අජිත් සී. හේරත්
2018 මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ වෙබ් අඩවියේ පළ විය.
පළමු කොටස: බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා
දෙවැනි කොටස: ගෝඨාභයගේ භූමිකාව කුමක්ද?
තුන්වැනි කොටස: අවි ජාවාරම් සහ බුද්ධානුස්සති භාවනා
සිව්වැනි කොටස:’මුස්ලිම් බිල්ලා’ පිටුපසින් ඇමරිකානු සේනා
ඇමෙරිකා එක්සත් ජනපදය බොදු බල සේනාව මගින් ඉටුකරගැනීමට අපේක්ෂිත ඉලක්ක මොනවාද?
මේවනවිට සිය ගෝලීය ආධිපත්‍යයට රුසියාවේ නවීකාරක මිලිටරි බලයත්, චීනයේ ආර්ථික බලයත් හේතුවෙන් දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ඇමෙරිකාව වටහාගෙන සිටියි. යුක්රේනයේදීත්, සිරියාවේදීත් අමෙරිකාවේ ව්‍යාප්තවාදී මිලිටරිමය මැදිහත් වීම් පසු බැස්සවීමට රුසියාව සමත්ව තිබේ. ඒ අතර චීනය ඇමෙරිකාවේ “ආසියාවර්තන මෙහෙයුම” බල රහිත කරමින් “එක් මාවතක්, එක් කලාපයක්” නම් දැවැන්ත ගෝලීය ආර්ථික ව්‍යාපෘතිය පෙරට ගනිමින් සිටියි. එපමණක් නොව, ඇමෙරිකානු ආධිපත්‍යය නොසළකා හරිමින් දැවැන්ත ආර්ථික සහයෝගීතා කලාපයන් රුසියාවේ සහ චීනයේ නායකත්වයෙන් බටහිර ආසියාවේ සිට නැගෙනහිර ආසියාව දක්වා රටවල් අතර ගොඩ නැගෙමින් පවතී. රටවල් අතර වෙළඳාමේ දී ඇමෙරිකන් ඩොලරය අත්හැර දැමීමේ වැඩපිළිවෙළක්ද ද චීනය සහ රුසියාව දියත් කර තිබේ. ආසියාවේ ආධිපත්‍ය පිණිස වන අරගලයෙන් තමන් පරාජය වුවහොත් එය තම ගෝලීය අධිරාජ්‍යයේ අවසානය බව වටහාගෙන ඇති ඇමෙරිකාව විසින් චීනය සහ රුසියාවේ බල ව්‍යාප්තිය සීමා කරනු පිණිස හැකි සියළු දෙයක්ම සිදු කරනු ලබමින් සිටින බව පැහැදිලි ය. ඇමෙරිකාව විසින් ක්‍රියාත්මක චීන සහ රුසියන් විරෝධී උපාය මාර්ගික සැලසුම්වල බලපෑමෙන් මිදී සිටීමට ආසියාවේ කිසිදු රටකට හැකියාවක් නැත.
