මරණයේ ගීතය 

පාවුල් සෙලාන්

අළුයම ලැබෙනා
කළුම කළු කිරියි අපි හැන්දෑවෙත් බොන්නේ
මද්දහනේ මෙන් උදෑසනත්
අපි යළි ඒ රෑ කලදිත් බොනවා
කළුවන් කළු කිරි අපි නිරතුරු බොනවා
කළුවන් කළු කිරි අපි නිරතුරු බොනවා

තදබදයකින් තොරව වැතිර සිටීමට තරම් ඉඩ ඇති
මිනීවළක් අපි අවකාශයේ කණිමු
මිනිසෙකු නිවස තුළ වෙසෙයි
ඔහු සර්පයන් සමග ක්‍රීඩා කරයි
ඔහු ලියයි
ජර්මනිය මත අන්ධකාරය පැතිර යන විට
ඔහු ලියයි
මාගරීටා ඔබගේ රන්වන් කෙස් කළඹ
යනුවෙන් ඔහු ලියයි.
අනතුරුව ඔහු නිවසින් පිටතට පිය නගයි.
අහසේ තරු දිළෙයි.
ඔහු විසිල් කරමින් සිය සුනඛයන් කැඳවයි
ඔහු විසිල් කරමින් සිය යුදෙව්වන් කැඳවා
මහ පොළොව මත මිණිවළක් කණින ලෙසට
ඔවුනට අණ දෙයි.
නර්තනය සඳහා වාදනය අරඹන ලෙසට
ඔහු අපට අණ කරයි.

අළුයම ලැබෙනා කළු කිරි
අපි උඹ රෑ කලදිත් බොනවා
හිමිදිරියේ සහ සහ දහවලදී
හැන්දෑවෙත් යළි
කළුවන් කළු කිරි අපි බොනවා
අපි උඹ යළි යළි බොනවා
කළුවන් කළු කිරි අපි නිරතුරු බොනවා
කළුවන් කළු කිරි අපි නිරතුරු බොනවා

මිනිසෙකු නිවස තුළ වෙසෙයි
ඔහු ඔහුගේ සර්පයන් සමග ක්‍රීඩා කරයි
ඔහු ලියයි
ජර්මනිය මත අන්ධකාරය පැතිර යන විට
ඔහු ලියයි
මාගරීටා ඔබගේ රන්වන් කෙස් කළඹ
ඔබගේ අළුවන් කෙස් කළඹ සුලමිත්
අපි අවකාශයේ මිණිවලක් කණිමු
තදබදයකින් තොරව වැතිරීමට හැකි වන සේ
ඔහු කෑගසයි
උඹලාගෙන් එකෙකු
තවතවත් ගැඹුරටම පොළොව හාරන අතර
අනිත් උන්
සින්දු කියපියව් වාදනය කරපියව්
සිය බඳපටියේ වූ යකඩ මුගුර ඔහු අතට ගනියි
ඔහුගේ දෑස් නිල්පැහැතිය.
උඹලා පොළොව ගැඹුරටම හාරපල්ලා
අනිත්වුන් නැටීම සඳහා වාදනය කරපියව්

අළුයම ලැබෙනා කළු කිරි
අපි උඹ රෑ කලදිත් බොනවා
දහවලදී සහ හිමිදිරියේ
හැන්දෑවෙත් යළි
කළුවන් කළු කිරි අපි බොනවා
අපි උඹ යළි යළි බොනවා
කළුවන් කළු කිරි අපි නිරතුරු බොනවා
කළුවන් කළු කිරි අපි නිරතුරු බොනවා

