අහිංසාවාදයට සිදුවූයේ කුමක්ද?(2) නව ලිබරල්වාදය ස්වමාංශ භක්ෂණය අරඹා තිබේ. දැන් ඔවුහු දරුවන් මරාදමමින් සිටිති.

What Happened To Ahimsa? – Neoliberalism Has Turned Inwards – It Is Killing Its Children

මනුකා විජේසිංහ

ප්‍රජාතන්ත්‍රවාදය නම් හොල්මනක් ගැන ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන අතරම නව ලිබරල්වාදි න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ස්වෛරී ජාතින් රැසක් විනාශ කිරීමෙන් අනතුරුව නව ලිබරල්වාදය දැන් ස්වකීය අභ්‍යන්තරය වෙත හැරෙමින් මානව සංහතියේම අනාගතයත් එහි දරුවනුත් විනාශ කිරීම අරඹා තිබේ.

මේ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ මතවාදයේ ආගමයි. ස්ත්‍රිපුරුෂ සමාජභාවය පිළිබඳ මතවාදය විද්‍යාවක් නොවේ. එක්සත් ජනපදයේ සුපිරි ධනවතුන්ගේත්, එහි මූල්‍ය ආයතනවලත් අරමුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානවල උමතු උද්‍යෝගය හරහා පතුරුවමින් ආගමක් ලෙසින් පවත්වාගෙන ඇදහිලි කල්ලි විසින් වපුරන මතවාදයකි. ලිංගික අනන්‍යතාව වූකලී සිය කැමැත්ත අනුව වෛද්‍යමය මැදිහත්වීම් හරහා වෙනක් කළ හැකි “යෝ-යෝ“ ක්‍රීඩාවක් බව ඇදහීමට මෙම මතවාදය විසින් ළමුන්ව තල්ලු කරනු ලබයි.

මා විසින් මේ ගැන “ බොරුවෙන් ජීවත් නොවෙමු“ යන මගේ ලිපිය මගින් සාකච්ඡා කර ඇත. එහි අරමුණ වූයේ ලිංගික පරිවර්තන ක්‍රියාදාමයට සඳහා වැඩිහිටියන් ලෙස යොමුවන පිරිස් ඇමතීම නොවේ. මෙම ක්‍රියාදාමය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමක් නොවන බවත් ළමුන්ට එරෙහි අපරාධයක් බවත් තේරුම්ගැනීමට අසමත්ව මෙම වරදට ඉඩහරින දෙමව්පියන් දැනුවත් කිරීම එම ලිපියේ අරමුණ විය.

එම ලිපියට එරෙහිව කෝපාවිෂ්ට අපහාසාත්මක අවලාද එල්ලවිය. මා කිසි විටෙකත් මිනිස් වර්ගයාට ඇත්තේ හුදෙක් වෙනස් ලිංගභේද දෙකක් පමණක් බව ප්‍රකාශ කිරීම මා විසින් අනුමත නොකරන නමුත් එම ලිපිය හේතුවෙන් මට මගේ ඇතැම් මිතුරු මිතුරියන් අහිමි වූ අතර සුදු ක්‍රිස්තියානුවෙකු ලෙස මාව හෙළා දක්නා ලදි. සැබැවින්ම දුර්ලභ ද්විලිංගික ආකාරයන් පැවැතිය හැකි නමුත් එය සිදුවන්නේ සොබාදහමේ ඌනතාවක් නිසා මිසෙක සොබාදහම හමුවේ තුන්වන ලිංගයක අවශ්‍යතාව මතුව ඇති නිසා නොවේ.

සමවයසේ වූවන්ගේ බලපෑමත්, USAID සහ යුරෝපා සංගමය විසින් විශාල වශයෙන් සපයන අරමුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන, සමාජ මාධ්‍ය ජාලා පවුල් සැලසුම් සහ මානසික උපදේශන සංගම් ආදිය විසින් ගෙන යන දැවැන්ත ප්‍රචාරක යුද්ධයත් විසින් ළමුන්ගේ ලිංගික පරිවර්තයන් සිදුකිරීමට පොළඹවන මෙම මතවාදයට දෙමව්පියෝ වේගයෙන් යටත් වෙමින් සිටිති. ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ ද්‍රවශීලිතාව (Gender fluidity) ස්වභාවික ප්‍රේරණයක් නොව ඩිජිටල් මාධ්‍ය උපයෝගිකරගනිමින් නිර්මාණය කර ඇති විකාර රූපි මතවාදයකි. එය සැල්වදෝර් දාලිගේ සිතුවමකට හෝ සිනමා ප්‍රබන්ධයකට අයත් විය හැකි නමුත් යථාර්ථය නොවේ. එය යථාර්ථයක් බවට පත් කිරීමට දැරෙන උත්සාහයන් අසීමාන්තික හානියක් සහ වේදනාවන් ඇති කිරීමට එය හේතුවේ. එය වැඩි විය පැමිණීම අවහිර කරන ඖෂධ සහ ප්‍රතිවිරුද්ධ ලිංගික හෝර්මෝන ආදියට ඇබ්බැහිවීම් කරාද, පියයුරු ඉවත් කිරීම, ලිංගික අවයව කප්පාදුව, බාහිර පෙනුම යළි සැකසීමේ ශල්‍ය කර්ම සිදු කරගැනීම කරාද යොමු කරමින්, අවසාන වශයෙන් වේදනා නාශක, මානසික අවපීඩනය සඳහා ගනු ලබන ඖෂධ, සහ වන්ධ්‍යාකරණ ඖෂධවලටද ජීවිතය යටත් කෙරෙන භයානක ප්‍රවණතාවයකි.

