එස්. වඩුගේ
(පැල්වත්ත සීනී සමාගමේ ඉඩම් කොල්ලයට එරෙහිව ගොවි සහ කම්කරු අරගලයට නායකත්වය දුන් කීර්තිමත් ගොවි නායකයන් වූ මානෙල් රත්නායක සහ මහින්දබාහු යන වාමාංශික ක්‍රියාධරයන් විසින් සපයන ලද තොරතුරු අනුව එස් වඩුගේ විසින් සකස් කරන ලද මෙම ලිපිය රාවය සඟරාවේ 1987 අගොස්තු කලාපයේ පළ වූ අතර පසුව මෙය “ඉසිඹුව“ FB පිටුව තුළ පළ කෙරී ඇත. මෙම ලිපිය විමර්ශන තුළ නැවත පළ කරනු ලබන්නේ විවිධ පැහැයන්ගෙන් පෙනී සිටින අධිරාජ්‍යගැති පාලක කල්ලි විසින් විදේශීය සමාගම් සඳහා ගොවි ජනතාවගේ ඉඩම්, වනාන්තර ජල සම්පත් බහුජාතික සමාගම්වලට සහ විදේශීය මිලිටරි ආයතන වලට පවරාදීම අඛණ්ඩව සිදුවන තත්ත්වයකදී “සංවර්ධනය“ පිළිබඳ ඔවුන්ගේ වංචනික වාගාලාපවලට පිටුපස ඇති යථාර්ථය හඳුනාගැනීමට ඓතිහාසික සාක්ෂියක් වෙල්ලස්සේ ගොවිජනතාවට අත් වූ ඉරණම විසින් සපයන බැවිනි. පාලක කල්ලිවල පැහැය නිල්, කොල හෝ රතු වේවා ඒ කුමක් වුවද ඔවුන් සේවය කරනුයේ එකම අධිරාජ්‍යවාදි හාම්පුතුන්ට බව අපි අමතක නොකළ යුතු වෙමු. )
එදා එක්දහස් අටසිය ගණන්වලදී ඉංග්‍රීසින් විසින් වතුවගාව සඳහා උඩරට ගැමි ජනතාවට එරෙහිව දියත් කළ ඉඩම් කොල්ලය, එදා ඉංග්‍රීසින්ට විරුද්ධව විරෝධාර අරගලයක යෙදුණු වෙල්ලස්සේ ගොවි ජනතාවට එරෙහිව අද ක්‍රියාත්මක වෙමින් පවතී. මෙතා ඉන්ටර්නැෂනල් නැමැති බහුජාතික සමාගමට පමණක් උක්වගාව සඳහා මොණරාගලින් පවරා දී තිබෙන ඉඩම් අක්කර ප්‍රමාණය අක්කර 53559කි. තම පාරම්පරික ගම්බිම් අහිමි කරගනිමින් සීනි සමාගමේ ශ්‍රම වහලුන් බවට පත්වී සිටින ගොවි ජනතාවගේ තත්ත්වය ඉතා යහපත් බව ආණ්ඩුව කියතත් ඔවුන්ගේ ජීවිතය එකම ඛෙදවාචකයක් වී ඇති බව මෙම ලියුම්කරු කරුණු සහිතව ඔප්පු කරයි.
ශ්‍රී ලංකාව ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමේ වේදිකා සටන දැන් බොහෝ කාලයක සිට කෙරීගෙන යයි. සරුවට වැඩුණ මානා පඳුරු හෙලිකොප්ටරයේ සිට පෙන්වා “අන්න අගමැතිතුමනි අපේ සරු වී වගාව“ යැයි කී කතාවක් ද ජනප්‍රවාදයේ පවතී. දැන් ස්වයංපෝෂිත බවේ අලුත් ඉලක්කයක්ද මතු වී තිබේ. එනම් නීතිවලින් රට ස්වයංපෝෂිත කිරීමයි.
සීනී කර්මාන්තය අර්බුදයක
මේ අලුත් උනන්දුව ඇති වූයේ ලෝක වෙළඳ පොළේ ඉතා අඩුමිලට සීනිගත හැකි වුවත්, ලෝකය පුරාම සීනි කර්මාන්තය අර්බුදයකට ගොස් ඊට අරක් ගත් බහුජාතික සමාගම්ද බරපතල ගැටළුවලට මුහුණ දෙමින් සිටි කාලයකදීය. සීනි නිෂ්පාදනය සඳහා විදේශීය බහුජාතික සමාගම් කැඳවාගෙන ඒමට තීරණය කළ ආණ්ඩුව එය සාධාරණ කළේ සීනි ගෙන්වීමට වැයවන විදේශ විනිමය ඉන් මෙරටෙහිම නතර කර ගත හැකිය යන තර්කය උඩයි. එසේ නමුත් අප කවුරුත් දන්නා පරිදි සාමාන්‍ය ජනයාට අත්‍යවශ්‍ය නොවන අධි-සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම පිණිස විදේශ විනිමය වැය කිරීමට ආණ්ඩුව කිසි විටෙක පැකිලුණේ නැත. මෑතදී පළ වූ එක් වාර්තාවකට අනුව රු. කෝටි 3000ක් වැය කොට ගෙන්වන ලද එවැනි භාණ්ඩ විකුණාගත නොහැකිව සාප්පු සංකීර්ණවල ගොඩ ගසා තිබේ.
