නිදහසේ මූණත් සහ ආක්‍රමණයේ වෙස් මුහුණු: ග්ලැඩියෝ මෙහෙයුම්, අධිරාජ්‍ය ගැති නොස්ටැල්ජියාවේ ඉතිහාසය සහ සාහිත්‍ය උත්සව

(මෙම ලිපිය 2025.02.03 දින,Sri Lanka: Facades of Independence and Masks of Conquest යන මැයෙන්In Depth News‌ හි පළ වූ ලිපියේ පරිවර්තනයකි.)

ධරිණි රාජසිංහම් සේනානායක

වරින් වර එක හා සමාන පරිමාණයෙන් ශෝකාන්තයක් සහ විගඩමක් ලෙසින් ඉතිහාසය පුනරාවර්තනය වන දිස්වන සිලෝන් නැතහොත් ශ්‍රී ලංකාවේ නිදහස වූ කලී දිගුකාලීන මිරිඟුවකි. මෙම සතියේදී භූදේශපාලනික වශයෙන් වැදගත් මෙම ඉන්දියානු සාගර දිවයින විසින් බ්‍රිඅතාන්‍ය අධිරාජ්‍යයෙන් එය ලද ව්‍යාජ නිදහසේ 77 වැනි සංවත්සරය සමරනු ලැබිණි.මේ වනවිට නව යටත් විජිතවාදි බුරෝ බැඳුම්කර සහ ඩොලර්ණය උගුල තුළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇප දීමේ ජාවාරම තුළ ද ශ්‍රී ලංකාව සිරව ඇති බව වසන් කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත විවිධ සංදර්ශන පැවැත්විණි. වර්තමානයේ පවත්නා තත්ත්වය අවබෝධ කරගැනීම සඳහා නව යටත්විජිතවාදි මෙහෙයුම් හඳුනාගැනීම අතිශයින් තීරණාත්මක අවශ්‍යතාවයකි.

වසර තුනකට පෙර 2022දී , වංචනික ලෙස ක්‍රියාවට නංවන ලද “බංකොලොත් කිරීමක්” හරහා පැරිස් කණ්ඩායම, ලන්ඩන් බැංකුකරුවන් සහ බැදුම්කර හිමියන් සහ හෙජ් අරමුදල් කළමණාකරුවන් ඇතුළු යුරෝ බැඳුම්කර ණයහිමියන් වෙත මෙම දේශයේ ආර්ථික ස්වාධීනත්වය ණය හිමියන් වෙත පාවාදෙන ලද්දේ එහි 75 වැනි නිදහස සමරනු ලබමින් තිබියදීය. ආර්ථික ස්වෛරීත්වය අහිමිවීම පිළිබඳ මෙම දැවෙන අර්බුදය අප සියලු දෙනාගේ අවධානයට යොමු විය යුතුව ඇත.

මෙම වසරේ පෙබරවාරි 4 නිදහස් දින උත්සවය විශාල වියදමක් දරමින් සමරන ලදි. රුපියල් මිලියන 80ක් උත්සව කටයුතු සඳහා යොදවා ඇත.මාස ගණනාවකට පෙර සිටම නිදහස් චතුරස්‍රය සහ කුරුඳුවත්ත ආශ්‍රිත ප්‍රදේශවල පූර්ව ආරක්ෂක කටයුතු තර කර තිබුණේ උත්සවයට සහභාගිවීමට නියමිත ප්‍රභූ දේශපාලනඥයන්ටත් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන්ටත් ආරක්ෂාව සැලසීම සඳහාය.

1948 පෙබරවාරි 4 වන දින සුප්‍රසිද්ධ ‘ලංකාවේ නිදහසේ සංදර්ශනය’ වේදිකාගත වූ පළමු නිදහස් දිනයට මෙම වසරේ 77 වසරක නිදහස් සැමරුම පුදුමාකාර සමානකමක් දරයි. 1948 දී සිදු වූයේ බ්‍රිතාන්‍ය කිරීටයට අයත් යටත්විජිත ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතේම සෑබෑ ස්වෛරීත්වයකින් තොර “ඩොමිනියන්” තත්ත්වය හිමි යටත්විජිතයක් බවට පත්වීමය.එම ඊනියා නිදහසින් පසුවද , ලන්ඩනය තවමත් උපායමාර්ගික ඉන්දියන් සාගර දූපතේ වරාය, ගුවන් තොටුපල, වතු, යුක්තිය සහ අධිකරණ පද්ධතිය පාලනය කළේය.එයින් පසුවද එංගලන්තයේ රැජින විසින් දිවයිනේ චාරිත්‍රානුකූල රාජ්‍ය නායකයා වන ආණ්ඩුකාරවරයා පත් කිරීම දිගටම සිදු විය.

1948 පෙබරවාරි 4 වැනි දින ලංකාව ලද ඊනියා නිදහස වූ කලී කිසිදු ස්වෛරීත්වයක් හෝ යටත් විජිත ජනතාවගේ ස්වයං නිර්ණයට ඇති අයිතිය ප්‍රදානය නොකර ව්‍යාකූල ස්වදේශිකයන් කුල්මත් කිරීම සඳහා පමණක් ලබාදුන් එකක් වූ අතර, භෞමික අඛණ්ඩතාව පිළිබඳ ප්‍රශ්නය කිසිවිටෙකත් සැලකිල්ලට ගනු නොලැබිණි. 1958 දී අගමැති එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක විසින් ගැඹුරු මුහුදේ ත්‍රිකුණාමල වරාය ජනසතු කරන තෙක් එය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නැගෙනහිර විධානයට නිවහන විය. ඉන් වසරකට පසුව ඔහුව 1959 සැප්තැම්බර් මාසයේදී ඝාතනය කරන ලදි. 1948 දී නිදහස් න්‍යාය පත්‍රය යටතේ ‘රාජ්‍යවල දේශීය අධිකරණ බලය’ තුළ සිදු කෙරුණු මැදිහත්වීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය 2.7 වගන්තිය යටද එරෙහි විය.

ඉන් පසුව බ්‍රිතාන්‍යයන් ඉන්දියන් සාගර චාගෝස් දූපත් ආක්‍රමණය කර එහි ජනතාව පලවා හරින ලද අතර, හැටේ දශකයේ මුල් භාගයේදී එක්සත් ජනපද-එක්සත් රාජධානියේ ඩියාගෝ ගාර්ෂියා හමුදා කඳවුර පිහිටුවීම සඳහා එය යොදාගනු ලැබිණි. ජාත්‍යන්තර අධිකරණය විසින් 2019 දී ජාත්‍යන්තර නීතිය යටතේ එම ආක්‍රමණය සහ පවරාගැනීම නීති විරෝධී යැයි තීන්දු කළේය.

