බිල් ගේට්ස් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මිලදී ගැනීම සහ ලෝක ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීම

මිෂෙල් ග්‍රීන්ස්ටයින් සහ ජෙරමි ලොෆ්රෙඩෝ විසින් මෙම ලිපිය 2020 වසරේ ජූලි 08 වැනිදා The Grayzone වෙබ් අඩවිය සඳහා ලියන ලද්දකි.  ඊනියා කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය, රොකෆෙලර් සහ ගේට්ස් පදනම්, කොම්පැනි ජනමාධ්‍ය, ජාත්‍යන්තර මුල්‍ය ආයතන,ලෝක ආර්ථික සංසදය, ඖෂධ සමාගම් සහ රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍යයන් විසින් අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා මත පෙරට දමන වසංගත ආඛ්‍යානය අභියෝගයට ලක්කරන මෙම තොරතුරු වල කාලීන දේශපාලන වැදගත් කම සළකා එය සිංහලට පරිවර්තනය කර පළකරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ නිවේදනය විසින් අනාගත ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි විශාල වශයෙන් බලපාන ක්‍රියාදාමයක් ආරම්භ කරන ලදි. එමෙන්ම එය විසින් ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් එකෙකුට වාසනාවද ගෙන ආ බව පෙනී යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාලතම මුල්‍ය අනුග්‍රහය සපයන්නා වන එක්සත් ජනපද රජය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම යන්නෙහි අර්ථය එහි දෙවැනි විශාලතම මුල්‍ය අනුග්‍රාහකයා වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඉතා ඉක්මණින්ම පළමු ස්ථානයට පැමිණීමට නියමිත බවය. එමගින් රාජ්‍ය නොවන ජාත්‍යන්තර අධිරාජ්‍යයක් වන බිල් සහ මෙලින්ඩාගේට්ස් පදනම වෙත අතිශයින් වැදගත් බහුපාර්ශ්වික සංවිධානයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය හැසිරවීම සඳහා අසමසම බලයක් ලබාදෙනු ඇත.

මෙම වසංගත තත්ත්වය තුළ බිල් ගේට්ස් වීරයෙකුගේ තත්ත්වයට පත්වීමට සමත් විය. වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඔහුව හැඳින්වූයේ “ විද්‍යාව මත පදනම්ව විසඳුම් ඉදිරිපත්කරන ශූරයෙකු” ලෙසය. ඒ අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඔහුව වර්ණනා කළේ “ ලෝකයේ සිටින අතිශයන්ම උනන්දු ජනක මිනිසා” ලෙසය. එමෙන්ම එක්සත් ජනපදය වසංගතයෙන් බැට කෑමට සති කීපයකට පෙර නෙට් ෆ්ලික්ස් විසින් මුදාහරින ලද “වසංගතයක් වැළැක්විය හැක්කේ කෙසේද” (Pandemic: How to Prevent an Outbreak) නම් ප්‍රවෘත්ති විශේෂාංග වැඩ සටහන් මාලාවක නම් සුපිරි තරුව වූයේ ඔහුය. මෙම වැඩ සටහන නිෂ්පාදනය කරන ලද්දේ නිව්යෝක් ටයිම්ස් වාර්තාකාරිනියක් වූ ෂෙරි ෆින්ක් විසින් වන අතර ඇය ඊට පෙර බිල් ගේට්ස් විසින් මුල්‍ය අනුග්‍රහය ලබාදුන් ප්‍රෝ පබ්ලිකා, ද නිව් ඇමෙරිකා ෆවුන්ඩේෂන් සහ ඉන්ටර්නැෂනල් මෙඩිකල් කෝර්ප්ස් නම් සංවිධාන තුනේ සේවය කර ඇත.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙම “වසංගත කාලය” තුළ බිල් ගේට්ස් සම්බන්ධයෙන් කරනු ලබමින් සිටින වර්ණනා රළ ප්‍රවාහය විසින් මෙම ප්‍රකෝටිපතියා සහ ඔහුගේ ප්‍රයෝගයන් පිළිබඳව දක්ෂිණාංශික දේශපාලන කව තුළ දැඩි විමසිලිමත් බවක් ජනිත කෙරුණ අතර එය ප්‍රගතිශීලින් විසින් ට්‍රම්ප්වාදීන්ගේ සහ Q-Anon වරුන්ගේ කුමන්ත්‍රණ න්‍යායන් ලෙස සළකා බැහැර කරනු ලැබිණි.

බිල් ගේට්ස් : BBC සේවයේ වැඩ සටහනකට සහභාගි වෙමින් ඔහු තමන් විසින් තමාවම “ සෞඛ්‍ය විශේෂඥයෙකු”ලෙස හඳුන්වා ගත්තේය

එහෙත් බිල් ගේට්ස්ගේ ප්‍රතිරූපය පිම්බීම සඳහා වන ප්‍රචාරක ව්‍යාපාරයට ඔබ්බෙන් ඇති සිත් කළඹවන ඉතිහාසයක් විසින් අවධානය යොමු කිරීමට බල කෙරෙන කරුණක් තිබේ. එනම් ඔහුගේ පදනම් සංවිධානය විසින් “වසංගතය” සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කරන “විසඳුම” ලෝක ජනතාවට යහපත් ගෙන දීමට සමත්වන්නේ ද නැතහොත් ඔහුගේ බලය ජාත්‍යන්තර ආයතන තුළ ව්‍යාප්ත කරමින් තවදුරටත් ශක්තිමත් කරන්නේ ද යන්නයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන මෙම ජාත්‍යන්තර සංවිධානය (එනම් ලෝක සෞඛ්‍ය සංවිධානය) බහුජාතික සමාගම්වල ආධිපත්‍යය පැතිරවීමේ වාහනයක් බවට පත්කරමින් ගේට්ස් පදනම විසින් දැනටමත් එය සාර්ථකව පුද්ගලීකරණය කර තිබේ. එය විසින් ගෝලීය දකුණේ ජනයා මත විෂ සහිත නිෂ්පාදන පැටවීමේ ක්‍රියාදාමයට පහසුකම් සපයා ඇතිවා පමණක් නොව ලොව දිළිඳුතම ජනයා ඖෂධ සමාගම්වල නිෂ්පාදන පරීක්ෂණයට ලක් කිරීමේ ක්‍රියාවලිය තුළ පරීක්ෂණාගාර මීයන් බවට පත් කර තිබේ.
මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි ගේට්ස් පදනම සිය බලපෑම් සහගත බව ප්‍රායෝගිකව යොදාගනු ලබනුයේ මහජනයාගේ ආරක්ෂාව පිණිස පවත්නා වූ නීති සහ රජයේ අනෙකුත් ක්‍රියාකාරිත්වයන් දුර්වල කර ඒවා නොතකා හරිනු සඳහා යොදවන අතුරු හමුදාවක් ලෙසය. එහෙයින් ගේට්ස් පදනමේ ක්‍රියාකාරිත්වය සැළකිය හැක්කේ නිදහස් ජාතික රාජ්‍යයන්ට එරෙහිව බටහිර ප්‍රාග්ධන අවශ්‍යතාවන් ඉටුකරන ප්‍රවාහකයක් ලෙසය.
“ගේට්ස් පදනම හේතුවෙන් ස්වාධීන රාජ්‍යයන් එකක් පසු පස එකක් ලෙස සිය ස්වාධීනත්වය පාවා දෙන අයුරු මම නිරීක්ෂණය කර ඇත්තෙමි.” යි ඉන්දියාව පදනම් කොටගෙන ගොඩ නගන ලද විද්‍යාත්මක, තාක්ෂණික සහ පාරිසරික පර්යේෂණ සඳහා වන පදනම (Research Foundation for Science, Technology and Ecology) සංවිධානයේ නිර්මාතෘ වන ආචාර්ය වන්දනා ශිවා Grayzone වෙත පැවසුවාය.

මේ කැස කවන්නේ ලෝකය බේරාගැනීම සඳහාද ?

ලෝකයේ විශාලතම සහ පොහොසත්ම පුද්ගලික පදනම් ආයතනය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමයි. 2019 අවසාන වන විට එහි වත්කම් ඩොලර් බිලියන 51කි. බිල්ගේට්ස් විසින් පවසනු ලබන්නේ එහි සම්පත්වලින් වැඩිහරියක් වියදම් කරනු ලබන්නේ “ බෝවෙන රෝග වලින් සිදුවන මරණ සංංඛ්‍යාව අඩුකිරීමට බවයි.” එමෙන්ම මේ දාන පරිත්‍යාගය මගින් ඔහු තමන් සඳහා තමන් විසින් ම “ බෝවන රෝග විශේෂඥ“ යන ගෞරව නාමයද මිලදී ගැනීමට සමත්ව තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්විය හැක්කේ කෙසේ දැයි බිල් ගේට්ස් දෙනු ලබන උපදෙස් විකාශනය කිරීම සඳහා සමාගම්කාර ජනමාධ්‍ය විසින් ඔහුව රතු පලස් මත පිළිගනිමින් සිටී.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෛරසය තදබල ලෙස ව්‍යාප්ත වී ඇතැයි පැවසුන අප්‍රේල් මස දී පමණක් ඔහු ව සම්මුඛ සාකච්ඡා සඳහා CNN, CNBC, Fox, PBS, BBC, CBS, MSNBC, The Daily Show සහ The Ellen Show යන වැඩ සටහන්වලට ආරාධනය කරනු ලැබිණි. BBC සේවයේ වැඩ සටහනකට සහභාගි වෙමින් ඔහු තමන් විසින් තමාවම “ සෞඛ්‍ය විශේෂඥයෙකු”ලෙස හඳුන්වා ගත්තේය. මාධ්‍ය තුළ මේ ප්‍රකෝටිපතියාගේ ප්‍රතිරූපය ගොඩනැගීමට වෑයම් කරනුයේ ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙසින් එක් තේමාවක් ලෝක ජනතාව මත තහවුරු කිරීමේ ඉලක්කය සාක්ෂාත් කරගනු සඳහාය. එනම් ලෝකයේ රාජ්‍යයන් සහ ඒවායේ නායකත්වය බිල්ගේට්ස් විසින් පවසන ලද දෙය පිළිගනු ලැබුවේ නම් මෙම වසංගතය සමග සටන්වැදීම සඳහා වඩාත් හොඳින් සුදානම් වීමට ඉඩ පැවැති බවය. විලාසිතා සඟරාවක් වන Vogue විසින් වරෙක විමසන ලද්දේ “ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමේ කාර්ය සාධක බලකායේ නායකත්වය බිල් ගේට්ස් වෙත ලබා නොදෙන්නේ මන්ද? ” යන්නයි.

කොවිඩ් සඳහා බිල් ගේට්ස් ගේ විසඳුම කුමක් වනු ඇත්ද ?

බිල් ගේට්ස්ට අනුව පෘථිවිය මත සියළු දෙනා සඳහා එන්නත් නිර්මාණය කර බෙදා හැරීම වසංගතයට එරෙහිව “ අවසාන විසඳුම” වනු ඇත. ගේට්ස් පදනමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සුට්ස්මාන් මෙම අදහස ප්‍රතිරාවය කළේ “ බිලියන 7ක් වන ලෝක ප්‍රජාව සඳහා සාර්ථක වැක්සීනයක් නිෂ්පාදනය කළ යුතුය” යනුවෙන් පවසමිනි.

මෙලින්ඩා ගේට්ස් : අප්‍රිකාවේ ජනතාවටත් ඇමෙරිකාවේ කළු ජනතාවටත් නිසි ලෙස සායනික පරීක්ෂාවන්ට ලක් නොකළ කොවිඩ් එන්නත් පළමුව ලබාදීමට ඇයට සත්ව කරුණාව පහල වී තිබේ.

බිල්ගේට්ස්ගේ භාර්යාව සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සම අධ්‍යක්ෂ වන මෙලින්ඩා ගේට්ස් CNN පුවත් සේවය සමග වැළපෙමින් පවසා තිබුණේ “මෙම වසංගතයට මුහුණ දීම සඳහා කිසිදු සුදානමක් නැති අප්‍රිකාවේ අවදානම් තත්ත්වයේ සිටින මිනිසුන් ගැන සිතන විට ඇයට රෑට නින්ද යන්නෙ නැති බවය.” ජූනිවලදී ඇය Time සඟරාව සමග පවසා සිටියේ එක්සත් ජනපදයේ කළු ජනයා හට මෙම එන්නත පළමුව ලබාදිය යුතු බවයි.
ජීවිත ගලවාගැනීමේ මහඟු ඖෂධය වන එන්නත අවදානම් සහගත තත්ත්වයේ පසුවන අප්‍රිකාවේත් එක්සත් ජනපදයේත් කළු ජනගහණය වෙත ලබා දීමත් ඉන් පසුව ලෝකයේ සියලු දෙනා වෙත ඒ ලබා දීමත් බැලු බැල්මට අතිශය උතුම් කාර්යයක් ලෙස පෙනී යන අතර බිල් ගේට්ස් සිය මුදල් තමන්ගේම මුව තුළට දමාගැනීමට කටයුතු කරමින් සිටියි. මාර්තුවේදී ඔහු මයික්‍රොසොෆ්ට් අධ්‍යක්ෂක මණ්ඩලයේ සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඔහුගේ “කාලයෙන් වැඩි හරියක් වසංගතයට එරෙහිව වැඩ කිරීමට යොදාගැනීමට අවශ්‍ය බව පවසමිනි.”

ලෝකයේ එන්නත් සංවර්ධනය සඳහා වැඩිම මුදලක් ලබා දුන්( නැත හොත් ආයෝජනය කළ) සංවිධානය ගේට්ස් පදනමයි. එය විසින් කොරෝනා වෛරසයට එරෙහි ගෝලීය ප්‍රතිචාරයට(Global Response to the Corona Virus ) ඇමෙරිකන් ඩොලර් මිලියන 300ක සෘජු ආධාර ලබා දී ඇත. ඖෂධ නිෂ්පාදන සමාගම් වන ඉනොවියෝ ෆාර්මසූටිකල්ස් (Inovio Pharmaceuticals) , ඇස්ට්‍රාසෙනෙකා(AstraZeneca) සහ මොඩර්නා (Moderna ) ඇතුළු සමාගම් ගණනාවක එන්නත් අත්හදා බැලීම් සඳහා සහාය දීම ද මීට ඇතුළත් වේ. ඉහත සමාගම් සියල්ල කොවිඩ්-19 එන්නත් සංවර්ධනයේ ඉදිරියෙන්ම සිටින සමාගම් ලෙස සැළකේ.

