ඉතිහාසය නිර්-යටත්විජිතකරණය සහ නව යටත්විජිතය ප්‍රබන්ධගතකරණය

Decolonizing History and Fiction in a Neo Colony මැයෙන් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය

ධරිණි රාජසිංහම් සේනානායක

“සාධාරණත්වය අපිරිසිදුය-අපිරිසිදුකම සාධාරණය.” විලියම් ෂේක්ස්පියර්ගේ මැක්බෙත් නාට්‍යයෙන්

ලංකාව නැතහොත් ශ්‍රී ලංකාව තුළ පොදු ආගම්, පොදු භාෂාවන් හෝ එකම ඉතිහාසයක් බෙදා හදාගෙන සාපේක්ෂ ලෙස සමගියෙන් ජීවත්වන අතර පරම්පරා ගණනාවක් තිස්සේ සහ අන්තර්- විවාහ සිදුකර ගත් ලෞකික බහු සංස්කෘතික පවුල් පිළිබඳව බුකර් සාහිත්‍ය සම්මාන හිමිවන නවකථා නොමැත්තේ ඇයි?

ජාත්‍යන්තර සාහිත්‍ය සම්මාන හිමි හොඳම අලෙවිය සහිත පොත් බවට පත්වන්නේ කෙලවරක් නැති වියවුල් ප්‍රචණ්ඩත්වයක නිරතව සිටින “අඳුරුවන් ස්වදේශිකයන්” පිළිබඳ කතාන්දරය. ඒවා නොමග යවන සුළු සංස්කෘතික යුද්ධයේ මඩගොහොරුව තුළ ගිලීගිය පශ්චාත්-යථාර්ථවාදි ලෝකයක් තුළ පිරිපහදු කරන ලද, තාක්ෂණ-විද්‍යාත්මක කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවනු ලබන දෙමුහුන් යුද්ධ ඇතුළු සුදු යුරෝපීය අනර්ථකාරි ක්‍රියාවන් සැඟවීමේ වෙස්මුහුණක් බවට පත්ව තිබේද?

සූසාන් විලියම්ස්ගේ “සුද්දන්ගේ ද්වේෂය: සී.අයි.ඒ සහ අප්‍රිකාවේ රහසිගත පුනර්-යටත්විජිතකරණය”

සූසාන් විලියම්ස්ගේ (Susan William) අතිශයින්ම දීප්තිමත් සහ නිර්භීත කෘතිය වන්නේ “සුද්දන්ගේ ද්වේෂය: සී.අයි.ඒ සහ අප්‍රිකාවේ රහසිගත පුනර්-යටත්විජිතකරණය” (White Malice:The CIA and the Covert Recolonization of Africa) යන්නයි. එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවට අනුබද්ධව ක්‍රියාත්මක වන “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික පරිත්‍යාගය” (National Endowment for Democracy-NED) නම් ආයතනය විසින් සැපයෙන අරමුදල් යොදාගනිමින් මෑතකදී දියත් කරන ලද ආණ්ඩු පෙරලීමේ මෙහෙයුම් සහ යුරෝ බැඳුම්කර ණය උගුලට ගොදුරු වූ ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ අනෙකුත් අප්‍රිකාවේ සහ සහ ආසියාවේ පශ්චාත් යටත්විජිත රටවල් සම්බන්ධයෙන්ද ඇගේ විශ්ලේෂණය බොහෝ සෙයින් ගැලපෙයි. NED ආයතනය ප්‍රසිද්ධව ඇත්තේ දෙවන සී.අයි.ඒ් සංවිධානය ලෙසය.

ඕමානය, ඇෆ්ඝනිස්ථානය සහ අනෙකුත් පශ්චාත් යටත් විජිත රටවල දී බ්‍රිතාන්‍ය විසින් සිදුකරන ලද යුධ අපරාධ ගැන හෙළිදරවු කරන “කීනි මීනි: යුද අපරාධ කර නිදැල්ලේ සිටින බ්‍රිතාන්‍ය කුලී සොල්දාදුවෝ”(Keenie Meenie: The British Mercenaries who got away with war crimes”) යන කෘතිය ලියන ලද ෆිල් මිලර් (Phil Miller) වැනි දීප්තිමත් සමාජ විද්‍යා පර්යේෂකයන් සහ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් කිසිදු සම්මානයක් පිරි නොනැමෙන්නේ මන්ද? මෙම පශ්චාත් යටත් විජිත හැඳින්වීම සඳහා වඩාත් සුදුසුතම යෙදුම වන්නේ” පශ්චාත් කොවිඩ්-19 යුරෝ බැඳුම්කර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුලේ සිර වූ අප්‍රිකානු සහ ආසියානු නව යටත්විජිතය” යනුවෙන් නොවේද?

සෙරෙන්ඩිප්, තැප්‍රොබේන්, සිලෝන්, ශ්‍රී ලංකා ආදි නම්වලින් හැඳින්වෙන, “ගිල්වා දැමිය නොහැකි ගුවන්යානා හාරක නෞකාව” යනුවෙන් දිගු කලෙක සිට විරුදාවලි ලැබ ඇති එහෙයින්ම ප්‍රබල බලවේගයන්ගේ එදිරිවාදුකම්වලට මැදි වී සිටින, ඉන්දියන් සාගර ලෝකය මැද පිහිටා ඇති නිවර්තන මෝසම් දිවයින් පාරාදීසය වන මේ දේශය සතුව, මෙයට වසර 41ට පෙර, සමාජවාදි කඳවුර සහ අධිරාජ්‍යවාදි කඳවුර අතර සීතල යුද්ධය දකුණු ආසියාවේදී උණුසුම් වන විට මුදාහරින ලද ” 1983 කළු ජූලිය” න්ම මහා ආඛ්‍යානය මත පදනම් “වාර්ගික- ආගමික ප්‍රචණ්ඩත්වය” පිළිබඳ වෙහෙසකාරි සහ නීරස අනු-ආඛ්‍යානයන් වෙනුවට පැවසීමට බොහෝ කතාවන් තිබේ.

සාහිත්‍ය සම්මාන දේශපාලනය සහ අහිමි හිරු නොබසින අධිරාජ්‍යයේ නොස්ටැල්ජික උත්සව

සාහිත්‍ය සම්මාන දේශපාලනය සහ ෂෙහාන් කරුණාතිලකගේ හෝ වී.වී. ඥානශාන්තන්ගේ නවකතාවල සුදුසුකම් පසෙකටලා දීප්තිමත් අමෙරිකානු ජනමාධ්‍යවේදී වින්සන්ට් බෙවින්ස්ට (Vincent Bevins) ගාලු සාහිත්‍ය සම්මාන උළෙලේදී දේශනයක් පැවැත්වීමට ආරාධනා නොකරන්නේ මන්ද, නැතහොත් බ්‍රිතාන්‍යයේ “අහිමි හිරු නොබසින අධිරාජ්‍යය” පිළිබඳ රෝස පැහැයෙන් පින්තාරු කරන ලද නොස්ටැල්ජික කාමය වෙනුවට අඳුරුවන් ස්වදේශිකයන්ගේ “ප්‍රචණ්ඩත්වය සහ දූෂණය” පිළිබඳ නිර්මිත ආඛ්‍යානයන්ගේ සැඟවුණු සත්‍යය ගැන ෆිල් මිලර්ගෙන් (Phil Miller) නොඅසන්නේ මන්ද? යන ප්‍රශ්ණ අපි අපගෙන්ම අසාගත යුතු වෙමු.