1948 පෙබරවාරි 4 වන දින ලංකාවේ බ්‍රිතාන්‍ය කිරීට යටත් විජිතය ‘බ්‍රිතාන්‍ය ඩොමිනියන් රාජ්‍යයක්’ බවට පත් කිරීම පිළිබඳව පවත්වන ලද ලංකාවේ වර්ණවත් නිදහස් සංදර්ශනය හුදෙක් බ්‍රිතාන්‍ය විසින් දිගටම මෙම දිවයින තුළ පවත්වාගෙන ගිය ආධිපත්‍යය වසන් කරනු ලැබීම සඳහා කළ සැරසිල්ලක් පමණක් විය.

විචිත්‍ර සංස්කෘතික සම්ප්‍රදායන්, ආකර්ෂණීය නැටුම් ආදියෙන් සමන්විත මෙම සංදර්ශන විසින් ලංකාව තුළ තවමත් අති විශාල ආධිපත්‍යයක් බ්‍රිතාන්‍ය විසින් හොබවන බව සහ ඉතා සාර්ථක ලෙස ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කටයුතු පාලනය කරමින් සිටින බව වසන් කිරීමට උපකාරි විය. මෙම පාර්ලිමේන්තු නියෝජිතයන් වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය ගැති කොම්ප්‍රදෝරු ධනපති පන්තියට අයත් වූවන් වූ අතර ඔවුන් විසින් පාර්ලිමේන්තුවේදී පවත්වන ලබන කතා විවාදවල පිටපත් සකස් වූයේ ලන්ඩනයේ මෙහෙයවීමෙනි. 1948 ඊනියා නිදහස් උත්සවයේ තිර නාටකය සකස් වූයේද ලන්ඩනයේදීය.

1972 දී සැබෑ වශයෙන්ම නිදහස ලැබීම

සිරිමා ආර්. ඩී බණ්ඩාරනායක විසින් 1972 ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කිරීම (ඡායාරූපය: බණ්ඩාරනායක කෞතුකාගාරය)

ප්‍රමුඛ යටත් විජිත ඉතිහාසඥයෙකු වූ සර් ජෝර් කීලි විසින් ” බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නිර්මාණය වූයේ මනසක් රහිත තත්ත්වයක් තුළය” යනුවෙන් කරන ලද සඳහන අවසානයේදී ඇත්තක් විය හැකිය. ලංකාව 1948 දී නිල වශයෙන් ලද නිදහසට පසුවද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලංකාව තුළ දිගටම සිය ආධිපත්‍යය පවත්වාගෙන ගියේ රහස් ඔත්තු සේවාවන් හරහා ක්‍රියාවට නංවන ලද “ඔපරේෂන් ග්ලැඩියෝ ” පන්නයේ තිරයෙන් පිටුපස සිට දියත් කරන ලද රහසිගත මෙහෙයුම් මගිනි. ඒවා මගින් 1959 දී ලංකාවේ පළමු සමාජවාදි අගමැති බණ්ඩාරනායක ඝාතනය වැනි කම්පන සහ අස්ථාවරත්වය ඇති කිරීම් සිදුවිය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක

ස්විස් ඉතිහාසඥයෙකු වන ඩැනියෙල ගාන්සර් (Daniele Ganser)  විසින් ලියන ලද “නේටෝ සංවිධානයේ රහසිගත හමුදා” (NATO’s Secret Armies) නම් කෘතිය තුළ ග්ලැඩියෝ මෙහෙයුම් (GLADIO operation) පිළිබඳව සවිස්තරාත්මකව දක්වා තිබේ. ඩැමොක්ලිස්ගේ අසිපත ආකාරයෙන් මෙම අහිමි පාරාදීසයේ ස්වදේශිකයන්ගේ හිසට ඉහළින් වර්තමානයේදී එල්ලා ඇති යුරෝ බැඳුම්කර ණය උගුල මගින් රටේ ස්වාධීනත්වය අහිමි කිරීම සහ භෞමික අඛන්ඩතාවය විනාශ කිරීම සිදු වූ ආකාරය එවැනි මෙහෙයුම් සමග සන්සන්දනය කළ හැකිය. එමෙන්ම සයිබර් මෙහෙයුම් සහ මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ද එවැනි ග්ලැඩියෝ පන්නයේ මෙහෙයුම් සඳහා උදාහරණ ලෙස සැලකිය හැකිය. මෙම මහබැංකු නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකු වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහය.

1948 පෙබරවාරි මාසයේ දීප්තිමත් උදාසනක පවත්වන ලද පළමු නිදහස් දින සමරු උත්සවය විසින් ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය නව යටත් විජිතවාදි පාලනයක් දක්වා පරිවර්තනය වීමේ ක්‍රියාදාමයේ ආරම්භයක් ලෙස සැලකිය හැකිය. සැබැවින්ම ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී සැබෑ ස්වාධීනත්වයක් හිමිකර ගත්තේ 1948 පෙබරවාරි 4 වැනිදා ලබාදුන්නේ යැයි කියන ව්‍යාජ ඩොමිනියන් නිදහස යටතේ වසර 25ක් ගත වූ පසු ව, ලෝකයේ පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක විසින් මෙරට වාමාංශික පක්ෂ වූ ලංකා සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ සමග ඇතිකරගත් සමාජවාදි හවුල් ආණ්ඩුව යටතේ 1972 මැයි 22 වැනි දාය.

1950 දී කායිත්නස්හි ආදිපාද බ්‍රිතාන්‍ය හමුදා බ්‍රිගේඩියර් ජේම්ස් සින්ක්ලෙයාර් ලංකා හමුදාවේ කාකි නිල ඇඳුමින් සැරසී සිටින හමුදා ආචාරයක් පරීක්ෂා කරයි

යටත්විජිත ආර්ථිකය තුළ ආයෝජනය කළ ස්වදේශික කොම්ප්‍රදෝරු ධනපති පන්තියේ දුඹුරු සාහිබ්ලාගේත් මැඩම්සාහිබ්ලාගේ දැඩි විරෝධතා මත 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් විය. මෙය 1971 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ” බ්‍රිතාන්‍ය මහරැජිණිගේ ආණ්ඩුවට එරෙහිව” සිදු කරන ලද සන්නද්ධ නැගිටීමෙන් පසුව මෙය සිදුවිය. 1971 කැරැලිකරුවන්ට එරෙහිව නගන ලද චෝදනාව වූයේ මහරැජිනිගේ ආණ්ඩුවට එරෙහිව කැරැලි ගැසීමය. 1972 නව ව්‍යවස්ථාවක් සම්මත කරන ලදි. ස්වාධීනත්වය ලබාගැනීමේ ක්‍රියාදාමයේ කොටසක් ලෙස “සිලෝන්” නැතහොත් ලංකාව යනුවෙන් එතෙක් හඳුන්වන ලද දේශය ශ්‍රී ලංකාව යනුවෙන් නම් කරන ලදි. එතැන් සිට ශ්‍රී ලංකාවේ සියලු වරායන්, ගුවන් තොටුපළවල්, වැවිලිවගාවන්, සහ බලශක්ති සමාගම් ජනසතු කරන ලදි. මෙම ක්‍රියාදාමය පසුව කඩාකප්පල් කර දමන ලද්දේ ආසියානු අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් බොහොමයක සිදු වූ පරිදිමය.

