මැකින්සි ප්‍රතිසංස්කරණ හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බිල්ගේට්ස් සිය බලය පැතිරවීම

 

ජූලියා බෙලූට්ස් සහ මරීන් බුසොනියර් විසිනි

 

ජූලියා බෙලූට්ස් සහ මරීන් බුසොනියර් විසින්  Vox වෙබ් අඩවිය වෙත 2019 දෙසැම්බරයේදී ලියන ලද මෙම ලිපිය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය 2017 දී සිදු කරන ලද අභ්‍යන්තර සංවිධානමය ප්‍රතිසංස්කරණ පිළිබඳව විමර්ශනයක් සිදු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වත්මන්  “ගෝලීය වසංගත තත්ත්වය“ පිළිබඳ ආඛ්‍යානය තුළ අඛණ්ඩව රඟදක්වමින් සිටින භූමිකාව තවත් මානයකින්  නැරඹීමට මේ ලිපිය විසින් අප වෙත අවස්ථාව සලසා ඇත. මෙම ලිපියෙන් හෙළිදරවු කරන පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානය  සිය අභ්‍යන්තර සංවිධානමය ප්‍රතිසංස්කරණ කටයුතු  පිළිබඳ උපදෙස් සැපයීම සඳහා යොදාගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මැකින්සි නම් කළමණාකරණ උපදේශන සමාගමයි. ලෝක ජනතාවගේ සෞඛ්‍ය කටයුතු සම්බන්ධව තමන් විසින්ම පවරාගත් “දැවැන්ත වගකීමක්“ දරන එනිසාම සමස්ත ලෝකයේම ජනතාවගේ සෞඛ්‍යය පමණක් නොව ජීවත්වීමේ අයිතිය පිළිබඳවද තීරණාත්මක බලයක් තමන් වෙත පවරාගෙන ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානයක් බලගතු ඖෂධ සමාගම්වලට “ සිය නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා නවීකාරක උපායමාර්ගයන් හඳුන්වා දෙන“ මැකින්සි වැනි සමාගමක උපදෙස් සිය අභ්‍යන්තර කටයුතු සඳහා ලබාගැනීම හුදු සදාචාර විරෝධී කටයුත්තක් පමණක් නොව සඟවන ලද අවශ්‍යතා පිළිබඳ ගැටුම් සමුදායක් සහිත විෂමාචාරයක් ද වේ. එහෙයින් ම එම ක්‍රියාවලියට වගකිව යුතු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්  ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රියේසස් ඇතුළු සියල්ලන් ව නීතිය හමුවට පැමිණවිය යුතු  ලක් කළ යුතු අපරාධයක වගඋත්තරකරුවන් ද වේ.

මැකින්සි සමාගම ශ්‍රි ලංකාව තුළ සිය කටයුතු 1990 දශකයේ අගභාගයේ සිට ආරම්භ කර ඇත. නමුත් එය වඩාත් ව කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන ලද්දේ 2004 වසරේ සුනාමිය විසින් ලංකාව ඇතුළු ලෝකයේ රටවල් කීපයක් තුළ බරපතල ලෙස ජීවිත සහ දේපොල විනාශවීමේ ඛේදවාචකයට අනතුරුවය. මෙම විපතින් පසුව ලෝකයේ විවිධ රටවලින් ඩොලර් මිලියන 600කට අධික ආධාර ප්‍රමාණයක් ලංකාවට ලැබුණ අතර එහෙයින්ම “මේ මුදල් ඵලදායි ලෙස වියදම් කරන ආකාරය“ ගැන ලංකාවේ රජයට උපදෙස් දීමට ලෝකයේ කළමණාකරණ උපදේශන සේවා සමාගම්වල අවධානය යොමු විය. මේ මුදලෙන් තම කුට්ටිය කඩා ගැනීමට මාන බලමින් සිටි මිනී කාක්කන් බඳු මේ උපදේශන සේවා සමාගම් අතර මැකින්සි සමාගම ද විය. මැකින්සි සමාගම ආධාර දෙන රටවල් සහ ජාත්‍යන්තර ආයතනද ලංකා රජය ද  ලොබි කරමින් ආධාරවල එක් කොන්දේසියක් ලෙස ආධාර මුදල් වියදම් කිරීමේ දී  ශ්‍රි ලංකා රජය විසින් තම සමාගමේ  උපදේශන කටයුතු ලබාගත යුතුය යන්න අන්තර්ගත කරවාගැනීමට ද සමත් විය. සුනාමියෙන් විපතට පත් උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා ලැබුණ විදේශීය ආධාර පාලනය, සැලසුම් කිරීම සහ යෙදවීම සම්බන්ධව කටයුතු කිරීමේදී සමාන බලතල තමන් වෙත ද හිමිවිය යුතු යැයි එවකට ශ්‍රි ලංකා රජය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹ සිටි විමුක්ති කොටි සංවිධානය විසින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් විය. මේ සඳහා ශ්‍රි ලංකා රජය විසින් ගොඩ නැගීමට එකඟ වූ එකම පරිපාලනමය යාන්ත්‍රණය දෙමළ ජනතාවගේ පැත්තට අවම බලතල ලබා දෙන සුනාමි සහන මණ්ඩලය විය. නමුත් උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙන්කළ  මෙම ආධාර මුදල් කළමණාකරණයේදී කොටි සංවිධානය හෝ දෙමළ ජනතාව කිසිම ආකාරයකින් ඒ සඳහා සහභාගි කරගැනීමෙන් වැළැක්වීමට විවිධ හේතූන් නිසා විවිධ බලවේගයන්ට අවශ්‍ය වී තිබිණි. සටන් විරාම ගිවිසුම විනාශ කිරීමේ සැලසුම්වල පිටුපස සිටි එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය එහි ලා ජාත්‍යන්තරව විශාල කාර්යභාරයක් ඉටු කරන ලදි.  ජාතික වශයෙන් දෙමළ අරගලය විනාශ කිරීමට හැකි සෑම අවස්ථාවක්ම යොදාගත්  ජවිපෙ, හෙළ උරුමය වැනි ජාතිවාදි සංවිධාන සුනාමි සහන මණ්ඩල අහෝසි කිරීමේ උද්ඝෝෂණවල පෙරටුගාමීයෝ වූහ. එමෙන්ම මෙම විශාල ආධාර මුදල්වලින් සිය කුට්ටිය කඩාගැනීමට ඉව ඇල්ලූ කොළඹ කේන්ද්‍රීය රාජ්‍ය නොවන සංවිධානද සුනාමි සහන මණ්ඩලය කඩාකප්පල්  කර දැමීම සඳහා තිරය පිටුපස සිට විශාල වැඩ කොටසක් ඉටු කර තිබේ. මෙම ආධාර ලංකාවට උපදෙස් සැපයීමට ඉදිරිපත් වූ මැකින්සි සමාගම  සුනාමි සහන මණ්ඩලය සම්බන්ධයෙන් දරන ලද ස්ථාවරය කුමක් වූයේද? විමුක්ති කොටි සංවිධානය වෙත නිල පිළිගැනිමක් හිමිවන  කවර හෝ දේශපාලන ව්‍යුහයකට ඔවුන් ඇතුළත් කර ගැනීම වැළැක්වීමේ ඇමෙරිකානු උපාය මාර්ගයේ මෙවලමක් ලෙස මෙහිදී මැකින්සි සමාගම ක්‍රියාත්මක වූයේද? කෙසේ වුව ද සුනාමි සහන මණ්ඩලයේ පැවැත්ම මැකින්සි සමාගමේ හුදු ව්‍යාපාරික අරමුණු සම්බන්ධයෙන් වුවද එතරම් වාසි සහගත තත්ත්වයක් නොවේ. මක් නිසාද යත් උතුරු නැගෙනහිර සුනාමි ආපදා සහන සහ ප්‍රතිසංස්කරණවලදී උපරිම කාර්යක්ෂමතාවකින් සහ ඵලදායිතාවකින් ක්‍රියාත්මක වෙමින් පැවැති යාන්ත්‍රණයක් පවත්වාගෙන ගිය විමුක්ති කොටි සංවිධානයට මැකින්සි වැනි සමාගමක “උපදේශන සේවා“ වල අවශ්‍යතාවක් නොවූ බැවිනි. එහෙයින් ආධාර මුදල් සම්බන්ධයෙන් විමුක්ති කොටි සංවිධානයට බලයක් පැවරෙන සුනාමි සහන මණ්ඩලය අහෝසි කර දැමීම බොහෝ බලවේගයන්ගේ මෙන්ම මැකින්සි සමාගමේ ද අවශ්‍යතාවක් වන්නට ඇති බව සිතිය හැකිය.

මේ මොහොත තුළ ලංකාව තුල ඊනියා කොරොනා වසංගත ආඛ්‍යානය පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය තුළ මැකින්සි සමාගම විසින් ඉටු කරන කාර්ය භාරය කුමක්ද? චීන හා රුසියන් එන්නත්වලින් බැහැරව ඇමෙරිකානු ෆයිසර් වැක්සීනය වෙත ලංකා රජය මාරුවීම පිටුපස සිටින බලවේගවල අතරමැදි උපදේශකයා මැකින්සි සමාගමද? රටේ ආර්ථිකය විනාශ කර දමන ලද්දාවූත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙරට දමන ලද්දාවූත්  ඊනියා නිරෝධායන ඇඳිරි නීති ආදියට අදාළව මැකින්සි සමාගම රජයට උපදේශන සේවා සපයන්නේද?

ෆයිසර් එන්නත් මිලදී ගැනීම සඳහා  ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධිත  GAVI සංවිධානය හරහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය සංවිධානය වෙතින් ලබාගත් ණය මුදල්වලට හිලවු පිණිස ජාතික ආදායමේ අවසන් සතයත් වැය කරමින් අවසානයේදී රටේ ඉඩම්, ජලය විදුලිය ඛනිජ සම්පත්, මුහුද ආදි සියලු සම්පත් බටහිර සමාගම්වලට පැවරීමේ ක්‍රියාවලිය පිටුපස සිටින කළමණාකරණ උපදේශක සමාගම් අතර මැකින්සි සමාගම සහ එහි ලාංකීය ඒජන්තවරුන් ද සිටින්නේ ද?

2017 ජූලි මාසයේදී ආචාර්ය ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රියේසස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පාලනය භාරගත් පසුව ඔහුගේ පළමු දේශනය ලෝක සෞඛ්‍ය සංවිධාන ජීනිවා මූලස්ථානයේ අපේක්ෂා සහගත ප්‍රේක්ෂකයන් රැසක් හමුවේ පැවැත් විණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානයේ කාර්යභාරය සහ එහි වගකීම් ඉටු කිරීම පිළිබඳ අනාගත සැලසුම් සහ සංවිධානය හෙල්ලුම් කවන ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙම “අලුත් බොස්“ ලාගේ වහසි බස් මෑත කාලයේ බොහෝ වාර ගණනක් අසා තිබේ. නායකයාගේ ප්‍රතිසංස්කරණ බොහෝ විට ලෝකයේ ඉතා බලපෑම් සහගත රහස්‍ය සමාගමක් වන මැකින්සි වැනි කළමණාකරන උපදේශක සේවා සම්බන්ධකරගනිමින් දියත් වේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දශක ගණනාවක් පැරණි මුල්‍ය සම්පත් හිඟය ඇතුළු බරපතල ව්‍යුහාත්මක ගැටළු විසඳාගැනීමට මේ දක්වා දරන ලද උත්සාහයන් සියල්ල අසාර්ථක වී තිබේ.

ආචාර්ය ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රියේසස්- ලෝක සෞඛ්‍ය සංවිධානය ඖෂධ සමාගම්වල ඒජන්තයෙකු බවට පත් කිරීම

නමුත් මෙවර ටෙඩ්‍රොස් වෙනස් ආකාරයකට කටයුතු කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ. ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්ය මණ්ඩලය තුළ පවතින තෙහෙට්ටුව සහ බාහිර උපදේශන සමාගම් සම්බන්ධ සැක සහිත ආකල්පය ගැන තමන් සංවේදී වන බව පෙන්නුම් කිරීමට ටෙඩ්‍රොස් වෑයම් කළේය.
“සෑම දිගුකාලීන වෙනසක්ම පැමිණිය යුත්තේ කාර්ය මණ්ඩලය තුළිනි. මම සදාකාලික ප්‍රතිසංස්කරණ ගැන විශ්වාස නොකරමි. එමෙන්ම කාර්ය මණ්ඩලයේද ප්‍රතිසංස්කරණ සිදුවනු ඇත. ” යි ටෙඩ්‍රොස් සහතික කළේය.
නමුත් ටෙඩ්‍රොස් විසින් එක්තරා ආකාරයක වෙනසක් වැළඳගත් බව පෙනෙන්නට තිබිණි. ඔහුගේ පස්වසරක නිල කාලය තුළ ඇරඹී මේ දක්වා සිදුවන මෙම ප්‍රතිසංස්කරණ හැඳින්වෙන්නේ “රූපාන්තරණය” (the transformation) යනුවෙනි. ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහභාගිවීමට ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්ය මණ්ඩලය වෙත අවස්ථාව ලබා දෙන බව ටෙඩ්‍රොස් විසින් පවසනු ලැබුවද ඔහු විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බාහිර උපදේශක ආයතන හවුල් කරගන්නා ලද බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනට සේවය කරන සහ කලින් සේවය කරන ලද කාර්යමණ්ඩල සාමාජිකයෝ Vox වෙත පැවසූහ.

” ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය නොවූ එක් දෙයක් නම් මැකින්සි වර්ගයේ ප්‍රතිසංස්කරණයි.” යි ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහභාගි වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙකු පැවසුවේ මෙම ප්‍රසිද්ධ උපදේශක සමාගම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් සෞඛ්‍ය සංවිධාන වෙත පසුගිය වසර ගණනාවක් තිස්සේ ගෙන එන ලද්දේ ” සංගීත පුටු තරඟ ” , ” වියදම් කප්පාදු කිරීම්”, “කළමණාකරණ ප්‍රතිපත්ති සම්බන්ධ දාර්ශනික සාවද්‍යතා පෙන්වා දීම් ” වැනි දේවල් බව ද සඳහන් කරමිනි.

මැකින්සි ( McKinsey) සමාගමට අමතරව සිය ප්‍රතිසංස්කරණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බීසීජී (BCG), ඩෙලොයිට්(Deloitte),ප්‍රෙවා ගෘප් (Preva Group), සීක් ඩෙවොලොප්මන්ට් (Seek Development) යන සමාගම් වෙතින් කළමණාකරණ උපදේශන සේවා ලබාගත් අතර ඉතා මෑතකදී ඩිලිවරි ඇසෝසියේට්ස් (Delivery Associates) නම් සමාගම සමග ඩොලර් මිලියන 3.85ක සේවා බහු වාර්ෂික සේවා ගිවිසුමක් අත්සන් කරන ලදි. මෙම සමස්ත උපදේශන සේවා සඳහා ඉහත සංවිධාන වෙත ගෙවන ලද මුදල ඩොලර් මිලියන 12ක් වන අතර අවම තරමින් ඉන් හතරෙන් පංගුවක් සෘජුවම ගෙවා ඇත්තේ ලෝකයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හැසිරවීමෙහිලා විශාල ආධිපත්‍යයක් දරන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසිනි.

