ආසියානු 21 වැනි සියවසේ නව සංවර්ධන බැංකුව : ගෝලීය දකුණට ස්වර්ණමය අවස්ථාවක්- ධරිණි රාජසිංහම් සේනානායක

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක

‘අවිනිශ්චිතතාව මධ්‍යයේ නොනැසී ප්‍රකෘති තත්ත්වයට පත්වීම’(Recovery Unabated Amid Uncertainty)යනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෑතකදී නිකුත් කර ඇති වාර්තාවකට අනුව ඉතාම වේගවත්ම ආර්ථික වර්ධනයක් සහ ගතිකයක් සහිත කලාපය ආසියාවයි. 1

කොවිඩ්-19 මර්දනයට යයි කියමින් රටවල් වසා දැමීම,ලොක් ඩවුන් සහ ඇඳිරිනීති ආදි ක්‍රියාමාර්ග මගින් ගෝලීය සැපයුම්දාම කඩාකප්පල් වීම්, වර්තමාන භූ දේශපාලනික කැළඹිලි, යුරෝපයේ පවත්නා යුදගැටුම්, විවිධ හයිබ්‍රිඩ් යුද මෙහෙයුම් සහ සයිබර් ප්‍රහාරයන් මගින් ඉන්දිය සාගරයේ වරායන් සහ භාණ්ඩ ප්‍රවාහනයට සිදු කරන ලද තර්ජන ආදිය මැද්දේ වුව ද ආසියානු සහ පැසිෆික් කලාපයේ රටවල් විසින් මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනයෙන් 70%කට හිමිකම් කීමට සමත්ව තිබේ.

බ්‍රසීලය, රුසියාව,ඉන්දියාව,චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළු ‘BRICS’ ආර්ථික සන්ධානයට අයත් රටවල්ද දකුණු නැගෙනහිර ආසියාතික රාජ්‍ය සංගමය( Association for Southeast Asian Nations-ASEAN) ද විසින් ගෝලීය ආර්ථික ප්‍රසාරණය සැළකිය යුතු ලෙස බලගන්වනු ඇත.

පසුගිය සිවු වසර තුළ ත්‍රස්තවාදි ප්‍රහාරවල සිට කොවිඩ්-19 දක්වා වූ සැලසුම්ගත බාහිර ආර්ථික කම්පන මාලාව, දේශගුණික ව්‍යසනවාදයේ ආඛ්‍යානයට යටත්ව කාබනික පොහොර වෙත ක්ෂණිකව මාරුවීමට සඳහා ගනු ලැබූ වැරදි සහගත ප්‍රතිපත්ති ආදිය විසින් මෙම ගෝලීය දකුණේ ‘නැගී එන ආර්ථිකයන්ගේ’ වර්ධනය තාවකාලික පසු බැසීමකට ලක් කර තිබිණි

යුරෝ-ඇමෙරිකන් ආධිපත්‍යය වැහැරීයමින් පවතිද්දි බහු ධ්‍රැවීය ‘ආසියානු 21 වැනි සියවසේ’ නායකත්වය තුළ නැවැත නැගී සිටීමට ඔවුන්ගේ ඇති සුදානම වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

ගෝලීය ව්‍යාප්තියට නායකත්වය දීම සඳහා අවශ්‍යවන විශාල ජනගහණයක්,දේශීය වෙළඳපොළක්, සම්පත් සහ සංස්කෘතිමය විභවයක් ආසියානු දැවැන්තයන් වන චීනය සහ ඉන්දියාව සතුව තිබේ. මේ අතර බටහිර පවතින්නේ එයට ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි. ඉහළ යමින් පවතින පොලී අනුපාතයන්, ඩොලර් ට්‍රිලියන ගණනාවක හිඟය, මිලිටරි කටයුතු සඳහා කෙරෙන වියදම්, ඉහළ උද්ධමනය, බැංකු පද්ධතිය අධික ආතතියකට ලක්වීම හේතුවෙන් යුරෝපයේ සහ ඇමෙරිකාවේ ආර්ථික වර්ධනය වේගය අඩාල වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවට අනුව ලෝකයේ වෙනත් තැන්වල යුද ගැටුම් සහ ආර්ථික බිඳවැටීම් සිදුවෙමින් පවතින අඳුරු පසුබිමක් මැද වුවද ආසියා පැසිෆික් කලාපයේ රටවල ආර්ථික වර්ධනය සියයට 4.6 දක්වා වැඩි වනු ඇත.

