යුද අළු මතින් නැගෙන මනුෂ්‍යත්වයේ මහා විලාපය: ගිනිසිළුවට පියඹා යන සලබයන් සේ කෘතිය පිළිබඳ විවරණයක්

විෂ්ණු වාසු

මනුකා විජේසිංහ ලියූ Like Moths to a Flame කෘතියේ සිංහල පරිවර්තනය, ගිනි සිළුවට පියඹා යන සලබයන් සේ කෘතිය, සිංහල නවකතා සාහිත්‍යයේ මෑත කාලීන සන්ධිස්ථානයක් ‍ සේ සනිටුහන් කිරීම නිවැරැදිය. දශකයකට පමණ ආසන්න කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් එළිදුටු, පිටු 700කට අධික මෙම ප‍්‍රබන්ධය කියවා අවසන් කරන ඕනෑම පාඨකයෙකුට, අප පසුකර ආ දශක තුනක සිවිල් යුද්ධය වනාහී, මනුෂ්‍යත්වයේ සුවිශාලතම ඛේදවාචකයක් බව නිතැනින්ම අවබෝධ වනු ඇත. ඒ සමගම සිතට ප‍්‍රබල ප‍්‍රබල කම්පනයක් දැනීම ආරම්භ වේ. යුද්ධය නිමාවී වසර 15ක් ගතවීත්,සාමය සහ අප අහිමි කරගත් මනුෂ්‍යත්වය පිළිබඳ යලි යලිත් ප‍්‍රශ්න කිරීමට මේ කෘතිය අපට බලකරයි.

රාජ්‍යයට එරෙහි චෝදනා පත‍්‍රයක්

කෘතිය ආරම්භයේදීම කතුවරිය තබන සටහන අතිශය විප්ලවීය මෙන්ම වේදනාකාරී එකකි. ”අපගේ දරුවන් මරණය කරා යැවීම සම්බන්ධයෙන් මම රාජ්‍යයට චෝදනා කරමි”
යන එම ප‍්‍රකාශය කෘතිය පුරා දිවෙන දැවැන්ත ආඛ්‍යානයේ පදනම සකස් කරයි. යුද්ධය නිමවී වසර 15ක් ගතව ඇතත්, කතුවරියගේ මෙම චෝදනාව, අදටත් වලංගුය. දකුණේ තරුණයන් රජයේ හමුදාවට බැඳී මියයද්දී, උතුරේ තරුණයින් සන්නද්ධ කණ්ඩායම්වල ගොදුරු බවට පත් විය. මේ දෙපිරිසම අවසානයේ මියගියේ තමන් නොදන්නා, තමන්ට අයිති නැති දේශපාලන උමතුවක ගොදුරු බවට පත්වෙමිනි. අදටත් යුක්තිය පතා මහමග අරගල කරන, තමන්ට අහිමිවූ දරුවන්, ස්වාමි පුරුෂයින්, ඥතීන් වෙනුවෙන් කඳුළු හෙලන මව්වරුන්ගේ වේදනාව දෙස සංවේදී කෝණයකින් බලන විට, මේ කෘතිය හුදෙක් අතීතය ගැන ලියූවක් නොව වර්තමානයේ අප අත්විඳිමින් සිටින සජීවී වේදනාව බව වටහා ගැනීම අපහසු නැත.

රට තුළ සිදු වෙමින් පැවතියේ කුමක්දැයි ඔවුන් දෙදෙනාම දැන සිටියහ. සිංහල නායකයන්ගේ වර්ගෝත්තමවාදය ආදිකාලීන සොහොයුරන් කොටින් හා සිංහයන් වසයෙන් වෙන් කරන්නට හේතු විය. දිවයිනේ ගෝත‍්‍රය වූ සිංහලයන් සිංහයන් බවට රූපාන්තරණය වීමට තීරණය කර තිබුණු අතර, එයට එකටෙක කිරීමක් වසයෙන්, අර්ධද්වීපයේ ගෝත‍්‍රය වූ දමිළයන් කොටින් බවට රූපාන්තරණය වී තිබිණි. මුස්ලිම් ජනතාව සත්ව උද්‍යානයෙන් බැහැර කරනු ලැබ තිබිණි. සමහර විට, ඔවුන් ඔටුවන් බවට පත් විය යුතු ව තිබිණි. එහෙත්, දෙවියන් පිළිබඳ ප‍්‍රතිරූපයක් නොමැති ඔවුන්ගේ බැතිමත් ප‍්‍රජාගණයට මිනිසුන් සම්බන්ධයෙන් තිබුණේ අල්පතර ප‍්‍රතිරූපයකි.

