සාක්ෂිය

අජිත් සී හේරත්

ආරංචිය එද්දි බුදු මහත්තයෝ
කුඹුරට වතුර හරවමිනුයි මම හිටියේ
මගේ පොඩි එකා පපුවේ ඇම්මක් හැදිලා
ඉස්පිරිතාලේ අරගෙන ගිය බව කියලා

කොහොම ආවාද මට දැන් මතක නැත
ඉස්පිරිතාලේ ගේට්ටුව ළඟ නතරවුණේ
මාස්ක් නැතිව යන්නට දෙනු නැත කියලා
සෙකුරිටිතුමා එලෙව්වේ මා සැර දමලා

මාස්ක් සොයා මා ඇවිදින අතරතුරේ
මාස්ක් එකක් වැටිලා තිබුණයි පාරේ
ලෝකය නැසෙනු වළකන්නට මගෙ හුස්මෙන්
ඒකත් දමාගෙන මං ආපසු ආවේ

පුතා හිටියේ වාට්ටුවේ නොවේ කොරිඩෝවේ
ඈත ඉඳන් මා දැකලා අඬගැසුවේ
මාස්ක් එක අතින් පහතට කර අත වැනුවේ
කහට ටිකක්වත් ලැබුනද අනෙ මන්දා

කොවිඩ් ටෙස්ට් කරන තුරු කොළුවට දෙන්න
ඉස්ප්‍රිතාලේ බේතුත් දැන් නැති හන්දා
පාමසි එකෙන් ගන්නට කොළයක් දුන්නා
ටිකට් ගන්නවත් පනමක් නැති හින්දා
බස් නැවතුමේ තනියම මම කල් මැරුවා

පුතුගේ යාළුවෙක් ඇවිදින් අඬගැසුවා
ප්ලේන්ටියක් බොමු මාමේ යැයි කිව්වා
පුතුට කොහොමදැයි දිගටම ඇසුවා
බේත් ගන්න සල්ලි නැතැයි මම කිව්වා

රස්සාවක් නැතිමුත්
හිත හොඳ කොල්ලා
රත්තරන් මාලේ උගෙ උගසට තිව්වා
පුතුගේ බෙහෙත් මිල
ඌ තනියම ගෙව්වා

බේත් ටික අරං ආපසු මම දිව්වා
කොළුවා වාට්ටුවේ නැති බව මං දුටුවා
මාස්ක් දමාගත් උතුමෙක් එහි ආවා
දරුවා කොහේදැයි අඬ අඬ මං ඇසුවා
කොවිඩ් වාට්ටුවට ගෙන ගිය බව කිව්වා

පීසීආර් ටෙස්ට් පොසිටිව් වුන හින්දා
කොවිඩ් වාට්ටුවේ පැදුරේ නිදි කොල්ලා
ලෙඩුන් බලන වෙලාවක් නෙවි හින්දා
ගිහින් හෙට උදේ එන්නැයි මට කිව්වා

කොවිඩ් නෙවේ කොලුවට මහතුනි තිබුනේ
පපුවේ ඇම්ම අද උදයෙයි හැදුනේ
නොගත්තොතින් පාසල තහනම් හින්දා
ෆයිසර් බූස්ටරෙ ගත්තෙත් පසුගිය සඳුදා
කොවිඩ් හැදෙන්නේ කොහොමද අනෙ මන්දා

උගන්නන්න එනවද වෙද සාත්තරේ
මාස්ක් එක යටින් දොස්තර දත්මිටි කෑවා
නර්ස් නෝනලා හිකි හිකි ගෑවා
හිතේ දුක දරන් මං ආපසු ආවා