අපගේ රට තුළ මෙම කරුණු පිළිබඳ සමාජ දැනුවත්භාවය නැංවීම සඳහා මවුවරුන්ගේ ව්‍යාපාරයක් ගොඩනැගෙමින් පවතින අතර අපේකෂා කළ යුතු පරිදිම මෙම ව්‍යාපාරයට එරෙහිව අවලාද නැගීම් සහ හෙළාදැකීම්ද සිදු වෙමින් පවතී. කිසිදු මිනිසෙකු නිර්දෝෂී නොවේ. තමන් සර්ව නිර්දෝෂීයැයි පවසන අය මෙම මවුවරුන්ගේ ව්‍යාපාරය තුළ නැත. ඔවුන් සිදු කිරීමට තැත් දරන එකම දෙය ලිංගික අධ්‍යාපනයේ මුවාවෙන් පාසල් තුළදී අපගේ දරුවන්ට උගන්වන සාවද්‍ය මත පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම පමණි. වර්තමාන ලිංගික අධ්‍යාපනය තුළ මානව වර්ගයා තුළ ලිංග බේදයන් දෙකකට වඩා පවතින බවත් තමන් අයත්වන ලිංගිකත්වය උපතින් උරුමවන ජීව විද්‍යාත්මක දෙයක් නොවන බවත් එය සමාජමය තෝරාගැනීමක් බවත්ය. එමෙන්ම තමන් කැමැති ලිංගිකත්වය තෝරාගැනීමට ළමයාට නිදහස ඇති බවද ඉගැන්වේ.

නමුත් මෙම නිදහස උදෙසා ගෙවිය යුතු මිල කවරේද?

අපි අපගේ දරුවන් සම්බන්ධයෙන් “අහිංසාව“ ප්‍රගුණ කළ යුතු වෙමු.

නමුත් ඉහත සාවද්‍ය මතවාදයන්ට එරෙහිව කතාකරන්නවුන් සමලිංගික විරෝධීන් හෝ සමලිංගික භීතිකාවන්ගෙන් පෙළෙන්නවුන් ලෙස ලේබල් කරමින් ප්‍රහාරයන් දියත් වේ. අපගේ සමාජය තුළ සමලිංගිකත්වය පිළිගැනී ඇති අතර එහි සමහර වඩාත් නිර්මාණාත්මක සහ කලාත්මක ප්‍රතිභාවකින් සමන්විතවන්නවුන් සමලිංගික ප්‍රජාවට අයත්වූවන් වේ. කිසිවෙකු ඔවුන්ට එරෙහි නොවේ.එයට ප්‍රතිවිරුද්ධ ලෙස ඔවුන් ගේ විශිෂ්ට නිර්මාණශීලිත්වය, ප්‍රඥාව සම්බන්ධයෙන් ආදරයක් සහ ගෞරවයක් පවතින අතර ප්‍රශංසාවටද ලක් වේ.

නමුත් මෙම “ස්ත්‍රී-පුරුෂ“ සමාජභාවය“ පිළිබඳ මතවාදය විසින් සිදුකරමින්ඇත්තේ සමලිංගික ප්‍රජාවටද අවමානයකි. ඔවුන්ට තමන් කැමැති පරිදි තමන්ගේම ලිංගිකත්වයට අයත් පුද්ගලයෙකුට ආදරය කිරීමේ සතුට භුක්ති විඳීම තවදුරටත් සිදු කළ නොහැකි බවට බලපෑම් සිදුවන පරිසරයක් නිර්මාණය කෙරෙමින් පවතී. ඔවුන්ගේ බාහිර පෙනුම ඖෂධ හෝ ශල්‍යකර්ම මගින් විකෘති කරමින් සංක්‍රාන්තික ස්ත්‍රියක හෝ සංක්‍රාන්තික පිරිමියෙකු බවට පත් කිරීමට විවිධ පෙළැඹුම් යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වේ.

නැවතත් අවධාරණය කළ යුත්තේ යම් වැඩිහිටි පුද්ගලයෙකුට තාර්කිකව සිතීමේ හැකියාව ඇති අතර ඒ මත පදනම්ව සිය ජීවිතය සම්බන්ධව තීරණ ගැනීමේ හැකියාවද පවතී. ඔහු හෝ ඇය තමන් සංක්‍රාන්තික ලිංගිකයෙකු වන්නට තීරණය කරන්නේ නම් ඔවුහු එම තීරණය ගනු ලබන්නේ එම තීරණයේ අනිවාර්ය ප්‍රතිඵල සහ බලපෑම් පිළිබඳව දැනගත යුතු අත්‍යාවශ්‍ය තොරතුරු පිළිබඳව දැනුවත්වීමකින් අනතුරුවය. නමුත් බාලවයස්කරුවන් මෙම ප්‍රභේදයට අයත් නොවේ.