‘අපි ලංකා ඉතිහාසයේ අනතුරුදායක මං සන්ධියකට ඇවිල්ලයි ඉන්නෙ, එහෙම නො වෙයි ද බාවා?’

‘ඒක දෙවියන්ගේ කැමැත්ත, මගේ තරුණ මිත‍්‍රය, ඒ සියල්ලම දෙවියන්ගේ කැමැත්ත!’ ඔහු සන්සුන්ව පිළිතුරු දුන්නේ ය.

‘සිංහයොයි, කොටියි දෙවියන්ගේ කැමැත්ත නො වෙයි, බාවා, ඒක මිනිස්සුන්ගේ කැමැත්ත.’

‘මගේ මිත‍්‍රය, ඔබ හිතනව ද මිනිස්සු පවා දෙවියන්ගේ කැමැත්තෙන් තොර ව මෘගයන් බවට පත් වේවි කියල?’

සියලූ මානව ආපදාවන්ගේ හේතුකාරකයා බවට තමන්ගේ දෙවියන් පත් කරන්නට තමන්ට හැකි කම තිබුණේ නම්, වේලූපිල්ලේ එසේ සිතී ය. එහෙත් ඔහු තර්කාන්විතමිනිසෙක් විය. ඔහුගේ හේතු දෙවියන් නො ව විද්‍යාව ය. බාවා ද තර්කාන්විත මිනිසෙක් විය, එහෙත් ඔහුගේ හේතුව දෙවියන් විය. ඔවුන් දෙදෙනා ම නිවැරදි වුයේ ද නැති නම් වැරදි වූයේ ද?‘ඔයාලා කථා කරන්නෙ මොනවා ගැන ද?’ දැරිය ඇසුවා ය. පෙරුන්තිනායිහි දැරියට ගෝත‍්‍රික සම්ප‍්‍රදායන් නො තිබුණු අතර, ඇය ජීවත් වූ රට පිළිබඳව කිසිවක් දැන නො සිටියා ය. ඇය ජීවත් වූයේ බාවාගේ නිර්මාණයක් වූ භූදර්ශනයක් තුළ ය. එය සිත් වසඟ කර වන ස්ථානයක් විය. එහෙත් එය සැබෑ නො වී ය

මනුකා විජේසිංහ,ගිනිසිළුවට පියඹා යන සලබයන් සේ

සංගම් සාහිත්‍යයේ භූමි දර්ශන සහ ලාංකේය ඛේදවාචකය

සේපාල විජේසේකර විසින් පරිවර්තනය කරන ලද කෘතිය

මනුකා විජේසිංහ, සිය නවකතාවේ ව්‍යුහය ගොඩනැගීම සඳහා, මීට වසර 2000 කට පමණ පෙර ප‍්‍රචලිතව පැවති දෙමළ ‘සංගම්‘ සාහිත්‍යයේ එන භූමි දර්ශන භාවිතා කරයි. ඒවා ගණනින් පහකි. කුරින්සි (කඳුකරය මුල්ලායි (වනාන්තරය), මරුතම් (කුඹුරු ඉඩම්), නේඩාල් (මුහුදු වෙරළ) සහ පාලයි (කාන්තාරය) ලෙස මෙම බෙදීම සිදුකර තිබේ. මෙය හුදෙක් භූගෝලීය බෙදීමකටත් වඩා මානුෂීය හැඟීම්වල පරිණාමයක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය. බත බුලතින් සශ‍්‍රීකව වැඩුනු ‘මරුතම්’ ගොවි බිම, යුද්ධයේ ගින්නෙන් ‘පාලයි‘ හෙවත් මරුකතරක් බවට පත්වන ආකාරය කතුවරිය ඉතා සියුම්ව විස්තර කරයි.
මෙම භූමි දර්ශන හරහා, යුද්ධය යනු භූමියට පමණක් නොව, මිනිස් ආත්මයට කරන විනාශයක් වග ඇය අවධාරණය කරයි. උතුරේ වැසියන් සිය පාරම්පරික නිවාස අතහැර යන විට, දකුණේ දෙමාපියන් සිය දරුවන්ගේ මෘත දේහයන් එනතුරු මග බලා සිටින විට, සමස්ත දේශයම එකම හෙවත් ශෝකයේ කාන්තාරයක් ‘පාලයි’ බවට පත් වේ. යුද්ධයෙන් පසු වසර 15ක් ගතව ඇතත්, මේ පොළොව තවමත් මරුකතරක් මෙන් වියළී පවතින්නේ ජාතීන් අතර සැබෑ විශ්වාසය සහ සහෝදරත්වය නමැති වැස්ස තවමත් නොවැටුණු බැවින් යැයි ඇය සංකේතාත්මකව ප‍්‍රකාශ කර සිටින්නීය..

