නෝර්ත් ස්ට්‍රීම් සිදුවීම් විසින් රුසියා-යුක්‍රේන ගැටුම උත්සන්න කිරීමට ඉඩ නොතබමු: චීනයේ ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

2022 සැප්තැම්බර් මස 29 දින රුසියන්-ජර්මන් නොර්ත් ස්ට්‍රීම් නල පද්ධතින් විනාශ කිරීමේ සිදුවීම පිළිබඳව චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් පතේ කතුවැකිය

රුසියාවේ සිට යුරෝපයට ස්වාභාවික ගෑස් සපයන නෝර්ත් ස්ට්‍රීම් නළ පද්ධති දෙකෙහි කාන්දුවීම් 4ක් මේ වනවිට වාර්තා වී තිබේ.මෙම කාන්දු වීම් වාර්තා වූ දින බලගතු පිපිරීම් කීපයක් මුහුද යට සිදු වී ඇතැයි වාර්තා වී ඇති අතර ඒ නිසා මෙම තෙල් නලවලින් සිදුවන කාන්දුව හිතාමතා සිදු කළ ක්‍රියාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති.

මෙම විනාශයේ එක් ප්‍රතිඵලයක් පැහැදිලිය. එනම් මෙම ශිත සෘතුව සඳහා රුසියානු නළ පද්ධති 2 මගින් ගෑස් ලබාගැනීමට හැකිවෙතැයි යුරෝපීයයන් තුළ වූ අවසාන බලාපොරොත්තුවද බෝල්ටික් මුහුදේ දියරැලි අතර සදහටම වියැකී ගිය බවය. රුසියාව සහ යුරෝපය අතර දැනටමත් එකිනෙක පැටැලී පවත්නා සංකීර්ණ සම්බන්ධතාවන් මෙම “අනතුර“ මගින් තවදුරටත් දුෂ්කර තත්ත්වයකට පත්කර තිබේ.

විශ්ලේෂකයන් සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ මෙම සිදුවීම රුසියානු -යුක්‍රේන අර්බුදයේ ව්‍යාප්තිය පිළිබඳව විශේෂ ප්‍රකාශනයක් ලෙසය. මෙය සිදු කරන ලද්දේ කවුරුන් විසින්ද? කිසිවෙකු විසින් වගකීම භාරගෙන නැත. ජාත්‍යන්තර සමාජ මාධ්‍යජාලාවල විවිධ අනුමාන කිරීම් පළවී තිබේ. නමුත් ඒ කිසිවක් සඳහා විශ්වාසනීය සාක්ෂි තවමත් ඉදිරිපත් වී නැත. කෙසේ වුවද මෙම සිදුවීම විසින් අදාළ සියලු පාර්ශ්වයන් අතර ආතතීන් උත්සන්න කෙරී ඇති අතර තවත් විනාශයකට හේතුවන පරිදි බලගතු රාජ්‍යයන් අතර අන්‍යෝන්‍ය උපායමාර්ගික අවිශ්වාසය වර්ධනය වී තිබේ.

කවර තත්ත්වයන් යටතේ වුවද සිවිල් වැසියන් සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන අන්තර්ජාතික යටිතල ව්‍යුහයකට පහර දීම පිළිකුල් සහගත දෙයකි. එය විසින් යුක්‍රේන රුසියා ගැටුම වඩාත් අවදානම් සහගත තත්ත්වයකට පත් කර තිබේ.මෙවැනි ප්‍රවණතාවන්ට ඉඩතැබිය නොහැකිය.යුරෝපා සංගමය සහ රුසියාව යන දෙපාර්ශ්වයම විසින් ඉල්ලා සිටින්නේ අදාළ ආයතන විසින් දැඩි පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල හෙළි කළ යුතු බවය. මෙම සිදුවීම සිදුවූයේ ඩෙන්මාර්කයේ සහ ස්වීඩනයේ මුහුදු සීමාවල (Exclusive Economic Zones) වන බැවින් මේ අවස්ථාවේදී ජර්මනිය, ඩෙන්මාර්කය සහ ස්වීඩනය විසින් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිති.කෙසේ වුවද මෙම සිදුවීම රටවල් ගණනාවකට අදාළ වන බැවින් පරීක්ෂණය පවත්වාගෙන යාම සඳහා ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායමක් පිහිටුවන ලෙස අදාළ ජාත්‍යන්තර ආයතන වෙතින් ඉල්ලා සිටීමත් අත්‍යවශ්‍ය වේ. සත්‍යය කුමක්දැයි තහවුරු කිරීමත්, අපරාධකරුවන් කවුරුන්දැයි හෙළිකර ඔවුන්ට අදාළ දඬුවම් ලබාදීමත් කළ හැක්කේ එමගින් පමණි. මෙම සිදුවීම රෂෝමාන් වර්ගයේ එකක් බවට පත්වීම වැළැක්විය යුතු තිබේ.

