ලෝකය සහ ඩොලරයේ ආධිපත්‍යය

ෂියාඕ ලියාන්ග් චීන මහජන විමුක්ති හමුදාවේ ජෙනරාල්වරයෙකි. මේ ඔහු විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු සහ රජයේ ග්‍රන්ථ අධ්‍යයන සංසදයේ දී 2017 අප්‍රේලයේදී සිදු කරන ලද දේශනයකින් උපුටා ගත් කොටස් වේ. චීන මහජන විමුක්ති හමුදාවේ උපායමාර්ගික විශේෂඥයෙකු ලෙස කටයුතු කරන ඔහු “ අසීමාන්තික යුද්ධය“(Unrestricted War)කෘතියේ සම කර්තෘවරයාය.

ඔහුගේ මෙම දේශනයේදී ෂියාඕ මුල්‍ය සිද්ධාන්ත පිළිබඳ සිය අධ්‍යයනයේදී එළැඹී නිගමන සහ ඒවාට තුඩු දුන් සාධක විස්තර කරයි. ලෝකය තුළ සිය ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපදය විසින් ගෝලීය මුල්‍ය ඒකකය ලෙස ඩොලරය බලගන්වන අයුරු පැහැදිලි කරයි. ජාත්‍යන්තර වෙළෙඳාම තුළ ඩොලරයේ ඒකාධිකාරය පවත්වාගැනීමට එක්සත් ජනපදය යුද්ධ ඇරඹීම සහ පවත්වාගෙන යාම ඇතුළු කවර හෝ උපක්‍රමයක් අනුගමනය කරන බව ද ඔහු ප්‍රකාශ කරයි. එමෙන්ම චීනයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දියත් කර ඇති සීමාකර පාලනය කිරීමේ උපායමාර්ගය තුළ සුපිරි බලවේගයක් ලෙස නැගී සිටීමට චීනයේ ප්‍රති උපායමාර්ගික සැලසුම් පිළිබඳවද ඔහු මෙහි දී සාකච්ඡා කරයි.
ශ්‍රි ලංකාව එක් අතෙකින් චීනයේ ප්‍රතිඋපායමාර්ගික සැලසුම්වල පියවරයන් වන හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි දැවැන්ත ව්‍යාපෘතින් චීනය සමග එක්ව දියත් කර ඇති අතර, අනෙක් අතින් චීනයේ ප්‍රතිවාදි බලවේගය වන ඇමෙරිකාව සමග කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධ ගිවිසුම් වලට එළැඹී තිබේ. එක්සත් ජනපදයේ කලාපීය සහායකයා වන ඉන්දියාව සමග ගිවිසුම් ඇති කර ගනිමින් උපාය මාර්ගික වශයෙන් වැදගත් ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දී තිබේ. දිනපතා තීව්රවන ජාත්‍යන්තර සහ කලාපීය බල අරගලයට ශ්‍රි ලංකාව දැන් සෘජුවම ඈඳී ඇති හෙයින් මෙම ලිපියෙන් මතුකෙරෙන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත
මෙම දේශනයේ ඉංග්‍රිසි සටහන මුල්වරට පළවූයේ chinascope.org වෙබ් අඩවියේය. 

1. චීනය අවට මතු වී ඇති තත්ත්වය සහ එක්සත් ජනපද ඩොලර් දර්ශක චක්‍රයේ රහස්

A. ඉතිහාසයේ පළමු මුල්‍ය අධිරාජ්‍යය

ආර්ථික හෝ මුල්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින පුද්ගලයන් මෙම තේමාව පිළිබඳ අදහස් දැක්වීමට වඩාත්ම සුදුසු අයවළුන් වෙති. මා මේ තේමාව ගැන සාකච්ඡා කරන්නේ (ජාතික) උපාය මාර්ගික කෝණයෙනි.
1971 අගෝස්තු මස 15 වැනි දින එක්සත් ජනපද ඩොලරය රත්රන් හා වූ බන්ධනය නතර කළ විට ඩොලර් නැමැති නෞකාව එහි නැංගුරම, එනම් රත්රන් ඉවතට වීසි කර දැමූ බව කිව හැකිය.
අපි පියවරක් අතීතයට යමු. 1944 ජූලිවලදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙතින් මුල්‍ය ආධිපත්‍යය තමන් වෙත හිමිකරගැනීමේ ක්‍රියාවලියට ආධාරවනු පිණිස ජනාධිපති රූස්වෙල්ට් විසින් ගෝලීය ක්‍රමවේදයන් 3ක් පෙරට ගන්නා ලදි. එනම්,

  • දේශපාලනික ක්‍රමය – එක්සත් ජාතීන්ගේ සංවිධානය
  • වෙළෙඳ ක්‍රමය- බදු සහ වෙළෙඳ කටයුතු පිළිබඳ පොදු සම්මුතිය General Agreement on Tariffs and Trade (GATT) පසුකලෙක ලෝක වෙළෙඳ සංවිධානය World Trade Organization (WTO)බවට පත් වූයේ මෙයයි.
  • මුල්‍ය හුවමාරු ක්‍රමය – එනම් බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය Bretton Woods system

ඇමෙරිකානුවන්ගේ අභිලාෂය වූයේ බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය හරහා එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍යය ලෝකය පුරා තහවුරු කිරීමටයි. කෙසේ වුව ද 1944 සිට 1971 දක්වා කාලය තුළ ඩොලරයට එම බලය ලබාගැනීමට හැකි වූයේ නැත. මේ සඳහා ඩොලරයට බාධාවක් වූයේ කුමක් ද? ඒ රත්රන් ය.

බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය හඳුන්වා දෙන විට එක්සත් ජනපදය ලෝකය පොරොන්දු වූයේ, එක්සත් ජනපද ඩොලරයේ අගය රත්රන් සමග සම්බන්ධ කරන බවත් අනෙක් රටවලට සිය මුදල් ඩොලරයට සම්බන්ධ කළ හැකි බවත්ය. එක් රත්රන් අවුන්සයක් සඳහා එක්සත් ජනපද ඩොලර් 35ක් ලෙස ස්ථාවර අගයක් නියම කරන ලදි. මෙම පොරොන්දුව හේතුවෙන් එක්සත් ජනපදයට සිය කැමැත්ත අනුව කිසිවක් කළ නොහැකි විය. ඇමෙරිකානුවන්ට අසීමාන්තික ලෙස මුදල් මුද්‍රණය කළ නොහැකි විය. එය විසින් ඩොලර් නෝට්ටුවක් මුද්‍රණය කරන සෑම විටෙකම එයට අමතර රත්රන් අවුන්සයක් සුරැකුම් සංචිතයක් ලෙස භාණ්ඩාගාරයට එක් කළ යුතු විය.

එක්සත් ජනපදය මෙම පොරොන්දුව ලෝකයට දුන්නේ ඒ වනවිට එය සතුව ලෝකයේ රත්රන් සංචිතයෙන් 80%ක් අයත්ව තිබුණ හෙයිනි. එහෙයින් ඇමෙරිකානුවන් සිතුවේ එපමණ රන් ප්‍රමාණයක් අතැතිව තිබීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලරය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීමට එය හේතුවනු ඇති බවයි.

කෙසේ වුවද එය එතරම් සරල කරුණක් නොවීය. එක්සත් ජනපදය සිය මුග්ධත්වය හේතුවෙන් කොරියන් සහ වියට්නාම් යුද්ධවලට සම්බන්ධවිය. ඒ හේතුවෙන් ඔවුන්ට විශාල ලෙස මුදල් වියදම් කිරීමට සිදු විය. විශේෂයෙන් වියට්නාම් යුද්ධය හේතුවෙන් ඔවුන්ට වැය කිරීමට සිදු වූ මුදල ඩොලර් බිලියන 800කි. එය එක්සත් ජනපදයට දරාගත නොහැකි මට්ටමට ළඟා වූ අගයක් විය. එක්සත් ජනපදය විසින් දෙන ලද ප්‍රතිඥාව අනුව වියදම් කරන සෑම ඩොලරයක් වෙනුවෙන්ම එයට රත්රන් අවුන්සයක් අහිමි විය.

1971 අගොස්තු වන විට එක්සත් ජනපදය සතුව රත්රන් ටොන් 8800ක් ශේෂව තිබිණි. තමන් අර්බුදයකට මුහුණ දි සිටින බව ඔවුහු දැන සිටියහ. අනෙකුත් අයද ඔවුන් වෙත අමතර ගැටළු නිර්මාණය කරමින් සිටියහ. නිදසුනක් ලෙස ප්‍රංශ ජනාධිපති ඩිගෝල් එක්සත් ජනපද ඩොලරය විශ්වාස කළේ නැත. ඔහු ප්‍රංශ මුදල්ඇමැතිවරයා සහ මධ්‍යම බැංකුවේ සභාපතිවරයා කැඳවා ඒ වනවිට ප්‍රංශය සතුව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.3 විකුණා දමා රත්රන් මිලදී ගන්නා ලෙසය. නියෝග කළේය. තවත් රටවල් සමහරක් ප්‍රංශය අනුගමනය කළේය.

මේ තත්ත්වය හේතුවෙන් 1971 අගොස්තු 15 වැනි දින එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් එක්සත්ජනපද ඩොලරය රත්රන් අගය හා සම්බන්ධ කිරීම නවතා දමන බවට නිවේදනය කළේය. බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමයේ කඩාවැටීමේ ආරම්භය එය විය. එමෙන් ම එමගින් ඇමරිකාව විසින් සමස්ත ලෝකයම රවටනු ලැබීය. කෙසේ වුවද ලෝකය එය තේරුම් ගත්තේ නැත.
ජනතාව ඩොලර් විශ්වාස කළේ එය රත්රන් අගය සමග සම්බන්ධ කර තිබූ බැවිනි.එක්සත් ජනපද ඩොලරය ඒ වනවිට වසර 20ක් පුරා ජාත්‍යන්තර මුල්‍ය ඒකකයක් ලෙසත් හුවමාරු මුල්‍ය ඒකකයක් ලෙසත්, සංචිත සහ සුරැකුම් මුදල් ඒකකයක් ලෙසත් භාවිතා කර තිබිණි. ජනතාව ඩොලරයට හුරු වී සිටියහ. එක්සත් ජනපද ඩොලරය, එහි වටිනාකමට රත්රන් සමග සම්බන්ධය ක්ෂණිකව අහිමි වූ විට එය නිකම් ම කොළ පැහැති කඩදාසියක් පමණක් විය. එසේ නම් තවමත් ජනතාව එය භාවිතා කරන්නේ ඇයි?

සෛද්ධාන්තිකව ගත් කළ ජනතාවට එය භාවිතා කිරීම නතර කළ හැකිය. එහෙත් ප්‍රායෝගිකව ගත් කළ ජාත්‍යන්තරව වටිනාකම් හුවමාරු කටයුතු සඳහා භාවිතා කිරීමට ඇත්තේ කුමක් ද? මුදල් වූ කලී වටිනාකම මනිනු ලබන මැනුම් ඒකකයයි. ජනතාවන් එක්සත් ජනපද ඩොලරය භාවිතා කිරීම අත්හරින්නේ නම් ඔවුන්ට ඒ සඳහා භාවිතා කිරීමට විශ්වාස කළ හැකි වෙනත් මුදල් වර්ගයක් තිබේද ?

එහෙයින් එක්සත් ජනපදය විසින් ජනතාවන් වෙනස් වීමට දක්වනු ලබන අකැමැත්තෙන් ප්‍රයෝජන ගනිමින්, ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය වෙත බල කරමින් ලෝකයේ ඛනිජ තෙල් වෙළෙඳාම එක්සත් ජනපද ඩොලරය මගින් සිදුවිය යුතුයැයි යන කොන්දේසිය පිළිගන්නා ලෙස බල කරන ලදි. මෙයට කලින් ලෝකයේ ඛනිජ තෙල් වෙළෙඳාම ඕනෑම මුදල් වර්ගයක් සමග කළ හැකි විය. එහෙත් 1973 ඔක්තෝබරයේ සිට ඛනිජතෙල් වෙළෙඳාම එක්සත් ජනපද ඩොලරය හරහා පමණක් කළ යුතු විය.

ඩොලරය රත්රන් අගය මත රඳා පැවැත්ම අහෝසි කළ එක්සත් ජනපදය එය ඛනිජ තෙල් සමග සම්බන්ධ කළහ. ඒ මන් ද? ඇමෙරිකානුවන් ඉතා පැහැදිලිව එක් දෙයක් වටහාගෙන තිබිණි. එනම් ඩොලරයට අකැමැති මිනිසුන්ට පවා බලශක්තිය නොමැතිව ජීවත් විය නොහැකි බවයි. සෑම රටකටම සංවර්ධනය වීම අවශ්‍ය වූ අතර ඒ සඳහා බලශක්තිය අවශ්‍ය විය. ඒ අනුව බලශක්තිය සඳහා වන ඉල්ලුම එක්සත් ජනපද ඩොලරය සඳහා වන ඉල්ලුමක් බවට පරිවර්තනය කරන ලදි. එක්සත් ජනපදය පැත්තෙන් ගත් කළ මෙය බුද්ධිමත් පියවරක් විය.

බොහෝ පුද්ගලයන්ට ඒ අවදියේ දී මේ පිළිබඳව පැහැදිළි අවබෝධයක් නොවීය. ආර්ථික විද්‍යාඥයන්, මුල්‍ය විශේෂඥයන් ඇතුළු ජනතාවන් විසින් විසිවන සියවසේ වැදගත්ම සිදුවීම වූකලී පළමු ලෝක යුද්ධය හෝ දෙවන ලෝක යුද්ධය හෝ සෝවියට් සංගමයේ බිඳවැටීම නොව එක්සත් ජනපදය විසින් 1971 අගොස්තු 15 වැනි දින රත්රන් අගය සහ ඩොලරය විසම්බන්ධ කිරීම බව තේරුම් ගනු ලැබුවේ නැත.

එදින සිට පළමු සැබෑ මුල්‍ය අධිරාජ්‍යය බිහිවූ අතර එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍යය ස්ථාපිත කරනු ලැබිණි. අපි කඩදාසි මුල්‍ය අවධියකට අවතීර්ණ වූයෙමු. තවදුරටත් අධි වටිනාකමින් යුතු වූ ලෝහය සමග එක්සත් ජනපද ඩොලරයේ සම්බන්ධයක් නොවීය. එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම තීරණය කළේ එක්සත් ජනපද ආණ්ඩුවේ සහතික කිරීම මගින් පමණි. මේ මගින් එක්සත් ජනපදය සමස්ත ලෝකයෙන්ම ලාභ ගරාගන්නා ලදි. මෙහි තේරුම ඇමෙරිකාවට හුදෙක් කොළ පැහැති කඩදාසි කැබැළි මුද්‍රණය කිරීමෙන් පමණක් ලෝකයේ ද්‍රව්‍යමය සම්පත් සහ සමෘද්ධිය අවශෝෂණය කර ගැනීමේ හැකියාව හිමි වීමයි.