මිනිසෙකු නිවස තුළ වෙසෙයි
ඔබගේ රන්වන් කෙස් කළඹ මාගරීටා
ඔබගේ අළුවන් කෙස් කළඹ සුලමිත්
ඔහු සර්පයන් සමග ක්‍රීඩා කරයි
ඔහු මරණය මිහිරි ලෙස වාදනය කරන ලෙස කෑගසයි
මරණය වූකලී ජර්මනියේ ස්වාමියාය
වඩාත් අඳුරු ලෙස වීණාව වයන ලෙසට ඔහු අණකරයි
මොහොතකින් උඹලා දුමාරයක් ලෙස අහස අරා නැගී සිටිනු ඇත
උඹලාට වළාකුළු තුළ මිනීවළක් හිමිවනු ඇත
වැඩි තදබදයක් නැතිව වැතිරී සිටිය හැකිවනු පරිදි

අළුයම ලැබෙනා කළු කිරි
අපි උඹ රෑ කලදිත් බොනවා
අපි උඹ දහවලදීත් බොනවා
මරණය වූකලී ජර්මනියේ ස්වාමියාය
ඔහුගේ දෑස් නිල්පැහැතිය.
ඔහු ඔබට ඊයම් උණ්ඩයකින් වෙඩි තබනු ඇත.
ඔහු හරියටම ඉලක්කයට වෙඩි තබනු ඇත
මිනිසෙකු නිවස තුළ වෙසෙයි
ඔබගේ රන්වන් කෙස් කළඹ මාගරීටා
ඔහු ඔහුගේ බල්ලන් අප වෙත මුදා හරියි
ඔහු අපව හිස් අවකාශයේ සොහොනක් වෙත
පිටත් කර හරියි.
ඔහු සර්පයන් සමග ක්‍රීඩා කරයි
මරණය ජර්මනියේ ස්වාමියා ලෙස
ඔහු සිහින දකියි

ඔබගේ රන්වන් කෙස් කළඹ මාගරීටා
ඔබගේ අළුවන් කෙස් කළඹ සුලමිත්

පාවුල් සෙලාන්ගේ Todesfugue කවියේ පරිවර්තනයකි.

පරිවර්තනය සහ සටහන අජිත් සී හේරත්

පාවුල් සෙලාන් 

“Todesfuge“ වූකලී රුමේනියානු ජාතික කවියෙකු වූ පාවුල් සෙලාන් විසින් දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනිය විසින් නාසි වධ කඳවුරු තුළ සිදුකරන ලද මහා මිනිස් සංහාරයන් පිළිබඳව ලියන ලද කවියකි. ජර්මන් බසින් ලියැවුණු මෙය 1945 දී පමණ ලියන්නට ඇතැයි සැළකේ. මෙය පළමුවරට පළවුයේ 1948 දීය.
මෙය යුදෙව් සංහාරය පසුබිම් කරගෙන ලියැවුණු විශිෂ්ටතම කෘතියක් ලෙසද පශ්චාත් යුද ජර්මන් සාහිත්‍යයේ නිර්මාණ අතර අග්‍රගණ්‍ය කෘතියක් ලෙස ද සැළකේ. සෙලාන් රුමේනියාවේ යුදෙව් ජාතික පවුලක ඉපැදුණු අතර නාසි ආක්‍රමණයෙන් පසුව සෙලාන් මෙන්ම ඔහුගේ දෙමව්පියන්ද යුදෙව් සිරකඳවුරු තුළ සිර ගතකර තබන ලදි. සෙලාන්ගේ දෙමව්පියන් සිර කඳවුරු තුළ දී මරණයට පත් විය.

මෙම කවියේ ජර්මන් මුල්කෘතිය පේළී 36කින් සමන්විතය. එනම් පේළී 6කින් යුත් පැදි 6කින් සමන්විතය. නමුත් ඇතැම් විචාරකයන්ට අනුව මෙය, එහි සෑම පද්‍යයක්ම “ අළුයම් ලැබෙනා කළුකිරි…“ නම් පෙළින් පටන් ගන්නා කොටස් 4 කින් සමන්විතය. මෙම කවියේ කථකයා උත්තම පුරුෂ බහුවචනයෙන් එනම් “අපි“ යනුවෙන් පෙනී සිටී. කවියේ ව්‍යුහය Fuge නම් සංගීත සංරචනා ප්‍රභේදයට අනුරූපව සැකැසී ඇත.

