ණය ප්‍රතිව්‍යුහගතකරණය රොකට් විද්‍යාවක් බවට පත් කිරීම: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බ්ලැක් රොක් සමාගමේ හරිත, නිල් සහ රෝස ශෝධනය

ධරිණි රාජසිංහම් සේනානායක

බ්ලැක්රොක් සහ අනෙකුත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් ඉවත්වන ලෙසට එක්සත් ජනපදයේ කොලොම්බියා, යේල් සහ වෙනත් අයිවී ලීගයට අයත් නොවන විශ්ව විද්‍යාලවලින් නැගුණ හඬ ව්‍යාප්ත වෙමින් පවතී. බ්ලැක්රොක් සමාගම පලස්තීන ජන සංහාරය සඳහා ආයුධ සපයන සමාගම් තුළ විශාල වශයෙන් ආයෝජනය කර තිබුණද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ගෝලීය දකුණේ රටවල දියත් කරමින් සිටින ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙහෙයුම සැලසුම් කර ඇත්තේ බ්ලැක්රොක් සමාගම වෙත උපරිම ලාභ හිමිවන පරිදිය.
ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන බ්ලැක්රොක් සමාගම ලෝකයේ විශාලතම වත්කම් කළමණාකරණ සමාගම වන අතර එය ලෝකය පුරා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 10ක් ආයෝජනය කර තිබේ. ශ්‍රී ලංකාව මෙන්ම ආසියාවේත්, අප්‍රිකාවේත් දකුණු ඇමෙරිකාවේත් රටවල් 55ක් ජාත්‍යන්තර ස්වෛරී යුරෝ ණය බැඳුම්කර උගුලට හසුව එක්කෝ බංකොලොත් වී නැතහොත් බංකොලොත් වීමට ආසන්න තත්වයක පසුවන බවට ඇස්තමේන්තු කර ඇත. වරප්‍රසාදිත එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ස්වකීය ජාතික මුදල් ඒකකයන්ගේ අගය පහත වැටීම හේතුවෙන් එම රටවල පුරවැසියන් ක්ෂණික දරිද්‍රතාවයකට පත්වීමෙන් පසු ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “ණය තිරසාරකරණ ප්‍රතිකාරයට” යටත් කෙරී ඇත. මෙය සිදුවන්නේ එක්සත් ජනපද රජයේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 34 ද ඉක්මවා යමින් පවතින තත්ත්වයක් තුළ සහ “ආසියානු 21 වැනි සියවස ලෙසින් හැඳින්වෙන” BRICS රටවල නැගී ඒමත් ඒවා විසින් ඩොලර්-හරණ ක්‍රියාදාමයක් දියත්කිරීමත් සිදුවෙමින් පවතින අතරම වීම සැළකිල්ලට ගතයුතු කරුණකි. සෑම දින 100කට වරක්ම එක්සත් ජනපද සමස්ත ණය ප්‍රමාණයට තවත් ඩොලර් බිලියනයක් එක්වන බවට ද ඇස්තමේන්තු කෙරී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශකරන ලද ඊනියා වසංගතය හා ඒ ආශ්‍රිත ලොක්ඩවුන් මගින් රටවල් වසාදැමීම සහ සැපයුම් මාර්ග බිඳවැටීම නිසා 2020-21 අතර සිදු වූ ලෝක ආර්ථික පසුබෑම හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට පත් රටවල සම්පත් තුට්ටු දෙකට කොල්ලකෑමට අවශ්‍ය අරමුදල් සපයනු සඳහා එක්සත් ජනපද ආණ්ඩුව විසින් බ්ලැක් රොක් සමාගමට සිය CARES පනත (Coronavirus Aid, Relief, and Economic Security Act) යටතේ අති විශාල අරමුදල් ප්‍රමාණයක් සපයන ලදි.
2019 පාස්කු ඉරු දින සුඛෝපභෝගී හෝටල් සහ දේවස්ථාන ඉලක්ක කරමින් ISIS නම් සංවිධානයක් විසින් කරන ලදැයි කියන ත්‍රස්ත ප්‍රහාරය, ඉන්ධන සහ ප්ලාස්ටික් ගෝලිකා වෙරළාසන්න සයුරේ විසිර යන පරිදි සිදු වූ නැව් ගිනිගැනීම්, කොවිඩ්-19 මර්දනය කිරීමට යැයි කියමින් ගන්නා ලද ලොක්ඩවුන් වැනි ක්‍රියාමාර්ග මගින් සිදු වූ ආර්ථික විනාශය, වී සහ තේ වගාවන් විනාශවන පරිදි සිදු කළ රසායනික පොහොර තහනම ඇතුළු බාහිර ආර්ථික කම්පනයන් මගින් හුස්ම ගැනීමට ඉඩක් නොතබා ගෙල සිරකරන ලද භූ උපායික වශයෙන් වැදගත් ශ්‍රි ලංකාවට සිය පළමු බංකොළොත් වීම 2022 අප්‍රේලයේදී වේදිකා ගත කිරීමට සිදු වූයේ “අරගලය” විරෝධතා ව්‍යාපාරය මගින් අවධානය වෙනතකට යොමු කරමින් පවතින අතරතුරය. ශ්‍රී ලංකා රුපියල බිඳ වැටුණේ හරියටම ඉන්දු පැසිෆික් කලාපය තුළ “පළමුව ඇමෙරිකාව” සහ “නැගී එන චීනය” අතර සීතල යුද්ධය උත්සන්න වෙමින් පවතිද්දීය.

