බත් පත උදුරාගැනීම: වගාබිම් මූල්‍යකරණයට ගොදුරු කරවීම සහ ගොවිතැනට සහ ආහාරවලට එරෙහි ලෝක යුද්ධය

කොලින් ටොඩ්හන්ටර්

හැඳින්වීම

2022 වසරේ ජූලි මස 31 වැනි දින “කොරෝනා ප්‍රෝඩාව, ලෝක ආර්ථිකය බිඳ දැමීමේ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය සහ ලංකාවේ ඉරණම” යන මැයෙන් පළ කරන ලද ලිපියේ  අප විසින් මෙසේ  සඳහන් කර ඇත.

“වර්තමාන ජාත්‍යන්තර මුල්‍ය පද්ධතිය තුළ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පැවැති බහුවිධ අර්බුදයන් හේතුවෙන් එම ක්‍රමය දරුණු බිඳ වැටීමකට ලක්වෙමින් පවතින බවත් එය තවදුරටත් “ සිරිත් පරිදි” පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවන බවටත් විවිධ රටවල ආර්ථික විශේෂඥයන් විසින් කලෙක සිට කළ අනතුරු ඇ ඟවීම් 2019 වනවිට යථාර්ථයක් වෙමින් පැවතිණි. මෙය ගෝලීය මූල්‍ය අධිපතියන් විසින් 2008 වසරේ දී හටගත් මූල්‍ය අර්බුදයේ පටන්ම අපේක්ෂා කළ තත්ත්වයක් වූ අතර මීළඟවටයේදී එය මතුවන්නේ 2008 දී මෙන් කිහිප ගුණයකින් දරුණු ආකාරයට බව ඔවුන් තක්සේරු කර තිබිණි.
එමෙන්ම එකී අර්බුදය තුළ සමස්ත ක්‍රමය කඩා වැටීමකට ලක් වී සිය සියලු වත්කම් වාෂ්ප වී යාම වළක්වනු පිණිස ඉහත ජාත්‍යන්තර මුල්‍ය ආයතන සහ මුල්‍ය සමාගම් කෘර කූටෝපායයන් සහ මුල්‍ය කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බවද බොහෝ ආර්ථික විද්‍යාඥයන් සහ මුල්‍ය වෙළෙඳපොල පිළිබඳ විශේෂඥයන් විසින් පෙන්වා දී ඇත. එනම් ඇතිවීමට නියමිත අර්බුදයේදී සිදුවන විනාශය ලෝකය පුරා කම්කරු සහ සෙසු පීඩිත ජනකොටස් කරා යොමු කරමින් සිය පන්තියේ වරප්‍රසාද සහ වත්කම් ආරක්ෂා කර ගැනීමය.”

වෙනත් වචනවලින් කිවහොත් හුදෙක් පරිගණක පද්ධතීන්වල ඉලෙක්ට්‍රොනික දත්ත ලෙස පවත්නා සිය වත්කම් සැබෑ ‌භෞතික වත්කම් බවට පත්කරගැනීමට ගෝලීය මූල්‍ය  ධනවාදයට අවශ්‍යව තිබිණි. ‌වසංගත, යුද්ධ සහ දේශගුණ විපර්යාස ආඛ්‍යාන හරහා දියුණු ධනවාදි රටවල්ද ඇතුළු සියළු රටවල පොදු අරමුදල් කොල්ලකෑමෙන් අනතුරුව එම වත්කම් මගින් ලෝකය පුරා දේපොළ, ස්වාභාවික සම්පත්, වනාන්තර,ජලය, වගාබිම්, පොදු ආයතන තුට්ටු දෙකට මිලදී ගැනීම ආරම්භ කර තිබේ.  හරියටම මෙය සිදුවන්නේ මුදලේ වටිනාකම ශීඝ්‍රයෙන් පහල වැටෙමින් පවතින කාලවල පුද්ගලයන් විසින් ඉඩම් හෝ රත්රන් මිලදී ගැනීම සිදුවන්නාක් මෙන්ය.

දැන් ලෝකය පුරා වගාබිම් තුට්ටු දෙකට මිලදී ගැනීම සිදුවන්නේ ද මෙම ක්‍රියාදාමයේම එක් අංගයක් ලෙසය. ඒ අනුව බටහිර මූල්‍ය සමාගම්වලද ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද ණය උගුලට සිරකර ගන්නා ලද ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ රටවල වගාබිම්, වනාන්තර සහ සාගර සම්පත් ආදිය මූල්‍යකරණයට ලක් කිරීමේ ක්‍රියාදාමය වේගවත් කෙරී තිබේ. ලංකාවේ දී ඉඩම් වෙළඳපොළ සම්බන්ධයෙන් පවත්නා නීති රීති වෙනස් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාදාමයේ ප්‍රධාන කොන්දේසියකි. රනිල් වික්‍රමසිංහගේ රජය විසින් “උරුමය” නමින් සින්නක්කර ඔප්පු බෙදා දීමේ වැඩ පිළිවෙළක් දියත් කර ඇත්තේ වගාබිම් මූල්‍යකරණයට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහාය. කෘෂි රසායනික ද්‍රව්‍යවල මිල ඉහළ යාම සහ ඒවා තහනම් කිරීම,  සිය අස්වැන අලෙවි කරගතනොහැකි වීම, භූ ඉංජිනේරුකරණය හේතුවෙන් උත්සන්නවන ස්වාභාවික විපත්, වගාවන් සඳහා ජලය සපයන ජලාශ සූර්ය බළ ශක්ති ව්‍යාපෘතින් සඳහා සමාගම්වලට පැවැරීම ආදිය හේතුවෙන් සිය නිෂ්පාදන කටයුතු නිසි ලෙස කරගත නොහැකිව ණය බරින් පීඩිතව සිටින ගොවියා සිය ඉඩම් විකුණන තත්වයකට ඇද දමා ඇති අතර එම  ඉඩම් තුට්ටු දෙකට මිලදී ගැනීමට දැවැන්ත ජාත්‍යන්තර කෘෂි නිෂ්පාදන සමාගම්වලට අවස්ථාව සැලසීම මෙහි අරමුණයි.

