කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය – I

එක් දහස් නවසිය අසූ තුනේ ජූලි මාසයේ දී දිවයින තුළ දෙමළ ජනයාට එරෙහිව රටපුරා දියත් වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මේ ජූලි මාසයට දැන් වසර 33ක් ගතවී තිබේ. මෙම අපරාධයන්ට වගකිව යුතු කිසිවෙකු මේ දක්වා නීතිය හමුවට පමුණුවා නැත. එම අපරාධ වසා දමන ලද්දේ ඒවා තවත් සිය ගුණයකින් ඉක්මවමින් දෙමළ ජනයා මත දියත් වූ ප්‍රචණ්ඩ අපරාධ රැසක් දෙමළ ජනයා මත දියත් කරමින් ඔවුන් නිහඬකර දැමීමෙනි.

1983 ජූලියේ සිදු වූ දෙමළ සංහාරය හැඳින්වීමට සාමාන්‍ය සිංහල ජනයා අතර බහුලව යෙදෙන වචනය “ජූලි කෝලාහල” යන්නයි. මෙයට පෙර දෙමළ ජනයාට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හඳුන්වනු ලැබූයේ ද “1956 දෙමළ කෝලාහල”, “1977 දෙමළ කෝලාහළ” යනුවෙන් වන අතර මෙම “කෝලාහල” යන වදන විසින් එම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ගොදුර බවට පත් වූ දෙමළ ප්‍රජාව ද ගැටුමේ වග උත්තරකාර පාර්ශ්වයක් බවට පත් කරනු ලබයි. කෝලාහලයක් යනු දෙපාර්ශවයක් අතර සිදුවන ප්‍රචණ්ඩ ගැටුමක් වන අතර ගැටුමට අදාළ දෙපාර්ශ්වයම සිදුවීමට අදාළව අඩු වැඩි වශයෙන් වගඋත්තරකරුවන් වේ. මෙම වචනය විසින් නිෂ්පාදනය කරනු ලබන දේශපාලන තර්කය වලංගුවනුයේ සිංහල සමාජයට පමණි. දිවයින තුළ සංඛ්‍යාත්මකව සුළුතරයක් වන, ස්වකීය ජීවිත සහ දේපොළ සඳහා කිසිදු රාජ්‍ය ආයතනයක ආරක්ෂාව නොලැබෙන, ස්වයං ආරක්ෂාව සඳහා කිසිදු සංවිධානාත්මක යාන්ත්‍රණයක් ද නොමැති, කිසිදු ජාත්‍යන්තර සම්මුතියක මගින් කිසිදු ආකාරයක ආරක්ෂාවක් නොලැබෙන දෙමළ ප්‍රජාව 1983 හෝ ඊට පෙර සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් “හුදු කෝලාහල” වශයෙන් නොදකිති. ඔවුනට මෙම නොනවතින ප්‍රචණ්ඩ ක්‍රියාදාමය වූකලී තමන්ට එරෙහිව සංඛ්‍යාත්මක බහුතර ජාතියක් සහ ඔවුන්ගේ දේශපාලන නායකත්වය විසින්, ඔවුන් සතු රාජ්‍ය බලයත්, ඒ හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ ජාත්‍යන්තර සංවිධාන තුළ තමන් භුක්ති විඳින වරප්‍රසාදත්, අධිරාජ්‍යවාදී රටවල්වලින් ලැබෙන පිටුබලයත් සහ රැකවරණයත් යොදාගෙන හමුදාව සහ පොලිසිය ද මෙහෙයවමින් ඒකාබද්ධව දියත් කරන ලද සැලසුම් සහගත ප්‍රචණ්ඩ භීෂණයක් මිසෙක හුදු “කෝලාහලයක්” නොවේ.

1983 ජූලියේ සිදු වූ දෙමළ විරෝධී අපරාධවලට වගකිවයුතු කිසිවෙකු නීතිය හමුවට ගෙන ඒමට රජයට බලකෙරෙන සිවිල් හෝ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැග‍ිමට කොළඹ කේන්ද්‍රීය සිංහල සිවිල් සමාජය හෝ දේශපාලන පක්ෂ අසමත් විය. නැතහොත් එය ඉතා සවිඥානකව මගහරින ලදි.

