අහිංසාවාදයට සිදු වූයේ කුමක්ද? ජාතික විමුක්ති ව්‍යාපාරයන්ට එරෙහි අධිරාජ්‍යවාදයේ රහසිගත මෙහෙයුම්: බණ්ඩාරනායක ඝාතනය සහ නොබැඳි ව්‍යාපාරයේ බිඳ වැටීම

මනුකා විජේසිංහ

(මෙම ලිපිය මනුකා විජේසිංහ විසින් ලියන ලද What Happened To Ahimsa? – From Ahimsa To Democracy & Non-Alignment To Gender Ideology යන ලිපියේ පළමු කොටසේ පරිවර්තනයයි.)

තමන් විසින් මෙහෙයවන ලද කාලිංඝ යුද්ධයේදී වගුරුවන ලද අපරිමිත රුධිර ගංගාවන් හේතුවෙන් පසු තැවිල්ලට පත් ධර්මාශෝක අධිරාජයා විසින් අහිංසා ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ” සතුන්ට හිංසා නොකරනු”
යන නීතිය පැනවූ බව පැවසේ.

අහිංසාවාදය පදනම්ව ඇත්තේ සියලු ජීවීන් දිව්‍යමය ශක්ති ප්‍රවාහයක කොටසක් බවත් එයට හානි නොකළ යුතු බවත් යන අදහස මතය. බුදුදහම සහ ජෛන දහම උපත ලබාඇත්තේ මෙම අහිංසාවාදයේ බීජ තුළිනි. අනෙක් අතට, කාලිංග යුද්ධයෙන් පසුව පසුතැවිල්ලට පත් ධර්මාශෝක බුදු දහම වැළැඳගත් බවත් අවට රාජ්‍ය්‍යන් වෙත බුදු දහම සහ ඒ මගින් අහිංසාවාදය පතුරුවාහැරීම සඳහා ධර්මදූතයන් පිටත්කර හැරි බවත් අපට උගන්වා ඇත.

අශෝක ජෛනයෙක් ද බෞද්ධයෙක් ද යන්න වැදගත් නොවේ, මක්නිසාද යත් ‘අහිංසාව’ උතුම් වන අතර ශ්‍රේෂ්ඨතම ශාන්තිකර ආගමික දර්ශනයන් වන ජෛන හා බුදුදහමේ ගොඩනැගී ඇති පදනම වන්නේ ‘අහිංසාව’ යන උතුම් මූලධර්මයේ පදනම මත බැවිනි.

අපට මෙය දෙස වෙනත් කෝණයකින්ද බැලිය හැකිය. අශෝක අධිරාජයා අහිංසාවාදය අනුගමනය කළේ පශ්චාත්තාපය නිසා නොව අසල්වැසි රාජ්‍යයන් තමන්ගෙන් පලිගැනීමට හෝ තමන්ට එරෙහි යුද්ධ කිරීම වැලැක්වීම සඳහා ඔවුන් නිශ්ක්‍රීය කිරීම සඳහා විය නොහැකිද?
අරමුණ කුමක් වුවද අහිංසාවාදී ප්‍රතිපත්තිය උතුම් නියෝගයකි. වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ අහිංසාවාදය ආසියානු ශික්ෂාපදයක් විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව ගාන්ධි සිය අරගලය දියත්කරන ලද්දේ අහිංසාවාදී මූලධර්ම මත පදනම්ව දියත්කරන ලද සත්‍යග්‍රහ සහ ප්‍රචණ්ඩ නොවන විරෝධතා මගිනි.

අහිංසාව බුදු දහමේ පංචශීලයන්ගෙන් පළමු එක වන අතර එම පංචශීල අදහස මත ගොඩනැගුණු නොබැඳි ව්‍යාපාරයේ සංකේතය බවට පත් විය. භූ-දේශපාලනයට අදාළ වන පරිදි මෙම ශික්ෂාපද නිර්වචනය කරන්නේ නම් ඒවා, එකිනෙකාගේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ගෞරව කිරීම, එකිනෙකාට එරෙහිව ආක්‍රමණශීලී නොවන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, සෙසු රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම් නොකිරීම, රාජ්‍යයන් සහ ජාතීන් අතර සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සාමකාමී සහජීවනය ලෙස වටහා ගත හැකිය.
.
මුස්ලිම් රාජ්‍යයක් වූ ඉන්දුනීසියාවේ ජනාධිපති සුකර්නෝගේ ප්‍රධානත්වයෙන් ඉන්දුනීසියාවේ බැංඩුං හි දී ආරම්භ කරන ලද නොබැඳි ව්‍යාපාරය අනුගමනය කරන්නේ යැයි ප්‍රකාශිත ප්‍රධාන මූලධර්ම පහ එයයි.

නොබැඳි ව්‍යාපාරය දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව ක්ෂණිකව බිහි නොවීය. එය බිහි වූයේ දෙවන ලෝක යුද්ධයේ විනාශකාරි ප්‍රතිඵල හෝ මානව ඛෙදවාචකයන් පිළිබඳව කිසිදු පසුතැවිල්ලක් නොමැති බටහිර අධිරාජ්‍යවාදි රාජ්‍යයන් විසින් ඔවුන්ගේ කාර්මික යුද සංකීර්ණයන් සහ ඝාතක යන්ත්‍ර අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටින බව වඩවඩාත් පැහැදිලි වෙමින් පැවැති “පරිකල්පිත සීතල යුද්ධ” තත්ත්වයක් තුළය. කාලිංග යුද්ධයේ මිනිස් ඝාතනවලින් පසුව අශෝක අධිරාජ්‍යයා තුළ පහළ වූ පසුතැවිල්ල මෙම බටහිර රටවල් තුළ නොවීය. මෙම බටහිර ආක්‍රමණශීලි යුදවාදයේ කළු කුහරය තුළට සමාජවාදි සෝවියට් සංගමයට එරෙහි විරෝධය, විඥානවාදය, ඝාතන, බොරුව, වෛරයපැතිරවීම සහ ලෝභකම වපුරුවමින් තුන්වන ලෝකය ආකර්ෂණය කරගැනීමට අපේක්ෂා කරන ලදි.

මෙම කළුකුහරය තුළ තුන්වන ලෝකය ගිලී යාම වළක්වන ලද්දේ නොබැඳි ජාතින්ගේ ව්‍යාපාරයයි.

