පරිසර යටත්විජිතවාදය සහ සංරක්ෂිත කලාප : කෙන්යානු අත්දැකීම්-මොර්ඩෙකායි ඔගාඩා

මොර්ඩෙකායි ඔගාඩා

කොවිඩ්-19 ප්‍රෝඩාකාරි වසංගත නාටකයේ පළමු වටයේ අවසන් ජවනිකා පෙළ රඟදක්වමින් සිටියදීම තවත් නාටකයක් රඟදැක්වීමට කලින් නාටකයේ අධ්‍යක්ෂවරුන්, තිර රචකයන්, නලුනිලියන් සහ පසුබිම් ගායකයන් මෙන්ම හඬකවන්නන්ද පෙළගැසී සිටියහ. මේ නාටකය අන්කිසිවක් නොව දේශගුණ විපර්යාස භීෂණ නාටකයයි.ගෝලීය මට්ටමින් රඟදක්වන ලද කොවිඩ්-19 නාටකය හරහා සමස්ත ලෝකයේම ආර්ථික ක්‍රියාවලිය අඩපණ කර දමමින් ලංකාව වැනි ගෝලීය දකුණේ රටවල් බටහිර මූල්‍ය ආයතනවල ණය උගුලට සිරකර ගනු ලැබිණි. කොවිඩ්-19 හානිකර mRNA එන්නත්කරණය මගින් ලොව පුරා ජනතාව ලක්ෂ ගණනින් මරණයටත් පතු වූ අතර තවත් දශලක්ෂ ගණන් ආබාධිත තත්ත්වයටත් පත්විය.
දේශගුණ විපර්යාස පිළිබඳ නාටකය ලංකාව තුළ තීරණාත්මක ලෙස එළි දැක්වීම සිදුවන්නේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බ්‍රිතාන්‍ය යේ ග්ලාස්ගෝහි පැවැති COP26 දේශගුණ විපර්යාස පිළිබඳ පවත්වයන ලද සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවය. එහිදී තමන් “මෙම ග්‍රහලෝකය ආරක්ෂා කරගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බවට ”මෙම දේශගුණ විපර්යාස නාටකයේ අධ්‍යක්ෂවරුන් හමුවේ ප්‍රතිඥා දුන් ඔහු ඔවුන් සමග ඔහු 2030 වනවිට කාබන් විමෝචනය ශුන්‍ය කිරීම,පුනර්ජනනීය බලශක්ති භාවිතය,ESG නිර්ණායක ක්‍රියාත්මක කරවීම වැනි විවිධ ගිවිසුම් ගණනාවකට අත්සන් තබන ලද බව වාර්තා විය. අනතුරු ලංකාව තුළ පොසිල ඉන්ධන භාවිතය අඩුකිරීම සඳහා විවිධ ත්‍රස්තවාදි සහ කඩාකප්පල්කාරි ක්‍රියාවන් දියත් විය.

තමන් විසින්ම වගකිව යුතු ණය අර්බුදයක් ලංකාව මතපටවා එහි ප්‍රතිඵලයක්ලෙස රට බංකොළොත් බව ප්‍රකාශ කරන ලෙස ආණ්ඩුවට බටහිර මූල්‍ය ආයතන විසින් බලපෑම් දියත් කෙරිණි.තම යටත්විජිතවාදි නියෝගවලට ආණ්ඩුව අවනතකරගැනීම සඳහා එය මත දේශපාලන පීඩනය උත්සන්න කරනු පිණිස ජෝර්ජ් සොරෝස්ගේ ඕපන් සොසයිටි පදනම, එක්සත් ජනපදයේ නැෂනල්‍ එන්ඩෝමන්ට් ෆෝ ඩිමොක්‍රසි වැනි රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් පුහුණු කරන ලද සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයන් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් මගින් අරාබි වසන්තය පන්නයේ අරගලයක් දියත්කරනු ලැබිණි. සාමාන්‍ය ජනතාවට මේ සිදුවන්නේ කුමක්දැයි වැටහීමක් නොවිණි. රාජපක්ෂවරුන්ගේ දූෂිත මර්දනකාරි පාලනය යටතේ දැඩි පීඩනයකට ගොදුරුව සිටි ජනතාවගේ ආණ්ඩු විරෝධය ස්වකීය අරමුණු ඉටුකර ගැනීම සඳහා “අරගලය ” පිටුපස සිටි විදේශ බලවේග විසින් නින්දිත අයුරින් ගසාකනු ලැබිණි. මෙම අරගලය තුළ ජාමුඅ සහ ලෝක බැංකුව බ්ලැක්රොක් වැනි බටහිර මූල්‍ය සමාගම් විසින් අටවනලද ණය උගුලට එරෙහිව කිසිදු සටන් පාඨයක් පෙරට ගැනීම දැනුවත්ව සහ සංවිධානාත්මකව වළක්වනු ලැබිණි.
රට පූර්ණ වශයෙන් මෙලෙස යටත්කරගැනීමෙන් පසු එහි සම්පත් මංකොල්ලකමින් ජනතාව ක්‍රමානුකූලව ඔවුන්ගේ නිජබිම්වලින් පලවා හැරීම පිණිස දැන් විවිධ කුමන්ත්‍රණ දියත්වෙමින් පවතී. පුනර්ජනනීය බලශක්තිය නිපදවීමට යැයි කියමින් ලංකාවේ බලශක්ති සැපයුම්වල සියලු මර්මස්ථාන එක්සත් ජනපදයේ බ්ලැක්රොක්හි හවුල්කාර සමාගමක් වන ඉන්දියාවේ අදානි වෙත පවරා දී තිබේ.

කඳුකර වනයක් තුළ සංචාරයක නිරතව සිටි කණ්ඩායමත් අතර වූ තරුණියක් ඔවුන්ගේ වනගත කඳවුර තුළදී මරණයට පත්වීමේ ඛෙදජනක සිදුවීම තුළ දැවැන්ත ආඛ්‍යානයක් නිර්මාණය කරමින් සමස්ත ශ්‍රි ලාංකිකයන්ටම කඳු නැගීම සීමා කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති නමුත් නකල්ස් කඳුකරයේ කඳවුරු බැඳීමට ඇමෙරිකන් හමුදාවලට අවසර දී තිබේ. එමෙන්ම ඉන්දියාවේ අදානි සමාගමට සීතා එළියෙන් අක්කර 6000ක් විකුණා ඇති බවද බින්තැන්නේ තවත් අක්කර 65000ක් තවත් විදේශිය සමාගමකට විකුණා ඇති බවද වාර්තා වේ.

මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ නිල් බැඳුම්කර (Blue Bonds), හරිත බැඳුම්කර(Green Bonds) සහ ස්වභාව ධර්මය වෙනුවට ණය හුවමාරුකරණය (Debt For Natur Swaps), දේශගුණය සඳහා ණය හුවමාරුකරණය )Debt for climate Swaps) වැනි වංචනික මූල්‍ය ව්‍යාපෘති හරහා ලංකාවේ වනාන්තර, වැව් සහ අනෙකුත් ජලාශ, ගංගා සහ ඇල මාර්ග, මුහුදු වෙරල, මුහුද ආදිය තුළ සංරක්ෂිත කලාප නම් කරමින් එම කලාපයන් තුලට ප්‍රවේශවීමට පරම්පරා ගණනාවක් තිස්සේ එම සම්පත් පරිහණය කළ ජනතාවට තහනම් කිරීමේ සැලසුම් සකස් වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජනතාව මෑතකදී හවායිහි මාවි දූපතේ හටගත් සැකසහිත ගිනිගැනීම් පිටුපස සිදුවන දේපොළ කොල්ලය පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබේ. දැන් මෙම විපතට පත් ජනයා නැවැත පදිංචි කිරීම වෙනුවට සිදුවන්නේ එක්සත් ජනපදයේ ප්‍රභූ පැළැන්තිය සහ දේපොල සමාගම් විසින් දැවී මියගියවුන්ගේ භෂ්මාවශේෂ හෝ ඉවත්කිරීමට පෙර එම ඉඩම් තුට්ටු දෙකට මිලදී ගැනීම සඳහා හෙට්ටුකිරීමට තැරැව්කරුවන් එවීමය.

මෙවැනි “සවාභාවික ව්‍යසන ඇතිවීමේ අවදානම” උපයෝගි කරගනිමින් ලංකාවේ යම් යම් පළාත්වල ජනකොටස් එම පලාත්වලින් ඉවත්කරමින් එම ඉඩම් විදේශිය බලවේගයන්ට පවරා දීමේ අනතුරක් ලංකාවේ ජනතාව වෙත එල්ලවී තිබේ. එමෙන්ම යම් යම් සමුද්‍ර කලාපයන් ට ප්‍රවේශවීම ධීවරයන්ට තහනම් කරමින් එම කලාපයන් විදේශීය නාවික හමුදාවන් වෙත පවරා දීමට ද කටයුතු කෙරෙනු ඇත.

කෙන්යාවේ ලොල්දායිගා වන සංරක්ෂිත කලාපය යොදාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය හමුදාවේ “දුෂ්කර පරිසර තත්ත්වයන් සඳහා පුහුණුවීම් ” සඳහා වන අතර 2021 වසරේ දී ඔවුන්ගේ පුහුණුවීම් හේතුවෙන් හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර 49,000ක් වන මෙම වන සංරක්ෂිතයේ අක්කර 12,000ක් විනාශයට පත් විය. ලොල්දායිගා වන සංරක්ෂිතය පිහිටා ඇත්තේ හිම වලින් වැසීගිය කඳු මුදුන් සහිත මවුන්ට් කෙන්යා කඳුකරයේ ලයිකිපියා සානුවේය. කෙන්යාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ මෙම පලාතේ ඉඩම් අක්කර ලක්ෂ ගණනක් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදින් විසින් අත්පත්  කරගෙන තිබිණි. කෙන්යාව නිදහස් වූ පසුව මෙම කලාපයේ ලඳු කැලෑබිම් සංරක්ෂිත කලාපයන් ලෙස බ්‍රිතාන්‍ය විසින් නම් කළ අතර එමගින් එම වනාන්තර මත සිය ආධිපත්‍යය දිගටම පවත්වාගෙන යනු ලැබිණි.  න්යාටිහි පිහිටුවා ඇති හමුදා බැරැක්ක වල බ්‍රිතාන්‍ය සොල්දාදුවන් දහස් ගණන් කඳවුරු ලා සිටින අතර ඔවුහු වාර්ෂිකව මෙම සංරක්ෂිතයන් තුළ යුද අභ්‍යාස පවත්වති. මෙම වනාන්තර තුළ දැවැන්ත පිපිරුම් හඬවල් ඇසෙන බවද නිතර ගුවන්යානා පැමිණෙන බවද ප්‍රදේශවාසිහු චෝදනා කරති.

1960 ගණන්වල සිට ලංකාවේ වනවගා ව්‍යාපෘතියක් ලෙස විදේශිය ආර්ථික ශාකයන් වන පයිනස් සහ යුකැලිප්ටස් වගාකරන ලද “සංරක්ෂිත කලාප ” විසින් කඳුකරයේ භූගත ජලය සිඳ දමමින් ජල පෝෂක කලාපවලටත්,ජෛව විවිධත්වයටත්, පසටත්, ප්‍රදේශවාසි ජනතාවගේ පශු සම්පතටත් ඔවුන්ගේ සම්ප්‍රදායික ජීවන රටාවන්ටත් සිදුකරන ලද හානිය පිළිබඳව අපට අපගේම අත්දැකීම් තිබේ. එවැනි ව්‍යාපෘති දිගින් දිගටම දියත් කරනලද්දේ ඒවායේ හානිකර බලපෑම් පිළිබඳව ප්‍ර දේශවාසි ජනතාව සහ අව්‍යාජ පරිසර හිතකාමින් දක්වන ලද විරෝධතා සම්පූර්ණයෙන්ම නොතකා හරිමිනි.

එහෙයින් නුදුරු අනාගතයේදී පරිසර සංරක්ෂණයේ නාමයෙන් ආණ්ඩුවත් එහි වාචාල දේශපාලකයන් සහ අවස්ථාවාදි පරිසරවේදීන් විසින් ප්‍රවර්ධනය කිරීමට නියමිත ඊනියා “සංරක්ෂණ කලාප ” පිළිබඳව දැඩි විමසිලිමත් බවකින් පසුවීම අතිශයින් වැදගත් දේශපාලන අවශ්‍යතාවක්වනු ඇත.

අප විසින් පහත පළකරනු ලබන්නේ අප්‍රිකානු මහද්විපයට අයත් රටක් වන කෙන්යාවේ පරිසර සංරක්ෂණය තුල ක්‍රියාත්මක වන බටහිර පරිසර සංරක්ෂණ මොඩලය විසින් එහි ස්වදේශික ජනයාගේ ජීවන රටාවන් විනාශ කරමින් ඔවුන් තමන් උපන් බිම් තුළම සරණාගතයන් බවට පත්කර ඇති ආකාරය ගැන සාකච්ඡාවට භාජන කෙරෙන ලිපියකි.මෙම ලිපිය ලියා ඇත්තේ  කෙන්යානු ජාතික පරිසර‍වේදියෙකු වන මොර්ඩෙකායි ඔගාඩා (Mordecai Ogada) විසිනි

 