බිල් ගේට්ස් පදනම “වසංගතයන්ට මුහුණ දීමට සුදානම්වීමේ සන්ධානය (Coalition for Epidemic Preparedness -CEPI)” නම් පදනම බිහිකිරීමේලා නීතිමය කොටස්කරුවෙකු වන අතර ඒ තුළ “ පුළුල් පරාසයක එන්නත් සහ ඊට පාදක තාක්ෂණ කටයුතු සංවර්ධනය සඳහා” ඇමෙරිකන් ඩොලර් මිලියන 480ක් ආයෝජනය කර තිබේ.

මේ කෙසේ වුව ද යථාර්ථය පරීක්ෂා කර බලන විට ගේට්ස් විසින් මෙහෙයවන ගෝලීය එන්නත්කරණ උත්සාහය පිළිබඳව සැක කිරීමට ඕනෑ තරම් හේතු තිබේ.

අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම ?

ගේට්ස්ගේ දාන පාරමිතාව හුදෙක් ඔහුගේ හදවතේ පවත්නා කාරුණික බව නිසා සිදු නොවන්නක් බව යමෙකු පැවසුවහොත් ඔහුට හෝ ඇයට ලැබෙන ප්‍රතිචාරය වනුයේ “ලෝකයේ දෙවන විශාලතම ධනවත් පුද්ගලයා ලෙස තවදුරටත් මුදල් ඉපයීමේ දැඩි අවශ්‍යතාවක් ඔහුට නැත.” යන්නයි. කෙසේ වුව ද ඔහුගේ ධන පරිත්‍යාගයන් නිතර අසන්නට ලැබෙන මෙවැනි කතන්දර කුමක් වුව ද පසුගිය දශක දෙක තුළ ඔහුගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය සැබැවින්ම දෙගුණ වී තිබේ. Forbes ඇස්තමේන්තු අනුව  ඇමෙරිකන් ඩොලර්  බිලියන 115ක් වූ බිල්ගේට්ස් ගේ පුද්ගලික වත්කම් ප්‍රමාණය මෙම ඊනියා වසංගත කාලය තුළ බිලියන 16 කින් වැඩි වී තිබේ. 2021 මැයි වනවිට ඔහුගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 131.1 කි.  එපමණක් නොව ලාභ ගැරීම මිසක වෙනත් ඉලක්කයක් නැති බටහිර සමාගම් රැසක් සඳහා ට්‍රොජන් අශ්වයෙකු ලෙස ගේට්ස් පදනම ක්‍රියාත්මක වන බවට ප්‍රබල සාක්ෂි තිබේ.

මෙල්බොන්හි ලා ට්‍රොබා විශ්ව විද්‍යාලයට අනුබද්ධ මහජන සෞඛ්‍ය විද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් ලෙගේ ට අනුව“ බිල් ගේට්ස් ගේ මුල්‍ය පරිත්‍යාග වූකලී සැබැවින්ම ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීමකි.”

දැවැන්ත ඖෂධ සමාගම්වල විධායක නිලධාරින් සඳහා නිතරම විවෘතව පවත්නා ගේට්ස් පදනමේ දොරවල් ගැන මොහොතකට සැළකිල්ලට ගන්න.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ හිටපු එන්නත් සංවර්ධන අධ්‍යක්ෂ සහ එම පදනමට අයත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (Bill & Melinda Gates Medical Research Institute) වත්මන් ප්‍රධාන විධායක නිලධාරි පෙනී හීටන් (Penny Heaton) වසර 15 කට අධික කාලයක් තිස්සේ නොවාර්ටිස් (Novartis), මෙර්ක් (Merck) සහ නොවොවැක්ස් (Novovax)යන ඖෂධ සමාගම්වල එන්නත් සඳහා සායනික සහ සංවර්ධන පර්යේෂණයන්හි නිරත වූ තැනැත්තියකි.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ගෝලීය සෞඛ්‍ය සඳහා අධ්‍යක්ෂ ට්‍රෙවෝ මුන්ඩල් (Trevor Mundel) නොවාර්ටිස් (Novartis) සහ ෆයිසර් (Pfizer)යන සමාගම් දෙකෙහිම නායකත්ව තනතුරු දරා ඇත. ඔහුට කලින් ගේට්ස් පදනමේ එම තනතුර හොබවන ලද ටාචි යමාඩා (Tachi Yamada) ඊට කලින් ගලැක්සෝස්මිත්ක්ලයින් (Glaxo Smith Kline – GSK) සමාගමේ ඉහළ විධායක නිලධාරියෙකු ලෙස තනතුරු දරා ඇත.
ගේට්ස් පදනමේ ප්‍රධාන සන්නිවේදන නිලධාරි ලෙස කටයුතු කරන කේට් ජේම්ස් (Kate James ) ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GlaxoSmithKline-GSK) සමාගමේ වසර 10ක් සේවය කර ඇත. මෙවැනි අනන්තවත් උදාහරණ දැක්විය හැකිය. මෙම සියලු සමාගම් තුළ ගේට්ස් පදනම සෘජුව ආයෝජනය කර ඇත.

වමේ ගේට්ස් පදනමේ හිටපු ගෝලීය සෞඛ්‍ය සභාපති ටාචි යමාඩා දකුණේ ගේට්ස් පදනමේ වත්මන් ගෝලීය සභාපති ට්‍රෙෙවා් මුන්ඩල් මොවුන් දෙදෙනාම කලින් ඖෂධ සමාගම්වල විධායක තනතුරු දැරූවන්ය

ගේට්ස් පදනම පිහිටවා ටික කලකින්ම එය විසින් ඖෂධ සමාගම් කිහිපයකම කොටස් හිමිකාරත්වය ලබාගන්නා ලදි. “ද නේෂන්” (The Nation) පුවත්පත විසින් මෑතකදී කරන ලද විමර්ශනයකට අනුව ගේට්ස් පදනම සතුව වර්තමානයේදී මෙර්ක් (Merck), ගලැක්සෝ ස්මිත් ක්ලයින් (GlaxoSmithKline – GSK), එලි ලිලී (Eli Lilly), ෆයිසර් (Pfizer), නොර්වාටිස් (Novartis) සහ සැනොෆි (Sanofi)යන ඖෂධ සමාගම්වල සමාගම් කොටස් සහ බැඳුම්කර සතුව ඇත.
ගේට්ස් පදනම විසින් සිය වෙබ් අඩවිය තුළ විවෘතවම පළ කර ඇත්තේ එන්නත් නිෂ්පාදක සමාගම් සමග එක්ව “අන්‍යෝන්‍ය වාසි සහගත අවස්ථාවන්” හඹායෑම තම කාර්යභාරයක් බවයි.

ගේට්ස් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය මිලදී ගනී!

ලෝක සෞඛ්‍ය සංවිධානය රඳා පවතිනුයේ ආදායම් මාර්ග දෙකක් මතය. එකක් නම් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික රටවලින් ලැබෙන අනිවාර්ය දායක මුදලයි. මෙය ඒ ඒ රටේ ජාතික ආදායම සහ ජනගහණය අනුව තක්සේරු කරනු ලැබේ. දෙවැනි ආදායම් මාර්ගය නම් ස්වේච්ඡා සහගත මුදල් දායකත්වයන්ය. මෙම දායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අදාළ දායකයා විසින් එකඟවනු ලබන විශේෂිත අරමුණු සඳහා ලබා දෙනු ලැබේ. විශේෂ ස්වේච්ඡා දායකයන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැය වලින් 80%කට වැඩි ප්‍රමාණයක් දරනු ලබයි. වෙනත් වචනවලින් කිවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආදායමෙන් බහුතරයක් පැමිණෙනුයේ පුද්ගලික දායකයන්ගේ අවශ්‍යතාවන් සමග ගැටගැසෙමිනි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බොන්හි ලා ට්‍රොබා විශ්ව විද්‍යාලයට අනුබද්ධ මහජන සෞඛ්‍ය විද්‍යාලයේ (School of Public Health at La Trobe University in Melbourne) ආචාර්ය ඩේවිඩ් ලෙගේ (Dr. David Legge) විසින් Grayzone සමග පවසන ලද අන්දමට “ සාමාජික රටවලින් ලැබෙන අනිවාර්ය දායකත්ව මුදල්වලින් ආවරණය වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිපාලන වියදම් පමණි. එය විසින් කිසිදු ව්‍යාපෘතියක් සඳහා වියදම් නොකරයි. එහි අර්ථය වන්නේ සියලුම ව්‍යාපෘතින් සඳහා වියදම් තීරණය කරන්නේ පුද්ගලික දායකයන්ගෙන් ලැබෙන පරිත්‍යාගයන් විසින් බවයි. මෙවැනි පරිත්‍යාග වෙන් කරනු ලබන්නේ එය වෙන්කළ යුත්තේ කුමන ව්‍යාපෘතියකටදැයි යන්න ගැන අදා‍ළ දායකයා විසින් ගනු ලබන තීරණය මතය.”
මෙම ස්වේච්ඡා සහගත දායක මුදල් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 වසරේදී ඩොලර් මිලියන 70කට වැඩි ප්‍රමාණයක් ඖෂධ නිෂ්පාදන සමාගම්වලින් ලබාගෙන තිබිණි.(පසුගිය වසර සඳහා සම්පූර්ණ දත්ත පවතී). මේ අතර ගේට්ස් පදනම ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත බලපෑම් සිදුකිරීමට ඖෂධ නිෂ්පාදන සමාගම්වලට අවශ්‍ය පහසුකම් සලසන වාහකයා බවට පත්වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මාගරට් චෑන් සහ බිල් ගේට්ස්

2018 වසරේදී පමණක් ගේට්ස් පදනම විසින් ඩොලර් මිලියන 237.8 ක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇත. එය දෙවැනි වන්නේ එක්සත් ජනපද රජය විසින් ලබා දෙන වාර්ෂික දායක මුදලට පමණි.
ගේට්ස් පදනම විසින් එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ගෝලීය සන්ධානය (Global Alliance for Vaccines and Immunizations – GAVI) හරහා වක්‍රව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අරමුදල් ලබා දෙයි. GAVI යනු දුප්පත් රටවලට අඩු මුදලට එන්නත් විකුණන “පොදු සහ පුද්ගලික හවුලකි (public-private partnership).” එය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අරමුදල් සපයන රාජ්‍ය නොවන දායකයන් අතරින් දෙවැනි ආයතනය ( පළමු වැන්නා ගේට්ස් පදනමයි) වන අතර එය විසින් 2018 වසර සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඩොලර් මිලියන 158.5ක් ලබා දී තිබේ.
1990 දශකයේ පසුභාගයේදී බිල් ගේට්ස් විසින් අනුග්‍රහය දක්වන රැස්වීම් මගින් මෙම GAVI සංවිධානය බිහිවීමේ පදනම සකස් කෙරුණු අතර එහි ආරම්භක ප්‍රාග්ධනය ඩොලර් මිලියන 750ක් විය. 90 ගණන්වල සිට මේ දක්වා ගේට්ස් පදනම විසින් GAVI වෙත ඩොලර් බිලියන 4.1ක් ලබා දී ඇත. මෙය GAVI අරමුදල්වලින් 20% ක් පමණ වේ. GAVI හි විධායක සභාව තුළ ගේට්ස් පදනමට ස්ථාවර අසුනක් හිමිව තිබේ.

GAVI එය විසින්ම අනාවරණය කර ඇති පරිදි “ එන්නත් වෙළෙඳ පොල හැඩ ගැස්වීමට ගනු ලැබූ උත්සාහයන් තුළ ගේට්ස් පදනම විසින් තාක්ෂණික සහ මුල්‍යමය යන භූමිකාවන් දෙකම රඟදක්වා ඇත.”
GAVI සංවිධානය උදාහරණයක් ලෙස දක්වමින් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දේශපාලන ක්‍රියාකාරිකයන් කණ්ඩායමක් වන Global Health Watch විසින් විස්තර කරනු ලැබුවේ “ ලෝකයේ සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධාන සියල්ල ගේට්ස් පදනම වෙත වගකීමට බැඳී සිටිනවා විනා ගේට්ස් පදනම ඔවුන්ට වගකීමට බැඳී නැත.” යනුවෙනි.
මේ අනුව GAVI යනු ගේට්ස් විසින් මෙහෙයවන තවත් සංවිධානයක් බව පැහැදිලිය.
ගේට්ස් පදනම සහ GAVI සන්ධානය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සපයන අරමුදල්වල එකතුව සළකා බලන්නේ නම් ඒ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වැඩිම දායක මුදලක් සපයමින් සිටි එක්සත් ජනපද රජය විසින් ලබා දෙන දායක මුදලටත් වඩා අධිකය. එමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වැඩිම අරමුදලක් සපයන අනුග්‍රාහකයා බවට නොනිල වශයෙන් ගේට්ස් පදනම පත්ව තිබේ. ඒ ට්‍රම්ප් විසින් එක්සත් ජනපද රජය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමේ කරවීමේ තීරණය ගැනීමටත් පෙරය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ වසර 18ක් සේවය කළ සමාජ විද්‍යාඥ ඇලිසන් කේට්ස්ට අනුව“ ලෝක සෞඛ්‍ය සංවිධානය නවලිබරල්වාදී ගෝලීයකරණයේ ගොදුරක් බවට පත්ව තිබේ. වසර 2007 දී එවකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි මාගරට් චෑන් වෙත ලිපියක් ලියමින් ඇලිසන් කේට්ස් පොදු මහජන සංවිධාන තමන්ට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට විවිධ කූට ව්‍යාපාරික අරමුණු සහිත “පුද්ගලික අංශය” සහ “ප්‍රසිද්ධ දානපතියන්ගේ පදනම් ආයතන” වෙත හිඟමනේ යාම දැඩිව ලෙස විවේචනය කළාය.
අප විසින් පැහැදිලි කර ගත යුත්තේ පුද්ගලික සංවිධාන සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීප මුල්‍ය සම්බන්ධතාවන් හුදෙක් පෙරළා යම් වාසියක් අපේක්ෂාවෙන් දෙනු ලබන (quid pro quo) මුල්‍යාධාර වන්නේ නම් පමණක් එය ගැටළු සහගත වන බවයි. සැබැවින්ම දැන් සිදුවෙමින් පවතින්නේ ද එයයි.

වන්දනා ශිවා : “ගේට්ස් පදනම හේතුවෙන් ස්වාධීන රාජ්‍යයන් එකක් පසු පස එකක් ලෙස සිය ස්වාධීනත්වය පාවා දෙන අයුරු මම නිරීක්ෂණය කර ඇත්තෙමි.”

