ආර්මේනියාවට එල්ලවූ අසර්බයිජාන ප්‍රහාරය සහ එක්සත් ජනපදයේ රුසියාව විස්තාරණය කිරීමේ උපායමාර්ගය.

බ්‍රයන් බර්ලෙටික්

පසුගිය දිනවල ආර්මේනියාවේ නගානෝ කරබාක් පලාතේ නගරවලට අසර්බයිජානය විසින් ප්‍රහාරයක් එල්ල කෙරිණි. මෙහිදී පුද්ගලයන් 200කට ආසන්න ගණනක් මරණයට පත් වූ බව වාර්තා පළ විය. මෙය හුදෙක් මෙම දෙරට අතර කලෙක සිට පවතින ආගමික, වාර්ගික හෝ දේශසීමා පිළිබඳ මතභේදයන් උත්සන්න වීම හේතුවෙන් නැවත මතු වූ ගැටුමක්ද? නැතහොත් එය වර්තමාන ගෝලීය භූදේශපාලනික සහ යුදමය ප්‍රවණතාවන්ගේ පසුබිමේ තබා තේරුම්ගත යුතු ගැටුමක්ද? භූදේශපාලනික සහ යුද විශ්ලේෂක බ්‍රයන් බර්ලෙටික් සිය The New Atlas නම් යූටියුබ් චැනලය මගින් මේ පිළිබඳව ඉදිරිපත් කරන ලද කරුණු ඇසුරෙන් මෙම ලිපිය සකස් කරන ලදි.

බ්‍රයන් බර්ලෙටික් මෙහිදී මෙම ආර්මේනියනු අසර්බයිජාන ගැටුමේ නව පැන නැගීම විස්තර කරන්නේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සැකසුම් පිළිබඳ මාර්ගෝපදේශ සපයන ආයතනයක් වන රාන්ඩ් කෝපරේෂන් විසින් 2019 වසරේ නිකුත් කරන ලද පත්‍රිකාවේ දී එක්සත් ජනපදය යුරෝපය ප්‍රමුඛ නෙටෝ සංවිධානය විසින් රුසියාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු යැයි යෝජනා කරන උපාය මාර්ගික ප්‍රතිපත්තියේ සඳහන් කරුණු ඇසුරෙනි. මෙම පත්‍රිකාව එහිදී රුසියාව පෙරමුණු කීපයක යුද්ධ සහ ගැටුම්කාරි තත්ත්වයන්ට පටලවා එහි මිලිටරි බලය විසුරුවාහැර එය දුර්වල කර අවශෝෂණය කරගත යුතු යැයි කළ යුතු යැයි යෝජනා කරයි.
මෙහිදී ඔවුන් යෝජනා කරන එක් උපක්‍රමයක් නම් රුසියාව විසින් මෙහෙයවන ආරක්ෂක සන්ධානයේ සාමාජික රටක්වන ආමේනියාව රුසියාවෙන් බිඳවා එය එම සන්ධානයෙන් ඉවත්කිරීමට කටයුතු කළ යුතු බවයි. මෙහිදි බ්‍රයන් එක්සත් ජනපදය විසින් විවිධ අරමුදල් සපයන සංවිධාන මගින් ආර්මේනියාව තුළ විවිධ කණ්ඩායම්වලට අරමුදල් සපයමින් ඒවා එහි ඉලක්ක ඉටු කරගැනීම සඳහා යොදාගනු ලබන ආකාරයද ආර්මේනියාවේ පාර්ලිමේන්තුව ඇතුළු දේශපාලනික සහ සමාජීය ආයතන ක්‍රමානුකූලව ග්‍රහණය කරගන්නා අකාරයද විස්තර කරයි. ප්‍රජාපීඩක පාලනයකට එරෙහිව නැගී සිටින අව්‍යාජ ජනතා බලවේග සහ එක්සත් ජනපදය වැනි බාහිර බලවේගවල උවමනාවෙන් වෙනුවෙන් කටයුතු කරන බලවේග අතර වෙනස හඳුනාගැනීමට බ්‍රයන් බර්ලෙටික් විසින් හෙලිදරවු කරන මෙම කරුණු ප්‍රයෝජනවත් වෙතැයි අපේක්ෂා කරමු.

රුසියාවට දකුණින් සහ ජෝර්ජියාවට ආසන්නව පිහිටා ඇති කොකේසියානු කලාපයේ රටවල් දෙකක් වන ආර්මේනියාව සහ අසර්බයිජානය අතර දිගු කලෙක සිට උණුසුම් තත්වයක් පවතී. පසුගිය දින සහ සති කීපය තුළ මෙම තත්ත්වය ඇවිලෙන සුළු ගැටුමක් බවට පත් විය. මෙහි සැබැවින්ම සිදුවන්නේ කුමක්දැයි විමසා බැලීමට අදහස් කරමි. අපි පළමුව බටහිර ජනමාධ්‍ය විසින් මේ පිළිබඳව පවසනු ලබන්නේ කුමක්දැයි අවධානය යොමු කරමු.

BBC වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ.

“ආර්මේනියා- අසර්බයිජාන් : රාත්‍රි පුරා ඇතිවූ ගැටුම්වලින් 100කට ආසන්න පිරිසක් මරණයට පත්වේ.”

මෙම සටන්වලට හේතු වී ඇත්තේ නගානෝ කරබාක් ප්‍රදේශයේ පවත්නා මතභේදය බව BBC පවසයි.

“ ජාත්‍යන්තරව පිළිගත් දේශසීමාවන්ට අනුව එය පැහැදිලිවම අසර්බයිජානයට අයත් ප්‍රදේශයකි.නමුත් එහි වාසය කරන්නේ ආර්මේනියානුවන්ය. සංස්කෘතිකමය බෙදීම, දේශපාලනිකව සහ ආගමිකව ද ව්‍යාප්ත වී තිබේ. ආර්මේනියාවේ බහුතරයක් ක්‍රිස්තියානි ආගම අදහන අතර අසර්බයිජානයේ බහුතරයක් මුස්ලිම් ආගම අදහති. 1991 දී සමාජවාදි සෝවියට් සංගමය බිඳ වැටෙන තෙක්ම මෙම රටවල් දෙකම සෝවියට් සංගමයට අයත් සමූහාණ්ඩු ලෙස පැවැතිණි. මෙම රටවල් දෙක අතර මතභේදය මහාපරිමාණ යුද්ධයක් බවට 1980 සහ 1990 දශකයන්හිදී පත් විය. 2020 සති 6ක් යුද්ධය වූ කලී දශක ගණනාවක් පුරා ඇදී යන ගැටුම්වලම දිගුවකි.”

ආර්මේනියානු සහ අසර්බයිජාන දේශසීමාව: Armenian Public Radio.

නමුත් BBC ලිපිය පිළිබඳව අදහස් දක්වන එහි පාඨකයන් බොහෝ දෙනෙකු එක් කරුණක් වෙත අවධානය යොමු කර තිබිණි. ඒ මෙම ගැටුම් මතු වූ මොහොත “ හරියටම බටහිරට අවශ්‍යව තිබූ මොහොතක් වීම ” පිළිබඳවයි. එනම් 2014 වසර සිට සිරියාවේ පවතින යුද්ධයටත් මෙම වසරේ පෙබරවාරියේ සිට යුක්රේනය තුළ සෘජු මිලිටරි මැදිහත්වීමකටත් පැටැලී සිටින රුසියාවේ දකුණු දේශසීමාව දිගටද යුද්ධයක් ඇති කරමින් කරමින් රුසියානු හමුදාවට එරෙහිව පෙරමුණු ගණනාවක යුද්ධ ව්‍යාප්ත කිරීම එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලට දැඩිවම අවශ්‍යව තිබෙන මොහොතක මෙම ගැටුම් හටගැනීම පිළිබඳව ඔවුහු අවධානය යොමු කර තිබේ.

දැන් රුසියානු දේශසීමාවේ තවත් ගින්නක් ඇවිළෙමින් තිබේ. මෙය අහම්බයක් ද? නැතහොත් එක්සත් ජනපදය විසින් රුසියානු මිලිටරි බලය විස්තාරණය කිරීම සඳහා සැලසුම් සහගතව දියත් කරන ලද්දක්ද?

රුසියාව අවශෝෂණය කරගැනීම පිළිබඳ එක්සත් ජනපද උපායමාර්ගය:2019 රාන්ඩ් පත්‍රිකාව සහ ආර්මේනියාව රුසියාවෙන් බිඳවීම

ආර්මේනියාව, රුසියාවේ ප්‍රධානත්වයෙන් පවතින සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ ( Collective Security Treaty Organization – CSTO) සාමාජික රටකි. එක් සාමාජික රටක පැවැත්මට හානිදායක වන යම් නිශ්චිත තත්ත්වයන් පැන නැගුණහොත් හි CSTO සෙසු සාමාජික රටවල් එයට සහාය වීමට බැඳී සිටි. ආර්මේනියාවට අසර්බයිජානයෙන් ගැටළුවක් මතුවුවහොත් ආර්මේනියාවට උදව් කිරීමට රුසියාව බැඳී සිටියි. මේ අනුව රුසියාව එක් හෝ තවත් ආකාරයකින් මේ යුද්ධය තුළට ඇදගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ. එය රුසියානු මිලිටරි බලය තවදුරත් විස්තාරණය කිරීමට හේතු වනු ඇත.

මවිසින්  දිගටම මෙම “විස්තාරණය ” (“extend”) යන යෙදුම භාවිතා කරනු ලබන්නේ ඇමෙරිකානු ගෝලීය උපාය මාර්ගික සැලසුම් යෝජනා කරන රාන්ඩ් ආයතනය ( Rand Corporation) විසින් රුසියාවට අදාළව 2019 දී පළ කර ඇති පත්‍රිකාවක් නම් කර ඇත්තේ “වාසිදායක බිමක තරඟවැදීම සඳහා රුසියාව විස්තාරණය කිරීම ”(Extending Russia Competing from Advantageous Ground) යනුවෙන් නිසාය. රාන්ඩ් සමාගමේ පත්‍රිකා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ උපායමාර්ගික සැලසුම් පිළිබඳ මූලික කෙටුම්පත් ලෙස සැළකේ. මෙම පත්‍රිකාව මගින් යෝජනා කර ඇති සියලුම යෝජනාවන් එක් හෝ තවත් අකාරයකට ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මෙම පත්‍රිකාවේ 4 වැනි පරිච්ඡේදයේ භූදේශපාලනික ක්‍රියාමාර්ග නම් තේමාව යටතේ ඇති අනුසිරස්තලයක් වන්නේ ආර්මේනියාව සහ අසර්බයිජානය අතර පවතින උණුසුම් ගැටුම්කාරි තත්ත්වය ප්‍රයෝජනයට ගත යුතු ආකාරය පිළිබඳවයි.

