුරා බාහිරින් එල්ලවුණු දෙමුහුන් යුද්ධයක ආකාරය ගත් ආර්ථික කම්පන ප්‍රහාරයන් ද ශ්‍රි ලංකාව මෙම ණය උගුලේ සිරවීම කෙරෙහි විශාල වශයෙන් දායක වී තිබේ.

රටේ ආර්ථිකයට එල්ලවූ බාහිර ප්‍රහාර මාලාව තුළ වැදගත් තැනක් හිමි කරගන්නේ 2019 පාස්කු ඉරිදා ISIS සංවිධානයේ නමින් කතෝලික දේවස්ථානවලට සහ සංචාරක හෝටල්වලට එල්ල වූ අභිරහස් ප්‍රහාරයයි. සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ ශ්‍රි ලංකාවේ ආර්ථිකයට මෙමගින් මාරාන්තික හානියක් සිදු විය. ඉන් පසුව 2020 වසරේ කොවිඩ්-19 ප්‍රෝඩාව සමස්ත ලෝක ආර්ථිකයම එල්ල කරමින් සිදු කරන ලද දෙමුහුන් යුද ප්‍රහාරයක් විය. වසංගත මර්දනය මුවාවෙන් සිදු ලොක්ඩවුන් විසින් රටේ ආර්ථික ක්‍රියාවලිය මුළුමණින්ම නතර කරන ලදි. ඉන් පසුව ආහාර පිසීම සඳහා භාවිතා කරන ගෑස් ටැංකි අභිරහස් ලෙස පුපුරා යාමත් රට තුළ කෘත්‍රිම ගෑස් හිඟයක් නිර්මාණය වීමත් සිදු විය. හිටි හැටියේම රසායනික පොහොර ආනයනය නතර කිරීම මගින් රටේ වී ගොවිතැන සහ එහි අස්වැන්නට බරපතල හානියක් සිදු කරන ලදි. ඒ හේතුවෙන් සහල් මිල ඉහළ යාම ආරම්භ වූ අතර සෙසු ආහාර ද්‍රව්‍ය වල මිලද ඉහළ යන්නට පටන් ගත්තේය. රටේ විදේශ විනිමය සංචිත හිඟවන ආකාරය පිළිබඳව දෛනිකව මාධ්‍ය වාර්තා පලවූ අතර අවසානයේදී ඉන්ධන, ඖෂධ ඇතුළු සහ වෙනත් අත්‍යාවශ්‍ය දේවල් ගෙන්වීමට පවා රටතුළ විදේශ විනිමය නැති බව ප්‍රකාශයට පත් කරන ලදි. ඉතා කුමන්ත්‍රණකාරි ක්‍රියාදාමයකින් පසුව රට ආර්ථික වශයෙන් බංකොළොත් බවට පත් වී ඇතැයි එහි ණය හිමියන් වෙත දන්වන ලදි. ඒ අතර ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව අතර නොසන්සුන්තාව වර්ධනය වෙද්දී සමාජමාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයන් පිරිසක් “ අරගලයක් ”අරඹන ලදි. එමෙන් බාහිර බලපෑම් යටතේ තවත් දෙමුහුන් යුද උපක්‍රමයක් ලෙස සැලකිය හැකි නීතිමය ක්‍රියාමාර්ග රුසියානු ගුවන් යානාවකට එරෙහිව ගනු ලැබිණි. එමගින් තවදුරටත් රුසියාවෙන් පහසු මිලට ඉන්ධන ගැනීමට තිබූ අවස්ථාවන් කඩා කප්පල් කර දමන ලදි. නයෝමි ක්ලයින් ගේ ආපදා ධනවාදය කාතියේ විස්තර වන යාන්ත්‍රණය ලංකාව තුළ මේ අයුරින් විවෘතවම ක්‍රියාවට නැගිණි.

ISIS සංවිධානය විසින් දියත් කරන ලදැයි කියැවුන අභිරහස් පාස්කු ඉරිදා ප්‍රහාරයන් ගේ ඉලක්කය වූයේ වෙරළාසන්න සංචාරක හෝටල් වන අතර එය සෘජු ලෙසම සංචාරක කර්මාන්තයේ බිඳවැටීමට බලපෑ අතර පසුව පැනැවුණු ආරක්ෂක ඇඳිරි නීති සහ සීමා කිරීම් හේතුවෙන් ධීවර ප්‍රජාවගේ ජීවිකාව ද වේගයෙන් බිඳ වැටිණි. මේ සියලු සිදුවීම් ආර්ථිකයට එරෙහිව සිදුවෙමින් පවතින අතර 2019 ජූලි වලදී ලෝක බැංකුව විසින් ඉතා ගැටළු සහගත ලෙස “ ශ්‍රි ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ” (Upper Middle Income Country- MIC)) ලෙස “ ඉහළ දමමින් ” එය වෙත තවත් උගුලක් අටවන ලදි. යම් රටක් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් (MIC) ලෙස නම් කිරීම මගින් සිදුවන්නේ එම රටට සහනදායී පොලී අනුපාතයන් යටතේ ණය ගැනීමට ඇති අවස්ථා සීමා කිරීමයි. එමගින් එම රටවලට අතර එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ පුද්ගලික ප්‍රාග්ධන වෙලඳපොලවලින් ණය ගැනීමට බල කරයි. දැනට උපාය මාර්ගික වැදගත් කමකින් යුතු ස්ථානයක පිහිටා ඇති ශ්‍රි ලංකාවේ ණය වලින් 47%ක් අයත්වන්නේ මෙම එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පුද්ගලික මූල්‍ය සමාගම්වලටය.