මැකින්සි සමාගම ශ්‍රි ලංකාවද ඇතුළු ලෝකයේ රටවල් 62ක් තුළ රාජ්‍ය සහ පුද්ගලික අංශය වෙත කළමණාකරණ උපදේශන සේවා සපයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පොදු ආයතනයක් වුව ද ඉහත ගනුදෙනු පිළිබඳව හෝ ගේට්ස් පදනමේ සම්බන්ධය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කිසිදු අයවැය හෝ මුල්‍යමය ලේඛනයක් තුළ කිසිදු විස්තරයක් අඩංගු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය තුළ අනාවරණය කර ඇති තොරතුරු අසම්පූර්ණය. ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ ආයතන සමග එළැඹ ඇති ගිවිසුම් පිළිබඳ දත්ත දැක්වෙන ප්‍රවේශයක් එය සතු නමුත් එය තුළ ගේට්ස් වැනි අරමුදල් සපයන්නන්ගේ සෘජු ආධාර පිළිබඳව කිසිවක් අන්තර්ගත නොවේ. එමෙන් ම ඉහත උපදේශකයන්ගේ සේවාවන් ලබාගෙන ඇත්තේ නිශ්චිතවම කුමන කටයුත්තක් සඳහා උපදෙස් සැපයීමටදැයි යන විස්තර ද අඩංගු නොවේ.

නිදසුනක් ලෙස, මැකින්සි සමාගම වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2017 සහ 2018 අතර කාලය සඳහා බාර දෙන ලද කොන්ත්‍රාත් සඳහා ඩොලර් මිලියන 4.9ක් ගෙවා ගෙවා ඇති බව ඉහත ප්‍රවේශයේ සඳහන් වන නමුත් ඒවා ප්‍රතිසංස්කරණවලට අදාළ ඒවා වන්නේ දැයි සඳහන් නොවේ.( මෙම මුදල ගෙවා ඇත්තේ කුමන කොන්ත්‍රාත්තු සඳහා දැයි නිශ්චිතව ප්‍රකාශ කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරයි).

ටෙඩ්‍රොස්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූ සමයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කළ එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මෙම බාහිර සමාගම්වල උපදේශකයන් විසින් තමන් වෙත ප්‍රශ්න කන්දරාවක් යොමු කළ බවයි. එම ප්‍රශ්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩල “සචලතාවයේ ” සිට “ධූරාවලීන් සහ අංශ ” ආදිය පිළිබඳව ඉලක්ක කළ ප්‍රශ්න විය. මෙම තොරතුරු අවසානයේදී ප්‍රයෝජනයට ගනු ලබන්නේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳව කිසිවිටෙක තමන් හට නොපවසන ලද බව ඉහත ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය. තවත් නිලධාරියෙකු Vox වෙත පවසා සිටියේ: ” එය සත්වැනි සහ අටවැනි තට්ටුවල බඳින ලද මීමැස්සන් ගහණ මීවදයක් වාගේ. කෝට් දාගත්තු මිනිසුන් රැසක් එහි පැමිණ සිටියා. නමුත් ඔවුන් කෙළින්ම අප සමග කතා කළේ නැහැ. ”

තවත් අයෙකු: “දැනට ප්‍රතිසංස්කරණ පටන්ගෙන වසර දෙකක් පමණ වෙනවා. වෙන්නේ මොකක්දැයි මට කිසිම අදහසක් නැහැ ” යනුවෙන් Vox වෙත පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ බොහෝ නිලධාරින්ට සිදුවන්නේ කුමක්දැයි වැටහීමක් නැත. තමන් සම්පූර්ණයෙන්ම අන්ධකාරයේ තබා ඇතැයි ඔවුහු පවසති. සෘජු ලෙසම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත වගකීමට බැඳි සිටින නිලධාරින් පවා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් බැහැර කර තිබේ.

කළමණාකරණ උපදේශන සමාගම් විසින් ගෝලීය සෞඛ්‍යය පිළිබඳ ප්‍රතිපත්තීන් හැඩගස්වනු ලබන්නේ කෙසේ ද?

ලෝකයේ දිළිඳුම සහ ඉතාම අවදානම් සහගත තත්ත්වයේ පසුවන ජනතාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සංවර්ධනයට කැපවුණ ක්ෂේත්‍රය වන ගෝලීය සෞඛ්‍ය කෂේත්‍රය කෙරෙහි ඉහළ වැටුප් ලබන කළමණාකරණ උපදේශකයන්ගේ සහ ඔවුන්ගේ ව්‍යාපාරික ලෝකයේ මෙවලම්වල උනන්දුව හිමිකරගත් ක්ෂේත්‍රයක් බවට නිහඬවම වර්ධනය වී ඇත.
Vox වෙත ලැබුණ 2016 මැකින්සි සමාගමේ අභ්‍යන්තර පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමකට අනුව, එම සමාගම මෑත කාලයේ පැතිරුණ විශාලතම ජාත්‍යන්තර වසංගතයන් වන සවුදි අරාබියේ මර්ස් ( Mers) වසංගතය, බ්‍රසීලයේ සිකා (Zika ) වසංගතය යන සිදුවීම්වලට දක්වන ලද ප්‍රතිචාරයන්ට සම්බන්ධ වී ඇත. එමෙන්ම 2014-2016 බටහිර අප්‍රිකාවේ එබෝලා වසංගතය පැවැති සමයේ මැකින්සි සහ BCG යන සමාගම් දෙකම ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ වසංගතයට ගොදුරු වූ රටවලට උපදෙස් සැපයීමට සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් බටහිර අප්‍රිකාව වෙත යවා ඇත.

දුප්පත් රටවලට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට, ඒවා මිලට ගැනීමට මුල්‍ය පහසුකම් සැපයීමට ආධාර කරන පුද්ගලික සහ රාජ්‍ය හවුල්කාරී සංවිධානයක් වන “Gavi-එන්නත් සංධානය” (Gavi, the Vaccine Alliance – Global Alliance for Vaccines and Immunization) එමෙන්ම ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට ප්‍රතිකාර කිරීමේ සහ ඒවා වැළැක්වීමේ කටයුතු සඳහා ආයෝජනය කරන පුද්ගලික සහ රාජ්‍ය හවුල් ව්‍යවසායකත්වයක් වන ඩිටෝ ගෝලීය පදනම (Ditto, the Global Fund ), UNITAID සංවිධානය, ගේට්ස් පදනම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය යන සංවිධානවලට මෙම උපදේශක සමාගම් සිය සේවා සපයයි.

සමාගම්වල ව්‍යාපාරික අවශ්‍යතාවන්ට සේවය කරන මෙම රහස්‍ය උපදේශන සේවාවන් විසින් ගෝලීය සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිපත්ති හැඩ ගස්වනු ලබන්නේ කෙසේ ද යන්න විවෘත ප්‍රශ්නයකි. එය පිළිතුරු දීම අපහසු ප්‍රශ්නයකි. එමෙන්ම සෞඛ්‍ය සේවාවන් සැපයීමට කටයුතු කරන සංවිධාන, ආයතන, පදනම් ආදිය මෙන්ම ආණ්ඩු ද දුප්පතුන්ට සෞඛ්‍ය පහසුකම් සැපයීමට වෙන්කරන මුදල්වලින් කොතරම් ප්‍රමාණයක් මෙම උපදේශන සේවාවන් සඳහා වියදම්කරන්නේ දැයි යන්න එයට ම එකතුවන අමතර අභිරහසකි.

මෙය සහ අනෙකුත් අවිනිශ්චිත දේවල් පිළිබඳව සැළකිළිමත් ගෝලීය සෞඛ්‍ය සේවකයන් සහ විශ්ලේෂකයන් කතා කිරීමට කැමැති වන්නේ නිර්නාමිකව සිටීමේ කොන්දේසිය මතය. ඒ ඔවුන්ගේ වෘත්තීය අභිවෘද්ධියට හානියක් වෙතැයි යන බිය හේතුවෙනි.

මෙම කළමණාකරණ උපදේශකයන් විසින් ආයතන වඩාත් කාර්යක්ෂම කිරීමට සහාය වනු ඇතැයි ඇතැමුන් කල්පනා කළ ද සෙසු අය ඒ දෙස බලන්නේ සැකමුසු ආකල්පයකිනි. ඒ මෙම උපදේශකයන් ගේ මැදිහත්වීම් ආයතනයේ සංවර්ධනයට ආධාරයක් වීමට අසමත් වූවා පමණක් නොව හානියක් කිරීමටද හේතු වූ බව අත්දැකීමෙන්ම ඔවුන් දන්නා බැවිනි. සෞඛ්‍ය සංවිධානවලට උපදෙස් සපයන අතරම ජනතාවගේ සෞඛ්‍ය ගැටළු උපයෝගී කරගනිමින් ඔවුන්ව සූරාකන ඖෂධ සමාගම්වලට අලෙවි සහ කළමණාකරණ කටයුතු ගැන උපදෙස් සපයමින් ලෝකයේ ඉහළම වැටුප් ලබන උපදේශකයන්ට දුප්පතුන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් වැය කිරීමට වෙන් කරන ලද මුදල් ලබාදිය යුතුදැයි ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ.

“ආයතන ගණනාවක් තුළ වසර 30ක් තිස්සේ සේවය කරමින් මා ලද අත්දැකීම් අනුව මට කිව හැක්කේ මෙම කළමණාකරණ උපදේශක සේවාවලින් කිසිදු යහපතක් සිදුව නැති බවයි. ඒවා නුසුදුසු ඒවා පමණක් නොව කාලය සහ සම්පත් නාස්ති කිරීමක් ද විය. ” යි බ්‍රිතාන්‍යයේ ඒඩ්ස් මර්දන වැඩසටහන මෙහෙයවන ලද මුකේෂ් කපිල විසින් පවසන ලදි. ගෝලීය සෞඛ්‍ය සේවාවන්ගේ පුරෝගාමීයෙකු වූ ඔහු විවිධ උපදේශන සේවාවන් සමග වසර ගණනාවක් තිස්සේ කටයුතු කර තිබේ.

කැනඩාවේ මොන්ට්‍රියල්හි මැක්ගිල් විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය වැඩ සටහන අධ්‍යක්ෂණය කරන මධූකර් පායි මෑතකදී සිය අෆ්‍රිකානු සගයෙකු වෙත මෙසේ ලිවීය
.” කිසිදු අත්දැකීමක් රහිත ළමුන් පැමිණ සෞඛ්‍ය වැඩ සටහන් සම්බන්ධව මගේ ආණ්ඩුව විසින් කළ යුත්තේ කුමක්දැයි දෙන උපදෙස්වලට මට නිතරම මුහුණ දෙන්නට සිදුව තිබේ.”
පායි විසින් දැන් මෙම ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ “ගෝලීය සෞඛ්‍යයේ අවභාවිතය ” යනුවෙනි.

මධුකර් පායි

උපදේශන කටයුතු ව්‍යාපාරයේ පාරාන්ධ ස්වභාවය නිසා වඩාත්ම බලපෑම් සහගත උපදේශක සමාගම කුමක්දැයි දැනගැනීම අපහසු වී තිබේ. ඩල්බර්ග් (Dalberg), PwC, ඇක්සෙන්චුවර් (Accenture), බායින් (Bain) වැනි උපදේශන සමාගම් ද පවතින නමුත් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වඩාත්ම බලපෑම සහගත උපදේශන සමාගම් වන්නේ මැකින්සි (McKinsey) සහ BCG යන සමාගම් බව පෙනෙන්නට තිබේ. එය මැනිය හැකි එක් ක්‍රමයක් නම් ගේට්ස් පදනමේ බදු වාර්තා තුළ සඳහන්වන පරිදි එය විසින් වෘත්තීමය උපදේශන සේවා ලබාගන්නා ලද ආයතන 5 අතර මෙම සමාගම් දෙක දිගටම සඳහන්ව තිබීමයි. උපදේශන සේවා සඳහා තම පදනම විසින් කරනු ලබන වියදම් කපා හැරීමට කටයුතු කරන බව ගේට්ස් පදනම විසින් ප්‍රකාශ කරන ලද 2015 වසරට පසු කාලයේද මෙම සමාගම් වෙතින් ගේට්ස් පදනම උපදේශන සේවා ලබාගෙන ඇති බව එම වාර්තා වලින් හෙළි වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ තම සංවිධානය උපදේශන සේවාවන් සාදරයෙන් පිළිගනු ලබන බවයි.
“උපදේශන සමාගම් ලෝක සෞඛ්‍ය සංවිධානයට විශේෂඥයන් නැති ක්ෂේත්‍ර තුළ හෝ පවත්නා හොඳම ප්‍රමිතිය ලබාගැනීමට අවශ්‍ය වූ ක්ෂේත්‍රවල කටයුතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට උදව් වී තිබේ. මෙම උපදේශන සේවා සඳහා කරන වියදම් වාර්ෂික වියදම ඩොලර් බිලියන 6ක් වන ලොව පුරා සියළු රටවල 8000ක කාර්ය මණ්ඩලයක් සහිත ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි විශාල සංවිධානයක් සඳහා අහේතුක වියදමක් නොවේ ”

“2017 සිට අපි ඇමෙරිකන් ඩොලර් මිලියන 11.509 ක ආධාර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ උත්සාහයන් සඳහා පරිත්‍යාග කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙම අරමුදල් අවශ්‍ය වූයේ එහි සාමාජික රටවල් ඉල්ලා සිටි ප්‍රතිසංස්කරණ සිදු කිරීමටයි ” යි ගේට්ස් පදනමේ ප්‍රකාශකයෙකු පැවසීය.

BCG උපදේශන සමාගම සිය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. මැකින්සි උපදේශන සමාගමේ ප්‍රකාශයෙකු මෙසේ පැවසීය.
” ගෝලීය මහජන සෞඛ්‍ය සඳහා අප විසින් සිදු කරන වැඩ ගැන අපි ආඩම්බරයක්.”
එම ආඩම්බර වීම පිළිබඳ තත්ත්වය කුමක් වුව ද සංක්‍රමණිකයන්හට ලබා දෙමින් පැවති ආහාර සහ වෛද්‍ය ආධාර සඳහා වූ මුදල් කප්පාදු කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට මැකින්සි සමාගම විසින් උපදෙස් සැපයීම, රයිකර්ස් අයිලන්ඩ් බන්ධනාගාරයේ සංඛ්‍යා ලේඛන විකෘති කිරීම, ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වූ මැකින්සි සමාගමේ හිටපු නිලධාරියෙකු වූ පීට් බට්ගීග් ගේ කාර්යයන්ට අදාළ ගනුදෙනු කරුවන් පිළිබඳ තොරතුරු හෙළිකිරීම ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේ පූර්ව ඡන්ද විමසීම්වලදී පාරදෘශ්‍යභාවය ප්‍රධාන කරුණක් ලෙස මතුවන තෙක් ම ප්‍රතික්ෂේප කිරීම ආදිය පිළිබඳ පුවත් මැකැන්සි සමාගම පිළිබඳ පළ වී තිබේ.