රුසියාව සහ චීනය සමග වර්ධනය වන යුද ආතතීන් හමුවේ ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීමේ උපාය මාර්ගික වැදගත්කම ප්රායෝගිකවම ඇමෙරිකාවට අන් කවරදාටත් වඩා දැනෙමින් පවතී. රුසියාව සහ චීනය වටලා තමන් විසින් ගොඩ නගා ඇති හමුදා කඳවුරු ජාලයට ඉක්මණින්ම ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරාය සහ ගුවන් පථයන් ද එක් කර ගැනීමට එක්සත් ජනපදයට අවශ්‍ය වී තිබේ. එමගින් චීනයේ මුහුදු සේද මාවතේ ප්‍රධාන පුරුකක් ගැලවීමට ඇමෙරිකාවට හැකිවනු ඇත. රටවල ස්වාධිපත්‍යය නොතකා හරිමින් ඇමරිකාව මිලිටරිමය මැදිහත් වීම් සිදු කරනුයේ “ජාත්‍යන්තර ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙනි. දශක එක හමාරකට පෙර ඇමරිකාව අල් කයිඩා නමින් තමන් විසින්ම ගොඩ නගන ලද සංවිධානයකට “එරෙහිව“ යුද්ධයක් දියත් කරන ලද අතර දැන් එය ISIS සංවිධානයට “එරෙහිව“ දියත් වේ. තමන්ට යම් රටකට මැදිහත් වීමට අවශ්‍ය වූ විට අවශ්‍ය තත්ත්වයන් එහි තමන් විසින් ම එහි ගොඩනගා හෝ නැතහොත් එහි පවතින අර්බුද උපයෝගී කොටගෙන සිය කුලී ත්‍රස්ත හේවායන් විවිධ සංවිධාන නම් යටතේ එහි යවන ඇමෙරිකාව ඉන් පසුව ඔවුන්ව මර්දනයට යැයි කියමින් සිය මිලිටරි උපදේශකයන් ද, ගුවන් යානා සහ යුද නැව් ද යවමින්ද ආක්‍රමණය සහ විනාශය ආරම්භ කරයි.
බොදු බල සේනා වැනි සංවිධානයක් ගොඩ නැගීම මගින් එක්සත් ජනපදය සිය කලාපීය මූලෝපායයික සැලසුම් තුළ ඉටු කරගැනීමට අපේක්ෂා කරන කාර්යභාරයක් තිබේද යන්න ගැන විමසීම මීළඟට වැදගත්වනු ඇත. ඇමෙරිකාව සෝවියට් සංගමයේ හමුදාවලට එරෙහිව ඇෆ්ඝනිස්ථානයේ මුජහඩින් කණ්ඩායම් යෙදවීමේ සිට අල්කයිඩා, ISIS ආදි විවිධ නම්වලින් ලෝකය පුරා අන්තවාදී සංවිධාන බිහිකළ බවත් එම සංවිධානවලට ඉස්ලාම් ආගමික මුහුණුවරක් ලබා දුන් බවත් ලෝකයට තවදුරටත් රහසක් නොවේ. මෙවැනි ඉස්ලාම් අන්තවාදී සංවිධානවල බඳවාගැනීම්, පුහුණුකිරීම් සහ සංවිධානය ඇතුළු සියළු මෙහෙයවීම් කටයුතු සිදු කරනුයේ බටහිර ඔත්තු සේවා අංශ හරහා වුව ද කිසියම් රටක් තුළ එවැනි සංවිධානවල පැවැත්මක් සහ ක්‍රියාකාරිත්වයක් මතු කරගත හැකි දේශපාලන පසුබිමක් අවශ්‍ය ය.