මෙම ලිංගික පරිවර්තන ක්‍රියාදාමයට යොමුවන යෞවනයන්ට එහි ඉතිහාසය පිළිබඳව හෝ ඒ සඳහා යොදාගැනෙන ඖෂධ පිළිබඳව හෝ එවැනි වෛද්‍ය විද්‍යාත්මක මැදිහත්වීම්වල අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව හෝ කිසිදු වැටහීමක් නැත. ඔවුහු ජීවත්වන්නේ විශේෂයෙන්ම කොවිඩ්-19 ප්‍රතිපත්ති සහ ලොක්ඩවුන් තුළ ශීඝ්‍රයෙන් ගොඩ නගන ලද විද්‍යා ප්‍රබන්ධයක් තුළය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝගවලට නිවට ලෙස යටත්වුණු ලෝකයේ ස්වෛරී රටවල් ළමුන් ඔවුන්ගේ සමවයස් මිතුරු මිතුරියන්ගෙන්ද පවුල්වලින්ද ක්‍රියාකාරකම්වලින්ද, ක්‍රීඩාවන්ගෙන්ද වෙන්කර හුදෙකලා කරන ලදි. අනතුරුව ඔවුන්ව සන්සුන් කර ඔවුන්ගේ ජීවිතය ස්වාභාවික ප්‍රකෘති තත්ත්වය වෙත ගෙන එනු වෙනුවට තාක්ෂණික සමාගම් විසින් මෙම ළමුන්ගේ භීතිකාවන් වර්ධනය ‍කෙරෙන පරිගණක තිර මතට ඔවුන්ව කොටු කරන ලදි. එමගින් ඔවුන්ව මානසික අවපීඩනයන් උත්සන්න කරමින් ඔවුන් මත සමාජ මාධ්‍ය ජාලා හරහා සංක්‍රාන්තික ස්ත්‍රීපුරුෂ සමාජභාවයන් පිළිබඳ මතවාදයන් පටවන ලදි. කොවිඩ්-19 ලොක්ඩවුන්වල කාලකණ්නි සහගත ප්‍රතිවිපාක වලින් මිදීමට මෙම ළමුන් වෙත විවර කරන ලද දොරටුව එයයි.

කොවිඩ්-19 ප්‍රතිපත්ති මිහිමත සෑම මානවයෙකුටම එරෙහිව සිදු කරන ලද අපරාධයක් වන නමුත් එයින් වඩාත්ම පීඩා වින්දේ ළමුන්ය. ඔවුන්ගේ ලෝකයේ යථාර්තවාදි ප්‍රකෘති පැවැත්ම අහෝසි කරන ලද අතර එය විකාරරූපී යථාවක් බවට පත් කරන ලදි. ඔවුන්ගේ ජීවිත අනුභූතික ‍යථාර්ථය මත පැවැතීම අහෝසි කර එය ඩිජිටල් යථාර්ථයක් මතපිහිටුවන ලදි. ඒ මගින් මෙම ළමා පරපුරට ඔවුන්ගේ මවිපියන් සහ නෑදෑ වැඩිහිටියන් සමග ඇසුර අහිමි කරන ලදි.

එය අහම්බයෙන් සිදු වූවක් නොවේ. එය චේතාන්විතව,සැලසුම් සහගතව ක්‍රියාවට නංවන ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. ඖෂධ නිෂ්පාදන සහ ජීවතාක්ෂණික කාර්මික සංකීර්ණයේ සියලු පෙළඹවීම්වලට පහසුවෙන් ගොදුරු කරගත හැකි, කාලකණ්ණි සහ බියෙන් පෙළෙන දරුවන්ගේ පරම්පරාවක් නිර්මාණය කිරීම එහි අරමුණ විය.