මෙය ලෝක ඉතිහාසයේ මීට පළමු සිදු වූ දෙයක් නොවීය. මිනිස්වර්ගයාගේ ඉතිහාසය මුළුල්ලේ ඔවුන් ධනය හිමිකරගත් විවිධ ආකාරයන් තිබිණි. එනම් මුදල්, රන් හෝ රිදී සමග හුවමාරු කරගැනීමෙන් හෝ නැතහොත් යුද්ධ මගින් සිදුවන කොල්ලකෑම් (කෙසේවුවද යුද්ධය ඉතා මිල අධික ක්‍රමයකි ) මගිනි. එක්සත් ජනපද ඩොලරය හුදෙක් කොළ පැහැති කඩදාසි කැබැල්ලක් වූ විට මුදල් හම්බ කිරීමට එක්සත් ජනපදයට දැරීම සිදු වන වෙහෙස සහ මිල නොසළකා හැරිය හැකි තරම් අල්පය.

මේ අනුව භාණ්ඩාගාරයේ ඇති රන් සංචිතයේ සීමාකිරීමකින් තොරව තමන් කැමැති පරිදි එක්සත් ජනපදය මුදල් මුද්‍රණය කිරීමේ හැකියාව ලබාගත්තේය. ඔවුන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එක්සත් ජනපදය තුළ රඳවා ගත්තේ නම් එහි උද්ධමනයක් ඇතිවීමට හේතුවනු ඇත. එහෙත් ඔවුන් ඩොලර් අපනයනය කරන්නේ නම් සමස්ත ලෝකයම එක්සත් ජනපදයේ උද්ධමනය පාලනය කිරීමට “ආධාර “ කරනු ඇත. එක්සත් ජනපදයේ උද්ධමනය එතරම් ඉහළ අගයක් නොගැනීමට හේතුව මෙයයි.

කෙසේ වුවද එතරම් මුදල් ප්‍රමාණයක් එක්සත් ජනපදය සතුව නොපවතින විට එය මුදල් මුද්‍රණය කරමින් ලෝකයට ඩොලර් අපනයනය කරන්නේ නම් එක්සත් ජනපද ඩොලරයේ අගය බාල්දු වීමට එය හේතුවක් වනු ඇත. එය ඇමෙරිකානුවන්ට එතරම් යහපත් තත්ත්වයක් නොවේ. එහෙයින් සමහරුන් විශ්වාස කරන අන්දමට එක්සත් ජනපද ෆෙඩරල් මුල්‍ය සංචිතය වූ කලී වගකීමකින් තොරව මුදල් මුද්‍රණය කරන මධ්‍යම බැංකුවක් නොවේ. ෆෙඩරල් සංචිතය “සීමාව“ යනු කුමක්දැයි හොඳින් දැන සිටියි. එම ආයතනය මගින් 1913 සිට 2013 දක්වා කාලය තුළ මුද්‍රණය කර ඇත්තේ එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 10ක් පමණි.
මෙය විසින් 1954 සිට යුවාන් ට්‍රිලියන 120ක් (එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 20ක් – ඩොලරයක් සඳහා හුවමාරු අනුපාතය යුවාන් 6.2ක් වන ලෙස ) මුද්‍රණය කළ චීන මධ්‍යම බැංකුව විවේචනය කිරීමට බොහොවුන්ට හේතුවක් සපයා ඇත. සැබැවින්ම චීනය ද කිසිදු සීමාවකින් තොරව මුදල් මුද්‍රණය කළේ යැයි මෙයින් අදහස් නොවේ. සිය ආර්ථිකය විවෘත කිරීමෙන් පසුව චීනය චීනය විසින් විශාල වශයෙන් එක්සත් ජනපද ඩොලර් උපයාගෙන ඇති අතර ආයෝජන වශයෙන්ද විශාල වශයෙන් එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණයක් චීනය තුළ ගලා විත් ඇත.

චීනයේ විදේශ මුදල් පාලනය විසින් චීනය තුළ විදේශ මුදල් සංසරණය වීම වළකා ඇත. එක්සත් ජනපද ඩොලරය චීනය තුළ සංසරණය වීමට පැමිණි විට ඒ වෙනුවට චීනයේ මධ්‍යම බැංකුව විසින් එම වටිනාකමට සරිලන රෙන්මින්බි (renminbi)ප්‍රමාණයක් මුද්‍රණය කළ යුතුව ඇත. කෙසේවුවද විදේශීය ආයෝජකයෙකුට චීනය තුළ මුදල් ඉපැයීමෙන් පසුව ඔහුගේ මුදල් ඉවත් කරගත හැකිය. එමෙන් ම බලශක්තිය, නිෂ්පාදන සහ තාක්ෂණය මිලදී ගැනීම සඳහා වියදම් කරනු වස් අපට අපගේ විදේශිය මුදල් සංචිතයන් අවශ්‍ය වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණයක් චීනයෙන් පිටතට ඇදී යයි. නමුත් ඒ වටිනාකමට සරිලන රෙන්මින්බි ප්‍රමාණයක් චීනය තුළ රැ‍ඳෙයි. මේ රෙන්මින්බි විනාශකළ නොහැකිය. මේ අයුරින් අවසානයේදී සිය විදේශ මුදල් සංචිතයන්ට වැඩි රෙන්මින්බි ප්‍රමාණයක් චීනය තුළ ඉතුරුව තිබේ.

චීනයේ මධ්‍යම බැංකුව තමන් විසින් බිලියන 20ක යුවාන් ප්‍රමාණයක් වැඩිපුර මුද්‍රණය කළ බව පිළිගෙන තිබේ. මේ අති දැවැන්ත මුදල්ප්‍රමාණය චීනය තුළ රැ‍ඳී පවතී. රෙන්මින්බි ජාත්‍යන්තර හුවමාරු ඒකකයක් බවට අප විසින් පත් කළ යුතුව ඇත්තේ ඇයිදැයි යන තේමාව මම පසුව සවිස්තරාත්මකව පසුව සාකච්ඡා කරමි.

 

B. එක්සත් ජනපද ඩොලර් දර්ශක චක්‍රය සහ ගෝලීය ආර්ථිකය අතර සම්බන්ධය

එක්සත් ජනපදය සිය උද්ධමනය යාම වළකා ඇත්තේ ඩොලරය ගෝලීයව සංසරණය වීමට ඉඩ හැරීමෙනි. එමෙන්ම ඩොලරයේ අගය බාල්දු වීම වළකාලීමට මුදල් මුද්‍රණයේදී සීමාවන් පනවා ගැනීමටත් ඔවුන්ට සිදුව තිබේ. එසේ නම් ඔවුන් සතුව ඇති ඩොලර් ප්‍රමාණය ක්ෂය වී ගොස් ඩොලර් හිඟයක් ඇතිවීම වැළැක්වීමට ඔවුන් කරනු ඇත්තේ කුමක්ද?

ඇමෙරිකානුවෝ මෙයට විසඳුමක් සොයාගත්හ. එනම් ඩොලර් නැවත එක්සත් ජනපදය වෙත ගෙන්වාගැනීමට සඳහා ණය නිකුත් කිරීමයි. එක් අතෙකින් මුදල් මුද්‍රණය කිරීමේ ද අනෙක් අතින් මුදල් ණයට දීමේ ද සෙල්ලම ඇමෙරිකානුවන් විසින් පටන් ගන්නා ලදි. මුදල් මුද්‍රණයෙන් මුදල් ඉපැයිය හැකිය. මුදල් ණයට දීම මගින් ද මුදල් ඉපැයිය හැකිය. මෙම මුල්‍ය ආර්ථිකය (මුදල් ඉපැයීමට මුදල් යෙදවීම) සැබෑ ආර්ථිකයකට (එනම් කාර්මික නිෂ්පාදන මත පදනම් වූ ) වඩා පහසුය. ආකලිත වටිනාකම් ශක්‍යතාව (value-adding capability) ඉතා පහළ අගයන්ට සීමා වූ කාර්මික නිෂ්පාදනය ගැන ඔවුන් කරදර විය යුත්තේ කුමකටද?

1971 අගෝසතු 15 වැනි දා සිට එක්සත් ජනපදය ඔවුන්ගේ සැබෑ නිෂ්පාදන ආර්ථිකය අතථ්‍ය ආර්ථිකයක් (virtual economy)බවට පරිවර්තනය ලදි. එය “ශුන්‍ය“ ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත්විය. අද එක්සත් ජනපදයේ දළ ජාතික නිෂ්පාදිතය (GDP-Gross Domestic Product) එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 18 කට ආසන්න නමුත් සැබෑ (නිෂ්පාදන ) ආර්ථිකයෙන් ලැබෙන්නේ එයින් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 5ක් පමණි.

ණය නිකුත් කිරීම මගින් එක්සත් ජනපදය සිය විශාලතම වෙළෙඳපොළ ත්‍රිත්වය වන භාණ්ඩ වෙළෙඳපොළ, භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ සහ කොටස් වෙළෙඳපොළ වෙත විශාල වශයෙන් විදේශයන්ගෙන් මුදල් නැවතත් ඇදගනී. මුදල් ඉපැයීම සඳහා එක්සත් ජනපදය මෙම චක්‍රය දිගටම ක්‍රියාවේ යොදවයි. එනම් මුදල් මුද්‍රණය, විදේශ වෙත මුදල් අපනයනය සහ නැවත මුදල් රට තුළට ගෙන ඒම මගිනි. මේ අයුරින් එක්සත් ජනපදය මුල්‍ය අධිරාජ්‍යයක් බවට පත්ව තිබේ.

බ්‍රිතාන්‍යය දුර්වල වූ පසුව අධිරාජ්‍යවාදය නතර වූ බව බොහෝවුන් සිතති. සැබැවින්ම එක්සත් ජනපදය සිය ඩොලරය මගින් සැඟවුණු අධිරාජ්‍යවාදයක් පවත්වාගෙන ගිය අතර අනෙකුත් රටවල් සිය මුල්‍යමය යටත් විජිත බවට පත් කරන ලදි. අද චීනයද ඇතුළුව බොහෝ රටවලට තමන්ගේම ස්වාධිපත්‍යයක්, ආණ්ඩුවක් සහ ව්‍යවස්ථාවක් ඇති නමුත් ඔවුනට ඇමෙරිකන් ඩොලරය මත රඳා පැවතීමට සිදුව තිබේ. ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම තීරණය කරන්නේ එක්සත් ජනපද ඩොලරය විසින් වන අතර ඒ හේතුවෙන් ඔවුන්ට තම ද්‍රව්‍යමය ධනය එක්සත් ජනපද ඩොලරයේ කඩදාසි නෝට්ටු සමග හුවමාරුවට එක්සත් ජනපදයට භාර දීමට සිදුව තිබේ

මෙය පසුගිය වසර 40 පුරා එක්සත් ජනපද ඩොලර් දර්ශක චක්‍රය තුළ පැහැදිලිව දැකගත හැකිය. 1971 සිට, එනම් එක්සත් ජනපදය නිදහසේ මුදල් මුද්‍රණය කිරීමට පටන් ගත් දින සිට එක්සත් ජනපද ඩොලර් දර්ශකයේ වටිනාකම පහත වැටී ඇත. පසුගිය 10 වසරක සිට ඩොලර් දර්ශකය අඛණ්ඩව පහත වැටී ඇත්තේ වැඩිපුර මුදල් මුද්‍රණය කර ඇති බව පෙන්වමිනි.
සැබැවින් ම එක්සත් ජනපද ඩොලරයේ අගය පහත වැටීම සෙසු ලෝකය වෙත අවශ්‍යයෙන්ම නරක තත්ත්වයක් නොවේ. එහි අදහස වන්නේ එක්සත් ජනපද ඩොලර් සැපයුමේ ඉහළයාමක් සහ අනෙකුත් රටවල් කරා ඩොලර් විශාලවශයෙන් ගලායාමකි. 1970 ගණන් වලදී ලතින් ඇමෙරිකාව තුළ විශාල වශයෙන් සිදු වූ ඩොලර් ආයෝජනය හේතුවෙන් ලතින් ඇමෙරිකාවේ ආර්ථිකයේ විශාල ප්‍රසාරණයක් සිදුවිය.

1979 දී, එනම් වසර 10කට ආසන්න කාලයක් තිස්සේ ලෝකය පුරා එක්සත් ජනපද ඩොලර් අධික ලෙස පැතිරීමෙන් පසුව ඇමෙරිකානුවන් විසින් මෙම ක්‍රියාවලිය ආපසු හැරවීමට තීරණය කළහ. 1979 දී එක්සත් ජනපද ඩොලර් දර්ශකයේ නැවත නැගීමක් පෙන්නුම් කරයි. ඩොලරය නැවත එක්සත් ජනපදය තුලට ගලා යෑමට සැලැස්වූ අතර අනෙකුත් ප්‍රදේශ වෙත ලැබුණ ඩොලර් ප්‍රමාණය බෙහෙවින් අඩු විය. අසීමිත ලෙස කලින් සිදු වූ ඩොලර් ආයෝජනයන් නිසා ක්ෂණිකව ප්‍රසාරණය වූ ලතින් ඇමෙරිකානු ආර්ථිකය ඩොලර් ගලා ඒම හදිසියේම නැවතීම නිසා වියලී සිඳී යාමකට ගොදුරු විය.

ස්වකීය ආර්ථිකයන් බේරා ගැනීමට දැඩි අරගලයක නිරතවීමට ලතින් ඇමෙරිකානු රටවලට සිදු විය.

වරෙක ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය සංවර්ධිත රටවල මට්ටමට තිබූ ආර්ජන්ටිනාව පළමුවෙන්ම පහළට වැටුණ රටවල් අතර විය. අවාසනාවකට මෙන් එවකට ආර්ජන්ටිනියානු ජනාධිපති වූ (හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයට පැමිණි) ලියෝ ෆෝල්ඩෝ ගල්ටියරි මේ තත්ත්වයෙන් ගොඩයාමට අපේක්ෂා කළේ ෆෝක්ලන්ඩ් හෙවත් මාල්විනාස් දූපත් සමූහය අක්‍රමණය කිරීම මගිනි. මේ දූපත් බ්‍රිතාන්‍ය විසින් තම යටත් විජිත ලෙස වසර 100කට අධික කාලයක් පවත්වාගෙන ගිය ඒවා විය. තමන්ට කිලෝ මීටර් 400කට ඈතින් වූ මෙම දූපත් සම්බන්ධයෙන් ආර්ජන්ටිනාව බොහෝ කල් සිටම අයිතිවාසිකම් ඉදිරිපත් ක‍ර තිබිණි. මේ දූපත් නැවත ලබා ගැනීමට ආර්ජන්ටීනියානු හමුදා යෙදවීමට ගල්ටියරි තීරණය කළේය.