දේවී ශ්‍රීධර්

විවේචකයන් විසින් ඉල්ලා සිටින එක් දෙයක් නම් කටයුතුවල පාරදෘශ්‍යභාවයයි. එනම් ගෝලීය සෞඛ්‍ය සඳහා උපදේශන සේවා සපයන සමාගම්වල පමණක් නොව ඒවායේ සේවය ලබාගන්නා ගේට්ස් පදනමේ සිට සියළුම සංවිධාන සහ ආයතනවල කටයුතු විනිවිද පෙනෙන ලෙස සිදුවිය යුතු යැයි ඔවුහු ඉල්ලා සිටිති.

” ගේට්ස් පදනමේ නැගී ඒමේ ප්‍රතිඵලයක් වූයේ ගෝලීය සෞඛ්‍ය ගැටළු විසඳීම පිණිස කළමණාකරණ උපදේශන සමාගම් සඳහා විශාල අවකාශයක් නිර්මාණය වීමයි. අභියෝගය වී ඇත්තේ මුදල් පිළිබඳ සොයාබැලීම සහ ගේට්ස් වැනි අරමුදල් සපයන්නන්, කළමණාකරණ උපදේශන සමාගම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සම්බන්ධය සොයා බැලීමයි.” යි එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ ගෝලීය මහජන සෞඛ්‍ය පිළිබඳ සභාපති වූ දේවී ශ්‍රීධර් පැවසුවාය.

සැබැවින්ම “පරිත්‍යාගශීලි දැවැන්තයන් ” විසින් ගෝලීය සෞඛ්‍ය යේ මුහුණුවර වෙනස්කර තිබේ. එමෙන්ම ඔවුහු මෙම ක්ෂේත්‍රය තුළ දී උපදේශන සේවාවන් යොදාගැනීම නිහඬවම ආරම්භ කර ඇත.

අප මේ තත්ත්වයට පත්වූ ආකාරය: ගේට්ස් පදනම උපදේශන සේවාවන් කෙරෙහි තබා ඇති විශ්වාසය

21 වැනි ශතවර්ශයේ පළමු කොටස තුළ “ජාත්‍යන්තර සෞඛ්‍ය ” වූකලී සාමාන්‍යයෙන් නිතර අමතක කෙරෙන, අඩුවෙන් අරමුදල් සැපයෙන ආණ්ඩු හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් ආධාර කරන ලද ක්ෂේත්‍රයක් විය. එහි ඉලක්කය වූයේ දියුණු වෙමින් පැවැති රටවල රෝග මර්දනයට කටයුතු කිරීමයි. 1990 වැනි මෑත කාලයේදී ලෝක බැංකුව, UNAIDS වැනි සෞඛ්‍යයට සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන සහ එක්සත් ජනපදය හො බ්‍රිතාන්‍ය වැනි ජාතික රාජ්‍යයන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයද අරමුදල් සපයන ප්‍රධාන සංවිධානයක් විය.

21වැනි ශතවර්ශය එළැඹීමත් සමගම මේ තත්ත්වය වෙනස් විය. වර්ෂ 2000දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එහි සහස්‍ර සංවර්ධන අරමුණු (Millennium Development Goals) වැඩ සටහන සෞඛ්‍ය සම්බන්ධ ඉලක්ක කර ආරම්භ කරන ලදි. සාමාජික රටවල් 191 ක් 2015 වනවිට මෙම වැඩ සටහන තුළ කටයුතු කිරීමට එකඟවී තිබේ. එක් වාර්තාවකට අනුව මෙම යුගය ගෝලීය සෞඛ්‍ය සඳහා අරමුදල් අති විශාල ප්‍රමාණයක් ලබා දුන් “ස්වර්ණමය යුගය” විය. මෙම වසරේදීම අටදෙනාගේ කණ්ඩායමට (Group of Eight- G8) අයත් රටවල් බෝවෙන රෝග වන ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව මර්දනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. “මෙම රෝග විසින් වසර ගණනාවක සංවර්ධනය පිටුපසට තල්ලු කරන තර්ජනයක් බවට ඇතැයි ” G8 කණ්ඩායමේ එකඟතාව විය.

මෙයට සමාන්තරව එක්සත් ජනපද රජය සහ රාජ්‍ය නොවන සංවිධාන ගෝලීය සෞඛ්‍ය සඳහා කරන වියදම් විශාල වශයෙන් ඉහළ දමන ලදි. ඇමෙරිකන් “දානපතියන්ද ” මෙම ක්ෂේත්‍රය සඳහා කරන සිය පරිත්‍යාගයන් වැඩි කළහ. මෙයින් වැඩියෙන්ම කැපී පෙනෙන “පරිත්‍යාගශීලීන් ” වූයේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් , සහ වොරන් බෆට් (Warren Buffett) ය. මේ තිදෙනා විසින් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ගොඩනගන ලදි. මේ පදනම ගොඩ නැගීමේ ප්‍රකාශිත අරමුණ වූයේ අඩු ආදායම් ලබන රටවල සෞඛ්‍යයට ,අධ්‍යාපනයට සහ සංවර්ධනයට විද්‍යාව සහ තාක්ෂණය යොදාගනිමින් සහාය වීමය. එහි ආරම්භයේ සිට මෙම පදනම විසින් ඉහත ක්ෂේත්‍රයන් තුළ ඇමෙරිකන් ඩොලර් බිලියන 50ක් ආයෝජනය කර තිබේ

සෞඛ්‍ය මිනුම් සහ ඇගයීම් පිළිබඳ ආයතනයට (IHME- Institute for Health Metrics and Evaluation) අනුව 1990 සහ 2018 අතර කාලය තුළ සෞඛ්‍ය සංවර්ධනයට සහාය වනු පිණිස සිදු කර ඇති ආයෝජනයන්ගේ වටිනාකම ඩොලර් බිලියන 7.7 සිට 38.9 දක්වා එනම් 5 ගුණයකින් වැඩි වී තිබේ.

සෞඛ්‍ය සඳහා සංවර්ධන ආධාර – ආධාර ලබා දුන් ආයතන,1990–2018. IHME, 2019

මෙම කාලය තුළ “ජාත්‍යන්තර සෞඛ්‍යය ” පිළිබඳ හැඳින්වීම ” ගෝලීය සෞඛ්‍යය” ලෙස වෙනස් විය. එමෙන්ම ගේට්ස් ගේ ආධාරයෙන් මෙම ක්ෂේත්‍රය කැපී පෙනෙන වැදගත් කමක් සහිත ක්ෂේත්‍රයක් බවට පත් විය. ගේට්ස් පදනමේ මුල්‍යාධාර මත පදනම්ව රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරිත්වයක් වන Gavi ආයතනය පිහිටුවන ලදි. ආයතනය පිහිටුවීමේ අරමුණ වූයේ එන්නත් ලබාගැනීමට අපහසු දුප්පත් රටවලට ඒ සඳහා අවශ්‍ය ණය සහ ආධාර ලබා දීම, සහ අනෙකුත් පහසුකම් සහ උපදේශන සේවා සැපයීම ආදියයි. එමගින් ලෝකය පුරා එන්නත්කරණ ව්‍යාපාරය උත්ප්‍රේරණය කරන ලදි. පදනම විසින් ඩොලර් බිලියන ගණනාවක් පෝලියෝ, ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියා යන රෝග සඳහා වියදම් කර තිබේ. එමෙන්ම ඔවුහු ගෝලීය සෞඛය පිළිබඳව නිරන්තරව වාර්තා කිරීමට මාධ්‍ය සංවිධානවලටද මුදල් ගෙවා තිබේ.

“ගෝලීය සෞඛ්‍ය පිළිබඳ කතිකාව ගේට්ස් විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබේ” යැයි ස්විට්සර්ලන්තයේ ඝර්ම කලාපීය සහ මහජන සෞඛ්‍ය පිළිබඳ ආයතනයේ මහාචාර්යවරයෙකු වන සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන දොන් ඩි සැවිඥි (Don de Savigny) පැවසුවේය. මෙම ආයෝජනයන් විසින් දැඩි බලපෑමක් සිදුකර ඇති බව ප්‍රශ්න කළ නොහැකි යථාර්ථයකි.

“ගේට්ස්ගේ මුදල් විසින් සැළකිය යුතු නවීකරණයක්, නිර්මාණශීලිත්වයක් සහ ගෝලීය සෞඛ්‍යය උසස් කිරීමේ සහ සංවිධානය කිරීමේ නව මාවත් බිහිකර තිබේ. ” යි ඩියුක් විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍යය සහ මහජන ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරයෙකුවූත් ගේට්ස් පදමේ ප්‍රදානලාභියෙකුවූත් ගැවින් යමේ (Gavin Yamey) පවසයි. “ගෝලීය සෞඛ්‍ය සහයෝගීතාව පිළිබඳ අති නවීකාරක නව ආකෘතින් දියත් කිරීමට ගේට්ස් පදනම සහාය වී ඇති අතර එහි බලපෑම කොතෙක්දැයි ලේඛනගත වී තිබේ. නිදසුනක් ලෙස ගේට්ස් පදනම විසින් Gavi එන්නත් සන්ධානය දියත් කිරීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 750ක් ලබා දුන් අතර එමගින් ලොව පුරා මිලියන 13ක් පුද්ගලයන් මරණයට පත්වීම වළක්වාගත හැකි විය. ” යි ගැවින් යමේ වැඩිදුරටත් පැවසීය.
“ගේට්ස් පදනම විසින් දේවල් සිදු කිරීමේ නව ක්‍රමවේදයන් හඳුන්වා දී තිබේ.” යි එසෙක්ස් සරසවියේ මහාචාර්යවරයෙකු වූ ලින්සේ මැගෝයි (Linsey McGoey) පවසයි. ගේට්ස් පදනම පිළිබඳව ලියැවී ඇති “නොමිලේ ලැබෙන කිසිවක් නැත “(No Such Thing As a Free Gift) යන කෘතියේ කතුවරයා ඔහුය. ගේට්ස් පදනමේ භාරකරුවන් තිදෙනාගෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස්, වොරන් බෆට් දෙදෙනෙකුම ඇමෙරිකානු ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයන් වේ. ඔවුන්ට පුද්ගලික අංශයෙන් ණය ගැනීමට සහ පුද්ගලික අංශය සමග වැඩ කිරීමට අවශ්‍යව තිබේ. සංවර්ධනය සහ සෞඛ්‍යය පිළිබඳව ප්‍රතිඵල ඉලක්ක කරන ලද සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් ගත යුතු යැයි ඔවුහු බල කර සිටිති. මෙය මැකින්සි සහ BCG වැනි උපදේශක සමාගම් විසින් නිර්දේශ කරන ක්‍රමවේදයමය.
“මේ මොහොතේ අපගේ ඉලක්කය කරා ළඟා විය හැකි කාර්යක්ෂතම විධිය අප විසින් විසඳීමට තැත් දරන ගැටළු පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිත උපදේශකයන් සමග වැඩ කිරීම ” යැයි ගේට්ස් පදනම විසින් Vox වෙත දෙන ලද ප්‍රකාශයේ සඳහන් වේ.

“නිදසුනක් ලෙස නයිජීරියානු රජය සහ ගෝලීය පෝලියෝ මර්දන ව්‍යාපාරයේ හවුල්කරුවන් ( Global Polio Eradication Initiative) හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා පෙළැඹවීමට ගේට්ස් විසින් මැකින්සි සමාගම යොදාගත්තේය. එමෙන් ම BCG සමාගම විසින් මෙනින්ජයටිස් රෝගයට එරෙහිව සුරක්ෂිත සහ කාර්යක්ෂ්ම එන්නතක් සංවර්ධනය කිරීමට සහ දියත් කිරීම සඳහා බහුපාර්ශ්වික හවුල් උත්සාහයන් සංවිධානය කිරීමට BCG සමාගම සහාය වී තිබේ. මෙය අප්‍රිකාව සඳහා විශේෂයෙන්ම සංවර්ධනය කළ පළමු එන්නතයි.” යි බිල් ගේට්ස් පැවසීය.

2016 ජනවාරි මස 20 වැනි දින නයිජීරියාවේ අබුජා ප්‍රදේශයේ පෝලියෝ මර්දනය කිරීම සඳහා වන ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි සහ බිල් ගේට්ස්

“උපදේශන සේවා විසින් තමන්ට අවශ්‍යව ඇති විශේෂඥ සේවය ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේදී ටෙඩ්‍රොස් විසින් අවධාරණය කරන ලදි ” මම ගෙයක් හදනවා නම් ඒක මොන විදියේ පෙනුමක් සහ අවශ්‍යතාවන් ඉටු කරන එකක් විය යුතුද කියලා. නමුත් ඒක මම විසින්ම හදන්න යන්නේ නැහැ. මම ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සහ ඉංජිනේරුවෙකුගේ සේවය ලබා ගන්නවා. මේ කාරණය ලෝක සෞඛ්‍ය සංවිධානයටද අදාළය.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ රාජ්‍ය නොවන ආයතන සමග කටයුතු කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිපැදිය යුතුයැයි 2016 දී ස්ථාපිත කරන ලද ආයතනික ආචාර ධර්ම සහ නීතිරීතින්ට අනුව සියලු දානපති පදනම් ආයතන සමග පවත්වාගෙන යන සම්බන්ධකම් සිදුවන බවයි. මෙහි අරමුණ “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්, ගරුත්වය අහිමි වීමේ අවදානම, සහ අයුක්ති සහගත බලපෑම්වලින් ලෝක සෞඛ්‍ය සංවිධානය බේරාගැනීම” බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

නමුත් මැගෝයි වැනි විවේචකයන් විසින් පවසන්නේ ගේට්ස්ගෙන් මුදල් ලබාගන්නා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධානවලට ඇත්තෙන්ම කොතරම් ස්වාධීනත්වයකින් යුතුව කටයුතු කළ හැකිද යන්න ගැටළුවක් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම විටෙකම තම කටයුතු සඳහා අරමුදල් ලබාගත්තේ දෙයාකාරයක දායකයන්ගෙනි. එකක් නම් සාමාජික රටවල් විසින් තම රටේ ජාතික ආදායම සහ ජන සංඛ්‍යාවට අනුව ගෙවිය යුතු වන (assessed) අනිවාර්ය වාර්ෂික සාමාජික මුදලයි. මෙමගින් ලැබෙන මුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලයට තමන් විසින් වඩාත් සුදුසු යැයි සිතෙන වඩාත් බරපතල සෞඛ්‍ය ගැටළු සහිත ක්ෂේත්‍ර සඳහා යෙදවීමට පුළුල් නිදහසක් හිමි වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අරමුදල් ලැබෙන දෙවන ආකාරය නම් දානපති පදනම් ආයතන සහ පුද්ගලයන්ගෙන් ලැබෙන “පරිත්‍යාගයන්ය.”(voluntary) මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලයට තමන් විසින් සුදුසු යැයි නිගමනය කරන ක්ෂේත්‍ර සඳහා මෙම මුදල් වියදම් කිරීමේ නිදහසක් නැත. ඒවා වියදම්කළ යුත්තේ කුමන ක්ෂේත්‍ර සඳහාදැයි තීරණය කරන්නේ මුදල් පරිත්‍යාග කරනු ලබන පාර්ශ්වයයි. මෙහිදී සිදුවන්නේ මෙම පරිත්‍යාගශීලීන් විසින් කිසියම් ව්‍යාපෘතියක් සැලසුම් කර එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නමින් ක්‍රියාත්මක කරවීමයි. මක් නිසාද යත් ලෝකයේ සියලුම සාමාජික රටවල් තුළ කටයුතු කිරීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය සතුවන බැවිනි. බිල්ගේට්ස් වැන්නවුන් ලබා දෙන අරමුදල් ඔවුන් විසින් නිශ්චිතව සඳහන් කරන ව්‍යාපෘතින් සඳහා පමණක් වියදම් කළ හැකි ඒවා වන බව මැගෝයි පවසයි. 2018 දී ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලැබුණ ස්වේච්ඡා සහගත පරිත්‍යාගවලින් ඉහළම පරිත්‍යාග සිදු කළ පාර්ශ්වයන් තුන අතර ගේට්ස් පදනම ද වේ.