බාවා සහ සුෆී දහමේ මානුෂීය පණිවිඩය

කෘතියේ ප‍්‍රධාන චරිතය වන ‘බාවා’ හරහා, වාර්ගිකත්වයට එපිටින් පවතින විශ්වීය ආදරය පිළිබඳ දහම අවදි කිරීමට කතුවරිය උත්සාහ කරනවා. සුෆී මුස්ලිම්වරයෙකු වන බාවාගේ චරිතය, වර්තමානයේ අප මුහුණ දෙන ආගමික අන්තවාදයට කදිම පිළිතුරකි සපයයි. දහම යනු වෛරය නොව ආදරය බව ඔහු සිය ජීවිත පැවැත්ම මගින් පෙන්වා දෙයි. එහෙත් දේශපාලනික උවමනාවන් සාක්ෂාත් කරගැනීමට ආගම් සහ ජාතීන් එකිනෙකාට එරෙහිව මෙහෙයවූ ආකාරය, බාවා සහ ඔහුගේ පවුලේ ඉරණම හරහා ඉතා අපූරුවට නිරූපණය වේ.
අන් කවර කලෙකවත් නොවූ ආකාරයට, වර්තමාන ශ්‍රී ලංකාව, අතිශය ගැඹුරු බෙදීම් නිසා හටගත් අවිනිශ්චිත යථාර්ථයකට මුහුණ දෙමින් ඇත. මුස්ලිම් ජනතාව කෙරෙහි පතුරුවා හරින සැකය, දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් නොසලකා හැරීම සහ සිංහල ජනතාව තුළ පවතින අනියත බිය ඒවායින් අතලොස්සක් පමණි. මේ සියලූ අවිනිශ්චිතතා පිටුපස සිටින්නේ බලය වෙනුවෙන් ඕනෑම මානුෂීය වටිනාකමක් බිලිදීමට සූදානම් පාලක පන්තියක් බව මේ කතාව හරහා කතුවරිය විසින් අවධාරණය කර ඇත.

දෙවියන් ඔහුගේ සීදේවී සුරංගනාවිය ඔවුන්ට ලබා දී තිබුණු අවස්ථාව වන විට, ඔහුගේ අප්පා තම ශුද්ධ වූ කුරාණය වැළඳ ගෙන සිටි අතර, ඔහුගේ අම්මා අසහනයෙන් යුතු ව වයසට යමින් සිටියා ය. ඇය මුල් ආදරයේ කල්පකාලික මතකය ඔවුන්ගේ නිවසට ගෙනැවිත් තිබිණි. එහෙත් එය ගසක පහතින් වූ අතු රිකිල්ලක් මත වැටී තිබුණු පිනි බිඳුවක් මෙන් එල්ලී තිබිණි.

ඉක්බිති, එය බිම පතිත විය.

ඔහුගේ අප්පා හුදෙක් ම ඔහුගේ ශුද්ධ වූ ලියවිල්ල වෙත ආපසු හැරුණු අතර, ඔහුගේ අම්මා නැගෙනහිර පළාතේ දෙවිවරුන් හා යක්ෂයන් වෙත හැරී තිබිණි. ඛේදවාචකය ඔවුන් එකමුතු නො කළ අතර, එය ඔවුන් වෙන් කළේ ය. ඔහුගේ පුරා කථා සඳහා බෙදා හදා ගැනීමට ඔවුන්ට – ඇයගේ වත් ඔහුගේ වත් කිසිවක් නො තිබිණි. එක් කලෙක යොවුන් ආදරය තුළ ඔවුන් එක් තැන් කෙරුණු, නො හඳුනන්නන් සම්බන්ධයෙන් හට ගත් වික්ෂිප්තිය වයස්ගත වීමත් සමඟ පෞද්ගලික තතුවල උපේක්ෂා සහගත කුලූපග භාවයක් තුළ ස්ථාපිත විය. ඔවුහු එක් වහලක් යට ජීවත් වූ අමුත්තන් දෙදෙනෙක් වූහ: මුක්කුවර් කුලයට අයත් ගැහැනියක් හා මරක්කල මිනිසෙක්. එක් කලෙක අරාබියේ රටඉඳිවලට හා තුර්කි රස මසුවුලූවලට ලොල් ව සිට ගැහැනිය දැන් බැතිමතුන් අතර බෙදා හදා ගන්නා ආහාරවලට හා ආප්පවලට ආශා කළා ය.ඔහුගේ තාන්කායි එය දැක තිබිණි, එහෙත් ඔහු ඇයගේ සිත වෙනතකට යොමු කළේ ය.