“කීනි මීනි: යුද අපරාධ කර නිදැල්ලේ සිටින බ්‍රිතාන්‍ය කුලී සොල්දාදුවෝ” ෆිල් මිලර්ගේ කෘතිය

වින්සන්ට් බෙවින් වනාහි සීතල යුද්ධ සමයේ එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි අංශය(Central Intelligence Agency- CIA) සහ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය වන MI-6 විසින් ආසියාවේදීත්, අප්‍රිකාවේදීත්, ලතින් ඇමෙරිකාවේදීත් කොමියුනිස්ට්වාදින්ට සහ සමාජවාදින්ට සහ රක්ත වාමාංශයට එරෙහිව දියත්කරන ලද ඝාතන මාලාවන් පිළිබඳව ලියැවුණු ” ජාකර්තා විධික්‍රමය”(The Jakarta Method) නම් කෘතියේ කර්තෘවරයාය. යටත්-විජිතහරණය සිදුවෙමින් පැවැති සිලෝන් නැතහොත් ශ්‍රී ලංකාව තුළ සහ අප්‍රිකානු-ආසියානු යටත් විජිත හෝ පශ්චාත් යටත් විජිත තුළ සිදු වූ සමහර සන්නද්ධ ගැටුම් පිළිබඳ සිදුවීම් සංදර්භගතකරණයට බෙවින්ගේ මෙම කෘතිය ආධාරයක් කර ගත හැකිය.

2020 දී ප්‍රකාශයට පත්කර ඇති ෆිල් මිලර්ගේ සහ වින්සන්ට් බෙවින්ස්ගේ නිර්භීත කෘතින් දෙක කියැවීම ප්‍රබන්ධ දහසක් කියවනවාට වඩා යහපත්ය. ඒවා පදනම්ව ඇත්තේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව, ආසියානු පදනම (Asia Foundation), විදේශ කටයුතු කාර්යාලය සහ අනෙකුත් බ්‍රිතාන්‍ය රාජ්‍ය ආයතන ආදියේ ලේඛනාගාරවල රහස්‍ය ලේඛන ලෙස පවත්වාගෙන යන ලදුව මෑතකදී පොදු මහජනතාව සඳහා මුදාහරින ලද ලේඛන මතය.
වින්සන්ට් බෙවින්ස්  සහ ෆිල් මිලර් විසින් රචිත මෙම කෘතින් දෙක තුළම අන්තර්ගත වඩාත්ම උනන්දුව දනවන දෙය නම්, ගෝලීය දකුණේ කොමියුනිස්ට්වාදින්ටත්, සමාජවාදින්ටත්, වාමාංශයට සහ සහ වෘත්තීය සමිතිවලටත් එරෙහිව දියත් කරන ලද ග්ලැඩියෝ පන්නයේ සීතල යුද්ධ අභිරහස් ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ සංහාරයන් තුළ ජීවත් වූ පුද්ගලයන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවන්ය.මෙම විෂය වෙත අපි පසුව නැවතත් එළැඹෙමු.

 

1965දී එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ඉන්දුනීසියානු කොමියුනිස්ට් සංහාරයේදී ජෙනරාල් සුහර්තෝගේ හමුවේ අත් අඩංගුවට පත් ඉන්දුනීසියන් කොමියුනිස්ට් පක්ෂ (PKI) සාමාජිකයෙක්

“කීනි මීනි” පිළිබඳ ෆිල් මිලර්ගේ කෘතිය පදනම්ව ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා ඔහු විසින් සිදු කරන ලද පර්යේෂණය මත වන අතර බෙවින්ස් ගේ “ජාකර්තා විධික්‍රමය” කෘතිය තුළ ඔහු 1965 දී ඉන්දුනීසියාවේ සිදු වූ කොමියුනිස්ට් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ ආණ්ඩු පෙරළීම් පිළිබඳව විස්තර කරයි. වියට්නාමය, ලාඕසය, කාම්බෝජය යන රටවල ඇමෙරිකන් ගැති ආණ්ඩු බිඳවැටීමෙන් පසු කොමියුනිස්ට්වාදය සමස්ත ආසියාව පුරාම ව්‍යාප්තවෙතැයි යන වොෂින්ටනයේ ඩොමිනෝ සිද්ධාන්තය අනුව සීතල යුද සමයේදී දියත් කරන ලද වක්‍ර යුද්ධවල ගොදුරු බවට පත්කරන ලද යටත් විජිතහරණය වෙමින් පැවැති සීලෝන් නැතහොත් ශ්‍රී ලංකාව තුළ සහ අනෙකුත් අප්‍රිකානු,ආසියානු හෝ ලතින් ඇමෙරිකානු පශ්චාත් යටත් විජිත හෝ යටත්විජිත රටවල් තුළ සිදුවූ ප්‍රචණ්ඩත්වයේ රටාවන් සංදර්භ-ගතකරණය සඳහා මෙම කෘතින් දෙක, අපට ආධාර කරයි.

එක්සත් ජනපදයේ CIA සහ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය වන MI-6 විසින් ආසියාවේදීත්, අප්‍රිකාවේදීත්, ලතින් ඇමෙරිකාවේදීත් කොමියුනිස්ට්වාදින්ට සහ සමාජවාදින්ට එරෙහිව දියත්කරන ලද ඝාතන මාලාවන් පිළිබඳව වින්සන්ට් බෙවින්ස් විසින් ලියන ලද  ” ජාකර්තා විධික්‍රමය”(The Jakarta Method) නම් කෘතිය