නොබැඳි ව්‍යාපාරයේ බැංඩුං සම්මේලනය

ආසියාවේ හෝ අනෙකුත් තුන්වන ලෝකයේ ජාතින් මෙන් නොව යුරෝපය එහි ඉතිහාසයෙන් වැඩි ප්‍රමාණයක් ගත කර ඇත්තේ ඝාතන භූමියක් ලෙසය. එක්සත් ජනපදය එහි පූර්ව ඉතිහාසයේ පවා ඝාතකාගාරයක් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපය බිඳවැටී තිබිණි. එහි තරුණ ජනයා යුද්ධයේදී මරණයට පත්වී හෝ ආබාධිතයන් බවට පත්වී තිබිණි. බ්‍රිතාන්‍ය සහ එහි බටහිර සන්ධානය යුද්ධය ජයගත්තේ ඔවුන්ගේ අධ්‍යාත්මික හෝ සදාචාරත්මක උසස් බව නිසා නොව ඔවුන්ගේ ආයුධවල අනභිභවනීය බලය සහ තමන්ගේ යටත් විජිතවලින් සිය හමුදාවන්ට බඳවාගන්නා ලද පරාධීන ස්වදේශික සෙබළුන් මිලියන ගණන් නාසි හමුදාවන් වෙත බිලිදීම මගිනි. යුද්ධය ආරම්භ කරන ලද්දේ එවකට යුරෝපයේ වඩාත් දියුණුම කාර්මික රාජ්‍යය වූ ජර්මනියට සිය වෙළඳපළ සහ අමුද්‍රව්‍ය සඳහා ස්වකීය අධිරාජ්‍යවාදි සැලසුම් දියත් කිරීමට ගත් උත්සාහය හේතුවෙනි. මේ වනවිට ලෝකය සෙසු බටහිර අධිරාජ්‍යවාදින් වන බ්‍රිතාන්‍ය, ප්‍රංශය, බෙල්ජියම හෝ ස්පාඤ්ඤය විසින් බෙදාගෙන තිබූ අතර පළමු ලෝක යුද්ධයෙන් පරාජිත ජර්මනියට සිය “ජීවන අවකාශය” පුළුල් කරගැනීම සඳහා යුද්ධය දියත් කිරීමට සිදුව තිබුණේ බෙහෙවින් ප්‍රමාදවීය. බටහිර රටවල් ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කළේ ජර්මනිය නැගෙනහිරට ගමන්කිරීම ඇරඹූ පසුව පමණි. හිට්ලර් විසින් සිදු කර ඇති අපරාධයන්ද බ්‍රිතාන්‍ය, බෙල්ජියම්, ප්‍රංශ හෝ ලන්දේසි යටත්විජිවාදින් විසින් සිය යටත්විජිතයන් තුළ ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්හිදී සිදුකර ඇති අපරාධවලට සමාන අපරාධ වේ. සෝවියට් සංගමයේ අති විශාල භූමි ප්‍රමාණයක් සතුවූ අසීමිත ස්වාභාවික සම්පත් හිට්ලර් විසින් අයත් කරගැනීමට පෙර ඔහුව නැවැත්විය යුතුව තිබිණි. හිට්ලර්ගේ ආක්‍රමණය පරාජය කරන ලද්දේ බටහිර මිත්‍ර සංධානය නොව සෝවියට් සංගමයේ රතුහමුදාව ඇතුළු එහි ජනතාවන් මිලියන 27ක් ජීවිත පරිත්‍යාගයෙන් ගෙන ගිය අරගලය හේතුවෙනි.

දෙවන ලෝක යුද්ධය නිමාවන විට යටත්විජිත බලය පිරිහෙමින් තිබිණි. එමෙන්ම යටත්විජිත බලවේග එහි මූල්‍යමය සීමාවන්ට මුහුණදෙමින් සිටි අතර යටත් විජිත තුළ සෘජු ආධිපත්‍යයක් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් පැවැතිණි. පසුව එවකට එක්සත් ජනපද ජනාධිපති රූස්වෙල්ට්ගේ අදහසක් අනුව එක්සත් ජාතින්ගේ සංවිධානය නිර්මාණය කරන ලදි. එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියට අනුව එහි සාමාජික රටවල් විසින් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට කැප විය යුතු අතර ජාත්‍යන්තර නීතිය පිළිපදිමින් තමන්ගේ රටවැසියන්ට කිසිදු ආකාරයක වෙනස් ලෙස සැලකීමකින් තොරව උපරිම ජීවන තත්ත්වයන් ලබා දීම සහ මානව හිමිකම් සහ මූලික නිදහස ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ යුතු විය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ 2.7 වගන්තිය අනුව කිසිදු රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සිදු නොකළ යුතුය. නමුත් යථාර්ථයේදී තත්ත්වය වෙනස් විය. බටහිර අධිරාජ්‍යවාදි රටවල් සිය පැරණි යටත් විජිත තුළ දියත් කළ රහසිගත මෙහෙයුම් (stay behind operations) දිගටම සිදු විය. ආගම යුද අවියක් බවට පත් කිරීම, උත්කර්ෂයට නංවන ලද නමුත් අකාර්යක්ෂම සංවර්ධන ප්‍රතිපත්ති, ස්වදේශික ජනතාවන්ගේ බුද්ධිය සහ දැනුම පහල මට්ටමක පවත්වාගෙන යාම ආදිය මෙම රහසිගත මෙහෙයුම්වලට ඇතුළත් විය.

සාමාජික රටවල් විසින් බොහෝ කලෙක සිටම අවබෝධ කරගෙන තිබුණේ උසස් ජීවන තත්ත්වයක් ලබාගැනීමේ ඉලක්කය නිර්-යටත්විජිතකරණයෙන් තොරව සාක්ෂාත් කරගත නොහැකිබවය. එහෙයින් 1960 දී එක්සත් ජාතින්ගේ මහා සභා සම්මේලනය විසින් සිය 1514(XV) යෝජනාව මගින් සියළු යටත් විජිත රාජ්‍යයන්ට සහ එවායේ ජනතාවන්ට ස්වාධීනත්වය ලබා දිය යුතු බවට ප්‍රකාශයට පත් කරන ලදි. මේ අනුව පැරණි යටත්විජිත ජනතාවන්ට ඔවුන්ව යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදි හාම්පුතුන් සතුව පවතින සියලුම අයිතීන් හිමිවිය යුතුවිය. “සමාන අයිතීන් සහ ස්වයංතීරණය “ නූතන ලෝකයේ “අහිංසාවාදය“ විය.