මෙවැනි දුෂ්ට මතවාදයන් නැගෙනහිරෙන් කිසිදිනෙක පැමිණ නැත. අප ජීවත්වන්නේ අහිංසාවාදය උපත ලද සහ වර්ධනය කරන ලද කලාපයකය. නමුත් අපගේ ආර්ථික දුබලතාවන් හේතුවෙන් අපට බටහිර මුදල් ලබාගැනීමට බල කෙරෙන තත්ත්වයක් නිර්මාණය කෙරී ඇති අතර ඒ හේතුවෙන්ම ඔවුන්ගේ මතවාදයන්ද පිළිපැදීමට බල කෙරෙමින් පවතී. කොළඹ 7 වෙසෙන දරුවෙකු මෑතකදී මා සමග පවසන ලද්දේ ” ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මතවාදය යහපත් එකක්. ඒ මගින් නියෝජනය කරන්නේ සමලිංගික වීම හේතුවෙන් ගල්ගසා මරාදමන ලද අයයි”.
මෙම දරුවා අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්තර පාසලකය. ඔහුට සිය දෙමව්පියන්ගේ මවුබස කථා කළ නොහැකිය. ඔහු ආහාර ගනු ලබන්නේ දෙමව්පියන් සමග නොව ” Uber” වෙතින් ආහාර ඇණවුම් කිරීම මගිනි. ඔහුගේ නිවාඩුකාලය ගතවන්නේ විදේශයන්හි සහ තරුපහේ හෝටල්වලය. මේ රටතුළ සමලිංගික වීම නිසා වෙනත් කවර හෝ හේතුවක් නිසා මිනිසුන් ගල්ගසා මරාදමා නැති බව දැනගැනීමට මෙම දරුවාට අවස්ථාවක් නැත. මෙම දරුවා සහමුළින්ම යථාර්ථයෙන් වෙන්ව ජීවත් වෙයි. අපගේ රටවල් තුළ සමලිංගිකතාව විහිනතාවක් ලෙසින් නොව උපලක්ෂණයක් හෝ ගුණාංගයක් ලෙසින් සළකන බව මේ දරුවා දන්නේ නැත.( අපි අති විනීත බටහිර ක්‍රිස්තියානුවන් නොවෙමු.) තවමත් කලාවට ගරු කරන මෙම රටතුළ , අපගේ හොඳම කලාකරුවන් අතර සමලිංගික කලාකරුවන් රැසක් සිටිති. තවද, ඉඳහිට පැවැත්වෙන සංක්‍රාන්ති ලිංගිකයන්ගේ සාද බොහෝ දෙනෙක් සහභාගී වීමට ප්‍රිය කළ ස්ථාන විය. ඔවුහු සතුටින් සහ බියෙකින් තොරව ජීවත්වූහ.දෙමාපියභාවය රාජකාරියේ බරින් කෙනෙකු පුරවන අතර, සමලිංගිකත්වය මිනිස් නිර්මාණයේ අලංකාරය ආරක්ෂා කළේය.

මගේ තර්කය ඉදිරිපත්කරන්නේ දැනුවත් තෝරාගැනීම් සිදුකර වැඩිහිටියන් සඳහා නොව ළමුන් වෙනුවෙනි. අප අතරින් කී දෙනෙකු අපගේ පාසල් සමය තුළ සමාන ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වී නොමැතිද ? අප එය හැඳින්වීමට හුරුව සිටියේ ඇඟෑලුම්කමක් නැතහොත් ” ක්‍රෂ් එකක්” ලෙසය. අප එය තුළට ඇතුළු වුවා මෙන්ම එයින් බැහැරවීමද සිදු විය. අපගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ මුල්කාලීන ඇඟෑලුම්කම් කුමක් වුවද පසුකාලීනව දෙමව්පියන් බවට පත්ව තමන්ගේ වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම ගෙන ගියෝය. ඉහත ඇඟෑලුම්කම් අපගේ ළමාවියේ සොඳුරු මතකයන් ලෙස ඉතිරිව පවතී.

වර්තමානයේදී අපගේ දරුවන්ට ළමාකාලයක් නැත.

සමාන ලිංගිකයක් කෙරෙහි ආකර්ෂණයක් ඇතිවන විට වර්තමානයේ දරුවෙකු කරන්නේ ඒ පිළිබඳව දෙමව්පියන්ගෙන් හෝ මිතුරු මිතුරියන් සමග සාකච්ඡා කිරීමට පෙර අන්තර්ජාලය තුළ ඒ පිළිබඳව ඇත්තේ මොනවාදැයි විමසා බැලීමය. එවිට අල්ගොරිතම විසින් ඔහුව යොමුකරන්නේ ඔහු ස්ත්‍රිපුරුෂ සමාජභාවය පිළිබඳ ද්‍රවශීලිතාවයෙන් පෙලෙන අයෙකු බවට විශ්වාස කිරීමට පෙළැඹවීම සඳහාය. ජීව විද්‍යාත්මක ලිංගිකත්වය මෙහිදි සහමුලින්ම නොතකා හැරේ. X සහ Y ක්‍රොමසෝම විසින් ජීව විද්‍යාත්මක ලිංගිකත්වය නිර්ණය වන බවද බොරුවක් බවද ඉගැන්වේ. සායනික ප්‍රතිකාර ලැබීම සඳහා යොමුවීමට පළමු ඔහු විසින්ම ස්වයං- විනිශ්චයක් සිදුකරගෙන තිබේ. සායනික චිකිත්සකයාද එම සමූහගායනයම ප්‍රතිරාවය කරයි. දෙමව්පියන් මෙහිදී සම්පූර්ණයෙන්ම අසරණ බවට පත්කර තිබේ.

