වධකාගාරයේ සිට

ඊළඟ මොහොත දෙස
අපේක්ෂා විරහිතව බලා සිටියා මිසෙක
පළමු වැන්නා හෝ අන්තිමයා
වීමට මා ප්‍රාර්ථනා කළේ නැත

හිස කොතරම් පහත් කරගෙන සිටියද
ඔවුන්ගේ නිර්දය ටොකු පහරින්
බේරීගත නොහැක
වධකාගාරයේ ගෙවුණු පළමු පැය තුළදීම
සිතුවිලි අතුරුදන්විය

ශෝකී අතීත ස්මරණ
ඇඟ මස කකියවන බිහිසුණු වේදනා
මරණීය විලාපයන්
විපරීත හැඩතල සහ දීප්තිමත් වර්ණ
බියකරු සිහිනයන් අතර කැළතෙයි

බියකරු බව හැරුණු විට
මෙහි ඇත්තේ
මිනිසත් බවේ අසරණකම පමණි
වධකාගාරයේදී මුණ ගැසෙන
එකම දයාබර සගයා
මරණයයි
ඔහු පවා
අපගේ අයැදීම්වලට උදාසීනය

ඊයේ රාත්‍රියේ ගෙන ආ තරුණියගේ
හඬ දැන් ක්‍රමයෙන් මැකී යයි
කුකුළා හැඬළීමට ප්‍රථම
තෙවන වරටද
කිසිවෙකුදු නොහඳුනමියි කී සහෝදරී
පාවාදීම වෙනුවට
බියකරු මරණයද
ආයාචනය වෙනුවට
සාපකිරීමද තෝරාගත් සහෝදරී
මා දෑස බැඳි රෙදිකඩට උරාගත්
අවසාන කඳුළු බිංදුව
නමස්කාර කළේ නුඹ වෙතය

දිරිගැන්වීමේ අතිරේක දීමනාව
අතුරුපස සඳහා ලැබුණ යෝගට් කෝප්පය
තළුමරමින් පත්ලටම ලෙව කෑ සෙබළා
එය වීසිකර පාගා දමයි
මීළඟට කවුරුන්ද

මෙහි ජීවිතය මෙයයි
මෙහි මරණය කුමක්ද
මුහුණක් නොමැති මළ කඳක් සහ
සිරස්තලයක් නොමැති ප්‍රවෘත්තියක් පමණි

ලැයිස්තුගත නොවූ ජීවිතය
ලැයිස්තුගත නොවූ මරණය කරා
සම්ප්‍රාප්ත වෙයි

වියරු සිහිනයන් සමග
මා කී වරක් නම් මෙයින් පලා ගියෙම්ද
එහෙත් මා තවමත් මෙහිය
මේ අවබෝධය පවා
අතිශයින් බියජනකය

මෙහිදී මරා දැමුණු
බොහෝ දෙනාට
මිනිස් මුහුණක් තිබිණ
මගේ අවසන් සාක්ෂිය ලෙස
මට කීමට ඇත්තේ එපමණකි

අජිත් සී හේරත් – නිම්තෙර-ලක්දිව-1992 ජනවාරි 22