“ලෝක සෞඛ්‍ය සංවිධානය අයවැය හිඟයකට මුහුණ පා ඇත. ඔවුන්ට ප්‍රමාණවත් සම්පත් නැත. එහෙයින් ඔවුන් කොතැනකින් හෝ මුදල් ලබාගත යුතුය. සමහර විට ඔවුන් ගේට්ස්ගෙන් විශාල මුදලක් ලබාගැනීමට පැකිලෙනවා විය හැකිය. මක් නිසාද යත් එම මුදල් සමග ගේට්ස්ගේ සැඟවුණු කොන්දේසි ද ගැට ගැසී ඇති බැවිනි ” යි මැගෝයි වැඩි දුරටත් පැවසීය.

“මෙම සැඟවුණු කොන්දේසි අතර උපදේශන සමාගම්වල සේවය ලබාගැනීම ද අන්තර්ගත විය හැකිය. බිල් ගේට්ස් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධාන වෙනුවෙන් මෙම උපදේශන සේවා සමාගම්වලට නිරතුරුව ගෙවීම ආරම්භ කළ මොහොතේ සිට එම සමාගම් මත ” රඳාපැවැත්මට” සිදුවන තත්ත්වයක් නිර්මාණය කර ඇත. එමගින් මෙම උපදේශකයන් සම්බන්ධ කරගැනීම සාමාන්‍ය උපාය මාර්ගයක් බවට පත්වී තිබේ “යැයි ගෝලීය සෞඛ්‍ය ව්‍යාපෘති තුළ කලින් කටයුතු කළ මැකින්සි කළමණාකරණ උපදේශක සමාගමේ හිටපු උපදේශකයෙකු පැවසීය.

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට මැකින්සි සමාගම මැදිහත්වූයේ ඇයිද යන්න එහි අභ්‍යන්තර ලියැවිලිවලට අනුව විමසීම

ගෝලීය සෞඛ්‍ය තුළ උපදේශන සේවා වල නැගීම හුදෙක් බලගතු පදනම් ආයතන විසින් ඒවා වැළඳගැනීම නිසා පමණක්ම සිදු වූවක් නොවේ. ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය මැකින්සි වැනි සමාගම්වලට නව ව්‍යාපාරික අවස්ථා, දක්ෂ සහ කාර්යක්ෂ්ම පුද්ගලයන් බඳවාගැනීම හා සේවයෙහි දිගටම යොදවාගැනීම, ව්‍යාපාරික සහ මහජන සම්බන්ධතා ආදි ප්‍රතිලාභයන් රැසක් හිමිකර දෙන ක්ෂේත්‍රයකි.
තමන්ගේ බලපෑම ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ව්‍යාප්ත කිරීම පිළිබඳව තම අවධානය යොමු කරමින් සිටියදී ගේට්ස් පදනමේ නැගී එන බලපෑම සහ පුද්ගලික අංශයේ වර්ධනය වන බලපෑම තුළ තමන් සඳහා මහඟු අවස්ථාවන් හිමිකර දෙන බව මැකින්සි සමාගම විසින් තේරුම්ගත් බව Vox වෙත ලැබුණ එහි අභ්‍යන්තර සැලසුම් ලේඛනයක සඳහන් වේ.

” ලෝකය විසින් එහි ඉතා බරපතල සහ හදිසි ප්‍රශ්න විසඳීමට කටයුතු කරන ආකාරයන්ගේ සිදුවන වෙනස් වීම් දෙස අපි බලා සිටියෙමු ” මැකින්සි සමාගමේ භාරකාර කවුන්සිලය සඳහා 2006 දී පිළියෙළ කරන ලද ලියැවිල්ලක සඳහන් වේ. භාරකාර කවුන්සිලය වූකලී සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට සමාන අවසන් තීරණ ගැනීමෙහි බලය ඇති නිල ව්‍යුහයකි. “ගෝලීය සෞඛ්‍ය පිළිබඳ අවධානය වැඩි කිරීමට ගෝලීය දානපතියන්ගේ මැදිහත්වීම හේතුවක් වී ඇතැයි ” එම ලේඛනයේ සඳහන් වේ.

1998 සිට 2017 දක්වා එක්සත් ජනපදය තුළ පමණක් පුද්ගලයන් විසින් සිදු කරන ලද දාන පරිත්‍යාගයන්ගේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 5.5 සිට 7.4 දක්වා අගයක් ගනී. ගේට්ස් පදනම වැනි ජාත්‍යන්තරව කටයුතු කරන සංවිධාන විසින් ධන පරිත්‍යාගයන් පිළිබඳ දැවැන්ත වෙනසක් සිදුකර තිබේ. එමෙන්ම එම සංවිධානවල භාරකරුවන් ක්‍රියාත්මකව සම්බන්ධ වී ඇත. ඔවුහු අතිවිශාල මුදල් ප්‍රමාණයන් වඩාත් ක්ෂණිකව බෙදා හැර එම ආයෝජනයන් මගින් මැනීමට හැකි ප්‍රතිඵල ඉල්ලා සිටිති. එමෙන්ම ඔවුහු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් නවීකාරක විසඳුම් සෙවීමෙහිලා පුරෝගාමීහු වෙති.

සමාගමේ ලේඛනයන්ගෙන් පැවසෙන්නේ මැකින්සි සමාගම හුදු ලාභය හඹා යෑමකට වැඩි දෙයක් සඳහා උනන්දු වී ඇති බවය. මැකින්සි සමාගම සිය ලියැවිල්ල තුළ” ඉතා දරුණු ගැටළු වන ඒඩ්ස් වසංගතය වැනි ගැටළු විසඳාලීම සඳහා මැදිහත් වීමට තමන් ඉතා සුදුසු බව තමන් විසින්ම තේරුම්ගත් බව ” සඳහන් කර තිබේ.

“ජීවන මාර්ගයක් ලෙස අපි ඉතා දරුණු අර්බුද විසඳන්නෙමු. අපි භූගොලීය වශයෙන් සහ සමාජයේ විවිධ කොටස් අතර නම්‍යශීලි ලෙස ක්‍රියාත්මක වන්නෙමු. අපි ලෝක නායකයන්ගේ ගෞරවය දිනා ඇත්තෙමු. පුද්ගලික අංශය තුළ අපට -කැඳවීමේ බලය- හිමිව ඇත.” අපගේ සමාගමට “වැදගත් සමාජ ප්‍රශ්න හැසිරවීම මගින් අපගේ ක්‍රීඩාව ඉහළට එසවීමට හැකියාව තිබෙන අතර අපගේ මිනිසුන්ට ආකර්ශණීය නායකත්ව අවස්ථාවන් ද උදා කරගත හැකිය” යනුවෙන් 2006 වසරේ සැප්තැම්බර් මස මැකින්සි සමාගමේ භාරකාර කවුන්සිල රැස්වීම වෙත ඉදිරිපත් කරන ලද ලියවිල්ලේ සඳහන් වේ.

“ගෝලීය සෞඛ්‍ය තුළ සිය බලපෑම ඉහළ නැංවීම සඳහා මැකින්සි සමාගමට කාලය සහ සම්පත් ආයෝජනය කිරීමට සිදු විය. උපදේශකයන් හට ක්‍රියාකාරි ප්‍රකාශක කටයුතු සිදු කිරීමට සිදු විය. එමෙන් ම ප්‍රධාන පෙළේ සමුළු සංවිධානය කිරීමටද අපගේ විශේෂඥ බව සහිත ක්ෂේත්‍ර තුළ අපට ඉදිරිපත් කිරීමට ඇරයුම් කෙරෙන සහ මෙහෙයවීමට ලැබෙන වැඩ සටහන් තුළ ඉහළ පිළිගැනීමේ මට්ටමක් ලබාගැනීම කළ යුතු විය.”
මැකින්සි සමාගමට ගේට්ස් පදනම, Gavi සන්ධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍යට සම්බන්ධ ක්ලින්ටන් පදනම ආදි ඒ ඒ “අංශ නායකයන් ” සමග “දිගුකාලීන හවුල්කාරිත්වයන් ” සංවර්ධනය කිරීමට සිදු විය. සමාගමේ අභ්‍යන්තර ලියැවිලි වලින් පෙන්නුම් කරන්නේ ඔවුහු “හිතවත් කමට ” සහ “බෝනස් සහිතව ” වැඩ කර දීමට භාරගෙන ඇති බවය.

බිල් ගේට්ස් ලෝක ජනගහන වර්ධන වේගය සහ සෞඛ්‍ය පහසුකම්වල දියුණුව අතර ප්‍රතිලෝම සම්බන්ධය විග්‍රහ කරමින්

ඉහත ලියැවිල්ලට අනුව 2005- 2006 කාලය තුළ මැකින්සි සමාගම විසින් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ව්‍යාපෘතින් 10 සහ 15 අතර ප්‍රමාණයක් තුළ ක්‍රියාත්මක වී තිබේ. 2009 වන විට මෙම සංඛ්‍යාව වාර්ෂිකව ව්‍යාපෘති 30 දක්වා ඉහළ යනු ඇතැයි මැකින්සි සමාගම විසින් අපේක්ෂා කර තිබේ. අද සමාගමේ “සමාජීය අංශයේ” භාවිතයට අයත්වන අනෙකුත් අංශ අතර රටවල් 35ක ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරමින් “පදනම් ආයතන, ආණ්ඩු, බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සංවිධාන සහ සෞඛ්‍යාරක්ෂක සමාගම් ආදියට උපදෙස් දීම සඳහා කටයුතු කරන “ගෝලීය මහජන සෞඛ්‍ය කණ්ඩායම (Global Public Health group)ද අයත් වේ.

උපදේශකයන් විසින් අපට පවසන ලද ආකාරයට හිතවත් කමට කර දෙන වැඩ සඳහා අවසානයේදී නිතරම මුදල් ලැබේ. නැතහොත් කතුවර ඩෆ් මැක්ඩොනල්ඩ් (Duff McDonald) සිය මැකින්සි ඉතිහාසය The Firm- The Story of Mckinsey නම් කෘතියේ සඳහන් කර ඇති අන්දමට “මෙම උපදේශකයන් (මැකින්සි) හට යම් ආයතනයක කටයුතුවලට සහභාගිවීමට පොඩි ඉඩක් ලැබුණහොත් ඔවුහු එයින් ප්‍රයෝජනය ගෙන එහි සදහටම අරක් ගනිති. ඔවුහු එය කිසිදා අත්හැර නොයයි. ”

මැකින්සි සමාගම විසින් මෙම අභ්‍යන්තර ලියැවිලි ගැන හෝ එහි වර්තමාන ආදායම් ගැන කිසිවක් පැවසීම ප්‍රතික්ෂේප කළේය. නමුත් Vox වෙත ලැබුණ එහි අභ්‍යන්තරිකව ප්‍රකාශිත ඉතිහාස ලේඛනයකට අනුව 2009 දී එහි සාමාජීය අංශයේ කටයුතු එහි සමස්ත වැඩවලින් 5% කට අඩුය. නමුත් අද වනවිට ගෝලීය මහජන සෞඛ්‍ය කටයුතු විසින් සමාගම ගෝලීයව සිදුකරන කටයුතුවලින් 1%කට අඩුය.

මැකින්සි සමාගමේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 10ක් ලෙස ඇස්තමේන්තු කරන්නේ නම් එහි සමාජීය අංශයේ සියළු ව්‍යාපෘතිවලින් එය ඩොලර් මිලියන 100ක් පමණ ආදායමක් උපයන බව මැකින්සි සමාගමේ හිටපු උපදේශකයෙකු පැවසීය.

ව්‍යාපාරික ලෝකය තුළ  ඩෆ් මැකින්සි සමාගමේ බලපෑම ගැන  මැක්ඩොනල්ඩ් විසින් එළි දක්වන ලද කෘතිය
බිල් ගේට්ස්ගේ දානපති ක්‍රියාකාරකම් පිටුපස වන ව්‍යාපාරික සහ භූදේශපාලනික අරමුණු ගැන ලින්සේ මැගෝයි ගේ කෘතිය

එසේ වුව ද මැකින්සි සමාගමේ ඉතිහාසය විසින් පෙන්වා දෙන පරිදි එහි සාමාජීය අංශයේ ව්‍යාපෘති විසින් ” සමාගමේ බාහිර ප්‍රතිරූපයට සහ අභ්‍යන්තර අරමුණු කෙරෙහි විෂමානුපාතික බලපෑමක්.” ඇතිකර තිබේ. ඒවා ( සමාජීය අංශයේ ව්‍යාපෘති) බලගතු බඳවාගැනීමේ මෙවලම් ලෙස සැළකිය හැකියි. නිදසුනක් ලෙස විශේෂයෙන්ම ඖෂධ සමාගම්වල ලාභ වැඩි කර ගැනීමට උදව්කරනවා වෙනුවට එබෝලා වසංගතය මැඩ පැවැත්වීම කෙරෙහි උනන්දු වූ නව පරපුරේ රැකියා අපේක්ෂකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට මැකින්සි සමාගම මුහුණ දුන් අවස්ථාව සැළකිය හැකියි.
මැකින්සි සමාගමේ කලින් සේවය කළ නම හෙළි කිරීමට අකැමැති වූ උපදේශකයෙකු විස්තර කර සිටියේ “මෙම ව්‍යාපෘති ලබාගැනීම ඉතා තරඟකාරි දෙයක්. ඒ සඳහා ලොබි කිරීම් අත්‍යාවශ්‍යවුණා. ඒවා අනෙක් තනතුරු මෙන් ප්‍රත්‍යුපකාර ලැබෙන ඒවා නොවේ. ”

“බාහිරව ඔවුන්ට ඔවුන්ගේ ඉතාම හොඳ මුහුණ පෙන්වීමට අවශ්‍ය වුණා. එනම් අතිශය ආකර්ශනීය ලෙස වැඩ කිරීම. ” යි ඉහත උපදේශකයා පැවසීය. “ අභ්‍යන්තරිකව මෙම ව්‍යාපෘතිවල වැඩ කිරීම ඉතා දුෂ්කර දෙයක්. ඒවා විසින් ඉහළම දෙය ඉල්ලා සිටිනවා. එමෙන්ම ඔබ සාමාජීය අංශයේ ව්‍යාපෘති තුළ වැඩ කරන විට ඔබ වෙත ගෙවිය යුතු සම්පූර්ණ ගණනින් 75%ක් ව්‍යාපෘතිය කරමින් සිටින අතරතුර ගෙවනවා. ඒ නිසා මම හිතනවා එය විසින් පෙන්නුම් කරනවා කියලා මේ වැඩ අගය කරන්නේ කොහොමද කියලා. ” යි ඔහු වැඩි දුරටත් විස්තර කළේය.

