HPV එන්නතේ අතුරු ආබාධ වලට ගොදුරුවන දේශයේ ළමා පරපුර

අජිත් සී. හේරත්

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට පොලීසිය උපුටා දක්වමින් අද දෙරණ වෙබ් අඩවිය විසින් ඔක්තෝබර් 17 වැනි දින වාර්තා කර තිබිණි

එම පුවතේ මෙසේද සඳහන් විය

“මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් පස් දෙනෙකි. මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ හත් වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබාදීම සිදුකර තිබුණි. එන්නත ලබා ලබාදී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. එම රෝහලේදී මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා තිබේ.එම සිසුවියන් මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ අංක 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ”

මේ පුවත ජනතාව අතර පැතීරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින් “හානි පූරණය කිරීමේ මාධ්‍ය මෙහෙයුමක්” අරඹා තිබිණි. ඒ අනුව ඔවුහු වහාම පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් තත්ත්වය සාමාන්‍යකරණය කිරීමට වෑයම් කරන ලදි. 2024 ඔක්තෝබර් මස 18 වැනි දින නිකුත් කර ඇති මෙම පුවත්පත් නිවේදනයේ මුල් පිටපත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළ සොයාගැනීමට අප විසින් දරන ලද වෑයම අසාර්ථක විය. එහෙයින් අදාළ සිදුවීම සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය ඇසුරෙන් සම්පාදිත ප්‍රවෘත්තීවල දක්වා ඇති උද්ධෘතයන් අපගේ මෙම විශ්ලේෂණයට පදනම් වේ.

එම පුවත් නිවේදනයේ අන්තර්ගතය ඇසුරෙන් සකස් කර ප්‍රවෘත්තියේ සිසු දැරියන් තුළ මතු වූ අතුරු ආබාධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය මෙයයි.

“අදාළ ශිෂ්‍යාවන් 5 දෙනාට උදර වේදනාව, ඔක්කාරය, හිස රදය, ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තාව පිළිබඳව අනිසි කැලඹීමක් ඇති කරගැනීම සුදුසු නොවන බව නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත. එම සිසුවියන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති අතර, ඔවුන් මේ වනවිට ස්ථාවර තත්ත්වයේ පසුවෙන බවද සඳහන් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි සුළු අතුරු ආබාධ කෙටි කාලීන ඒවා වන අතර ඒවාට අනිසි බියක් හෝ කැළැඹීමක් ඇතිකරගත යුතු නොවන බවද දැනුම් දී තිබේ. එන්නත් ලබාදීමේදී දරුවන් තුළ ඇතිවන බිය නිසා සුළු ක්ලාන්ත තත්ත්වයන් මෙන්ම මෙවන් අතුරු ආබාධ ද සාමාන්‍යයෙන් පාසල් එන්නත් වැඩ සටහන්වල දක්නට ලැබෙන බව අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත් විධිමත් ක්‍රියාදාමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් කරන සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතර ප්‍රධානතම පිළිකාවක් වන්නේ ගැබ්ගෙල පිළිකාව බව සඳහන් කර ඇත. එය වළක්වාගැනීමේ සාර්ථකම ක්‍රමය වන්නේ HPV එන්නත වන අතර, මෙම එන්නත ආරක්ෂිත සහ ඵලදායි වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කර ඇති බවද අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ. කෙටිකාලීන අතුරු ආබාධ ඇතිවීමේ අවදානමට සාපේක්ෂව බොහෝ වාසි සහ ප්‍රතිලාභ මෙම එන්නතෙන් ලැබෙන අතර ලොව පුරා නව යොවුන් දරුවන් සඳහා මෙම එන්නත් මාත්‍රා මිලියන ගණනක් ආරක්ෂිතව ලබා දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
අදාළ නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම දෙමව්පියන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ, 2017 වසරේදී හඳුන්වා දුන් HPV එන්නත එදා මෙදා තුර ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ පිළිකා සෑදීමේ අවදානම අවම කරමින් අනාගතය සුරක්ෂිතකිරීමේ කාර්යයට උරදෙන බැවින් HPV  එන්නතෙන් ලැබෙන ආරක්ෂාව පිළිබඳව විශ්වාසය මැනැවින් පවත්වාගෙන, නියමිත එන්නත් මාත්‍රා සම්පූර්ණයෙන්ම ලබා දී තම දරුවන්ගේ නිරෝගීභාවය තහවුරු කරගන්නා ලෙසය

(HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කරුණු පැහැදිලි කිරීමක්- October 18, 2024)

සෞඛ්‍ය ඇමතිනි හරින අමරසූරිය සහ අමාත්‍යාංශ ලේකම් මහීපාල විසින් මෙම  HPV එන්නත් වර්ගවල සුරක්ෂිත බව සහ ඵලදායිතාවය ගැන පුන පුනා දෙනු ලබන මේ සහතික පිළිබඳව අන්ධභක්තියකින් යුතුව විශ්වාස නොකර ලොව පුරා HPV එන්නත් මගින් ඇති කරන ලද හානිකර බලපෑම් පිළිබඳව තුලනාත්මකව අධ්‍යයනය කිරීම අනාගත පරපුර වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ජනතාව සතු මගහැරිය නොහැකි වගකීමක් බව අවධාරණය කරමු. මක් නිසාද යත් ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම මේ වනවිට බලගතු ඖෂධ සමාගම්වල සහ වෙනත් රහසිගත න්‍යාය පත්‍ර සහිතව ක්‍රියාත්මක වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම,GAVI සන්ධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන සහ සංවිධානවල ග්‍රහණයට හසුවී තිබෙන බැවිනි. මොවුහු කිසිවිටෙකත් ඖෂධවල අතුරු ආබාධ පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් නොකරති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය තුළ HPV එන්නත ලබාදෙන ලද දැරියන් ක්ලාන්ත වී ඇත්තේ “එන්නත්වලට ඇති බිය හේතුවෙන්” යැයි සඳහන් කර තිබේ. මෙය මේ එන්නත්වල අතුරු ආබාධවල සැබෑ බරපතලකම සඟවා ජනතාව නොමඟ යැවීම පිණිස දරන පහත් ප්‍රයත්නයක් බව කිව යුතුය.

ජපානයේ ද මෙම HPV එන්නත හේතුවෙන් 2014 වනවිට දැවැන්ත විරෝධයක් පැන නැගී තිබුණේ එන්නත මගින් දැරියන් සහ තරුණ ස්ත්‍රීන් විශාලපිරිසක් බරපතල ආබාධයන්ට ලක්වීම හේතුවෙනි. මේ සම්බන්ධව ජපානයේ ටෝකියෝහිදී ප්‍රසිද්ධ නඩු විභාගයක් පැවැති අතර එහිදී ඖෂධ සමාගම් සහ රජයේ සෞඛ්‍ය බලධාරින් වෙනුවෙන් පෙනී සිටි විශේෂඥ සාක්ෂිකරුවන් විසින් මෙම දැරියන්ගේ සහ තරුණ ස්ත්‍රීන්ගේ රෝගාබාධවලට හේතුව ලෙස දක්වන ලද්දේ එන්නත කෙරෙහි ඇති බිය හේතුවෙන් මතු වූ “මනෝ දෛහික ප්‍රතික්‍රියාවන්” (psychosomatic reaction)හේතුවෙන් රෝගී වී ඇති බවයි.

අගතියට පත් දැරියන් සහ තරුණියන් වෙනුවෙන් විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස කැඳවන ලද ව්‍යාධීවේදී සහ මිල්ෆෝර්ඩ් වෛද්‍ය විද්‍යාගාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සින් හාන්ග් ලී (Dr. Sin Hang Lee, MD) එම තර්කය තරයේ පහත ප්‍රකාශය මගින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

සින් හාන්ග් ලී

“මනෝ දෛහික ප්‍රතික්‍රියාවන් යමෙකු නිදි යහනේදී මරණයට පත්වීමට හේතුවක් වෙතැයි මම විශ්වාස නොකරමි. එමෙන්ම මනෝ දෛහික ප්‍රතික්‍රියාවන් විසින් MRI ඡායාරූපවල සහ මොළයේ පටක ව්‍යාධිවේදී නිරීක්ෂණයන්ගේ දැක්වෙන පරිදි මොළයේ ඉදිමීම් තුවාල ඇති කරන බවට හෝ මොළයේ රුධිරවාහිනි වසාගැටිතිවලට හෝ ස්නායු පටක ආවරණයන්ට හානිකරන බවට හෝ මම විශ්වාස නොකරමි.”

කොලොම්බියාවේදී HPV එන්නත ලබාදුන් දැරියන් සහ තරුණ ස්ත්‍රීන් සිය ගණනකටද මෙවැනිම අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වූ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ ස්වයංප්‍රතිශක්ති පද්ධතියේ  රෝග පිළිබඳව ලෝකයේ පෙරමුණේම සිටින විශේෂඥ වෛද්‍යවරයෙකු වන මහාචාර්ය යෙහුඩා ෂෝන්ෆෙල්ඩ්ය.(Yehuda Shoenfeld )
එහිදීද ඖෂධ සමාගම් විසින් කුලියට ගන්නා ලද විශේෂඥයන් ඉදිරිපත් කරන ලද්දේද ඉහත “එන්නත්වලට බියවීම ” පිළිබඳ තර්කයමය. එයට වෛද්‍ය ෂෝන්ෆෙල්ඩ් දුන් පිළිතුර මෙසේ විය.

වෛද්‍ය ෂෝන්ෆෙල්ඩ්

“විශේෂයෙන්ම ස්ත්‍රීන් අතර, එවැනි බිය පදනම් කරගත් ප්‍රතික්‍රියා පවතින බවට දැනුවත් බවක් පැවතුණද එන්නත් ගැනීමෙන් පසු මතුව ඇති රෝග ලක්ෂණ, විශේෂයෙන්ම ලෝකය විවිධ පළාත්වලින් එකම රෝග ලක්ෂණ මතුවීම සිදුවෙමින් පවතින බව සැලකිල්ලට ගන්නා විට, ඒවා එවැනි මනෝ විද්‍යාත්මක හේතූන් නිසා සිදුවන්නේ යැයි සිතීමට ඉඩක් නැත.
අපි මීයන්ට HPV එන්නත් ලබාදුන්විට ඔවුන් තුළද මේ දැරියන් තුළ මතුවූ රෝග ලක්ෂණම මතුවිය. මීයන් එකිනෙකා බියවද්දා ගනිතැයි  මම නොසිතමි. අනෙකුත් සියළුම ඖෂධ නිර්දේශ කිරීමේදී මෙන්ම එන්නත් නිර්දේශ කිරීමේදීද ඒවා අත්‍යවශ්‍යමද යන කරුණ අප විසින් සැලකිල්ලට ගත යුතුව තිබේ. ඒවායින් සිදුවන අයහපත යහපතට වැඩි නම් අප විසින් එන්නත් නිර්දේශ කළ යුතු නැත.”
“[…](එන්නත් නිසා) යම් සිදුවීමක් සිදුවූ විට, නැතහොත් එවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදුවූ විට ඒවා පිළිබඳව යෝග්‍ය ආකාරයට විමර්ශනය කළ යුතුය. එවැනි දේ සිදුවන්නේ මනෝ විද්‍යාත්මක හේතුන් නිසා හෝ වෛරසයක් නිසා හෝ පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් වූ විද්‍යාඥයන් ඔබට ඒ සඳහා අවශ්‍ය වනු ඇත.”

