ස්වාභාවික නොවන ස්වාභාවික විපත්: ගංවතුරට හේතුව කෘත්‍රිම වැසි ඇති කිරීම ද? අජිත් සී හේරත්

අජිත් සී හේරත්

මෑත වසර කීපයක සිට ශ්‍රී ලංකාවේ පළාත් ගණනාවක් අධික වර්ෂාපතනය හේතුවෙන් ජලයට යටවීම් පිළිබඳ වාර්තා නිතරම අසන්නට ලැබේ. පසුගිය දිනවල ඇද හැලුන දැඩි වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ගම්පහ සහ ගාල්ල ආදි දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවිය.
මෙවැනි අනපේක්ෂිත ජලගැලීම්වලට තුඩු දෙන හදිසි වර්ෂාපතනයන් දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වීමට හේතුව කුමක්ද? මාධ්‍යයන් විසින් නිතර ප්‍රචාරය කරනු ලබන අධිපතිවාදි ආඛ්‍යානයට අනුව ඒවා සිදුවන්නේ වායුගෝලයේ කාබන් විමෝචනය ඉහළ යාම නිසා ඇතිවන දේශගුණ විපර්යාසයන් හේතුවෙන්ද? නැතහොත් ඒ සඳහා බලපාන වෙනත් හේතුන් තිබේද?

මේ පිළිබඳව ආසන්නතම සිදුවීමක් ඇසුරෙන් විමසා බැලීම වැදගත් වේ.

නානුඔය ප්‍රදේශයෙදී පෙණ මතුවීම

නානුඔය බ්ලැක්පූල්  ප්‍රදේශයේ දක්නට ලැබුණ පෙන

පසුගිය ඔක්තෝබරයේදී  නුවරඑළිය දිස්ත්‍රික්කයේ නානුඔය බ්ලැක්පූල් ප්‍රදේශයෙන් වැසි සහිත කාලගුණයට පසු එකවරම පෙන “මතුවීමට” පටන්ගත් බවට ඔක්තෝබර් 11 වැනි දින බොහෝ වෙබ් අඩවිවල වාර්තා පළ විය. මෙම පුවත කිසිවෙකුගේ අවධානයට ලක් නොවීම යටපත් වූ නමුත් ශ්‍රී ලංකාවේ මෑතකාලයේ සිදුවන ක්ෂණික දේශගුණික විපර්යාසයන් වලට බලපෑ හැකියැයි අනුමාන කළ හැකි වෙනත් හේතුන් පිළිබඳව ඉඟියක්ද එමගින් ලැබේ.

මුලින්ම මාධ්‍යවල පළව තිබූ මෙම මතුවූවා යැයි කියන පෙනවල ඡායාරූප කීපයක් නිරීක්ෂණය කරමු. මෙම පෙන නිරීක්ෂණය කිරීමේ දී දැකිය හැක්කේ මේවා කිසියම් කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයක් ඇසුරෙන් නිර්මාණය වූවක් මිසෙක ස්වාභාවික පෙන වර්ගයක් නොවන බවය. එමෙන්ම ජලය ඇසුරෙන් සැදෙන පෙන වල ස්වභාවය මෙය නොවන අතර මෙතරම් කාලයක් පවතින්නේද නැත.

 

එසේනම් මෙම පෙන පසේ වූ යම් පොහොර වැනි රසායනික ද්‍රව්‍යයක් මත වැසි ඇදවැටීම හේතුවෙන් සිදු වූ ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මතු වී පොළොව මතුපිටට පැමිණි එකක්ද? නමුත් එසේ වීමටද කිසිදු ඉඩක් නැත. හේතුව මේවා තණපඳුරු පැලෑටි සහ වෙනත් තැන්වලද දක්නට තිබීමය. අනෙක් අතට පොළොව තුළ වූ රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් මතුවූවක් නම් එම පෙන මඩ දුඹුරු මිශ්‍ර පාටකින් යුක්ත විය යුතුය. එහෙත් මේවා සුදු පැහැතිය. එහෙයින් අපට එළැඹිය හැකි පළමු නිගමනය වන්නේ මේවා නිර්මාණය වීමට හේතුවූ රසායනිකය අහසේ සිට පොළොවට ඇද වැටී ඇති බවයි. එක්කො එය වැස්සට පෙර, වැස්සත් සමග, හෝ වැස්සෙන් පසුව කෙටි මොහොතක් තුළ ආදි වශයෙන් සිදු වූවා විය යුතුය.

මෙවැනි පෙන කැටිති නිර්මාණය විය හැකි රසායනිකයක් කිසියම් පිරිසක් විසින් ගුවන් මගින් හෝ ‌පොළොව මතුපිට සිට හෝ විසුරුවා හැර ඇත්ද? එම රසායනිකය කුමක්ද? එවැන්නක් අහසේ විසුරුවා හැරීමේ අවශ්‍යතාව කුමක්ද? එවැන්නක් සිදු කළෝ කවරහුද?

පළමුව අපි මෙම රසායනිකය කුමක්දැයි හඳුනාගැනීමට වෑයම් කරමු.

මෙවැනි පෙන කැටිති නිර්මාණය කිරීම සඳහා බහුලව භාවිත කරන රසායනික ද්‍රව්‍ය දෙකක් තිබේ.  පොටෑසියම් අයොඩයිඩ් (Potassium iodide – KI) සහ සිල්වර් අයොඩයිඩ්ය.(Silver iodide- AgI) ඇතැම් අවස්ථාවල සෝඩියම් අයොඩයිඩ් (Sodium iodide-NaI)ද යොදාගැනේ.

පහත යූටියුබ් වීඩියෝවේ දැක්වෙන්නේ විනෝදය සහ අධ්‍යාපන අවශ්‍යතා මත සිදුකරන ලද රසායනික විද්‍යාත්මක පරීක්ෂණයකි.

මෙම පරීක්ෂණය මගින් පෙන කැටිති නිෂ්පාදනය කරන අතර ඒ සඳහා මෙහිදී යොදාගෙන ඇති ප්‍රධාන රසායනික සංයෝගයක් නම් පොටෑසියම් අයොඩයිඩ්ය. මෙම පරීක්ෂණයට සෝඩියම් අයොඩයිඩ්ද යොදාගත හැකි බව යූටියුබ් වීඩියෝව යටින් ඇති විස්තරයේ සඳහන් වේ. මෙම පරීක්ෂණය මගින් නිෂ්පාදනය කර ඇති පෙන කැටිති නානුඔය පෙදෙසින් මතු වූ පෙන කැටිතිවලට දෘෂ්‍යමය වශයෙන් සමානය. කෙසේ වුවද නානුඔය පෙන කැටිතිවල රසායනික අන්තර්ගතය තුළ පොටෑසියම් අයොඩයිඩ්, සිල්වර් අයොඩයිඩ් හෝ සෝඩියම් අයොඩයිඩ් සංයෝගයන් පැවතිණිද යන්න පිළිබඳව අදාළ ප්‍රදේශයන්හි පස් සහ ජල සාම්පල පරීක්ෂා කිරීමෙන් පහසුවෙන් දැනගත හැකිය.

කෘත්‍රිම වැසි නිර්මාණය සඳහා පොටෑසියම් අයොඩයිඩ්, සිල්වර් අයොඩයිඩ් හෝ සෝඩියම් අයොඩයිඩ් යොදා ගනු ලබයි.

කෘත්‍රීම වැසි ඇතිකිරීම සඳහා වැහි වළාකුළු නිර්මාණය හෙවත් “වළාකුළු වැපිරීම”(Cloud seeding) සඳහා භාවිතා කරන තාක්ෂණික ක්‍රම පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියේ මෙසේ සඳහන් වේ.

වළාකුළු වැපිරීම රසායනික ද්‍රව්‍යයන් වායුගෝලයේ විසිරවීම මගින් සිදු කරනු ලබයි. එම රසායනික ද්‍රව්‍යයන් විසින් වළාකුළු ඝනීභවනය(cloud condensation) නැතහොත් අයිස් අංශු නිර්මාණය(Ice nucleation) කිරීම සිදු කෙරේ.මේ සඳහා බහුලව යොදාගනු ලබන රසායනික කාරක නම් පොටෑසියම් අයඩයිඩ්, සිල්වර් අයඩයිඩ් හෝ වියලි අයිස්ය. මේ සමග මේස ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් වැනි ජලාකර්ෂක සහ ජල අවශෝෂක සංයෝගයන්(Hygroscopy) ද යොදා ගැනේ.”

මේ අනුව පැහැදිලි වන්නේ කිසියම් කණ්ඩායමක් හෝ ආයතනයක් විසින් නානුඔය ප්‍රදේශයේදී වායුගෝලයට පොටෑසියම් අයඩයිඩ්, සිල්වර් අයඩයිඩ් හෝ සෝඩියම් අයඩයිඩ් මුදා හැර ඇති බවය. නිසැකවම මෙහි අරමුණ කෘත්‍රීම වැසි ඇති කිරීමය. මෙම ක්‍රියාව සිදු කළ කවුරුන් වුවද,මහපොලොව සහ දිය පහරවල් මත පෙන කැටිති විශාල වශයෙන් ශේෂ වීමට තරම් හේතුවන මට්ටමට මෙම රසායනික සංයෝග අති විශාල වශයෙන් වායුගොලයට මුදාහැර ඇති බව පැහැදිලිය. සාමාන්‍ය ප්‍රමාණයේ කෘත්‍රීම වැස්සක් ඇති කිරීමට මෙතරම් විශාල ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය මුදා හැරීම අවශ්‍ය නොවේ.
එම විකිපීඩියා පිටුවේ මෙසේද සඳහන් වේ.

අඩු සාන්ද්‍රණයකින් මෙම ද්‍රව්‍ය යොදා ගැනීම හේතුවෙන් එයින් පරිසරයට හෝ සෞඛ්‍යයට සිදුවන හානිය අවම ලෙස සැළකේ.”