“…. රුසියාව ආර්මේනියාව සහ අසර්බයිජානය සමග ප්‍රධාන භූමිකාවක් සිදු කරමින් සිටියි. විශේෂයෙන්ම ගැටුමට හේතු වී ඇති නගානෝ කරබාක් ප්‍රදේශය සම්බන්ධව රුසියාව මැදිහත්ව සිටී. නගානෝ කරබාක් ප්‍රදේශයේ බහුතරය ආර්මේනියානු ජාතිකයන් වන නමුත් එය පිහිටා ඇත්තේ අසර්බයිජානයේ දේශසීමාව තුළය. සෝවියට් සංගමය පැවැති කාලයේදී නගානෝ කරබාක් ජනතාව විසින් තමන් ආර්මේනියානු සෝවියට් සමූහාණ්ඩුවට එක් කරන ලෙස ඉල්ලීමක් සෝවියට් නායක්ත්වය වෙත ඉදිරිපත් කර තිබිණි. නමුත් සෝවියට් දේශපාලන මණ්ඩලය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද්දේ එසේ කළහොත් විසින් වෙනත් තැන්වල බෙදුම්වාදි ව්‍යාපාර දිරිගන්වනු ඇතැයි හේතු දක්වමිනි. සෝවියට් සංගමය බිඳී විසිරීයාමෙන් පසු ආර්මේනියාව සහ අසර්බයිජානය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම සිදුවිය. අනතුරුව මෙම නගානෝ කරබාක් ප්‍රදේශය සඳහා සටන් වැදුණහ. මෙම යුද්ධය අවසාන වූයේ ආර්මේනියාව විසින් නගානෝ කරබාක් ප්‍රදේශයත් ඒ අවට යම් යම් ප්‍රදේශවලත් පාලනය අත්පත් කරගැනීමෙනි. 1994 මැයි මාසයේ දී රුසියාව මැදිහත්වීමෙන් සටන්විරාමයක් ඇති කරන ලදි. ආර්මේනියාව සහ සහ අසර්බයිජානය කිසිවිටෙකත් අවසාන සාම විසඳුමකට එැළැඹ නැති අතර අද දක්වාම වරින් වර ගැටුම් සිදුවෙමින් පවතී.

කොකේසස්   කලාපයේදී රුසියාව විස්තාරණය කිරීම සඳහා එක්සත් ජනපදයට ආකාර දෙකකින් කටයුතු කළ හැකිය.
පළමුව එයට NATO සන්ධානය සමග සම්බන්ධකම් වර්ධනය කරගන්නා ලෙසට ජෝර්ජියාවට සහ අසර්බයිජානයට බලපෑම් කළ හැකිය. එවිට රුසියාවට දකුණු ඔසෙෂියාවේත්, අබ්කාසියාවේත්, ආර්මේනියාවේත්, දකුණු රුසියාවේත් ආරක්ෂාව සඳහා සිය හමුදාවන් ස්ථානගත කිරීමට සිදුවනු ඇත.

දෙවැනි මාර්ගය වන්නේ රුසියාව සමග වන සිය සම්බන්ධකම් බිඳ හෙළීමට ආර්මේනියාව පොළඹවාගැනීම සඳහා එක්සත් ජනපදය විසින් උත්සාහයක් දැරීමය. ආමේනියාව රුසියාවේ දිගුකාලීන සගයෙකු වුවත් එය විසින් බටහිර සමග ද සම්බන්ධකම් වර්ධනය කර ගෙන තිබේ. ආර්මේනියාව විසින් NATO සන්ධානයේ ඇෆ්ඝනිස්ථාන මෙහෙයුම් සඳහා සෙබළුන් ලබාදී ඇත. එමෙන්ම එය NATO සංවිධානයේ සාමය සඳහා සහභාගිත්වය වැඩ සටහනේ සාමාජිකයෙකු ද වෙයි. එමෙන්ම එය විසින් මෑතකදී යුරෝපීය සංගමය සමග දේශපාලන සම්බන්ධකම් ශක්තිමත් කිරීමටද එකඟවී තිබේ. එක්සත් ජනපදය විසින් ආර්මේනියාව NATO කක්ෂය තුළට ගැනීම සඳහා උත්සාහ කළ යුතුව ඇත.

එක්සත් ජනපදය මෙම ප්‍රතිපත්තියෙහිලා සාර්ථක වුවහොත් ගුයුම්රිහි ඇති සිය හමුදා කඳවුරත් යෙරවාන් අගනුවරට නුදුරින් ඇති ගුවන් හමුදා කඳවුරත් ඉවත් කර ගැනීමට රුසියාවට බලකෙරෙනු ඇත. (මෙම ගුවන් හමුදා කඳවුර 2044 දක්වා රුසියාවට බදු දී තිබේ). එමෙන්ම සිය දකුණු දේශ සීමාව කරා වැඩියෙන් හමුදාව යෙදවීමට රුසියාවට සිදුවනු ඇත.”

(Extending Russia- Competing from Advantageous Ground- The RAND Corporation 115-117)

මෙම සැලසුම ක්‍රියාත්මක කෙරෙමින් පවතින්නේ රුසියාව යුක්‍රේනයේ ද සිරියාවේද යුද්ධවල නිරතව සිටින තීරණාත්මක මොහොතක බව අපට දැකිය හැකිය.

මෙම පත්‍රිකාවේ “ ආර්මේනියාව කණපිට ගැසීම” ( Flipping Armenia) නම් යෙදුම භාවිතා කර තිබේ. එහි අර්ථය රුසියාවේ මිතුරු රාජ්‍යයක් NATO ගැති රාජ්‍යයක් බවට පත් කරලීමය. එක්සත් ජනපදයේ පළමු පියවර වූයේ ආර්මේනියාවට පහරදීම සඳහා අසර්බයිජානය පෙළැඹවීමය. එමගින් ආර්මේනියාව සහ අසර්බයිජානය අතර සාමකාමී විසඳුමක් ඇති කරන මැදිහත් කරුවෙකුගේ භූමිකාව රඟදක්වමින් පළමුව ආර්මේනියාව තුළටද ඒ හරහා මෙම කලාපයටද ඇතුළුවීමට ඇමෙරිකාවට ඉඩ සැළසේ. ඒ අනුව ආර්මේනියාව තවදුරටත් රුසියාවෙන් ඉවතට ගමන් කරවීමට ඇමෙරිකාවට අවස්ථාව ලැබෙනු ඇත. මේ මොහොතේ ඇමෙරිකන් එක්සත් ජනපදය විසින් සිදු කරමින් සිටින්නේ මෙයයි.

ඇමෙරිකානු කොංග්‍රස් සභාවේ කථානායිකාව නැන්සි පෙලෝසි (Nancy Pelosi) ආර්මේනියාවේ සංචාරයක නිරත වූ බව අපට අසන්නට ලැබිණි. අපි මෙම තේමාව වෙත පසුව නැවත එළැඹෙමු.

ආර්මේනියාව NATO වෙත හැරවීමට නම් එය විසින් CSTO අත්හැරදැමිය යුතුය. මේ වනවිට රුසියානු නායකත්වය සහිත CSTO සන්ධානයෙන් ආර්මේනියාව ඉවත්විය යුතු යැයි ඉල්ලා සිටින “උද්ඝෝෂණ ” ආර්මේනියාව තුළ මතුවෙමින් පවතින බව ඇතැම් විට බටහිර මාධ්‍යවලින් ඔබට අසන්නට දකින්නට ලැබෙන්නට ඇත.

මේ එවැනි උද්ඝෝෂණයක් ගැන කියැවෙන ලිපියකි. එම ලිපියේ තේමාව “යෙරවාන් උද්ඝෝෂණකරුවෝ CSTO වෙතින් ආර්මේනියාව ඉවත්විය යුතු යැයි ඉල්ලා සිටිති” යන්නයි.

මේ එම ලිපියෙන් උපුටාගත් කොටසකි

සිය ගණනක් ජනතාව යෙරවාන් නගරයේ රැස්වී, රුසියාව විසින් මෙහෙයවන සාමූහික ආරක්ෂක ගිවිසුම් සන්ධානයෙන් (Collective Security Treaty Organization -CSTO) ආර්මේනියාව ඉවත් විය යුතු යැයි ඉල්ලා සිටිති.

මෙම සතියේදී ආර්මේනියා-අසර්බයිජාන දේශසීමාව හරහා අසර්බයිජානය ආර්මේනියාවේ නගරවලට පහර දෙන විට ආර්මේනියාව සාමාජිකත්වය දරන CSTO සංවිධානය එයට සහාය වීමට පැමිණියේ නැතැයි උද්ඝෝෂකයෝ පවසති.

අසර්බයිජාන කාලතුවක්කු ප්‍රහාර ආර්මේනියාවේ නගර කීපයකට එල්ල විය.

සිය සාමාජික රටකට එරෙහිව එල්ල කරන ලද අසර්බයිජානු ප්‍රහාරය පැහැදිලි ලෙස හෙළා දැකීමට අසමත් වීම මගින්  CSTO සන්ධානය තමන්ට පැවරී ඇති වගකීම් පැහැර හරිමින් ආරක්ෂක ගිවිසුම උල්ලංඝණය කර ඇති බව උද්ඝෝෂකයෝ තර්ක කරති.

“අපි හිතනවා ආර්මේනියාවට විතරක් නොවෙයි,එහි අනෙකුත් සාමාජික රටවල්වලටද CSTO සංවිධානය යල් පැනපු, කිසි වැඩකට නැති, අනතුරු දායක එකක් බව ” යනුවෙන් එක් උද්ඝෝෂකයෙකු සකස් කරන ලද ලියැවිල්ලක් කියැවීය.