ශ්‍රී ලංකාවේ පළමු සමාජවාදි අගමැතිවරයා වූ බණ්ඩාරනායක 1959 දී කොළඹදී ඝාතනය විය. උපායමාර්ගික වශයෙන් වැදගත් මෙම දිවයිනේ ත්‍රිකුණාමල වරාය, මෙන්ම ගාලු සහ කොළඹ වරායන්ද ජනසතු කිරීම වෙනුවෙන් ඔහුට ඉහළම වන්දියක් ගෙවීමට සිදුවිය. මෙම සියලු වරායන් ඉන්දිය සාගර ආධිපත්‍යය පවතවාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සාධක ලෙස ලෝක බලවතුන්ගේ අවධානයට යොමු වූ ස්ථාන විය.

ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් සමරුව වෙනුවෙන් පවත්වන ලද සංදර්ශනයන් තුළ කවර මවා පෑමක් සිදු වුවද, ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ගෝලීය දකුණේ ජනතාවන්ගේ ස්වයංතීරණය සඳහා වන අයිතිය හෝ නව යටත්විජිතවාදය ගැන කිසිදු කතා බහක් සිදු නොවීය. එමෙන්ම මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත රටේ ආර්ථික ස්වාධීනත්වය අහිමිවීම පිළිබඳව මෙන්ම වරප්‍රසාදිත එක්සත් ජනපද ඩොලරයට එරෙහිව දේශිය මුදල් ඒකකයන් අවප්‍රමාණ කිරීම මගින් සැලසුම් සහගතවම රටේ ජනතාව දුගීභාවයට ඇද දැමීම ගැන හෝ අඥාත යුරෝ බැඳුම්කර හිමියන්ට වාසි සැලසෙන පරිදි සිදුකරන ලද දූෂිත යුරෝ බැඳුම්කර ණය හුවමාරු ගිවිසුම් ගැන හෝ කිසිදු සඳහන් කිරීමක් සිදු නොවීය.

ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් සමරු උත්සවය ඉංග්‍රිසි ගැති ප්‍රභූ පෙළැන්තිය සහ ඔවුන් හා සමාන දේශිය කණ්ඩායම් වෙනුවෙන් පැවැත්වෙන තවත් උත්සවයක් සහ මහජනයාගේ අවධානය වෙනතක යොමු කිරීම සඳහා වන පිළිගැනීමේ නිවාඩු දිනයක් පමණක් වනු ඇත. සැබෑ ස්වාධීනත්වය දිනාගැනීම සඳහා වන දීර්ඝ චාරිකාව තුළදී මෙවැනි ඊනියා නිදහස් සංදර්ශනවල දීප්තිය විසින් ජනතාවගේ දුක්ඛිත දුගීභාවය පිළිබඳවත්, රටේ ආර්ථිකය විනාශ කිරීම සඳහා ත්‍රස්තවාදින් විසින් වගකීම බාරගන්නා ලදැයි කියවෙන එල්ලකරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි විවිධ බාහිර ආර්ථික කම්පන ප්‍රහාරයන් පිළිබඳවත් අඳුරු යථාර්ථයන් වසන් කිරීමට දිගටම වෑයම් කෙරෙනු ඇත.

මේ සියළු සංදර්ශන සහ උත්කර්ෂයන් සමගම වුවද නිදහස් දිනයේ අදාළත්වය , හරියටම මෑතකදී කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන ලද බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය නොස්ටැල්ජියාවේ දෙවන සංස්කරණය වන “ලංකා සාහිත්‍ය උළෙල” (Ceylon Literary Festival-CLF) මෙන්ම නැවතත් නොවැදගත් එකක් බවට පත්ව තිබේ.

ලංකා සාහිත්‍ය උලෙළේ සංවිධායකයෝ සහ අනුග්‍රාහකයෝ මෙම දිවයින ශ්‍රී ලංකාව ලෙසින් හඳුන්වනවාට වඩා එහි යටත් විජිත සංඥා නාමය වන “සිලෝන්” යන්න භාවිතා කරමින් එය හැඳින්වීමට වඩාත් කැමැති බව පෙනීයයි. මෙම “සිලෝන් සාහිත්‍ය උලෙළේදී” වර්තමාන ශ්‍රී ලංකා ආර්ථික තත්ත්වයන් හෝ නව ගෝලීය භූ දේශපාලන යථාර්ථයන් කිසිවක් ගැන සංවාදයට බඳුන් නොවිණි. ශ්‍රී ලංකාව සිරව ඇති යුරෝ බැඳුම්කර ණය නව යටත් විජිතවාදය, දකුණු ආසියාව තුළ දිගහැරෙන නව සීතල යුද්ධය ගැන හෝ ඇමෙරිකාවේ හෝ යුරෝපයේ භූ දේශපාලනික අදාලත්වය අවප්‍රමාණ කෙරෙමින් නැගී එන “ආසියානු 21 වැනි සියවස” විනාශ කිරීම සඳහා දියත් වන හයිබ්‍රිඩ් යුද මෙහෙයුම් මැද සිදුවන ආණ්ඩු පෙරලීමේ මෙහෙයුම් ගැන කිසිවෙකු විසින් කතා කළේ නැත.

එමෙන්ම ඉන්දියානු සාගර කලාපය හරහා ගෝලීය දකුණ වෙත සිදුවෙමින් පවතින සිදුවන දැවැන්ත භූ දේශපාලනික බලහුවමාරුව ගැන හෝ BRICS ආර්ථික හවුල ගැන හෝ කිසිදු සඳහනක් නොවිණි. මෙම සැලසුම් සහගත නොසැලකිල්ල කෙරෙහි බලපාන්නට ඇතැයි සිතිය හැකි වැදගත් සැධකයක්ද හොඳින් දිස්වෙමින් පැවැතිණි. එනම් මෙම “සිලෝන් සාහිත්‍ය උලෙළට” අනුග්‍රහය දක්වා තිබූ එක් ප්‍රධාන ආයතනයක් වූයේ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ඩොලර්-යුරෝ බැඳුම්කර සහ ඒ හා සම්බන්ධිත ව්‍යුත්පන්නයන්ගෙන් ප්‍රතිලාභ ලබන ලන්ඩනය මූලස්ථානය කරගත් හොංකොං සහ ෂැංහැයි බැංකුව වීමය.

