පළමු කොටස:බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා

අජිත් සී. හේරත්

2018 මාර්තු 12 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ  වෙබ් අඩවියේ පළ විය.

පළමු කොටස: බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා
දෙවැනි කොටස: ගෝඨාභයගේ භූමිකාව කුමක්ද?
තුන්වැනි කොටස: අවි ජාවාරම් සහ බුද්ධානුස්සති භාවනා
සිව්වැනි කොටස:’මුස්ලිම් බිල්ලා’ පිටුපසින් ඇමරිකානු සේනා

හැඳින්වීම

කොටස් 4කින් සමන්විත මෙම  ලිපිය ලියන ලද්දේ  2018 වසරේ මාර්තු මාසයේදීය. එය ලිවීමේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන්, ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරින් විසින් එක්සත් ජනපදයේ කලාපීය සහ ගෝලීය උපාය මාර්ගික අවශ්‍යතාවන් වෙනුවෙන් මුස්ලිම් අන්තවාදි සංවිධානවල නාමයෙන් බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවක් දියත් කිරීමට සැරසෙමින් සිටින බවට සිදුවෙමින් පවත්නා සංකීර්ණ දේශපාලන ක්‍රියාදාමයන්ගේ තිත් යා කිරීම මගින් නිර්මාණය වූ සමස්ත චිත්‍රය අධ්‍යයනය කිරීම මගින් අපට අවබෝධ වූ හෙයිනි. අපට අවශ්‍ය වූයේ සැලසුම් කෙරෙමින් පවතින්නේ යැයි හැඟුණ මෙම විනාශය පිලිබඳව ජනතාව දැනුවත් කරමින් එය වළක්වාලීමටය.
අප විසින් මෙම ලිපිය තුළ
1. ISIS සංවිධානය පිළිබඳ ආඛ්‍යානය ලංකාව තුළ ගොඩ නැගීමට කටයුතු කරන ආකාරය
2. එම ක්‍රියාදාමයට ලංකාව තුළ සහභාගිවෙමින් සිටින බලවේග කවුරුන්ද යන වග ඔවුන් එයට යොමුවීමට බලපාන ලද හේතුන්
3. මෙම ISIS ආඛ්‍යානය ගොඩනැගීම පිටුපස සිටින ජාත්‍යන්තර බලවේග සහ ඔවුන්ගේ උපාය මාර්ගික අවශ්‍යතා ආදිය පිළිබඳව ජනතාවට හෙළිදරවු කිරීමට උත්සාහ කළෙමු.

ISIS ආඛ්‍යානය ගොඩ නැංවීමේ පියවර සහ ඒවායේ ඉලක්ක අපි පහත පරිදි මූලික වශයෙන් මෙම ලිපිය තුළ ලැයිස්තුගත කළෙමු.

1. බොදු බල සේනාව වැනි අන්තවාදී සංවිධාන ගොඩනගමින් මුස්ලිම් විරෝධී වෛරී මානසිකත්වයක් සිංහල බෞද්ධ බහුතරය තුළ ගොඩනැගීම

2. ඔවුන් මගින් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කරවා මුස්ලිම් සමාජය තුළින් රැඩිකල් ප්‍රතිචාරයක් මතු කරගැනීම. එසේ නැතහොත් මුස්ලිම් සමාජය තමන් මුහුණ දෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලට ප්‍රචණ්ඩ ක්‍රියා මගින්ම පිළිතුරු දෙනු ඇතැයි විශ්වාසයක් සිංහල සමාජය තුළ ඇති කිරීම

3. තමන් විසින් ලංකාව තුළ ස්ථාන ගත කරවා ඇති ඉස්ලාම් අන්තවාදී කුලී හමුදා ලවා පූර්වයෙන් සැළසුම් කළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් (false flag) දියත් කර ඒවා ලාංකික මුස්ලිම් ප්‍රජාව තුළින් ගොඩ නැගුණු ISIS සාමාජිකයන් තුළින් මතුවන ප්‍රතිචාරයන් ලෙස ප්‍රචාරය කරවා වාර්ගික ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරවීම

4. ISIS ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට යැයි කියමින් ලංකාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ගුවන් තොටුපළවල් සහ වරායන් තුළ ඇමෙරිකන් හමුදාව ස්ථානගත කරවීම

5. ඇමෙරිකානු හමුදා මැදිහත් වීමකට යම් විරෝධයක් පැන නගින්නේ නම් බොදු බල සේනා වැනි සංවිධාන ද, ඒවා හරහා සාම්ප්‍රදායික බෞද්ධ නායකත්වයක් ද යොදවාගනිමින් ඇමෙරිකන් මිලිටරිමය මැදිහත් කිරීමක් සාධාරණීකරණය කිරීම හා ඊට එරෙහි මතුවිය හැකි විරෝධතාවන් ප්‍රචණ්ඩ බලය යොදමින් යටපත් කිරීම.

මෙහිදී මෙම ක්‍රියාදාමය සිදුවෙමින් පවතින අදියරයන් මොනවාදැයි අපි ජනතාව වෙත ඉදිරිපත් කරන ලද්දේ ඒ එක් එක් අදියර තුලදී ඒවා හඳුනාගැනීම සහ ඒවාට සහභාගිවීමෙන් වැලකීම, ඒවා ව්‍යාර්ථ කිරීම ආදිය මගින් ජනතාවට සිදුවිය හැකි විනාශය වැලැක්වීමේ අවස්ථාවන් නිර්මාණය වන බැවිනි. උදාහරණයක් ලෙස සිංහල බෞද්ධ ජනතාවට බොදු බල සේනා සංවි‍ධානයේ මුස්ලිම් විරෝධී ප්‍රචාරයන්, උස්ගැන්වීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීම මගින් එම ක්‍රියාදාමයේ ආරම්භයේදීම එය පරාජය කිරීම සඳහා සැළකිය යුතු මැදිහත් වීමක් කරන්නට හැකියාව තිබිණි. පාස්කු ප්‍රහාරය භූ දේශපාලනික වැදගත්කමකින් යුතු එකක් වූ අතර මෙම සාධකය මෙම සිදුවීම් පිළිබඳව කෙරී ඇති බොහෝ විශ්ලේෂණයන් තුළ දක්නට නැත. එකී භූ දේශපාලනික සහ කලාපීය උපායමාර්ගික අවශ්‍යතාවන්ගේ ගැටුම තුළ මෙම ප්‍රශ්නය ඉදිරිපත් නොකරන තාක් කල් එය බෞද්ධ මුස්ලිම් ගැටුමක් ලෙස අර්ථකතනය කරමින් සිදු කෙරෙන නොමග යැවීම් වැළැක්විය නොහැකිය. අවාසනාවකට මෙන් ලංකාවේ සිවිල් සහ දේශපාලන සමාජය මෙම මාරාන්තික වරද සිදුකරන ලද බව දැකිය හැකිය. 2010ට පෙර නොතිබූ මුස්ලිම් විරෝධයක් හිටි හැටියේ පැන නැග්ගේ බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර ඒ සඳහා බලපාන කිසිදු ඓතිහාසික සාධකයකින් තොරවය. සැබැවින්ම එය සිදු වූයේ බොදු බලසේනාව ගොඩනැගීමට සමාන්තරවය.