‘දුක ගැන කල්පනා කරන්න එපා තාන්කායි, සුන්දරත්වය ගැන කල්පනා කරන්න.’

සුන්දරත්වය ඔවුන් වටා සැම තැන ම පවතින බව ඔහු නැවත නැවතත් ඇයට පවසා තිබිණි. නැගෙනහිර මරුතමුනෙයි සිට හිරු නැඟ ආවේ ය. කුඹුරු රන්වන් පැහැ ගෙන තිබිණි. දුඹුරු පැහැති ගොවි කුලීකරුවෝ රිදී පැහැති දෑකැති ගෙන ගිය අතර, ඔවුහු උණුසුම් නැඟෙනහිර සුළඟේ හමා යන හරිත වර්ණ නටුවල වැඩුණු රන් අස්වනු කැපූහ. නැඟෙනහිර, දෙවියන්ගේ මංගල්‍ය උත්සවයක් සේ දිස් විය. සතුට ඔහුට වඩා ලෙහෙසියෙන් අත් කර ගත හැකි ව තිබිණි. ඔහු උපත ලබා තිබුණේ ඔහුගේ දෙමාපියන් තරුණ වියේ පසු වෙද්දී ය. ඔවුන්ගේ හදවත් අන්ද මන්ද භාවයෙන් පිරී තිබිණි. එහෙත්, ඔහුගේ තාන්කායි මෙලොව එළිය දුටු කල්හි, ඔවුන්ගේ හදවත් පැරණි දිය ඇල්ලක් බඳු විය. එසේ වුවත්, දෙවියන් ඔවුන්ට තමන්ගේ සීදේවී සුරංගනාවිය ප‍්‍රදානය කර තිබිණි. ඒ ඔහු විසින් ඇය ආපසු කැඳවා ගනු ලැබීමට මත්තෙන් සුළු මොහොතකට ය. ඔහුගේ අම්මා මහත් සිත් වේදනාවෙන්
හැඬුවා ය. ‘ඇයට ආපසු මා වෙත එන්න සලස්වන්න පුතා, මගේ වයස්ගත ජීවිතේට ඉතිරි වෙලා තිබුණු අවසාන සතුට ඇය යි.“

(මනුකා විජේසිංහ,ගිනිසිළුවට පියඹා යන සලබයන් සේ පිටු 67-68)

බලාපොරොත්තු කඩවූ ජාතියක්

යුද්ධය අවසන් වූ මොහොතේ සිටම අපට විශාල බලාපොරොත්තු තිබිණි. තවදුරටත් බෝම්බ පිපිරෙන හඬ නෑසෙන, මරණ බියෙන් තොර, ප‍්‍රගතිශීලී දියුණු රටක් පිළිබඳ සිහිනයක් අපට තිබිණි. එහෙත් අද, යුද්ධයෙන් වසර 15කට පසු, අපේ රට එදාටත් වඩා බරපතල අර්බුදයකයට මුහුණ දී සිටියි. ආර්ථිකය බිඳ වැටී, එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නට අපහසු වී, මිනිසුන් දරුණු මානසික පීඩනයකට ලක්ව සිටිති. යුක්තිය සහ නීතිය යටපත් කරගෙන අනීතිය ඉස්මතු වෙමින් පවතී. ජාතීන් අතරේ සාමය සහ සංහිඳියාව ගොඩනගා ගැනීම මහමෙරක් තරණය තරම් දුෂ්කර කටයුත්තක් බවට පත්වී තිබේ.
කෘතියේ එන චරිත මෙන්ම, වර්තමාන පොදු ජනතාවට ද රජය කෙරෙහි පැවැති විශ්වාසය අහිමි වී ඇත.උතුරේ ජනතාව සිය අයිතිවාසිකම් ඉල්ලන විට ඔවුන්ව ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමත්, දකුණේ ජනතාව පීඩනයට එරෙහිව නැගී සිටින විට ඔවුන්ව මර්දනය කිරීමත් පාලකයන්ගේ එකම පුරුද්ද බවට ඇත. ඒ නිසාම මේ කෘතියට, “ගිනිසිළුවට පියඹා යන සලබයන්” යන නාමය අපූරුවට ගැලපේ.

ඉක්බිති ඔහු සිය ඔංචිල්ලාවට වේලූපිල්ලේ කැඳවාගෙන ගියේ ය. ඔංචිල්ලාවේ පැද්දෙමින් තම බීඩිය උරමින් දුම් රොටු අරින අතරවාරයේ ඔහු ගායනා කරන්නට පටන්
ගත්තේය.