Elen Danielyan,YSU Journalism faculty , Protesters Demand Armenia’s Withdrawal from CSTO,  17 Sep 2022

අසර්බයිජානය විසින් එල්ලකරන ලද ප්‍රහාරයේ එකම අරමුණ වූයේ CSTO සංවිධානය සිය සාමාජික රටක් වූ ආර්මේනියාව ආරක්ෂා කිරීමට අසමත්වීම පමණක් නොව එය හෙළා දැකීමට පවා අසමත් වීම මගින් ආරක්ෂක ගිවිසුම උල්ලංඝණය කර ඇති බවටත් එහෙයින් එය වෙතින් ආර්මේනියාව ඉවත්විය යුතු බවටත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් මතු කිරීමට මෙම බටහිර ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිකයන්ට අවස්ථාව සළසා දීමය.

අසර්බයිජානය විසින් ආර්මේනියාවට පහරදුන් පසුව රුසියාව ප්‍රමුඛ CSTO සංවිධානය අසර්බයිජානයට එරෙහිව වහාම යුද ක්‍රියාමාර්ග නොගත් බවට රුසියානු නායකත්වයට සහ CSTO සංවිධානයට චෝදනා කරමින් ආර්මේනියාව වහාම සංවිධානයෙන් ඉවත්විය යුතු යැයි යෙරවාන් නගරයේ උද්ඝෝෂණයක නිරතවන රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරින් පිරිසක්

ස්වකීය උපක්‍රමික මෙහෙයුම් සඳහා අසර්බයිජාන තුළ යම් යම් බලගතු කණ්ඩායම් හෝ ආයතන මෙහෙයවා ගැනීමට එක්සත් ජනපදයට එතරම් අසීරු කරුණක් නොවේ. 2020 වසරේ අසර්බයිජාන-ආර්මේනියානු ගැටුමේදී අසර්බයිජානයට තාක්ෂණික සහාය ලබාදුන්නේ ඇමෙරිකන් හිතවාදි ඊශ්‍රායෙලය සහ නේටෝ රාජ්‍යයක් වන තුර්කිය විසිනි. මෙම රටවල් දෙක සමග අසර්බයිජානය ඉහළ මට්ටමේ මිලිටරි පුහුණු සහ තාක්ෂණික සහයෝගිතාවක් පවත්වාගෙන යයි. අනෙක් අතට ආර්මේනියාව CSTO හි සාමාජික රටක්වුවද එහි ආණ්ඩුවේ සහ මිලිටරියේ සමහර බලගතු පුද්ගලයන් එක්සත් ජනපදයේ විවිධ ඒජන්සි සමග සම්බන්ධතා පවත්වනු ලැබේ. තමන් විසින් දියත් කරන ලද ප්‍රහාරයට හේතුව ආර්මේනියාව විසින් සිදු කරන ලද ප්‍රකෝප කිරීම් යැයි අසර්බයිජාන රජය විසින් කර ඇති ප්‍රකාශය ද බැරෑරුම් ලෙස සළකා බැලිය යුතුව ඇත්තේ එනිසාය.

ඔබ එම වෙබ් අඩවියේ about us පිටුවට ප්‍රවේශ වූ විට දැකීමට ලැබෙනු ඇත්තේ එය ගවේෂණාත්මක ජනමාධ්‍ය සඳහා වන ගෝලීය ජාලය (Global Investigative Journalism Network) නම් සංවිධානයේ කොටසක් බවයි. එම GIJN සංවිධානයේ වෙබ් අඩවියට ගිය විට ඔබට දැකිය හැකි වනු ඇත්තේ එය එක්සත් ජනපදයේ මේරිලන්ඩ්හි සොරෝස්ගේ ඕපන් සොසයිටි (Open Society) පදනම් ආයතනය විසින් අරමුදල් සැපයෙන සංවිධානයක් බවයි.

එම ලිපිය ලියා ඇත්තේ ආර්මේනියාවේ YSU විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයේ එලන් ඩැනියෙල්යාන් නැමැති අයෙකි. (Elen Danielyan – YSU Journalism faculty ) එම පීඨය වෙත සහයෝගය ලබා දෙන කණ්ඩායම් ලෙස NATO IC සහ OSCE යෙරවාන් කාර්යාලය, යුරෝපා කොමිසම ආදිය දක්වා තිබේ. 

මෙය බටහිර රටවල් මූල්‍යාධාර මගින් අටවන ලද පෙරමුණකි. ආර්මේනියාවේ යෙරවාන්හි සිට බටහිර ගැති ප්‍රචාරක කටයුතුවල නිරත වන මෙම කුඩා මාධ්‍ය සංවිධාන විසින් පවත්වන ලද මෙම සුළු උද්ඝෝෂණය පුම්බා පෙන්වනු ලබන්නේ මූලික වශයෙන්ම එක්සත් ජනපදයේ මූල්‍යධාර මත පවත්වාගෙන යන ප්‍රචාරක ජාලය මගිනි.
මේ අයුරින් එක්සත් ජනපදයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ පෙරට ගෙන යාහැකි පරිදි වේ අකාර්යක්ෂමතාව, රුසියාවේ නොහැකියාව, සහ ආර්මේනියාව විසින් සිය ආරක්ෂාව සඳහා බටහිර සමග සම්බන්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ආඛ්‍යානයක් දිගටම ගොඩ නගමින් පවතී.

එමෙන්ම මෙවැනි තවත් ලිපි පළ වී ඇත. Eurasian net නම් වෙබ් අඩවියේ පළව ඇති මෙම වාර්තාව එයට නිදසුනකි. එහි සිරස්තලය ආර්මේනියානුවන් සඳහා CSTOව ක්‍රියාන්විතයේදී අතුරුදන්වී ඇත යන්නයි.

යුරේසියානෙට් වෙත අරමුදල් සපයන සංවිධාන

මෙම වෙබ් අඩවියට අරමුදල් සපයනු ලබන්නේ මූල්‍ය ධනවාදියෙකු සහ ආණ්ඩු වෙනස් කිරීම් සඳහා අරමුදල් සපයන්නෙකු වන සහ ජෝර්ජ් සෝරෝස්ගේ “විවෘත සමාජය පදනම” (Open Society), එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික භාරය (National Endowment for democracy -NED) බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු, පොදු රාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කටයුතු පිළිබඳ කාර්යාලය (Foreign,Commonwealth and Development Office) විසිනි.ඒ අනුව මෙම ප්‍රචාරක ආයතනයට අරමුදල් සැපයෙන්නේ එක්සත් ජනපදයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් බව පැහැදිලිය.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

රුසියාව විසින් මෙහෙයවන CSTO ආරක්ෂක සංධානය එහි සාමාජික රටවල අන්‍යොන්‍ය ආරක්ෂාව සඳහා බැඳී සිටිින නමුත් අසර්බයිජානය විසින් ආර්මේනියාව වෙත එල්ලකරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් එය විසින් මේ වන තෙක් දක්වා ඇත්තේ දුර්වල ප්‍රතිචාරයකි.

බොහෝ බටහිර හිතවාදි ආර්මේනියානුවන්  CSTO සංවිධානයෙන් ඉවත් වන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.“ ආර්මේනියාව දැන් මේ මොහොතේ සිය අධිෂ්ඨාන ප්‍රදර්ශනය නොකරන්නේ නම් සහ මෙම CSTO මර විලංගුවෙන් මිදෙන්නට සමත් නොවන්නේ නම්, එක්සත් ජනපදය, ප්‍රංශය, යුරෝපීය සංගමය, ඇතුළු ශිෂ්ට රාජ්‍ය පද්ධතියට ඇතුළුවීමට කටයුතු නොකරන්නේ නම් , රුසියානු ජනාධිපති පුටින්, තුර්කි ජනාධිපති ඒර්ඩොගාන් සහ අසර්බයිජාන ජනාධිපති අලියෙව් විසින් ආර්මේනියාව විනාශ කරනු ඇත. ” යනුවෙන් මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු සහ හෙල්සින්කි සිටිසන් ඇසෙම්බ්ලි ඔෆ් වනාද්සොර් (Helsinki Citizens’ Assembly of Vanadzo) නම් සංවිධානයේ සභාපති වන ආර්තුර් සකුන්ට්ස් (Artur Sakunts) විසින් සැප්තැම්බර් 14 වැනි දින සිය ෆේස්බුක් පිටුවේ ලියා තිබේ.

ඉහත දක්වන ලද එක්සත් ජනපදයේ NED විසින් අරමුදල් සපයන Eurasianet හි පළවූ ලිපියක් මගින් උපුටා දැක්වන්නේ NED විසින්ම අරමුදල් සපයනු ලබන තවත් එවැනිම සංවිධානයක් වන Helsinki Citizens Assembly of Vanishor හි ප්‍රකාශනයකි.
.Helsinki Citizens Assembly වෙත අරමුදල් සපයන්නේ කවුරුන් විසින් ද? ඒ එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික භාරය (NED) දජෝර්ජ් සොරෝස්ගේ ඕපන් සොසයිටි පදනමේ ආර්මේනියානු ශාඛාව ද අනෙකුත් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන පදනම් ආයතනද  විසිනි. මෙහිදී සිදුවන දෙය පැහැදිලිය. එක්සත් ජනපදයේත්, බ්‍රිතාන්‍යයේත් යුරෝපා සංගමයේත්, මුල්‍ය ආධාර ලබන සංවිධාන හරහා කිසියම් ආඛ්‍යානයක් ආර්මේනියාව තුළත් ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රවර්ධනය කරමින් තිබේ. ඒ CSTOව විසින් ආර්මේනියාව පාවාදී ඇති බවත් එහෙයින් ආර්මේනියාව CSTO වෙන් ඉවත්වී බටහිර රටවල් සහ NATOව සමග එක්වෙමින් සිය ආරක්ෂාව සහ සංවර්ධනය සලසාගත යුතු බවත්ය.

දැන් නැවතත් එක්සත් ජනපදයේ කෙංග්‍රස් සභාවේ කථානායක නැන්සි පෙලෝසිගේ ආර්මේනියා සංචාරය වෙත අවධානය යොමු කරමු.
ඒ පිළිබඳව රොයිටර් පුවත් සේවය විසින් මෙසේ වාර්තා කර තිබිණි.

අසර්බයිජානය විසින් ආර්මේනියාවට එරෙහිව එල්ලකරන ලද ප්‍රහාරය පෙලෝසි හෙළා දකියි!

