දකුණු ආසියාවේ නව සීතල යුද්ධය සහ BRICS ආර්ථික හවුලේ නැගීම -ධරිණි රාජසිංහම් සේනානායක

ධරිණි රාජසිංහම් සේනානායක

ණය යුක්තිය ඉටු කිරීමේ ප්‍රතිඥාව මත විශාල ජනවරමක් ලද නව ජාතික ජන බලවේග ආණ්ඩුවට මධුසමයක් හිමි නොවනු ඇත.

වොෂින්ටනයේ සිට හමා එන කුණාටුව නැගෙනහිරෙන් චීනය ද, බටහිරෙන් ඉරානය ද, කේන්ද්‍රයෙන් ඉන්දියාවද ඉලක්කකරමින් ඉන්දියානු සාගර ලෝකය හරහා හමා යයි.  එක්සත් ජනපදය විසින් මෙහෙයවන සම්බාධක යුද්ධයද රටවල් රැසක් මත බලපෑම් සිදු කරමින් පවතී. BRICS ආර්ථික හවුලේ නැගීමට සහ චීනයේ වෙළඳ පථ සහ මාර්ග සමාරම්භක ව්‍යාපෘතිය(Belt and Road Initiative) එරෙහි හයිබ්‍රිඩ් ආර්ථික යුද්ධයට මැදිව ඇති ශ්‍රී ලංකාවද මේ සම්බාධක යුද්ධයේ බලපෑමට යටත්ය.

දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කලින් පැවැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් කෙටුම්පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම් සහ දූෂිත යුරෝ බැඳුම්කර ණය පිළිබඳ ගිවිසුම් පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට අසමත් බව පෙනීයන නව ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් දෙසැම්බර් මාසයේදී ඒවාට අත්සන් තබන ලදි. එමගින් නැවතත් ණය උගුලට කොටුවෙමින් දෙවන වරටද බංකොළොත් වීමේ දිශාව වෙත ගමන් කිරීම අරඹා ඇත.

ක්‍රය ශක්ති සාම්‍යය (Purchasing Power Parity -PPP) සහ දළ දේශීය නිෂ්පාදනයට (GDP) අනුව දකුණු ආසියාවේ ධනවත්ම රටක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව 2022 මාර්තු මාසයේදී “බංකොළොත්” බවට ප්‍රකාශ කරන ලද්දේ එක්සත් ජනපදයේ “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික පරිත්‍යාගය” (National Endowment for Democracy – NED) විසින් අරමුදල් සපයන ලද “අරගලය” විසින් අවධානය වෙනතකට යොමුකරවන අතරය. මේ බංකොළොත් බව ප්‍රකාශ කිරීමට එකම හේතුව වූයේ අසාධාරණ ලෙස වරප්‍රසාදිත එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණවත් ලෙස නොවීමය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයවන ලද බැඳුම්කර හුවමාරුව විසින් කොටස් වෙළඳපොළ ඉහළයාම නත්තල් ශුභාරංචියක් ලෙස දිස් වූ අතර සැලකිය යුතු මට්ටමක පවත්නා අවධමනය නොතකා හරිමින් ෆිඩ් ඇන්ඩ් මූඩි ශ්‍රේණිගත කිරීම්වල සිදු කරන ලද උසස් කිරීම් කොපරේට් මාධ්‍ය විසින් ඉහළින්ම වර්ණනා කරනු ලැබිණි. කෙසේ වුවද දූෂිත ණය සඳහා කොල්ලකාරි ණය හිමියන්ට ගෙවීම් සිදුකිරීම 2025දී ආරම්භ කරන විට ශ්‍රී ලංකාවේ වේදනාවන් උත්සන්න වනු ඇත. එමෙන්ම විශ්‍රාම වැටුප් අරමුදල් කප්පාදුකරණයද සිදුවනු ඇත.

ඉහළ බදු අයකිරීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආර්ථිකය හැකිළවීමේ අරමුණෙන් නිර්දේශිත වියදම් කපාහැරීමේ ක්‍රියාමාර්ග සහ කොල්ලකාරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්‌ට කප්පම් ගෙවීම පිණිස ජාතික වත්කම් කුණුකොල්ලයට වෙන්දේසියේ දැමීම විසින් නව වටයක සමාජ අසහනයක් සහ විරෝධතා ව්‍යාපාරයන් පැන නැගීමට මං පාදනු ඇත. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුකාරකමේ (Extended Fund Facility) අනුග්‍රහයෙන් දෙවැනි “බංකොළොත් වීමක්” ද වේදිකා ගත කෙරෙනු ඇත.

එක්සත් ජනපද සම්බාධක සහ දකුණු ආසියාවේ ආණ්ඩු පෙරළීමේ “අරගල”

මේ අතර අතිශය උණුසුම් නව කලාපීය සීතල යුද්ධයක සෙවණැලි දකුණු ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය මත වැටී තිබේ. වික්ටෝරියා නූලන්ඩ්ගේ ආභාෂය ලද ” වර්ණ විප්ලව” නැතහොත් අරාබි වසන්තය පන්නයේ “අරගල” යොදාගනිමින් ආණ්ඩු පෙරළීමේ මෙහෙයුම් දෙකක් 2022 දී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය තුළ සිදු විය.

2024 අගෝස්තු මාසයේ බංග්ලා දේශයේ ෂික් හසිනාට එරෙහිව ඒක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද විරෝධතා ව්‍යාපාරයේ කොටසක්

‍2024 වර්ෂය අවසානයේදී බංග්ලා දේශයේ ආණ්ඩුව පෙරළා දැමීම සිදු වූ අතර සති කීපයකට පෙර ඉන්දියාවේ පාලක BJP පක්ෂයේ සාමාජිකයන් විසින් අගමැති මෝදිගේ ආණ්ඩුව පෙරළා දැමීමේ උත්සාහයක් එක්සත් ජනපදය දියත් කර ඇතැයි චෝදනා කරන ලදි. මෝදිගේ රජයේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා වන දේශිය සහ ගෝලීය ජාලයේ කොටසක් ලෙස ජෝර්ජ් සොරෝස් පදනම සහ NED විසින් අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන සංකීර්ණය හඳුනාගෙන තිබේ.

