බාලගිරි

යොහාන් වුල්ෆ්ගාන්ග් ෆොන් ග්‍යුත

නිශා සැඩ මාරුතය මැද
සරනුයේ කවරෙක්ද ඒ?
පියෙකි ඒ විඩාපත්
ගිලන් සිය පුතු දෝතින් වඩාගත්
හොවා ළය උණුසුම තුළ
පරදවා මස විනිවිදින සීතල

“මපුත  පවසව මට
කිමද  නුඹ වත බියෙන් හැකිළී?”

“දුටුවෙහිද  පියාණනි නුඹ
ඒ ගරා යකු?
හිසේ කිරුළකි දිදුළන,
පසුපසෙන් වාලධිය  ලෙලවන
අඳුරු කැළයට අධිපති
දළ කුමරු යැයි නම් ඇති”

“මපුත නුඹ බිය නොවව!
ඒ හුදෙක් පාව යන මීදුමය..”

“පිය දරුව මා හා එව
කෙළි දෙළෙන් නිරතුරුව
නුඹට මා හා කල් ගෙවිය හැක.
නෙකවනින් මල් පිපී දිලිසෙන
වෙරළකට මම නුඹව ගෙන යමි.
නුඹ පිණිස රන් හුයෙන් නිම කළ
මහරු වියමන් සළුපිළි රැගෙන
බාලගිරි දේවීය ද පෙරමගට වී සිටින්නී.”

“පියා‍ණෙනි,මා පියාණෙනි!
නොඇසේද නුඹ හට,
මුමුණමින් මා සවනට
දළකුමරු මා වෙත
දෙන පිලිණ රැස මේ ලෙස..?”

“නොකැළැඹී සන්සුන්ව
සිටිනු මැන මා පුත.
වියළි තුරුපත් සරසරය මිස
වෙන හඬක් මෙහි නැත!”

“රිසි වේද පිය දරුව  නුඹහට
පැමිණෙනු  පිණිස මා හා?

පරයා දෙව්ලිය රූසිරු
පළඳා අබරණ විසිතුරු
දොළොස් මහා ගිරි දූවරු
බලා සිටිත් නුඹ එනතුරු

රඟමින් නිශා නර්තන
වයමින් නේක බෙර මද්දල
සතපා යහන මත  මුදු ලෙස
මුමුණාය උන් මියුරු නැළවිලි
නුඹේ දෙසවන් පිරිමැද.“

“පියාණෙනි මා පියාණෙනි
නොදිසේද නුඹහට
දොළොස් මහ ගිරි දූවරු
අර අතන කෙළවර
අඳුරු වන ගොමුව අද්දර? ”

“අහෝ මා පුත, මා දයාබර පුත,
පැහැදිලිව දිටිමි මම එය
මාරුතය හා සසලවන
විසල් අළුවන් නුගතුරුය ඒ.“

“පසන් පෙනුමින් දනන් සිත්ගත්
පිය දරුව නුඹ,
නොපැමිණෙත් නම් මගේ අරණට
බලෙන් වුව මම රැගෙන යමි නුඹ.”

“පියා‍ණෙනි මා පියා‍ණෙනි
ගරා යකු  දැන්  අදියි මා ඔහු වෙත
රිදුම් දෙවමින් මා හට..”

අවසනදී පියා කැළඹිණ.
වලප්නා දරුවා දෑතෙහි දරා
කඩිනමින් දිව ගියේ ඔහු
පාළු හේනක පැල්පතක් වෙත.
එනමුදු ඔහු දෑත මත
සීතල මළකඳක් මිස
දරුවෙකු නොවී පෙර ලෙස.

යොහාන් වුල්ෆ්ගාන්ග් ෆොන් ග්‍යුත

යොහාන් වුල්ෆ්ගාන්ග් ෆොන් ග්‍යුත (1749 – 1832)

යොහාන් වුල්ෆ්ගාන්ග් ෆොන් ග්‍යුත “Erlkönig“ නම් සැහැලි කාව්‍යය ලියා ඇත්තේ 1782දී ය. මෙම කාව්‍ය නිර්මාණය සඳහා ග්‍යුත සිය නිර්මාණාවේශය ලබා ඇත්තේ 16 වන සියවසේ ඩෑනිෂ් කාව්‍යයක් වන “ “Sir Oluf and the Elf-King’s Daughter“ නම් කාව්‍යය කියැවීමෙනි. මෙම ජනකාව්‍යයට අනුව ඔලුෆ් නයිට්වරයා සිය විවාහ මංගල්‍යයට අමුත්තන්ට ආරාධනා කිරීම සදහා  අසු පිට නැගී ගමන් කරයි. වනයේදී ඔහුට වනයට අධිපති දේවතාවගේ දියණිය මුණ ගැසෙයි. තමා සමග නර්තනයකට එක්වන ලෙස ඇය විසින් කරන ලද ආරාධනය ඔලුෆ් විසින් ප්‍රතික්ෂේපකරයි. මෙයින් කෝපයට පත්වන වනයට අධිපති දේවතාවගේ දියණිය ඔලුෆ්ට ශාප කරයි. මේ ශාපයට අනුව ඔලුෆ්ට නැවත සිය මව වෙත නිවසට යාමට සිදුවන්නේ මරණාසන්න මිනිසෙකු ලෙසය. මුල් සැහැළි කාව්‍යය අවසන් වන්නේ නයිට්වරයාගේ මව මෙන්ම මනමාලියද මරණයට පත් වීමෙනි.

