POST 09 AUGUST 2016
පළමු කොටස: කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය
බණ්ඩාරනායකගේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීමේ පනතට සහ 1956 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් ලෙස ෆෙඩරල් පක්ෂය විසින් දෙමළ ජනයාගේ අයිතීන් දිනාගැනීමට බලපාන ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් 1956 අගෝස්තු මස 20 වැනි දින ත්‍රිකුණාමලයේ පැවැති ෆෙඩරල් පක්ෂ සමුළුවේදි සම්මත කරගන්නා ලදි. එම ඉල්ලීම් නම්,
1. දෙමළ ජනයාට පුළුල් ස්වයංපාලන බලතල පැවරෙන ෆෙඩරල් ක්‍රමය මත පදනම් වූ නව ව්‍යවස්ථාවක් පිහිටුවීම,
2. සිංහල සහ දෙමළ භාෂාවන් සම තැන්හි ලා සැළකීම,
3. පුරවැසි පනත අහෝසි කර එමගින් පුරවැසිබව අහිමි කරන ලද ඉන්දීය සම්භවය සහිත දෙමළ වැසියන්ට පුරවැසි අයිතීන් ලබා දීම,
4. දෙමළ සම්ප්‍රදායික වාසභූමි මත රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන සිංහල ජනපදකරණය අත්හිටුවීම, යන ඒවා ය.
1958 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා: දෙමළ ඉල්ලීම් යටපත් කිරීමේ සහ එකඟතා කඩාකප්පල් කිරීමේ උපක්‍රමයක් ලෙස
තම ඉල්ලීම් 1957 අගෝස්තු 20 ට පෙර ඉටුකිරීමට රජය අසමත්වන්නේ නම් තමන් දිගටම අවිහිංසා මග යමින් සාමකාමී විරෝධතා පවත්වන බවට ෆෙඩරල් පක්ෂය අවධාරණය කළේය. එමෙන්ම අයිතීන් උදෙසා වන දිග්ගැස්සුණු සාමකාමී අරගලයකට සුදානම් වන ලෙස එය විසින් දෙමළ ජනයා වෙත ආයාචනා කෙරිණි.
1957 ජූලි 26 වැනි දින අගමැති බණ්ඩාරනායක සහ ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් අතර දෙමළ භාෂාව උතුරු සහ නැගෙනහිර පළාත්වල පරිපාලන කටයුතුවලදී භාවිතා කිරීමත්, රට සභා නම් ප්‍රාදේශීය පරිපාලන ආයතන පිහිටුවා බලය විමධ්‍යගතකරණය කිරීමත් පිළිබඳ එකඟතා ගිවිසුමකට අත්සන් තැබිණි. මෙම එකඟතාව තුළින් බණ්ඩාරනායක දීමට එකඟ වූයේ අගෝස්තු 20 වැනි දින ත්‍රිකුණාමලයේ සමුළුවේදී ඉදිරිපත් කර සම්මත කරගත් යෝජනාවන්ට වඩා බොහෝ සෙයින් කප්පාදු කරන ලද ඉල්ලීම් ය. පුළුල් ස්වයං පාලන බලතල සහිත වූ ෆෙඩරල් ක්‍රමයක් වෙනුවට ඊට වඩා බෙහෙවින් බලතල අඩු වූ රට සභා ක්‍රමය පිළිගැනීමට ද, දෙමළ බස කතා කරන්නා වූ ජනයාගේ සම්ප්‍රදායික නිජභූමිය වන උතුරු සහ නැගෙනහිර පළාත්වලට එක් පළාත් පාලන ඒකකයක් ඇතිකරන ලෙස වූ ඉල්ලීම සහ ඉන්දීය දෙමළ සම්භවයක් සහිත ජනයාගේ පුරවැසි බව පිළිබඳ ඉල්ලීම අත්හැර දැමීමට ද චෙල්වනායගම්ට සිදු විය.
කෙසේ වුව ද මෙමගින් ෆෙඩරල් පක්ෂය විසින් සැලසුම් කළ උද්ඝෝෂණ ව්‍යාපාරය අත්හැර දෑමීමට ඔවුන් එකඟකරවා ගැනීමට බණ්ඩාරනායක සමත් විය.