“මම පතමි යදියෙකු වන්නට මේ මාවතෙහි
ඔබ මගේ අත අල්ලා දේවි සතයක් මට
නැති නම් සබන් මිල දී ගනු ඇත මා හට,
මම ඇවිද්දවන්නෙමි ඔටුවෙකුගේ කුර ඇති බූරුවෙකු,
ඉව අල්ලමින් ඔබ මහ හඬින් කියතැයි මට දැනෙයි බිය,
කවුද ඒ සලබයා ඌරෙකුගේ දුර්ගන්ධය හමන?
විසි කරමු ඔහු වෙත මිදි යුෂ ටිකක්
නැති නම්, ඉසිමු ඔහු වෙත රෝස සුවඳැති දිය පොදක්…“

‘මොන විදියෙ සින්දුවක් ද ඒක, බාවා?’ වේලූපිල්ලේ කුතුහලයට පත් විය.
‘රාමසාන් මාසෙ මම ගිනිපෙට්ටි විකුණන්නෙ නැහැ, දෙවියන්ට ප‍්‍රශංසා කරලා සින්දු කියනව.’
‘මම හිතා ගෙන හිටියෙ ඒ මාසෙ උපවාස කරනව කියලයි.’
‘අනෙක් ඈයො උපවාස කරනව, ඒත් මම සින්දු කියනව.’
‘ඒක වරදක් නො වෙයි ද?’
‘දෙවියන් වඩා කැමති කුමකට කියල ද ඔබ හිතන්නෙ? කුසගින්නේ සිටින මුසල්මානුවෙකුට ද එහෙම නැත් නම් සින්දු කියන මුසල්මානුවෙකුට ද?’

වේලූපිල්ලේ විනෝදයට පත් විය.

‘ඔබ මගේ වචනවලට කැමති නම් මට කියන්න, මගේ මිත‍්‍රය. මේ මගේ සින්දුව රචනා කරන වෙලාව.’
‘එහෙනම් ගායනා කරන්න!’

”මම එළිය මිලට ගෙන ඉක්බිති ව විකුණමි
සිටිය ද මට මනාලියක්, පලක් නැත ඇයට ඒ එළියෙන්,
එහෙත් දෙවියනි ඔබ, ඇද දැමුවෙ මා ඇයගේ තුරුලට
ඇයට පිබිදෙන්න ද එසේ නැති නම් මා අන්ධ වන්න ද?
කැඳවා ගන්න දෙවියනි මා ඔබගෙ දිදුලන ආලෝකය තුළට
දැල්වෙන්න යුතු ව ඇත මෙමා ඔබගේ ගිනිසිළුව තුළ
බොහෝ ගිනිසිළුවලින් මා ලබා ඇත උණුසුම
එහෙත් මම කැමැත්තෙමි දැවී යන්නට
ඔබගෙ ඇවිළෙන ගිනිසිළුව තුළ”

ඔහු ගීය ගැයූ අතරතුර වේලූපිල්ලේගේ නෙත් මාරිඅම්මා සෙවීමට යොමු වී තිබිණි. කිසි යම් රූපයක් සෙවනැලි අතරින් මතු විය. ඔහුගේ හදවත කැළඹිණි. එහෙත් රූපය විශාල විය. තේජාන්විත විය, ආක‍්‍රමණකාරී විය.

‘දැන් ඔය ගාලගෝට්ටිය නවත්වල ඔය දෙන්නා කෑම කන්න,’ එම රූපය කෑ ගැසී ය.

(මනුකා විජේසිංහ,ගිනිසිළුවට පියඹා යන සලබයන් සේ පිටු 77-78)