කෙසේ හෝ මෙරට සීනි වලින් ස්වයංපෝෂණය කිරීමේ ආණ්ඩුවේ වැඩ සටහනට මොණරාගල දිස්ත්‍රික්කය තෝරාගන්නා ලදි. ඊට හේතු වශයෙන් ඉදිරිපත් කරන ලද්දේ එම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඉතාම නොදියුණු දිස්ත්‍රික්කයක් බවත්, එහි පස දේශගුණය උක්වගාවට ගැලපෙන බවත්ය. උක්වගාව පිණිස පැමිණෙන බහුජාතික සමාගම් නිසා ප්‍රදේශය සශ්‍රීක වී ජනයා පොහොසතුන් වනු ඇතැයි ආණ්ඩුවේ තර්කය විය. එහෙත් දේශීය සහ විදේශීය සමාගම්කරුවන්ගේ උක්වතුවලින් පිරීගිය පිලිපීනයේ දූපත් හා පෙදෙස් අද පවා ඉතාම දුගී හා නොදියුණු තත්ත්වයේ පවතී
සමාගම් දාහකට ආරාධනා
මේ අනුව සීනි කර්මාන්තයේ නියුතු බහුජාතික සමාගම් 03කට 1980දී ආංඩුව විසින් ආරාධනා කැරිණි. වසර 100ක පමණ සීනිකර්මාන්තයේ අත්දැකීම් සහිත “බුකර් ඇග්‍රිකල්චරල් ඉන්ටර්නැෂනල්” )(Booker Tate ) වැල්ලවාය ප්‍රදේශයේද, ඉන්දියානු අප්‍රිකානු සමාගමක් වූ මේතා සමාගම සියඹලාංඩුව ප්‍රදේශයේද බොහෝ පැරණි ඕලන්ද සමාගමක් වූ එච්.වී.ඒ සමාගම නක්කල ප්‍රදේශයේද උක්වගා කිරීමටත් සීනි නිෂ්පාදන කම්හල් පිහිටුවීමටත් අවසර දෙන ලදි. ඉතා සූක්ෂ්මව හොර රහසේම වැඩ පටන් ගත් බුකරු ඇග්‍රිකල්චර් හවුල් වූ “පැලවත්ත සීනි සමාගම” වේගයෙන් බලාපොරොත්තු වූ වැඩ සටහනට අනුව කටයුතු කර ගෙන ගොස් දැන් වසරක පමණ කාලයක සිට වෙළඳපොළට සීනි නිකුත් කරයි.දෙවැන්නා වූ මේතා සමාගම හවුල්වී “මොණරාගල සීනී සමාගම” පිහිටවූ නමුත් ගොවි ජනතාවගේ නො නවතින විරුද්ධකම් පෑම් ව්‍යාපාරයන්ට මුහුණ දීමට සිදුව දෙගිඩියාවෙන් කල්පනා කරයි.
පැදුරටත් නොකියා
සියඹලාංඩුවේදී මේතා සමාගමට එල්ලවන විරෝධතාවන් නිසාද සිය නිජබිම වූ ඕලන්දයේම ප්‍රගතිශීලි ජන කණ්ඩායම්වල විරෝධතාවයන් නිසාද නක්කල සීනි සමාගම නමින් දොරට වැඩමවීමට මාන බැලූ එච්.වී. ඒ් පැදුරටත් නොකියාම පළා ගොස් ඇතැයි කියනු ලැබේ.බහුජාතික සමාගම් ඉඹලා පිළිගත යුතු බවට වරක් මංත්‍රී උතුමෙක් දේශනා කළෝය. තවත් අයෙක් මෙයට විරුද්ධවන්නේ ගොවීන් නොව ත්‍රස්තවාදී කඩාකප්පල්කාරීන් යැයි කියති. ” අපි කිසිසේතම බහුජාතික කෘෂිකාර්මික සමාගම් අත නොහරින්නෙමු” යැයි ඇමැති උතුමෝ ප්‍රකාශ කරති. මේ සියලු ගාම්භීර කතන්දර ගණනකට නොගත් සියඹලාන්ඩුවේ, ගොවියෝ, වෙල්ලස්සේ වීර සම්ප්‍රදායට යළි ජීවන හුස්ම පිඹ මේතා සමාගම බියවද්දා ගන්නට සමත් වූ බව දැන් මුළු රටම දන්නා දෙයකි. ගොවීන්ට මේ සංවර්ධනය අවශ්‍ය නැති බවට ඊට වඩා හේතු යුක්ත තර්කයක් අවශ්‍ය නැති නමුත්, සීනි නිෂ්පාදනයට බැස සිටින පැල්වත්ත සීනී සමාගම දැන් අපේ විමසුමට ලක් කොට බැලිය හැකිව තිබේ.
ගොවීනට අභියෝගයක්
එය ඇත්ත වශයෙන්ම අභියෝගයකි. මන්ද යත්, පාලක පන්තියේ ජනමාධ්‍ය මගින්, පැල්වත්ත සීනි ව්‍යාපෘතිය දැනටමත් අහස උසට වර්ණනා කොට ඇති බැවිනි. එමෙන්ම වෙල්ලස්සේ ගොවීන්ගේ විරෝධතා ව්‍යාපාරයන්ට එරෙහිව පැල්වත්ත ගොවීන්ගේ ජයග්‍රාහකයන් ගැන විස්මිත තොරතුරු දැනටමත් ප්‍රචාරය කෙරෙමින් ඇති නිසාය. අපි සිදු වූයේ කුමක්දැයි ආරම්භයේ සිට පිරික්සා බලමු. 1970 දශකයේ මුල් වසරවලදී ලෝක වෙළෙඳපොළේ සීනි මිල වැඩිවීම නිසා, උක් හකුරු නිෂ්පාදනයට හොඳ කලක් ලැබිණි. මොණරාගල දිස්ත්‍රික්කය පුරාම උක් වැවීම වේගයෙන් පැතිරීයාමට එය හේතු විය. 1974 පමණ වන විට උක් හකුරු රාත්තල රු. 12,00 -14.00 දක්වා මිලට අලෙවි විය. උක් පැණි ගැලුමක් රු. 70.00 -80.00 මිලකට අලෙවි විය. එමගින් ප්‍රදේශයේ ගොවීන් සෑහෙන ආදායමක් ලබාගත් අතර උක් පැණි කර්මාන්තය ප්‍රදේශයේ සුළු කර්මාන්තයක තත්ත්වය ලබාගත්තේය.
1975 දී සීනිසංයුක්ත මණ්ඩලය විසින් මෙම ප්‍රදේශයන්හි උක්වගාවන්ට මැදිහත් වෙමින් උක් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන ලදි. ලාබදායී ලෙස පවත්වාගෙන ගිය මෙම ව්‍යාපෘතිවලිනි, එකල” රන් කැට” නමින් ජනප්‍රියව තිබූ හකුරු නිෂ්පාදනය කරන ලද්දේ. මින් ව්‍යාපෘති දෙකක් පැල්වත්තේ සහ ඒ අසල යාල බෝවෙහි පිහිටුවා තිබිණි.