එක්සත් ජනපදයේ කොංග්‍රස් සභාවේ කථානායක නැන්සි පෙලෝසි සෙනසුරාදා ආර්මේනියාවට පැමිණියාය. ඒ කෝකස් කලාපයේ පිහිටි මෙම රාජ්‍යය සහ අසර්බයිජානය අතර මාරාන්තික දේශසීමා ගැටුම් ඇතිවීමෙන් දින කීපයකට පසුවය. මෙම තත්ත්වය විසින් මේ දෙරට අතර කල් පවත්නා සාමයක් ඇති කිරීමේ බටහිර උත්සාහය කඩාකප්පල් වී තිබේ.

2020 දී ආර්මේනියාව සහ අසර්බයිජානය අතර හටගත් ගැටුම්වලින් පසු හටගත් දරුණුම ගැටුම් පසුගිය අඟහරුවාදා හටගත් අතර ජාත්‍යන්තර මැදිහත් වීමෙන් බ්‍රහස්පතින්දා ගැටුම් නවතින මොහොත වන විට එයින් පුද්ගලයන් 215ක් පමණ මරණයට පත්වී ඇත.

තමන්ගේ සංචාරය සාමකාමී සහ සෞභාග්‍යමත් ආර්මේනියාවක් සහ ස්ථාවරසහ ආරක්ෂිත කෝකස් කලාපයක් අරමුණු කොටගත් එක්සත් ජනපදයේ දැඩි කැපවීම පිළිබඳ සංකේතයක් යැයි පෙලෝසි ප්‍රකාශ කළාය. මෙම කුඩා දුප්පත් රාජ්‍යය 1991 දී සෝවියට් සංගමයෙන් නිදහස ලැබූ පසුව  එහි ගිය ඉහළම ශ්‍රේණියේ එක්සත් ජනපද නිලධාරියා පෙලෝසිය.

එක්සත් ජනපද කොංග්‍රස් සභාවේ කථානායිකා නැන්සි පෙලොසි සහ ආර්මේනියා ජාතික මන්ත්‍රණ සභාවේ සභාපති ඇලන් සිමොන්යාන්- නැන්සි පෙලොසිගේ 2022 සැප්තැම්බර් ආර්මේනියානු සංචාරය

නැන්සි පෙලෝසි ආර්මේනියාවට එල්ල වූ ප්‍රහාරය කොතරම් උද්වේගකර වචනවලින් හෙළා දැක තිබුණද, ආර්මේනියාවේ සාමය සහ සෞභාග්‍යය ගැන කොතරම් වාචාල දෙඩවූවද මෙකී ප්‍රහාරය එල්ලකිරීම සඳහා අසර්බයිජානයට කොළ එළිය දල්වමින් සංඥාව ලබා දෙන්නට ඇත්තේ එක්සත් ජනපදය විසින්ම වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෙම ප්‍රහාරයෙන් එල්ලවූ තත්ත්වයෙන් වාසි ගැනීමට ඔවුන් විසින් දක්වන උනන්දුව විසින් මෙම සැකය වඩාත් තහවුරු කරයි. ආර්මේනියාව යටත් කර ගනිමින් තමන්ගේ කඳවුරට එක්කරගැනීම සඳහා සැලසුම් සහගතව දියත් කරන ලද මෙම ප්‍රහාරය මාෆියා වර්ගයේ කූටෝපායක් (Protection Racket) ලෙස සැළකිය හැකිය.
මාෆියා කණ්ඩායම් තමන්ට යම් කිසිවෙකුගෙන් නිතිපතා කප්පම් හෝ වෙනත් අයුතු සහගත ප්‍රතිලාභ බලාත්කාරයෙන් ලබාගැනීමට අවශ්‍ය වූ විට කරන්නේ තමන්ගේම සාමාජිකයන් යොදවමින් එනමුත් වෙනත් පිරිසක් විසින් සිදු කරන ලෙස පෙනී යන පරිදි අදාළ පුද්ගලයාට කිසියම් හිරිහැර මාලාවක්දියත් කිරීමය. අවසානයේදී මාෆියා කණ්ඩායමේ නියෝජිත පිරිසක් අදාළ පුද්ගලයා හමුවී ඔහු පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය තමන්ට දැනගන්නට ලැබුණ බවත් ඔහුට ආරක්ෂාව සැලසීමට තමන් සුදානම් බවත් ඒ වෙනුවෙන් කිසියම් ගෙවීමක් තමන්ට අවශ්‍ය බවත් පවසති. මෙහිදී මෙයට එකඟ වෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් අදාළ පුද්ගලයාට නැත. ඇමෙරිකාව මෙහිදී අනුගමනය කරන්නේ මෙම මාෆියා උපක්‍රමයයි. නමුත් එය සාර්ථක වේදැයි කීමට තාමත් කල් වැඩිය.

එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියේ උපාය මාර්ගික අවශ්‍යතා පෙරට ගැනීම සඳහා නැන්සි පෙලෝසි විසින් ආර්මේනියාවත් මෙම අර්බුදයත් පාවිච්චි කිරීමට උත්සාහ දරන බව පැහැදිලිය. මේ හැරෙන්නට එක්සත් ජනපදයට ආර්මේනියාව පිළිබඳව වෙනත් කිසිදු ප්‍රයෝජනයක් හෝ කැක්කුමක් නැත.අවසන්වරට ඉහළ පෙළේ එක්සත් ජනපද නියෝජිත පිරිසක් ආර්මේනියාවට ගොස් ඇත්තේ දැනට බොහෝ කලකට පෙරය. මෙම කලාපය තුළ අලුතෙන් මතුව ඇති භූ දේශපාලනික යථාර්ථයට මුහුණ දීම සඳහා ආර්මේනියාව ඉත්තෙකු ලෙස භාවිතා කිරීම එක්සත් ජනපදයේ අරමුණ බව පෙනී යයි.

ආර්මේනියාව ඇත්තේ රුසියාවේ දකුණු දේශසීමාවේ කෝකස් කලාපයේ වන අතර ඇමෙරිකාව පිහිටා ඇත්තේ ලෝකයේ සම්පූණයෙන්ම අනෙක් පැත්තේය.කෙසේ හෝ මෙම අර්බුදය මැදට පැනීමට එක්සත් ජනපදය ලොකු උනන්දුවක් තිබේ. සත්‍ය වශයෙන්ම මේ ඔවුන් විසින් නිර්මාණය කළ අර්බුදයකි.

මෙම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රංශය, එක්සත් ජනපදය සහ රුසියාව විසින් ආර්මේනියාව සහ අසර්බයිජානය අතර ස්ථාවර සාමයක් සඳහා මින්ස්ක් නුවරදී ගිවිසුමක් ඇති කරලීමට කටයුතු කළ බවයි

“මින්ස්ක් මැදිහත්කරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසත් ආර්මේනියාවේ දිගුකාලීන මිතුරෙකු ලෙසත් එක්සත් ජනපදය නගාර්නෝ කර්බාක් අර්බුදයට කල්පවත්නා විසඳුමක් ලබාගැනීම සඳහා සිය දැඩි සහයෝගය ආර්මේනියාව වෙත ලබා දෙදෙන බව පෙලොසි වැඩිදුරටත් පැවසුවාය.

නැවත වතාවක් ගැටුම් ආරම්භ වූයේ ආර්මේනියාවේ සමීපතම සගයා වූ රුසියාව මාස 7ක් තිස්සේ යුක්රේනයේ යුද්ධයක පැටැලී සිටින අතරය

විශ්ලේෂකයන් පවසන පරිදි ආර්මේනියාව සහ අසර්බයිජානය අතර කල්පවත්නා සාමයක් ඇති කිරීමට බටහිර විසින් දරන ලද උත්සාහයන් හේතුවෙන් ගැටුම්කාරි තත්ත්වය විශාල වශයෙන් නතර වී තිබේ. පසුගිය පෙබරවාරියේදී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ජාත්‍යන්තර වේදිකාව තුළ රුසියාව සම්පූර්ණයෙන්ම පාහේ හුදෙකලා වී තිබේ. අසර්බයිජානය සහ ආර්මේනියාව අතර සාමකාමි තත්ත්වයක් ඇති කිරීම සඳහා යුරෝපා සංගමය පෙරමුණ ගෙන තිබේ.”

රුසියාව හුදෙකලා වී ඇත්නම් ඒ බටහිර රටවල් සමග ගනුදෙනු කිරීමේදීය. බටහිර යුරෝපය හෝ ඇමෙරිකාව යනු ලෝකය නොවේ. ඔවුන් පවසන දෙයින් ඔවුන්ගේ අරමුණු වටහාගත හැකිය. එක්සත් ජනපදය විසින්  ආර්මේනියාව තුළ අරමුදල් සපයන්නේ කවුරුන් වෙතදැයි ඔබ දන්නේ නම් මේ සියල්ලේ අරමුණ රුසියාව සහ ආර්මේනියාව අතර භේදයක් ඇති කිරීම බව ඔබට වටහාගත හැකි වනු ඇත.

අල්ජසීරා වෙබ් අඩවිය මේ පිළිබඳව ලියන ලද ලිපියක මෙසේ සඳහන් වේ.

ආර්මේනියාවේ සංචාරයක් අරඹමින් අසර්බයිජානයේ නීතිවිරෝධී ප්‍රහාරය පෙලෝසි විසින් හෙළා දකිනු ලබයි.

එක්සත් ජනපදය ආර්මේනියාවේ ආරක්ෂක උවමනාවන් මොනවාදැයි ඇහුම්කන් දීමට කටයුතු කරන බවත් ඒකාධිපතිවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර ගෝලීය සටනේදී මෙම රටට උදවු කිරීමට වොෂින්ටනය සිය සහාය ලබාදීමට අවශ්‍යව ඇති බවත් නැන්සි පෙලෝසි පැවසුවාය.

“පෙලොසි වැඩි දුරටත් සඳහන් කළේ රුසියාව විසින් මෙහෙයවන සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ ප්‍රතිචාරය ගැන ආර්මේනියාව තුළ පවතින අතෘප්තිකර ස්වභාවය උනන්දු ජනක දෙයක් බවයි. අසර්බයිජානය විසින් එල්ල කරන ලද ප්‍රහාරය හමුවේ ආර්මේනියාව විසින් ආධාර ඉල්ලා සිටින විට රුසියාව විසින් මෙහෙයවන මිලිටරි සන්ධානය විසින් දක්වන ලද ප්‍රතිචාරය පිළිබඳව ජ්‍යෙෂ්ඨ ආර්මේනියානු නිලධාරියෙකු පසුගිය සතියේදී සිය අසතුට පළ කර තිබිණි.”