එක් පසෙකින්  විවිධ බලවේග විසින් නූතන  තාක්ෂණික  උපක්‍රම භාවිතයෙන්  නියඟ සහ ගංවතුර වැනි ආන්තික දේශගුණ විපර්යාසයන් කෘත්‍රිම ලෙස නිර්මාණය කෙරෙමින් පවතින අතර ඒවායේ ප්‍රතිඵල ලෙස ගොවි ජනතාව කෘෂිකර්මය අතහැර සිය වගා බිම් විකුණා දැමීමට බලකෙරෙන තත්ත්වයක් උදා වී තිබේ. අනෙක් පසින් මේවා සිදුවන්නේ පොසිල ඉන්ධන දැවීම හේතුවෙන්  සිදුවන කාබන් විමෝචනය මගින්  පෘථිවි ගෝලය උණුසුම් වීම නිසා බවට ආඛ්‍යානයක් නිර්මාණය කරමින් විවිධ සංරක්ෂිත කලාප නම්කරමින් ජනතාව ඒවායින් පලවා හැරීමේ කටයුතු සිදුවෙමින් පවතී. මෙලෙස ජනතාව පලවා හරිමින් “නිදහස් කරගනු ලබන” භූමි භාගයන් එක්කෝ “සුහුරු කෘෂිකර්මය” සඳහා දැවැන්ත සමාගම්වලට විකුණා දැමීම හෝ සංරක්ෂණ කලාප ඇති කිරීම සඳහා නිල් සහ හරිත බැඳුම්කර හරහා ඊනියා ජාත්‍යන්තර පරිසර සංවිධානවලට පවරා ‌දීමේ සැලසුම් දියත් වෙමින් පවතී.

ඒ අතරම ඊනියා හරිත බලශක්ති ව්‍යාපෘතින් සඳහා  ලංකාවේ සම්ප්‍රදායික වී වගාවට ජලය සැපයෙන ප්‍රධානතම ප්‍රභවයක් වූ වැව් සහ ජලාශ මත සූර්ය කෝෂ ස්ථාපනය සඳහා විදේශිය සමාගම්වලට පවරා දීමද වෙරළාසන්න ධීවර බිම් සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා විදේශිය සමාගම්වලට පවරා දෙමින් ඇත. මේ සියල්ලේම එක් ප්‍රධාන අරමුණක් වන්නේ සාමාන්‍ය ජනතාවගේඉඩම් අයිතිය අහිමි කිරීමත්,  ආහාර සුරක්ෂිතතාව සහ ස්වෛරීත්වය  විනාශ කිරීමත්ය.

කොලින් ටොඩ්හන්ටර් විසින් ලියන ලද මෙම ලිපිය මගින් දැනට ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින මෙම ක්‍රියාවලින් හඳුනා ගැනීමට ආලෝකයක් සපයා ඇත.

2008 සහ 2022 අතර කාලය තුළ ලෝකය පුරා ඉඩම්වල මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර මධ්‍යම-නැගෙනහිර යුරෝපයේ ඉඩම් මිල තුන්ගුණයකින් ඉහළ ගොස් තිබේ. විශ්‍රාමික වැටුප් අරමුදල් සහ පුද්ගලික සමාගම් විසින් කරන ලද මැදිහත්වීම හේතුවෙන් 2010 සහ 2015 අතර කාලයේදී බ්‍රිතාන්‍යයේ කෘෂිකාර්මික ඉඩමිවල මිල දෙගුණ වී තිබේ. 2002 සහ 2020 අතර කාලයේදී එක්සත් ජනපදයේ කෘෂිකර්මය පුමුඛ කොටගත් අයෝවා වැනි ප්‍රාන්තවල ඉඩම් මිල සිවු ගුණයකින් ඉහළ ගොස් තිබේ.

කෘෂිකාර්මික ආයෝජනයන් සඳහා වෙන්වුණු අරමුදල් සංඛ්‍යාව 2005 සහ 2018 අතර කාලයේදී 10 ගුණයකින් ඉහළ ගොස් තිබේ. 2020 වසරේ සිට එක්සත් ජනපද ආයෝජකයන් විසින් කෘෂිකාර්මික ඉඩම් සඳහා සිදු කෙරෙන ආයෝජනයන් දෙගුණ තෙගුණ වෙමින් ඇති අතර කෘෂිකාර්මික ඉඩම් ආවේණික අවදානමක් සහිත වත්කම් ශ්‍රේණියට (stand-alone asset class) ඇතුළත් කර තිබේ.

මේ අතර කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවි කරුවන් තමන් සතු පුද්ගලික කොටස් යොදවන ලද අනුබද්ධිත සමාගම් හරහා කෘෂිකාර්මික ඉඩම් සමපේක්ෂණය කරමින් සිටින අතර නව මූල්‍ය ව්‍යුත්පන්න විසින් සමපේක්ෂකයන්හට ඉඩම් කට්ටි සංචිත ගොඩ නැගීමටත් ඒවා නැවත දුෂ්කර තත්ත්වයක පසුවන ගොවීන්ට බදු දීමටත් ඉඩ සලසමින් දැඩි හා තිරසාර ඉඩම් මිල උද්ධමනයක් පවත්වාගෙන යනු ලබයි.

දැන් මහා පරිමාණ ඉඩම් ගනුදෙනුවලින් 20%ක් සිදුවන්නේ ඉහළ සිට පහළට සිදුවන ‘හරිත ඉඩම් කොල්ලය’ හරහාය. ඉඩම් මත පදනම් කාබන් ඉවත් කිරීමේ රජයේ ප්‍රතිඥාවට යටත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර බිලියන 1.2ක් පමණ වන අතර එය සමස්ත ලෝකයේම වගා බිම්වල වපසරියට සමාන වේ. මීළඟ වසර 7 තුළ කාබන් ඕෆ්සෙට් වෙළඳපොළ සිව් ගුණයකින් විශාලවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉහත දක්වන ලද්දේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය සිය මූලස්ථානය කරගත් “තිරසාර ආහාර පද්ධතින් පිළිබඳ ජාත්‍යන්තර සංවාද මණ්ඩපය” International Panel of Experts on Sustainable Food Systems (IPES) නම් ලාභ නොලබන චින්තන සංචිතයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ඉඩම් හිඟය”(‘Land Squeeze’ ) වාර්තාවේ අඩංගු සමහර කරුණුය.

