දුම්රිය ‌අනතුරු, පීලි පැනීම්, වැඩ වර්ජන: දුම්රිය සේවය පුද්ගලීකරණය සඳහා කිරීමේ කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක්ද?ප්‍රවාහන සහ බලශක්ති ඇමැතිවරුන්ට විවෘත ලිපියක්

දේශික මෙන්ඩිස්

ශක්තිමත් ජාතික ප්‍රවාහන සේවයක් සහ බලශක්ති සුරක්ෂිත ප්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිබඳව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද  සහ බලශක්ති ඇමැති කාංචන විජේසේකර වෙත විවෘත ලිපියක්

මෙම ලිපිය ලිවීමට මා විසින් අදහස් කරන ලද්දේ දුම්රියෙන් ගමන් කිරීමට මා බෙහෙවින් කැමැති නිසාත් වර්තමාන ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තත්ත්වය පිළිබඳව දැඩි ලෙස කණගාටුවට පත්ව ඇති නිසාත්ය. මෑත කාලයේදී දුමිරිය සේවාව භාවිතා කරමින් යාමට සැලසුම් කළ ගමන් කීපයක් අත්හැර දැමීමට සිදුවීමෙන් දැඩි අපහසුතාවයකට ලක්වීමට මට සිදු විය. පීලි පැනීම්, කාර්මික දෝෂ හේතුවෙන් සිදුවන ඇණහිටීම් සහ නියමිත ගමන්වාර අවලංගු කිරීම් ඇතුළු දුම්රිය සේවයේ හදිසි බිඳ වැටීම් එයට හේතු විය.

දුම්රියෙන් ගමන් කිරීම ලාභදායික මෙන්ම පරිසර හිතකාමී දෙයකි. දුම්රියෙන් විශාල පිරිසක් ප්‍රවාහණය කළ හැකි අතර ඒ මගින් සිදුවන ඒක පුද්ගල කාබන් විමෝචනය මොටර් රථයකින් එම සංඛ්‍යාව ප්‍රවාහනය කිරීමේදී සිදුවන කාබන් විමෝචනයට බෙහෙවින් අඩුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුලට හසු ව වියදම් කප්පාදුවට ලක්කිරීම සිදුවෙමින් පවතින රටක් සඳහා පොදු ප්‍රවාහන සේවාවන් ලාභදායි, කාර්යක්ෂ්ම සහ පරිසර හිතකාමි විසඳුමකි.
එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ විවිධ ඒජන්සි සහ හරිත ශෝධනයේ යෙදෙන සමාගම් විසින් ප්‍රවර්ධනය කරනු ලබන හරිත බලශක්ති පරිවර්තනය සඳහා මිල අධික විදුලි රථ මිලදී ගැනීමට කඩිමුඩියේ කටයුතු කිරීම වෙනුවට ශ්‍රී ලංකාවේ රජය විසින් ඉහළ සංවර්ධන ප්‍රමුඛතාවයක් ලෙස සළකා ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත ආයෝජනය කරමින් එහි තත්ත්වය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම වහාම කළ යුතුව තිබේ.
යහපත් ප්‍රවාහන සේවයක් පවතින විට ස්ත්‍රින්ගේ සේවා නියුක්ති සහභාගිත්වය ඉහළ යන බව අධ්‍යයන කීපයක් විසින්ම පෙන්වා දී තිබේ. 1850 ගණන්වලදී ශ්‍රී ලංකා දුම්රිය සේවාවන් පටන්ගත් දිනවල සිට මේ දක්වාම එය විසින් රටට වටිනා සේවයක් ලබා දී ඇති නමුත් එය වඩාත් කාර්යක්ෂ්ම, ඵලදායි නූතන, සහ මගී හිතකාමී සේවයක් බවට පත්කළ හැකිව තිබිණි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය වැනි ඉහළ මගීන් සංඛ්‍යාවක් සිටින බොහෝ දුම්රිය ස්ථාන වැඩිදියුණු කිරීමට සහ නඩත්තු කිරීමට අමතරව ඉඳහිට පැමිණෙන සංචාරකයන්ට හෝ දෛනික මගීන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා විශ්වාසදායක දුම්රිය සේවාවක හදිසි අවශ්‍යතාවයක් පවතී.