“සිදු වූ දේවල් ගැන අපි සෑහීමකට පත්ව නැහැ. අප අපේක්ෂා කළ දෙය සිදු වූයේ නැහැ.”
යි ආර්මේනියානු පාර්ලිමේන්තුවේ කතානායක ඇලන් සිමොනියාන් ( Alen Roberti Simonyan) ආර්මේනියානු ජාතික රූපවාහිනිය වෙත පවසන ලදි. ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය පවසන අන්දමට ඔහු විසින් CSTO සංවිධානය සමාන කර ඇත්තේ වෙඩි තබන්නේ නැති පිස්තෝලයකටය.

නැන්සි පෙලෝසි ප්‍රමුඛ එක්සත් ජනපද නායකයන් මෙලෙස පවසන විට එහි සැබෑ සහ නිවැරදි තේරුම එක්සත් ජනපදයේ ස්වෝත්තමවාදි ආධිපත්‍යය සහ සෙසු ලෝකය අතර පවතින අරගලයයි. මෙම ආධිපත්‍යයට චීනය සහ රුසියාව කෙළින්ම අභියෝග කර තිබේ. ඇමෙරිකාව මේ සටනේදී කිසිදු ජාතියකට හෝ රාජ්‍යයකට පැත්තකට වී ස්වාධීනව සහ අපක්ෂපාතිව සිටීමට ඉඩ දෙන්නේ නැත. ඔවුන්ට පැත්තක් ගැනීමට සිදුව ඇත. ඔවුහු එක්සත් ජනපදයේ පැත්ත නොගතහොත් වර්ණ විප්ලවයක් හෝ වෙනත් කුමන්ත්‍රණයක් මගින් ආණ්ඩුව පෙරළා දමා රට අස්ථාවර කරමින් එක්සත් ජනපදයට ගැති පාලනයක් බිහිකරනු ඇත. එහෙයින් දුර්වල රාජ්‍යයන් සම්බන්ධයෙන් බොහෝ විට සිදුවන්නේ ඒවා එක්සත් ජනපදයේ රූකඩ රාජ්‍යයන් බවට පත්වීමය. එයට එරෙහිව කටයුතු කිරීමට ගියහොත් විනාශ කරනු ඇත.

එලෙස ඇමෙරිකාව වෙත තමන්ගේ ස්වෛරීත්වය පාවා දෙන ආණ්ඩුවලට සිදුවන්නේ තමන්ගේම රටේ ජනතාවගේ අවශ්‍යතාවන්ට එරෙහිව ඇමෙරිකාවේ අධිරාජ්‍යවාදි උවමනාවන් ඉටු කිරීමටය. වර්ණ විප්ලවයක් මගින් එක්සත් ජනපද ගැති පැසිස්ට්වාදි ආණ්ඩුවක් යුක්‍රේනයේ පිහිටුවන ලද අතර මෙම නව ආණ්ඩුව ඇමෙරිකාවේ අවශ්‍යතා මත රුසියාවට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කිරීමේ ප්‍රතිඵලය වූයේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමය. මෙහිදී යුක්‍රේන ජනතාව විශාල වශයෙන් මරණයට පත්වන නමුත් රුසියාව සමග සාමකාමි විසඳුමකට ඒමට එක්සත් ජනපදය විසින් කිසිදු ඉඩක් ලබා නොදෙයි.
අපි මෙම ක්‍රියාවලිය නැවත නැවතත් දැක ඇත්තෙමු. ආමේනියාව පවා මෙම ක්‍රියාදාමයේ ගොදුරු බවට පත් වී තිබේ.

මවිසින් මීට පෙර 2015 දී සහ 2016දී ආර්මේනියාවේ අභ්‍යන්තර දේශපාලනයට එක්සත් ජනපදය මැදිහත්වන ආකාරය ගැන ලිපි දෙකක් ලියා ඇත්තෙමි.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික භාරය ( National Endowment for Democracy ) දැනට වසර ගණනාවක සිට ආර්මේනියාවේ අභ්‍යන්තර දේශපාලනය එක්සත් ජනපද මූලෝපායික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි වෙනස් කිරීම සඳහා මැදිහත් වෙමින් සිටියි. ආර්මේනියාවේ “ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ” ඔවුන් විසින් “ පුටින්වාදය” ලෙස සළකනු ලබන දෙයට එරෙහිව උද්ඝෝෂණ දියත් කිරීමට අරමුදල් සැපයීම ද ඔවුන්ගේ එක් කර්තව්‍යයකි.

ඇලන් සිමොනියාන් යනු කවරෙක්ද?

ඇලන් සිමොනියාන් යනු කවරෙක්ද? ඔහු ආර්මේනියානු පාර්ලිමේන්තුව නැතහොත් ජාතික මන්ත්‍රණ සභාවේ සභාපතිවරයාය. ඔහු එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික භාරය ( National Endowment for Democracy -NED) නම් ආයතනයේ සභාපතිවරයා සමග නිතර ගැවසීමට කැමැත්තක් දක්වන අයෙකි.

ආර්මේනියානු ජාතික මන්ත්‍රණ සභාවේ සභාපති ඇලන් සිමොන්යාන් සහ NED හි වත්මන් සභාපතිවරයාවන ඩේමන් විල්සන්

ආර්මේනියානු පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ සිමොනියාන් සහ NED හි වත්මන් සභාපතිවරයාවන ඩේමන් විල්සන් (Damon Wilson) එකට සිටින ඡායාරූපයක් දැක්වේ. ඩේමන් විල්සන්ට කලින් NED හි සභාපතිවරයාව සිටියේ කාර්ල් ගර්ෂ්මාන්ය(Carl Gershman). ගර්ෂ්මාන් එම 1980 දී එම සංවිධානය ආරම්භ කළ දින සිටම එහි සභාපතිවරයා විය. ඩේමන් විල්සන් NEDහි වැඩ භාරගැනීමට පෙර අත්ලාන්තික් කවුන්සිලය ( Atlantic Council) නම් නේටෝ චින්තන පර්ෂදයක් තුළ කටයුතු කර ඇත. අත්ලාන්තික් කවුන්සිලය තුළ ජනප්‍රිය තේමාවක් නම් රුසියාව අවශෝෂණය කරගැනීම සහ යුරෝපා සංගමය සහ නේටෝව නැගෙනහිර ව්‍යාප්ත කිරීමය.

නැගෙනහිර යුරෝපය වෙත නේටෝව සහ යුරෝපා සංගමය ව්‍යාප්ත කරමින් අවසානයේදී බටහිර විසින් මෙහෙයවන ඊනියා “ නීතියේ ආධිපත්‍යය සහිත ලෝකය ” වෙත රුසියාව අවශෝෂණය කර ගනිමින් ඇමෙරිකානු ආධිපත්‍යය රුසියාව මත පිහිටුවීම හුදෙක් අත්ලාන්තික් කවුන්සිලයේ සංවාද මාතෘකාවක් පමණක් නොවේ. එය සෑම විටෙකම එක්සත් ජනපද මූලෝපායික සැලසුම්වල වැදගත් කොටසක් විය.

රුසියාව එය දැන සිටි අතර අවසානයේදී ඔවුහු යුක්‍රේනය ආක්‍රමණය කළේ නේටෝව විසින් යුක්‍රේනය තුළ සිය මිලිටරි ක්‍රියාකාරකම් උත්සන්න කිරීම සහ බර අවි ස්ථානගත කිරීම ආරම්භ කළ පසුය. රුසියාව සටන් කරන්නේ මෙයට එරෙහිවය. චීනය සහ වෙනත් රටවල් ගණනාවක් රුසියාව සමග සන්ධානගතව සිටින්නේ මෙයට එරෙහිවය. රුසියාව ඇද වැටුණ හොත් මීළඟට එළැඹෙනු ඇත්තේ තමන්ගේ වාරය බව ලෝකයේ බොහෝ රටවල් වටහා ගෙන තිබේ.

ආර්මේනියානු පාර්ලිමේන්තු විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයක මෙසේ සඳහන් වේ.

“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික භාරයේ (NED) සභාපතිවරයා වූ ඩේමන් විල්සන් (Damon Wilson) සමග පැවැති හමුවේදී ජාතික පාර්ලිමේන්තුවේ අටවැනි සැසිවාරයේ වැඩ කටයුතු පිළිබඳව මෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකිරීමේදී ප්‍රමුඛතාව හිමිවිය යුතු ක්ෂේත්‍ර ගණනාවකට අදාළව ඒවා සැලසුම්කළ යුතු ආකාරය පිළිබඳවද සාකච්ඡා කරන ලදි.”

Press Release Republic Of Armania Nationla Assembly 20.01.2022

ආර්මේනියාවේ අභ්‍යන්තර දේශපාලනයට අදාළ කටයුතු වන ව්‍යවස්ථාමය වෙනස් සිදුකිරීමේදී එයට මැදිහත්වීමේ ඇමෙරිකාවට ඇති අවශ්‍යතාව කුමක්ද?

“ආර්මේනියානු ජනරජයේ ජාතික මන්ත්‍රණ සභාවේ සභාපති ඇලන් සිමොනියාන්ගේ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ඩේමන් විල්සන් විසින් ආර්මේනියාව සමග විශේෂයෙන්ම ජාතික මන්ත්‍රණ සභාව සමග අපේක්ෂිත සහයෝගිතාවයේ ප්‍රධාන දිශානතීන් පිළිබඳව වූ වැඩ සටහන ඉදිරිපත් කරන ලදි. ඒ අනුව ආර්මේනියානු ජනරජය- ජාත්‍යන්තර ව්‍යුහයයන්- සිවිල් සමාජය සහයෝගිතා ආකෘතිය පිළිබඳව සාකච්ඡා කරන ලදි.”