මැකින්සි සමාගම තම සේවා නියුක්තිකයන් වෙත කෙරෙන ගෙවීම් පිළිබඳ ඉහත ප්‍රකාශය ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. සමාගමේ මෑතකාලීන ගෙවීම් ව්‍යුහය ගැන දන්නා පුද්ගලයෙකු විසින් ඉහත සඳහන් අඩුකිරීම් අනුපාතය පිළිබඳ කරුණු තහවුරු කළේය. නමුත් එය රඳා පවතින්නේ අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයා විසින් ඉටුකරන භූමිකාව මත බව ඔහු වැඩි දුරටත් පැවසීය.

“ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණු සම්බන්ධව මැකින්සි සමාගම වැඩ කිරීමට පටන්ගත්තේ දැනට දශක තුනකට පමණ පෙර සිටයි. මක් නිසාද යත් කාර්ය මණ්ඩල සගයන් කණ්ඩායමක් තුළ ඒ ගැන ඇති වූ උනන්දුවත් යහපත් වෙනසක් සිදුකිරීමට හැකිවෙතැයි ඔවුන් විශ්වාස කිරීමත් ඊට හේතු වුණා. ” සමාගමේ ප්‍රකාශකයෙකු ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය. “වැළැක්විය හැකි ළමා මරණ වැළැක්වීම, බෝවෙන රෝග පාලනය සහ තුරන් කිරීම, හදිසි අවස්ථා සඳහා සුදානම් වීමේ හැකියාවන් වැඩි කිරීම ආදි ඉලක්ක අනෙකුත් වැදගත් ආරම්භයන් අතර පැවතුණා. ”

ගෝලීය සෞඛ්‍ය පිළිබඳ උපදේශනයේ අර්බුදය

මැකින්සි සහ අනෙකුත් උපදේශන සමාගම් විසින් ගෝලීය සෞඛ්‍යයට දක්වන දායකත්වය දැන් ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් තිබේ. එමෙන් ම එය විශාල සංවාදයක වැදගත් කොටස්ක් බවට ද පත්ව ඇත. ලෝකයේ දුප්පතුන් වෙනුවෙන් නිවැරදි දෙය සිදු කිරීම, සම්පත් බෙදීයාමේ විෂමතා අඩු කිරීම, කාර්යක්ෂ්ම සහ ඵලදායි ලෙස ජීවිත ගලවාගැනීම ආදිය පිළිබඳව වන මෙම සංවාදය ප්‍රධාන ධාරාව වෙත ගෙන ඒමට මැදිහත් වූයේ මැකින්සි සමාගමේ හිටපු උපදේශකයෙකු වන සහ ගත්කතුවරයෙකු වන ආනන්ද් ගිරිධරදාස් (Anand Giridharadas) විසිනි. ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැනට උපදේශකයන් වශයෙන් කටයුතු කරන සහ හිටපු උපදේශකයන් ද ඇතුළව ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කළ පුද්ගලයන් 80ක් සමග කළ සංවාදයේදී පහත ප්‍රශ්න නැවත නැවතත් මතුවිණි.

උපදේශන සේවා සඳහා කොතරම් වියදම් කරනු ලබන්නේ ද? එම මුදල් නිවැරදි ලෙසින් ආයෝජනය කර ඇති බවට ඇති සාක්ෂි මොනවාද?

පළමු සහ වැදගත්ම ප්‍රශ්නය මුදල් පිළිබඳ ප්‍රශ්නයයි. ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උපදේශන සේවා සපයන සමාගම් වෙත කොතරම් මුදලක් ගලා යන්නේද? එම මුදල් ගෙවනු ලබන්නේ කවුරුන් විසින් ද? පිළිතුර විසින් සෘජුවම සැළකිල්ලට ගත යුත්තේ පාරදෘෂ්‍යභාවය සහ බලය පිළිබඳවයි. කටයුතු සිදු කරන්නේ කවුරුන් විසින් ද ඔවුන්ට ගෙවන්නේ කවුරුන්ද යන කරුණු ගැන ඔබ නොදන්නේ නම් ඔබට ගෝලීය සෞඛ්‍ය පිළිබඳ න්‍යාය පත්‍රයට බලපෑම් කරන්නේ කවුරුන් විසින්ද යන්න අවබෝධ කරගත නොහැකි වනු ඇත.

ආනන්ද් ගිරිධරදාස් winners take all නම් කෘතියේ කතුවරයාය. මාක් සකර්බර්ග්, ජෙෆ් බොසෝ, බ්ල්ගේට්ස් වැනි ගෝලීය ප්‍රභූ පෙළැන්තිය නව වැඩවසම් යුගයක් නිර්මාණය කරමින් සිටින බවට ඔහු අනතුරු අඟවයි.

තවමත් සම්පූර්ණ චිත්‍රය වටහා ගැනීම කළ නොහැකි දෙයකි. උපදේශන සේවා සමාගම් තම ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමේ තමන් සතු නීතිමය වගකීම උපුටා දක්වමින් ඔවුන්ගේ සම්බන්ධකම් සහ කොන්ත්‍රාත් ගිවිසුම් පිළිබඳ අනාවරණය නොකරති. එමෙන්ම මෙම උපදේශන සේවා සමාගම්වල සේවය ලබාගන්නා මහජන මුදලින් නඩත්තුවන ආයතන සහ සංවිධාන ද තමන් විසින් කරනු ලබන වියදම් පිළිබඳව සම්පූර්ණ පාරදෘෂ්‍යභාවයක් නොපෙන්වයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කළමණාකරණ කටයුතු සඳහා උපදේශන සමාගම් සේවා වෙතින් ලබාගන්නා සේවය වෙනුවෙන් කරන ලද වියදම් පිළිබඳව දක්වන වැය ශීර්ෂයක් එහි අයවැය ලේඛන තුළ අඩංගු කර නැත. එමෙන්ම උපදේශක සේවා සඳහා සෘජු පරිත්‍යාග මගින් කරන ලද ගෙවීම් පිළිබඳවද කිසිදු විස්තරයක් නොපවතී. උදාහරණයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා උපදේශන සේවා ලබා ගැනීමට බිල්ගේට්ස් විසින් උපදේශන සේවා සඳහා කරන ලද ගෙවීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේඛනවල අන්තර් ගත නොවේ.

“තොරතුරු රැසක් මහජනයා වෙත නිකුත් කර නැති අතර පාරදෘෂ්‍යභාවයක් ද නැත.”

ගේට්ස් වැනි පදනම් වලට තමන් විසින් කරන ලද සියළු පරිත්‍යාග මුදල් වල වටිනාකමට සරිලන ලෙස තමන් විසින් රජයට ගෙවන බදු මුදල් ප්‍රමාණය අඩු කර ගත හැකිය. එවැනි වාර්ෂික බදු ලේඛනවල ඔවුන් විසින් විවිධ උපදේශන සමාගම්වලට ගෙවන ලද මුදල් පිළිබඳ සඳහන් වන නමුත් ඒවා කුමන කටයුත්තක් සඳහා කා වෙත ගෙවා ඇත්දැයි නිශ්චිත සඳහන් නොවේ.

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කළමණාකරණ උපදේශන සේවා සපයන සමාගම්වලට ජාත්‍යන්තර වශයෙන් සහ දානපති පදනම් ආයතන විසින් කරන ලද ගෙවීම් පිළිබඳ සොයා බැලීමට වෙහෙස වන එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ ශ්‍රීධර්  (Sridhar) වැනි අය මෙම තත්ත්වය හේතුවෙන් කලකිරීමට පත්ව ඇත.

” ගෝලීය සෞඛ්‍ය තුළ මේ සියල්ල සිදුවන බව සියළු දෙනා දන්නා රහසක් ” ඔහු පැවසීය. ” නමුත් තොරතුරු විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධ කර පාරදෘෂ්‍ය තත්ත්වයකින් පවත්වාගෙන යන්නේ නැහැ. මෙම මුදල් අදාළ අවශ්‍යම ජන කොටස් වෙත සහන සැලසීමට යොදාගන්නා බවට සහතික වීමට නම් එම තොරතුරු ප්‍රසිද්ධකර පාරදෘෂ්‍යභාවයක් පවත්වාගෙන යායුතුයි.”

අප සතුව ඇති සුළු තොරතුරු ප්‍රමාණය මගින් කිව හැක්කේ ගෙවා ඇති ප්‍රමාණයන් අතිශයින් අධික බවය. 2006 -2017 අතර කාලයේදී ගේට්ස් පදනම විසින් මැකින්සි සහ BCG උපදේශන සමාගම්වලට ඩොලර් මිලියන 300ක් ගෙවා ඇති බව ගේට්ස් පදනම විසින් ගෙවා ඇති බදු නැවත ලබාගැනීමේ ලේඛනවල සඳහන් වේ. මෙය හයිටි වැනි අඩු ආදායම් ලබන රටක සෞඛ්‍ය සඳහා කරන සමස්ත වාර්ෂික වියදමටත් වඩා බෙහෙවින් අධිකය. එය එක්සත් ජනපද රජය විසින් මැකින්සි සහ BCG සමාගම් වෙත පසුගිය දශකය පුරා ගෙවන ලද මුදලෙන් අඩකට සමානය.
අප සමග කතා කළ බොහෝ දෙනෙකුන් අප විමසා සිටියේ මෙම ඩොලර්වලින් කරන ලද වියදම් වෙනත් තැනක සිදු කළේ නම් එහි බලපෑම විශාල එකක් වන්නට ඉඩක් තිබුණේ ද යන්න ගැනය. “උපදේශන සේවා සඳහා ගෙවන ලද මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ගෝලීය සෞඛ්‍ය පදනම්වලට ලබා දුන්නේ නම් ඔවුන් විසින් ඒවා පර්යේෂණ සඳහා ලබා දී එන්නත් හෝ නව ඖෂධසංවර්ධනය කරන්නට ඉඩ තිබිණි. ” යි මහජන සෞඛ්‍ය ව්‍යාපෘතිවල දී උපදේශන සේවා සමග සෘජුවම වැඩ කළ ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
තමන් සේවය කළ උපදේශන සේවා සමාගමක් මහජන සෞඛ්‍ය ව්‍යාපෘතියක් ඉතා අයහපත් ලෙස මෙහෙයවීම නිසා එයින් ඉවත් වූ හිටපු උපදේශිකාවක් මෙසේ ප්‍රකාශ කළාය. ” ගැටළුව වන්නේ වඩාත් අත්‍යවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා යෙදිය යුතු මුල්‍ය සම්පත්වල හිඟයක් තිබියදී උපදේශන සමාගම් විසින් ඒවා ලබා ගැනීමයි. ”

ඇන්තනි කැස්ටෙලෝ

සෙසු අය උනන්දු වූයේ උපදේශන සේවා සඳහා ආයෝජනය කිරීමට ආධාර වුණ සාක්ෂි මොනවාද යන්න ගැනයි. ගෝලීය සෞඛ්‍ය යනු සාක්ෂි මත පදනම්ව ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ මාතෘ, නව දරු උපත්, ළමා සහ යෞවන සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ඇන්තනි කොස්ටෙලෝ (Anthony Costello) පැවසීය. The Social Edge නම් සිය කෘතිය ලිවීමට අවශ්‍ය කරුණු සෙවීමට සඳහා ඔහු උපදේශන සේවා සමාගම් විසින් කළ යහපත් බලපෑම කුමක්දැයි අහඹු ලෙස පරීක්ෂණ කීපයක් පැවැත්වීය. මෙම පරීක්ෂණයේදී ලද සාක්ෂි විසින් පෙන්නුම් කළේ එවැනි කිසිදු යහපතක් සිදුව නැති බවයි.
“කවුරු හරි හිතන්න පුළුවන් සමාගමක විධායක මණ්ඩලය මෙම කළමණාකරණ උපදේශන සමාගම්වලට විශාල මුදලක් යොදවන විට එම විධායකයන් විසින් එහි ප්‍රතිඵල පිළිබඳව සාක්ෂි ඉල්ලා සිටිනවා කියා…. කළමණාකරණ ක්‍රම වේදයන්ගේ යහපත් බලපෑම පිළිබඳව සාක්ෂි නොමැතිකම නැත හොත් හිඟය විසින් මතුකරන්නේ ඩොලර් බිලියන ගණනාවක් වටින ප්‍රශ්න වැලක් ”

මෙම පරීක්ෂණයෙන් පසු ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම උපදේශන සේවා මත කොතෙක් දුරට රඳා පවතින්නේ ද යන්න ගැන තමා “අතිශයින් පුදුමයට පත් වූ” බවත් ඔවුන් වෙත ගලා යන මුදල් සම්භාරය ගැන තමා තුළ ” විශාල සැකයක් ” ඇති වූ බවත් කොස්ටෙලෝ Vox වෙත පැවසීය.