සාමාන්‍ය සිංහල ජනතාව බහුතරයක් බොදු බල සේනාවේ ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කළ නමුත් ඔවුන් ලද රාජ්‍ය අනුග්‍රහය, මාධ්‍ය විසින් ඔවුන්ව හුවා දැක්වීම, පොලිසිය සහ හමුදා බුද්ධි අංශ වෙතින් ලද සහයෝගය ආදිය හේතුවෙන් තමන්ට ඇත්ත වශයෙන්ම සමාජයෙන් හිමි වූ අනුමැතියට වඩා විශාල ශක්තියක් පවතින බව මවාපෙන්වීමට ඔවුන් සමත් වූහ.
සම්ප්‍රදායික මුස්ලිම් දේශපාලනික සහ ආගමික නායකත්වය බොදු බලසේනාව හරහා ලාංකීය මුස්ලිම් ජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවාගැනීමට විවිධ බලවේගයන් දරන උත්සාහයන් හඳුනාගැනීමට සමත් වූ බව දැකිය හැකිය. කෙසේ වුවද නැගෙනහිර පලාතේ ව්‍යාප්තව පැවැති බුද්ධි අංශ ක්‍රියාකාරකම් විසින් අදාළ මෙහෙයුම් දිගටම පවත්ගෙනයාමට කටයුතු කරන ලද බව පැහැදිලිය.

කෙසේ වුවද 2019 දී පාස්කු ඉරිදා සිය කෘෘර ඉලක්කය සම්පූර්ණ කරගනිමින් ජීවිත සිය ගණනක් බිලිගැනීමට ප්‍රහාරකයෝ සහ ඔවුන්ව මෙහෙයවන ලද බලවේග සමත් වූහ.
මෙවැනි කුමන්ත්‍රණ සැලසුම්කරන්නන් සිය අත්‍යවශ්‍ය දැවැන්ත උපාය මාර්ගික සැලසුම් පිළිබඳව යම් හෙළිදරවු කිරීමක් සිදු වූ පමණින් ඒවා අත්හැර දමන්නේ නැත.

නිවෙසකට යම් හොරෙකු ඇතුළුවන විට අනතුරු ඇඟවීමේ නලාව නාදවුවහොත් ඔහු කරන්නේ නිහඬව ගෙහිමියන්ගේ අවධානය වෙනතකට යොමුකිරීමට කටයුතු කිරීමය. නලාව නාද වීම මගින් සිය සුව නින්දට බාධා වීම ගැන කුපිතවන ගෙහිමියා නිදිමරගාතේම පැමිණ නලාව ක්‍රියා විරහිත කර යළි නින්දට වැටුණහොත් ප්‍රතිඵලය කොහෙත්ම යහපත් එකක් නොවනු ඇත. මෙවැනි හෙළිදරවු කිරීම් සිදුවූ විට කුමන්ත්‍රණකාරි බලවේග මඳක් නිහඬව සිට එකී හෙළිදරවු කිරීම් සම්බන්ධව සමාජ ප්‍රතිචාරය අධ්‍යයනය කරන අතර එයින් ප්‍රමාණවත් බලපෑමක්  සිදු නොවන බවට ඔවුන්ට ඒත්තු ගියහොත්  සිය සැලසුම් ඒ අයුරින්ම හෝ මඳක් වෙනස් කර දියත් කරනු ඇත. සිදුවූයේද එයයි.

අප විසින් 2018 දී කරන ලද මෙම අනතුරු ඇඟවීම මෙන්ම එයට පෙර විවිධ මාධ්‍යවේදීන් කරන ලද අනතුරු ඇඟවීම්ද සමාජය විසින් පොදුවේ නොතකා හැරිණි. මෙහිදී මෙම වගකීම පැවරෙන්නේ සිය එදා වේල ගැටගසා ගැනීම සඳහා පොර බදන දුප්පත් සාමාන්‍ය ජනතාව වෙත නොවේ. එම වගකීම පැවරෙන්නේ සිවිල් සහ දේශපාලන සමාජය වෙතය. මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බලවේගයන්ගේ උපාය මාර්ගික අවශ්‍යතාවන් හඳුනාගෙන ඒවා පරාජය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් සමාජ දේශපාලන බලවේගයක් ගොඩනැගීම ඔවුන් විසින් කළ යුතුව තිබිණි. ඒ වෙනුවට ඔවුන් කළේ යම් ප්‍රචණ්ඩ සිදුවීමක් මුස්ලිම් සමාජයට එරෙහිව සිදුවූ විට එහි සාම සංදර්ශනයක් පවත්වා යළිත් සිය සුපුරුදු නින්දට වැටීමය.
වරින්වර විවිධ පුද්ගලයන් විසින් සිය ජීවිතය පවා අවදානමට ලක් කරගනිමින් කරනලද හෙළිදරවු කිරීම් අවාසනාවන්ත ලෙස නොසලකා හැරුණේ එලෙසය.

2014 ජූලි තරම් ඈත කාලයකදී එවකට එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියාව සිටි මංගල සමරවීර විසින් කර්නල් සුරේෂ් සලේ බොදු බලසේනා සංවිධානයට ආධාර කරන බව හෙළිදරවු කරන ලදි. මංගල සමරවීරගේ මේ හෙළිදරවු කිරීම්වලින් පසු එවකට හමුදා ප්‍රධානි ලුතිනන් ජෙනරාල් දයා රත්නායක විසින් කර්නල් සලේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ පුහුණුවකට යවන ලදි. එමෙන්ම මේ සමගම ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ “මුස්ලිම් ඒකකයේ “ප්‍රධානියා වන මේජර් මොහොමඩ්ද තාවකාලිකව මාරු කරන ලදි. මංගල සමරවීරගේ මෙම අනතුරු ඇඟවීම දේශපාලනිකව වටහා ගන්නට ලංකාවේ සිවිල් සමාජය හෝ විපක්ෂ දේශපාලනික නායකත්වය සමත් නොවිණි. නැතහොත් දැන දැනම නොතකා හැරිණි.

2013 පෙබරවාරි 02 වැනි දින ලංකාඊනිව්ස් වෙබ් අඩවිය විසින් බොදු බල සේනාව ගොඩ නැගීම පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ සහ බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ බව හෙළිදරව් කර තිබේ.

අප මේ ගැන හෙළි කෙළේ අද හෙන්දාවිතාරණ සහ සුරේෂ් සලේ ලවා මෝඩ ගෝඨාභය රාජපක්ෂ කරන්නට යන කුමන්ත්‍රණය හෙළි කිරීමටය. කුමන්ත්‍රණය නම් මුස්ලිම් බෞද්ධ ගැටුමක් නිර්මාණය කිරීමයි. මුස්ලිම් බෞද්ධ ගැටුමක් නිර්මාණය කිරීමට රාජපක්ෂලා වළිකන්නේ හේතු කිහිපයක් මතය. එකක් නම් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඇති මුස්ලිම් විරෝධය පාවිච්චි කරමින් මොවුන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා බොඳ කිරීමට ය. තවත් එකක් නම් කොළඹ අගනගරයේ බහුතරයක් ලෙස සිටින මුස්ලිම් ජනතාව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පළවා හැර කොළඹ සිංහල බෞද්ධ බහුතරයක් ගොඩ නගා ගැනීමට ය. අනෙක් ප්‍රධානතම හේතුව නම් දිනෙන් දින රාජපක්ෂ රෙජීමයට එරෙහිව ගොඩ නැගෙන ජනමතය වෙනත් පැත්තකට යොමු කිරීමය.