සිංහල ජාතිවාදීන්ගේ විරෝධතා සහ ගිවිසුම ඉරාදැමීම
මෙම බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම සිංහල ජාතිය සහ රට පාවාදීමකැයි කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කළේ මේ අතරේදී ය. සිංහල ජාතිය ආරක්ෂා කරගැනීමට මහනුවර දළදා මාලිගාවේ දී පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව එහි සිට කොළඹ දක්වා ජේ ආර් ජයවර්ධනගේ විසින් 1957 ඔක්තෝබර් 04 වැනි දින අරඹන ලද පා ගමන එවැන්නකි. බලය විමධ්‍යගතකිරීමේ රට සභාවලට එක්සත් ජාතික පක්ෂ දැඩි ලෙසම එරෙහි විය.
1958 අප්‍රේල් මස 9 වැනි දින බණ්ඩාරනායකගේ රොස්මිඩ් මන්දිරයට කඩාවැදුනු බෞද්ධ භික්ෂූන් 100ක් පමණ පිරිසක් සහ සෙසු ශ්‍රිලනිප ආධාරකරුවන් සහ දේශපාලකයන් පිරිසක් බණ්ඩාරනායකට එම ගිවිසුම අහෝසි කරන ලෙස බල කළහ. සිය කැබිනට් ඇමැතිවරු කීප දෙනෙකු සමග සාකච්ඡා කළ අගමැති බණ්ඩාරනායක එකඟතා ගිවිසුම ප්‍රසිද්ධියේ ඉරා දැමුවේය. එමෙන් ම ගිවිසුම අහෝසි කළ බවට ලිඛිත ප්‍රකාශනයක් ද ඔහු විසින් භික්ෂූන්ට ලබා දුන්නේය.
මෙම සාකච්ඡාවන්ට මුල සිටම සහභාගි වූ ෆෙඩරල් පක්ෂ සාමාජිකයෙකු වූ වී. නවරත්නම් පසුකලෙක ඒ ගැන ලියමින් “සිය අනුගාමිකයන්ගේ සහ භික්ෂූන්ගේ බලපෑමට යටත් වූ බණ්ඩාරනායක විසින් ගිවිසුම ඉරා දමන ලදි. ඔවුන්ට එය කඩදාසි කැබැල්ලක් පමණක් විය. ඒ හිට්ලර්ට තමන් විසින් මියුනික් හිදී නෙවිල් චැම්බර්ලේන් වෙත ලබා දුන් ප්‍රතිඥාව හුදු කඩදාසි කැබැල්ලකට වැඩි යමක් නොවූවාක් මෙනි,“ සඳහන් කළේය.
1958 මැයි: ගිවිසුමට විරුද්ධ භික්ෂූන් රොස්මිඩ් පෙදෙස වටලයි
තමන්ගේ ආරම්භක ඉල්ලීම් විශාල ප්‍රමාණයක් අත්හැර බණ්ඩාරනායක සමග එකඟතාවකට පැමිණීමට කටයුතු කළ චෙල්වනායගම් ඇතුළු දෙමළ නායකයන්ට මෙය ප්‍රසිද්ධියේ එල්ලකළ අතුල් පහරක් විය. නැවතත් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ ව්‍යාපාරය ඇරඹීම හැර ෆෙඩරල් නායකත්වය හමුවේ වෙන විකල්පයක් නොවිණි. ඒ අනුව 1958 පක්ෂයේ වාර්ෂික සමුළුවේදී මෙම තීරණය නිල වශයෙන්ම නිවේදනය කෙරුණි.
ත්‍රස්තය දියත් කිරීම
මෙම සත්‍යග්‍රහ විරෝධතාවන් දියත්වීමට ද පෙර සිංහල ජාතිවාදින් දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කරමින් එය කඩාකප්පල් කිරීමට සැලසුම් කළහ. “1958 දෙමළ කෝළාහල“ යනුවෙන් සිංහල ජනයා විසින් හඳුන්වන සිදුවීම වූ කලී දෙමළ ජනයාගේ සාමකාමී විරෝධතාවන් කඩාකප්පල් කිරීම සඳහා සිංහල ජාතිවාදීන් විසින් දියත් කරන ලද ප්‍රචණ්ඩ ත්‍රස්ත ව්‍යාපාරය මිස අන් යමක් නොවේ. 1958 මැයි 22 ආරම්භ වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් මැයි 27 වැනි දා තෙක් දැඩි තීව්‍රතාවකින් පැතිර ගියේය. මෙහිදී සිංහල ජාතිවාදීන් විසින් දෙමළ වැසියන් 1500කට ආසන්න පිරිසක් මරා දැමුණු බට ඇස්තමේන්තු පළ වී ඇති අතර දහස් ගණනින් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ගිනිබත් කෙරිණි.