බොරු පොරොන්දු
1977 මැතිවරණ සමයේදී එවකට විපක්ෂයේ සිටි අද ආණ්වේ සිටින අය, උක්වගාව ගෘහ කර්මාන්තයක තත්ත්වයට නංවන බවටත්, සෑම නිවසකටම කුඩා උක්මොලක් ලබා දෙන බවටත් දිවුරා පොරොන්දු වූහ. බලයට ආ ඔවුහු විවෘත වෙළෙඳපොළේ සීනි මිල එවකට පැවැති 7.50 සිට සිට 4.50 දක්වා පහත හෙළුෑහ. සලාකයට සත 75 ගණනේ දුන් සීනි රාත්තල් දෙක අහෝසි කළහ. මේ නිසා උක්හකුරු රාත්තල රු. 3.00කටවත් විකුණාගත නොහැකි වූ අතර පැණි ගැලුමක මිල රු 12.00ටත් වඩා පහළ බැස්සේය. උක් හකුරු වෙළෙඳපොළ කඩා වැටිණ.
සීනි සංයුක්ත මණ්ඩලයේ ව්‍යාපෘතින්ට මිල පහල වැටීමට අමතරව තවත් හෙණ ගෙඩි 2ක් පහත් විය. ඒවා නම් ඉතා අකාර්යක්ෂම ගැත්තන්ට පාලනය බාරවීමත් ආණ්ඩු පක්ෂයේ ජාතික සේවක සංගමයේ අයුතු බලපෑමට හසුවීමත්ය. කලින් අක්කර 2500ක් වූ පැල්වත්ත ව්‍යාපෘතිය 1882 වනවිට අක්කර 30ක් හා කලින් අක්කර 200ක් වූ යාලබෝව ව්‍යපෘතිය අක්කර 25ක් දක්වාත් පහත බැස්සේය.
හොර රහසේම
මෙම ව්‍යපෘති දෙක විදේශීය සමාගමකට පවරා දෙන්නේ යයි ආරංචි පැතිරගොස් තිබූ නමුත්, ඒවායේ සේවකයන්ට කිසිදු දැනුම් දීමක් කර තිබුනේ නැත. 1982 අප්‍රියෙල් 29 වැනි දා හොර රහසේම යාල බෝව ව්‍යපෘතිය, පැල්වත්ත සීනි සමාගමට පවරා දෙන ලදි. ඉන් පසු ඊට විරුද්ධව උද්ඝෝෂණයක් එහි කම්කරුවන් කෙරෙන් පැන නැගුණු අතර පෙරට වඩා පහසුකම් ලබා දෙන බවට පොරොන්දු විය.
1983 ජනවාරි 17 වැනි දා තවත් රහස් පවරාදීමක් සිදු විය. එනම් අක්කර 2500ක් වූ පැල්වත්ත ව්‍යපෘතියයි. පවරා දෙන දිනය රහසක් විය. සීනි සංයුක්ත මණ්ඩලය යටතේ වසර 05කටත් වඩා සේවය කොට තිබූකම්කරුවන් පැල්වත්ත සමාගමට බඳවාගන්නා ලද්දේ අලුත් කම්කරුවන් ලෙසයි. ඊට එරෙහිව තිබූ විරෝධයට බියෙන් එදින විශේෂ පොලිස් බලකායක් කැඳවා තිබිණි. එලෙස පැල්වත්ත සමාගම පොළොවේ පයගැසුවේම පොලිස් ආරක්ෂාව ඇතිවයි. (නමුත් එසේ කම්කරුවන් පවරාදීම නීති විරෝධී බව පසුව බදුලු කම්කරු උසාවිය තීන්දු කළාය.) ගොවීන්ගේ විරෝධයක් නැතිව අක්කර 2800ක්ම ලබාගැනීමට සමාගමට හැකි වූයේ, ඒවා ආණ්වේ ඉඩම් වූ නිසාය. එම ඉඩම්වල පැළ තවාන් ඇරඹූ සමාගම අවට පිහිටි අනෙක් ඉඩම් අල්ලා ගැනීම පටන්ගත්තාය.
මේ අරමුණින් ප්‍රදේශයේ ස්ථාන හතරකදී රැස්වීම් පැවැත්විණි. ඒවායේදී ප්‍රදේශයේ උප දිසාපති, වැල්ලවාය මහජන මංත්‍රී, සමාගමේ සභාපති සහ නේවාසික කළමනාකරු යන අය විසින් කරුණු පැහැදිලි කරන ලදි. සමාගමට ඉඩම් ලබාදීමට එකඟවන ගොවීන්ට ලබා දෙන පහසුකම් ලැයිස්තුවක්ම ඔවුන් ළඟ විය. ගොවීන්ගේ ස්ථිර වගාවන් වූ අඹ, පොල්, කොස් වැනි බෝග සමාගමට පවරාගන්නේ නැති බවත්, ගෙවත්තක් සඳහා අක්කර 1/2 සහ උක් වැවීමට අක්කර 4ක් පමණ (හෙක්ටයාර 1.75) ලබා දෙන බවටත්, සමාගම විසින් පිළියෙළ කර දෙන ඉඩමේ කෘෂි රසායන සපයන බවටත් ගොවීන් පදිංචි කරවන ජනාවාසයන්ට ජලය හා විදුලි බලය සහිත නිවාසද, පාසලක්, ක්‍රීඩාගාරයක්, පහසුකම් සහිත රෝහලක් සහ ප්‍රජා ශාලාද ලබාදෙන බවටත්, ඒ මහත්වරු ස්ථිර වශයෙන් පොරොන්දු වූහ.