සත්‍ය කුමක්දැයි දැනට නොදන්නා නමුත් එක් දෙයක් පැහැදිලිය. එනම්  නෝර්ත් ස්ට්‍රීම් නළ පද්ධති පුපුරුවා හැරීම සඳහා බොත්තම ඔබන ලද පාර්ශ්වය කුමක් වුවත් එය විසින් රුසියානු-යුරෝපා බලශක්ති සහයෝගිතාවට මාරාන්තික ප්‍රහාරයක් එල්ලකර ඇති බවය. යුරෝපා සංගමය විසින් බලශක්ති මිල ගණන් ස්ථාවර කිරීම සඳහා විශාල උත්සාහයක් මීට පෙර දරන ලද නමුත් නෝර්ත් ස්ට්‍රීම් කාන්දුවීම් විසින් ඒ සියල්ල නිෂ්ඵල බවට පත්කර තිබේ.
පසුගිය බදාදා යුරෝපා සංගමයේ විදේශ සම්බන්ධතා පිළිබඳ ඉහළ නියෝජිතයෙකු වන ජෝසෆ් බොරෙල් නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර ඇත්තේ ” යුරෝපයේ බලශක්ති යටිතල ව්‍යුහයන්ට එරෙහිව කෙරෙන කිසිදු සැලසුම් සහගත බාධා කිරීමක් කොහෙත්ම පිළිගත නොහැකිය” යනුවෙනි.
අතෘප්තිමත් ගිම්හානයකට පසුව එළැඹෙන රළු හේමන්තයත් සමගම දැනටමත් සමාගම් බංකොලොත් වීම් සහ ආර්ථික අවපාතයන් යුරෝපයේ එලිපත්තට පැමිණ තිබේ.

නොර්ත් ස්ට්‍රීම් නල පද්ධති විනාශකිරීම විසින් “කිසිවෙකුගේ හෝ අවශ්‍යතාවන් ඉටු නොවන බව“ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කර ඇත. එහෙත් ගැටළුව වන්නේ “කිසිවෙකුගේ හෝ අවශ්‍යතාවන් ඉටු වීමට හේතු නොවන“ සිදුවීම් නැවත නැවතත් සිදුවන්නේ මන්දැයි යන්නය. මෙම කරුණ කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ බැරෑරුම් අවධානය යොමු විය යුතුය.

නොර්ත් ස්ට්‍රීම්-2 නළ පද්ධතියේ අවාසනාවත් ඉරණම විසින් කරුණු කීපයක් මැනැවින් විස්තර කරයි. දෙපාර්ශ්වයටම වාසි ලැබෙන පරිදි රුසියාව සහ යුරෝපා සංගමය අතර ගොඩ නැගුන බලශක්ති සහයෝගිතාවයට ආරම්භයේ සිටම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබිණි. එය වාචික තර්ජනවලින් ඇරඹී සම්බාධක දක්වා වර්ධනය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සිය දැඩි විරෝධතාව පළ කර සිටියේය. නොර්ත් ස්ට්‍රීම්-2 නළ පද්ධතිය විනා‍ශවන තෙක් එය නොනවතිනු ඇත.

යුරෝපීය ජනතාවගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමට බෙහෙවින් ප්‍රයෝජනවත්විය හැකිව තිබූ සහයොගිතා ව්‍යාපෘතියක් වන නොර්ත් ස්ට්‍රීම්-2 ව්‍යාපෘතිය අධිපතිවාදයේ ද, භූ දේශපාලනික ගණන් බැලීම්වල ද, ආරක්ෂාව පිළිබඳ උභතෝකෝටිකයන්ගේද ගොදුරක් බවට පත්වී බංකොළොත් බවට පත්වීමට ආසන්නවී තිබිණි. මෙම සැලසුම් සහගත කඩාකප්පල් කිරීම විසින් එය නැවත ආරම්භවීමේ ඉඩ ප්‍රස්තාවන් ක්ෂණිකවම අහෝසි කර තිබේ.

රුසියාව සහ යුරෝපය අතර අන්‍යෝන්‍ය අවශ්‍යතාව මත ගොඩ නැගුණ  සම්බන්ධතාවන් කපාදැමීමට ක්‍රියාත්මකවන අදෘෂ්‍යමාන කතුරක් පවතින බව තේරුම් ගැනීම අපහසු නැත. මෙම කතුර පාලනය කරන්නන් දේශපාලන ක්‍රීඩාවක් කරමින් සිටිති. රුසියාව සහ යුරෝපය ඛෙදජනක ගැටුමක් කරා යොමු කරවා තිබේ. සාමාන්‍ය ජනතාව විශාල සංඛ්‍යාවක් මෙම ක්‍රීඩාවේ පළමු ගොදුර වනු ඇත.