වෛද්‍ය යෙහුඩා ෂෝන්ෆෙල්ඩ්

වෛද්‍ය සින් හාන්ග් ලී සහ මහාචාර්ය යෙහුඩා ෂෝන්ෆෙල්ඩ් යන දෙදෙනාගේම මතය වන්නේ මෙම එන්නත්වල උත්ප්‍රේරක සංයෝගයක් ලෙස භාවිතා කළ ඇලුමිනිම් සංයෝගයක් හේතුවෙන් මෙම අතුරු ආබාධ ඇතිවී ඇති බවයි

2011 දී, වෛද්‍ය ලී විසින් පරීක්ෂා කරන ලද ගාර්ඩාසිල් HPV එන්නත් සාම්පල් 13ක් තුළම HPV L1 වෛරසයේ ජාන DNA දාම කොටස් . (HPV L1 gene DNA fragments) අන්තර්ගත වූ බව ඔහු විසින් නිරීක්ෂණය කරන ලදි.
එමෙන්ම මෙම HPVහි DNA දාම කොටස් බන්ධන ගොඩනගා ඇත්තේ මර්ක් සමාගම විසින් මෙම එන්නත සඳහා භාවිතා කරන බවට ප්‍රකාශිත ඇලුමිනියම් උත්ප්‍රේරක (amorphous aluminum hydroxy phosphate sulfate-ASHS) සමග පමණක් නොවන බවත්, එය විසින් DNA වල non-B ආකෘතිය (non-B conformation)ගොඩ නගන බවත් ඔහු විසින් සොයා ගන්නා ලදි. මෙම DNA වල non-B ආකෘතිය හේතුවෙන් එන්නත ලබාගන්නා පුද්ගලයාගේ ශරීරය තුළදී විසංයෝජනය විය යුතු එන්නත මගින් ලබා දෙන HPV වෛරසයේ  DNA කොටස් විසංයෝජනය නොවන බව ඔහු පෙන්වා දෙයි. එම non-B  DNA ආකෘතිය මගින් හඳුනා නොගත් වෙනත් සංයෝගයක් නිර්මාණය වෙමින් විෂ සහිත ප්‍රතික්‍රියාවන් රැසක් සිරුර තුළ ඇති විය හැකි බව වෛද්‍ය ලී විශ්වාස කරයි. මර්ක් සමාගමේ ගාර්ඩාසිල් එන්නත ලබාගත් දැරියන් සහ තරුණියන් තුළ ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් ගණනාවක් ඇතිවීමට හේතුව එය විය හැකි බව ඔහු සඳහන් කර ඇත.

 

“ඇලුමිනියම් යනු මොළයට ඉතා විෂ සහිත ද්‍රව්‍යයක් බව අපි විශ්වාස කරමු. එවා සති සහ මාස ගණන් තිස්සේ සමුච්චනය වේ. එය මොළයට ඇතුළුවන ට්‍රෝජන් අශ්වයෙකු බඳුය. ඇලුමිනියම් යනු ස්නායු පද්ධතියට හානිකර විෂකි. අත්හදා බැලීමේ පර්යේෂණ විසින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ඇලුමිනියම් අන්තර්ගත රසායනික උත්ප්‍රේරක සතුව බැරූරුම් ප්‍රතිශක්ති අක්‍රමිකතාවන් සිදු කිරීමේ විභවයක් පවතින බවය. ඇලුමිනියම් උත්ප්‍රේරක තුළ ස්වයංප්‍රතිශක්ති අක්‍රමිකතා, මොළයේ ඉදිමීම්, සහ ස්නායු පද්ධතියේ දිගුකාලීන සංකූලතා ඇති කිරීමේ අවදානමක් පවතින අතර එහෙයින් සෞඛ්‍ය කෙරෙහි පුළුල් අයහපත් බලපෑමක් ඇති කරනු ඇත”

වෛද්‍ය යෙහුඩා ෂෝන්ෆෙල්ඩ්

එහෙයින් දැරියන්ට මුහුණපෑමට සිදුව ඇති අතුරු ආබාධ සම්බන්ධයෙන් දැනට සිදු කරනවා යැයි කියන පරීක්ෂණය “එම දැරියන් බියවීමට බලපෑ හේතුන් සොයන මනෝ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයක්” බවට පත් නොකර එම එන්නත්වල අන්තර්ගතය සහ ඒවායේ ක්‍රියාකාරිත්වයන් ගැන සෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමය. එපමණක් නොව 2017 දී එම එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට ඇතුළත් කිරීමේ දී එම එන්නත්වල සුරක්ෂිතබව, ඵලදායිබව පිළිබඳව අදාළ ඖෂධ සමාගම් විසින් ඉදිරිපත් කරන ලද සායනික පරීක්ෂණවල දත්ත සහ වාර්තාවන් වහාම ජනතාව වෙත ඉදිරිපත් කිරීමත්, ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ මුල් බැසගත් දූෂණ පිටුදැකීමත්, ඖෂධ සමාගම්වල සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ ග්‍රහණයෙන් එම ආයතනය ඇතුළු සමස්ත සෞඛ්‍ය පද්ධතිය මුදාගැනීමට කටයුතු කිරීමත් ෆයිසර් සහ මොඩෙර්නා  කොවිඩ්-19 එන්නත් කඩිමුඩියේ අනුමත කරන ලද 2021 වසරේදී ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ අනුමත කිරීමට අදාළ දත්ත අභිරහස් ලෙස මැකීයාමේ සිදුවීමට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමත් කළයුතුව තිබේ.

“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම HPV  එන්නතේ ආරක්ෂිත බව සහ ඵලදායිතාව පිළිබඳව සහතික කර ඇතැයි” යනුුුුවෙන් සෞඛ්‍ය  අමාත්‍යාංශය කර ඇති ප්‍රකාශය  ජනතාවට ඒවා විශ්වාස කිරීමට කොහෙත්ම හේතුවක් විය නොහැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 එන්නත් පිළිබඳව දෙන ලද සහතික විශ්වාස කිරීමේ මාරාන්තික වරද සිය ගම්බිම්වල නිරෝගීව සිටි තරුණ හෝ මැදිවියේ ජනයා හිටිහැටියේ හෘදයාබාධවලින් මැරී වැටෙන ආකාරය පිළිබඳ තමන්ගේම අත්දැකීම් සතු ශ්‍රී ලාංකික ජනතාව මනාව වටහාගෙන තිබේ

HPV එන්නත්වල සුරක්ෂිතතාව සහ ඵලදායිතාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතික කිරීම් පිළිගත හැකිද?

2014 වසරේදී ජපානය තුළ මෙම HPV එන්නත හේතුවෙන් දැරියන් සහ තරුණියන් විවිධ ශාරිරික හානිවලට ගොදුරු වූ අතර එම පිළිබඳ කරුණු සෙවීම සඳහා ස්වාධීන මහජන විභාගයක් පවත්වන ලදි. මෙම විභාගයට එන්නතට පක්ෂව කරුණු ඉදිරිපත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් පෙනීසිටියේ එයට අනුබද්ධ කමිටුවක් වන එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුවය ( Global Advisory Committee on Vaccine Safety-GACVS). එහිදී මෙම කමිටුව සිදුකළේ එන්නත්වලින් විපතට පත්වූවන් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම වෙනුවට එම රෝගීන් පරීක්ෂා කරමින් ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට  සහ විවිධ සාම්පල පරීක්ෂා කරමින් එන්නත්වල අන්තර්ගතය හේතුවෙන් මෙම අතුරු ආබාධ ඇතිවන බවට සොයාගත් වෛද්‍ය විද්‍යාගාරවල විද්‍යාඥයන්ටද අවලාද නගමින් සැබෑ තත්ත්වය යටපත් කරමින් ජනතාව නොමඟ යැවීමේ ව්‍යාපාරයක් ගෙනයාමය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ GACVS කමිටුවේ මෙම වංචනික විෂමාචාරය දැඩි ලෙස විවේචනය කරමින් 2016 ජනවාරි මාසයේදී විශේෂඥ ව්‍යාධීවේදී සහ මිල්ෆෝර්ඩ් වෛද්‍ය විද්‍යාගාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සින් හාන්ග් (Dr. Sin Hang Lee, MD) ලී විසින් විවෘත පැමිණිලි ලිපියක් (එවකට) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ ආචාර්ය මාගරට් චෑන් වෙත යවන ලදි. වෛද්‍ය සින් හාන්ග් ලී යනු එන්නත ගැනීමෙන් පසුව මතු වූ රෝගාබාධ හේතුවෙන් මරණයට පත් නවසීලන්ත තරුණියගේ දෙමව්පියන්ගේ ඉල්ලීම පරිදි ඇයගේ පටක පරීක්ෂණය සිදු කළ විද්‍යාඥයා වේ. එම ලිපිය මගින් ඔහු එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් සපයන “එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව” (Global Advisory Committee on Vaccine Safety -GACVS) විසින් HPV එන්නත ආරක්ෂා සහිත බව තහවුරු කරමින් 2014 මාර්තු මාසයේදී නිකුත් කරනලද ප්‍රකාශයේ අවංකකම පිළිබඳව ප්‍රශ්න මතුකරමින් අභියෝග කර තිබේ.

2014 පෙබරවාරි මාසයේදී ජපානයේ ටෝකියෝහි පවත්වන ලද ප්‍රසිද්ධ විභාගයට පෙරත්, එය පැවැත්වෙන අතරතුරත්, ඉන් පසුවත්, මානව පැපිලෝමා වෛරසය සඳහා වූ HPV එන්නතේ සුරක්ෂිතතාව පිළිබඳව පැවැති විශේෂඥ විමර්ශනය චේතාන්විතවම නොමග යැවීම පිණිස වෘත්තීමය විෂමාචාරයන් සිදුකිරීම සම්බන්ධව, මෙම ලිපිය මගින් වෛද්‍ය ලී විසින් GACVS කමිටුවේ සභාපති වූ වෛද්‍ය ආචාර්ය රොබර්ට් ප්ලෙස්  සහ එහි සෙසු සාමාජිකයන් වූ වෛද්‍ය හෙලන් පෙටෝසිස් හැරිස් ඇතුළු , වෛද්‍ය මෙලින්ඩා වාර්ටොන් අයවළුන්ට එරෙහිව චෝදනා නගා තිබූ අතර තවත් බොහෝ අය මෙම විෂමාචාරයන්ට හවුල්වන්නට ඇතැයි සිය සැකය පළ කර තිබිණි.

GACVS කමිටුව වෙනුවෙන් ආචාර්ය රොබර්ට් ප්ලෙස් (Robert Pless) විසින් HPV එන්නතේ සුරක්ෂිතතාව තහවුරු කරමින් නිකුත් කරන ලද ප්‍රකාශනයේ අව්‍යාජත්වය පිළිබඳව වෛද්‍ය ලී විසින් අභියෝග කරන ලදි. ආචාර්ය ප්ලෙස් විද්‍යාත්මක කරුණු පිළිබඳව අවබෝධයක් රහිත සාමාන්‍ය ජනතාව සහ එන්නත්කරණ වැඩ සටහන් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කරන්නවුන් නොමග යැවීමේ අරමුණෙන් තමන්ගේ විද්‍යාත්මක නිගමනයන් චේතාන්විතවම සාවද්‍ය ලෙස අර්ථකතනය කර ඇතිබවට වෛද්‍ය ලී විසින් චෝදනා කර තිබේ.”පහරදීම සඳහා පහසු ඉලක්කයක්” නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ආචාර්ය ප්ලෙස් විසින් එකිනෙකින් වෙනස් රසායනික ද්‍රව්‍ය දෙකක් පිළිබඳව කර්තෘ වරුන් දෙදෙනෙකු විසින් ලියන ලද අදාළ නොවන ලේඛන දෙකක් චේතාන්විතවම ඒකාබද්ධ කර ඇතැයි චෝදනා එල්ලවී තිබේ.

එමෙන්ම GACVS කමිටුවේ ප්‍රකාශනය පදනම් වී ඇත්තේ ඇත්තේ “නිර්නාමිකව සහභාගි වූ කණ්ඩායමක්” විසින් ලියන ලද, වසර 12ක් පැරණි සහ ප්‍රසිද්ධියට පත් නොකරන ලද “තාක්ෂණික වාර්තාවක්” මත බවද වෛද්‍ය ලී සඳහන් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් අනු සංවිධානයක් “එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව”(GACVS) කමිටුව අපක්ෂපාති ලෙස කටයුතු කළයුතු ආයතනයක් වුවද 2014 පෙබරවාරියේ පැවැති මහජන විභාගයේදී ඔවුන් ඖෂධ සමාගම් සහ ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ දැඩි විමතියටත් කලකිරීමටත් හේතු විය.

HPV එන්නත් සහ ඒවා ගැනීමෙන් අනතුරුව රෝගී බවට පත්වීම අතර සහේතුක සම්බන්ධය පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරමින් තමන් විසින් තහවුරු කළ නිගමනයන් යටපත් කිරීම සඳහා ආචාරධර්ම විරෝධී උපක්‍රම භාවිතකරමින් සහ අවිද්‍යාත්මක තර්ක ඉදිරිපත් කරමින් කටයුතු කර ඇතැයි යනුවෙන් චෝදනා කර ඇති ‌වෛද්‍ය ලී, තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නවසීලන්තයේදී අනාවරණය කරගත් GACVS කමිටුවේ එවකට සභාපති වෛද්‍ය රොබර්ට් ප්ලෙස්, ඇතුළු ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නබායේ කෝජි, එක්සත් ජනපදයේ වසංගත රෝගපාලන මධ්‍යස්ථානයේ වෛද්‍ය මෙලින්ඩා වාර්ටන්, GACVS කමිටුව සාමාජික වෛද්‍ය හෙලන් පෙටෝසිස්-හැරිස් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් සහ තවත් අය අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ, සිය චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂි ලෙස එම ලිපිය තුළ ඉදිරිපත් කර තිබේ.