“සිලෝනයේ” නැතහොත් ශ්‍රී ලංකාවේ ස්වදේශිකයන්, පාලකයන්, ඉතිහාසඥයන් වමේ සහ දකුණේ විවිධ අරමුදල්වලින් නඩත්තුවන “චින්තක කල්ලි” නැතහොත් රාජ්‍ය නොවන සංවිධාන ආදි සියල්ලන් ම, විවිධ සමාජ විද්‍යාඥයන් සහ මනෝ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති පරිදි “යටත්විජිත තත්ත්වානුගතකරණයේ ලක්ෂණයක් ” වන මතකය අහිමිවීමේ රෝගයෙන් පෙළෙන බවපෙනී යයි. ආශිස් නන්දි විසින් ” අභ්‍යන්තර සතුරා: යටත් විජිත වාදය යටතේ තමාව අහිමි වීම සහ යළි දිනාගැනීම” (Intimate Enemy: Loss and Recovery of Self under Colonialism) මෙම කරුණ දීප්තිමත් ලෙස විග්‍රහ කර තිබේ. මේ අතර, “වෝක්” ඉතිහාසය සහ අනන්‍යතා දේශපාලනය නව-යටත්විජිත යුරෝඩොලර් ණය බැඳුම්කරයේ සහ බැඳුම්කර ශ්‍රමයේ අඛණ්ඩ ව්‍යුහයන්, පද්ධති සහ ආයතනික තර්කනයන් වසන්කරමින් පවතින අතර , එයට නව ආකාරයේ ගිවිසුම්ගත සහ සංක්‍රමණික ශ්‍රමයද ඇතුළත් වේ.

ග්ලැඩියෝ මෙහෙයුමේ සිට කොළඹ මෙහෙයුම දක්වා: ආක්‍රමණයේ වෙස් මුහුණු, ස්වාධීනත්වයේ මුහුණුවර සහ වෝක් ඉතිහාසය

අතීත ප්‍රත්‍යාවලෝකනය විසින් ලබා දෙන ප්‍රඥාව සහ , බ්‍රිතාන්‍ය ලේඛනාගාරය සහ එක්සත් ජනපද කොංග්‍රස් පුස්තකාලය වැනි විවිධ ලේඛනාගාර විසින් ප්‍රසිද්ධ කර ඇති රහස්‍ය ලේඛන සහ සාක්ෂි මත පදනම්ව සිදුකර ඇති නව පර්යේෂණ අනුව දැන් ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් නම් බ්‍රිතාන්‍ය කිරීටයේ සිලෝන් යටත් විජිතය 1948 දී උත්සවාකාරයෙන් බ්‍රිතාන්‍ය ඩොමිනියන් රාජ්‍යයක් බවට පරිණාමය වීමත් සමගම සැබෑ නිදහස, ජාතික ස්වෛරීත්වය සහ හෞමික අඛණ්ඩත්වය සහ ස්වයංතීරණය සඳහා වන එහි වැසියන්ගේ දිගුකාලීන අරගලයේ නව අදියරක් ඇරඹුණ බවය.

බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය විසින් දියත් කරන ලද ග්ලැඩියෝ පන්නයේ “තිරයෙන් පිටුපස” සිට කෙරෙන රහසිගත මෙහෙයුම් මධ්‍යයේ සහ පසුකාලීනව එක්සත් ජනපද සහ නේටෝ විශේෂ බලකා මෙහෙයුම් මධ්‍යයේ වුවද නිදහස සඳහා වන ශ්‍රී ලංකාවේ අරගලය අද දක්වාම අඛණ්ඩව සිදු වෙමින් පවතී. එක්සත් ජනපදය සහ එහි යුරෝපීය මිත්‍ර සන්ධානයත් සෝවියට් සංගමයත් අතර සීතල යුද්ධය උත්සන්න වෙමින් පවතිද්දී යුරෝපයේ කොමියුනිස්ට්වාදින්ට සහ සමාජවාදින්ට එරෙහිව “ග්ලැඩියෝ මෙහෙයුම” නමින් දියත් කරන ලද තිරයෙන් පිටුපස සිට සිදු කළ රහසිගත මෙහෙයුම් පිළිබඳව ස්විස් ජාතික ඉතිහාසඥ ඩැනියෙල ගාන්සර් සහ තවත් අය විසින් සවිස්තරාත්මකව හෙළිදරවු කර තිබේ. ඒ හා සමාන සැඟවුණු මෙහෙයුම් ශ්‍රී ලංකාව වැනි පශ්චාත් යටත් විජිත ආසියානු අප්‍රිකානු යටත් විජිතවල ජාතික රාජ්‍යයන්ට සහ ජාතික විමුක්ති ව්‍යාපාරයන්ට එරෙහිව දියත් කෙරී ඇත. මෙම මෙහෙයුම්වල අරමුණ ජනතාවන් විවිධ ආගමික, ජාතික, සංස්කෘතික ආදි අනන්‍යතාවන් ඔස්සේ භේදභින්න කිරීම, නිදහස් අරගලයන් නොමග යැවීම, අවධානය වෙනතක යොමු කිරීම, ආර්ථික සංවර්ධනය අඩාල කිරීම සහ විනාශ කිරීම, සමාජවාදි හෝ කොමියුනිස්ට්වාදි ආණ්ඩු බිහිවීම වැළැක්වීම ආදියයි. එමෙන්ම ඒ අතරම යුරෝ ඇමෙරිකන් ආර්ථික සහ මිලිටරි උවමනාවන් ආරක්ෂා කිරීමද මෙම ග්ලැඩියෝ පන්නයේ මෙහෙයුම්වල අරමුණු අතර ප්‍රධාන විය.

ඇලන්ඩේගේ වාමාංශික රජයේ ආධාරකරුවන් පිනෝෂේගේ හමුදාවන් විසින් අත් අඩංගුවට ගන්නා ලද ආකාරය -1973

යුරෝපයේ කොමියුනිස්ට්වාදය හෝ සමාජවාදය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා දියත් කරනලද “ග්ලැඩියෝ මෙහෙයුම්” වලට සමාන මෙහෙයුම් එක්සත් ජනපදය සහ බටහිර අධිරාජ්‍යවාදි රටවල් විසින් ගෝලීය දකුණේ රටවල් සහ නොබැඳි ලෝකයේ රටවලට එරෙහිව දියත් කරන ලදි. 1973 දී දකුණු ඇමෙරිකාවේ පළමු සමාජවාදි ආණ්ඩුවේ ජනාධිපති සැල්වදෝර් ඇලන්දේ ගේ රජය පෙරළා දමා ඔහුව ඝාතනය කිරීමට එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ඒජන්සිය දියත් කරන ලද කුමන්ත්‍රණය වූකලී “ඔපරේෂන් කලම්බු” නමින් හඳුන්වන ලද ගෝලීය දකුණේ රටවලට එරෙහිව දියත් කරන ලද මෙහෙයුම් දාමයක එක් කොටසකි. ඔපරේෂන් කලම්බු මෙහෙයුමක් මගින් 1973 දී චිලියේ සිදුකරන ලද කොමියුනිස්ට් සංහාරය තුළ චිලියේ නොබෙල් සම්මාන ලාභි කවි” පැබ්ලෝ නෙරුදා ද ඝාතනයට ලක් විය. එයින් බොහෝ කලෙකට පසුව ශ්‍රී ලංකාවේ කො‍ළඹදී තිරගත කරන ලද “අල්බරෝදා”(Albaroda) නම් “වෝක්” චිත්‍රපටයක් මගින් පැබ්ලෝ නෙරුදාගේ චරිත ඝාතනය සිදුකරන ලදි.