2019 දෙමුහුන් යුද ප්‍රහාරයන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ලොක් ඩවුන් ක්‍රියාමාර්ග මගින් වසර දෙකක් තිස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයට තවත් බරපතල විනාශයක් සිදු කරන ලදි. 2020 සහ 2021 යන වසරවලදී පැවැති මෙම ලොක්ඩවුන් විසින් සිදු කරන ලද ආර්ථික විනාශයට අමතර අනෙක් ප්‍රතිඵල වූයේ රාජ්‍ය ආයතන දුර්වල වීම, දූෂණ වසංගතයක් ව්‍යාප්ත වීම සහ ඩිජිටල් යටත්විජිතවාදයේ ආක්‍රමණය ආදියයි. 2022 දී එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක හේතුවක් ලෙස හුවා දක්වමින් උග්‍ර ඉන්ධන හිඟයක් කෘත්‍රීම ලෙස ඇති කරන ලද අතර ඒ මගින් ආර්ථික ක්‍රියාකාරිත්වය තවදුරටත් කඩා කප්පල් කරන ලදි.
.
ඇතිවීමට නියමිත “ බියකරු සාගත තත්ත්වයන් ” පිළිබඳව අනතුරු ඇඟවීම්වල නිරතවූයේ එවැනි සාගත තත්ත්වයන් ඇති කිරීම ඉලක්ක කොට ගත් ප්‍රෝඩාකාරි කොවිඩ්-19 ලොක් ඩවුන් ක්‍රියාමාර්ග දියත් කරමින් සහ කෘත්‍රිම ලෙස ඉන්ධන හිඟයක් ඇතිකරමින් ආහාර නිෂ්පාදනය සහ සැපයුම් දාමයන් අවහිර කරමින් සාගත තත්ත්වයක් ඇති කිරීමට පාර කැපූවන් විසින්මය.

ශ්‍රි ලංකාව ලෝකයේ කාර්ය බහුලතම සහ උපාය මාර්ගික වශයෙන් වැදගත් බලශක්ති, වෙළඳ නාවික මාර්ගයන්ගේද, සමුද්‍රගත සන්නිවේදන කේබල් මාර්ග පද්ධතිවලද වැදගත් සන්ධිස්ථානයක පිහිටි දිවයිනකි.

එනිසාම එය සදාකාලිකවම එකිනෙකට සතුරු ගෝලීය බලවතුන්ගේ ඉලක්කයක් බවට පත්ව තිබේ. ආර්ථිකය විලාප නගමින් පවතිද්දී, මෙවර එය යුරෝ-ඇමෙරිකානු සහ චීනය අතර සීතල යුද්ධයක චණ්ඩ මාරුතයට මැදිව තිබේ.

නමුත් යුරෝපයේ උත්සන්න වෙමින් පවතින දෙමුහුන් බලශක්ති යුද්ධයේ කොටසක් ලෙස, ජර්මනිය සහ රුසියාව සම්බන්ධ කෙරෙන නොර්ත් ස්ට්‍රීම් 1 සහ 2 ගෑස් නල පද්ධති දෙක ට උතුරු මුහුදේදී ප්‍රහාරයක් එල්ලවීමත් සමගම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විකල්ප මාර්ග සෙවිය යුතුව ඇති බවත් එහි සාගර ක්ෂේත්‍ර සුපරීක්ෂාකාරිත්වය(Maritime Domain Awareness -MDA) පුළුල් කිරීම සහ තියුණු කිරීම කළ යුතුව ඇති බවත් වඩාත් පැහැදිලි විය.

මෙම උපාය මාර්ගික වැදගත් කමකින් යුතු දිවයිනේ නාවික හමුදාවට එහි සමුද්‍ර පත්ලේ අන්තර්ගත සන්නිවේදන කේබල් ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙනු ඇත. අන්තර්ජාලය සහ ගෝලීය මූල්‍ය පද්ධතියේ සන්නිවේදන ක්‍රියාකාරිත්වය සිදුවන්නේ මෙම කේබල් හරහාය.

ශ්‍රී ලංකාවට ඇතැම් විට එහි නාවික හමුදාව ශක්තිමත් කිරීමටත්, එහි හමුදාවන් නව අවධියක දෙමුහුන් සයිබර් යුද්ධයකට සුදානම් කිරීමටත් අවශ්‍යතාවක් මතු විය හැකිය. එහෙයින් ඒ සදහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට රජය කළ යුතුව ඇත්තේ ශ්‍රි ලංකාවට අයත් මුහුදු කලාපය තුළ සන්නිවේදන කේබල් එලා ඇති GAFAM සමාගම් වලින් (Google, Apple, Facebook, Amazon and Microsoft- GAFAM ) බදු අයකිරීමය. නමුත් ශ්‍රී ලංකාවට ණය උගුලක සිරකරගෙන ඇති බටහිර බලවේග විසින් ශ්‍රි ලංකාවට යම් පමණක හෝ ස්වාධීනත්වයක් සහ ණය ගෙවීමේ හැකියාවක් හිමිවන එවැනි ක්‍රියාමාර්ගවලට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකිය.