ඇත්ත වශයෙන්ම ඇමෙරිකාවේ අවසරය සහ අනුමැතිය සහ ආශිර්වාදය නොලැබුණේ නම් ගල්ටියරි මාල්විනාස් දිවයින් ආක්‍රමණය කිරීමට ඉදිරිපත් නොවනු ඇත. ඔහු එක්සත් ජනපද නායකත්වයේ අදහස් දැනගැනීම සඳහා අතරමැදියෙකු ඇමෙරිකාවට යැව්වේය. ඇමෙරිකන් ජනාධිපති රේගන් සැහැල්ලු පිළිතුරක් දුන්නේය.
“එය ඔබ සහ බ්‍රිතාන්‍ය අතර ප්‍රශ්නයකි. අපට එය අදාළ නැත. මේ ප්‍රශ්නයේදී එක්සත් ජනපදය කිසිවෙකුගේ පැත්තක් නොගෙන මධ්‍යස්ථව සිටිනු ඇත“.

ගල්ටියරි මෙම පිළිතුර භාරගත්තේ එක්සත් ජනපදයේ අනුමැතිය හිමිවීමක් ලෙසය. ඔහු යුද්ධය ආරම්භ කර ඉතා පහසුවෙන් ෆෝක්ලන්ඩ් හෙවත් මාල්විනාස් දූපත් අල්ලා ගත්තේය. ආර්ජන්ටිනියානුවෝ උන්මාදයට පත්වූහ.කෙසේවුවද එවකට බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් මෙම තත්ත්වය කිසිදු ලෙසකින් බ්‍රිතාන්‍ය විසින් පිළි නොගන්නා බව ප්‍රකාශ කරමින් මේ පිළිබඳව එක්සත් ජනපදයට සිය ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස බල කළාය. අනතුරුව ආක්‍රමණය පිලිබඳව ආර්ජන්ටිනාවට දෝෂාරෝපණය කරමින් ද බ්‍රිතාන්‍යයට සහාය පළ කරමින් ද නිවේදනයක් නිකුත් කළ රේගන් ස්වකීය මධ්‍යස්ථ වෙස්මුහුණ ගලවා දැම්මේය. බ්‍රිතාන්‍ය ගුවන්යානා ප්‍රවාහක නෞකාවන් සමග කාර්ය සාධක බලඇණියක් සැතපුම් 8000ක් ගෙවා මාල්විනාස් දිවයින් වෙත පැමිණ එය නැවත අල්ලාගනු සඳහාය.

මේ අතර එක්සත් ජනපදය අපේක්ෂා කළ අයුරින් ම එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම ඉහළ ගිය අතර ජාත්‍යන්තර ප්‍රාග්ධනය නැවතත් එක්සත් ජනපදය තුළට ගලා යාම ආරම්භ වූයේය. මාල්විනාස් දූපත් සඳහා යුද්ධය ආරම්භවත්ම ලෝකය පුරා ම ආයෝජකයෝ ලතින් ඇමෙරිකාව තුළ කලාපීය අර්බුදයක් පැන නැගී ඇති බවත් එහෙයින් ලතින් ඇමෙරිකාව තුළ ආයෝජනය අයහපත් පරිසරයක් ඇතිවනු ඇති බවටත් නිගමනය කළහ. ඒ අනුව ආයෝජකයෝ සිය ප්‍රාග්ධනය ලතින් ඇමෙරිකාවෙන් ඉවත් කරගත්හ. මේ අතර එක්සත් ජනපද ෆෙඩරල් මුල්‍ය සංචිතය නිවේදනයක් නිකුත් කරමින් පොලී අනුපාත ඉහළ දමන බව ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය විසින් ලතින් ඇමෙරිකාවෙන් ප්‍රාග්ධනය ඉවත් කර ගැනීම තවදුරත් දිරිගන්වන ලදි.

ලතින් ඇමෙරිකන් ආර්ථිකය පත්ලටම ඇද වැටිණි. ලතින් ඇමෙරිකාවෙන් ඉවත්කරගන්නා ලද ප්‍රාග්ධනය එක්සත් ජනපදයේ ප්‍රධාන ත්‍රිත්ව වෙළෙඳපොළ කර යොමු විය. 1971 දී රත්රන් සහ ඩොලරය විසම්බන්ධ කිරීමෙන් පසු ව පළමුවරට මෙම තත්ත්වය විසින් එක්සත් ජනපදය තුළ ගැනුම්බර වෙළෙඳපොළක් (Bull Market)නිර්මාණය කරන ලදි. එක්සත් ජනපද ඩොලර් දර්ශකය 60 සිට 120 දක්වා පිම්මක් පැන්නේය. එය 100%ක වැඩිවීමකි. සිය වාසිදායක ගැනුම්බර වෙළෙඳපොළ පොළ මගින් ගරාගන්නා ලද විශාල ලාභවලින් ඇමෙරිකානුවන් සෑහීමකට පත්වූයේ නැත. සමහරුන් තමන් ඉපැයූ ධනය රැගෙන නැවත ලතින් ඇමෙරිකාවට ගොස් ආර්ථික අර්බුදය නිසා මිල මට්ටම් බිමටම සමතලා වී තිබුණ වත්කම් විශාල වශයෙන් මිලදී ගත්හ. මේ අයුරින් එක්සත් ජනපදය ලතින් ඇමෙරිකානු ආර්ථිකයෙන් විශාල වශයෙන් ලාභ ගරාගන්නා ලදි.

මෙය සිදුවූයේ වරක් පමණක් නම් එය කුඩා අහඹු සිදුවීමක් ලෙස තර්ක කළ හැකිය. එහෙත් එය නැවත නැවතත් සිදුවීම විසින් පෙන්නුම් කරන්නේ අරමුණක් සහ සැලසුමක් සහිත රටාවකි.

එක්සත් ජනපද ඩොලරය 1971 සිට 1979 දක්වා පෙන්නුම කරන ලද දුර්වල චක්‍රයකින් පසුව 1979 සිට 1986 දක්වා වසර 6ක ශක්තිමත් චක්‍රයක් ඉහත දැක් වූ පරිදි පෙන්නුම් කළේය. 1986 සිට එක්සත් ජනපද ඩොලර් දර්ශකයේ පහත වැටීමක් නැවතත් පෙන්නුම් කෙරිණි. දස වරකට පසුව 1997 දී නැවතත් ඩොලර් දර්ශකය ඉහළ නගින්නට පටන් ගත්තේය. මෙවර ද ශක්තිමත් ඩොලරය වසර 6ක් පැවැතිණි.

එක්සත් ජනපද ඩොලර් චක්‍රයේ දෙවන දුර්වල දශකය තුළ, එක්සත් ජනපද ඩොලර් ප්‍රධාන වශයෙන් ම ආසියාව වෙත යොමු විය. 1980 ගණන්වල උණුසුම් ම ආයෝජන සංකල්පය වූ යේ කුමක් ද? ඒ වනාහි “ ආසියානු කොටින්“ ලෙස හැඳින්වුණු රටවල් තුළ ආයොජනය කිරීමය. ජපානය, දකුණු කොරියාව ආදි ආසියාතික රටවල ආර්ථික වර්ධනයට හේතු වූයේ ඒ රටවල ජනතාවගේ කාර්යක්ෂමතාව සහ බුද්ධිමත්භාවයැයි බොහෝ දෙනා සිතූහ. එහෙත් ඇත්තටම එයට බලපෑ ප්‍රධාන හේතුව වූයේ එක්සත් ජනපද ඩොලරයේ දැවැන්ත ආයෝජනයන්ය.

ආසියානු රටවල ආර්ථිකය සමෘද්ධිත් වීම ආරම්භ වූ පසුව ඇමෙරිකානුවෝ “අස්වැන්න“ නෙළීමට කාලය පැමිණ ඇති බව සිතූහ. ඒ අනුව 1997 දී, දුර්වල ඩොලරයේ දසවසරකින් පසුව ඇමෙරිකාව ආසියාව වෙත මුදල් සැපයීම අඩු කර ශක්තිමත් ඩොලරයක් නිර්මාණය කළහ. බොහෝ ආසියානු සමාගම් සහ කර්මාන්තවලට මුදල් සැපයීමේ හිඟයකට මුහුණ පෑමට සිදු විය. මෙම කළාපය ආර්ථික පසුබැසීමක සහ මුල්‍ය අර්බුදයක ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගත්තේය.

ඔටුවෙකුගේ කොන්ද බිඳීමට අවසාන පිදුරු ගසක් අවශ්‍යය. මේ පිදුරු ගස කුමක් වූයේද? මේ පිදුරු ගස වූ කලී කලාපීය අර්බුදයකි. එය ආර්ජන්ටිනීයාවනුන් සිදු කළ ආකාරයේ යුද්ධයක් විය යුතු ද? එය අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් නොවේ. කලාපීය අර්බුද නිර්මාණය කිරීමේ එකම ආකාරය යුද්ධ පමණක් නොවේ.

ඒ අනුව මුල්‍ය ආයෝජකයෙකු වූ සොරෝස් (George Soros)ඔහුගේ ක්වොන්ටම් ෆන්ඩ්( Quantum Fund) සහ ලොව පුරා සිය ගණනකට වැඩි හෙජ් ෆන්ඩ්ස්(hedge funds) යොදාගනිමින් ආසියාවේ දුර්වලතම ආර්ථිකයවූ තායිලන්තයට පහරදීම ඇරඹූහ. ඔවුහු තායිලන්තයේ මුදල් ඒකකය වූ බාත්(Baht) වෙත සතියක් මුළුල්ලේ පහර දුන්හ. මෙය විසින් “බාත් අර්බුදය“ (Baht crisis) නිර්මාණය කරන ලදි. ඉන් පසුව එය දකුණට ව්‍යාප්ත කරමින් මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වෙත ද පතුරුවා හරින ලදි. ඉන්පසුව එය උතුරු දෙසට තායිවාන්, හොංකොං, ජපානය, දකුණු කොරියාව පමණක් නොව රුසියාව වෙත ද ව්‍යාප්ත විය. මෙලෙස ආසියානු ආර්ථික අර්බුදය පුපුරා ගියේය.

ආර්ථික අර්බුදයට ලොදුරු වූ නැගෙනහිර ආසියාතික රටවල්

මෙම අවසාන පිදුරු ගසත් සමගම ඔටුවා මහපොළොව මත ඇද වැටිණි. ලෝකයේ ආයෝජකයන් විසින් ආසියාව තුළ ආයෝජන පරිසරය නිමා වී ඇති බව තීරණය කරනු ලදුව ඔවුන්ගේ ප්‍රාග්ධනය ඉවත්කරගනු ලැබිණි. මේ විගසම නැවතත් එක්සත් ජනපද ෆෙඩරල් මුල්‍ය සංචිතය විසින් ඩොලරයේ පොලී අනුපාතයන් ඉහත දැමූ බව නිවේදනය කරන ලදි. ආසියාවෙන් ඉවත් වූ ප්‍රාග්ධනය එක්සත් ජනපදයේ ත්‍රිවිධ මහා වෙළෙඳපොළ තුළට ආයෝජනය විය. මේ හේතුවෙන් එක්සත් ජනපද ඉතිහාසයේ තුළ දෙවන විශාලතම ගැනුම්බර වෙළෙඳපොළ නිර්මාණය විය.

විශාල ධනස්කන්ධයක් උපයාගත් ඇමෙරිකානුවෝ ඔවුන් ලතින් ඇමෙරිකාවේ සිදු කළ දෙයම නැවතත් ආසියාව තුළ ද සිදු කළහ. එනම් ආසියානු මුල්‍ය අර්බුදය තුළ ඔවුන් ඉපැයූ ධනයෙන් කොටසක් නැවතත් ආසියාවට ගෙන යමින් ආසියාවේ වත්කම් මිල දී ගත්හ. දුර්වල වූ ආසියානු ආර්ථිකයන්ට පෙරළා සටන් කිරීමේ හැකියාවක් නොවිණි.

මෙම අර්බුදයෙන් ගැලවී සිටීමට තරම් වාසනාව තිබූ එකම රට චීනයයි.

 

c. මේ චීනයේ අස්වනු සමයයි.

එය රළ මාලාවන්ගේ කාලාන්තර මෙන් නිවැරදිය. එක්සත් ජනපද ඩොලරය වසර 6ක් පුරා ශක්තිමත්ව පැවතිණි. ඉන් පසුව 2002 දී එය නැවතත් දුර්වල වීම ආරම්භ විය. සුපුරුදු එකම රටාවට අනුව එය 10 වසරක් කාලයක් දුර්වලව පැවැතිණි. 2012 දී ඇමෙරිකානුවෝ නැවතත් එය ශක්තිමත් කිරීමට සැළසුම් කළහ. ඔවුහු සුපුරුදු ප්‍රවේශයම අනුගමනය කළහ. එනම් සෙසු ජනතාවන් උදෙසා කලාපීය අර්බුදයන් නිර්මාණය කිරීමයි.

මේ අනුව චීනය හා සම්බන්ධිත සිදුවීම් කීපයක් වන ආකාරය අපි දුටුවෙමු. එනම් ෂියොනාන් ගිලාබැසීමේ සිදුවීම, සෙන්කාකු දූපත් (Senkaku Islands- චීන වහරින් දියාඔයු දූපත් Diaoyu Islands), පිළිබඳ අර්බුදය සහ ස්කාර්බොරෝ තීරයේ (Scarborough Shoal-චීන වහරින් හුවාන්ග්යාන් දූපත්- Huangyan Island)ආරාවුල යනාදියයි. මේ සියල්ල සිදු වූයේ මේ කාලය තුළයි. හුවාන්ග්යාන් දූපත් පිළිබඳව පිලිපීනය සහ චීනය අතර ගැටුම සහ දියාඔයු දූපත් ගැන ජපානය සහ චීනය අතර හටගත් ගැටුම තුළ එක්සත් ජනපද ඩොලර් දර්ශකය විසින් ඉටු කළ භූමිකාවක් නැති බව පෙනී යා හැකිය. එහෙත් සත්‍යය එය ද? එක්සත් ජනපද ඩොලරය දුර්වල වීම පටන්ගෙන හරියටම දසවන වසරේ දී එම ගැටුම් සිදුවූයේ මන්ද?

අවාසනාවකට මෙන් එක්සත් ජනපදයට ඊට පෙර පමණට වඩා ගින්දර සමග ( ඔවුන්ගේම උකස් වෙළෙඳපොළ තුළ )සෙල්ලම් කිරීම හේතුවෙන් 2008 දී මුල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවිය. මෙය විසින් ඩොලරයේ නැගීම සුළු වශයෙන් පමා කරන ලදි

එක්සත් ජනපද ඩොලර් දර්ශක චක්‍රය නම් දෙයක් පවතින බවත්, එක්සත් ජනපදය විසින් මේ ඩොලර් දර්ශක චක්‍රය සෙසු රටවලින් ලාභ ගැරීමට භාවිතා කරන බවත් අප විසින් පිළිගනු ලබන්නේ නම් දැන් චීනය තුළ අස්වැන්න නෙළීමට ඇමෙරිකාවට කාලය එළැඹ ඇති බව අපට පිළි ගැනීමට සිදු වේ. ඒ මක් නිසාද? ඒ මක් නිසාද යත් චීනය විසින් තමන් වෙත ලෝකයේ විශාලතම ආයෝජනයන් ලබාගැනීමට සමත්ව තිබූ බැවිනි. චීන ආර්ථිකයේ විශාලත්වය තව දුරටත් තනිරටක ආර්ථිකයක විශාලත්වයට සමාන නොවීය. එය සමස්ත ලතින් ඇමෙරිකානු ආර්ථිකයට වඩා විශාල වූ අතර නැගෙනහිර ආසියාවේ සමස්ත රටවල ආර්ථිකයන්ගේ එකතුවට සමාන විය.