සංගීතයේදී ෆූග යනු ප්‍රතිසංවාදී (counterpoint) ශබ්ද දෙකක් හෝ වැඩි සංඛ්‍යවක සංයෝජන ආකාරයකි. එහෙත් ඒවා රිද්මයෙන් සහ ආකෘතියෙන් ස්වාධීනය. සංගීතමය තේමාවක් තුළ එය වෙනස් ස්වරවල පුනරාවර්තනයකින් ආරම්භ වෙයි. මෙම පුනරාවර්තනයේ ආකාරය සංගීතමය තේමාවේ අරමුණ මත රඳාපවතී.
බොහෝ “ ෆූග“ ආරම්භවන්නේ ප්‍රධාන කෙටි තේමාවකිනි.

සංගීතයේදී ෆූග යනු කෙටි සංගීත රචනයක හෝ සංගීත ඛණ්ඩයක ප්‍රතිසංවාදී ස්වර සංයෝජන ප්‍රභේදයකි. එහි විෂය පළමු කොටසින් හඳුන්වා දෙන අතර පසුව එන කොටස් වලදී ද එය ඇතුළත්වන අතර එම කොටස්වලදී එය අන්තර් සංකලනය කරමින් තවදුරටත් ප්‍රවර්ධනය කෙරෙයි. සාමාන්‍යයෙන් ෆූගයක් හෙවත් ප්‍රතිසංවාදී සංගීත රචනාවක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය. එනම් විවරණිය (exposition), විකාශය(development) සහ තානකය(tonic ) යනුවෙනි.

මනෝ විද්‍යා වේ එන ෆූග නම් මානසික තත්ත්වය අර්ථකතනය වනුයේ යමෙකු තමන් ජීවත්වන සාමාන්‍ය වටාපිටාවේ ස්වභාවය ආශ්‍රිතව පැන නගින්නා වූ අපස්මාරයේ සහ හිස්ටීරීයාවේ විශේෂ ආකාරයන් හා සම්බන්ධිතව තම අනන්‍යතාව පිළිබඳ අවබෝධය අහිමි වන තත්ත්වයකි.

වාදනයක නිරතවන මවුත්හවුසන් සිර කඳවුරේ සිරකරුවන්

පාවුල් සෙලාන් මෙහිදී වධකාගාරයන් තුළදී ස්වකීය මානව අනන්‍යතාව සහ ගරුත්වයෙන් වියෝ කරන ලද සිරකරුවන්ගේ  බියකරු, ශුන්‍ය සහ වේදනාකාරි මනෝභාවයන් සහ ඔවුන්ව එම වධයන්ට ලක්කරන පීඩක නාසි හමුදා නිලධාරිිි වෙනුවෙන් සංගීතය වැයීමට සිදුවීමේ බිහිසුණු ඉරණම විශිෂ්ඨ සංකලනය කරමින් සිය Todesfuge නිර්මාණය ඉදිරිපත් කර ඇත.

මෙම කවිය ඉදිරිපත්වනුයේ කළු පැහැති කිරි උදේ සවස බීමට සිදුව ඇති සිරකරුවන්ගේ දෛනික ඉරණම ප්‍රකාශවන ආකාරයකිනි. “කළු කිරි” මෙම කවියේ පරිසරය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටුකරයි. කිරි සුදු පැහැයෙන් යුතුවන අතර එමගින් සංකේතවත් වනුයේ ජීවිතය, ආදරය, පාරිශුද්ධත්වයයි. නමුත් කළු පැහැය මරණය, අන්ධකාරය, ශෝකය සංකේතවත් කරයි. සිරකරුවන්ගේ ඉරණම වී ඇත්තේ සිය දෛනික ආහාරය ලෙස මෙම කටුක දුක්වේදනාවන් වැළඳීමය. එනම් කළු කිරි පානය කිරීමයි. ඔවුනට මෙම මාරාන්තික දියරය පානය කිරීමට බල කෙරී ඇත. උදාසන යන ඔවුන්ට අපේක්ෂා සහගත නැවුම් ආරම්භයක් නොව්. එය පෙරදින රාත්‍රියේ විඳි වධවේදනාවන්ගේ අඛණ්ඩ ගලායාමකි.