HPV එන්නත් විසින් විශේෂයෙන් එන්නත් කරනු ලබන ස්ථානයද ඇතුළුව , අස්ථි සහ මාංශපේෂි ක්ෂය කරන සහ සිරුරේ ගෙඩි (tumor necrosis factor -TNF) ඇති කරනු ලබන සයිටෝකීන්ස් මට්ටම ඉහළ නංවන බවටත්, ඔවුන්ගේ කණ්ඩායමේම සිටි විද්‍යාඥයෙකු විසින් විද්‍යාත්මක් සාක්ෂි ඉදිරිපත් කර ඇතිබව , HPV එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳව ජපන් රජයට උපදෙස් ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම 2014 ජූලි මස 26 වැනි දිනට පෙර දැන සිටි බව ඉහත ඊමේල් මගින් අනාවරණය වී තිබේ. නමුත් ඔවුන් එම කරුණු ඉහත මහජන විභාගයේදී වසන් කර තිබෙන බව වෛද්‍ය ලී සිය ලිපිය තුළ සඳහන් කර තිබේ.

2014 දී GACVS කමිටුවේ සභාපතිවරයාව සිටි රොබර්ට් ප්ලෙස් විසින් ඔක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ හෙලන් පෙටෝසිස් හැරිස් වෙත 2014 පෙබරවාරි 18 දින පහත ඊමේල් පණිවිඩ යවන ලදි.

“HPVවෛරසයේ DNA සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නය සම්බන්ධව වඩාත් සවිස්තරාත්මකව, එනම් විශේෂයෙන්ම ඔබගේ ප්‍රකාශය තුළ DNA කැබැලිති සමග ඇතිවන්නේ යැයි සැකකෙරෙන ඇලුමිනියම් බන්ධන සහ එහි බලපෑම් පිළිබඳව ඔබ විසින් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධව කටයුතු කළ හැකි යමෙකු සොයාගැනීමට අපි ඔබගේ සහාය අපේක්ෂා කරමු. මක් නිසාද යත් මෙම කැබැලිති හේතුවෙන් ” අපද්‍රව්‍ය මුසුවීමක්” සිදුව ඇත්දැයි යන කරුණ සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර ඒ කැබැලිතිවල පැවැත්ම හේතුවෙන් මතුවන්නේ යැයි කියනු ලබන අපැහැදිලි ප්‍රතිවිපාක සම්බන්ධව ආමන්ත්‍රණය කර ඇත්තේ ඔබගේ ප්‍රකාශය විසින් පමණක් බැවිනි. DNA ප්‍රශ්නය ගැන සොයා බැලීමට GACVS හට තවමත් අවස්ථාවක් ලැබී නැත.”

පසුව හෙලන් පෙටෝසිස් හැරිස්ට GACVS සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මහජන විභාගය හමුවේ “විශේෂඥ සාක්ෂි” දීමට ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරාධනා කරන ලදි. 2014 පෙබරවාරි 18 වැනි දින එම මහජන විභාගය හමුවේ සාක්ෂි දුන් ඇය HPV එන්නත් පිළිබඳ පර්යේෂණ ගැන තමන්ගේ අත්දැකීම් අඩු හෙයින් තමන් එම විෂය සම්බන්ධ විශේෂඥයෙකු නොවන බව පිළිගෙන තිබේ. ඇගේ සාක්ෂියේ මෙසේ සඳහන් වේ.

“මෙම විෂය සම්බන්ධව මම විශේෂඥයෙකුදැයි යන්න ගැන මම නොදනිමි. නමුත් මට පැහැදිලිව කිව හැකි දෙය නම් එන්නත්වල පවතින ඇලුමිනියම් විසින් ප්‍රදාහක ප්‍රතිචාරයන් සහ එන්නත්කරණයට පසු ඇතිවන ස්ථානීය අතුරු ආබාධ (Adverse Effects Following Immunisation-AEFI) පිළිබඳව දැනට වසර ගණනාවකට පෙර මගේ PhD උපාධියේ කොටසක් ලෙස මා සතුව අත්දැකීම් ඇති බවයි.”

මෙම විෂය සම්බන්ධව සාක්ෂි දීම සඳහා විශේෂඥ සුදුසු කම් තමන් සතුව නැතැයි ඇය විසින් සඳහන් කර ඇති නමුත් ඇය එන්නත්වල සුරක්ෂිතතාව සහතික කරමින් කරුණු දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

2014 පෙබරවාරි මාසයේදී ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මහජන විභාගයේදී වෛද්‍ය සිං හාන්ග් ලී විසින් HPV එන්නත් තුළ අඩංගු DNA දාම කැබැලි සහ ඇලුමිනියම් උත්ප්‍රේරක එකිනෙක රසායනික බන්ධන ගොඩ නගා ගැනීම හේතුවෙන් එන්නත්කරණයට ලක් වූ පුද්ගලයාගේ සෞඛ්‍යයට අවදානමක් එල්ලවන බවට ඉදිරිපත් කළ අදහසට එරෙහිව GACVS සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වෛද්‍ය හෙලන් පෙටෝසිස් හැරිස් කරුණු ඉදිරිපත් කර තිබිණි.

අවසානයේ GACVS කමිටුව විසින් HPV එන්නත්වල සුරක්ෂිතතාව තහවුරු කරමින් 2014 මාර්තු මස 12 වැනි දින නිකුත් කරන ලද ප්‍රකාශනය තුළ, ඔවුන්ගේම විද්‍යාඥයෙකු විසින් එම එන්නත් හේතුවෙන් සිරුරේ TNF සාධකය සහ සයිටෝකීන් මට්ටම ඉහළ නංවන බවට ඉදිරිපත් කර තිබූ විද්‍යාත්මක සාක්ෂි පිළිබඳව කිසිවක් සඳහන් නොකර එම අවදානම වසන් කර තිබිණි. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් HPV එන්නත්වල සුරක්ෂිතතාව තහවුරු කර ඇතැයි පවසන ලෝකයේ බොහෝ සෞඛ්‍ය බලධාරින් උපුටා දක්වන්නේ මෙම වංචනික ලේඛනයයි.

මෙම වංචාව සම්බන්ධයෙන් විභාගයක් පවත්වා හෙලන් පෙටෝසිස් හැරිස්ට එරෙහිව විනයානුකූල සහ නීත්‍යානුකූල පියවර ගැනීම වෙනුවට ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළේ ඇයව GACVS කමිටුවේ සභාපතිනිය ලෙස පත්කිරීමයි.
කෙසේ වුවද වෛද්‍ය හෙලන් පෙටෝසිස් හැරිස් වෙත අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් පිළිබඳ සිදුවූ හෙළිදරවු කිරීම් හේතුවෙන් ඇය දරමින් සිටි GACVS කමිටුවේ සභාපති තනතුරෙන් 2020දී ඉල්ලා අස් වීමට සිදු විය.

මෙම සිදුවීම පිළිබඳව ජපානයේ මෙඩිවොච් සංවිධානය මෙසේ පවසා තිබේ
“මෙම කරුණු විසින් පෙන්නුම් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් GACVS කමිටුවේ සාමාජිකයන්ගේ අවිද්‍යාත්මක ආකල්පයන්ය. ඔවුහු මෙසේ කටයුතු කරන්නේ ඔවුන්ගේ එකම ඉලක්කය HPV එන්නත් ප්‍රවර්ධනය කිරීම පමණක් වන නිසාය.”

ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ට පැවැරී ඇති භූමිකාව ඉක්මවා ජපානයේ අභ්‍යන්තර සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට මැදිහත් වී තිබේ යැයි මෙඩිවොච් සංවිධානයේ වැඩි දුරටත් එම සංවිධානයට පහත දැක්වෙන පරිදි  චෝදනා කර තිබේ.

“HPV එන්නත් සඳහා ජපානය තුළදී තිබූ සක්‍රිය එන්නත්කරණ නිර්දේශය ඉවත් කිරීමට ජපන් රජය ගන්නා ලද තීරණය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මගින්ද, එම ක්‍රියාමාර්ගය පදනම්ව ඇත්තේ දුර්වල සාක්ෂි මත පදනම්ව යැයිද.. ඒ හේතුවෙන් විශාල හානියක් සිදුවිය හැකියැයිද පවසමින් ජපන් රජයේ එම තීරණය වැරැදි ලෙස අර්ථකථනය කිරීම මගින්ද ලෝක සෞඛ්‍ය සංවිධානය තමන් වෙත පැවැරී ඇති වගකීම් ඉක්මවා යමින් කටයුතු කර ඇත. මූලධාර්මික වශයෙන් දෝෂ සහගත සහ සාවද්‍ය මගපෙන්වීමක් සහිත එන්නත්කරණ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම සඳහා ජපානය වෙත ප්‍රසිද්ධියේ බලකිරීමේ උත්සාහය, රෝග වැළැක්වීමේ යෝග්‍ය ක්‍රම ස්ථාපිත කිරීම සඳහා සෑම සියලු රටක් විසින්ම කළ යුතුව ඇත්තේ රෝග ව්‍යාප්තියේ ස්වභාවය, සනීපාරක්ෂක පරිසරය,අධ්‍යාපනය සහ රටේ ආර්ථික තත්ත්වය ආදි කරුණු සැලකිල්ලට ගනිමින්ය යන, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී පිළිගත් සියලු මූලධර්මයන්ට එරෙහිව යයි.”

හෙලන් පෙටෝසිස්-හැරිස් තමන්ට “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්” (එනම් ගෝලීය ඖෂධ නිෂ්පාදන සංකීර්ණය සමග තමන්ට මූල්‍යමය හෝ වෙනත් ප්‍රතිලාභ ලැබෙන සම්බන්ධතා නැති බව) පවසයි. එය ඇත්තක්ද?
හෙලන් පෙටෝසිස්-හැරිස්

හෙලන් පෙටෝසිස්-හැරිස් සාමාජිකත්වය සහ සභාපතිත්වය දරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ GACVS කමිටුව බිල් ගේට්ස්ගේ එන්නත් අලෙවි ව්‍යාපාරික මොඩලය වන GAVI එන්නත් සන්ධානය සමග හවුලේ කටයුතු කරනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් ලබා දෙන රටවල් සහ ආයතන අතරින් දෙවැනි තැන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ එන්නත් සන්ධානයයි. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම  එන්නත් නිෂ්පාදනය කරන ඖෂධ සමාගම් ගණනාවක් තුළ ආයෝජනය කර තිබේ.

හෙලන් පෙටෝසිස්-හැරිස් PhD ( ඕක්ලන්ඩ්) “බ්‍රයිටන් සහයෝගිතාවය” (Brighton Collaboration)නම් සංවිධානයේ විද්‍යාත්මක කටයුතු පිළිබඳ මණ්ඩලයේ සාමාජිකත්වය දරයි.  දැන් මෙම සංවිධානය “ගෝලීය සෞඛ්‍ය පිළිබඳ කාර්ය බලකායේ” (Task Force for Global Health) අංශයක් ලෙසින් ක්‍රියාත්මක වේ. බ්‍රයිටන් සහයෝගිතාවයට අරමුදල් සපයන්නේ වසංගත සඳහා සුදානම්වීමේ නවීකාරක සන්ධානය(Coalition for Epidemic Preparedness Innovations-CEPI) විසිනි.

CEPI සන්ධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගරයේය. එය පිහිටුවන ලද්දේ  බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, වෙල්කම් ට්‍රස්ට් පදනම(වෙල්කම් ඖෂධ සමාගම් සංකීර්ණයට අනුබද්ධ) ලෝක ආර්ථික සංසදය, ඉන්දියාවේ සහ ස්ව්ට්සර්ලන්තයේ ආණ්ඩු ඒකාබද්ධවය. එය වෙත මූල්‍යාධාර ලබා දෙන ආයතන නම්, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම,USAID ආයතනය සහ වෙල්කම් ට්‍රස්ට් පදනම සහ එක්සත් ජාතින්ගේ කොවිඩ්-19 සහයෝගිතා ප්‍රතිචාර අරමුදල වේ.එයට අමතරව ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම,  කැනඩාව, ඩෙන්මාර්ක්, යුරෝපා කොමිසම, ඉතියෝපියාව, ෆින්ලන්තය, ජර්මනිය, හංගේරියාව, අයිස්ලන්තය, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය,කුවේට්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මැලේසියාව, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, පැනමා, රුමේනියා, සවුදි අරාබිය, සර්බියාව, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍ය යන රටවල්ද එයට මූල්‍යාධාර සපයති.