දියාඔයු අර්බුදය සහ හුවාන්ග්යාන් අර්බුදය හට ගැනීමේ සිට චීනය අවට විවිධ සිදුවීම් මතුවන්නට විය. චීනයේ 981 ඛනිජතෙල් කැණීම් කටයුතුවලට අදාළව වියට්නාමය සමග හටගත් අර්බුදය, හොංකොං වල මතු වූ “Occupy Central” ව්‍යාපාරය ආදිය මෙම සිදුවීම් වැළට ඇතුළත්ය. මෙම සිදුවීම් හුදු සරල අහම්බයන් ලෙස සැළකිය හැකිද?

මම ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දේශපාලන කොමසාරිස් ජෙනරාල් ලියූ යාෂූ සමග 2014 මැයි මසදී හොංකොං බලා ගියෙමි. ඒ වන විට “Occupy Central” ව්‍යාපාරය සැලසුම් කර තිබූ බවත් මැයි මාසය අගදී එය ක්‍රියාවට නගන්නට සුදානමින් සිටි බවත් අපට දැනගන්නට ලැබී තිබිණි. කෙසේ වුව ද එය මැයි මාසයේ දී සිදු නොවීය. එමෙන් ම ජූනි, ජූලි හෝ අගොස්තුවල දී හෝ සිදු නොවීය.
සිදු වූයේ කුමක් ද? ඔවුහු නතරව සිටියේ කුමක් අපේක්ෂාවෙන්ද?

අපි වෙනත් කාල සටහනක් දෙස අවධානය යොමු කරමු. එක්සත් ජනපද ෆෙඩරල් මුල්‍ය සංචිතය මේ අවස්ථාවේ තම ප්‍රමාණාත්මක පහසුකාරක ප්‍රතිපත්තියෙන් (Quantitative easing-QE) ඉවත් විය. එක්සත් ජනපදය තමන් 2014 ආරම්භයේ සිට ප්‍රමාණාත්මක පහසුකාරක ප්‍රතිපත්තියෙන් ඉවත්වන බවට නිවේදනය කර තිබිණි. නමුත් එය මෙම ප්‍රතිපත්තිය තුළ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි සහ අගොස්තු දක්වා රැ‍ඳී සිටියේය. එක්සත් ජනපදය ප්‍රමාණාත්මක පහසුකාරක ප්‍රතිපත්තිය තුළ රැ‍ඳී සිටිනතාක් කල් එය විසින් ඩොලර් මුද්‍රණය කරනු ලබන අතර ඩොලරයේ මිල ඉහළ යාම සිදු නොවේ. එහෙයින් හොංකොංහි “Occupy Central” ව්‍යාපාරය ද එතෙක් සිදු නොවිය යුතුය.

සැප්තැම්බරය අවසානයේදී එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය ප්‍රමාණාත්මක පහසුකාරක ප්‍රතිපත්තියෙන් ඉවත්වන බවට නිවේදනය කළේය. ඩොලරය නැවතත් ඉහළ නගින්නට පටන්ගත්තේය. එවිට ඔක්තෝබර් ආරම්භයේදී “Occupy Central” උද්ඝෝෂණ ව්‍යාපාරයේ පැන නැගීම සිදුවිය.

සැබැවින්ම, දියාඔයු දූපත්, හුවාන්ග්යාන් දූපත්, 981 ඛනිජ තෙල් කැණීම්, හොංකොංහි “Occupy Central” ව්‍යාපාරය ආදි සියල්ල බෝම්බ ලෙස සැළකිය හැකිය. මේවායින් එකක් හෝ සාර්ථකව පිපිරීයාම, කලාපීය අර්බුදයක් දක්වා ව්‍යාප්තවීමට හෝ චීනය අවට ආයෝජක පරිසරය අයහපත් තත්ත්වයකට පත් කිරීමට හේතුවනු ඇත. එවැනි තත්ත්වයක් විසින් කලාපය තුළ වන ආයෝජන විශාල ප්‍රමාණයක් ඉවත් කරගැනීමට බල කෙරෙනු ඇති අතර ඒවා එක්සත් ජනපදය තුළ ආයෝජනයට යොමුවනු ඇත.

අවාසනාවකට මෙන් මෙවර ඇමෙරිකානුවන්ගේ ප්‍රතිවාදියා වූයේ චීනයයි. මෙම සෑම අර්බුදයක්ම සමනය කිරීම සඳහා චීනය විසින් “තායි ෂී“(“Tai chi” movements) ඉරියව් යොදාගනු ලැබිණි. අද දක්වාම ඔටුවාගේ කොන්ද බිඳින අවසන් පිදුරු ගස සොයාගැනීමට ඔවුන් සමත් වී නැති අතර ඔටුවා තවමත් නැගී සිටියි.

ඔටුවා හතරගාතයෙන් ඇදවැටුණේ නැත. එහෙයින් එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයට සිය පොලී අනුපාතයන්ඉහළ දමන බවට වන සුපුරුදු අඬබෙරය මෙවර වැයීමට හැකි වූයේ නැත. චීනයේ අස්වනු නෙලීමට තමන්ට දුෂ්කර බව ඇමෙරිකානුවන් තේරුම් ගත්හ. ඒ අනුව ඔවුහු විකල්පයක් සෙවූහ.

ඔවුන්ගේ කුරුමාණම කුමක් වූයේද? ඒ යුරෝපීය සංගමය සහ රුසියාව අතර සම්බන්ධය වූ යුක්‍රේනයයි. ජනාධිපති යනුකෝවිච් ගේ පාලනයේ ගැටළු තිබුණ බව සැබෑවකි. එහෙත් ඇමෙරිකානුවන් ඔහු හා පැටළුණේ ඔහුගේ මෙම ගැටළු නිසා නොවේ. ඔවුනට ඉලක්ක තුනක් තිබිණි. එනම් ඇමෙරිකානුවන්ට කීකරු නොවූ යානුකොවිච්ට පාඩමක් ඉගැන්වීම, යුරෝපා සංගමය රුසියාව සහ සමීප වීම වැළැක්වීම සහ යුරෝපය තුළ ආයෝජනයන් සඳහා අයහපත් පරිසරයක් නිර්මාණය කිරීම යනාදියයි.

මේ අනුව යුක්‍රේනියානුවන් විසින්ම නායකත්වය දුන් බවට පෙනෙන පරිදි “වෛවර්ණ විප්ලවය“ (color revolution)ආරම්භ විය. එක්සත් ජනපදය තමන් ද අපේක්ෂා නොකළ අයුරින් සිය අරමුණු සාක්ෂාත් කරගත්තේය. රුසියානු ජනාධිපති පුටින් ක්‍රිමියාව ලබාගත්තේය. ඇමෙරිකානුවන්ගේ සැලසුම් තුළ එවැන්නක් අපේක්ෂා නොකළ ද එය විසින් එය විසින් රුසියාවට සම්බාධක පනවන ලෙස යුරෝපා සංගමය සහ ජපානය වෙත බල කිරීමේ අවස්ථාවක් ඇමෙරිකානුවන් වෙත උදා විය. එමගින් යුරෝපා සංගමයේ ආර්ථිකය වෙත ද දැඩි පීඩනයක් එල්ල කිරීමට ඇමෙරිකාව සමත් විය.

ඇමෙරිකානුවන් විසින් මෙය සිදු ක‍ළේ මන්ද? බොහෝ අය මෙය භූ දේශපාලනික කෝණයෙන් විග්‍රහ කරන නමුත් ප්‍රාග්ධනයේ කෝණයෙන්මෙම තත්ත්වය විග්‍රහ කර ඇත්තේ ඉතා විරල වශයෙනි. යුක්‍රේන අර්බුදයෙන් පසුව, සංඛ්‍යා ලේඛන විසින් පෙන්නුම් කරන පරිදි එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන එකක් පමණ වන ප්‍රාග්ධනයක් යුරෝපයෙන් ඉවත් විය. ඇමෙරිකානුවන්ට තමන්ට අවශ්‍ය වූ දේ ලැබිණි. ඔවුනට චීනයෙන් ඩොලර් ඉවතට ඇදගත නොහැකි නම් ඔවුන් එය යුරෝපයෙන් ඉවතට අදිනු ඇත.

කෙසේ වුව ද ඊලඟ පියවර ඇමෙරිකානුවන් සැලසුම් කළ පරිදි සිදු නොවිණි. යුරෝපයෙන් ඉවත් වූ ප්‍රාග්ධනය ඇමෙරිකාව වෙත ගලා නොගියේය. එය යොමු වූයේ හොංකොං වෙතය.

චීනයේ ආර්ථිකය සීතල වීමට ආරම්භ වී ඇතැයි යන කරුණ තිබිය දීම වුව ද එය වෙත ගෝලීය ආයෝජකයන් ආකර්ෂණය වීමට එක් හේතුවක් වූයේ එහි ආර්ථික වර්ධන අනුපාතය ලෝකයෙන්ම පළමු ස්ථානය හිමි කරගෙන තිබීම නිසාය. අනෙක් කරුණ වූයේ චීනය විසින් ෂැංහයි සහ හොංකොං කොටස් වෙළෙඳපොළ ඒකාබද්ධ කරන බවට නිවේදනය කර තිබීමයි. ලෝකය පුරා ආයෝජකයන්ට අවශ්‍ය වූයේ ෂැංහයි – හොංකොං ඒකාබද්ධ කිරීම හරහා විපුල ප්‍රතිලාභයක් අත් කර ගැනීමටය.

අතීතයේදී බටහිර ප්‍රාග්ධනය චීනයේ කොටස් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේදී දැඩි පරිස්සම් සහගත බවක් පෙන්නුම් කළ බවක් දැකිය හැකිය. එයට එක් හේතුවක් වූයේ චීනයේ දැඩි විදේශ විනිමය පාලනයයි. ඔබට නිදහසේ පැමිණිය හැකිය. නමුත් ඔබට ඔබ කැමැති පරිදි ඉවත් විය නොහැකිය. ෂැංහයි – හොංකොං ඒකාබද්ධ කිරීමෙන් පසුව ඔවුනට ෂැංහයි කොටස් වෙළෙඳපොළ වෙත හොංකොං හි සිට ආයෝජනය කළ හැකි වූ අතර ලාභ ඉපැයීමෙන් පසුව ලාභයද රැගෙන ක්ෂණිකව ඉවත්වීමේ අවස්ථාව උදා විය. එහෙයින් යුරෝපයෙන් ඉවත් වූ එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනය හොංකොංහි රැ‍ඳිණි.

“Occupy Central” ව්‍යාපාරය පිටුපස වූ හස්තය විසින් එම ව්‍යාපාරය නැවත කරළියට ගෙන ඒමට සැලසුම් කළේ මේ හේතුව නිසාය. ඔවුන්ට එය නැවැත්වීමට උවමනා නොවීය. ප්‍රාග්ධනය නැවතත් එක්සත් ජනපදය වෙත ඇදගැනීමට චීනයට අදාළව කලාපීය අර්බුදයක් නිර්මාණය කිරීමට ඇමෙරිකානුවන්ට අවශ්‍ය විය.

ප්‍රාග්ධනය නැවතත් සිය වෙළෙඳපොළට ඇදගැනීම කෙරෙහි එක්සත් ජනපද ආර්ථිකය විසින් මෙතරම් නන්නත්තාර අන්දමට බලාපොරොත්තු තැබුවේ මන්ද? මක් නිසාද යත් 1971 සිට එක්සත්ජනපදය සැබෑ භාණ්ඩ නිෂ්පාදනය කිරීම අත්හැර දමන ලද බැවිනි. ඔවුහු සැබෑ ආර්ථිකය හැඳින්වූයේ ඌනාන්ත (low-end) හෝ අඩු වටිනාකම් නිෂ්පාදනය කරන කර්මාන්ත, කසළ කර්මාන්ත හෝ අවරගණයේ කර්මාන්ත ලෙසය. ඔවුහු ඒවා සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත විශේෂයෙන්ම චීනය වෙත මාරු කරන ලදි. මයික්‍රොසොෆ්ට්, අයිබීඑම් වැනි උන්නතාන්ත (high-end ) කර්මාන්ත කීපයක හැරෙන්නට සෙසු ඒවායේ 70%ක් පමණ වන පුද්ගලයන් මුල්‍ය සහ මුල්‍ය සේවා කර්මාන්තය වෙත යොමු වී ඇත. ආයෝජකයන් නැවත ඇදගැනීම සඳහා ඔවුන් වෙත ප්‍රදානය කළ හැකි සැබෑ කර්මාන්ත කීපයක් හැරෙන්නට එක්සත් ජනපදය මුළුමණින්ම ශුන්‍ය රාජ්‍යයක් බවට පත් වී ඇත.

ඔවුන්ගේ ත්‍රිත්ව මුල්‍ය වෙළෙඳපොළ මත පදනම් වූ අතථ්‍ය ආර්ථිකයකට දොර අරිනවා හැරෙන්නට ඇමෙරිකානුවන් සතුව වෙනත් විකල්පයක් ඉතුරුව පැවතියේ නැත. එයට මුදල් ඉපැයීමට හැකිවුනු පිණිස එයට මෙම ත්‍රිත්ව වෙළෙඳපොළ පොළ වෙත ලෝකයෙන් මුදල් ඇදගැනීම අවශ්‍ය වේ. ඉන් පසුව එම මුදල් ලෝකයේ අනෙක් රටවල සාරය ඇදගනු පිණිස යෙදවිය හැකිය.

නොනැසී පැවතීම පිණිස ඇමෙරිකානුවන්ට අද ඉතුරුව ඇත්තේ මේ මග පමණි. අප එය එක්සත් ජනපදයේ ජාතික ප්‍රවර්තක උපාය මාර්ගය( national survival strategy) ලෙස හඳුන්වමු. ස්වකීය දෛනික ජීවිතය සහ ආර්ථිකය පවත්වාගෙන යාමට එය වෙත විශාල ප්‍රාග්ධන ප්‍රවාහයක් අවශ්‍ය වේ. කිසියම් රටක් විසින් මේ ප්‍රවාහය අවහිර කරනු ලබන්නේ නම් නම් එම රට එක්සත් ජනපදයේ සතුරෙකු ලෙස නම් කෙරෙනු ඇත.