ගේට්ස් පදනම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සපයනු ලබන අරමුදල් කිසියම් නිශ්චිත ව්‍යාපෘතියක් සඳහා පමණක් භාවිතා කළ හැකි අතර එම ව්‍යාපෘතිය කුමක්දැයි තීරණය කිරීමේ හැකියාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත නැත. එය තීරණය කරනු ලබන්නේ ගේට්ස් පදනම විසිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත බොහෝ අරමුදල් ලැබෙන්නේ පෝලියෝ මර්දන වැඩසටහනටය. එයට හේතුව ගේට්ස් පදනම විසින් සිය අරමුදල් බොහොමයක් පරිත්‍යාග කරන්නේ නිශ්චිතවම ඒ කටයුත්ත සඳහා වීමය.
ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ගේට්ස් පදනම සපයන මුල්‍ය දායකත්වයේ අති විශාලත්වය සහ එහි බලපෑම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තෝරා පත් කර නොගන්නා ලද සහ නොනිල නායකයා බවට බිල් ගේට්ස් පත්ව තිබේ. 2012 ලෝක සෞඛ්‍ය සම්මේලනය(World Health Assembly – WHA) විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ න්‍යාය පත්‍රය තුළට “ගෝලීය එන්නත් කරණ සැලසුම” ඇතුළත් කරන ලද්දේ එනිසාය. මේ න්‍යාය පත්‍රයේ සමකර්තෘ අන් කිසිවෙක් නොව ගේට්ස් පදනමයි.
මෙල්බොන්හි ලා ට්‍රොබා විශ්ව විද්‍යාලයට අනුබද්ධ මහජන සෞඛ්‍ය විද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් ලෙගේ ට අනුව“ බිල් ගේට්ස් ගේ මුල්‍ය පරිත්‍යාග වූකලී සැබැවින්ම ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීමකි.” Grayzone වෙත ඔහු වැඩිදුරටත් පැවසුවේ “ ඔහුගේ දැවැන්ත මුල්‍ය දායකත්වය විසින් ලෝක සෞඛ්‍ය සම්මේලනය සිය අයවැය තුළ සැබැවින් දීමට අපේක්ෂා කරන ප්‍රමුඛතාවන් විකෘති කරන.” බවයි.
Foreign Affairs සඟරාවට අනුව “ ප්‍රතිපත්තිමය මුලපිරීම් සහ ක්‍රියාකාරකම් සඳහා ප්‍රමිතීන් කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කරන ලද අතර ගේට්ස් පදනමේ කාර්ය මණ්ඩලය සමග පැවැති හදිසි හමුවකින් පසු ඒවා නොනිල වශයෙන් විසිකර දමන ලදි. 2017 දී Politico සඟරාව සඳහන් කළේ “ගේට්ස්ගේ ප්‍රමුඛතාවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතාවන් බවට පත් වී ඇත” යනුවෙනි.
එක් විශාල රාජ්‍ය නොවන සංවිධානයක සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරියෙකු Global Health Watch වෙබ් අඩවිය සමග පැවැසුවේ “ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිනිස්සුන්ට පිස්සු හැදිලා වාගේ පේන්නේ. හැම දේටම බිල් ගේට්ස්ට යේස් සර් යේස් සර් කියමිනුයි වැඩ කරන්නේ!” යනුවෙනි.
2007 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රධානියා වූ වෛද්‍ය අරාටා කෝචි(Dr. Arata Kochi) ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ ගේට්ස් පදනමේ මුල්‍ය ආධිපත්‍යය පිළිබඳව මෙසේ පවසමින් අනතුරු ඇඟවීය.“ ගේට්ස් පදනමේ මුදල් විසින් විශාල අනපේක්ෂිත ප්‍රතිඵල ඇති කරනු ලැබීමට ඉඩ තිබේ.”

ඉන් වසර 7 කට පසුව 2017 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාගරට් චෑන් පැවසුවේ “ලෝක සෞඛ්‍ය සංවිධානයේ වියදම් පූර්ව නිශ්චිත ඒවා බැවින් ඒවා මෙහෙයවෙන්නේ ඒවා දෙනු ලබන පුද්ගලයන්ගේ අවශ්‍යතාවන්ට අනුවයි.”

ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස්: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම පුටුවට එහෙයියෙකු පත්කරගැනීම

ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස් (Tedros Adhanom Ghebreyesus)ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් බවට 2017 දී පත්වීමත් සමග නැවත වරක් ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බිල් ගේට්ස්ගේ බලපෑම් පිළිබඳ අවධානය යොමු විය.
ටෙඩ්‍රොස් මීට පෙර ගේට්ස් විසින් ආරම්භක මුල්‍ය අනුග්‍රහය දක්වමින් ගොඩ නගන ලද සංවිධාන දෙකක් වන GAVI සහ Global Fund යන සංවිධානවල විධායක සභාවන්වල තනතුරු දරා ඇති අතර එම සංවිධානවලට මේ දක්වා ගේට්ස් විසින් මුල්‍යාධාර සපයනු ලබයි.

එහි ආරම්භයේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ දක්වා පත්ව ඇති අධ්‍යක්ෂ ජනරාල්වරුන් සියල්ලම වෛද්‍යවරුන් වූ අතර ටෙඩ්‍රොස් වූකලී වෛද්‍යවරයෙකු නොවන පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයාය. ඔහු සිය ට්වීටර් ගිණුම් මගින් බිල් ගේට්ස්ට ප්‍රශස්ති ගයමින් සිටින අයුරු දැකිය හැකිය.

ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස් බිල් ගේට්ස්ට වන්දිභට්ටකම් කිරීම ආරම්භ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් බවට පත්වීමටත් බොහෝ කලෙකට පෙර සිටය. ඔහු ඉතියෝපියාවේ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටිය දී බිල්ගේට්ස් හට අඩිස්  අබාබා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති ගෞරව උපාධියක් පිරිනමන ලදි. තමන්ගේ ගැති බව ඔප්පු කිරීමට ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස් විසින් බිල් ගේට්ස් වෙත පිරිනැමුණු මේ ශාස්ත්‍රපති උපාධියට කළගුණ සැළකීමක් ලෙසත් ඔහු ලවා ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවාගැනීමට පහසුවන නිසාත් බිල්ගේට්ස් ලොක සෞඛ්‍ය සංවිධානය මත තමන් සතු නොනිල ආධිපත්‍යය උපයෝගී කරගෙන 2017 දී ටෙඩ්‍රොස් අදානම් ගෙබ්‍රියේසස්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත් කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කිරීම සඳහා බිල්ගේට්ස් විසින් සේවයේ යොදවා ඇති අනෙක් යාන්ත්‍රණය නම් SAGE හෙවත් උපායමාර්ගික උපදේශනය සඳහා වන විශේෂඥ කණ්ඩායමයි (Strategic Advisory Group of Experts -SAGE). මෙම SAGE කණ්ඩායම ලෝක සෞඛ්‍ය සංවිධානයට එන්නත් සඳහා උපදෙස් සපයන ඉහළතම උපදේශක කණ්ඩායමයි. SAGE වූකලී පුද්ගලයන් 15 දෙනෙකුගෙන් සැදුම් ලද කණ්ඩායමකි. ඔවුන් විසින් මෙම තනතුරට පත්වීමට පෙර සිය රාජකාරිය ඉටු කිරීමට බාධාවන අයථා බලපෑම් එල්ලවිය හැකි සබඳතා (Conflict of interest )තමන්ට තිබේ නම් ඒවා සිය කැමැත්තෙන් හෙළිදරවු කිරීමට නීතියෙන් බැඳී සිටී. එනම් කිසියම් එන්නත් නිපදවන සමාගමක තමන් හෝ තම ඥාතියෙකු සේවය කර තිබේ නම් හෝ දැනට සේවය කරමින් සිටින්නේ නම් ද එවැනි සමාගම් සමග මොනම ආකාරයක සෘජු හෝ වක්‍ර පූර්ව ගනුදෙනු පැවතියේ නම් ද ඉහත උපදේශක සභාවලට තේරී පත්වීම එය නුසුදුසු කමක් වනු ඇත.

මෑතකදී පැවැති හමුවකදී මෙම SAGE උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් තම තමන්ගේ අවශ්‍යතා පිළිබඳ ගැටුම් හෙළිකළ යුතු අවස්ථාවේදී අනාවරණය කර සිටියේ තමන්හට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමග සම්බන්ධතා ඇති බවයි.
ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගේට්ස් පදනමේ බලපෑම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඔබ්බටද විහිදෙන්නෙකි. 2017 දී ගෝලීය සෞඛ්‍ය හවුල්කාරිත්වයන් 23ක් ගැන සිදු කර ඇති විශ්ලේෂණයකට අනුව ඉන් 7ක් සිය සම්පූර්ණ අරමුදල් සපයාගන්නේ ගේට්ස් පදනමෙන් වන අතර තවත් 9ක් සඳහා ප්‍රධාන මුල්‍ය අනුග්‍රහකයා ගේට්ස් පදනමයි.
බ්‍රිතාන්‍යය පදනම් කොට ගත් Global Justice Now නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් සඳහන් කර ඇති අන්දමට “ගේට්ස් පදනමේ බලපෑම් සහගත බව අතිශයින් ව්‍යාප්ත එකකි. ජාත්‍යන්තර සංවර්ධනය සම්බන්ධයෙන් වැඩකරන බොහෝ පුද්ගලයන් සහ සංවිධාන ගේට්ස් පදනමේ ප්‍රතිපත්ති සහ භාවිතය සම්බන්ධයෙන් විවේචනාත්මක ආකල්ප දැරුවද ඔවුහු ඒවා විවෘතවම ස්වාධීනව ප්‍රකාශ කිරීමට අසමත්ය. ඒ ගේට්ස් පදනම විසින් ඔවුන්ට ලබා දෙන අරමුදල් සහ අනුග්‍රහය නිසාය.”
“ ගේට්ස් පදනම සතු බලය සහ බලපෑම සමග සන්සන්දනය කිරීමේදී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අඟුටුමිට්ටන් වැනිය,” යි ආචාර්ය වන්දනා ශිවා Grayzone සමග පැවසුවාය.

මාධ්‍යය හීලෑ කරගැනීම

ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රවෘත්ති ආවරණයට බලපෑම් කිරීම සඳහා ගේට්ස් පදනම සිය ධනය යොදවමින් සිටියි. එමෙන්ම ගේට්ස් පදනමේ පිළිකුළ් සහගත අයහපත් ක්‍රියාකාරකම් යටපත් කිරීම සඳහා ද එවැනි උපක්‍රම අනුගමනය කරන බවට සැක කළ හැකිය.
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ඩොලර් මිලියන ගණනින් ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත සපයා තිබේ. ඒවා නම් NPR, PBS, ABC, BBC, Al Jazeera, the Daily Telegraph, the Financial Times, Univision, සහ The Guardian ඒ අතර ප්‍රධාන ඒවා වේ .The Guardian හි සම්පූර්ණ “Global Development” නම් සම්පූර්ණ විශේෂාංගයම පවත්වාගෙන යාමට මුල්‍ය අනුග්‍රහය සපයන්නේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසිනි.

ගාඩියන් මාධ්‍ය ආයතනයේ “ග්ලෝබල් ඩිවෙලොප්මන්ට්“ විශේෂාංගය පවත්වාගෙන යනුයේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙසය.

ගේට්ස් පදනම විසින් ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ කටයුතු සඳහාද මාධ්‍ය ආඛ්‍යානයන් කාර්යක්ෂ්ම ලෙස ගොඩනැංවිය හැක්කේ කෙසේද යන්න පර්යේෂණ සිදු කිරීම සඳහා ද ඩොලර් මිලියන ගණන් ආයෝජනය කර තිබේ. Seattle Times පුවත්පතට අනුව “ බිල් ගේට්ස් විසින් මුදල් සපයනු ලබන වැඩසටහන් මෙහෙයවන විශේෂඥයන් විසින් ලියනු ලබන තීරු ලිපි New York Times සිට Huffington Post දක්වා පුවත්පත් සහ වෙබ් අඩවි වල පළ වේ. ඒ අතර ඩිජිටල් ද්වාරය විසින් ජනමාධ්‍යවේදය සහ ප්‍රචාරක කටයුතු අතර වෙනස දියකර හැර තිබේ.”

2008 දී PBS NewsHour හි සන්නිවේදන ප්‍රධානියා වන රොබ් ෆ්ලින් (Rob Flynn) මෙසේ විස්තර කළේය. “ බිල්ගේට්ස් විසින් මොන විදිහකට හරි අත නොගහපු තැනක් ඔබට ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ දිනවල සොයාගත නොහැකිය.” ගේට්ස් පදනම විසින් ගෝලීය සෞඛ්‍ය පිළිබඳ වැදගත් කරුණු වාර්තා කිරීමට පූර්ණකාලීන නිෂ්පාදන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා NewsHour වෙත ඩොලර් මිලියන 3.5ක් ප්‍රදානය කරනු ලැබුවේ ද මේ දිනවලමය.

මාධ්‍ය නිදහස් පදනම (Media Freedom Foundation) නම් සංවිධානයේ සභාපති මිකී හෆ් (Mickey Huff) විසින් Grayzone වෙත පවසන ලද්දේ “ගේට්ස් පදනම සිය බලපෑම් යොදවනු ලබන්නේ බොහෝ විට එවැනි පදනම් ආයතන විසින් සිදු කරනු ලබන පරිදි පුද්ගල සම්බන්ධතා පිළිබඳ උපදේශක ආයතන (PR firms) හරහා, වරප්‍රසාද සහ මහාචාර්යවරුන් වෙත සිදු කරන පරිත්‍යාග ආදිය මගින්. එඩ්වර්ඩ් බර්නේස්ට මෙවැනි ප්‍රචාරක ව්‍යාපාරයන්ගේ සාර්ථකත්වය ගැන සතුටු විය හැකිය”
බිල් ගේට්ස් පදනම පිළිබඳ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය විසින් සිදුකරන දීප්තිමත් ආවරණයේ එක සමාන බවක් දක්නට ලැබීම සහ ගෝලීය දකුණේ දිලිඳු රටවල් තුළ තුළ එය විසින් සිදුකරන අයහපත් ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍යවල අවධානය යොමු නොවීම එතරම් පුදුමයට කරුණක් විය යුතු නොවේ.

මාරාන්තික දෙබිඩි බව

දුප්පත් රටවල් සඳහා ගෝලීය සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ගොඩනැංවීමට ගේට්ස් පදනම වසර 20 ක් පමණ කාලයක් අෆ්‍රිකාවේත් දකුණු ආසියාවේත් වැඩ කරමින් සහාය දුන්නේය. ඖෂධ නිෂ්පාදක සමාගම් සමග ගේට්ස් පදනමේ ඇති සමීප සම්බන්ධතාව විසින් මේ වැඩ වලට විසිතුරු බවක් එක් කරන ලදි.

