1983 ජූලිය

ඈන් රණසිංහ

මම මවිත වූයෙමි
නාසි මිනිමරුවන් ගැන සහ
ඔවුන්ගේ ඝාතන දෙස
ඔහේ බලා සිටියවුන් ගැන

බැගෑබර නේක නෙත්
පිළිබඳ මතකයන්
අකුණක් විලස
ඔවුන්ගේ දින සහ අවුරුදු
විනිවිදින්නේද

අනත් දරුවන් මරණයට පෙර
අසරණව නඟන ලද
ආයාචනාවන් සහ වැලපුම් හඬ
රැය පුරා ඔවුන් හඹා එත්ද

ඔවුන්ගේ රාත්‍රීන්
නිදි නැතිව ගෙවෙනු ඇත්ද-
දුක් සන්තාපයන්
ලෙය ත්‍රස්තය සහ වේදනාවන්
ඔවුන්ගේ මොළ තුළ
ගැඹුරටම හෑරී සටහන්ව ඇත්ද
කෑගැසීමකි
මම වරදකරුවෙක්මි.
අහෝ නැවතත් නම් එපා.

හතලිස් වසකට පසුව
නැවතත් ගින්නකි
රෑ අහස ලෙයින් නැහැවී
හිංසනයෙන් දූෂණයවී ඇත

මාගේ නැදෑකම
විවාහය විසින් පමණක් වුවද
මට හැඟෙයි මාවම
ගොදුර ලෙස හා අපරාධකරු ලෙස
එකම විට

කළුව වැනසුණු බාල්ක
පතුරුව කැබැලිතිව අළුව
සුලඟේ විසිර යයි
කිසිවක් ශේෂ නොකරම
තුනීම දුම් රොදක් අස හැකිළී
ගින්න පිළිබඳ හුදු සිතිවිල්ලෙහි ගිලී
ඇතැමුන් ඔවුන්ගේ දෑත්
ගිනිදැල්වලින් උණුසුම් කරනා අතර

ඈන් රණසිංහ

පරිවර්තනය: අජිත් සී හේරත්

ඈන් රණසිංහ
පාසල් නාට්‍ය කණ්ඩායම සමග ඈන් ළමා වියේදී, (වමේ සිට දෙවැන්නිය) මෙම සේයාරුව දැනට එක්සත්ජනපදයේ යුදෙව් සංහාරය පිළිබඳ කෞතුකාගාරයක පවතී

ඈන් රණසිංහ ජගත් කීර්තිධර ලේඛිකාවකි. ජර්මන් යුදෙව් සම්භවයක් සහිත ඇය 1925 ඔක්තෝබර් 02 වැනිදා ද ජර්මනියේ එසන් හිදී උපත ලැබුවාය. ඇගේ මුල් නම අන්නාලිසා කාට්ස් Anneliese Katz ය. 1938 නොවැම්බර් 09 වැනිදා හිට්ලර්ගේ යුදෙව් සංහාරක හමුදා විසින් දියත් කළ මහා සංහාරයට පසුව ඇගේ දෙමව්පියන් ඇයව රහසිගතව එංගලන්තයට පිටත් කර හැරීමට තීරණය කළේ ඇගේ දිවි ගලවනු පිණිසය. ඇගේ පියා අත් අඩංගුවට ගෙන ඩාෂොව් නගරයට ගෙන යනු ලැබිණ.1939 ජනවාරි 26 වැනිදා 15 හැවිරිදි ඇය තනිවම තවත් යුදෙව් දරුවන් සමග එංගලන්තයට රහසිගතව පිටත් කර හැරිණි. ඇයට යළි ඇගේ දෙමව්පියන් කිසි දිනෙක හමු නොවීය. 1941 දී ඇගේ දෙමව්පියන් ලෝඩ්ට්ස් වෙත පිටුවහල් කරන ලද අතර එහිදී මරා දැමිණි. එංගලන්තයේ විසූ ස්වකීය නැන්දා සහ මාමාගේ සහායෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළ ඇය දෙවෙන ලෝක යුද සමයේ හෙදියක ලෙස යුද රෝහල්වල සේවය කළාය. එංගලන්තයේදී මුණ ගැසුණ ශ්‍රී ලාංකිකයෙකු වූ කොළඹ වෛද්‍යපීඨයේ මහාචාර්ය රණසිංහ සමග විවාහ වූ ඇය පසුව ශ්‍රී ලංකාව සිය ස්ථිර පදිංචිය බවට පත් කරගත්තාය.

“1925 දී උපත ලද අනලීනා කාට්ස් මෙහි වාසය කළ අතර 1939 දී එංගලන්තයට පිටුවහල් කරන ලද ළමුන් ගෙන් අයෙකි. ඇගේ විවාහක නම රණසිංහය. ” ජර්මනියේ එසන් නගරයේ ඈන් කුඩා කල වාසය කළ නිවස ඉදිරිපිට පිහිටුවා ඇති ලෝහමය සමරු පුවරුවක්. දෙවැනි ලෝක යුද්ධයට පෙරාතුව සහ ඒ අතර කාලය තුළ ජර්මනියේ නාසි පාලනය යටතේ මරණයට පත් කරන ලද, පිටුහල් කරන ලද, හෝ සමූහ කඳවුරුවල රඳවන ලද යුදෙව් ජාතිකයන්, විරුද්ධපාක්ෂිකයන් ඇතුළු සියලු දෙනා වාසය කළ නිවෙස් පිහිටි ස්ථානවල ඔවුන්ගේ නම් ගම් සටහන් කරමින් වර්තමානයේදී මෙවැනි සමරු පුවරු දක්නට ලැබේ.