අරාබි වසන්තය හරහා ISIS සංවිධානය විසින් සිරියාව ආක්‍රමණය කිරීම
සිරියානු නිදසුන මගින් මෙම තත්ත්වය වඩාත් පැහැදිලි කරගත හැකි ය. සිරියාව 2008 සිට දැඩි නියඟයකින් පීඩා වින්දේය. ගොවිතැන් විනාශ වූ අතර පානීය ජලය පවා නොලැබෙන තත්ත්වයකට ඇතැම් ප්‍රදේශවල ජනතාව ගොදුරු විය. වැසි ජලයෙන් වගා කිරීමට හුරුව සිටි සිරියානු ජනතාවට සිරියානු රජය විසින් හඳුන්වා දුන් වගා ලිං හේතුවෙන් භූ ගත ජලය සිඳී ගියේ යැයි ජනතාව විශ්වාස කළහ. අනෙක් අතට දැඩි නියඟය හේතුවෙන් පීඩා විඳි ජනතාවට නියං ආධාර ප්‍රමාණවත් පරිදි සැලසීමට සිරියානු රජය අසමත් විය. ඒ හේතුවෙන් තැන තැන පැන නැඟුන උද්ඝෝෂණවලට මැදිහත් වූ ඇමෙරිකාව “අරාබි වසන්තය “ සිරියාව තුළටද ගෙන ඒමට එකී අවනතීන් යොදාගත්තේය. ලිබියාවට බටහිර රටවල මැදිහත් වීමෙන් සිදු කළ විනාශය ගැන දැනුවත්ව සිටි සිරියානු ජනතාව සිය දහස් ගණනින් රැස් වී බාහිර මැදිහත්වීම් වලට විරෝධය පළකළ ද ඒ වනවිටත් ඇමෙරිකාව විසින් ඉහත අන්තවාදී සංවිධානවල කුලී හේවායන් යොදවා ඒවා ප්රචණ්ඩ අරගලයක් බවට ක්‍රමානුකූලව පත් කර තිබුනි. අවසානයේදී ඒ වනවිට ඉරාකයේ ඇතැම් ප්‍රදේශවල බලය අල්ලා ගෙන සිටි ISIS සංවිධානය සිරියාව තුළ ඇමෙරිකාව විසින් මෙහෙයවනු ලැබූ කණ්ඩායම් හා එක් වී සිරියාව තුළ දරුණු යුද්ධයක් ආරම්භ කළේය. සිරියාවේ පවතින්නේ සිවිල් යුද තත්ත්වයන් නොවේ. එය ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය ප්රමුඛ බටහිර රටවල් ද, සෞදි අරාබිය, කටාර් වැනි අරාබි රාජාණ්ඩු ද, සයන්වාදි ඊශ්‍රයාලය ද එක්වී සිය කුලී හමුදා යොදවමින් සිදු කරන ආක්රමණයකි. මේ අයුරින් තමන් විසින්ම ගොඩ නගා පෝෂණය කළ ISIS සේනාංකවල ත්‍රස්තවාදය පරාජය කිරීමට යැයි කියමින් එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් සිරියාවට මිලිටරිමය වශයෙන් මැදිහත් විය. මෙහි දී අප විසින් අවධානයට යොමු කරනුයේ සිරියාවට මැදිහත්වීමට අවස්ථාවක් ලබාගැනීම සඳහා ඇමෙරිකාව විසින් “සුදුසු තත්ත්වයන් “ නිර්මාණය කරගත් ආකාරය පමණි.
පිලිපීන අත්දැකීම
නැගෙනහිර ආසියාවේ ඇමෙරිකානු බලපෑමට දැඩි ලෙස යටත් වූ රාජ්‍යයන් අතරින් එකක් ලෙස පිලිපීනය සැලකිය හැකිය. පිලිපීනයේ සුබික් බොක්කේ ඇමෙරිකානු නාවික හමුදා කඳවුර සමස්ත සිංගප්පූරුව තරම් විශාල භූමිභාගයක පැතිර පවතී. චීනය විසින්, දකුණු චීන මුහුද තුළ ස්වකීය මුහුදු සීමාවන් තහවුරු කරනු පිණිස ගොඩ නංවන ලද කෘත්‍රිම දූපත් පිළිබඳ ප්රශ්නය මතුකරමින් ඇමෙරිකාව විසින් චීන බලපෑම සීමාකරනුවස් ඇමෙරිකාව ජපානය, වියට්නාමය, දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, බෘනෙයි, පිලිපීනය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් වලින් සමන්විත යුද දේශපාලන සන්ධානයක් හෙවත් ආසියානු නේටෝවක් ගොඩ නැංවීමට තැත් දරන ලදි. මුලදි පිලිපීනය මෙම සන්ධානයට පක්ෂව සිටියද පිලිපීන ජනාධිපති දුතෙර්තේ පසුව සිය ස්ථාවරය වෙනස් කළේය. ඔහු දැඩි ලෙස ඇමෙරිකාව සහ බටහිර රාජ්‍යයන් විවේචනය කරමින් චීන සහ රුසියන් හිතවාදි ප්‍රවේශයක් කරා යොමු විය. එමෙන් ම චීනයට එරෙහිව ඇමෙරිකානු යුද දේශපාලන සන්ධානයට එක්වනු වෙනුවට චීනය සමග එකඟතාවකින් ප්රශ්නය විසඳා ගැනීම දුතෙර්තේගේ ප්‍රවේශය විය.