මේ අතර රුසියාව ඇතුළු BRICS ආර්ථික හවුලේ රටවලට එරෙහිව එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක පුළුල් කිරීම හේතුවෙන් ද ඉන්දීය ධන කුවේරයකු වූ අදානිට එරෙහිව එක්සත් ජනපද අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන්ද විදේශීය ආයෝජන අවශ්‍ය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතින් අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ චීනය විසින් ඉදිකරන ලද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ “ශෞර්යා එයරෝනොටික්ස් ප්‍රයිවට් ලිමිටඩ්” සමාගම සහ රුසියාවේ ” එයාර්පෝර්ට් ඔ‌ෆ් රීජන්ස් මැනේජ්මන්ට් කොම්පැනි” යන සමාගම් විසින් සැලසුම්කර තිබූ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවීමට සිදුව ඇත්තේ මාස දෙකකට පෙර එක්සත් ජනපද සම්බාධක හේතුවෙනි. (1)

එක්සත් ජනපද භාණ්ඩාගාරික දෙපාර්තුමේන්තුව විසින් ඉන්දියාව මූලස්ථානය කොට ගත් ශෞර්යා එයරෝනෝටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Shaurya Aeronautics Pvt Ltd) සමාගමටත් තවත් පුද්ගලයන් 275කට සහ ආයතන රැසකටත් එරෙහිව සම්බාධක පනවා ඇත්තේ රුසියාවට අධි තාක්ෂණය සහ උපකරණ සැපයීම යන චෝදනාව යටතේය. මත්තල ගුවන්තොටුපොල පිහිටා ඇත්තේ ලෝකයේ කාර්ය බහුලතම වෙළඳ සහ බලශක්ති මාර්ගයන්ගේ සහ ජාත්‍යන්තර මුහුදයට සන්නිවේදන දත්ත කේබල් මාර්ගයන්ගේ සන්ධිස්ථානයන්ට නුදුරු හම්බන්තොට වරායට ආසන්නවය.

මේ අතර නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ දූෂණ චෝදනා යටතේ අදානි කෝපරේට් ඒකාධිකාරයට එරෙහිව නඩුවක් පවරා තිබේ. අදානි යනු ලෝකයේ විශාලතම වත්කම් කළමණාකරණ සහ මූල්‍ය වත්කම් හිමි එක්සත් ජනපද බ්ලැක්රොක් සමාගමේ හවුල්කාර සමාගමකි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ණය බැඳුම්කරවලින් අතිවිශාල ප්‍රමාණයක හිමිකමක් දරන්නේ බ්ලැක්රොක් සමාගමයි. ගෝලීය කෝපරේට් මාධ්‍ය විසින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට හේතුව චීනය වෙතින් ලබාගත් ද්විපාර්ශ්වික ණය යැයිද ඒ මගින් “ශ්‍රී ලංකාව ණය උගුලට හසු කරගැනීමට චීනය කටයුතු කර ඇතැයිද” දිගින් දිගටම චෝදනා කළ ද ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ විශ්ලේෂණය මගින් පෙන්නුම් කරන්නේ මෙම භූ උපායික වශයෙන් වැදගත් දිවයිනට 2022 දී සිය ඉතිහාසයේ පළමුවරට තමන් ගත් ණය ගෙවාගත නොහැකි හෙයින් “බංකොළොත්” බව ප්‍රකාශ කිරීමට සිදු වූයේ බ්ලැක්රොක් වැනි සමාගම් වලින් ගත් ජාත්‍යයන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond -ISB)ණය හේතුවෙන් බවයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අදානි සමාගම දේශිය සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමාගම සමග හවුලේ කටයුතු කිරීමට නියමිතව තිබිණි. ජෝන් කීල්ස් සමාගම මේ සඳහා එක්සත් ජනපද සංවර්ධන සහයෝගිතා අරමුදලෙන් (United State Development Finance Corporation-USDFC) සැලකිය යුතු මූල්‍ය සම්පත් ප්‍රමාණයක් ලබාගෙන තිබිණි. මේ සඳහා එකඟතාවන් සිදුව තිබුණේ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හිදී අල්ලස් ලබාදීමක් පිළිබඳව අදානිට එරෙහිව නිව්යෝර්ක් නගරයේදී නඩු පැවැරීමට පළමුවය.

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන අදානි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පුද්ගලික මිතුරෙකු ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ දූෂිත ණය ප්‍රතිව්‍යුහගතකරණ බැඳුම්කර හුවමාරු වැඩ සටහන තුළ දැවැන්ත ප්‍රතිලාභ අත්පත් කරගැනීමට සමත් වූ බ්ලැක්රොක් සමාගමේ හවුල්කරුවෙකු වන අදානි ශ්‍රී ලංකාව තුළ “හරිත බලශක්ති” ව්‍යාපෘති ගණනාවක් සඳහා ගිවිසුම් 2024 දෙසැම්බර් මාසයේදී අත්සන් තබා ඇත.

සම්බාධක සහ රාජ්‍යතාන්ත්‍රික සංචාර

ශ්‍රී ලංකාවේ සාර්ථකම ස්ත්‍රිය වූ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුංග් සහ දකුණු ආසියාවේ   ප්‍රීතිමත්ම මිනිසා වූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සමග ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලයේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින්

සම්බාධක පැනවීම් මධ්‍යයේ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඉන්දියව, ශ්‍රී ලංකාව සහ නේපාලය යන රටවල සංචාරයක නිරත විය. එම සංචාරය තුළ ඩොනල්ඩ් ලූ රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය නොවන සංවිධාන සංකීර්ණයේ නියෝජිතයන්, සිවිල් සමාජ සාමාජිකයන් ආදින් මුණ ගැසී “ධාරිතා ගොඩනැගීම” (capacity building) සඳහා ආධාර ලබාදීම පිළිබඳව සාකච්ඡා කර තිබිණි. මෙම ඊනියා ධාරිතා ගොඩනැගීමේ ඉලක්කය ආයතනික ආක්‍රමණය උත්සන්න කිරීමය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත “ප්‍රතිසංස්කරණ” හරහා ශ්‍රී ලංකාවේ මහබැංකුව මේ වනවිට ඉතා සාර්ථකව පුද්ගලීකරණය කර තිබේ. එහි ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ උවමානාවන්ට සේවය කරනු වෙනුවට කොල්ලකාරි ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ අවශ්‍යතාවන්ට සේවය කරනු පිණිස මහ බැංකුව යටත් කර ගැනීමය.

දූෂිත දේශීය දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ජාවාරම්කාර මිතුරන්ගේ හවුල්කාරිත්වයෙන් ගොඩ ගසන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුම් අත්සන් කිරීමට බල කරමින් ණය හිමිකරුවන් නියෝජනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලසාර්ඩ් ඇන්ඩ් ක්ලි‌ෆර්ඩ් චාන්ස් විසින් අටවන ලද ණය උගුල මෙන්ම ඉන්දියානු සමාගම්වලට එරෙහිව එක්සත් ජනපදයේ ක්‍රියාමාර්ග විදේශ ඇමැති විජිත හේරත්ට හිසරදයක්ව ඇති බව පෙනී යයි.