අපගේ ක්‍රමය විසින් චිරස්ථායි කර ඇත්තේ බටහිරයන්ගේ “ ප්‍රාකාර සහ බලකොටු ඉදිකෙරෙමින් සිදුකෙරෙන මිලිටරිමය සංරක්ෂණ” ප්‍රාථමික ප්‍රවේශයකි. මෙම ප්‍රවේශය තුළ ස්වදේශිකයා හෝ ප්‍රදේශවාසියා දකින්නේ සතුරෙකු ලෙසය. මෙම ක්‍රමය බටහිර විසින් වසර 200කට පෙර සිට සංවර්ධනය කරන ලද එකකි. කෙන්යාවේ වනජීවි සේවා (Kenya Wildlife Service-KWS) අධිකාරියේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු පත් කරමින් අපි එම ක්‍රමය තවමත් වහලුන් ලෙස පිළිපදිමින් සිටිමු. අපගේ හොඳම විකල්පය විය යුත්තේ ස්වදේශිකයාගේ ජීවිතය සහ ජීවිකාව රඳාපවතින පරිසරය පිළිබඳ ස්වදේශික අප්‍රිකානු දැනුම මත පදනම් වූ කාර්යක්ෂම සහ දියුණු ප්‍රවේශයක් ස්ථාපනය කිරීමය. මෙම ප්‍රවේශය ගොඩනැගීම සඳහා සමාජ විද්‍යාඥයන්ගේ,ආර්ථික විද්‍යාඥයන්ගේ, කලාකරුවන්ගේ, සම්ප්‍රදායික නායකයන්ගේ ඇතුළු බොහෝ දෙනෙකුගේ දායකත්වය අවශ්‍ය වේ.
ඉතාම වැදගත් කරුණ නම් මෙහිදී ප්‍රධාන වශයෙන්ම ආයෝජනය කළ යුතු දෙය වන්නේ කාලය වීමයි. මක්නිසාද යත් පරම්පරා ගණනාවක් තිස්සේ නොසලකා හැරීමට ලක්කරමින් සහ පහරදෙමින් කායිකව සහ මනෝවිද්‍යාත්මකව යටපත් කරන ලද මෙම ප්‍රවේශය ගොඩනැගීම සඳහා අතිවිශාල ලෙස බුද්ධිමය සම්පත් අවශ්‍ය වන බැවිනි. කෙන්යාවේ හෝ අප්‍රිකාවේ සෙසු රටවල සිටින අප අතරින් කී දෙනෙකු තුළ ඒ සඳහා ධෛර්යය ඇත්ද?
මෙම විකල්පය කෙන්යාව වැනි රටකදී අනුගමනය කිරීමට නොහැකිවීමට බලපාන තවත් හේතුවක් වන්නේ කාලයයි. සිය භූමියට ඓන්ද්‍රිය සම්බන්ධතාවයක් සහිත අප්‍රිකානුවන්ට කොපමණ කාලයක් සිය පැවැත්ම රැකගත හැකිවනු ඇත්දැයි යන්න වටහා ගැනීම අප අපටම අවංකවන්නේ නම් කොහෙත්ම අසීරු කරුණක් නොවේ.

මෙම සාධක වලට දිගුකලක් තිස්සේ පැසවන්නට ඉඩහැරියහොත් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ කෙටිකාලීන කුඩා ජයග්‍රහණ පිළිබඳ සළුපිළිවලින් දවටන ලද්දාවූත්, ‘සාර්ථකත්වය’ ලෙස වෙස්වලා ගත්තාවූත් ස්වයං පිළිකුළ පිළිබඳ හැඟීම් වලින් ගිලන් වූ සංස්කෘතියකි. මෙම ප්‍රචණ්ඩ අවතැන් කිරීම්වල සහ අඛණ්ඩ දුෂ්-අධ්‍යාපනයේ විභවය පිළිබඳව සැක කරන යමෙකු වේනම් ඔහුට හෝ ඇයට වසර කීපයක කෙටි කාලයක් තුළ තම යථාර්ථයන් පිළිබඳ අවබෝධය සම්පූර්ණයෙන්ම අහිමි කරගන්නා ලද අප්‍රිකාවේ සිට බටහිරට පැමිණි සංක්‍රමණිකයන් මත ඒ මගින් ඇති කරන ලද බලපෑම පරීක්ෂා කළ හැකිය. මෙම දුෂ්-අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පදනම්ව ඇත්තේ ඊනියා ‘සංරක්ෂණය ’ මතය.

සංරක්ෂණය පිළිබඳ මිත්‍යාව

සදාතනික යටත්විජිත පිළිබඳ ව්‍යාපෘතිය විසින් අපව දුෂ්-අධ්‍යාපනයකට ගොදුරු කරවන ලද්දේ සංරක්ෂණය යනු වනජීවින් පිළිබඳ දෙයක් බවයි. නමුත් සත්‍යය නම් එය අපගේ භූමිය, අපගේ උරුමය, අපගේ සංස්කෘතිය, අපගේ භාෂාව සහ අපගේ විශ්වාසයන් පිළිබඳ දෙයක් වන බවයි. සරලවම පවසතොත් එය අප පිළිබඳ දෙයකි. නමුත් යටත්විජිතවාදි ව්‍යාපෘතිය විසින් අපට උගන්වා ඇත්තේ සංරක්ෂණය යනු බටහිර සංචාරකයන් විසින් ‘ඉතාම ලස්සණ ’‘හරිම හුරතල් ’, ‘ප්‍රතාපවත්’, හෝ ගම්භීර යනුවෙන් සළකනු ලබන විශාල සත්ව විශේෂයක් රැක ගැනීම පිළිබඳ දෙයක් බවය. එහෙයින් අපි යටත්විජිතවාදින් විසින් ඉඩම් සහ සම්පත් කොල්ලය සඳහා තෝරාගනු ලබන ස්ථාන සංරක්ෂණය කරනු වස් අපගේම සහෝදර ජනතාවන් මරා දමමින් සිටින්නෙමු. මෙම සදාකාලික යටත්විජිත ව්‍යාපෘතියේ සාර්ථකත්වය මා ජනතාව විසින් දැඩි විරෝධතාවයකින් යුතුව පිළිගත යුතුව තිබේ. මක් නිසාද යත් 2019 වසරේදී පවා කෙන්යානු රජය ඔවුන්ගේ සංරක්ෂණ න්‍යාය පත්‍රයේ ඉලක්ක විය යුත්තේ සංචාරකයන් තෘප්තිමත් කිරීම බව තවමත් විශ්වාස කරනා බැවිනි. අපට තවමත් ඇත්තේ “සංචාරක සහ වනජීවි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයකි ” .(මෙම අමාත්‍යාංශය භාර ඇමැතිවරයා සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරිකයෙකි) කෙන්යා වනජීවි සේවය සතුව සංචාරක දෙපාර්තුමේන්තුවක් පවතින අතර එය විසින් එහි අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කප්පාදු කර දමා තිබේ. මක් නිසාද යත් කෙන්යානු ජනතාව අපගේ උරුමය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම වඩා සංචාරකයන් සතුටු කිරීම වඩාත් වැදගත් ලෙස සැලකෙන බැවිනි.