දුතෙර්තේ විසින් වරෙක ඇමෙරිකානු හමුදා පුහුණුකරුවන් සහ උපදේශකයන් තම රටින් නෙරපා දමන බවටද තර්ජනය කළේය. ඇමෙරිකාව විසින් මෙය සැළකිල්ලට ගනු ලැබුවේ නැගෙනහිර ආසියාවේ සිය ආධිපත්‍යයට දැඩි තර්ජනයක් ලෙසය. 2017 දී ISIS ත්‍රස්ත සේනාංක හිටිහැටියේ පිලිපීනයෙන් මතුවීම සිදුවිය. මැනිලා නගරයේ ත්‍රස්ත ක්‍රියා සිදුකරමින් ආරම්භ වුණු මෙම මෙහෙයුම පසුව මැයි මාසයේදී මින්දනාඕ හි මරාවි නගරය අත්පත් කර ගැනීම දක්වා ක්ෂණිකව වර්ධනය විය. මරාවි අත්පත් කරගත් ISIS සේනාංක පැරදවීම පිලිපීන හමුදාවන්ට ඉතා දුෂ්කර වූ අතර එය කල් ඇදෙන ගැටුමක් බවට පරිවර්තනය වෙමින් තිබිණි. මෙම මෙහෙයුමට පිලිපීනයේ සුබික් බොක්කේ ලැගුම්ගෙන සිටි අමෙරිකානු නාවික හමුදාව මැදිහත් විය. ඇමරිකන් හමුදාවට මීට මැදිහත් වන ලෙස පිලිපීන සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස තමන් විසින් දැනුම් නොදුන් බව ජනාධිපති දුතෙර්තේ පසුව ප්‍රකාශ කර සිටියේය. ඇමෙරිකාවේ පිලිපීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටියේ පිලිපීන රජයේ ඉල්ලීම මත එම මෙහෙයුමට ඇමෙරිකානු හමුදා සහභාගි වූ බවයි. මෙම මෙහෙයුම්වලින් පසුව ISIS සේනාංක පරාජය කර මරාවි රජයේ පාලනයට නැවත යටත් වූ නමුත් ඉන්පසුව පිලිපීන මිලිටරිය තුළ දුතෙර්තේගේ දේශපාලන අධිකාරය දුර්වල කරමින් සිය අධිකාරය නැවත පිහිටුවීමට ඇමෙරිකාව සමත් විය. ඉන් පසුව සමස්තයක් ලෙස දුතෙර්තේගේ ඇමෙරිකන් විරෝධී ස්ථාවරයන් දුර්වල වූ බව නිරීක්ෂණය කළ හැකිය. එමෙන් ම ඔහුගේ චීන සහ රුසියන් නැඹුරුව ද පසු බෑමකටද ලක් විය.
තමන් විසින්ම දැනටමත් ගොඩනගාගෙන ඇති කුලී හමුදාවන් යොදවාගෙන ලංකාව තුළ යම් ත්‍රස්ත ක්‍රියාවන් සිදු කර “ජාත්‍යන්තර ත්‍රස්තවාදය“ මැඩ පැවැත්වීමට බලය පවරා ගනිමින් තමන් විසින්ම ලියාගෙන ඇති බලපත්‍රය අනුව ලංකාවට මැදිහත්වීමට ඇමෙරිකාවට හැකියාව ඇති නමුත් ඔවුන් සෑම විටෙකම මැදිහත්වන්නේ ඒ සඳහා වඩාත් සුදුසු තත්ත්වයන් ගොඩ නගා ගැනීමකින් පසුව ය. මෙහි දී සුදුසු තත්ත්වයන් ගොඩ නගා ගැනීම අදියර කීපයකින් සිදුවෙමින් පවතී යැයි අනුමාන කළ හැකි ය.