එහෙත් අරමුණ එකක්ම වූයේද?

එසේ වූයේ නැත. මෑතකදී නිදහස ලද ජාතින් සමාන අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අලංකාරිකයන්ගෙන් මුලාවට පත් කිරීම බටහිර ජාතින් විසින් පුරුදු පරිදි දිගටම සිදු කරගෙන ගියේ පුද්ගලික හිමිකාරිත්වය සහිත විදේශීය සමාගම් මගින් සම්පත් කොල්ලය සිදු කරමින් සහ දේශීය ප්‍රභූ පෙළැන්තියට වරදාන දෙමින් ඔවුන් සිය න්‍යාය පත්‍රයට නැටවෙන දූෂිත රූකඩ බවට පත්කරමිනි. මෙයට සමාන්තරව සී අයි.ඒ (Central Intelligence Agency- CIA) නැතහොත් ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය විසින් එම රටවල ආගමික වෙනස්කම් යුද අවියක් බවට පත්කරමින් අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කරන ලදි.

ඩැග් හැමර්ෂල්ඩ්

එක්සත් ජාතින්ගේ සංවිධානය සතුව විශිෂ්ට ප්‍රඥප්තියක්පැවතුන ද, ආරක්ෂක කවුන්සිලයේ ස්ථීර සාමජිකයන්ගේ නිෂේධ බලය මගින් එහි මහලේකම්වරයාගේ දෑත් බැඳ දමා තිබේ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ පළමු මහලේකම්වරයා එහි ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීම කතාවට සීමා කළද එහි දෙවන මහලේකම්වරයා වූ ඩැග් හැමර්ෂල්ඩ් විසින් නිවැරදි සහ යුක්ති සහගත නිර්-යටත්විජිතකරණ ක්‍රියාදාමයක් පෙරට ගැනීමට උත්සාහ කරනලද්දේ මෑතකදී ස්වාධීනත්වය ලද නව ජාතින්ට සිය පැවැත්ම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ආරක්ෂා කරදීම සඳහාය.

කොංගෝව යටත් කරගෙන සිටි පැරණි අධිරාජ්‍යවාදින් විසින් තමන් අතුපත් කරගෙන සිටි අතිවිශාල ධන සම්භාරයක් උපයන ලද තඹ සහ කොබෝල්ට් ආකාර පවරාදීම ප්‍රතික්ෂේප කරමින් එහි මැතිවරණ කඩාකප්පල් කර දියත් කළ කෲර යුද්ධය තුළ එහි මැතිවරණයෙන් තේරීපත් වූ නායක පැට්‍රික් ලුමුම්බා මරාදමන ලදි. මෙම සාපරාධී ක්‍රියාදාමයට එරෙහි වෙමින් එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියට අනුව සාමකාමි ලෙස නව නිදහස් කොංගෝ ජනරජයක් බිහිකිරීමට ඩැග් හැමර්ෂල් (Dag Hammarskjöld)තමන්ට කළ හැකි සෑම දෙයක්ම කළේය. ඒ හේතුවෙන් අධිරාජ්‍යවාදින් විසින් ඔහුව මරාදමන ලදි.

එක්සත් ජාතින්ගේ සංවිධානය පැවතුණද අධිරාජ්‍යවාදි ක්‍රීඩාව අවසාන වී නැති බවට ඩැග් හැමර්ෂල්ගේ මරණය විසින් සනාථ කර තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය තෙවන ලෝකයේ සාමූහික හඬට වඩා බලවත්ය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සහ සමානත්මතාව පිළිබඳ ඔවුන්ගේ අලංකාරිකයන් වූ කලී හිස් වදන් පමණි.

දුෂ්ටත්වය බටහිර ආවේණික ලක්ෂණයක්ද?

1977 දී අපගේ නව ලිබරල් වීර ක්‍රියාවන් ආරම්භවන සමය වන විට නොබැඳි ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් බොහෝ දෙනෙකු සී අයි ඒ සංවිධානය විසින් අරමුදල් සපයමින් පුහුණු කරන ලද හමුදාවන් විසින් බලයෙන් පහකර තිබිණි. නොබැඳි ව්‍යාපාරයේ ආරම්භක නායිකාවක වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය නව ලිබරල්වාදි ජේ ආර් ජයවර්ධන විසින් දූෂිත අධිකරණ ක්‍රියාමයක් මගින් අහෝසි කරන ලදි. වර්තමානයේදී ප්‍රංශයේ මාරි ලපෙන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම, පකිස්තානයේ ඉම්රාන් ඛාන් බලයෙන් පහකර සිරගත කිරීම ආදි ක්‍රියාදාමයන් ඊට සමාන කළ හැකිය. නව යටත් විජිතවාදය නිරෝගී විපක්ෂයක පැවැත්මට ඉඩ නොදෙයි. එහි ක්‍රියාකාරිත්වය ගෙන යා හැක්කේ මිලිටරි ජුන්ටාවන්, එකාධිපතිවාදය සහ දේශපාලනීකරණය කළ අධිකරණය මගින් පමණකි.

ලංකාව බේරී සිටිමට සමත් වී ඇත්ද?

ඉන්දුනීසියාවේ බැංඩුංහිදි පවත්වන ලද නොබැඳි ජාතින්ගේ පළමු සම්මේලනයෙන් වසර 5කට පසුව 1959 දී ඝාතකයෙකුගේ උණ්ඩයට ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙකු බිලි විය. මෙම අගමැතිවරයා කලින් සිටි පාලකයන් මෙන් නොව සමාජවාදියෙකු විය. කොමියුනිස්ට්වාදයට සහ එහි සරල ආකාරය වන සමාජවාදය කෙරෙහි ඇති භීතිය හේතුවෙන් එක්සත් ජනපදය සීතල යුද්ධයට මුවා වෙමින් පිහිටුවන ලද මිලිටරි නිෂ්පාදන සංකීර්ණය විසින් USAID සහ ආසියානු පදනම( Asia Foundation) වැනි රහසිගත සීඅයිඒ මෙහෙයුම්වලට අරමුදල් සපයන ලදි. ඔවුන්ගේ අරමුණ වූයේ කොමියුනිස්ට් සිද්ධාන්තයක් වන සමාජ සමානාත්මතාව සඳහා කිසිදු ඉඩක් නොතැබීමය. එයට විරුද්ධව යොදාගත හැකි හොඳම ආයුධය ලෙස ඔවුන් සලකන ලද්දේ ආගම ආයුධයක් පත් කිරීමය.