මෙමගින් පැහැදිලි වන්නේ මෙම අයඩයිඩ් වර්ග කෘත්‍රීම වැසි ඇති කිරීම සඳහා යොදා ගනු ලබන්නේ නම් ඒ ඉතා අවම සාන්ද්‍රණයකින් යුතුව බවයි. එහෙත් යමෙකුට අධික ධාරානිපාත වර්ෂාවක් ඇති කිරීමට අවශ්‍යව තිබිණි නම් ඔවුන් විසින් මෙම රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වායුගෝලයට මුදා හැරීමේ ඉඩකඩ බැහැර කළ නොහැකිය. ඇතැම් විට නානු ඔය පෙන කැටිති නිර්මාණයට හේතුවන්නට ඇත්තේ අදාළ රසායනික ද්‍රව්‍ය ඉහළ සාන්ද්‍රණයකින් යුතුව භාවිතා කිරීම නිසා විය හැකිය.

මෙහිදී අප හමුවේ මතුවන ගැටළු අතර ප්‍රධාන කීපයක් වන්නේ ශ්‍රී ලංකාව තුළ මෙවැනි අධික වර්ෂාපතනයක් මෑතක සිට ලැබීමට හේතුව ඉහත දක්වා ඇති පරිදි  රසායනික සංයෝග හෝ  වෙනත් අධි තාක්ෂණික ක්‍රම භාවිතා කිරීම නිසා නොවිය හැකිද? දේශගුණ විපර්යාස පිළිබඳ ප්‍රෝඩාකාරි ආඛ්‍යානය ප්‍රවර්ධනය කරනු සඳහා මෙම කෘත්‍රිම වැසි ජනනය කෙරෙමින් තිබේද? නැතහොත් වෙනත් සැඟවුණු ආර්ථික සහ දේශපාලන අරමුණු ඒ තුළ පවතීද යනාදියයි.

අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන කාලයකදී කෘත්‍රීම  වැසි ඇති කිරීමේ අරමුණ ජලගැලීම් ඇති කිරීමද?
සංවහන වැසි ඇතිවන ආකාරය. මුහුදේ සිට හමා එන ජලවාෂ්ප සහිත සුළං හිරු එළියෙන් උණුසුම් වූ පොළොවෙන් නැගෙන උණුසුම් වායු ධාරා සමග ඉහළ නගී. අනතුරු ඒවා වායුගෝලයේ ඉහලදී සිසිලනය වී වළාකුළු ගොඩ නගයි. අනතුරුව ජල බිඳු බවට පත්වී වර්ෂාව ඇද හැළේ.

නානුඔය ප්‍රදේශයේ පෙන පිළිබඳව පුවත් පළවී තිබුණේ ඔක්තෝබර් 11 වැනි දාය. ඔක්තෝබර් 12. 13 වනවිට දිවයිනේ බස්නාහිර පලාතේ කැළණි, කළු අත්තනගලු ඔය යන ගංගා රැසක්ම පිටාර ගලා ගංවතුර තත්ත්වයක් ඇති වී තිබිණි. මධ්‍යම කඳුකරයේ නානු ඔය ඇතුළු බටහිර බෑවුමේ වර්ෂාවලින් පෝෂිත පහතරට තෙත් කලාපයේම සමස්තයක් ලෙස මෙම තර්ජනය මතුවී තිබිණි. මෙය නානුඔය ප්‍රදේශය තුළ වළාකුළු වැපිරවීම මගින් කෘත්‍රිම වැසි උත්පාදනය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වන්නට බොහෝදුරට ඉඩ තිබේ.

සැප්තැම්බර් මාසයේදී නිරිත දිග මෝසම් සුළං හැමීම නතරවන අතර එහෙයින් බස්නාහිර සහ නිරිතදිග පලාත්වලට එමගින් තවදුරටත් වැසි ලැබීමක් සිදු නොවේ. ඔක්තෝබරයේ සිට දෙවන අන්තර් මෝසම් කාලය ආරම්භ වන අතර එය නොවැම්බර් මාසය දක්වාද විහිදේ. මෙම කාලය තුළ බස්නාහිර සහ නිරිත දිග ප්‍රදේශයට එනම් පහත රට තෙත් කලාපයට වර්ෂාව ලැබෙනුයේ සංවහන වැසි මගිනි.මෙම කලාපයට සංවහන වැසි මගින් ඔක්තෝබරයේදී බොහෝ විට අධික වැසි ලැබේ.
මේ අතර බෙංගාලි බොක්කේ වායුගෝලීය අවපීඩනයක් ද නිර්මාණය වෙමින් පැවැති අතර වාසුළි මගින් ලැබෙන විශාල වර්ෂාපතනයක අවදානමක්ද ගොඩ නැගෙමින් පැවැතිණි.
මෙහිදී අප හමුවේ මතුවෙන ගැටළුව මෙයයි. සාමාන්‍යයේ පහත රට තෙත් කලාපයට අධික වර්ෂාපතනයක් සංවහන වැසි රටාවන් මගින් මෙන්ම බෙංගාල බොක්කේ ගොඩ නැගෙමින් පැවැති විශේෂිත වායු ගෝලීය අවපාතය හේතුවෙන් ඉහළ වාසුළි වර්ෂාපතනයක්ද අපේක්ෂා කළ යුතු තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ කඳුකර තෙත්කලාපයට අයත් නානුඔය වැනි ජල පෝෂක ප්‍රදේශවලට බලපාන පරිදි කෘත්‍රීම වැසි නිර්මාණය කිරීම සඳහා පොටෑසියම් අයොඩයිඩ්, සිල්වර් අයොඩයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය මුදා හැරීමට කටයුතු කර ඇත්තේ මන්ද යන්නය. මෙමගින් අනිවාර්යයෙන්ම පහතර තෙත් කලාපයේ විවිධ ප්‍රදේශ තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීම සිදුවිය යුතුව තිබිණි. සිදුවූයේද එයයි. මෙහි අරමුණ සැලසුම් සහගතවම ගංවතුර තත්ත්වයක් ඇති කිරීමද යන්න අවධානයට යොමු විය යුතු කරුණකි.

(විශාලනය කර බැලීමට රූපය මත ක්ලික් කරන්න.( සිතියම් මූලාශ්‍රය Disaster Charter  වෙබ් අඩවියෙනි. පහත සිතියම්වල ලා නිල් පැහැයෙන් දක්වා ඇති ප්‍රදේශ ගංවතුර තර්ජනයට ගොදුරු වූ ප්‍රදේශවන අතර ස්ථිර ජලාශ මෙම සිතියම්වලින්  ඉවත් කර ඇත.)

2024 ඔක්තෝබර් 14 වැනි දින අත්තනගලු ඔය පිටාරාගැලීම දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප ඇසුරෙන් සකස් කළ සිතියමක්
2024 ඔක්තෝබර් 14 වැනි දින කැලණි ගඟ පිටාරාගැලීම දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප ඇසුරෙන් සකස් කළ සිතියමක්

 

 

 

 

 

 

පසුගිය දශක කීපය තුළ කටුක සහ ආන්තික කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් වැඩි වැඩියෙන් දැකිය හැකිවීම සම්බන්ධ වගකීම බැර කර ඇත්තේ පොසිල දහනය හේතුවෙන් සිදුවන කාබන් විමෝචනයත් වෙනත් කෘෂිකාර්මික ක්‍රියාවලින්හිදී මුදා හැරෙන ඇමෝනියා සහ මිතේන් වැනි වායු වායු ගෝලයට මුදාහරීමත් හේතුවෙන් සිදුවෙනවා යැයි කියන “දේශගුණික විපර්යාසයන්” වෙතය. කෙසේ වුවද එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ බලගතු ආණ්ඩු විසින් පවත්වාගෙන යන  දේශගුණික සහ කාලගුණික විපර්යාස, භූමි කම්පා සහ සුනාමි උත්පාදනය ආදි වැඩ සටහන් වෙත ඒ පිළිබඳව කිසිදු වගකීමක් පැවැරීමට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ, සංවිධාන, ජනමාධ්‍ය ආදිය කිසිවිටෙක කටයුතු කර නැත.
මේ වනවිට ලෝකය පුරාම වර්ෂාපතනය, සුළං රටාවන් ආදිය විවිධ අරමුණු ඉටුකරගැනීම සඳහා කෘත්‍රීම ලෙස වෙනස් කිරීමේ තාක්ෂණයන් භාවිතා කෙරේ. ඇතැම් අවස්ථාවලදී කෘත්‍රීම ලෙස වර්ෂාපතනය ඇති කිරීම නියඟයෙන් වගාවන් බේරා ගැනීම, වනාන්තරවල ලැව් ගිනි නිවා දැමීම, කාන්තාරකරණය වැලැක්වීම ආදි යහපත් අරමුණු සඳහාද යොදාගනු ලබන අතර භූඋපායික සහ මිලිටරිමය අරමුණු, ඉඩම් කොල්ලය සඳහා ජනතාවන් නෙරපා හැරීම වැනි කටයුතු සඳහාද යොදා ගැනෙන බව රහසක් නොවේ. මෑත වසර කීපය තුළ මෙකී ක්‍රියාකාරිත්වයන් ගෝලීය වශයෙන් උත්සන්න කෙරී තිබේ.

කෘත්‍රීම ලෙස කාලගුණය වෙනස් කිරීම

කෘත්‍රීම කාලගුණික වෙනස්කම් සිදුකිරීම යනු අරමුණු සහගතව දේශගුණය වෙනස් කිරීම සඳහා සිදු කරන ක්‍රියාවකි. කාලගුණික වෙනස්කම් සිදු කිරීමේදී ලෝකය පුරා බහුලව භාවිතා කෙ‌රෙන  ක්‍රමය නම් “වළාකුළු වැපිරීම” හෙවත් ( cloud seeding) නම් ක්‍රමයයි. මෙමගින් හිම හෝ වර්ෂාපතනය ලැබීම අපේක්ෂා කෙරේ. කාලගුණික වෙනස් කම් කිරීමේ පිළිබඳ පර්යේෂණ සිදුකරන ආයතන හෝ රාජ්‍යයන් විසින් ඒවායේ යහපත් අරමුණු පමණක් හුවාදක්වන අතර ඒවා නම්  සුළි සුළං,  කුණාටු වැනි හානිකර දේශගුණික තත්ත්වයන් වැළැක්වීමත්, නියංකාලවලදී වගාවන් ආරක්ෂා කිරීම , ජල විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලබාගැනීම ආදියත්ය. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ විශේෂඥ කමිටුව විසින් 2016 වසරේදී පවත්වන ලද පර්යේෂණයකට අනුව ලෝකයේ රටවල් 56ක් කෘත්‍රිම ලෙස කාලගුණය වෙනස් කිරීමේ පර්යේෂණ සිදුකරමින් සිටියි..