නමුත් ජීව විද්‍යාත්මක සත්‍යය ප්‍රතික්ෂේපකළ නොහැකිය. ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ සම්පූර්ණ න්‍යායම පදනම්ව ඇත්තේ කුඩා කල සිය ප්‍රචණ්ඩ පියා විසින් පුරුෂ ලිංගිකත්වයට වෛර කිරීමට උගන්වන ලදුව මානසික කම්පනයට ගොදුරු වූ ජොන් මොනේ නම් පුද්ගලයා විසින් ගොතන ලද පර්යේෂණයක් මතය. ඔහු පිරිමි බිලිඳුන්ගේ ලිංගික අවයව ශල්‍යකර්ම මගින් කප්පාදු කලේය. එම පිරිමි බිළිඳුන්ට අනාගතයේදී සමලිංගිකයන් මෙන් තමන්ගේ ජීවිත සාමාන්‍ය පරිදි ගතකිරීමේ හැකියාව තිබිණි. නැතහොත් ආබාධිත මූලික ලිංගික අවයවන් තිබූ අවස්ථාවලදී පිටියුටරි ග්‍රන්ථිය සක්‍රිය කෙරෙන හෝර්මොන ප්‍රතිකාර මගින් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකියාව තිබිණි. ජොන් මොනේගේ ස්ත්‍රි-පුරුෂ සමාජභාවය පිළිබඳ න්‍යාය සහ එහි දරුණු ප්‍රතිවිපාක විසින් නිරෝගී දරුවන් සිය දිවිනසාගැනීම්වලට සහ මරණයට ගොදු වූ ආකාරය පිළිබඳව ජෝන් කොලපින්ටෝ ( John Colapinto) විසින් ලියන ලද “ස්වභාව ධර්මය ඔහුව නිර්මාණය කළ ආකාරයට” (As nature made him.) නම් කෘතිය තුලින් කියවිය හැකිය.

අපගේ දරුවන්ට අප කරමින් ඇත්තේ කුමක්ද? තවදුරටත් අපි ඔවුන් හදාවඩාගන්නේ ඔවුන්ට යථාර්ථය සහ ප්‍රබන්ධය වෙන්කර හඳුනාගැනීමට පහසුවන පරිදි කතන්දර පැවසීම්, නාට්‍ය රංගනයෙන් හෝ පොතපත් කියවීමෙන් තොරවද? මා විසින් කතා කරන ලද බොහෝ දරුවන් මනෝ චිකිත්සක උගුලට හසුව තිබේ. මෙම දරුවන් මානසික රෝගීන් නොවන අතර ඔවුහු සාමාන්‍ය දරුවෝ වෙති. ඔවුන්ගේ කාංසාව මෙම වයසේ සාමාන්‍ය ලක්ෂණයකි.

සිය විභාගයෙන් පසුව සාංකාව උත්සන්න වූ දරුවෙකු මෑතකදී මට මුණගැසිණි. තමන් විසින් දරුවා මත පටවා ඇති තමන්ගේම අභිලාෂයන් සහ ඉලක්කයන් ඉවත්කරගනු වෙනුවට මෙම දෙමව්පියන් සිදු කර ඇත්තේ ඔහුව මනෝ චිකිත්සකයෙකු වෙත යැවීමය. එමගින් එම දරුවාගේ ස්වාභාවික සහජාසය මානසික රෝගී තත්ත්වයක් ලෙස නිර්ණය කරනලදි. ළමුන්ට මනෝ චිකිත්සකයන් අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩාවේ සහ රංගනයේ යෙදීමටය.

මනෝ චිකිත්සකයෝ ස්වකීය ආදායම තරකරගැනීම සඳහා යමෙකුගේ මනසේ පවත්නා රෝගී තත්ත්වයන් පිළිබඳ මවාගැනීම් මත රඳා පවතින්නෝය. විභාග විසින් සෑමවිටෙකම දරුවන් ආතතියකට ලක්කරනු ලබයි. අතීතයේදී දෙමව්පියෝ දරුවන්ගේ ස්වාභාවික ප්‍රතික්‍රියාවන් තුලින් රෝග නිර්මාණය කරනු වෙනුවට සිදු කළේ ඔවුන්ව එළිමහනට ගොස් ක්‍රීඩා කිරීම හෝ දරුවන් සාමාන්‍යයෙන් කිරීමට කැමැති දේවල් කිරීම සඳහා දිරිගැන්වීමය. ආතතිය බවත් කිරීම සඳහා හොඳම ප්‍රතිකාරය එයයි. මෙමගින් දරුවාට සිය ස්වයං නියෝජනය අහිමි නොවනවා පමණක් නොව දැඩි ආතතියක් පවත්නා තත්ත්වයන්ට මුහුණදී එ්වා ජයගැනීමට බලයක් ද ළමයා තුළ නිර්මාණය කරයි. පැවැත්ම පිළිබඳ පළමු පාඩම එයයි.