සිය 75 වැනි නිදහස් සමරුවට පෙර දින තමන් ණය ගෙවීමට ‌නොහැකි ලෙස බංකොළොත් තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රකාශයට පත් කරමින් තම ආර්ථික ස්වාධිපත්‍යය වොෂින්ටන් නිවුන් සහෝදරයන් වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත උත්ප්‍රාසාත්මක ලෙස පාවාදෙන ලද ශ්‍රි ලංකාව විසින්, ඉන්දියානු සාගරය නැවැත යටත්විජිතකරණයට ලක් කෙරෙමින් දුසිම් ගණන් බටහිර යුද නැව් සහ න්‍යෂ්ටික සබ්මැරීන මතුවෙමින් සැරිසරමින් පවතින මේ මොහොතේදී ආසියාව සහ BRICS රටවල් වෙත යොමුවීම අවශ්‍යතාව වටහාගත යුතුව තිබේ.

පිලිපීනය තුළ නව ඇමෙරිකන් හමුදා කඳවුරු 4ක් ස්ථාපිත කරන බවට පසුගිය සතියේ නිවේදනය කෙරිණි. එම සිදුවීම පශ්චාත් කොවිඩ්-19 යුරෝ බොන්ඩ් ණය උගුලට සහ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘ඇප ගනුදෙනුවලට ’හසු වූ ගෝලීය දකුණේ සෙසු රටවල් 50කට ආසන්න ප්‍රමාණයක් වෙත එළැඹෙමින් පවතින බිහිසුණු භූ දේශපාලනික කාලගුණයක් පිළිබඳව අනතුරු ඇඟවීමේ සීනු නාදවීමක් ලෙස සැළකිය හැකිය.

අධිරාජ්‍යයන්ගේ නැගීම සහ ඇදවැටීම සිදුවෙමින් පවතින අතර BRICS රටවල් යළිත් සිය ගමන අරඹයි.

නව සංවර්ධන බැංකුව

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ඩි සිල්වා නැවත බලයට පත්වීමත් සමගම BRICS සන්ධානය ශක්තිමත්වීම සිදු විය. ආර්ථිකමය බලාගාර ලෙස හැඳින්වෙන මෙම රටවල් තමන් අතර වෙළඳ කටයුතුවලදී සිය ජාතික මුදල් භාවිතා කරමින් ඩොලර්හරණ ප්‍රවණතාවයක් ප්‍රවර්ධනය කිරීම ආරම්භ කරන ලද්දේ එක්සත් ජනපද ආර්ථිකය මත ඩොලර් ට්‍රිලියන 31ක ණය බරක් පැටවී ඇති තත්ත්වයක් තුළ මෙන්ම එක්සත් ජනපදය විසින් රුසියාව වෙත ආර්ථික සම්බාධක පනවනු ලැබ ඇති සංදර්භයක් තුළය.
.
ලෝකයේ සම්ප්‍රදායික ආර්ථික බලවතුන් ලෙස සැළකෙන G-7 හෙවත් රටවල් හතේ කණ්ඩායමේ ආර්ථික බලය අභිබවා BRICS රටවල ආර්ථික බලය වර්ධනය වෙමින් පවතිද්දී ගෝලීය විනිමය සංචිතයන් සඳහා එක්සත් ජනපද ඩොලරය වෙනුවට වෙනත් විකල්ප සෙවීම ඇරඹී තිබේ.

සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ යටිතල පහසුකම් සහ තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සඳහා 2014 දී BRICS රටවල් විසින් පිහිටුවන ලද බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවක් වන ‘නව සංවර්ධන බැංකුව ’ (New Development Bank-NDB) නැතහොත් ‘BRICS බැංකුව’ මේ අවස්ථාවේදී ඉරානය සහ සෞදි අරාබිය ද එක්වීමට තීරණය කර ඇත්තේ චීනය විසින් එම දෙරට අතර ස්ථාපිත කරන ලද සාම ගිවිසුමත් මෑත කාලීන චීනයක් මධ්‍යයේ එක්වීමට නියමිතය.

නව සංවර්ධන බැංකුවේ සභාපතිනි ඩිල්මා රූසේෆ්, ඇය බ්‍රසීලයේ හිටපු ජනාධිපතිනියයි.

2014 දී BRICS රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ යටිතල පහසුකම් සහ තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීම සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවක් වන ‘නව සංවර්ධන බැංකුව ’ (New Development Bank-NDB) නැතහොත් ‘BRICS බැංකුව’ පිහිටුවන ලදි. සවුදි අරාබිය සහ ඉරානයද දැන් මෙම ‘BRICS බැංකුව’ සමග එක්වීමට නියමිතය. මේ දක්වා එක්සත් ජනපදය විසින් මැද පෙරදිග කලාපයේ සිය ආධිපත්‍යය පිහිටුවීම සඳහාද, මැද පෙරදිග ඛනිජ තෙල් සම්පත් පාලනය සඳහා ඇමෙරිකානු ඩොලරය යොදාගැනීම සඳහාද භාවිතා කළේ සෞදි අරාබියයි.මෙම කලාපය තුළ එක්සත් ජනපදයේ ආධිපත්‍යයට එරෙහි රටක් ලෙස සැළකෙන ඉරානය සහ සවුදි අරාබිය අතර මේ දක්වා පැවැතියේ එකිනෙකට පසමිතුරු සම්බන්ධතාවයකි.ඉරාන හිතවාදි හූති විප්ලවවාදින් විසින් යේමනයේ බලය අල්ලා ගත් පසුව සවුදි අරාබිය ප්‍රමුඛ යුද සන්ධානය විසින් යේමනය ආක්‍රමණය කිරීමත්, ඉරානයට එරෙහිව සවුදි අරාබිය සහ එක්සත් ජනපදය විසින් අයිසිස් වැනි ත්‍රස්තවාදි සංවිධාන යෙදවීමත් මෙම සතුරු බවට හේතු වී තිබිණි. එහෙත් පසුගිය දිනවල චීනය විසින් මැද පෙරදිග බලවතුන් වන මේ රටවල් දෙක අතර සාම ගිවිසුමක් ඇති කිරීමට සාර්ථක ලෙස මැදිහත්වීමෙන් අනතුරුව මෙම රටවල් දෙකම දැන් BRICS ආර්ථික සන්ධානය තුළ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට එකඟ වී තිබේ.එමගින් මැද පෙර දිග උතුරු අප්‍රිකානු කලාපය (MENA) තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ සාමයක් ගොඩ නැගීමට පදනම නිර්මාණය වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට විකල්පයක් ලෙස නව සංවර්ධන බැංකුව (New Development Bank-NDB) සිය කටයුතු දියත් කරන ලද්දේ ඩොලර් බිලියන 50ක ආරම්භක අරමුදලක් සහිතවය. මෙයට අමතරව ණය ගෙවීමට නොහැකිව දුෂ්කරතාවන්ට ගොදුරු වී සිටින සාමාජික රටවලට ආධාර කිරීම පිණිස හදිසි සංචිත විධිවිධානය නමින් ද්‍රවශීලතා යාන්ත්‍රණයක් නිර්මාණය කරන ලදී.2021 දී, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ සහ බංග්ලාදේශය NDB හි සාමාජිකත්වය ලබා ගත් අතර ඊජිප්තුව, ඇල්ජීරියාව සහ ආර්ජන්ටිනාව මෙන්ම, මෙක්සිකෝව සහ නයිජීරියාව ද එහි සාමාජිකත්වය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙති. 2