මේ මොහොත තුළ එක්සත් ජනපදය විසින් විදේශයන්හි ස්ථාපිත කර ඇති බදු වංචා පාරාදීසයන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ උවමනාවද ඇතුළුව යුරෝ ඇමෙරිකන් කෝපරේට් මූල්‍ය, ආර්ථික, සහ ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ලෝකය පුරා පිහිටුවා ඇති සිය හමුදා කඳවුරු 800කට වඩා යොදාගනිමින් ඔත්තු බැලීමේ සහ නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් පවත්වාගෙන යයි. මෙම යුද යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ පසුගිය සීතල යුද්ධ සමයේදී ස්වකීය යටත් විජිතවාදි බෙදා වෙන් කර පාලන කිරීමේ ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා වූ පුළුල් ගෝලීය උපායමාර්ගික අවශ්‍යතාවන් සාක්ෂාත් කරගැනීම සඳහාය.
මෙම උපාය මාර්ගය තුළ අප්‍රිකානු, ආසියානු ලතින් අමෙරිකානු යටත් විජිත සහ පශ්චාත් යටත් විජිතවල ආගම්, භාෂා සහ සංස්කෘතික වෙනස් කම් අවියක් බවට පත් කරමින් එකිනෙකාට එරෙහිව යොදවමින් ගැටුම් අවුළුවා ලන අතර ඒවා හුදෙක් දේශිය සහ අභ්‍යන්තරික සාධක මත පමණක් ඇති වූ ගැටුම් යැයි මවා පෙන්වීමට වැර දරයි. එලෙස අවුළුවන ලද ” වාමාංශික ත්‍රස්තවාදය” සහ වාර්ගික ආගමික සහ ජාතිකවාදි ප්‍රචණ්ඩත්වයන් හා සම්බන්ධිත වක්‍ර යුද්ධ පිළිබඳව තිත් යා කරමින් ශ්‍රී ලංකාවේ එවැනි ගැටුම් පිලිබඳ සමස්ත චිත්‍රය වටහා ගැනීමට ෆිල් මිලර් සහ බෙවන්ස්ගේ කෘතින් අපට සහාය වෙයි.
බටහිර රූකඩයක් ලෙසින් ක්‍රියාත්මක වූ සහ ඒ හේතුවෙන්ම “යැංකි ඩිකී” නමින් හඳුන්වන ලද ජේ ආර් ජයවර්ධන සහ ඔහුගේ එක්සත් ජාතික පක්ෂය 1977 දී කොළඹ බලයට පත්වූ පසු කලාපීය ආධිපත්‍යය දරන ඉන්දියාව සහ නව යටත් විජිතවාදි බටහිර අතර ශ්‍රී ලංකාව තුළදී දිගහැරුණු දකුණු ආසියාවේ වක්‍ර යුද්ධය හඳුනා ගැනීමට මිලර්ගේ කෘතිය අපට සහාය වෙයි. ඉන්දියාව සහ බටහිර අතර යුද්ධය ශ්‍රී ලංකාව තුළදී උත්සන්න වූයේ බ්‍රිතාන්‍ය, එක්සත් ජනපද සහ ඊශ්‍රායෙල් ඔත්තු සේවාවන්ට සහ කුලී හමුදාවන්ට ලංකාවට මැදිහත් වීමට අවස්ථාව සැලසෙන පරිදි 1983 දෙමළ විරෝධී ජනවර්ග සංහාරය සැලසුම් සහගතවම දියත් කිරීමෙන් පසුවය. ජනාධිපතිවරයාට ආරක්ෂාව සලසන ලද්දේ ද මේ ඔත්තු සේවා සහ කුලී හමුදා විසිනි.
මේ අනුව ශ්‍රී ලංකාවේ ජනවර්ග ගැටුම දකුණු ආසියානු කලාපයේ දිගහැරුණු සීතල යුද්ධය තුළ දියත් වූ වක්‍ර යුද්ධයක් ලෙසද අපට කියවිය හැකිය. ඉන්දියාව සෝවියට් සමාජවාදි සමූහාණ්ඩුව සමග මිත්‍ර රටක් වූ අතර එය ඒ වනවිටත් එක්සත් ජනපදයේ රූකඩ ආණ්ඩුවක් විසින් බලය හොබවන ලද පකිස්තානය සමග යුදවැදී තිබිණි. සිය බටහිර දේශසීමාවේ පැවැති මෙම ඇමෙරිකන් ගැති පකිස්ථානයට එරෙහිව සෝවියට් සංගමය එම යුද්ධයේදී ඉන්දියාවට ආධාර කළ අතර අතර එම යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස 1971 දී නැගෙනහිර පකිස්ථානය හෙවත් බංග්ලා දේශය බිහිවිය.
මේ හේතුවෙන් තවත් එක්සත් ජනපද හමුදා කඳවුරක් සිය දකුණු සීමාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරාය තුළ පිහිටුවනු දැකීමට ඉන්දියාවට අවශ්‍යතාවක් නොවීය. ඉන්දීය සාගරය තුළ වෙළඳ මාර්ගවල නිරීක්ෂණ කටයුතු පාලනය ව්‍යාප්ත කිරීමට වැදගත් අතිශයින් ගැඹුරු ස්වාභාවික වරායක් වූ ත්‍රිකුණාමල වරායේ ආධිපත්‍යය සඳහා වරෙක බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ලේ වැකි යුද්ධයක නිරතවූහ. මේ හේතුවෙන් ත්‍රිකුණාමලවරායේ ඇමෙරිකන් කඳවුරක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය යොමු වීම වැලැක්වීමේ අරමුණෙන් ඉන්දියාවේ පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය (Research and Analysis wing – RAW), හරහා ඉන්දියානු බුද්ධි සේවාවන් විසින් දෙමළ විමුක්ති කොටි සංවිධානයද ඇතුළු දෙමළ සටන්කාමි සංවිධානවලට ඇමෙරිකන් ගැති කො‍ළඹ පාලනයට එරෙහිව සටන් වැදීම සඳහා අරමුදල් සපයන ලදි.

දූපත්වාසි නොසැළකිල්ලේ තිරකඩ ඉරා දැමීම

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ජාතිවාදය සහ ආගම්වාදය අවුළුවාලන ලද බොදු බලසේනාවේ නායක ඥානසාර භික්ෂුව

“සීතල යුද්ධයේ ශ්‍රමණයෝ: බුද්ධාගම සහ දකුණු ආසියාව තුළ ඇමෙරිකාවේ රහසිගත උපායමාර්ගය” (Cold War Monks: Buddhism and America’s Secret Strategy in South Asia-Yale University Press; 2017)නම් කෘතිය ලියන ලද යේල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥ ඉයුජින් ෆෝර්ඩ් (Eugen Ford ) විසින් ෆිල් මිලර් සහ බෙවින්ස් සමග, ශ්‍රී ලංකාවේ වාමාංශිකයන්, වාර්ගික ජාතිකවාදින් සහ රාජ්‍යය අතර වේදනාකාරි ගැටුම් මෙන්ම යුද්ධයට හේතුවූ 1983 ජනවර්ග සංහාරය සහ කැරැළි පිළිබඳවද සංදර්භයක් ඉදිරිපත් කරන සීතල යුද්ධයේ පුළුල් භූ දේශපාලනික ගතිකයන් පිළිබඳව, කොළඹ ශාස්ත්‍රාලීය, දේශපාලනික සහ ව්‍යාපාරික බුද්ධිමතුන් අතර දිගු කලක් තිස්සේ මුල්බැසගත් දූපත්වාසි නොසැළකිල්ලේ තිරකඩ ඔසවා පෙන්වීමට උදව්කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය වෙතින් තවමත් නිදහස් වීමට නොහැකිව දඟලමින් සිටින, මෙම භූ මුලෝපායික වශයෙන් වැදගත් පශ්චාත් යටත් විජිතයේ දේශපාලනඥයන්ට අරමුදල් සපයමින් භාෂාමය සහ ආගමික අනන්‍යතා දේශපාලනය ආයුධ බවට පත් කිරීමද එයට ඇතුළත් වේ.

“සීතල යුද්ධයේ ශ්‍රමණයෝ: බුද්ධාගම සහ දකුණු ආසියාව තුළ ඇමෙරිකාවේ රහසිගත උපායමාර්ගය” නම් කෘතිය පදනම් වී ඇත්තේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ සහ ආසියානු පදනමේ (Asia Foundation) ලේඛනාගාරවල රහස්‍ය ලේඛන වර්ගීකරණය කර වසා තබන ලදුව දැන් එම වර්ගීකරණය ඉවත්කර මහජනයා වෙත විවෘත කර ඇති ලේඛන මතය.”අදේවවාදි” කොමියුනිස්ට්වාදින්, සමාජවාදින් සහ වාමාංශිකයන්ගේ බලය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ආගම් සහ ආගමික සංස්ථාවන්ගේ බලපෑම් ජාලයන් උපයෝගී කරගත් ආකාරය මෙම ලේඛනවල දැක්වේ.

බුරුමය (දැන් මියන්මාර්) තායිලන්තයෙන් ථෙරවාදී බුදුදහම ගෙන්වාගත් ශ්‍රීලංකාව ඇතුළු දකුණු ආසියාව තුළ කොමියුනිස්ට්වාදයේ සහ යටත්විජිත විරෝධී අරගල ව්‍යාපාරයේ ව්‍යාප්තිය සීමාකිරීම සඳහා ආසියානු පදනම (Asia Foundation) හරහා CIA සංවිධානය විසින් බුදුදහම ආයුධයක් බවට පත්කරගත් ආකාරය පිළිබඳ සාක්ෂි ෆෝර්ඩ් විසින් ඉදිරිපත් කර තිබේ. සහ “දකුණු ආසියානු නෙටෝ සංවිධානය” ලෙස හැඳින්වෙන අග්නිදිග ආසියාතික ගිවිසුම් සංවිධානයේ (The Southeast Asia Treaty Organization -SEATO) මූලස්ථානය පිහිටා ඇත්තේ තායිලන්තයේය. ෆෝර්ඩ් විසින් කරන ලද මේ හෙළිදරවු කිරීම්වලට සමාන්තරව බටහිර සහ මධ්‍යම ආසියාවේ මුස්ලිම් දහම ආයුධයක් ලෙස භාවිතා කරමින් කොමියුනිස්ට් සහ ජාතික විමුක්ති ව්‍යාපාරයන්ට එරෙහිව කටයුතු කළ ආකාරය ගැන පර්යේෂණ සිදුකර ඇති ඉතිහාසඥයන් විසින් තවත් හෙළිදරවු කිරීම් සිදු කර තිබේ.