මෙම වාර්තාව විසින් පෙන්වා දී ඇත්තේ කුඩා සහ මධ්‍යම පරිමාණ ගොවීන්ගේ පැවැත්ම අහෝසි කරමින් කෘෂිකාර්මික ඉඩම් මූල්‍යකරණයට ලක් කිරීම උත්සන්න කෙරෙමින් පවතින බවය. ඊනියා කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනයේ අර්බුදය ආධාර කරගනිමින් ප්‍රවර්ධනය කරන ලද ” ලෝකයට ආහාර සැපයීම”(‘feed the world’) නම් බියගැන්වීමේ ආඛ්‍යානයට මුවා වෙමින් කෘෂි ව්‍යාපාරික සමාගම් සහ ආයෝජකයන් අපනයන ආහාර නිෂ්පාදනයේ සුරක්ෂිතතාවක් ඇති කිරීමට විශාල වශයෙන් ඉඩම් මිලදී ගැනීම සිදු කරමින් සිටින අතර ඉඩම් වෙළඳපොළට අදාළව පවත්නා නීති වෙනස් කිරීමටත් ආයෝජකයන්ට පක්ෂපාති ප්‍රතිපත්ති සම්පාදනය කරන ලෙසත් ආණ්ඩුවලට බලපෑම් සිදු කරමින් සිටිති.

කෙසේ වුවද ආහාර මිල රොකට් වේගයෙන් ඉහළ යමින් පැවතුණ ද IPES විසින් 2022 දී නිකුත් කරන ලද වාර්තාවට අනුව ලෝකය සඳහා ප්‍රමාණවත් ආහාර සැපයුමක් පවතින අතර ගෝලීය ආහාර සැපයුමේ හිඟයක් නොපවතී. ඉඩම් ආයෝජකයන් සහ දැවැන්ත කෘෂි ව්‍යාපාරික සමාගම් විසින් සිය ලාභ ඉහළ දමාගැනීම සඳහා ප්‍රවර්ධනය කරනු ලබන ආත්මාර්ථසාධක ආඛ්‍යානය කුමක් වුවද ආහාර හිඟයක් නොපවතී. මිළ ඉහළ යාම සිදුව ඇත්තේ ආහාර ද්‍රව්‍ය පිළිබඳ වෙළඳපොළ සමපේක්ෂණයන්, සමාගම් විසින් අධික ලාභ ලැබීම් සඳහා කරන මිල ඉහළ දැමීම් සහ ආනයන ආහාර මත අධික ලෙස රඳා පැවතීමය.

මේ අතරම, කාබන් සහ ජෛව විවිධත්වය ඕෆ්සෙට් වෙළඳ පොළ විසින් ඉඩම් වෙළඳ පොළ වෙත ප්‍රධාන පෙළේ පරිසර දූෂකයන්ට දොරටු විවර කර දෙමින් දැවැන්ත ඉඩම් කොල්ලයකට පහසුකම් සලසා තිබේ.IPES වාර්තාවේ සඳහන් වන ආකාරයට ලෝකයේ දැවැන්තම බලශක්ති සමාගමක් වන ෂෙල් සමාගම ඕෆ්සෙට් ව්‍යාපෘතින් සඳහා ඩොලර් මිලියන 450ක් වෙන් කර තිබේ. එමෙන්ම ජෛව-අධි-ජල ” හරිත හයිඩ්‍රජන්” ව්‍යාපෘති ඇතුළු ජෛව-ඉන්ධන සහ හරිත බලශක්ති නිෂ්පාදනය සඳහාද ඉඩම් අත්පත්කර ගැනීම සිදුවෙමින් පවතින අතර එමගින් දේශී ආහාර නිෂ්පාදනය අවදානමේ හෙළා ඇත.

එමෙන්ම ඉතා අත්‍යවශ්‍ය කෘෂිකාර්මික ඉඩම් කැණීම් කර්මාන්තය සහ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතින්සඳහා යොදාගනිමින් පවතී. නිදසුනක් ලෙස ආසියාවේ සහ අප්‍රිකාවේ සිදුවන නාගරීකරණය සහ දැවැන්ත යටිතල සංවර්ධන ව්‍යාපෘතින් සඳහා වටිනා කෘෂිකාර්මික බිම් යොදාගැනීම දැක්විය හැකිය.

IPES වාර්තාව අනුව 2000 සහ 2030 කාලය අතර ලෝකයේ වගාබිම්වලින් හෙක්ටයාර් මිලියන3.3ක් දැවැන්ත නගරවල ව්‍යාප්තිය විසින් ගිලගෙන තිබේ.මෙයින් 80%ක් පමණම වගාබිම් අහිමිවීම සිදුව ඇත්තේ ආසියාවේ සහ අප්‍රිකාවේය. 1955 සිට 1985 අතර කාලයේදී ඉන්දියාවේ නාගරීකරණයේ ව්‍යාප්තිය සඳහා වගා බිමි හෙක්ටයාර් මිලියන 1.5ක් යොදාගෙන ඇති අතර 1985 සිට 2000 දක්වා කාලය තුළ තවත් හෙක්ටයාර් 800,000ක් කෘෂිකර්මයට අහිමි වී තිබේ. මෙය තවමත් ඉතා වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියකි.

නාගරික ඉඩම් ව්‍යාප්තිය පිළිබඳව 2016 දෙසැම්බරයේදී පළව ඇති වාර්තාවකට අනුව 2030 වන විට ගෝලීයව නාගරීකරණය ව්‍යාප්ත වෙමින් වගාබිම් අත්පත් කරගනිමින් ප්‍රමාණයෙන් තෙගුණ වනු ඇත. ලෝකයේ වගාබිම්වලින් 60%ක් පිහිටා ඇත්තේ නගරාසන්න මායිම්වල වන අතර සාමාන්‍ය වශයෙන් මෙම බිම්වල ඵලදායිතාව ලෝකයේ සෙසු වගාබිම්වලට දෙගුණක්පමණ ඉහළ අගයක් ගනී

මෙහි තේරුම නාගරිකරණය ව්‍යාප්තවන විට කුඩා පරිමාණ ගොවීන් දශලක්ෂ ගණනාවක් අවතැන් වීමට නියමිත බවය. සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර නිෂ්පාදනයේදී වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ මෙම ගොවීන් වන අතර ඔවුහු ලෝක ආහාර සුරක්ෂිතතාව සඳහාද විශාල දායකත්වයක් දරති.