ඇගේ සාහිත්‍ය ජීවිතය ඇරඹෙනුයේ ඇය ජර්මනියේ කොලෝන් නගරයේ අධ්‍යාපනය ලැබූ 10 හැවිරිදි වියේදීමය. ඒ බයිබලයේ එන එස්තර්ගේ චරිතය ඇසුරෙන් නාට්‍යයක් රචනා කිරීමෙනි. මෙම නාට්‍ය පාසල් දරුදැරියන් විසින් නිෂ්පාදනය කර එසන් හී ළමා මධ්‍යස්ථානයකදී රඟ දක්වන ලදි. මෙම මධ්‍යස්ථානය පසුව නාසීන් විසින් විනාශ කර දමන ලද අතර මේ නාට්‍යයේ පිටපත් සහ එහි ඡායාරූප එසන්හි අල්ට සිනගොග් ලේඛනාගාරයේ පවතින අතර එක්සත් ජනපදයේ වොෂින්ටනයේ ජන සංහාර පිලිබද කෞතුකාරයේ එහි පිටපත් ප්‍රදර්ශනයට තබා ඇත.

කවි , කෙටිකතා, වෘත්තාන්ත, ගුවන්විදුලි නාට්‍ය විශාල සංඛ්‍යාවක් රචනා කොට ඇති ඇය පොත් 15ක් පමණ එළි දක්වා තිබේ. ඕලන්දය, එංගලන්තය, කැනඩාව, එක්සත් ජනපදය, කොලොම්බියාව, ඊශ්‍රාය‍ලය, ඉන්දියාව, ජර්මනිය, සිංගප්පූරුව, යුගෝස්ලෝවියාව, චෙක් සමූහාණ්ඩුව, ජපානය නවසීලන්තය ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ බොහෝ රටවල් ගණනාවක් ඇගේ නිර්මාණ පළකර ඇති අතර ජර්මන්, ඕලන්ද, ස්පාඤ්ඤ, දෙමළ, සර්බි, ජපන්, ප්‍රංශ සහ සිංහල ඇතුළු භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත.

ඇගේ නිර්මාණ උදෙසා ඇය ලාංකික සහ ජාත්‍යන්තර සම්මාන ගණනාවකින් ඇගයීමට පාත්‍ර වී තිබේ. ඇගේ ජීවිතයේ අත්දැකීම් සහ නිර්මාණ අළලා 1984 මයිකල් ලෙන්ට්ස් විසින් Heimsuchung නම් ජර්මන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන ලද අතර මෙම චිත්‍රපටය ශ්‍රි ලංකාවේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ද තිරගත කොට ඇත. චිලියේ සංගීත සංරචකයෙකු වූ යුලාන් ඇලන්ඩේ බ්ලින් විසින් ඇගේ කාව්‍ය රචනාවන් ඇසුරෙන් ශ්‍රවණ රංගයක් නිෂ්පාදනය කර ඇත.

ජනමාධ්‍යවේදය හදාරා ඇති ඇය ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ දකුණු ආසියාතික ප්‍රකාශන අංශයේ 1975 සිට 1990 දක්වා සේවය කර තිබේ.

ඇගේ නිර්මාණ බොහොමයක් තුළින් නට්සි පාලනයේ යුදෙව් සංහාරය විසින් ඇගේ ජීවිතය වෙත සිදු කරන ලද බලපෑම පරාවර්තනය වේ. දෙමවිපියන් එම සංහාරයට ගොදුරුවීම, රටින් පලා යාමට සිදුවීම, ළමා කළ මිතුරියන්ගේ මරණ , බොහෝ දෙනෙකුගේ ජීවිත වනසන ලද සාමූහික ඛෙදවාචකයෙන් ගැලවී ජීවත්වීමට සිදුවීමේ වරදකාරී හැගීම්, ආදි තේමාවන් ඇගේ නිර්මාණ තුළ දැකිය හැකිය.

නට්සි ජර්මනියේ ජන සංහාරයෙන් දිවි ගලවාගෙන ශ්‍රි ලංකාව සිය නිවහන කර ගත් ඇයට යළිත් වරක් ශ්‍රි ලංකාව තුළ සිදුවන නොනවතින සංහාර මාලාවන්ගේ සාක්ෂිකාරියක් වීමට ඉරණම විසින් බල කෙරී ඇත. 1971 සහ 89 දකුණේ සිංහල තරුණ තරුණියන් රජයේ හමුදාවන් විසින් සමූලඝාතනය කිරීමද, 1950 දශකයේ සිටම දෙමළ ජනයාට එරෙහිව සිදුවන විෂම සැළකිළි, රාජ්‍ය මර්දනය, ජාතිවාදී මැර ප්‍රචණ්ඩත්වය සහ සමූලඝාතනවල සාක්ෂිකරුවෙකු වීමට සිදුවීමේ කම්පනය ඇගේ බොහෝ නිර්මාණ තුළින්ද විශද වේ. ඈන් රණසිංහ 2016දී  අභාවප්‍රාප්ත වූවාය.