ඉයන් කර්ක් පැට්‍රික්

ඉහත කරුණු ගැන කොස්ටෙලෝ විසින් සිදුකරන ලද පර්යේෂණයෙන් පසු පොදු මහජන ආයතන තුළ කළමණාකරණ උපදේශන සේවා විසින් කරන බලපෑම ගැන සිදුව ඇති එකම විධිමත් අධ්‍යයනය බ්‍රිතාන්‍ය යේ ජාතික සෞඛ්‍ය සේවය පිළිබඳ විසින් උපදේශන සේවා යොදවා ගැනීම පිළිබඳව යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉයන් කර්ක්පැට්‍රික් (Ian Kirkpatrick) විසින් සිදු කරන ලද අධ්‍යයනයයි. මෙම අධ්‍යයනය මගින් පෙන්නුම් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වර්ධනයට මෙම කළමණාකාරණ උපදේශන සේවා යොදවා ගැනීම මගින් කිසිදු සේවයක් සිදුව නැති බවයි. ” සෛද්ධාන්තිකව ගත් කළ ඔබ මේ කළමණාකරණ සේවා සඳහා මුදල් වියදම් කරන්නේ නම් , ඒ උපාය මාර්ගික උපදේශනය සඳහා පමණක්ම වුවත් එය විසින් ඔබගේ කාර්යක්ෂ්මතාවයට යම් යහපත් බලපෑමක් සිදු කළ යුතුය. එයින් ඔබ කිසියම් ලාභයක් අපේක්ෂා කරනවා. ඇත්තෙන්ම අපට ඇත්තෙන්ම හමුවූයේ එවැනි කිසිදු වාසියක් නොලැබෙන බවයි.” යි ඉයන් කර්ක්පැට්‍රික් පැවසීය.

ගෝලීය සෞඛ්‍ය තුළ උපදේශන සේවා සමාගම්වල උපදෙස් අසාර්ථක වීම පිළිබඳව වගකිව යුත්තේ කවුරුන් විසින් ද?

ගෝලීය සෞඛ්‍ය තුළ ඩොලර් මිලියන සිය ගණනින් උපදේශන සේවා සඳහා ගෙවනු ලැබේ. එහෙත් ඔවුන් ව යොදවාගැනීම පිළිබඳව කිසිදු විධිමත් සාක්ෂි නැත. වඩාත් සැළකිල්ලට ගත යුතු කරුණ නම් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අනෙකුත් ක්ෂේත්‍රයන්ට වඩා වෙනස් බවයි. එනම් මෙම උපදේශන සේවා සමාගම් විසින් දෙනු ලබන උපදෙස් අසාර්ථක වන්නේ නම් එයින් විපතට පත්වන්නේ අතිශය දිළිඳු අසරණ ජනතාවන්ගේ ජීවිත බවය. UNITAID යනු සංවර්ධනය වෙමින් පවතින රටවල ක්ෂය රෝගය, මැලේරියාව සහ එච්අයිවී/ඒඩ්ස් යන රෝග වැළැක්වීම, හඳුනාගැනීම, සහ සුව කිරීම ආදි කටයුතු සඳහා අරමුදල් සපයාගැනීම සඳහා ආරම්භ කරන ලද සංවිධානයක් වන UNITAID තුළ මැකින්සි සමාගම සිදු කරන ලද අසාර්ථක ව්‍යාපෘතිය මෙහි දී නිදසුනක් ලෙස ගත හැකිය. මෙම සංවිධානය පවත්වාගෙන යෑමට යොදා ගනු ලබන්නේ වැඩි වශයෙන් මහජන අරමුදල්ය.

සමහර රටවල ගුවන් ටිකට් සඳහා කුඩා බද්දක් අයකිරීමෙන් 2006 දී පිහිටුවන ලද UNITAID සංවිධානය නවීකාරක ආකෘතියකට අනුව පිහිටුවන ලද අරමුදලක් ලෙස වර්ණනයට ලක් කරන ලදි. නමුත් 2007 වනවිට එම අරමුදල සඳහා ඉහළ ගුවන් ටිකට්පත් අලෙවියක් සහිත රටවල් එක් කර ගැනීමට අපහසු තත්ත්වයක් උදා විය. මේ අවස්ථාවේදී එවකට UNITAID හි සභාපතිව සිටි

මේ අනුව UNITAID’ සංවිධානය මැකින්සි සමාගම වෙත උපදෙස් පතා යෑම සිදු විය. ෆිලිපේ දොවුස්ත-බ්ලේසි ඔහු විසින් 2010 දී ලියන ලද Power in Numbers පොතේ සඳහන් කර ඇති ආකාරයට ඒ ” කටයුතු සිදුවන්නේ ඒ ආකාරයෙන් “බැවිනි. UNITAID වෙත ගේට්ස් පදනමෙන් ද මුදල් ලැබේ. UNITAID හි 2006 විධායක සභා ලේඛන සටහන්වලට අනුව මැකින්සි සමාගම වෙතින් UNITAID ලබාගත් උපදේශන සේවා සඳහා ආරම්භයේ සිටම මුදල් ගෙවන ලද්දේ ගේට්ස් පදනම විසිනි. විධායක සභාව විසින් ඔවුන් විසින් යෝජනා කරන ලද අරමුදල් රැස් කිරීමේ MassiveGood නමින් නම් කරන ලද වැඩ සටහන දියත් කිරීමට පෙර එහි සාධ්‍යතාව ගැන අධ්‍යයනයක් කරන ලෙස මැකින්සි සමාගම වෙතින් ඉල්ලා සිටින ලදි. මේ සඳහා මැකින්සි සමාගම තෝරා ගැනීම අරුමයක් නොවන්නේ ඔවුන් දැනටමත් බිල් ගේට්ස් වෙනුවෙන් විවිධ වැඩ භාරගෙන තිබූ බැවිනි.

ෆිලිපේ දොවුස්ත-බ්ලේසි

මැකින්සි සමාගමේ උපදේශකයන් විසින් මාස 4ක අධ්‍යයනයක් යෝජනා කරන ලද අතර ඒ වෙනුවෙන් ඩොලර් මිලියනයක් ගෙවන ලදි. 2008 අප්‍රේල් 1 වැනි දින මැකින්සි සමාගම UNITAID විධායක මණ්ඩලය හමුවේ සිය විශ්ලේෂණය ඉදිරිපත් කරන ලදි. විධායක මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ කිසිදු දෝෂයක් ඔවුනට හමු වී නොතිබිණි. ඒ වෙනුවට ඔවුන් එය “ඉතා ශ්‍රේෂ්ඨ අදහසක් ” බව පවසා සිටින ලද බව දොවුස්ත-බ්ලේසි සිය පොතේ සඳහන් කරයි. මැකින්සි අධ්‍යයනය අනුව මෙම අරමුදල් රැස්කිරීමේ වැඩ සටහන මගින් පුද්ගලික පරිත්‍යාග මගින් ඩොලර් බිලියනයක් වාර්ෂිකව රැස් කළ හැකිවනු ඇතැයි ප්‍රක්ෂේපනය කර තිබිණි. එය UNITAID හි වාර්ෂික වැය මෙන් දෙගුණයකි. ඒ අනුව විධායක මණ්ඩලය සිය සැලසුම ක්‍රියාවට නංවන ලදි. ඒ වෙනුවෙන් පළමු වසර තුළ ඩොලර් මිලියන 10 ක්ද දෙවන වසර තුළ ඩොලර් මිලියන 12ක් ද වෙන් කරන ලදි.

MassiveGood අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතිය 2010 දී ඇමෙරිකාවේ නිව්යෝක් එක්සත් ජාතින්ගේ සංවිධාන මූලස්ථානයේදී උත්සව ශ්‍රීයෙන් යුතුව දියත් කරන ලදි. එවකට එ.ජා. ලේකම් බැං කී මූන්, බිල් ක්ලින්ටන්, සහ අධ්‍යක්ෂක ස්පයික් ලී (Spike Lee) විසින් මෙම දියත් කිරීම නිවේදනය කරන ලදි. මෙයට ගේට්ස් පදනමේ පූර්ණ සහාය හිමි විය. මෙම වැඩ සටහන සෞඛ්‍ය සේවා අරමුදල් රැස් කිරීමේ නව සොයාගැනීමක් ලෙස ප්‍රධාන මාධ්‍ය විසින් වර්ණනා කරනු ලැබිණි

නමුත් මැකින්සි සමාගමේ අනුමානයන් වැරදිණි. UNITAID සංවිධානය සඳහා ඉතා සුළු මුදලක් හෝ පරිත්‍යාග කිරීමට සංචාරකයන් තුළ අවශ්‍යතාවක් නොවිණි. 2010 ජූලි වනවිට මෙම MassiveGood වැඩ සටහන මගින් සංවිධානයට ලැබී තිබුණේ ඩොලර් 14,000ක් පමණි. එය මැකින්සි සමාගම විසින් අනුමාන කරන ලද ආධාර මුදල වූ බිලියනයෙන් 1%කටත් වඩා බෙහෙවින් අඩු මුදලකි. MassiveGood වැඩ සටහන විසින් ලද සම්පූර්ණ පරිත්‍යාග මුදල එම වැඩ සටහන සඳහා උපදෙස් ලබාගැනීමට මැකින්සි සමාගම වෙත ගෙවීමට සිදු වූ ගාස්තුව, වෙළඳ දැන්වීම්, හෝ නීතිමය ගාස්තු සඳහා වැය කරන ලද ඩොලර් මිලියන 11 පියවීමටවත් ප්‍රමාණවත් නොවීය.

UNITAID හි විධායක මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකුම පැවසුවේ තම සංවිධානය විසින් “අතිශය දැවැන්ත මුදල් සම්භාරයක් ආයෝජනය කර අතිශය සොච්චමක් උපයන ලද” බවයි. එමෙන්ම මෙම MassiveGood වැඩ සටහන ස්වාධීන විමර්ශනයකට ලක් කළ යුතුව ඇතැයි ද ඔවුහු නිර්දේශ කළහ. ” මෙම ස්වාධීන විමර්ශනය සිදු කිරීමට ” UNITAID විසින් තවත් ඩල්බර්ග් නම් (Dalberg) උපදේශන සමාගමක සේවය ලබාගන්නා ලදි. මෙම සමාගම විසින් සිදු කරන ලද අධ්‍යයනය මගින් මැකින්සි සමාගම ඉදිරිපත් කරන ලද MassiveGood වැඩ සටහන සඳහා ඉදිරිපත් කරන ලද සැලසුමේ සාවද්‍යතා සහ එම වැඩ සටහන මගින් ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම පිළිබඳ ගණනය කිරීම්වල සහ අනුමාන වල දෝෂ පෙන්වා දෙන ලදි.

UNITAID සංවිධානයට ලැබුණේ ඩොලර් 14,000ක් මැකින්සි සමාගම විසින් අනුමාන කරන ලද ආධාර මුදල වූ බිලියනයෙන් 1%කටත් වඩා බෙහෙවින් අඩු මුදලක් පමණි.

2011 දෙසැම්බරයේදී UNITAID සංවිධානයේ සභාපතිවරයා විසින් MassiveGood ව්‍යාපෘතිය එහි ඉලක්ක කරා ළඟා වීමට අසමත් වූ බව වාර්තා කළේය. එමෙන්ම එහි විධායක සභාව එම වැඩ සටහන විසුරුවා හැරීමට යෝජනාවක් ගෙන එන ලදි. ඒ සමගම MassiveGood පමණක් නොව ඒ සඳහා ආයෝජනය කළ ඩොලර් මිලියන ගණනක් ද එම වැඩ සටහන මගින් ලැබීමට අපේක්ෂිත මුදල් වලින් සැලසුම් කළ ක්ෂය රෝගය, මැලේරියාව සහ එච්අයිවී/ඒඩ්ස් මර්දන වැඩ සටහන් ද අතුරුන් විය. මේ සම්බන්ධව අප හා අදහස් දැක්වීම UNITAID සංවිධානය සහ මැකින්සි සමාගම විසින් ප්‍රතික්ෂේප කරන ලදි

අවසානයේදී කිසිදු පලක් නැති වූ ව්‍යාපෘතියක් සඳහා කාබාසිනියා කර දමන ලද මුදල් සම්භාරය ගැන තමා තුළ හටගත් කලකිරීම හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු Vox සමග බෙදා ගත්තේය. සාර්ථක අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරයක් මගින් UNITAID සංවිධානය නිවැරදි දෙසට යොමු කරනවා වෙනුවට මෙම ව්‍යාපෘතිය සම්බන්ධ කටයුතු සංවිධානය කරා අවමානයක් ගෙන එන ලදි.
” මෙම අසාර්ථකත්වය ගැන සියලුම රටවල ආණ්ඩුද ඇතුළත්ව සියලු දෙනාම ලජ්ජාවට පත් වුණා. ” යි හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පැවසීය. සම්පූර්ණ ගාස්තුවම හෝ කොටසක් මහජන මුදලින් ගෙවමින් ලබාගත් උපදේශන සේවා විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීම මගින් අසාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නම් ඒ සඳහා මහජනතාව වෙත වගකිව යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය මෙම අත්දැකීම විසින් මතු කරන ලදි.
“මැකින්සි සමාගමේ උපදෙස් වැරදී ගියේ මන්දැයි යන මේ කිසිවක් සම්බන්ධව කිසිදු වගවීමක් නැත. “යි මෙම හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයා වැඩි දුරටත් පැවසීය.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල සෞඛ්‍ය ගැටළු ගැන උපදෙස් සැපයීමට බටහිර උපදේශක සමාගම් යොදාගැනීම කොතෙක් දුරට සදාචාරාත්මක ද?

Vox වෙත දැනගන්නට ලැබුණ ආකාරයට ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොදුරු වී ඇති විශාල ගැටළුවක එක් ලක්ෂණයක් නම් එක්සත් ජනපද කළමණාකරණ උපදේශක සමාගම් මත සිය කටයුතු සඳහා ඒවා අධික ලෙස රඳා පැවැතීමයි. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවන් වෙනුවෙන් සියලු වැදගත් කටයුතු සිදු කරනු ලබන්නේ ධනවත් බටහිර රටවල පුද්ගලයන් විසිනි. නිතරම සිදුවන පරිදි මේ රටවල ජනතාවගේ සහභාගිත්වයක් නොමැතිවය.

“2019 දීත් දැනුම සහ ධනය උතුරේ සිට දකුණට ගලායන තත්ත්වයක් පැවැතීම සිත් කලකිරවන සුලුය. ” යි මැක්ගිල් හි මධුකර් පායි පැවසීය. “මෙය වසර 50කට හෝ 100කට පෙර සිදු වීම තේරුම්ගත හැකියි. නමුත් මෙය අද දක්වා තවමත් සිදුවන්නේ ඇයිදැයි යන්න ප්‍රශ්න කළ යුතු දෙයක්.”

පායි ඉන්දියාවේ සිට කැනඩාව වෙත සංක්‍රමණය වීමට පෙර ඔහු මෙම අසමානතාව සිදුවන්නේ කෙලෙසදැයි දැක තිබේ. බාහිරින් පැමිණෙන උපදේශක සමාගම් විසින් දේශිය සෞඛ්‍ය ගැටළු පිළිබඳ දේශීය විශේෂඥයන්ගේ සේවය තොගපිටින් මිලදී ගනු ලැබේ.