වළාකුළු වැපිරීම  (Cloud seeding )

වළාකුළු වැපිරීම යනු වර්ෂාපතනයේ ප්‍රමාණය හෝ ස්වභාවය වෙනස් කිරීම, අහසේ අයිස් වැසිවල ඝණත්වය අඩුකිරීම, මිහිදුම තුනී කිරීම ආදි අවශ්‍යතාවන් ඉටුකරගැනීම පිණිස කාලගුණික විපර්යාස ඇති කිරීමට යොදාගනු ලබන ක්‍රම වේදයකි. බොහෝ විට මෙම ක්‍රමය භාවිතා කරන්නේ වර්ෂාව හෝ හිමපතනය සිදු කිරීම සඳහා වන අතර ඇතැම් විට ඉදිරි දින කීපයකදී වර්ෂාව ඇති කිරීම වළක්වමින් එම වර්ෂාපතනය කල් තබා සිදුවීමට සැලැස්වීමද මෙහි අරමුණකි. 2008 බෙයිජිං ඔලිම්පික් සමාරම්භක උත්සවය දින වර්ෂාපතනය ඇතිවීම වැලැක්වීම පිණිස මෙම ක්‍රමය යොදාගනිමින් චීන රජය වර්ෂාපතනය උත්සවයට පෙර සිදුවීමට සලස්වන ලදි.

වළාකුළු වැපිරීම ක්‍රමවේද
රසායනික සංයෝග වායුගෝලයේ විසුරුවා හැරීම
ඉහත දැක්වෙන්නේ වළාකුළු වැපිරීම මගින් කෘත්‍රිම වැසි ඇති කරන සමාගමක් විසින් ඒ සඳහා වෙළඳපොළට නිකුත් කර ඇති රසායනික නිෂ්පාදනයන්ය. මෙම කැප්සියුල තුළ සිල්වර් අයඩයිඩ්, පොටෑසියම් අයඩයිඩ්,සෝඩියම් ක්ලෝරයිඩ් වැනි රසායනික සංයෝග අඩංගු වේ. මෙම කැප්සියුල පොලොව මත සිට ක්‍රිාත්මක කරවන වායු විමෝචක යන්ත්‍රවලට ගුවන් යානාවල සවිකර ඇති විශේෂිත උපකරණවලට සවිතර ගුවනේ විසුරුවා හරිනු ලබයි.

වළාකුළු වැපිරීම සිදු කිරීමට බහුල ලෙස යොදාගනු ලබන රසායනික සංයෝගය වන්නේ සිල්වර් අයොඩයිඩ්, පොටෑසියම් අයොඩයිඩ්, වියලි අයිස් (ඝණ කාබන් ඩයොක්සයිඩ්) යන ඒවාය.
වළාකුළු වැපිරීම සඳහා දියර ප්‍රොපේන්ද යොදාගැනේ. දියර ප්‍රොපේන් (Liquid propane) අංශු අවට වායුගෝලයේ ජලවාෂ්පවල ඇති ගුප්ත තාපය අවශෝෂණය කරගනිමින් අයිස් ස්ඵටික නිර්මාණය කරයි. ඉහළ වායුගෝලයේ සාපේක්ෂ ලෙස ඉහළ උෂ්ණත්ව මට්ටමක් පවතින අවස්ථාවල සිල්වර් අයොඩයිඩ් වලට වඩා දියර ප්‍රොපේන් කාර්යක්ෂම යැයි සැලකේ.

වළාකුළු වැපිරීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කැප්සියුල ගුවන්යානාවකට සවි කරන අයුරු (photo-Hemanth Mishra-Mint)

ජලවාෂ්ප අවශෝෂක ගුණාංග සහිත (hygroscopic property) මේසලුණු වැනි සංයෝග වායුගෝලය තුළ විසුරුවාහරිමින් එහි ඇති ජලවාෂ්ප ඇති තාපය උරාගනිමින් ජල බිඳු නිර්මාණය හෝ අයිස් ස්ඵටිකකරණය වීමට සැලැස්වීම ද වළාකුළු වැපිරීම සඳහා යොදා ගනු ලබන ක්‍රමවේදයක් වන අතර එය වියදම් අඩු ක්‍රමයක් වීම හේතුවෙන් මෑත කාලයේ සිට වැඩි වැඩියෙන් භාවිතා වේ.

 

 

වළාකුළු වැපිරීම සිදු කරන ආකාර දෙකක් දක්වා තිබේ. ඒවා නම් ස්ථිතික වළාකුළු වළාකුළු වැපිරීම සහ ගතික වළාකුළු වැපිරීමයි.

ස්ථිතික වළාකුළු වළාකුළු

ස්ථිතික වළාකුළු වැපිරීමේදී සිදුවන්නේ වර්ෂාපතනය වැඩිකිරීම සඳහා ඉතා පහළ උෂ්ණත්වයක පවතින වළාකුළු තුළ අයිස් අංශු නිර්මාණය වීමට සැලැස්වීමයි. වළාකුළු වැපිරීමේදී වළාකුළු තුළ උෂ්ණත්වය -20C° සහ -2 C° අතර පවතින විට හිම වැටීම වැඩිවේ. අයිස් වැනි ස්ඵටිකමය ව්‍යුහයන් සහිත ඇති සිල්වර් අයඩයිඩ් වැනි ද්‍රව්‍ය යෙදීම මගින් අයිස් නිර්මාණය සිදු වේ. මධ්‍යම උන්නතාංශයේ පවත්නා වළාකුළුවල, වළාකුළු උත්පාදනයේ මූලධර්මය පදනම්ව ඇත්තේ සමතුලිත වාෂ්පපීඩනය (equilibrium vapor pressure) අයිස්වලට වඩා ජලයේ අඩුවීම යන සාධකය මතය. අධික ශීතගුණයෙන් යුතු වළාකුළු තුළ අයිස් අංශු නිර්මාණය වන්නේ ද්‍රව තත්ත්වයේ පවතින ජල බිඳිති ඝණීභවනය වීම මගිනි. රසායනික සංයෝග මගින් හෝ වෙනත් ක්‍රමයක් මගින් ජලවාෂ්පවල තාපය ඉවත්කිරීමෙන් ඒවා ජල බිඳිති බවට පත් වේ. ප්‍රමාණවත් විශාලත්වයක් කරා මෙම බිඳිති එක්වෙමින් වර්ධනය වූ පසු ඒවායේ බර වැඩිවීම හේතුවෙන් වර්ෂාව ලෙස ඇදහැලේ. මෙම ක්‍රියාදාමය හරහා මිසෙක වෙනත් ආකාරයකින් මෙම මධ්‍යම උන්නතාංශයේ ඇති වළාකුළු මගින් වැස්ස ඇති නොවේ. මෙම ක්‍රියාදාමය “ස්ථිතික වළාකුළු වැපිරීම” ලෙස හැඳින්වේ.

ගතික වළාකුළු වැපිරීම

ග්‍රීෂ්ම සෘතුවේදී, වියලිකාලයේදී හෝ ඝර්ම කලාපයේදී සංවහන වළාකුළු වැපිරීම කරන විට සිසිලනය වීමේදී මුදාහරිනු ලබන ගුප්ත තාපය උපයෝගී කර ගැනේ. එහිදී අතිරේක ගුප්ත තාපය විසින් සංවහන ධාරාවන්ගේ උත්ප්ලාවකතාව වැඩි කරමින් ඉහලට ගෙන යමින් ජල වාෂ්ප උඩු ධාරාව ශක්තිමත් කරයි. යොදනු ලබන සිල්වර් අයඩයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය විසින් ඒවා ඉහලදී සිසිලනය වී විධිමත් ලෙස තෝරාගත් වලාකුළුවල වේගවත් වර්ධනයක් ඇති කරයි. මෙම උපක්‍රමය “ගතික වළාකුළු වැපිරීම” ලෙස හැඳින්වේ.

ඉහත රසායනික වායුගෝලයේ නැතිනම් අහසේ විසුරුවාහැරීමට යොදාගනු ලබන ක්‍රමවේදයන් වන්නේ ගුවන්යානා හෝ භූමියේ සිට අහසට විදිනු ලබන ජනක යන්ත්‍ර මගිනි.(figure from wikipedia
එක්සත් ජනපදයේ සැන්ටා බාර්බරා වළාකුළු වළාකුළු වැපිරී් මධ්‍යස්ථානය. මෙහිදී පොළොව මත ස්ථානගත කරඇති ප්‍රක්ෂේපණ යන්ත්‍ර මගින් රසායනික සංයෝග වායු ගෝලයේ විසුරුවා හරිනු ලබයි.

 

වළාකුළු වැපිරීම සඳහා යොදාගනු ලබන රසායනික සංයෝග ගුවන් මගින් ඉසීම සඳහා ගුවන් යානාවල විශේෂිත උපකරණවලට සවිකර ඇති ආකාරය

ඉහත රසායනික වායුගෝලයේ නැතිනම් අහසේ විසුරුවාහැරීමට යොදාගනු ලබන ක්‍රමවේදයන් වන්නේ ගුවන්යානා හෝ භූමියේ සිට අහසට විදිනු ලබන ජනක යන්ත්‍ර මගිනි. එමෙන්ම මෑතකාලයේ සිට ඩ්‍රෝන යානාවලින් විද්‍යුත් ආරෝපණ මුදාහැරීම හෝ විද්‍යුත් ස්පන්ද හෝ අධෝරක්ත ලේසර් කිරණ නිකුත්කිරීම මගින්ද වළාකුළු වළාකුළු වැපිරීම සිදුකෙරේ.