රාත්‍රිය පුරා මම නිදි වරාගෙන
උදෙන් නැගිට කැඳ ඩිංගක් හදාගෙන
පහයි කාලේ බස් එක ගැන බලාගෙන
හන්දියේ කඩේ පිල්කඩ ඇණ තියාගෙන
හිටියා සර් පපුවේ දුක දරාගෙන
බස් එකෙ ලයිට් දුර ඈතින් පෙනෙන විට
කඩේ වහලෙ ලැග මොර දුන් කාක්කෙකි
මගේ රන් පුතුගේ මළගම කිව්වෙ මෙමට

කොවිඩ් මරණයක් බව උන් ලිවු හින්දා
පුතුගේ සිරුර දෙන්නට බැරි බව කිව්වා
මිනිය දියල්ලා යැයි කෑගැසු හින්දා
සෙකුරිටි ඇවිත් මට හොඳටම ගුටි දුන්නා

රාලහාමිලා දෙන්නෙක් එහි ඇවිදිල්ලා
ජීප් එකට දැම්මේ බෙල්ලෙන් අල්ලා
සාජන් මහත්තයා ඇවිදින් හැන්දෑවේ
වසංගත පනත අකුරට රැකලා
කොලුවගේ මිනිය පුච්චා ඇති බව කිව්වා

කාට කියන්නද මහතුනි මේ විපත
අම්මත් නැතිව හැදුවේ මං ඒ දරුවා
කැම්පස් යන්න දිවා රෑ පාඩම් කෙරුවා
මුහුණ මතක්වෙද්දි වාවනු බැරුවා

හිර කූඩුවේ දුටු සිහිනෙක රාත්‍රියේ
මපුතු ඇවිත් මා ළඟබිම වාඩිවෙලා
ඉතින් තාත්තේ මං යන්නං කියලා
කතා නැතිව අත අල්ලාගෙන හිටියා

රාජකාරියට බාධා කෙරුවයි කියලා
ඇපත් නොදී මා හිරගෙට යවන තුරු
දොස්තරවරුන් සහ හෙදියන් වැඩ වරා ඇත
වුර්තිය සමිති සහයෝගෙට පැමිණ ඇත

ටීවී රේඩියෝ නෝනලා සමග
පත්තර මහත්තුරු ඇවිදින් වැල නොකැඩි
පොටෝ සමග මගෙ කට උත්තරගත්තා
නිව්ස්වලදී මා මැරයෙක් වී තිබුනා
වෙරිමරගාතේ ඇවිදින් සාමය බින්ද

බේත් ගන්නවත් සතයක් නැති මෙමට
බොන්න සල්ලි දුන්නේ මොන පත්තරෙද
ඒත් එහෙම තමා දැන් ඒවා වෙන්නේ
මගේ හිතේ කහටක් නැහැ මහතුන්නේ

තුවක්කුවත් එක අතකින් දරාගෙන
එන්නත්කටුව අතැඟිලි මත රුවාගෙන
වසංගතේ මැඩලන විරු හමුදාව
තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා

උතුම් වෙදවරුන් මතු බුදු වේවා
නර්ස් නෝනලා අගසවු වේවා
පයිසර් කටුව බුදදස් අත සැත වේවා
මගේ රන් පුතුට නිවනේ සුව අත්වේවා

වසංගත පනත නොදැනයි රණ්ඩු කළේ
වරද මා අතේ බව මං දැන් පිළිගත්තා
ගොයම් කපා වී ටිකවත් විකුණාලා
තුන්මහේ දානේවත් දෙන්නට ඉඩදීලා
යන්න දෙන්න මහතුනි මට ඇපදීලා

කිලිටි මාස්ක් එක යට හිරවුණ මගේ සුසුම
මහත්තුරුනේ නුඹලාට නොදැනුනේ කෝම
මීටර දෙකක් ඈතින් සිටියත් සැවොම
එකම මිනිස් කැලතකි සකි අපි තාම

කට උත්තරේ දුන්නේ
එම්. රන් බණ්ඩා

සටහන් කළේ
සාජන් නිව්ටන් සිල්වා

සාක්ෂිය:-අජිත් සී හේරත්

දෙසැම්බර් 2022