මේ සඳහා බෞද්ධ අන්තවාදයක් රටේ නොතිබියදී ගෝඨාගේ මෙහෙයවීම මත බොදු බල සේනා ගොඩනැංවීය. අප පෙර ප්‍රවෘත්තියකින්ද හෙළි කළ පරිදි ඒ සඳහා ඍජු මෙහෙයවීම් ගෝඨාභය විසින් හමුදා සහ නාවික බුද්ධි අංශ නිලධාරීන් හරහා මෙහෙයවනු ලැබේ. ඒ සඳහා අනේක විධ සත්‍ය සාක්ෂි අප සතුය.

රාජ්‍ය බුද්ධි සේවාවටත් (එස්අයිඑස්) හොරෙන් පසුගියදා යුද හමුදා බුද්ධි අංශයේ සහ නාවික හමුදා බුද්ධි අංශයේ සීමිත නිලධාරීන් පිරිසක් සමග ගෝඨා විසින් කරන ලද සාකච්ඡාවකදී ගෝඨා ප්‍රකාශ කර ඇත්තේ ‘දැන් බුද්ධාගමේ පැත්ත ඉවරයි. මුස්ලිම් පැත්තෙන් පටන් ගත යුතුයි’ යන්නයි. ඉන් අදහස් කෙරී ඇත්තේ බොදු බල සේනා වැනි බුද්ධාගමේ අන්තවාදීන් ගොඩ නගා අහවර බවයි. බොදු බල සේනාවේ ගෝඨාගේ පිරිස පවසන්නේ බොදුබල සේනාවේ මරාගෙන මැරෙන පිරිස් පවා සිටින බවයි. සැලසුම අනුව මුස්ලිම් පාර්ශවයෙන් ද බොදු බල සේනා වැනි සමාන දැඩි ප්‍රචන්ඩත්වයක් නිර්මාණය නොවූ බැවින් ගැටුමක් ආරම්භ කිරීමට නොහැකි වී ඇත. ඒ නිසා යුද හමුදා බුද්ධි අංශයට උඩින් පාත් කළ අධ්‍යක්ෂ මිනීමරු සලේ ලවා කරන්නට යන්නේ මුස්ලිම් පාර්ශවයේ ප්‍රචණ්ඩත්වය නිර්මාණය කිරීමයි.
දැන ගන්නට ඇති පරිදි මුස්ලිම් වෙසින් බෞද්ධයන්ට ප්‍රහාරයක් සිදුකොට දැනට නලියමින් තිබෙන ජාතිවාදය අසුරු සැනින් ඇවිලීමේ සූදානමක් ඇත.

Lankaenews-බෞද්ධ-මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීමට ගෝඨා හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස නුසුදුසු මුස්ලිම් ජාතික කර්නල් සලේ පත් කරයි..!

මීලඟට 2015 දී සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් ISIS සංවිධානය ලංකාවට ප්‍රහාරයක් එල්ලකරන්නට යන්නේ යැයි වාර්තා කර තිබිණි.

එමෙන්ම 2017 ජූලි මස ලංකාදීප පුවත්පතේ දයාසීලි ලියනගේ පළකර තිබූ පුවතකට අනුව රත්මලාන ගුවන් තොටුපොළෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා ISIS සංවිධානය කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස ඇමරිකානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ වෙසෙන ISIS ත්‍රස්තවාදීන් පිළිබඳව වහාම සොයා බලා පියවර ගන්නා ලෙසටද දන්වා ඇත.
කෙසේ වුවද දයාසිලී ලියනගේ පුවත හමුදාපතිවරයා මෙන්ම එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ ද ඇමෙරිකාව විසින් සිදුකළ එවැනි අනතුරු ඇඟවීමක් ගැන තමන්ට දැනගන්නට නැතැයි පවසමින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඇතැම් විට ලංකාදීප පුවත්පතේ පළ වූ මෙම පුවත රට තුළ ISIS ත්‍රස්තවාදීන් පිළිබඳ ආඛ්‍යානය සාමාන්‍යකරණය සඳහා දියත් කරන ලද මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් වන්නටද ඉඩ තිබේ. නැතහොත් රට තුළ යම් බිහිසුණු දෙයක් සිදුකිරීමේ සැලසුමක් ඇති බව වටහාගත් ඇතැම් ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ වල පහළ ශ්‍රේණියක නිලධාරියෙක් එය ව්‍යාර්ථ කිරීමේ අරමුණෙන් එය ලංකාදීප පුවත්පතට ලීක්කරන්නට ඇත. මෙවැනි ලීක් කිරීම්වලදී ඔවුන් ඇත්ත හා බොරුව මිශ්‍ර කරන්නේ එම පුවතේ ප්‍රභවය තමන් බව හෙළිදරවු වීම වැළැක්වීම සඳහාය.
කෙසේ වුවද 2019 පාස්කු ප්‍රහාරය යනු හිටි හැටියේ කඩා පාත්වූ අනපේක්ෂිත දෙයක් නොවන බව මෙම හෙළිදරවු කිරීම්වලින් පැහැදිලි වේ.

නමුත් අප මුලින් ද අවධාරණය කළ පරිදි ලංකාවේ සිවිල් සමාජයේ බුද්ධිමතුන් හෝ විපක්ෂ දේශපාන නායකයන් හෝ ජනමාධ්‍යවේදීන් බහුතරයක් හෝ මෙම සිදුවීම් අතර සම්බන්ධය දකින්නට අසමත්වීම හේතුවෙන් ඒවා සම්පූර්ණයෙන්ම නොතකා හරින ලදි.

 

‍මෙම ‍කොටස   2018 මාර්තු 12 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ  වෙබ් අඩවියේ පළ විය.

ඉකුත් සතියෙන් ඇරඹී මහනුවර ප්‍රදේශයේ දී ද රටේ වෙනත් ප්‍රදේශවලද මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වන ප්‍රචණ්ඩ ක්‍රියාදාමය වූ කලී කාලයක් තිස්සේ විවිධ අවස්ථාවල මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් සංවිධිතව ක්‍රියාත්මක වූ සාපරාධී ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙන යෑමක් මිසෙක අහම්බ සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස සැළකිය හැකි නොවේ. මහනුවර සිදුවීම්වලට දින කීපයකට පෙර අම්පාරේ දී ද මුස්ලිම් ආපන ශාලාවක් විසින් “සිංහලයන්ට වඳ පෙති ලබා දෙන්නේ” යැයි කියමින් සංවිධානාත්මක පිරිසක් එවැනි ම ගැටුමක් ඇති කර ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන ලදි. බොදු බල සේනාව නමින් ක්‍රියාත්මක වන රජයේ හමුදා බුද්ධි අංශ විසින් මෙහෙයවනු ලබන කණ්ඩායම මෙම ප්‍රචණ්ඩ ක්‍රියාදාමයේ පාබල සේනාංකය වෙයි. මෙම සංවිධානයට අයත් පිරිස් වෙනත් විවිධ නම් යටතේ ද ක්‍රියාත්මක වන අතර රාවණා බලය, සිංහලේ, මහසෝන් බලකාය යනාදිය ඉන් කීපයකි.