අභිරහස් කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සහ විදුලිය විසන්ධි කිරීම්වලින් පීඩාවට පත්ව සිටින දකුණු අප්‍රිකාවේ තුළ මෙම ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් වාර්ෂික සමුළුව පැවැත්වීමට නියමිත අතර එහිදී ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවල් 19 ක් බ්‍රික්ස් ජාතීන් සමූහයට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබුණි.

ඩොලර්හරණය හරහා යටත්විජිතහරණයට

.දශක ගණනාවක් ගෝලීය සංචිත මුදල් ලෙස එක්සත් ජනපද ඩොලරය ස්ථාවරව පැවතීමට හේතුව තිබුණේ සෞදි අරාබියේ තෙල් සංචිතයන් අලෙවියේදී ඇමෙරිකාවේ ඩොලර් භාවිතා කිරීමට ඇති කරගත් ගිවිසුම හේතුවෙනි. එක්සත් ජනපදයේ භූ දේශපාලනික ආධිපත්‍යය හේතුවෙන් බොහෝ තෙල් නිෂ්පාදක රටවල් එක්සත් ජනපද ඩොලර් මගින් පමණක් තෙල් අලෙවි කිරීමට එකඟවන ලදි. මේ මගින් එක්සත් ජනපදයේ ආධිපත්‍යය පෙරළා ශක්තිමත් කෙරිණි. එය පෙට්‍රො ඩොලරය ලෙස හඳුන්වනු ලැබූයේ එහෙයිනි. නමුත් චීනය සවුදි අරාබියේ විශාලතම තෙල් ගැනුම්කරුවෙකු බවට පත්වීමත්, එම දෙරට අතර වෙළඳාම සඳහා ඇමෙරිකන් ඩොලරය වෙනුවට චීන යුවාන් මුදල් ඒකකය භාවිතා කිරීමට යොමුවීමත් ඒ හා සම්බන්ධිත භූ දේශපාලන වර්ධනයන්ද සමගින් තත්ත්වය වෙනස් විය. ඉරාන සෞදි සාම ගිවිසුමට පසුව සිරියාවේ බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් පුරා වසර 12ක් තිස්සේ අයිසිස් ත්‍රස්තවාදය ආවරණයක් කරගනිමින් ගෙන ගිය යුද්ධය අසාර්ථක වූ අතර එම කාලය තුළදී සිරියාවට එරෙහිව පනවා තිබූ තහනම් සහ සම්බාධක ඉවත් කිරීමට සෞදි අරාබිය එකඟවිය. ඒ අනුව සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට නැවත අරාබි ලීගයේ සාමාජිකත්වය හිමි විය.

නව සීතල යුද්ධයක් ඇරඹීමට හේතුවූ මෙම භූ දේශපාලනික චලනයන් මගින් ඇතැම් විට මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ ද, දකුණු ආසියාවේ සිට සුඩානය දක්වාද පලස්තීන -ඊශ්‍රායෙල් ගැටුම, ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්ථානයේ කැළඹිලි ආදි ගැටුම්කාරි තත්ත්වයන්ගේ නව වර්ධනයන් පැහැදිලි කිරීමට හැකි වනු ඇත.

ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි විරෝධතා පෙළපාළියක්

බ්‍රසීලයට පසු දකුණු ඇමෙරිකාවේ දෙවන විශාලතම ආර්ථිකය වන ආර්ජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වෙනුවට වෙනත් විකල්ප සොයමින් මෙම නව සංවර්ධන බැංකුවේ(NDB) සාමාජිකත්වය සඳහා අයැදුම් කර ඇත. දශක ගණනාවක් තිස්සේ මොන්රෝ ගිවිසුමේ ගොදුරක් බවට පත්ව ඇති ආර්ජන්ටිනාව ණය ගෙවීමට නොහැකිව රට බංකොළොත් බවට 9 වාරයක් ප්‍රකාශ කර ඇති අතර එය දැන් ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 22 වැනි ඇප ගිවිසුමට යටත් කෙරී තිබේ. පසුගිය මාසයේ බුවර්නොස් අයර්ස් නගරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව පෙළපාලි දැක්වූ ලක්ෂ සංඛ්‍යාත ජනයාගෙන් දෙවනත් විය.

නව සංවර්ධන බැංකුව(NDB) සහ ආසියානු යටිතල ව්‍යුහ ආයෝජන බැංකුව(Asia Infrastructure Investment Bank-AIIB)) විසින් වොෂින්ටන් සම්මුතියේ සහ යටත්විජිතවාදි පැරිස් කණ්ඩායමේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර සංවර්ධන සහ මූල්‍යක්‍රමයට එරෙහිව ගෝලීය දකුණ වෙත ඉදිරිපත් කර ඇති විකල්පය වඩවඩාත් ශක්තිමත් වෙමින් පවතී.

ලංකාව බකොලොත් යැයි නිගමනය කළේ කවර මිනුම් දඬු අනුවද?

ආසියානු රටක් ලෙස ශ්‍රි ලංකාවට “ආසියානු 21 වැනි සියවස ” හා නව සංවර්ධන බැංකුව සිය ගැලවීමේ මාර්ගය ලෙස ඉතා ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැකිව තිබිණි. නමුත් ශ්‍රී ලංකාවේ පළමු ස්වෛරී ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු වූ රනිල් වික්‍රමසිංහ රජය විසින් මිථ්‍යාවන් දෙකක් ප්‍රවර්ධනය කරන ලදි. එකක් නම් “ ශ්‍රී ලංකාව බංකොළොත් වී ඇත ” යන්නයි. ඔවුන් විසින් ප්‍රවර්ධනය කරන ලද අනෙක් මිථ්‍යාව “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය වන රාජ්‍ය වියදම් සහ සමාජ සුබසාධන වියදම් කප්පාදු කිරීම සහ රාජ්‍ය ආයතන සහ උපායමාර්ගික වටිනාකමින් යුතු සෙසු ජාතික සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීම හැර අන් විකල්පයක් නැත ” යන්නයි.

රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රටපුරා සාගත තත්ත්වයක් ඇතිවනු ඇතැයිද සහ පැය 15 ක විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ද භීතිකාවක් පතුරවමින් ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය අනුව තුට්ටු දෙකට ජාතික සම්පත් විකුණා දැමීමට සහ රටේ වත්කම් විදේශ මූල්‍ය සමාගම්වලට පවරා දීමට සුදානම් ජන මානසිකත්වයක් ගොඩනැගීම සඳහා මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් දියත් කළේය..

කෙසේ වෙතත්, “කාලගුණයට අධිපති දෙවිවරුන්” බටහිර “සීතල යුද්ධයේ දෙවිවරුන් ” සමග අමනාපව ජල විදුලි උත්පාදනය සඳහා අධික මෝසම් වැසි ලබා දීම හේතුවෙන් සාගතය සහ පැය 15 ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට හැකි නොවීය.

ප්‍රශ්නය මෙයයි: ලෝකයේ ප්‍රධානතම බලශක්ති, වෙළඳ ප්‍රවාහන නාවික මාර්ගයන්ගේ මෙන්ම සහ මුහුද යට සන්නිවේදන කේබල් පද්ධතියේද වැදගත් සන්ධිස්ථානයක පිහිටි මෙම උපාය මාර්ගික වශයෙන් වැදගත් දිවයින බංකොළොත් යැයි ප්‍රකාශයට පත් කරන ලද්දේ කුමන නිර්ණායක මත කවර දත්ත යොදාගැනීමෙන්ද යන්නයි ඒ.

ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතය සහ මානව සංවර්ධන දර්ශක අනුව අනුව දකුණු ආසියානු කලාපයේ ඉහළින්ම සිටි මෙම දිවයින පිළිබඳව සඳහන් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව භාර සහකාර ලේකම්වරිය වූ ඇලිස් ජී. වෙල්ස් විසින් වරෙක එය හඳුන්වන ලද්දේ “මෝසම් දෙකකින් සහ පුළුල් සාගර හා ඛනිජ සම්පත් වලින් ආශීර්වාද ලත් සශ්‍රීක හා සාරවත් නිවර්තන දූපතක් ”ලෙසය. ඇතැමුන්ට අනුව එය “ඉන්දීය සාගරයේ ගිල්විය නොහැකි ගුවන්යානා ප්‍රවාහක නෞකාව” විය.
.
එක්සත් ජනපද ආර්ථිකය මුහුණ දී සිටින ඩොලර් ට්‍රිලියන 31ක දැවැන්ත ණය ප්‍රමාණය සැලකිල්ලට ගත් කළ ජාතියක් බංකොළොත් යැයි තීරණය කිරීමට එම ජාතිය මුහුණ දී ඇති ඩොලර් හිඟය ප්‍රමාණවත් දර්ශකයක්ද යන්න ප්‍රශ්න කිරීම වටිනාකම් පිළිබඳ තවත් න්‍යායක් මතු කිරීම සඳහා අසනු ලබන වාචාල හෝ දාර්ශනික ප්‍රශ්නයක් නොවේ.

ඒ වෙනුවට,මධ්‍යම ආදායම් ලබන රටවල් ලෙස නම් කිරීමේ ලෝක බැංකු උගුලට කොටු වූ ගෝලීය දකුණේ රටවලට සිය ජාතික සම්පත් කුණු කොල්ලයට අලෙවි කිරීමට බලකෙරෙන තත්ත්වයක් ඇති කිරීමේ සැලසුම සහිතව ඇති කරන ලද බංකොළොත්බව තීරණය කිරීමේදී “නිර්-ද්‍රවශීලිතාව”(illiquidity) සහ “බංකොලොත් බව ”‍(insolvency) අතර වෙනස සළකුණු කිරීමට වොෂින්ටන් සම්මුතිය විසින් දක්වන ලද අසමත්කම මෙමගින් පෙන්නුම් නොකෙරෙන්නේද? මෙමගින් පිළිබිඹු කරන්නේ විශාල සදාචාරාත්මක සහ බුද්ධිමය බංකොළොත් කමක් නොවේද?

බහුධ්‍රවීය ලෝකයක් තුළ යටත් විජිතහරණය සඳහා ප්‍රතිදිශානතිකරණය

BRICS රටවල ආර්ථිකයන් ලෝකයේ වර්ධන එන්ජිම ලෙස සාම්ප්‍රදායික G-7 රටවල් අභිබවා ගොස් ඇති බහු ධ්‍රැවීය ලෝකයක් තුළ ආසියානු 21 වැනි සියවස යථාර්ථයක් බවට පත්වන විට, ජර්මාන් සමාජ විද්‍යාඥ ඇන්ඩ්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක් විසින් “ප්‍රතිදිශානතිකරණය: ආසියානු යුගයේ ගෝලීය ආර්ථිකය ” (“ReORIENT: Global Economy in the Asian Age” -1998)නම් සිය මාහැඟි කෘතියේ සඳහන් කර ඇති පරිදි යුරෝබොන්ඩ් ඇමෙරිකානු ඩොලර් ණය උගුලකට හසු වූ ශ්‍රී ලංකාව පැහැදිලිවම ප්‍රතිදිශානතිකරණයට ලක් කිරීමේ අවශ්‍යතාව මතුව පවතී.