විසඳුම් සහ සුභාරංචි:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් කණ්ඩායම වෙනුවට විකල්පයක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පැරිස් කණ්ඩායමේ ක්‍රියාදාමය අසාර්ථක වීම හෝ දිග්ගැස්සීම සිදුවුවහොත් ශ්‍රී ලංකාවට හදිසි අවස්ථා සැලසුමක් අවශ්‍ය විය හැකි බව ද සීතල යුද්ධයේ භූ දේශපාලනික පස මිතුරුකම් සැළකිල්ලට ගනු ලබන කළ සිය හදිසි අනපේක්ෂිත අවශ්‍යතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බැරෑරුම් ලෙස සුදානම් විය යුතුව ඇති බවද වඩාත් පැහැදිලි වෙමින් පවතී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ පාලක විසින් මාධ්‍ය සාකච්ඡාවකදී වැදගත් දෙයක් සඳහන් කර තිබේ. එනම් ලංකාවේ හිස මත පටවා ඇති ණය පොලීවල බර ඉවත් කර දැමිය හැකි නම් රටට දැන් මාසික පදනමින් එහි අපනයන ඉපැයීම් මගින් ආනයන වියදම පිය විය හැකි බවය. මේ සංදර්භය තුළ ලබාගත හැකි වඩාත් සරල සහ මනෝඥ විසඳුම වන්නේ ශ්‍රි ලංකාවේ සමස්ත ණයවලින් 50%ක් වන පුද්ගලික මූල්‍ය සමාගම්වලින් ගෙන ඇති ඩොලර් ණය අවලංගු කර දැමීමය. එමෙන්ම අනාගතයේදී ජාත්‍යන්තර බැඳුම්කර අලෙවිකරුවන් (International Bond traders -ISB)වෙතින් ණය ලබා ගැනීම තහනම් කිරීමය. මෙය සිදු කළ විට වඩාත් නම්‍යශීලී ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සාපේක්ෂ වශයෙන් පහසුවනු ඇත. එමගින් ණය ගෙවීමේ කාලය දිගු කර ගැනීමට ද තවදුරටත් යම් කිසි ප්‍රමාණයකට ණය අවලංගු කරගැනීමකටද හැකි වනු ඇත.

වර්තමානයේ විශාලතම ණය ගැති රටවන එක්සත් ජනපදයේ නින්දිත සහ නීති විරෝධී උගුලක පැටැලී සිටින ලෝකයක් තුළ මේ මග තෝරාගැනීමේ තීරණයට එළඹීම සඳහා රොකට් විද්‍යාව පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවේ. නමුත් අති විශාල සාවද්‍ය තොරතුරු සම්භාරයක්ද, දත්ත විකෘතිකිරීම් ද, ණය ප්‍රමාණය සහ බංකොලොත්බව ප්‍රකාශ කිරීමට බලපාන ලද හේතු ද විසින් මේ සාපේක්ෂව සරල සහ බුද්ධිගෝචර විසඳුම කරා එළැඹීමට ශ්‍රී ලංකාවට ඇති ඉඩකඩ ඇහිරී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පැරිස් කණ්ඩායම සහ ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් චාන්ස් එකව ගෙන යන ක්‍රියාදාමයේ කිසිදු විනිවිද පෙනෙන සුළු බවක් දක්නට නොමැති වීමත්, ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර මගින් ශ්‍රි ලංකාව ණය වී ඇති ණය හිමියන් කවුරුන්ද යන්න හෙළිදරවු නොකිරීමත් හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාදාමය අනවශ්‍ය අන්දමින් සංකීර්ණ වී ඇතිවාක් මෙන්ම සදාකාලික වංකගිරියක් බවට පත්ව තිබේ.
මේ අතර වොෂින්ටන් සම්මුතියේ විවිධ ආඛ්‍යානයන් හා ගැලපෙන පරිදි ලෝක බැංකුව විසින් ශ්‍රි ලංකාව “ ඉහල මධ්‍යම ආදායම් ලබන රටක් ” ලෙස වංචනික ලෙස ශ්‍රේණිගත කර ඇති නමුත් ආණ්ඩුව විසින් ලංකාව පහල ආදායම් ලබන රටක්ද නැද්ද යන්න ගැන තවමත් තීරණයක් ගෙන නැත.ශ්‍රි ලංකාවට එහි ණය “ දරාගත නොහැකි ” බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කිසියම් රහසිගත “නිර්ණායක” මගින් නිගමනය කර තිබේ.