 

2019 දී ශ්‍රී ලංකාවේ කෘත්‍රිම වැසි ඇති කිරීම

ශ්‍රී ලංකාවේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා බලශක්ති සහ පුනර්ජනන බලශක්ති ඇමැති රවී කරුණානායක සහ ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විදුලි බලමණ්ඩලය යන ආයතන විසින් අදාළ ගිවිසුම අත්සන් කළ අවස්ථාව

2019 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ බලශක්ති සහ ව්‍යාපාරික සංවර්ධන අමාත්‍යාංශය විසින් වළාකුළු උත්පාදන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමක් අත්සන් තබන ලදි. මෙහි ප්‍රකාශිත අරමුණ වූයේ නියඟය නිසා ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් විදුලි නිෂ්පාදනය සඳහා මතුව ඇති ගැටළුවලට විසඳුම් සෙවීමය. 2019 පෙබරවාරි මාසයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, කාලගුණ දෙපාර්තුමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව යන ආයතනවල නිලධාරින් කණ්ඩායමක් තායිලන්තයේ දී එහි වර්ෂා ඇතිකිරීමේ සහ කෘෂිකාර්මික ගුවන් කටයුතු පිළිබඳ රාජකීය දෙපාර්තුමේන්තුව සමග කෘත්‍රිම වැසි ඇති කිරීම පිළිබඳ අධ්‍යයනයක් සිදු කර තිබේ.

“සැලසුම වන්නේ වළාකුළු ආවරණය හොඳින් පවතින විට මෝසම් කාලය අතර වැඩි පුර වැස්ස ලබාගැනීමයි. මෑත කාලයේදී මෝසම් කාලයේදී වැස්ස ලැබීම දිගින් දිගටම අඩු විය. චීනය, තායිලන්තය සහ ඔස්ට්‍රෙලියාව වැනි රටවල් මේ තාක්ෂණය මගින් වර්ෂාව ලබාගැනීම සිදුකරති. තායිලන්තයේ කෘත්‍රිම වර්ෂාව ඇති කිරීම සහ කෘෂිකාර්මික ගුවන් කටයුතු පිළිබඳ රාජකීය දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ විශේෂඥයන් පිරිසක් ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔවුන්ගේ නිරීක්ෂණ, සොයාගැනීම් සහ නිර්දේශ අනුව ශ්‍රී ලංකාව තුළ කෘත්‍රීම වැසි ඇති කිරීමේ හැකියාව පවතී” යැයි සුලක්ෂණ ජයවර්ධන මෙම ව්‍යාපෘතිය විස්තර කරමින් පැවසීය.

මෙම ක්‍රියාදාමයට සහභාගි වූ තායි විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ නිශ්චිත කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් ශ්‍රී ලංකාව තුළ කෘත්‍රිම වැසි නිර්මාණය කිරීමේ හැකියාව පවතින බවය. එමෙන්ම මෙයට සහභාගි වූ තායි විශේෂඥයන් විසින් වායුගෝලීය තත්ත්වයන් පිළිබඳ තවදුරටත් දත්ත රැස් කරමින් සිටින බවද සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත්  ප්‍රකාශ කර තිබේ. කෘත්‍රිම වර්ෂාව ඇති කිරීම සඳහා වළාකුළු උත්පාදන ක්‍රියාමයේදී ආර්ද්‍රතා අනු පාතය 60%කට වැඩි විය යුතු අතර වළාකුළු අඩි 3000කට ඉහළින් පැවැතිය යුතුය. එමෙන්ම සුළගේ වේගය නොච් 20ට අඩු විය යුතුය.

තායි විශේෂඥයන් උපුටා දක්වන සුලක්ෂණ ජයවර්ධනට අනුව ශ්‍රී ලංකාවේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඒ සඳහා කොන්දේසි කීපයක් සම්පූර්ණ විය යුතුය. ඉන් පළමුවැන්න සුළඟේ වේගය, වළාකුළුවල ආර්ද්‍රතාව සහ ඒවායේ උන්නතාංශය පිළිබඳ ප්‍රමාණවත් සහ නිවැරදි දත්ත පැවැතීමයි. දෙවැන්න කාලගුණ නිරීක්ෂක කටයුතු සඳහා රේඩාර් පද්ධතියක අවශ්‍යතාවයයි. එමෙන්ම මේ ක්‍රියාමය සඳහා විශේෂ ගුවන් යානයක් අවශ්‍යය. දැනට පවත්නා ගුවන් යනාවාක් යොදාගන්නේ නම් ඒ සඳහා එය විශේෂයෙන් සකස් කරගත යුතුව තිබේ.

කෘත්‍රිම වැසි ඇතිකිරීම පිළිබඳ සමාරම්භක ව්‍යාපෘතියේ විශේෂඥ කමිටුවේ අදහස වී ඇත්තේ මේ සම්බන්ධව බරපතල තීරණ ගැනීමට වඩාත් උසස් නිරීක්ෂණ පද්ධති සහ ජල පෝෂක ප්‍රදේශවල සංරක්ෂණ කටයුතු වැඩි දියුණු කිරීම කළයුතුව ඇති බවය.

එමෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥ රංජිත් පුණ්‍යවර්ධන ඇතුළු අදාළ විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ මෙවැනි මිල අධික ව්‍යාපෘතින් දියත් කිරීමට පළමු රජය විසින් ඒවායේ පාරිසරික ප්‍රතිවිපාක පිළිබඳව වැඩි දුරටත් පර්යේෂණ සිදු කළ යුතුව ඇතැයි යන බවද “මොන්ගාබේ” වෙබ් අඩවියේ සඳහන් විය.

දේශගුණික අනුවර්තනය පිළිබඳ ජාතික විශේෂඥ කමිටුවේ සභාපති සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මොන්ගාබේ වෙබ් අඩවිය වෙත පවසා තිබුණේ “ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය දිගුකාලීන ලෙස ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කරන්නේ නම් ඒ පිළිබඳව අත්හදාබැලීම් දිගටම සිදු කරන්නේ නම් එහි වාසි සහ අවාසි පිළිබඳව වැඩි දුර අධ්‍යයනය කළ යුතුව ඇත.” යනුවෙනි.

“පර්යේෂණයන් දිගටම සිදු කරන්නේ නම් යම් නිශ්චිත රසායනික සංයෝග වැසි ඇති කිරීම සඳහා දිගටම භාවිතා කිරීමට සිදුවනු ඇත. මේවා පසට සහ ශාකවලට බලපෑම් සිදු කරනු ඇත. මෙම ක්‍රියාවලිය විසින් “වැසි වළාකුළු” ලෙස හැඳින්වෙන සංවහන වළාකුළු නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය නිර්මාණය කරනු ලැබේ. මෙවැනි වළාකුළු උත්ප්‍රේරණය කිරීමේ ප්‍රතිඵලය විය හැක්කේ ජල පෝෂක ප්‍රදේශ තුළ අධික වර්ෂාපතනයක් ඇති වීමය. එමෙන්ම වර්ෂාපතනයේ ශීඝ්‍රතාව නිසා සමහර ප්‍රදේශවල බරපතල පාංශුඛාදන තත්ත්වයන් ඇති විය හැකිය.” යනුවෙන් මහාචාර්ය මාරඹේ අනතුරු අඟවා තිබිණි.

කෙසේ වුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු කපිල ජයසිංහ කෘත්‍රිම වළාකුළු වැපිරීීීමේ ක්‍රියාදාමය තුළ දිගුකාලීන අහිතකර විපාක ඇතැයි යන මතය ප්‍රතික්ෂේප කර ඇත. 1980දී ද කෘත්‍රිම වර්ෂා ඇතිකිරීමේ උත්සාහයන් දරන ලද බවත් එමගින් ශක්‍යතාවන් පිළිබඳ නිගමනයකට එළැඹ ඇති බවත් දැන් ඇත්තේ මේ සඳහා ජාතික සැලසුමක් සකස් කර එය ක්‍රියාත්මක කිරීම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“ජලපෝෂකවලට ලැබෙන වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයේ හිඟයක් පවතී. එහෙයින් විදුලිය කපා නොහැර පවත්වාගෙන යාමට හැකි ක්‍රම සොයා බැලීමට අපි උත්සාහ දරමින් සිටින්නෙමු. මෙම උත්සාහයත් එයින් එකකි.” යනුවෙන් බලශක්ති හා පුනර්ජනන බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ පැවසීය.

බලශක්ති ක්ෂේත්‍රය විශාල වශයෙන් වර්ෂාපතනය මත රඳා පවතින බවත් පසුගිය වසර කීපය පුරා පැවැති දැඩි නියඟය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණපාන්නට සිදුව ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

2015 වසරේ ජල විදුලිබල නිෂ්පාදනය ගිගාවොට් පැය 4,924 ක් වූ අතර 2016දී එය 3,990ක් දක්වා පහත වැටිණි. 2017 දී එය ගිගාවොට් පැය 3075ක් විය. මේ අතර 2015දී ගිගාවොට් පැය 6,766 වූ තාප විදුලිය නිෂ්පාදනය 2017 දී 10232ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

“ජල විදුලිබලය නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවැතීම හේතුවෙන් 2015 දී විදුලි බල මණ්ඩලය රු. බිලියන 20ක් ලාභ ලැබූ අතර එක් ඒකකයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 15.95කටය. කෙසේ වුවද 2017 දී අපට රු. බිලියන 38ක පාඩුවක් විඳීමට සිදුවූයේ තාප විදුලි නිෂ්පාදනය ඉහළ නැංවීමට සිදු වූ නිසාය. එවිට ඒකකයක් රු.21ක් විය.” යනුවෙන් සුරේන් බටගොඩ වැඩි දුරටත් පැවසීය.