ඇතැම්විට විදේශීය විශ්ව විද්‍යාලවලට යන දරුවෙකුට මිතුරුන් සොයාගැනීම අසීරු විය හැකිය. ඔහු ඔහුගේ දෙමව්පියන් අමතමින් තමන්ට මිතුරු මිතුරියන් නොමැති බව පවසයි. මෙහිදී දෙමව්පියන් කරන්නේ සමාන අදහස් ඇති අය සොයාගැනීමට ඉවහල්වන යම් ක්‍රීඩා හෝ කලා ක්‍රියාකාරකම්හි යෙදෙන කණ්ඩායමකට සම්බන්ධවීමට සිය දරුවාට උපදෙස් දෙනු වෙනුවට ඔහුට මනෝ චිකිත්සාව නිර්දේශ කිරීමයි. ජීවිතයේ සෑම දෙයක්ම ඩිජිටල්කරණය කර ඌනනය කර ඇත්නම්, ආපසු හැරවීමක් සිදු කර ඇත්තේ මනෝචිකිත්සක රෝග විනිශ්චයයි.
.
මානසික රෝග යනු ව්‍යාධි විද්‍යාත්මක විෂයයක් නොවේ. ඒවා සොයාගැනීම්ය. “මානසික ආබාධ පිළිබඳ සංඛ්‍යානමය අත්පොත“ (Diagnostic and Statistical Manual of Mental Disorders- DSM ) යනු විද්‍යාවක් නොව ප්‍රබන්ධයකි. කලක් අපි සාමාන්‍ය යැයි සලකන ලද සියලු තත්ත්වයන් එහි මානසික රෝග ලෙස වර්ගීකරණය කර තිබේ. ලජ්ජාශීලිත්වය, අන්තර්වර්තනය, සැකය, කනස්සල්ල, උකටලී බව, හුදෙකලා බව යනාදිය ස්ථාවර තත්ත්වයන් නොවේ. ඒවා වඩදිය සහ බාදිය මෙනි. සාමාන්‍ය උච්චාවචනයට ලක්වන මෙම මිනිස් හැඟීම් දැන් මානසික ආබාධ ලෙස සැලකේ. සිය ආසියාතික පවුල සහ පරිසරය අත්හැර දමා කැනඩාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිටත්වන අසරණ දරුවෙකුට සමීප මිතුරන් සොයාගත නොහැකි වීම සමාජ කාංසා අක්‍රමිකතාව (social anxiety disorder) ලෙස නිර්ණය කරනු ලැබේ. සීමා සහිතව සමාජ සබඳතාවන්ට නිරාවරණය වීමට දක්වන පෙළැඹුම සමාජශීලිත්වයේ අක්‍රමිකතා( meeting people disorder) හෝ ආත්ම විශ්වාසයේ අක්‍රමිකතා ලෙස විනිශ්චය කරනු ලැබේ. දැන් මෙම දරුවා ඖෂධීය ප්‍රතිකාර ලැබිය යුතු අන්තයක පසුවන්නේ යැයි නිගමනය කර ඇති බැවින් ඔහුගේ පෞරුෂය වෙනස් කිරීමට සැලසුම් කෙරේ. අනතුරුව කෙටි කලක් තුළ ඔහු භින්නෝන්මාද පෞරුෂයකින් පෙලෙන බවට නිර්ණය කරමින් වඩාත් හානිකර මනෝචිකිත්සක ඖෂධ නිර්දේශ කෙරේ. මේ සියල්ලලෙන් පසුව දරුවා සිය පැරණි සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට ඇති ඉඩකඩ ඉතා අඩුය.

විදේශීය රටකට යන කිසිවෙකුට ක්ෂණිකව මිතුරන් සොයාගත නොහැකිය. ඒ සඳහා කාලය, උත්සාහය සහ ඒ සියල්ලනටම වඩා ඉහළින් අධිෂ්ඨානයක් පැවැතිය යුතුය. මිතුරන් සොයාගැනීම සඳහා යම් ක්‍රීඩා හෝ කලා සංගමයකට එක්වීමට නිර්දේශකරනු වෙනු වෙනුවට දෙමව්පියන් විසින් දරුවා මනෝ චිකිත්සාවට යොමු කිරීම දෙමව්පියන්ගේ සම්පූර්ණ අසමත්භාවයට ඉහළම නිදර්ශනයක් ලෙස සැලකිය හැකි අතර තමන්ගේ පහසුව සඳහා ඔවුහු දරුවාගේ නියෝජනය සම්පූර්ණ ආගන්තුකයෙකු වෙත පවරා දෙයි.

ආගන්තුකයෝ අපගේ දරුවන්ගේ හැඟීම්, අවශ්‍යතා, අදහස් නොදනිති. ඒවා පිළිබඳ දැනුවත්බව ඇත්තේත්, තේරුම්ගත හැක්කේත් දෙමව්පියන් වන අපට පමණි.

හංගේරියන් ඇමෙරිකානු මනෝ වෛද්‍යවරයෙකු වන තෝමස් ට්සාස්ට්ස් (Thomas Zsasz) මෙසේ පවසයි.“ මනෝ සෞඛ්‍යය පිළිබඳ වර්තමාන මෙවලම් වූකලී අතවර කිරීමේ දැවැන්ත මෙවලම්ය. එහි විශාලතම ගොදුර බවට පත්ව ඇත්තේ ළමුන්ය.“

දෙමව්පියන්ට තවදුරටත් තමන්ගේ දරුවන් කෙරෙහි බලපෑමක් නැද්ද? ඔවුහු තවදුරටත් දරුවන්ගේ මාර්ගෝපදේශකයෝ හෝ අනාගතය දකින්නෝ නොවෙතිද? සිය මවගෙන්, මුතුන්මිත්තන්ගෙන් ලද තමන් ලද දැනුම සිය දරුවන් වෙත ලබාදීමට ඩිජිටල් විප්ලවය විසින් ඔවුන්ට බාධාකර ඔවුන් අසරණ බවට පත් කර තිබේද?