හෙලන් පෙටෝසිස්-හැරිස්ගේ අවශ්‍යතා පිළිබඳ ගැටුම්

2022 සැප්තැම්බර් මාසයේ 30 වැනිදින CSIRO PUBLISHING නම් වෙබ් අඩවියක “ මාතෘ එන්නත්කරණ චාරිකාව සිතියම්ගත කිරීම සහ නවසීලන්තයේ අඔටියෙරාඕහි මාඔරි ස්ත්‍රින්ට බලපාන කරුණු: ගුණාත්මක අධ්‍යයනයක්“(Mapping the maternal vaccination journey and influencing factors for Māori women in Aotearoa New Zealand: a qualitative study ) යන තේමාවෙන් යුතුව පළකරන ලද අධ්‍යයන පත්‍රිකාවේ කර්තෘවරුන් සහ කර්තෘවරියන් අතර එක් අයෙකු වන්නේ හෙලන් පෙටෝසිස්-හැරිස් ය. මෙම පත්‍රිකාව අදාළ වෙබ් අඩවිය වෙත ලැබී ඇත්තේ 2021 දෙසැම්බර් මස 22 වැනි දිනය.මෙම පත්‍රිකාවේ “අවශ්‍යතා පිළිබඳ ගැටුම්” සිරස්තලය යටතේ හෙලන් පෙටෝසිස්-හැරිස් විසින් ඖෂධ නිෂ්පාදන සමාගම් සමග පවත්වනලද සම්බන්ධතා ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි ඇගේ නම දැක්වා ඇත්තේ H. P.-H. යනුවෙනි.  එහි මෙසේ සඳහන් වේ.
ඒ අනුව හෙලන් පෙටෝසිස්-හැරිස්, ග්ලැක්සෝස්මිත්ක්ලයින්(GSK) සමාගම් සමූහය, මර්ක් (Merck) සමාගම, සහ ෆයිසර් Pfizer යන සමාගම් වල විශේෂඥ උපදේශක මණ්ඩලවලට සහභාගිවී වී තිබේ. නමුත් ඒ සඳහා පුද්ගලිකව ගරු දීමනා නොලැබූ බව පවසයි. එමෙන්ම ඇය ග්ලැක්සෝස්මිත්ක්ලයින්(GSK) සමාගම් සමූහය විසින් අරමුදල් සපයන ලද විමර්ශක-අධ්‍යයනයන් මෙහෙයවා ඇති බවද ප්‍රකාශ කර ඇත.

මෙරට සෞඛ්‍ය බලධාරින්  කොවිඩ්-19 එන්නත් වල කිසිදු අතුරු ආබාධයක් නැතැයි පුන පුනා අවධාරණය කරමින් ජනතාව එන්නත් කිරීම විසින් ලබාදුන් අවාසනාවත් ප්‍රතිඵල හමුවේ මෙරට ඊනියා ගැලවුම්කාර දේශපාලන බලවේග, ආත්මය විකුණන ලද ජනමාධ්‍යවේදීන් සහ කලාකරුවන්, සෞඛ්‍ය වෘත්තිකයන්, වාචාල වෘත්තිය සමිති නායකයන්, ඊනියා මානව හිමිකම් ආරක්ෂකයන් ඇතුළු නිහඬව සිටියද සාමාන්‍ය ජනතාවගෙන් අති බහුතරය සත්‍යය වටහා ගෙන සිටින බැවින් මෙවැනි සිදුවීම් දෙස බැලිය යුත්තේ එම අත්දැකීම්ද සිහියේ තබාගෙන බව අවධාරණය කළ යුතුව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම නිවේදනය මගින් පෙන්නුම් කරන්නේ මෙම  HPV එන්නත හේතුවෙන් රෝගී වූ දැරියන්ගේ ප්‍රශ්නය ඔවුන් විසින් බරපතල ලෙස අවධානයට ගෙන නැති බවකි. ඔවුන් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන බව නිවේදනය කර තිබුණද අඩු තරමින් එම පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වන තුරුවත් HPV එන්නත්කරණය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව හෝ අත්හිටුවීමට කිසිදු පියවරක් ගෙන නැත.

ඖෂධ සමාගම් සහ බිල් ගේට්ස්ගේ PATH සංවිධානය HPV එන්නත අත්හදා බැලීම සඳහා යොදාගත් ඉන්දීය දැරියන් 7 දෙනෙකු මරණයට වී තවත් දහස් ගණනක් රෝගාතුර වේ.

ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GSK)සහ මෙර්ක් (Merck) සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මානව පැපිලෝමා වෛරස් (Human Papillomavirus – HPV) එන්නතේ සායනික අත්හදාබැලීම් සඳහා ගේට්ස් පදනම විසින් අරමුදල් සපයන ලදි. මෙම එන්නත ඉන්දියාවේ අති දුෂ්කර දුරබැහැර ප්‍රදේශවල වයස 9-14 අතර තරුණ ගැහැණු ළමුන් 23000 කට ලබා දෙමින් ඖෂධය අත්හදා බලන ලදි. මේ සඳහා ආරම්භක කටයුතු සුදානම් කරන ලද්දේ බිල්ගේට්ස්ගේ අනුග්‍රහය ලබන වැඩසටහනක් වන “ උචිත ඖෂධ සහ තාක්ෂණය සඳහා වන වැඩ සටහන (Program for Appropriate Health and Technology – PATH) විසිනි.
HPV ඖෂධයට අදාළ අතුරු විපාක සහ අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව මෙම පර්යේෂණයට යොදාගත් ගැහැණු ළමුන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් හෝ   භාරකරුවන් නිසිපරිදි  දැනුවත් කිරීමකින් හෝ ඒ පිළිබඳ දැනුවත් අවබෝධයකින්  දෙන ලද එකඟතාවකින් තොරව යොදාගෙන තිබිණි.

එසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලින්සේ මැක්ගෝයි (Linsey McGoey)ට අනුව “ මෙම HPV එන්නත ලබාදුන් බොහෝ ගැහැණු ළමුන් අන්ද්‍රා, ගුජරාට් සහ ඇසෑමයේ පාසල් නේවාසිකාගාරවල සිටි අය වූ අතර එන්නත ලබා දීමට ඔවුන්ව තෝරාගෙන තිබුණේ HPV එන්නත සඳහා දෙමව්පියන්ගේ කැමැත්ත ලබාගැනීමේ නෛතික අවශ්‍යතාව දැනුවත්ව මගහැර යාම එමගින් පහසු වූ බැවිනි.”
මෙම HPV එන්නත පිළිබඳ දැනුවත් කිරීමේ පත්‍රිකාව මුද්‍රණය කොට තිබුණේ ඉංග්‍රිසි බසින් පමණකි. එය කියවා තේරුම් ගැනීමේ හැකියාවක් සිය මව්බස පමණක් භාවිතාකරන මෙම දිළිඳු ගෝත්‍රික පවුල්වල ළමුන්ට නොතිබිණි.
තමන් ඖෂධ පර්යේෂණයකට යොදාගන්නා බව මේ ගැහැණු දරුවන් හෝ ඔවුන්ගේ දෙමවිපියන් වෙතින් සැඟවුව ද එය ඉතා පැහැදිලිවම HPV සඳහා වන එන්නත් 2ක් වෙනුවෙන් කළ සායනික පර්යේෂණ 2කි. ගුජරාටයේ ගැහැණු දරුවන් 10,000කට ලබා දුන්නේ Cervarix වූ අතර අන්ද්‍රා ප්‍රදේශයේ ගැහැණු දරුවන් 13,000කට ලබා දුන්නේ Gardasil එන්නතයි. එය යහපත් අරමුණුවලින් කරන ලද එන්නත්කරණ වැඩ පිළිවෙලක් නම් PATH සංවිධානය විසින් කළ යුතුව තිබුණේ අතුරු ආබාධ ඉතා අවම සහ කාර්යක්ෂ්මතාව ඉහළම ඖෂධය පමණක් මේ ළමුන්ට ලබා දීමය.

ඉන්දීය රජය ස්වකීය දිළිඳු පුරවැසියන් ඖෂධ සමාගම් හමුවේ පාවාදෙයි

මෙම එන්නත් ගැනීමෙන් ළමුන් 7 දෙනෙකු මරණයට පත්වීමත් සමගම කාන්තා සහ ළමා අයිතීන් පිළිබඳ සංවිධානවල උද්ඝෝෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත පිළිබඳ පරීක්ෂණ ඉන්දියාවේ පුරවැසියන් යොදාගෙන ඉන්දියාව තුළ සිදු කිරීම අත්හිටුවන ලදි. කෙසේ වුව ද මේ පිළිබඳව ඉන්දියාවේ රජය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි නිගමනය වූයේ “ මෙම ගැහැණු දරුවන්ගේ මරණ සහ ඔවුන්ට ලබා දුන් එන්නත අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති” බවයි. මෙම ආදර්ශ පාඨය සියලු දූෂිත ආණ්ඩු සහ ඖෂධ සමාගම්වල් “සෙල්ස් රෙප්”ලා බවට පත්වූ සෞඛ්‍ය බලධාරින් විසින් ඖෂධ සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් නිතර පවසනු ලබන එකක් බව බොහෝ දෙනාට අමුතුවෙන් පැවසිය යුතු නැත. ඉන්දිය රජය මේ අයුරින් තමන්ව පාවා දීම හේතුවෙන් විපතට පත් ගැහැණු දරුවන්ට හෝ ඔවුන්ගේ පවුල්වල අයට වන්දියක් හෝ ලබාගැනීමට හැකි වූයේ නැත.

නව ඖෂධයක් අත්හදා බැලීමේ දී විශේෂයෙන්ම විශාල පරිමාණයෙන් පුද්ගලයන් යොදාගෙන සායනික පරීක්ෂණ පවත්වන විට සියළු හානි සහ අතුරු විපාක වාර්තා කිරීම සඳහා විධිමත් සහ සම්මත ආකෘතියකට අනුව වාර්තා ක්‍රමයක් පවත්වාගෙනයාම නෛතික අවශ්‍යතාවකි. නමුත් මෙම එන්නත්කරණ ක්‍රියාදාමය මෙහෙය වන ලද PATH විසින් කුමන හෝ වාර්තාකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන ගොස් නොතිබිණි. ඉන්දියාවේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධනය පිළිබඳ කොමිසම විසින් PATH වෙත මානව අයිතීන් උල්ලංඝණය සහ ළමා අපයෝජනය යටතේ නඩු පවරන ලදි. එම නඩුව විභාගයට ගන්නා ලද විනිශ්චයකාරවරුන්ගේ එක් නිරීක්ෂණයක් මෙසේ විය.“ විදේශික ඖෂධ සමාගම්වලට සිය සායනික පරීක්ෂණ හිතුමතයේ පැවැත්වීම සඳහා ඉන්දියා දෙව්ලොවක් වී ඇති අතර ඔවුන් පැමිණ ඉන්දියාව අපායක් බවට පත් කරමින් සිටිති.“

ඉන්දියාවේ නව දිල්ලියේ නීතිඥ සංවිධානයක් වන Human Rights Law Network (HRLN) හි පර්යේෂකයන් පිරිසක් අදාළ ප්‍රදේශ වෙත ගොස් තොරතුරු සෙවීමේ මෙහෙයුමක් දියත් කරන ලදි. එහිදී එන්නත ලබා දී ඇති ගැහැණු ළමුන් 300ක් සමග සම්මුඛ පරීක්ෂණ සිදු කරන ලදි. ඔවුන් විසින් සිය වාර්තාවේ මෙසේ සඳහන් කර තිබිණි.