භාෂා ශෛලිය සහ සාහිත්‍යමය පක්ෂපාතිත්වය

මෙම කෘතියේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි භාෂා භාවිතයයි. සේපාල විජේසේකරගේ පරිවර්තනය අතිශය සාර්ථක වී ඇත්තේ මුල් කෘතියේ ගැබ්වූ උපහාසය සහ ගැඹුරු වේදනාව සිංහල භාෂාවට මැනවින් ආදේශ කොට ඇති නිසාය. කතුවරිය කිසිදු ජාතියකට හෝ පක්ෂයකට පක්ෂපාතී නොවේ. ඇය පක්ෂපාතී වන්නේ පීඩාවට පත් මිනිසාට පමණි.පවත්නා දූෂිත ක්‍රමයේ නිර්දය විවේචකයකු වීමට ඇයට ඇති හැකියාව මවිතකරය.
පිටු 700ක් පුරා දිවෙන මේ කතාව තුළ ඉතිහාසය, මිථ්‍යාව, දේශපාලනය සහ සමාජ විද්‍යාව එකිනෙක මුසු වී පවතී. එය හුදෙක් නවකතාවක් නොව, අපේ රටේ මෑතකාලීන ඉතිහාසය පිළිබඳව ලියැවුණු විකල්ප ඉතිහාස ලේඛනයක් බඳුය. නිල ඉතිහාසය විසින් මකා දැමූ සාමාන්‍ය මිනිසුන්ගේ හඬ මේ කෘතිය තුළ ජීවමානව රැඳී පවතී.

“ටර්ෆන් නගරය හරහා
ජෙංගිස් ඛාන් සමඟින්
නැඟී අසු පිට
ගමන් කර තිබුණි ඔහු සේද මාවතේ,
දැක තිබිණි ඔහු
රූටා යන වැලි වැටි
හැඩ ගන්වන අයුරු
යෝධ බාමියන් බුදුපිළිම,
නිල් පැහැති ලැපිස් පාෂාණයෙන් සපිරි
වැලි කඳු මතින්
ඇවිද ගොස් තිබිණි ඔහු
බරට අඩි තබමින්
රක්ත වර්ණයෙන් දිදුලන
මල් යායවල් මැද
ගායනා කර තිබිණි ඔහු බැති ගී
ඇලිප්පෝ නුවර දී
වැලපෙනා මුස්ලිම් තවුසන් සමඟ
පෙරට ගොස්
තිබිණි සුළියක් විලස
පරවානුවෙකි ඔහු කොන්යාවෙ දී,
පියාසර කරමින් සිටින සලබයෙකි ඔහු.
ආලෝකයට ළංවන….“

‘මම කැමතියි ඔයා සින්දු කියනව අහන්න, බාවා,’
පාර්වතී කීවා ය.
‘ඒ නිසා තමයි මම ඔයාට සින්දු කියන්නෙ.’
‘ඔයා මට නො වෙයි සින්දු කියන්නෙ; ඒ ඔයාගේ දෙවියන්ට.’
‘දෙවියන්ට මගේ සින්දු ඇහෙන්නෙ ඔයාගෙ හදවත තුළින්, ඒ නිසා මම සින්දු කියන්නෙ ඔයාට.’

පාර්වතී හා බාවා තනි ව ම සිටියහ. ඔවුන් තනිව ම සිටි අවස්ථාවන්හි, ඇය සන්සුන් ව සිටියාය. සමරූපී භාවයේ උඩු ඇඟලූම පැළදීමේ අවශ්‍යතාවක් ඇයට නො හැඟිණි. ඇය ප‍්‍රීතියෙන් පසු වන්නේ ය යි පවා යමෙකුට කිව හැකි විය.

‘දෙවියන්ට ඔයා කියන දේවල් ඇහෙනව ද බාවා?’
‘හැම වචනයක් ම ඇහෙනව.’
‘ඔයාව පොහොසතෙක් කරන්න එයාට පුළුවන් වන විදියෙ වචනයක් එයාට කියන්න පුළුවන් ද?’
‘මාව පොහොසතෙක් කරන්න එයාට වුවමනා වුණා නම් එයාට මාව තරබාරු හජ්ජියාර් කෙනෙක් කරන්න තිබුණා.’
‘තරබාරු හජ්ජියාර් කෙනෙක් වීමේ කිසි වැරැද්දක් නැහැ’, ප‍්‍රීතියට පත් පාර්වතී පැවසුවා ය.

‘හජ්ජියාර්ට සින්දු කියන්න බැහැ.’
‘දෙවියන්ට ස්තුති කරන්න සතයක් වත් ඔබට නැතිව තියෙද්දි සින්දුවෙන් ඇති වැඩේ මොකක් ද?’
බාවාගේ දෙවියන්ගේ ස්වභාවය පාර්වතී කිසි දාක තේරුම්ගෙන නො තිබිණි.

‘දෙවියන්ට සල්ලි මොනවට ද? මම එයාට මගේ සින්දුවලින් ස්තුති කරනවා, අම්මා.

