ඔබට අන්ධකාරය අවශ්‍යව තිබේ

ලෙනාර්ඩ් කොහෙන්

කාඩ්පත් බෙදන්නා ඔබ නම්
ක්‍රීඩාව ඇරඹීමටත් පළමු
මා එයින් පරාදය
සුවපත් කරන්නා ඔබ නම්
එහි තේරුම මා අබ්බාගාතයෙකු වීමට නියමිත බවය.
විජයග්‍රහණය ඔබගේ නම්
නින්දාව මාගේ උරුමය වනු ඇත.
ඔබට වඩ වඩාත් අන්ධකාරය අවශ්‍ය ව තිබේ.
අපි ගිනිදැල්ල මරා දමමු

මිනිස් රාමුව තුළ ගර්හාවට ලක්කර
කුරුසයේ ඇණ ගසන ලද
ඔබගේ ශුද්ධ වූ නාමය දසත පැතිරේවා
පාරිශුද්ධත්වයට පත්වේවා
කිසිදා නොපැමිණි සහායක් වෙනුවෙන්
සුවහසක් ඉටි පහන් දැල්වේ
ඔබට වඩවඩාත් අන්ධකාරයම අවශ්‍ය වී තිබේ.

මම පැමිණ ඇත්තෙමි
මා සුදානම්ය ස්වාමිනි.

කතාන්දරය තුළ පෙම්වතෙකු සිටියි.
නමුත් තාමත් එකම කතා පුවතය.
වේදනාවන් උදෙසා නැලවිලි ගීතයක් ගැයේ.
විරුද්ධාභාසයකට එරෙහි දෝෂාරෝපණයකි.
නමුත් එය ශුද්ධ වූ ලේඛනයේ ලියැවී තිබේ.
එය අරුත්සුන් චෝදනාවක් නොවේ.
ඔබට වඩ වඩාත් අන්ධකාරය අවශ්‍ය ව තිබේ.
අපි ගිනිදැල්ල මරා දමමු

ඔවුහු සිරකරුවන් පෙළගස්වන අතර
මුර සෙබළු සිය ඉලක්කය මානමින් සිටිති
මම ඇතැම් යක්ෂයන් සමග පොර බැදුවෙමි
ඔවුහු මධ්‍යම පන්තියට අයත් හීලෑ වූවන් වූහ.
මිනීමැරීමට සහ වැලපීමට
මට අවසර ඇතැයි මම නොදැන සිටියෙමි.
ඔබට වඩාත් අන්ධකාරය අවශ්‍යව ඇත

මම පැමිණ ඇත්තෙමි
මා සුදානම්ය ස්වාමිනි.

මිනිස් රාමුව තුළ ගර්හාවට ලක්කර
කුරුසයේ ඇණ ගසන ලද
ඔබගේ ශුද්ධ වූ නාමය
දසත පැතිරේවා
පාරිශුද්ධත්වයට පත්වේවා
කිසිදා නොලැබි ප්‍රේමයක් වෙනුවෙන්
සුවහසක් ඉටි පහන් දැල්වේ
ඔබට වඩවඩාත් අන්ධකාරයම
අවශ්‍ය වී තිබේ
අපි ගිනිදැල්ල මරා දමමු

කාඩ්පත් බෙදන්නා ඔබ නම්
ක්‍රීඩාවෙන් ඉවත්වීමට මට ඉඩ දෙන්න
සුවපත් කරන්නා ඔබ නම්
එහි තේරුම මා අබ්බාගාතයෙකු වීමට නියමිත බවය.
විජයග්‍රහණය ඔබගේ නම්
නින්දාව මාගේය.
ඔබට වඩ වඩාත් අන්ධකාරය අවශ්‍ය ව තිබේ.
අපි ගිනිදැල්ල මරා දමමු