පීටර් කොර්න්බ්ලු (Peter Kornbluh) විසින් ලියන ලද ” ද පිනෝෂේ ෆයිල්ස්” (The Pinochet File) නම් කෘතිය තුළ, “ඔපරේෂන් කලම්බු” (Operation Colombo) මෙහෙයුම විසින් සිදුකරන ලද 1973 චිලී කොමියුනිස්ට් සංහාරයට පසුව අපරාධයන්ට වගකිවයුත්තන් වසන්කිරීම සඳහා දියත්කරන ලද ව්‍යාජ පරීක්ෂණ සහ අසත්‍ය ප්‍රචාර පිළිබඳවද විස්තර කෙරී ඇත. එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවට සම්බන්ධ ආයතනය සහ යුරෝපා සංගමය විසින් අරමුදල් සපයමින් ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය දකුණේ රටවල දියත් කරන ලද ඊනියා “ධාරිතාව ගොඩනැගීමේ ව්‍යාපෘති” (capacity building) මගින් එම රටවල ජන මාධ්‍ය, නීතිමය සහ පර්යේෂණාත්මක ආයතන ග්‍රහණයට ගෙන ඇති අතර එහි ඉලක්කය ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස ඒවා හරහා යම් නිශ්චිත ආඛ්‍යානයන් පෙරට දැමීමය.

“කලම්බු මෙහෙයුම”ට පසුව චිලිය සහ ආර්ජන්ටිනාව තුළ “ඔපරේෂන් කොන්ඩෝර්” (Operation Condor) මෙහෙයුම දියත්කරනු ලැබිණි. ඒ අතරම ආසියානු සහ අප්‍රිකානු රටවල දේශීය බටහිර ගැති කොම්ප්‍රදෝරු ධනපති පන්තියේ සහයෝගය සහිතව, පරාධීනත්වය සහ ඌන සංවර්ධනය සදාකාලික කෙරෙන යටත්විජිත ආර්ථික මාදිලියක් සහ ආර්ථික සංවර්ධන රටාවක්, සැබෑ ස්වාධීනත්වය වෙනුවෙන් වන අරගලයේ තාමත් නිරතවන ජනතාවන් මත පටවනු ලැබිණි

1962 සිරිමා බණ්ඩාරනායක රජයට ඒරෙහි හමුදා කුමන්ත්‍රණය පිළිබඳව පුවත්පත්වල පළවූ ආකාරය

1948-72 කාලය අතර බ්‍රිතාන්‍ය ඩොමිනියන් යටත් විජිත තත්වයේ පැවැති ලංකාව පසුබසිමින් සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය වෙතින් මිදී සැබෑ ස්වාධීනත්වයක් දිනාගැනීම සඳහා වන අරගලයේ තාමත් නිරතවන අතර නැගී එමින් පැවැති එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බ්‍රිතාන්‍යයේ පසුබැසීමෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලංකාව තුළ සිය මැදිහත්වීම් උත්සන්න කළේය. සෝවියට් සංගමය සහ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් අතර සීතල යුද්ධය උත්සන්න වෙමින් පවතිද්දී සමාජවාදි නැඹුරුවක් සහිත ගෝලීය දකුනේ පශ්චාත් යටත් විජිත රාජ්‍යයන් තුළ රාජ්‍ය නායකයන් ඝාතනයට ලක්වීම් නිරන්තරයෙන් සිදු විය. 1959 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඝාතනය සිදු වූ අතර 1962 දී රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණයක් දියත් විය.

1971 දී වාමාංශික ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කැරැල්ලක් දියත් කරන ලද අතර එම කැරැලි කණ්ඩායම් අතර අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවන ලද කණ්ඩායම්ද වූ බවට සැකයක් පවතී. උත්ප්‍රාසයකට‌ මෙන් මෙම කැරැල්ල සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක සහ සමාජවාදි පක්ෂ හවුලේ පිහිටුවන ලද සමාජවාදි ආණ්ඩුවට එරෙහිව සිදූ වූවක් වන අතර කැරැල්ල මැඩ පැවැත්වීමේදී සමාජවාදි කඳවුරේ සෝවියට් සංගමය සහ චීනය වැනි රටවල මෙන්ම බ්‍රිතාන්‍යයේද සහ එක්සත් ජනපදයේද සහාය ආධාරය සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායකගේ රජයට ලැබිණි. මෙය ආසියාවේ සහ අප්‍රිකාවේ අනෙකුත් පශ්චාත් යටත් විජිත රාජ්‍යයන් තුළ ද දැකිය හැකි විය. මේ පිළිබඳව වින්සන්ට් බෙවින්ගේ (Vincent Bevin) “ජාකර්තා විධික්‍රමය” (The Jakarta Method) නම් කෘතියේ සවිස්තරාත්මකව දක්වා ඇත.

1971 ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම මර්දනයෙන් පසුව ආණ්ඩුව විසින් සිරගත කරන ලද තරුණ පිරිසක්