විධිමත් ලෙස ආරක්ෂා කරනු ලබන ප්‍රදේශවලින් ඔබ්බට යමින් යටත්විජිතවාදි ව්‍යාපෘතිය විසින් ‘වනජීවි ආරක්ෂක මධ්‍යස්ථාන ’ නම් නවතම යක්ෂයෙකු නිර්මාණය කර තිබේ. මෙම ‘වනජීවි ආරක්ෂක මධ්‍යස්ථාන’ වල කාර්යභාරය ස්වාභාවික පරිසරය ආශ්‍රිතව ජීවත්වන ස්වදේශික ප්‍රදේශවාසින් එම ප්‍රදේශවලින් ඉවත්කරවීමය. මේ සඳහා එම ආයතන විසින් ස්වදේශික ප්‍රදේශවාසි ජනතාව වෙත, තමන් ස්වාභාවික පරිසරය ඇසුරෙන් සපයාගනු ලබන ජීවිකාව, තමන්ගේ උපන් උරුමය සහ අනන්‍යතාවයේ අනෙකුත් ආකාරයන් අත්හරිමින් වෙනත් පළාත්වලට යාම පිණිස මුදල් අල්ලස් ලබාදීම සිදුකරයි. නැතහොත් ඔවුන් මත නීතිමය හෝ ප්‍රචණ්ඩ බලහත්කාරයන් දියත්කිරීම මගින් බියගන්වමින් නෙරපා හරිනු ලබයි. ඉහත ආයතන වල සාර්ථකත්වය මැනෙන්නේ ඒවා විසින් ඉවත්කරනු ලබන පුද්ගලයන් සහ පවුල්වල සංඛ්‍යාව මතය. ඉහත සංරක්ෂණ මධ්‍යස්ථාන අවට ජීවත්වන ජනතාවගේ ඡන්ද අයිතිය ඇතුළු අයිතීන් අහිමි කිරීම කොතෙක් විසකුරු ලෙස සිදුවන්නේ ද යන්න පිළිබඳව නිදසුන් දහස් ගණන් සංචාරක ප්‍රවර්ධන ප්‍රචාරක පත්‍රිකා තුළ දැකිය හැකිය.

එක් සංචාරක ප්‍රචාරක පත්‍රිකාවක ඇති ඡායාරූපයක දැක්වෙන්නේ කවර හෝ ‘මා’ භාෂාව කතාකරන ප්‍රජාවකට අයත් මොරාන් ගෝත්‍රිකයෙකු සිය සම්පූර්ණ සම්ප්‍රදායික ඇඳුමින් සැරසී (කඩුවක් ද පැළඳ) නාන තඩාගයක් අසල අඩ නිරුවතින් සිටින බටහිර සංචාරකයන් පිරිසකට බීමවලින් සංග්‍රහකරන ආකාරයයි. මොරාන් ගෝත්‍රිකයා සිටින්නේ ඔහුගේ ජනතාව සහ ගවයින් ඇතුළු පශු සම්පත බලහත්කාරය සහ වංචාව මගින් ඉවත් කරන ලද නිජ බිම තුළය. ඔවුන්ට පසුබිමෙන් දැක්වෙන්නේ ‘වනජීවි ආරක්ෂක මධ්‍යස්ථානය’ වේ.

අපි මොහොතකට කජියාඩෝ වෙත ගමන් කරමු. පසුගිය අප්‍රේලයේදී නිව්යෝර්ක් හිදි පැවැති ස්වදේශික ජනයා මුහුණ දෙන ගැටළු පිළිබඳ එක්සත් ජාතින්ගේ ස්ථාවර සංසදයේ ( United Nations Permanent Forum on Indigenous Issues- UNPFII) හමුව වෙත කජියාඩෝ නියෝජිත පිරිස විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධානතම කාරණය වූයේ ඔවුන්ගේ භූමිය අත්පත් කරගත් ටාටා රසායනික කම්හල (Tata Chemicals Factory) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳවය. මෙම කම්හල කෙන්යානුවන් විසින් හඳුන්වනු ලබන්නේ ‘මගාඩි සෝඩා කොම්පැණිය’ යන නමිනි. සෝඩා අළු හෙවත් ට්‍රෝනා කැණීම් කටයුතු වල 1924 සිට නිරත වන මෙම කම්හල පිහිටුවන ලද්දේ 1911දී ඉංග්‍රීසි යටත්විජිතවාදින් සහ මසායි ගෝත්‍රික ජනයාගේ නියෝජිතයන් විසින් ඇතිකරගන්නා ලද ඇංග්ලෝ- මසායි ගිවිසුම අනුවය. මම මේ යටත්විජිතවාදි ගිවිසුම පිළිබඳව මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා නොකරමි. නමුත් මෙම අර්බුදයට බලපාන ලද මූලික හේතුව මෙයයි. ට්‍රෝනා හෙවත් සෝඩා අළු කණිනු ලබන්නේ අක්කර 35,000ක් පුරා පැතිර ඇති මගාඩි විල තුළය. නමුත් ගිවිසුම විසින් මෙම යටත්විජිතවාදි වංචාකරුවන්ට අක්කර 225,000ක භූමි ප්‍රමාණයක් පවරා දී තිබේ. මෙහි තේරුම වන්නේ සමාගම විසින් භාවිතා කරන්නේ සියවසකට ඉහතදී කජියාඩෝ මසායි ප්‍රදේශයෙන් පවරාගත් ඉඩම්වලින් 15.5%ක් පමණක් බවය. 84.5% ක වන සෙසු ඉඩම් භාවිතා කරන බවට සළකුණක් නැත. මෙහි ප්‍රායෝගික අර්ථය වන්නේ ස්වදේශික ජනතාව වසර දහස්ගණනක් තිස්සේ ජීවත් වූ මේ මෙම අතිවිශාල භූමි භාගය තුළට ඔවුන්ගේ ගවයින් තණකැවීමට හෝ , වෙනත් අවශ්‍යතාවන් සඳහා ඇතුළුවීමට අවශ්‍ය වූ විට එම ඉඩම් වංචනිකව සහ බලහත්කාරයෙන් අත්පත් කරගත් විදේශික සමාගම්වලින් ඒ සඳහා අවසර ගැනීමට සිදුවී තිබීමයි.

ඉඩම් ප්‍රශ්නය

මසායි ජනතාව ස්වකීය භූමියට බැඳුණු මුල්වලින් උදුරා දමමින් ඔවුන්ගෙන් කොල්ලකාගත් ඉඩම් ආපසු ලබාදීමකින් තොරව මසායි සංස්කෘතික අනන්‍යතාව සහ ඔවුන්ගේ මවුබසෙහි පැවැත්ම සුරක්ෂිත කළ හැකිද? සත්තකින්ම මෙම ප්‍රශ්නය ස්වකීය නිජභූමිය මත ජීවත්වන ලෝකයේ අනෙකුත් කවර හෝ වාර්ගික කණ්ඩායමකට අදාළව නැගිය හැකිය. මගේ අත්දැකීම අනුව, භාෂාව, (සහ යම්තාක් දුරකට සංස්කෘතියද ) වූ කලී ජනතාවන්ගේ සාමූහික අත්දැකීම් සහ සම්පත් තුළින් නිර්මාණය වී ඇති සජීවී සන්නිවේදන මාධ්‍යයකි. අප්‍රිකාව තුලදී අපි ‘සිටූ’ සංරක්ෂණ කලාප වල ස්වාභාවික සම්පත් විශාල වශයෙන් භාවිතා කරමු. අපගේ ජන ව්‍යවහාරයන්හි එන බොහෝ උපමා රූපක නිර්මාණය වී ඇත්තේ මෙම විශේෂිත අංග, නිශ්චිත සම්පත් සහ ඇතැම්විට භූගෝලීය ස්ථාන පවා පදනම් කරගනිමිනි.