මෙම සංදර්භය තුළ අපගේ අවධානයට යොමු විය යුතු කරුණ නම් අගමැති බණ්ඩාරනායක ඝාතනය කරන ලදැයි සැලකෙන තල්දූවේ සෝමාරාම භික්ෂුව අහිංසාවාදය සැබෑ ලෙසම අත්හැර දැමූවෙක්ද නැතහොත් සීතල යුද සමයේ දකුණු ආසියාවේ බෞද්ධ භික්ෂූන් ආයුධයක් බවට පත්කිරීමේ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස ඝාතකයෙකු බවට පත්වූයේද යන්නය.2

හුදෙක් දෙමල ජනතාව සඳහා භාෂාමය සමානාත්මතාව ලබාදීමට අගමැතිවරයාට අවශ්‍ය වූ පමණින් ඔහුව ඝාතනය කිරීම සඳහා බෞද්ධ භික්ෂුවක් අහිංසාවාදය අත්හැර දමනු ඇත්ද? 1959 දී යමෙකු ඝාතනය කිරීම සඳහා භාෂාව හේතුවක් වූයේද? එසේ නම් බුද්ධ ධර්මය ගොඩනැගී ඇති මූලික පදනම කෙලෙසීම සඳහා ඔහුව පොළඹවන ලද්දේ කවුරුන් විසින්ද? ඔහු 14 හැවිරිදි වියේ සිට බෞද්ධ ශික්ෂාවන් පිළිපැද ඇති අතර එවැන්නෙකු සිය 46 හැවිරිදි වියේදී යමෙකු ඝාතනය කිරීමට පෙළැඹුණේ කෙසේද? ඔහු එලෙස බුදුදහම කෙලෙසා ඇත්නම් ඔහුගේ ආගමික පැවැත්මේ පදනම අහිංසාවාදය විය හැක්කේද? එසේ නොමැතිනම් සීතල යුද්ධයේ උපක්‍රමයක් ලෙස ආසියාවේ බුදුදහම ආයුධයක් බවට පත්කිරීමේ මෙහෙයුම් විසින් ඔහුව යොදාගනිමින් එම ඝාතනය සඳහා පොළඹවා ඇත්ද?

බුදුන්ගේ උපත සමරනු වස් 1956දී උත්කර්ෂයට නංවන ලද බුද්ධ ජයන්ති උළෙල සඳහා දින වකවානු නියම කරන ලද්දේ ඉන්දියාවේ හෝ ලංකාවේ නක්ෂස්ත්‍ර කරුවන් හෝ ශාස්ත්‍රකාරයන් නොවේ. එම උපන්දිනය ප්‍රබන්ධගත කරන ලද්දේ සී.අයි.ඒ. සංවිධානය විසින් සපයන ලද අරමුදලෙන් පවත්වාගෙන ගිය ආසියානු පදනම විසිනි. සී.අයි.ඒ සංවිධානයේ සහ එහි මෙහෙයුම්වල ඉලක්කය වූයේ සම්ප්‍රදායික සමාජයේ පදනම් බිඳ හෙළීමය. අන්‍යොන්‍ය ගෞරවයෙන්, සුහද සහජීවනයකින් ජීවත්වූ ජාතින් සහ ආගමික ප්‍රජාවන් අතර සමගිය සහ විශ්වාසය ආගම් ආයුධ බවට පත් කිරීමේ අධිරාජ්‍යවාදි මෙහෙයුම් මගින් බිඳ දමන ලදි. බුද්ධ ජයන්තිය සමරුව විසින් ආගම් අතර සංහිඳියාව විනාශ කරමින් අහිංසාවට වඩා ජාතික ස්වෝත්තමවාදය වැදගත් කොට සලකන ප්‍රචණ්ඩවාදි භික්ෂූන් බිහිකිරීම සඳහා පදනම නිර්මාණය කරන ලදි.

බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව භික්කෂූන් පිරිසක් රොස්මීඩ් පෙදෙසේ පිහිටි අගමැති පෞද්ගලික නිවස වටකරමින් වාඩිලාගත් මොහොත

එසේ නොමැතිනම් තල්දූවේ සෝමාරාම භික්ෂුව මෙම ඝාතනය සඳහා යොදාගැනීමට පොළඹවා ඇත්තේ ලංකාවේ ඇමෙරිකන් ගැති දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූන්ගේ ප්‍රධාන දායකත්වය සහිත කැලණි රජමහා විහාරයේ විහාරාධිපතිව සිටි බුද්ධරක්ඛිත භික්ෂුව විසින්ද?

ග්‍රාමීය භික්ෂුවක් වූ තල්දූවේ සෝමාරාම භූ දේශපාලනය පිළිබඳව කොතෙක් දුරට දැන සිටියේද? අගමැති SWRD බණ්ඩාරනායක ත්‍රිකුණාමල වරාය බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් මුදවාගෙන එහි උරුමය ලාංකිකයන් වෙත පවරා දීමට කටයුතු කළේය. එවැනි විශාල සේවයක් දේශය වෙනුවෙන් ඉටු කළ අගමැතිවරයෙකු මරාදැමීම සඳහා සුළුතර ප්‍රජාවන්ට භාෂාමය සමානාත්මතාව ලබා දීමට එම අගමැතිවරයා කටයුතු කිරීම පමණක් යුක්ති සහගත හේතුවක් බවට තමන්ටම එත්තුගැන්වීමට තල්දූවේ සෝමාරාම සමත්වූයේ කෙලෙසකද? ශ්‍රී ලංකාව සමාජවාදය කරා යොමුවීම වැලැක්වීම සඳහා ඉත්තෙකු ලෙස තල්දූවේ සෝමාරාම යොදාගෙන ඇත්ද?

අගමැති බණ්ඩාරනායක සහ ෆෙඩරල් පක්ෂ නායක චෙල්වනායගම් අතර ඇති කරගත් ගිවිසුම පසුව සිංහල ජාතිවාදි බලවේගවල බලපෑම හේතුවෙන් අත් හැර දමන ලදි

 

බණ්ඩාරනායක ඝාතනය ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් සැලසුම් කරන ලද මෙහෙයුමක්ද?