2015 මට්ටමට වර්ෂාපතනය දිගටම ලැබිණි නම්, ජලවිදුලි නිෂ්පාදනය මගින් ලාභ ලැබීමේ හැකියාවක් පැවැතිණි. 2016 සහ 2017 වසරවල දිවයිනට ඉහළින් වළාකුළු ආවරණයක් පැවැති බවත් නමුත් සුළඟ විසින් ඒවා ඉවතට ගෙනගිය බවත් එහි ප්‍රතිඵලය වූයේ වර්ෂාපතනය අඩුවීම බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකාව දිවයිනක් බැවින් මුහුද හරහා හමා එන සුළං මගින් වළාකුළු විශාල වශයෙන් නිර්මාණය කරයි. එහෙයින් තමන්ගේ උත්සාහය වන්නේ මෙම ක්‍රියාදාමය හරහා ඒ වළාකුළු මගින් වැස්ස නිර්මාණය කිරීම යැයි සුරේන් බටගොඩ වැඩි දුරටත් පවසා ඇත.

කෙසේ වුවද වළාකුළු වැපිරීම විශාල පරිමාණයෙන් දිගින් දිගටම සිදුකරන්නේ නම් ඒ සඳහා යොදාගනු ලබන රසායනික හේතුවෙන් පරිසරයේ විෂ සහිත තත්ත්වයක් නිර්මාණය විය හැකි යැයි ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥ රොබ් ජැක්සන් විසින් “කෙමිකල් සහ ඉංජිනියරින් නිව්ස්” නම් වෙබ් අඩවියට පවසා ඇත.

තායි විශේෂඥයන් උපුටා දක්වමින් සුලක්ෂණ ජයවර්ධන පවසා ඇත්තේ පරිසරයට හෝ මහජන සෞඛ්‍යයට මෙම රසායනික මගින් අහිතකර බලපෑමක් ඇති නොවන බවය. වළාකුළු වැපිරීම මගින් කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලියේදී අනපේක්ෂිත තත්ත්වයන් මතුවිය හැකි යැයි ” දි ඉන්ඩිපෙන්ඩන්ට්” පුවත්පත සඳහන් කර ඇත. 2009 දී චීනය තුළ ක්ෂණික උෂ්ණත්ව පහල වැටීමක් සිදු විය.2017 දී ඩුබායිහිදී සිදු කළ වළාකුළු උත්පාදනයක් හේතුවෙන් දරුණු වර්ෂාවක් හටගෙන රිය අනතුරු 600කට වඩා සිදුව ඇත. සවුදිය අරාබියේ 2009 දී විශාල ගංවතුර තත්ත්වයක් උද්ගත විය.
වළාකුළු වළාකුළු වැපිරීමේ ක්‍රියාවලිය අරඹීමට පෙර එමගින් ලැබෙන උපරිම සහ අවම වර්ෂාපතනයේ බලපෑම පිළිබඳ තක්සේරුවක් කළයුතුව ඇතැයි ආචාර්ය සුරේන් බටගොඩ පවසයි.
” වළාකුළු වළාකුළු වැපිරීම හේතුවෙන් ගංවතුර හෝ නාය යෑම් ඇති වුවහොත් අප වෙත ඇඟිල්ල දිගු විය හැකියි. එහෙයින් අපි ප්‍රවේශම් විය යුතුයි. ” ඔහු වැඩි දුරටත් පැවසීය.
කෙසේ වුවද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධනගේ අදහස වූයේ වැස්ස ලැබෙන ප්‍රදේශය සහ ප්‍රමාණය පිළිබඳව පූර්ව විනිශ්චයක් සිදු කළ හැකි බැවින් එවැනි ගැටළු මතු නොවනු ඇති බවය.

අත්හදා බැලීම සිදු කරයි
මා උස්සාකැලේ ජලාශයට ඉහළින් වළාකුළු වැපිරීම සඳහා රසායනික ද්‍ර ව්‍ය විසුරුවාහරින ගුවන් යානය

2019 මාර්තු මාසයේ 22 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හාර්බින් Y-12 ගුවන් යානාවක් මාවුස්සාකැලේ ජලාශයට මීටර් 8000ක් උඩින් පියාඹමින් වළාකුළු වළාකුළු වැපිරීමට යොදාගනු ලබන රසායනික සංයෝග වන වියලි අයිස් (ඝණ කාබන්ඩයොක්සයිඩ්) , සිල්වර් අයඩයිඩ් සහ ලුණු අංශු ගුවනේ විසුරුවා හරින ලදි. මෙම ව්‍යාපෘතියේ නිලධාරින්ගේ අපේක්ෂා කළේ එදිනම වර්ෂාව ලැබෙනු ඇතියැයි නමුත් වර්ෂාපතනය සිදුවූයේ පසුදින එනම් මාර්තු 23 වැනිදාය. මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක වී ඇති බව අදාළ අංශ උපුටා දක්වින් “නිව්ස් ෆස්ට්” විසින් වාර්තා කර ඇත. “සෙරෙන්ඩිබ් ටුඩේ” වෙබ් අඩවියට අනුව මෙහිදී විනාඩි 45ක කාලයක් පුරා වැසි ලැබී ඇත. කෙසේ වුවද “මොන්ගාබේ” වෙබ් අඩවිය සඳහන් කර තිබුනේ එම ව්‍යාපෘතිය අපේක්ෂිත මට්ටමින්  සාර්ථක නොවූ බවය. කෙසේ වුවද මෙම පසුබෑම නොතකාම ශ්‍රී ලංකා රජය සිය කෘත්‍රීම වැසි දියත් කිරීමේ ව්‍යාපෘතිය දිගටම කරගෙන යාමට අදහස් කරන බවද එම වෙබ් අඩවියේ සඳහන් විය.

ඉහත විස්තර විමසා බලන විට පෙනී යන්නේ බලශක්ති අමාත්‍යාංශයේ නියෝජිතයන් මෙම වළාකුළු වැපිරීමේ ක්‍රියාදාමය දිගටම කරගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටි බවය. ජල විදුලිය නිපදවීම සඳහා ජලාශවල ජල මට්ටම ප්‍රමාණවත් මට්ටමක පවත්වාගෙන යාම විදුලි බල මණ්ඩලය පාඩු සිදුවීමෙන් වළක්වාලීමට ඔවුන් සතුව ගත යුතුව තිබූ අවසන් විකල්පය බව පෙනී යයි. එහෙයින් ස්වාධීන විශේෂඥයන් විසින් මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පෙර තුලනාත්මක අධ්‍යයනයක් කරන ලෙස කරන ලද ඉල්ලීම් ඔවුන් විසින් ඉවත දමා ඇති බවක් පෙනී යයි. 2019 වසරෙන් පසු බලශක්ති අමාත්‍යාංශය දිගින් දිගටම මෙම ව්‍යාපෘතිය කරගෙන ගියේදැයි අපි නොදනිමු. මේ පිළිබඳව කිසිදු වාර්තාවක් නොපවතින බැවින් ඔවුන් එය කරගෙන ගියා නම් එය මහජනතාවට රහසින් විය යුතුය. නමුත්  මෙවැනි ක්ෂණික කාලගුණික වෙනස් කම් කෘත්‍රිම ලෙස සිදු කරන විට ඒවායේ බලපෑමට යටත් ප්‍රදේශවල සිටින ජනතාවට කල් තබා දැනුම් දීම අත්‍යවශ්‍ය  කොන්දේසියකි.

මෙවැනි කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතින් භාරගනු ලබන සමාගම් දැන් විශාල සංඛ්‍යාවක් ලොව පුරා පවතින බැවින් ඇතැම් විට මේවා එවැනි සමාගම්වලට කොන්ත්‍රාත් ලබා දීම මගින් සිදුවන්නට ද ඉඩ තිබේ. මක්නිසාද යත් රජයේ ආයතන විසින් පිළිපැදිය යුතු නීතිරීති අනුගමනය කිරීමට ඔවුන්ට සිදු නොවන බැවිනි.

කෘත්‍රිම වැසි නිෂ්පාදනය කුමන්ත්‍රණ න්‍යායක් නොව ප්‍රසිද්ධ ව්‍යාපාරයකි.

වළාකුළු වැපිරවීම මගින් කෘත්‍රිම වැසි ඇති කරන සමාගම්
  • වෙදර් මොඩිෆිකේෂන් ඉන්කෝපරේෂන් (ඇමෙරිකාව-Weather Modification Inc.)
  • RHS කොන්සල්ටින් ඉන්කොපරේෂන්(ඇමෙරිකාව-RHS Consulting Inc.)
  • නොර්ත් ඇමෙරිකා වෙදර් කොන්සල්ටන්ට්ස්  ඉන්කොපරේෂන් (ඇමෙරිකාව-North America Weather Consultants Inc.)
  • ස්නෝවි හයිඩ්‍රෝ ලිමිටඩ්( ඔස්ට්‍රෙලියාව-Snowy Hydro Limited)
  • මෙටෙක් S.P.A.  (චිලී -Mettech S.P.A).
  • 3D S.A. සමාගම (ඉන්දියාව)
  • ක්ලවුඩ් ටෙක්නොලොජීස් ( ජර්මනිය -Cloud Technologies GmbH )
  • Seeding Operations and Atmospheric Research (SOAR)
  • සීඩින්ග් ඔපරේෂන්ස් ඇන්ඩ් ඇට්මොස්පෙරික් රිසර්ච් (ඇමෙරිකාව-Seeding Operations and Atmospheric Research-SOAR)
  • Ice Crystal Engineering (ICS),LLC
  • අයිස් ක්‍රිස්ටල් ඉංජිනියරින්  (ICS),LLC ( ඇමෙරිකාව-Ice Crystal Engineering (ICS),LLC)
  • චාටර්ෆ්ලූග ලුෆ්ට්ෆාර්ට් (ඉන්දියාව Charterflüge Luftfahrt)
ආසියා පැසිෆික් කලාපය තුළ වළාකුළු වැපිරවීම පිළිබඳ වෙළඳපොළ
වළාකුළු වැපිරවීමේ ව්‍යාපාරවල ආදායම්

ජාත්‍යන්තර අත්දැකීම් කීපයක්

වියට්නාමය

කාලගුණික විපර්යාසයන් සිදුකිරීමේ තවත් අරමුණක් වන්නේ සතුරු රාජ්‍යයකට, හෝ හමුදාවකට එරෙහිව මිලිටරිමය හෝ ආර්ථිකමය යුද උපක්‍රමයක් ලෙස භාවිතා කිරීමය. වියට්නාමයේ කොමියුනිස්ට් හමුදාවන්ට එරෙහිව එක්සත් ජනපද ආක්‍රමණික හමුදාවන් විසින් කාලගුණික වෙනස් කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදි. ඒ මෙහෙයුම “ඔපරේෂන් පොප් අයි”(Operation Popeye) යනුවෙන් හැඳින්විණි. එම මෙහෙයුම මගින් වියට්නාමයේ මෝසම් වැසි කාලය දීර්ඝකරමින් ගංවතුරු සහ නාය යෑම් ඇතිකර වියට්නාම් ගරිල්ලා හමුදාවන් විසින් නිදහස් කරගත් පෙදෙස්වල  ආර්ථික පදනම් විනාශ කිරීමටත්, ප්‍රවාහන සහ සැපයුම් මාර්ග අවහිර කිරීමටත් අපේක්ෂා කෙරිණි.