ණය උගුලේ සිරව ඇති ශ්‍රී ලංකාවට සහනයක් ලබාගැනීම සඳහා එක්සත් ජනපද සම්බාධක ශ්‍රී ලංකාවට අදාළව ඉවත් කරගනිමින් ඒ මගින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ඉන්දීය සහ රුසියානු ආයෝජන හරහා සිදු කිරීමට අවස්ථාව ලබාගැනීමටත්, කොල්ලකාරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් වෙතින් සහනයක් ලබාගැනීමටත් එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ එකඟකරවාගැනීමට විදේශ ඇමැති විජිත හේරත් සමත්වනු ඇත්ද?

එක්සත් ජනපද සංවර්ධන සහයෝගිතා අරමුදල අරමුදලෙන් (United State Development Finance Corporation-USDFC) විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා අදානි ව්‍යාපෘතියට ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට එකඟව තිබූ අතර දැන් ඔවුහු එම ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රති සමාලෝචනයක නිරත බව පවසති.

ඉන්දියානු ව්‍යාපෘතිවලට එරෙහි ප්‍රහාරය සහ BRICS ආර්ථික හවුලේ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම

දීර්ඝ කාලයක සිට උපාය මාර්ගික වශයෙන් වැදගත් ශ්‍රී ලංකාවේ බලශක්ති, ප්‍රවාහන සන්නිවේදන යටිතල ව්‍යුහයන් අත්පත් කරගැනීමට මාන බලමින් සිටි වොෂින්ටනය ඉන්දියානු සමාගම්වල එරෙහි ප්‍රහාරයක් දියත් කර ඇති බව පැහැදිලි වෙමින් පවතී.

ඉහත යටිතල ව්‍යුහයන් අත්පත් කර ගැනීමේ එක්සත් ජනපද උවමනාව 2019දී ශ්‍රී ලංකාවට අත්සන් කිරීමට බලකරන ලද ” එක්සත් ජනපද සහස්‍ර අභියෝග සහයෝගිතා ගිවිසුම”(US Millennium Challenge Corporation-MCC)) තුළද අන්තර්ගත විය. නමුත් එවකට පැවැති රජය එම ගිවිසුම ප්‍රතික්ෂේප කරන ලදි. ඒ වකවානුව තුළ “හමුදා තත්ත්ව ගිවිසුම” (Status of Forces Agreement -SOFA),යටතේ භූ උපායික වශයෙන් වැදගත් මෙම දිවයින තුළ එක්සත් ජනපදය විසින් ස්ථාවර කඳවුරු පිහිටුවනු ඇතැයි බියක් පැවැතිණි.

කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්ය බහුලතම වරායවන නමුත් එහි සංවර්ධන කටයුතු දැන් අත්හිටුවා තිබේ. ඇත්ත වශයෙන්ම, අදානිගේ වරාය සංවර්ධන ව්‍යපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 කට වඩා අරමුදල් සපයන බවට එක්සත් ජනපදයේ පොරොන්දුව කෙසේ වෙතත් එය ඉටුකිරීමේ උවමනාවක් නොතිබූ බව පෙනී යයි. මෙම මුදල එක්සත් ජනපදය විසින් සිය “සහස්‍රයේ අභියෝග සහයොගිතා ගිවිසුමට”(MCC)  අත්සන් තබන්නේ නම් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දු වූ මුදලට වැඩිය. කෙසේ වුවද එම ගිවිසුම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර ඉන් අනතුරුව ISIS නම් ත්‍රස්තවාදි සංවිධානයක් විසින් පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් සහ දෙව්මැදුරු ඉලක්ක කරමින් අභිරහස් හයිබ්‍රිඩ් යුද ප්‍රහාරයක් එල්ල කරන ලදි. එම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණ අතර ජාතින් අතර අසහනය සහ වෛරය උත්සන්න විය. ISIS සංවිධානය විසින් “වගකීම භාරගත්” බවට පැවැසෙන මෙම ප්‍රහාරයේ එක් ඉලක්කයක් වූයේ පැහැදිලිවම බහු ආගමික දේශයක් තුළ ආගමික ගැටුම් ඇති කිරීමය.

චීනය විසින් ආරම්භක ඉදිකිරීම් සිදු කරන ලද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල “සුදු අලියෙකු” ලෙස පිළිබිඹු කරනු ලැබූවද එය සැබැවින්ම පිහිටා ඇත්තේ ලෝකයේ කාර්ය බහුලතම වෙළඳ සහ බලශක්ති නාවික මාර්ග සන්ධිස්ථානයක මෙන්ම මුහුද යට සන්නිවේදන දත්ත කේබල් මධ්‍යස්ථානයකට නුදුරුවය. එය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ ශෞර්යා එයරෝනොටික්ස් සමාගමේ ව්‍යපෘතිය විසින් අත්‍යවශ්‍යව පවත්නා විදේශ ආයෝජනයන් මෙන්ම චීන, ඉන්දියානු සහ රුසියානු යන ආසියාවේ දැවැන්තයන්ගේ ඒකාබද්ධ සහයෝගිතාවයද එමගින් ශ්‍රී ලංකාවට හිමිවන්නට නියමිතව තිබිණි. නමුත් දැන් එය එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් වළ දමා තිබේ.

2024 ඔක්තෝබර් මස 23 වැනි දින කසාන්හිදී පැවැත්වුණ  BRICS  සමුළුවට සහභාගිවූ රාජ්‍ය නායකයන් (Xinhuanet)

පැහැදිලිවම ප්‍රධාන බලවතුන්ගේ එදිරිවාදුකම්වලට මැදිව ඇති ශ්‍රී ලංකාව විසින්, පසුගිය ඔක්තෝබරයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ෂී, සහ ඉන්දීය අගමැති මෝදි ඇතුළු ගෝලීය දකුණේ රටවල නායකයන්ගේ සහභාගිත්වයෙන් කසාන්හිදී පැවැති BRICS සමුළුවේදී එම ආර්ථික හවුලේ සහ එම හවුල විසින් පිහිටුවන ලද නව සංවර්ධන බැංකුවේ (New Development Bank) හි සාමාජිකත්වය සඳහා විධිමත් ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි. කොළඹ නව ආණ්ඩුවේ අපේක්ෂාව වනු ඇත්තේ කලාපීය ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභයන් හිමිකරගැනීම සහ “ආසියානු 21 වැනි සියවස” තුළ ගෝලීය දකුණේ සහයෝගය ලබා ගැනීමය.

නමුත් කෙසේ වුවද නිර්-ඩොලර්කරණය සහ ජාත්‍යන්තර වෙළඳාම තුළ ජාතික මුදල් භාවිතය උණුසුම් තේමාවක්ව පැවැති කසාන් සමුළුවට ශ්‍රී ලංකාවේ කිසිදු ජ්‍යෙෂ්ඨ ඇමැති වරයෙකු සහභාගි වූයේ නැත. එහෙයින් වොෂින්ටනයේ අයුක්ති සහගත බලපෑම්වලින් මිදීමේ අවස්ථාවක් අහිමි කර ගැනීම සිදුවූයේද යන ප්‍රශ්නය මතුව තිබේ. නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම පිළිගෙන ඇති නමුත් තාමත් එය සක්‍රිය කෙරී නැත.