නිල් සහ හරිත ශෝධනයේ යෙදෙන බ්ලැක්රොක් සහ එහි හවුල්කාර අදානි

ආයුධ නිෂ්පාදන සහ පොසිල ඉන්ධන ක්ෂේත්‍රයේ බ්ලැක්රොක් සමාගම දැවැන්ත ආයෝජනයන් සිදු කර තිබේ. ඒ සම්බන්ධව නැගෙන විවේචනයන් හමුවේ පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණ බැඳුම්කර (Environment, Social and Governance bonds -ESG), හෝ ස්වභාව ධර්මය සඳහා ණය හුවමාරුව නැතහොත් හරිත සහ නිල් බැඳුම්කර අලෙවිය මගින් සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ස්ත්‍රී වැඩ සටහන්(UNWOMEN program) සඳහා අරමුදල් සැපයීම මගින් තමන්වම හරිත, නිල් සහ පින්ක් ශෝධනයට ලක්කරගැනීමට බ්ලැක්රෝක් සමාගම උත්සාහ දරයි.
බ්ලැක්රොක් සමාගමේ දකුණු ආසියාතික හවුල්කරුවා වන්නේ ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන අදානි වන අතර, ඔහු භූ දේශපාලනික බල පොරය සහ ඉහළ දූෂණ තත්ත්වයන් කළමණාකරණය කරගනිමින්, ශ්‍රී ලංකාව එහි ණය බැඳුම්කර හිමියන් සමඟ කවර හෝ සාමූහික ගිවිසුමක් ඇතිකරගැනීමට පෙර, වාසි සහගත ගනුදෙනුවක් සිදු කරගැනීමට සමත්ව ඇති බව පෙනේ . ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ප්‍රධාන ඉන්දියන් සාගර බලශක්ති වෙළඳාම සහ සබ්මැරීන් දත්ත කේබල් මාර්ගවල සන්ධිස්ථානයකය.
ඉන්දියාවේ මෝදි රජයේ සමීපතම සගයෙකු වන අදානි “හරිත බලශක්ති සුළං විදුළි බලාගාර පිහිටුවීමේ ප්‍රචාරක පාඨය යටතේ, 2022 දී ශ්‍රි ලංකාව බංකොළොත් බවට පත්කිරීමට පසුබිම සැකැසු මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලහත්කාරී ගිවිසුමකට යටත් කරගනිමින් ශ්‍රි ලංකාවේ භූ උපායික වශයෙන් සංවේදී වයඹ දිග මුහුදේ පුනරීන් සහ මන්නාරම් ද්‍රෝණි අත්පත්කරගැනීමට සමත් වී ඇත.
මේ වනවිට මන්නාරම් මුහුදේ මත්ස්‍ය හිඟය සහ ධීවර ජනතාවට මතුව ඇති අවහිරතාවලට මෙන්ම දැනටමත් ස්ථාපිත කර ඇති සුළං විදුළි බලාගාරවල පාරිසරික බලපෑම්වලට එරෙහි ධීවර ජනතාව, ධීවර සමිති සහ පාරිසරික සංවිධාන විරෝධය පළ කරමින් සිටිති.
කෙටියෙන් පවසන්නේ නම්, පාරිසරික සමාජීය හෝ ආණ්ඩුකරණ බැඳුම්කර, ස්වභාව ධර්මය සඳහා ණය හුවමාරුව හෝ හරිත සහ නිල් බැඳුම්කර වනාහි ගැටළු සහගත කාබන් ක්‍රෙඩිට් ගණනයක් මත සහ, මානව වංශික විද්‍යා ප්‍රබන්ධ,දේශගුණික ව්‍යසනයන් පිළිබඳ ආඛ්‍යානයන් මත පදනම් වූ සොබාදම් මාතාව මූල්‍යකරණය කිරීම ඉලක්ක කොටගත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණයේම කොටසකි. මෙම බැඳුම්කර විසින් දේශිය ධීවරයන් හා ගොවීන් ඔවුන්ගේ මසුන් අල්ලන සම්ප්‍රදායික මුහුදු කලාපයන්ට, වෙරළ තීරයන්ට හෝ වගාබිම් ආශ්‍රිත වනාන්තරවලට හෝ ප්‍රවේශවීම වළක්වනු ලබන අතර එමගින් “පරිසර සංරක්ෂණයේ නාමයෙන්” ඔවුන්ගේ ජීවිකාවන් කෙරෙහි අයහපත් බලපෑමක් ඇතිකරනු ඇත.
මේ අතර පසුගිය වසරේදී ලෝකය පුරා ස්ත්‍රී සංවිධාන සහ ක්‍රියාකාරිකයන් විසින්, බ්ලැක්රොක් සමාගමේ ලිංගික සමානත්වය පිළිබඳ සටන් පාඨ පෙරට දමමින් සිදු කරන “පින්ක් ශෝධන ව්‍යාපෘතින්” ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එක්සත් ජාතින්ගේ සංවිධානයට චෝදනා කරමින් පෙත්සමක් අත්සන් කර තිබේ.
ඔවුන්ගේ තර්කය වූයේ එක්සත් ජාතින්ගේ ස්ත්‍රි සංවිධානය(UNWOMEN) බ්ලැක්රොක් සමාගම සමග පවත්වාගෙන යන හවුල්කාරිත්වය විසින් එම සමාගමට කොහෙත්ම හිමි නොවිය යුතු ස්ත්‍රිවාදි අනුමැතියක් ලබාදී ඇති බවය. මෙම විරෝධතා හේතුවෙන් එක්සත් ජාතින්ගේ ස්ත්‍රී සංවිධානයට තමන් බ්ලැක්රොක් සමග පවත්වාගෙන ගිය හවුල් ගිවිසුම අහෝසි කිරීමට බල කෙරෙන තත්ත්වයක් උද්ගතවිය. “මානව අයිතීන්ට සහ පාරිසරික අඛණ්ඩත්වයට ඉහළින් ලාභ ලැබීමේ අරමුණ තබා කටයුතු කිරීම පිළිබඳව බ්ලැක් රොක් සමාගම සතු අයහපත් වාර්තා නිසා තමන් මෙම තීරණය ගත් බව” පවසමින් එක්සත් ජාතින්ගේ ස්ත්‍රී සංවිධානය තම තීරණයට හේතු දක්වා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවේ සම්පත් තුට්ටු දෙකට වෙන්දේසි කිරීම: ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කර හිමියන්ට ප්‍රමුඛත්වය දීම