“මෙම උපදේශකයෝ සමාගම්කාර දානපතියන්ගේ සහ පුද්ගලික අංශයට තේරෙන “භාෂාවෙන් ” කතා කිරීමට සහ ඔවුන් පවසන දෙය අවබෝධ කරගැනීමට සමත් නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට තමන් වැඩ කරන පොළොව තේරෙන්නේ නැහැ. “යි ඔහු පැවසීය.”මැකින්සි, BCG හෝ ඩෙලොයිට් යන සමාගම්වල උපදේශකයන්ට ගෙවන මුදලින් ඔබට ප්‍රශ්න පිළිබඳව ගැඹුරු අවබෝධයක් සහිත දේශිය විශේෂඥයන් කිහිපදෙනෙකුගේ සේවය කෙළින්ම ලබාගත හැකියි. නමුත් මෙම දේශිය විශේෂඥයන්ට කිසි විටෙක නිසි ඇගයීමක් හිමිවන්නේ නැහැ. ”

“විසඳුමේ සහ වෙනසේ හැඩය තීරණය කිරීමේ අයිතියද මැකින්සි වැනි සමාගම් ද ඇතුළුව ජයග්‍රාහකයන් විසින්ම හිමිකරගනු ලබන අතර ඔවුන් විසින් විසඳනු ලබනවායි කියන මෙම ප්‍රශ්න සදාකාලිකව පවත්වාගෙන යාම සඳහා ඔවුන් විසින්ම සිදුකරමින් සිටින භූමිකාව නොසළකා හරිනු ලැබීමයි.” ගෝලීය ප්‍රභූපෙළැන්තියේ වර්ධනය වන නවවැඩවසම්වාදි ආධිපත්‍යය පිළිබඳ විමසුමක් -ආනන්ද් ගිරිධරදාස්ගේ කෘතිය

මැකින්සි කළමණාකරණ උපදේශන සමාගමේ හිටපු උපදේශකයෙකු වන ආනන්ද් ගිරිධරදාස් විසින් Winners Take All (ජයග්‍රාහකයෝ සියල්ල උදුරා ගනිති) නම් සිය නවතම ග්‍රන්ථය තුළ මෙම තත්ත්වය සමාන කර ඇත්තේ යටත්විජිතවාදයේ නව ආකාරයක් ලෙසය.”එය තවදුරටත් ඔබේ රටට පැමිණි බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් තමන්ට සේවය කරගැනීමක් නොවේ. දැන් සිදුවන්නේ අපගේ ප්‍රශ්න ගැන කිසිදු අවබෝධයක් නැති හොඳින් හැඳ පැළඳගත් මහත්වරුන් සහ නෝනාවරුන් ලැප්ටොප් කොමිපියුටර් ද රැගෙන පැමිණ අපගේ සමාජ ප්‍රශ්න හිතවත්කමට විසඳීමට පොරොන්දු වීමයි. ” යි ගිරිධරදාස් ඔහුගේ පොතේ ලියා ඇත.
” මෙම හොඳින් හැඳපැලැඳ ගත් පිටස්තරයන් නිතරම පරිසරයට සහ සංදර්භයට නොගැළපෙන උපදෙස් සපයනු ලබයි. ඔවුන් විසින් සම්පත් හිඟයෙන් පෙළෙන පෙදෙස්වලට අධි තාක්ෂණික විසඳුම් සඳහා බල කරනු ලැබීම එක් නිදසුනකි. ” යි බොස්ටන් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය අංශයේ පීඨාධිපති සැන්ඩ්‍රො ගේලියා(Sandro Galea) පැවසීය. සහස්‍රයේ මුල් දශකයේ මෙම කළමණාකාරණ උපදේශකයන් විසින් ලයිබීරියාවේ දී සමස්ත ජනගහණයේම සෞඛ්‍ය දත්ත පරිගණක ජාල ගත කරන ලෙස එහි රජයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබූ අයුරු ගේලියා සිහිපත් කළේය. ඒ කාලයේ ලයිබීරියාවේ කිසියම් ව්‍යාපෘතියකට සහභාගිවෙමින් සිටි ගේලියා එම යෝජනාව දැක්කේ ප්‍රායෝගික නොවන දෙයක් ලෙසය.

” ලයිබිරීයාව යනු පැය 24 පුරාම විදුලිය ලබා දෙන රටක් නොවේ. මෙම උපදේශකයන් දිලිසෙන තාක්ෂණික වැඩ සඳහා උපදෙස් දෙනවා. නමුත් එම තාක්ෂණය සඳහා විදුලිය වැනි යටිතල ව්‍යුහයන් අවශ්‍යයි. නමුත් ඒවා එහේ නැහැ. ”

” ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍ර යේදී සෞඛ්‍ය පිළිබඳ දැනුම රාජ්‍ය අංශය සහ බහුපාර්ශ්වික සංවිධාන පිළිබඳ දැනුම අවශ්‍යයි. නමුත් එය නොමැතිකම අඩුපාඩුවක්.”

මෙම උපදේශකයන්ට අපගේ මානුෂික කටයුතු වටහාගත නොහැකියි.

ප්‍රධාන පෙළේ උපදේශන සේවා සමාගම තුළ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අයෙකු තමා එම සමාගම වෙතින් ඉවත්වීමට බලපෑ හේතුව Vox සමග පැවසුවේය. මහජන සෞඛ්‍ය පිළිබඳ උපාධිධාරියෙකු වන මෙම හිටපු උපදේශකවරයා ඔහු සේවය කළ සමාගම විසින් බටහිර අප්‍රිකාවේ ස්ත්‍රීන්ට උපත් පාලන නිර්දේශ කිරීම පිළිබඳ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත කණ්ඩායමක් වෙත අනුයුක්ත කරන ලදි. මෙම කණ්ඩායම තුළ සිටි සෞඛ්‍ය පිළිබඳ එකම විශේෂඥයා ඔහු විය.

මෙම කණ්ඩායමේ නායකයාව සිටි පුද්ගලයා විසින් එක්තරා උපත්පාලන ක්‍රමයක් බටහිර අප්‍රිකාවේ ස්ත්‍රීන් වෙත හඳුන්වා දිය යුතු යැයි බල කරන ලද අතර ඉහත සඳහන් කළ උපදේශකයා විසින් එම ක්‍රමය සඳහා රට තුළ කිසිදු පිළිගැනීමක් සිදු නොවනු ඇති බවට අනතුරු ඇඟවීය. ” සංවර්ධනය පිළිබඳ සියලු සියුම් වෙනස්කම් එක්වර දැනගැනීම පහසු දෙයක් නෙවෙයි, විශේෂයෙන්ම ඔබ ඇහුම්කන් දීමට සුදානම් නැත්නම්. ඒ වාගේම මම හිතනවා ගොඩක් උපදේශකයන් තුළ ඒ නිහතමානිකම නැහැ කියලා. ” යි ඔහු පැවසීය.
නිහතමානිකම කමට වඩා පිළිගැනීමට ලක්ව ඇත්තේ ක්ෂණික උපදෙස් සහ මැනිය හැකි ප්‍රතිඵල වේ. නැතහොත් BCG සමාගම විස්තර කරන ආකාරයට “පුද්ගලික අංශයේ ප්‍රවේශ විධික්‍රමයයි”. මෙම ප්‍රවේශයන් “වෙළෙඳ පොළ ස්වෝත්තමවාදී අපගේ යුගය ” තුළ “ඕනෑම ගැටළුවක් විසඳිය හැකි අනිවාර්ය උපකරණ කට්ටලයක් ” බවට පත්ව ඇතැයි ගිරිධරදාස් විසින් ලියා තිබේ. ඇතැම් විට මේවා පොදු ආයතන තුළ සාර්ථක විය හැකි වුව ද ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අරමුණු සඳහා ඒවා නිතරම ගැළපෙන්නේ නැත.

2010 දී සහ 2012 දී මුකේෂ් කපිල ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ සහ රතු අඩ සඳ සමාජයේ උප ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් සිය සංවිධානය සඳහා නව ව්‍යාපාරික උපායමාර්ගයක් සංවර්ධනය සඳහා උපදෙස් ලබාගැනීමට අදාළ කළමණාකරණ උපදේශන සේවා සමාගමක සේවය මිල දී ගනු ලැබිණි.”මෙම උපදේශකයන්ට අපගේ මානුෂික කටයුතු අවබෝධකර ගැනීමට හැකියාවක් නොවීය. ඔවුන් විසින් ලබා දුන් උපදෙස් කිසිසේත්ම අදාළ වූ ඒවා නොවේ. එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. සම්පූර්ණ නාස්තියක් ” ඔහු එම සමාගමේ උපදෙස් නොතකා හැරියේය.

වෛද්‍ය මුකේෂ් කපිල

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කර දශක ගණනාවක අත්දැකීම් සහිත එහි හිටපු විධායක නිලධාරින් කීප දෙනෙකුම පැවසුවේ මෙම උපදේශකයන්ට සංවිධානය පිළිබඳ වැටහීමක් නැති අතර ඔවුන් විසින් දෙන විසඳුම් කිසිදු තේරුමක් සහිත ඒවා නොවන බවයි. මෙම උපදේශකයයෝ බහුපාර්ශ්වික ජාත්‍යන්තර සංවිධාන තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සෑහීමකට පත් නොවෙති. “මෙවැනි සංවිධාන තුළ පුද්ගලික අංශ ආකෘතිය සාර්ථක නොවේ ” යි ඔහු වැඩි දුරටත් පැවසීය.

“පසුගිය දශක කීපය තිස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණ උත්සාහයන් සඳහා උපදෙස් දීමට පැමිණි විවිධ උපදේශක සමාගම් විසින් බොහෝ නිර්දේශ සිදු කර තිබෙනවා- මගේ අදහස ඒ බොහෝ නිර්දේශ ක්‍රියාත්මක කර නැති බවයි. මම හිතනවා නැවත නැවත ඒවා පුනරුච්චාරණය කරනවාට වඩා ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට හේතු මොනවාදැයි සොයා බලන එක වඩාත් තේරුමක් සහිත දෙයක් කියලා. “යි තවත් හිටපු නිලධාරියෙකු පැවසුවේය.

ගෝලීය සෞඛ්‍ය ප්‍රශ්න උත්සන්න කිරීමට හේතුවන සමාගම් සමග වැඩ කරන උපදේශක සේවා සමාගම්වලට ගෝලීය සෞඛ්‍ය ප්‍රශ්න විසඳීමේ ගෞරවය හිමි වේද?

උපදේශන සේවා සමාගම්වල පුද්ගලික අංශ අත්දැකීම් සහ ගෝලීය සෞඛ්‍ය මහජන ක්ෂේත්‍ර යේ කටයුතු අතර දැඩි ගැටුමක් තිබේ. ඔවුන්ගේ උපදේශ සම්බන්ධව ඇත්තේ පසුගිය සියවස් භාගයේ සමහර හදිසි සෞඛ්‍ය අර්බුද සමගය.

1999 ගණන්වල සිට ඇමෙරිකන් ජීවිත මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් බිලිගත් ඕපියොයිඩ් වසංගතය (opioid epidemic) තුළ මැකින්සි සමාගම විසින් ඉටු කළ භූමිකාව අවධානයට ගන්න. ඖෂධ සමාගම් විසින් වෛද්‍ය වෘත්තිකයන් වෙත නැවත නැවතත් සහතික වූයේ ඕපියොයිඩ් අඩංගු වේදනා නාශක රෝගීන්ට නිර්දේශ කිරීම නිසා ඔවුන් ඊට ඇබ්බැහි වීමක් සිදු නොවන බවයි. ඒ අනුව සෞඛ්‍ය අංශයේ සේවයේ කරන්නවුන් විසින් ඉහළ අනුපාතයන්ට ඒවා නිර්දේශ කිරීම පටන් ගනු ලැබිණි. අවසානයේදී මෙය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතයට මිනිසුන් හුරු වූ අතර එම ඖෂධය විසින් ඇබ්බැහි බවක් ඇති කරන බව ජනතාව තේරුම් ගන්නා විට බොහෝ සෙයින් පමා වී තිබිණි. මේ සම්බන්ධයෙන් අදාළ ඖෂධ සමාගම්වලට එරෙහිව පැවරුණු නඩුවලට අදාළ ලේඛනවල මැකින්සි සමාගම විසින් වෛද්‍ය නිර්දේශ මගින් ඕපියොයිඩ් අලෙවිය වැඩි කිරීම සඳහා ඖෂධ සමාගම් දෙකකට උපදෙස් සපයා ඇති බවට හෙළිදරවු විය. ඕපියොයිඩ්වලට මිනිසුන් ඇබ්බැහි වීම වසංගතයක් ලෙස පැතිරෙමින් පවතින බව සමාජයට නිරාවරණය වනතෙක්ම මේ උපදෙස් සැපයීමේ කටයුතු 2000 සිට 2014 දක්වා ම මැකින්සි සමාගම විසින් සිදු කර තිබේ. එක් නඩුවකදී විසින් මැකින්සි සමාගම විසින් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ( Johnson & Johnson) සමාගමට “ඕපියොයිඩ් ඉහළ මාත්‍රා ලබාදෙන රෝගීන් ප්‍රමාණය වැඩි කරන ” ලෙස ද “රෝගීන්ට ඕපියොයිඩ් ලබා දෙන කාලය දීර්ඝ කිරීමේ තාක්ෂණයන් අධ්‍යයනය කරන ” ලෙස ද උපදෙස් ලබා දී ඇති බවට නිව්යෝක් ටයිම්ස් විසින් වාර්තා කර තිබේ.

මැකින්සි සමාගම ඔක්සිකොන්ටින් (OxyContin) නිෂ්පාදනය කරන පුර්ඩුෆාර්මා (Purdue Pharma) සමග කටයුතු කර ඇතැයි තවත් නඩුවකින් චෝදනා කර තිබේ. එහි දී අලෙවිය වැඩි කර ගැනීමේ උපායමාර්ග ලෙස මෙම ඖෂධයට ඇබිබැහි වූ දරුවන් සහිත මවුවරුන්ගේ “හැඟීම්බර පණිවිඩ” පරාජය කරන ලෙසත් ” රෝගීන්ගේ පැකිළීම” නැති කිරීම මගින් වෛද්‍යවරුන්ට වැඩි වැඩියෙන් ඕපියොයිඩ් නිර්දේශ කිරීමට අවස්ථා සළසා දෙන ලෙසත් මැකින්සි සමාගම විසින් උපදෙස් දී තිබේ යැයි ProPublica විසින් වාර්තා කර ඇත..

“මෙම කර්මාන්තයේ නිරතව සිටින අපගේ ගනුදෙනු කරුවන් වෙනුවෙන් අප සිදු කරන ඓතිහාසික කාර්යභාරය සැලසුම් කර ඇත්තේ නීත්‍යානුකූල නිර්දේශවලට සහ ඔවුන්ගේ නිෂ්පාදනවලට සහාය වනු පිණිසය. කෙසේ වුව ද ඕපියොයිඩ් විසින් අපගේ ප්‍රජාවන්ට විනාශකාරී බලපෑමක් සිදු කර ඇත. අපි තව දුරටත් කිසිදු ගනුදෙනුකරුවෙකු සමාගම ඕපියොයිඩ්වලට අදාළ ව්‍යාපාරික කටයුතු සිදු නොකරමු.” යි මැකින්සි සමාගම Vox වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය.