නව කලාපීය සීතල යුද්ධයක් ඇරඹී තිබේද?

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්

ඉන්දියානු සාගර කලාපය තුළ නව කලාපීය සීතල යුද්ධයක් උත්සන්න වෙමින් පවතී. නමුත් එය චීනයට එරෙහිව දියත්ව ඇති එකක් පමණක් නොවේ. රුසියාවට සහ චීනයට එරෙහි ස්වකීය ආක්‍රමණික ප්‍රතිපත්ති මගින් එම රටවල් දෙක අතර සබඳතාවන් වඩාත් සමීප කිරීමේ දුර්විපාකයන්ට මුහුණ දෙමින් සිටින අතරම වොෂින්ටනය විසින් ඉන්දියාව ඉන්දියාවේ “සම්ප්‍රදායික සතුරා” වන චීනය සහ BRICS ආර්ථික හවුල වෙත තවදුරටත් තල්ලු කිරීමේ ප්‍රතිපත්තියක් දියත් කරමින් තිබේ.

පසුගිය වසර දෙක තිස්සේ රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් පනවන ලද සම්බාධක ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එපමණක් නොව රුසියානු ගෑස් සහ තෙල් මිලදී ගැනීම්වලදීත් දෙරට අතර සෙසු වෙළඳ කටයුතුවලදීත් ඉන්දීය රුපියල් සහ රුසියානු රූබල් යොදාගැනීමට රුසියාව සමග එකඟවී ඇත. යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ යුරෝපයේ තීරණය මගින් දැවැන්ත ප්‍රතිලාභයක් ලබමින් ඉන්දියාව විසින් රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීම් කිහිප ගුණයකින් වැඩි කර තිබේ. කෙසේ වුවද දැන් යුරෝපයට සිදුව ඇත්තේ සෘජුවම රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීම වෙනුවට ඉන්දියාව හරහා ඒවා මිලදී ගැනීමටය. ඉන්දියානු බලශක්ති සමාගම් මේ මගින් විශාල ලාභයක් උපයන අතර 2024 අවසානයේදී ඉන්දියාව සහ රුසියාව අතර තවත් වසර 10ක් සඳහා පවත්නා මිලටම තෙල් සහ ගෑස් වෙළඳාම සම්බන්ධ ගිවිසුමක් ඇති කර ගන්නා ලදි. රුසියාව සමග ඉන්දියාවේ පවත්නා සම්බන්ධතාවන් 1945-91 අතර බටහිර සහ සෝවියට් සංගමය අතර පැවැති සීතල යුද සමය සිටම හොඳින් මුල් බැස ගත් එකකි.

රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බංග්ලාදේශයේ ශික් හසිනාගේ රජය පෙරළා දැමීමට එක්සත් ජනපදය සහ බටහිර රටවල් විසින් දියත් කරන ලද “වර්ණ විප්ලවය” විසින් ඉන්දියාව වඩාත් සිය අසල්වැසි ප්‍රබල රටවල් දෙකක නායකත්වය යටතේ පවතින BRICS ආර්ථික හවුල වෙත තවදුරටත් යොමුවීමට හේතු වී ඇත්ද? රුසියාවට එරෙහිව බටහිර විසින් පනවන ලද ආර්ථික සම්බාධක ඉන්දියාවට ආර්ථිකමය වශයෙන් විශාල වාසි සහගත තත්ත්වයක් උදා කර තිබේ. කැනේඩියානු සික් ජාතිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් සීක් ඩයස්පෝරාවේ අනන්‍යතාවාදි දේශපාලන කණ්ඩායම් මෙහෙයවමින් ඉන්දියාවට එරෙහි විශාල ප්‍රචාරයක් දියත්කිරීමට වොෂින්ටනය කටයුතු කළේය.

ආසියාවේ ආසන්නතම “වර්ණ විප්ලව” මෙහෙයුම දියත් වූයේ බංග්ලාදේශයට එරෙහිව වන අතර එය ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියාවේ දැඩි සැලකිල්ලට ලක් වූ සිදු වීමක් විය. සමාජ මාධ්‍ය ජාලා සහ බටහිර රාජ්‍ය නොවන සංවිධානවල ග්‍රහණයට හසු වූ ධකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ මහාචාර්යවරුන් සහ ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද එම වර්ණ විප්ලවය මගින් ෂික් හසිනාගේ රජය පෙරළා දැමීම සිදු වූයේ අසල්වැසි ඉන්දියාවේ දොරකඩය. එම “විප්ලවයෙන්” අනතුරුව කලාපයේ හින්දු, මුස්ලිම් සහ බෞද්ධ ආගමික ආතතීන් අවියක් බවට පත් කිරීමේ සැලසුම්ද දියත් විය.

2025 ජනවාරියේදී ඉවත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තුළ ඉන්දියාව කෙරෙහි වන ඉවසීම දැනටමත් ඉක්මවා ගොස් ඇති බවක් පෙනී යයි. නව දිල්ලිය වඩවඩාත් BRICS ආර්ථික හවුල වෙත යොමුවන තත්ත්වය තුළ, පසුගියදා පැවැති G-20 රටවල සමුළුවෙන් පසු සිදුවීම් දිස්වන්නේ බටහිර සහ ඉන්දියාවේ සමුගැනීමේ ගීතයේ පෙරවාදනයක් ලෙසය. නැතහොත් එය ජෝ බයිඩන් ලෝකයෙන් සහ දකුණු ආසියාවෙන් සමුගන්නා ආකාරය විය හැකිය. ඔහු විසින් සිය පාලනයේ අවසන් දවස් කීපය තුළ ගනිමින් සිටින තීරණ තුළ වැඩි වැඩියෙන් දැකිය හැක්කේ “මං ගියාට පස්සේ තොපි මකබෑ වුනත් මට මොකද” (‘Apres moi le deluge!’) වැනි ආකල්පයකි.

දකුණු ආසියාව තුළ මතුවෙමින් පවතින නව සීතල යුද්ධයේ සංදර්භය තුළ ණය නවයටත්විජිතවාදය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවයටත් විජිතවාදි ණය සහ ඇපදීමේ ජාවාරමට හසුවී සිටින ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය වෙතින් එල්ලවන පීඩනය ඉන්දියාව මෙන් දරාගත හැකි වනු ඇත්ද? නැතහොත් එය ඉන්දියානු සහ රුසියානු ආයෝජනවලට පිටුපානු ඇත්ද?