ලන්ඩන්, පැරිස් සහ වොෂින්ටන් බැඳුම්කර හිමියන්ගේ කලබලකාරි නොසන්සුන් හමුවීම් මැද දැන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය තෙවන වසර කරා ද දිග්ගැස්සෙමින් පවතින විට පෙනී යන කරුණක් නම් ඔවුන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාව වී ඇත්තේ ජාත්‍යන්තර පුද්ගලික ණය හිමි සමාගම්වල ලාභ රේට්ටු සහ අවශ්‍යතාවන් සුරක්ෂිත කිරීම බවය. මෙහිදී ඔවුන් ගෝලීය දකුණේ රටවලට ණය ලබා දෙන විට අය කෙරෙන අමතර අවදානම් ගාස්තුවක්ද ඇතුළත් කොල්ලකාරි පොලී අනුපාතයන්ට ඒවා ලබාදී ඇති බවත් මෙම ණය හිමියන් දැනටමත් සිය ණය සඳහා ලාභ ලබා ඇති බවත් යන කරුණු මෙහිදී නොසලකා හැර තිබේ.
ශ්‍රී ලංකාවේ ණයවලින් 40%ක් හිමි බැඳුම්කර ණය හිමියන්ගේ රහසිගත නම් ලැයිස්තුව සම්බන්ධයෙන් හෝ සියලු ණය හිමියන්ට “සමානත්මතා පදනම මත සැළකීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල ධර්මය අනුව ණය දෙන්නන් විසින් ණය දී ඇත්තේ සහනදායික පොලී අනුපාතයන්ටද නැතහොත් ගිනිපොළියටද යන කරුණ නොසළකා හැර ඇති තත්ත්වයක් තුළ දූෂිත ණය අවලංගු කිරීම පිළිබඳව සහතික වීම සම්බන්ධයෙන් හෝ විනිවිද භාවයක් සහතික කිරීම සඳහා ඇත්තේ අවම උත්සාහයකි. එමෙන්ම මෑතකදී ප්‍රතිසංස්කරණයට ලක් කරනලද දූෂණය ඉහවහා ගිය ශ්‍රි ලංකා මහ බැංකුව යටතේ දියත්ව ඇති අස්වැසුම සහනාධාරය හැරෙන්නට ණයගැති බව සහ දුප්පත්කම අඩු කිරීම සඳහා ද බරපතල උත්සාහයක් නොපවතී.