පෝලන්තයේ ගල් අඟුරු කර්මාන්තය

මැකින්සි සමාගම මෑතකදී තවත් අවදානම්සහගත කර්මාන්තයක් වන ගල් අඟුරු කර්මාන්තය සමග සම්බන්ධ වී තිබේ. පෝලන්තයේ ගල් අඟුරු කර්මාන්තය පිළිබඳ 2015 ඔවුන්ගේ විශ්ලේෂණය මගින් මෙම මධ්‍යම යුරෝපීය රාජ්‍යය ” ලෝකයේ අතිශයින් දියුණු ආර්ථිකයන් සහිත රටවලින් එකක් බවට පත් කිරීම සඳහා ” ගල් අඟුරු කැණීමේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි කිරීමට දිරිගන්වන ලදි
මෙම වාර්තාවේ, මැකින්සි සමාගමේ උපදේශකයන් විසින් ගල් අඟුරු කර්මාන්තය තුළ “ඉලක්කම් දෙකේ ඵලදායිතා වර්ධනයක් ” අත්පත් කරගැනීමට එක් ප්‍රධාන මාවතක් යෝජනා කර තිබේ. එය නම් “සුරක්ෂිත බව හෝ සේවා තත්ත්වයන් ඉහළ දැමීමකින් තොරව කාර්යක්ෂ්මතා වියදම් වැඩිකරන්නාවූත් ශ්‍රම ඵලදායිකත්වය අඩුකරන්නාවූත් නියාමන බාධක ඉවත් කිරීම ” යි.

වසර ගණනාවක් තිස්සේ පෝලන්තයේ ගල් අඟුරු කර්මාන්තය විසින් පාරිසරික සෞඛ්‍ය වෙත සිදුකරන හානිය පිළිබඳව වාර්තා පවතී. පෝලන්තයේ ගල් අඟුරු කර්මාන්තය රටේ පරිසර දූෂණය තුළ විශාල භූමිකාවක් ඉටු කරනු ලබයි. 2014 දී වායුගෝලයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ යුරෝපීය පරිසර ඒජන්සිය විසින් නිකුත් කළ වාර්තාවට අනුව පෝලන්ත ගල් අඟුරු කර්මාන්තය යුරෝපයේ වායු ගෝල දූෂණයට දායකවන ප්‍රධාන සාධකයක් ලෙස දක්වා තිබේ. එම වසරේදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් විසින් වායුගොලීය දූෂණය හඳුන්වා ඇත්තේ “පාරිසරික සෞඛ්‍යය අවදානමේ හෙළන තනි ප්‍රධාන හේතුව” ලෙසය. මේ වනවිට යුරෝපීය සංගමයේ වඩාත්ම වායු දූෂණය සහිත නගර 50න් 33ක්ම ඇත්තේ පෝලන්තයේය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ” මහාද්විපය තුළ දුමාරයේ අගනුවර” යන විරුදාවලිය පෝලන්තය විසින් උපයාගෙන තිබේ
” මැකින්සි සමාගම විසින් පෝලන්ත රජයට ලබා දුන් උපදෙස් සම්පූර්ණයෙන්ම වැරැදියි. එමෙන්ම 2015 දී වුනත් සහ කාලයට නොගැලපෙන සුළුය. වාතය වසර 5කට පෙර පිරිසිදුව පැවතුනේ නැහැ.” යි පැවසුවේ බ්‍රසල්ස් නගරයේ සිට කටයුතු කරන මහජන සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් වන යුරෝපීය මහජන සෞඛ්‍ය සන්ධානයේ (European Public Health Alliance) ප්‍රතිපත්ති කළමණාකාර සොල්ටේන් මසායි-කොසුබෙක් ( Zoltán Massay-Kosubek) විසිනි.

2018 දී යුරෝපීය සංගමයේ ඉහළතම අධිකරණය විසින් මනුෂ්‍ය සෞඛ්‍යයට අහිතකර ආකාරයෙන් ලෙස “අනවරත ලෙස ” වායූ දූෂණ සීමාවන් ඉක්මවීම පිළිබඳව දඩ ගසා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රවෘත්ති පත්‍රිකාව විසින් පෝලන්ත රජයට උපදෙස් දී ඇත්තේ ගල් අඟුරු කර්මාන්තය නියාමනය සඳහා සඳහා දැඩි නීතිරීති ගෙන එන ලෙසත්, නිෂ්පාදන වියදම ඉහළ දමන ලෙසත්, පිරිසිදු බලශක්තිය භාවිතා කිරීම දිරිගන්වන ලෙසත්ය. එම උපදෙස් මැකින්සි සමාගම පෝලන්ත රජයට දී ඇති උපදෙස්වලට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධය.( කාර්මික නිෂ්පාදන අංශයේදී සහ නගරවලදී කාබන් විමෝචනය අවම කරගත හැක්කේ කෙසේදැයි ඉතා මෑතකදී මැකින්සි සමාගම විසින් විශ්ලේෂණයක් සිදු කර තිබේ.)

මේ අතර උපදේශන සමාගම් විසින් ලෝකය පුරා සකස්කරන ලද ආහාර, ලෝකය පුරා ස්ථූලභාවයට සහ දියවැඩියාවට හේතුවී ඇති බීම වර්ග ආදියේ වෙළඳපොල අලෙවිය වැඩිකරගැනීමට උපදේශන සහාය ලබාදී ඇත.

එවකට “ඉන්දීය පෙප්සිකෝ”(PepsiCo India) සමාගමේ ප්‍රධාන විධායකයාගේද සහභාගිත්වය සහිතව ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (Confederation of Indian Industries) සම දායකත්වයද සහිතව 2015 වසරේදී BCG සමාගම විසින් සකස්කරන ලද වාර්තාවකට අනුව BCG සමාගම විසින් සීනි සහිත බීම ද ඇතුළුව “ඉතා වේගයෙන් අලෙවි වන පාරිභෝගික ද්‍රව්‍ය” සඳහා ඉන්දියානු වෙළෙඳපොල පුළුල් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා ඇත. මෙම වාර්තාව එළි දක්වා ඇත්තේ සීනි සහිත බීමවර්ග නිෂ්පාදනය අඩු කිරීම සහ ඒවා මත බදු පැනවීම ආදිය දියවැඩියාව සහ ස්ථූලභාවය ව්‍යාප්තිවීම වැළැක්වීම පිළිබඳ සාකච්ඡා-සංවාද බහුල වශයෙන් ලෝකයේ සෑම තැනෙකම පැවැත්මට ඒමෙන් ද පසුවය. ඉහත රෝග වැළැක්වීමේ එවැනි ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද දිරිගන්වුනු ලබයි.( BCG සමාගම මේ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය)

ලෝක සෞඛ්‍ය සංවිධානය, මැකින්සි  සහ සෞඛ්‍යයට අහිතකර ආහාරපාන නිෂ්පාදනය කරන සමාගම් තුන් ඈඳුතු ප්‍රේමය

සෞඛ්‍යයට අහිතකර ආහාරපාන නිෂ්පාදනය කරන සමාගම් සමග එක්ව කටයුතු කරන කළමණාකාරණ උපදේශන සමාගම් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධවන්නේ නම් ඒ තුළ ආවේණික ආතතියක් සහ අවශ්‍යතා පිළිබඳ ගැටුම් මතුවීම වැළැක්විය නොහැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ගෝලීය සෞඛ්‍ය සංවිධාන “ආහාර, ඖෂධ, සෞඛ්‍යාරක්ෂක හෝ දුම්කොළ වැනි අංශ සමග කටයුතු කරන කළමණාකරණ උපදේශක සමාගම් සමග එක්ව කටයුතු කිරීමෙන් වැළකිය යුතුය ” යි නෝර්ත් කැරොලිනා විශ්වවිද්‍යාලයේ ගෝලීය මහජන සෞඛ්‍ය සහ ස්ථූලතාව පිළිබඳ විශේෂඥයෙකුවන බැරී පොප්කින් (Barry Popkin)පැවසීය. ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ බ්ලූම්බර්ග් පිලාන්ත්‍රොපීස් නම් දානපති පදනම් සංවිධානයේ මාර්ගෝපදේශනය තුළ මහජන සෞඛ්‍යයට හානිදායකවන කර්මාන්ත සමග කටයුතු කරන කිසිදු සමාගමක සේවය ලබා නොගත යුතු යැයි රීතියක් පවතින බවත් මෙයට කළමණාකරණ උපදේශන සේවා සමාගම්ද ඇතුළත් වන බවත්ය. මෙම දානපති සංවිධානය අවම තරමින් පසුගිය වසර 5ක කාලය තුළ මැකින්සි සමාගම හෝ BCG සමාගම සමග කටයුතු කර නැත.

ලෝක සෞඛ්‍ය සංවිධාන පිළිබඳව අධ්‍යයනය කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබද මහාචාර්යවරයෙකු වන ඇඩම් කම්රාද්-ස්කොට් (Adam Kamradt-Scott) ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොල සමාගම් පිළිබඳ ප්‍රතිපත්තිය වර්ණනා කරයි. එහෙත් ඇල්කොහොල් සීනි නිෂ්පාදන කර්මාන්තය සඳහා එවැනිම ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් කොතෙක් ඉල්ලීම් සිදුකළ ද තවමත් සාර්ථක ප්‍රතිඵලයක් අත්ව නැති බව ඔහු විසින් පෙන්වා දෙන ලදි. “සෞඛ්‍යයට අහිතකර ආහාරපාන නිෂ්පාදනය කරන සමාගම් සමග එක්ව කටයුතු කරන කළමණාකාරණ උපදේශන සමාගම් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධවන්නේ නම් ඒ තුළ ආවේණික ආතතියක් සහ අවශ්‍යතා පිළිබඳ ගැටුම් මතුවීම වැළැක්විය නොහැකිය.” යි ඔහු වැඩි දුරටත් පැවසීය.(මේ ගැන අදහස් දැක්වීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇත.)

ගෝලීය ධනවාදයේ ජයග්‍රාහකයන් විසින් එහි පරාජිතයන්ගේ ප්‍රශ්න “විසඳමින් ” එහි ගෞරවය සහ කීර්තිය අත්පත්කරගැනීමට කටයුතු කරන ආකාරය දැඩි විමර්ශනයකට ලක් කරන්නේ නම් ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් හෙවත් යටි අරමුණු මීට වඩා නිරාවරණය කරගත හැකි වනු ඇත.

“සාමාජීය සහ මානුෂික අංශයන් මත ආක්‍රමණකාරීව ව්‍යාප්තව ඇති මතයක් නම් ව්‍යාපාරික ප්‍රජාව සහ ව්‍යාපාරික විධික්‍රම සතුව ඉහත අංශ ප්‍රතිසංස්කරණය කිරීමේත් එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේත් හැකියාවක් සතුව පවතින බවයි.” යි කලක් උපදේශන සේවා සමාගම්වලට සම්බන්ධව උපදේශකයෙකු ලෙස කටයුතු කළ ගිරිධරදාස් Vox වෙත පැවසීය.” ජයග්‍රාහකයන් විසින් සියල්ල අත්පත් කරගනී යන ප්‍රවේශය පොදු මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට යොදාගනු ලැබීමේ ගැටළුව නම් එමගින් විසඳුමේ සහ වෙනසේ හැඩය තීරණය කිරීමේ අයිතියද මැකින්සි වැනි සමාගම් ද ඇතුළුව ජයග්‍රාහකයන් විසින්ම හිමිකරගනු ලබන අතර ඔවුන් විසින් විසඳනු ලබනවායි කියන මෙම ප්‍රශ්න සදාකාලිකව පවත්වාගෙන යාම සඳහා ඔවුන් විසින්ම සිදුකරමින් සිටින භූමිකාව නොසළකා හරිනු ලැබීමයි.”

දුරකතනය මගින් ගිරිධරදාස් සමග කළ සංවාදයේදී ඔහු උපදේශකයන් විසින් ලාභය උපරිම කරගැනීමට නොසිතමින් සැබෑ ලෙසම ජනතාවගේ සෞඛ්‍යය ගැනසැළකිළිමත් වෙමින් ප්‍රශ්න විසඳීමට කටයුතු කරන වෙනස් ලොවක් පිළිබඳ සිය ප්‍රාර්ථනාවන් හෙළිකළේය.
” පොඩ්ඩකට හිතන්න මැකින්සි සමාගම විසින් ඖෂධ සමාගම්වලට උපදෙස් දෙනවා කියලා එච්අයිවී/ඒඩ්ස් වැනි රෝග සමග සටන් කිරීමට මුදල් නැති දුප්පත් රටවල් සඳහා පේටන්ට් අයිතිය භාවිතා කරන්න එපා කියලා. හිතන්න මේ උපදේශක සමාගම් ආහාර සහ බීම නිෂ්පාදනයේ දැවැන්ත සමාගම්වලට උපදෙස් දෙනවා කියලා ස්ථූලභාවය සහ හෘදයාබාධ ඇති කරන නිෂ්පාදන අලෙවිය නවත්වන්න කියලා. හිතන්න ඔවුන් සැබැවින්ම තමන්ගේ ගනුදෙනුකරුවන්ව පොළඹවනවා කියලා ගනුදෙනු කරුවන් විසින් ගෙවිය යුතු බදු මගහරිනවා වෙනුවට ඒවා නිසිපරිදි ගෙවන්න කියලා. ජාතික සෞඛ්‍ය ආයතන සහ ලෝක සෞඛ්‍ය සංවිධාන වැනි ජාත්‍යන්තර ආයතනවලට ජනතාවන්ගේ සෞඛ්‍ය වර්ධනය සඳහා අමතර සම්පත් ප්‍රමාණයක් ඒ මගින් ලබා දිය හැකිවන පරිදි ”

මැක්ගිල් විශ්ව විද්‍යාලයේ මධුපායි සඳහන් කළේ උපදේශන සේවා සමාගම් සහ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු දැන් ලොව පුරා අතිශයින් බලපෑම් සහගත බවයි. “ව්‍යාපාරික කටයුතු ගැන සිතන ආකාරය දැන් ගෝලීය සෞඛ්‍ය සංවිධාන සිතන ආකාරය බවටද පත් වී තිබේ. ”

 

ජූලියා බෙලූස් (Julia Belluz) කැනේඩියානු ජනමාධ්‍යවේදිනියකි. ඇගේ ක්ෂේත්‍රය වනුයේ සෞඛ්‍ය සහ විද්‍යාවයි. ඇය Vox වෙබ් අඩවියේ සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ වාර්තාකාරියකි
මැරීන් බුසොනියර් (Marine Buissonniere) ස්වාධීන පර්යේෂිකාවක සහ මානුෂික සහ ගෝලීය සෞඛ්‍ය කටයුතු පිළිබඳ උපදේශිකාවන ලෙස කටයුතු කරයි                            .

 

 

පරිවර්තනය- අජිත් සී හේරත්