Press Release Republic Of Armania Nationla Assembly 20.01.2022

ඔවුන් සිවිල් සමාජය ගැන කතා කරන විට ඔවුන් කතා කරන්නේ එක්සත් ජනපද රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික භාරය (NED) වැනි ආයතන හරහා සැපයෙන අරමුදල් වලින් පවත්වාගෙන යනු ලබන මාධ්‍ය සංවිධාන සහ මානව හිමිකම් පෙරමුණු ගැනය. මේවා එක්සත් ජනපදය විසින් මෙහෙයවන පෙරමුණු වේ. ආර්මේනියානු පාර්ලිමේන්තුවේ සභාපති සිමොනියාන් විසින් සිවිල් සමාජය සමග එකට වැඩ කිරීම පිළිබඳව NED සමග ඇති කරගන්නා ලද මේ ගිවිසුම් විසින් පාර කපා ඇත්තේ ජාතික මන්ත්‍රණ සභාව හෙවත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය එක්සත් ජනපදය විසින් මුදල් සපයමින් මෙහෙයවන ඊනියා සිවිල් සමාජ සංවිධාන වෙත යටත් කරනු ලැබීමය. එය එක්සත් ජනපදය විසින් මුදල් සපයමින් මෙහෙයවන සංවිධානවලට රටේ ජනතාවගේ පරමාධිපත්‍යය යටත් කිරීමක් ලෙස සැළකිය හැකිය. මෙය එක්සත් ජනපදය ලෝකය පුරාම සිදුකරමින් සිටින දෙයකි.

“ආර්මේනියාව තුළ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් සහ නිදහස් මාධ්‍ය තහවුරු කිරීම සඳහා ගෙන ඇති ආරම්භක පියවර ඇමෙරිකානු නියෝජිතයන් විසින් මතුකර පෙන්වන ලදි දිගටම සිය ක්‍රමවේදාත්මක සහ සෙසු ආධාර ලබා දීමට කටයුතු කරන බවද ඔවුන් විසින් පවසන ලදි.”

Press Release Republic Of Armania Nationla Assembly 20.01.2022

ඔවුන් නිදහස් මාධ්‍ය යනුවෙන් පවසන විට ඔවුන් අදහස් කරන්නේ එක්සත් ජනපදය විසින් විවෘතවම සැපයෙන මූල්‍යාධාර මත පවතින ඉහත සඳහන් වෙබ් අඩවි වේ. මෙම වෙබ් අඩවිවල “මාධ්‍ය වේදීන්” විසින් සිදු කරන කාර්යභාරය වන්නේ ඉලක්ක කරන ලද රට තුළ ජනතා අවශ්‍යතා පාවා දෙමින් එක්සත් ජනපද අවශ්‍යතාවන් පෙරට ගෙන යාමට අවශ්‍ය ප්‍රචාරක කටයුතුවල නිරතවීමය. මෙහිදී ආර්මේනියානු පාර්ලිමේන්තුවේ බලධාරින් කටයුතු කරන්නේ එක්සත් ජනපදයේ ආධාර ලබන NEDහි උප සංවිධානයක් මෙන්ම ජාත්‍යන්තර අධිකාරයක් සහිත ව්‍යුහයක් ද වන “ජාතික ප්‍රජාතාන්ත්‍රික ආයතනය” ( National Democracy Institute-NDI) සමගයි.

“..ජාත්‍යන්තර අධිකාරයක් සහිත අනෙක් ව්‍යුහය වන ජාතික ප්‍රජාතාන්ත්‍රික ආයතනයේ (NDI) සභාපති ඩෙරෙක් මිචෙල් (Derek Mitchell) සමග පවත්වන ලද හමුවේ සී සාකච්ඡාවට ලක්වුණ ප්‍රධාන තේමාව වූයේ පාර්ලිමේන්තුවේ ස්ත්‍රි සහ තරුණ දේශපාලනඥයන් සමග සම්බන්ධව කටයුතු කිරීම පිළිබඳවය. ජාතික ප්‍රජාතාන්ත්‍රික ආයතනය (NDI) විසින් ඉදිරිපත් කරන ලද රාමුව තුළ මේ දක්වා කර ඇති කාර්යයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාපති ඇලන් සිමොනියාන් විසින් පෙන්වා දෙන ලදි.”

Press Release Republic Of Armania Nationla Assembly 20.01.2022

මේ අනුව ඔබට පෙනී යනු ඇත්තේ ආර්මේනියානු අභ්‍යන්තර දේශපාලනයේ හදවත වන පාර්ලිමේන්තුව තුළ එහි කටයුතු හැසිරවීම සඳහා එක්සත් ජනපද රජය විසින් මෙහෙයවන ජාතික ප්‍රජාතාන්ත්‍රික ආයතනය (NDI) විසින් වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

පුවත්පත් නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“…පුරවැසියන් සහ මහජන නියෝජිතයන් අතර සන්නිවේදනය ස්ථාපිත කිරීම සහ මහජන සහභාගිත්වයේ වර්ධනය.”

“–ඔහුට අනුව, මෙම වැඩ සටහනේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව සහ ඡන්දදායකයා අතර සබඳතාව සම්බන්ධීකරණය කර තිබේ. සංවාදමය වැඩ සටහන් මෙහෙයවන්නන් විසින් ආර්මේනියානු පාර්ලිමේන්තු පක්ෂවලටද, මහජන නියෝජිතයන්ටද, ස්ථාවර කමිටුවලටද ව්‍යවස්ථාදායක පර්යේෂණ කටයුතුවලදී ස පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයටද සහභාගිත්ව සහ සන්නිවේදන කටයුතුවලදී පුරවැසියන්ටද අඛණ්ඩව සහයෝගය ලබා දෙනු ලැබේ.”

Press Release Republic Of Armania Nationla Assembly 20.01.2022

මෙහිදී පැහැදිලිවන දෙය නම් ආර්මේනියානු පාර්ලිමේන්තු නියෝජිතයන් සහ පුරවැසියන් අතර සන්නිවේදන කටයුතු මෙහෙයවීමට සැලසුම් කර ඇත්තේ එක්සත් ජනපදයේ මූල්‍යාධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් මගින් බවය. සැබැවින්ම මේවා රාජ්‍ය නොවන සංවිධාන ලෙස සැළකිය නොහැකිය. මක් නිසාද යත් මේවා විදේශීය ආණ්ඩුවකින් මූල්‍යාධාර ලබන බැවිනි. එබැවින් මේවා සැළකිය යුත්තේ “විදේශීය රාජ්‍ය සංවිධාන” ලෙසය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ ආර්මේනියානු අගමැති පෂිනියාන්

එක්සත් ජනපදය විසින් ආර්මේනියාවේ මැතිවරණ කටයුතු සඳහා බලපෑම් කරනු ලබන්නේ මේ ආකාරයටය. මැතිවරණ කෙරෙහි මේ සිදු කරන බලපෑම පෙරළා පාර්ලිමේන්තුවේ සංයුතිය කෙරෙහිද එය විසින් සම්මත කරන අණපනත් සහ ක්‍රියාවට නංවන ප්‍රතිපත්ති කෙරෙහිද බලපායි. එක්සත් ජනපදයේ රාන්ඩ් ආයතනයේ 2019 පත්‍රිකාව තුළ රුසියාව විස්තාරණය කිරීම යටතේ ඔවුන් විසින් සඳහන් කරන ලද “ ආර්මේනියාව කණපිට ගැසීම ” සිදුවන්නේ මේ ආකාරයටය. ඔවුන් එහිදී අදහස් කරන්නේ ආර්මේනියාවේ අභ්‍යන්තර දේශපාලන ක්‍රමය සහ ආයතන එක්සත් ජනපදය විසින් මෙහෙයවෙන සමාන්තර ව්‍යුහයන් මගින් විස්ථාපනය කිරීමටය. නැතහොත් දැනට පවත්නා ආයතනවල සිටින පුද්ගලයන් වෙනුවට තමන්ගේ නියෝජිතයන් එම තැන්වලට පත් කර ඔවුන් හෝ එම සමාන්තර සංවිධාන හරහා එක්සත් ජනපදයේ අවශ්‍යතා ඉටුකරන මාවතක් දිගේ ආර්මේනියාව ඇදගෙන යාමය.

යුක්‍රේනය නිලවශයෙන් මේ මාවත තෝරාගත්තේ 2014 වසරේදීය. නමුත් එයට කලකට පෙර සිටම එක්සත් ජනපදය සිය විවිධ ඒජන්සි හරහා යුක්‍රේනය “කණපිට ගැසීමේ ක්‍රියාවලිය ” ආරම්භ කර තිබිණි. යුක්‍රේනයේ අභ්‍යන්තර දේශපාලනය හැසිරවීම සඳහා එක්සත් ජනපදය ඩොලර් බිලියන ගණන් වියදම් කර තිබිණි. ජෝර්ජ් සොරෝස්ගේ ඕපන් සොසයිටි, NED වැනි සංවිධානද ඒවායේ උප සංවිධානද විවිධ කණ්ඩායම් ගොඩ නගමින් ආණ්ඩුව පෙරලාදැමීම සඳහා ප්‍රචණ්ඩ ක්‍රියාදාමයක් මෙහෙයවන ලදි. එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද මේ කණ්ඩායම් විසින් යනුකොවිච්ගේ නීත්‍යානුකූල රජය පෙරළා දමා එක්සත් ජනපදයට හිතවත් රූකඩ රජයක් එහි බිහිකරන ලදි. අනතුරුව එහි පැමිණි එක්සත් ජනපද සමාගම් සහ කොල්ලකාරි ධනපතියන් යුක්‍රේනයේ කම්හල්, පතල්බිම්, ගොවිබිම් ඇතුළු සියලු සම්පත් අත්පත් කරගත්හ. අනතුරුව එක්සත් ජනපදය විසින් සිය “ රුසියාව විස්තාරණය කිරීමේ උපායමාර්ගය” ක්‍රියාත්මක කිරීම සඳහා යුක්‍රේනයේ පැසිස්ට්වාදි බලවේග සන්නද්ධ කරමින් රුසියාව සමග ගැටුමක් ඇති කරන ලදි. දැන් යුක්‍රේනයට සිදුව ඇත්තේ සිය ජනතාවගේ අවහ්‍යතා ඉටු කිරීමට නොව වොෂින්ටනයේත්, බ්‍රසල්ස් සහ ලන්ඩනයේත් ඕනෑ එපාකම් ඉටු කිරීමටය. මේ මාවතේ ගමන්කිරීම තෝරාගතහොත් ආර්මේනියාවට ද හිමිවනු ඇත්තේ යුක්රේනය මෙන් විනාශකාරි අත්දැකීම්වලට මුහුණපෑමට පමණි.