ශ්‍රි ලංකාවට නැවතත් සිය ආර්ථිකය සක්‍රියව පවත්වාගෙන යාම සහ ණය ගෙවීමේ හැකියාව ලබාගැනීම සඳහා අනුගමනය කළ හැකි සරලතම ක්‍රියාමාර්ගය ඩොලර් ණය උගුලට එරෙහිව සිය බලශක්ති සැපයුම සුරක්ෂිත සහ ස්වාධීන කර ගැනීමය. එමගින් සිය කර්මාන්ත සහ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යා හැකිය. බටහිර රටවල චණ්ඩිකම්වලට යටත් නොවන අතර සියලු රටවල් සමග මිත්‍රශීලි සබඳතා පවත්වාගෙන යෑමේ සංදර්භය තුළ රුසියාවෙන් සහ ඉන්දියාවෙන් ඉන්ධන අඩුමිලට ලබාගැනීමට සාකච්ඡා කිරීම මගින් පවත්නා ආර්ථික පීඩනය සැළකිය යුතු මට්ටමකින් ලිහිල් කළ හැකි වනු ඇත. මෙමගින් ජාත්‍යන්තර මැදිහත් මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත සිදු කිරීමට යන ශ්‍රි ලංකාවේ බලශක්ති යටිතල ව්‍යුහයන් තුට්ටු දෙකට විකුණා දැමීමේ සැලැස්මද එමගින් ශ්‍රි ලංකාවේ ජාතික බලශක්ති සුරක්ෂිතතාවට සිදුවිය හැකි නිෂේධනාත්මක ලෙස බලපෑම් ද වැළක්විය හැකි වනු ඇත.

ආර්ථිකයේ තිරසාර ප්‍රකෘතිමත්වීමක් සඳහා අවශ්‍ය වන දෙවන ප්‍රධාන අංගය වන්නේ තාක්‍ෂණය හුවමාරු කිරීම සහ වටිනාකම් සමුච්චනය හරහා අපනයන වෙලඳපොලවල් සහ නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමයි. මෙය විශේෂයෙන්ම ලංකාවේ සම්පත් බහුල ක්ෂේත්‍රයන් වන ඛණිජ සහ ධීවර ක්ෂේත්‍රයන් තුළ සිදුකළ යුතුව තිබේ. වර්තමානයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේදී මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මුවාවෙන් සම්බාධක පැනවීමට සහ අපනයන බදු පැනවීමට තර්ජන එල්ලකරනු ලබන සහ බටහිර රටවල අපනයන වෙළෙඳපොළ මත පරාධීනව සිටියි. ජීඑස්පී ප්ලස් සහ මයිනස් ඉවත් කිරීමට යුරෝපා සංගමය විසින් නිරන්තරයෙන් සිදු කරන තර්ජන විසින් යටත්විජිත ව්‍යාපාරික ප්‍රජාව භීතියට පත්කරමින් ඇති අතර අනෙක් අතින් ඔවුන් විකල්ප වෙළෙඳපොළවල් කරා යොමු වීමට ඇති ඉඩකඩ ද වසා තිබේ.

ආර්ථිකය තවදුරටත් හැකිලවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම අනුව ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සේවා සහ සමාජ සුභසාධන වියදම් කප්පාදුව මැද ක්‍රියාත්මක කළ හැකි තවත් එක් දෙයක් නම් දුප්පත් ජනයා සහ ධීවර ප්‍රජාව සිය මුහුදුයාම සඳහා භාවිතා කරන භූමිතෙල් නැවතත් කලින් පැවැති මිල ගණන් වලට අඩුකිරීම මගින් ශ්‍රි ලංකාවට අයත් විශාල මුහුදු කලාපය තුළ ධීවර නිෂ්පාදන කටයුතු ඉහළ නංවාලීමට ධීවර ප්‍රජාවට සහාය වෙමින් රටට අවශ්‍ය ප්‍රෝටීන් සම්පාදනය කරගැනීමය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බටහිර මූල්‍ය ආයතන විසින් අටවා ඇති ණය උගුල ඉවත් කර ශ්‍රි ලාංකිකයන්යට ජීවත්වීම සඳහා තමන්ගේම ආදායමක් ඉපැයීමට හැකිවන ලෙස අවස්ථාවන් විවර කරන්නේ නම් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන විසින් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බෙදාහරින ඩිජිටලීකරණය කරන ලද “පුණ්‍යාධාර ” ඔවුන්ට අවශ්‍ය නොවනු ඇත. රුසියානු ගුවන් යානා නැවතත් ශ්‍රි ලංකාවට පැමිණීම සිදුවෙමින් පවතින සංදර්භය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුසියානු MIR ජාත්‍යන්තර ගෙවීම් කාඩ් ක්‍රමය ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතියට අන්තර්ග්‍රහණය කරමින් සහ රුසියානු සංචාරකයන් ශ්‍රි ලංකාව වෙත සංග්‍රහශීලිව පිළිගනිමින් සංචාරක කර්මාන්තය පිම්මකින් වර්ධනය කර ගැනීමට කටයුතු කර ගත හැකිය. රුසියානු MIR කාඩ් මගින් ශ්‍රි ලංකාව තුළ මුදල් ගනුදෙනු කිරීමට අවස්ථාවන් විවරකිරීම සහ රුසියානු තෙල් සහ ගෑස් සහන මිලට ලබා ගැනීම මගින් විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබීමට ශ්‍රි ලංකාවට අවස්ථාවන් උදාවනු ඇති අතර ඇතැම් විට ඉන්දියාවේ සහායද ඒ සඳහා ලබාගත හැකි වනු ඇත.

“ඔපරේෂන් කලම්බු” මෙහෙයුමේ පුනරාගමනය, මානව අයිතීන් සහ සිවිල් සමාජය

සීතල යුද්ධය සහ දෙමුහුන් ආර්ථික යුද්ධය ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතින පසුබිම තුළ ශ්‍රි ලංකාවේ ආර්ථිකය සහ සමාජය ඩොලර් ණය යටත්විජිතවාදී උගුල තුළ සිරවී විලාප නගමින් සිටියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පැරිස් කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙහෙයුම දිග්ගැස්සීම බව පැහැදිලිය.