ස්ත්‍රියක් යනු කවරෙක්ද? මාතෘත්වය පිළිබඳ පෞරාණික දැක්ම

ස්ත්‍රියක් යනු කවරෙක්ද? ස්ත්‍රියක් යනු වර්තමාන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ මතවාදයේ කෘත්‍රිම සහ විකාර වාංග්මාලාව තුළ හඳුන්වා දෙන පරිදි හුදෙක් “උපත් සිදුකරන පුද්ගලයා“ (birthing person) නොවේ. මවක් යනු බෙහෝ වැඩි අයෙකි. ඇය අනන්තය, අපරිමිතය.

ආසියාතිකයන් වන අපගේ වෛදික සහ පෞරාණික ප්‍රඥාවේ උරුමයට අනුව බිහිවීම නැතහොත් උපත සිදුවන්නේ හිරුගේ සහ සහ සඳුගේ අන්තර් ක්‍රියාකාරිත්වය හේතුවෙනි. හිරු යනු පුරුෂ ක්‍රියාකාරිත්වයේ සංකේතය වන අතර චන්ද්‍රයා විසින් නියෝජනය කරන්නේ ස්ත්‍රී මූලධර්මයන් වන මනස, හැඟීම්, සංසුන් බව සහ ප්‍රතිභාඥානයයි.

ස්ත්‍රී මූලධර්මය යනු පුරුෂ මූල ධර්මය වන වෘක්ෂය නැතහොත් ශාකය වෙත ජීවය ලබා දෙන බීජයයි.

පෞරාණිකයන්ට අනුව ස්ත්‍රී මූලධර්මය යනු ජ්‍යොති හෙවත් ආලෝකයයි.

මාතාව යනු අන් කවරෙකු හෝ නොව උත්තරීතර ස්ත්‍රිවාදි දේවතාවිය වන පාර්වතීය. ඇය සප්ත සෘෂිවරුන් නැතහොත් අනාගත වක්තෘවරුන් පිරිවරා ආලෝකයේ සහ බලයේ ප්‍රභවය වන ජ්‍යොතිලිංගම් මධ්‍යයේ වැඩ වසයි. වෛදික තාරකා විද්‍යාව වන හෝරා ශාස්ත්‍රයේ කර්තෘවරයා වන පරශාර පවසන අන්දමට “සෑම ශාස්තෘවරයෙකුම ග්‍රහයන් 7ක ශක්තිය, බුද්ධිය සහ රසය නියෝජනය කරයි.” මෙහිදී රසය යනු දිවට දැනෙන “රසය” නොවේ. එය ජීවිතයේ තීරණාත්මක අත්‍යවශ්‍ය ගුණාංගයකි. දිව්‍යමය මාතාව වන පාර්වතී ජ්‍යොති නැතහොත් ආලෝකය යනුවෙන්ද හැඳින්වේ. මක් නිසාද යත් ඇය සප්ත සෘෂිවරුන්ගේ ආලෝකය අවශෝෂණය කරගන්නා බැවිනි. ජ්‍යොතිගේ මාතෘ ස්වරූපය සරස්වතීය. “ස“ යනු සියල්ලය. “රස“ යනු ගුණාත්මක බවයි. “වතී“ යනු දිව්‍යමය රසයේ අධිපතිනියයි.

මේ වනාහි මාතාවයි. ඇය සප්ත සෘෂිවරුන්ගෙන් ලබාගන්නා රසය ඇය සිය දරුවාට ඇගේ නාඩි: ස්පන්දන මගින් ලබා දෙයි.

මාතාව යනු ආලෝකයයි. අන්ධකාරය පරදවන ආලෝකය ඇයයි. මාතාව තුළ පවත්නා ගිනිදැල් ඇගේ දකුණු ඇසෙන් ධර්මය ‍ලෙස නිකුත් වේ. ඇගේ වම් ඇසෙන් අනුකම්පාව, දයාව සහ ආදරය නිකුත් වේ. ඇගෙ දෙවන ඇස වන “අජ්න“ මගින් සත්‍යය පිළිබිඹු වේ.

ඇගේ දරුවා පුත්‍රයෙක්ද දියණියකද යන්න ඇය දනී. සැකයක් පවතී නම් සැකයේ අන්ධකාරය පලවා හැරීමේ හැකියාව මාතාව සතුව පවතී. එය අහිංසාවයි. මව විසින් සිය වගකීම දරාගත යුතුය. අපේ පැරණි ප්‍රඥාව තුළ දරුවෙකුගේ දුක පිළිබඳ බොහෝ ඉඟි ඇති බව ඇය දැන සිටිය යුතුය.සමහර විට ග්‍රහලෝකවල චලනයන් හරහා එය පහසුවෙන් පැහැදිලි කළ හැකිය.විපත පහව යාමට ඉඩ ඇති බැවින්, ඒවා පහව යන තෙක් බලා සිටීම පමණක් කළ යුතුය.