1. බොදු බල සේනාව වැනි අන්තවාදී සංවිධාන ගොඩනගමින් මුස්ලිම් විරෝධී වෛරී මානසිකත්වයක් සිංහල බෞද්ධ බහුතරය තුළ ගොඩනැගීම
2. ඔවුන් මගින් මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා දියත් කරවා මුස්ලිම් සමාජය තුළින් රැඩිකල් ප්‍රතිචාරයක් මතු කරගැනීම. එසේ නැතහොත් මුස්ලිම් සමාජය තමන් මුහුණ දෙන ප්රචණ්ඩ ක්‍රියාවලට ප්රචණ්ඩ ක්‍රියා මගින්ම පිළිතුරු දෙනු ඇතැයි විශ්වාසයක් සිංහල සමාජය තුළ ඇති කිරීම
3. තමන් විසින් ලංකාව තුළ ස්ථාන ගත කරවා ඇති ඉස්ලාම් අන්තවාදී කුලී හමුදා ලවා පූර්වයෙන් සැළසුම් කළ ප්රචණ්ඩ ක්‍රියාවන් (false flag) දියත් කර ඒවා ලාංකික මුස්ලිම් ප්‍රජාව තුළින් ගොඩ නැගුණු ISIS සාමාජිකයන් තුළින් මතුවන ප්රතිචාරයන් ලෙස ප්‍රචාරය කරවා වාර්ගික ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරවීම
4. ISIS ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට යැයි කියමින් ලංකාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ගුවන් තොටුපළවල් සහ වරායන් තුළ ඇමෙරිකන් හමුදාව ස්ථානගත කරවීම
5. ඇමෙරිකානු හමුදා මැදිහත් වීමකට යම් විරෝධයක් පැන නගින්නේ නම් බොදු බල සේනා වැනි සංවිධාන ද, ඒවා හරහා සාම්ප්‍රදායික බෞද්ධ නායකත්වයක් ද යොදවාගනිමින් ඇමෙරිකන් මිලිටරිමය මැදිහත් කිරීමක් සාධාරණීකරණය කිරීම හා ඊට එරෙහි මතුවිය හැකි විරෝධතාවන් ප්රචණ්ඩ බලය යොදමින් යටපත් කිරීම.
ගෝඨාභය සහ බොදු බල සේනාව
අපි දැන් නැවතත් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානය ගොඩ නැගීමට මැදිහත් වූයේ මන්දැයි විමසා බලමු. බොදු බල සේනා සංවිධානය තුළ ජාතික හෙළ උරුමය සංවිධානයෙන් කැඩී ගිය කොටස් පැවතිය ද බොදු බල සේනාව සහ ජාතික හෙළ උරුමය අතරත්, එහි උපත පැවැත්ම සහ විකාශනය අතර බරපතල වෙනස් කම් පවතී. ජාතික හෙළ උරුමය වූ කලී සිංහල ජාතිවාදයේ ස්වාභාවික විකාශනයේ ආන්තික ප්රතිඵලයයි. නලින්ද සිල්වාගේ ජාතික චින්තන මතවාදී ධාරාව තුළ උපත ලද එය ජවිපෙ විසින් දියත් කළ දේශප්‍රේමී අරගලය තුළ සංවිධානාත්මක දේශපාලන ප්රපංචයක් බවට පත්වීමට අවශ්‍ය අත්දැකීම් ලබාගත්තේය. අනතුරුව ජනතා මිතුරෝ, සිංහල වීර විදහන, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය හා සිහල උරුමය ආදි විවිධාකාර සංවිධානාත්මක ආකෘතින් හරහා විකාශනය වෙමින් දෙමළ විරෝධය සිය මතවාදය බවට පත් කරගනිමින් ද, භික්ෂූ දේශපාලනය උපරිමයකට ගෙන එමින් ද