ෆෙඩරල් පක්ෂ සමුළුව කඩාකප්පල් කිරීම
1958 මැයි 22 වවුනියාවේ පැවැත්වීමට නියමිතවූ ෆෙඩරල් පක්ෂ සමුළුව කඩාකප්පල් කිරීමට ශ්‍රිලනිප සහ එජාප ජාතිවාදී බලවේග විසින් සැලසුම් කළහ. සමුළුවට නැගෙනහිරින් පැමිණෙන නියෝජිතයන් වැළැක්වීමට මඩකලපු සිට පැමිණෙන දුම්රියට පහරදීමට සිංහල මැරයන් සංවිධානය කර පොලොන්නරුව දුම්රිය ස්ථානය වෙත යවන ලදි. මෙහිදී දෙමළ ජාතිකයන් දෙදෙනෙකු මරා දැමුණු අතර එහි සිටි සෙස්සන් සියල්ලම පාහේ සිංහලයන් වීම හේතුවෙන් ප්‍රහාරය අතරමග නැවැත් වූ මැරයෝ පිටත්ව ගියහ. නමුත් නැවැත මැයි 24 වැනි දින පොලොන්නරු දුම්රිය ස්ථානයට පැමිණි සිංහල මැරයෝ එහි සිටි දෙමළ ජාතිකයන්ට පහර දෙමින් දුම්රිය ස්ථානය විනාශ කර දැමූහ.
තමන් කුමක් සිදු කළද පොලිසිය විසින් තමන්ට වෙඩි නොතබනු ඇතිබවට සහතිකයක් රජයේ ඉහළ දේශපාලනඥයන්ගෙන් සිංහල මැර පිරිස්වලට හිමිව තිබිණි. පහරදීමට ලක්වූ දෙමළ ජාතිකයන් මැරයන්ගෙන් බේරා ගැනීමට ඉදිරිපත් වූ එක පොලිස් නිලධාරියෙකුට සිංහල මැරයන් විසින් පහර දී තුවාල සිදු කරන ලදි. තත්ත්වය වඩාත් නරක අතට හැරෙත්ම ජාතිවාදි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට රටේ දේශපාලන නායකත්වය දැක්වූ ආවෘත සහයෝගීතාව නොසළකා හැරි ඇතැම් හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරින් තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූහ. පොලොන්නරුවේදී 25ක පමණ හමුදා ඛණ්ඩයක් පැමිණ මැරයන්ට විසිර යන ලෙස නියෝග කළද 3000ක පමණ පිරිසකගෙන් සමන් විත වූ එම පිරිස එම නියෝග නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් වෙත මැෂින් තුවක්කු ප්‍රහාර එල්ල කිරීමට හමුදාවට සිදු විය. මෙහි දී දෙදෙනෙකු මරණයට පත් වූ අතර පොලොන්නරු දිස්ත්‍රික්කය තුළ දෙමළ විරෝධි ප්‍රචණ්ඩ ක්‍රියාවල තීව්‍රතාව කෙමෙන් අඩු වී යාමට පටන්ගත්තේ මෙම සිදු වීමෙන් පසුව ය. ඇතැම්විට රජයේ ආරක්‍ෂක අංශ විසින් වර්ගවාදී ප්‍රහාරයක් මැඩ පැවැත්වීමට දුබල හෝ උත්සාහයක් දැරූ එකම අවස්ථාව ලෙස ඉතිහාසගත වනු ඇත්තේ මේ සිදුවීම් දාමය පමණක් වීමට ද ඉඩ තිබේ.
කෙසේ වුව ද අගමැති බණ්ඩාරනායක ඉතා දැනුවත්ව මෙම ජාතිවාදී ප්‍රචණ්ඩ ගිනිජාලාවට පෙට්‍රල් වත්කල බවට සාක්ෂි තිබේ. 1958 මැයි 25 ඔහු ප්‍රසිද්ධියේ පවසා සිටියේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ආරම්භ වූයේ මැයි 24 වැනි දින නුවරඑළිය නගරාධිපතිවරයා වූ ඩී. ඒ. සෙනෙවිරත්න නැගෙනහිර පළාතේ කලවංචිකුඩියේ දී මරණයට පත්වීමෙන් පසුව බව ය. මෙමගින් ඔහු අනියමින් හඟවනු ලැබුවේ නගරාධිපතිවරයාගේ මරණයට දෙමළ ජාතිකයන් වගකිව යුතු බවය. ඇත්තෙන්ම සිදුවීම් ආරම්භවූයේ ඉන් දින තුනකට පෙර මැයි 22 වැනිදා ය. කෙසේ වුව ද බණ්ඩාරනායකගේ මෙම ප්‍රකාශයෙන් පසුව කොළඹ නගරයේ ද දෙමළ ජනයාට එරෙහිව සංවිධිත ප්‍රචණ්ඩ ඝාතන රැල්ලක් දියත් විය. ටාසි විට්ටච්චි සිය කෘතියේ සඳහන් කරන අන්දමට නිවාස සහ ව්‍යාපාරික ස්ථාන දහස් ගණනින් මංකොල්ල කා ගිනිබත් කරන ලද අතර කඩු මුගුරු ගත් සිංහල මැරයන් නිදැල්ලේ මිනිසුන් මරා දමමින් නගරය දෙවනත් කළහ. කාන්තාවන් ලිංගික අතවරයන්ට ලක්කර පුලුස්සා මරා දැමූ මැරයෝ දරුවන් උණු කරන ලද තාර මතට විසි කළහ. පෙනුමින් ඇඳුමෙන් පැළැඳුමින් කථාබහෙන් දෙමළ යැයි පෙනෙන සියල්ලන්ම සිංහල ජාතිවාදින්ගේ ගොදුරු බවට පත් විය. බොහෝ තැන්වලදී පොලිසිය අක්‍රියව හෝ සක්‍රියව මෙම දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සහාය වූහ.