II. චීනයේ ක්ෂණික නැගී සිටීමක් විසින් අහිමි කරනු ඇත්තේ කාගේ භෝජන සංග්‍රහය ද?

A. යුරෝ මුදල් ඒකකයේ උපත යුරෝපය තුළ යුද්ධයකට හේතු වූයේ මන්ද?

1999 ජනවාරි මස 1 වැනි දින යුරෝව නිලවශයෙන් උපත ලැබුවේය. මාස තුනකට පසුව නේටෝ සංවිධානය යුගෝස්ලාවියට එරෙහිව ඔවුන්ගේ යුද්ධය ඇරඹුවේය. බොහෝ අය සිතුවේ නෙටෝ සංවිධානය සටන් වැදුනේ අල්බේනියානුවන්ට එරෙහිව මිලොසොවික් පාලනයේ ජන සංහාරය, එනම් බිය ජනක මානුෂික ඛේදවාචකයක් නවත්වන්නට බවයි. යුද්ධයෙන් පසුව මෙය අසත්‍යයක් බව ඉක්මණින්ම සනාථ විය. එය සී.අයි.ඒ සංවිධානය සහ බටහිර මාධ්‍ය එක්ව දියත් කළ සැළැසුමක් බව ඇමෙරිකානුවන් පිළිගෙන තිබේ. ඉලක්කය වූයේ යුගෝස්ලාවියානු සමූහාණ්ඩුවට පහර දීමයි.

කෙසේ වුවද කොසෝවෝ යුද්ධය සැබෑ වශයෙන්ම යුගොස්ලාවියානු සමූහාණ්ඩුවට පහරදීම සඳහා දියත් කරන ලද එකක්ද? සමස්තයක් ලෙස සියළු යුරෝපියානුවෝ පළමුව මෙම සිද්ධාන්තය විශ්වාස කළහ. කෙසේ වුව ද මෙම දින 72 යුද්ධයෙන් පසුව තමන් රවටා ඇති බව යුරෝපියානුවෝ තේරුම් ගත්හ.

යුරෝ මුදල් ඒකකය බිහි කරන අවස්ථාවේ යුරෝපියානුවන් තුළ දැඩි ආත්ම විශ්වාසයක් විය. යුරෝව සහ එක්සත් ජනපද ඩොලරය අතර හුවමාරු අනුපාතය 1:1.07ක් විය. දින72 ක් පුරා සිදු වූ බෝම්බ දැමීම්වලින් අනතුරුව යම් කිසිවක් වැරදී ගොස් ඇති බව යුරෝපියානුවන්ට වැටහිණි. ඔවුන්ගේ යුරෝව සුන්බුන් වී තිබිණි. යුරෝ මුදල් ඒකකයට එහි වටිනාකමින් 30%ක් අහිමි ව තිබිණි. දැන් යුරෝවකට ගත හැකි වූයේ එක්සත් ජනපද ඩොලර් 0.86ක් පමණි. තමන් රවටා ඇති බව යුරෝපියානුවෝ තේරුම් ගත්හ. පසු කලෙක ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා එක්සත් ජනපදය අවධාරණය කරන විට ජර්මනිය සහ ප්‍රංශය මුලදී දැඩි ලෙස විරෝධයක් පෑවේ එහෙයිනි.

සමහරුන් පවසන අන්දමට බටහිර ප්‍රජාතාන්ත්‍රික රටවල් එකිනෙකා සමග සටන් නොකරති. 2 වන ලෝක යුද්ධයේ සිට බටහිර රටවල් එකිනෙකා සමග සටන් යුද නොවැදුනු බව සත්‍යයකි. එහෙත් ඔවුන් එකිනෙකා අතර මිලිටරිමය අර්බුද හෝ මුල්‍ය හෝ ආර්ථික යුද්ධ නැතැයි ඉන් අදහස් වන්නේ නැත.

කොසෝවෝ යුද්ධය වූකලී යුරෝ මුදල් ඒකකයට එරෙහිව ඇමෙරිකානුවන් දියත් කළ වක්‍ර යුද්ධයකි. මතුපිටින් එය යුගොස්ලාවියාවට එරෙහිව කළ යුද්ධයක් විය. එහෙත් සැබැවින්ම මෙම යුද්ධයෙන් බරපතල තුවාල සිදුවූයේ යුරෝ මුදල් ඒකකයටයි. මෙය සිදුවූයේ යුරෝවේ උපත විසින් එක්සත් ජනපද ඩොලරයේ බත්පත උදුරාගැනීමට තැත් කිරීම හේතුවෙනි. යුරෝවේ උපතට පෙර එක්සත් ජනපද ඩොලරය ජාත්‍යන්තර මුල්‍ය හුවමාරු වෙළෙඳපොළේ 80%කට හිමිකම් පෑවේය. යුරෝවේ උපතත් සමග එය 60% දක්වා අඩු විය. යුරෝව විසින් මේ අයුරින් ඩොලරයෙන් ලොකු පළුවක් කපාගත්තේය.

යුරෝපා සංගමය බිහිවන විට එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 27 ක ආර්ථිකයක් එය සතුව තිබිණි.එය විසින් ට්‍රිලියන 24-25 කට හිමිකම් කියූ උතුරු ඇමෙරිකන් නිදහස් වෙළෙඳ ප්‍ර දේශය ඒ වනවිටත් අභිබවා යමින් ලෝකයේ විශාලතම ආර්ථික කලාපය බවට පත්වී තිබිණි. එබඳු සුවිශාල ආර්ථිකයක් සතුව තිබූ යුරෝපා සංගමයට සිය වෙළෙඳ කටයුතු එක්සත් ජනපද ඩොලරය හරහා සිදු කිරීමට උවමනාවක් නොවීය.එය යුරෝ මුදල් ඒකකය නිර්මාණය කළේ එහෙයිනි. යුරෝව හඳුන්වාදීමත් සමගම එක්සත් ජනපද ඩොලරයට එහි ව්‍යාපාරික කටයුතුවලින් තුනෙන් පංගුවක් අහිමි විය. මේ වනවිට ලෝක වෙළෙඳාමෙන් 23%ක් සිදුවන්නේ යුරෝව මගිනි.

ආරම්භයේදී ඇමෙරිකානුවෝ යුරෝව ගැන එතරම් සුපරික්ෂා කාරි වූයේ නැත. එය විසින් ඩොලරයේ ආධිපත්‍යයට අභියෝග කරන බව ඔවුන් වටහා ගන්නා විට ඔවුහු මදක් පමා වී තිබිණි. එහෙයින් එක්සත් ජනපදයට යුරෝපා සංගමය සහ යුරෝව මෙන්ම සෙසු අභියෝගකරුවන්ද යටපත් කළ හැකි ක්‍රමවේදයක් සොයාගැනීමට සිදු ව තිබේ.

 

B. සිය “ආසියා පැසිෆික් පුනර්තුලන“(Asia-Pacific Rebalance ) උපාය මාර්ගය මගින් එක්සත් ජනපදය විසින් තුලනය කිරීමට සැරසෙන්නේ කුමක්ද?

චීනයේ නැගීම හේතුවෙන් ඩොලරයේ ගෝලීය ආධිපත්‍යයේ නව අභියෝගකරුවා බවට චීනය පත්කර තිබේ. දියාඔයු සහ හුවාන්ග්යාන් දූපත් පිළිබඳ ගැටුම එක්සත් ජනපදය විසින් සිය ප්‍රතිවාදියා යටපත් කිරීම සඳහා දියත් කරන ලද ආසන්නම උත්සාහයන්ය. මෙම දේශපාලනික සිදුවීම් දෙක විසින් චීනයෙන් විශාල ප්‍රාග්ධන ප්‍රමාණයක් ඉවත් කිරීමට ආයෝජකයන් පොළඹවන තත්ත්වයක් ඇති කිරීමට ඇමෙරිකානුවන් අසමත් වුවද එම සිදුවීම් විසින් චීනයේ වැදගත් උත්සාහයන් දෙකක් උපන්ගෙයිම මරුමුවට පත් කරන ලදි. 2012 ආරම්භයේදී චීනය, ජපානය සහ දකුණු කොරියාව උතුරු-නැගෙනහිර ආසියානු නිදහස් වෙළෙඳ සම්මුතියක් ( Northeast Asia Free Trade Agreement)බිහිකිරීම සඳහා පවත්වාගෙන ගිය සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස යම් සම්මුතියකට එළැඹීමට ආසන්නව සිටියහ. 2012 අප්‍රේලයේදී චීනය සහ ජපානය විසින් ඔවුන් අතර මුදල් හුවමාරුව සහ දෙපාර්ශ්වයේ ජාතික ණය අත්හිටුවීමට සඳහා මූලික එකඟතාවක් ඇති කරගෙන තිබිණි. කෙසේ වුව ද දියාඔයු සහ හුවාන්ග්යාන් දූපත් පිළිබඳ ගැටළුව මතුවත්ම නිදහස් වෙළෙඳ සම්මුතිය සහ මුදල් හුවමාරුව පසෙකට වීසි විය.

වසර කීපයකට පසුව චීනය දකුණු කොරියාව සමග ද්විපාර්ශ්වික වෙළෙඳ සම්මුතියක් සඳහා වන බාධක ඉවත් කර ගැනීමට සමත් විය. එසේ වුව ද එය එතරම් වැදගත් ජයග්‍රහණයක් නොවේ. ඒ මන්ද? මක් නිසාද යත් උතුරු-නැගෙනහිර ආසියානු නිදහස් වෙළෙඳ සම්මුතිය සඳහා ආරම්භක සැලසුමට අනුව එය පිහිටු වූ පසු චීනය, ජපානය, දකුණු කොරියාව, හොංකොං, මැකාඕ සහ තායිවානය යන රටවල් ඇතුළත් කරගැනීමට යෝජනා වී තිබිණි. එසේ නම් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 20 ක ධාරිතාවක් සහිත එය ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වනු ඇත. එය විසින් වැඩිදුරටත් දකුණට ව්‍යාප්ත වෙමින් නැගෙනහිර ආසියාතික නිදහස් වෙළෙඳ කලාපයක් ගොඩනැගීම (East Asia FTA)මගින් ASEAN රටවල නිදහස් වෙළෙඳ කලාපය (ASEAN Free Trade Area-AFTA ) සමග අන්තර්ග්‍රහණය වීමට ද බෙහෙවින් ඉඩ තිබිණි. එසේ නම් එය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 30ක ධාරිතාවක් සහිතව ලෝකයේ විශාලතම ආර්ථිකය වනු ඇත.

East Asia FTA හෙවත් නැගෙනහිර ආසියාතික නිදහස් වෙළෙඳ කලාපය තවදුරටත් ව්‍යාප්ත වෙමින් එයට දකුණෙන් ඉන්දියාව සහ දකුණු ආසියාවේ සෙසු රටවල් ද උතුරෙන් මධ්‍යම ආසියානු රටවල් 5 ද බටහිරෙන් මැදපෙරදිග රටවල් කීපයක් ද ඇතුළුව බටහිර ආසියාතික රටවල් ද එකතු කරගැනීමට ඉඩ තිබූ බව අපට වැඩිදුරටත් සිතිය හැක. මෙම ආසියානු නිදහස් වෙළෙඳ කලාපය ආර්ථික විශාලත්වය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 50 ක් ඉක්මවනු ඇත. මෙය එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය යන දෙකෙහිම ආර්ථික ධාරිතාවන්ගේ ඉක්මවා ගිය අගයකි. මෙවැනි විශාලතම ආර්ථික කලාපයක් විසින් සිය අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා එක්සත් ජනපද ඩොලරය හෝ යුරෝව භාවිතා කරනු ඇතැයි සිතිය හැකි ද? සත්තකින්ම නැත. මෙහි තේරුම වූකලී ආසියානු ඩොලරයක් උපත ලබනු ඇති බවය.

මා සිතන අන්දමට, ආසියානු නිදහස් වෙළෙඳ කලාපයක් පවතින්නේ නම් අප විසින් රෙන්මින්බි ආසියාව තුළ මූලික මුදල් ඒකකය ලෙස ප්‍රවර්ධනය කළ යුතුය. හරියටම එක්සත් ජනපද ඩොලරය පළමුව උතුරු ඇමෙරිකාවේ මුදල් ඒකකය ලෙස භාවිතයට පැමිණ පසුව ජාත්‍යන්තර මුදල් ඒකකයක් බවට පත් වූ අයුරින්මය. රෙන්මින්බි ජාත්‍යන්තර වේදිකාවට තල්ලු කිරීම අප කලින් ප්‍රකාශ කළ පරිදි“ රෙන්මින්බි විදේශගතවීම“කට හෝ එක් මාවතක් එක් කලාපයක් ව්‍යාපෘතිය තුළ රෙන්මින්බි විසින් යම් භූමිකාවක් සිදුකිරීමට වඩා දුර දිග යනදෙයකි. එය ඩොලරය සහ යුරෝව සමග ලෝකය බෙදා ගනු ඇත.

චීනයට කල්පනාවන මේ දෙය අමෙරිකාවේ කල්පනාවට නොඑනු ඇත්ද? එක්සත් ජනපදය සිය අවධානය නැගෙනහිර වෙත මාරු කරන බව පවසා සිටියේ දියාඔයු දූපත සම්බන්ධව චීනය සමග අර්බුදයක් මතු කරන ලෙස ජපානයට බල කරමිනි. එමෙන්ම හුවාන්ග්යාන් දූපත් සම්බන්ධයෙන් චීනය සමග ගැටුමකට යාමට ඔවුහු පිලිපීනය ද දිරිගැන් වූහ. මේවා සිදුවූයේ හුදෙක් දක්ෂිණාංශික ජපනුන් හෝ පිලිපීනයේ ජනාධිපති අකිනෝගේ බලපෑම නිසා පැවසීමට තරම් බොලඳ වීමට අපට නොහැකිය.

ඒ වනාහි රෙන්මින්බි වෙතින් ඩොලරයට අභියෝගයක් එල්ලවනු වැළැක්වීම සඳහා ඇමෙරිකානුවන් ගේ ගැඹුරු සහ ප්‍රවේසම්කාරි සිතීමක ප්‍රතිඵලයකි. තමන් කරන්නේ කුමක් දැයි ඇමෙරිකානුවෝ පැහැදිලිව දැන සිටියහ. උතුරු-නැගෙනහිර නිදහස් වෙළෙඳ කලාපය (Northeast Asia FTA ) බිහිවූයේ නම් , එය විසින් මුල පිරෙන දාම ප්‍රතික්‍රියාව විසින් රෙන්මින්බි, යුරෝ සහ ඩොලරය විසින් ලෝක වෙළෙඳාපොළ තුනෙන් පංගුව වශයෙන් තමන් අතර බෙදා ගනු ඇත. එවිට ලෝක වෙළෙඳපොළෙන් තුනෙන් පංගුවක් පමණකට හිමිකම් කිවහැකි ඩොලරයට තවදුරටත් තම ලෝක මුල්‍ය ආධිපත්‍යයට හිමිකම් කිවහැකිද? යුරෝව හෝ රෙන්මින්බි මෙන් සැබෑ ආර්ථිකයක පිටුබලය රහිත එක්සත් ජනපද ඩොලරයට එහි මුල්‍ය ආධිපත්‍යය නිසැකවම අහිමිවනු ඇත. එවිට එක්සත් ජනපදයට ලෝකයේ හිමිකරුවා ලෙස වැජඹීමට තවදුරටත් හැකිවනු ඇත්ද?