එක් ප්‍රතික්ෂේප කළ නොහැකි ඓතිහාසික සත්‍යයක් නම් තල්දූවේ සෝමාරාම ඇතුළු බෞද්ධ භික්ෂූන් රොස්මීඩ් මන්දිරයේ රැස්ව සිටි අවස්ථාවේ අගමැතිවරයාගේ ඝාතනයට පෙර ඔහුව දුටු අවසාන පුද්ගලයා ලෙස සැලකෙන්නේ එවකට ලංකාවේ එක්සත් ජනපද තානාපතිව සිටි බර්නාර්ඩ් ගෆ්ලර් (Bernhard Gufler) බවය. ගෆ්ලර් එක්සත් ජනපද විදේශ අමාත්‍යාංශයේ සේවය කළ පළපුරුදු නිලධාරියෙකු වූ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු යුද සිරකරුවන් ලෙස එක්සත් ජනපදයට යටත් වූ නාසි ජර්මනියේ නිලධාරින් සහ විද්‍යාඥයන් එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වයේ උවමනාවන් සඳහා සේවය සඳහා බඳවාගැනීම ගෆ්ලර් විසින් ඉටුකළ එක් ප්‍රධාන කාර්ය භාරයක් විය. මෙම නාසි නිලධාරින් එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් සමාජවාදි නැගෙනහිර ජර්මනිය සහ සෝවියට් සංගමය ප්‍රමුඛ සමාජවාදිකඳවුරට එරෙහි මෙහෙයුම් සඳහා යොදාගන්නා ලදි. ගෆ්ලර්ව ලංකාවේ තානාපති නිලධාරියා ලෙස පත් කර එවන ලද්දේ 1956 දී බණ්ඩාරනායක අගමැති තනතුරට පත්ව කෙටිකාලයක් තුළය. ඒ නව අගමැතිවරයා සමාජවාදි කඳවුරට හිතවාදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලි වූ පසුය. වෙනත් වචනවලින් කිව හොත් ගෆ්ලර් වැනි පළපුරුදු ඉහළ නිලධාරියෙකු ලංකාවට එවනලද්දේ කිසියම් විශේෂ මෙහෙයුමක් සඳහා බව පැහැදිලිය.

අගමැති බණ්ඩාරනායක අවමගුලට සහභාගි වූ ජනතාව

කලක් ලංකාවේ එක්සත් ජනපද තානාපතිව කටයුතු කළ ජේම්ස් ජේ. ලෝවන්ස්ටයින්(James J. Lowenstein), තානාපති ඩෙනිස් කුක්ස් (Dennis Kux) සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ සඳහන් කර තිබිණි.

“තානාපති ලැම්ප්ටන් බෙරී කාර්යාලයට පැමිණියේ ඉතා කලාතුරෙකිනි. ඔහු වෙනුවට වෘත්තීය පළපුරුදු නිලධාරියෙකු තානාපති ලෙස පත් කරන ලදි. ඒ ජර්මානු ජාතික විශේෂඥයෙකු වූ බර්න්හාර්ඩ් ගෆ්ලර්ය. ඔහු කලක් නියෝජ්‍ය තානාපති ලෙසද කටයුතු කර තිබුණ අතර ඔහු රට පිළිබඳව මෙන්ම එහි වැදගත් පුද්ගලයන්ද දැන හඳුනාගෙන සිටියේය.“

“ඔහු(ගෆ්ලර්) සිය ජීවිතය ආරම්භ කර තිබුණේ විදේශ සේවය තුළින් වන අතර රුසියන් භාෂාවෙන් ආරම්භක
පුහුණුව ලද කීප දෙනා අතරින් කෙනෙකි.“

“වාර්තා සටහන් කරන්නෙකු ලෙස මම ගෆ්ලර් සමග අගමැතිවරයා වෙත ගියෙමි. මා එහි ගිය විට ඔහු (ගෆ්ලර්) මෙසේ පැවසීය
“මම හිතන්නේ නැහැ මට වාර්තා සටහන් කරන්නෙකු අවශ්‍ය  වෙයි කියලා. කාර් එකට වෙලා මා එනතුරු ඉන්න.“

ඉන්පසුව ඔහු ඇතුළට ගොස් ආපසු පැමිණි අතර අපි බණ්ඩාරනායක නිවස්නයෙන් පිටත් වූයෙමු. අපි එළියට රිය පදවන විට අපට යම් පිපිරුම් හඬක් ඇසිණි.
අප නැවතත් තානාපති කාර්යාලයට පැමිණි පසු බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට අනුබද්ධ බුද්ධි අංශයේ සේවය කළ මගේ මිතුරෙකු මට මෙසේ පැවසීය
“ අර හාදයට වෙඩි තියලා“
“මොන හාදයාටද“ මම ඇසිමි.
“ අගමැතිට, ඕල්ඩ් බෝයි“ ඔහු පැවසීය.
“ ඇත්තටමද? ඒක වෙන්න බැහැ. අපි මේ දැන් ටික වේලාවකට කලින් එයාව දැක්කා.“ යි මම පැවසිමි.
“ එහෙමද, ඔහුට වෙඩි තියලා තියෙන්නේ ඔබලා ඔහුව මුණගැහුණට පස්සේ“ ඔහු පැවසීය.
සත්තකින්ම අගමැතිවරයාට වෙඩි තබා තිබිණි. මා සිතන අන්දමට ඔහුව ජීවතුන් අතරදී දුටු අවසාන පුද්ගලයා ගෆ්ලර්ය. ගෆ්ලර් එතැනින් පිටත්වීමත් අගමැතිවරයාට වෙඩි තැබීමත් අතර කාලය තුළ වෙනත් අයෙකුට එහි ඇතුළු වීමට හැකි වූවා යැයි සිතාගැනීමට මට අපහසුය.