උත්ප්‍රාසය නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility-EFF )යටතේ සිදුවන ණය ප්‍රතිව්‍යුහගතකරණ මෙහෙයුම සැලසුම් කර ඇත්තේ කලින් ශ්‍රි ලංකාව මත ගොඩගැසී ඇති දූෂිත ණය කන්දරාවටද ඒ හේතුවෙන්ම ශ්‍රි ලංකාව බංකොළොත්වීම සම්බන්ධයෙන්ද ද වගකිව යුතු එම කොල්ලකාරි ණය දෙන පුද්ගලික සමාගම්වලින්ම තවදුරටත් ණය ගැනීමට ශ්‍රි ලංකාවට බල කෙරෙන පරිදි වීමය. ඒ අවප්‍රමාණ කරන ලද බැඳුම්කර වටිනාකම් තුළ ආපසු ගෙවීමේ පහසුකම ලබාගැනීම සඳහාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම් සහ සාර්ව ආර්ථික සම්බන්ධ බැඳුම්කර (Macro-economy linked Bonds-MLB) පිළිබඳ නව යෝජනා දෙස බලන විට පෙනී යන්නේ මෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ ශ්‍රී ලංකාව ගොදුරුව ඇති ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කර (ISB) උගුල වඩාත් ගැඹුරු වෙමින් දිග්ගැස්සීම පමණක් බවය. මීට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ උපායික වත්කම් සහ රාජ්‍ය ව්‍යාපාර තුට්ටු දෙකට වෙන්දේසියේ දමන ලද අවස්ථාවේ පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණ බැඳුම්කර (Environment, Social and Governance Bonds – ESG), යෝජනා කර ඉදිරිපත්කරන ලදි. මෙයට වටිනා වෙරළාසන්න සහ කඳුකර ඉඩම්, බලශක්තිය, ටෙලිකොම් සහ ප්‍රවාහන යටිතල ව්‍යුහයන් අයත්වේ.
මේ වනවිට ජාතික විදුලිබල පද්ධතිය කැබැලිවලට කඩා විකිණීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙම පනතට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති ගණනාවක් විසින් සියවිරෝධය පළ කර ඇත්තේ එමගින් ජාතික බලශක්ති සුරක්ෂිතතාව අහෝසිවී යන බවට කරුණු දක්වමිනි. මෙම පනතට එරෙහිව මේ වනවිට ශ්‍රේෂඨාධිකරණය හමුවේ නඩු 12ක් පැවැරී ඇත.
පසුගිය සතියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිතව පැන නැගුණ කලබැගෑනියට හේතුවූයේ එක්සත් ජනපදයේ රූකඩ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වීසා නිකුත් කිරීමද ඇතුළු ආගමන විගමන සේවාවන් බ්ලැක්ස්ටෝන් සමගමට අයත් ඉන්දීය සමාගමකට පවරා දෙනු ලැබීමය. හරියටම කවර හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක් ඇති කරගැනීමටද පෙර බ්ලැක්රොක් සමාගමේ දකුණු ආසියානු හවුල්කරු අදානි සමග ඇතිකරගත් “අත යට ගනුදෙනුවලදී” සිදු වූ පරිදිමය.
මේ අතර බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය තුළ සිය මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. එහි අරමුණ ජාතික දත්ත එක්රැස් කිරීම සහ ඒවා සිය අවශ්‍යතාවන් සාක්ෂාත් කරගත හැකි පරිදි විකෘති කිරීමය. ජාතික කිරි නිෂ්පාදන සමාගම වන හයිලන්ඩ් ඉන්දියාවේ ධනපතියෙකුවන අම්බානිට අයත් අමූල් කිරි සමාගම වෙත විකුණා තිබේ. ලාබ ලබන රාජ්‍ය ව්‍යවසායන් වන වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුද්ගලීකරණ ලැයිස්තුවට ඇතුළත්ය.