මම පැමිණ සිටින්නෙමි
මම පැමිණ සිටින්නෙමි
මම දැන් සුදානම්ය, මාගේ ස්වාමිනී

මම පැමිණ සිටින්නෙමි

ලෙනාර්ඩ් කොහෙන්

පරිවර්තනය: අජිත් සී හේරත්

කොහෙන්

ලෙනාර්ඩ් නෝර්මන් කොහෙන් (Leonard Norman Cohen) 1934 දී කැනඩාවේ මොන්ට්‍රියල්හිදී ඔර්තොඩොක්ස් යුදෙව් පවුලක උපත ලද්දේය.ලිතුවේනියානු යුදෙව් ස්ත්‍රියක වූ ඔහුගේ මව 1927 දී කැනඩාවේ පදිංචියට පැමිණ තිබේ. ළමා වියේ සිටම යුදෙව් සහ ක්‍රිස්තියානි ආගමික සාහිත්‍ය ඇසුරේ ඔහුගේ ජීවිතය ගොඩ නැගිණි.
ඔහු ගීත රචකයෙකු, ගායකයෙකු, කවියෙකු සහ නවකථාකරුවෙකු ලෙස ජීවිතයේ අධ්‍යාත්මය ගවේෂණය කිරීමට උත්සාහගත්තේය. ඔහුගේ නිර්මාණ, විශ්වාසය සහ මරණය, හුදෙකලාව බව සහ ශෝකය, පාවාදීම සහ පලිගැනීම, සමාජ සහ දේශපාලන අර්බුද, ලිංගික සහ රොමාන්තික ආදරය, අනුරාගය, පසුතැවීම සහ අහිමිවීම ආදියේ අව්‍යාජ ප්‍රකාශනයන් ලෙස සැලකේ. කැනඩාවේ විශිෂ්ඨතම සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසක් ඔහු වෙත හිමිව ඇත.

1950 සහ 1960 දශකයේ කොහෙන් සිය වෘත්තිය ජීවිතය ගතකළේ කවියෙකු සහ නවකථා කරුවෙකු ලෙසය.සංගීත ක්ෂේත්‍රයට ඔහු ඇතුළු වන්නේ 1967 දී නිකුත් කළ ඔහුගේ Songs of Leonard Cohen (1967) ගීත සංග්‍රහය නිකුත් කරමිනි. ඉන් පසුව ඔහු විවිධ ගීත සංග්‍රහ ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ජෑස්, නැගෙනහිර ආසියාතික සහ මධ්‍යධරණී සංගීත සම්ප්‍රදායන් සංකලනය කරමින් ගැඹුරු අධ්‍යාත්මික තේමාවන් ඔස්සේ ඔහු ගීත නිර්මාණය කලේය. ඔහුගේ වඩාත් ජනප්‍රිය ගීතය ලෙස සැලකෙන්නේ “හලෙලුයා” යන ගීතයයි. ඔහුගේ “ප්‍රියතම නිල් වැසි කබාය”(Famous Blue Raincoat) නම් ගීතය ශෝකයේ සහ රොමාන්තික ආදරයේ සදාතනික සිහිවටනයක් ලෙස රසිකයන්ගේ හදවත් දිනාගෙන තිබේ. Dance Me To The End Of Love, Anthem, You Want It Darker, Partisan, You Want It Darker යන ගීතයන්ද ලොව පුරා ජනප්‍රියව ඇති ගීත වේ. ඔහුගේ “අනාගතය”(The Future) නැමැති ගීතය එළි දැක්වුනේ 1992 දීය. එම ගීතය මගින් සමාජවාදි කඳවුරේ සහ බර්ලින් තාප්පයේ බිඳවැටීම මගින් ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්තව ගිය සමාජ දේශපාලන ගැටුම් ආමන්ත්‍රණය කෙරේ.
එම ගීතයේ මෙසේ සඳහන් වේ.

“මට බර්ලින් තාප්පය ආපසු දෙනු මැනව,
මට ස්ටාලින් සහ ශාන්ත පාවුළු දෙනු මැනව
සොයුර, මම අනාගතය දුටුවෙමි
එය මිනීමැරුමකි.”

“..සියලු දේ බිඳවැටීමට නියමිතය.
සියලු දිශාවන් තුළ එම බිඳවැටීම සිදුවෙනු ඇත
ඔබට තවදුරටත් කිසිවක් මැනිය නොහැකිය.
හිම කුණාටුව, ලෝකයේ හිම කුණාටුව
එළිපත්ත මතට පැමිණී ඇත.
එය විසින් ආත්මයේ පිළිවෙළ පෙරළා දමා ඇත.”

“තවත් කළලයක් විනාශ කරව
අපට තවදුරටත් ළමුන් අවශ්‍ය නැත
මම අනාගතය දුටුවෙමි
එය මිනීමැරුමකි.”

මෙම ගීතය ඉමහත් ජනප්‍රියත්වයට පත්වූයේ 2020දී ඊනියා වසංගතයකට මුවා වී එක්සත් ජනපද කෝපරේට්-මිලිටරි හවුල් සංකීර්ණය සමස්ත ලෝකයම ටෙක්නො-පැසිස්ට් ආක්‍රමණයකට යටත් කර ගැනීමට දියත් කරන ලද උත්සාහයෙන් සමස්ත ලෝකයම පීඩාවට පත්ව සිටි සමය තුළය. ඔහුගේ ගීතය විචාරය කරන බොහෝවුන් එම ගීතය මගින් මානව සංහතිය මත වර්තමානයේ කඩාපාත්ව ඇති වියරු සමූල ඝාතන, අධ්‍යාත්මික සහ දේශපාලනික පාවාදීම්, සදාචාරමය පරිහානිය ආදිය විනිවිද දැකීමට සමත්ව ඇතියි පවසති.2016 වසරේදී කොහෙන් මරණයට පත් විය.