2014 දී යුක්‍රේනයේදී පෙරළා දමන ලද යනුකොවිච්ගේ රජය සර්ව නිර්දෝෂී පාලනයක් නොවූවද එය බටහිර සහ රුසියාව අතර තුලනාත්මක සම්බන්ධයක් පවත්වාගෙන යමින් දෙපාර්ශ්වයෙන්ම යුක්‍රේනයට වාසි ලබාගැනීමට සමත් විය. කෙසේ වුවද යුක්‍රේන ආර්ථිකය විශාල වශයෙන් රුසියාව මත රඳා පැවතිණි. ඒ යුරෝපය වෙත දිවෙන රුසියාවේ ගෑස් නළ පද්ධතිය යුක්‍රේනය හරහා අතුරා තිබීම හේතුවෙන් ඒ වෙනුවෙන් ලද විශාල ආදායම නිසා පමණක් නොවේ. යුක්‍රේනයේ කාර්මික නිෂ්පාදනය සඳහා විශාලතම වෙළඳපොළ වූයේද රුසියාවයි. 2014 දී ඇමෙරිකත් ගැති රජය බලයට පත්වී රුසියන් විරෝධී පිළිවෙතක් අනුගමනය කිරීම නිසා මේ සියල්ල නතර විය. යුක්‍රේන ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ බිඳවැටිණි.

යුක්‍රේනයේදී සිදුවූයේ එක්සත් ජනපදය විසින් තවත් එක් ජාතියකට පැත්තක් ගන්නා ලෙස බලකිරීමය. යුක්‍රේනයට ස්වාධීනව අපක්ෂපාතිව සිටිමින් තම ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට ඇමෙරිකාව විසින් ඉඩදුන්නේ නැත. සැබැවින්ම යනුකොවිච් යටතේ යුක්‍රේනය තෝරාගත්තේ රුසියාවේ පැත්තයි. ඔහුගේ රජය පෙරලා දැමුණේ එනිසාය.දැන් එය එක්සත් ජනපද අවශ්‍යතා ඉටුකරන වහල් රාජ්‍යයකි.

දැන් අපට ආර්මේනියාව තුළද දැකිය හැක්කේ මේ එකම ක්‍රියාදාමයයි.

කිසියම් බාහිර රාජ්‍යයක් විසින් තවත් රටක් ඉලක්ක කරමින් එම රටේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත් වී එය තම අවශ්‍යතාවලට සරිලන පරිදි ප්‍රති සංවිධානය කිරීමට උත්සාහ දැරීමත්, බලයට පත්වන පුද්ගලයන් තෝරාගනු ලබන මැතිවරණ ක්‍රියාදාමයට ද, බලයට පත් විය යුත්තේ කවුරුන්ද, කෙසේද, කවදාද, ඔවුන් බලය පැමිණි පසු කළ යුත්තේ කුමක්දැයි යන කරුණු සම්බන්ධව බලපෑම් කිරීමත් ආදිය හැඳින්විය හැක්කේ කෙසේද? එය හැඳින්විය හැක්කේ “විදේශීය බලපෑම් ” ලෙසය. මෙය එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමකි. එය විදේශීය බලපෑමක් ලෙස හැඳින්වීමටත් වඩා සුදුසු එය නූතන අධිරාජ්‍යවාදී ආක්‍රමණයක් ලෙස හැඳින්වීමය. මක් නිසාද යත් අප්‍රිකාවේ, ආසියාවේ හෝ ලතින් ඇමෙරිකාවේ කුඩා දුර්වල රටකට එක්සත් ජනපදයේ හෝ බ්‍රිතාන්‍යයේ හෝ කැනඩාවේ අභ්‍යන්තර කටයුතුවලට ඒ අයුරින් බලපෑම් කිරීමට හැකියාවක් නැති බැවිනි. බලපෑම් සිදුවන්නේ එක් දිශාවකටය. ඒ ප්‍රබලයා විසින් දුර්වලයා යටත් කර සූරාකෑමේ දිශාවටය. මෙම බලගතු රටවලින් හෝ ඔවුන් විසින් මෙහෙයවන කවර හෝ ආකාරයේ ඒජන්සියක්, රාජ්‍ය නොවන සංවිධානයක්, ජාත්‍යන්තර ආයතනයක් කුඩා දුර්වල රටකට කෙරෙන බලපෑම සැළකිය හැක්කේ අධිරාජ්‍යවාදි අක්‍රමණයක් ලෙස මිසෙක වෙනත් ආකාරයකින් නොවේ.

දැන් එක්සත් ජනපදය ආර්මේනියානු දේශපාලන ක්‍රමය තුළ සිය ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළ පටවමින් සිටියි. අවසානයේදී එය ආර්මේනියාවේ අභ්‍යන්තර, විදේශ ප්‍රතිපත්තියද එහි අනාගතය කෙරෙහි ද සිය අධිකාරය තහවුරු කරනු ඇත. ඇමෙරිකාව විසින් ආර්මේනියාවට සිදු කර ඇත්තේ ඇත්තේ එයයි. එය විසින් මෙම උද්ඝෝෂණ කණ්ඩායම්වලට අරමුදල් සපයමින් රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කර තිබේ. මෙම උද්ඝෝෂණකරුවන්ට මුදල් ගෙවන්නේ ආර්මේනියානු ජනතාවගේ උවමනාවන් පෙනී සිටීමට නොව එක්සත් ජනපදයේ අවශ්‍යතා සහ සැලසුම් ක්‍රියාවට නැංවීමටය. රුසියාව විසින් මෙහෙයවන සංවිධානයේ ඉවත්වී යුරෝපා සංගමයට සහ නේටෝවට එක්වී රුසියාවේ දකුණු දේශසීමාවේද ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය කිරීම මගින් රුසියාව දුර්වල කිරීම සඳහාය. 2019 රාන්ඩ් ආයතනය විසින් ඉදිරිපත් කර ඇති පත්‍රිකාවේ සඳහන්ව ඇත්තේ මේ සැලසුම ගැනය.

මෙම උද්ඝෝෂණ කරුවන් සිදු කරමින් සිටින්නේ එයයි. ඔවුන්ට එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන්නේ “ආර්මේනියාවට සිය ආරක්ෂාව සලසාගත හැක්කේත් වඩාත් සමෘද්ධිමත් ධනවත් රටක් බවට පත්විය හැක්කේත් බටහිර යුද සන්ධානය වන නේටෝවට සහ යුරෝපා සංගමයට එක්වීම මගින් පමණකි ” යන මතය ආර්මේනියානු ජනතාව සහ දේශපාලන ආයතන තුළ පැතිරවීම සඳහාය. එක්සත් ජනපදය විසින් පිහිටුවන ලද රූකඩ ආණ්ඩුව යුක්‍රේනයට නිදහස, ආරක්ෂාව සහ සමෘද්ධිය ලබා දී ඇති ආකාරය යුක්‍රේනයේ වත්මන් තත්ත්වය විමසා බැලීමෙන් තේරුම්ගත හැකිය.

එක්සත් ජනපදය විසින් මේ වනවිට තායිලන්තය තුළ දියත් කරමින් සිටින්නේ ද මේ උපක්‍රමයමය. වර්තමාන තායිලන්ත ආණ්ඩුවද, තායි දේශපාලන සහ ආර්ථික ආයතනද චීනය වෙත වඩ වඩාත් සමීප වෙමින් සිටින අතර එක්සත් ජනපදයට මේ තත්ත්වය රුස්සන්නේ නැත. එක්සත් ජනපදය යම් යම් විරුද්ධ පාක්ෂික කණ්ඩායම්වලට අරමුදල් සපයමින් වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම සඳහා වීදී සටන්වලට ජනතාව යොමු කරමින් සිටියි. එක්සත් ජනපදයට අවශ්‍ය තායිලන්තයේ වත්මන් ආණ්ඩුව ඉවත් කර වොෂින්ටනයේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටින රූකඩ පාලනයක් එහි ස්ථාපිත කිරීමට මිසෙක ජනතා උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින පාලනයක් බිහිකිරීමට නොවේ.

ලෝකයේ බොහෝ රටවල මේ වනවිට පවත්නා දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් සෑම රටෙකම පාහේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මතුවෙමින් පවතී. ඉන්ධන සහ ආහාර හිඟය, උද්ධමනය, පොහොර මිල ඉහළ යාම ආදිය ඊට හේතුවයි. මෙම ආර්ථික අර්බුදයට හේතුවී ඇත්තේ එක්සත් ජනපදය සහ බටහිර රටවල් විසින් සැලසුම් සහගතවම නිර්මාණය කරන ලද කොරෝනා ප්‍රෝඩාවත් යුක්‍රේනය හා රුසියාව අතර යුද්ධයක් නිර්මාණය කිරීමත් එය උපයෝගී කරගනිමින් රුසියාවට පනවන ලද සම්බාධක මගින් ලෝක ආර්ථිකයට සිදු කරන ලද විනාශයත් ය. එක්සත් ජනපදයේ ඩොලර් ට්‍රිලියන 35කට ආසන්න ණය හේතුවෙන් එහි මූල්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමකට යොමුව ඇති අතර එමගින් ඔවුන් විසින් මෙහෙයවන එනම් බටහිර ආධිපත්‍යය සහිත සමස්ත මූල්‍ය ක්‍රමයේම බිඳවැටීම සිදුවීමට නියමිත බව ආර්ථික විද්‍යායන් විසින් අනතුරු අඟවා තිබිණි. මෙම මූල්‍ය ක්‍රමයේ අර්බුදය මගින් සිය වත්කම් වාෂ්පවීම වළක්වා ලීම සඳහා ලෝකයේ සෙසු රටවල සම්පත් අත්පත් කරගැනීමට ඔවුහු තීරණය කළ අතර ඒ සඳහා එම රටවල ආර්ථිකය බිඳ දමා ඔවුන්ගේ ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරන ලදි. ඉහත සඳහන් කළ පරිදි ඒ සඳහා යොදාගත්තේ කොරෝනා ප්‍රෝඩාව සහ යුක්‍රේන යුද්ධයයි.
එක් පසෙකින් මේ රටවල ආර්ථිකය බිඳහෙළිමට එක්සත් ජනපදය විසින් සැලසුම් සහගතවම කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින අතර අනෙක් අතට එහි ප්‍රතිඵලයක් ලෙස වීදී බසින ජනතාව තමන්ගේ උපායමාර්ගික ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා මෙහෙයවීමට එක්සත් ජනපදයේ අරමුදල් මත ක්‍රියාත්මකවන රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් බිහිකරන ලදි. මේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සම්ප්‍රදායිකව පැවැති ඒවා වන අතර ඇතැම් ඒවා අලුතෙන්ම පිහිටුවන ලද ඒවාය. එපමණක් නොව සමාජ මාධ්‍යජාලා ක්‍රියාකාරිකයන්, උද්ඝෝෂකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් රැසක් පුහුණු කරන ලදි. මේ සෑම දෙයක්ම නැගෙනහිර යුරෝපයේ හෝ අරාබියේ එක්සත් ජනපද විරෝධී ආණ්ඩු පෙරළා දැමීම සඳහා යොදා ගනු ලැබූ “වර්ණ විප්ලව” අත්පොතට අනුව සුදානම් කර තිබිණි.