මෙම විලාපය තවදුරටත් උත්සන්න කරවීමට සැලසුම් කෙරෙමින් පවතිද්දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින්“ණය පිළිබඳ යුක්තියකින් තොර “ආර්ථික අයිතිවාසිකම් ” පිළිබඳ සංකල්පය “ බෙදා වෙන්කර පාලනය කිරීම” සඳහා වන මානව හිමිකම් පිළිබඳ නූතන න්‍යාය පත්‍රයට එක් කර තිබේ. ඒ අතර එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහන විසින් “ ණය වෙනුවට ස්වභාව දහම හුවමාරු කිරීම”නම් වැඩ සටහන ප්‍රවර්ධනය කරමින් සිටියි.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහනේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි එරික් සොල්හයිම්ට 2018දී එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ ඔහුගේ ලොව වටා සංචාර සහ අභ්‍යන්තර නීති කඩකිරීම පිළිබඳව නැගුණු චෝදනා හේතුවෙනි. මෙම එරික් සොල්හයිම් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හරිත බලශක්තිය ඇතුළු හරිතශෝධක ව්‍යාපාරයේ “ ජාත්‍යන්තර උපදේශක වරයෙකි.”

බිඳ වැටීමට ආසන්න කොළඹ ආණ්ඩුව දෙපැත්තට වැනෙමින් සිටින අතර ඇතැම් විට එය කිසිම ගෝලීය බල කඳවුරකට සම්බන්ධ නොවී “ නොබැඳි ස්ථාවරයක් ” කරා යොමු වීමට ඉඩ තිබේ. නව යටත්විජිතවාදි න්‍යාය පත්‍රයන් පෙරට දමන බලගතු රාජ්‍ය සහ දැවැන්ත සමාගම්වල අවශ්‍යතාවන් ඉටු කරනු වෙනුවට“ නොබැඳි ස්ථාවරයක් ” මගින් තම රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට පුළුල් අවකාශයක් විවර වනු ඇත.

සිවිල් සමාජය විසින්ද මෙම අභියෝගය බාරගැනීම සඳහා පෙරට පැමිණිය යුතුව තිබේ. 1973 දී චිලියේ පිනොෂේගේ හමුදා ආණ්ඩුව විසින් මරා දමන ලද චිලියේ ප්‍රකට කවියෙකු වූ නෙරූදාගේ ජීවන චරිතය ඇසුරෙන් අශෝක හඳගම විසින් නිර්මාණය කරන ලද සිනමා පටය වූ “ අල්බොරාදා” ට සම්බන්ධ ඇතැම් තාරකාවන් කොළඹ අරගලයට සම්බන්ධව ඇති නමුත් ද 1973 චිලියේ පුද්ගලයන් අතුරුදන් කිරීමේ මෙහෙයුම වූ “ ඔපරේෂන් කලම්බු ” පිළිබඳව දන්නේ ඉන් කීප දෙනෙකු පමණි.

1973 දී චිලියේ ඇලන්ඩේගේ රජය එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දමන ලදි. එමගින් බලය අල්ලාගත් ජෙනරාල් පිනෝෂේ විසින් සිය විරුද්ධවාදින් රහසිගතව අතුරුදන් කරවීමේ මෙහෙයුම හැඳින්වූයේ “ කොළඹ මෙහෙයුම හෙවත් ඔපරේෂන් කලම්බු” නමිනි. මෙමගින් පුද්ගලයන් 119 දෙනෙකු අතුරුදන් කර ඇතැයි සැළකුණ නමින් මෙය “ 119 සිදුවීම” ලෙසද හැඳින්විණි.

කෙසේ වුව ද මෙම ඝාතන හේතුවෙන් පිනෝෂේගේ ජනාධිපති මුක්තිය එරට අධිකරණය විසින් අහෝසි කරන ලද අතර ඔහු නොමැතිව ස්පාඤ්ඤයේ පවත්වන ලද නඩු විභාගයකදී ඔහු එම චෝදනාවන්ට වරදකරු බව ලෙස තීන්දු කරන ලදි. පසුව ඔහුව ලන්ඩනයේදී අතු අඩංගුවට ගනු ලැබිණි.
චිලියේ සන්තියාගො හි ඔපරේෂන් කලම්බු මෙහෙයුම දියත් කරන ලද්දේ පිනොෂේගේ විරුද්ධවාදින් රහසිගතව මරා අතුරුදන් කරවීමට නමුත් එහි ගොදුරු බවට පත්වූවන් අතර කිසිදු දේශපාන සම්බන්ධකමක් නැති පුද්ගලයන් ද වූහ. මෙම ඔපරේෂන් කලම්බු මෙහෙයුමට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ සහ සංස්කෘතික කර්මාන්තය තුලදී මහජන මතය නොමග යැවීමේ ව්‍යාපාරයන් ද අන්තර්ගත විය.එය සමාන කළ හැක්කේ වර්තමාන ලංකාවේ “ අරගලයට” පෙර සහ පසුව සමාජ මාධ්‍ය ජාලා හරහා දියත්වන ප්‍රචාරක ව්‍යාපාරයන්ටය.