ෆ්‍රෑන්ක්ගේ විශ්ලේෂණයන් බොහෝමයක් එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලයේ හිටපු සභාපති කිෂෝර් මාබුබානි විසින් මෑතකදී පළකරන ලද “ ආසියානු 21 වැනි ශතවර්ෂය නම් කෘතිය තුළ ද ” ප්‍රතිරාවය වී ඇති ආකාරය දැකිය හැකිය.

මෙම සංදර්භය තුළදී, ශ්‍රී ලංකාව සිය අනාගත කවර රජයකට වුවද යුරෝ බැඳුම්කර වෙළඳපොලෙන් ණය ලබාගැනීම තහනම් කිරීමද, ද්විපාර්ශ්වික ණය ලබාදෙන්නන් වන චීනය සහ ඉන්දියාව සමග සම්බන්ධ වෙමින් නව සංවර්ධන බැංකුව සමග කටයුතු කිරීමද කළ යුතුව තිබේ. සිය නිදහසේ 75 වැනි වසරේදී ශ්‍රී ලංකාව එහි ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය යළි දිනාගත යුතුය. ඒ සඳහා එක්සත් ජනපද ඩොලරය හා බැඳුණු යුරෝ බැඳුම්කර ණය බැඳීම්වලින් නිදහස්වීමට කටයුතු කළ යුතුය.

අනෙකුත් රටවල් ඒ සඳහා ශ්‍රි ලංකාවට සහාය ලබා දෙනු ඇත. නමුත් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සාකච්ඡාවන් පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ග්‍රීසියේ හිටපු මුදල් ඇමැති යානිස් වොරෝෆාකිස් සඳහන් කර ඇති පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ “බංකොළොත් බව පිළිබඳ ආඛ්‍යාන” වලින් මිදීමට ශ්‍රී ලංකාව අවංක උත්සාහයක් දරන්නේ නම් පමණි.

ජනගහණය පාලනය සහ ගෝලීය ආණ්ඩුකරණ උවමනාවන් මත සංවර්ධනය කරමින් සිටින තාක්ෂණයන් වන කෘත්‍රිම බුද්ධිය, දැවැන්ත දත්ත රැස්කිරීම්, ගැඹුරු යථාමායාවන්(deep fakes) සහ ඩ්‍රෝන ඔත්තු බැලීම් ආදියෙන් ගහණ වර්තමාන ලෝකය තුළ ණය උගුලට හසු වූ ගෝලීය දකුණේ රටවල් මෙන්ම සම්පූර්ණ මනුෂ්‍යත්වයම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් කරා එැළැඹ සිටිති.

“කෘත්‍රිම බුද්ධිය න්‍යෂ්ටික බෝම්බයකි” යනුවෙන් එලොන් මුස්ක් සහ වොරන් බෆට් මෑතකදී අනතුරු අඟවන ලද්දේ එහෙයිනි. එහෙයින් වසර 200ක යුරෝ ඇමෙරිකානු ආධිපත්‍යයෙන් පසුව සැබෑ බහුධ්‍රැවීය ලෝකයක් බිහිවෙමින් පවතින අතර ලෝකය තවත් ලෝක යුද්ධයක එළිපත්තට පැමිණ තිබේ. බහු ධ්‍රැවීකරණය ප්‍රවර්ධනය කිරීමද, අව්‍යාජ සංස්කෘතික විවිධත්වයකට ගරුකිරීම ද පැවැරී ඇත්තේ ණය බරින් පීඩිත ගෝලීය දකුණේ උරහිස් මතය.

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.

Inter Press Service වෙබ් අඩවියේ  The New Development Bank in the Asian 21st Century: A Golden Opportunity for the Global South යන මැයෙන් පළ වූ ලිපියේ පරිවර්තනයකි.

මුලාශ්‍ර

1. RECOVERY UNABATED AMID UNCERTAINTY, MAY 2023

2.Indonesia To Join BRICS against Expectations | is BRICS+ the future?

3.BRICS Draws Membership Bids From 19 Nations Before Summit