’56 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන් පැතිර යාම බල පෑ අන්දමටම ’58 දී ද ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යාමට කටකථා විසින් විශාල වැඩ කොටසක් ඉටු කළේය. මඩකලපුවේ සේවය කළ පානදුර පදිංචිකාරියක වූ සිංහල ගුරුවරියක් දෙමළ මැරයන් විසින් පියයුරු කපා මරා දමන ලද කටකතාවක් අගනුවර පැතිරිණි. මෙයට ප්‍රතිචාර ලෙස පානදුර පිල්ලෛයාර් කෝවිල ගිනිතබන්නට උත්සාහ කළ සිංහල මැර කණ්ඩායම්, එය කළ නොහැකි වූ තැන එහි සිටි දෙමළ ජාතික පූජකයෙකු පණපිටින් පුලුස්සා මරා දමන ලදි. නමුත් මඩකලපුවේ දී ඝාතනයට ලක් වූ බව කී පානදුර පදිංචි ගුරුවරියක ගැන පසුව කළ විමර්ශනවලින් හෙළිවූයේ මඩකලපුවේ ගුරුවරියක ලෙස එවකට සේවය කළ එකදු පානදුර පදිංචිකාරියක් හෝ නොසිටි බව ය. එමෙන්ම වෙනයම් හෝ සිංහල කාන්තාවක් මඩකලපුවේදී එවැනි අපරාධයකට ගොදුරු වී නොතිබුණි.
සැබැවින්ම 1956 පැතිර ගිය කටකථාවලදී මෙන්ම මෙහිදී ද සිදුව ඇත්තේ සිංහල ජාතිවාදියාගේ පරපීඩක ප්‍රචණ්ඩ මානසිකත්වය අනෙකා මත (දෙමළ සමාජය මත) ප්‍රක්‍ෂේපණය කිරීම ය. එමගින් තමන්ගේම කෘෘරත්වය වසන් කිරීමට සහ සාධාරණීකරණයට උත්සාහ දැරීම ය.
ආණ්ඩුවේ සාර්ථක සැලසුම: ෆෙඩරල් පක්ෂය තහනම් කර බියගැන්වීම සහ හදිසි නීතිය පැනවීම
ප්‍රචණ්ඩ ක්‍රියා නිදැල්ලේ පැතිර යාමට ඉඩදෙමින් දෙමළ ජන ජීවිත වනසමින් ඔවුන් මත මහා භීෂණයක් නිදැල්ලේ දියත් කිරීමට සිංහල මැරයන්ට ඉඩ ලබා දුන් ආණ්ඩුව පළමු දින පහ තුළ කිසිත් නොකළේය. පසුව මැයි මස 27 වැනි දින හදිසි නීතිය ප්‍රකාශ කළ ඔවුහු ෆෙඩරල් පක්ෂය ද ජාතික විමුක්ති පෙරමුණ ද තහනම් කළහ. ෆෙඩරල් පක්ෂයේ නායකයන් අත් අඩංගුවට ගනු ලැබිණි. ෆෙඩරල් පක්ෂය සිය නීත්‍යානුකූල අයිතියක් වූ පක්ෂ සම්මන්ත්‍රණය පැවැත්වීමට කටයුතු කළා විනා කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවරක නිරතවූයේ හෝ ඒ සඳහා කිසිවෙකු උසිගැන්වූයේ ද නැති අතර ඔවුහු මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ගොදුර මිසක විත්තිකරුවන් නොවූහ. මෙහි දී ශ්‍රිලනිප රජය විසින් සිදු කරනු ලැබූවේ අපරාධයට ගොදුරු වූ පාර්ශ්වයටම දඬුවම් ද පැමිණවීම ය. සියල්ල සිදුවූයේ කලින් සැලසුම් කළ පරිදි ෆෙඩරල් පක්ෂය පාගා දැමීමේ උවමනාව අනුව ය. මෙහි දී රාජරත්නගේ ජාතික විමුක්ති පෙරමුණ තහනම් කිරීම වූකලී ෆෙඩරල් පක්ෂය තහනම් කරමින් එහි නායකත්වය අත්අඩංගුවට ගැනීම බාහිර ලෝකය හමුවේ යුක්ති සහගත කිරීමේ සංදර්ශනයක් පමණක් විය.