1974 ඔපරේෂන් කලම්බු මෙහෙයුම යටතේ චිලියේ MIR සංවිධානයේ සාමාජිකයන් වූ ලුයිස් ග්වෙන්ඩල්මාන් විස්නියාක‍් සහ කාර්ලෝස් ග්වායාර්ඩෝ වුල්ෆ් අතුරුදහන් කිරීමට සම්බන්ධ වූ චිලියේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාංශයේ නිලධාරින් 15 දෙනෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් පමුණුවන ලද්දේ 2021 තරම් මෑතකදීය. එහිදී වරද කරුවූ එක් බුද්ධි නිලධාරියෙකු වූ මිගෙල් ක්‍රාස්නොෆ් බන්ධනාගාරය වෙත රැගෙන යන අන්දම

ඔපරේෂන් කලම්බු මෙහෙයුමට පසුව ඔපරේෂන් කොන්දෝර් (Condor Operation) නමින් මෙහෙයුමක් එක්සත් ජනපදයේ CIA සංවිධානයේ මෙහෙයවීමෙන් සහ ප්‍රංශයේ සහභාගිත්වය සහිතව, ආර්ජන්ටිනාව, බොලිවියාව, බ්‍රසීලය, චිලිය, පැරගුවේ, පේරූ, සහ උරුගුවේ යන රටවල සමාජවාදි නායකයන් සහ පක්ෂ මෙන්ම පොදු විපක්ෂයද විනාශ කිරිම සඳහා 1975 දී දියත් කරන ලද මෙහෙයුමකි. මෙම මෙහෙයුමට ඒ ඒ රටවල දක්ෂිණාංශික ප්‍රභූ පැළැන්තිය සහ හමුදා නිලධාරින් සම්බන්ධ කරගැනිණි. දකුණු ඇමෙරිකාවේ විශාලතම රාජාලියෙකුගේ නමින් නම් කරන ලද මෙම කොන්දෝර් මෙහෙයුම ලෝකයේ වෙනත් රටවලටද ව්‍යාප්ත කරන ලදි. මෙම කොන්දෝර මෙහෙයුම මගින් ඉහත රටවල පුද්ගලයන් 60,000 සිට ලක්ෂයක් දක්වා මරා දමන්නට හෝ අතුරුදන් කරන්නට ඇතැයි සැළකෙන අතර පුද්ගලයන් ලක්ෂ 4කට ආසන්න පිරිසක් සිරගත කරන ලදි. ජීවිත ආරක්ෂාව සඳහා පලාගිය පුද්ගලයන් එක්සත් ජනපද සංවිධානයේ සහ ජාත්‍යන්තර බුද්ධි සේවාවල අනුග්‍රහයෙන් හඹාගොස් අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ මවුරටවල පීඩාකාරි ආණ්ඩුවලට භාර දෙන ලදි. ඔහිදී ඔවුන් අමානුෂික වධබන්ධන පමුණුවා මරාදමන ලදි. නැතහොත් සිරගත කරන ලදි. වාමාංශික නායකයන් විරුද්ධ මත දරන්නන්,ජනමාධ්‍යෙව්දීන් සහ වෘත්තිීය සමිති නායකයන් ද විශාල සංඛ්‍යාවක් මෙම කොන්දෝර් මෙහෙයුමට ගොදුරු විය. මෙය වර්තමානයේ එක්සත් ජනපදය විසින් සිය “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” නම් බැනරය යටතේ පුද්ගලයන් පැහැරගෙන ගොස් රඳවා තැබීමට යොදාගනු ලබන කියුබාවේ ගුවන්තනාමෝ, ඉන්දියන් සාගරයේ දියාගෝ ගාර්ෂියා හෝ යුරෝපයේ බ්ලැක්සයිට් යනුවෙන් හඳුන්වන කඳවුරු ආශ්‍රිතව පවත්වාගෙන යන මෙහෙයුම් සඳහා වූ පූරෝගාමි අත්හදා බැලීමක් ලෙස සැලකිය හැකිය. දියාගෝ ගාර්ෂියාව 2015 දී “සමුද්‍ර සංරක්ෂණ කලාපයක් ” (Marine Protection Area) ලෙස නම් කරමින් හරිතශෝධනයට ලක් කරන ලදි.

චිලි ප්‍රතිවිප්ලවයේදී කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් පිනොෂේගේ සෙබළුන් විසින් බලයෙන් පහකරන ලද ජානාධිපති ඇලන්ඩේගේපක්ෂ සාමාජිකයන් සහ ආධාරකරුවන් අත් අඩංගුවට ගන්නා ආකාරය-රොයිටර්