ශ්‍රී ලංකාව සමග ඇමෙරිකාවට ඇති ගැටළු මොනවාදැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු තානාපතිවරයෙකු වූ ලෝවන්ස්ටයින් මෙසේ පැවසීය.
“ බරපතල නොසළකා හැරීම් බව මට කිව හැකියි. ඒ ප්‍රශ්න සීතල යුද්ධයට අයත් ප්‍රශ්න. චීන්නුන්ගේ පැමිණීම, චීන්නුන් සහ රුසියානුවන් ලංකාවට දේශපාලන සහ ආර්ථික වශයෙන් සිදු කරන ලද රිංගා ගැනීම්, සංස්කෘතික යුද්ධය, නොබැඳි ව්‍යාපාරය ආදිය එම ප්‍රශ්නයි.“

සිරිමා බණ්ඩාරනායක

එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් “කළු ඉංග්‍රිසිකාරයෙකු“ ලෙස හඳුන්වනලද අගමැතිවරයාගේ මරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වෙතැයි විශ්වාස කරන ලදි. නමුත් එම අපේක්ෂාවන්ට පටහැනිව SWRD බණ්ඩාරනායකගේ වැන්දඹු බිරිඳ නව අගමැතිනිය ලෙස බලයට පත්වූවාය. ඇය පැරණි යටත් විජිත හාම්පුතුන්ට ත්‍රිකුණාමල වරාය නැවත පවරා දීමට කටයුතු නොකළ අතර නොබැඳි ව්‍යාපාරයෙන් ඉවත්වීමට කටයුතු නොකළාය. නොබැඳි ව්‍යාපාරයේ ප්‍රඥප්තිය කෙරෙහි ඇය විසින් දක්වන ලද පක්ෂපාතිත්වය හේතුවෙන් ශ්‍රි ලංකාව තුළ අභ්‍යන්තර දේශපාලන අසහනයක් පැවතුණද අපගේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාව මැදිහත් නොවන බවට සහතිකයක් විය. ඉන්දියාව අපව විශ්වාස කළ අතර ගරු කටයුතු අසල්වැසියෙකු ලෙස සළකනු ලැබිණි.

 

1977 මැතිවරණයෙන් ජේ.ආර් බලයට පත්වීම සහ නැවතත් නව ලිබරල් යටත්විජිතයක් බවට ලංකාව පත්වීම

නමුත් වසර 7කට පසුව SWRD බණ්ඩාරනායක විසින් “ සුදු ඉංග්‍රීසින්“ ලෙස හඳුන්වන ලද ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම සිදු විය. ජේ.ආර් ජයවර්ධනගේ අන්වර්ථ නාමය “ යැංකි ඩිකී“ විය.
අසල්වැසි රටවල් සමග අන්‍යොන්‍ය මිත්‍ර සබඳතා ගොඩ නගා ගනිමින් ජාතික ස්වාධිපත්‍ය පවත්වාගෙන යාමට මෙම පශ්චාත් යටත්විජිත රාජ්‍යය විසින් දැඩි වෙහෙසක් දරා ලබාගත් ප්‍රතිඵල විනාශ කිරීමට ජේ.ආර් ජයවර්ධන පටන්ගත්තේය.

පළමුව ඔහු ත්‍රිකුණාමල වරායේ කොටසක් එක්සත් ජනපද ප්‍රොක්සි සමාගමක් වූ සිංගප්පූරු සමාගමකට පවරා දුන්නේය.

ඔහු “වොයිස් ඔෆ් අමෙරිකා“ ගුවන් විදුලියේ මෙහෙයුම් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට ඉඩ දුන්නේය.

1977 දී තමා ලද මැතිවරණ ජයග්‍රහණයෙන් මාස කීපයකට පසුව ජේ. ආර් ජයවර්ධන අතිශය රහසිගත ලෙස සිය මුදල් ඇමැතිවරයා වූ රොනීද මැල් එක්සත් ජනපදයේ වොෂින්ටනය වෙත යැව්වේ නොබැඳි ව්‍යාපාරයේ මිනී පෙට්ටියට පළමු ඇණය ගැසීම සඳහාය.

ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති රොනීද මෙල් එක්සත් රාජ්‍ය ලේකම්වරයා සමග කරන ලද සාකච්ඡා පිළිබඳව වන නිල ලේඛන 482 හි මෙසේ සඳහන් වේ.
“ ජයවර්ධනගේ රජය විවිධ ක්ෂේත්‍රයන් තුළ ප්‍රායෝගික දේශපාලන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන ලද බවද තම රජයේ විදේශ ප්‍රතිපත්තිය තුළ ද වඩ වඩාත් ප්‍රායෝගික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම සඳහා කාලය පැමිණ ඇති බවද දි මෙල් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රජය විසින් ජනාධිපති කාටර්ගේ රාජ්‍ය සභා දේශණය දැඩි සැලකිල්ලෙන් යුතුව අධ්‍යයනය කර තිබේ. විශේෂයෙන්ම “දකුණු ආසියාතික කලාපයේ රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජනපදයේ අභිලාෂයන් ගැන ලංකාවේ අවධානය යොමුව ඇත.“

“ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව මූලික වශයෙන් නොබැඳි ව්‍යාපාරයේ රැඳී සිටින අතර කලාපය තුළ වෙනත් භූමිකාවක් රඟදැක්වීමේ අපේක්ෂාවෙන් පසුවන බවය. සෝවියට් ආක්‍රමණය හමුවේ දකුණු ආසියානු කලාපයේ රටවල් තුළ උපදේශාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට එයට හැකිය….“

“මූලික වශයෙන් නොබැඳි වීම“ යනුවෙන් දෙයක් නැත. එක්කෝ නොබැඳි විය යුතුය. නැත්නම් එසේ නොවිය යුතුය. එමෙන්ම 1978දී හෝ එයට පෙර හෝ පසුව ශ්‍රී ලංකාව කිසිදු ආකාරය සෝවියට් ආක්‍රමණයක තර්ජනයකට මුහුණ දී සිටියේ නැත. සෝවියට්වරුන් අපට නිරන්තරයෙන් අධ්‍යාපනය, සංස්කෘතිය, කාර්මික සහ වෙළඳ ක්ෂේත්‍රයන් තුළ ආධාර කළහ.