නිව්යෝර්ක් හමුවේදී මට මුණගැසුණ කජියාඩෝහි සිට පැමිණි සහෝදර නියෝජිත පිරිසට මා විසින් පවසන ලද්දේ සංස්කෘතිය, ස්වාභාවික සම්පත් සහ උරුමය යන කරුණු එකිනෙකින් වෙන්කර අවධානයට නොගත යුතු බවත් ඒවා සමස්තයක් ලෙස එක්ව අපගේ අවධානයට ගත යුතු බවත්ය. මෙම සිතුවිලි ධාරාව පිළිගැනීමට එකඟවීම පිළිබඳව ඔවුනට මගේ කෘතඥතාව පළකරමි.

එහෙයින් යම් ප්‍රජාවක් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමයෙන් වෙන්කර ගලවා දමා ඔවුන්ගේ සංස්කෘතිය හෝ උරුමය සංරක්ෂණය, ඇගයීම, හෝ සැමරීම කළ හැකිය යැයි යමෙකු තුළ  යම් සිතුවිල්ලක් පවතින්නේ නම් එය පිළිගත නොහැකි සහ ප්‍රායෝගිකද නොවන අදහසක් බව කිව යුතුය. ගුප්ත බාහිර අරමුදල් මගින් නිර්මාණය කර පවත්වාගෙන යන මෙම ‘වනජීවි සංරක්ෂණ කලාප’ නම් ආයතන විසින් ‘මා’ සංස්කෘතිය යනු පබළුමාල වලට එහා නොයන දෙයක් ලෙස මවාපාමින් කෙරෙන ඇගයීම් හෝ හෝ සැමරීම් වූ කලී නින්දිත ප්‍රෝඩාවකි.(මේවා ‘මා’ සංස්කෘතික ‘බලගැන්වීම්’ පිණිස දියත් කර ඇති ක්‍රියාදාමයේ එක්තරා ආකාරයක් බවට කෙරෙමින් පවතින තප්පුලෑම ඔවුන් විසින් කිසිදිනෙකත් නතර කර නැත.)

ඔවුහු ජනතාවගේ ජීවිකාව, අනන්‍යතාව සහ ගෞරවය උදුරා විනාශ කරමින් ඔවුන්ව දිළිඳු අසරණ වැඩවසම් ශ්‍රමිකයන් බවට පත් කර තිබේ. ඔවුහු භූමිය පුරා නීති විරෝධී සීමාවන් නිර්මාණය කරමින් ප්‍රජාවන් එකිනෙකාගෙන් වෙන්කරමින් සිටිති. ඒ මගින් ඔවුහු ඉතා පහසුවෙන් සහ ක්ෂණික ලෙස මෙම ප්‍රජාවන්ට තමන්ට ප්‍රතිවාදි “අනෙකෙකු” හඳුන්වා දෙනු ලබයි. යථාර්ථය නම් මෙම ප්‍රජාවන් සිය පොදු පැවැත්ම පිළිබඳ ගැටලුවකට මුහුණ පා ඇති බවත් ඔවුන් අතර “අනෙකෙකු” නැති බවත්ය. මේ ආකාරයේ ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු මනා ලෙස ලේඛන ගත කෙරී තිබේ. නමුත් ඒ ඊනියා සංරක්ෂණය පිළිබඳ සාහිත්‍යය තුළ නොව 19 වැනි ශතවර්ෂයේ අප්‍රිකානු යටත් විජිතකරණය පිළිබඳ ඉතිහාසයට අදාළ සාහිත්‍යය තුළය.

කෙන්යාවේ සවදේශික ස්ත්‍රීන් සමග කථාබහක නිරත වෙන යුරෝපීය පවුලක්

කෙන්යාවේ තණ සහ ලඳුබිම් මත පදනම් වූ සමාජ ක්‍රමයන්ගේ සංකීර්ණත්වය තේරුම්ගැනීමට අසමත්වන නිරීක්ෂකයන් විසින් සිදු කරනු ඇත්තේ සදාචාරාත්මක සහ බුද්ධිමය වශයෙන් බංකොලොත් සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාවන් පිළිබඳ සංදර්භය තුළ කෙන්යානු ජනතාවගේ ගව එළු ආදි සතුන්ගෙන් සමන්විත පශු සම්පත සංචාරකයන්ගේ දර්ශනයට ලක් නොවිය යුතු අශෝබන දෙයක් යැයි සළකමින් ඔවුන්ව එම භූමියෙන් ඉවත්කිරීමට පක්ෂවීම පමණකි. මෙය සාකච්ඡාවට බඳුන්විය යුතු බරපතල ප්‍රශ්නයක් වන නමුත් අපි දැනට ඉඩම් ප්‍රශ්නය පිළිබඳව අපගේ අවධානය තවදුරටත් යොමු කරමු.බොහෝ තීක්ෂණ නිරීක්ෂකයන් විසින් මෙම ප්‍රශ්නය වටහා ගනු ඇත.නිදසුනක් ලෙස ලුවෝ උරුමයෙන් පැවැත එන කෙන්යානුවෙකු ලෙස වික්ටෝරියා විල, හෝමා බොක්ක, සහ ම්බිටා,කිසිමු, කරාචුඔන්යෝ, අසෙම්බෝ සහ උයෝමා ආදි ප්‍රදේශවලින් මායිම්වුණ අපගේ ඓතිහාසික නිජබිම ලෙස්සී සංචාරක කර්මාන්තය සඳහා වෙන්වුණු ඊනියා සංරක්ෂණ කලාපයන්ගේ ‘ප්‍රධාන අඩවි ’ බවට පත් වූ විට කුමක් සිදුවන්නේ දැයි යන්න ගැන මගේ පරිකල්පනයන් ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට මට ඉඩ දෙන්න.