1983 ජූලි සිදුවීම්වල ආරම්භක හේතුව වූයේ රජයේ හමුදා භටයන් 13ක් කොටි සංවිධානයේ ප්‍රහාරයක් මගින් මරණයට පත්වීම යැයි යන තර්කය සිංහල සමාජය මත ජනප්‍රියව ඇත්තේ එමගින් සාමාන්‍ය දෙමළ ජනයා මත දියත් කරන මහා පරිමාණ කෲර සංහාරය සාධාරණීකරණය කරගැනීමට යම් හේතුවක් සැපයෙතැයි ඔවුන් විශ්වාස කරන බැවිනි. කෙසේ වුවද සන්නද්ධ හමුදා සෙබළුන් පිරිසක් හා ගරිල්ලා සංවිධානයක් අතර සිදු වූ ගැටුමකට ප්‍රතිචාර ලෙස සංඛ්‍යාත්මකව සුළුතර ජාතියක් මත සමස්තයක් ලෙස ඒ ජාතියට අයත් දරුවන්, මහල්ලන්, ස්ත්‍රීන් ඇතුළු සියල්ලන් මත දැවැන්ත සංහාරයක් දියත් කිරීමේ යුක්තිසහගත භාවය හෝ “වීරත්වය” පිළිබඳ ප්‍රශ්න කිරීම සිංහල සමාජයේ දේශප්‍රෙමීන් පමණක් නොව හොඳම ප්‍රගතිශීලින්, මානව හිමිකම් ආරක්ෂකයන් සහ සමාජවාදින්ද කෝපයට පත් කිරීමට හේතුවෙයි.

 

කළු ජූලියෙන් අනාථ වූ දෙමළ ජනයා උතුරට නැව් මගින් ප්‍රවාහනයේ

83 කළු ජූලි සිදුවීම් වෙනුවෙන් සිංහල දෙමළ දෙපාර්ශ්වයම එකිනෙකාගෙන් සමාවගත යුතු යැයි ඇතැමුන් විසින් විකාර දොඩවනු ලබන්නේ අපරාධවල ගොදුර බවට පත් පුද්ගලයා ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්කරමිනි. මේ රටේ දෙමළ ජනයාට එරෙහි අධිපති සිංහල ස්වොත්තමවාදයේ ව්‍යුහගත ප්‍රචණ්ඩත්වය බාලාංශ පන්තියක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවන රණ්ඩුවකදී මෙන් එකිනෙකාගෙන් සමාවගැනීමට යෝජනා කිරීමෙන් විසඳිය හැකියැයි සිතීම ඒ ප්‍රචණ්ඩත්වයන් පිටුපස ඇති සැබෑ ඓතිහාසික සහ දේශපාලන හේතුන් නොතකා හැර කෙරෙන නන්දෙඩවීමකි

1983 ජූලි දෙමළ සංහාරයට හේතුව කොටි සංවිධානය විසින් හමුදා සෙබලුන් 13ක් මරා දැමීම යැයි පවසමින් එය සාධාරණීකරණය කරන්නෝ එයට පෙර 56, 58, 61, 74, 77, 81 ආදි වසරවල සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් සාධරණීකරණයට එවැන්නක් සපයාගත නොහැකිව ඇඹරෙති. එවිට දැන් ඒ අතීතය අමතකොට සංහිඳියාව සහ සාමය ද සමෘද්ධියද වෙනුවෙන් අත්වැල් බැඳ පෙරට යායුතු යැයි පවසති.

යුක්තියේ මූලධර්මය බැහැර කළ මේ ව්‍යාජ සාම කතිකාවන්ගේ අරමුණ දෙමළ සමාජය මත තහවුරු කර ඇති ආයතනගත ප්‍රචණ්ඩත්වය තවදුරටත් පවත්වාගෙන යාම හැර අන් කවරක්ද?

83 කළු ජූලියේ සිදුවූයේ කුමක්දැයි සැබෑ වැටහීමක් ලබා ගැනීමට අවශ්‍ය යමෙකුට දෙමළ ජනයාට එරෙහිව සිංහල අධිපතිවාදී රාජ්‍යයේ ආයතනගත අගතීන් සහ විෂම ලෙස සැලකීම් ද සහ ජනසංහාරක ප්‍රතිපත්තීන්ගේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය මගහැර යා නොහැකි ය. මේ රටේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ආරම්භයට 1983 දී යාපනයේදී සිංහල හමුදා සෙබළුන් 13ක් මරණයට පත්වීමේ සිදුවීමට එහා ගිය ඉතිහාසයක් තිබේ.

ඒ ඉතිහාසයේ දෙමළ ජනයා හා සම්බන්ධ බහුතර සිංහල ජාතියේ ආධිපත්‍යයට නතුවූ රාජ්‍යයේ පීඩාකාරී ප්‍රතිපත්තීන් හා වෙන් කළ නොහැකි ලෙසින් සම්බන්ධ ය. කලෙක දෙමළ ජනයාගේ භාෂා සහ සිවිල් දේශපාලන අයිතීන් අහිමි කිරීමේ අණපනත් ලෙස සිංහල බහුතරයේ ප්‍රජාතාන්ත්‍රික තීරණ මත පාර්ලිමේන්තුව හරහා ගෙන ආ අණපනත් මගින් ද, තවත් විටෙක සිංහල මැරයන් උසිගන්වමින් දෙමළ ජනයාගේ ජීවිත සහ දේපොළ විනාශ කිරීම මගින් ද, අවසන් වශයෙන් දැවැන්ත මිලිටරි මෙහෙයුම්, ගුවන් ප්‍රහාර හා සමූලඝාතන මගින් ද, සමූහයන් ලෙස ගාල් කිරීමේ කඳවුරු මගින් ද වටයෙන් වටය තීව්‍ර කරමින් ගෙන යන්නේ ඒ එකම ප්‍රතිපත්තියයි. 2009 අවසන් සංහාරය ද 1983 කළු ජූලිය ද ඊට පෙර 56,58, 61, 74, 77, 81 ආදි වසරවල සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් ද ඒ එකම ප්‍රතිපත්තියේ පියවරයන් ය.