“මෙම ගැහැණු දරුවන්ට මෙම එන්නත කුමන අවශ්‍යතාවක් මත දෙනු ලබන එකක්දැයි පැහැදිලි කර දී නොතිබිණි. මෙම දරුවන්හට ගර්භාෂය ශරීරයේ කොතැනක පිහිටි අවයවයක්ද යන්න පිළිබඳවත් වැටහීමක් නොතිබිණු අතර ඒ පිළිබඳව ඔවුන්ට පැහැදිලි කර දී නොතිබිණි. මෙම ළමයින් විශ්වාස ක‍ළේ එය රජය විසින් ලබා දෙන එන්නතක් බවයි.ඒ අතරින් බොහෝ දෙනෙකු මෙම එන්නත ගැනීම නීති මගින් අනිවාර්ය කර ඇතැයි විශ්වාස කළහ. මෙම එන්නත මගින් ඇතිවිය හැකි කිසිදු අතුරු ආබාධයක් ගැන ඔවුන්ව දැනුවත් කර නොතිබිණි.”
මෙම නීතිඥයන් විසින් සිය කරුණු සෙවීමේ සංචාරයෙන් පසු ළමුන්ගේ ප්‍රකාශද ඇතුළත්කොට පෙත්සමක් සකස්කරමින් එය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. අධිකරණය විසින් එය විභාගයට ගැනීමට තීරණය කරන ලදි. කෙසේ වුව ද මෙම එන්නත පිළිබඳව පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුව මෙසේ සඳහන් කර තිබේ.

“ ගේට්ස් විසින් අරමුදල් සපයන ලද ව්‍යාපෘතියේ එකම අරමුණ රෝගය වාණිජ අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමයි. HPV එන්නත ඉන්දියාවේ විශ්වීය ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කරවීමට PATH සංවිධානය සමත් වූයේ නම් ඔවුන්ට අති විශාල ලෙස ලාභ ලැබීමේ හැකියාව පැවතිණි.”

පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව ගැන සඳහන් කරමින් ඉන්දියානු ජාතික වෛද්‍ය ජර්නලයේ (National Medical Journal of India) සංස්කාරකවරයා මෙසේ ලිවීය.
“අපව පරීක්ෂණාගාර මීයන් ලෙස භාවිතා කරන බවට මෙය ඉතා පැහැදිලි නිදසුනකි.”
මෙම සිදුවීම යටපත් කිරීමට ගේට්ස් පදනම දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන ලදි. අන්තර්ජාලය තුළ මෙම සිදුවීම ගැන සොයන යමෙකුට පළමුවෙන්ම හමුවන්නේ ඒ පිළිබඳව ගේට්ස් පදනමේ මාධ්‍ය මෙහෙයුම් විසින් යොදවා ඇති ෆැක්ට් චෙකර්ස්ලා පවසන දෑය.
ඉන්දියාව තුළ මෙම එන්නත පිළිබඳ පරීක්ෂණ 2011 දී නතර වුව ද PATH සංවිධානය විසින් වියට්නාමය, උගන්ඩාව සහ පේරු තුළ මේ පර්යේෂණ විසින් දිගටම පවත්වාගෙන යන ලදි. ඒ සඳහා ගේට්ස් පදනම විසින් ඇමෙරිකන් මිලියන ඩොලර් 27.8ක් වෙත ගෙවා තිබේ.
2013 වසරේදී ගේට්ස් පදනමේ අනුග්‍රහය ලබන ප්‍රකෝටිපති පොදු සහ පුද්ගලික හවුල්කාර සන්ධානයක්වන GAVI විසින් HPV එන්නත් අප්‍රිකාවේ දුප්පත් රටවල් 8ක් වෙත යවන ලදි. 2020 වන විට රටවල් 40කට අයත් ගැහැණු දරුවන් මිලියන 30ක් සඳහා මෙම එන්නත ලබා දීමට GAVI අපේක්ෂා කරන බව පවසා තිබිණි. PATH සංවිධානය විසින් දියත් කරන ලද සායනික පර්යේෂණවලින් පසුව පේරු සහ උගන්ඩාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට HPV එන්නත ඇතුළත් කරන ලදි.

ඉන්දීීය රජය සහ ඉන්දීය ඖෂධ සමාගම්  නැවතත් HPV එන්නත්කරණය ඉන්දියාව තුළ ආරම්භ කරයි.

කෙසේ වුවද ඉන්දීය රජය නැවතත් මෙම HPV එන්නත්කරණය ක්‍රමානුකූලව ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන ඇතුළත් කරමින් වයස 9-11 දැරියන් එන්නත් කිරීම 2018 දී ආරම්භ කරන ලදි. නමුත් එවර එය ආරම්භ කළේ කලින් සිදුවීම් ඇති වූ අන්ද්‍රා, ගුජරාට්, හෝ ඇසෑම් යන ප්‍රාන්තවලින් නොව සීකිමය සහ පංජාබය යන ප්‍රාන්තවලිනි.
“නැෂනල් ලයිබ්‍රරරි ඔෆ් මෙඩිසින්” වෙබ් අඩවිය ඉන්දියාව ජාතික එන්නත්කරණ වැඩ පිළිවෙළ තුළට එන්නත ඇතුළත් කිරීමේ ක්‍රියාදාමය මෙසේ විස්තර කරයි.

“වර්තමානයේදී “කාර්සිනෝමා සර්වික්ස්” තුරන් කිරීමේ ජාතික එන්නත්කරණ වැඩ පිළිවෙලක් ඉන්දියාව තුළ නොමැතිවීමේ අඩුව පවතී[…] 2008 දී ඉන්දියාව තුළ ද්විසංයුජ සහ චතුර්සංයුජ එන්නත් හඳුන්වා දුන් අතර නිර්-සංයුජ එන්නත් සඳහා 2018 දී බලපත් නිකුත් කර තිබේ. එන්නත් පිළිබඳ සායනික අත්හදා බැලීම්වලට සහභාගි වූවන්ගේ අනපේක්ෂිත මරණ හේතුවෙන් -එම මරණ එන්නත් සමග කිසිදු සම්බන්ධයක් නොමැති වුවද- ඉන්දියාවේ ආරම්භක උත්සාහයන්ට බාධා එල්ල විය. එම මරණවල ප්‍රතිඵලයක් ලෙස වැදගත් සායනික අත්හදා බැලීම් නවත්වන ලද අතර එන්නත ලබා ගැනීම කෙරෙහි ජනතාව තුළ අකැමැත්ත වර්ධනය විය. කෙසේ වුවද කේන්ද්‍රගත කරන ලද උත්සාහයන් නැවතත් ආරම්භ කෙරී ඇත. රාජ්‍ය අනුග්‍රහය සහිතව සීකිම් ප්‍රාන්තය තුළත් පංජාබයේ දිස්ත්‍රික්ක දෙකක් තුළත් දියත් කෙරී ඇති එන්නත්කරණ වැඩ පිළිවෙළත් 2016 සිට දිල්ලි රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින පාසල් දැරියන් එන්නත් කිරීමේ අවස්ථානුගත (opportunistic) වැඩ පිළිවෙළත් විසින් පෙන්නුම් කරනුයේ එම උත්සාහයන්ගේ විශිෂ්ට ප්‍රතිඵල වේ.”

(Universal Cervical Cancer Immunization: India Ready for a Quantum Leap)

එම වෙබ් අඩවියද එන්නත පිළිබඳ සායනික අත්හදා බැලීම්වලට යොදාගත් ඉන්දියාවේ දැරියන්ගේ මරණ සහ විශාල පිරිසක් රෝගාතුර වීම හා එම එන්නත අතර සම්බන්ධයක් නැතැයි යන බොරුව පුනරුච්චාරණය කර තිබේ. මෙම බොරුව නිර්මාණය වූයේ බිල්ගේට්ස්ගේ පදනම සහ ඉන්දීය රජයේ බලගතු පුද්ගලයන් අතර සිද්ධිය සම්බන්ධව ඇතිකරන්නා ලද අතරමැදි සම්මුතියක් තුළිනි. එම සම්මුතිය අනුව මෙහෙයවන ලද එන්නත සම්බන්ධ සායනික අත්හදා බැලීම් වහාම නතර කිරීමටද, ඒ පිළිබඳව “පරීක්ෂණයක්” පැවැත්වීමටද සිදුවීම පිළිබඳ උනන්දුව සහ ජනතා කෝපය නීවිගිය පසු එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව “එන්නත හා දැරියන්ගේ මරණ අතර සම්බන්ධයක් තහවුරු කළ නොහැකිය යන” නිගමනයටද ප්‍රකාශයට පත්කිරීමටද නියමිතව තිබිණි. මෙය ඖෂධයක අතුරු ආබාධ සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් මතු වූ සැම විටෙකම සහ ලෝකයේ සෑම තැනකම ආණ්ඩු සහ ඖෂධ සමාගම් එක්ව දියත්කරන උපක්‍රමයයි. “එන්නත් හෝ ඖෂධ සහ ඒවායේ බරපතල අතුරු ආබාධ අතර කිසිදු සම්බන්ධයක් නැතැයි” යන ප්‍රකාශය ඖෂධ සමාගම්, ආණ්ඩු, සෞඛ්‍ය බලධාරින් යන ආයතනවලට සිය වගකීම්වලින් ඇඟ බේරාගැනීමට සුපුරුදු ලෙස යොදාගත හැකිවුවද එම ප්‍රකාශ අන්ධ ලෙස විශ්වාස කිරීම කළහොත් තමන්ට සිය සෞඛ්‍යය බේරාගත නොහැකි වන බව ජනතාව තේරුම්ගත යුතුව තිබේ.

ජාතික එන්නත්කරණ වැඩසටහනට කිසියම් නව එන්නතක් ඇතුළත් කිරීම යනු එම රටේ ජාතික ආදායම කොල්ලකා ගැනීම සඳහා ඖෂධ සමාගම්වලට ලැබෙන මහඟු අවස්ථාවක් බවත් එම අවස්ථාව ඔවුන් උදාකර ගෙන ඇත්තේ විවිධ ප්‍රෝඩාවන්, වංචා කිරීම්, අපරාධ, අල්ලස් දීම්, ආදිය හරහා බව තවදුරටත් රහසක් නොවේ. එතරම් ආයාසයෙන් ලබාගත් ඩොලර් මිලියන සිය ගණන් වටිනා ව්‍යාපාරික අවස්ථාවන් පහසුවෙන් අත්හැර දැමීමට ඔවුන් කිසිවෙකු සුදානම් නැත.

බිල් ගේට්ස් ඉන්දියාවේ සේරුම් ඉන්ස්ටිටියුට් සමාගම හරහා ඉන්දීය එන්නත් නිෂ්පාදනය ආක්‍රමණය කරයි

කෙසේ වුවද ඉන්දියාවේ එන්නත් නිෂ්පාදන සමාගමක් වන සේරුම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා (Serum Institute of India – SII) මේ වනවිට HPV එන්නත් නිෂ්පාදනය සඳහා අතගසා තිබේ. මෙම සමාගම කලින්  කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය සඳහා බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමග ඒකාබද්ධව කටයුතු කළේය. කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනයේදී සේරුම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ඩියා සමාගම ඇමෙරිකානු ආයතන වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, GAVI එන්නත් සන්ධානය CEPI නැතහොත් වසංගත සඳහා සුදානම්වීමේ සන්ධානය   (Coalition for Epidemic Preparedness Innovations-CEPI) ආදිය සමග හවුල් වී කටයුතු කළේය. මෙම සියලුම සංවිධාන බිල් ගේට්ස් විසින් අරමුදල් සපයා මෙහෙයවනු ලබන සංවිධාන වේ.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ ඔහුගේම තවත් ආයතනයක් වන GAVI එන්නත් සන්ධානය විසින් 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 29 වැනි දින විට ඉන්දියාවේ සේරුම් ඉන්සිටිටියුට් එන්නත් සමාගම තුළ දෙවරකදී ඩොලර් මිලියන 300ක් ආයෝජනය කර තිබේ. කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 200ක් නිෂ්පාදනය කිරීමේ ඉලක්කයට හවුල්වනු සඳහා මෙම ආයෝජනය කර තිබේ.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම,  PATH සංවිධානය සහ GAVI එන්නත් සන්ධානය ආදිය ඒකාබද්ධව 2010 දී ඉන්දීය දැරියන් යොදාගෙන සිදුකරන ලද අපකීර්තිමත්  HPV එන්නත් අත්හදා බැලීම හේතුවෙන් බිල් ගේට්ස්ට  ඉන්දියානු ජනතා විරෝධය මගහැරීම පිණිස ඉන්දියාව තුළ සිය මෙහෙයුම් තාවකාලිකව හකුලා ගැනීමට සිදුවිය.  නමුත් ඔහු ප්‍රෝඩාකාරි කොවිඩ්-19 වසංගතය සමයේදී  ඉන්දියානු ඖෂධ සමාගම් සහ සෞඛ්‍ය බලධාරින් අතර සිය සම්බන්ධතා නැවතත් තහවුරු කරගනිමින් ඉන්දියානු එන්නත් ක්ෂේත්‍රය තුළටද ප්‍රවේශ වීමට සමත් විය. ඒ සේරුම් ඉන්ස්ටිටියුට් සමාගමේ සභාපති සයිරුස් පූනවල්ලා සහ ඔහුගේ පුත් අදාර් පූනවල්ලා සමග ව්‍යාපාරික සබඳතා ගොඩ නගා ගැනීම මගිනි.