මේ වනවිට මෙම කුඩා පරිමාණ ගොවීන් සතු ඉඩම් මහාපරිමාණ කෘෂිකාර්මික සමාගම්වලට අයත් ගොවිපොළවල් විසින් අත්පත් කරගනිමින් සිටින අතර ඒවා විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ පෝෂණ ගුණයෙන් හීන සහ තත්ත්වයෙන් බාල ආහාරය. මෙම මහා පරිමාණ ආහාර නිෂ්පාදනය ලෙඩරෝග, පාරිසරික විනාශය, ග්‍රාමීය ප්‍රජාවන්ගේ පැවැත්ම අහෝසි කිරීම ආදියට හේතුවී තිබේ.

මෙම ක්ෂේත්‍රය තුළ සිදුකරන දැවැන්ත ආයෝජනයන් සිදුවන්නේ වසර 10-15 අතර කාලයක් සඳහා වන අතර ඒවායේ ප්‍රතිඵල වනු ඇත්තේ දිගුකාලීන වශයෙන් බලපාන පාරිසරික සහ සාමාජීය විනාශයන් මෙන්ම දේශිය සහ කලාපීය ආහාර සුරක්ෂිතතාව බිඳවැටීමය. දැවැන්ත ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සිදු කෙරෙන ආයෝජනයන් විසින් සෞඛ්‍ය සම්පන්න ආහාර, ආහාර සුරක්‍ෂිතතාව හෝ මානව අවශ්‍යතා පිළිබඳ ඕනෑම අදහසක් ප්‍රතික්ෂේප කරයි.

දැවැන්ත ගොවිපොළවලින් 1%ක් විසින් ලෝකයේ ගොවිබිම්වලින් 70%ක් අයත් කරගෙන ඇති බවය. මේවා ඒකකයක් සඳහා නිෂ්පාදන වියදම් ඉතා අධික සහ අධික ලෙස සම්පත් වැයවන කාර්මික පරිමාණයේ ගොවිපොළවල් බවට පත්වීමේ ප්‍රවණතාවක් දක්වන අතර ඒ මගින් වගාබිම්වල තත්ත්වය පිරිහීමටද සුළු ගොවීන් පීඩනයට පත් කිරීමටද හේතුවන බව ද IPES වාර්තාවේ සඳහන් වේ. එපමණක් නොව දැවැන්ත කෘෂි නිෂ්පාදන සමාගම් විසින් සුළු ගොවීන්ගේ නිෂ්පාදන වියදම් ඉහළ දැමීමට හේතුවන ඒකාධිකාරි භාවිතාවන් ක්‍රියාවට නංවමින් සිටිති. මෙම ගතිකත්වයන් විසින් ගොවීන් සඳහා ක්‍රමානුකූල ආර්ථික අවපාතයක් නිර්මාණය කරමින්,ඔවුන්ට එක්කෝ මහා පරිමාණයෙන් නිෂ්පාදනය සිදුවන ගොවිපොළවල් බවට පත්වීමට හෝ ගොවිතැනින් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට බලපානු කරනු ලබයි.

වගාබිම්වල පරිහානියට විශාල වශයෙන් බලපා ඇති සාධකයක් නම් අධික ලෙස කෘෂි රසායන යොදමින් පවත්වාගෙන යන වත්මන් වගා ක්‍රමය. ගෝලීය ආහාර අනාරක්ෂිතතාවයට හේතුවන එවැනි වට්ටෝරු ගණනාවක් අප සතුවේ. ඉන්දියාවේ වගාකළහැකි ඉඩම්වලින් 70%කට වැඩි ප්‍රමාණයක තත්ත්වය පිරිහීමට එවැනි සාධක එකක් හෝ කීපයක් බලපා තිබේ.
ඉන්දියාව විසින් ප්‍රාන්ත රාජ්‍යය 7ක් පුරා ඉඩම් හෙක්ටයාර් මිලියනයක් පුරා ව්‍යාප්තව තිබූ සූර්ය බලශක්ති බලාගාර 50ක් තහනම් කර තිබේ. සූර්ය විදුලි බලාගාරවලින් 74%ක් පිහිටුවා ඇති බිම්වලින් 67%ක් අයත්ව තිබුණේ වගාබිම්වලටය.මෙම සූර්ය බලාගාරවලපාරිසරික පද්ධති වටිනාකම 7%ක් පමණ අවම අගයක් ගනු ලබන අතර ඒවා විසින් ආහාර සුරක්ෂිතතාව සහ ජෛව විවිධත්වයට අදාළ අර්බුද ගණනාවක් ඇති කර තිබේ. IPES වාර්තාව අනුව මෙම ව්‍යාපෘතින් හේතුවෙන් ඉන්දියාව තුළ 2017 සිට සිදුවීම් 15කට වැඩි සංඛ්‍යාවක් මෙම ව්‍යාපෘති ආශ්‍රිතව පැන නැගී ඇත.

IPES සංවිධානයේ නෙටී වීබ (Nettie Wiebe) මෙසේ පවසයි.