“ජාකර්තා විධික්‍රමය” පන්නයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානද ඇතුළත් ඝාතක ලැයිස්තු ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව දියත් වූ 1983 ජන සංහාරයේදී යොදාගනු ලැබිණි. 1971දී සහ 1988-89 ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද නැගිටීම මර්දනය කිරීමේදී විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍ය ඝාතන සිදු වූ ආකාරයේ සහ 1965 දී CIA සංවිධානය විසින් මෙහෙයවන ලද කොමියුනිස්ට් විරෝධී මර්දනයේදී ඉන්දුනීසියාව පුරා විශ්ව විද්‍යාල තුළ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ ඝාතන අතර සමාන රටාවන් දැකිය හැකිය.
1983 ජූලි සංහාරය සහ ශ්‍රී ලංකාවේ පසුව ඇති වූ සන්නද්ධ ගැටුම් හේතුවෙන් සියවස් ගණනාවක් සමීපව ජීවත් වෙමින් නාගරික ප්‍රදේශවල සහ වෙරළබඩ ප්‍රදේශවල පරම්පරා ගණනාවක් අන්තර් විවාහ ආදිය සිදුකරගනිමින් එක්ව විසූ සිංහල සහ දෙමළ කතා කරන ප්‍රජාවන් අතර සමීප සබඳතා දුර්වල විය.

සීතල යුද්ධ සමයේදී ස්වකීය යටත් විජිතවාදි බෙදා වෙන් කර පාලන කිරීමේ ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා වූ පුළුල් ගෝලීය උපායමාර්ගයන් තුළ අප්‍රිකානු, ආසියානු ලතින් අමෙරිකානු යටත් විජිත සහ පශ්චාත් යටත් විජිතවල ආගම්, භාෂා සහ සංස්කෘතික වෙනස් කම් අවියක් බවට පත් කරමින් එකිනෙකාට එරෙහිව යොදවමින් ඒවා හුදෙක් දේශිය සහ අභ්‍යන්තරික සාධක මත පමණක් ඇති වූ ගැටුම් යැයි පෙනී යන පරිදි අවුලුවාලීමේ උපායමාර්ගයේ සංදර්භය තුළ තබා ශ්‍රී ලංකාවේ ” වාමාංශික ත්‍රස්තවාදය” සහ වාර්ගික ආගමික සහ ජාතිකවාදි ප්‍රචණ්ඩත්වයන් හා සම්බන්ධිත වක්‍ර යුද්ධ පිළිබඳ සඟවා ඇති යථාර්ථය අවබෝධ කරගැනීමට බෙවින් , ෆෝර්ඩ් සහ ෆිල් මිලර් යන තිදෙනා විසින් අතිශය නිරවද්‍ය පර්යේෂණ මත පදනම්ව ලියා ඇති මෙම කෘතීන් අපට ආධාර කරයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව දකුණු ආසියාව තුළ බලය පිරිහුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේද නැගී එමින් පැවැති එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේද ආර්ථික සහ ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා මෙම උපාය මාර්ගයන් අනුගමනය කළ බව පෙනී යයි.

ග්ලැඩියෝ පන්නයේ ” පිටුපසින් සිට” දියත් කරන ලද මෙහෙයුම් හරහා බෙදා වෙන්කර පාලනය කිරීමේ වක්‍ර යුද්ධ, යටත් විජිතවාදයෙන් මිදීමේ අරගලයක නිරතව සිටි තෙවන ලෝකය තුළ දිගටම පවත්වාගෙන ලදි. මේ වනවිට ලෝකය පුරා එක්සත් ජනපදය විසින් හමුදා කඳවුරු 800ක් පවත්වාගෙන යයි. ඒවායේ අරමුණ මේ මොහොත තුළ විදේශයන්හි ස්ථාපිත කර ඇති බදු වංචා පාරාදීසයන්ද ඇතුළත් යුරෝ ඇමෙරිකන් සහ සන්ධානගත කෝපරේට් මූල්‍ය, ආර්ථික සහ ආරක්ෂත අවශ්‍යතාවන් සහතික කිරීමය. මෙම හමුදා කඳවුරු තුළ ඔවුහු සිදු කරමින් සිටින්නේ රෝස සහ දිය මානෙල් මල් වගාකිරීම නොවේ.

සුදු කුලී හේවායන් සහ සුදුම සුදු දුෂ්ටත්වය: කොක්ටේල් වීදුරුව තුළ අත් බෝම්බ

ෆිල් මිලර්ගේ පොත, කලක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති භූ උපායික වශයෙන් අතිශයින් වැදගත් මෙම දිවයින තුළ වසර 30ක් පුරා පැවැති සන්නද්ධ සන්නද්ධ අරගලය ව්‍යුහාත්මකව හැඩගැස්වීම සඳහා බ්‍රිතාන්‍ය කුලී හමුදාවන්, විශේෂ මෙහෙයුම් බලකායන් සහ රහස් ඔත්තු සේවාවන් විසින් රහසිගතව රඟ දක්වන ලද භූමිකාව හෙළිදරවු කරයි. එමෙන්ම එම පොත විසින් සීතල යුද්ධයේ ගෝලීය භූ දේශපාලන පොරපිටිය දකුණු ආසියාව තුළ සහ විශේෂයෙන්ම පැහැදිලිව පෙනෙන පරිදි ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර ගැටුමක් ව්‍යුහගත කළ ආකාරය පිළිබඳ තවත් පැතිකඩක් හෙළිදරවු කරයි

ෆිල් මිලර්

 

ෆිල් මිලර්ගේ පොත ආරම්භවන්නේ 1983 දී හිටපු කීනි මීනි කුලී හමුදාව (Keenie Meenie Mercenaries) සහ හිටපු SAS නිලධාරින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ විස්තරයකිනි. කීනි මීනි නැතහොත් KMS කුලීහමුදාව (දැන් Saladin London නමින් හැඳින්වේ.) ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ ඊශ්‍රායෙල් මොසාඩ් සේවයේ ඒජන්තයන්‌ගේද දායකත්වය සහිතව ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකාය (Special Task Force -STF), පිහිටුවීම සහ පුහුණු කිරීම සඳහාය.පසුකාලීනව මෙම විශේෂ කාරය බලකායට දරුණු මානව හිමිකම් සහ යුද අපරාධ පිළිබඳව චෝදනා උතුරු නැගෙනහිර පළාත්වලින් මෙන්ම දකුණේ සිංහල පලාත්වලින්ද එල්ල වී තිබිණි.

“මොසාඩු” නමින් හැඳින්වෙන කීනි මීනි සේවයට අයත් ගුවන් නියමුවන් විසින් හමුදා හෙළිකොප්ටර් පදවමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ මඩකලපුවේ දිස්ත්‍රික්කයේ ගම් වැසියන් මතට බොම්බ හෙළන ලද ආකාරය විස්තර කරයි. උත්ප්‍රාසයකට මෙන් නැගෙනහිර පලාතේ පිහිටි මෙම බහු සංස්කෘතික ගම්මානවල වැසියන් සමහරෙකු පසුකාලීනව බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා තිබුණි. මෙම විශේෂ කාර්ය බලකායන්ගේ පුහුණු කඳවුරු අධීක්ෂණය කරන ලද්දේ හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධනගේ පුතා වූ රවි ජයවර්ධන විසිනි. තායිලන්තයේදී තාවකාලිකව බුදු සසුනේ පැවිදි වී චීවරය ලාගත් රවි ජයවර්ධන අති දක්ෂ වෙඩික්කාරයෙකු යැයි කියනු ලැබේ. පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඔහු අනතුරුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. වරෙක ඊශ්‍රායෙලයට ගිය රවි ජයවර්ධන එහි පලස්තීන වැසියන් පලවා හැර ඊශ්‍රායෙල් හමුදා විසින් අත්පත් කරගත් ප්‍රදේශවල සන්නද්ධ ඊශ්‍රායෙල් ජාතිකයන් යොදමින් ජනපද බිහිකළ ආකාරය පිළිබඳව ආකර්ෂණය වී එම වැඩ පිළිවෙල ලංකාවේ නැගෙනහිර දෙමළ ගම්මාන මුලිනුපුටා දමමින් සිංහලජනපදකරණය සඳහා සන්නද්ධ සිංහල සිවිල් වැසියන් යොදා ගැනීම පිණිස අත්හදා බැලීමට කටයුතු කළේය. ඔහු තමන්ගේම දෛවය තීරණය කරනු ලැබුවේද නැතහොත් අනෙකුත් පුද්ගලයන් විසින් ඔහු මත පටවන ලද “ඇදහීම් ජාලයන්ගේ” සහ බල ව්‍යුහයන්ගේ පැටැලී සිටියේද?