තායිලන්තය

1954 දී තායිලන්තයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වැසි ලබාගැනීම සඳහා “තායිලන්ත වර්ෂාපතන නිර්මාණ ව්‍යාපෘතිය පිහිටුවන ලදි. මෙම ව්‍යාපෘතිය යටතේදී 1969 දී වියලි අයිස් අහසේ විසුරුවා හැරීම මගින් වැසි නිර්මාණය සඳහා උත්සාහ දරන ලදි. මේ ව්‍යාපෘතිය යම් සාර්ථකත්වයක් අත් කරගත් බවට වාර්තා කෙරී ඇත. 1971 දී තායිලන්ත රජය විසින් තායි සමුපකාර හා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කෘත්‍රීම වැසි නිර්මාණ පර්යේෂණ සහ සංවර්ධන අංශය පිහිටුවන ලදි.

 

එක්සත් අරාබි එමීර් රාජධානිය
එක්සත් අරාබි එමීර් රාජධානියේ කාලගුණ මධ්‍යස්ථානය

එක්සත් අරාබි එමීර් රාජධානියේ ආණ්ඩුව විසින් 2010 වර්ෂයේ ජූලි සහ අගෝස්තු මාසවලදී පමණක් කෘත්‍රීම වර්ෂාපතනයන් 50කට වැඩි සංඛ්‍යාවක් ඇති කරන ලද බව බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් සහ ඇරබියන් බිස්නස් පුවත්පත් විසින් 2011 දී වාර්තා කර තිබිණි. ඕමාන් රාජ්‍යයයේ දේශසීාවට ආසන්නව පිහිටි එක්සත් අරාබි එමීර් රාජධානියේ දෙවන විශාලතම නගරය වූ “අල් අයින්” නගරයේ ඇති කරන ලද මේ කෘත්‍රීම කාලගුණික වෙනස් කිරීම් හේතුවෙන් දැඩි වර්ෂාපතනය, අයිස් වැසි සහ කුණාටු ඇති වූ බවත් එමගින් ප්‍රදේශවාසින් දැඩි අපහසුතාවන්ට ගොදුරු වූ බවටත් වාර්තා වී ඇත.

ආපදා ධනවාදය සහ ස්වාභාවික ව්‍යසන

ස්වාභාවික ආපදාවන් උපයෝගී කර ගනිමින් දුප්පත් අනාරක්ෂිත ප්‍රජාවන් ඔවුන්ගේ වාසභූමිවලින් නෙරපා හැරීමට ගෝලීය කෝපරේට් සංකීර්ණය,ගෝලීය මිලිටරි සංකීර්ණ, ප්‍රකෝටිපති ගෝලීය ප්‍රභූ පැලැන්තිය, විවිධ ජාතික ආණ්ඩු සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිදු කරන ඉඩම් කොල්ලය දැන් ඉතා මැනවින් ලේඛනගතව ඇති සාපරාධී ක්‍රියාදාමයකි. එක්සත් ජනපදයේ කැත්‍රිනා කුණාටුව, 2004 ආසියානු සුනාමිය ආදි විපත්වලින් පසුව ඒවායේ බලපෑම්වලට ලක් වූ ප්‍රජාවන්ගේ ජීවනරටාවන් විනාශ කරමින් ඔවුන්ගේ ඉඩම් කොල්ලකන ලද ආකාරය ගැන ප්‍රකට ලේඛිකාවක වූ නයෝමි ක්ලයින් විසින් 2007 දී පළකරන ලද “ආපදා ධනවාදය” නම් කෘතිය තුළ මැනැවින් විස්තර කර තිබේ.

එමෙන්ම මෑත කාලයේ යුරෝපයේත් එක්සත් ජනපදයේත් හටගත් ලැව්ගිනි සහ කුණාටු වලින් විපතට පත් ජනතාවන්ට යළිත් එම ඉඩම්වලට යාමට ආණ්ඩු විසින් අවහිර කර ඇත්තේ “ඔවුන්ගේම ආරක්ෂාව සඳහා” බව කියමිනි.

ස්වාභාවික ව්‍යසනයන් ලෙස පෙනෙන පරිදි සැලසුම් සහගත ලෙස ව්‍යසනයන් නිර්මාණය කිරීම
ලාහයිනාව ගිනි ගැනීම
ලාහයිනා නගරයේ මෙම නිවස සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇති නමුත් ඒ අසලම ඇති පැලෑටිවල පත්‍රවලට පවා හානියක් වී නැත. එමෙන්ම අවට තිබූ නිවාස හානියකින් තොරව පවතිද්දී මෙම නිවස පමණක් විනාශ වී ඇත. මෙවැනි සිදුවීම් ගණනාවක් ගිනිබත් ලාහයිනාවේ දැකිය හැකි වීම හේතුවෙන් බොහෝ දෙනා මෙම ගින්න ලේසර් වැනි බලශක්ති අවියක් මගින් සිදු කරන්නට ඇතැයි සැක කරති.

එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වන හවායිහි ලාහයිනා නගරයේ හටගත් සැක සහිත “ලැව්ගිනිවලින්” වලින් පසුව එම ප්‍රදේශයේ විසූ ජනයා එයින් ඉවත් කරන ලදි. අදාළ ප්‍රදේශය වැට කර ඇතුළත කිසිවෙකුට දැකිය නොහැකි වන පරිදි වැටක් ඉදිකරනු ලැබිණි. මෙම සිදුවීම්වලට මාස කීපයකට පෙර ලාහයිනා බලධාරින් විසින් එම නගරය “ස්මාර්ට්” (SMART)නගරයක් බවට පත් කිරීම සඳහා ගෝලීය කෝපරේට් සංකීර්ණය සමග එකඟතාවන්ට එළැඹී තිබිණි. එහෙත් සංචාරක කර්මාන්තයෙන් ජීවත් වූ ස්වදේශික ජනතාව තමන් වාසය කළ එම වෙරළබඩ සුන්දර නගරය අත් හැර යාමට කැමැති නොවූහ. ඔවුන්ගේ දේපොළ මිලදී ගැනීමට පැමිණි දැවැන්ත දේපොළ සමාගම්වල නියෝජිතයන්ට හිස් අතින් ආපසු හැරී යාමට සිදු විය. ලාහයිනා නගරය සැක සහිත ලැව්ගිනි ජාලාවකට ගොදුරු වූයේ ඒ අතරය. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියා විරහිතකර තිබිණි.පලායාමට තැත් කළවුන් පොලිස් මුරකාවල් යොදා නැවතත් ගිනිගනිමින් තිබූ නගරය දෙසටම හරවා යැවිණි. දිවි ගලවාගැනීමට සමත් වූයේ පොලිස් බාධක නොසළකා නගරයෙන් පිටතට ධාවනය කළවුන් පමණි. බොහොවුන් දිවි ගලවාගත්තේ මුහුදට පැනීමෙනි. සම්පූර්ණ පාසලකම ළමුන් අතුරුදහන් විය. ස්වේච්ඡා ආධාර කිරීමේ කණ්ඩායම් ඔවුන් රැගෙන ආ ද්‍රව්‍යමය ආධාරද සමග ආපසු හරවා යවනු ලැබිණි. මෙම විපතින් පසුව දේපල මිලදී ගන්නා සමාගම්වල නියෝජිතයෝ අවතැන් කඳවුරු වල සිටි ජනයා සිය ඉඩම් විකිනීම සඳහා ගිවිසුම්වලට අවනත කරගැනීමට උත්සාහ දරන ලද අතර බලධාරින් සම්පූර්ණයෙන්ම කටයුතු කරන ලද්දේ එම සමාගම්වල නියෝජිතයන් ලෙස මිසෙක ජනතා නියෝජිතයන් ලෙස නොවේ.  ලාහයිනා නගරය ගිනිගැනීමට හේතුව DEW ලේසර් අවි භාවිතා කිරීම හේතුව යැයි නගර වැසියෝ සැක කරති

2004 සුනාමිය: ශ්‍රී ලංකාව

2004 සුනාමිය විසින් ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවන්ගේ නිවාස සහ බෝට්ටු ඇතුළු රැකියා ආම්පන්න මුහුදට ගසාගෙන යන ලදි. ඔවුන්ට වඩාත් ආරක්ෂිත තාවකාලික ස්ථානවල ලැගුම් ගැනීමට සිදු විය. පැවැති ආණ්ඩුව විසින් මෙය දක්නා ලද්දේ වෙරළ තීරයේ තිබූ “අනවසර ඉදිකිරීම්” ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙසය. මෙම දුප්පත් ජනයා විසූ ප්‍රදේශ මත් ද්‍රව්‍ය ජාවාරම, ගණිකා වෘත්තිය ඇතුළු සමාජ විරෝධී අපරාධවල තෝතැන්නක් ලෙස හඳුන්වමින් ඒවා ඉවත් කිරීමේ අවශ්‍යතාව කැබිනට් ඇමැතිවරුන් විසින් ප්‍රසිද්ධියේම අවධාරණය කළහ. ඔවුන්ගේ අරමුණ වූයේ මෙම වෙරලාසන්න පලාත් තරු පහේ සංචාරක කර්මාන්තය සඳහා පිරිසිදු කිරීමය. මේ සඳහා සැලසුම් දියත් කරන ලද්දේ එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (United States Agency for International Development -USAID), ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසිනි. ධීවර ප්‍රජාව ඇතුළු දුප්පත් ජනතාව වෙරලාසන්න පෙදෙස්වලින් ඉවත් කිරීමට කලින් ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වී තිබූ අතර සුනාමියෙන් පසු එම උත්සාහයන් නැවතත් දියත් විය. මාස කීපයකට පසුව වෙරළ තීරය දිගේ ආරක්ෂිත කලාපයක් බලාත්මක කරන ලද අතර ඒවායේ පදිංචිව සිටි ප්‍රජාවන් ආරක්ෂක හමුදාවන් යොදවමින් ඉවත් කර වෙනත් ආසන්න ප්‍රදේශවල නැවත පදිංචි කරවන ලදි. මේ සියල්ල සිදු කරන ලද්දේ ” ජනතාවගේම” ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසන ලදි.” (Klein 2007).