ගේට්ස් පදනමේ මෙහෙවර ප්‍රකාශනයේ “ අපි සියළු ජීවිත එක හා සමාන වටිනාකමකින් යුතු යැයි සළකමු“ සඳහන් වන නමුත් එහි මෑත කාලීන ඉතිහාසය තුළ සිදු කරන ලද සූරාකෑම් විසින් සනාථ කරන්නේ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. ගේට්ස් පදනම විසින් ගෝලීය දකුණේ දිළිඳු රටවල් සැළකුවේ සංවර්ධිත බටහිර රටවල ප්‍රමිතියට අනුව අනාරක්ෂිත යැයි සැළකෙන ඖෂධ විකුණා දැමිය හැකි කුණු කසල දමන බිම්කඩක් ලෙස සහ දියුණු රටවල භාවිතය සඳහා අනුමැතිය ලැබීමට පෙර ඖෂධ වර්ග අත්හදා බැලිය හැකි පරීක්ෂණ භූමියක් ලෙසත්ය.
බිල්ගේට්ස්ගේ ඊනියා “නියාමක වැඩ සටහන“ / ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්ව දියත් කරන ලද අප්‍රිකානු එන්නත් කරන වැඩ සටහන යනු ඩිප්තීරියා (diphtheria),පිටගැස්ම(tetanus), උත්කාසය හෙවත් කක්කල් කැස්ස(pertussis) යන රෝග සඳහා දෙනු ලබන DTP එන්නතයි. මෙම එන්නත ත්‍රිත්ව ප්‍රතිශක්තිකරණ එන්නත් ගොනුවකි. එය අප්‍රිකානු මහාද්වීපයේ සෑම ළමයෙකුටම ලබාදීමට කටයුතු කෙරෙමින් ඇති නමුත් වර්තමානයේදී එක්සත් ජනපදය තුළ හෝ වෙනත් දියුණු රටවල් තුළ එය භාවිතය සඳහා අවසරය හිමිව නැත.

1977 තරම් ඈත කාලයේදී බ්‍රිතාන්‍ය වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයක් The Lancet ජර්නලයේ පල කෙරිණි. මෙම අධ්‍යයනය මගින් තහවුරු කරන ලද්දේ මෙම අක්‍රිය කරන ලද පූර්ණ-පර්ටුසිස් සෛල අඩංගු එන්නත (whole-cell pertussis jab- DTwP) ) ) විසින් එන්නත ගන්නා පුද්ගලයාට ඇති කරන අවදානම අදාළ ස්වාභාවික බැක්ටීරියාව(wild pertussis) මගින් සිදු කරන ආසාදනයට වඩා බරපතල බවයි. මෙම DTP එන්නත විසින් සිදු කරන ලද මොළයට සිදුවන හානි, අපස්මාරය සහ ඒ මගින් සිදු වූ මරණ ආදිය පිළිබඳ පවා බරපතල ලෙස සාක්ෂි ගොඩගැසීමෙන් පසුව 1990 ගණන්වලදී එම එන්නත වෙනුවට “වඩාත් සුරක්ෂිත” යැයි කියන ලද එන්නතක් හඳුන්වා දෙන ලදි. මෙම නව එන්නත හැඳින්වෙන්නේ නිර්සෛල පර්ටුසිස් එන්නත හෙවත් DTaP එන්නත (acellular pertussis vaccine) යනුවෙනි. මෙම DTaPඑන්නතේ සම්පූර්ණ Bordetella pertussis බැක්ටීරියාව අඩංගු නොවන අතර එහි අඩංගු වන්නේ බැක්ටීරියාවෙන් වෙන් කරන ලද ( pertussis toxin, pertactin, fimbriae, adenylate cyclase වැනි)) තනි තනි සුවිශේෂිත ප්‍රෝටීන වලට අඩංගු ප්‍රතිදේහජනක එකතුවකි. කෙසේ වුව ද මෙම “ නව සුරක්ෂිත එන්නත” දියුණු බටහිර රටවල් කීපයක් තුළ දී හඳුන්වාදීමත් සමගම ඒ රටවල නැවතත් ඩිප්තීරියා ව්‍යාප්තවීම් වාර්තා වී තිබේ.”

කෙසේ වුව ද අප්‍රිකාවේ රටවල ආණ්ඩු වෙත මුදල් ආධාර දෙමින් තවමත් මෙම අතිශයින් අවදානම් සහගත DTP එන්නත් GAVI අනුග්‍රහය යටතේ අප්‍රිකානු ළමුන්ට ලබා දෙමින් පවතී.

කෙසේ වුව ද අප්‍රිකාවේ රටවල ආණ්ඩු වෙත මුදල් ආධාර දෙමින් තවමත් මෙම අතිශයින් අවදානම් සහගත DTP එන්නත් GAVI අනුග්‍රහය යටතේ අප්‍රිකානු ළමුන්ට ලබා දෙමින් පවතී.

2017 දී ඩෙන්මාර්ක් රජය විසින් අනුග්‍රහය සපයන ලද අධ්‍යයනයක් අනුව නිගමනය කෙරුණේ මෙම මාරක DTP එන්නත් මගින් මරණයට පත්වන අප්‍රිකානු දරුවන්ගේ සංඛ්‍යාව ඒ එන්නත් මගින් වැළැක්වීමට අපේක්ෂිත ඩිප්තීරියා රෝගය මගින් මරණයට පත්වන දරුවන්ගේ සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බවයි. මෙහිදී පර්යේෂකයන් විසින් අධ්‍යයනයට ලක් කරන ලද්දේ ගිනි බිසව් රාජ්‍යය තුළ මෙම එන්නත් භාවිතයට සහ එහි අතුරු ආබාධ, හානි, සහ කාර්යක්ෂමතාවට අදළ දත්තයන්ය. ඒ අනුව පෙනී ගියේ DTP එන්නත්කරණයට ලක්වන පිරිමි දරුවන් මරණය පත්වන සංඛ්‍යාව එන්නත් නොකරන ලද පිරිමි දරුවන් මරණයට පත්වන සංඛ්‍යාවට වඩා ආසන්න වශයෙන් හතර ගුණයක් (3.93) වන බවයි. DTP මගින් එන්නත් කරන ලද ගැහැණු දරුවන් මරණයට පත්වන සංඛ්‍යාව එන්නත් නොකරන ලද ගැහැණු දරුවන් මරණයට පත්වන සංඛ්‍යාව මෙන් 10 ගුණයකට (9.98) ආසන්න වන බවයි.
ඒ කෙසේ වුව ද ගේට්ස් පදනම විසින් වාර්ෂිකව මිලියන ගණනින් වියදම් කරමින් අප්‍රිකානු සෞඛ්‍ය සේවා පද්ධතින් වෙත මෙම DTP එන්නත භාවිතය දිගටම කරගෙන යාමට බල කිරීම නැවැත්වීමට මෙම ඉහළ යන මරණ සංඛ්‍යාවන් සමත් වී නැත.

පෝලියෝ මර්දනය කිරීම” තරම් ගේට්ස් පදනමේ සිත්ගත් වෙනත් සටන් පාඨයක් නැත. එහෙත් ගෝලීය දකුණේ දුප්පත් රටවලට ලබා දෙන පෝලියෝ ඖෂධ සහ දියුණු බටහිර රටවල භාවිතයේ යෙදෙන පෝලියෝ ඖෂධ අතර බරපතල වෙනසක් තිබේ. සජීවී පෝලියෝ වෛරසය අඩංගු මුඛය මගින් ලබා දෙන පෝලියෝ එන්නත (oral polio vaccine -OPV) ආසියාවේත් අප්‍රිකාවේත් රටවල් අතර බෙදා හැරීම සඳහා ගේට්ස් පදනම විසින් ඩොලර් බිලියනයකට වඩා වියදම් කර තිබේ. මෙම වෛරසයට ළමයාගේ බඩවැල් තුළ බහුගුණනය වීමේ හැකියාව ඇති අතර අයහපත් සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ එය ව්‍යාප්ත විය හැකිය. එහි අර්ථය මෙම OPV එන්නත මගින් පෝලියෝ රෝගය පුද්ගලයන් අතර ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි.
2017 දී කැලිෆෝනියා සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලය සහ ඊශ්‍රායෙලයේ ටෙල් අවිවි විශ්ව විද්‍යාලය විසින් මෙම OPV එන්නත ලබාගත් දුසිම් 2ක් පමණ වන පුද්ගලයන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයන්ට අනුව එම OPV එන්නත තුළ භාවිතා කරන ලද පෝලියෝ වෛරසය එහි ශක්තිය නැවත ලබාගෙන එය විසින්ම ව්‍යාප්ත වීමට පටන්ගන්නා බව පෙන්වා දී තිබේ.

මෑත වසරවලදී OPV එන්නත තුළ අඩංගු වෛරස් ප්‍රභේදය මගින් පක්ෂාඝාත තත්ත්වයට පත් වූ ළමුන් සංඛ්‍යාව ස්වාභාවික පෝලියෝ වෛරසය මගින් පක්ෂාඝාත තත්ත්වයට ගොදුරු වූ ළමුන් සංඛ්‍යාවට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබේ. සමග සම්මුඛ සාකච්ඡිවකට සහභාගි වෙමින් ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාවුල් ඇන්ඩිනෝ පැවසුවේ “ එය ඇත්තෙන්ම උනන්දුව ඇතිකරවන සුළු ප්‍රහේලිකාවක්, පෝලියෝ මර්දනයට යොදාගන්නා උපකරණයම ප්‍රශ්නය ඇතිවීමට හේතුව බවට පත්වී තියෙනවා.”
2000 දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් OPV එන්නත භාවිතය නවත්වන ලද නමුත් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් තුළ දී ගේට්ස් පදනම විසින් එම රටවල ආණ්ඩු වෙත සිදු කරන බලපෑම හේතුවෙන් මෙම OPV එන්නත භාවිතය දිගටම සිදුවේ.

කොංගෝවේ සහ පිලිපීනයේ පෝලියෝ රෝගය නැවත ව්‍යාප්ත වීම OPV එන්නත භාවිතයේ ප්‍රතිඵලයකි. 2005 දී ඔක්ස්ෆර්ඩ් හි බෝවෙන රෝග පිළිබඳ සායනික වාරිකයට (Oxford’s Clinical Infectious Diseases Periodical) අනුව චීනය, ඊජිප්තුව, හයිටි සහ මැඩගස්කර් යන රටවල පොලියෝ රෝගය ව්‍යාප්ත වීමට හේතුව වී ඇත්තේ මෙම OPV එන්නතයි. “ පෝලියෝ නැවත ව්‍යාප්තවීමේ එකම හේතුව ලෙස එය වැළැක්වීමට ලබා දෙන OPV එන්නත බවට නම් කිරීමට කාලය එළැඹෙමින් තිබේ ”යැයි ඔක්ස්ෆර්ඩ් වාරිකය වැඩිදුරටත් සඳහන් කරයි.
වසර කීපයකට පසුව එම ඔක්ස්ෆර්ඩ් වාරිකය තර්ක කළේ සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් දැනට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් භාවිතා කරන අක්‍රිය පොලියෝ එන්නත IPV (Inactive Polio Vaccine) වෙත යොමු විය යුතු බවටය. නමුත් OPV එන්නත දරුවන් ව පෝලියෝ රෝගීන් බවට පත්කරනවා පමණක් නොව එය විසින් පෝලියෝ ව්‍යාප්තිය නතර කිරීමටද අසමත්යැ යි එම වාරිකය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

2012 දී බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලය (British Medical Journal) මෙසේ වාර්තා කර තිබිණි.“ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ඉන්දියාවේ පවත්වාගෙන යනු ලබන පෝලියෝ මර්දන එන්නත් ව්‍යාපාරය මෑතකදී එම රට තුළ නැවතත් පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව වී තිබේ.”

ඉන්දියාවේ වෛද්‍යවරුන්ට අනුව එන්නත විසින් වෙනත් රෝගයක්ද ව්‍යාප්ත කර තිබේ. එනම් පෝලියෝ නොවන උග්‍ර පේශි දියවීමේ පක්ෂාඝාතය (non-polio acute flaccid paralysis -NPAFP) නම් රෝගයයි. මෙම රෝගය පැතිරයාමෙන් පසු 2000-2007 කාල සීමාව තුළ ළමුන් 490,000 පක්ෂඝාතයට හෙවත් අංශභාගයට ගොදුරුව තිබේ. මෙම වෛද්‍ය වරුන් විසින් පළ කරන ලද වාර්තාවක කියැවෙන්නේ ඉහත NPAFP රෝගී තත්ත්වයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් පසුව එම සංඛ්‍යාවන් පහළ වැටීමත් විසින් පෙන්නුම් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වාගෙන පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩ සටහන එයට හේතු වී ඇති බවයි.”

“NPAFP රෝගය පෝලියෝ රෝගයෙන් සායනික ලක්ෂණ අනුව වෙන්කර හඳුනාගත නොහැකි නමුත් එය පෝලියෝ රෝගය මෙන් දෙගුණයක් මාරාන්තිකයි. එය ඇත්තෙන්ම දිස්වන්නේ පෝලියෝ රෝගය ලෙසයි. නමුත් එම යෙදුම සෞඛ්‍ය අංශයේ සිටින්නවුන් බිය පත් කරනවා.” යි ස්ටැන්ෆෝර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ළමා ස්නායුවේදී කීත් වැන් හාරන් පැවසීය.
2012 දී  British Medical Journalහි රයිලි සඳහන් කළේ “ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාවේ පෝලියෝ අතුරුදහන් කර ඇත්තේ එයට වෙනත් නමක් යෙදීම මගිනි.” බවයි.
එම වසරේදීම වෛද්‍ය ආචාරධර්ම පිළිබඳ ඉන්දියානු ජර්නලය විසින් එන්නත් මගින් පෝලියෝ රෝගය ව්‍යාප්ත කිරීම සහ රෝගී තත්ත්වයේ දැවැන්ත පැතිරීම නිරීක්ෂණය කරන ලදි. එම ජර්නලය විසින් පහත පරිදි ඉන්දියාව තුළ “පෝලියෝ පිටු දැකිමේ ව්‍යාපාරය” ඇමෙරිකාව විසින් සිදු කළ ඉරාක ආක්‍රමණයට සමාන කර තිබේ..
“ එක්සත් ජනපදය ඉරාක යුද්ධය නැමැති ගොහොරුව තුළ ගිලී සිටින විට ජෝ ගැලොවේ යෝජනා කළේ දැන් ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර වහාම ඉරාකයෙන් ඉවත්වන ලෙසය. සමහර විට ඉන්දියාවේ පෝලියෝ මර්දන ව්‍යාපාරය සම්බන්ධයෙන් ( ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගේට්ස් පදනමවෙත ද ) යෝජනා කිරීමට ඇත්තේ එවැනි ගෞරවනීය උපායමාර්ගයක් භාවිතයේ යොදවන( එනම් වහාම රටින් පිටවන ලෙස) ලෙසය.”
කෙසේ වුවද ගේට්ස් පදනම සිය අරමුණේ රැඳී සිටියේය. ඔවුහු දිගටම OPV එන්නත නයිජීරියාව, පකිස්ථානය, ඇෆ්නිස්ථානය ආදි රටවල් ඇතුළුව ලෝකය පුරා බෙදාහැරීමට කටයුතු කරමින් සිටිති. පෝලියෝ එන්නත්කරණ ව්‍යාපාරය සිදු කළ යුතු යැයි ගේට්ස් පදනම විසින් යෝජනා කරන රට කුමක් වුව ද, එතැනට වහාම ගොස් අසාමාන්‍ය මට්ටමින් තාක්ෂණික සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන ලදි.