නෙටී වීබ

“වගාබිම්වලින් 70%ක් විශාල සමාගම්වලට අයත් ගොවිබිම් විසින් පාලනය කරන තත්ත්වයක් තුළ සහ උතුරු ඇමෙරිකාවේ සිදුවන පරිදි ඉඩම්වල මිල අවුරුදු 20ක් තිස්සේ එක දිගට ඉහළ යමින් පවතින තත්ත්වයක් තුළ ගොවිපොළක් ඇරඹීමට සිතන පුද්ගලයෙකුගේ තත්ත්වය ගැන සිතා බලන්න.අද තරුණ ගොවීන් මුහුණ දෙන යථාර්ථය එයයි. දැන් ගොවිබිම්වල අයිතිය ගොවින් වෙතින් අහිමි වෙමින් විශාල කෘෂිකාර්මික සමාගම්වලත්, විශ්‍රාම වැටුප් අරමුදල්වලත්, සමපේක්ෂකයන්ගේත් අයිතියට නතුවෙමින් පවතිනවා. ඉඩම් මිල රොකට් වේගයෙන් ඉහළ යමින් පවතින අතර ගොවිතැනින් ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතිනවා. මෙය දැන් උච්ච අවස්ථාවට පත් වී තිබෙනවා. සුළු සහ මධ්‍යම පරිමාණ ගොවීන්ව හප කර දමමින් පවතිනවා.”

.
ඉහළ යන ඉඩම් මිල සහ ඉඩම් කොල්ලය විසින් අසාමාන්‍ය ඉඩම් හිඟයක් බිහි කර ඇති අතර ඒ මගින් අසමානතාව ස්ථාපිත කරමින් ආහාර නිෂ්පාදනයට තර්ජනයක් එල්ලකර තිබෙන බව IPES සංවිධානයේ සුසාන් චොම්බා (Susan Chomba) පවසයි. තවද සැක කටයුතු කාබන් ව්‍යාපෘති, ශාකරෝපණ වැඩ සටහන්, හරිත බලශක්ති ව්‍යාපෘති සහ සමපේක්ෂණ මිලදී ගැනීම් ආදිය විසින් කුඩා පරිමාණ ගොවීන් පමණක් නොව ආදිවාසින්වද අවතැන් කර තිබේ.

මෙම හරිත ව්‍යපෘතින් මගින් දේශගුණය කෙරෙහි ඇතිකරන ප්‍රතිලාභ පිළිබඳ ඇති සාක්ෂි විරල වුවද ආණ්ඩු සහ සමාගම් විසින් මෙම “හරිත කොල්ලය” හරහා දැවැන්ත බිම් කට්ටි තවදුරටත් උදුරා ගනිමින් පවතී. මෙම ගැටළුව විසින් ලතින් ඇමෙරිකානු රටවල් සහ උප සහරාන් අප්‍රිකානු රටවල් කෙරෙහි විශාල බලපෑමක් එල්ලකර තිබේ. IPES වාර්තාවේ සඳහන්වන ආකාරයට “පාරිසරික වත්කම් නිර්මාණය” කිරීමේ යෙදෙන එක්සත් අරාබි එමීර් රාජධානිය සිය මූලස්ථානය කරගත් “බ්ලූ කාබන්” (Blue Carbon)නම් සමාගමක් විසින් කෙන්යාව, සිම්බාබ්වේ, ටැන්සානියාව, සැම්බියාව සහ ලයිබේරියාව යන රටවල ආණ්ඩු සමග ඇතිකරගත් ගිවිසුම් මගින් කාබන් ව්‍යාපෘති සඳහා එම රටවල ඉඩම් හෙක්ටයාර් මිලියන 25ක් අත්පත් කරගෙන තිබේ.

IPES වාර්තාව විසින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ඉඩම්  ගොවි කැරැළි, ග්‍රාමීය පෙදෙස්වලින් ජනයා පලායාම, ග්‍රාමිය දුප්පත්කම, ආහාර අනාරක්ෂිතතාව ආදියට හේතු වී ඇති බවයි.

පසුගිය වසර 15 තුළ ඉඩම් මිල ගෝලීය වශයෙන් දෙගුණ වී ඇති තත්ත්වය තුළ ගොවිපොළ හිමියන් , ගොවීන්, සහ ආදිවාසි සහ ස්වදේශික ජනතාවන් ස්වකීය සම්පූර්ණයෙන්ම හෝ ඒවායේ කොටසක් අහිමිවීමේ තර්ජනයට මුහුණපා සිටිති. ඒ අතර නව පරම්පරාවල තරුණ ගොවීන්ට ගොවිතැන් කටයුතු සඳහා ඉඩම් ලබාගැනීමේ දී විශාල බාධකවලට මුහුණපාන්නට සිදුව තිබේ.

ජෝන් බෙලමි ෆෝස්ටර්

හරිත ඉඩම් කොල්ලය නවත්වන ලෙසත්, ඉඩම් වෙළඳපොළෙන් සමපේක්ෂණ ආයෝජන ඉවත්කිරීමටත්, සාධාරණ පරිවර්තන ක්‍රියාදාමයක් සඳහා ඉඩම්, පරිසරය සහ ආහාර පද්ධති සඳහා ඒකාබද්ධ පාලනයක් ස්ථාපිත කරන ලෙසත් IPES සංවිධානය ඉල්ලා සිටී. ගොවිපලවල සාමූහික හිමිකාරිත්වය සඳහාද, ගොවීන්ට ඉඩම් ලබාගැනීමට පහසුවන පරිදි නව්‍ය මූල්‍යකරණය ක්‍රම ඇතිකිරීම සඳහාද ආධාර ලබා දෙන ලෙස IPES සංවිධානය ඉල්ලා සිටින අතර නව පරම්පරාවේ ඉඩම් සහ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ඇතුළත් වන පරිදි ගොවීන්ට සහ ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රතිලාභ සැලසෙන නව තත්ත්වයන් නිර්මාණය කළයුතුව ඇතැයිද එම සංවිධානය පවසයි.

වගාබිම් මූල්‍යකරණය මත පදනම් ප්‍රාග්ධන සමුච්චනය වේගවත්වීම පටන්ගත්තේ 2008 මූල්‍ය අර්බුදයත් සමගය. කෙසේ වුව ද ආර්ථිකය මූල්‍යකරණය කිරීම ආරම්භවන්නේ 1970 දශකයේ සිට වන අතර 1980 ගණන්වල සිට කාර්මික නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථික වර්ධනයේ පසුබෑමක් දක්නට ලැබේ. ප්‍රතිචාරය වූයේ මූල්‍ය ධනවාදය සහ මූල්‍ය මැදිහත්වීම හරහා වන්දි ගෙවීමයි.