“මොසාඩු” යනු විදේශික සුදු කුලී හේවායන් නැතහොත් ඊ්‍ශ්‍රායෙල් බුද්ධි සේවය හැඳින්වීම සඳහා ස්වදේශිකයන් විසින් භාවිතා කරන ලද නමකි. බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති පරිදි ” බ්‍රිතාන්‍ය මොසාඩු” හේවායන් විසින් ත්‍රිකුණාමලය වරාය කඳවුරේ නිලධාරින් සඳහා වෙන් වූ භෝජනාගාරයෙන් ගත් කොක්ටේල් වීදුරු තුළට අත්බෝම්බ දමා සිවිල් වැසියන්ට දී තිබේ.
1987-90 කාලය තුළ ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට පැමිණී සංදර්භය තුළ ශ්‍රී ලංකාවේ “වාර්ගික යුද්ධය” වෙත ඉන්දීය රහස් ඔත්තු සේවාවන්ගේ මැදිහත්වීම් ඉතා ප්‍රසිද්ධ කරුණක් වුවද බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවාවන්ගේ සහ ඊශ්‍රායෙල් මොසාඩ් සේවයේ භූමිකාවන් දැඩි රහසක් ලෙස පවත්වාගෙන යනු ලැබිණි. ලංකාව තුළ ඊශ්‍රායෙල් මැදිහත්වීම් පිළිබඳව තොරතුරු හෙළිදරවු කරමින් ඊශ්‍රායෙල් බුද්ධි නිලධාරියෙකු විසින් පොතක් ලියන ලදි. “The Mossad Report” පදනම්ව ඇත්තේ ඒ මතය.

රවි ජයවර්ධන විශේෂ කාර්ය බලකා සෙබළුන්ගේ විසිර යාමේ උත්සවයකදී

ඉන්දියාව කොමියුනිස්ට්වාදි සෝවියට් සංගමය සමග පවත්වාගෙන ගිය උපායමාර්ගික සන්ධානය හේතුවෙන් ඉන්දියාවට ආසන්නව පිහිටි මෙම දිවයිනේ භූ දේශපාලනික වැදගත්කම බටහිර කඳවුර සඳහා ඉහළ ගිය අතර බටහිර රටවල විශේෂ හමුදාවන් සහ කුලී හේවායන්ද ඔත්තු සේවාවන්ද ලංකාවට පැමිණියේ එම වටපිටාව තුළය. 1970-77 කාලයේදී පැවැති සිරිමා බණ්ඩානායක – වාමාංශික හවුල් ආණ්ඩුව පැවැති කාලයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබූ යහපත් සබඳතා බිඳ වැටීම සිදු වූයේ ශ්‍රි ලංකාව තුළ ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් බටහිර ගැති ආණ්ඩුවක් පිහිටුවීමත් සමගය. ජේ.ආර්ගේ රජය යටතේ ඉරණවිල Voice of America ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටුවීම නවදිල්ලි පාලකයන්ගේ දැඩි අවධානයට යොමු වූ කරුණක් වූ අතර ත්‍රිකුණාමලය වරායේ ඇමෙරිකන් නාවික හමුදා මූලස්ථානයක් පිහිටුවීම වළක්වන්නට හැකි සෑම පියවරක්ම ගන්නට ඉන්දියාව තීරණය කළ පෙනිණි. ජේ.ආර් ජයවර්ධනගේ ආණ්ඩුව පාලනය කිරීමේ ලීවරයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ සටන්කාමි සංවිධාන උපක්‍රමිකව යොදාගන්නට ඉන්දියාවේ බුද්ධි සේවය වන පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය විසින් ඒ අනුව තීරණය කරන ලදි.
සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර කලක් තිස්සේ උත්සන්න වෙමින් පැවැති භාෂාමය ආතතීන් ආයුධයක් බවට පත් කිරීම සිදුවූයේ එක්සත් ජනපදයේ පිටුබලය ලත් ජේ. ආර් ජයවර්ධන 1977 දී බලයට පත්වීමත් සමගය.

“මොසාඩු”: ආගම යුද අවියක් බවට පත් කිරීම? බෞද්ධ සහ ඉස්ලාම් ශිෂ්ටාචාමය ගැටුමක් කරළියට ගෙන ඒම

නැගෙනහිර පලාතේ චිරාත්කාලීනව පැවැත ආ දෙමළ මුස්ලිම් සබඳතාවන් සහ සහජීවනය ක්‍රමානුගත ලෙස ප්‍රහාරයට ලක්කරමින් බිඳ දැමීම සිදු වූයේ සන්නද්ධ ගැටුමේ දෙවැනි දශකයේදී ඊශ්‍රායෙලයේ මැදිහත්වීමෙන් දියත් කෙරුණ “ත්‍රස්ත විරෝධී මෙහෙයුම්” ඇරඹීමත් සමගය. අතිශයින් බහුසංස්කෘතික නැගෙනහිර පළාත තුළ විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කරනු ලැබුන අතර මොසාඩ් සංවිධානයද මෙම පලාත තුළ එම කඳවුරු මත පදනම්ව සිය මෙහෙයුම් උත්සන්න කරමින් සිටියේය. මෙම මොසාඩ් ඒජන්තයන් වූ කලී පලස්තීනයේ මුස්ලිම් සහ ක්‍රිස්තියානු ප්‍රජාවන් අතර ආගමික වෙනස්කම් ආයුධයක් ලෙස යොදාගනිමින් දියත් කළ ඊශ්‍රායෙල් රාජ්‍යයේ “ත්‍රස්ත විරෝධී මෙහෙයුම්” තුළ විශාල අත්දැකීම් සහිත වූවෝ වූහ.

සැලසුම් සහගතවම ආගම් අතර මෙන්ම ඒවා තුළද වන ගැටුම් ශීඝ්‍රයෙන් ඉහල නංවන ලදි. දෙමල සහ මුස්ලිම් සමාජයන් එකිනෙකා කොටවා ඇණ මරාගැනීමට සැලැස්වීම ඉලක්ක කොටගත් කාත්තන්කුඩි මුස්ලිම් ඝාතනය වැනි සිදුවීම් සැලසුම් සහගතවම දියත් කරනු ලැබිණි. කලක් දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග එක්ව ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව අරගලයක නිරත වූ මුස්ලිම් ජනයා සමූහ වශයෙන් නැගෙනහිරෙන් සහ උතුරෙන් පලායාම ආරම්භ විය.ත්‍රස්ත විරෝධී මෙහෙයුම් දියත් කරමින් සිටි සුදු යුරෝපීය කුලී හේවායන් සහ විශේෂ මෙහෙයුම් බලකායන් විසින් දෙමල විමුක්ති කොටි සංවිධානයේ නැගෙනහිර නායකත්වය එම සංවිධානයෙන් බිඳී ඉවත්ව යාමට සලස්වන රහසිගත මෙහෙයුම් දියත් කරන ලද අතර එමගින් එම සංවිධානය දුර්වලකරන ලදි.