2016 දී සිරියාව තුළ ගේට්ස් පදනම විසින් සහාය දෙන ලද සහ GAVI විසින් සපයන ලද ඩොලර් මිලියන 25ක මුල්‍ය අනුග්‍රහය මත පෝලියෝ මර්දන ව්‍යාපාරයක් පටන් ගන්නා ලදි. වසරකට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ම වාර්තා කළේ තම එන්නත් කරණ ව්‍යාපාරය මගින් සිරියාවේ ළමුන් 58 දෙනෙකු එන්නත මගින් මුදාහරින ලද පෝලියෝ වෛරසය නිසා අංශභාගයට ගොදුරු වූ බවයි.
OPV එන්නතට එරෙහිව විද්‍යාත්මක දැනුම කුමක් වුවද, එම එන්නතට එරෙහිව ඒ ඒ රටවල පැන නගින විරෝධතාව කුමක් වුවද ඒවා නොතකා හැර OPV එන්නත අප්‍රිකාවේත්, මැදපෙරදිගත්, දකුණු ආසියාවේත් බෙදාහැරීම දිගටම සිදු කරන ලදි. එය “ආධාර.” වැඩ සටහන්වල කොටසක් විය. නැත හොත් ආධාර සඳහා පූර්ව කොන්දේසියක් විය. සිය නිෂ්පාදන වෙනත් තැන්වලට අලෙවි කරගත නොහැකි ඖෂධ සමාගම්වලට මෙය ලාභ ගැරීමේ මහඟු අවස්ථාවක් විය.

බටහිර විසින් විසි කර දමන ඖෂධ- අප්‍රිකානු ස්ත්‍රිය හමුවේ ඇති තෝරාගැනීමේ අවස්ථාවන් පිළිබඳ මායාව

භයානක ඖෂධ ගෝලීය දකුණේ රටවල් වෙත තල්ලු කර දැමීමේ ගේට්ස් පදනමේ භාවිතය එන්නත් වලට පමණක් සීමා වී නැත. දිගුකාලීන ක්‍රියාකාරි ප්‍රතිවර්ත්‍ය උපත්පාලන ( long-acting reversible contraceptives – LARCs) ඖෂධ බෙදා හැරීම සඳහාද ගේට්ස් පදනම සහාය වෙමින් සිටී..
මෙලින්ඩා ගේට්ස් නිතරම පවසන්නේ LARCs උපත්පාලන ඖෂධ දිලිඳු රටවල ස්ත්‍රීන් සවි ගැන්වීමේ මාර්ගය බව සහ එමගින් ඔවුනට සිය ජීවිතය පිළිබඳ පාලනය සියතට ගැනීමේ හැකියාව වැඩි වන බවයි. කෙසේ වුව ද මෙම සමහර LARCs ඖෂධ බරපතල අතුරු ආබාධ ගෙන දෙයි. මෙම අතුරු ආබාධවල අවදානම ගැන ස්ත්‍රීන්ව දැනුවත් නොකර මෙම ඖෂධ ඔවුන් අතර බෙදා හැරීම විසින් ඔවුන්ට ඒවා භාවිතය පිළිබඳ ස්වයංව තීරණය ගැනීමට ලබා දෙන්නේ පටු ඉඩකි.

එක් උදාහරණයක් නම් නොර්ප්ලාන්ට්(Norplant) නම් සමට යටින් උපත්පාලන ඖෂධ අඩංගු කැප්සූලයක් තැන්පත් කරන ක්‍රමවේදයයි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ Schering නම් සමාගම වන අතර දැන් එම සමාගම Bayer සමාගම විසින් මිලදී ගෙන තිබේ. මෙම නොර්ප්ලාන්ට් මගින් වසර 5ක කාලසීමාවක් සඳහා ගැබ් ගැනීම වළකාළිය හැකිය. එය ඇමෙරිකාවේ වෙළඳපොලෙන් 2002 දී ඉවත් කරන ලද්දේ එය භාවිතය හේතුවෙන් නොයෙකුත් ආබාධවලට ලක්වූ 50‍,000කට අධික ස්ත්‍රීන් විසින් එය නිෂ්පාදනය කරන සමාගමටත් එම ඖෂධ නිර්දේශ කළ වෛද්‍යවරුන්ටත් එරෙහිව නඩු පැවරීම හේතුවෙනි. මෙම නඩුවලින් 70ක් ඖෂධය මගින් ඇතිකරන ලද මානසික අවපීඩනය, නිතර ඔක්කාරයට ඒම, හිස කේ වැටීම, ගර්භාෂයේ විසප්පු හට ගැනීම, මිග්‍රේන්ස්, සහ අධික ලෙස රුධිර වහනය ආදි අතුරු ආබාධ සම්බන්ධයෙන් පවරන ලද ඒවා වේ.
ගේට්ස් පදනමේ මුල්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මානව සංවර්ධනය පිළිබඳ වෙබ් අඩවියක් වන Degrees වරෙක මෙම ඖෂධය ගැන මෙසේ සඳහන් කර තිබිණි.“ නොර්ප්ලාන්ට් කිසිවිටෙකත් ගෝලීය වශයෙන් ආකර්ෂණයට ලක් වූයේ නැත. මක්නිසාද යත් එය ඇතුළත් කිරීම සහ ඉවත් කිරීම වේදනාකාරී වූ බැවිනි.”

කෙසේ වුවද පසුව මෙම අනතුරු දායක ඖෂධය මඳ වශයෙන් වෙනස්කර එය Jadelle නමින් අලුතෙන් හඳුන්වමින් ගේට්ස් පදනම විසින් යූඑස්ඒඩ් (USAID) සහ එන්ජෙන්ඩර්හෙල්ත්(EngenderHealth) නම් සංවිධාන සමග එක් වී අප්‍රිකාවේ බෙදා හරින ලදි. එන්ජෙන්ඩර්හෙල්ත් නම් සංවිධානයේ කලින් නම මානව තත්ත්වය යහපත් අතට හැරවීම සඳහාවන වන්ධ්‍යාකරණ සංගමයයි(Sterilization League for Human Betterment). මෙම එන්ජෙන්ඩර්හෙල්ත් සංවිධානයේ මූලික අරමුණු සඳහා ඔවුන් ආදර්ශයට ගෙන ඇත්තේ ජාතිවාදී විද්‍යා විරෝධී ඉයුජෙනික්ස් (eugenics) නම් කල්ලියක දැක්මයි.( මෙම ඉයුජෙනික්ස් වරුන් ගේ දැක්ම වූයේ ලෝක ජනගහනයෙන් බහුතරයක් මිනිසාගේ සංවර්ධනය සඳහා අප්‍රයෝජනවත් ආහාර බුදින්නන් රැසක් හෙවත් “useless eaters” බවය.එහෙයින් ලෝක ජනගහණය කවර ක්‍රමයකින් හෝ අඩු කළ යුතුව ඇතැයිද එමගින් ශේෂ වන සුළු පිරිස ජීව විද්‍යාත්මකව වර්ධනය කළ හැකිය යනුවෙන් ද ඔවුහු විශ්වාස කළහ.)
Jadelle උපත්පාලන ඖෂධය භාවිතා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය විසින් අවසර දී නැත.

සටහන:   Jadelle උපත්පාලන ඖෂධය ශ්‍රි ලංකාව තුළ මේ දක්වා භාවිතය ගැනේ.  2009 වසරේදී ශ්‍රි ලංකා රජයේ හමුදාවන් විසින් උතුරු නැගෙනහිර දෙමළ ස්වයංපාලන ප්‍රදේශ අත්පත් කරගත් පසුව එහි ජීවත් වූ දෙමළ ස්ත්‍රීන් මත මෙම උපත්පාලන ක්‍රම බලහත්කාරයෙන් යෙදවූ බවට ග්‍රවුන්ඩ්වීව් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි. මෙම බලහත්කාරි වන්ධ්‍යකරණය ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රි ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මිලිටරිය ඒකාබද්ධව කටයුතු කර ඇත. එමෙන්ම ශ්‍රි ලංකාව තුළ එහි මධ්‍යම කඳුකරයේ වතු ආශ්‍රිතව සේවය කරන ඉන්දීය සම්භවයක් යුතු දෙමළ ස්ත්‍රීන් සිය පළමු දරු ප්‍රසූතියෙන් පසුව ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වන්ධ්‍යාකරණයට ලක් කිරීමේ වැඩ සටහනක් වතු රෝහල් හරහා ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විවිධ ජාත්‍යන්තර සහ දේශිය රාජ්‍ය නොවන සංවිධානවල සහායෙන් දැනට දශක ගණනාවක සිට ක්‍රියාත්මක කරමින් සිටියි. ඩිපො-ප්‍රොවේරා ශ්‍රි ලංකාව තුළ 1978 සිටම භාවිතා කරනු ලබයි. මැදපෙරදිග සේවයට යන කාන්තාවන් සඳහා මෙම වන්ධ්‍යකරණ එන්නත ගැනීම නොනිල වශයෙන් අනිවාර්ය කර ඇති අතර එය සිදුවන්නේ රැකියා ඒජන්තයන් මගිනි.

පරිවර්තක

මීළඟට ඇත්තේ ෆයිසර් සමාගමේ ඩිපො- ප්‍රොවේරා (Depo-Provera) නම් එන්නත් කළ හැකි උපත් පාලන ඖෂධයයි. මෙය අප්‍රිකානු සහ ආසියානු රටවල් කීපයක් තුළ භාවිතා කෙරී ඇත. ගේට්ස් පදනම සහ යූඑස්ඒඩ් (USAID) නැවතත් සහයෝගයෙන් කටයුතු කරමින් එම ඖෂධ බෙදාහැරීමට සහ හඳුන්වා දීමට අරමුදල් සපයන ලදි. අනතුරුව ඒවා උගන්ඩාව,බූර්කිනා පාසෝ, නයිජීරියා, නයිගර්, සෙනෙගාල්, බංග්ලාදේශ් සහ ඉන්දියාව යන රටවල සෞඛ්‍ය සේවා පද්ධති හරහා ජනතාව අතර බෙදාහරින ලදි.

2012 දී මෙලින්ඩා ගේට්ස් ඩිපො-ප්‍රොවේරා වැනි උපත්පාලන ඖෂධ මිලියන 120ක් 2020 වන විට ස්ත්‍රින්ට ලබාදීමට පොරොන්දු වූ අතර එහිදී එක් අයෙකු සඳහා ඩොලර් 100-300 වසරකට වැයවේ. 2017 දී මෙලින්ඩා ගේට්ස් Medium වෙබ් අඩවියට ලියමින් ඇය සහ ඇගේ හවුල්කරුවන් ඇය විසින් 2012 දී දෙන ලද පොරොන්දුව ඉටු කරමින් සිටින බව ද ඒ සඳහා අතිරේක ඩොලර් මිලියන 375ක් ද වෙන් කරන බව සඳහන් කර ඇත. එහි අදහස වන්නේ ෆයිසර් සමාගම ඩොලර් බිලියන 14 සහ 36 අතර අති විශාල මුදලක් මේ මගින් උපයාගෙන ඇති බවයි.

ඩිපො -ප්‍රොවේරාහි ක්‍රියාකාරි රසායනික සංඝටකයක්වන ඩිපොට් මෙඩ්‍රොක්සිප්‍රොජෙස්ටෙරොන් ඇසිටේට් (depot medroxyprogesterone acetate -DMPA) විසින් ඇති කරනු ලබන අතුරු ආබාධ අතර යමෙකු මරණයට පත් කළ හැකි ලේ කැටිති පෙනහළු තුළ ඇතිවීම, අන්ධභාවය සහ පියයුරු පිළිකා ප්‍රධාන තැනක් ගනී.
තනි මාත්‍රාවක් භාවිතයට නිර්දේශිත ෆයිසර් සමාගමේ සයානා ප්‍රෙස් (Sayana Press)නම් මෙම ඖෂධය ජනතාව අතර බෙදාහැරීමට නියමිතව ඇත්තේ “ප්‍රජා සෞඛ්‍ය සේවකයන්” විසිනි. එහෙත් සෙනෙගාලයේ මෙම ප්‍රජා සෞඛ්‍ය සේවකයන් ගෙන්අඩක් පමණ අධ්‍යාපනය ලබා ඇත්තේ 6 වන ශ්‍රේණිය දක්වා පමණි.
සෞඛ්‍ය සේවකයන්ට නීත්‍යානුකූලව මෙම උපත්පාලන ඖෂධය බෙදාහැරීමට හැකිවන පරිදි නීතිය වෙනස් කිරීමට සෙනෙගාලයේ සෞඛ්‍ය ඇමැතිවරයාට බල කෙරිණි. ජනගහණ පර්යේෂණ ආයතනය (Population Research Institute) පවසන පරිදි යූඑස්ඒඩ් විසින් අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම තීරණය ගැනීම සඳහා රජයට දැඩි ලෙස බල කරන ලදි.

මෙයට අමතරව සයානා ප්‍රෙස් ඖෂධය සඳහා වන පුහුණු වැඩසටහන්වලදී බෙදා හරින ලද උපදෙස් පත්‍රිකා තුළ depot medroxyprogesterone acetate -DMPA සංඝටකයේ සියළු අතුරු ආබාධ පිළිබඳ විස්තර සපයා තිබුණේ නැත. මෙය ඖෂධය භාවිතයේදී අදාල පුද්ගලයා හට සියළු තොරතුරු පිළිබඳ දැනුවත්ව එම ඖෂධය ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට ඇති අයිතිය පිළිබඳ මූලධර්මය උල්ලංඝණය කිරීමකි.මෙහි දී අදාළ ඖෂධය පිළිබඳ එහි අඩංගු සංඝටක, අතුරු ආබාධ, එය ගත හෝ නොගත යුතු සුවිශේෂි සෞඛ්‍ය තත්ත්වයන් ආදිය පිළිබඳව ඖෂධය ගනු ලබන තැනැත්තා දැනුවත් කිරීම ඖෂධය ගැනීමට යෝජනා කරන පාර්ශ්වයන්ගේ නීතිමය වගකීමකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයට අනුව depot medroxyprogesterone acetate -DMPA අඩංගු ඖෂධ රූමටික අක්‍රමිකතා රෝගවලින් පෙළෙන ස්ත්‍රීන් විසින් නොගත යුතුය. නමුත් USAID ආයතනය විසින් අරමුදල් සපයන ලද උගන්ඩාව තුළ සිදුකළ වැඩ සටහනේදී බෙදාහරින ලද රෝගීයා විසින් පිරවිය යුතු තොරතුරු පත්‍රිකාව තුළ එවැනි රෝගී තත්ත්වයන් පිළිබඳ ඉතිහාසය විමසා තිබුණේ නැත.