.මහාචාර්ය ජෝන් බෙලමි ෆෝස්ටර්(John Bellamy Foster) 2010 දී එනම් 2008 ආර්ථික අර්බුදයෙන් කෙටිකලකට පසුව මෙසේ සඳහන් කර තිබේ.
” නිෂ්පාදනයේ අලෙවියක් නොමැතිකම නිසා, ප්‍රාග්ධනය ණය-උත්පාදන මූල්‍ය සමපේක්ෂනයේ රැකවරණය ලබා ගත්තේය (විකල්ප සහ අනාගත ගිවිසුම්, ව්‍යුත්පන්න, හුවමාරු කිරීම් යනාදි ව්‍යාකූල ධාරාවන්ගෙන් සමන්විත)”

නවලිබරල්වාදි න්‍යාය පත්‍රය ආර්ථිකමය නිශ්චලනයේ දේශපාලන ප්‍රකාශනය විය. එය යාන්ත්‍රණයන් 4කින් සමන්විත විය.

  1. මහජන අරමුදල් ආක්‍රමණය කර අත්පත් කරගැනීම
  2. පරිභෝජනය සහ වියදම් සීමා කිරීම පිණිස පාරිභෝගිකයන්ට සහ ආණ්ඩුවලට ණය ලබාදීම පුළුල් කිරීම
  3. වියරු මූල්‍ය සමපේක්ෂණය
  4. මිලිටරිවාදය

නිෂ්පාදනය හරහා සිදු කෙරෙන ප්‍රාග්ධන සමුච්චනයේ යන්ත්‍රය තවදුරටත් පෙර ලෙස ක්‍රියාත්මක කළ නොහැකි වනවිට මූල්‍ය ව්‍යාප්තකරණයේ හදිසි ආරක්ෂණ ක්‍රියාමාර්ග දියත් කෙරිණි. බොහෝ බටහිර ආර්ථිකයන් තුළ සැබෑ ප්‍රාග්ධන ගොඩනැගීමේ සිට සමස්ත ආර්ථික නිමැවුම වැඩි කරන මූල්‍ය වත්කම් අගය ඉහළ නැංවීම වෙතට මාරුවීමක් දක්නට ලැබෙන බව ෆොස්ටර් සඳහන් කරයි, එය ධන හිමිකම් වැඩි කරන නමුත් නිෂ්පාදනයක් නොවේ.

ආහාර නිෂ්පාදනයට සහ ග්‍රාමීය ස්ථාවරත්වයට උපයෝගී කරගනු ලබන සම්පතක තත්ත්වයේ සිට මූල්‍ය වත්කමක් සහ සමපේක්ෂන භාණ්ඩයක් ලෙස වගාබිම්වල තත්ත්වය පරිවර්තනය කරමින් තිබේ. එනම් ධනවත් ආයෝජකයන්ට තවදුරටත් ලාභ ඉපැයිම සදහා සිය ප්‍රාග්ධනය යෙදවිය හැකි වත්කම් ශ්‍රේණියක් බවට වගාබිම් පත් කෙරෙමින් පවතී. පසුගිය වසර 15 තුළ ඉඩම් මිල ගෝලීය වශයෙන් දෙගුණ වී ඇති තත්ත්වය තුළ ගොවිපොළ හිමියන් , ගොවීන්, සහ ආදිවාසි සහ ස්වදේශික ජනතාවන් ස්වකීය සම්පූර්ණයෙන්ම හෝ ඒවායේ කොටසක් අහිමිවීමේ තර්ජනයට මුහුණපා සිටිති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගා ඉඩම්  මුල්‍යකරණයට ලක් කිරීමේ මූලික පියවරක් ලෙස  ගොවිජනතාවට සහ ආදි වාසින්ට සින්නක්කර ඔප්පු බෙදා දීම

ආහාර නිෂ්පාදනයට සහ ග්‍රාමීය ස්ථාවරත්වයට උපයෝගී වන සම්පතක තත්ත්වයේ සිට මූල්‍ය වත්කමක් සහ සමපේක්ෂන භාණ්ඩයක් ලෙස වගාබිම්වල තත්ත්වය පරිවර්තනය කරමින් තිබේ. එනම් ධනවත් ආයෝජකයන්ට තවදුරටත් ලාභ ඉපැයිම සදහා සිය ප්‍රාග්ධනය යෙදවිය හැකි වත්කම් ශ්‍රේණියක් බවට වගාබිම් පත් කෙරෙමින් පවතී. කාබන් විමෝචනය ශුන්‍යකිරීමේ හරිත න්‍යාය පත්‍රය ද (net-zero green agenda) දැකිය යුත්තේ මෙම සංදර්භය තුළ ස්ථානගත කරමිනි.

ප්‍රමාණවත් ලාභයක් ඉපැයීම සඳහා අරගල කිරීමට ප්‍රාග්ධනයට සිදුවන තත්ත්වයක් තුළ , නිෂ්පාදන ධනය අධි සංකේන්ද්‍රණය වීම සහ වටිනාකම අඩුවීම හේතුවෙන් පැන නගින අර්බුදය වැළැක්වීමටත් අඛණ්ඩ වර්ධනය සහතික කිරීමටත් නව ආයෝජන අවස්ථාවන් අත්‍යවශ්‍ය වේ.

IPES වාර්තාවට අනුව 2018 දී වගාබිම් මිලදී ගැනීම සඳහා කරන ලද ආයෝජනයන්ගෙන් 45%ක් එනම් දළවශයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 15ක් පැමිණ ඇත්තේ රක්ෂණ සංස්ථාවලින් සහ විශ්‍රාමික වැටුප් අරමුදල් වෙතිනි. වැඩකරන ජනතාවගේ දායකත්වයෙන් ගොඩ නැගුණ විශ්‍රාම වැටුප් අරමුදල් වගාබිම් සඳහා ආයෝජනය කිරීම හරහා සුළු පරිමාණ ගොවීන් බිල්ලට දෙමින් ඉඩම් මිල සමපේක්ෂනයත් කාර්මික කෘෂිකර්මයත්, දැවැන්ත කෘෂි සමාගම්වල අවශ්‍යතාවනුත් ප්‍රවර්ධනය කරමින් පවතී. අවාසනාවකට මෙන් වැඩකරන ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ මේ ආකාරයෙන් ගෝලීය මූල්‍යකරණයේ බලය සහ වර්ධනය සඳහා ද තවත් වැඩකරන ජන කොටසක් වන ගොවීන්ගේ තත්ත්වය පිරිහෙලීම සඳහාද යොදාගෙන ඇති විශ්‍රාම වැටුප් අරමුදල් මතය.