නැගෙනහිර පලාතේ මුස්ලිම් සහ දෙමල ජනතාවන් අතර පැවැති සම්බන්ධය ගිනි තබා අළු බවට පත්කිරීමට විදේශිය ඔත්තුසේවා සහ කුලී හේවායන් කටයුතු කළ ආකාරය මිලර්ගේ කෘතිය තුළ සවිස්තරාත්මකව දැක්වේ. මොසාඩ් සංවිධානය අද දක්වාම මඩකලපුව දිස්ත්‍රික්කය තුළ මුස්ලිම් ප්‍රජාවන් අතර ක්‍රියාත්මක වන අතර සවුදි අරාබියෙන් සැපයෙන අරමුදල් දේශපාලනඥයන් අතර සංසරණය වෙමින් පවතියි. ප්‍රචණ්ඩත්වයේ රැළිමාලාවන් නිර්මාණය කිරීම පිණිස ක්‍රිස්තියානි ප්‍රජාවට ප්‍රහාර එල්ලකරමින් මුස්ලිම් ප්‍රජාවට ඒ පිලිබඳව දෝෂාරෝපණය කිරීම මොසාඩ් මෙහෙයුම්වලට ආවේණික ලක්ෂණයකි. මෑතකදී ඊශ්‍රායෙලය විසින් ආක්‍රමණය කරන ලද සිරියාවට අයත් ගෝලාන් කඳුකරයේ මජ්දාල් ෂාම්ස් නම් ක්‍රිස්තියානි ප්‍රදේශයේ ළමා ක්‍රීඩා පිටියකට එල්ල කරන ලද ප්‍රහාරය නිදසුනක් ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් සහ කතෝලික පල්ලි ඉලක්ක කරමින් දියත් කරන ලද 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවසන් අරමුණ ලෙස සැළ සැළකිය හැක්කේ බෞද්ධ- ඉස්ලාම් ප්‍රජාවන් අතර “ප්‍රචණ්ඩත්වයේ රැළි මාලාවන්” නිර්මාණය කිරීම බව පැහැදිලිය. I2U2 හෙවත් ඉන්දියා-ඊශ්‍රායෙල්-එක්සත් ජනපද- එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයන්ගේ ඉන්දීය සාගර කලාපය තුළ කල්ලි ගැසීමේ ඉලක්කය ඉස්ලාම්, හින්දු ශිෂ්ටාචාරමය ගැටුමක් ඇති කරමින් ආසියානු 21 වැනි සියවස ඉන්දීය සාගරය තුළම ගිල්වා දැමීමය.

ISIS සංවිධානය විසින් සිදුකරන ලදැයි පැවසුන 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගුප්ත අභිරහස් ස්වභාවය තවත් තීව්රව ඇත්තේ එම ප්‍රහාර මාලාව තුළම මඩකලපුවේ සියොන් පල්ලියටද ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙනි. පෙනී යන පරිදි එය තමන්ගේ අරමුණක් සහිත එකක් විය හැකිය. කිංග්ස්බරි හෝටලයට එල්ලවූ ප්‍රහාරයෙන් චීන ජාතික සාගර විද්‍යාඥයන් සිව් දෙනෙකු මරණයට පත් වූහ. ඔවුන් ලංකාවට පැමිණ සිටියේ චීන ෂි යෑන් 3 නොෟකාවෙනි. ඒ ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය (National Aquatic agency-NARA), ) සමග ඒකාබද්ධව පැවැත්වීමට නියමිතව තිබූ සාගර පර්යේෂණ කටයුතු සඳහාය. මෙම පර්යේෂණ ප්‍රහාරයෙන් පසුව නවතා දමන ලදි. ශ්‍රී ලංකාවට පැමැණීමට නියමිත නව ඇමෙරිකානු තානාපතිනිය එලිසබෙත් හෝර්ස්ට්(Elizabeth Horst) එක්සත් ජනපදයේ සෙනේට් මණ්ඩලයේ විදේශ සම්බන්ධතා කමිටුව ඉදිරියේ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ එක්සත් ජනපද ආණ්ඩුවේ ඉහළම ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ චීනය විසින් ශ්‍රී ලංකාව තුළ සිදුකරන ගවේෂණ නැවැත්වීම සඳහා බවයි. එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවය වන CIA සංවිධානය සහ ඊශ්‍රායෙල් මොසාඩ් සංවිධානය ඉතා සමීපව කටයුතු කරති.

2004 දී නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ සුනාමියෙන් විනාශ වූ පසුව එම ප්‍රදේශවල දරුණු ඉඩම් කොල්ලයක් සිදුවිය. මුහුදු යට සන්නිවේදන දත්ත කේබල්වල ආරක්ෂාව තහවුරු කිරීමේ මුවාවෙන් විදේශික සංචාරකයන්ට ආකර්ෂණයක්ව ඇති ආරුගම්බේ වෙරළාසන්න ප්‍රදේශයද ඇතුළුව මෙවැනි භූඋපායික වශයෙන් වැදගත් බොහෝ මුහුදු බඩ ප්‍රදේශවල මොසාඩ් සංවිධානයේ ඒජන්තයන් ස්ථාන ගතව සිටිති. චීනය සමග සීතල යුද්ධය උත්සන්න වෙමින් පවතින අතර 2004 දී ඉන්දීය සාගරයේදී මතු වූ සුනාමිය මුහුදු යට න්‍යෂ්ටික පිපිරවීමක් හේතුවෙන් සිදු වූවක් යැයි සැළකෙන අතර එමගින් ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දුනීසියාවේ අචේ වෙරළ බඩ තීරයන්හිදී විශාල විනාශයක් සිදු විය.

අනූව දශකයේ අගභාගයේදී , මා විසින් ශ්‍රී ලංකාවේ බහු සංස්කෘතික මායිම් ප්‍රජාවන් අතර, සන්නද්ධ ගැටුම පිළිබඳව පර්යේෂණයක් සිදු කරනු ලැබිණි. මෙම ගැටුම් වනාහි වරෙක යාපනය විශ්ව විද්‍යාලීය ආචාරයවරුන්ගේ සංගමය (UTHR-J) විසින් නිකුත් කරන ලද පොතක නමක දැක්වෙන පරිදි “වෙනත් එවුන්ගේ යුද්ධයක්” (Someone Else’s War) බව දැන් පැහැදිලිය.

තිත් යාකිරීම: ග්ලැඩියෝ සිට සියාටෝ (SEATO) දක්වා, සීතල යුද්ධයේ ආර්ථික කම්පනවල ගොදුරක් වූ පශ්චාත් යටත් විජිතය

ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණුතම ” වාර්ගික සහ ආගමික” ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූයේ බටහිර ගැති, ලිබරල් එක්සත් ජාතික පක්ෂ රජයක් බලයේ සිටියදී වීම විශ්මය දනවන දෙයක් ලෙස යමෙකුට පෙනී යාහැකිය. 1983 ජූලි සිදුවීම් වැනි හයිබ්‍රිඩ් යුද මෙහෙයුම් හරහා සිදුකරන ලද කම්පන වල එක් ඉලක්කයක් වූයේ විශාල බුද්ධිගලනයක් සිදුවන පරිදි භීෂණයත් ඇතිකිරීම සහ ආර්ථිකය විනාශයක් සිදු කිරීමය. මෙමගින් නව ලිබරල්වාදි ආර්ථික ප්‍රතිසංස්කරණ නිර්බාධිතව සිදු කිරීම සඳහා ස්වකීය දේශිය ඒජන්තයන් සහ අනෙකුත් “විශේෂඥයන්” රාජ්‍ය ආයතන තුළ ස්ථානගත කිරීමට විදේශීය බුද්ධි සේවාවන්ට හැකි විය.