සයානා ප්‍රෙස් ඖෂධය ස්ත්‍රීන් වෙත ලබා දෙන පුද්ගලයන්ව පුහුණු කරන්නන් වෙත ලබා දී තිබූ උපදෙස් පත්‍රිකා තුළ ද මෙම ඖෂධය ගැනීම විසින් අස්ථි වල ඝනත්වය අඩුකිරීමටද එමගින් ඒවා බිඳීයාමටද හේතු විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණේ නැත. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරිය (FDA) විසින් ඇමෙරිකාවේ ස්ත්‍රින්ව මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කර තිබූ නමුත් ඒ ගැන අප්‍රිකානු ස්ත්‍රීන් දැනුවත් කිරීමට කිසිවක්ම කර තිබුණේ නැත.
2015 දී ඉන්දියාවේ ස්ත්‍රිවාදින් සහ ශාස්ත්‍රවේදීන් පිරිසක් ඩිපෝ- ප්‍රොවේරා ඖෂධය ඉන්දියාව තුළ බෙදාහැරීමට එරට ඖෂධ පාලක අධිකාරියේ අනුමැතිය ලබාදීම පිළිබඳව සිය විරෝධය පළ කරමින් ලියැවිල්ලකට අත්සන් කළහ. ඔවුහු විසින් සිය ලියවිල්ල තුළ ඩිපෝ-ප්‍රොවේරාහි අතුරු ආබාධ වන අස්ථි ඝනත්වය තුනී වීම, තරබාරුබව ඇතිවීම, අසාමාන්‍ය රුධිර වහනය සහ මානසික අවපීඩනය ආදිය පිළිබඳව ප්‍රශ්න කර තිබිණි. “ස්ත්‍රී සංවිධාන දිගින් දිගටම මෙවැනි අනතුරුදායක උපත්පාලන ඖෂධ හඳුන්වාදීම ගැන විරෝධය පළ කර ඇති අතර අවදානම් සහගත අතුරු ආබාධ ගැන ස්ත්‍රීන් නිසි ලෙස දැනුවත් කර නොතිබිණි. එහෙයින් තමන් විසින් තෝරාගත යුතු උපත්පාලන ක්‍රමය කුමක්දැයි දැනුවත් තීරණයක් ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමිකර ඇත.” යි ඔවුහු තර්ක කළහ.
දේශියව ව්‍යාප්ත වූ විරෝධතාවන් කොතෙක් පැවතිය ද හානිදායක අතුරු ආබාධ ගැන සාක්ෂි ගොඩගැසෙමින් තිබුණ ද ගේට්ස් පදනම USAID ආයතනය සමග වැඩ කරමින් ඩිපෝ- ප්‍රොවේරා වැනි ඖෂධ බෙදා හැරීම දිගටම සිදු කරන ලදි.

ගෝලීය දකුණේ දුප්පත් රටවල ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීම
දුප්පත් රටවල ජනතාව මත අලුත් ඖෂධ පරීක්ෂා කිරීමට බිල්ගේට්ස් සිය බලපෑම් සහගත සම්බන්ධතා මෙවලමක් ලෙස යොදා ගනිමින් සිටියි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේත් (FDA), යුරෝපා සංගමයේ යුරෝපීය ඖෂධ ඒජන්සියේත්(EMA), බටහිර ධනවත් රටවල එවැනි වෙනත් ඒජන්සිවලත් කොන්දේසියක් වන්නේ නව ඖෂධයක් මහජනයා සඳහා නිකුත් කිරීමට පෙර එය මනුෂ්‍යයන් මත අදාළ කොම්පැණිය විසින් සාර්ථකව පරීක්ෂණයට ලක් කර තිබිය යුතු බවයි. මෙම පරීක්ෂණවල අවසාන සහ 3 වන අදියර වන්නේ සායනික පරීක්ෂණ අදියරයි. එම අදියරේදී ඖෂධ සමාගම් විසින් විශාල ප්‍රමාණයක් මිනිසුන්ට එම ඖෂධ ලබා දෙමින් පාලිත අධ්‍යයනයන් සිදු කළ යුතුය. එම අධ්‍යනයන්ගේ ප්‍රතිඵල සාර්ථක යැයි අදාල ඖෂධ පාලක අධිකාරීන් විසින් තීරණය කරන්නේ නම් ඒවා වෙලෙඳ පොළට නිකුත්කළ හැකිය.
කිසියම් ඖෂධයක් සංවර්ධනය කිරීමේ දී එයට වැය කරන මුදලෙන් 90% ක්ම වැය වන්නේ අදියර 3 පරීක්ෂණවලදීය. නමුත් මෙම ඖෂධ සමාගම් එම වියදම් මගහැරීම සඳහා කරන්නේ එම 3 වැනි අදියරේ පරීක්ෂණ දුප්පත් රටවල ජනයා මත සිදු කිරීමයි.
එක්සත් ජනපදයේ  උපායමාර්ගික උපදේශනයේ යෙදෙන සමාගමක් වන මැක්කින්සි (McKinsey) විසින් යෝජනා කරන්නේ “ නව වෙළෙඳපොලවල් ” ඖෂධ පර්යේෂණයට යොදාගැනීම මගින් “ සැළකිය යුතු ආදායමක් අඩුවීම වළක්වාගත හැකි ” බවයි.

මැක්කින්සි සමාගමේ ගනුදෙනුකරුවෙකු වන ගේට්ස් පදනම විසින් සිය “ඉලක්කය” වූ කලී ඖෂධවල සුරක්ෂිතතාව පිළිබඳ පරීක්ෂණ මගහැරීම සඳහා ඖෂධ සමාගම්වලට උදව්කිරීම සහ ඖෂධ සමාගම් විසින් සඳහා වන ඖෂධ අනුමැතියේදී පිළිපැදිය යුතු ක්‍රියාදාමය කඩිනම් සහ ලිහිල් කිරීම” යැයි ඉතා පැහැදිලිව පැවසීම පුදුමයක් නොවේ. නැතහොත් ඔවුන් විසින් පවසා ඇති පරිදි “ එන්නත් වර්ග සඳහා අනුමැතිය ලබාගැනීමේදී සමත් විය යුතු කාලය සහ මුදල් නාස්තිකරන අවසාන සායනික පරීක්ෂණ අවදියට ඇතුළුවීමට පෙර කල්තබාම ඒවා සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් මතුවිය හැකි මැදිහත්වීම් සහ බාධාවන් ඉවත්කිරීම ඔවුන්ගේ ඉලක්කය වී ඇති බව” සනාථ වී තිබේ.
ඖෂධ පිළිබඳ සායනික පරීක්ෂණ සඳහා දුප්පත් ජනතාව යොදාගැනීම මුල්‍යමය වශයෙන් ලාභදායක වුව ද එය අනතුරුදායකද වීමට ඉඩ තිබේ. එවැනි අනතුරුදායක තත්ත්වයන් ගණනාවක් පිළිබඳ සඳහන් කිරීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු පුවත්පතක් විසින් එක්වරක් මෙසේ ප්‍රකාශ කරන ලදි “ අපව ඖෂධ නිෂ්පාදකයන්ගේ පරීක්ෂණාගාර මීයන් බවට පත්කර තිබේ”
ගේට්ස් පදනම විසින් අරමුදල් සපයන ලද සහ ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GSK) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පළමු මැලේරියා එන්නත සඳහා 2009 සිට 2011 දක්වා කාලය තුළ අදියර 3 සායනික පරීක්ෂණ අප්‍රිකානු රටවල් 7ක් තුළ පවත්වන ලදි. එම රටවල් නම් ඝානා, කෙන්යා, මලාවි, මොසැම්බික්, බුර්කිනා ෆාසෝ, ගැබොන් සහ ටැන්සානියාවයි.
2011 දී ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GSK) සමාගමේ දත්ත විසින්ම පෙන්නුම් කරන ලදි පරිදි ඉහත මැලේරියා එන්නත් ලබා දෙමින් පරීක්ෂණයට ලක් කළ ගැහැණු දරුවන් මරණයට පත්වීමේ අනුපාතය සාමාන්‍ය පාලිත කණ්ඩායමේ අනුපාතය මෙන් දෙගුණයකි. එමෙන්ම එන්නත ලද දරුවන් හට මෙනින්ජයටිස් රෝගය වැළඳීමේ අනුපාතය එන්නත නොලද දරුවන් අතර අනුපාතය මෙන් 10 ගුණයකි.
ඒ කෙසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් ඉහත ඖෂධය ඝානා, කෙන්යා, මලාවි යන රටවල දරුවන්ට ලබාදෙමින් සිටියි. ඒ එම එන්නත සඳහා නිල නොවන සායනික පරීක්ෂණයක කොටසක් ලෙසය. එම නොනිල වැඩ සටහන හැඳින්වෙන්නේ “ නියමු භාවිතය (pilot implementation)” නමින් වන අතර එය බිල් ගේට්ස් විසින් මෙහෙයවන SAGE විසින් නිර්දේශ කර ඇති වැඩසටහනකි)

මෙම එන්නත් ළමුන් සඳහා භාවිතයේ යොදන්නේ ඒ ඒ රටවල එන්නත්කරණ වැඩ පිළිවෙල යටතේ බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ දෙමව්පියන්ගේ කැමැත්ත යටතේ එය සිදුවන බවයි. එහෙත් දෙමව්පියන්ට නිතරම මේ එන්නත්වල අතුරු ආබාධ සහ අවදානම් සහගත බව ගැන විස්තර සැපයෙන්නේ නැත. බොහෝ විට පාසල් අධ්‍යාපනය පවා සම්පූර්ණ නොකළ දිළිඳු දෙමව්පියන් රජයේ සෞඛ්‍ය නිලධාරින් හෝ රාජ්‍ය නොවන සෞඛ්‍ය සංවිධානවල නිලධාරින් ඖෂධ සමාගම්වල අවශ්‍යතාව පරිදි තමන්ව හෝ තම දරුවන්ව පරීක්ෂණාගාර මීයන් තත්ත්වයට පිරිහෙළමින් විවිධ ඖෂධ අත්හදා බලන බව ඔවුහු කිසිවිටෙකත් නොසිතනු ඇත. එහෙයින් ඔවුහු ඖෂධයේ සංඝටක හෝ අතුරු ආබාධ ගැන කිසිදු ප්‍රශ්නයක් නොඅසාම එන්නත ලබාදෙන පුද්ගලයා පවසන දෑ පිළිගෙන තමන් එන්නත ලබාගන්නේ ( අදාළ පරීක්ෂණයට සහභාගිවන්නේ) සිය කැමැත්තෙන් බවට අදාළ පත්‍රිකා තුළ අත්සන් කරනු ඇත. සාක්ෂරතාව නොමැති අය ඇඟිළි සළකුණු තබමින් එකඟවනු ඇත.මෙය කිසි විටෙකත් දැනුවත් කැමැත්ත පළකිරීමක් ලෙස සැළකිය නොහැකිය.
බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ සහකාර සංස්කාරකවරයෙකු මේ ගැන මෙසේ පවසයි.“ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සිය කැමැත්ත යටතේ සිදුවන දෙයක් බව පැවසුවද එහි තේරුම තමන් ඖෂධයක හානි සහ කාර්යක්ෂමතාව පිළිබඳ පර්යේෂණයක් සඳහා යොදාගනිමින් ඇතිබව මෙම එන්නත ලබා ගන්නා පුද්ගලයන්ව දැනුවත් කර නොමැති බවයි.”
ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් (GSK)සහ මෙර්ක් (Merck) සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මානව පැපිලෝමා වෛරස් (Human Papillomavirus – HPV) එන්නත සඳහා සායනික අත්හදාබැලීම් සඳහා ගේට්ස් පදනම විසින් අරමුදල් සපයන ලදි. මෙම එන්නත ඉන්දියාවේ අති දුෂ්කර දුරබැහැර ප්‍රදේශවල වයස 9-14 අතර තරුණ ගැහැණු ළමුන් 23000 කට ලබා දෙමින් ඖෂධය අත්හදා බලන ලදි. මේ සඳහා ආරම්භක කටයුතු සුදානම් කරන ලද්දේ බිල්ගේට්ස්ගේ අනුග්‍රහය ලබන වැඩසටහනක් වන “ උචිත ඖෂධ සහ තාක්ෂණය සඳහා වන වැඩ සටහන (Program for Appropriate Health and Technology – PATH) විසිනි.
මෙම පර්යේෂණයට යොදාගත් ගැහැණු ළමුන්ද HPV ඖෂධයට අදාළ අතුරු විපාක සහ අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව ඔවුන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් හෝ භරකරුවන් නිසිපරිදි  දැනුවත් කිරීමකින් හෝ ඒ පිළිබඳ අවබෝධයකින් යුතුව දෙන ලද එකඟතාවකින් තොරව යොදාගෙන තිබිණි.

එසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලින්සේ මැක්ගෝයි (Linsey McGoey)ට අනුව “ මෙම HPV එන්නත ලබාදුන් බොහෝ ගැහැණු ළමුන් අන්ද්‍රා, ගුජරාට් සහ ඇසෑමයේ පාසල් නේවාසිකාගාරවල සිටි අය වූ අතර එන්නත ලබා දීමට ඔවුන්ව තෝරාගෙන තිබුණේ HPV එන්නත සඳහා දෙමව්පියන්ගේ කැමැත්ත ලබාගැනීමේ නෛතික අවශ්‍යතාව දැනුවත්ව මගහැර යාම එමගින් පහසු වූ බැවිනි.”
මෙම HPV එන්නත පිළිබඳ දැනුවත් කිරීමේ පත්‍රිකාව මුද්‍රණය කොට තිබුණේ ඉංග්‍රිසි බසින් පමණකි. එය කියවා තේරුම් ගැනීමේ හැකියාවක් සිය මව්බස පමණක් භාවිතාකරන මෙම දිළිඳු ගෝත්‍රික පවුල්වල ළමුන්ට නොතිබිණි.
තමන් ඖෂධ පර්යේෂණයකට යොදාගන්නා බව මේ ගැහැණු දරුවන් හෝ ඔවුන්ගේ දෙමවිපියන් වෙතින් සැඟවුව ද එය ඉතා පැහැදිලිවම HPV සඳහා වන එන්නත් 2ක් වෙනුවෙන් කළ සායනික පර්යේෂණ 2කි. ගුජරාටයේ ගැහැණු දරුවන් 10,000කට ලබා දුන්නේ Cervarix වූ අතර අන්ද්‍රා ප්‍රදේශයේ ගැහැණු දරුවන් 13,000කට ලබා දුන්නේ Gardasil එන්නතයි. එය යහපත් අරමුණුවලින් කරන ලද එන්නත්කරණ වැඩ පිළිවෙලක් නම් PATH සංවිධානය විසින් කළ යුතුව තිබුණේ අතුරු ආබාධ ඉතා අවම සහ කාර්යක්ෂ්මතාව ඉහළම ඖෂධය පමණක් මේ ළමුන්ට ලබා දීමය.
මෙම එන්නත් ගැනීමෙන් ළමුන් 7 දෙනෙකු මරණයට පත්වීමත් සමගම කාන්තා සහ ළමා අයිතීන් පිළිබඳ සංවිධානවල උද්ඝෝෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත පිළිබඳ පරීක්ෂණ ඉන්දියාවේ පුරවැසියන් යොදාගෙන ඉන්දියාව තුළ සිදු කිරීම අත්හිටුවන ලදි. කෙසේ වුව ද මේ පිළිබඳව ඉන්දියාවේ රජය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි නිගමනය වූයේ “ මෙම ගැහැණු දරුවන්ගේ මරණ සහ ඔවුන්ට ලබා දුන් එන්නත අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති” බවයි. මෙම ආදර්ශ පාඨය සියලු දූෂිත ආණ්ඩු විසින් ඖෂධ සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින් නිතර පවසන එකක් බව බොහෝ දෙනාට අමුතුවෙන් පැවසිය යුතු නැත. ඉන්දිය රජය මේ අයුරින් තමන්ව පාවා දීම හේතුවෙන් විපතට පත් ගැහැණු දරුවන්ට හෝ ඔවුන්ගේ පවුල්වල අයට වන්දියක් හෝ ලබාගැනීමට හැකි වූයේ නැත.