මෙම පද්‍යයේ “අළුයම ලැබෙනා කළුම කළු කිරියි අපි හැන්දෑවෙත් බොන්නේ.. “යන පෙළ ප්‍රධාන පුනරුක්ති පෙළ ලෙස බැලූ බැල්මට සමාන ලෙස පෙනුන ද එය දෙවන හෝ තුන්වන වර යෙදෙනුයේ එකම ආකාරයකින් නොවේ
පළමු පෙළ දී අළුයම කළුකිරි නැවතත් හැන්දෑවේදී බොන බව පැවසේ. එහෙත් පසුව මෙම පෙළෙහි පුනරුක්තීන් සිදුවන විට එහි පළමු පෙළ ට අනුව අළුයම කළුකිරි යළි බොන්නේ හැන්දෑවේ නොව රාත්‍රියේදී ය.
එමෙන්ම එම ආරම්භක පෙළවලදී එය මද්දහනේදී සහ උදෑසනදීත් බොන බව පැවසේ. නමුත් දෙවන පුනරුක්තියේදී නැවතත් දවසේ කාල වකවානු සඳහන්වන අනුපිළිවෙළ වෙනස්ය. එහිදී උදෑසන පළමුවත් දහවලදහවල දෙවනුවත් යෙදී ඇත.
තුන්වනවරට පුනරුක්තිය සිදුවන විට එහි කොටසක් ඉවත්වී එය “මරණය ජර්මනියේ ස්වාමියාය“ යන පෙළ සමග සම්බන්ධ කර ඇත. මෙම ආකාරයේ පුනරුක්තියක් සිදුවන්නේ පළමු පෙළ කීපයට පමණක් අදාළව නොවේ. සෙසු බොහෝ පෙළවල සිදුවන පුනරුක්තීන්වලද මෙලෙස පෙළවල ස්ථාන මාරුකිරීමක් දැකිය හැකිය.

මෙය මෙහි “අපි “ යනුවෙන් හැඳින්වෙන යුදෙව් සිරකරුවන්ගේ පුද්ගලාත්මය බිඳී ගිය ආකාරය කවියේ ආකෘතිය තුළ සංකේතාත්මකව පිළිබිඹු කිරීමක් ලෙස දැකිය හැකිය.ඔවුන්ගේ ජීවිත තුළ රාත්‍රිය, දහවළ, උදෑසන හෝ හැන්දෑව යනුවෙන් දවසේ කාල වකවානු වෙන්කිරීම අරුත්සුන් දෙයකි. මුළුමහත් කාලය තුළම ඔවුහු අනේකවිධ කායික සහ මානසික වධබන්ධන ලක්වෙමින් සිය නැදෑහිතමිතුරන්ගේ මළමිනී වළ දමනුවස් මිණීවළවල් කපමින්ද තමන්ගේ වධකයාගේ සිත් සතුටුකරවනු පිණිස වාදනය කරමින්ද ඔවුන්ට ජීවත්වීමට සිදුව ඇත