(මනුකා විජේසිංහ, ගිනිසිළුවට පියඹා යන සලබයන් සේ  පිටු 80- 81)

සමාජ කියවීමක් ලෙස

අපට තවදුරටත් බෙදී වෙන්වී සිටිය නොහැකි බවත්, බෙදීම යනු විනාශය බවත් ‘ගිනිසිළුවට පියඹා යන සලබයන් සේ’ කෘතිය අපට පසක් කර දෙයි. වසර 15ක් පුරා පාලකයන් අපව රවටා ඇති බවත්, ඔවුන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමට තවදුරටත් ජාතිවාදය භාවිත කරන බවත් අප තේරුම් ගත යුතුය. මෙම කෘතිය කියවීම පහසු කටයුත්තක් නොවේ. එය අපව කෝපයට පත් කරයි, හඬවයි, අපගේම වැරදි ගැන පසුතැවීමට පොළඹවයි. එහෙත්, ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් අපට මේ කටුක සත්‍යය දෙස බැලීමට සිදුවේ. මනුකා විජේසිංහ මේ ඉදිරිපත් කරන්නේ එම සත්‍යයේ කැඩපතයි.

ආරම්භයේ, සිංහල සොල්දාදුවන් වැල නො කැඞී යාපනයට පැමිණීමත් සමඟ, සරස්වතී තේ දළු නෙළුෑ ඇයගේ දෙඅත් අත්ල බලා සාස්තර කියන්නියක බවට පත් වීමට පාවිච්චි කර තිබිණි. සිංහල සොල්දාදුවන්ගේ මෘදු අත්ලවල හා ඒවායේ ගැඹුරට වැටී තිබුණු රේඛාවන් සෙමෙන් අත ගා බැලූ ඇය, ඔවුන්ගේ අත්ලෙහි වූ රේඛාවන්ගෙන් පෙන්නුම් කෙරෙන වාසනාව උදා වීමට නම්, යහපත් ගතිගුණ යහමින් පුරුදු කළ යුතු ව ඇති බවට ඔවුන්ට අනතුරු ඇඟවූවා ය.

යහපත් භාවය පිළිබඳ විනිසුරුවරිය වූයේ ඇය යි.

‘මොන විදියේ යහපත් භාවයක් ද, අම්මා? මම පන්සල්වලට දානය දෙනව, බෞද්ධ පූජකයන්ගේ අවශ්‍යතා ඉටු කරනව, වාර්ෂික කඨින පිංකමට මුදලින් ආධාර කරනව…’
ඔවුන් සිංහලයන්ගේ රටෙහි සිටියේ නම් ඒවා ඉහළ ම යහපත් ගුණාංග වන්නට තිබිණි. එහෙත් දැන් ඔවුන් සිටියේ දමිළයන්ගේ රටෙහි ය. මෙහි යහපත් භාවය ක‍්‍රියාත්මක කළ යුතු ව තිබුණේ දමිළයන් යහපත් භාවය පිළිබඳ ව දැරූ අදහසට අනුව ය.

‘ඒ හැම ක‍්‍රියාවක් ම ඉතා ම හොඳයි, යහපත්, පුතා,’ ඇය එසේ පවසන්නට තිබිණි.

‘ඒත් ඔබ දැන් දමිළ රටක ඉන්නෙ, මෙහේ යහපත් භාවය බෞද්ධ යහපත් භාවයට වඩා වෙනස්.’

‘ඒ කොහොම ද?’

‘මෙහේ, යහපත් භාවය පිළිබඳ ව දෙවිවරුන්ට තියෙන්නේ වෙනස් අදහසක්.’

‘දෙවිවරුන්ගෙ අදහස මොකක් ද?’ සොල්දාදුවෝ එය දැන ගැනීමේ පැවති මහත් උනන්දුවත් යුද්ධයෙන් පණ රැක ගැනීමට පැවති මහත් ඕනෑකමත් නිසා ඒ ගැන කියන ලෙස ඇයගෙන් උදක් ඉල්ලා සිටියහ.

‘ඔයගොල්ලො ඉඳ හිට ඇහක් වහ ගන්න ඕන.’
‘මුර කුටියෙ හීන දකින්න ඕන.’
‘ඉඳ හිට අපේ කොල්ලො නො පෙනී යන්න ඕන.’
‘නිතර ම වෙඩි ඉලක්කය වරදින්න ඕන.’
‘අනික, දමිළ දෙමාපියන්ට ඔයාලගෙ ම දෙමාපියන්ට වාගෙ කරුණාවන්ත වෙන්න.’

‘යාපනයෙ දෙවිවරු ප‍්‍රාර්ථනා කරන්නෙ ඒක ද, අම්මා?’
ඔවුහු මහත් ඕනෑකමින් ඇසූහ.

‘ඇත්තෙන් ම, ඒක හේතු ඵල නියාමය නිසා. දෙවිවරුන්ගෙ පළමුවෙනි නීතිය ඒකයි.’