එහෙයින් මේ ප්‍රචණ්ඩත්වයේ සමස්ත ඉතිහාසය එකට ගෙන අධ්‍යයනය කිරීම දේශපාලනිකව වැදගත් ය.

ප්‍රචණ්ඩත්වයේ රටාවන්

1956-58 සිට විවිධ අවස්ථාවල සිදු වූ මෙම “දෙමළ කෝලාහළ” පිළිබඳ කරුණු විමසා බලන විට ඒවා තුළ පොදු රටාවක් දැකිය හැකි ය.

1. සිදුවීමට පූර්වාසන්න කාලයේ බලයේ පැවති ඒ ඒ ආණ්ඩු සිය පාර්ලිමේන්තු සිංහල බහුතර නියෝජනය යොදාගනිමින් දෙමළ ජනතාවගේ මූලික සිවිල් සහ දේශපාලන අයිතීන් අහිමි කිරීමට, නැතහොත් ඒවා සීමා කිරීමට නීති රීති සම්මත කිරීම නැතහොත් මැතිවරණවල දී දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් දෙමළ දේශපාලන පක්ෂ සමග ඇතිකරගත් ගිවිසුම් ඉවත දැමීම හෝ පොරොන්දු ඉටු නොකිරීම,

2. ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගවලට එරෙහිව දෙමළ දේශපාලන නායකයන් අහිංසාවාදී සාමකාමී විරෝධතා පැවැත්වීම හෝ මැතිවරණ මගින් දෙමළ ජනයා තම ජාතික ඉල්ලීම් පෙරට දැමීම,

3. අගනුවර දී හෝ උතුරුනැගෙනහිර පෙදෙස්වලදී සිදූ වූ සාමකාමී විරෝධතාවන් වෙත සිංහල ජාතිවාදී මැරයන් සහ හමුදාව පොලිසිය යොදවා පහර දී ඒවා විසිරුවා හැරීම,

4. දෙමළ ප්‍රදේශවල හටගත් විරෝධතා ව්‍යාපාරයන් පිළිබඳව සිංහල ජනතාව තුළ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යාම, (සිංහල මිනිසුන් මරා දමා ඇත, සිංහල කාන්තාවන් යාපනයේදී දූෂණය කර ඇත, සිංහල මිනිසුන්ගේ දේපොල විනාශ කර ඇත ආදි වශයෙන්)

5. අගනුවරත් සහ වෙනත් සිංහල බහුතර ප්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනයාට එරෙහිව රාජ්‍ය අනුග්‍රහයද සිංහල සමාජයේ බහුතරයකගේ නිහඬ අනුමැතියද ඇතිව මැර බලවේග විසින් ඝාතන, වධබන්ධන, ස්ත්‍රීන්ට සහ ළමුන්ට එරෙහි ලිංගික අපරාධ, දේපොල විනාශය සහ මංකොල්ලකෑම් ආදි සාමුහික ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කිරීම.

මෙම පොදු රටාවන් අධ්‍යයනය කරන විට පෙනී යන දෙය නම් සිංහල ස්වෝත්තමවාදි ආණ්ඩු සිය වාර්ගික බහුතර නියෝජනය උපයෝගී කරගනිමින් දෙමළ ජනයාගේ අයිතීන් අහිමි කරලීම සඳහා අණපනත් සම්මත කරන විට සිය සුළුතර නියෝජනය මගින් පාර්ලිමේන්තුව තුළ එය වැළැක්වීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවෙන් පිටත සාමකාමී විරෝධතාවන් පැවැත්වීමට දෙමළ දේශපාලන නායකත්වයට සිදු වූ බවත් එම විරෝධතා මැඩපැවැත්වීමටත්, දෙමළ ජනයා බිය ගැන්වීමත් අරමුණු කරගෙන ආණ්ඩුව විසින් සැලසුම් සහගතව දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කර ඇති බවත් ය.