මෙම තත්ත්වය අවබෝධ කරගැනීමට යමෙකුට හැකිවන්නේ නම් ඔහු හෝ ඇය විසින් චීනය මුහුණපාන සෑම අර්බුදයක්ම පිටුපස සිටින්නේ කවුරුන් ද යන වග තේරුම් ගනු ඇත. ඒ එක්සත් ජනපදයයි. එක්සත් ජනපදය, චීනය විසින් තමන්ට එරෙහිව ඇති කරනු ලැබීමට ඉඩ ඇති “ප්‍රශ්න“ වළක්වමින් සිටියි. ඒ අනුව එය විසින් චීනයට එරෙහිව සෑම තැනෙකම “ප්‍රශ්න“ ඇති කරමින් සිටියි. ආසියා පැසිෆික් කලාපය පුනර්තුලනය නමින් ඇමෙරිකාව කරමින් සිටින්නේ කුමක්ද? සැබැවින්ම එය විසින් චීනය සහ ජපානය අතරත්, චීනය සහ පිලිපීනය අතරත් චීනය සහ සෙසු රටවල් අතරත් තුලිතකාරකයාගේ භූමිකාව ඉටු කරමින් සිටින්නේද? සත්තකින්ම නැත. එක්සත් ජනපදයට ඇත්තේ එකම අරමුණකි. ඒ චීනයේ නැගීම නිෂේධ කර දැමීමයි.

III. එක්සත් ජනපද මිලිටරිය ඩොලරය වෙනුවෙන් සටන්වැදීමේ රහස

A. ඉරාක යුද්ධය- තෙල් වෙළෙඳාමේ දී භාවිතා කළ යුත්තේ කාගේ මුදල් වර්ගය ද ?

එක්සත් ජනපදයේ ශක්තිය රඳා පවතින්නේ කුළුණු තුනක් මත යැයි බොහෝ දෙනා පවසති. එනම් මුදල්, තාක්ෂණය සහ හමුදා බලය මතය. සැබැවින්ම අද අපට පෙනෙන පරිදි එක්සත් ජනපදයේ ශක්තිය රඳා පවත්නේ හමුදාව සහ මුදල එනම් ඩොලරය මතයි. සැබෑ ලෙසම එහි මුදලට පිටුබලය සපයන්නේ පෙට්‍රෝලියම් හෝ රත්රන් නොව එහි හමුදාවයි.

මේ ලෝකයේ තිබෙන සෑම රටකටම තමන් යුද්ධයක නිමග්නව සිටින විට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වැය කිරීමට සිදු වේ. කෙසේ වුව ද එක්සත් ජනපදය තරමක් විශේෂිතය. එයට යුද්ධය සඳහා මුදල් වියදම් කරන අතරම යුද්ධයෙන් මුදල් ඉපැයීමට ද හැකිය. වෙනත් කිසිදු රටකට එය කළ නොහැකිය.

ඇමෙරිකානුවෝ ඉරාකය තුළ යුද්ධයක් සිදු කළේ ඇයි?

බොහෝ දෙනෙකු පිළිතුරු දෙනු ඇත්තේ “ඛනිජ තෙල් නිසා“ යනුවෙනි. කෙසේ වුව ද ඇමෙරිකානුවන් සැබැවින්ම යුද්ධ කළේ ඛනිජ තෙල් වෙනුවෙන්ද? ඔවුහු සැබැවින්ම ඛනිජ තෙල් වෙනුවෙන් යුද්ධ කළේ නම් එකදු තෙල් බැරලයක් හෝ ඉරාකයෙන් පිටතට ගෙන නොගියේ මන්ද? එමෙන්ම ඉරාක යුද්ධයට පසුව බැරතෙල් බැරලයක එක්සත් ජනපද ඩොලර් 149 දක්වා ඉහළ නැග්ගේය. යුද්ධයට පෙර බොරතෙල් බැරලයක මිල වූයේ එක්සත් ජනපද ඩොලර් 38කි. සිය හමුදාව ඉරාකය ආක්‍රමණය කළ පසුව ද ඇමෙරිකානු ජනතාවට පහළ මිලගණන් වලට ඉන්ධන ලැබුණේ නැත.

එහෙයින් ඇමෙරිකානුවන් ඉරාකය මත යුද්ධයක් දියත් කළේ තෙල් වෙනුවෙන් නොවන බව පිළිගැනීමට අපට සිදු වේ. සැබැවින්ම ඔවුන් ඉරාකය ආක්‍රමණය කළේ ඩොලරය වෙනුවෙනි. ඒ ඇයි? උත්තරය පැහැදිලිය. ඒ ලෝකය පාලනය කරනු සඳහාය. ලෝකයේ සියළු රටවල් විසින් ඩොලර් භාවිතා කරවීමට එක්සත් ජනපදයට අවශ්‍යය. 1973 දී සවුදි අරාබියට සහ අනෙකුත් රටවලට සිය තෙල් අපනයනය සඳහා හුවමාරු මුදල් ඒකකය ලෙස ඩොලරය ස්ථාපිත කරන ලෙස බල කිරීම ඉතා දක්ෂ පියවරකි.

ඔබ එය අවබෝධ කරගත් විට එක්සත් ජනපදය විසින් තෙල් නිපදවන රටක් තුළ යුද්ධයක් ආරම්භ කළේ මන්දැයි ඔබට වැටහෙනු ඇත. තෙල් නිපදවන රටක් තුළ යුද්ධයක් ඇරඹීමේ සෘජු ප්‍රතිඵලය තෙල් මිල ඉහළ යාමයි. තෙල් මිල ඉහළ යන විට ඩොලරය සඳහා වන ඉල්ලුම ද ඉහළ යයි.

නිදසුනක් ලෙස, ඔබට එක්සත් ජනපද ඩොලර් 38ක් ඇත් නම් ඉරාක යුද්ධයට පෙර එයින් ඔබට බොරතෙල් බැරලයක් ගත හැකිය. යුද්ධයට පසුව බොරතෙල් බැරලය මිල එමෙන් සිවු ගුණයකටත් වඩා ඉහළ ගොස් ඩොලර් 149ක් බවට පත් විය. දැන් ඔබට ඔබේ ඩොලර් 38න් ගත හැක්කේ තෙල් බැරල් කාලකට ආසන්න ප්‍රමාණයක් පමණි. ඔබට අවශ්‍ය ඉතුරු තෙල් බැරල් තුන්කාල ඔබට ලබාගත හැක්කේ කෙසේද? ඔබට ඔබගේ නිෂ්පාදන සහ සම්පත් වැඩි වැඩියෙන් ඩොලර් සඳහා ඇමෙරිකානුවන්ට විකිණීමට සිදුවනු ඇත. එවිට එක්සත් ජනපද රජයට ඉතා විවෘතව සහ නීත්‍යානුකූලව වැඩිවැඩියෙන් ඩොලර් මුද්‍රණය කළ හැකිය. රහස එයයි.

මවිසින් සියළුදෙනා වෙත මේ කරුණ ද පවසනු කැමැත්තෙමි. එක්සත් ජනපදයේ ඉරාක යුද්ධයේ අරමුණ ඉහත දැක් වූ පරිදි තෙල් මිල ඉහළ දැමීමම අරමුණු කොටගත්තක් නොවීය. එය ඩොලරයේ ආධිපත්‍යය රැක ගැනීම සඳහාද දියත් කළ යුද්ධයක් විය. සදාම් හුසේන් ත්‍රස්තවාදින්ට හෝ අල්කයිඩා සංවිධානයට ආධාර කළේ නැත. එමෙන් ම එය සතුව ජන සංහාරක ආයුධ ද නොපැවතිණි. එසේනම් ඉරාකය ආක්‍රමණය කොට ඔහුව එල්ලා මරා දැමුවේ මන්ද? ඒ මක් නිසාද යත් ඔහු එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය අතර “ගේමක් “ ගැසූ බැවිනි. 1999දී යුරෝපා සංගමය තුළ යුරෝ මුදල් ඒකකය බිහිකළ පසුව ඉරාකයේ තෙල් වෙළෙඳාම යුරෝව හරහා සිදු කරන බව සදාම් හුසේන් විසින් නිවේදනය කරන ලදි. මෙය ඇමෙරිකානුවන් කුපිත කළ කරුණක් විය. විශේෂයෙන්ම තවත් බොහෙදෛනා ඔහු අනුගමනය කිරීමට සැරසී සිටි බැවිනි. රුසියානු ජනාධිපති පුටින්, ඉරාන ජනාධිපති අහමදින්ජාඩ් සහ වෙනිසුවේලා ජනාධිපති හියුගෝ චාවේස් යන අයද එයම නිවේදනය කළහ. මේ තත්ත්වය ඇමෙරිකානුවන්ට පිළිගත හැකි එකක් වූයේද?

මවිසින් සුරංගනා කථාවක් කරනු ලබන්නේ යැයි ඇතැමුන් සිතිය හැකිය. හොඳයි, ඉරාක යුද්ධය දිනූ පසුව ඇමෙරිකානුවන් සිදු කළ දෙය විමසා බලමු. සදාම් හුසේන් අත් අඩංගුවට ගැනීමට පවා පෙර ඇමෙරිකානුවන් විසින් කඩිමුඩියේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන ලදි. මෙම තාවකාලික ආණ්ඩුවේ පළමු කාර්යය වූයේ ඉරාකයේ තෙල් වෙළෙඳාම යුරෝවේ සිට නැවතත් එක්සත් ජනපද ඩොලරය මගින් සිදුකරන බවට නිවේදනය කිරීමයි. මෙය විසින් පෙන්නුම් කරන්නේ ඇමෙරිකාව යුද්ධ කළේ ඩොලරය වෙනුවෙන් බවයි.

B. ඇෆ්ගන් යුද්ධය සහ ප්‍රාග් ධනයේ ශුද්ධ ගලනය

යමෙකුට මෙලෙස පැවසිය හැකිය.
“ඇමෙරිකානුවන් ඉරාකයට පහර දුන්නේ ඩොලරයේ ආධිපත්‍යය රැක ගැනීම වෙනුවෙන් විය හැකිය. එහෙත් ඇෆ්ඝනිස්ථානය තෙල් නිපදවන රටක් නොවේ. එසේ නම් ඇමෙරිකානුවන් ඇෆ්ඝනිස්ථානයට පහර දුන්නේ ඩොලරය නිසා නොවිය යුතුය. එමෙන්ම ඇෆ්ගන් යුද්ධය පටන්ගත්තේ සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරයට පසුවයි. එම ආක්‍රමණය ඇමෙරිකාව විසින් දියත් කළේ අල්කයිඩා සංවිධානයෙන් පලිගැනීමටත් අල්කයිඩා සංවිධානයට උදව් කළ තලිබාන් සංවිධානයට දඬුවම් දීමටත් බව ලෝකයේ සියළු දෙනා දැන සිටියහ.“

එය ඇත්තක්ද? ඇෆ්ගන් යුද්ධය පටන් ගත්තේ සැප්තැම්බර් 11 වැනිදායින් මාසයකට පසුවය. එය ආරම්භ කරන ලද්දේ කඩිමුඩියේ බව පැහැදිලිය. යුද්ධය මැද දී ඇමෙරිකාව විසින් එය සතු සියළු කෘස් මිසයිල භාවිතා කරන ලදි. යුද්ධය දිග්ගැස්සෙන විට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුවට ඔවුන්ගේ න්‍යෂ්ටික ආයුධ ගබඩාව විවෘත කිරීමට සිදු විය. ඔවුහු න්‍යෂ්ටික පිපිරුම් ශීර්ෂ සහිත කෘස් මිසයිල 1000ක් ඉවතට ගෙන ඒවායේ න්‍යෂ්ටික පිපිරුම් ශීර්ෂ ඉවත් කොට ඒවාට සම්ප්‍රදායික පිපිරුම් ශීර්ෂ ( එනම් න්‍යෂ්ටික නොවන පිපිරුම් ද්‍රව්‍යවලින් සමන්විත ) සවිකරන ලදි. මෙලෙස තවත් කෘස් මිසයිල 900කින් යුද්ධය දිනීම සඳහා පහර දෙනු ලැබිණි. පැහැදිලිව පෙනෙන පරිදි ඇමෙරිකානුවන් මේ යුද්ධයට සුදානම් වී නොසිටියහ. එසේනම් ඔවුහු කඩිමුඩියේ මෙම පහර දියත් කළේ ඇයි?

ඒ මක් නිසාදයත්, තවදුරටත් කල් අල්ලාගෙන සිටීමේ හැකියාවක් ඇමෙරිකානුවන් වෙත නොවූ හෙයිනි. ඔවුන්ගේ මුල්‍ය තත්ත්වය භයානක ලෙස පිරිහී තිබිණි. 21 වන සියවසේ මුල්භාගයේදී සැබෑ ද්‍රව්‍යමය භාණ්ඩ නිෂ්පාදනය නොකරන රටක් ලෙස එහි වත්මන් තත්ත්වය පවත්වාගෙන යාමට එක්සත් ජනපදයට වෙනත් රටවලින් අඩුතරමින් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 700ක්වත් ගලා ඒමක් අවශ්‍ය වේ. සැප්තැම්බර් 11 වැනිදා සිදුවීමෙන් පසුව ගෝලීය ආයෝජකයන්ට එක්සත් ජනපදය තුළ ආයෝජනයන් ගැන දැඩි ලෙස නැවත සළකා බැලීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 300ක් එක්සත් ජනපදයෙන් ඉවත්වීම සිදු විය.

මෙම ප්‍රාග්ධන විගලනය නැවැත්වීම සඳහා එක්සත් ජනපදයට ක්ෂණිකව යුද්ධයක් ඇරඹීමට බල කෙරිණි. එය අල්කයිඩාවට හෝ තලිබාන්වරුන්ට දඬුවම් දීම පමණක් ඉලක්ක කරගත්තක් නොවීය. එය ගෝලීය ආයෝජකයන්ගේ විශ්වාසය නැවත දිනාගැනීම ඉලක්ක කොට ගත් යුද්ධයක් ද විය. පළමු කෘස් මිසයිල කාබුල් හිදී පුපුරා යෑමෙන් පසුව එක් දිනක් තුළ ඩෝ ජොන්ස් දර්ශකය( Dow Jones index ) ලකුණු 600ක් ලෙස පෙන්නුම් කළේය. එක්සත් ජනපදයෙන් ඉවත් වූ ප්‍රාග්ධනය නැවත එය තුළට ගලා ඒමට පටන්ගත්තේය. 2001 අවසාන විට එක්සත් ජනපදය තුළට ඩොලර් බිලියන 400ක් නැවත ගලා විත් තිබිණි. මෙය විසින් නැවතත් පෙන්නුම් කරන්නේ ඇෆ්ගන් යුද්ධය දියත් කරනු ලැබූවේ ඩොලරය සහ ප්‍රාග්ධනය වෙනුවෙන් බවයි.

 

C. ක්ෂණික ගෝලීය ප්‍රහාරක පද්ධතිය විසින් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාවන් විස්ථාපනය කරනු ඇත්තේ ඇයි.

බොහෝ චීන්නු චීනයේ ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාව ගැන දැඩි අපේක්ෂා සහගත බවක් දැක් වූහ. ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාවක අවශ්‍යතාව ඔවුහු අතීතයේදී දැක තිබිණි. චීනයේ ලියාඕනින්ග් නෞකාව විසින් චීනය ද ගුවන් යානා ප්‍රවාහක නෞකාවන් ඇති රටවල මට්ටමට ඔසවා තබන ලදි.