මෙම පශ්චාත් යටත් විජිතයේ ආරක්ෂක සහ නීති පද්ධතින් විනිවිදීමද, සිවිල් සමාජය සහ පර්යේෂණ සංවිධානවලට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් මෙහෙයවන NED වැනි ආයතන මගින් අරමුදල් සපයමින් ඒවා මෙහෙයවීම, 2019 පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් වූ බලගතු බාහිර බලවේගයන් වසන් කිරීම සඳහා සිදුකරන පර්යේෂණ සහ පොත් එළිදැක්වීම්, නයෝමි ක්ලයින් සිය “The Shock Doctrine: The Rise of Disaster Capitalism” නම් කෘතියේ විස්තර කර ඇති “ව්‍යසන ධනවාදයේ” කෘරතම ආකාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩකඩ විවර කරගැනීම ආදියද එයට ඇතුළත්ය

අපරාධකරුවන්‌ගේ සහ බුද්ධි සේවාවල ගෝලීය සහ දේශීය සංවිධාන ජාලය විසින්, පූර්ව සහ පශ්චාත් ආඛ්‍යානයන් සමග ක්‍රීඩාවක නිරතවෙමින් අද ශ්‍රී ලංකාව තුළ සිදුවන විනාශකාරි ජනතා විරෝධී ක්‍රියාමයේ පිටුපසින් සිටින සැබෑ බාහිර මහමොළකරුවන් සාර්ථක ලෙස වසන් කිරීමට කෘත්‍රීම බුද්ධිය විසින් මෙහෙයවන සංකීර්ණ ක්‍රම පද්ධති විශ්ලේෂණ යොදා ගනු ලබයි.

2022 අප්‍රේල් මාසයේදී වේදිකා ගත කරන ලද ” රට බංකොළොත්වීමේ නාඩගම” හරහා රටේ ආර්ථික ස්වෛරීත්වයත්, ප්‍රතිපත්ති සම්පාදනයේ නිදහසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් උදුරාගැනීමෙන් පසුව මේ වනවිට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Bill and Melinda Gates Foundation) ආඛ්‍යානය සහ දත්ත සමග ක්‍රීඩා කිරීමේ සිය කටයුතු වඩාත් පහසුවෙන් සිදු කිරීම සඳහා ජනාධිපති කාර්යාලය තුළම සිය මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. ඔවුන් විසින් රට බංකොළොත් බව ප්‍රකාශ කරන ලද්දේ රටට “අසාධාරණ ලෙසින් වරප්‍රසාදිත ඇමෙරිකන් ඩොලර් හිඟයක් ” පවතින බව ප්‍රකාශ කරමිනි.

ඉයුජින් ෆෝර්ඩ්ගේ “සීතල යුද්ධයේ ශ්‍රමණයෝ: බුද්ධාගම සහ දකුණු ආසියාව තුළ ඇමෙරිකාවේ රහසිගත උපායමාර්ගය” නම් කෘතිය

ග්ලැඩියෝ පන්නයේ ‘stay behind” යුරෝපයේදී යොදාගත් ආකාරයටම නිශ්චිතවම ශ්‍රී ලංකාව තුළ යොදාගන්නට ඇත.
ශ්‍රී ලංකාව 1972 වනතෙක් පැවැතියේ බ්‍රිතාන්‍යයට අයත් ඩොමිනියන් රාජ්‍යයක් ලෙසය. ආසියානු සහ අප්‍රිකානු මහාද්විපවල බොහෝ රටවල සිදුවූවාක් මෙන් ඝාතන, කුමන්ත්‍රණ සහ සිය රූකඩ බලයට ගෙන ඒම සඳහා සිදු කරන ආණ්ඩු පෙරලීමේ මෙහෙයුම් ආදිය සීතල යුද්ධය තුළ සිදුවන රහසිගත සහ වක්‍ර යුද්ධ කටයුතු ලංකාවේද සිදු විය. බටහිර රටවල් විසින් පිටුපසින් සිට මේවා මෙහෙයවන ලද්දේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව පුළුල් සමාජවාදි කඳවුරක් බිහිවීමත්, කලින් යටත්විජිත ලෙස පැවැති රටවල් අති බහුතරයක් බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබාගැනීමත් හේතුවෙන් බියටත් කැළැඹීමටත් පත්ව පසුබසිමින් සිටි බටහිර රටවල ආර්ථික, ආරක්ෂක උවමනාවන්ද සහ අහිමි ගෝලීය ආධිපත්‍යය නැවතත් ලබාගැනීමේද අරමුණු ඉටුකර ගැනීම සඳහාය.

ග්ලැඩියෝ (Gladio) යනු, දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපය තුළ රටවල් ගණනාවක් පුරා රහසිගත කොමියුනිස්ට් විරෝධී මෙහෙයුම් සඳහා භාවිතා කළ සංකේත නාමයයි මෙම මෙහෙයුම් යටතේ සතුරු ආක්‍රමණයකදී තමන්ට අත්හැර යන්නට සිදුවෙතැයි සිතෙන සිය බල ප්‍රදේශ තුළ පසුව සතුරාට එරෙහිව ඝාතන, මහජන, කැලැඹිලි, ඔත්තු බැලීම් සහ කඩාකප්පල්කාරි ක්‍රියාවන් වැනි රහසිගත මෙහෙයුම් සඳහා යොදාගැනීමේ අරමුණෙන් සිවිල් හෝ මිලිටරිමය විශේෂ මෙහෙයුම් කණ්ඩායම් රහසිගත ලෙස ස්ථානගත කිරීම සිදු කෙරේ

එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් කොමියුනිස්ට් සෝවියට් සංගමයට විරුද්ධව කටයුතු කිරීමටත් එහි බල ව්‍යාප්තිය සීමා කිරීමටත් පැරා මිලිටරි සංවිධාන ගොඩ නැගීමට තීරණය කරන ලදි. “පිටුපසින් සිට” (stay-behind) ක්‍රියාත්මක වූ මෙම පැරා මිලිටර් කණ්ඩායම් “stay-behind units” ලෙසද හැඳින්විණි. මෙම රහසිගත ඒකක නිර්මාණය කරන ලද්දේ හිටපු විශේෂ මෙහෙයුම් බලකායන්ගේ දැඩි කැපවීමක් සහිත නිලධාරින්ගෙනි. ඔවුන්ගේ කාර්යභාරය වූයේ සතුරු බල ප්‍රදේශය තුළ රැඳී සිටිමින් රහසිගත ගරිල්ලා යුද්ධයක් සහ කඩාකප්පල්කාරි ක්‍රියා දියත් කිරීමය. ස්විස් ජාතික ඉතිහාසඥ ඩැනියෙල ගැන්සර් (Daniele Ganser) විසින් ලියන ලද Gladio: NATO’s Stay Behind Army යන කෘතිය තුළ ග්ලාඩියෝ මෙහෙයුම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කර තිබේ.

1970දී බලයට පත් ශ්‍රිලනිප-වාම හවුල් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කෙරෙන ව්‍යවස්ථාවක් සම්මත කළ අතර ඒ වෙනුවෙන් 1972 මැයි මාසයේදී නිකුත් කරන ලද මුද්දරය

ස්වකීය අධිරාජ්‍යවාදි ආර්ථික සහ ආරක්ෂක උවමනාවන් වෙනුවෙන් සිය පැරණි යටත් විජිතයන් තුළ සිය බලපෑම දිගටම පවත්වාගෙන යාම සඳහා බ්‍රිතාන්‍ය විසින් සිය “නික්ම යාමේ” උපායමාර්ගය ලෙස ග්ලැඩියෝ මෙහෙයුම්වලට අමතරව බෙදා වෙන්කර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදය විසින් ලෝකයේ බොහෝ තැන්වලදී සාර්ථක ලෙස අත්හදා බලා ඇති උපක්‍රමය අනුව රටවල් බෙදීම, සහ වාර්ගික-ආගමික ගැටුම් ඇවිලවීම ආදියද සිදුකරයි. මෙම සැලසුම ඉතා පැහැදිලිව දකුණු ආසියාව සහ පලස්තීනය තුළ දැකිය හැකිය. ඒවා බෙදා වෙන් කරනු ලැබුවේ 1940 ගණන්වල දී බ්‍රිතාන්‍යයෙන් “නිදහස” ලැබූවද තවදුරටත් ඒ මතම රඳා පැවැතීමට එම රටවලට සිදුවන පරිදිය. ශ්‍රි ලංකාව දිගටම බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඩොමිනියන් රාජධානියක් ලෙස 1948න් පසුවද පැවැති අතර එය සැබෑ ලෙසම බ්‍රිතාන්‍යයෙන් නෛතිකව නිදහස ලැබුවේ සමාජවාදි පක්ෂ හා හවුලේ ගොඩනගන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ 1972 දී සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව අනුවය.