දේශපාලන නායක කතාදේශපාලන නායකයන් සමාගමට ආවඩා කළ කතා සියලු දේටම වඩා ආශ්වාද ජනක විය. හෙක්ටයාර 1.75ක උක් වගා කිරීමෙන් “හොඳට කා බී ලක්ෂයක් පමණ ලක්ෂයක් ඉතිරි කළ හැකි බැවින් මන්ත්‍රීකම අතහැර සමාගමේ ජනාවාස ගොවියෙකු වන්නට ඇත්නම් ” යැයි ඇතැමෙක් කීහ. බොහෝ අය ඉඩම් දීමට එකඟ විය. 1984 මාර්තු මාසය පමණ වන විට දැවැන්ත ඩෝසර් යන්ත්‍ර කැලෑව ඒළි කරමින් පෙරට එන්නට පටන් ගත්හ. මෙවැනි දේ දැක නැති ගැමියෝ මහා රූස්ස ගස් පෙරළී යනු දැක මෝහනයට පත් වූහ. මෙම යන්ත්‍ර සමග සුදු ජාතික මහත්වරුද ප්‍රදේශය ආක්‍රමණය කළහ.
දෙයියන්ගේ ඉඩම්

අනතුරුව සමාගම කතරගම දේවාලයේ ඉඩම්වලටද බැල්ම දැම්මේය. ගොමආර සහ කුඩාඔය අතර වූ මෙම ඉඩම්වල අනවසර ගොවීන් 100ක් පමණ පදිංචිවී සිටි අතර කුඹුරු අක්කර 25 පමණ වගා කළ හැකි වැවක් ද පිහිටා තිබුණි. දේවාලයේ පාලකයෝ (දෙවියන් නොවේ) සමාගමේ පැත්ත ගත්හ. ගොවීන්ගේ ඉඩම් සහ වැවද සමතලා කර දමන ලදි. ඒ නමුත් දේවාල ඉඩම වූ හොරබොක්කදූව ගමේ ගොවියෝ ඉඩම් හැර නොගියහ. ඩෝසර් පැමිණියහොත් නිලධාරින්ටත් ඩෝසර්කරුවන්ටත් වෙඩි තබන බවට ඔවුන් තර්ජනය කළ නිසා එම ඉඩම්වල ජීවත්වීමේ අයිතිය ඔවුන්ටම ලැබිණි.
සමාගම ගොවීන්ට මුහුණදිය යුතු සැටි දේවාල ඉඩම් අනුහසින් ඉගෙනගත්තේය. සමාගමේ නේවාසික කළමනාකරු වශයෙන් පැමැණ සිටි හාර්බෝර්ඩ් මහතා, මේ කටයුතු ගැන පළපුරුදුකරුවෙකු යැයි කියනු ලැබේ. මැණික් ගඟ සහ කුඩා ඔය අතර පිහිටි බුරුතපාර ගමට ඊළඟට දිස්ටිය වැටිණි. මෙය ඉතා සශ්‍රීක ප්‍රදේශයකි. ගැමියෝ සිය ඉඩම්වල කෙසෙල්, පොල්, කොස්, අඹ, කජු වැනි ස්ථිර බෝග වවා තිබූ අතර, උක් වා එම ඉඩම්ම ගොවීන්ට දෙන බවට පොරොන්දු වූ සමාගම නිවෙස පමණක් ඉතිරිවන සේ වගාව සමතලා කර දැමීය. එලෙස උක්වැවීමට ඉඩම් සකස් කළ සමාගම ගැමියන්ට ඒ නිවෙස්වලම පදිංචි වීමට ඉඩ දුන්නේය.
මේ අතර වාරයෙහි මැණික් ගඟට අනෙක් පසින් පිහිටි රජයේ රක්ෂිත වනාන්තරය ඩෝසර් කිරීම ඇරඹිණි. තේක්ක සහ ටර්පන්ටයින් වගා කර තිබූ නමුත් මෙල්ල කළ නොහැකි වල් අලි නිසා ද පොළවේ වූ නිසරුභාවය නිසාද එය සාර්ථක වී තිබුණේ නැත. ආණ්ව මෙම ඉඩම්ද සමාගමටම පවරා දුනි.

නිසරු ඉඩම් බෙදයි

එකී නිසරු වූත්, අනාරක්ෂිත වූත් ඉඩම්, සමාගම කොල්ලකා ගත් ඉඩම්වල අයිතිකරුවන්ට සැපයෙන ජනාවාස ප්‍රදේශය බවට නම් කරන ලදි. එය බ්ලොක් 03, 04, 09, 10, 11, 15, 16 යනුවෙන් වෙන් වෙන් අංශවලට බෙදා පෙර කී ගොවීන් පදිංචි කරවන ලදි. අපූරු කාරණාව වූයේ, බුරුතපාර කොටසේ සිටි ගොවීන්ද දැන් මෙම කොටසට ගාල් කිරීමයි. සිය සශ්‍රීක ඉඩම් සමාගමට දී නිසරු ඉඩම්වලට යන ලෙස ඔවුන්ට බල කැරිණි. සමාගමට කීකරුවීම විනා වෙන කළ හැකි දෙයක් ඔවුන්ට නොවීය. සශ්‍රීක බුරුතපාර කොටස සමාගම විසින් උක් වගා කරන කේන්ද්‍රීය ප්‍රදේශය බවට පත් විය! කළමනාකාර හාර්ඩ්බෝර්ඩ් මහතා පළපුරුකාරයෙකු යැයි කියන්නේ මෙවැනි දුෂ්ට කපටිකම්වලට විය යුතුයි.
වන්දිඉඩම් සඳහා සාධාරණ වන්දි ගෙවන බවට සමාගම මුල පටන්ම දිව්රන්ට පටන් ගෙන සිටියේය. නමුත් වන්දි තක්සේරු කිරීමට පිළිගත් තක්සේරු නිලධාරියෙකු පැමිණියේ නැත. එබැවින් මෙම වන්දි ගෙවීම එකම දූෂණ ගුහාවක සිරි ගත්තේය. අක්කරයක කෙසෙල් වගාවකින් වාර්ෂික ආදායම රු. 20.000ක් පමණ වන නමුත් එවැනි ගොවියනට රු. 1000ක් පමණක් ලැබූ අවස්ථා පවා තිබේ. සමහරෙකුට වසර 4ක් පමණ ගතවීත් තවමත් වන්දි ලැබී නැත. එයට හේතුව වන්දි ගෙවීමට පදනමක් සහ ක්‍රමිකතාවයක් නොතිබීමයි.