බිල් ගේට්ස්, සේරුම් ඉන්ස්ටිටියුට් සමාගමේ සභාපති සයිරුස් පූනවල්ලා සහ ඔහුගේ පුත් අදාර් පූනවල්ලා සමග

බිල් ගේට්ස් සිය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ GAVI එන්නත් සන්ධානය හරහා ඩොලර් මිලියන 300ක් සේරුම් ඉන්ස්ටිටියුට් සමාගම තුළ ආයෝජනය කළ අතර එම සමාගම නිෂ්පාදනය කරනලද එන්නත් ලෝකයේ දුප්පත් රටවලට GAVI සහ CEPI එන්නත් සන්ධාන හරහා අලෙවි කරන ලදි. එම රටවලට ඒවා මිලදී ගැනීම සඳහා ණය සපයන ලද්දේ ලෝක බැංකුව සහ ආසියානු සංවිර්ධන බැංකුව විසින් වන අතර අවසානයේදී එම රටවල ණය උගුල තවත් සිරවීමට එයද  හේතු විය.

බිල්ගේට්ස්ගෙන් සයිරුස් සහ අදාර් පූනවල්ලාට සුබපැතුම්

මෙලෙස නැවතත් ඉන්දියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍යය පිහිටුවා ගැනීමට සමත් වූ බිල් ගේට්ස් දේශිය ඖෂධ නිෂ්පාදන සමාගම් සමග එක්ව නැවතත් HPV එන්නත ඉන්දියාව තුළ ප්‍රවර්ධනය කිරීම ආරම්භ කළේය. කලින් සිදුවීම් නිසා HPV එන්නත්සම්බන්ධයෙන් ජනතාව සහ වෛද්‍ය වෘත්තිකයන් අතර පැවැති පසුබටතාව ඉවත්කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් මෙන්ම වරදාන ලබාදීමේ ව්‍යාපාරයක් ද දියත් විය.

බොහෝ බටහිර ඖෂධ සමාගම් ඒ ඒ රටවල විදේශිය නිෂ්පාදිත ඖෂධ සඳහා ඇති විශේෂ සීමාවන් සහිත ඖෂධ නියාමන රෙගුලාසි මඟහැර යාම පිණිස ඒ රටවල දේශිය සමාගම් සමග හවුල් නිෂ්පාදන කටයුතුවල නිරතවීම සාමාන්‍ය චර්යාවක් බවට පත්ව තිබේ. ග්ලැක්සෝස්මිත් සහ මර්ක් වැනි බටහිර ඖෂධ සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද Cervarix එන්නත හෝ Gardasil එන්නත විසින් අත් කරදුන් කටුක අත් දැකීම් අමතක කර දැමීම සඳහා “ඉන්දීය සමාගමක් හරහා ඉන්දීය එන්නතක්” හඳුන්වා දීම යහපත් යැයි ගෝලීය ඖෂධ නිෂ්පාදන සංකීර්ණය සිතන්නට ඇත.
“නැෂනල් ලයිබ්‍රරරි ඔෆ් මෙඩිසින්” වෙබ් අඩවියේ මෙසේද සඳහන් වේ.

“ඉන්දියාව මෑතකදී, තමන්ගේම දේශීය චතුර්සංයුජ එන්නතක් වන “Cervavac,” හඳුන්වා දීම සඳහා අවශ්‍ය තාක්ෂණික කුසලතාවන් සහ මහා පරිමාණ නිෂ්පාදන හැකියාවන් ලබා ගත්තේය. මෙය සංවර්ධනය කරන ලද්දේ සේරුම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා සහ ඉන්දීය රජයේ ජීවතාක්ෂණික දෙපාර්තුමේන්තුව සමග ඒකාබද්ධවය. ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල්වරයා විසින් වයස අවුරුදු 9-26 අතර ස්ත්‍රී පුරුෂ සියලු දෙනා සඳහා මෙම එන්නත වෙළඳපොළට නිකුත් කිරීම අනුමත කරන ලදි. මෙම එන්නත දියත් කරන ලද්දේ 2022 සැප්තැම්බර් 1 වැනිදා සිටය. මෙම නව එන්නත රාජ්‍ය එන්නත්කරණ වැඩ සටහන මගින් බෙදා හරින අතර ඒ සඳහා අරමුදල් සපයනුයේ ඉන්දීය රජය විසිනි. ක්‍රමානුකූලව මෙය පුද්ගලික සැපයුම්කරුවන් දක්වාද ව්‍යාප්ත කරනු ඇති අතර විදේශයන් වෙතද අපනයනය කරනු ඇත. මෙහි එක් මාත්‍රාවක් සඳහා වැයවන්නේ ඉන්දීය රුපියල් 200-400 අතර අවම මුදලක් බව ගණන් බලා ඇත.මෙම එන්නත්කරණ වැඩ සටහන ලිංගිකත්ව සීමාවකින් තොර එකක් වන අතර පිරිමි ළමුන්ද ඊට ඇතුළත් කෙරී තිබේ. එම පියවර HPV ආසාදන ව්‍යාප්තිය අඩුකිරීමටත් එහි අනෙකුත් ප්‍රතිවිපාකවලින් පිරිමින්ව ආරක්ෂා කර ගැනීමටත් අවශ්‍ය වැදගත් පියවරක් ලෙස සැළකේ. කෙසේ වුවද තනි මාත්‍රාවේ එන්නතක් ලෙස එහි ඵලදායිතාව තවදුරටත් පරීක්ෂණයට ලක්කළ යුතුව තිබේ.”

(Universal Cervical Cancer Immunization: India Ready for a Quantum Leap)

2022 සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ රාජ්‍ය, විද්‍යා සහ භූ විද්‍යා ඇමැතිවරයා වූ ආචාර්ය ජිතේන්ද්‍ර සිං ඉන්දියාවේ සේරුම් ඉන්ස්ටිටියුට් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද චතුර් සංයුජ HPV එන්නත වූ සෙර්වාවැක් (‘CERVAVAC) එන්නත වෙළඳපොළට නිකුත් කිරීම නිල වශයෙන්  වශයෙන් නිවේදනය කළේය. 

මානව පැපිලෝමා වෛරසය ( HPV) සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රථම” දේශිය නිෂ්පාදනය” ලෙස ජිතේන්ද්‍ර සිං ඇමැතිවරයා විසින් හඳුන්වා දුන් සේර්වාවැක් (Cervavac) එන්නත නිෂ්පාදනය සඳහා හවුල් වූ ආයතන අතර බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමද විය. එහි තේරුම වන්නේ එන්නතේ අන්තර්ගත ද්‍රව්‍ය සම්බන්ධව විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් බිල් ගේට්ස් සතු වූ බවය. මක් නිසාද යත් බිල් ගේට්ස් HPV එන්නත් නිෂ්පාදනය සඳහා ආයෝජනය කර ඇති එකම සමාගම ඉන්දීය සේරුම් ඉන්ස්ටිටියුට් සමාගම පමණක් නොවන බැවිනි. යම් රටක් තුළ සිය ඖෂධ අලෙවි කිරීමට  එරට නීතිරීති බාධාවක් වන කල විදේශිය ඖෂධ සමාගම් කරන්නේ එම රටේ දේශිය ඖෂධ සමාගමක් සමග හවුල් ගිවිසුමකට එළැඹ තම ඖෂධය අදාළ රට තුළ අලෙවි කිරීමය. මෙමගින් බදු ගෙවීමද අඩුවෙන් සිදු කළ හැකිය.

පහත සඳහන් ඇමෙරිකන් සහ යුරෝපීය ඖෂධ සමාගම් තුළ බිල් ගේට්ස් විසින් ආයෝජනය කර තිබේ. ඒවානම්:

ෆයිසර් (Pfeizer) මොඩෙර්නා (Moderna), ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca), මර්ක් (Merck & Co), වියර් බයෝටෙක්නෝලොජි (Vir Biotechnology), ඉමියුනොකෝර් (Immunocore), බේයර් (Bayer)බෝරින්ගර් ඉන්ගල්හයිම් (Boehringer Ingelheim), ස්ටල් මයර්ස් ස්කිබ්(Bristol Myers Squibb)අයිසායි(Eisai), එලී ලිලී (Eli Lilly), ගිලාඩ් (Gilead), ග්ලැක්සොස්මිත්ක්ලයින්(GSK), ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson), නොවාර්ටිස්(Novartis), රෝෂ් (Roche) සහ සනොෆි (Sanofi) වේ

බිල් ගේට්ස් සිය අරමුදලෙන් පවත්වාගෙන යන එන්නත් විකිණීමේ අතරමැදි ආයතනයක් වන GAVI එන්නත් සන්ධානය හරහා 2008 දී HPV නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 3.5ක් වෙන් කළේය. මෙම මුදල ග්ලැක්සෝස්මිත්ක්ලයින් (GSK) ඖෂධ සමාගම තුළත් මර්ක් (Merck) සමාගම තුළත් ආයෝජනය කරන ලදි. මර්ක් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද එන්නත ගාර්ඩාසිල්(Gardasil) ලෙසද GSK සමාගම විසින් නිෂ්පාදනය කරන ලද එන්නත සෙර්වාරික්ස්(Cervarix) ලෙසද හැඳින්විණි. 2010 දී මෙම එන්නත් ඉන්දියාව තුළ අත් හදාබැලීම සඳහා ගෝත්‍රික දැරියන් යොදාගනු ලැබුවේ බිල්ගේට්ස් ගේ PATH සහ GAVI ආයතන යොදාගනිමිනි. මෙම අත්හදා බැලීම්වලදී දැරියන් මරණයට පත්වීම හේතුවෙන් ගාර්ඩාසිල් සහ සෙර්වාරික්ස් යන එන්නත් වෙළඳ නාමයන්ට ඉන්දියාව තුළ පිළිගැනීමක් නොමැති බව දන්නා බිල් ගේට්ස් ඒ සඳහා ඉන්දීය සේරුම් ඉන්සිටිටියුට් සමාගම තුළ සිය ආයෝජනයන් ඉහළ නංවමින් එය සිය අරමුණු සඳහා යොදාගත්තේය.

ඉන්දීය සේරුම්  ඉන්ස්ටිටියුට් සමාගමේ චතුර්සංයුජ HPV එන්නත ඇගයීමට ලක් කිරීම සඳහා මැදිහත් වූ ආයතන අතර බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමද වීම අවධානයට යොමුවිය යුතු කරුණකි. ඒ සඳහා මැදිහත් වූ සෙසු ආයතන නම්, පිළිකා පර්යේෂණය පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සිය(IARC), ඉන්දීය රජයට අයත් ජීවතාක්ෂණික දෙපාර්තුමේන්තුව, එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය යන ඒවාය.

ලෝක සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ මහා දානපතියෙකු ලෙස පෙනී සිටිමින් ලෝකය පුරාම එන්නත් අලෙවි ජාලයක් විවිධ පදනම් ආයතන සහ වැනි එන්නත් සංවිධාන හරහා ගොඩ නගාගෙන සිටින අතරම එන්නත් වර්ග නිෂ්පාදන සමාගම් තුළ ආයෝජනයන් ද සිදු කරමින් එම සමාගම් නිෂ්පාදනය කරන එන්නත්වල සුරක්ෂිතතාව සහ ඵලදායකත්වය ඇගයීමේ ක්‍රියාදාමයටද සහභාගිවීමට තරම් බිල් ගේට්ස් බලවත්ව ඇති අතර මේ මැදිහත්වීම් කිසිදු රාජ්‍යයක් විසින් ප්‍රශ්න නොකිරීම අවාසනාවත් තත්ත්වයකි.