ලංකාව බ්‍රිතාන්‍ය ගැති ඩොමිනියන් තත්ත්වයෙන් ඉවත් වී ජනරජ ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට 1971 ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම විශාල වශයෙන් බලපෑවේය. පාලක සිරිමා බණ්ඩාරනායක රජය විසින් සම්මත කරන ලද 1972 ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් ස්වාධීන ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ එක්ව සාමකාමීව පරම්පරා ගණනාවක් තිස්සේ අන්තර් විවාහ මගින් සංකලනය වෙමින් පැවැති සිංහල සහ දෙමල භාෂාවන් කතාකරන ජනතාවන් අතර 1983 සිට 2009 දක්වා පැවැති ” වාර්ගික අර්බුදය” ද දකුණු ආසියා උපමහාද්විපයේ දිගහැරුණු කලාපීය සීතල යුද්ධයට සම්බන්ධව, විවිධ ආගමික සහ වාර්ගික ප්‍රජාවන් අතර පැවැති ආතතීන් අවියක් බවට පත්කරගනිමින් දියත් කරන ලද සෙවණැලි ප්‍රොක්සි යුද්ධයේම කොටසකි. දකුණු ආසියාවේ සීතල යුද්ධය එවකට පැවැති සෝවියට් සමාජවාදි රාජ්‍ය සංගමයේ සමීපතම මිත්‍ර රාජ්‍යයක් වූත් කලාපයේ බලගතුම රාජ්‍යය වූත් ඉන්දියාවට එරෙහිව සහ බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ එක්සත් ජනපදය විසින් දියත් කරන ලද රහසිගත යුද්ධයන්ගේ ආකාරය ගෙන තිබිණි. ලෝකයේ විශාලතම රාජ්‍යයන් වන සෝවියට් සංගමය සහ චීනයයේ නායකත්වයෙන් පැවැති සමාජවාදි රාජ්‍ය පද්ධතිය මෙන්ම ගෝලීය දකුණ හරහා හමායන කොමියුනිස්ට් කුණාටුව හමුවේ සිය අන්තේවාසික ධනවාදි රටවල් ඩොමිනෝ මෙන් බිඳ වැටෙමින් පැවතීම ඉහත බටහිර රටවල භීතියට හේතු වී තිබිණි.

1947 දී ඉන්දියාවෙන් වෙන්වී ස්වාධීනත්වය ලද පකිස්ථානය ඇමෙරිකා එක්සත් ජනපද-සී.අයි.ඒ. කඳවුරුවලින් සමන්විත මිලිටරි මූලස්ථානයක් බවට පත්විය. මේ හේතුවෙන් නවලිබරල්වාදි ආර්ථික න්‍යායපත්‍රයක් සහිතව 1977 දී එක්සත් ජනපදයේ පිටුබලය ඇති බලයට පත් ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව යටතේ ලංකාවේ වාර්ගික-භාෂාමය ආතතින් ආයුධයක් බවට පත් කරමින් ඒවාට මැදිහත් වෙමින් එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු සහිත මිලිටරි මූලස්ථානයක් තම දකුණු දේශසීමාවේද නිර්මාණය වනු ඇතැයි ඉන්දියාව තුළ සහේතුක බියක් විය.

ග්ලැඩියෝ මෙහෙයුම් වල සිට ඝාතන, කුමන්ත්‍රණ, රටවල් බෙදීම් සහ ආණ්ඩු පෙරලීමේ මෙහෙයුම් දක්වා

1965 ඉන්දුනිසියානු කොමියුනිස්ට් සංහාරයේදී බාලි දූපතේදී හමුදා අත් අඩංගුවට පත් කොමියුනිස්ට් හිතවාදින් පිරිසක්

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමේ ක්‍රියාදාමයේ තීරණාත්මක අදියරයන්හිදී 1947 දී බුරුමයේ අවුන් සාන් සහ ඉන්දියාවේ මහත්මා ගාන්ධි ඝාතනය කරනු ලැබීමේ සිට 1959 දී SWRD බණ්ඩාරනායක ඝාතනය කිරීම දක්වා මෙහෙයුම් ගෝලීය දකුණේ යටත්විජිත විරෝධී අරගලයට මුහුණ දෙමින් සිටි බ්‍රිතාන්‍ය සහ අනෙකුත් යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙත “ගැලවුම් මාර්ගයක්” ලෙස සේවය කළේය. මෙම ඝාතන විසින් යටත් විජිත වාදයෙන් මිදෙමින් සිටි රටවල් සහ කලාපයන් තුළ අස්ථාවරභාවයක් ඇති කිරීම මෙන්ම බෙදා වෙන්කර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදි උපක්‍රමයේ භාවිතයට නැංවීමද සහතික කරනු ලැබිණි.

ඩැනියෙල ගාන්සර්

එසේම සැලසුම් කර නිර්මාණය කරන ලද අභ්‍යන්තර ගැටුම් හරහා බහු සංස්කෘතික රටවල් සහ කලාප බෙදා වෙන් කිරීම, අවතැන් වූ ජනප්‍රවාහයන් නිර්මාණය, විදේශගත ප්‍රජාවන් නැතහොත් ඩයස්පෝරාව සිය උවමනාවන් සඳහා මෙවලමක් ලෙස යොදා ගැනීම ආදිය පසුබසිමින් පවතින යුරෝ-ඇමෙරිකන් අධිරාජ්‍යවාදය විසින් සිය ආධිපත්‍යය තවදුරටත් පවත්වාගැනීමේ දුරස්ථ පාලක උපත්‍රමයන් විය. මෙම සැලසුම්වල සලකුණු පලස්තීනයේ සිට ඉන්දියාව දක්වාත්, සයිප්‍රසයේ සිට අයර්ලන්තය දක්වාත් පැහැදිලිව දැකිය හැකිය. මෙම ලැයිස්තුව ඉතා දිගු එකකි.මෙය අප්‍රිකාව තුළද දිගහැරෙන නවයටත්විජිතවාදි ඛෙදවාචකයකි. ප්‍රංශ-ඇමෙරිකන් යටත්විජිතවාදි මැදිහත්වීම් සහිතව රුවන්ඩාවේ සහ බුරුන්ඩියේ ජනසංහාරයන් සිදු විය. එමගින් බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණික ප්‍රවාහයක් නිර්මාණය කරන ලද්දේ සම්පත්වලින් ගහණ කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජය අස්ථාවර කිරීම සඳහා එයට එරෙහිව තවත් ප්‍රොක්සි යුද්ධයක් දියත් කිරීමට M-23 සටන්කරුවන්ට පුහුණුව සහ අරමුදල් සපයන අතරය. කොංගෝව එක්සත් කළ ජනතාවාදි නායක පැට්‍රික් ලුමුම්බා 1961 දී සී.අයි.ඒ.-බෙල්ජියම් කුමන්ත්‍රණයක් මගින් ඝාතනය කරනු ලැබිණි.

සත්තකින්ම ඝාතන කුමන්ත්‍රණ, ආණ්ඩු පෙරළා දැමීම්, සහ රටවල් කැබැලි කිරීම් ආදිය ගෝලීය දකුණ තුළ සිදුවන ග්ලැඩියෝ පන්නයේ මෙහෙයුම්වල ප්‍රතිඵලයන්ය. “තිරයෙන් පිටුපස සිට”(stay behind) කෙරෙන මෙම මෙහෙයුම් වූ කලී ස්වකීය ආධිපත්‍යය තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණ සහිතව දියත් කරන ලද චර්චිලියානු, ඇංග්ලෝ සැක්සන් පසුබැසීමේ උපක්‍රමයන් වේ. ඒවා පිළිබඳව මනා ලෙස ලේඛනගතව ඇති අතර ඒවා යුරෝපයේ පමණක් නොව හිරු බැස ගිය අධිරාජ්‍යයේ පැරණි යටත් විජිත තුළද දියත්වූ සහ දියත්වෙමින් පවතින ඒවාය.