මෙම සිරකරුවන් මිනීවලක් කැණීමට බලකෙරී තිබේ. නමුත් සිරකරුවන් උදෙසා එය කැණෙන්නේ අවකාශය තුළය.”ආකාශය තුළ මිනීවළක්” යන යෙදුමෙන් සංකේතවත් වනුයේ කුමක්ද? එය වූකලී දෛනිකව මරා දැමෙන සිරකරුවන් දහස්ගණනක මළ සිරුරු පුළුස්සා විනාශකිරීම සඳහා යොදාගන්නා දැවැන්ත ආදාහනාගාරයේ නිකුත්වී ආකාශයේ වළාකුළු අතර විසිරෙන දුමාරයයි. මෙම ආකාශයේ මිනීවල සීමා රහිතය. එහි දැනටමත් මරා දැමී ඇති දහස්ගණනාවකට මෙන්ම ඉදිරියේදී මරා දැමීමට නියමිත තවත් බොහෝ පිරිසටද එහි හොඳින් ඉඩකඩ තිබේ.
මේ අතර ඔවුන්ගේ වධකයන් වූ කඳවුර බාර නිලධාරින් සිදුකරමින් සිටින්නේ කුමක්ද? “නිවස තුළ සිටින මිනිසා” යනුවෙන් සංකේතවත් වන්නේ මෙම හමුදා නිලධාරින්ය.

“මිනිසෙකු නිවස තුළ වෙසෙයි
ඔහු සර්පයන් සමග ක්‍රීඩා කරයි
ඔහු ලියයි
ජර්මනිය මත අන්ධකාරය පැතිර යන විට
ඔහු ලියයි
මාගරීටා ඔබගේ රන්වන් කෙස් කළඹ
යනුවෙන් ඔහු ලියයි.”

නිවස තුළ සිටිනා මිනිසාගේ මනසේ අඳුරු, දුෂ්ට සහ විෂකුරු ස්වභාවය ඔහු සර්පයන් සමග ක්‍රීඩා කිරීම මගින් සංකේතවත් කර ඇත. සිරකරුවන්ට වධ වේදනාවන් පැමිණවීම ඔහුට සතුට සහ විනෝදය සපයන ක්‍රීඩාව බවට පත්ව තිබේ. නමුත් මේ නිවස තුළ සිටින මිනිසා කෲර වධකයෙකු පමණක් නොවේ. ඔහු ඊට මුළුමණින්ම ප්‍රතිවිරුද්ධ චරිතයක්ද රඟදක්වයි. එම නිලධාරියා ජර්මනියේ සිටින සිය පෙම්වතිය හමුවේ රොමාන්තික ප්‍රේමවන්තයෙකි. ඔහු ඇයගේ රන්වන් කෙස් කළඹ පිළිබඳ වර්ණනයක යෙදේ.

“මාගරීටා ඔබගේ රන්වන් කෙස් කළඹ
යනුවෙන් ඔහු ලියයි”

අනතුරුව ඔහු සිය කෲර රාජකාරි කටයුතු ඇරඹීම සඳහා නිවසින් පිටත්ව යයි. “ඔහු විසිල් කරමින් සිය සුනඛයන් කැඳවයි.” සිරකරුවන් බියගැන්වීම සහ පාලනය කිරීම සඳහා නාසි සිරකඳවුරු තුළ දඩයම් සුනඛයන් භාවිතා කිරීම සාමාන්‍යයක් විය. නැතහොත් මෙහිදී සුනඛයන් මගින් සංකේතවත් වන්නේ මෙම හමුදා නිලධාරියාගේ නියෝගය පරිදි ක්‍රියාත්මක වන සොල්දාදුවන් විය හැකිය.
අනතුරුව ඔහු යුදෙව් සිරකරුවන් කැඳවා ඔවුන්ගෙන් එක් කණ්ඩායමකට මිනීවළවල් කපන ලෙස නියෝග කරයි. අනෙක් සිරකරුවන් පිණිසට ලැබෙන නියෝගය වන්නේ කඳවුර භාර නාසි නිලධාරින් ට නටමින් තුටුවීම සඳහා සඳහා සංගීත වාදනය කරන කරන ලෙසටය.
තුන්වන පද්‍ය ඛණ්ඩය තුළ පළමු පද්‍ය ඛණ්ඩයේ පරිදිම කළු කිරි පිළිබඳව පුනරුච්චාරණය කෙරේ. නමුත් මෙවර “කළු කිරි ” වෙත සිරකරුවෝ එනම් “අපි” විසින් ආමන්ත්‍රණය කර තිබේ.