තාමත් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් ප්‍රධාන බලවත් රටවල බලය පෙන්නුම් කරන සංකේතයක් වුව ද, ඇත්තෙන්ම දැන් එය සංකේතයක්ම පමණි.

මක්නිසාද යත් ගුවන්යානා ප්‍රවාහක නෞකාව ප්‍රවාහක අවධියේ නිෂ්පාදනයක් වන බැවිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එහි ඉහළම අවධියේදී එය ගෝලීය වෙළෙඳාමට මැදිහත් විය. එය එහි නිෂ්පාදන ලෝකයේ රටවල් වෙත යැවූ අතර එම රටවල සම්පත් රට තුළට ගෙන ආවේය. සාගරය මතින් සිදුවූ මෙම ප්‍රවාහනයේදී ආරක්ෂාව සහතික කිරීම සඳහා එයට ශක්තිමත් නාවික හමුදාවක් අවශ්‍ය විය. ගුවන්යානා ප්‍රවාහක නෞකාවන් නිර්මාණය මගින් සාගරය පාලනය කිරීමට මෙන් ම මුහුදු මාර්ගවල ආරක්ෂාව සැපයීමට ද ආධාරයක් විය. ඒ යුගයේ ප්‍රකට කියමනක් වූයේ “ ප්‍රවාහනය වනාහි යතුරයි“ යන්නය. සාගරය පාලනය කළේ කවරෙක්ද, හේ ලෝකයේ ධන සම්පත් පාලනය කළේය.

එහෙත් දැන් යතුර වූකලී ප්‍රාග්ධනයයි. පරිගණක යතුරු පුවරුව කිහිපවරක් එබීමෙන් ඩොලර් බිලියන් ගණන් පමණක් නොව ට්‍රිලියන් ගණන් වන ප්‍රාග්ධනයක් එක් සථානයක සිට තවත් ස්ථානයකට යැවිය හැකිය. ගුවන් යානා ප්‍රවාහක නෞකාවකට භාණ්ඩ ප්‍රවාහනයේ වේගය සමග ගැලපිය හැකිය. එහෙත් එයට ප්‍රාග්ධන ගලනයේ වේගය සමග ගැලපිය නොහැකිය. එහෙයින් ගුවන්යානා ප්‍රවාහක නෞකාවන්ට ප්‍රාග්ධන ගලනය පාලනය කළ නොහැකිය. එසේනම්, අන්තර් ජාලය හරහා සිදුවන ප්‍රාග්ධන ගලනයේ දිශාව, වේගය සහ ධාරිතාව සමග ගැලපිය හැකිවන පරිදි අද ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? ලෝකයේ ඕනෑම ප්‍රාග්ධන සංකේන්ද්‍රණ මධ්‍යස්ථානයකට පහර දිය හැකි වන ලෙස, බැලිස්ටික් මිසයිල, ධ්වනි වේගය මෙන් පස් හෝ දස ගුණයක වේගයකින් ගමන් කළ හැකි අධි ධ්වනි වේග ප්‍රහාරක යානා සහ කෘස් මිසයිල වලින් සමන්විත ක්ෂණික ගෝලීය ප්‍රහාරක පද්ධතියක් එක්සත් ජනපදය විසින් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ එහෙයිනි. ලෝකයේ ඕනෑම තැනකට තමන්ට විනාඩි 28 කින් පහර දිය හැකි යැයි ඇමෙරිකාව පවසයි. ප්‍රාග්ධනය ඇත්තේ කොතැනක වුව ද ප්‍රශ්නයක් නැත. ඇමෙරිකාවට එතැනට ගමන් කිරීමට අවශ්‍ය නැත. සිය මිසයිලවලින් විනාඩි 28 ක් තුළ එතැනට පහර දී එතැනින් ප්‍රාග්ධනය ඉවත් කරගැනීමට ආයෝජකයන්ට බල කිරීමට ඇමෙරිකාවට හැකිය. ක්ෂණික ගෝලීය ප්‍රහාරක පද්ධතිය විසින් අනිවාර්යයෙන්ම ගුවන්යානා ප්‍රහාරක නෞකාවන් විස්ථාපනය කිරීම සිදුවනු ඇත්තේ එහෙයිනි.

එසේ වුවද ගුවන් යනා ප්‍රහාරක නෞකාවන්ට එයටම අයත් කාර්යභාරයන්ද තිබේ. එනම් මුහුදු මාර්ගවල ආරක්ෂාව සැපයීම සහ හදිසි මානුෂික මෙහෙයුම් වැනි කටයුතුය ඒ.

IV. ගගන සාගර සංග්‍රාමය (Air Sea Battle)එක්සත් ජනපදයේ ගැටළු විසඳීමට සමත් නොවනු ඇත.

චීනයේ නැගීමට එරෙහි ප්‍රතිචාර සැලසුම් කිරීමේ දී ලෙස ඇමෙරිකාව විසින් “ ගගන සාගර සංග්‍රාමය“ (Air Sea Battle) නම් සංකල්පයක් ඉදිරිපත් කරන ලදි.එය පළමුවෙන්ම හඳුන්වා දෙනු ලැබූයේ 2010 දීය. යුද සංකල්පයක් ලෙස, එහි අර්ථය වන්නේ චීනයට එරෙහිව සටන්වැදීමේදී ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ එකාබද්ධ සම්බන්ධීකරණයක් තුලින් එය සිදු කිරීමයි. මෙම සංකල්පය නිර්මාණය කිරීම තුළ පෙන්නුම් කරන්නේ ඇමෙරිකන් මිලිටරිය දුර්වල වෙමින් සිටින බවයි. අතීතයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සිතුවේ චීනයට පහර දීම සඳහා ඔවුනට එක්කෝ ගුවන් හමුදාව පමණක් හෝ නාවික හමුදාව පමණක් ප්‍රමාණවත් වන බවයි. එහෙත් දැන් මෙම එක් හමුදාවක් පමණක් යෙදීමෙන් චීනයේ මිලිටරි බලය අභිබවනය කිරීමට නොහැකි බව ඔවුන්ට වැටහී ඇත. එහෙයින් මෙම හමුදාවන් ඒකාබද්ධව යෙදවීමට අවශ්‍යව ඇති බව ඔවුහු දකිති. මෙම “ ගගන සාගර සංග්‍රාමය “(Air Sea Battle)සංකල්පය බිහිවූයේ ඒ අනුවය.

චීනය සහ ඇමෙරිකාව අතර යුද්ධයක් ඉදිරි 10 වසර තුළ ඇති වේයැයි ඇමෙරිකාව නොසිතයි. එක්සත් ජනපදයේ වර්තමාන මිලිටරි ශක්‍යතාවන් චීනයට එරෙහි යුද්ධයකදී වාසිදායක තත්ත්වයන් සම්පාදනය කිරීමට අසමත් බව, ගුවන්යානා ප්‍රහාරක නෞකාවන්ට සහ අභ්‍යවකාශ පද්ධතීන්ට පහර දීමට චීනය සතු හැකියාවන් ආදියෙන් සමන්විත චීනයේ මිලිටරි සංවර්ධනය අධ්‍යයනය කිරීමෙන් පසුව එක්සත් ජනපදය විසින් තේරුම් ගෙන ඇත. එහෙයින් චීනය අභිබවනය කළ හැකි මට්ටමට සිය සංග්‍රාමීය පද්ධති සංවර්ධනය කිරීමට එක්සත් ජනපදයට තව වසර 10 ක් කාලයක් ඇත.

එහි තේරුම වන්නේ චීනයට එරෙහි සිය යුද්ධයේ කාල සටහන ඇමෙරිකාව විසින් වසර 10කට කල් තබා ඇති බවයි. වසර 10 ක්තුළ යුද්ධයක් සිදු නොවීමට ඉඩතිබුණ ද අපි එයට දැන් සිටම සුදානම් විය යුතුව තිබේ. දසවසරකින් පසු යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට නම් අපි අපගේ කාර්යභාරයන් සම්පූර්ණ කළ යුතු වෙමු. යුද්ධයට සුදානම් වීමද මේ කාර්ය භාරයන්ට ඇතුළත් ය.

 

V. “එක් කලාපයක්, එක් මාවතක්“ ව්‍යාපෘතියේ උපායමාර්ගික අර්ථය

ඇමෙරිකානුවෝ බාස්කට් බෝල් සහ බොක්සිංවලට කැමැතිය. බලය සම්බන්ධව ඇමෙරිකානු ආකල්පයේ සුපුරුදු ස්වභාවය බොක්සිං ක්‍රිඩාව මගින් පෙන්නුම් කරයි.එනම් ප්‍රතිවාදියා බිම ඇද වැටෙතැයි අපේක්ෂාවෙන් මුළු ශක්තිය යොදා සෘජු ලෙස පහරදීමයි. සියල්ල සරලය.

චීන්නුන් මෙහි සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට අයත්ය. ඔවුහු වක්‍රෝක්තියට සහ “බලය පැරදවීමට මුදු බව“ යෙදවීමට ද වඩාත් කැමැතිය. එනම් බලය යොදා ප්‍රතිවාදියාට පහර දී බිම දමනවාට වඩා ප්‍රතිවාදියාගේ සියළු පහර වළකමින් ඔහුව වෙහෙසට පත් කිරීමය. චීනුන් කැමැති තායි ෂී සටන් කලාවටය. එය සටන් කලාවක් ලෙස බොක්සිං වලට වඩා ඉහළ අදියරක පවතින්නකි. චීනයේ “එක් කලාපයක්, එක් මාවතක්“ ව්‍යාපෘතියේ උපාය මාර්ගය තුළ මෙම දර්ශනය පරාවර්තනය වේ.

ඉතිහාසය පුරාම, මහා අධිරාජ්‍යයන් පැන නැගුන සෑම විටෙකම එයට සම්බන්ධිත ගෝලීයකරණ ව්‍යාපාරයක්ද සිදු වෙයි. මෙහි අදහස වන්නේ එම ගෝලීයකරණය යනු අතීතයෙන් පටන්ගෙන වර්තමානය දක්වා විහිදෙන අඛණ්ඩ ප්‍රපංචයක් බව නොවේ. නමුත් එය නිශ්චිත අධිරාජ්‍යයකට අයත් බවයි. රෝමානු අධිරාජ්‍යය යටතේ එයට ආවේණික ගෝලීයකරණ ක්‍රියාදාමයක් සිදු විය. ක්‍රි.පූ. 200 දී පමණ චීනයේ කිං රාජවංශය යටතේද ඔවුන්ටම ආවේණික ගෝලීයකරණයක් සිදු විය.

සෑම ගෝලීයකරණයක්ම අරඹනු ලබන්නේ නැගී එන අධිරාජ්‍යයක් විසිනි. එකී ගෝලීයකරණ ව්‍යාපාරය සීමාව එකී අධිරාජ්‍යයේ ශක්තියේ සීමාවයි . අධිරාජ්‍යයේ බලපෑමට සහ එහි ප්‍රවාහනයට යටත් ඈතම කෙළවර විසින් එය විසින් සිදුකරණ ගෝලීයකරණයේද සීමා මායිම් සළකුණු කරනු ලබයි. එහෙයින් අද දකින අන්දමට රෝමානු අධිරාජ්‍යය සහ කිං රාජවංශය විසින් සිදු කළ ගෝලීයකරණයන් වූ කලී ප්‍රාදේශීය ව්‍යාප්තියක් ලෙස හැඳින්විය හැකිය. ගෝලීයකරණයේ වර්තමාන අර්ථයට අනුව එය ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් සමගය. එක්සත් ජනපදය විසින් බ්‍රිතාන්‍ය වෙළෙඳගෝලීය කරණය ටික කලක් සඳහා කරගෙන ගිය අතර පසුව එය එක්සත් ජනපද ඩොලර් ගෝලීයකරණයට මාරු විය.

චීනය “එක් කලාපයක්, එක් මාවතක්“ ව්‍යාපෘතියේ අරමුණ එක්සත් ජනපද ඩොලරය යටතේ පවතින වර්තමාන ගෝලීය ආර්ථික පද්ධතියට එක්වීම නොවේ. “එක් කලාපයක්, එක් මාවතක්“ උපාය මාර්ගය වූකලී නැගී එන සුපිරි බලවතෙකු ලෙස චීනය විසින් තමන්ගේම ගෝලීයකරණයක් සඳහා තබන ලද ආරම්භක පියවරකි. එය ප්‍රබල රාජ්‍යයක් ලෙස තමන්ගේ නැග්ම සිදුවන අවධියේදී සිදු කළ යුතුවන අනිවාරණය ගෝලීයකරණ ක්‍රියාදාමයකි.

“එක් කලාපයක්, එක් මාවතක්“ ව්‍යාපෘතිය මේ මොහොතේදී චීනයට ඉදිරිපත් කළ හැකි හොඳම සුපිරි බල උපායමාර්ගයයි. මක් නිසාද යත් එය එක්සත් ජනපදය සිය අවධානය නැගෙනහිර ආසියාව වෙතට මාරු කරමින් ගෙන දියත් කර ඇති උපාය මාර්ගික සැලසුමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් වන හෙයිනි.
යමෙකුට මෙසේ ඇසිය හැකිය.“ ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් යනු ඔබට එරෙහිව ඔබගේ දිශාවට පැමිණෙන බලයට එරෙහි දිශාවට ක්‍රියාත්මක විය යුතු එකකි. එක්සත් ජනපදයට මුහුණ නොදී වෙනත් දිශාවකට හෝ ආපසු හැරීම ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් වන්නේ කෙලෙස ද? “ (එක්සත් ජනපදය චීනය වෙත පැසිෆික් සාගරය හරහා නැගෙනහිර දිශාවේ සිටය. නමුත් චීනය මෙම පීඩනයට පිටු පා බටහිර දෙසට ගමන් කරයි.) එය ඇත්තය. “එක් කලාපයක්, එක් මාවතක්“ උපාය මාර්ගය වූ කලී, එක්සත් ජනපදයේ නැගෙනහිරට මාරුවීමේ උපායමාර්ගයට එරෙහිව චීනයේ ප්‍රතිවිරුද්ධ උපාය මාර්ගික සැලසුමයි. චීනය එක්සත් ජනපදයට පිටු පා ගමන් කරන්නේ සෘජු ගැටීමක් ඇති වනු වළක්වනු පිණිසය. ඔබ මාව නැගෙනහිර දිශාවේ සිට තල්ලු කරන විට මම බටහිර දෙසට චලනය වෙමි. ඒ මට ඔබ වෙතින් පලා යාමට උවමනා නිසා නොවේ. ඒ මා තුළ ඔබ කෙරෙහි භීතියක් ඇති නිසා ද නොවේ. හුදෙක් ඒ, ඔබ මා වෙත යොදන පීඩනය බලරහිත නිෂ්ක්‍රීය සහ නිෂ්ඵල එකක් කරනු පිණිස ගත යුතු බුද්ධිමත් පියවරක් ලෙස මා විසින් සළකනු ලබන හෙයිනි.