සීතල යුද්ධ සමයේදී යුරෝපය සඳහා උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයද (North Atlantic Treaty Organization -NATO) සහ ආසියාව සඳහා අග්නිදිග ආසියාතික ගිවිසුම් සංවිධානය (Southeast Asian Treaty Organization -SEATO) මෙන්ම ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයද ( Australian Security Intelligence Organization – ASIO) ගොඩ නගන ලද්දේ යුරෝපයේ සහ ආසියාවේ කොමියුනිස්ට් වාදය ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණෙනි.

ඉහත බටහිර ආධිපත්‍යය සහිත මිලිටරි සන්ධානය යොදාගනු ලැබුවේ තුන්වන ලෝකයේ රටවල යටත් විජිතවාදයෙන් නිදහස්වීමේ ව්‍යාපාර සහ ජාතික විමුක්ති ව්‍යාපාර වැළැක්වීමටත් තෙවන ලෝකයේ නිදහස් රටවල් බහුතරයක් එක්ව සිටි නොබැඳි රටවල සම්මේලනය(Non-Aligned Movement -NAM), කඩාකප්පල් කිරීම සඳහාත්ය. SEATO සන්ධානය ගොඩ නගන ලද්දේ එවකට එක්සත් ජනපද ජනාධිපතිව සිටි අයිසන්හවර්(Eisenhower) විසිනි. එහි මූලස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිටා ඇත. පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ බුරුමය ආදි රටවල්ද ඇතුළු දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් තුළ සහ අතර වක්‍ර යුදගැටුම් ඇති කර පවත්වාගෙන යාමේ උපක්‍රමයට ආධාර වනු සඳහාය. එමෙන්ම බුදු දහම සහ ඉස්ලාමය අතර ගැටුම් ඇතිකරවීම වැනි ආගමික ගැටුම් ඇතිකිරීම සඳහාද මෙම බටහිර මිලිටරි සන්ධාන රහසිගතව ආධාර කරති.

පසුකාලයේදී අයිසන්හවර් ඇමෙරිකානු ජනතාවටත් අභිනවයෙන් පත් වූ නව ජනාධිපති ජෝන් එෆ් කෙනෙඩිටත් අනතුරු අඟවමින් පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩාත් විශාල තර්ජනයක් එල්ලවෙමින් පවතින්නේ එක්සත් ජනපදයේ මිලිටරි කාර්මික සංකීර්ණයෙන් (මිසෙක කොමියුනිස්ට් රුසියාවෙන් හෝ චීනයෙන් නොවන) බවය. ජෝන් එ‌ෆ් කෙනෙඩි(John. F. Kennedy ) 1963 දී ඝාතනයට ලක්වූ අතර එය එක්සත් ජනපදයේ මිලිටරි කාර්මික සංකීර්ණයේ අවශ්‍යතාව මත එක්සත් ජනපද රහස් ඔත්තු සේවාවන් විසින් සිදු කළ එකක් බව සැක කරනු ලැබේ.

සියාටෝ සන්ධානය පිළිබඳ CIA අවසරය ලද කථා පුවතට අනුව[1]
” සෑම දිශාවකම නිදහස ආරක්ෂා කළ යුතුය.සෑම ආරක්ෂක සාමූහිකයක්ම සතුව ඒවාටම ආවේණික ලක්ෂණ තිබේ. SEATO, NATO, CENTRO සහ අනෙකුත් කණ්ඩායම් ගොඩනගා ඇත්තේ ලෝකය පුරාම විවිධ ප්‍රදේශවලදී කොමියුනිස්ට්වාදයෙන් එල්ලවී ඇති බැරෑරුම් තර්ජනයට මුහුණදීමේදී මතුවන විශේෂ තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකිවන පරිදිය”

1954 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, තායිලන්තය සහ පකිස්ථානය යන රටවල් එක්ව අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය හෙවත් සියාටෝ (SEATO) පිහිටුවා ගත්හ. මෙම සංවිධානය පිහිටුවීමේ අරමුණ සෝවියට් දේශයේ බලපෑම හේතුවෙන් කලාපය තුළ බටහිර හිතවාදි රාජ්‍යයන් එකින් එක බිඳ වැටී කොමියුනිස්ට්වාදය තහවුරු වීම වැළැක්වීමය. එමෙන්ම මධ්‍යම ගිවිසුම් සංවිධානය නැතහොත් “සෙන්ටෝ” (Central Treaty Organization-CENTO) පිහිටුවන ලද්දේ එක්සත් ජනපද නායකත්වයෙන් බටහිර ආසියානු රාජ්‍යයන්ගේ ආරක්ෂක ගිවිසුම් හවුලක් පිහිටුවීම සඳහාය. මෙය මැදපෙරදිග ගිවිසුම් සංවිධානය (Middle East Treaty Organization -METO) ලෙසද බැග්ඩෑඩ් ගිවිසුම ලෙසද හඳුන්වනු ලැබේ. ඉරානය, ඉරාකය, පකිස්ථානය, තුර්කිය, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය යන රටවල් විසින් මෙය 1955 පෙබරවාරි 24 වැනිදින පිහිටුවන ලදි. කෙසේ වුවද මැද පෙරදිග රටවල් රැසක බටහිර විරෝධී හෝ සෝවියට් හිතවාදි ආණ්ඩු බිහිවීම සහ වෙනත් හේතුවල බලපෑම මෙම CENTO සන්ධානය 1979 මාර්තුවලදී විසුරුවා හරින ලදි. ASIO සන්ධානය පිහිටුවන ලද්දේ ඕස්ට්‍රේලියාව තුළය.

1977න් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නංවන ලද ආර්ථික සංවර්ධන මොඩලය විසින් තහවුරු කරන ලද්දේ වෙළඳපොල සහ නිෂ්පාදන සඳහා මෙන්ම තාක්ෂණ හුවමාරුව සඳහාද බටහිර අධිරාජ්‍යවාදය මත යටත්විජිතමය රඳාපැවැත්මකි. 1977 දී දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සමග බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන විසින් ආරම්භ කරන ලද “ආර්ථික ප්‍රතිසංස්කරණ” විසින්, 2019 දී ISIS සංවිධානය විසින් ඇති කරන ලද පාස්කු ඉරිදා බෝම්බ භීෂණය හේතුවෙන් ඇති වූ ආකාරයේ “ආර්ථිකයට විලාප නැංවීමක් ” සිදුවීමට සලස්වන ලදි. හෝටල් සහ සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරමින් සිදු කරන ලද එම බෝම්බ ප්‍රහාරයන් විසින් වර්තමාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ යුරෝ-‌බොන්ඩ් ණය උගුලේ ශ්‍රී ලංකාව සිරකිරීමට හේතු වූ “බංකොළොත්” බව ප්‍රකාශ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලදි.
ලොව පුරා එක්සත් ජනපද හමුදා කඳවුරු 800ක් පවත්වාගෙන යනු ලබන්නේ  ඒවා තුළ රෝස සහ දිය මානෙල් වැවීම සඳහා නොවේ.

මතු සම්බන්ධයි.

ආචාර්ය ධරණී රාජසිංහම් සේනානායක ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශපාලනික ආර්ථික විශ්ලේෂණයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් සහිත සංස්කෘතික මානව විද්‍යාඥවරියකි.ඇය විසින් ඉතා මෑතකදී පළ කරන ලද කෘතිය වන්නේ “Multi-religiosity in Contemporary Sri Lanka: Innovation, Shared Spaces, Contestation’ යන කෘතියයි.

පරිවර්තනය අජිත් සී හේරත්

[1]The Story of SEATO 2002