“අළුයම ලැබෙනා කළු කිරි
අපි උඹ රෑ කලදිත් බොනවා
හිමිදිරියේ සහ සහ දහවලදී
හැන්දෑවෙත් යළි
කළුවන් කළු කිරි අපි බොනවා
අපි උඹ යළි යළි බොනවා”

සිවුවන පද්‍ය ඛණ්ඩය තුලදී දර්ශනය නැවතත් “නිවස තුළ සිටින මිනිසා” වෙත ඡේදනය වේ. මෙහිදී ද එම මිනිසා සුපුරුදු පරිදි සර්පයන් සමග ක්‍රීඩාවේ යෙදෙමින් සිටියි. මෙහිදී මෙම පද්‍යයට අලුතෙන් පදපෙළක් එක් වේ. මෙවර එම මිනිසා ලියමින් සිටින්නේ “ජර්මනිය මත අන්ධකාරය පැතිර යද්දි” බව කවිය අපට සිහිපත් කර දෙයි. මරණය සහ විනාශය ජර්මනියේ වධකඳවුරු තුළ පමණක් නොව පමණක් නොව සමස්ත ලෝකය පුරාම පැතිර යද්දි ජර්මන් හමුදා නිලධාරිහු “සිය පෙම්වතියන් වූ මාගරීටාලාගේ රන්වන් කෙස් කළඹ” වර්ණනා කරමින් පෙම් හසුන් ලියමින් සිටිති. මෙහිදී කවියා විසින් තවත් චරිතයක් මෙම පද්‍ය ඛණ්ඩයේදී  හඳුන්වා දෙනු ලබයි. ඒ වූකලී ” අළුවන් කෙස් කළඹක් ඇති සුලමිත්” ය. මේ සුලමිත් යනු කවුරුන්ද? සුලමිත් යනු නාසි පාලනය යටතේ සිරකඳවුරු තුළ හෝ ඉන් පිටත වහල්භාවයට සහ වධබන්ධනයන්ට ලක් කරන ලද ස්ත්‍රීන්ය. මෙම සුලමිත්ලා සිරකරුවන්ගේ පෙම්වතියන්,භාර්යාවන්, දියණිවරුන්, සහෝදරියන් මිතුරියන් විය හැකිය. ඔවුන්ගේ අළු පැහැගැන්වුණු කෙස් කළඹ මගින් සංකේතවත් වනුයේ ඔවුන්ට විඳීමට සිදුව ඇති අපරිමිත දුක් වේදනාවන්ය. පාවුල් සෙලාන් මෙහිදී “රන්වන් කෙස් කළඹක් ඇති මාගරීටාට” ප්‍රතිවිරුද්ධව “අළුවන් කෙස් කළඹක් ඇති සුලමිත්” ස්ථානගත කරමින් ඒ බිහිසුණු යුගයේ එක් පසෙක ඇති රොමාන්තික සුන්දරත්වයත් අනෙක් පසෙන් ඇති විනාශය,වියෝගය සහ දුක් වේදනාවන් අතර වෙනස සළකුණු කරයි.

අනතුරුව කවිය ඡේදනය වන්නේ හමුදා නිලධාරියාගේ වියරු නියෝග දීම් වෙතය. ඔහු සිය බඳ පටියේ වූ යකඩ මුගුර ගෙන වඩාත් ගැඹුරට මිනීවළවල් කණින ලෙස සෙසු සිරකරුවන්ට නියෝග දෙන අතර නර්තනය සඳහා වාදනය සපයන ලෙස මරණය අපේක්ෂාවෙන් සිටින සෙසු සිරකරුවන්ට නියෝග දෙයි.