පාර්ලිමේන්තුව තුළ විශාල භික්ෂු නියෝජනයක් ලබාගැනීමට සමත් විය. එමගින් බෞද්ධ ආධිපත්‍යය මෙරට ජන ජීවිතයේ සෑම දේශපාලන ක්රියාකාරිත්වයකට යටත් කිරීමට හෙළ උරුමය සමත් විය. හෙළ උරුමය සහ බොදු බලසේනාව අතර දක්නට ඇති වෙනස වන්නේ හෙළ උරුමය තුළ අන්ත ප්රතිගාමී සහ ජාතිවාදී ධාරාවන් අඩංගු වුව ද එහි ස්වාභාවික දේශපාලන විකාශනයක් නිරීක්ෂණය කිරීමට හැකි වීමයි. නමුත් බොදු බල සේනාව එහි සම්භවයේ සිටම කුමන්ත්රණකාරී ස්වාභාවයක් පෙන්නුම් කරන සංවිධානයකි. එහි ඇත්තේ දේශපාලන සංවිධානයක විකාශනයක් නොව, තැන් තැන්වල සිටි විවිධ පුද්ගලයන් රැසක් එක් රැස් කරමින් දියත් කරන ලද රහසිගත මෙහෙයුමක ස්වරූපයකි.
රාජ්‍ය බුද්ධි අංශ විමුක්ති කොටි සංවිධානය සමග යුද්ධය තුළ මෙරට ජන ජීවිතය තුළ සෑම අංශයකට කිඳා බැසීමට තරම් තාක්ෂණිකව සහ පුහුණු පිරිස් බලය අතින් වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. එවැනි තත්ත්වයක් යටතේ ආරක්ෂක අංශවල අවධානයට ලක්නොවී බොදු බල සේනා වැනි සංවිධානයක් ගොඩ නැගීමට නොහැකි ය. එහෙයින් එවැනි සංවිධානයක් ගොඩ නැගීමට අවශ්‍ය බලවේගයන් මුලින්ම සැලසුම් කරනු ඇත්තේ ආරක්ෂක අංශවල අනුග්‍රහය සහිතව එවැන්නක් ගොඩ නැගීමයි. මෙම මෙහෙයුමේ ඇති සංකීර්ණ ස්වභාවය නිසාම රාජ්‍යයේ බලකේන්ද්‍රයේ අනුමැතියකින් තොරව පහල ශ්‍රේණීන්වල බුද්ධි අංශ නිලධාරින් හෝ හමුදා සහ පොලිස් නිලධාරින් පමණක් යොදවා මෙවැන්නක් බිහිකිරීමට හෝ පවත්වාගෙන යාමට නොහැකි ය. එබැවින් මෙම මෙහෙයුම පිටුපස සිටින බලවේගය සේ දැකිය හැකි එක්සත් ජනපදය ඒ සඳහා තමන්ට සිටින සුදුසුම පුද්ගලයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තෝරාගැනීම පුදුමයට කරුණක් නොවේ. පළමුව, ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකි. දෙවනුව, ලංකාවේ සමස්ත ආරක්ෂණ යාන්ත්‍රණයම මෙහෙයවිය හැකි පුද්ගලයා වූයේ ද ඔහු ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් ක්‍රියාකළ සමයේ පවා ආරක්ෂක කටයුතු සම්බන්ධව ගෝඨාභයට ඉහළින් යා හැකි තත්ත්වයක් ඔහු සතුව පැවතියේ නැත. මෙයට අමතරව ගෝඨාභය රාජපක්ෂ තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලය තුළ එක්සත් ජනපදයේ අවශ්‍යතා පරිදි වෙනත් විවිධ රහසිගත මෙහෙයුම්වලට සහාය දැක් වූ පුද්ගලයෙකි. අන් හැම දෙයකටම වඩා ගෝඨාභය රාජපක්ෂව මෙම මෙහෙයුම තුළ තමන්ට අවශ්‍ය පරිදි මෙහෙය විය හැකි යාන්ත්‍රණයක් එක්සත් ජනපදය සතුව තිබිණි.