1974 ඔපරේෂන් කලම්බු මෙහෙයුම යටතේ චිලියේ MIR සංවිධානයේ සාමාජිකයන් වූ ලුයිස් ග්වෙන්ඩල්මාන් විස්නියාක්(Luis Guendelman Wisniak) සහ කාර්ලෝස් ග්වායාර්ඩෝ වුල්ෆ් ( Carlos Guajardo Wolff ) අතුරුදහන් කිරීමට සම්බන්ධ වූ චිලියේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාංශයේ නිලධාරින් 15 දෙනෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් පමුණුවන ලද්දේ 2021 තරම් මෑතකදීය.
මෙම සංදර්භය තුළ කොළඹ සිවිල් සමාජය විසින් එක්සත් ජනපදය විසින් ගෝලීය දකුණේ රටවල ආර්ථිකයන්ට විලාප නැංවීමට සලස්වන ලද සීතල යුද්ධයේ ඉතිහාසය අධ්‍යයනය කළ යුතුව තිබේ.
මේ අතර සමහර ශාස්ත්‍ර වේදීන් 1959 දී සිදු වූ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක ඝාතනය පිළිබඳව නැවත විමසා බැලීමකට යොමු වී සිටිති. මෙම ඝාතනය බෞද්ධ භික්ෂුවක් විසින් කරන ලද බව ප්‍රකාශයට පත් විය. චිලියේ පළමු සමාජවාදි ජනාධිපතිගේ මරණ සිදුවූ ආකාරය පිළිබඳව පළමුව වාර්තාවූයේ ඔහුට එරෙහිව කුමන්ත්‍රණය සිදුවන අතර ඔහු සිය දිවි නසාගත් ලෙසය.

බණ්ඩාරනායක ලංකාව බ්‍රිතාන්‍ය ඩොමිනියන් තත්ත්වයෙන් මුදාගැනීමට උත්සාහ දරන ලද්දේය. ඇලන්ඩේ චිලියේ තඹ පතල් ඇතුළු ප්‍රධාන කර්මාන්ත ජනසතු කරණයට සඳහා උත්සාහ දරන ලදි. ඔහු චිලියේ ධනපතියන් අතලොස්සක් අත සංකේන්ද්‍රව තිබූ ධනය නැවත දුප්පතුන් අතර බෙදාහැරිය යුතුය යන මතයේ සිට ක්‍රියාත්මක විය. එමෙන්ම විදේශ ප්‍රතිපත්තියේ එක්සත් ජනපදයේ රූකඩයක් බවට පත් නොවී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගෙන යන බව ප්‍රකාශ කළේය. මෙයට සමානව බණ්ඩාරනායකද ලංකාවේ උපායමාර්ගික වශයෙන් වැදගත් වරායන්, ගුවන්තොටුපළ ආදිය ජනසතු කරමින් ඒවා බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉවත්කිරීමට උත්සාහ ගත්තේය. ඔහු ඝාතනය වූයේ CIA සංවිධානය විසින් දකුණු සහ නැගෙනහිර ආසියාවේ බුද්ධාගම දේශපාලනික ආයුධයක් බවට පත්කිරීමේ සැලසුම් ආරම්භ කරන ලද දිනවලය.(7)

21 වැනි සියවස ආසියානු සියවසක් බවට පත් කිරීමට නම් ආසියාවේ රටවල් එක්සත් ජනපදය සහ බටහිර රටවල බෙදා වෙන්කර පාලනය කිරීමේ උපක්‍රමය පරාජය කිරීම සඳහා එක්සත්ව කටයුතු කළ යුතුව තිබේ. එවිට බලය එක්සත් ජනපදය සහ යුරෝපයේ සිට ආසියාවට මාරුවීම සිදුවනු ඇත. කෙසේ වුව ද චිලිය සහ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල සහ ඒවායේ සිවිල් සමාජයේ වගකීම වන්නේ යටත්විජිතවාදි සහ සිවිල් යුද සමයේ ඛෙදවාචකයන් දෙවන වර විගඩමක් ලෙස ගෝලීය දකුණ තුළ සිදුවීම වැළැක්වීමය.

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක
සමාජ මානව විද්‍යාඥ

මූලාශ්‍ර

1.FOREIGN RELATIONS OF THE UNITED STATES, 1969–1976, VOLUME XXI, CHILE, 1969–1973, 93. Editorial Note
2. Noam Chomsky Chile excerpted from Secrets, Lies, and Democracy, 1994 Writes Chomsky: “our
government intervened massively to prevent Allende from winning the preceding election, in 1964. In
fact, when the Church Committee investigated years later, they discovered that the US spent more money
per capita to get the candidate it favored elected in Chile in 1964 than was spent by both candidates
(Johnson and Goldwater) in the 1964 election in the US.
3 President Theodore Roosevelt officially invoked the Monroe Doctrine to justify sending troops to the Dominican
Republic, Nicaragua and Haiti in the first decades of the 20 th century.
4. DEBTOCRACY

5 Transnational Institute, 2017 The Bailout Business: Who profits from Bank Rescues?
6 Kishore Mahhubhani 2021 The Asian 21 st Century 
7 Eugene Ford 2017 Cold War Monks: Buddhism and America’s Strategy in Southeast Asia. Yale University Press.

සටහන්

වොෂින්ටන් සම්මුතිය(Washington Consensus)