ස්වකීය ස්වාභාවික ජල මුලාශ්‍රවලින් වියෝකරන ලද කෙන්යානු ජනතාව උදෙසා රාජ්‍ය නොවන සංවිධානයක් විසින් දියත් කර ඇති පානීය ජල ව්‍යාපෘතියක්

ප්‍රදේශවාසින්ට වික්ටෝරියා ජලාශයේ තුළ මසුන් මැරීමට හෝ යාත්‍රා කිරීමට තහනම් කළහොත් සමාජය ආර්ථිකමය, සංස්කෘතිකමය සහ සමාජීය වශයෙන් බරපතල කඩාවැටීමකට අනිවාර්යයෙන්ම ගොදුරු වනු ඇත. ඒ ආකාරයටම ලඳු කැලෑ සහ තණබිම් තහනම් කිරීම සිදුවුවහොත් එමගින් ද ඔවුන්ට සිදුවන්නේ ඔවුන් වෙත හුදෙක් පැලක් සහ ආහාර වේලක් සැපයීමෙන් මගින් පිරිමැසිය හැකි හානියක් නොවේ.
එය මිනිස් ගරුත්වය, අනන්‍යතාව පිළිබඳ රූපාකාරයකි. පශු නිෂ්පාදනය මත පදනම් වූ සමාජයන් එකිනෙකා අතර සහ ඔවුන් සහ නිජභූමිය මත සම්බන්ධය ගොඩ නගන බන්ධනාලේපය වනාහි මෙම සතුන්ය. සිය පශු සම්පත අහිමි කරන ලද සම්බුරු ගෝත්‍රිකයෙකු ‘කලමා’ හෝ ‘සෙරේ ඔලිපි’ වලදී කුමක් කරනු ඇත්ද? සම්ප්‍රදායික දිවි පෙවෙත අහිමි කළ මසායි ගෝත්‍රිකයෙකු ‘නායිකාරා’ හෝ ‘නාරෝසුරා’ හෝ ‘න්ගුරුමාන්’ හිදී කුමක් කරනු ඇත් ද? තණකැවීමට ගෙනයාම සඳහා තවදුරටත් තමන් සතුව ගවයින් නොමැති නම් බොරානා මිනිසෙකු ‘ලොගොලොගො’ හෝ ‘කරාරේ’ සිට කුමක් කරනු ඇත්ද? සමකාලීන යටත්විජිතවාදි ව්‍යාපෘතිය මෙම කරුණ පිළිබඳව සවිඥානකය. මෙම එඬේර සමාජයේ ගෝත්‍රික ජනයා තමන්ගේ පශු සම්පත අත්හැර දමන ලෙස පොළඹවනු වස් ඔවුන්ව රැවටීම, ඔවුන්ට තර්ජනය කිරීම සහ බල කිරීම හෝ වෙනත් ආකාර මගින් ඒත්තු ගැන්වීම සඳහා යටත්විජිතවාදියා විසින් ඩොලර් මිලියන ගණන් වියදම් කරන්නේ එහෙයිනි.

යටත්විජිතවාදියාගේ මෙම උපායමාර්ගය පිළිබඳව ඓතිහාසික පූර්වාදර්ශයන් අනන්තව පවතී. ඉතිහාසගත විශාලතම ජන සංහාරවලින් එකක් වන ඇමෙරිකාවේ ස්වදේශික ප්‍රජාවන්ට එරෙහිව යුරෝපීය සංක්‍රමණිකයන් විසින් දියත් කරන ලද ජන සංහාරය වෙත මම ඔබගේ අවධානය යොමු කරවමි. එම සංහාරක යන්ත්‍ර යේ ප්‍රධානතම දැති රෝදයක් වූයේ නිදැල්ලේ තණබිම් මත සැරි සරන ලද මිලියන ගණන් වූ බයිසන් ගවයන් ඝාතනය කරනු ලැබීමයි. ස්වදේශික ඇමෙරිකානු ජනතාව සිය ආහාර, ඇඳුම් ආදිය ලබාගැනීම සඳහා මෙන්ම කටුක ශීත සෘතුවේදී දිවි ගලවාගැනීම සඳහා කුඩාරම් තනාගැනීම පිණිස සම් ලබාගැනීමටද එතුළ උණුසුම් කිරීම පිණිස ඉන්ධනයක් ලෙස සත්ව තෙල් ලබා ගැනීම පිණිසද රඳා පැවතියේ මෙම ‘පශු සම්පත’ මතය. බයිසන් ගව ගහණය මුළුමණින්ම පාහේ විනාශ කරනු ලැබීමත් සමගම මෙම ස්වදේශික ජනයාට තවදුරටත් දිවිගලවාගැනීමේ අවස්ථාවන් නොපැවතිණි. යටත්විජිතවාදියාගේ උණ්ඩවලින් දිවිගලවාගත් ජනතාවට යටත් වීමට බල කෙරිණි. ඔවුන්ව දරිද්‍රතාව සහ අසරණභාවය තුළ ගිල්වා දමමින් ඔවුන්ගේ අනන්‍යතාව, ආත්ම ගරුත්වය විනාශ කර දමමින් ඔවුන්ව බලරහිත කර දැමිණි. එම සිදුවීම් අප්‍රිකාවේ අද සිදුවෙමින් පවතින දෙයින් වෙනස් නොවේ. විදේශ අරමුදල් වලින් මත යැපෙමින් අපගේ රටටත් වන සතුන්ටත් බෙහෙවින් ‘ආදරය කරන’විදේශිය කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකට අපි අද ගොදුරු වෙමින් සිටිමු. ඔවුන් විසින් අපගේ මුග්ධ සහෝදරයන්ට තුවක්කු ලබා දෙමින් ඔවුන්ව ‘ගේම් ස්කවුට්’ලා ලෙස සහ ‘දේශිය නීතිය ක්‍රියාත්මක කරවන්නන්’ ලෙස හඳුන්වති. කාකි හැඳුම් හැඳි අපගේම සහෝදරවරු අපව මරා දැමීම සඳහා විදේශිය විශේෂ හමුදා වෙතින් පුහුණුව ලබති.

සංරක්ෂණයේ වෙස්මුහුණ ලාගත් කොල්ලකරුවෝ

‘ප්‍රිවාටියර්’ (privateer) යනුවෙන් හැඳින්වෙන්නේ ආණ්ඩුවක අවශ්‍යතා මත රහසිගත මංකොල්ලකෑම් හෝ ඝාතන මෙහෙයුම්වල යෙදෙන සන්නද්ධ කොල්ලකරුවන්ටය. ඔවුන්ට අරමුදල් හොඳින් ලැබෙන නමුත් ස්වෛරී රාජ්‍යයක හමුදාව වෙත ප්‍ර වේශවීමට ඉඩක් නොලැබේ. මෙම ගුප්ත සේවය බොහෝ විට පිළිවෙලින් කෙන්යාව, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය යන රටවල පිහිටි පුද්ගලික ආරක්ෂක සමාගම් 51 Degrees , VETPAW සහ Trojan Group  විසින්ද සපයනු ලබයි. අපගේ ගෞරවය සහ උරුමය විනාශ කිරීම සඳහා ක්‍රියාකාරි ලෙස දායකවන්නේ ඇතැම් ස්වදේශික සාමාන්‍ය වැසියන් ,සංරක්ෂණ නිලධාරින්, රජයේ නිලධාරින් සහ දේශිය නායකයන්ය. ඔවුහු මෙම ගැටළුව දැකීමට සමත් නමුත් තමන්ට අරමුදල් සපයන්නන්ගේ මේස පල්ලෙන් වැටෙන යමක් අනුභව කිරීම ඇති ආශාව හේතුවෙන් ඔවුහු දිගටම මෙම අපරාධයට සහභාගි වෙති.