1. ගෝඨාභය රාජපක්ෂ විසින් නීති විරෝධී ලෙස උපයන ලද ධනය තැන්පත් කර ඇති බැංකු සහ ආයෝජනය කර ඇති ව්‍යාපාර පිළිබඳව ඇමෙරිකානු බුද්ධි අංශ සතුව පවතින තොරතුරු
එක්සත් ජනපදය සතුව ලෝකයේ සියළුම දූෂිත දේශපාලකයන්ගේ පාහේ රහසිගත ගිණුම් සහ පුද්ගලික විස්තර පවතී. බොහෝ විට පොදු දේපල ගසාකමින් ද, කොමිස් සහ අල්ලස් මගින් ද, ඇතැම් විට මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් ද ආදි අයථා ක්‍රම මගින් උපයන ධනය ඩොලර් බිලියන ගණන් ලෝකය පුරා ජාවාරම් කරුවන්ගේ ක්ෂේම භූමි ලෙස ප්‍රසිද්ධ රටවල බැංකුවල තැන්පත් කෙරී ඇත. ඇමෙරිකාවේම ද ඇතැම් ප්රාන්තවලදී ලොවපුරා සිටින දූෂිත දේශපාලනඥයන්ට සහ ජාවාරම්කරුවන්ට එවැනි පහසුකම් සපයා තිබේ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිදු කරන ලද ආයුධ, යුද ටැංකි, සහ ගුවන්යානා ආදිය මිලදී ගැනීමේ දී විශාල වශයෙන් දූෂණ සිදු කළ බව ඒ සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වී ඇති සීමිත තොරකුරුවලින් පවා අපි දනිමු. බලන්න: Rajapaksas Paid US$ 10 Million To A Ghost Company සහ Rajapaksas Siphon Off 18 Billion Dollars
එපමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත වැය ශීර්ෂය යටතේ සිදු කරන වියදම් විගණනයට හෝ පාර්ලිමේන්තු විමර්ශනයන්ට යටත් නොවේ. මේ යටතේ වසර ගණනාවක් පුරා වැය කරන ලද බිලියන සිය ගණනක් මුදල්වලට සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු නොදනී. මෙයට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සේ කුප්‍රකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොමෙලෝ දුමින්ද සිල්වා සමග ගෝඨාභය රාජපක්ෂ අතර පැවැති සමීප සබඳතාව ද කිසිවෙකුට රහසක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ක්‍රියාකළ සමයේ දී හමුදා බුද්ධි අංශ සාමාජිකයන්, විශේෂ කාර්ය බලකා සෙබළුන්, මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ දූෂිත නිලධාරීන් සහ ඝාතන කල්ලි ද යොදවා දුමින්ද සිල්වාගේ තරඟකාරී ජාවාරම්කරුවන් මරා දමා ඒකාධිකාරය දුමින්ද සිල්වාට ලබා දීමට කටයුතු කළේය. එමෙන්ම ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන් සතු බලතල භාවිතා කොට රට තුළට නිර්බාධිත මත් ද්‍රව්‍ය ප්‍රවාහනයකට ඉඩ සලසා දුන්නේය. එමෙන්ම ඔහු යටතේ වූ ඇවන්ගාඩ් සමාගම යටතේ වූ නාවික යාත්‍රා ද ජාත්‍යන්තර වශයෙන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනයේදී උපයෝගී කර නොගත්තේ යැයි සිතීමට ඉඩක්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා හෙළිදරව් වී ඇති කරුණු මගින් නොසපයයි. බලන්න: Sri Lanka probes political links to drug kingpin
මේ අයුරින් අයථා අන්දමින් උපයන ලද ඩොලර් බිලියන ගණන් වන ධනය අහිමි කිරීමේ තර්ජනය යටතේ ඇමෙරිකාවට ඕනෑම රහසිගත මෙහෙයුමක් සඳහා ගෝඨාභය රාජපක්ෂ භාවිතා කිරීම අපහසු නොවනු ඇත.
