මරණයේ බිම්කඩ

තිරුචෙල්වම් තිරුකුමාරන්

රුදුරු ගොර අතකින්
තියුණු මුවහත් සැතකින්
වෙන් කර අපගේ දිවියෙන්
සිඳ දැමිණි ඒ නිදහස

දෙවිවරු නිහඬ විය
ලෝකයම ගොළු විය.

මෙයයි ඒ සමුදුර- නැගී සිටි අප ගැටී උරෙනුර
මෙයයි ඒ සමුදුර – ජීවිතය අපහට තිළිණ කළ
මෙයයි ඒ සමුදුර – මෙයයි ඒ වෙරළත
දිනෙක අප මියැදෙන – එවිට අප සමුදෙන

එදා ඒ දළ රළපෙල
හැපී බිඳුණි ය වෙරළත
මෙදා මේ අද වුව
නැගෙයි පෙර ලෙස
බිඳෙයි වෙරළත

නවත්වනු යැයි
පැවසුවේ කවුරුද
නිහඬතාවයේ දළ රළ
මගේ ළය මත හැපී බිඳෙනා විට
ඉදින් මේ පස යට
මියැදී ඇදවැටුන ජනයා ය නිම් නැති
නිහඬතාවයේ දළ රළ
මගේ ළය මත හැපී බිඳෙනා විට
නවත්වනු යැයි
පැවසුවේ කවුරුද

අඳුරේ සෙමින් දියවන
මේ අවකලා සඳම ය
වැතිර සිටියේ එදා අප මිදුලත
අම්මා කියා දුන් ඒ
කතන්දරවල තැවැරී
ඇය අනා අනා කැවූ
රසැ’ති බත් ගුලියකට මුසු වී
අප සිරුරු සවිමත් කළ
මාංශය බවට පෙරළුණ

ඉදින් ඒ මාංශය
උණ්ඩයෙන් සිදුරුව
ඉරී සුණුවිසුනුව විසිරෙන විට
සාක්කියට ද සිටියේ
මේ සඳම පමණ ය.

කලාවෙන් කලාවට
සරන්නී තාමත් එසඳවත
බත් පිඬු අනන්නට
අම්මාට නොහැක අද
නොඉල්ලති දරුවෝ ද
දැන් ඒ මිහිරි සැනසිලි රස

නොමැරී ශේෂ වුව මාතාව ඒ දුක්බර
අබල ටකරං පැලක වන්නියේ කෙළවර
පෙන්වනු නොහැක සඳ අත එදෙස දිගු කර
කවනු නොහැකිය බත් දුවහට අනා රසමුසුකර
පිරිමදිනු නොහැකිය පුතුහිස සෙනෙහැති සුරත දිගුකර
වළ දමා ඇත ඒ දෑත කැඩී සිරුරෙන් වෙන්වුණ

ඵල ඉදෙයි කුණුවෙයි නටුවෙන් කැඩී ගිලිහෙයි
කිසිවෙකු නොඅහුළයි, කිසිවෙකු ද නොබුදියි
මහපොලොව වියැලෙයි ඉරිතලයි දෙදරයි
සී සෑ දෑත් අහිමියි නිවෙස් නටබුන් වෙයි
අඳුරු වනපෙත හදවතට බර වෙයි.

මකා සිතියමෙන් උදුරා
එහි දනන් මරා පලවාහැර
ලොවින් සිඳ වෙන් කළ මේ බිම
සතුරෙකුගේ සැලසුම
එකදු හෝ ජාතියක් මේ ලොව
නවත්වනු යැයි නොකියන

නිහඬතාවයේ රළ
ඈත වෙරළක හැපී වැනසෙන
මෙයයි ඒ බිම්කඩ ආදරය සුරැකුණ
මෙයයි ඒ බිම්කඩ සිහිනයන් ඉපැදුණ
පැතුම් මියැදී වැළලෙයි පොහොර වෙයි
එයින් මේ බිම සරු වෙයි
ඉතින් මෙහි නිහඬ බව හඬ නගයි

තිරුචෙල්වම් තිරුකුමාරන්

පරිවර්තනය: අජිත් සී හේරත්

තිරුකුමාර්

තිරුචෙල්වම් තිරුකුමාරන් දෙමළ කවියෙකි. ලේඛකයෙක් සහ මාධ්‍යකරුවෙකි. චිරන්තන දෙමළ කව් බසින් නිර්මාණකරණයේ යෙදෙන විශිෂ්ඨයන් අතරෙහි ලා සැළකෙන හේ 2008 ජූනි මාසයේ කොළඹ දී පැහැරගෙන යනු ලැබ දරුණු වධ හිංසාවලට පාත්‍රවීමෙන් පසු අහඹු ලෙස දිවි ගළවාගත්තේය. අනතුරුව ඉන්දියාවටත්, දෙවනුව යුරෝපයටත් පලා ගිය තිරුකුමාරන්, නව වසක් තිස්සේ පිටුවහුල් දිවියක් ගත කරයි.