සංරක්ෂණයේ පිවිතුරු සළු පොරවාගත් මෙම අගතියේ සහ යටත්විජිතවාදයේ යක්ෂයා විසින් අප වෙත එල්ල කර ඇති සදාචාරමයවූත්, අපගේ පැවැත්ම තීරණය කරන්නාවූත් මෙම අභියෝගයන්ට මුහුණදීම සඳහා අපට කළ හැකි දේවල් මොනවාදැයි යෝජනා කරන ලෙස මා වෙත නිතර ඉල්ලීම් ලැබී ඇත. මේ සඳහා අපට ක්‍රියාත්මක විය හැකි විවිධ ප්‍රවේශයන් ගණනාවක් තිබේ. ඒවායින් බොහොමයක් ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්‍රියාත්මක විය යුතු ආකාරයන්ය.නමුත් අප විසින් ගත යුතු නිරපේක්ෂ සහ අත්‍යාවශ්‍ය පියවරයන් කීපයක්ද වේ.

පළමුව මේ සඳහා අප සියලු දෙනා සහභාගි විය යුතුය. මක් නිසාද යත් එය ජනතාව වන අප පිළිබඳව ගැටලුවක් වන බැවිනි. එය සතුන් හෝ උද්‍යාන පිළිබඳව ගැටළුවක් නොවේ. නමුත් එය අපගෙ උරුමය පිළිබඳව ගැටළුවකි.

ජෝන් ම්බාරියා සහ මොර්ඩෙකායි ඔගාඩා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය

එසේ හෙයින් අප විසින් සියලු ලේබල්, විශේෂයෙන්ම අපව බෙදා වෙන්කර පාලනය කිරීම සඳහා වාර්ගික පදනම මත නිමවන ලද ලේබල් ප්‍රතික්ෂේප කළ යුතුය. ඒවා නිර්මාණය කර ඇත්තේ අපගේ ප්‍රජාවන් අමානුෂිකකරණයකට ලක්කරමින් ඔවුන්ගේ අයිතීන් විශ්වීය වශයෙන් පිළිගත් මානව අයිතීන්ට වඩා පහල මට්ටමක් දක්වා කප්පාදු කිරීම සඳහාය. එමෙන්ම ඒ විසින් යටත්විජිතවාදි කොල්ලකරුවාට අපව පාලනය කිරීම වඩාත් පහසු කරවයි.

රාජ්‍යය විසින්ද මෙහිලා ඉටු කළ යුතු කාර්යභාරයක් තිබේ. රජයේ නිල වන සංරක්ෂණ ආයතන වන කෙන්යානු වනජීවි සේවය(Kenya Wildlife Service-KWS) සහ කෙන්යානු වනාන්තර සේවය(Kenya Forest Service- KFS) විසින් සිදු කරනු ලබන කටයුතු හැරෙන්නට අප විසින් වහාම අනෙකුත් සෙසු සියළු බාහිර සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කෙරෙන ‘වනජීවි සංරක්ෂණ’ කටයුතු වහාම නැවැත්විය යුතුය. මෙම බාහිර මෙහෙයුම්කරුවන් සිය පැවැත්ම තහවුරු කරගෙන ඇත්තේ නීතිමය වශයෙන් අපැහැදිලි කලාපයක් තුළය. එම කලාපයන් තුළ සිදුවන්නේ සිදුවනවා යැයි අප සිතන දේවල් නොවේ. සදාචාරමය සහ නීතිමය බොරුවලවල් ගණනාවක් පවතී. රාජ්‍යයට ඒවා දැකිය නොහැකි නම් කෙන්යාව ස්‍වෛරී රාජ්‍යයක් ලෙස කෙරෙන නිර්වචනයට යමෙකුට අභියෝග කළ හැකිය. වනජීවි නීති ක්‍රියාත්මක කරන ආයතන සඳහා ලැබෙන පරිත්‍යාග අරමුදල් සියල්ලම යොමු විය යුත්තේ රජයේ ආයතන වන කෙන්යානු වනජීවි සේවය වෙත සහ කෙන්යානු වනාන්තර සේවය වෙත පමණි. මෙම රාජ්‍ය ආයතනවලට ආධාර දීම ප්‍රතික්ෂේප කරමින් පුද්ගලික සන්නද්ධ කණ්ඩායම්වලට ආධාර දීමට උත්සුක වන අය වෙත පැවසිය යුත්තේ ‘ඔබලාගේ සල්ලි ඔබලා වෙතම තබා ගන්න’ යනුවෙනි.

ප්‍රතිපත්ති වෙනස් කිරීම

මීළඟට ඇත්තේ ගිලීමට අසීරු ම පෙත්තය. අප විසින් බටහිර රටවල අවශ්‍යතා සඳහා කෙරෙන සංරක්ෂණයක් සඳහා බටහිර රටවල අරමුදල් ලබාදෙමින් බටහිර රටවල් විසින් සංවර්ධනය කර ඇති ‘සංරක්ෂණ ආකෘතිය ’ ප්‍රතික්ෂේප කරමින් එය ගලවා ඉවත් කළ යුතුව තිබේ. මේ සඳහා දැනට අප පවතින තත්ත්වයේ සිට රැඩිකල් වෙනසක් කරා මාරු විය යුතුව තිබේ. කෙන්යානු වනජීවි සේවය සඳහා ප්‍රතිපත්ති දෙපාර්තුමේන්තුවක් හෝ සංස්කෘතික සම්බන්ධතා දෙපාර්තුමේන්තුවක් නැත. එයට සම්බන්ධව කටයුතු කරන මානව විද්‍යාඥයන් හෝ සමාජ විද්‍යාඤයන්ද නැත. ප්‍රධාන වශයෙන්ම මනුෂ්‍යයන් සමග ගනුදෙනු කිරීම සඳහා තුවක්කු සහ වෙඩි උණ්ඩ හැරෙන්නට කිසිවක්ම නැත. ඔවුන්ට ජනතාව සමග ඉහත සඳහන් කළ පරිදි මානුෂික මානයකින් කටයුතු කිරීමට සෑම විටෙකම ඔවුන් සරණ පතන්නේ රාජ්‍ය නොවන සංවිධාන නැමැති කොල්ලකරුවාගෙනි. එම සංවිධාන විසින් ඔවුන්ව උද්‍යාන මාවත කරා යොමු කරවනු ලබයි. යටත්විජිතවාදි ව්‍යාපෘතිය විසින් අපගේ නිජභූමිය අත්පත්කරගනු ලබන්නේ එලෙසය. මෙම ව්‍යාපෘතිය මෙහෙයවන යටත් විජිතවාදින් සිය ක්‍රියාකාරිත්වයන් සැඟවීමට එතරම් වෑයමක් නොදරන බවද පෙනී යයි. ඔවුහු තමන්වම හඳුන්වාගනු ලබන්නේ ‘සංරක්ෂණය සඳහා ආයෝජනය කරන පුද්ගලික ආයෝජක සන්ධානය’( Coalition for Private Investment in Conservation) ලෙසය.