“එක් කලාපයක්, එක් මාවතක්“ උපායමාර්ගය තුළ සමාන්තර මාවත් දෙකක අවශ්‍යතාවක් පැන නොනගී. නමුත් එහි ප්‍රමුඛතාවන් තිබිය යුතුය. සාගරයේ බලය සැළකිල්ලට ගත් විට තවමත් චීනය දුර්වල තත්ත්වයක සිටින බව දැකිය හැකිය. එහෙයින් අපට ගොඩබිම් මාවතට ප්‍රමුඛත්වය දීමට සිදු වේ. “එක් කලාපයක් “ යනු එහි මූලික දිශානතියයි. මෙය විසින්ද අදහස් කරනුයේ අපගේ හමුදාවේ වැදගත්කම ගැන නැවත අවධානය යොමු කළ යුතු බවයි.

චීන හමුදාව ලෝකයේ හොඳම හමුදාව යැයි සමහරුන් පවසති. චීනය තුළ යුද්ධයකදී නම් එය සත්‍යයකි. චීන හමුදාවට චීනය ආක්‍රමණය කරන ඕනෑම හමුදාවක් පරාජය කළ හැකිය. චීන හමුදාව සතුව පවතින ගැටළුනම් එය සතුව චීනයෙන් පිටත යුද්ධයකදි ජය ලැබීමට හැකියාවක් තිබේද යන්නයි.
ග්ලෝබල් ටයිම්ස් පුවත්පතේ වාර්ෂික හමුවේදී මම මේ ගැටළුව මතු කළෙමි. චීනය තමාගේ ප්‍රතිවාදියා ලෙසින් තෝරාගෙන එයට පීඩනය එල්ලකරන විට ඇමෙරිකාව විසින් තෝරාගෙන ඇත්තේ වැරදි ප්‍රතිවාදියෙකු බව මම එහිදී පැවසුවෙමි. අනාගතයේදී ඇමෙරිකාවට මුහුණදීමට සිදුවන භයානකම තර්ජනය චීනය නොවේ. සැබැවින්ම ඇමෙරිකාවට තර්ජනයක්ව ඇත්තේ එයමය. එක්සත් ජනපදය තමන් විසින්ම වැළලෙනු ඇත.ඒ මක් නිසාද යත් අනාගත මහා යුගයක් පැමිණෙමින් සිටියදී , එක්සත් ජනපදය එය විසින් නියෝජනය කරන මුල්‍ය ධනවාදය එහි උපරිමයට ළඟාවීමෙන් අනතුරු එය බිඳවැටීමකට ලක්වන බව තේරුම් නොගැනීම නිසාය. එක් අතකින් එක්සත් ජනපදය එම ප්‍රාග්ධනය විසින් උපදවන සියළු වාසි භුක්ති විඳියි. අනෙක් අතින්, එක්සත් ජනපදය එය විසින් මෙහෙයවන තාක්ෂණික නවීකරණය හරහා අන්තර්ජාලය, විශාල පරිමාණ දත්ත රැස්කිරීම් සහ cloud පරිගණක සේවා ආදිය ආන්තික ලෙස වර්ධනය කරයි. මෙම මෙවලම් මුල්‍ය ප්‍රාග්ධනයේ අවසානය ළඟා කරවන බලවේග බවට ක්‍රමයෙන් පත්වනු ඇත.

අලිබාබා සමාගම යටතේ පවතින (Alibaba company )Taobao.com සහ tmall.com යන සමාගම් 2014 නොවැම්බර් 11 වැනි දින සිය අලෙවිය යුවාන් බිලියන 50.7ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 8.2 ) ලෙස ලියාපදිංචිකර තිබිණි. සති කීපයකට පසුව කෘතගුණ සැලකීමේ සතියේදී පමණක් (Thanks-giving weekend) ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ දී අන්තර්ජාලය හරහා සහ සැබෑ භෞතික අලෙවි සැල් තුළ සිදු වූ අලෙවියේ සම්පූර්ණ එකතුව යුවාන් බිලියන 40.7ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6 ) වටිනාකමකින් යුතු විය. බිලියන 50.7ක අලෙවිය වූකලී අලිබාබා සමාගමේ එක් දිනෙක අලෙවිය පමණක් විය. මෙයට චීනය තුළ ඇති 163.com, qq.com සහ jd.com වැනි අන්තර්ජාල අලෙවි සැල් වල අලෙවිය එකතු කොට නැත. එමෙන්ම සැබෑ භෞතික අලෙවිසැල්වල වෙළෙඳාම මෙයට ඇතුළත් කොට නැත.

අලිබාබා සමාගමේ සියළු අලෙවි කටයුතු සිදුවන්නේ “අලි පේ“ නමින් වන විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් (Alipay electronic payment system)යටතේය. අලි පේ යන්නෙහි තේරුම කුමක් ද? එහි තේරුම මුදල් දැන් වෙළෙඳාම නම් වේදිකාවෙන් එළියට විසී වී ඇති බවයි. එක්සත් ජනපද ආධිපත්‍යය පදනම්ව ඇත්තේ එහි ඩොලරය මතය. ඩොලරය යනු කුමක්ද? එය මුදල් වර්ගයකි. අනාගතයේදී අපි වෙළෙඳාම සඳහා මුදල් භාවිතය නතර කළ විට සියළු සම්ප්‍රදායික මුදල් වලින් කිසිදු පලක් නැතිවනු ඇත. එවිට මුදල් මත පදනම් වූ අධිරාජ්‍යයකට පැවතිය හැකිද? ඇමෙරිකානුවන් විසින් පිළිතුරු සපයාගත යුත්තේ මේ ප්‍රශ්නයටයි.

ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ද අනාගතය නියෝජනය කරයි. එය විසින් මිනිස් නිෂ්පාදන ක්‍රියාවලියේ මූලික විපර්යාසයක් සිදු කරනු ඇත. නිෂ්පාදන ක්‍රියාවලියේ විපර්යාසයන් සිදුවන විට වෙළෙඳ ක්‍රියාවලියේද විපර්යාසයන් සිදු වේ. ලෝකය මූලික විපර්යාසයන් හරහා ගමන් කරනු ඇත. ඉතිහාසය විසින් පෙන්නුම් කරන්නේ සමාජය වෙනස් කිරීමට බලපාන ප්‍රධාන සාධකයන් වූ කලී මෙම මූලික ක්‍රියාවලින් දෙක (එනම් නිෂ්පාදනය සහ වෙළෙඳාම ) මිසක සෙසු සාධක නොවන බවයි.

පවත්නා මුදල් අහෝසි වී යන විට ප්‍රාග්ධනයද අහෝසී වී යයි. ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ඔස්සේ නිෂ්පාදන ක්‍රමය වෙනස් වන මානව ලෝකය නව සමාජ ආකාරයක් වෙත එළැඹෙනු ඇත. ඒ මොහොතේදී , මහාපරිමාණ දත්ත, සහ cloud පරිගණක සේවාවන් ආදියෙන් සමන්විත තරඟ ආරම්භක රේඛාව මත චීනය සහ එක්සත් ජනපදය සිටගෙන සිටිනු ඇත. එවිට තරඟය තීරණය වනු ඇත්තේ මෙම දොර තුළින් පළමුව ඇතුළු වන්නේ කවුරුන්ද යන කරුණ මත මිසෙක අනෙකාට පහර දී බිම හෙළීමට සමත්වන්නේ කවුරුන්ද යන්න මත නොවේ. එක්සත් ජනපදය වැරදි එදිරිවාදියෙකු තෝරාගෙන ඇති බව මා පවසන්නේ මෙම දෘෂ්ටි කෝණයෙනි.

ඇමෙරිකාවේ සැබෑ එදිරිවාදියා මේ සිදුවීමට නියමිත විපර්යාසයන් සහ ඇමෙරිකාවමය. මේ කරුණ වටහාගැනීමේදී ඇමෙරිකාව විශ්මයජනක ප්‍රමාදයක් පෙන්වයි.ඒ මකක් නිසාද යත් ඇමෙරිකාව තම ආධිපත්‍යයධාරී තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පමණටත් වඩා ආයෝජනය කර ඇති බැවිනි. එයට සෙසු රටවල් සමග බලය බෙදා ගැනීමට අවශ්‍යතාවක් හෝ අප විසින් තවමත් නොදන්නා බොහෝ දේ පවතින නව සමාජද්වාරය තුළින් සෙස්සන් සමග එක්ව ඇතුළු වීමට හෝ එයට උවමනාවක් නැත.

 

 

 

 

ෂියාඕ ලියාන්ග්

 

 

 

සටහන්
Bull Market-ගැනුම්බර වෙළෙඳපොළ- යනු සුරැකුම් සඳහා මිල ඉහළ යමින් පවතින හෝ පවතී යැයි අපේක්ෂා කරනු ලබන මුල්‍ය වෙළෙඳපොළකි.ගැනුම්බර වෙළෙඳපොළ යන යෙදුම බෙහෙවින් යොදනු ලබන්නේ කොටස් වෙළෙඳපොළ සඳහා වන අතර එය සාමාන්‍යයෙන් විකුණනු ලබන ඕනෑම දෙයක් සඳහා එනම් බැඳුම්කර, මුල්‍ය හෝ භාණ්ඩ වැනි දේවල් සඳහා යෙදිය හැකිය. බුල්මාර්කට් හි ලක්ෂණ වන්නේ ශුභවාදය, විශ්වාසනීයත්වය මෙන්ම  ශක්තිමත් ප්‍රතිඵල මාස ගණනාවක් හෝ වසර ගණනාවක් පවතීය යන අපේක්ෂාව ආදියයි. වෙළෙඳපොළ ප්‍රවණතාවන් වෙනස්වන්නේ කවර මොහොතේ දැයි අනුමාන කිරීම දුෂ්කරය. මෙම දුෂ්කරතාවන්ට එක් හේතුවක් ලෙස සැළකිය හැක්කේ මානසික බලපෑම් සහ සැක කිරීම් සමහර විට විශාල භූමිකාවක් වෙළෙඳපොළ ප්‍රවණතාවන් තුළ සිදුකරන බැවිනි. පොදුවේ පවසතොත් ගැනුම්බර වෙළෙඳපොළක් නිර්මාණය වන්නේ කොටස් මිල 20%කින් ඉහළ යාම සිදුවන විටය. සාමාන්‍යයෙන් 20%ක පහත වැටීමකින් පසුව සහ 20%ක පහත බැසීමකට පෙරය. මෙම තත්ත්වයන් කල් තබා අනුමාන කළ නොහැකි බැවින් සාමාන‍්‍යයෙන් ගැනුම්බර වෙළෙඳපොළක් හඳුනාගත හැක්කේ එය සිදු වූ පසු පමණි.

සාමාන්‍යයෙන් ගැනුම්බර වෙළෙඳපොළක් නිර්මාණය වන්නේ ආර්ථිකය ශක්තිමත් වන විට හෝ දැනටමත් ශක්තිමත් භාවයේ පවතින විටය. දළ ජාතික නිෂ්පාදිතයේ GDP වර්ධනය සහ විරැකියාව පහළ යාම සමග එය සම්බන්ධව පවතී. සමාගම් ලාභාංශ ඉහළ යාම සමග එය සම්පාත වේ. ආයෝජකයන්ගේ විශ්වාසයේ ඉහළ යාමක් ද සිදුවනු ඇත. කොටස් සඳහා සමස්ත ඉල්ලුම ධන අගයක් ගනී. එමෙන්ම ගැනුම්බර වෙ‍ළෙඳපොළ තත්ත්වයකදී ආරම්භක මහජන නිකුතුවල IPO ඉහළ යාමක් ද සිදු වේ.

සුරැකුම් සඳහා ඉල්ලුම සහ සැපයුම ඉහළ පහළ යා හැකිය. ඉල්ලුම ශක්තිමත්වන විට සැපයුම දුර්වල වනු ඇත. කිහිපදෙනෙකු සිය කොටස් විකිණීමට සිතන අතර සෙසු අයෝජකයෝ සුරැකුම් මිලදී ගැනීමට පොදිකනු ඇත. උපරිම ලාභ ලැබීම සඳහා ආයෝජකයෝ ගැනුම්බර වෙළෙඳපොළකදී කොටස් වෙළෙඳපොළට හවුල්වීමට වැඩි කැමැත්තක් දක්වති. ගැනුම්බර වෙළෙඳපොළ මගින් ලාභ ලැබීමට කැමැති ආයෝජකයෝ ඉහළ යන මිලෙහි වාසිය ලබා ගැනීමට කල් තබා මිලදී ගැනීම් සිදු කරන අතර මිල උපරිමයට නැගුණ පසු ඒවා විකුණා දමති. එසේ වුවද පහළම සහ ඉහළම වටිනාකම් ළඟාවන්නේ කවර මොහොතේ දැයි නිශ්චය කිරීම පහසු නැත.පාඩු බොහෝවිට අවම වන අතර සාමාන්‍යයෙන් තාවකාලිකය.

US Federal Reserve- එක්සත් ජනපදයේ මධ්‍යම බැංකු පද්ධතිය මෙනමින් හැඳින් වේ. එය 1913 දෙසැම්බර් 23 ආරම්භ කරන ලදි.

Quantitative easing (QE) ප්‍රමාණාත්මක පහසුකාරකය –
මෙය මහාපරිමාණ වත්කම් කිණුම large-scale asset purchases ලෙසද හැඳින්වේ. ආර්ථිකය උත්තේජනය කිරීමේ හෝ ද්‍රවශීලිතාව ඉහළ නැවීමේ අරමුණින් මධ්‍යම බැංකුව විසින් රජයේ බැඳුම්කර හෝ වෙනත් මුල්‍ය වත්කම් කලින් තීරණය කරන ලද ප්‍රමාණයක් මිල දී ගැනීම මගින් සංලක්ෂිත ව්‍යාප්තවාදී මුල්‍ය ප්‍රතිපත්තියකි. ඉතා පහළ උද්ධමනය හෝ අවධමනය පාලනය කිරීමෙහිලා පිළිගත් මුල්‍ය ප්‍රතිපත්තීන් අසාර්ථක වන විට යොදාගනු ලබන සම්ප්‍රදායික නොවන මුල්‍ය ප්‍රතිපත්තියකි.

ASEAN FTA ASEAN-Association of Southeast Asian Nations සංවිධානය සඳහා වන කෙටි යෙදුමයි. කලාපීය අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මෙම සංවිධානයට අයත් රටවල් වන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය,බෘනෙයි, කාම්බෝජය, ලාඕසය සහ වියට්නාමයයි. මෙම සංවිධානයේ ප්‍රකාශිත අරමුණු වන්නේ ආසියානු සමගිය සහ අන්තර් රාජ්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය, ආර්ථික, දේශපාලනික, මිලිටරිමය,ආරක්ෂක,අධ්‍යාපනික සහ සමාජ-සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අන්තර්ග්‍රහණය සඳහා සාමාජික රටවලට සහ ආසියාවේ සෙසු රටවලට පහසුකම් සැලසීම යනාදියයි. ASEAN FTA යනු මෙම රටවල් විසින් ඇති කරගන්නා ලද නිදහස් වෙළෙඳ කලාපයයි.

 

 

Leave a Reply