මෙම “තිරයෙන් පිටුපස සිට කෙරෙන මෙහෙයුම්” වසන් කරනු පිණිස නොමග යැවීමේ ව්‍යාජ පරීක්ෂණ සහ “බ්ලැක් ප්‍රොපගැන්ඩා දියත් කරමින් අප්‍රිකානු-ආසියානු පැරණි යටත් විජිත තුළ බෙදා වෙන්කර පාලනය කිරීමේ උපක්‍රමයට අනුව ඒවා අස්ථාවර කිරීම දිගටම සිදු වේ. එමගින් පසුබසිමින් පවත්නා යුරෝ-ඇමෙරිකන් අධිරාජ්‍යවාදයේ පැරණි සහ නව යටත්විජිත තුළ ආර්ථික සහ ආරක්ෂක උවමනාවන් ආරක්ෂාකරගැනීම සිදු වේ.

පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සිදු කරන ලද අනාවරණයන්: ඔක්ස්පර්ඩ්- කේම්බ්‍රිජ් ඉතිහාසඥයන්ගේ වල්මත් පරපුර?

සීතල යුද්ධයේ සෙවණැලි යුද්ධ සහ ග්ලැඩියෝ පන්නයේ මෙහෙයුම් මැද, ශ්‍රී ලංකාව නැතහොත් “සිලොන්” ලෙස හඳුන්වන ලද, ඉන්දියානු මහාද්විපය තුළ අතිමහත් භූ-උපායික වැදගත්කමක් සහිත මෙම දිවයිනේ ජනතාව සැබෑ ලෙසම ස්වාධීනත්වය සහ ජාතික ස්වෛරීත්වය සඳහා අරගලයක නිරතවෙමින් සිටියදී, එය තුළ ආණ්ඩු පෙරලීමේ උත්සාහයන් ගණනාවක් දියත්ව තිබේ. මේවායින් සමහරක් සාර්ථක විය. එවැනි සාර්ථක ආණ්ඩු පෙරලීමේ මෙහෙයුම් සඳහා ආසන්නතම නිදර්ශනයන් නම් 2022 සහ 2024 සිදු වූ ආණ්ඩු පෙරළීම්ය.

ස්විස් ඉතිහාසඥ ඩැනියෙල ගාන්සර් (Daniel Ganzer) විසින් සිදුකරන ලද පර්යේෂණයක් මගින් ඇමෙරිකානු සී.අයි.ඒ්. සංවිධානයේ පූර්වගාමි සංවිධානය වන උපායමාර්ගික සේවාවන් පිළිබඳ කාර්යාලය (Office of Strategic Services-OSS) විසින් යුරෝපය තුළ සමාජවාදි සහ කොමියුනිස්ට්වාදි ජාතික ව්‍යාපාරයන්ට එරෙහිව ග්ලැඩියෝ යන සංකේත නාමයෙන් හඳුන්වන ලද රහසිගත මෙහෙයුම් සහ සෙවණැලි යුද්ධ දියත් කරන ලද ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව හෙළිදරවු කර තිබේ.

වින්සන්ට් බෙවින්

මේ හා සමාන නව පර්යේෂණයන් ” ජාකර්තා විධි ක්‍රමය”(The Jakarta Method) නම් පොත ලියන ලද ඇමෙරිකානු ඉතිහාසඥ වින්සන්ට් බෙවින් (Vincent Bevin) සහ “කීනි මීනි: යුද අපරාධකර නිදැල්ලේ වෙසෙන බ්‍රිතාන්‍ය කුලී හේවායෝ” (Keenie Meenie: The British Mercenaries who got away with War crimes) නම් කෘතිය ලියන ලද බ්‍රිතාන්‍ය දේශපාලන විද්‍යාඥ ෆිල් මිලර් (Phil Miller) විසින් සිදු කර ඇත. මෙම පර්යේෂණයන්ගේ මූලාශ්‍ර බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය සහ ඇමෙරිකානු කොංග්‍රස් පුස්තකාලය විසින් විසින් මහජනයා වෙත මුදාහරින ලද එහි පැරණි රහසිගත ලේඛනයන්ය.

මෙම මූලාශ්‍ර සහ පර්යේෂණ මගින් පසුබසිමින් සිටින යුරෝපීය සහ නැගී එමින් පැවැති එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සි විසින් ගෝලීය දකුණේ අව්‍යාජ සමාජවාදි සහ කොමියුනිස්ට් නායකත්වය යටතේ මෙහෙයවුණ යටත් විජිත විරෝධී, ජාතික විමුක්ති ව්‍යාපාර සහ නිදහස් ව්‍යාපාර විනාශ කිරීම සඳහා අතීතයේදී සහ වර්තමානයේදී දියත් කරන ලද සැලසුම්ගත රහසිගත ත්‍රස්තවාදි ක්‍රියාවන්(false flag operations) සහ මෙහෙයුම් අතර පවත්නා සමාන රටාවන් පෙන්නුම් කරයි.
මෙය සිදුවන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව විසින්,සම්පත්වලින් ගහණ අප්‍රිකානු සහ ආසියානු රටවල් තුළදී ඔවුන්ගේ ආර්ථික සහ මිලිටරිමය උවමනාවන් ඉටුකරගැනීම සඳහා යටත්විජිතවාදයෙන් මිදෙමින් සිටින ගෝලීය දකුණ තුළ දියත්කර ඇති පැරණි සහ නව සීතල ප්‍රොක්සි යුද්ධ අතර මැදය.

“කීනි මීනි: යුද අපරාධ කර නිදැල්ලේ සිටින බ්‍රිතාන්‍ය කුලී සොල්දාදුවෝ”(Keenie Meenie: The British Mercenaries who got away with war crimes”) යන කෘතිය ලියන ලද ෆිල් මිලර්

කෙසේ වුවද ඇංග්ලෝ-ලන්දේසි අධිරාජ්‍යවාදයෙන් සැපයෙන අරමුදල් තුළ සහ වාර්ගික-ආගමික අනන්‍යතා දේශපාලනය, අර්බුද සහ ස්මරණ ප්‍රබන්ධ කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වන යටත්විජිත ලේඛනාගාර තුළ සිරව ඇති “වෝක්” ඔක්ස්පර්ඩ්-කේමිබ්‍රිජ් ඉතිහාසඥයන්ගේ වල්මත් පරපුර සහ “රාජ්‍ය නොවන සංවිධාන පර්යේෂණ කර්මාන්ත සංකීර්ණය” (NGO research industry complex)ට සම්බන්ධ චින්තන පර්ෂද (NGO research industry complex) විසින් සැබෑ සිතියම නිර්මාණය සඳහා තිත් යාකිරීමට අසමත්ව ඇත.