නොර්ත් ස්ට්‍රීම්-2 සිදුවීම විසින් පෙන්නුම් කරන්නේ රුසියන්-යුක්‍රේන ගැටුමේ බලපෑම යුදපිටියට පමණක් සීමා නොවන බවය. එය බලශක්තිය, ආර්ථිකය, ආහාර යන ක්ෂේත්‍ර කෙරෙහි පමණක් නොව මහජන අදහස් පි‍ළිබඳ ක්ෂේත්‍රයටද ව්‍යාප්ත වූ යුද්ධයක් බවට පත්ව තිබේ. මෙම වසරේ අප්‍රේලයේදී සිදු වූ බුචා (Bucha incident) සිදුවීම යුක්‍රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡාවන් ගේ තීරණාත්මක මොහොතක එය මත පතිත වූ කළු සෙවණැල්ලක් විය.

ගැටුමට අදාළ පාර්ශ්වයන්ට දේශපාලන විසඳුමක් සොයාගැනීමට සඳහා පැවැති අවකාශය දැන් මෙම නළ පද්ධති සම්බන්ධ සිදුවීම විසින් නැවත වතාවක් හකුලා තිබේ.

වඩාත් කණගාටුදායක දෙය නම් තවත් බුචා වක් හෝ තවත් නෝර්ත් ස්ට්‍රීම් පන්නයේ සිදුවීම් වැලක් සැලසුම් වෙමින් තිබෙන්නේ දැයි කිසිවෙකු නොදැන සිටීමය. මෙම අවිනිශ්චිතතාව යුරෝපයේ පමණක් නොව සමස්ත ලෝකයේම හිසට ඉහළින් එල්ලෙමින් පවතින ඩමොක්ලස් ගේ අසිපත බඳුය.
මෙම අවස්ථාවේදී සියලු පාර්ශ්වයන් විසින් කළ යුත්තේ මෙම අර්බුදයට අනතුරක් නොවී මහපොළවට ළඟාවීමට උදවු වන ආරක්ෂිත දැලක් හැකි ඉක්මණින් විවීමය.
මෙම ගෑස් නල පද්ධතියේ සිදුවීම පිළිබඳව ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යුරෝපීය රටවල් විසින් ආරාධනය කරනු ලැබුව හොත් එය සළකා බැලීමට රුසියාව සුදානමින් සිටින බව රුසියාවේ නියෝජ්‍ය විදේශ ඇමැති ඇලෙක්සැන්ඩර් ගෘෂ්කෝ විසින් පසුගිය බදාදා පවසා ඇත.
රුසියාවට සහ යුරෝපීය රටවලට මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණවලදී සහයෝගයෙන් කටයුතු කළ හැකි නම්, එය කොතරම් සීමා සහිත එකක් වුවත්, එය කළු කුණාටුවක් විසින් ගෙන එන හරිත ඔලිව් අත්තක් වනු ඇත. එය පසමිතුරුකම් තුනී කිරීමටත් ගැටුම්කාරිත්වයේ විෂමචක්‍රය මගහැරීමටත් උදවු වනු ඇත.

එමෙන්ම තවත් කරුණක් වෙත අවධානය යොමු කළ යුතුව තිබේ. එනම් බුචා සිදුවීමේ සිට නෝත් ස්ට්‍රීම් සිදුවීම දක්වා සියලු ඛෙදවාචකයන්ට වගකිවයුතු වල ප්‍රධාන අපරාධකරුවා යුද්ධය සහ ව්‍යාකූලත්වය බවයි. නෝර්ත් ස්ට්‍රීම් නල පද්ධතීන් පුපුරුවාහරින විට නැගුණු හඬ විසින් සාමය උදෙසා ක්‍රියාත්මක වීමට තව තවත් ජනතාවන් අවදි කරනු ඇතැයි අපේක්ෂා කරමු. එමගින් නෝර්ත් ස්ට්‍රීම්-2 සිදුවීම පවත්නා තත්ත්වය තවදුරටත් අයහපත් බවට පත්වන පරිදි ගිනි ඇවිලවීමටඅවස්ථාවක් කරගනු වෙනුවට යුද්ධය නතර කිරීමටත් සාමය ඇතිකිරීමටත් උදා වූ අවස්ථාවක් බවට පත් කරගත හැකිය.‍

Don’t let Nord Stream leaks precipitate Russia-Ukraine conflict: Global Times editorial

Global Times
Sep 29, 2022