පැවැති සීතල යුද සමයේදී මෙන් නවදිල්ලිය හෝ වොෂින්ටනය යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස නැවතත් කොළඹ වෙත බලකෙරෙනු ඇත්ද? පැවැති සීතල යුද සමයේදී ඇමෙරිකන් ගැති ජේ. ආර් ජයවර්ධන ආණ්ඩුව යටතේ සිය පිළිකන්නේ එනම් උපාය මාර්ගික වශයෙන් වැදගත් ත්‍රිකුණාමල වරායේ ඇමෙරිකන් හමුදා කඳවුරක් පිහිටුවීම වැළැක්වීම සඳහා ඉන්දියාව දෙමළ විමුක්ති කොටි සංවිධානයට ආයුධ සහ සන්නද්ධ පුහුණුව ලබා දෙන ලදි. මේ මගින් තහවුරු වන්නේ ශ්‍රී ලංකාවේ ඊනියා අභ්‍යන්තර “ජනවාර්ගික ගැටුම” පැහැදිලිවම සෝවියට් සංගමය සහ එහි මිතුරු රාජ්‍යයක් වූ ඉන්දියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් දියත් කරන ලදුව වසර 30ක් තිස්සේ ඇදී ගිය “ප්‍රොක්සි” යුද්ධයක් වූ බවය.

ඉන්දීය සාගර කේන්ද්‍රයේ පිහිටි භූ උපායික වශයෙන් වැදගත් ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපලවල් මෙන්ම මුහුදු යට සන්නිවේදන දත්ත කේබල් සන්ධිස්ථානයක් ද පිහිටා ඇති ශ්‍රි ලංකා මුහුදු කලාපය අත්පත් කරගැනීම ගොඩබිම, සාගරය අහස, අභ්‍යවකාශය සහ සයිබර් අවකාශය යන සියලු අවකාශයන් මත සිය සර්ව අවකාශ ආධිපත්‍යය (Full Spectrum Dominance -FSD)අත්පත් කරගැනීමේ සැලසුමක් දියත් කර ඇති වොෂින්ටනයේ නියොකොන් යුදවාදින්ගේත් නේටෝ යුද යන්ත්‍රයේත් අවශ්‍යතාව වී තිබේ.

නේපාලයේ දී “සහස්‍ර අභියෝග සහයෝගිතා”(MCC)  ගිවිසුම යටතේද ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලහත්කාරි පුද්ගලීකරණ න්‍යාය පත්‍රය යටතේද ආදි වශයෙන් දකුණු ආසියානු කලාපයේ බලශක්ති සහ විදුලි, ප්‍රවාහන සහ සන්නිවේදන යටිතල ව්‍යුහයන් අත්පත් කර ගැනීමේ මෙහෙයුම්වල අරමුණ නව සීතල යුද්ධයක් දිගහැරෙමින් පවතින තත්ත්වය තුළ දත්ත රැස්කිරීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමත්, බලශක්ති සහ වෙළඳමාර්ග පාලනය කිරීමත්ය.

සීතල යුද්ධයේ පුනරාගමනය: ආණ්ඩු පෙරලීම් සහ ණය නව යටත්විජිතවාදය

2022 දී එවකට පකිස්ථාන් අගමැතිව සිටි ඉම්රාන් ඛාන් එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ විසින් සිය රජය පෙරලා දැමීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවට චෝදනා කළේය. එයට සමාන්තරව ආණ්ඩු පෙරළා දැමීමේ මෙහෙයුමක් ලංකාවේද දියත් වූයේ එක්සත් ජනපද යේ “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික පරිත්‍යාගය” (NED) නම් අරමුදල,රාජ්‍ය දෙපාර්තුමේන්තුව,USAID වැනි ආයතන විසින් සපයන අරමුදල්වලින්ද ඒවා විසින් ගොඩ නගනලද සමාජ මාධ්‍ය ජාලා කණ්ඩායම්ද විසින් හසුරුවන ලද “අරගලය” නම් විරෝධතා ව්‍යාපාරය යටතේය. මෙය සිදු වූයේ ලෝකය පුරා “වෛර්ණ විප්ලව” මෙහෙයවමින් ආණ්ඩු පෙරළා දමමින් සිය න්‍යාය පත්‍රය අනුව හැසිරවිය හැකි ඇමෙරිකන් ගැති ආණ්ඩු පිහිටුවීම පිළිබඳ කුප්‍රකට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් දින කීපයකට පසුවය.

2022 දී ශ්‍රී ලංකාවේ සිදු වූ “අරාබි වසන්තය” නැතහොත් “වර්ණ විප්ලවය” ආකාරයේ ආණ්ඩු පෙරළීමේ මෙහෙයුම දූෂිත සහ පීඩාකාරි පාලනයට එරෙහිව වීදි බට ජනතාවන්ගේ විරෝධතා තුළ සඟවමින් දියත් කරන ලදි.

2022 “අරගල” නායකත්වයේ ඓතිහාසික හොර ගල් ඇහිලීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බ්ලැක්රොක් වැනි ගෝලීයකරණවාදි බලවේගයන් දියත් කළ ඊනියා කොවිඩ්-19 වසංගත ප්‍රෝඩාව යටතේ ලොක්ඩුවන් ක්‍රියාත්මක කිරීමට පැවැති රජයට බල කරමින් රටේ ආර්ථිකය විනාශ කිරීමට දායක වූ මෙම වෘත්තිය සමිති නායකයන් එකී ආර්ථික විනාශයෙන් බැට කෑ ජනතා විරෝධය ගසාකමින් ඇමැතිවරුන් බවට පත්වූ පසුව කලින් පැවැති දූෂිත ආණ්ඩුවලටද වඩා හොඳින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රීයාත්මක කිරීම විශ්මයක් නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතනවල බලහත්කාරය යටතේ ලෝකය පුරාම දෙවසරක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද කොවිඩ්-19 ලොක්ඩවුන් හේතුවෙන් ශ්‍රී ලංකාවේද ආර්ථිකය කඩාවැටී තිබූ අතර ජනතාව තුළ දැඩි ආණ්ඩු විරෝධයක් පැවැතිණි. මෙම විරෝධතා ව්‍යාපාරයේ ආරම්භක කැඳවීම කරන ලද්දේ සමාජ මාධ්‍ය ජාලා කණ්ඩායම් කීපයක් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කීපයක් විසිනි. ක්‍රමයෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සමාජය, කලාකරුවන් එය වටා එක්වෙමින් පවතින විට “ගෝඨා ගෝ හෝම්” යන සටන් පාඨය යටතේ ස්ථාවර විරෝධතා කඳවුරක් ගෝල්ෆේස්හිදී ස්ථාපිත කරන ලදි.