මීට මාස කීපයකට පෙර මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළුණු ගලගොඩඅත්තේ ඥානසාර අත් අඩංගුවට ගැනීමට දියත් කරන ලද නාටකය බුද්ධි අංශවල මැදිහත්වීමෙන් සිදු වූ ඔහුගේ නිදහස් වීමෙන් පසුව විගඩමක් ලෙස අවසන් විය. ඔහු සෑම විටෙකම මාස කීපයක නිහැඬියාවකින් පසුව නැවත වඩාත් වෛරී මුස්ලිම් විරෝධයකින් යුතුව කරළියට පැමිණීම නිතර සිදුවන දෙයකි.

ඥානසාර මුදාහැරීම

සැඟවී සිට ගත කළ කෙටි කාලයට අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවත, අස්ගිරිය මහනායකගේ සහ ප්‍රවීණ නීතිඥවරුන්ගේත් රැකවරණය සහ සහතිකය මැද උසාවියට ඉදිරිපත් වී තමන්ට එරෙහිව පැවරී තිබූ නඩු ගණනාවක් සම්බන්ධයෙන් ඇප ලබා ගැනීමටත්, නිකුත්කරන ලද වරෙන්තු අහෝසි කරවා ගැනීමටත් සමත් විය. මේ නඩු සියල්ල පැවරී තිබුනේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් සහ මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරී සහ ද්වේශ සහගත ප්‍රකාශයන් පිළිබඳව ය. පොලීසිය ඥානසාරට ඇප ලබාදීම සඳහා කල් තබා සුදානම් කරන ලද නාටකයක් උසාවිය හමුවේ රඟ දැක් වූ බව පැහැදිලි ය. පොලිසිය එය සිදු කළේ අදාළ වාර්තා නිසි පරිදි ඉදිරිපත් නොකිරීම මගින් සහ ඇප ලබා දීමට එරෙහි නොවීම මගිනි.

ගලගොඩඅත්තේ ඥාණසාර

කෙසේ වුව ද විවිධ සිදුවීම් හරහා ඇදී ගිය මෙම ඥනසාර කෝලම නිමාවූයේ ඥානසාර සහ ඔහු නියෝජනය කළ මුස්ලිම් විරෝධී බලවේගය දේශපාලනිකව රටතුළ වඩාත් බලවත් කරමින් බව පැහැදිලි ය. ආරම්භයේදී හුදු මැර භික්ෂු කල්ලියක් ලෙස පෙරට ආ බොදු බල සේනාව මෙම සිදුවීම් ද සමග අස්ගිරි නිකාය වැනි සාම්ප්‍රදායික වැඩවසම් බෞද්ධ ආයතනවල ද, රජයේ අධිකරණ ඇමැතිවරයාගේ ද විවෘත සහාය තමන්ට ඇති බව ප්‍රදර්ශනය කරමින් තම තත්ත්වය දේශපාලනිකව තහවුරු කර ගැනීමට සමත්ව තිබේ. අධිකරණ වරෙන්තුවලින් බේරි සැඟවෙමින් පලායමින් සිටී අපරාධකරුවෙකුගේ තත්ත්වයේ සිට ඥානසාර එක්වරම ජාතික වීරයෙකුගේ තත්ත්වයට පත් වූ අතර සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී නීතිඥ ලක්ෂාන් ඩයස්ව “ජාතියෙන් සමාව ගත යුතු අපරාධකරුවෙකුගේ” තත්ත්වයට ඇද දැමීමට හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසින් උත්සාහ දැරිණි. දැන් නැවතත් කිසිදු බාධාවකින් තොරව ජනමාධ්‍ය භාවිතා කරමින් සිය වෛරී ව්‍යාපාරය ගෙන යාමට ගලගොඩඅත්තේ ඥානසාරට හැකියාව ලැබී තිබේ.

මෙම සිදුවීම් මාලාව විසින් මෙරට මුස්ලිම් ප්‍රජාවට දෙනු ලැබූ පණිවිඩය කුමක් ද? ප්‍රචණ්ඩ බෞද්ධ අධිපතිවාදය හමුවේ සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යය අසමත් බව හෝ නැතහොත් එයට ඒ සඳහා අවශ්‍යතාවක් නොමැති බව නොවේද?

ගලගොඩඅත්තේ ඥානසාර සහ සෙසු චීවරධාරී මැරයන් පිටුපස සිටින බලවේගය කුමක් වුව ද එය විසින් ඔවුන් මගින් ඉටු කරගැනීමට අපේක්ෂා කරන ලද්දේ මෙම තත්ත්වය ගොඩ නැගීම බව පැහැදිලි ය. 2008/2009 කාල වකවානුවේ සිට රට තුළ ක්‍රමානුකූලව මුස්ලිම් ප්‍රජාවට එරෙහි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බොදු බල සේනාව විසින් සිය වෛරී ප්‍රචාරයන් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් මගින් සිංහල බෞද්ධ සමාජය මත දේශපාලනික තත්වාරෝපණ ක්‍රියාවලියක් දියත් කරනු ලැබිණි. මෙය එක්තරා ආකාරයක මනෝ විද්‍යාත්මක මෙහෙයුමක් වූ අතර එහි අවසන් ඉලක්කය වූයේ මුස්ලිම් සමාජය තුළින් ප්‍රචණ්ඩ බලවේගයක් ඉදිරියට ගැනීමේ තර්කයට දේශපාලන පදනමක් සැපයීම ය. කෙසේ වුවද මේ දක්වා කවර තත්ත්වයන් යටතේ වුව මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් ආගමික සහ දේශපාලන නායකත්වය මෙම උගුළට හසු කර ගැනීමට බොදු බල සේනාව පිටුපස සිටින මෙම බලවේගය අසමත් විය. එහෙත් මෙම අඩුව සපුරාගැනීමට අවශ්‍ය “ආරම්භක ජවය” ලබාදෙනු වස් මෙම සිංහල ජාතිවාදි බොදු බල සේනාව සහ වෙනත් එවැනි කණ්ඩායම් මෙහෙයවන ගෝඨාභය රාජපක්ෂ සහ බුද්ධි අං‍ශ නිලධාරින් විසින් ම අනෙක් අතට අන්තවාදි මුස්ලිම් සංවිධාන ද ගොඩ නංවමින් සිටී.