ජේ.ආර්. එක්සත් ජනපදයට ලංකාවේ මිලිටරි පහසුකම් විවෘත කරයි

එක්සත් ජනපද විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති දි මැල්ගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ ජනාධිපති කාටර්ගේ රාජ්‍ය සභා දේශනයේ එන “ කලාපය අර්බුදයන්ට මුහුණ දී ඇති කාලයකදී එක්සත් ජනපදයට එම කලාපයේ මිලිටරි පහසුකම් සඳහා ප්‍රවේශ වීම සඳහා ඇති ශක්‍යතාවන් හඹායෑම“ පිළිබඳ කරුණට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව සුදානම් බවත් ඒ සඳහා ආරම්භයක්ලබාදීමට ජනාධිපති ජයවර්ධන සුදානමින් සිටින බවත් විවෘත ගැටුම්කාරි තත්ත්වයකදී ශ්‍රී ලංකාවට සිටින එකම මිතුරා එක්සත් ජනපදය පමණක් බවත්ය.

මෙය නොබැඳි ව්‍යාපාරය අමු අමුවේ පාවාදීමක් විය. එහෙත් එය එතැනින් නතර නොවීය.

ජේ.ආර් ජයවර්ධනගේ ශ්‍රී ලංකාව සිය නාවික සහ අනෙකුත් මිලිටරි පහසුකම් සඳහා එක්සත් ජනපදයට ප්‍රවේශය ලබාදීමට සුදානමින් සිටියේය.

මෙම ප්‍රදානය රහසක් ලෙස තබාගැනීමේ වැදගත්කම අවසන් වශයෙන් විශේෂයෙන් අවධාරණය කර තිබිණි. මෙම තොරතුරු කාන්දුවීම ජයවර්ධන රජයට හානිදායක ප්‍රතිඵල අත්කර දීමට ඉඩ තිබිණි.

ජේ. ආර් ජයවර්ධන එක්සත් ජනපදය වෙත ශ්‍රී ලංකාව පාවාදීම විසින් හානි සිදුකළේ ආණ්ඩුවට පමණක් නොවේ. එය සමස්ත ලාංකීය ජනතාවට යළි පිළිසකර කළ නොහැකි සදාකාලික හානියක් අත්කර දී තිබිණි. කුඹුරුයායවල් පවරාගෙන නිදහස් වෙළඳ කලාප පිහිටුවනු ලැබිණි. මෙම කලාපයන් තුළ කම්කරු ව්‍යාපාර පිහිටුවීම තහනම් විය. කම්කරු අයිතීන් හෝ හෝ සේවා ස්ථානයේදී සිදුවන ශාරිරික හානි වෙනුවෙන් වන්දි ලබාදීමක් සිදු නොවීය. අපි ආසියාවේ චිලී දේශය බවට පත්වූයෙමු.

1973දී චිලියේ ජනාධිපති සැල්වදෝර් ඇලන්ඩේව සී.අයි.ඒ සංවිධානය විසින්ඝාතනය කරන ලද අතර එමගින් චිලිය තුළ සිය නව ලිබරල්වාදි න්‍යායපත්‍රය ක්‍රියාවට නැංවීමට එක්සත් ජනපදයට අවස්ථාව ලැබිණි. ඇලන්ඩේගේ රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණය සිදුකරන ලද්දේ චිලියේ ධනවත් ප්‍රභූ පෙළැන්තියේ සහයෝගය සහ එක්සත්  ජනපදයේ මෙහෙයවීම සහිතව එරට හමුදා ජුන්ටාවක් විසිනි. එය අතුරුදහන් කිරීම්, වධ බන්ධන පැමිණවීම්, ඝාතන ආදියෙන් පිරී ගිය භීෂණ සමයක් විය. මෙම මර්දනය දියත් කළ ඝාතක කල්ලි හඳුන්වන ලද්දේ “චිකාගෝ බෝයිස්” ලෙසය.

රොනීද මැල්ගේ වොෂින්ටන් සංචාරයේ අරමුණ වූයේ ජේ. ආර් ජයවර්ධනට සිය එම නව ලිබරල්වාදි න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමද? ඒ සඳහා භීෂණ සමයක් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීමටද ඔහු සුදානම් වෙමින් සිටියේද?

අධිරාජ්‍යවාදි මිලිටරි මැදිහත්වීම්වල ඉඩ සැලසීම සඳහා  කළු ජූලිය නිර්මාණය කිරීම සහ වාර්ගික අර්බුදය ප්‍රචණ්ඩ යුද්ධයක් බවට පත්කිරීම

අපගේ ආණ්ඩුව විසින් අපට එරෙහිව හමුදාමය මර්දනයක් දියත් කිරීමට සැරසෙන බව පැවසුව හොත් අපි එය සැහැල්ලුවෙන් බාර ගන්නෙමුද? නැත. අපි එසේ නොකරන්නෙමු. නමුත් ඔවුන්ගේ සැලසුම් ක්‍රියාවට නැංවිය හැකිව හැකිව තිබුණේ රැවටීම සහ නොමග යැවීම් මගින් පමණි. ඒ සඳහා ඔවුන් සිදු කළේ දෙමළ සුළුතර ප්‍රජාව අපගේ දිවයින තුළ වෙනම රාජ්‍යයක් ඇතිකිරීම සඳහා සුදානම් වෙමින් සිටින බවට අප තුළ විශ්වාසයක් ඇති කිරීමය.

ජේ. ආර් ජයවර්ධන ද සිදු කළේ එයයි. ඔවුහු වාර්ගික අර්බුදයක් නිර්මාණය කළහ.

ජනවාර්ගික වෛරය සහ අසත්‍යයන් ප්‍රචාරය කිරීම සඳහා එකල අභිනවයෙන් ස්ථාපිතකරන ලද “ඇමෙරිකන් හඬ” ගුවන් විදුලියත්, දේශීය රූපවාහිනි සේවාවනුත් යොදාගනු ලැබිණි. වාර්ගික සංහිඳියාව විනාශ කරන ලද්දේ නව ලිබරල්වාදි සැලසුම් වන පුද්ගලීකරණය නීතිරීති හා සීමාවන් ඉවත්කිරීම්, ආර්ථිකය නිර්-කාර්මිකකරණය, සහ රජය සතු සම්පත් ජේ.ආර් ජයවර්ධනගේ ව්‍යාපාරික හෙංචයියන්ට සහ විදේශීය සමාගම්වලට පවරා දීම ආදිය සාක්ෂාත් කරගැනීම සඳහාය. “නව සිංහල බෞද්ධයෝ“ සිය අරමුණු ඉටුකරගන්නා ලද්දේ සම්ප්‍රදායික දෙමල ව්‍යාපාරික ප්‍රජාව ඝාතනය කරමින් ඔවුන් රටින් පලවා හරිමින් ඔවුන්ගේ ව්‍යාපාර හා දේපල කොල්ලකෑම මගිනි.