ත්‍රිත්ව අනතුරක්? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම් සහ කොල්ලකාරි වෙන්දේසි කිරීම්

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ වසර 4ක් තුළ ඩොලර් බිලියන 3.9 ක ඇපදීමක් ලබා ගැනීම සඳහා ශ්‍රි ලංකාව පැත්තෙන් ඉටුකළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණවලට අයත් කොන්දේසියක් ලෙස, ජාතික වත්කම් සහ ලාභ ලබන ඒවාද ඇතුළුව රාජ්‍ය ව්‍යවසායන් තුට්ටු දෙකට විකුණා දමන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දෙන ලද නියෝගවලට රජය යටත් වී ඇතිබව පෙනී යයි. දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ද මැදිහත්වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම් වල අපරාධ සහායකයා මෑතදී “ස්වාධීනත්වය ” ලද ශ්‍රී ලංකා මහ බැංකුව බව සැලකිල්ලට ගන්නා විට මතුව ඇති අනතුර දෙගුණ තෙගුණ නොව සිව්ගුණයකින් වැඩි වනු ඇතැයි සිතිය හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මැදිහත්වීම විසින් දේශිය රුපියල්වලින් ගෙන ඇති ණය සහ ඩොලර්වලින් ගෙන ඇති විදේශීය ණය එකට පටලවමින් රටේ ආර්ථික ස්වාධිපත්‍යය සහ ප්‍රතිපත්ති සම්පාදනයේ ස්වාධීනත්වය අහෝසි වන මට්ටමට ශ්‍රි ලංකාවේ ණය පිළිබඳ සංඛ්‍යා ඉහළ දැමීමට හේතුවී ඇත.දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ සාර්ව ආර්ථික බැඳුම්කර විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ට රටේ රැකියා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (Employment Provident Funds – EPF) වෙත ප්‍රවේශවීමට ඉඩ සලසා ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම වැටුප් අරමුදල වන EPF කළමනාකරණය කරනු ලබන්නේ මහ බැංකුව විසින් වන අතර එය වටිනාකම රුපියල් වලින් තක්සේරු කරනවිට රුපියල් ට්‍රිලියන 3.4 කි. ණය හිමි විදේශික පුද්ගලික මූල්‍ය ආයතන සමග වන ගිවිසුම පිළිබඳ පැහැදිලි තත්ත්වයක් නොපවතින අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ යටතේ මෑතකදී පුද්ගලිකරණය කරන ලද ශ්‍රී ලංකා මහබැංකුව විසින් යුරෝ බැඳුම්කර හිමියන්ගේ අවශ්‍යතාවන් ප්‍රමුඛත්වය ලබා දෙමින් දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයටත්, රැකියා නියුක්තික අරමුදලටත් මැදිහත් වීමට ඉඩ සලසා ඇත. මේ මගින් වැඩකරන ජනතාවගේ විශ්‍රාමික වැටුප කොල්ලකෑමට ලෝක ජනගහණයෙන් සියයට 1ක් වන ධනවතුන් නියෝජනය කරන යුරෝ බැඳුම්කර හිමියන්ට අවස්ථාව උදාකර දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම් විසින් බ්ලැක්රොක් වැනි ණය ලබාදෙන පුද්ගලික සමාගම්වලට ණය ප්‍රතිව්‍යුහගතකරණය රටේ විශාලතම විශ්‍රාම වැටුප් අරමුදලට සම්බන්ධ කිරීමට ඉඩ සලසා ඇති අතර එමගින් මිලියන ගණනක් වැඩ කරන ජනතාවගේ ඉතිරි කිරීම් අනතුරේ හෙළා ඇත.