බුරුතපාරේ ගොවීන්ට බ්ලොක් 03 කොටසේ ඉඩම් බෙදා දෙනු ලැබිණි. නිවෙස් සහිත ජනාවාස පොරොන්දු වූ සමාගම ගෙයක් සාදාගැනීමට රු. 1500ක් පමණක් දුන්නේය. රු. 1500න් ගෙයක් තබා වැසිකිළියක්වත් සාදා ගැනීමට බැරිබව සමහරවිට නිලධාරින් දන්නේ නැතිවීමට ද පුළුවන. ඒ මුදලින් ගොවීහු පැල් කොට අටවාගත්හ. රු. 1500ට සරිලන සේ ද්‍රව්‍ය සැපයීම බාරගත් සමාගම, එයින් ද ජාවාරමක් කළ බව ගොවීන්ගේ අදහසයි. පිරිසිදු ජලය සැපයීමට පොරොන්දු වූ සමාගම විසින් කපන ලද ලිංවල වතුර නැත. ඉඳහිට බවුසරයකින් ගෙනවිත් බෙදා දෙන වතුර හැරුණු විට සමාගම සසපයන ජලයක්ද නැත.
මන්ත්‍රී තුමා කීවේ පැල්වත්තට රෝයල් කොලිජියක් සමාගම හදන බවය. නමුත් ජනාවාස ගොවීන්ගේ දරුවන් වැල්ලවාය අසල පැරණි පාසලටම තවම යායුතුයි. උදේ 6.00ට පමණ එන සමාගමේ කබල් ලොරියක පාසලට ගෙනයන මෙම දරුවන් යළි එයින්ම ගෙන එන විට සවස 5.00 පමණ වෙයි. වෙනත් ප්‍රවාහන පහසුකම් නැත. පොරොන්දු වූ රෝහලද තවම ගොවීන්ට නම් ලැබී නැත.
සුද්දන්ට සුර සැප

ශ්‍රී ලංකාව නිජබිම වූ ගොවීන්ට බුකර් සමාගමත් ඊට හවුල් වූ අපේ පාලකයනුත් තුච්ච ලෙස සැලකුවද බුකර් සමාගමෙන් මෙහි පැමිණි අයට ඇති පහසුකම් සුර සැප වැනිය. සමාගමේ පරිපාලන ශ්‍රේණියේ සිටින සියලුම දෙනා සුදු ජාතිකයන්ය. ඔවුන් ලත් මාසික වැටුප රු. ලක්ෂ එකහමාර සිට තුන දක්වා වෙයි. ඔවුනට සුඛෝපභෝගී නිවසක්ද, නිලරථයක්ද, හිමිවන අතර නවීන පන්නයේ පිහිනුම් තටාකයක්, ගෝල්ෆ් පිටියක්, ක්‍රිකට් පිටියක්, සමාජ ශාලා සහ වීඩියෝ ශාලාද පිහිටුවා තිබේ. මෙම නිවෙස් සඳහා රුපියල් ලක්ෂ 25 සිට රුපියල් එක් ලක්ෂ හැට දහස දක්වා වෙන් කර තිබිණි. මෙකී නිලධාරින්ට පෞද්ගලිකව මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රු. 80,000ක පොලී රහිත ණයක්ද සමාගමෙන් සැපයෙයි. මෙම වැටුප් ලැබෙන්නේ රුපියල් වලින් නොව විදේශ මුදල්වලිනි.
සල්ලි රට යවන ක්‍රම

වසර 3ක් යනතුරු මේ නිලධාරින්ගේ ආදායම් කිසිම බද්දකින් තොරව එතෙර යැවිය හැකිය. මෙවැනි විදේශිකයෝ 23 දෙනෙකු දැනට සමාගමේ සේවය කරති. වෙනත් බොහෝ මෙවැනි ව්‍යාපෘතින්හිදී සිදුවන්නාක් මෙන් මොවුන්ගේ වෘත්තීය සුදුසුකම් ගැනද බොහෝ සැක මතු වී තිබේ. මෙම නිලධාරින්ගේ බිරියන්ද ඔවුන්ගේම දරුවන් ඉගෙනගන්නා පාසලේ ගුරුවරියන් ලෙස පත්කොට විශාල වැටුප් ගෙවනු ලැබේ. වසර 03ක බදු සීමා කාලය අවසන් වනවිට, එම අය ආපසු යවා අලුත් අය ගෙන්වා ගැනීම සමාගමේ පුරුද්දකි. එවිට දිගටම බදුවලින් තොරව විශාල මුදලක් රට යවා ගැනීමට පුළුවන.
සීනි නිෂ්පාදක යන්ත්‍ර සූත්‍රවල යම් වරදක් වෙතොත් ඒ සඳහා කොටස් ලබාගත හැක්කේ බුකර් සමාගමේ සිංගප්පූරු ශාඛාවෙන්ම පමණි. ඒ මඟින්ද තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ මුදලක් රට යවා ගැනීමේ ක්‍රමයක් සමාගම සකස් කරගෙන තිබේ.
කම්කරුවන් සූරා කෑම
ගොවීන්ගේම ඉඩම් උදුරාගෙන ඔවුන්ව රැවටූ සමාගම කම්කරුවන්ට සලකන්නේ කෙසේද? සංවර්ධනයේම කොටස් කරුවන් ලෙස ඔවුන්ට යහපත් තැනක් ලැබී ඇත්තේද? සමාගම සතුව අක්කර 15000ක වතු යායත් ඇති නමුත් එකම කම්කරුවෙකුවත් ස්ථිර සේවකයෙකු ලෙස බඳවාගෙන නැත. සමාගමේ සංඛ්‍යා ලේඛන අනුව කම්කරුවන් 4000ක් සිටින නමුත් ඇත්ත වශයෙන්ම 7000කට වැඩි කම්කරු පිරිසක් එහි වැඩ කරති. අයෙක් වර්ෂය පුරාම වැඩ කරන අතර අයෙක් කාලයකට පමණක් වැඩ කරති.