ඒ අයුරින් දේශීය නිෂ්පාදනය විනාශ කරන ලද අතර සාමාන්‍ය පරිභෝජනය ආනයනය මත රඳා පවතින එකක් බවට පත්කරනලදි.

1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පනවනු ලැබිණි. 1981 දී යුදමය පදක්කම් හා රණ විරු සම්මාන නිර්මාණය කරන ලදි. මිලිටරි ජුන්ටාවක් උපත ලබමින් පැවැතිණි. ඉතිහාසයේ ආරම්භයේ සිටම පරම්පරා ගණනාවක් තිස්සේ අප සමග සමාජ, සංස්කෘතික, ආර්ථික ජීවිතය බෙදාහදාගත් දෙමල ප්‍රජාව අපගේ සතුරන් ලෙසද එහෙයින් ඔවුන් මරාදැමිය යුතුයැයිද විශ්වාස කිරීමට පොළඹවන ලද ග්‍රාමීය සිංහල තරුණයන් එම මිලිටරි ජුන්ටාවේ සේවය සඳහා බඳවා ගන්නා ලදි.

ප්‍රචණ්ඩ මර්දනය සහ ධර්මිෂ්ඨ රාජ්‍යය

ජේ. ආර් ජයවර්ධන ධර්මිෂ්ඨ සමාජයක් නිර්මාණ කිරීම ගැන පුරාජේරු දෙඩවීය. එහෙත් එය තුළ අහිංසාව නොපැවතුන අතර පැවැතියේ හිංසාව සහ ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයක් පමණි.

1983 ජූලියේදී රජයට අයත් ලංගම ප්‍රවාහන සේවාවේ බස්රථවලින් ගෙන එන ලද මැරයන් විසින් ශ්‍රී ලංකාවේ වෙළඳ නගරය වන කොළඹට ගිනි තබන ලදි. ඡන්දායක ලැයිස්තු නාමලේඛණ අතැතිව පැමිණි මේ මැරයෝ දෙමළ ජනයාගේ නිවාස සොයමින් ඒවා මංකොල්ල කමින් ගිනිතබා විනාශ කරන ලදි. මෙම තොරතුරු ලබාගත හැක්කේ ආණ්ඩුව හරහා පමණකි. ඔවුහු දෙමළ ජනයාට අයත් නිවාස, කඩසාප්පු, කර්මාන්ත ශාලා, ගබඩා, සහ ආපන ශාලා ආදිය ඇත්තේ කොහේදැයි පැහැදිලිව දැන සිටියහ. ඔවුහු ගිනිතබා විනාශ කරන ලද්දේ දෙමළ ජනයාට අයත් දේපල සහ ව්‍යාපාරික ස්ථාන පමණකි.

අපගේ සිවිල් යුද්ධය අහම්බයක් නොවීය. එමෙන්ම එය යාපනයේදී හමුදා සෙබලුන් 13ක් ඝාතනය කිරීම නිසා ආරම්භ වූවක්ද නොවීය. එය මනා ලෙස සැලසුම් කරන ලද්දකි.

ඉන්දීය රහස් ඔත්තු සේවය වන පර්යේෂණ සහ විශ්ලේෂණ අංශයේ ( Research and Analysis Wing -RAW)
ධ්‍යක්ෂවරයාගෙන් “ ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙමල ත්‍රස්තවාදයට ආධාර කලේ ඇයි?“ යනුවෙන් වරෙක මිතුරෙකු විසින් ප්‍රශ්න කරනලද අවස්ථාවේ ඔහුගේ පිළිතුර වී ඇත්තේ “ ඔබලාගේ ජනාධිපති එක්සත් ජනපදය සමග හවුල්ව කටයුතු කරන නිසා “ යනුවෙන් පිළිතුරු දී ඇත.

ජේ ආර් ජයවර්ධන නොබැඳි ව්‍යාපාරය පාවාදීම මගින් වර්ෂ 50ක් තිස්සේ පුපුරා යමිනි පැවැති ගිනිකන්දක් නිර්මාණය කරන ලදි. ජෛන මහාවීර සහ ගෞතම බුදුන් වහන්සේ ධර්මයන් මත පදනම් වූ අහිංසාව අපගේ ආගම අතුරුදහන් විය.

මෙම යුද්ධය අවසාන වන විට ලක්ෂයකට අධික සාමාන්‍ය ජනතාවගේද, පනස් දහසකට ආසන්න සටන්කාමින්ගේද, විසි හත්දාහකට ආසන්න කේඩරයකගේද, හමුදා නිලධාරින් සහ සෙබලුන් 28,000කගේද, පොලිස් නිලධාරින් 1000ක පමණද ජීවිත විනාශ වී තිබිණි. 60,000කට අධික පිරිසක් කැරැලිකරුවන් ලෙස සළකමින් පැහැරගෙන යන ලද අතර ඔවුන්ට වද දී මරාදමා හෝ අතුරුදහන් කර තිබිණි.ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සත්‍යය වලදමා තිබූ අතර එහි කිසිදු විනිවිදභාවයක් , නීත්‍යානුකූලභාවයක් හෝ යුක්තියක් නොවිණි.

මනුකා විජේසිංහ ශ්‍රී ලංකාවේ උපත ලද අතර රංගශිල්පිනියක ලෙස සිය වෘත්තිය ජීවිතය ඇරඹු ඇය ඇමෙරිකාවේ මායින් සරසවියේ දී නාට්‍යකලාව වැඩිදුරටත් හදාරා ඇත. දැනට ජර්මනියේ පදිංචිව සිටින ඇය Mad Cow, Flight 582 to Zurich, Marital Disadventure,The Affair, My Way, Karma වැනි නාට්‍ය කෘතින් ගණනාවක් නිර්මාණය කර තිබේ. මනුකා 1994 දී Silhouettes for Justice නමින් කාව්‍ය සංග්‍රහයක් පළ කළාය. ඇය විසින් රචිත නවකථා වන්නේ Monsoons and Potholes, Theravada Man, Sinhala Only,Like Moths To A Flame යන කෘතින්ය. හෝමියෝපති වෛද්‍යවරියකද ලෙස කටයුතු කරන ඇය පසුගිය කොවිඩ්-19 ආඛ්‍යානය  සහ සෞඛ්‍ය බලධාරින් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කර ඇත.