මුස්ලිම් විරෝධය ස්වකීය දෘෂ්ටිවාදය බවට පත් කරගත් බොදුබල සේනාවේ ප්‍රචණ්ඩ ක්‍රියාකාරීත්වය විසින් මෙරට මුස්ලිම් ජනයාගේ සංස්කෘතික, ආර්ථික, සහ දේශපාලන ජිවිතයේ සෑම අංගයකටම එරෙහිව දැඩි පීඩනයක් එල්ල කර තිබේ. බොදු බල සේනාව විසින් මතු කරන මෙම මුස්ලිම් විරෝධය ලංකාවට පමණක් අදාළ සුවිශේෂ ආර්ථික දේශපාලන සහ සමාජයීය හේතුන් මත බිහි වූ දේශපාලනික ප්‍රපංචයක් ද? මේ වනවිට ජාත්‍යන්තරව දැඩි ලෙස ව්‍යාප්තව ඇති මුස්ලිම් විරෝධී ව්‍යාපාරය සහ ලංකාවේ මෙම මුස්ලිම් විරෝධී ව්‍යාපාරය අතර සම්බන්ධයක් තිබේද? බොදු බල සේනාව පිටුපස සිටින බලවේගය කුමක් ද? එහි අවශ්‍යතාවන් මොනවාද? මෙම ප්‍රවණතාව කිසියම් භූ දේශපාලනික උවමනාවක් ඉටු කරගැනීම සදහා යම් බලවේගයක් විසින් සැලසුම් සහගතව දියත් කරන ලද්දක් ද? බොදු බල සේනාවේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ සැබෑ අරමුණු වටහාගැනීමට මෙම ප්‍රශ්නවලට මූලික වශයෙන් පිළිතුරු සපයාගත යුතු ය.

පළමුව රට තුළ මෙම සංවිධානයේ ක්‍රියාකාරීත්වයන් මෙහෙයවන පුද්ගලයන් සහ ආයතන මොනවාදැයි දැයි විමර්ශනය කිරීම වැදගත් ය. පසුගිය කාලය පුරාම විවිධ මාධ්‍යවලින් ඔස්සේ හෙළිදරවු වී ඇති කරුණු සම්පිණ්ඩනයක් කිරීම මගින් සියයට සියයක් සම්පූර්ණ නොවුවද, ප්‍රමාණවත් අවබෝධයක් ලබාගත හැකි ය.

බොදු බල සේනා රංගනයේ අධ්‍යක්ෂවරුන්, තිර රචකයන් සහ නළුවන්

බොදු බලසේනාවේ මතුපිට ක්‍රියාකාරිත්වයට නායකත්වය සපයනු ලබන්නේ මූලික වශයෙන්ම අන්තවාදී භික්ෂූන් පිරිසකි. ඔවුන්ගෙන් බහුතරය කලින් ජාතික හෙළ උරුමය තුළ සහ ඉන් කැඩී ගිය ‘සිංහල රාවය’ වැනි සංවිධානවල ආගම්වාදී සහ ජාතිවාදී දේශපාලනයේ නිරත වූවන් ය. සැබැවින්ම ගත් කළ ගලගොඩඅත්තේ ඥානසාර සහ සෙසු භික්ෂූන් වූ කලී දැවැන්ත කුමන්ත්‍රණකාරී සංවිධානයක පහළම ස්ථරයයි. ඔවුන් ජාතික නායකයන් ලෙස මවා පෑමට සිදු කරන මාධ්‍ය මෙහෙයුමේ අරමුණ කුමක් වුවත්, ඔවුන් ඇතැම්විට ඔවුන්ව ද නොදන්නා අධ්‍යක්ෂවරයෙකු විසින් සකස් කරන ලද තිර රචනයකට අනුව බාල මැර රංගනයක යෙදෙන කහකඩ නළුවන් පිරිසක් පමණි.

ඩිලන්ත විතානගේ

එහෙත් මෙහි බොහෝ කටයුතු සංවිධානය කරන සහ සම්බන්ධීකරණය කරනු ලබන ඩිලන්ත විතානගේ නැමැත්තාට මෙම මෙහෙයුම සහ එහි අරමුණු පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොතිබීමට ඉඩක් නැත. ඩිලන්ත විතානගේ තොරතුරු තාක්ෂණය පිළිබඳව විශේෂඥයෙකු වන අතර චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන සමයේ දී තොරතුරු තාක්ෂණ විෂය ප්‍රචලිත කිරීමෙහිලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තාරා ද මැල් යටතේ දියත් වූ විවිධ ව්‍යාපෘති ගණනාවක කටයුතු කර තිබේ. මුස්ලිම් විරෝධය අන්තර්ජාලය තුළ සමාජ ජාලා හරහා ප්‍රචලිත කිරීමට දියත් වූ ව්‍යාපෘති ඔහුගේ මෙහෙයුමෙන් ආරම්භ වූ ඒවා විය. ගෝඨාභය රාජපක්ෂ යටතේ නාවික හමුදාවේ ඇතැම් පිරිස් විසින් දියත් කරන ලද මුස්ලිම් විරෝධී අන්තර්ජාල ව්‍යාපෘතින්ට ද මොහු දායක වී තිබේ. මොහුගේ ඊශ්‍රායෙල් සබඳතා පිළිබඳව මාධ්‍ය විසින් කරන ලද හෙළිදරවු කිරීම් මොහු විසින් ප්‍රතික්ෂේප කර ඇති මුත්, මෙම බොදු බලසේනා සංවිධානයේ මුස්ලිම් විරෝධී කුමණ්ත්‍රණකාරි වැඩ පිළිවෙළ වඩාත් විශාල ගෝලීය පසුබිමක සථානගත කළවිට එම ඊශ්‍රායෙල් සබඳතා පිළිබඳ සාධකය එතරම් පහසුවෙන් නොතකා හැරිය එකක් නොවන බව පෙනී යනු ඇත.

ශ්‍රී ලංකාවේ බොදු බල සේනා නම් සංවිධානය බිහිකළ පුද්ගලයන් විසින් ඉන්දියාවේ සිව සේනා සහ රාෂ්ට්‍රීය ස්වායම් සේවක් සංග් ආදී දක්ෂිණාංශික හින්දුත්වවාදී සංවිධාන මොඩලයක් ලෙස අනුකරණය කර ඇති බව පැහැදිලි ය. ඊශ්‍රායලය විසින් ඉන්දියාවේ ඉහත කී හින්දුත්වවාදී දක්ෂිණාංශික දේශපාලන පක්ෂ සහ සංවිධාන ගොඩ නැගීමෙහිලා සිදුකර ඇති කාර්යභාරය සහ බුරුමයේ මුස්ලිම් විරෝධී මිලිටරි හුන්ටාව සහ ඊශ්‍රයාලය අතර පවතින සබඳතා ගැන මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ සටහන් කර තිබේ.