සමාගම කියන්නේ කම්කරුවෙකුට දවසකට රු. 33ක් ගෙවන බවය. නමුත් එය බොරුවකි. සමාගම වැටුප් ගෙවන්නේ දවස් ක්‍රමයට නොව කෑලි ක්‍රමයටය. මෙම වැඩ කොටස (මුදල් ඒකකයකට කළ යුතු වැඩ ප්‍රමාණය) දැනට කිහිපවතාවක්ම සමාගම විසින් වැඩි කරනු ලැබ ඇත. දැන් දවසක වැටුප වූ රු. 33ක් ලබාගැනීමට නම් මීටර් 90ක් දිග උක්පේලි 03ක් දවසකට කැපිය යුතුය. කපා ඇත්තේ එක් පේලියක් පමණක් නම් ලැබෙන්නේ රු. 11.00ක් පමණි. මේ කාරිය කොතෙක් දුෂ්කරද යත්, මෙසේ වැඩ කරන කම්කරුවෙකු දවසකට ලබන සාමාන්‍ය වැටුප රු. 22-23 අතර ප්‍රමාණයකි. එම ප්‍රමාණය කැපීම සඳහාද පැය 9-10 අතර කාලයක් ගත වේ.
සමාගම කම්කරුවන්ට නිවාස සපයා නැත. ඔවුන් දුර බැහැර ගම්මානවල සිට වැඩට පැමිණෙති. ඔවුන් රැගෙන ඒම සඳහා සමාගමේ ලොරි උදෑසන 4.00 පමණ වනවිට එකී ප්‍රදේශවලට යන බැවින් කම්කරුවන් උදේ 3.00ටවත් අවදි වී ආහාර සුදානම් කරගෙන පාර ආ යුතුය. උදේ 6.00ට වැඩ පටන්ගත යුතුය. 9.30ට ලැබෙන තේ විවේකයේ දී උදෑසන ආහාරය ගන්නා ඔවුන් දවල් 2.00 පමණ වනතුරු එක දිගට වැඩ කළ යුතුය. දිවා ආහාර ගත හැක්කේ වැඩ අවසන් කිරීමෙන් පසු නිවෙසට ගොස්ය. ආපසු රැගෙන යන ලොරි සවස 3.00ට පමණ පැමිණෙන අතර නිවෙසට යන විට සවස 6.00 පමණ වෙයි. අඩුම වශයෙන් දවසේ පැය 14ක්වත් මෙම කම්කරුවන් සමාගම වෙනුවෙන් වැය කරන අතර ඒ සඳහා ලැබෙන්නේ රු. 23ක් පමණය.
වෘත්තීය අයිතිය

කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති කටයුතු සමාගම විසින් මර්දනය කරනු ලැබේ. 7000ක් පමණ වන කම්කරු පිරිසක් ඇතත් ප්‍රබල වෘත්තීය සමිති ව්‍යාපාරයක් නැත. ග්‍රාමීය පදනමකින් පැමිණෙන මෙම කම්කරුවන්ද වෘත්තීය සමිති කෙරෙහි දක්වන්නේ නුහුරු ආකල්පයකි. එසේ නමුත් සෑම විටෙකම වහලුන් සේ සිටීමට තමන් සුදානම් නැති බව මෙම කම්කරුවෝ දැනටමත් පෙන්වා දී සිටිති.
වැටුප් ප්‍රශ්න ඇති වූ අවස්ථා ගණනාවකදීම උක් යායවල් ගිනි තැබුවේ එසේ කුපිත වූ කම්කරුවන් විසින් විය යුතුය. 1986 ජූනි මාසයේදී දින 10ක් වැඩ කර තිබූ කම්කරුවන්ට ලැබී තිබුණේ රු. 15ක වැටුපකි. කෝප වූ කම්කරුවෝ අධිකාරින්ට පහර දී කාර්යාලයක් විනාශ කොට ජීප්රියක් ගිනි තබන ලදි. තවත් වරෙක එලෙස කෝප ගන්වනු ලැබූ කම්කරුවන් විසින් මලයාසියානු ජාතික සුපර්වයිසර්වරයෙකු මරා දමන ලදි. කම්කරුවන් ඉවත් කිරීම සමාගමේ හිතූමනාපයට සිදුවෙයි. වන්දි ගෙවීමේ පිළිවෙතක් නැත. සේවයේදී පිට කොන්ද කැඩුණු කම්කරුවෙකුට තෙමසක වැටුප් දී අස්කළ සමාගම වැඩෙහි යෙදී සිටියදී ට්‍රැක්ටරයකට හසුව පාදයක් බිඳී අවුරුද්දක්ම රෝහලේ සිටි කම්කරුවෙකුට ගෙවූයේ රු 2100ක් පමණි. දැනට බදුලු කම්කරු උසාවියේ සමාගමට එරෙහිව පවරන ලද නඩු 200කට ආසන්න ගණනාවක් පෙළ ගැසී තිබේ.
අලජ්ජ කථා
මේසා අසාධාරණයකට ලක් කොට ඇති කම්කරුවන් ඉඳහිට හෝ විරුද්ධ වීම නොඉවසන කළමනාකාර සීමන් මහතා ලෝකයේ තමන්ට හමුවූ අලසම සහ දරුණුම කම්කරුවන් සිටින්නේ ශ්‍රී ලංකාවේ යැයි ප්‍රසිද්ධ පුවත්පතකට ලැජ්ජා නැතිවම පවසා තිබුනි. වැව ආශ්‍රිතව නිර්මාණය වී තිබුණු පැල්වත්ත ගම් රටාව දැන් සහමුලින්ම අහෝසි වී ඇත.