1956 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා – දෙමළ බසට සමතැන වෙනුවෙන් දියත් වූ අරගලය යටපත් කිරීමේ උපක්‍රමයක් ලෙස

බලයට පැමිණ පැය 24කින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කරන්නේ යැයි මැතිවරණ පොරොන්දුවක් දුන්නද 1956 මැයි 02 වැනි දින බලයට පත් බණ්ඩාරනායක සිංහල පමණක් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ජූනි මස 05 දක්වා ප්‍රමාද කළේය. මේ කාලය තුළ දෙමළ ජනතාව මුළුමණින්ම කොන්කිරීමකට ලක් නොකර දෙමළ දේශපාලන නායකත්වය සමග යම් සම්මුතියක් ඇතිකරගැනීමට ඔහුට අවශ්‍ය විය. අඩු තරමින් මතුවිය හැකි විරෝධතාවන් පාලනය කරනු පහසු වනු පිණිස දෙමළ දේශපාලන බලවේග අතර විභේදනයක් ඇති කරලීමට නායකත්වයේ පිරිසක් වෙත පොරොන්දු ලබා දෙමින් ඔවුන්ගේ විරෝධය සමනය කිරීමට හේ උත්සාහ දැරීය. දෙමළ ජනයාට සිය බසින් රාජ්‍යය සමග කටයුතු කිරීමේ අවස්ථාව ලබා දීමේ ප්‍රතිපාදන භාෂා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම ඔහුගේ උත්සාහය විය. මෙම උත්සාහය බලයට පත්වීම සඳහා ඔහු විසින් ප්‍රයෝජනයට ගනු ලැබූ සිංහල ස්වෝත්තමවාදී බලවේගයන්ගේ කෝපයට හේතුවිය.

එල්.එච්.මෙත්තානන්ද

සිංහල භාෂාව පැය 24කින් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ බණ්ඩාරනායකගේ පොරොන්දුව ඉටුවීම ප්‍රමාදයට පත්වන විට සිංහල අන්තවාදී බලවේග නොසන්සුන් බවට පත් වූ අතර ඔවුහු අගමැතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත්, දෙමළ විරෝධී ප්‍රචාරයත් ඇරඹුහ. ජාතික භාෂා කොමිසමේ සාමාජිකයෙකු වූ එල් එච් මෙත්තනාන්ද සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීම සඳහා තමන්ගේම කෙටුම්පතක් යෝජනා කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

“දෙමළ කතාකරන සුළුතර ජාතීන්ට, තමන්ගේම භාෂාවෙන්ම රාජ්‍යය සමග කටයුතු කිරීමේ නීත්‍යානුකූල අයිතිය ලබා දුනහොත් දෙමළ භාෂාව ඉබේම රාජ්‍ය භාෂාවක් බවට පත්වනු ඇත. කොමියුනිස්ට්වාදීන්ට සහ වර්ගවාදීන්ට අවශ්‍යව ඇත්තේ මෙයයි.”

මෙයට ප්‍රතිචාර දක්වමින් එස්.ජේ.වී. චෙල්වනායගම් මෙසේ පැවසීය: “දෙමළ කතාකරන ජනතාව මත මේ සියලු අයුක්තීන් පටවන ලද්දවුන් ජාතිකවාදීන් ලෙස හැඳින්වෙන අතර එම අයුක්තීන්ට එරෙහිව විරෝධය දක්වන අප ජාතීවාදීන් නැතහොත් වර්ගවාදීන් ලෙස හඳුන්වනු ලැබේ.”

මෙත්තානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුණද සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් ඔහුගේ කෙටුම්පතට සහයෝගය දැක්වූහ.

දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී හැඟීම් තවත් උත්සන්න කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක නායකයෙකු වූ එෆ් ආර් ජයසූරිය දෙමළ භාෂාවට ද යම් අවම සහන ලබා දීම ඇතුළත් බණ්ඩාරනායකගේ භාෂා පනතට විරෝධය පළ කර පාර්ලිමේන්තුව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

“ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යන පනත සම්මත වුවහොත් ලංකාව මාස හයක් ඇතුළත මදුරාසියේ කොටසක් වනු ඇතැ”යි ඔහු ප්‍රකාශ කළේය. ආරම්භයේ දී බණ්ඩාරනායක එෆ් ආර් ජයසුරියගේ විරෝධය හෙළා දුටුව ද පසුව ඔහු සමග සම්මුතියකට එළැඹියේය. උපවාසයේ නියුතු ජයසූරිය වෙත එළැඹි බණ්ඩානායක අගමැතිවරයා ඔහු වෙත දොඩම් යුෂ වීදුරුවක් පිරිනමමින් උපවාසය නතර කිරීමට එකඟකරවාගත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවූ ඔහුට පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාවක් ලබා දීමට ද පොරොන්දු විය. ජයසූරිය සිය පාර්ලිමේන්තු කතාව මගින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සහාය තමන්ගේ අන්තවාදී සිංහල ස්වෝත්තමවාදී මතයන්ට ලබා ගැනීමට සමත් විය.

එෆ්.ආර්. ජයසූරිය ‘මාරාන්තික උපවාසයේ’

අවසානයේදී බණ්ඩාරනායක නැගී එන සිංහල ස්වොත්තමවාදී රැල්ල හමුවේ යටත්වෙමින් තමන්ගේ භාෂා පනත් කෙටුම්පතේ දෙමළ ජනයාට සහනයක් ලෙස තිබූ වගන්ති දෙක – එනම් පරිපාලන කටයුතුවලදී ප්‍රාදේශීය වශයෙනුත්, රජයේ නිලධාරීන් සඳහා වන විභාගවලදීත් දෙමළ භාෂාව ද භාවිතා කිරීමට ඉඩහැරීම සඳහා වන වගන්ති – මකා දැමුවේය.