“බීජේපී ය මුස්ලිම් විරෝධී හින්දු අන්තවාදී පක්ෂයක් ලෙස පිහිටු වන්නට RSS නායකත්වය තීන්දු කළ විට, ඊට ඊශ‍්‍රායල් අරමුදල් ලැබිනැයි, විජේ ප‍්‍රශාද් ඔහුගේ ‘‘නමස්තෙ ෂැරන් – එක්සත් ජනපදයේ ආධිපත්‍ය යටතේ හින්දුත්ව සහ ෂැරන්වාදය’’ නම් ලිපියෙහි සඳහන් කර ඇත. හින්දුත්ව සංවිධානවලට මෑතක ලැබුණු අරමුදල් පිළිබඳ තොරතුරු නව දිල්ලියේ දෙසතියකට වරක් ප‍්‍රකාශයට පත් කෙරෙන ‘‘මිලී ගැසට්’’ ප‍්‍රකාශනයේ 2009 දෙසැම්බර් පළමු කලාපයෙන් හෙළි කර තිබේ. ඉන්දියානු තොරතුරු අමාත්‍යාංශයේ 2008 වාර්තාව උපුටා දක්වමින් එහි සඳහන් කර තිබූණේ හින්දුත්ව සංවිධාන වෙත රුපියල් කෝටි 7,877 ක් විදේශයන්ගෙන් ලැබුණු බව ය. එම මුදල් ඊශ‍්‍රායලයෙන් කෙලින්ම නොපැමිණි අතර, ඒවා යුරෝපයේ වෙනත් අතරමැදි සංවිධාන හරහා බැර කර ඇතැයි වාර්තා විය.

“එලෙසින්ම, බුරුමයේ බොදු බලය අතිශය මෘග ලෙස මුස්ලිමුන්ට එරෙහිව මෙහෙ‍ෙවන තරුණ ථෙරවාදී භික්ෂුවක් වන අස්වින් විරාතු ගේ අමුතු මාදිලියේ නමක් ඇති ‘‘969’’ සංවිධානයට ද මොසාඩ් ආධාර ලැබී ඇතැයි වාර්තා වී ඇත. 2008 දී ඇමෙරිකානු මැදිහත් වීමක් සමගින් බුරුමයේ ඇතිවූ හමුදා පාලනයේ සම්මුතිවාදී ප‍්‍රජාතන්ත්‍රීයකරණයට අලූත් සිවිල් අර්ථ කථනයක් දීමේ දී ඊශ‍්‍රායලය ද හවුල් විය. අල් ජසීරා රූපවාහිනිය සඳහා 2013 දෙසැම්බරයේ දී ෆ‍්‍රැන්සිස් වේඩ් විසින් බුරුමය ගැන කළ ගවේශනාත්මක ආවරණයකට අනුව, ‘‘කවුරුන් ඇත්තටම පිටුපස ඉන්නේ දැයි පැහැදිලි නැති මුත්, මුස්ලිම් විරෝධී ජනප්‍රිය ‘‘969’’ ව්‍යාපාරයේ ආරම්භය හමුදා ජුන්ටාවෙහි ආගමික කටයුතු ඇමති දක්වා දිව යන්නේ ය. නමුත් ‘‘969’’ පොදු මතවාදය, වත්මන් ආණ්ඩුවෙහි ද ඉතා ජීවමානව පවතින්නකි.’’ ඒ හමුදා ජුන්ටාව හා ඊශ‍්‍රායලය ඉතා සමීප සම්බන්ධයක් තවමත් පවත්වයි.

“වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ‍්‍රායලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, ‘‘969’’ ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදය ගැන කිසිවක් කතා නොකරන බවත් එවගේම ඇත්තකි.” (හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය – කුසල් පෙරේරා)

විරතු සහ ඥාණසාර

අස්වින් විරාතු බුරුම භික්ෂුව සහ ඔහුගේ 969 බෞද්ධ ෆැසිස්ට්වාදී අනුගාමිකයන් පිරිසක් 2014 සැප්තැම්බරයේදී බොදු බල සේනා සංවිධානයේ ආරාධනයක් මත ශ්‍රී ලංකාවේ බෞද්ධ සමුළුවකට සහභාගීවීමට පැමිණියහ. මෙම සමුළුවේ අරමුණ වන්නේ “බෞද්ධ මූලධර්ම මත පදනම් ව සුළුතර ප්‍රජාවන්හට සිංහලයන් සමග සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම බව” බොදු බල සේනාවේ නායකයෙකු වූ ඩිලන්ත විතානගේ ප්‍රකාශ කළේය. බුරුමයේ මුස්ලිම් සංහාරයේ අධ්‍යාත්මික උපදේශකයන් වූ ඉහත ෆැසිස්ට්වාදී බුරුම භික්ෂූන්ගේ පැමිණීමෙන් ලංකාව තුළ ජාතීන් සහ ආගම් අතර ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි යැයි පවසමින් ඔවුන්ට රටට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ලංකාවේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි නායකයන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීම නොතකා හැරිණි.

2017 ජූනි 06 දින බොදු බල සේනාවේ ඩිලන්ත විතානගේ විසින් සංවිධානය කරන ලද පුවත් පත් සාකච්ඡාවක සහභාගි වූ හින්දු සම්මේලනයේ සභාපති ආර්. අරූන්කාන්තන් බොදු බලසේනා සංවිධානය හින්දු ආගමික ස්ථානවලට පහර දෙන්නේ යැයි යන ප්‍රචාරය ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම ඔහු ස්වාමි විපුලානන්දන් ගැන පොතක් පළ කිරීමට ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් සහාය දුන් බවද ප්‍රකාශ කළේය. මෙමගින් ඉතා වැදගත් කරුණක් හෙළි වේ. එනම් ලංකාවේ හින්දු ආගමික සංවිධාන සමග සබඳතා පැවැත්වීමට බොදු බල සේනා සංවිධානය දක්වන උනන්දුවයි. ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රතිගාමී බෞද්ධ සහ හින්දු බලවේග උසිගැන්වීමට බොදු බලසේනාව හරහා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ක්‍රියාත්මක වෙමින් සිටින බවට මෙය සාධකයකි. බොදු බල සේනාවේ නෝර්වේ සංචාරයේදී නෝරවේ රජයේ අනුග්‍රහය සහිතව ඔවුන් විසින් දෙමළ ජාතිකයන් පිරිසක් මුණ ගැසීමේ අරමුණ ද ලංකාවේ දෙමළ සමාජය තුළින් ඉන්දියාවේ රාෂ්ට්‍රීය ස්වායම් සේවක් සංග් (RSS) හෝ සිව සේනා (SS) වැනි අන්ත ප්‍රතිගාමී ආගම්වාදි සංවිධාන බිහිකිරීමට සහාය ලබාගැනීමට විය හැකි ය. මෙමගින් දෙමළ දේශපාලනය මුළුමණින්ම ආගමික අන්තවාදයකට නැඹුරු කරමින් විමුක්ති කොටි සංවිධානය විසින් පෙරට ගෙන ආ අනාගමික සහ සමාජවාදී ප්‍රවණතාවන් විනාශ කිරීමට එමගින් අධිරාජ්‍යවාදී බලවේගයන්ට හැකියාව ලැබෙනු ඇත. අනෙක් අතට ඇමෙරිකාවේ උනන්දුව හිමිව ඇති ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත නැගෙනහිර පළාත තුළ සැළකිය යුතු දෙමළ ජනගහනයක්ද ජීවත් වේ. ඒ හේතුවෙන් ඒ ප්‍රදේශ තුළ ගැටුම්කාරී තත්ත්වයන් තීව්‍ර කිරීමට සැලසුම් කරන යමෙකු, ප්‍රතිගාමී බෞද්ධ ආගම්වාදින් පමණක් නොව, හින්දු ආගමික අන්තවාදින් ද යොදාගැනීමට කල්පනා කිරීම ස්වාභාවික ය.

ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා ගොඩනැගීමට මැදිහත් වූයේ ඇයි?

ගෝඨාභය රාජපක්ෂ බොදු බලසේනාවේ “ගෝඩ් ෆාදර්“ බවට එහි ආරම්භක යුගයේ සිටම බොහෝ දෙනා විශ්වාස කළහ. ඒ සඳහා ප්‍රතික්ෂේප කළ නොහැකි සාධක පවතී. කෙසේ වුව ද බොදු බල සේනාව විසින් සිදු කරන ලද මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ද, එයට ගෝඨාභය විසින් දක්වන ලද අනුග්‍රහය ද හේතුවෙන් මහින්ද රාජපක්ෂට මුස්ලිම් ජනයාගේ ඡන්ද අහිමි වීම ද ඔහුගේ පරාජයට බලපෑවේය යන කරුණ බැහැර කළ නොහැකි ය. එසේ නම් ගෝඨාභය බොදු බල සේනා සංවිධානය ගොඩ නැගීමට මැදිහත්ව ඇත්තේ සරල මැතිවරණ දේශපාලන ගණන් බැලීමක් මත පදනම්ව නොවන බව පිළි ගැනීමට සිදු වේ.

ගලගොඩඅත්තේ ඥාණසාර, විතාරන්දෙණියේ නන්ද හා ගෝඨාභය රාජපක්ෂ

පළමුව විමර්ශනය කළ යුත්තේ එවැනි මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම ඔහුට කිසියම් පුද්ගලික දේශපාලන ව්‍යාපෘතියක් ඉදිරියට ගැනීමට වාසි සහගත තත්ත්වයක් උදා කර ගැනීමට ඉඩ තිබුනේ ද යන්න ය. මැතිවරණ ක්‍රියාදාමයක් තුළ නම් එවැන්නකින් ඔහුට වාසි සහගත තත්ත්වයක් අත්වීමට ඉඩක් නොතිබුණ බව මහින්ද රාජපක්ෂට ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේදී එය අවාසි සහගත ලෙස බලපෑමෙන් සනාථ වේ. එසේ නම් ඔහු බොදු බල සේනා මගින් මුස්ලිම් විරෝධී ආගමික ගැටුම් අවුළුවා එම තත්ත්වය උපයෝගී කරගෙන හමුදා ආණ්ඩුවක් පිහිටුවා බලය අතට ගැනීමට සැලසුම් කළේද? එවැන්නක් ඔහුගේ අරමුණ වූයේ යැයි සිතීමට පිටුබලය සපයන ප්‍රබල සාධක නැත. රාජපක්ෂ රජය තුළ ඔහුගේ තත්ත්වය ඇතැම් ක්ෂේත්‍රයන්හිදී ජනාධිපති මහින්ද රාජපක්ෂට ද වඩා ශක්තිමත්ව තිබිණි. එමෙන්ම විමුක්ති කොටි සංවිධානය විනාශ කර දැමීමට ඔහු විසින් ඉටු කළ කාර්යභාරය හේතුවෙන් ඔහුට සිංහල සමාජය තුළ මහින්ද රාජපක්ෂට ද වඩා පිළිගැනීමක් තිබිණි. සැබැවින්ම රාජ්‍ය නායකත්වයට ඔහු සිටියේ පියවර කීපයක් පිටුපසින් පමණි. ශ්‍රීලනිපයේ මෙන්ම එජාපයේ ද දේශපාලනඥයන් ඔහු කෙරෙහි දැක්වූයේ බියසුළු පක්ෂපාතිත්වයකි. මීළඟ ජනාධිපතිවරණය සඳහා ඔහුව යෝජනා කරන බලවේග ද පක්ෂය තුළ ශක්තිමත් වෙමින් පැවතුණි. ඒ අයුරින් වඩාත් පහසු ක්‍රම මගින් මීළඟ ජනාධිපතිවරයා විය හැකිව තිබියදී එතරම් සුරක්ෂිත නොවන ක්‍රියාමාර්ගයකට ඔහු යොමුවේ යැයි සිතීමට අපහසු ය. එසේ නම් සිය සොහොයුරා ද බලයෙන් ඉවතට විසිවීමට සිදුවන පරිදි බල පෑ හැකි සහ එමගින් තමන්ට ද හානිකර අන්දමින් බලපාන බොදුබල සේනා මෙහෙයුමට ඔහු යොමු වූයේ මන්ද? මෙහිදී එළැඹිය හැකි එකම නිගමනය කිසියම් බාහිර බලගතු බලවේගයක අවශ්‍යතාව මත ඔහු බොදු බල සේනා වැනි සංවිධානයක් ගොඩ නැගීමට දායක වූයේ යන්න පමණි.

බොදු බල සේනාව පිටුපස බාහිර බලවේගයක්?

මෙම බලවේගය කුමක්ද? ශ්‍රී ලංකාව කෙරෙහි බල පෑ හැකි එවැනි බලවේගයන් නම් ඉන්දියාව, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි. චීනය මේ වනවිටත් රාජපක්ෂ පාලනය සමග දැඩි සබඳතා ගොඩ නගා ගෙන තිබිණ. එක්සත් ජනපදය විසින් ප්‍රකාශිත “දැඩි අවධානය” මෙන්ම ඉන්දියාවේ සෘජු විරෝධය ද නොතකා රාජපක්ෂ විසින් චීන සබ්මැරීන හා යුද නෞකාවන් වෙත නිරතුරුව ලංකාවේ වරායන් අසල ලැගුම් ගැනීමට සහ ප්‍රවිෂ්ට වීමට ඉඩ සළසා තිබිණ. අනෙක් අතට චීනයේ ‘මුහුදු සේද මාවත ව්‍යාපෘතිය’ තුළ ලංකාවේ හම්බන්තොට සහ කොළඹ වරායන් වැදගත් මර්මස්ථානයන් ය. තමන්ට එතරම් සහාය දක්වන සහ තමන් විසින් බිලියන ගණන් මුදල් ආයෝජනය කර ඇති රටක් දේශපාලනිකව අස්ථාවර කිරීමේ අවශ්‍යතාවක් චීනයට තිබිය හැකියැයි සිතිය නොහැකි ය. එහෙයින් එවැනි අවශ්‍යතාවක් ඇත්නම් ඒ ඉන්දියාවට සහ ඇමෙරිකාවට පමණක් බව සිතිය හැකි ය. මෙම නිගමනයට පිටුබලය සපයන වෙනත් සාධක ගණනාවක් ද ජාත්‍යන්තර සහ කලාපීය වර්ධනයන් සළකා බැලීමේ දී නිරීක්ෂණය කළ හැකි වේ.