ණය ප්‍රතිව්‍යුහගතකරණය රොකට් විද්‍යාවක් බවට රූපාන්තරණය වීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය උගන්ඩා කාටූන් ශිල්පි සීටිනි උගන්ඩා විසින් දකින ලද ආකාරය

සිවිල් සමාජ කණ්ඩායම් විසින් වසර 10ක කාලයක් සඳහා ණය ගෙවීම අත්හිටුවන ලෙසත් යුරෝබැඳුම්කර වෙලඳපොලවලින් රජයට ණය ගැනීම තහනම් කරන ලෙසත් සහනදායි පොලී අනුපාත යටතේ ගන්නා ලද බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික ණය පමණක් ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙසත් ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවේ පොලී ගෙවීම්වලින් සියයට 50ක් පමණ ගෙවීමට සිදුව ඇත්තේ බහුපාර්ශ්වික හෝ ද්විපාර්ශ්වික ණය හිමියන්ට වඩා කොල්ලකාරී පොලී අනුපාත අය කරන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයහිමියන් (ISB) වෙතය.
සාර්ව ආර්ථිකයට සම්බන්ධ බැඳුම්කර, හරිත සහ නිල් බැඳුම්කර හෝ ස්වභාව ධර්මය සඳහා ණය හුවමාරුකරණය යනුවෙන් ද හැඳින්වෙන ESG බැඳුම්කර පිළිබඳ යෝජනාවන් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 26ක විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යෝජනා කර ඇත්තේ ප්‍රංශ ගිනුම්කරණ සමාගමක් වන ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆෝර්ඩ් චාන්ස් සමාගම විසිනි. මෙම සමාගම ණය හිමියන්ගේත් ස්වෛරී බැඳුම්කර හිමියන්ගේත් කණ්ඩායමක් වන යටත්විජිතවාදි පැරිස් කණ්ඩායම නියෝජනය කරයි.
යෝජිත සාර්ව ආර්ථික බැඳුම්කර (MLB) සහ පාරිසරික, සමාජීය සහ ආණ්ඩුකරණ බැඳුම්කර (ESG) බැඳුම්කර, EPF අරමුදල් ඇතුළුව සෑම දෙයක්ම සහ සියලු ජාතික වත්කම් ණයට සම්බන්ධ කර ඇති අතර ඒවායේ වටිනාකම් පහත දැමීමේ ඉලක්කම් සෙල්ලමක නිරත වෙමින් ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන බව පෙනේ. මූලික විද්‍යාත්මක නියමයන්ට පටහැනි වූත් සියලු තාර්කික විශ්ලේෂණයන්ද නිරීක්ෂණ සහ ඇගැයුම් විධික්‍රම ප්‍රතික්ෂේපකරන්නා වූත් අවිද්‍යාත්මක කාබන් ගණනය කිරීම් මත පදනම්ව “ස්වභාව ධර්මය සඳහා ණය හුවමාරුව” (Debt for Nature Swaps – DFNS), නම් ක්‍රමය යටතේ, ස්වභාව ධර්මය මූල්‍යකරණයට ලක්කිරීමද එයට ඇතුළත්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ -විස්තීරණ අරමුදල් පහසුකම් ක්‍රමය යටතේ සිදුවන ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වැල්වටාරම් වලින් පිරුණු ඉලක්කම් සෙල්ලම්වලින් සමන්විත “රොකට් විද්‍යාවක්” බවට රූපාන්තරණය වී තිබේ. මෙම තත්ත්වය විසින් වැදගත් ප්‍රශ්නයක් මතුකර තිබේ. විද්‍යාත්මක චින්තනයේ මූලධර්මයන් වන සරල බව, දැඩි සහ ශක්තිමත් තර්ක මත පදනම් වීම ආදිය, කෘත්‍රිම බුද්ධිය විසින් වැඩි දියුණුකළ අතථ්‍ය යථාර්ථයන්, විශාල දත්ත අල්ගොරිතම, නිවැරදි දත්ත සහ මූළික කරුණු මත පදනම් නොවූ ව්‍යාජ සංඛ්‍යා, ආදියෙන් සමන්විත යුගයක් තුළ අත්හැර දමා තිබේද යන්නයි ඒ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාක්ෂාත් කරගත නොහැකි හා තාර්කික ලෙස ගණනය කළ නොහැකි සාර්ව දර්ශක සහ ප්‍රතිඵලවලට සම්බන්ධ කිරීම, සංවර්ධන වැඩසටහන් අධීක්ෂණය සහ ඇගයීමේ මූලික මූලධර්ම ද උල්ලංඝනය කරයි. කෙසේ වුවද අවසානයේදී, අධීක්ෂණය සහ ඇගයීම පිළිබඳ දර්ශක “SMART” එනම් විශේෂිත(Specific), මැනිය හැකි (measurable), සාක්ෂාත් කරගත හැකි(Achievable), අදාළ බවකින් යුතු(Relevant ) සහ නිශ්චිත සීමාවක් සහිත(Time bound) සාධකයන්ට යටත් විය යුතු බව පොදුවේ පවත්නා පිළිගැනීමකි.
ගිහාන් පතිරණ සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ආයතනයේ අනෙකුත් ආර්ථික විද්‍යාඥයින් විසින් සාර්ව ආර්ථික බැඳුම්කර පුළුල් ලෙස විවේචනයට ලක් කර ඇති අතර ඒවා විසින් රටේ රීරි මාංශය උරා ගන්නා බවට තර්ක කරති. අනාගත පරම්පරාවන්ට මෙම ණය ගෙවීමට සිදුවනු ඇත්තේ අවප්‍රමාණ කරන ලද දේශිය මුදල් සහ වංචනික ලෙස විකෘති කරන ලද විනිමය සහ පොලී අනුපාත යටතේය.
අහම්බයක් ලෙස හෝ සැලසුම් සහගත ලෙස හෝ දැනට දිග්ගැස්සෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් සැලසීම පිළිබඳව ( ශ්‍රී ලංකාව ණය උගුලක හසු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද කිරීම පිළිබඳව ගෝලීය කෝපරේට් මාධ්‍ය විසින් දිගින් දිගටම චීනයට දෝෂාරෝපණය කළද) යුරෝ බැඳුම්කර හිමියන් සමග වන සාකච්ඡාවන් විසින්, දැනට සිදුවෙමින් පවත්නා රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “විස්තීරණ අරමුදල් පහසුකම් සැලසීමේ විසඳුම” ලබාදීමට අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කිරීමේ මුවාවෙන් උපායික වශයෙන් වැදගත් මෙම ඉන්දිය සාගර දිවයිනේ ජාතික සම්පත් කොල්ලකෑම ද වසං කිරීම සඳහා ආවරණයක් ලෙස යොදාගෙන තිබේ..
ශ්‍රී ලංකා මහබැංකුව, බ්ලැක්රෝක් සහ එහි දකුණු ආසියාතික හවුල්කරු අදානි සහ අනෙකුත් බැඳුම්කර හිමියන් යන අපරාධ සහායකයන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම(Extended Fund Facility -EFF), පිළිබඳ සාකච්ඡා යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ආධිපත්‍යය උපාය මාර්ගික වශයෙන් වැදගත් මෙම ඉන්දීය සාගර දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම විහිදුවමින් භූමිය, බලශක්තිය, ටෙලිකොම්, ප්‍රවාහන සේවා යටිතල ව්‍යුහයන් වැනි උපායික වත්කම් පුද්ගලීකරණය කිරීමේ සහ තුට්ටු දෙකට විකිණීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටියි. මෙම වත්කම් සහ ජාතික සම්පත් මෙයට පෙර එක්සත් ජනපද සහස්‍රයේ අභියෝග පිළිබඳ සහයෝගිතා ගිවිසුම(US Millennium Challenge Corporation -MCC) යටතේ ද පවරා ගැනීමට සැලසුම් කරන ලද ඒවාය