සිංහල සොල්දාදුවා බියසුල්ලෙක් විය. ඔහු හමුදාවට සම්බන්ධ වී තිබුණේ දේශමාමකත්වය තුළින් නො ව දිළිඳුකම තුළිනි. දිළිඳු, ග‍්‍රාමීය හා නිසි අධ්‍යාපනයක් ලබා නො තිබුණු පුද්ගලයෙක් වූ ඔහු සිංහල පමණයි ප‍්‍රතිපත්තියේ ශේෂිතයක් විය. ඔහු උතුරට පිටත් කර හරින ලද මොහොතේ සිට, ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ පෙරළා තම රටට යාමට ය. කිසිවෙකුට මෙහි ජීවත් වීමට වුවමනා නො වූ අතර මෙහි ජීවත් වීමට වුවමනා වූ පුද්ගලයන් වූයේ නම් ඒ අල්පතර සංඛ්‍යාවකි.

ඇයගේ ගරු කටයුතු අසල්වැසියාගේ නිවෙස ගිනි තැබීමට සොල්දාදුවන් පැමිණ තිබූ බොහෝ අවස්ථාවන්හි, ඇය ඔවුන්ගේ අත ගෙන ඔවුන්ගේ අත්ලෙහි රේඛා කියවා අනතුරක් සිදු වීම වළක්වාලූවා ය. ඒ එක් එක් සොල්දාදුවාට ඇය කීවේ වෙනස් කතාන්දරයකි. එහෙත් ඔවුන්ට උදා විය හැකි එක ම දුර්දශාවක් ගැන ය. මිනිසුන්ගේ සිත දැන ගැනීමට යමෙකු හස්ත රේඛා විද්‍යාව දැන සිටීම අවශ්‍ය නො වී ය. හේතුව හා විපාකය පිළිබඳව සියලූ මිනිසුන් මහත් බියෙන් පසු වන බව දැන ගැනීමට යමෙකුට අවශ්‍ය වූයේ ස්වල්ප දැනුමකි.

එහෙත් දැන්, ඇයට තව දුරටත් ඇයගේ ගරු කටයුතු අසල්වැසියන් ආරක්ෂා කිරීම කළ නො හැකි විය. ඔවුන් සැම කෙනෙකු ම කරා මරණය ළඟා වෙමින් තිබිණි. දමිළ තරුණයන් යුද්ධයෙන් පරාජය වෙමින් සිටි අතර සිංහල සොල්දාදුවෝ සැම දමිළ ළමයෙක් ම ඝාතනය කරමින් සිටියහ. ඔවුහු දමිළ මව්වරුන්ට දරුවන් ඔවුන්ගේ ආරක්ෂාව යටතට භාර දෙන ලෙස ඉල්ලා සිටියහ, පසු ව ඔවුන් ඝාතනය කළහ.

‘ඔයාලගේ දරුවො සිංහල සොල්දාදුවන්ට භාර දෙන්න එපා’ ය යි ඔවුන්ට කීමට ඇය උත්සාහ කළා ය.

එහෙත් මව්වරුන්ට ඔවුන් සඟවා තබන්නට වෙනත් ස්ථානයක් නො තිබිණි. කොටි ඔවුන් ගෙන ගිය හොත්, ඔවුන් ළමයින් මිනිස් පලිහක් ලෙස පාවිච්චි කරන හෙයින් ඒ ළමයින්ට වඩා ඉක්මනින් මරණය ළඟා විය. ඔවුහු ඔවුන්ගේ කොටි කේඩරයන්ගේ ආරක්ෂාව සඳහා ළමයින් මිනිස් පලිහක් බවට පත් කර ගත්හ.

‘අම්මා, අපට තෝරා ගන්න වෙලා තියෙන්නෙ දන්නා යක්ෂයයි නො දන්නා යක්ෂයයි අතරින් එක්කෙනෙක්’ එසේ
පවසමින් මව්වරු හැඬූහ.

මේ අවස්ථාවේ, සරස්වතීට විසඳුමක් නො තිබිණි. නොහඳුනන යක්ෂයාට අපේක්ෂාව පිළිබඳ මායාවක් තිබිණි. හඳුනන යක්ෂයා; අපේක්ෂා රහිත විය.
එබැවින්, මව්වරු තම දරුවන් නො වැළැක්විය හැකි ඉරණමට හා ජයග‍්‍රහණයෙන් මත් ව සිටි රාජ්‍යයකට භාර දුන්හ.

(මනුකා විජේසිංහ,ගිනිසිළුවට පියඹා යන සලබයන් සේ පිටු 726-728)