නව ඖෂධයක් අත්හදා බැලීමේ දී විශේෂයෙන්ම විශාල පරිමාණයෙන් පුද්ගලයන් යොදාගෙන සායනික පරීක්ෂණ පවත්වන විට සියළු හානි සහ අතුරු විපාක වාර්තා කිරීම සඳහා විධිමත් සහ සම්මත ආකෘතියකට අනුව වාර්තා ක්‍රමයක් පවත්වාගෙනයාම නෛතික අවශ්‍යතාවකි. නමුත් මෙම එන්නත්කරණ ක්‍රියාදාමය මෙහෙය වන ලද PATH විසින් කුමන හෝ වාර්තාකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන ගොස් නොතිබිණි. ඉන්දියාවේ සෞඛ්‍ය සහ පවුල් සුභසාධනය පිළිබඳ කොමිසම විසින් PATH වෙත මානව අයිතීන් උල්ලංඝණය සහ ළමා අපයෝජනය යටතේ නඩු පවරන ලදි. එම නඩුව විභාගයට ගන්නා ලද විනිශ්චයකාරවරුන්ගේ එක් නිරීක්ෂණයක් මෙසේ විය.“ විදේශික ඖෂධ සමාගම්වලට සිය සායනික පරීක්ෂණ හිතුමතයේ පැවැත්වීම සඳහා ඉන්දියා දෙව්ලොවක් වී ඇති අතර ඔවුන් පැමිණ ඉන්දියාව අපායක් බවට පත් කරමින් සිටිති.“

ඉන්දියාවේ නව දිල්ලියේ නීතිඥ සංවිධානයක් වන Human Rights Law Network (HRLN) හි පර්යේෂකයන් පිරිසක් අදාළ ප්‍ර දේශ වෙත ගොස් තොරතුරු සෙවීමේ මෙහෙයුමක් දියත් කරන ලදි. එහිදී එන්නත ලබා දී ඇති ගැහැණු ළමුන් 300ක් සමග සම්මුඛ පරීක්ෂණ සිදු කරන ලදි. ඔවුන් විසින් සිය වාර්තාවේ මෙසේ සඳහන් කර තිබිණි.

“මෙම ගැහැණු දරුවන්ට මෙම එන්නත කුමන අවශ්‍යතාවක් මත දෙනු ලබන එකක්දැයි පැහැදිලි කර දී නොතිබිණි. මෙම දරුවන්හට ගර්භාෂය ශරීරයේ කොතැනක පිහිටි අවයවයක්ද යන්න පිළිබඳවත් වැටහීමක් නොතිබිණු අතර ඒ පිළිබඳව ඔවුන්ට පැහැදිලි කර දී නොතිබිණි. මෙම ළමයින් විශ්වාස ක‍ළේ එය රජය විසින් ලබා දෙන එන්නතක් බවයි.ඒ අතරින් බොහෝ දෙනෙකු මෙම එන්නත ගැනීම නීති මගින් අනිවාර්ය කර ඇතැයි විශ්වාස කළහ. මෙම එන්නත මගින් ඇතිවිය හැකි කිසිදු අතුරු ආබාධයක් ගැන ඔවුන්ව දැනුවත් කර නොතිබිණි.”
මෙම නීතිඥයන් විසින් සිය කරුණු සෙවීමේ සංචාරයෙන් පසු ළමුන්ගේ ප්‍රකාශද ඇතුළත්කොට පෙත්සමක් සකස්කරමින් එය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. අධිකරණය විසින් එය විභාගයට ගැනීමට තීරණය කරන ලදි.

කෙසේ වුව ද මෙම එන්නත පිළිබඳව පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුව මෙසේ සඳහන් කර තිබේ.“ ගේට්ස් විසින් අරමුදල් සපයන ලද ව්‍යාපෘතියේ එකම අරමුණ රෝගය වාණිජ අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමයි. HPV එන්නත ඉන්දියාවේ විශ්වීය ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කරවීමට PATH සංවිධානය සමත් වූයේ නම් ඔවුන්ට අති විශාල ලෙස ලාභ ලැබීමේ හැකියාව පැවතිණි.”

පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව ගැන සඳහන් කරමින් ඉන්දියානු ජාතික වෛද්‍ය ජර්නලයේ (National Medical Journal of India) සංස්කාරකවරයා මෙසේ ලිවීය.
“අපව පරීක්ෂණාගාර මීයන් ලෙස භාවිතා කරන බවට මෙය ඉතා පැහැදැලි නිදසුනකි.”
මෙම සිදුවීම යටපත් කිරීමට ගේට්ස් පදනම දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන ලදි. අන්තර්ජාලය තුළ මෙම සිදුවීම ගැන සොයන යමෙකුට පළමුවෙන්ම හමුවන්නේ ඒ පිළිබඳව ගේට්ස් පදනමේ මාධ්‍ය මෙහෙයුම් විසින් යොදවා ඇති ෆැක්ට් චෙකර්ස්ලා පවසන දෑය.
ඉන්දියාව තුළ මෙම එන්නත පිළිබඳ පරීක්ෂණ 2011 දී නතර වුව ද PATH සංවිධානය විසින් වියට්නාමය, උගන්ඩාව සහ පේරු තුළ මේ පර්යේෂණ විසින් දිගටම පවත්වාගෙන යන ලදි. ඒ සඳහා ගේට්ස් පදනම විසින් ඇමෙරිකන් මිලියන ඩොලර් 27.8ක් වෙත ගෙවා තිබේ.
2013 වසරේදී ගේට්ස් පදනමේ අනුග්‍රහය ලබන ප්‍රකෝටිපති පොදු සහ පුද්ගලික හවුල්කාර සන්ධානයක්වන GAVI විසින් HPV එන්නත් අප්‍රිකාවේ දුප්පත් රටවල් 8ක් වෙත යවන ලදි. 2020 වන විට රටවල් 40කට අයත් ගැහැණු දරුවන් මිලියන 30ක් සඳහා මෙම එන්නත ලබා දීමට GAVI අපේක්ෂා කරන බව පවසා තිබිණි. PATH සංවිධානය විසින් දියත් කරන ලද සායනික පර්යේෂණවලින් පසුව පේරු සහ උගන්ඩාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට HPV එන්නත ඇතුළත් කරන ලදි.

සටහන
ඉන්දියාව තුළ HPV එන්නත භාවිතය 2011 දී නතර කරන ලද නමුත් 2015 දී ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින්  HPVඑන්නත භාවිතය සඳහා ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කරන ලදි. මෙම විශේෂඥ කමිටුවට මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය(සභාපති) වෛද්‍ය පබා පලිහවඩන, වෛද්‍ය ආනන්ද අමරසිංහ, වෛද්‍ය දීපා ගමගේ, වෛද්‍ය සමිතා ගිනිගේ, මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, වෛද්‍ය එන් මාපිටිගම, මහාචාර්ය අතුල කලු ආරච්චි,වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු, වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න, වෛද්‍ය අයින්ද්‍රා බාලසූරිය, වෛද්‍ය ගීතානි ගලගොඩ, වෛද්‍ය රජිවද සිල්වා, මහාචාර්ය සුජිව අමරසේන, වෛද්‍ය කාන්ති නානායක්කාර, වෛද්‍ය සමන්ති ප්‍රේමරත්න, වෛද්‍ය චින්තන හපුආරච්චි සහ කුමුදුනි හෙට්ටිආරච්චි යන අය සහභාගි වූ අතර ඔවුන් වෙනුවෙන් ඉහත එන්නත ලංකාවේ එන්නත වැඩපිළිවෙළට හඳුන්වාදීම සඳහා වන නිර්දේශයට අත්සන් තබා තිබුණේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍යපබා පලිහවඩන විසිනි.
“මෙම කමිටුව විසින් සියලු අදාළ තොරතුරු සහ දත්ත විමර්ශනයට ලක් කළ අතර ගර්භාෂ පිළිකා පිළිබඳ නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කළ යුතු අතර මහජන සෞඛ්‍ය පිළිබඳ දිගුකාලින මැදිහත්වීමක් මත HPV එන්නත හඳුන්වා දීමේ අවශ්‍යතාව අවධානයට ගතයුතුව තිබේ.”
එමෙන්ම ඔවුන්ගේ නිර්දේශ ලැයිස්තුවේ පාසල් පද්ධතිය පදනම් කොටගෙන මෙම එන්නත ගැහැණු ළමුන් ට ලබා දිය යුතු යැයි ද සඳහන් වීම අවධානයට යොමු කළ යුත්තේ ඉන්දියානු අත්දැකීමද සිහියේ තබා ගනිමිනි.
එහි මෙසේ ද සඳහන්වේ “ (එන්නත අනුමැතියට සහ මිලදී ගැනීමට) තීන්දු ගන්නන් හමුවේ ඇති දත්ත එන්නත් වර්ගය අනුව වෙනස් වේ. තීන්දු ගන්නන් විසින් සැළකිල්ලට ගත යුත්තේ පැහැදිලි නිෂ්පාදන ගුණාංග වන මිල, ශිතකරණ දාම ප්‍රවාහන අවශ්‍යතා, සහ සැපයුමයි.“
මෙම විශේෂඥ කමිටුව මෙහිදී ඖෂධ සමාගම්වල “සේල්ස් රෙප්ලාගේ“ තත්ත්වයට වැටී ඇති බව පැහැදිලිය. ඔවුන් මෙහිදී තීන්දු ගන්නන් විසින් අවධානයට ගත යුතු කරුණක් ලෙස මෙම HPV එන්නත්වල සුරක්ෂිතතාව පිළිබඳ ගැටළුව නොසළකා හැර ඇත. එනම් මෙම HPV එන්නත ලබා දුන් 23000ක් අතරින් දරුවන් 7ක් මරණයට පත්වීම සහ තවත් 4000කට ආසන්න සංඛ්‍යාවක් බරපතල අතුරු ආබාධ වලට ගොදුරු වීම ඔවුහු විසින් නොසළකා හැර ඇත.මෙම එන්නතේ අතුරු ආබාධ ගැන සිය නිර්දේශ වාර්තාව තුළ ඔවුහු මෙසේ සඳහන් කර තිබේ.
“එන්නත ලබා දෙනු ලැබූ සමහර කණ්ඩායම් අතර ඇති වූ වේදනාව හා සම්බන්ධ හානිකර ප්‍රතිචාර කීපයක් හැරෙන්නට මෙම වැක්සින් වර්ග දෙකම සඳහා සුරක්ෂිතතාව සහ කාර්යක්ෂ්මතාව පිළිබඳ වාර්තා ඉතා ඉහළය. බලපත්‍ර අනුමැතිය ලබාදීමට පෙර සිදු කරන ලද නිරීක්ෂණ තුළ බරපතල හානිකර අතුරු ආබාධ සම්බන්ධ කිසිවක් වාර්තා වී නැත.
HPV එන්නත සම්බන්ධව ඉන්දියාවේ සිදුවීම් වලින් පැහැදිලිවන දෙයක් නම් එම වැඩ සටහන මෙහෙය වූ PATH සංවිධානය විසින් හානිකර අතුරු ආබාධ පිළිබඳ වාර්තා කිසිවක් පවත්වාගෙන යාමට කටයුතු නොකළ බවයි. එය ඉන්දීය අධිකරණය හමුවේ ඔවුන්ට එල්ලවූ චෝදනාවක් ද විය. එමෙන්ම ඔවුන් විසින් HPV එන්නත් සම්බන්ධව සායනික පරීක්ෂණ පවත්වන ලද අනෙක් රටවල් තුළ ද එනම් වියට්නාමය,පේරු සහ උගන්ඩාව වැනි රටවල් වලදී ද එන්නත්වල හානිකර අතුරු ආබාධ වාර්තා කිරීමෙන් වැළැකී ඇති බව පැහැදිලිය. එහෙයින් මෙම වැක්සීන් සම්බන්ධ අතුරු ආබාධ සම්බන්ධ වාර්තා කිසිවක් නැතැයි පවසමින් මෙම ඖෂධය ශ්‍රි ලංකාවේ ගැහැණු ළමුන් සඳහා භාවිතයට නිර්දේශ කිරීමට පෙර අඩුතරමින් මේ විශේෂඥ කමිටුව විසින් ඉන්දීය අධිකරණය හමුවේ PATH සංවිධානයට එරෙහිව HPV එන්නතට අදාළව පැවැති නඩුවේ වාර්තා සහ පාර්ලිමේන්තු කමිටු වාර්තා අධ්‍යයනය කළ යුතුව තිබිණි.
අවධානයට ගත යුතු එක් විශේෂ කරුණක් නම් මෙහි නිරදේශයට අත්සන්තබා ඇති පබා පලිහවඩන බිල්ගේට්ස් විසින් හසුරුවන ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික  උපදේශනය සඳහා වන විශේ්ෂඥ කණ්ඩායමේ (Strategic Advisory Group of Immunization of Experts of WHO – SAGE) සාමාජිකත්වය දරා ඇති තැනැත්තියක් බවයි. එනම් ඉන්දියාවේ විසින් මෙහෙයවන ලද එන්නත් වැඩ සටහන සම්බන්ධයෙන් වගකීමට ලෝක සෞඛ්‍ය සංවිධානයද බැඳි සිටිී.  එමෙන් ම ඇය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආසියාවේ මෙහෙයවන ලද ලද ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් ගණනාවකට අනුබද්ධව  2003,2003, 2004, 2008, 2010,2013 සහ  2019 කාලසීමාව තුළ  බංග්ලාදේශය, බුරුමය, නැගෙනහිර ටිමෝරය සහ ඉන්දුනිසියාව යන රටවල සේවය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට  සම්බන්ධ GAVI, PATH සන්ධානයද  SAGE කණ්ඩායමද කටයුතු කරන්නේ සම්බන්ධීකරණයකින් යුතුව වන අතර ඒවා සියල්ල බිල්ගේට්ස්ගෙන් මුල්‍ය ආධාර ලබන ඔහු විසින් මෙහෙයවන සංවිධාන වේ.   මේ සියලු කරුණු සැළකිල්ලට ගත් කළ  ඉන්දියාවේ දී එන්නත ලබාදීමෙන්  පසුව මරණයට පත්  ගැහැණු ලමුන් 7 දෙනා සහ අතුරු ආබාධයන්ට ලක් වූ දහස්ගණනක් ගැන පබා පලිහවඩන නොදැන සිටියා යැයි සිතිය නොහැක. මක් නිසාද යත් එය ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේ ත්‍රයේ මෙන්ම ලෝක ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයේද බරපතල කැළැඹීමක් ඇති කළ සිදුවීමක් හෙයිනි. ඇත්තෙන්ම ශ්‍රි ලංකාව තුළ ඉහත එන්නත අනුමැතිය ලබාගැනීම සඳහා ඇය සහ ඇගේ වෘත්තිය සගයන් ඉන්දියාවේ දී එම එන්නත සම්බන්ධව මතුවූ මාරාන්තික අතුරු ආබාධ පිළිබඳ සිදුවීම් දැනුවත්ව යටපත් කර ඇති බව පෙනී යයි.