ත්‍රිත්ව අනතුර? ආර්ථික ස්වාධිපත්‍යය සහ ස්වාභාවික යුක්තිය

“කෝකියන් වැඩිවන තරමට ණය ප්‍රතිව්‍යුහගතකරණ සුප් එක නරක් විය හැකිය!”
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම්(EFF) ප්‍රතිකාරය” පිළිබඳ ක්‍රියාදාමය තුළ දක්නට ලැබෙන පාරදෘෂ්‍යභාවයකින් තොර බව(බැඳුම්කර හිමි සමාගම්වල නම් රහසක්ව පවතී) සහ අනවශ්‍ය සංකීර්ණතාව යන කරුණු දෙකම ණය හිමියන් වෙත වාසි සහගත තත්ත්වයක් සහ වැඩි බලයක් ලබාදීමේ අරමුණෙන් සැලසුම් සහගතව ඇති කරන ලද්දක් බව පෙනී යයි. මෙම ක්‍රියාදාමය තාර්කික දෝෂ, අසත්‍ය සංඛ්‍යා, දත්තවල නොගැලපීම් සහ කිසිදු පාරදෘෂ්‍යතාවයකින් තොරවීම සහ අවදානමට පත්වන ජනතාව හමුවේ වගකීමට බැඳී නොසිටීම ආදියෙන් පිරී පවතී.