සමාගමේ මධ්‍ය ප්‍රදේශය ලෙස උක්වැවීමට හසු වූ මැණික් ගඟ හා කුඩා ඔය අතර වූ වැව් ගණනාවක්ම සමාගමේ ඩෝසර්වලට බිලිවිය. ඒ වැව්වලත් කුඹුරුවලත් දැන් වැවෙන්නේ උක්ය. උක් වගාව සඳහා වියළි බිමක් සකස් කිරීම පිණිස වැව් ඩෝසර් කරනු ලැබුවා පමණක් නොව ඒවාට ගලා ආ කුඩා ජල මාර්ග හා උල්පත් වියලා දැමීම පිණිස මීටර් ගණන් යටට මෙම ජල මාර්ග ගැඹුරු කරන ලදි. සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව අසලම වූ ගැමුණු වැව වියලා දැමීම පිණිස කපන ලද “V Drain” සහ “Cut off Drain” වල සළකුණු තවම දක්නට ලැබේ. සමාගමේ ඩෝසර් කිසිදු වැවක් හෝ කඩී ගිය වැවැක් ඉතිරි නොකර, මතුපිට වියළි පස ඇති කිරීම පිණිස ගන්නා ලද මෙම පියවරයන්හි දිගුකාලීන ප්‍රති විපාක කවරෙකුවත් තවම විමසා බලා නැත.
තහනම් කෘමිනාශක
තවත් බියජනක කාරණයක් නම් උක්වගාවේ වල්පැල නසාදැමීම පිණිස සමාගම යොදවන කෘමිනාශක විසින් සිදුකරන සංහාරයයි. ඒවා නිපදවන බටහිර රටවල ජන ජීවිතයට සහ පරිසරයට යෝග්‍ය නැති බවට තීන්දු කොට තහනම් කර ඇති හානිකර DPA 4 සහ පැරකොම් වැනි රසායනික ද්‍රව්‍ය පැලවත්ත සමාගම පාවිච්චි කරයි. අවට පිහිටි ගංගා සහ ඇල දොල වලට මෙම විෂ රසායනික ක්‍රමයෙන් එක්වන අතර කාලයක් පුරා මෙසේ සිදුවීමෙන් මත්ස්‍ය සම්පත පවා විනාශවන වේ. සමාගමේ ගණන් පොත්වලට වැටෙන්නේ නැති මුත් ඒවා ශ්‍රී ලංකාවේ අනාගත විපාක ලැයිස්තුවලට එක්වෙයි.
එක් වරකට සමාගම කෘමිනාශක සඳහා රු. 50,000ක් පමණ වැය කරන්නේ යැයි කියනු ලැබේ. මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කෙසේ වෙතත් මෙමගින් එහි බොහෝ දුර්විපාක ඇතිකරන බව ඕනෑම අයෙකුට පැහැදිලි විය යුතුය. ආණ්ඩුවේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය ගැන හැඳින්වීමක් කළ ජනාධිපතිතුමා (ජේ.ආර් ජයවර්ධන) වරෙක “හොර ජාවාරම්කරුවනි වරෙල්ලා” යැයි උතුම් ප්‍රකාශයක් කළේය. අනුමානයක් නැතිවම, මේ පැල්වත්තේ සිටින බූකර් ඇග්‍රිකල්චරල් ඉන්ටර්නැෂනල් සමාගම ඒ වර්ගයේ විය යුතුය.
පැල්වත්තේ සීනි සමාගමේ ජනාවාස ගොවීන් ලක්ෂපතියන් වී ඇති සැටි වරක් ආංඩුවේ පත්තරයේ ශීර්ෂපාඨය විය. එහෙත් අප කලින් කී බුරුතපාර ගමෙන් පන්නා බ්ලොක් 03 කොටසේ පදිංචි කළ ගොවීන් ගේ කතාව ඊට හාත්පසින් වෙනස්ය. ඔවුන් මාස 4ක් තිස්සේ වැවූ උක්වගාව කපා මුල්වතාවට සමාගමට විකුණන ලද්දේ පසුගිය දිනවලදීය. උක් සමාගමට දුන් පසු ඔවුන්ට කොම්පියුටර් යන්ත්‍රයෙන් මුද්‍රණය කළ ශේෂ පත්‍රයක් ලැබිණි. බ්ලොක් 03 කොටසේ පදිංචිකරුවන් 168ක් වෙති. ඉන් අසූ දෙනෙකුටම වගා කළ උක් වෙනුවෙන් සතයක්වත් ලැබුණේ නැත. මාස 14ක් වෙහෙස වූ ඔවුන්ට දන්වා තිබුණේ සමාගම වැය කළ මූලික ධනයෙන් 1/5ක් කපාගැනීමටවත් ආදායමක් නොතිබූ බවයි. එබැවින් ඔවුන් සමාගමේ ණයකරුවන් බවට පත් වී තිබිණි. අසූ දෙනෙකු ණය කරුවන් විණි නම් ඉතිරි අයගේ තත්ත්වය එතරම් යහපත් විය නොහැකි බව සාමාන්‍ය බුද්ධියට වුවද වැටහෙයි.
මාස 14 පුරා සමාගම මසකට රුපියල් 350 බැගින් ගෙව ජීවනාධාරද 12.5%ක පොලියක් ඇතිව කපාගන්නා ලදි. සමාගම වැය කල සියලුම මුදල් කපාගන්නා ලද්දේද 12.5% පොලියක්ද සහිතවය. දැන් මෙසේ ණයකරුවන් වූ ගොවීන්ට ඊළඟ කන්නයේදී එම මුදලද 12.5%ක පොලියටක් සහිතව ගෙවීමට සිදුවේ.
ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රකාශනයක් අනුව උක්වගාවෙන් ලැබෙන ආදායම එක්වගාවක් පවතින වසර 05 පුරා කන්නයෙන් කන්නයට අඩුවෙයි. දැනටමත් එසේ අපේක්ෂිත ආදායම හිඟයක් බවට පත්ව ඇති විට, ඉදිරි කන්නවල සාර්ථකත්වය ගැනද සැක මතුකිරීම සාධාරණය. එවැනි තත්ත්වයක් යටතේ මෙම ගොවීන් සමාගමට වන ණය ගෙවීමට අසමත් වීමද බොහෝ දුරට විය හැකි දෙයකි. එසේ වුවහොත් මෙම ගොවීන්ට සිදුවන්නේ කුමක්ද? ඔවුන්ට මෙම ඉඩම්වලට අයිතියක් නැත. සමාගම විසින් ඉල්ලා සිටින පරිදි කටයුතු කිරීමට අසමත්වන ගොවීන් ඉවත් කිරීමේ අයිතිය සමාගම සතුය. කොන්ත්‍රාත්වලට එකඟවී ඉඩම් ලබාගෙන තමන් වසර ගණනාවක් වගා කළ ඉඩම්වලින් පලවා හැර ඇති මෙම ගොවීන්ට මහමඟට බැසීමට සිදු නොවනු ඇතැයි කිව හැක්කේ කාටද?