2. ගෝඨාභය රාජපක්ෂගේ අණදීම් යටතේ සිදු කරන ලද යුද අපරාධ සහ වෙනත් ඝාතන පිළිබඳ එක්සත් ජනපදය සතු සාක්ෂි.
යුද්ධයේ අවසන් අදියරේදී, විධාන වගකීම අනුව ගෝඨාභය රාජපක්ෂ විසින් පුද්ගලිකව වගකිව යුතු යුද අපරාධ ගණනාවක් පිළිබඳ සාක්ෂි එක්සත් ජනපදය විසින් රැස් කරගෙන තිබේ. චන්ද්‍රිකා ඡායාරූප, වෙනත් ඡායාරූප සහ වීඩියෝ, ද, ඇතැම් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ කට උත්තර ද, අපරාධවලට ලක්වූවන්ගේ සාක්ෂි ප්‍රකාශයන් ද, ආදිය ඒ අතර ප්‍රධාන වේ. එක්සත් ජනපදය මෙම සාක්ෂි කිසිවිටෙක අපරාධයට ගොදුරුවූවන්ට යුක්තිය ඉටුකරලීමේ අරමුණ වෙනුවෙන් මුදා හැරිමට කටයුතු නොකරයි. ඒ වෙනුවට අපරාධයට සම්බන්ධ බලගතු පුද්ගලයන් පාලනය කරමින් තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවාගැනීමට අවශ්‍ය වන පරිමාණයට පමණක් ඒවා මුදාහරිමින් පාලනය කිරීමේ උපකරණ ලෙස මෙම සාක්ෂි භාවිතා කරයි.
2015 ජනවාරි 08 වැනි දින එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ පාලනය සඳහා ඊ ළඟට යෝජනා කළ පිරිසට බලය භාරදී සාමකාමී ලෙස ඉවත්වීමට රාජපක්ෂ සමාගමට සිදුවූයේ ද ඔවුන් ගේ ධනය සහ අපරාධ පිළිබඳ එක්සත් ජනපදය සතුව ඇති තොරතුරු විසින් ඇති කළ තෙරපුම විසිනි.
මේ අනුව බලන කල බොදු බල සේනා වැනි සංවිධානයක් ගොඩ නැගීම තුළින් රාජපක්ෂවරුන්ගේ මුස්ලිම් ඡන්ද පදනමට අහිතකර බලපෑමක් එල්ලවීමට ඉඩක් තිබුණ ද ගෝඨාභය රාජපක්ෂට එක්සත් ජනපදය විසින් බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන ගොඩ නගන ලෙස තමන්ට දෙන ලද නියෝග ප්‍රතික්ෂේප කළ හැකි තත්ත්වයක් නොතිබුණේ යැයි සිතන්නට පමණටත් වඩා සාක්ෂි ඇති බව පැහැදිලි ය.☐
(මතු සම්බන්ධයි)
පළමු කොටස: බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා
දෙවැනි කොටස: ගෝඨාභයගේ භූමිකාව කුමක්ද?
තුන්වැනි කොටස: අවි ජාවාරම් සහ බුද්ධානුස්සති භාවනා
සිව්වැනි කොටස:’මුස්ලිම් බිල්ලා’ පිටුපසින් ඇමරිකානු සේනා