කලාපයේ වර්ධනය වන චීන බලය සීමා කිරීමේ මූලෝපායයික අවශ්‍යතාව තුළ ඉන්දියාව සහ එක්සත් ජනපදය කිසියම් සම්මුතියක් තුළ ක්‍රියාකරයි. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින මුස්ලිම් අන්තවාදී ආගමික නිකායන් පිළිබඳව ඉන්දියාවේ දැඩි අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම පකිස්තානය හරහා සෞදි ආධාර ලබන ආගමික පාසල් නැගෙනහිර පළාතේ ව්‍යාප්ත වීම පිළිබඳව ඔවුහු විමර්ශන ආරම්භ කර තිබුණාහ. මෙම පළාතේ ගොඩ නැගෙන මෙම බලවේග විසින් ඉන්දියාවේ ආරක්ෂාවට සහ ඉන්දීය ආධිපත්‍යය යටතේ ත්‍රිකුණාමල වරාය පවත්වාගෙන යාමට අවහිරයක් වීමට ඉඩ ඇති බව ඉන්දියාව සැළකිල්ලට ගත් කරුණක් විය.

ඉන්දීය ආරක්ෂක විශ්ලේෂකයෙකු වන සතිෂ් කුමාර් විසින් සංස්කරණය කරන “India´s National Security-Annual Review 2013” හි මෙසේ සඳහන්වේ:

“මියන්මාරයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද බෞද්ධ කණ්ඩායම් විසින් රැඩිකල් මුස්ලිම් නැගී සිටීමක් ගැන භීතිය වපුරමින් සිය ඉලක්කයක් බවට මුස්ලිම්වරුන් පත්කර ගෙන ඇත. කෙසේ වුවද එවැනි අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් හෝ පුද්ගලයන් ලංකාව තුළ සිටින බව සහ ඔවුන් ගේ ක්‍රියාකාරීත්වයන් තිබිය හැකි බවට ප්‍රක්ෂේපණය කිරීමට දැරෙන උත්සාහයන් මිසෙක, ඒ බැව් සනාථ කරන කිසිදු සාධකයක් නැත. එහෙත් පකිස්ථාන රහස් ඔත්තු සේවය වන ISI (Inter Service Intelligence) ආයතනය ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතර ප්‍රජාව ලංකාව තුළ ඉන්දියාවේ අවශ්‍යතාවන්ට එරෙහිව යොදාගැනීමට අසාර්ථක උත්සාහයන් දරා ඇති බව ප්‍රතික්‍ෂේප කළ නොහැකි කරුණකි. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අන්තවාදී මාවත් කරා යොමු කිරීමට ISI රහස් ඔත්තු සේවය වෙනත් කණ්ඩායමකට වර්තමානයේදී ඇති හැකියාව බෙහෙවින් සීමා සහිත ය.”

සතිෂ් කුමාර් – India´s National Security-Annual Review 2013

එම කරුණු සළකා බලන කළ ඉන්දීය අවශ්‍යතාවන්ට එරෙහිව යා හැකි රැඩිකල් මුස්ලිම් අන්තවාදී ව්‍යාපාරයක් ශ්‍රී ලංකාව තුළ පැන නැගීමට හේතු විය හැකි බොදු බල සේනා වැනි මුස්ලිම් විරෝධී අන්තවාදී බෞද්ධ ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඉන්දීය උපාය මාර්ගික විශේෂඥයන් කටයුතු කරනු ඇතැයි සිතීමට ඉඩක් නැත. එහෙත් එවැනි බෞද්ධ අන්තවාදී ව්‍යාපාර හා සම්බන්ධතා ගොඩ නගමින් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට සහ ඒවා හැසිරවීමට ඉන්දීය රහස් ඔත්තු සේවා දිගටම කටයුතු කරනු ඇත.

එහෙත් ඉන්දීයාව මෙයට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයක් ගැනීමට ද ඉඩ තිබේ. “එක් මාවතක්, එක් කලාපයක් “චීනයේ ව්‍යාපෘතිය මෙන් ම “මුහුදු සේද මාවත“ ව්‍යාපෘතිය විසින් ද චීනය ඉන්දියාව පසුකරමින් පිමි ගණනාවක් ආර්ථික සහ දේශපාලන බලවතෙකු ලෙස ගොඩ නැගෙනු ඇත. එම ව්‍යාපෘති සාර්ථක වුවහොත් කලාපීය බලවතෙකු ලෙස ඉන්දියාවේ බලය හීන වෙමින් චීනයේ ද, චීන හිතවාදි පකිස්ථානයේ බලය ද වර්ධනය වනු ඇත. එහෙයින් චීනයේ වර්ධනය සීමා කිරීම ඉන්දියාවේ උපාය මාර්ගය වන අතර එය චීනය පිළිබද ඇමෙරිකා එක්සත් ජනපද උපායමාර්ගය සමග සමාන්තරව ගමන් කරයි. ලංකාව තුළ චීනයේ බලපෑම සීමා කළ හැක්කේ එක්සත් ජනපදය සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් පමණක් නම් ඒ තාක් දුරට ඉන්දියාව එක්සත් ජනපදය සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇත. දකුණු ආසියාතික කලාපය තුළ චීන බලපෑම සීමා කිරීමට එක්සත් ජනපද සහයෝගයකින් තොරව තමන්ට තනිවම කළ නොහැකි බව ඉන්දියාව වටහාගෙන ඇත. චීනයට එරෙහිව එක්සත් ජනපදය විසින් ගොඩ නගා ඇති ජපන් සහ දකුණු කොරියන් උපාය මාර්ගික සන්ධානයට ඉන්දියාව ද ඇතුළත්ව ඇත්තේ එනිසා ය. මාලදිවයිනේ චීන හිතවාදි රජය පෙරළා දැමීමට ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් පසුගියදා දියත් වූයේ ඉන්දියාවේද ආශිර්වාදය සහිතව ය. චීනයේ මුහුදු සේද මාවතේ ප්‍රධාන මධ්‍යස්ථානයන් වන කොළඹ සහ හම්බන්තොට වරායන් අවහිර කළ හැක්කේ රට තුළ යුදමය පරිසරයක් නිර්මාණය කර ඇමෙරිකාවට මැදිහත් වීමට ඉඩ සැලසීමෙන් පමණක් නම් , “ඉස්ලාමික අන්තවාදී” කුලී සේනාංක නිර්මාණය කිරීමේ එක්සත් ජනපද ගෝලීය ක්‍රියාදාමය සමග ඉන්දියාව එක්ව ගමන් කරනු ඇත. මුස්ලිම් විරෝධී භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ පාලන බලය හොබවන තත්ත්වයක් තුළ ඉන්දියාවට එය ගැනීමට අසීරු ස්ථාවරයක් ද නොවේ.

පළමු කොටස: බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා
දෙවැනි කොටස: ගෝඨාභයගේ භූමිකාව කුමක්ද?
තුන්වැනි කොටස: අවි ජාවාරම් සහ බුද්ධානුස්සති භාවනා
සිව්වැනි කොටස:’මුස්ලිම් බිල්ලා’ පිටුපසින් ඇමරිකානු සේනා