හයවැනි පද්‍ය ඛණ්ඩය ආරම්භවනුයේ නැවතත් “නිවස තුල සිටින මිනිසා” පිළිබඳ අවධානය යොමු කරමිනි. “නිවස තුළ සිටින මිනිසා” විසින් සිරකරුවන්ගේ ජීවිතය තුළ සෑම නිමේෂයක් පුරාම ඇතිකරනු ලබන භීෂණය මෙම කවිය තුළ එම චරිතය විවිධ ආකාරයෙන් පුනරුක්තියට ලක් කෙරෙමින් අවධාරණය කෙරී ඇත. එමෙන්ම 6 වැනි පද්‍ය ඛණ්ඩය තුලදී නැවතත් රන්වන් කෙස් කළඹක් ඇති මාගරීටා සහ අළුවන් කෙස් කළඹක් ඇති සුලමිත් එකිනෙකාට එරෙහිව ස්ථානගත කර තිබේ.
මෙහිදී නිවස තුළ සිටින මිනිසා වඩාත් මිහිරි ලෙස මරණය වාදනය කරන ලෙස සිරකරුවන්ට නියෝග දෙයි. ඔහුට මිහිරි වීණා වාදනයක් යනු වඩාත් අඳුරු ලෙස මරණය වාදනය කිරීමකි. මක්නිසාද යත් ඔහුට දහස් සංඛ්‍යාත සිරකරුවන්ගේ මරණය විසින් විනෝදය සහ තෘප්තිය සැලයෙන බැවිනි. ඔහු සිරකරුවන් නිර්දය උපහාසයට ලක්කරයි. සිරකරුවන්ට සියල්ලන්ටම ඉහළින් නැගි සිටිය හැකිය. ඒ ජීවමාන මිනිසුන් ලෙස නොවේ. සමූහ ආදාහනාගාරයේ දුම් කුළුණෙන් දුමාරයක් ලෙසින් පිට වී අහස විසිරෙන මිනී අළු ලෙසය. වළාකුළු තුළ සිරකරුවන්ට විශාල මිනීවළක් හිමිවනු ඇති බවටත් එය තුළ වැඩි තදබදයක් නැතිව සැප පහසුව වැතිරී සිටිය හැකි බවටත් නාසි නිලධාරියා සිය සිරකරුවන්ට අවමන් සහගත ලෙස පවසයි. මෙම 6 වැනි පද්‍ය ඛණ්ඩය තුළ “ජර්මනිය වූ කලී මරණයේ ස්වාමියාය”යන පෙළ හඳුන්වා දී ඇති අතර එය අවසාන සහ 7 වැනි පද්‍ය ඛණ්ඩයේදීද නැවැත දැකිය හැකිය හැකිය.

“මරණය වූකලී ජර්මනියේ ස්වාමියාය
ඔහුගේ දෑස් නිල්පැහැතිය.
ඔහු ඔබට ඊයම් උණ්ඩයකින් වෙඩි තබනු ඇත.
ඔහු හරියටම ඉලක්කයට වෙඩි තබනු ඇත”

වධකයාගේ හිස තුළ සුන්දර මාගරීටාවරියන් රඟ දෙද්දී මරණය අබියස පෙළ ගස්වන ලද සිරකරුවන්ගේ සිත් තුල මැවෙනුයේ අනේකවිධ වධ බන්ධනයන්ට ගොදුරුව අකාලයේ අළුවන්වූ හිස කෙස්වලින් යුතු සුලමිත්ලාය.
මරණයේ ස්වාමියා වන නාසි ජර්මනියේ සෙබලුන් ඉලක්කයට වෙඩිතැබීමේ ශූරයන්ය. ඔවුහු සිය ඉලක්කය නොවරදවා වෙඩි තබා සිරකරුවන්ව අවකාශයේ මිනීවළ වෙත පිටත්කර හරිනු ඇත. අනතුරුව සර්පයන් සමග ක්‍රීඩාව අරඹන නාසි හමුදා නිලධාරින් ජර්මනියේ ස්වාමිවරුන් ලෙස සිය සිහිනය තුල‍ අඛණ්ඩව ගිලී යති.

.