විශ්මයකට මෙන් ආර්ථික අර්බුදය හේතුවෙන් විදී බට ජනතාවට නායකත්වය දීමට ඉදිරිපත්ව සිටි බොහෝ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති නායකයන් රටේ ආර්ථිකය විනාශ කිරීමට දායක වූ කොවිඩ්-19 ලොක් ඩවුන් නැතහොත් ඇඳිරි නීතිය රටපුරා ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරන ලද්දවුන්ම වීමය. “ආණ්ඩුව රට වසන්නේ නැත්නම් අපි ස්වයං ඇඳිරි නීතියක් පනවමින් රට වහනවා” යැයි ඔවුන්ගේ සටන්පාඨය විය. පූර්ණ ලොක්ඩවුන් කිරීමකට යාම මගින් රටේ සිදුවන ආර්ථික විනාශය තම ආණ්ඩුවේද අවසානය වනු ඇති බවට වටහාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ නිරෝධායන ඇඳිරි නීති හෙවත් ලොක් ඩවුන් පැනැවීමට පසුබට විය. අවසානයේදී මෙම වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂවලත් ආණ්ඩුවේම කොටසකගේත් බලකිරීම සහ එක්සත් ජනපදයේත් බලපෑම අනුව රට වසා දමන ලදි.

එවැනි ක්‍රියාකාරකම් මගින් එක්සත් ජනපදයේත්, බ්ලැක්රොක් වැනි කොල්ලකාරි  මූල්‍ය සමාගම්වලත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේත්  අවශ්‍යතාව ඉටුකරමින් රටේ ආර්ථිකය බිඳ දැමීම සඳහා තමන්ගේම මුග්ධ දායකත්වය නොසලකා හරිමින් මෙම වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂ නායකයෝ තමන් විසින්ද දේශපාලනිකව වගකිව යුතු ආර්ථික අර්බුදයෙන් බැට කෑ ජනතාවගේ ආණ්ඩු විරෝධී පෙළපාලිවල ගමන් කිරීම හාස්‍යජනක දර්ශනයක් විය. කෙසේ වුවද මෙම වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම සිවිල් සමාජ සංවිධානද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ කොල්ලකාරි ස්වෛරී බැඳුම්කර ණය හිමියන්ට එරෙහි කිසිදු සටන්පාඨයක් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු නොකළා පමණක් නොව එවැන්නක් කම්කරු පන්ති කොටස්වවලින් යම්තමින් හෝ මතු වූ අවස්ථාවල ඒවා සංවිධානාත්මකවම යටපත් කර දැමීමටද කටයුතු කළහ. එවැනි දේශපාලන පක්ෂ බලයට පත් වූ පසුව ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොල්ලකාරි පිළිවෙත්වලට පැවැති ආණ්ඩුවටද වඩා හොඳින් අනුගතවීම විශ්මයක් නොවිය යුත්තේ එනිසාය.

මෙම “අරගල ව්‍යාපාරය” මගින් රටේ අවධානය වෙනතකට යොමු කරමින් පවතින අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වාරික ගෙවාගත නොහැකිව රට “බංකොළොත් බව” ප්‍රකාශ කිරීමේ නාටකය වේදිකා ගත කෙරිණි. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අටවන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ උගුල වෙත රට තල්ලුකරන ලදි. එක්සත් ජනපදයේ පිටු බලය ලද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අටවන ලද්දේ බංකොළොත් බව ප්‍රකාශ කිරීමේ නාටකය වේදිකා ගත කරමින් යුරෝ බැඳුම්කර ණය උගුල වඩාත් ගැඹුරු කරවනු පිණිසය.

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පකිස්තානයේ සිය ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි ප්‍රසිද්ධියේ චෝදනා කළ ඉම්රාන් ඛාන්ට එම කුමන්ත්‍රණකාරි ආණ්ඩු පෙරළියෙන් වසර දෙකකට පසුව අද ඉස්ලාමාබාද්හි සිරගතව සිටීමට සිදුව ඇත්තේ ඔහුට පක්ෂව පැන නැගුණු දැවැන්ත මහජන පෙළපාළි පැවැතියදීමය. එහෙත් 2022 “අරගලය” හරහා විස්ථාපනය වූ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂගේ ඉරණම ඔහු වෙත තරමක් කාරුණික වී තිබේ.

එක්සත් ජනපදයේ හිටපු පුරවැසියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ සිරගත කෙරී නැති නමුත් ඔහුට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කෙරී ඇත. 2022 මුල්කාර්තුවේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට පැමිණීමෙන් පසුව බාහිර සිට මෙහෙයවන ලද සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් විය. වික්ටෝරියා නූලන්ඩ් වූකලි 2014 යුක්රේනයේ මයිදාන් චතුරස්‍රයේ “වර්ණ විප්ලවය” මෙහෙයවීම පිළිබඳව කුප්‍රකට තැනැත්තියයි. යුක්රේනයේ සොල්දාදුවන් ලක්ෂ 10කට අධික සංඛ්‍යාවකගේ ජීවිත විනාශවන පරිදි රුසියාවත් සමග යුද්ධයකට එම රට තල්ලු කරනු ලැබුවේ එක්සත් ජනපදයේ පිටු බලය ලද මේ මයිදාන් කුමන්ත්‍රණය මගිනි.

දකුණු ආසියාවේ එකම ඉහළ මධ්‍යම ආදායම් සහිත රට ලෙස ලෝක බැංකුව විසින් 2019 දී ශ්‍රේණිගත කරන ලද ශ්‍රී ලංකාව ඉන් වසර දෙකකට පසුව 2022 දී ස්වකීය ජාත්‍යන්තර ස්වෛරී ණය ගෙවීමේ හැකියාවක් නැති හෙයින් බංකොළොත් බව ප්‍රකාශ කිරීමට බල කෙරෙන තත්ත්වයක් නිර්මාණය කරන ලදි. මෙය සිදුවූයේ විදේශීය ගුප්ත බැංකුවක් වන හැමිල්ටන් රිසර්ව් බැංකුව එය වෙත ගෙවීමට තිබූ ඉතා සුළු පොලී ප්‍රමාණයක් ගෙවීම අතපසු වීමේ හේතුවෙන් එම බැංකුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජනපදයේ නිව්යෝර්ක් අධිකරණයේ නඩු පැවැරීමත් සමගය.
හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩු පැවැරීමත් සමගම ෆිච් (Fitch) වැනි ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් ශ්‍රී ලංකාව සිය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමීම සිදු කළ අතර අසාධාරණ ලෙස වරප්‍රසාදිත එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහල වැටීම සිදු විය.

වෙන්ව යාමේ මාවත: ඩයස්පෝරා අනන්‍යතා දේශපාලනය අවියක් බවට පත් කිරීම

2022 දී තමන් විසින් ශ්‍රී ලංකාව සහ පකිස්ථානය තුළ දියත් කරන ලද ආණ්ඩු පෙරලීමේ මෙහෙයුම් සාර්ථකව අවසන් කිරීමට එක්සත් ජනපදය සමත් වූ අතර 2023 දී දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාවේ නාසය යටින් “වර්ණ විප්ලවයක්” දියත් කරමින් බංග්ලාදේශයේ ෂික් හසිනා රජය පෙරළා දැමීමට එක්සත් ජනපදය සමත් විය. බලයෙන් පහ වූ බංග්ලා දේශයේ අගමැතිනිය නව දිල්ලියේ දේශපාලන රැකවරණ ලබා ගැනීමට සමත් වූයේ ඉන්දීය රජය සමග පැවැති ‌ ඓතිහාසික බැඳීම් හේතුවෙනි. කෙසේ වුවද බංග්ලාදේශය තුළ නැවත වතාවක් ආගම යුද අවියක් බවට පත් කර තිබේ.