ඇස්ට්‍රා සෙනෙකා-කොවිෂිල්ඩ් එන්නත මගින් මිනිමැරුවේ යැයි අදාර් පූනවල්ලා සහ බිල් ගේට්ස්ට එරෙහිව මිනීමැරුම් චෝදනා

ශ්‍රී හිතේෂ් කද්වා නම් 24 හැවිරිදි තරුණයෙකු කොවිඩ්-19 එන්නත් මගින් මරණයට පත්වීම හේතුවෙන් ඔහුගේ මව වන කිරාන් යාදව් 2021 නොවැම්බර් මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇස්ට්‍රා සෙනෙකා-කොවිෂිල්ඩ් එන්නත නිෂ්පාදනය කළ සේරුම් ඉන්ස්ටිටියුට් සමාගමේ හවුල්කරුවන් වන අදාර් පූනවල්ලා සහ බිල් ගේට්ස්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරා ඇත.
ඇගේ පුත්‍රයාවූ හිතේෂ් කද්වා කොවිෂීල්ඩ් එන්නත මගින් එන්නත්කරණයට ලක් වූ අතර එහි හානිකර ප්‍රතිඵල හේතුවෙන් හිතේෂ් කද්වා මරණයට පත්ව ඇත.
එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට දුම්රිය ගමන්කිරීම තහනම් කිරීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය පනවන ලද නීතිය විසින් තම පුත්‍රයාට කොවිඩ්-19 එන්නත් ගැනීමට බලකෙරෙන තත්ත්වයන් උද්ගත කරන ලද බවත් කොවිඩ්-19 එන්නත් 110%ක් සුරක්ෂිත බවට ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කළ බවත් පෙත්සම්කාරිය කිරාන් යාදව් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.
එමෙන්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක් වන්දි ලබා දෙන ලෙසද අනතුරුව එම මුදල, එන්නත් පිළිබඳව සැබෑ තොරතුරු වසන් කිරීම සහ ඒවා ගැනීමට බලකිරීම මගින් පුරවැසියන් අනතුරේ හෙළමින් කටයුතු කරන ලද නිලධාරින්ගෙන් අයකරගන්නා ලෙසද පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2021දී දෙන ලද තීන්දුවක් [Registrar General Vs. State of Meghalaya 2021 SCC OnLineMegh 130]අනුව යම් පුද්ගලයෙකු රැවටීම හෝ බලකිරීම මගින් එන්නත්කරණයට ලක් කළහොත් එය සිවිල් වරදක් මෙන්ම සාපරාධී වරදක්ද වේ.

වෛද්‍ය ස්නෙහාල් ලුනවත්

ඉන්දීය රජයේ “එන්නත්කරණයෙන් පසු සිදුවන ශාරිරික හානි සොයාබැලීම” (Adverse Event Following Immunisation-AEFI) පිළිබඳ කමිටුව විසින් ඉන්දීය වෛද්‍යවරියක් වූ ස්නෙහාල් ලුනවත්ගේ මරණය කොවිෂීල්ඩ් එන්නතේ හානිකර ප්‍රතිඵල හේතුවෙන් සිදු වූවක් බව පිළිගන්නා ලදි. මෙම මරණය සම්බන්ධව එම වෛද්‍යවරියගේ පියා විසින් ද බිල් ගේට්ස් සහ අදාර් පූනාවල්ලා වෙත 2022 දී නඩුපවරා තිබේ. සෞඛ්‍ය වෘත්තිකයන්ට එන්නත් ගැනීම අනිවාර්ය කරනලද තත්ත්වයන් යටතේ සිය දියණියට මෙම එන්නත ගැනීමට සිදුවූ බව ස්නෙහාල්ගේ පියා අධිකරණයට දන්වා ඇත.

මෙම නඩු දෙකේදීම සේරුම් ඉන්සිටිටියුට් ආයතනයේ හවුල්කරුවන් වූ බිල් ගේට්ස් සහ පූනාවල්ලා විසින් එන්නත්වල අතුරු ආබාධ කිසිවක් නැතැයිද, ඒවා 100%ක් සුරක්ෂිත බවද දන්වමින් තමන්ගෙන් සැබෑ තත්ත්වය වසන් කරන ලද බවට චෝදනා කර ඇත.

මෙම කොවිඩ්-19 එන්නත් විකිණීම හරහා සේරුම් ඉන්ස්ටිටියුට් සමාගම ඉන්දියාවේ අති විශාල ලාභ ලැබූ සමාගම්වලින්  එකක් බවට පසුගිය වසරවලදී පත් විය.

ශ්‍රී ලංකාව  HPV එන්නත ජාතික එන්නත්කරණ වැඩසටහනට ඇතුළත් කිරීම

එන්නත කිරීමෙන්  දැරියන් 7 දෙනෙකු මරණයට පත්වීම සහ තවත් දහස්ගණනක් රෝගාතුරවීම නිසා පැන නැගි මහජන විරෝධය හේතුවෙන් ඉන්දියාව තුළ HPV එන්නත භාවිතය 2011 දී තාවකාලිකව නතර කරන ලද නමුත් 2015 දී ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින්  HPVඑන්නත භාවිතය සඳහා ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කරන ලදි. මෙම විශේෂඥ කමිටුවට මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය(සභාපති) වෛද්‍ය පබා පලිහවඩන, වෛද්‍ය ආනන්ද අමරසිංහ, වෛද්‍ය දීපා ගමගේ, වෛද්‍ය සමිතා ගිනිගේ, මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, වෛද්‍ය එන් මාපිටිගම, මහාචාර්ය අතුල කලු ආරච්චි,වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු, වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න, වෛද්‍ය අයින්ද්‍රා බාලසූරිය, වෛද්‍ය ගීතානි ගලගොඩ, වෛද්‍ය රජිවද සිල්වා, මහාචාර්ය සුජිව අමරසේන, වෛද්‍ය කාන්ති නානායක්කාර, වෛද්‍ය සමන්ති ප්‍රේමරත්න, වෛද්‍ය චින්තන හපුආරච්චි සහ කුමුදුනි හෙට්ටිආරච්චි යන අය සහභාගි වූ අතර ඔවුන් වෙනුවෙන් ඉහත එන්නත ලංකාවේ එන්නත වැඩපිළිවෙළට හඳුන්වාදීම සඳහා වන නිර්දේශයට අත්සන් තබා තිබුණේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන විසිනි.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට HPV එන්නත හඳුන්වා දීමේ සමාරම්භක උත්සවය 2017 ජූලි 03 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමැතිවරයා යටතේ ඇරඹුණු මෙම වැඩ සටහනට අනුග්‍රහය දක්වා ඇත්තේ බිල් ගේට්ස් ගේ එන්නත් අලෙවි කිරීමේ අතරමැදි සංවිධානය වන GAVI එන්නත් සන්ධානයයි.

“මෙම කමිටුව විසින් සියලු අදාළ තොරතුරු සහ දත්ත විමර්ශනයට ලක් කළ අතර ගර්භාෂ පිළිකා පිළිබඳ නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කළ යුතු අතර මහජන සෞඛ්‍ය පිළිබඳ දිගුකාලින මැදිහත්වීමක් මත HPV එන්නත හඳුන්වා දීමේ අවශ්‍යතාව අවධානයට ගතයුතුව තිබේ.”
එමෙන්ම ඔවුන්ගේ නිර්දේශ ලැයිස්තුවේ පාසල් පද්ධතිය පදනම් කොටගෙන මෙම එන්නත ගැහැණු ළමුන් ට ලබා දිය යුතු යැයි ද සඳහන් වීම අවධානයට යොමු කළ යුත්තේ ඉන්දියානු අත්දැකීමද සිහියේ තබා ගනිමිනි.
එහි මෙසේ ද සඳහන්වේ “ (එන්නත අනුමැතියට සහ මිලදී ගැනීමට) තීන්දු ගන්නන් හමුවේ ඇති දත්ත එන්නත් වර්ගය අනුව වෙනස් වේ. තීන්දු ගන්නන් විසින් සැළකිල්ලට ගත යුත්තේ පැහැදිලි නිෂ්පාදන ගුණාංග වන මිල, ශිතකරණ දාම ප්‍රවාහන අවශ්‍යතා, සහ සැපයුමයි.“
මෙම විශේෂඥ කමිටුව මෙහිදී ඖෂධ සමාගම්වල “සේල්ස් රෙප්ලාගේ“ තත්ත්වයට වැටී ඇති බව පැහැදිලිය. ඔවුන් මෙහිදී තීන්දු ගන්නන් විසින් අවධානයට ගත යුතු කරුණක් ලෙස මෙම HPV එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ ගැටළුව නොසළකා හැර ඇත. එනම් මෙම HPV එන්නත ලබා දුන් 23000ක් අතරින් දරුවන් 7ක් මරණයට පත්වීම සහ තවත් 4000කට ආසන්න සංඛ්‍යාවක් බරපතල අතුරු ආබාධ වලට ගොදුරු වීම ඔවුහු විසින් නොසළකා හැර ඇත.මෙම එන්නතේ අතුරු ආබාධ ගැන සිය නිර්දේශ වාර්තාව තුළ ඔවුහු මෙසේ සඳහන් කර තිබේ.
“එන්නත ලබා දෙනු ලැබූ සමහර කණ්ඩායම් අතර ඇති වූ වේදනාව හා සම්බන්ධ හානිකර ප්‍රතිචාර කීපයක් හැරෙන්නට මෙම වැක්සින් වර්ග දෙකම සඳහා සුරක්ෂිතතාව සහ කාර්යක්ෂ්මතාව පිළිබඳ වාර්තා ඉතා ඉහළය. බලපත්‍ර අනුමැතිය ලබාදීමට පෙර සිදු කරන ලද නිරීක්ෂණ තුළ බරපතල හානිකර අතුරු ආබාධ සම්බන්ධ කිසිවක් වාර්තා වී නැත.
HPV එන්නත සම්බන්ධව ඉන්දියාවේ සිදුවීම් වලින් පැහැදිලිවන දෙයක් නම් එම වැඩ සටහන මෙහෙය වූ PATH සංවිධානය විසින් හානිකර අතුරු ආබාධ පිළිබඳ වාර්තා කිසිවක් පවත්වාගෙන යාමට කටයුතු නොකළ බවයි. එය ඉන්දීය අධිකරණය හමුවේ ඔවුන්ට එල්ලවූ චෝදනාවක් ද විය. එමෙන්ම ඔවුන් විසින් HPV එන්නත් සම්බන්ධව සායනික පරීක්ෂණ පවත්වන ලද අනෙක් රටවල් තුළ ද එනම් වියට්නාමය,පේරු සහ උගන්ඩාව වැනි රටවල් වලදී ද එන්නත්වල හානිකර අතුරු ආබාධ වාර්තා කිරීමෙන් වැළැකී ඇති බව පැහැදිලිය. එහෙයින් මෙම වැක්සීන් සම්බන්ධ අතුරු ආබාධ සම්බන්ධ වාර්තා කිසිවක් නැතැයි පවසමින් මෙම ඖෂධය ශ්‍රි ලංකාවේ ගැහැණු ළමුන් සඳහා භාවිතයට නිර්දේශ කිරීමට පෙර අඩුතරමින් මේ විශේෂඥ කමිටුව විසින් ඉන්දීය අධිකරණය හමුවේ PATH සංවිධානයට එරෙහිව HPV එන්නතට අදාළව පැවැති නඩුවේ වාර්තා සහ පාර්ලිමේන්තු කමිටු වාර්තා අධ්‍යයනය කළ යුතුව තිබිණි.

එන්නත ජාතික එන්නත් වැඩ සටහනට ඇතුළත් කිරීමට තීරණය කළ විශේෂඥ කමිටුවේ “අවශ්‍යතා පිළිබඳ ගැටුම්”

පබා පලිහවඩන

අවධානයට ගත යුතු එක් විශේෂ කරුණක් නම් මෙම නිර්දේශයට අත්සන් තබා ඇති පබා පලිහවඩන බිල්ගේට්ස් විසින් හසුරුවන ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශනය සඳහා වන විශේෂඥ කණ්ඩායමේ (Strategic Advisory Group of Immunization of Experts of WHO – SAGE) සාමාජිකත්වය දරා ඇති තැනැත්තියක් බවයි. ඉන්දියාව තුළ PATH සංවිධානය විසින් මෙහෙයවන ලද HPV එන්නත් වැඩ සටහන සම්බන්ධයෙන් වගකීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ද බැඳි සිටිී.  එමෙන්ම ඇය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආසියාවේ මෙහෙයවන ලද ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් ගණනාවකට අනුබද්ධව  2003,2003, 2004, 2008, 2010,2013 සහ  2019 කාලසීමාව තුළ  බංග්ලාදේශය, බුරුමය, නැගෙනහිර ටිමෝරය සහ ඉන්දුනිසියාව යන රටවල සේවය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට  සම්බන්ධ GAVI, PATH සන්ධානයද  SAGE කණ්ඩායමද කටයුතු කරන්නේ මනා සම්බන්ධීකරණයකින් යුතුව වන අතර ඒවා සියල්ල බිල්ගේට්ස්ගෙන් මුල්‍ය ආධාර ලබන සහ ඔහු විසින් මෙහෙයවන සංවිධාන වේ. 