ළමුන්ව පාලනය කරන සහ ඔවුන්ව උදුරාගන්නා සයිබර් අවකාශය යනු දරුවන්ගේ ව්‍යාකූලත්වය, විකෘති කිරීම සහ වන්ධ්‍යා කරණයට ලක්කිරීම එමගින් ද්‍රව්‍යමය වාසි ලබාගන්නා බලවේග විසින් නිර්මාණය කර පාලනය කරනු ලබන වංකගිරියකි. එය ඔවුන්ට ලාභ ගෙන දෙයි. “සංක්‍රාන්තික ලිංගිකත්වය, සංක්‍රාන්තික ස්ත්‍රිපුරුෂ සමාජභාවය, සහ සංක්‍රාන්තික මානුෂිකත්වය“ (Transsexual, Transgender, Transhuman’) නැමැති කෘතියේ කතුවරිය වන ජෙනිෆර් බිලෙක් (Jennifer Bilek) පවසන්නේ “ඔබට යමක් පිළිබඳව සත්‍යය දැනගැනීමට අවශ්‍ය නම් ඒ පිටුපස පවතින මුදල් වල අඩිපාර හඹායනු“ ලෙසයි.

ළමුන්ගේ ජීවිත ගලවාගැනීම යමෙකුගේ අරමුණ නම් ඔහු හෝ ඇය විසින් කළ යුත්තේ සමාජ යුක්තිය පිළිබඳ හිස් අලංකාරිකයන්ට රැවටීම වෙනුවට සත්‍යය සොයා යාමයි. සත්‍යය සයිබර් අවකාශයේ අන්තර්ගත නොවේ. සයිබර් අවකාශය පාලනය වන්නේ උපරිම ලාභ ලැබෙන පරිදි අල්ගොරිතම මගින් එය හසුරුවන බලවේගයන්ටය. සයිබර් අවකාශය යනු සත්‍යය පාවාදීම ප්‍රතික්ෂේප කරන්නවුන් “අන්ත දක්ෂිණාංශිකයන්, උමතු ආගම්වාදින් සහ නාසි වාදින් ලෙස ගර්හාවට පත් කෙරෙන අවකාශයකි. බාලවයස්කාරිත්වය, දැනුම සහ අත්දැකීම් නොමැතිවීම හේතුවෙන් තමන්ට වටහාගත නොහැකි දේවලට ගොදුරුවීමෙන් තමන්ටම හානිකරගැනීමෙන් ළමයෙකුගේ ජීවිතය ගලවා ගැනීමට කටයුතු කිරීම අන්ත දක්ෂිණාංශිකවාදි වීම නොවේ. එය අහිංසාවාදයයි.

වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන න්‍යායන් දෙකකි. එනම් මියාම්සා( Miasma theory) සහ විෂ බීජ (Germ theory) යන න්‍යායයන්ය. මියාම්සා න්‍යාය අනුව රෝගවලට ප්‍රතිකාර කරනුයේ පෝෂණය මගින් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරමින් විෂවලට ආවරණය වීම වැළැක්වීමය. විෂබීජ න්‍යාය අනුව ක්ෂුද්‍රජීවින්ගේ ආසාදනයන් හේතුවෙන් රෝග ඇතිවන බව පැවසෙන අතර එම විෂබීජ විනාශ කිරීම සඳහා විෂ යොදාගැනේ. පසුගිය ප්‍රෝඩාකාරි කොවිඩ්-19 වසංගත කර්මාන්තය තුළ පැවැති ඒකාධිපතිවාදි ක්‍රියාකාරකම් විෂබීජ න්‍යාය විසින් මහජන සෞඛ්‍ය ආක්‍රමණය කිරීම සඳහා මනා නිදසුනකි. ස්වයං විනාශකාරි වැඩිවිය පැමිණීම වළක්වන ඖෂධ, ප්‍රතිවිරුද්ධ ලිංගික හෝර්මෝන, ලිංගික අවයව කප්පාදුව, ඉහළ සිට පහලට කෙරෙන ශල්‍ය කර්මයන් ආදිය වෙතට ළමුන් පෙළැඹවීම, තල්ලුකිරීම, සහ එමගින් ඔවුන් පරිවර්තනය කිරීමට තැත්කිරීම වනාහි මනෝවිද්‍යාත්මක මට්ටමේදී සිදුවන එම විෂබීජ න්‍යායේම දිගුවකි. එය දරුවන්ට ආදරය කරන ඔවුන් රැක බලාගන්නා ආසියානු අපගේ අහිංසාවාදයට ප්‍රතිවිරුද්ධ දෙයකි.

.
වැඩිදුර කියවීම්

බොරුවෙන් ජීවත් නොවෙමු: ලිංගික මතවාදයේ ඉතිහාසය

Bad Therapy by Abigail Shreir. Transnation by Miriam Grossman, Transgender by Jennifer Bilek. Trans by Helen Joyce