ෆෙඩරල් පක්ෂය සත්‍යග්‍රහයක් අරඹයි

පාර්ලිමේන්තුවේ සිංහල බහුතරය යොදාගනිමින් ආණ්ඩුව සිංහල පමණක් පනත සම්මත කිරීමත් සමගම ෆෙඩරල් පක්ෂය විසින් එයට එරෙහිව 1956 ජූනි 05 වැනි දින සාමකාමී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් කැඳවනු ලැබිණි. උතුර සහ නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතාකරන ජනතාවගෙන් එයට දැවැන්ත සහායක් සහ සහභාගිත්වයක් ලැබිණ. පනත සම්මත කරන දිනයේ දී පාර්ලිමේන්තුව පරිශ්‍රය තුළ සත්‍යග්‍රහයක් පැවැත්වුණු අතර එයට සහභාගී වීම සඳහා උතුර සහ නැගෙනහිරෙන් ද දෙමළ ජනතා නියෝජිතයෝ ද පැමිණියහ. පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මහජනයාට විවෘත නොකිරීමට රජය තීරණය කර තිබූ අතර සහ මාර්ග බාධක යොදා පාර්ලිමේන්තු පරිශ්‍රයට ප්‍රවේශවීම වළක්වනු ලැබිණ. මේ හේතුවෙන් ෆෙඩරල් පක්ෂය තම සත්‍යග්‍රහ විරෝධතාව පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටත ඒ ඉදිරිපිට දියත් කිරිමට සිදු විය.

මේ අතර සිංහල භාෂා ආරක්ෂක මණ්ඩලය විසින් ෆෙඩරල් පක්ෂයේ සත්‍යග්‍රහයට එරෙහිව තමන්ගේම සත්‍යග්‍රහයක් කැඳවන බවට තරජනය කරන ලදී. සිංහල භාෂා කොමිසමේ සාමාජිකයෙකු වූ එල් එච් මෙත්තානන්ද ෆෙඩරල් පක්ෂයේ සාමකාමී සත්‍යග්‍රහයට බලය යොදා පිළිතුරු දිය යුතු යැයි ප්‍රකාශ කළේය. දෙමළ නීතිඥයන් සහ වෛද්‍යවරුන්ගෙන් සේවය ලබා ගැනීම ද, දෙමළ ව්‍යාපාරිකයන් අයත් සිනමාහල්වල චිත්‍රපට බැලීම ද, නැගෙනහිර සහ උතුරෙන් ගෙන එන දුම්කොළ සහ සුරුට්ටුද වර්ජනය කරන ලෙස ඔහු සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එපමණක් නොව, දෙමළ ව්‍යාපාරිකයන්ට කොටස් හිමිකම් තිබූ සිංහල පුවත්පත් දෙකක්ද වර්ජනය කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. සිංහල ස්වෝත්තමවාදී බලවේග ෆෙඩරල් පක්ෂයට එරෙහිව දැවැන්ත වෛරී ව්‍යාපාරයක් සිංහල සමාජය තුළ ඇරඹූ අතර උප ඇමැතිවරයෙකු වූ කේ එම්.පී. රාජරත්න ෆෙඩරල් පක්ෂය ඇමෙරිකන් අධිරාජ්‍යවාදය සමග කුමන්ත්‍රණය කරමින් රට බෙදීමට කටයුතු කරන්නේ යැයි චෝදනා කළේය. ආණ්ඩු පක්ෂය වූ මහජන එක්සත් පෙරමුණ සමග සමීපව කටයුතු කළ බෞද්ධ භික්ෂුවක්, “සිංහල පමණක් පනත“ සම්මත කිරීමට ෆෙඩරල් පක්ෂය එරෙහිවන්නේ නම් ඔවුන් යාපනයට පළවා හැරිය යුතු යැයිද නැවත කිසි දිනෙක කොළඹට පැමිණීමට ඉඩ නොදිය යුතු යැයි ද ප්‍රකාශ කළේය.