ආනන්ද අමරසිංහ

ආනන්ද අමරසිංහ ජාත්‍යන්තර එන්නත් ආයතනයේ (International Vaccine Institute ) ශාස්ත්‍රීය පර්යේෂකයෙකු වන අතර එම ආයතනයේ ගෝලීය හවුල්කරුවන් වන්නේ, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම, SK Bio science, CEPI, Sanofi, Open Philanthropy, Mott Macdonald යන ආයතනයන්ය. මෙහි SK Bio science යනු දකුණු කොරියානු එන්නත් නිෂ්පාදන සමාගමක් වන අතර එන්නත් නිෂ්පාදනය සඳහා ජාන තාකෂණය භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.කොරියාවේ Sanofi එන්නත් සමාගම සමග හවුල්ව කටයුතු කරයි. CEPI ආයතනය බිල්ගේට්ස්ගේ ආධාර යටතේ පිහිටුවන ලද්දක් වන අතර එයට මූල්‍ය ආධාර බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් සහ එක්සත ජනපද විදේශ ප්‍රතිපත්තිය ලොව පුරා ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල නිරතව ඇති USAID ආයතනයෙන් ලැබේ.

2011 ජූලි මාසයේදී ආනන්ද අමරසිංහ ජාත්‍යන්තර එන්නත් ආයතනය වෙනුවෙන් රිචර්ඩ් ටී. මහෝනි සමග සිදු කරන ලද “Estimating potential demand and supply of dengue vaccine in Brazil” නම් පර්යේෂණය වෙනුවෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් මූල්‍ය සම්පත් (Grant No. 23197). ලබාගෙන ඇත.
ආනන්ද අමරසිංහ 2012 ඔක්තොබර් මාසයේදී “Effective vaccine safety systems in all countries: A challenge for more equitable access to immunization” නම් පර්යේෂණයකට සහභාගිවී ඇති අතර එම පර්යේෂණයේ “නිල් පිටපත” (Blue Print) සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් මූල්‍ය සම්පත් ලබාදී තිබේ. ආනන්ද සමරසිංහ International Vaccine Institute ආයතනයෙන් ගෙවීම් ලබන නමුත් එම ගෙවීම් මෙම පර්යේෂණයට අදාළව සිදුවී නැති බව පවසයි. කෙසේ වුවද ඉහත ආයතනයට අරමුදල් සපයන ආයතනයක් වන්නේද බිල් සහ මෙලින්ඩා ගේට්ස් ආයතනයයි.

ශ්‍රී ලංකාව ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට එන්නත හඳුන්වාදෙන ලද්දේ GAVI එන්නත් සන්ධානයේ මූල්‍ය ආධාර සහිතවය. එකී හඳුන්වාදීමේ සිට වසර කීපයක් කීපයක් දක්වා එම සන්ධානය මූල්‍ය ආධාර සපයන අතර පසුව එය කළ යුත්තේ ජාතික අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කරනු ලබන මුදල් වලිනි. GAVI එන්නත් සන්ධානයේ NVS ආධාර වැඩ පිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට HPV එන්නත හඳුන්වාදීම සඳහා 2016 සැප්තැම්බර් මස 5 වැනිදා එම සන්ධානය වෙත ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය මගින් මූල්‍යාධර ඉල්ලා ඇත. එම අයැදුම් පත්‍රය මගින් 2017 වසරේදී පාසල් ශිෂ්‍යාවන් 175,000ක් එන්නත් කිරීමට ඇමෙරිකන් ඩොලර් 420,000ක් ඇස්තමේන්තු කර තිබිණි.

GAVI වෙතින් මූල්‍ය ආධාර ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති අයැදුම් පත්‍රය

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට HPV එන්නත හඳුන්වාදීමේදී බිල් ගේට්ස්ගේ Gavi එන්නත් සන්ධානය විසින් ආරම්භක අරමුදල් සහ වෙනත් මූල්‍ය පහසුකම් සපයා ඇති නමුත් වැඩ සටහන දියත් වූ පසු එය ක්‍රියාත්මක වන්නේ රජය විසින් සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කරන අරමුදල් වලිනි. HPV එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කරමින් එය නිත්‍ය එන්නත්කරණයක් ලෙස පවත්වාගෙන යාමේදී දැරීමට සිදුවන වියදම් පිළිබඳව කරන ලද අධ්‍යයනයක පත්‍රිකාවක් Science Direct මෙඩිකල් ජනලයේ පළවී ඇත. එහි මෙසේ දැක්වේ

“6 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවන්(වයස අවුරුදු 10) ඉලක්ක කරමින් ශ්‍රී ලංකාව විසින් HPV එන්නත පළමුවරට හඳුන්වා දෙන ලද්දේ 2017 සැප්තැම්බර් මාසයේදීය. Gavi එන්නත් සන්ධානයේ ( Gavi, the vaccine alliance) 2015 ක්‍රමාංකනයට අනුව ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම්ලාභි රටකි.කෙසේ වුවද Gavi එන්නත් සන්ධානය වෙතින් ශ්‍රී ලංකාව HPV එන්නත හඳුන්වාදීමේදී විශේෂ මූල්‍යාධාර හිමි විය. Gavi එන්නත් සන්ධානයේ මිල ගණන්වලට ශ්‍රී ලංකාවට HPV එන්නත මිලදී ගත හැකි අතර එන්නත් ඇණවුම්වලදී සම්පූර්ණ ගෙවීම් සිදුකරන්නේ ශ්‍රී ලංකා රජය විසිනි. HPV එන්නත්කරණය ක්‍රියාත්මක වන්නේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන හරහා, මාස 6ක කාලාන්තරයක් තුළ දෙනු ලබන මාත්‍රා දෙකකින් සමන්විත නිත්‍ය එන්නත්කරණ වැඩපිළිවෙළක් ලෙසය. HPV එන්නත් බෙදාහැරීම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් පාසල් පදනමෙන් සහ පාසල් සෞඛ්‍ය වැඩ සටහනේ කොටසක් ලෙසය.2019 දී ශ්‍රී ලංකාව විසින් . HPV එන්නත් මාත්‍රාව සඳහා 82%ක ආවරණයක් සිදු කර ඇත.”
Human papillomavirus (HPV) vaccination program in Sri Lanka: Ongoing costs and operational context of a routinized program

Frederic Debellut a, Deepa Gamage,Sandeep Kumar, Sashimali Wickramasinghe, Thilanga Ruwanpathirana, Manjula Kariyawasam, Chinthana Sanjeewa Perera, Samitha Ginige, Nirmala Cooray, Clint Pecenk, Rose Slavkovsky, D. Scott LaMontagne, Mercy Mvundura

මේ සියලු කරුණු සැළකිල්ලට ගත් කළ  ඉන්දියාවේ දී එන්නත ලබාදීමෙන්  පසුව මරණයට පත්  ගැහැණු ලමුන් 7 දෙනා සහ අතුරු ආබාධයන්ට ලක් වූ දහස් ගණනක්  ගැන හෝ ජපානයේ, ඩෙන්මාර්කයේ හෝ ඔස්ට්‍රෙලියාවේ සිදුවීම් ගැන  පලිහවඩන නොදැන සිටියා යැයි සිතිය නොහැක. මක් නිසාද යත් ඒවා ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේ ත්‍රයේ මෙන්ම ලෝක ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයේද බරපතල කැළැඹීමක් ඇති කළ සිදුවීමක් හෙයිනි. ඇත්තෙන්ම ශ්‍රි ලංකාව තුළ ඉහත එන්නත අනුමැතිය ලබාගැනීම සඳහා ඇය සහ ඇගේ වෘත්තිය සගයන් ඉන්දියාවේ දී එම එන්නත සම්බන්ධව මතුවූ මාරාන්තික අතුරු ආබාධ පිළිබඳ සිදුවීම් දැනුවත්ව යටපත් කර ඇති බව පෙනී යයි.

රනිල්, අනුර, මහීපාල සහ බිල්ගේට්ස්

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මහීපාල
සෞඛ්‍ය ඇමැතිනි හරිනි අමරසූරිය

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිනිය හරිනි අමරසූරිය වන අතර එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරී ඇත්තේ වෛද්‍ය එම්.පී මහීපාලය. 2019 දී ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකු ලෙස පකිස්ථානය තුළ කටයුතු කර ඇති අතර ඔහු ගෝලීය එන්නත්කරණ ව්‍යාපාරයේ දැවැන්තයන් වන GAVI එන්නත් සන්ධානය සහ Global Fund සංවිධානය යන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමග සමීපව කටයුතු කර තිබේ. GAVI එන්නත් සන්ධානය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමට අයත් සංවිධානයක් වන අතර එය එන්නත් අලෙවිය සහ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය සහ ඖෂධ සමාගම් අතර මූල්‍ය පහසුකම් සලසන අතරමැදි ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙම සංවිධානය ඊට අමතරව ඖෂධ සමාගම්වල නවතම ඖෂධ අත්හදා බැලීම සඳහා තුන්වන ලෝකයේ ජනතාව යොදාගැනීමට ඖෂධ සමාගම්වලට සහාය වන සංවිධානයක් ලෙසද ලෝකයේ බොහෝ රටවලින් චෝදනා ලබා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා “සමීපව” කටයුතු ඇති අනෙක් සංවිධානය වන Global Fund සංවිධානයට අරමුදල් සපයන ප්‍රමුඛ පදනම් ආයතනයක් වන්නේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමයි.


ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සපයන විශාලතම පුද්ගලික පදනම් ආයතනය වන්නේද බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමයි. එය විසින් 2018-2019 වසර සඳහා ඩොලර් මිලියන 531ක් ද 2020-2021 වසර සඳහා ඩොලර් මිලියන 591ක්ද ලබා දී ඇත. GAVI එන්නත් සන්ධානය ද බිල්ගේට්ස්ටම අයත් සංවිධානයක් වන අතර බිල් ගේට්ස් එය හරහා ලෝක සෞඛ්‍ය සංවිධාන වෙත 2018-2019 වසර සඳහා ඩොලර් මිලියන 370.7ක් සහ 2020-2021 වසර සඳහා ඩොලර් මිලියන 413.2ක්ද ලබාදී ඇත. මේ අනුව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා “සමීපව කටයුතු කර ඇති” ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන 3ක්ම එනම් ලෝක සෞඛ්‍ය සංවිධානය, GAVI එන්නත් සන්ධානය සහ Global Fund සංවිධානය යන ආයතන සියල්ලටම ප්‍රධාන අරමුදල් සපයන්නේ බිල් ‌ගේට්ස් වීම අහම්බයක් විය නොහැකිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බිල්ගේට්ස්ට සිය වැඩ කටයුතු ශ්‍රී ලංකාව තුළ පහසුවෙන් විධායක බලතලවල ආවරණය සහිතව කරගෙන යාහැකිවන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය තුළම බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමට මෙහෙයුම් කාර්යාලයක් පවත්වාගෙන යාමට ඉඩකඩ ලබා දුන් අතර වත්මන් ජනාධිපති අනුරකුමාර දිසානායක යටතේද එය දිගටම පවත්වාගෙන යාම සිදු වේ.

මේ අනුව බිල් ගේට්ස්ගේ හවුල්කාරිත්වය සහිත සමාගම් විසින් නිෂ්පාදිත එන්නත්වලින් ලංකාවේ දැරියන් බරපතල අතුරු ආබාධවලට ගොදුරු වූ විට එය” ඔවුන් එන්නත් කෙරෙහි දක්වන බිය හේතුවෙන් ක්ලාන්ත වීමක් යැයි” යනුවෙන් පවසමින් ඇත්ත සැඟවීමට දැරෙන මෙවැනි ප්‍රයත්නයන් හැරෙන්නට වෙනත් යමක් මහීපාලලාගෙන්, අනුරලාගෙන් හෝ හරිනිලාගෙන් අපේක්ෂා කිරීම මුග්ධකමක් වනු ඇත.