කොළඹ සිට යාපනයට: යාල්දේවිය අක්‍රිය වීම

යාපනය දුම්රිය ස්ථානය, සේයාරූ නිව්ස්වයර්

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කරමින් කොළඹ – යාපනය යාල්දේවි දුම්රිය මේ වසරේ ජනවාරි මාසයේ සිට ධාවනය නැවැත්වීමට දුම්රිය බලධාරින් විසින් කටයුතු කර තිබේ. ඒ වෙනුවට පෞද්ගලික ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට මගීන්ට සිදුව ඇත.
කිලෝමීටර් 405 ක් වන කොළඹ-යාපනය ගමනේ මහෝ-අනුරාධපුර කොටස කිලෝමීටර් 67 ක් පමණි. මුළු කොළඹ යාපනය මාර්ගයෙන් හයෙන් එකක් පමණක් වන මෙම දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමට මෙතරම් කාලයක් ගත විය යුතු ද? ඔවුන් දැන් මෙම ඉදිකිරීම් සහ යාල්දේවි මෙහෙයුම තවදුරටත් ප්‍රමාදකිරීම සාධාරණීකරණ සඳහා යොදා ගන්නේ සම්පූර්ණයෙන්ම පුරෝකථනය කළ හැකි ව තිබූ මැයි මාසයේ නිරිතදිග මෝසම් වර්ෂාවේ පැමිණීමද?
පසුගිය වසරේදී මම මගේ මිතුරෙකු සමග මඩකලපුවේ සිට කොළඹට අළුයම දුම්රියෙන් ගමන් කිරීමට සුදානම් වුවද එම ගමන් වාරය හදිසියේම අවලංගු කර තිබිණි. අපි ටිකට්පත් අවලංගු කරවාගෙන කුලී මෝටර් රථයකින් කොළඹට පැමිණියෙමු.
එමෙන්ම කොළඹ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය දක්වා මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ගමන නවතා දමන්නට සිදුවූයේ ලොරියක් දුම්රිය හරස් මාර්ගය මැද සිරවීම හේතුවෙන් ඉන්ටර්සිටි සීඝ්‍රගාමී දුම්රිය පැය 4ක් ප්‍රමාද වීම නිසාය. මම මගේ හමුවීමට නියමිත වේලාවට පැමිණීමට අසමත් වූයෙමි.

සිදුවීම් විශාල සංඛ්‍යාවක්, මහජන විශ්වාසය බිඳවැටීම, පුද්ගලීකරණය සඳහා තල්ලුවක්ද?

පසුගිය මාස කීපය තුළ සිදුව ඇති කුඩා සහ අහඹු අනතුරු සහ සිදුවීම් පිළිබඳ ප්‍රධාන පුවත්පත්වල පළවූ පුවත් පිළිබඳ අසාමාන්‍ය ලැයිස්තුව සැලකිල්ලට ගන්නා කළ මතුවන ගැටළුව නම් මෙය කිසියම් රටාවක් ලෙස සිදුවන්නේ ද යන්නයි.
ශ්‍රී ලංකා දුම්රිය සේවය (SLR) කඩාකප්පල් කිරීමට, මගී විශ්වාසය පළුදු කිරීමට, මගීන් සංඛ්‍යාව අඩු කිරීමට සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ලාභය අඩු කිරීමට සහ ඒවා මගින් දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට සියුම් උත්සාහයන් තිබේද? ශ්‍රී ලංකාවේ ජාතික දුම්රිය සේවය සතුව අති විශාල වටිනා ඉඩම් ප්‍රමාණයක් දීප ව්‍යාප්තව පවතින බව මෙහිදී අමතක කළ නොහැකිය.

දුම්රිය මගී ධාරිතාව අඩු කිරීම සහ විදුලි මෝටර් රථ අලෙවිය ප්‍රවර්ධනය කිරීම

ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවට දෛනිකව ගමන් කිරීමට සිදුව ඇත්තේ ‌මෙවැනි අවදානමක් දරාගෙනය. CGTN