සංරක්ෂණ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ දී ගත යුතු පළමු පියවර වන්නේ සංරක්ෂණය ප්‍රතිපත්තීන් සැකසීම පිළිබඳ සාකච්ඡා කෙරෙන මේසයෙන් සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සහ සදහටම ඉවත් කිරීමය. ඔවුන් පැමිණිය යුතුවන අතර මෙම ප්‍රතිපත්තීන් සකසා ඇත්තේ කෙන්යානු ජනතාව සඳහා මිසක සංචාරකයන් සඳහා නොවන බවට වන පූර්ණ අවබෝධය තුළ නිම වූ ප්‍රතිපත්තින් ඉදිරිපත් කළ යුතුය.

අවසාන වශයෙන් ‘සංරක්ෂණ කලාප ’ යනු මොනවාදැයි නීත්‍යානුකූල ලෙස සහ තර්කානුකූල ලෙස නිර්වචනය කරමින් ඒවා මෙහෙයවන දිසාව කුමක්දැයි තීරණය කරන තෙක් අප විසින් ‘සංරක්ෂණ කලාප’ නම් දුවන කෝච්චියට නැගීමෙන් වැළකිය යුතුව තිබේ. වර්තමානයේදී ‘මෙම දුම්රිය’ හොඳින් සැපයෙන අරමුදල් නැමැති ඉන්ධනය දහනය කරමින් දැඩි වේගයකින් යුතුව තවමත් ගොඩ නැගෙමින් පවතින රේල් පාරේ පහලට ඇදී යමින් පවතින එකකි. මම නිර්වචනයක් ලබා දියයුතු යැයි ඉල්ලා සිටින්නේ සංරක්ෂණ කලාප ඇති කිරීම තුළ ඉතාම හොඳ යහපත් අංග ද පවතින හෙයිනි. එමෙන්ම මෙම සංරක්ෂණ කලාප වටා පාරිසරික, සමාජීය, සංස්කෘතික,ආර්ථික සාධක ගණනාවක් පවතින හෙයිනි. රාජ්‍ය නොවන සංවිධානවල සංරක්ෂක කොල්ලකරුවන් මෙම හොඳ ලක්ෂණ පිටුපස සැඟවෙන්නේ ලීයෙන් තනන ලද අං යුවලක් හිසට සවිකරන ලද දඩ බල්ලෙකු ඇන්ටිලෝපයන් දඩයමේ යන්නාක් මෙනි.

අප විසින් මීට ඉහතදී සඳහන් කළ මගාඩි සෝඩා කම්හලේ පුවතේ අලුත්ම තත්ත්වයන් ඔබ වෙත ඉදිරිපත් කරමින් මගේ කථාව අවසන් කරමි. කජියාඩෝ දිස්ත්‍රික් ආණ්ඩුකාරයා විසින් නායකත්වය සපයනු ලබන ප්‍රදේශවාසි මසායි ජනතාව ඔවුන්ගේ නිජභූමි උරුමය ද නොගෙවන ලද බිම් බදු ද ගෙවන ලෙස කෙරෙන ඉල්ලීම් උත්සන්න කෙරෙමින් පවතී. මේ අතර මයිකල් ටියාම්පටි විසින් නායකත්වය සපයන පශු සම්පත් සංවර්ධන ජාලය (pastoralist development network- PDNK) විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ස්වදේශික ජනතා අයිතීන් පිළිබඳ නියෝජිත වරයා වෙත මේ පිළිබඳව පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඉඩම් පවරා ගත්තවුන් මෙම මහජන විරෝධය හමුවේ දැඩි ලෙස කොන්වෙමින් පවතී. කෙසේ වුව ද ඔවුහු දැන් උත්සාහ කරන්නේ කවර හෝ ක්‍රමයක් යොදා නැවැත ඉඩම් ස්වදේශික ජනතා අයිතියට හිමිවීම වැළැක්වීමටය. ඔවුහු තමන් පවරාගත් ඉඩම් ‘සංරක්ෂණ කලාප’ ලෙස නම් කිරීමට යන්නේ එහෙයිනි.

මොර්ඩෙකායි ඔඩාගා පරිසර විද්‍යාඥයෙක් සහ සංරක්ෂණ ලේඛකයෙක් වන අතර ඔහු පසුගිය වසර 18 කෙන්යාවේ සහ අප්‍රිකාවේ අනෙකුත් ප්‍රදේශවල, ප්‍රධාන වශයෙන් මානව-වනජීවී ගැටුම් අවම කිරීම සහ මාංශ භක්ෂක සතුන් සංරක්ෂණය පිළිබඳ සංරක්ෂණ ප්‍රතිපත්ති සහ භාවිතයන්හි නියැලී සිටී.

ආචාර්ය ඔගඩා කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සංරක්ෂණ නායකත්වය පිළිබඳ පර්යේෂණ සහ ඉගැන්වීම්වල නිරත වී තිබේ.. ඔහුගේ ශක්තියෙන් වැඩි කොටසක් ප්‍රජා පාදක සංරක්ෂණය, වනජීවී ප්‍රතිපත්ති සහ තෙත්බිම් පරිසර විද්‍යාව සඳහා කැප කර ඇත. ඔහු කෙන්යාවේ සංරක්ෂණ සිවිල් සමාජ සංරක්ෂණ භාවිතයේ වසර 15 කට වැඩි කාලයක් සේවය කර ඇත. පසුගිය වසර තුන තුළ, මොර්ඩෙකායි වනජීවී සංරක්ෂණයේදී, විශේෂයෙන් ගෝලීය දකුණේ අත්විඳින ලද අභියෝගවලට යටින් පවතින ප්‍රතිපත්තිමය ගැටලු සහ අගතීන් පරීක්ෂා කිරීමේ නිරතව සිටී. මෙම ගැටළු පිළිබඳව ජෝන් ම්බාරියා සමඟ එක්ව කෙන්යාව පිළිබඳ අවධානය යොමු කළ පොතක් වන ‘The Big Conservation Lie’ හි කේන්ද්‍රීය තේමාව වේ. ඔහු දැනට නානුයකිහි පිහිටි ස්වභාවික සම්පත් කළමනාකරණ උපදේශන ආයතනයක් වන Conservation Solutions Afrika හි විධායක අධ්‍යක්ෂවරයා වේ.ආචාර්ය ඔගඩා සංරක්ෂණ අධ්‍යාපනය සහ පන්ති කාමරයෙන් පිටත පාරිසරික අධ්‍යාපනය සඳහා ළමුන් සහ ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීම කෙරෙහි ද දැඩි උනන්දුවක් දක්වයි.

පරිවර්තනය – අජිත් සී හේරත්

වැඩිදුර විමර්ශන සඳහා

The next Big Green Lie: 30-30 plan displaces to conserve
Coalition for Private Investment in Conservation
UK gives support to Kenya in fight against wildlife poaching