IPES සංවිධානයේ සොෆියා මොන්සාල් සුවාරේස් ( Sofía Monsalve Suárez) මෙසේ සඳහන් කර ඇත.

සොෆියා මොන්සාල්

“තීරණ ගන්නන් තම වගකීම පැහැර හැරීම නවත්වා ග්‍රාමීය පරිහානිය වැළැක්වීම සඳහා කටයුතු කිරීමට කාලය පැමිණ ඇත. ඉඩම් වෙළඳපොළ මූල්‍යකරණයට සහ ලිබරල්කරණයට ලක්කිරීම මගින් ජීවනෝපායයන් විනාශ කිරීමත් ආහාර සඳහා වන අයිතිය අහිමි කිරීමත් සිදුවෙමින් පවතී. සමපේක්ෂන ප්‍රාග්ධනය සඳහා වාන් දොරටු විවෘත කිරීම වෙනුවට ආණ්ඩු විසින් කළ යුතුව ඇත්තේ ප්‍රෝඩාකාරි “හරිත කොල්ලය” නැවැත්වීම සඳහා සංයුක්ත පියවර ගැනීමත් ග්‍රාමීය සංවර්ධනය, තිරසාර ගොවිතැන සහ ප්‍රජා මූලික සංරක්ෂණය සඳහා ආයෝජනය කිරීමත්ය”

අවාසනාවකට මෙන් එවැනි වෙනසක් තීන්දු තීරණ ගනු ලබන්නන් සහ ආණ්ඩු විසින් ගෙන එනු ඇතැයි යන විශ්වාසය මත පිහිටා කටයුතු කිරීමට සාමාන්‍ය ජනතාවට නොහැකිය. සාමාන්‍ය ජනතාවට සෑම විටෙකම සිය ජීවිතවල වෙනසක් සහ වර්ධනයක් කරගැනීම සඳහා අරගල කිරීමට සිදුවිය. ලෝකය පුරා ජනතා කණ්ඩායම් සිය අයිතීන් උදෙසා පෙරළා සටන් වදිමින් සිටිති. මෙම IPES වාර්තාව විසින් එබඳු ජන කණ්ඩායම්වල ආශ්වාද ජනක ජයග්‍රහණ පිළිබඳ නිදසුන් අන්තර් ගත කෙරී ඇත.
ඔබට සම්පූර්ණ වාර්තාව වෙත මෙම සබඳතාවෙන් ප්‍රවේශ විය හැකිය.

කොලින් ටොඩ්හන්ටර් විසින් ලියන ලද Menace on the Menu: The Financialisation of Farmland and the War on Food and Farming in World  ලිපියේ පරිවර්තනයකි‍.

සටහන්

ආවේණික අවදානමක් සහිත වත්කම් ශ්‍රේණිය (stand-alone asset class)

ආවේණික අවදානමක් (Stand-Alone Risk ) යනු ප්‍රතිලාභවල විවිධාංගීකරණයෙන් ස්වාධීනව තනි පුද්ගල ආයොජනයක් හෝ ව්‍යාපෘතියක් හා සම්බන්ධව එම ආයෝජනයේ ස්වභාවය අනුව උරුමකරගත් අවදානම විස්තර කෙරෙන මූල්‍ය ක්ෂේත්‍රයට අයත් සංකල්පයකි. එය විසින් නිශ්චිත වත්කමක හෝ ව්‍යාපාරයක ප්‍රතිලාභවල අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතාවය නියෝජනය කරන අතර, අස්ථාවර ව්‍යාපාර ඇගයීමේදී ආයෝජකයින්, විශ්ලේෂකයින් සහ මූල්‍ය කළමනාකරුවන් මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරති. ආවේණික අවදානමක් සහිත වත්කම් ශ්‍රේණියක් යනු (stand-alone asset class) එවැනි ආයෝජන අවදානමක් සහිත වත්කම් ප්‍රභේදයකි. ආවේණික අවදානමක් ක්‍රමානුකූල නොවන අවදානමක් (unsystematic risk) ලෙසද හැඳින්වේ.
සමස්ත වෙළඳපොළට බලපාන සාර්ව ආර්ථික සාධක මගින් බලපාන ක්‍රමානුකූල අවදානම මෙන් නොව, ආවේණික අවදානම යම් නිශ්චිත ආයෝජනයකට පමණක් විශේෂිත අවදානමක් ලෙස සැළකේ.
සමපේක්ෂනය(Speculation)
සමපේක්ෂනය (සමපේක්ෂන වෙළඳාම ලෙසද හැඳින්වේ) යනු වටිනාකමක් අහිමි වීමේ සැලකිය යුතු අවදානමක් ඇති නමුත් නුදුරු අනාගතයේ දී වටිනාකමක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ද ඇති වත්කමක් (භාණ්ඩයක්, හොඳ හෝ දේපලක්) මිලදී ගැනීමේ ක්‍රියාව හැඳින්වෙන මූල්‍ය යෙදුමකි.