වොෂින්ටන් හි සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, සහ එක්සත් ජනපද රජයේ භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුව වැනි ආයතන විසින්, ආර්ථික අර්බුද තුළ ගිලී ගිය සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඉදිරිපත් කරන ලද “සම්මත” ප්‍රතිසංස්කරණ මට්ටමේ ලා සැළකෙන ආර්ථික ප්‍රතිපත්ති වට්ටෝරු 10ක් අඩංගු වැඩ පිළිවෙලකි. වොෂින්ටන් සම්මුතිය යන මෙම යෙදුම මුලින්ම භාවිතා කරන ලද්දේ 1989 දී ඉංග්‍රිසි ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් විලියම්සන් (John Williamson) විසිනි.
සාර්ව ආර්ථික(macroeconomic) ස්ථායීකරණය, වෙළඳාම සහ ආයෝජන යන දෙකටම අදාළව ආර්ථිකය විවෘත කිරීම සහ දේශීය ආර්ථිකය තුළ වෙළඳපල බලවේග පුළුල් කිරීම වැනි ක්ෂේත්‍රවල නිදහස් වෙළඳපල ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති මෙම වට්ටෝරුවලට ඇතුළත් විය. විලියම්සන් විසින් වොෂින්ටන් සම්මුතිය යන යෙදුම යොදාගත් අර්ථයට වෙනස් පුළුල් ආකාරයකට ඔහුගේ විරෝධයද නොතකා පසුව යොදාගනු ලැබිණි. මෙම දෙවැනි අර්ථ නිරූපණය අනුව එම යෙදුම භාවිතාකරන ලද්දේ ඉතාම දැඩි ලෙස වෙළඳපළ මත පදනම් වූ ආර්ථිකමය ප්‍රවේශයක් සඳහාය. මෙය ඇතැම්විට වෙළඳපොළ මූලධර්මවාදය නැතහොත් නව ලිබරල්වාදය ලෙස හැඳින්විණි.

සාගර ක්ෂේත්‍ර සුපරීක්ෂාකාරිත්වය (Maritime Domain Awareness -MDA)

ජාත්‍යන්තර සාගර සංවිධානයේ නිර්වචනයට අනුව සාගර ක්ෂේත්‍ර සුපරීක්ෂාකාරිත්වය යනු සාගර ක්ෂේත්‍රයට අදාළව ආරක්ෂාව, සුරක්ෂිතබව, ආර්ථිකය සහ පරිසරය යන කරුණු සම්බන්ධව බලපාන ඕනෑම දෙයක් ගැන වන ඵලදායි අවබෝධයක්යක් ලෙසය. සාගර ක්ෂේත්‍ර සුපරීක්ෂාකාරිත්වය හෙවත් MDA සැලකෙන්නේ සාගරයට සම්බන්ධ ආරක්ෂක ගැටළු එනම් නැව් මංකොල්ලකෑම වැනි දේ සම්බන්ධව කටයුතු කිරීමට ඇති වඩාත් ඵලදායි ප්‍ර වේශය ලෙසය. සාගර ක්ෂේත්‍රය යනුවෙන් අර්ථ දක්වන්නේ සාගරය මත,සාගරය යට, සාගරයට සම්බන්ධ, සාගරයට යාබද, සියලු ප්‍රවාහන මාර්ග, සියලු ක්‍රියාකාරකම්, යටිතල ව්‍යුහයන්, පුද්ගලයන්, නාවික යාත්‍රා, සම්මැරීන ආදි සියල්ල සම්බන්ධිත පොදු ක්ෂේත්‍රයයි.

ණය වෙනුවට පරිසර සම්පත් සුරැකීමේ හුවමාරුව debt-for-nature

සංවර්ධනය වෙමින් පවතින රටවල විදේශ ණයවලින් කොටසක් එම රටේ සුවිශේෂී සහ තෝරාගත් පරිසර සංරක්ෂණ ව්‍යාපෘති සඳහා යම් නිශ්චිත පරිසර සංවිධානයකට වෙත පවරා දීම ණය වෙනුවට පරිසර හුවමාරුව ලෙස හඳුන්වනු ලැබේ.

ගල් අඟුරු පතල්වල වායු සුරක්ෂිතතාව පරීක්ෂා කිරීමට කැනරි පක්ෂියා යොදාගැනීම

ගල් අඟුරු පතල්වල අභ්‍යන්තරයේ තමන්ට පැවතීමට සුදුසු වාතාවරණයක් සහ ඔක්සිජන් මට්ටමක් පවතීදැයි බැලීම සඳහාත් විෂ සහිත වායූන් පතුල තුළ පවතීද යන්න පරීක්ෂා කිරීම සඳහා පතල් කම්කරුවන් විසින් පතලට අවතීර්ණ වීමට පෙර පතල තුළට කැනරි පක්ෂියෙකු ප්‍ර වේශ කරවන ලදි. එම පක්ෂියාට පතල තුළදී හානියක් සිදුවුවහොත් පතල තුලට බැසීමට නුසුදුසු වාතාවරණයක් පවතින බව නිගමනය කරන ලදි.

හෙයාකට්  (Hair Cut)

මූල්‍ය කටයුතුවලදී හෙයාකට් එකක් නැතහොත් කොණ්ඩය කැපීමක් ලෙස හඳුන්වන්නේ යම් වත්කමක පවත්නා වෙළෙඳ පොළ වටිනාකම සහ නියාමක වත්කම් හෝ ණය අවදානම ගණනය කිරීමේ අවශ්‍යතාව මත එම වත්කම වෙත ආරෝපනය කරනු ලබන වටිනාකම් අතර වෙනසයි. මෙහිදී හෙයාකට් එකක ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ යම් කිසි වත්කමක් සඳහා හදිසි විකිණීමක් හෝ ඈවර කිරීමක් සිදුවන විට වටිනාකම පහළ වැටීමට ඉඩ ඇති ප්‍රමාණය අනුවය. වත්කමක මිලෙහි අවදානම හෝ වාෂ්පශීලතාව විශාලවන තරමට හෙයාකට් එකද විශාල වේ