දකුණු සහ නැගෙනහිර ආසියාව තුළ විශේෂයෙන් බුද්ධාගම සහ ඉස්ලාමය ද ඇතුළුව ආගම් යුද අවියක් බවට පත්කිරීම සීතල යුද්ධයේදී බටහිර අධිරාජ්‍යවාදය විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක් විය. එහි ඉලක්කය වූයේ කලාපය අස්ථාවර කිරීමත්, ආසියාවේ අදේවවාදි කොමියුනිස්ට් ව්‍යාපාරය, ජාතික විමුක්ති අරගල සහ නිදහස් ව්‍යාපාර විසින් ගෙන ගිය යටත් විජිත විරෝධී අරගල නොමග යැවීම සහ ඒවාට එරෙහි ප්‍රතිගාමි බලවේගයන් ශක්තිමත් කිරීමත්ය. මෙම කරුණ සම්බන්ධව යේල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥ ඉයුජින් ෆෝර්ඩ් විසින් රචිත “සීතල යුද්ධයේ ශ්‍රමණයො: බුද්ධාගම සහ එක්සත් ජනපදයේ රහසිගත ආසියානු උපායමාර්ගය” (Cold War Monks: Buddhism and America’s Secret Strategy in Asia) නම් කෘතිය මගින් පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරී ඇත.

මෙම අවස්ථාවේදී ඉන්දියාවේ අදානි ව්‍යාපාරය සහ විවිධ BRICS හවුල් ව්‍යාපාර වොෂින්ටනයේ ප්‍රහාරයට ලක්වෙමින් පැවතීම මගින් සළකුණු කෙරෙන්නේ ඉන්දියාව සහ එක්සත් ජනපදයේ එක්ව ගමන් කිරීම අවසන්ව ඇති බවද? කැනඩාව සහ ඉන්දියාව විසින් එකිනෙකාගේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පිටුවහල් කරගැනීම ඇතැම් විට ආසියානු කලාපය තුළ දැවැන්ත බලපෑමක් ඇති කෙරෙන සිදුවීමක් වූ බංග්ලාදේශයේ ආණ්ඩු පෙරළීමේ බටහිර කුමන්ත්‍රණය වෙතින් අවධානය වෙනතකට යොමු කිරීමේ වෑයමක් විය හැකිය. බෞද්ධ, හින්දු සහ ක්‍රිස්තියානි සුළුතර ආගමික ප්‍රජාවන් වෙත දැන් තර්ජනයක් එල්ලවී ඇත්තේ CIA සහ මොසාඩ් හවුල්කාරිත්වයෙන් ගොඩ නගා මෙහෙයවන සහ සවුදි අරාබිය විසින් අරමුදල් සැපයෙන, ලොව පුරා රටවල් සහ කලාපයන් අස්ථාවර කිරීම සඳහා යොදවා ඇති ISIS, ISIL, අල්කයිඩා, මුස්ලිම් සහෝදරත්වය, සිරියාව සහ ඇෆ්ඝනිස්ථානය තුළ තුළ HTS හෝ ISIS-K යන නව වෙළඳ ලකුණු යටතේ හඳුන්වා දී ඇති පරණ සංවිධාන වෙතිනි.

පාරජාතික සංවිධාන ජාලාවන් සහ ආගමික අනන්‍යතාවාදි දේශපාලනය ආයුධයක් ලෙස යොදාගනිමින් සිදුකළ ආසන්නතම ආණ්ඩු පෙරළීමේ මෙහෙයුම මගින් ඉන්දියාවේ සමීපතම මිතුරු රාජ්‍යයක් වූ බංග්ලා දේශයේ අගමැතිනි ෂික් හසිනාගේ රජය පෙරළා දැමීම මගින් සනිටුහන් වන්නේ බ්‍රිතාන්‍යයේ රිෂි සුනාක්, එක්සත් ජනපදයේ කමලා හැරිස් සහ ඇගේ යුදෙව් සැමියා ආදින්ගේ ප්‍රබල දේශපාලන අනන්‍යතාවන්ද එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සමාගම්වල ඉන්දීය ඩයස්පෝරා ප්‍රධාන විධායක නිලධාරින්ගේ බලපෑමද යොදාගනිමින් ඉන්දියාව ආකර්ෂණය කරගැනීමේ මෘදු උපාය මාර්ගය පසෙකට දමා ඇති බවද?

එක්සත් ජනපදය H-1B වීසා ක්‍රමය යොදාගනිමින් ඉන්දියානු ඩයස්පෝරාවට බලපෑම් කරයි

එක්සත් ජනපදයේ සමාගම් විසින් H-1B වීසා යටතේ විදේශීය වෘත්තිකයන්ගේ සේවය ලබාගන්නා අතර ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් එක්සත් ජනපද සමාගම්වල සේවය කරති. ටෙස්ලා,ස්පේස්X, සහ ස්ටාර්ලින්ක් ප්‍රධාන විධායකනිලධාරි මෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබල ආධාරකරුවෙකුද වන එලොන් මුස්ක් සිය සමාගම් සඳහා මෙවැනි විදේශිය විශේෂඥයන්ගේ සේවය ලබාගැනීම හේතුවෙන් ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා සංක්‍රමණිකයන්ට පවරා ඇතැයි යන චෝදනාව මේ දිනවල මතුව තිබේ. කෙසේ වුවද එලොන් මුස්ක් මෙම H-1B වීසා ප්‍රතිපත්තිය ආරක්ෂා කළ යුතුය යන ස්ථාවරයේ සිටි‌යි. ජනාධිපති ට්‍රම්ප් සිය ජනපතිවරණ ව්‍යාපාරයේදී සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් පෙරට දැමුවද ඔහුද H-1B වීසා ක්‍රමය පවත්වාගෙන යා යුතුය යන අදහස දරයි. මේ හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ “Make America Great Again-MAGA” ව්‍යාපාරය තුළ දැඩි මතභේදයක් හට ගෙන තිබේ.