2024 ඔක්තෝබර ජලගැලීම්වලින් සිදු වූ හානි සමහරක්

පසුගිය ඔක්තෝබර් 14 වන විට පැවැති තත්ත්වය මෙසේ විය.
දැඩි වර්ෂාව, සැඩ සුලං සහ විදුලි කෙටීම් වැනි අනතුරුදායක කාලගුණික තත්ත්වයන්ගේ බලපෑමට බොහෝ පෙදෙස් ගොදුරු වී තිබිණි. කළුතර, ගම්පහ, කොළඹ, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට, ගාල්ල, පොලොන්නරුව, කුරුණෑගල, මහනුවර, සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක ඒ අතර විය.
ඔක්තෝබර් 14 වැනි දින රජයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත්කරන ලද තත්ත්ව වාර්තාව අනුව තත්ත්වය මෙසේ විය.
කළුතර දිස්ත්‍රික්කය තුළ පවුල් 1001ක් සහ පුද්ගලයන් 3623ක් ජලගැලීම්, සුළං ආදි ආපදාවන්ට ගොදුරුවී තිබිණි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවුල් 20553ක් සහ පුද්ගලයන් 82839ක් ආපදාවන්ට ගොදුරුවී ඇත. ගම්පහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පමණක් ආපදාවන්ට ගොදුරු වූ පවුල් සංඛ්‍යාව 2405ක් අතර පුද්ගලයන් 9447කි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ පවුල් 10914ක් ආපදාවන්ට ගොදුරුවූ අතර පුද්ගලයන් සංඛ්‍යාව 40231කි.
සමස්ත බස්නාහිර පලාත තුළම පවුල් 32468ක් සහ පුද්ගලයන් 126693ක් ආපදාවන්ට ගොදුරුව තිබිණි. බස්නාහිර පලාත තුළ ආපදා සිදුවීම්වලින් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත් වී තිබිණි.
සමස්ත බස්නාහිර පලාත තුළම ආරක්ෂිත මධ්‍යස්ථාන 66ක් පිහිටුවා තිබූ අතර ඒවායේ රැකවරණය ලද අවතැන් වූ පවුල් සංඛ්‍යාව 1490කි. පුද්ගලයන් සංඛ්‍යාව 5538කි.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරක්ෂිත මධ්‍යස්ථාන 48ක් පිහිටුවා තිබූ අතර ඒවායේ රැකවරණය ලද අවතැන් වූ පවුල් සංඛ්‍යාව 1044කි. පුද්ගලයන් සංඛ්‍යාව 4060කි.
ඔක්තෝබර් 17 වැනි දිනවන විටත් බස්නාහිර පලාතේ ආරක්ෂිත මධ්‍යස්ථාන 27ක් තුළ පවුල් 920ක් අවතැන්ව සිටි අතර පුද්ගලයන් සංඛ්‍යාව 3767කි.
මෙම ව්‍යසනයන්ට අමතරව රට පුරාම විශාල වගා හානි සිදුවී තිබිණි. ඇතැම් කුඹුරුවල ගොවීන්ගේ කන්න දෙක තුනක්ම පිට පිටම විනාශ වී තිබිණි. පාසල් වසා දැමිණි. ප්‍රවාහනය අඩපණ විය.

ගංවතුර තර්ජන සහ අවතැන්වීම් ජනයා ඉවත් කිරීමේ සැලසුමක්ද?

දිගින් දිගටම වසර ගණනාවක් තිස්සේ මෙවැනි ගංවතුර ගැලීම්වලට යම් නිශ්චිත ප්‍රදේශ යටත්වීම හේතුවෙන් එම පලාත්වල ඉඩම් මිල ශීඝ්‍රයෙන් පහල වැටෙන අතර ජනතාව එම ප්‍රදේශවලින් වඩාත් ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට සිතීම ස්වාභාවිකය. මෙවැනි තත්ත්වයන් නිසැකවම “ආපදා ධනවාදය” සඳහා විවෘතවන ව්‍යාපාරික අවස්ථාවන්ය.
බස්නාහිර පලාත තුළ නාගරික සංවර්ධනයට බාධාවන ප්‍රධාන බාධාවක් ලෙස එම කටයුත්තට අතගසා ඇති දැවැන්ත ජාත්‍යන්තර සමාගම් කල්පනා කරන්නේ සම්ප්‍රදායික, මධ්‍යම සහ දුප්පත් පන්තිවලට අයත් නිවාස සහ ඉඩම් හිමිකාරත්වයයි. සංවර්ධන කටයුතු සඳහා සිය නිවාස සහ ඉඩම්වලින් ඉවත්වීමට කිසියම් වන්දි මුදක් ගෙවමින් ඔවුන් පොළඹවා ගත නොහැකි තත්ත්වයකදී මෙවැනි නිරන්තර ජලගැලීම්, නාය යෑම් ඇතුළු “සවාභාවික ව්‍යසන” එවැනි සමාගම්වලට විශාල අවස්ථාවන් විවර කරයි.
රජයේ අදාළ ආයතන විසින් යම් ප්‍රදේශයක් අවදානම් සහගත ප්‍රදේශයක් ලෙස නම් කළ පසුව එම ප්‍රදේශවල අලුතෙන් ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාගැනීම දුෂ්කරය. එමෙන්ම එම පලාත්වල සිටින පුද්ගලයන්ද ක්‍රමයෙන් බැහැරව යාම සිදු වේ.

ගම්පහ නගරය “ස්මාර්ට් නගරයක්” කිරීමේ ව්‍යාපෘතිය සහ ලෝක ආර්ථික සංසදයේ ගෝලීයකරණ ව්‍යාපෘතියේ කොටසක් ලෙස
ගම්පහ නගරය ගංවතුරට යටවීම

වත්මන් රජයේ ප්‍රධාන සටන් පාඨයක් වන්නේ “පොහොසත් රටක් ලස්සණ ජීවිතයක් “යන්නය.මෙවැනි අලංකාරිකයන්ගෙන් වසං කරන ලද යථාර්ථය වන්නේ මෙම සැලසුම් ලෝක ආර්ථික සංසදය විසින් පසුගිය වකවානුවේ පෙරට දමන ලද “ස්මාර්ට් සිටි” ව්‍යාපෘතිය වැනි තාක්ෂණ මූලික විසඳුම් දැනටමත් දියත්ව ඇති බවය.
පසුගිය දිනක රජයේ වගකිවයුත්තෙකු ප්‍රකාශ කර තිබුණේ රජයේ සේවයේ අකාර්යක්ෂමතාව නැති කිරීම සඳහාත්,වියදම් අඩුකිරීම සඳහාත් සියලු දෙය ඩිජිටලීකරණය කරමින් රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 13 සිට ලක්ෂ 7 දක්වා අඩුකිරීමට ඉදිරි වසර කීපය තුළ සැලසුම් කරන බවයය.

මේවා හුදෙක් එක් නිලධාරියෙකුගේ අමන ප්‍රකාශ නොවේ. මෙම ප්‍රතිපත්ති දැනට ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවතින දේය. ලෝක ආර්ථික සංසදය වටා ගොනුවූ සමාගම්, යුජෙනික්ස් සහ මැල්තුසියන්වාදි දේශපාලන නායකයන් මුළු ලෝකය සඳහාම ක්‍රියාවට නැංවීමට බල කෙරෙන ප්‍රතිපත්තින්ය. මේ නිලධාරින් සේවය කරන්නේ මෙරට ජනතාවට නොව එම ගෝලීයකරණවාදින්ටය. මහ බැංකුවේ සිට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරින් මේනම  දේශපාලනඥයන් සියලු දෙනාද මෙම ගෝලීයකරණ න්‍යාය පත්‍රයට එක් හෝ තවත් ආකාරයකට යටත්ව සිටිති.