මෙහි අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ කුමක්දැයි පැහැදිලිය. 2014 වසරේ සිට යුක්‍රේනයේ සිදුවූ සහ සිදුවෙමින් පවතින දේ පිළිබඳව අවධානය යොමු කරන්න. දැන් ආර්මේනියාවට ගොස් සිටින එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි ආර්මේනියාවට ආරක්ෂාව සැලසීමට පොරොන්දු වී තිබේ. ඇය ආර්මේනියාවට ආරක්ෂාව සැලසීමට පොරොන්දු වී ඇත්තේ කුමක් වෙතින්ද? ඒ එක්සත් ජනපදය විසින්ම සැලසුම් සහගතවම නිර්මාණය කරන ලද ගැටුම්කාරි තත්ත්වයකිනි.

මෙය සමාන කළ හැක්කේ අප ඉහතදීත් සඳහන් කර ඇති පරිදි මාෆියා කණ්ඩායම සමාජිකයන් පැමිණ ඔබ වෙත ආරක්ෂාව සැලසීමට කරන ප්‍රතිඥාවකටය. ඔවුන් ඔබට ආරක්ෂාව සැලසීමට පොරොන්දුවන්නේ යම් ආකාරයක බාහිර තර්ජනයකට එරෙහිව ද? නැත. ඔවුන් ඔබව ආරක්ෂා කිරීමට පොරොන්දුවන්නේ ඔබ විසින් ඔවුන්ගේ කප්පම් වාරිකය නොගෙවා සිටියහොත් ඔවුන් විසින්ම ඔබ මත දියත් කිරීමට සැලසුම් කර ඇති ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන්ය.

හොඳයි, එක්සත් ජනපදය මේ සුදානම්වන්නේ ආර්මේනියාවට ආරක්ෂාව සැලසීමටද? නැත, කොහෙත්ම නැත. ඔවුන් මේ සිදු කරන්නේ ආර්මේනියාවට තර්ජනය කිරීමකි. එක්සත් ජනපදය විසින් ආර්මේනියාවට පවසන්නේ මෙයයි.

“ නුඹලා CSTO සංවිධානයෙන් ඉවත් වීමෙන් රුසියාවෙන් සමග සම්බන්ධකම් අත්හැර දැමිය යුතුය. එමෙන්ම රුසියාවේ දකුණු දේශසීමාවේ තත්ත්වය සංකීර්ණ කිරීමට එක්සත් ජනපදයට උදවු කළ යුතුය. එසේ නැතහොත් සිදුවන්නේ මෙයයි.අසර්බයිජානය සමග නුඹලාගේ ගැටුම් උත්සන්න වනු ඇත. අසර්බයිජානය නුඹලාට පහර දෙමින් නුඹලාගේ මිනිසුන් මරාදමන විට,නුඹලාගේ ආර්ථික යටිතල ව්‍යුහයන් විනාශ කර දමනවිට, අපි නොදැක්කා සේ සිටින්නෙමු. ”

රුසියාව විසින් යුක්‍රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් ඇරඹීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය දක්වන ලද ඉක්මන් ප්‍රතිචාර අසර්බයිජානය විසින් ආර්මේනියාවට පහරදීමට අදාළව නොදැක්වීම පිළිබඳව ඔබගේ අවධානය යොමු විණිදැයි මම නොදනිමි. නැන්සි පෙලොසි ආර්මේනියාවට ගිය බව සැබෑවකි. එහෙත් ඒ එක්සත් ජනපද නායකයන් හෝ වෙනත් යුරෝපීය නායකයන් උදේ හවා කීයෙව් වන්දනාවේ නිරත වූ ආකාරයට නොවේ. ඇය ආර්මේනියාවට ගියේ ආර්මේනියාවට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි තිලිණයක් ද රැගෙන ය. ඉහත සඳහන් ආකාරයේ සැඟවුණු තර්ජනාත්මක පණිවිඩයයි.

රාන්ඩ් ආයතනයේ 2019 පත්‍රිකාව කොකේසස්  කලාපය පිළිබඳ ඇමෙරිකන් උපායමාර්ගය විස්තර කරයි.

රාන්ඩ් ආයතනයේ 2019 පත්‍රිකාව විසින් යෝජනා කර ඇති අන්දමටම සියලු සිදුවීම් දිග හැරෙමින් පවතී. මෙම පත්‍රිකාවේ සඳහන් ආකාරයටම එක්සත් ජනපදය විසින් අරමුදල් සැපයෙන සංවිධාන විසින් මෙහෙයවන උද්ඝෝෂණ කරුවන් විසින් CSTO සංවිධානයෙන් ආර්මේනියාව ඉවත් විය යුතු යැයි බලකෙරෙති. ඉතා අතළොස්සක් පමණක් සහභාගිවූ මෙම පෙළපාළි සමාජය තුළ දේශපාලන බලවේගයක් ලෙස මතු වීමට තරම් තවමත් ශක්තිමත්ව නැති බව පෙනී යයි. මේ මොහොතේ එහි ඇත්තේ සංකේතාත්මක සහ ප්‍රචාරාත්මක වැදගත් කමක් පමණි.

ආර්මේනියානු පාර්ලිමේන්තුව කෙරෙහි එක්සත් ජනපදයට ඇති බලපෑමේ හැකියාව ගැන අපි මෙයට සඳහන් කළෙමු.
ඒ අනුව දැන් මීළඟට සිදුවීමට නියමිතව ඇත්තේ කුමක්දැයි අපට යම් තරමකින් අනුමාන කළ හැකිය. එනම් CSTO සංවිධානය ආර්මේනියාවට ආරක්ෂාව සැලසීමට අසමත් වීම පිළිබඳව කාරණය අවධාරණය කරමින්ද ඒ හේතුවෙන් ආර්මේනියව CSTO වෙන් ඉවත්විය යුතුයැයි පැන නැගී ඇති පුළුල් ජනතා උද්ඝෝෂණවලට සවන්දීමක් ලෙස ඒකපාක්ෂිකව CSTO වෙන් ඉවත්වීමට ආර්මේනියානු පාර්ලිමේන්තුව විසින් බහුතරයක අනුමැතියක් සහිතව තීරණය කර ඇති බව ප්‍රකාශයට පත්වීමය. මේ සම්බන්ධයෙන් රුසියාව සහ සෙසු රටවල මැදිහත්වීමේ ආකාරය කුමක් වනු ඇත්දැයි යන්න මත අවසානයේ දී බොහෝ දේ තීරණය වනු ඇත.

සිදුවන්නේ කුමක්දැයි ඉතා පැහැදිලිය. අපි මුලින් සඳහන් කළ BBC ලිපිය මගින් ඇඟවීමට වෑයම් කර ඇත්තේ පසුගිය ගැටුම් දිගුකාලීන ආගමික හෝ වාර්ගික ආතතීන්ගේ ප්‍රතිඵලයක් ලෙසය. නමුත් එය ඇත්ත නොවේ. මේ එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන ගැටුමකි. එක්සත් ජනපදය විසින් මේ රටවල් දෙක අතර කොහෙත්ම නොපැවතිය යුතු ආතතියක් නිර්මාණය කරන ලද්දේ ඒ මගින් සිය දකුණු දේශ සීමාවේ රුසියාවේ මුහුණ දෙන තත්ත්වයන් සංකීර්ණ කිරීම සඳහාය. ඒ මගින් රුසියානු මිලිටරි ඒකාග්‍රතාව වැඩි දුරටත් විස්තාරණය කර එය දුර්වල කිරීම සඳහාය. අනතුරුව එය බෙදා වෙන්කර එහි සියලු සම්පත් කොල්ලකමින් එය විනාශ කිරීම සඳහාය.

චීනය සම්බන්ධයෙන්ද එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල උපාය මාර්ගය එයයි. අප විසින් වටහාගත යුතුව ඇත්තේ එක්සත් ජනපදය විසින් අර්බුද නිර්මාණය කරමින් ඒවා සිය උවමනාවන් වෙනුවෙන් භාවිතා කරන බවය. එක්සත් ජනපදය විසින් සිදු කරමින් සිටින දේවල් තාක්ෂණිකව වටහාගත් විට බටහිර ජනමාධ්‍ය විසින් කුමක් පැවසුවද ඒ තුළ ඔවුන් නොපවසන දෙය කුමක්දැයි තේරුම්ගැනීමට ඔබට හැකිවනු ඇත.

පරිවර්තනය සහ සැකසුම අජිත් සී හේරත්

බ්‍රයන් බර්ලෙටික්

තායිලන්තයේ බැංකොක්හි වාසය කරන බ්‍රයන් ජෝසෆ් තෝමස් බර්ලෙටික් (Brian Joseph Thomas Berletic) භූ දේශපාලනය සහ යුදගැටුම් පිළිබඳ පර්යේෂකයෙකි. ඔහු එක්සත් ජනපද නාවික හමුදාවේ සෙබලෙකු ලෙස කලක් කටයුතු කර ඇත. බ්‍රයන් The Grayzone, Global Research වෙබ් අඩවි වලට නිතර ලිපි සපයයි. ඔහුගේ යූටියුබ් චැනලය The New Atlas ය.