ආර්ථික වශයෙන් විනාශකාරී වසර දෙකක කොවිඩ්-19 ලොක්ඩවුන් සහ ආර්ථික බිඳවැටීම් හේතුවෙන් දුම්රිය වසා දමා යටිතල පහසුකම් බිඳවැටී තිබියදී, දුම්රිය ගමනාගමනය කඩාකප්පල් කිරීමට, මගී ප්‍රමාණය අඩු කිරීමට සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමට (හයිබ්‍රිඩ්) උත්සාහයන් පවතින බව පෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය දේපළ තුට්ටු දෙකට විකිණීමේ කොන්දේසි විසින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු වටිනා රජයේ ඉඩම් විශාල සංඛ්‍යාවක් ඉලක්ක කර තිබේද?
2019 දී එක්සත් ජනපදය විසින් උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාවේ එවකට පැවැති රජය වෙත අත්සන් තැබීමට බලකරන ලද සහස්‍රයේ අභියෝගතා ගිවිසුම (MCC) තුළ ශ්‍රී ලංකා දුම්රිය සේවය ඉලක්ක කර ගත් ව්‍යාපෘතියක් වන නිරිත දෙසින් පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට නැගෙනහිර වෙරළේ ත්‍රිකුණාමල වරාය දක්වා දුම්රිය මාර්ගයක් සඳහා වූ යෝජනාවක් අන්තර්ගත වූ බව සිහියට නගා ගැනීම වැදගත්ය. කෙසේ වුවද පැවැති රජය විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරන ලදි.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා දුම්රිය සේවයට සිදුවන බාධා කිරීම් අභ්‍යන්තරව සහ බාහිරව මෙහෙයවන බව පෙනේ: මෙම බාධාකිරීම්වලට වැඩවර්ජන සහ දුම්රිය වෘත්තිය සමිතිවල ක්‍රියාකාරිත්වයන් සහ අනෙකුත් දුම්රිය සේවකයන්ගේ ක්‍රියා කාරිත්වය හෝ නිෂ්ක්‍රීයත්වය ආදිය ද ඇතුළත්ය. එමෙන්ම ලොරි රථ දුම්රිය යටිතල පහසුකම්වලට කඩාවැදීම හෝ දුම්රිය මාර්ග හරහා ගස් කඩා වැටීම වැනි අහඹු සිදුවීම් මෙන්ම, වේදිකාගත දේශගුණික ‘විපත්’ ද මගින් සාමාන්‍ය දුම්රිය සේවාවන් පවත්වාගෙන යාමට බාධා සිදුකරමින් පවතී.

කිසියම් රටාවකට අනුව සිදුවන බව පෙනෙන දුම්රිය සේවයේ පවතින අධික බාධාවන් හේතුවෙන් එයට අදාළව සමස්ත දුම්රිය පද්ධතිය සහ යටිතල පහසුකම් පිළිබඳ විමර්ශනයක් හා විශ්ලේෂණයක් ක්‍රමානුකූලව සිදු කිරීම ප්‍රවාහන අමාත්‍යවරයාගේ වගකීමකි. එසේම, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිරන්තර බාධා කිරීම් සහ ප්‍රමාදයන් මගීන්ට සිදුවන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධානියා අවධානය යොමු කළ යුතු නොවේද?

පසුගිය මාස කීපය තුළ ශ්‍රී ලංකා දුම්රිය ගමනාගමනයේ සිදුව ඇති ප්‍රමාද වීම් සහ බාධා වීම් පිළිබඳව ප්‍රධාන ජනමාධ්‍යයන්හි පළව ඇති වාර්තා පිළිබඳව ඔබගේ අවධානය යොමු කොට ඔබගේම නිගමනයක් කරා එළැඹෙනලෙස ඉල්ලා සිටිමි.

 2024 ජූනි 13,

දුම්රිය පිලීපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය නතර වේ

මරදාන සිට පානදුර දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ මන්දගාමී දුම්රිය පානදුර දුම්රිය නැවතුම අසලදී පීලි පැන ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් නිවේදනය කර ඇත. ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ගමනාගමනයන් ප්‍රමාද විය හැකි බවට දුම්රිය සේවය පවසා තිබේ.

මෙහිදී පීලි පැන ඇති එක් දුම්රිය මැදිරියක් ආසන්න දුම්රිය සංඥා පුවරුවක් ගැටීම හේතුවෙන් මෙම කලාපයේ දුම්රිය සංඥා පද්ධතිය සහමුළින්ම බිඳ වැටී තිබේ. මේ අතර ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශකර ඇත්තේ මෙම සේවාවන් යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය පරිදි දුම්රිය ප්‍රවාහන කටයුතු ඇරඹීමට සැළකිය යුතු කාලයක් ගතවිය හැකි බවයි.

2024 ජූනි 9 (ඩේලි මිරර්)

වැඩවර්ජනයෙන් දුම්රිය සේවාවන්ට බාධා

ශ්‍රී ලංකා දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සංගමය විසින් දියත් කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන දුම්රිය 35ක ගමන්වාර අවලංගු කර තිබේ.
2024 ජූනි 05 ( ද මෝර්නිං පුවත්පත)
පීලීපැනීම් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා
අද (05) දින කොළඹ කොටුව සහ මරදාන අතර සිදුවූ දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් දුම්රිය සේවාවන්වල ප්‍රමාදවීම් සිදුව ඇත.දුම්රිය දෙපාර්තුමේන්තුවට අනුව දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදවීම් සිදු විය හැකි අතර සාමාන්‍ය පරිදි ඇරඹීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇත.

2024 ජූනි 02

පාලම කඩාවැටීම හේතුවෙන්දුම්රිය ගමනාගමනයට බාධා (ඩේලි මිරර්)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ වග සහ කොස්ගම අතර වූ පාලමක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රවාහන කටයුතු වල දැඩි බාධාවන් එල්ලවී තිබේ. මෙම කඩා වැ‌ටීම හේතුවෙන් ඒම දුම්රියේ මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට ශ්‍රී දුලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවට සිදුව ඇත.