කේ.එම්.පී.රාජරත්න

සිංහල භාෂාව පමණක් දිවයිනේ රාජ්‍ය භාෂාව බවට පත් කිරීම හුදෙක් යටත් විජිත පාලනයේ ඉංග්‍රිසි භාෂාවේ ආධිපත්‍යවාදී භාවිතයෙන් පීඩාවට පත්ව සිටි සිංහල බස කථාකරන සිංහලයන්ගේ අයිතියක් ලබා දීම අරමුණු කරගෙන සිදු වූවක් නොවේ. මේ වෑයම වනාහී දිවයිනේ උරුමය පිළිබඳ තනි අයිතිය සහ දේශපාලන ආධිපත්‍යය ඇත්තේ තමන්ට බව පෙන්වීමට සහ තහවුරුකිරීමට තැබූ ආරම්භක නෛතික මුද්‍රාවක් විය. රාජ්‍යයේ භාෂාව සිංහල පමණක් වන විට භූමියේ හිමිකරුවා ද සිංහල ජාතිය පමණක් වීම නොවැළැක්විය හැකි දෙයකි. එක් පසෙකින් ගල් ඔය වැනි සංවර්ධන යෝජනා ක්‍රමයන්ට මුවා වී ස්වකීය සම්ප්‍රදායික වාස භූමිය ආක්‍රමණය කිරීම, දැනටමත් ආරම්භ කර ඇති බව දෙමළ දේශපාලන නායකත්වයේ විවේචනයක් වූ අතර සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කරමින් සහ තමන්ට සිය භාෂාවෙන් රාජ්‍යය සමග කටයුතු කිරීමේ කිසිදු ඉඩක් ලබා නොදීම මගින් තමන් සිංහල ජනතාවට යටත් දෙවන පෙළ පුරවැසියන් ලෙස අවමන් සහගත සැළකීම්වලට යටත්ව ජීවත්වීමට සිදුවනු ඇතැයි යන යුක්ති සහගත බිය දෙමළ ජනයා තුළ පැතිර පැවතිණි. රාජ්‍ය බලය ලබාගත් සිංහලයන්ගේ පළමු දෙමළ විරෝධී පනත වූ කඳුකරයේ දෙමළ ජනතාවගේ පුරවැසි බව අහිමි කිරීම හේතුවෙන් මෙවැනි පනත්වලට දෙමළ ජනයාගේ බිය සහ විරෝධය පළ විම අතිශය ස්වාභාවික දෙයක් විය.

සත්‍යග්‍රහයට එරෙහිව ප්‍රචණ්ඩ බලය

ෆෙඩරල් පක්ෂයේ විරෝධතාව ආණ්ඩුවේ ජාතිවාදී පීඩාකාරී ප්‍රතිපත්තිවලට එරෙහිව දැක්වුණු විරෝධතාවක් වූ අතර එය රජයක ප්‍රතිපත්තීන්වලින් පීඩනයට පත්වන ඕනෑම ජන කොටසක් සතු ප්‍රජාතාන්ත්‍රික අයිතියක් වන සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය භාවිතයේ යෙදීමක් පමණක් විය. එය කිසිසේත්ම සිංහල ප්‍රජාවට එරෙහි වූ ජාතිවාදී උද්ඝෝෂණයක් නොවිණි. එහෙත් රජයේ දේශපාලනඥයන්ගේ ද, සිංහල ජාතිවාදී සංවිධානවල ද, භික්ෂුන්ගේද මැදිහත්වීමේ ෆෙඩරල් පක්ෂයට එරෙහිව ඇරඹි උද්ඝෝෂණය හරයෙන්ම සිංහල ස්වොත්තමවාදී සහ ෆැසිස්ට්වාදී එකක් වූ අතර එක් පසෙකින් ඔවුහු දෙමළ ජනයාගේ භාෂා අයිතිය නමැති මූලික මිනිස් අයිතිය උල්ලංඝණය කිරීමේ පනතක් සම්මත කිරීමට කටයුතු කරමින් සිටි අතර එයට එරෙහිව ෆෙඩරල් පක්ෂය විසින් කැඳවන ලද සාමකාමී විරෝධතාවට එරෙහිව දියත් කරන ලද ප්‍රචණ්ඩත්වය මගින් දෙමළ ජනයාගේ සාමුහික විරෝධය පෑමේ අයිතිය යටපත් කිරීමට ද උත්සාහ කළහ. ඉහත අරමුණු ඉටු කරගනු වස් ඔවුහු සිංහල සමාජය තුළ ගෙන ගිය ජාතිවාදී ප්‍රචාරයන්ගේ ග්‍රහණයට සිංහල සමාජයේ බහුතරයක් ගොදුරු විය.

සිය රජයේ ප්‍රධාන ඇමැතිවරුන් ද, ආධාරකරුවන් ද ෆෙඩරල් පක්ෂයටත් එහි සත්‍යග්‍රහයටත් එරෙහිව ගෙන යන වෛරී තර්ජනාත්මක ව්‍යාපාරය ගැන බණ්ඩාරණායක හොඳින් දැන සිටිය ද ඔහු එයට ඉඩ හැරියේ එමගින් ෆෙඩරල් පක්ෂය සහ දෙමළ ජනතාව බියගන්වා සත්‍යග්‍රහය ඇතුළු වෙනත් විරෝධතා ව්‍යාපාරයන් යටපත් කිරීමේ ආයුධයක් ලෙස එය යොදාගත හැකි බව දුටු හෙයිනි.