සීතල යුද්ධය විසින් භූ උපායික වශයෙන් වැදගත් “සිලෝන්” නැත හොත් ශ්‍රී ලංකාව නම් ඉන්දීය සාගර දිවයිනේ සැබෑ නිදහස පිළිබඳ අරගලය දකුණු ආසියාවේ කලාපීය ප්‍රොක්සි යුද්ධයක් විසින් හැඩගස්වන ලද ඊනියා “අභ්‍යන්තරික වාර්ගික යුද්ධය” මධ්‍යයේ පැහැදිලිවම ව්‍යුහගත කර තිබුණි. සමාජ ඉතිහාසයෙන් පිටස්තර ලෙස දූපත්භාවය අනවරත ලෙස ප්‍රතිලේඛනගත කෙරී තිබුණද, සත්තකින්ම “වාර්ගික ගැටුම” සේවය කළේ ඇංග්ලෝ-ලන්දේසි නවයටත්විජිතවාදය වසන් කිරීමට සහ ඒ කෙරෙන් අවධානය වෙනතක යොමුකිරීම සඳහාත්ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉන්දියන් සාගර ලෝකය පුරා විදේශීය වහලුන් සහ ප්‍රතිරෝධාත්මක ප්‍රේම පුරාවෘත්තයන් පිළිබඳ “වෝක්” ඉතිහාසය තුළ මෙය පැහැදිලි වේ.

සාමයට බාධාකිරීමට සහ අවධානය වෙනතක යොමු කිරීමට රෝහිංග්‍යා සරණාගතයන් විශ්මය ජනක ලෙස මියන්මාරයේ සිට ලංකාවට ප්‍රවාහනය කරන අතර සියොන්වාදි චබාද් යාඥා නිවාස පිහිටුවමින් ආගම්වලට හරවමින් සීතල යුද්ධය පුනරාවර්තනය වෙමින් පවතී.මෙය සිදුවන්නේ 2019 දී මෙරට ආර්ථිකය විනාශ කිරීම සඳහා වූ ග්ලැඩියෝ නැතහොත් විශේෂ බලකා පන්නයේ මෙහෙයුමක් වන ඉස්ලාමික රාජ්‍ය සංවිධානය(ISIS) විසින්වෙරළබඩ ධීවර ජනතාවට, කතෝලික දේවස්ථානවලට සහ සංචාරක හෝටල්වලට එරෙහිව දියත්කළ අභිරහස් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාරගෙන වැඩිකලක් යාමට මත්තෙනි. බාහිර බලවේගයන් විසින් ආගමික අනන්‍යතා දේශපාලනය ආයුධයක් බවට පත්කරමින් පවතින ආකාරය ඉතා පැහැදිලි අතර මෙම ක්‍රියාදාමය දිගටම සිදුවෙමින් පවතින්නේ ශ්‍රී ලංකාවට නැතහොත් “සිලෝන්” දිවයිනට එරෙහිව මේ මොහොත තුළ හයිබ්‍රිඩ් ආර්ථික ප්‍රහාර එල්ල කෙරෙමින් ඉතිහාසය පුනාරවර්තනය වන අතරය.

මෙවර පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාව මෑතදී බලයට පත්  ප්‍රෝඩාකාරි වාමාංශික ආණ්ඩුවක් සමග සිය නිදහස සමරන මේ මොහොතේදීද ද ඉතිහාසය පුනරාවර්තනය වීම නැවතත් සිදුවෙමින් පවතී. ඛෙදවාචකය නම් තමන්ගේ ඉතිහාසය නොදන්නාවුන් විසින් එය පුනරාවර්තනය වීමේ ඉරණමට යටත්ව සිටීමය: වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, එක්සත් ජනපද දකුණු ආසියාතික සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ තානාපතිනි ජූලි චුංග් සමග

වර්තමානය වෙත නැවතත්: 2022 දී ශ්‍රී ලංකාවේ 75 වෙනි උපන් දිනය සැමරෙන මොහොතේදී , ක්‍රය ශක්ති සාම්‍යය (Purchasing Power Parity- PPP) අනුව සහ අදාළ සියලු නිර්ණායක අනුව දකුණු ආසියාවේ ධනවත්ම රට ලෙස සැලකුණ ශ්‍රී ලංකාව තමන් පෙළුණ අතිශය වරප්‍රසාදිත යුරෝ-ඩොලර් හිඟය හේතුවෙන් එහි ඉතිහාසයේ පළමුවරට තමන්ට ණය ගෙවාගත නොහැකි බව පවසමින් බංකොළොත් බවට ප්‍රකාශයට පත් කරමින් පැරිස් යටත් විජිත කණ්ඩායම, ලන්ඩන් බැංකුකරුවන් සහ බැඳුම්කර හිමියන් වෙත ස්වාධීනත්වය පාවාදීමට සිදු වූ ආකාරය ගැන හෝ එමගින් ලංකාවේ පුරවැසියන් උග්‍ර දරිද්‍රතාවයකට පත් කරනලද ආකාරය ගැන කිසිදු සංවාදයක් මතු නොවිණි. ශ්‍රී ලංකාවට සිය බංකොලොත් බව ප්‍රකාශ කිරීමට සිදු වූයේ ගුප්ත විදේශිය බැංකුවක් වන හැමිල්ටන් රිසර්ව් බැංකුව (Hamilton Reserve Bank -HRB)විසින් ශ්‍රී ලංකාව සිය ණය වාරිකයක් ගෙවීම පැහැර හැර ඇතැයි යනුවෙන් නිව්යෝර්ක් අධිකරණය හමුවේ පවරන ලද නඩුවක් නිසාය. එය සිදු වූයේ ඉන්දිය සාගර කලාපය තුළ බටහිර අධිරාජ්‍යවාදය විසින් දියත් කරන ලද හයිබ්‍රිඩ් ආර්ථික යුද සැලසුමේම ශ්‍රී ලංකාවට එරෙහි කොටසක් ලෙසය.

මෙවර පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාව මෑතදී බලයට පත් ව්‍යාජ ප්‍රෝඩාකාරි වාමාංශික ආණ්ඩුවක් සමග සිය නිදහස සමරන මේ මොහොතේදීද ද ඉතිහාසය පුනරාවර්තනය වීම නැවතත් සිදුවෙමින් පවතී. ඛෙදවාචකය නම් තමන්ගේ ඉතිහාසය නොදන්නාවුන් විසින් එය පුනරාවර්තනය වීමේ ඉරණමට යටත්ව සිටීමය.

ධරිණි රාජසිංහම් සේනානායක

පරිවර්තනය අජිත් සී හේරත්

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.