සැක කටයුතුයි
තවද මෙම ගොවීන්ට එවනු ලැබ ඇති ශේෂ පත්‍රයේ වන මුදල් කපාගැනීම් කිහිපයක්ම සැක කටයුතු තත්ත්වයක පවතී. ඒවා පැහැදිලි කිරීමට අදාල නිලධාරින් අසමත් වූයේ යැයි කියනු ලැබේ. ටොන් එකකට රු.79 බැගින් අමතර අයකිරීම් යටතේ කපාගෙන ඇති රු. 10,000 පමණ වූ මුදල මේ සැකයට එක් අවස්ථාවකි.
කම්කරුවන් සූරාකන සමාගමට ආණ්ඩුවෙන් මූල්‍ය සහන
සමාගමේ සේවයට ගැනෙන ගොවීන් හෝ කම්කරුවන්ට සුරක්ෂිත බවක් ලබාදීම ගැන ආණ්ව සහ සමාගම විසින් අත්සන් කළ ගිවිසුමේ වචන මාත්‍රයක්වත් නැත. එසේ නමුත් පැල්වත්ත සීනි, නිෂ්පාදන වියදමට වඩා සියයට 14.5ක් මිල ගෙවා මිලදී ගැනීමට ආණ්ඩුව බැඳී සිටී. එතෙරින් ගෙන්වන සිනී කිලෝවකට දැන් රුපියල් 7.00ක්වත් වැය නොවේ. එසේ නමුත් පැල්වත්තේ සීනි ආණ්ඩුව කිලෝව රුපියල් 18 ගණනේ මිලදී ගනී. ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ දැන් සීනි මිල රු 16.00කි. එබැවින් ආණ්ඩුව පාඩු ලබාගනිමින් පැල්වත්ත සීනි සමාගමේ නිෂ්පාදිත සීනි විකිණිය යුතුය. මේ නිසා ගිය වසරේ ආහාර කොමසාරිස් දෙපාර්තුමේන්තුව රු තුන්කෝටි 12ක්ම පාඩු ලැබුවේය. පසුගිය කාලය පුරා හිමින් සීරුවේ සීනි මිල ඉහළ යවනු ලැබුවේ මේ නිසාය. රටපුරාම පාරිභෝගිකයා බූකර් ඇග්‍රිකල්චරල් ඉන්ටර්නැෂනල් හි පාලනය ඇති පැල්වත්ත සීනි සමාගම ජීවත් කරවීම පිණිස සෑම සීනි කිලෝවකටම දැනටම රුපියල් ගණනවාක් අමතරව ගෙවමින් සිටියි. එය ඉදිරි කාලයේදී තවදුරටත් ඉහළයාමට නියමිතය.
සීනි නිෂ්පාදනයට බහුජාතික බූවල්ලන්ගේ අඬුපඬු රිංගවීමට පෙර මෙරට සීනි කම්හල් ගණනාවක් තිබිණි. දැන් බූකර් සමාගමට දී ඇති වරප්‍රසාද කිසිවක් එකී කම්හල්වලට ආණ්ඩුව දුන්නේ නැත. දැන් පවා කන්තලේ සහ හිඟුරාන සීනි නිෂ්පාදන වියදම පැල්වත්තේ වියදමට වඩා අඩුය. එසේ නමුත් ආණ්ඩුවේ ආදරය තිබෙන බව පෙනෙන්නේ විදේශික හොර ජාවාරම්කරුවන්ටමය. පැල්වත්තේ සීනි සමාගම වැඩ පටන්ගත් කාලයේ එක් දැන්වීමක් පළ කළේය. එහි ශීර්ෂපාඨය වූයේ “යුද්ධය පටන් අරන්”(War is On) යනුවෙනි. සැබෑවකි. වසර කිහිපයකටත් එපිටදී මේ වීර ඌව වෙල්ලස්ස රණබිමේදී දිගෑදුණු යුද්ධය යළි සිහිතබන යුද්ධයක් දැන් කෙරී ගෙන යන්නේ එදාද බූකර් සමාගමේ හිමිකරුවන්ගේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මේ දිවයින යටත් කරගැනීමේ තීරණාත්මක සටනක් කොට තිරශ්චීන ජයක් ලැබුවේ ඌව වෙල්ලස්සේදීය. අද යුද්ධය ඊට වඩා ගැඹුරුය. පුළුල්ය. ලෝක අධිරාජ්‍යවාදයේ එක් පෙරමුණක් වන කෘෂි ජාවාරම්කාර සමාගම් “අපේම ආණ්ඩුව” සමග කල්ලි ගැසී වෙල්ලස්සද තවත් අනෙකුත් ප්‍රදේශද තවතවත් වහල් කරගැනීමේ යෙදී සිටිති. වහල් බව නැතිකර ගැනීමේ ප්‍රථම පියවර වන්නේ තමන් වහලුන් බව තේරුම් ගැනීමය. ඔබ, අප එය තේරුම්ගන්නේ කවරද?
එස් වඩුගේ
තොරතුරු සැපයුවේ
මානෙල් රත්නායක සහ මහින්දබාහු රාවය සඟරාව 1987 අගොස්තු
(මෙම ලිපියට තොරතුරු සපයන ලද වාමාංශික ගොවි නායකයෙකු වූ මහින්දබාහු 1987-89 භීෂණ සමයේ ඝාතනයට ලක්විය. මෙම ඝාතනය දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය විසින් සිදුකරන ලද එකක් යැයි චෝදනා නැගී ඇති අතර තවත් මතයක් වන්නේ පැලවත්ත බුකර් සමාගම මෙම ඝාතනය පිටුපස සිටි බවය.)

.