සාමකාමී සත්‍යග්‍රහකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ පොලිස් බලය

මෙහි දී දෙමළ ජනයාගේ සාමකාමී වීදී විරෝධතාවන් ජාතිවාදය යොදාගෙන හුදෙකළා කොට අවසානයේ ඒවා “දෙමළ කෝලාහල” බවට පත්කරලීමට සිංහල ආණ්ඩුවලට හැකි වූයේ සිංහල වාමාංශික නායකත්වය එකී විරෝධතාවන් සමග ඒකාබද්ධ වීමට කටයුතු නොකිරීම හේතුවෙනි. ඔවුන්ගේ විරෝධය පාර්ලිමේන්තුවට පමණක් සීමා විය. සමසමාජ හෝ කොමියුනිස්ට් පක්ෂවලට පුළුල් ජනපදනමක් තිබූ පණස් ගණන්වලදී පවා දෙමළ ජනයා මත දියත් වූ මෙම සාමූහික ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හෝ රාජ්‍ය ප්‍රචණ්චත්වයට එරෙහිව කිසිදු විරෝධතාවක් වාම නායකත්වය විසින් නොකැඳවිණි. මේ වනවිට වාමාංශික පක්ෂවල ගැමි සිංහල ජන පදනම් ශ්‍රිලනිපය විසින් සිය ජාතිවාදී මතවාදයන් වෙත අවශෝෂණය කරගනිමින් තිබිණි. සිංහල ප්‍රදේශ තුළ අහිමි වෙමින් යන සිය පාර්ලිමේන්තු ආසන රැකගැනීම සඳහා මුල් කාලීනව වමේ උපක්‍රමය වූයේ පාර්ලිමේන්තුව තුළ ජාතිවාදය විවේචනය කරමින් ගම් මට්ටමේදී නිහඬවීමයි. එහෙයින් දෙමළ ජනයාගේ යුක්ති සහගත ඉල්ලීම් පිලිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිංහල සමාජය තුළ භීතිය සහ වෛරය වැපිරවීමට ආණ්ඩුව සමත්විය. මෙම වාමාංශික පක්ෂවලට සම්බන්ධ අගනුවර ආශ්‍රිත ඇතැම් සටන්කාමී කම්කරු කොටස්වලට මේ තත්ත්වයට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය වුව ද මුළුමණින්ම පාර්ලිමේන්තුවාදයටත්, අනතුරුව සභාගවාදයටත් යට වූ වාමාංශික පක්ෂ තුළ මේ කම්කරු කොටස් කොන්වෙමින් තිබිණි. ඉක්බිති එළඹි දස වස ඇතුළත මෙකී සටන්කාමී කම්කරු කොටස් ප්‍රධාන වාමාංශික පක්ෂ කෙරෙහි වර්ධනය වන කළකිරීම හේතුවෙන් ඒවායේ දේශපාලනයෙන් තීරණාත්මක බිඳී වෙන්වීම දක්වාම ගමන් කළහ.

අසත්‍ය ප්‍රචාර මගින් දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සිංහලයන් පෙළැඹවීම

තමන්ගේ භාෂාවද රාජ්‍ය භාෂාවක් බවට පත් කරන ලෙස ඉල්ලා සිටීමට තරම් “උද්දච්ච වී පමණට වඩා ඔළුව උදුම්මාගත් පර දෙමළුන්ට යස පාඩමක් උගැන්වීමේ” අධිෂ්ඨානය සිංහල දේශපාලකයන්, බෞද්ධ භික්ෂූන් ඇතුළු වෙනත් සිංහල ජාතිවාදි බලවේග විසින් විවිධ අසත්‍ය ප්‍රචාර වපුරමින් රටපුරා තහවුරු කළහ. කටකතාව මෙහිලා යොදා ගැනුන ප්‍රධාන මාධ්‍යය විය. මඩකලපුවේදී සිංහල තරුණියක් ලිංගික අතවරයන්ට ලක් කර නගරයේ වීදි ඔස්සේ නිරුවත් කර ඇවිද්දවා පසුව මරාදමන ලද බවට පතුරුවා හරිනලද කටකතාව ජාතිවාදීන් අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාදීමට සමත් වූ එක් ප්‍රධාන කටකතාවක් විය. පසු කලෙක මෙම සමස්ත සිදුවීමම සිංහල ජාතිවාදින් විසින් ගොතන ලද ප්‍රබන්ධයකට වැඩි මනත් දෙයක් නොවුන බව තහවුරු වුවද විනාශය ඒ වනවිටත් සිදු වී හමාර ය. ස්වකීය යුක්ති සහගත අයිතීන් වෙනුවෙන් රාජ්‍යය සමග කේවල් කිරීමට අහිංසක සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වූ දෙමළ ජනයා “කුරිරු අපරාධකාරී ස්ත්‍රී දූෂකයන් රැළක්“ ලෙස නිරූපණය කර, ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියාවන් සඳහා සිංහලයන් පෙළැඹවීමටත්, ඒවා සාධාරණිකරණය කිරීමෙහිලාත් යොදාගත් මෙම කටකතාවට අදාළ ව්‍යාජ සිදුවීම සිංහල ජාතිවාදි මනසේ සාහසික පරපීඩක කාමුක ස්වභාවය, අපරාධයේ ගොදුරු බවට පත් පුද්ගලයා හෝ සමූහය මතම ප්‍රක්ෂේපණය කිරීමක් විය.