කාබන් ඕෆ්සෙට් අලෙවිය

කාබන් ඕෆ්සෙට් අලෙවිය යනුවෙන් අදහස් කරන්නේ යම් පුද්ගලයෙකු, ආයතනයක්, රාජ්‍යයක් විසින් පරිසරයට නිකුත් කරන ලද කාබන් ප්‍රමාණය අඩු කිරීම සඳහා දායකවන ක්‍රියාවලියක් සඳහා වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ රාජ්‍යයකට කිසියම් මිලක් ගෙවීමේ ක්‍රමයකි.
උදාහරණයක් ලෙස ධනවත් රාජ්‍යයක් වන ඇමෙරිකාව විසින් එක් වසරක් සඳහා මුදාහරින ලද කාබන් ප්‍රමාණය කාබන් ටොන් 10ක් යැයි සිතන්න. එවිට ඇමෙරිකාව විසින් සිය කාබන් විමෝචනය ශුන්‍ය බවට පත් කිරීම හෙවත් “නෙට් සීරෝ ” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එම කාබන් ටොන් 10 වායුගෝලයෙන් ඉවත් කළයුතු වේ. මෙහිදී ඔවුන් සිදු කරන්නේ ගෝලීය දකුණේ ණයබරින් පෙළන දුප්පත් රටකට එම කාබන් ටොන් 10 අඩු කිරීමේ ක්‍රමයක් අනුගමනය කරන ලෙස ඔවුන්ගේ ණය බර ඔවුන්ව යටත් කිරීම සඳහා අවියක් ලෙස භාවිතා කරමින් බලකිරීමය.අපි එම දුප්පත් රට ලංකාව යැයි සිතමු. ලංකාව විසින් නිකුත් කරන කාබන් ප්‍රමාණය ටොන් 4ක් ලෙසත් ලංකාවේ වනාන්තර පද්ධතිය විසින් වායු ගෝලයෙන් ඉවත් කරනු ලබන කාබන් ප්‍රමාණය ටොන් 5ක් ලෙසත් උපකල්පනය කරන්න. එවිටලංකාව විසින් තමන් විමෝචනය කරනවාටත් වඩා (කාබන් ටොන් 1ක්) ප්‍රමාණයක් වායුගෝලයෙන් ඉවත් කිරීමට දායක වී තිබේ යැයි සැළකේ. එවිට ලංකාවට එම කාබන් ටොන් 1 වෙනත් රටක කාබන් පරිභෝජනය තුලනය කිරීම සඳහා අලෙවි කිරීමට හැකි වනු ඇත.අප මුලින් කී ධනවත් රට වන ඇමෙරිකාව මෙම කාබන් ටොන් 1 සඳහා ලංකාවට මුදලක් ගෙවමින් තම කාබන් විමෝචනය ටොන් 9 දක්වා අඩු කරගනී. මෙය තවදුරටත් අඩු කිරීමට ඇමෙරිකාවට අවශ්‍ය නම් ඔවුන් ලංකාවට සිය පොසිල ඉන්ධන භාවිතය අඩු කරමින් කාබන් විමෝචනය ටොන් 1ක් දක්වා ඊළඟ වසර තුළ අඩු කරන ලෙස බල කරයි. එවිට ඊළඟ වසරේදී ලංකාවේ කාබන් විමෝචනය කාබන් ටොන් 3 ක් වන අතර ඔවුන්ට අලෙවි කළ හැකි අගයකාබන් ටොන් 2ක් වේ. එම ටොන් දෙකෙහි අගය ඇමෙරිකාව විසින් මිලදී ගෙන සිය කාබන් ගිණුම තුලනය කරන්නේ නම් ඔවුන් විමෝචනය කරන කාබන් ප්‍රමාණය ටොන් 8ක් ලෙස සැලකේ. ඇමෙරිකාව මෙම පිළිවෙත තවත් රටවල් කීපයක් සම්බන්ධව ක්‍රියාත්මක කරමින් නෙත් රටවල් විසින් ඉතිරි කරන තවත් කාබන් ටොන් 8ක අගයක් මිලදී ගතහොත් ඇමෙරිකාවට සිය කාබන් විමෝචන අගය ශුන්‍යය නැතහොත් “නෙට් සීරෝ ”කරා ළඟා වී ඇතැයි එවිට පැවසිය හැකිවනු ඇත. නමුත් යථාර්ථයේදී ඇමෙරිකාව තමන් විසින් වායුගෝලයට නිකුත් කරන කාබන් අවුන්සයක්වත් අඩු කර නැත. මෙහිදී අදාළ මැනීමේ කටයුතු සිදු කරන්නේ “දෙපාර්ශ්වයටම පිලිගත හැකි” බහුපාර්ශ්වික ආයතනයක් හෝ වෙනත් රාජ්‍යයක් විසිනි.

මෙහිදී සැළකීමට ගත යුතු අනෙක් කරුණ වන්නේ මෙම කාබන් ගනුදෙනුවේදී ලංකාව වැනි දුප්පත් රටවලට සැබෑ ලෙසම කිසිදු ගෙවීමක් හිමි නොවන බවත් එම රටවල ණය බරෙන් කොටසක් ඒ වෙනුවෙන් කපා හරින බවට ප්‍රකාශ කරමින් සංඛ්‍යා ලේඛන විජ්ජාවක් මගින් මෙම අසාධාරණය තවත් පියවරක් ඉදිරියට ගෙන යාමත් බවය. මෙහිදී සිදුවන අනෙක් ක්‍රියාවලිය නම් ලංකාව වැනි රටවල කාර්මික නිෂ්පාදනය බිඳ දැමීම සඳහා මෙම “නෙට් සීරෝ” ප්‍රතිපත්තිය යොදා ගැනීමයි. නිල් බැඳුම්කර, හරිත බැඳුම්කර,“ස්වභාවික පරිසරය සඳහා ණය හුවමාරුකරණය ” ආදි සියල්ල මේ ප්‍රෝඩාවටම සම්බන්ධ තවත් මූල්‍ය වංචාවන් සහ බලහත්කාරයන් පමණි.
බෙලීස් රාජ්‍ය සමග සිදුකරන ලද “ස්වභාවික පරිසරය සඳහා ණය හුවමාරුකරණය ” පිළිබඳ ගිවිසුමේදී“ක්‍රෙඩිට් ස්විස් බැංකුව”(CreditSuisse),“පරිසර සංරක්ෂණ සංවිධානය”(The Nature Conservancy-TNC) සහ “ප්ලැටිනම් සෙකියුරිටීස්”( Platinum Securities) ආයතනය එම රාජ්‍යයට බලකරන ලද්දේ ඔවුන්ගේ කාබන් විමෝචන අගයන් අඩු කර එම අගයන් අදාළ මූල්‍ය සමාගම්වලට පවරන ලෙසය.