අනෙක් අතට එක්සත් ජනපදයේ විවිධ සන්නිවේදන තාක්ෂණ සමාගම් විශාල ප්‍රමාණයක ඉන්දියානු ටෙක් විශේෂඥයන් ලක්ෂ ගණනාවක් සේවය කරන බැවින් මෙම වීසා ප්‍රතිපත්තිය අවලංගු කිරීමකට හෝ සීමා කිරීමකට යොමුවුව හොත් එය ඇමෙරිකාව තුළ සිටින ඉන්දීය ඩයස්පෝරාව වෙත විශාල බලපෑමක් වනු ඇත. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස අවධානයෙන් සිටින බව අවධාරණය කර ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපදයේ H-1B වීසා ප්‍රතිපත්තිය රටවල් දෙකටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන වැඩ සටහනක් බව පෙන්වා දෙයි.

කෙසේ වුවද ඉන්දියාව,චීනය රුසියාව ඇතුළු BRICS ආර්ථික හවුල නව මුදල් ඒකකයක් ජාත්‍යන්තර වෙළඳාමට හඳුන්වාදීමට පළකර ඇති සුදානම හේතුවෙන් ඩොලරයේ ආධිපත්‍යය රැකගැනීම සඳහා එක්සත් ජනපදය BRICS ආර්ථික හවුලේ රටවල් එකිනෙකින් හුදෙකලා කිරීමට හයිබ්‍රිඩ් ආර්ථික යුද ප්‍රහාරමාලාවක් දියත් කර ඇති බවට තවත් නිදසුනක් ලෙස H-1B වීසා ප්‍රතිපත්තිය පිළිබඳව අලුතෙන්ම මතුව ඇති මෙම විවාදය දැකිය හැකිය. එක්සත් ජනපදය තුළ ආර්ථික වරප්‍රසාද ලැබීමට නම් BRICS ආර්ථික හවුල වෙතින් ඉවත්විය යුතු බවට එක්සත් ජනපදයේ ඉන්දියානු ඩයස්පෝරාවේ කොටස් මෙහෙයවමින් ඉන්දීය රජයට බලපෑම් කිරීම මෙහි සැඟවුණ ඉලක්කය විය හැකිය. එමෙන්ම එක්සත් ජනපද අභ්‍යන්තර රාජ්‍යයේ සතුරෙකු ලෙස දැනට සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් හීලාකරගැනීම සඳහාත් ඔහු විසින් මෙහෙයවන ජනප්‍රියවාදි ” MAGA” ව්‍යාපාරය භේදභින්න කරමින් දුර්වල කිරීමටත් මෙම අර්බුදය යොදා ගැනෙනු ඇත.

ආසියාවේ 21 වැනි සියවස විනාශ කිරීම සඳහා යුරෝ ඇමෙරිකානු සහ ඔස්ට්‍රෙලියානු ලෝකය තුළ වෙසෙන ඉන්දීය ඩයස්පොරාව ලීවරයක් ලෙස යොදාගනිමින් චීනය සමග ප්‍රොක්සි යුද්ධයක් කරා ඉන්දියාව යොමු කිරීමේ වෑයමක් දැරෙමින් පැවැති බව වඩවඩාත් පැහැදිලි වෙමින් පවතී. නමුත් එම සරුංගලය ගුවන්ගත කිරීමට බටහිර අසමත් විය.

බටහිර ආසියානු QUAD සන්ධානය (Israel, India, UAE සහ US-I2U2) නැතහොත් ඊශ්‍රායෙලය, ඉන්දියාව, එක්සත් අරාබි එමිර් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් සැදුම්ලත් රාජ්‍ය සන්ධානය පිහිටුවා ඇත්තේ ඒබ්‍රහම් ගිවිසුම හරහා ඊශ්‍රායලයේ පලස්තීන ආක්‍රමණය සහ වත්මන් ගාසා ජනසංහාරය සාමාන්‍යකරණය කිරීම සඳහාය. නමුත් එක්සත් අරාබි එමිර් රාජධානියේ සහ එක්සත් ජනපදයේ (UAE සහ US-U2) කොටස මේ වනවිට වියැකී යමින් පවතී.

ඊශ්‍රායෙල්-එක්සත් ජනපද සන්ධානය විසින් ඉන්දීය-ඊශ්‍රායෙල් හවුල ශක්තිමත් කිරීමේ අතරමැදි කාර්යභාරය ඉටුකරමින් යුදෙව්-ක්‍රිස්තියානි-හින්දු මූලධර්මවාදි සන්ධානයක් ගොඩ නගයි. ඒ අතරම එම සන්ධානය ඊශ්‍රායෙල්-ඉන්දියා-එක්සත් ජනපද-එක්සත් අරාබි එමිර් රාජධානිය (I2U2) ලෙස ව්‍යාප්ත කරමින් දකුණු ආසියාව අස්ථාවර කරනු පිණිස ඉස්ලාමිය මූලධර්මවාදි බළල් අණ්ඩක් ශක්තිමත් කරයි. මේ ආකාරයේ කලාපීය ආරක්ෂක සන්ධාන වේගයෙන් බහුගුණනය වීම සීතල යුද සමයේ අග්නිදිග ආසියාතික ආරක්ෂක සංවිධානය වැනි (Southeast Asia Treaty Organization-SEATO) ආරක්ෂක කල්ලි ගැසීම්වලට සමාන වේ. බටහිර ජීවත්වන ඉන්දියානු ඩයස්පෝරාව අළුත්ම ඉලක්කයයි.

කසාන්හිදී පැවැති ආර්ථික හවුලේ සමුළුවට පෙර සහ එය පැවැත්වෙන අතර චීනය සහ ඉන්දියාව අතර ගොඩ නැගුණු සාපේක්ෂ සංහිඳියාව සහ සාමය හේතුවෙන් සහ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් සිදු කරන ලද බංග්ලාදේශයේ ආණ්ඩු පෙරළීම විසින් ඉන්දියා-ඊශ්‍රායෙල්-එක්සත් අරාබි එමිර්- එක්සත් ජනපද හවුල බිඳ දමනු ඇත්ද? නැත හොත් අඩු තරමින් ඉන්දිය-ඊශ්‍රා‌යෙල් සබඳතා බිඳ වැටීමට එය හේතු වනු ඇත්ද?

මෙම ජනවාරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙසින් දිවුරුම් දීමට නියමිත අතර වොෂින්ටනයේ සිට හමන සුළං වෙනස්වීමත් සමගම ඩොනල්ඩ් ලූ තමාගේ මෙම කලාපීය සංචාරයේදී දකුණු ආසියාවෙන් ආදරයෙන් සමුගනු ඇත.

ධරිණි රාජසිංහම් සේනානායක

පරිවර්තනය අජිත් සී හේරත්

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.

මූලාශ්‍ර

  1. Bangladesh PM Sheikh Hasina decries US sanctions on Russia; highlights negative impact on developing world
  2. Sri Lanka downgraded to ‘Restricted Default’
  3. Fitch downgrades Sri Lanka bonds to Default, sovereign rating to RD
  4. Sri Lanka’s Fitch Credit Rating has been downgraded 7 times during the last 7-years (May 2015 – May 2022)