යානිස් ෆරෝෆාකිස්

මෙයට සමාන ලෙස සාර්ව ආර්ථික බැඳුම්කර සහ ESG බැඳුම්කරද සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම්(EFF) යටතේ සිදුවන ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා මෙම උපාය මාර්ගික වශයෙන් වැදගත් දිවයික සිරව ඇති ණය උගුලේ ග්‍රහණය වඩාත් දැඩි කිරීමට සහ දශක ගණනාවක් තිස්සේ දිග්ගැස්සීමට බව පෙනී යයි. මෙම ණය ගෙවීමට සිදුවනු ඇත්තේ අනාගත පරම්පරාවන්ට වන අතර මෙම ක්‍රියාදාමය විසින් ලාංකික පුරවැසියන්ගේ ආර්ථික ස්වාධිපත්‍යය සහ ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා ස්වාධීනත්වය තවදුරටත් ගරාවැටීමකට ලක් කරනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම්, විසඳුමකට වඩා ශ්‍රී ලංකාවේ අශෝභන ණය ගැටලුවේ කොටසක් බව වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී.
2023 ජනවාරි මාසයේදී මහාචාර්ය ජයති ගෝෂ්, තෝමස් පිකටි, යානිස් ෆරෝෆාකිස්, ඩැනී රොදික් ඇතුළු ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයින් සහ සංවර්ධන විශේෂඥයින් 184 දෙනෙකු විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක පෙන්වා දී ඇති පරිදි, ස්වෛරීභාවය සහ ස්වභාවික යුක්තියේ මූලධර්ම භාවිතයෙදී ගරාවැටීම හේතුවෙන් ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල ප්‍රතිසංස්කරණයකට ලක්කිරීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා මතුව ඇති බව පෙනේ. මෙම ප්‍රකාශනය Debt Justice UK නම් වෙබ් අඩවියේ සම්පූර්ණයෙන්ම පළ කෙරී ඇත.

“පුද්ගලික ණය ලබාදෙන්නන් ශ්‍රී ලංකාවේ ණය වලින් 40%ක හිමිකාරිත්වය දරයි. මෙයින් බහුතරයක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign Bonds-ISBs)ගණයට වැටේ. නමුත් ඉහළ පොලී අනුපාතයන් අයකිරීම යන්නෙහි තේරුම ඔවුන් 50%කට වැඩි ප්‍රතිශතයක් බාහිර ණය ගෙවීම්වලින් ලබාගන්නා බවය. මෙවැනි ණය දෙන්නන් විසින් ශ්‍රී ලංකාවට ණය දෙන විට ඔවුන්ගේ අවදානම් ආවරණය කිරීම සඳහා අවදානම් වාරිකයක් අයකරනු ලැබේ. මේ මගින් විශාල අමතර ලාභයක් උපයන අතර 2022 අප්‍රේලයේදී ශ්‍රී ලංකාව පළමුවරට සිය ණය ගෙවාගැනීමට නොහැකිව බංකොළොත් තත්ත්වයට පත්කිරීමට එය දායක වී තිබේ. අවදානම් වාරිකය මගින් අති විශාල ලාභ ලබන ණය දෙන්නන් විසින් අවදානමේ ප්‍රතිවිපාක තමන් විසින්ම දරාගැනීමට කැමැති විය යුතුය. සැබෑ වශයෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) දැන් ද්විතියික වෙළඳපොළේදී අලෙවි කරනු ලබන්නේ සැළකිය යුතු තරම් අඩු මිලකටය. මේ සංදර්භය යටතේ ස්වෛරී ණය ලබාදෙන්නන්ට වඩා පුද්ගලික බැඳුම්කර හිමියන්ට වැඩි බලයක් ලබාදීම මගින් පැරිස් කණ්ඩායමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සාකච්ඡාවන්හිදී ස්වාභාවික යුක්තිය පිළිබඳ ප්‍රධාන මූලධර්මය උල්ලංඝණය කර තිබේ.”[1].
Statement by academics on dealing with Sri Lankan debt, January 2023)

පරිවර්තනය: අජිත් සී හේරත්

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.

මූලාශ්‍ර

[1] Statement by academics on dealing with Sri Lankan debt, January 2023)
[2]IMF Executive Board Completes the First Review Under the Extended Fund Facility Arrangement with Sri Lanka