ජර්මන් විචාරකයෙකු සහ දාර්ශනිකයෙකු වූ ගෝට්ෆ්‍රීඩ් ෆොන් හෙයර්ඩර්  විසින් රටවල් ගණනාවක ජනකවි ජර්මන් බසට පරිවර්තනය කර වෙළුම් දෙකක් වශයෙන්  1778 සහ1779 අතර දී පළ කරන ලදි. මෙම එකතුවට  “Sir Oluf and the Elf-King’s Daughter“ නම් ඩෑනිෂ් සැහැලි කාව්‍යයේ පරිවර්තනයද ඇතුළත්ය. කෙසේ වුවද හෙයර්ඩර්ගේ පරිවර්තනයේ දී ඩෑනිෂ්  “Ellerkong” යන වදන (එනම් ඉංග්‍රිසියෙන් Elf-King සහ සිංහලෙන් බහිරව නැතහොත් පිශාච රජු යනුවෙන් අරුත් ගැන්වෙන වදන)   ජර්මන් බසට “Erlkönig,” යනුවෙන් වැරැදි ලෙස පරිවර්තනය කර ඇතැයි විචාරකයෝ පවසති. Erlkönig යන්නෙහි අර්ථය අල්ඩර් නම් වෘක්ෂයේ අධිපති යන්නයි. ග්‍යුත සිය නිර්මාණයේදී වෙනත් අත්දැකීමක් ඉදිරිපත් කරයි. එනම් ගිලන් දරුවෙකු සහ ඔහු රැගෙන රැයෙහි ගමන්කරනා පියෙකු පිළිබඳ කතා පුවතකි.

මෙම කවිය සිංහලට පරිවර්තනය කිරීමේදී ජර්මානු හෝ ඩෑනිෂ් ජනසාහිත්‍යයේ එන මිථ්‍යා සංකල්ප හා චරිත වෙනුවට සිංහල ජන සාහිත්‍යයේ එන මිථ්‍යාවන් සහ චරිත යොදාගැනිණි. Erlkönig වෙනුවට දළ කුමරු හෝ ගරායක්ෂ චරිතය ද, Erlkönig දූවරුන් වෙනුවට අවතාර දොළොසකින් යුතුව පවතින්නේ යැයි කියැවෙන ගිරි දේවියගේ චරිතයද යොදා ගැනිණි.  ජනප්‍රවාදයන්ට සහ විශ්වාසයන්ට අනුව ගිරි දේවිය වූකලී කුඩා දරුවන්ට ලෙඩ රෝග සහ අතුරු ආන්තරාවන් ගෙන යක්ෂණියකි. ඇයගේ දොළොස් මහා අවතාර බාලගිරි අවතාරය ප්‍රමුඛය. මෙම බාලගිරි යක්ෂණියගෙන් කුඩා දරුවන්ට හානි සිදුවීම වැළැක්වීමට නිවසේ උළුවස්සේ “ බාලගිරි අද නොවේ හෙට“ යනුවෙන් ලියා තැබීමේ සම්ප්‍රදායක් සිංහල සමාජයේ වෙයි. ග්‍යුතගේ මෙම කාව්‍යය මගින් කියැවෙන්නේ සිය ගිලන් දරුවා රැගෙන මහා රාත්‍රියක අසෙකු පිට යන පියෙකු සහ එම මරණාසන්න  දරුවා අතර සිදුවන දෙබසක් පිළිබඳවය.  අඳුරු කැලය පසු කරමින් ඇදෙන විට රෝගී දරුවාගේ දෙනෙත් හමුවේ විවිධ දසුන් සහ පුද්ගල රූප මැවෙයි. Erlkönig පියාගේ තුරුලේ සිටින දරුවාට තමා සමග යාමට පැමිණෙන ලෙස විවිධ පොරොන්දු දෙමින් ආරාධනා කරයි. එවිට දරුවා ඒ බව පියාට පවසයි. ඒ හුදෙක් වනයේ තුරුගොමුවල සෙවනැළි සහ සරසරය පමණක් බව පවසමින් පියා දරුවා සැනසීමට වෑයම් කරයි. අවසානයේ Erlkönig විසින් තමන් බලයෙන් රැගෙන යාමට සුදානම්වන බව දරුවා පවසයි. එවිට පියා කලබල වන නමුත් ඒ වනවිට ඔහු බෙහෙවින් ප්‍රමාදය. ග්‍යුතගේ මෙම නිර්මාණය, පියා සහ දරුවා අතර වන දෙබස ද දරුවා රැගෙන යාමට පැමිණි Erlkönig විසින් ඒ සදහා දරුවා පෙළැඹවීමට පවසන ප්‍රකාශයන්ද ඇතුළත් සංවාදමය ආකෘතියකින් ලියැවී තිබේ. සිංහල අනුවාදය සදහා ද එම ආකෘතියම භාවිතා කර තිබේ. එම කෘතියේ එන විලෝ ගස වෙනුවට බොහෝ ආසියාතික ගුප්ත මිථ්‍යා ඇදහිලි සහ සම්බන්ධ නුග වෘක්ෂය යොදා ඇත.

පරිවර්තනය: අජිත් සී. හේරත් | ප්‍රධාන සිතුවම: ‍කේති කොල්විට්ස්