මැයි 25, 2024

ගස්කඩාවැටීම් සහ සංඥා ක්‍රියා විරහිතවීම් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට දිගින් දිගටම බාධා (අද දෙරණ පුවත්)

දුම්රිය මාර්ගය මාතට ගස් සහ ගල් පර්වත කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ කොළඹ අතර රාත්‍රි තැපැල් දුම්රිය ගමනාගාමනය සහ වෙනත් විශේෂ දුම්රිය සේවාවන් අවලංගු කිරීමට සිදුව ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කර ඇත. මේ අතර දුම්රිය දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ ප්‍රකාශ කර ඇත්තේ මේ දක්වා දුම්රිය මාර්ගය මතට ගස් කඩා වැටීම් පිළිබඳව සිදුවීම් 5ක් පමණ වාර්තා වී ඇති බවය.
මෙයට අමතරව විහේෂයෙන්ම නානු ඔය වැනි දුම්රිය ස්ථානයන්හි විදුලි බලය ඇණහිටීම හේතුවෙන් දුම්රිය සංඥා පද්ධති පවත්වාගෙන යාමට නොහැකිවීමේ බරපතල තත්ත්වයක්ද උද්ගතව තිබෙන බවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය. විදුලි බලය ඇණහිටීම හේතුවෙන් දුම්රිය හරස්මාර්ගවල සංඥාපද්ධති ක්‍රියා විරහිත විය හැකි බැවින් දුම්රිය දෙපාර්තුමේන්තුව රථවාහන පදවන්නන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් දුම්රිය හරස්මාර්ග හරහා ගමන් කිරීමේදී විශේෂයෙන් සුපරීක්ෂාකාරි වන ලෙස ඉල්ලීමක් සිදු කර ඇත. හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී දුම්රිය සංඥා දක්නට නොමැතිනම් හෝ රතු විදුලි එළියක් සහිතව විදුලි සීනු දිගටම නාද වන්නේ නම් දැඩි ලෙස සුපරීක්ෂා කාර් වන ලෙස රියැදුරන්ට උපදෙස් දී තිබේ.

2024 අප්‍රේල් 24,(හිරු පුවත්)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය සේවාවන්ට බාධා

මහව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ දුම්රියක් අඹේපුස්සේදී හදිසියේ ක්‍රියා විරහිතවීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇතිබවට දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කර ඇත.මෙම සිද්ධිය හේතුවෙන් මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් හේතුවෙන් සිදුවන දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවී ඇත

2024, මාර්තු 21

දුම්රිය පීලි පැනීම ශ්‍රී ලංකාවේ වෙරළබඩ මාර්ගයේ මෙහෙයුම්වලට බාධා කරයි (මාර්තු 20-Xinhua)

අඟහරුවාදා සවස කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් බදාදා උදෑසන රටේ වෙරළබඩ මාර්ගයේ දුම්රිය 18 ක් අවලංගු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ බව උසස් නිලධාරියෙක් පැවසීය.

2024, ජනවාරි 15

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී. (ඩේලි නිව්ස් )

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය පීලිපැනීමකට ලක්ව ඇත. නානුඔය සහ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතරදී මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

2023 දෙසැම්බර් 9,

කොළඹ සහ යාපනය අතර දුම්රිය ධාවනය මාස 6කට අත්හිටුවයි (නිව්ස් වයර්)

නඩත්තු කටයුතු හේතුවෙන් කොළඹ සහ යාපනය+කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ උතුරු දුම්රිය මාර්ගයේ නියමිත නඩත්තු කටයුතුවල දෙවන අදියර මහව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන අතර සිදු කෙරෙන බවයි.
නඩත්තු කටයුතු 2024 ජනවාරි 7 වන දින සිට සිදු කෙරෙන අතර මාස 6 ක කාලයක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
එබැවින් මෙම කාලය තුළ කොළඹ කොටුවේ සිට මහව දුම්රිය ස්ථානය දක්වා සහ කන්කසන්තුරේ සිට අනුරාධපුරය දක්වා පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ සහ යාපනය අතර යාල්දේවි දුම්රිය ධාවනය ආරම්භ කරන්නේ කවදාද?
දුම්රිය මාර්ග අලුත්වැඩියාවට මෙතරම් කාලයක් ගත විය යුතුද? ශ්‍රී ලංකා දුම්රිය අධිකාරීන් කිරීමට සැරසෙන්නේ කුමක්ද?

An Efficient Train System Should Be The Number One Public Transport Priority-By Deshika Mendis 

(ප්‍රධාන ඡායාරූපය-අද දෙරණ)