මෙම සිදුවීම් විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ “1958 දෙමළ කෝලාහල“ සිංහල හෝ දෙමළ සමාජයන්ට අයිති සාමාන්‍ය පුද්ගලයන් දෙපිරිසක් අතර අතර ඇති වූ ගැටුමක් වාර්ගික ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් ඇති ඛේදවාචකයක් නොවන බවත්, එය රාජ්‍යයේ දෙමළ ජන සංහාරක ප්‍රතිපත්තීන් සමග වෙන් කළ නොහෙන ලෙසින් සම්බන්ධව ඇති බවත් ය.
සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් නොසන්සුන් වූ දෙමළ ජනයාගේ විරෝධය පාලනය කිරීමේ මගක් ලෙස බණ්ඩාරනායක අවම ඉල්ලීම් ප්‍රමාණයක් ලබා දීමට ෆෙඩරල් පක්ෂ නායකත්වය සමග එකඟතාවක් ඇති කරගත්තේය. අවසානයේදී සිංහල ජාතිවාදීන්ගේ බලපෑම මත ඔහු එම ගිවිසුම ඒකපාක්ෂිකව අහෝසි කළේය. මේ තත්ත්වය මත ෆෙඩරල් පක්ෂය විසින් සිය උද්ඝෝෂණ ව්‍යාපාරය පෙරටත් වඩා දැඩි ලෙස ආරම්භ කරනු ඇතැයිද එයට පෙරටත් වඩා පුළුල් සහයෝගයක් හිමිවනු ඇතැයි ද බිය වූ බණ්ඩාරණායක ආණ්ඩුව මෙන් විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයද ෆෙඩරල් පක්ෂය පාගා යටපත්කිරීමේ දේශපාලන අවශ්‍යතාව වටහාගත්හ. එමෙන්ම සිය ජාතික ඉල්ලීම් සහ දේශපාලන අයිතීන් වෙනුවෙන් පෙරට එමින් සිටි දෙමල ජනයා බිය ගන්වා දේශපාලන වේදිකාවෙන් පලවාහැරීමට ද ඔවුනට අවශ්‍ය විය. 1958 මැයි 22 ෆෙඩරල් පක්ෂ වවුනියා සමුළුවට පහරදීමත්, අනතුරුව රට පුරා දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රිියාවන් පතුරුවාහැරීමත්, තම අනුගාමිකයන්ට නිදැල්ලේ කටයුතු කිරීමට ඉඩ ලැබෙන පරිදි පොලිසිය අක්‍රිය කිරීමත්, තම ඉලක්කයන් සම්පූර්ණ කරගැනීමට තරම් ජීවිත හානියක් හා දේපොළ විනාශයක් වූ පසුව හදිසි නීතිය පනවා ෆෙඩරල් පක්ෂය තහනම් කරමින් එහි නායකයන් අත් අඩංගුවට ගැනීමත්, යාපනයේ ස්ථාවර ලෙස මිලිටරිය ස්ථානගත කිරීමත් යන සියල්ල වනාහී එකී සැලසුමේ පියවරයන් විය. සැලසුම අපේක්ෂා කළ පරිදිම ක්‍රියාවට නැංවීමට ඔවුන් සමත් වූ බව පසුව ඇති වූ සිදුවීම් මගින් පැහැදිලි වේ.
යථාර්ථය නම්, 1956 දී මෙන් ම 1958 දී දෙමළ ජනයාගේ සංවිධිත දේශපාලන ඉල්ලීම්වලට සිංහල පාලක පංතියේ ප්‍රතිචාරය වූයේ සංවිධිත ප්‍රචණ්ඩත්වයයි.
(මතු සම්බන්ධයි)
තෙවන කොටස:දෙමළ ජනයා සත්‍යග්‍රහ සටන් බිමට