මෙම ව්‍යාජ කටකතාවෙන් විදහා දැක්වෙන කෲර ඉරණමට සත්‍ය වශයෙන්ම මුහුණ දීමට සිදුවූයේ ඉන් වසර 15කට පසු 1971 තරුණ නැගිටීම මර්දනයේදී සිංහල තරුණියක වූ ප්‍රේමවතී මනම්පේරිට ය. ඇය නිරුවත් කර කතරගම නගරයේ විදීවල ඇවිද්දවා අවසානයේ වෙඩි තබා මරා දමන ලද්දේ සිංහල හමුදාවන් විසිනි. 1971 දීත් 89 දීත් සිංහල තරුණියන් දහස් ගණනක් එබඳු අපරාධයන්ට ගොදුරු වූ නමුත් ඒවා සිදුකළේ “දෙමළ ජාතිවාදීන්“ විසින් නොව, සිංහල රජයේ හමුදාවන් විසිනි. 2009 අවසාන සංහාරයේදී අත් අඩංගුවට පත් සහ යටත් වූ දෙමළ තරුණියන්ගේ ඉරණම පිළිබඳව පසුව මතු වූ වීඩියෝ සහ ඡායාරූපමය සාක්ෂිවලින් පෙන්නුම් කරනුයේද සිංහල සමාජය සහ රාජ්‍යය විසින් අනෙකා මත ප්‍රක්ෂේපනය කිරීමට උත්සාහ දරන ලද පරපීඩක වධක මානසිකත්වය තුළ කොතෙක් දුරට ව්‍යුහාත්මකවම ඔවුන්ව ම ගිලී ඇත්ද යන්නයි. 1938-45 කාල වකවානුව තුළ ජර්මනියේ නාසිවාදින් ද යුදෙව්වන් යනු ආක්‍රමණිකයන් සහ පීඩකයන් ලෙසත් තමන් යුදෙව්වන්ගේ අපරාධවල ගොදුර ලෙසත් ප්‍රක්ෂේපණය කරමින් අනවරත ලෙස දියත් කළ ප්‍රචාරවල අරමුණ වූයේ තමන් විසින් ම දියත් කළ අපරාධ සාධාරණිකරණයයි.

නැගෙනහිර දෙමළ ප්‍රදේශ වලට පිටතින් රජයේ වාහන සහ බස්රථවල නැගී කඩාවැදුන සිංහල සන්නද්ධ මැරයන් විසින් සිය ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කිරීම හේතුවෙන් ඇතැම් තැනකදී දෙමළ ගම්වැසියන් සංවිධානය වී පිටතින් පැමිණෙන එවැනි මැරයන් වැළැක්වීමට කටයුතු කළහ. මෙම සිදුවීම් සිංහල ජනතාව අතර ප්‍රචාරය කරන ලද්දේ නිරායුධ මගීන් ගමන්ගත් බස්රථවලට දෙමළ ප්‍රදේශවලදී පහර දී ඔවුන් ඝාතනය කිරීම් ලෙස ය. මෙම ප්‍රචාරයන් කිසිදු පදනමක් නැති අසත්‍යයන් බව පසුව සනාථ විය. 6000ක සන්නද්ධ දෙමළ හමුදාවක් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සිට සිංහල ගම්බිම් වනසමින් පෙරට එන බවට කට කතාවක් පතුරුවා හරින ලදි.

බණ්ඩාරනායක ‘සිංහල පමණක්’ ඉල්ලන රැළියක් අමතයි
වර්ගවාදී මැරයන්ට හමුදා – පොලිස් සහාය

පැවති ආණ්ඩුවේ ඉහළ දේශපාලකයන්ගේ අනුමැතිය සහාය දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හිමි වූවා පමණක් නොව ඔවුන් විසින් දෙමළ ජනයාගේ දේපොල සහ ජිවිත ආරක්ෂා කිරීම සඳහා පොලිසිය සහ හමුදාව යෙදවීම වළක්වාලුහ. නැතහොත් තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන තෙක් එය ප්‍රමාද කිරීමට සමත් වූහ. ඇතැම් තැනෙක පොලිස් සහ හමුදා නිලධාරීන් සිංහල මැරයන් සමග එක්ව ප්‍රචණ්ච ක්‍රියාවල නිරත විය. කෙසේ වුවද ඇතැම් ප්‍රදේශවල දී ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹීමට තැත් කළ සිංහල මැර කණ්ඩායම් පොලිස් සහ හමුදා නිලධාරින් විසින් ආරම්භයේදීම පහර දී විසුරුවා හරින ලදි. නමුත් සමස්තයක් ලෙස පොලිසියේ සහ හමුදාව මැදිහත් වී සිදුවීම් පාලනය කිරීම ඇරඹුවේ දින කිහිපයක් ගත වූ පසු ය.

(මතු සම්බන්ධයි)

දෙවන කොටස: දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය II: උක් වගා බිම් ලෙයින් තෙත්කළ ’58

අජිත් සී. හේරත්