එමෙන්ම බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සහ රොකෆෙලර් පදනම යටතේ ස්මාර්ට් කෘෂිකර්මයක් ස්ථාපිත කරමින් රටේ ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගම්වල නතු කිරීමේ සැලසුම්ද දියත් කිරීමට නියමිතය.
මෙම සංවර්ධන සැලසුම් මෙරට ජනතාවගේ ජීවිතය සුන්දර සහ පොහොසත් එකක් කිරීම සඳහා යැයි අපට ඒත්තු ගැන්වීමට ඔවුහු උත්සාහ දරති. නමුත් අවසානයේ සිදුවනු ඇත්තේ අති විශාල ශ්‍රම බලකායක් ස්මාර්ට්කරණය හා ඩිජිටලීකරණය හරහා නිෂ්පාදන ක්‍රියාවලියෙන්ද, සමාජ සංස්කෘතික ක්‍රියාවලියෙන්ද බහිෂ්කරණය කිරීමය. ඔවුන් ගොඩ නගන ස්මාර්ට් නගර සහ සුන්දර උයන් වෙන්වනු ඇත්තේ ගෝලීය සුපිරි ප්‍රභූපෙලැන්තියට සහ ඔවුන්ගේ අන්තේවාසික නූතන ටෙක්නෝ ප්‍රභූ පෙළැන්තියට මිසෙක පීඩිත පන්තියේ ජනතාවන්ට හෝ ඔවුන්ගේ දූ දරුවන්ට නොවේ. සමස්ත දේශයම රාජ්‍යයේ අනවරත ඔත්තුබැලීම් සහ අත්තනෝමතික පාලනයට යටත් ඩිජිටල් එළිමහන් සිරකඳවුරක් වනු ඇත.
ඩිජිටලීකරණය සහ කෘත්‍රිම බුද්ධිය මගින් ශ්‍රම වෙළඳපොළෙන් පලවා හරිනු ලබන සාමාන්‍ය ජනතාවට සලකනු ඇත්තේ “පලක් නැති ආහාර බුදින්නන්” ලෙස සහ “මිහිමත කුණු රොඩු”ලෙසය. ඔවුන්ට කිසියම් නිශ්චිත ඩිජිටල් ගුලාගයන් තුලට ගාල් කෙරෙමින් ක්‍රමානු කූලව සියුම් ලෙසත් ඝාතනය කෙරෙමින් ලෝකය අයත් තමන්ට යැයි සිතන ප්‍රභූ පෙළැන්තිය විසින් තීරණය කරනු ලබන සංඛ්‍යාවකට ජනගහණය සීමා කෙරෙනු ඇත. අපි අද හුරේ දමමින් ගමන් කරමින් සිටින්නේ මේ මාවත ඔස්සේය.
වත්මන් ඩිජිටර් ආර්ථික ඇමැතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක වන අතර නියෝජ්‍ය ඇමැතිවරයා වන්නේ ලෝක ආර්ථික සංසදයේ අනුගාමිකයෙකු වන චතුරංග අබේසිංහය. තමන්ගේ ප්‍රශ්නවලට තමන් අපේක්ෂා කරන විසඳුම් ලබාගැනීමට ජනතාවට ඇති අයිතිය මේ දක්වා පැවැති සියළු ආණ්ඩු විසින් අහිමි කර තිබේ. මෙම ආණ්ඩුවල නායකයන් ලබා දෙන විසඳුම් වන්නේ වනාහි ඔවුන් මෙහෙයවන අධිරාජ්‍යවාදි හාම්පුතුන්ට ජනජීවිතය අවශ්‍ය පරිදි හැසිරවීම සඳහා අවශ්‍යවන තත්ත්වයන් ගොඩ නැගීම පමණි.

ගම්පහ ස්මාර්ට් නගරය

ශ්‍රී ලංකා රජයේ “වසර 2050 ජාතික භෞතික සැලස්මට” අයත් කොළඹ, කුරුනෑගල, අනුරාධපුර, යාපනය, ත්‍රිකුණාමලය වැනි පළමු වර්ගයේ නගර කීපය අතරින් ගම්පහ එකකි.
මෙම ස්මාර්ට් සිටි සැලසුමේ ඉලක්කයන් ලෙස අදාල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ
1. නාගරික ආර්ථිය පුනර්ජීවනයකට පත් කිරීම සඳහා ගතික දීප්තිමත් නගර කේන්ද්‍රයක්නිර්මානය කිරීම.
2. සැපපහසු නගර නිර්මිතියක් සහ ගුණාත්මක පරිපාලන සේවයක් සපයමින් ප්‍රධාන නගරය විශාලනය කිරීම
3. ජීවිතයේ ගුණාත්මක බව ඉහළ නැංවීමසඳහා පදිංචිකරුවන්ට පහසුකම් සහිත නාගරික වාසස්ථාන කිර්මාණය

මෙම ඉලක්කයන් සඳහා ප්‍රවේශය ලෙස ස්මාර්ට් ජංගමශිලිත්වය (ප්‍රවාහනය), ස්මාර්ට් ආණ්ඩුකරණය, ස්මාර්ට් ජීවන පැවැත්ම, ස්මාර්ට් පරිසරය, ස්මාර්ට් ආර්ථිකය, ස්මාර්ට් ජනතාව යනාදිය දක්වා තිබේ. ස්මාර්ට් යනු සියල්ල ඩිජිටලීකරණය කරන ලදුව කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන දෑය. අද ගම්පහ නගරයේ හෝ ආසන්නව ජීවත්වන හෝ ශ්‍රම මූලික රැකියාවන් කරන බොහෝ දෙනා මෙම ස්මාර්ට් නගරයෙන් පිටතට පලවා හරිනු ඇත. එමෙන්ම සුළු ව්‍යාපාරිකයන්ද නගර සීමාවෙන් පලවා හැරෙනු ඇත. මක් නිසාද යත් ඉහලට ඔසවා තැබෙන නව ප්‍රමිතීන්ගේ මට්ටමට සිය ව්‍යාපාර හෝ ව්‍යාපාරික ස්ථාන සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඔවුන් සතුව නොමැති බැවිනි. ඔවුහු දැනටමත් සිය එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම සඳහා ආදායම් උපයාගැනීමේ අරගලයක නිරතව සිටිති. එමෙන්ම සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට නොහැකි සුපිරි නිවාස සංකීර්ණ ඉදිකරමින් ඒවා පිටස්තර ලෝකයෙන් වෙන් කරනු ඇත.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ආයතන නම් නගර සංවර්ධන අධිකාරිය, ගම්පහ නගර සභාව, ස්මාර්ට් ගම්පහ සෙරෙබ්‍රෝ (Smart Gampaha Cerebro), ගුඩ් සිටි පදනම, (Good City Foundation) සහ එම්.ජී. ගෲප්ය (MG Group). ,ගුඩ් සිටි පදනම යනු ආසියාවේ නගර සංවර්ධනය සඳහා මැදිහත්වන ලාභ නොලබන ආයතනයක් ලෙස කියනු ලැබේ. නමුත් ඔවුන්ගේ හවුල්කාර සංවිධානය වන්නේ ලෝකයේ සියලුම ප්‍රබල සමාගම්, බැංකු අධිපතියන් සහ බටහිර අධිරාජ්‍යවාදි සුපිරි ප්‍රභූ පෙළැන්තිය එක්ව සිටින සංවිධානය වන ලෝක ආර්ථික සංසදයයි (World Economic Forum-WEF). එම්.ජී. ගෲප් යනු ලෝකය පුරා දැවැන්ත ඉදිකිරීම් සංකීර්ණයන් නිර්මාණය සඳහා කොන්ත්‍රාත් භාරගන්නා සමාගමකි. එය උපදේශකසමාගමක් ලෙසද ක්‍රියාකරයි.

මෙම ස්මාර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා නගර විශාලනය කිරීමටත් නව ගොඩනැගිලි සහ පහසුකම් සංකීර්ණයන් ඉදිකිරීමටත් අවශ්‍ය ඉඩම් ලබාගැනීමට දැනට එහි සිටින බොහෝ දෙනාගේ ඉඩකඩම් අත්පත් කරගැනීම සිදු වනු ඇත. එහෙත් ඒ සඳහා ඔවුන් ස්වේච්ඡාවෙන් ඉවත් නොවන්නේ නම් කරනු ඇත්තේ වර්තමානයේදී ලෝකයේ වෙනත් බොහෝ රටවල සිදුවන්නාක් මෙන් “ස්වාභාවික ආපදාවන්” නිර්මාණය කරමින් ඔවුන්ට ඒ තැන්වලින් ඉවත්වීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය කිරීමය. පසුගිය කාලයේදී දිගින් දිගටම ගම්පහ වැනි නගරවලට එල්ලවන ගංවතුර තර්ජන මෙවැනි උපාය මාර්ගයක කොටසක් දැයි විමසිලිමත් විය යුත්තේ එහෙයිනි. ශ්‍රී ලංකාව තුළ වළාකුළු වැපිරවීම මගින් කෘත්‍රිම වැසි නිර්මාණය කිරීම සිදුවන බව තවදුරටත් සැඟවිය හැකි රහසක් නොවේ.

දිගින් දිගටම සිදුවන ගංවතුර ගැලීම් හේතුවෙන්  ආර්ථික අර්බුදය තවදුරටත් අයහපත් කෙරෙමින් ඇත.

මේ වනවිට රටතුළ බරපතල සහල් හිඟයක් නිර්මාණය වී තිබේ. දිවයිනේ ප්‍රදේශ ගණනාවක  පසුගිය කන්න කීපයකම වී වගාවන් ගංවතුරට හසුවී විනාශ වීම, අස්වැන්න බොල්වීම, පොහොර සේදී යාම, ඊළඟ කන්නය සඳහා බීජ නිෂ්පාදනය කළ නොහැකිවීම ආදිය ගොවින්ගේ වී අස්වැන්න කෙරෙහි මෙන්ම  ආර්ථික තත්ත්වය කෙරෙහි අයහපත් ලෙස බලපායි.

ඔස්ට්‍රෙලියාවේ පාරිසරික සහ මූලික කර්මාන්ත දෙපාර්තුමේන්තුව වෙනුවෙන් T.S.G පීරිස් සහ R.පීරිස් විසින් කරන ලද අධ්‍යයනයක් විසින් පෙන්වා දී ඇත්තේ සැප්තැම්බර්, ඔක්තෝබර්,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිදුවන ඉහළ වර්ෂාපතනයන් පොල් අස්වැන්න අඩුවීමට බලපායි. අධික වර්ෂාපතනය හේතුවෙන් එළවලු මිල ඉහළ යාමද සිදුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය බිඳෙන සුළු යැයි පසුගිය මාසයේ ජනාධිපති අනුරකුමාර දිසානායක ප්‍රකාශ කළේය. මෙම බිඳෙන සුළු බවට මෙම අයහපත් කාලගුණික තත්ත්වයන්ද නිසැකවම බලපායි. නොවැම්බරයේදී ජාත්‍යන්තර  මූල්‍ය  අරමුදලේ නියෝජිතයන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් කිරීමට බලපාන ලද අනෙකුත් සාධක අතර දිගින් දිගටම දරුණු වෙමින් පවත්නා මෙම “අයහපත් කාලගුණය පිළිබඳ තර්ජනය” ද බලපා ඇති බවට සැකයක් නැත.

එහෙයින් පසුගිය දිනවල කෘත්‍රිම වැසි ඇතිකිරීමක් සිදුව ඇත්ද යන්න සහ එසේ සිදු වී ඇත්නම් එයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න ගැන සොයා බැලීම අතිශයින් වැදගත් වනු ඇත.

මතු සම්බන්ධයි.