පරිවර්තක

රාජ්‍යයන්ගේ පොදු සෞඛ්‍ය පද්ධති දුර්වල කිරීම

අනතුරුදායක ඖෂධ නිෂ්පාදන දුප්පත් රටවලට පැටවීමට අමතරව ගේට්ස් පදනම සැබැවින්ම පොදු එම රටවල සෞඛ්‍ය පද්ධතියේ වැඩි දියුණුවට සහාය වන බවට අඟවමින් සෞඛ්‍ය සේවය තුළට රිංගා ඇත. ඒ මගින් සෞඛ්‍යයට බලපාන සමාජීය සහ ආර්ථික නිර්ණායක පසෙකට දමමින් එන්නත් වැනි වඩාත් ලාභ ඉපැයිය හැකි, තාක්ෂණ කේන්ද්‍රිය විසඳුම් පෙරට දමයි.

මෙම ප්‍රපංචය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැය තුළ ද පරාවර්තනය වේ. ගේට්ස් පදනම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝලියෝ මර්දන ව්‍යාපාරයේ විශාලතම මුල්‍ය දායකයාය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය පද්ධති සංවර්ධන වැඩ සටහනට අරමුදල් සපයන්නේ ජපන් රජය විසිනි.

Global Justice Now වෙබ් අඩවියට අනුව“ නව එන්නත් සංවර්ධනය සඳහා ගේට්ස් පදනමේ දැවැන්ත අවධාරණය විසින් …. සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම වැනි අනෙකුත් වඩාත් අත්‍යවශ්‍ය වැදගත් ප්‍රමුඛතාවලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එහි සාමාජික රටවල අවධානය ඉවත් කර ඇත.”
ආචාර්ය ඩේවිඩ් ලෙගේ විස්තර කරන අන්දමට “ ලෝක සෞඛ්‍ය පිළිබඳ ගේට්ස්ට ඇත්තේ යාන්ත්‍රික දැක්මකි. ඔහු සොයන්නේ වාසි සහිත ක්ෂණික විසඳුම්ය. ඔහු විසින් සහාය දෙන සියළු වැඩ සටහන් පවතිනුයේ එවැනි වාසි සහගත ක්ෂණික විසඳුම් සොයන රාමුවකය. එහි තේරුම ලෝක සෞඛ්‍ය සම්මේලනය විසින් හඳුනාගනු ලබන ප්‍රධාන ගැටළුවලට කිසිදු විසඳුමක් නොලැබෙන බවයි. එම ගැටළු අතර විශේෂයෙන්ම සෞඛ්‍ය පිළිබඳ සාමාජීය සාධක සහ සෞඛ්‍ය පද්ධති සංවර්ධනය කිරීම ආදිය වෙයි.”
2011 දී ලෝක සෞඛ්‍ය සංවිධානය අමතමින් ගේට්ස් මෙසේ පැවසීය“ සියලු සාමාජික රටවල් 193 වෙත පැවසිය යුත්තේ ඔබගේ සෞඛ්‍ය පද්ධතිවල කේන්ද්‍රීය අවධානය යොමුවිය යුතු කරුණ බවට එන්නත් පත් කළ යුතු බවය.”
ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ඈන් එමානුවෙලා බර්න් (Anne Emanuelle Birn) 2005 දී මෙසේ ලියා තිබේ.“ ගේට්ස් පදනමට ඇත්තේ සෞඛ්‍ය යනු ආර්ථික, සාමාජීය සහ දේශපාලන සංදර්භයන් හා සම්බන්ධයක් නැති තාක්ෂණික සොයාගැනීම්වල නිෂ්පාදනයක් බවට සිතන පටු අවබෝධයකි.”
“ගේට්ස් පදනම විසින් ඉතා කාර්යක්ෂම ලෙස කාලයක් තිස්සේ ගෝලීය සෞඛ්‍යය සමග පුද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් එය ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කර තිබෙනවා.” යි බර්න් Grayzone වෙත පැවසුවාය.
බිල් ගේට්ස් “සෞඛ්‍ය පද්ධති සඳහා දැඩි ලෙස විරුද්ධ බවත් එය සම්පූර්ණ මුදල් නාස්තියක්” බවත් නිතර පුද්ගලික කතාබහ තුළ තමා සමග පවසා ඇතැයි GAVI හි එක් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු විසින් වාර්තා කර ඇත.
මෙම ප්‍රපංචය GAVI සන්ධානයේ ප්‍රතිපත්තිමය ඉලක්ක සැලසුම් කිරීම තුළද පරාවර්තනය වේ. GAVI විසින්ද දුප්පත් රටවල සෞඛ්‍ය පද්ධති ගොඩ නැංවීම සහ ශක්තිමත් කිරීම වැනි තිරස් ප්‍රවේශයක් වෙනුවට එන්නත්කරණය වැනි ඉහළ සිට පහලට සිදුවන සිරස් ප්‍රවේශයක් කෙරෙහි සිය අවධානය යොමු කර ඇත.
Global Public Health  හි වාර්තාවක් මගින් “සෞඛ්‍ය පද්ධතින් ගැන ගේට්ස්ගේ ප්‍රවේශය එනම් විශේෂිත රෝග කේන්ද්‍රීය කොටගත් ප්‍රවේශය විසින් එනම් එන්නත්කරණය වැනි උපක්‍රම විසින් මහජන මුදලින් නඩත්තු කරන සෞඛ්‍ය පද්ධති යටපත් කර ඇති ආකාරය පෙන්වා දෙයි. මෙම වාර්තාව ලියා ඇති කැතරිනි ස්ටොරෙන්ග් මෙසේ ද සඳහන් කර ඇත.“ GAVI වැනි ගෝලීය සෞඛ්‍ය සඳහා වන මුලපිරීම් විසින් දැන් සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම පිළිබඳව වන ගෝලීය සෞඛ්‍ය විවාදය සිරකර ඇත්තේ ඔවුන්ගේ රෝග කේන්ද්‍රිය ප්‍රවේශය සහ විධික්‍රම භාවිතයේ යෙදවීම පහසුවන පරිදි සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරන්නේ කෙසේ ද යන්න ගැන කෙරෙන සාකච්ඡාවකටය.”

කැතරිනි ස්ටොරෙන්ග් ( Katherini Storeng) වෙත සිය අදහස් දක්වන ලද GAVI සන්ධානය තුළ කලින් සේවය කළ නිලධාරියෙකු, එනම් GAVI හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි ජුලියාන් ලොබ්-ලෙවිට් ( Julian Lob-Levitt ) විසින් ප්‍රකාශ කර ඇත්තේ “සැලසුම් කිරීමටත්, ඒවා ක්‍රියාත්මක කිරීමට සහ නිමා කිරීමටත් සති 4ක් ගත වන සහ වසරකට 8 වරක් ක්‍රියාවට නැංවීමට සිදුවන එන්නත්කරණ ව්‍යාපාරයේ නිරර්ථකත්වය සහ මුග්ධත්වය පිළිබඳ තමන්ට වැටහීමක් තිබුණ බවත් එය විසින් සෞඛ්‍ය පද්ධතිය මුළුමණින්ම බිඳ දමන ලද බවත්” ය.
සෞඛ්‍ය පද්ධතීන් තුළ පවත්නා දුර්වලකම් සහ ඒවාට විසඳුම් පිළිබඳ ඇගයීමක් කරන ලෙස එක් අවස්ථාවකදී GAVI විසින් ලොබ්-ලෙවිට් හට භාර දෙන ලදි. මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවීමට ගත් උත්සාහයට දැඩි ප්‍රතිවිරෝධයක් GAVI හි විධායක සභාව නියෝජනය කරන ප්‍රබල සංවිධාන වන USAID සහ ගේට්ස් පදනමෙන් එල්ලවූයේ යැයි ලෙවිට් විසින් ස්ටොරෙන්ග් සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.
මෙහිදී ගේට්ස් පදනම විසින් “ අපි සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම ගැන විශ්වාස කරන්නේ නැහැ.” යි දැඩි ලෙස අවධාරණය කළ බව ලෙවිට් තමා වෙත පැවසූවේ යැයි ස්ටොරෙන්ග් විසින් සඳහන් කර තිබිණි.

ඇගේ වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
“බිල් ගේට්ස් සතු කිසිවෙකුට ඇහුම්කන්දීමට සුදානමක් නැති උද්දච්ච ස්වභාවය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය වේදිකාව තුළ කිසිවෙකු ඔහු පවසන දෙයට විරුද්ධ යමක් පැවසීමට බිය වූහ….. කලින් GAVI හි සේවකයෙකු සහ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ (health systems strengthening -HSS) ව්‍යාපාරයේ දිරිගන්වන්නෙකු විසින් සිහිපත් කළේ බිල්ගේට්ස් ජීනිවා හි පිහිටි GAVI මූලස්ථානයේ නිරීක්ෂණයට එනවිට තමාට සහ තම සගයන්ට සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයේ පොස්ටර් කාර්යාල බිත්තිවලින් ඉවත් කර දැමීමට සිදු වූ ආකාරයයි. මක් නිසාද යත් GAVI හි සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ අංශයේ වැඩවලට බිල්ගේට්ස් වෛර කළ බව ඔවුන් දැන සිටි හෙයිනි.”

ගෝලීය දකුණේ රටවල ආහාර නිෂ්පාදනය සියතට ගැනීම සඳහා ගේට්ස් පදනමේ සැලසුම්

පොදු සෞඛ්‍ය පද්ධති දුර්වල කිරීමට සහ මහජන සෞඛ්‍ය ගැටළු සඳහා තාක්ෂණ කේන්ද්‍රීය විසඳුම් සෙවීමට ගේට්ස් පදනම දක්වන කැමැත්ත ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සමග වැඩ කිරීමට පමණක් සීමා වී නැත. එය විසින් ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වැදගත් අංශවල ප්‍රතිපත්ති තීරණය කිරීමටද බලපෑම් සිදු කරමින් සිටියි.

ගේට්ස් සහ මොන්සැන්ටෝ හවුල් කරුවන් විසින් කුසගින්න සහ ආහාර ආහාර හිඟයට හේතුවන ව්‍යුහාත්මක ගැටළුවලට විසඳුම් සෙවීම වෙනුවට අනුමත කළ නොහැකි සහ ප්‍රෝඩාකාරි ජාන වෙනස්කම් කරන ලද ආහාර නිෂ්පාදන ව්‍යාපෘති (GMO project) හරහා තාක්ෂණික ක්ෂණික විසඳුම් පෙරට දමයි

මෙම වසරේ මුල් භාගයේදී මොන්සැන්ටෝ සමාගමේ නිජබිම වන සෙන්ට් ලුවිස් සහ මිසෝරි පදනම්කරගෙන ගේට්ස් විසින් නව ලාභ නොලබන ආයතනයක් පිහිටුවන ලදි. මෙම සමාගමේ නම Gates Ag One වේ. එය විසින් කුඩා පරිමාණ ගොවීන්ට අත්‍යාවශ්‍ය වන බෝගවර්ග සඳහා පහසුවෙන් වගාකළ හැකි සහ වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ වර්ග, විශේෂයෙන්ම උප සහරා අෆ්‍රිකානු රටවල සහ දකුණු ආසියාවේ ගොවීන් වෙත හඳුන්වා දෙනු ඇත.

මේ “කුඩා පරිමාණ ගොවීන්ට උදව්කිරීම” උතුම් කර්තව්‍යයක් ලෙස බැලු බැල්මට පෙනී ගිය ද ගේට්ස් පදනම සැබැවින් ම වැඩ කරන්නේ ගෝලීය දකුණේ රටවල් ඖෂධ, අධිතාක්ෂණික බීජ වර්ග හෝ කෘෂි රසායනික ආදි කුමක් සඳහා වුව ද බටහිර නිෂ්පාදකයන් මත රඳාපවතින තත්ත්වයක් ඇති කිරීමටයි.

මේ ක්‍රියාකාරකම් බොහොමයක් ආරම්භ වූයේ 2006 වසරේ දී ගේට්ස් පදනම සහ රොකෆෙලර් පදනම එක්වී අප්‍රිකානු රටවල හරිත විප්ලවයක් ඇති කිරීමට හවුල්කාරිත්වයක් පිහිටුවන ලද අවස්ථාවේදීය. මෙහිදී ගේට්ස් පදනම සහ රොකෆෙලර් පදනම් විසින් අප්‍රිකාවේ හරිත විප්ලවය සඳහා සන්ධානය (Alliance for a Green Revolution in Africa – AGRA)නම් සන්ධානයන් පිහිටුවන ලදි. මෙහි ආරම්භක අරමුදල ලෙස ගේට්ස් පදනම ඩොලර් මිලියන 100ක් ලබා දෙන ලද අතර රොකෆෙලර් පදනම විසින් ඩොලර් මිලියන 50 ක් ලබා දෙන ලදි.
AGRA හි ප්‍රවේශයේ අරමුණ ලෙස හඳුන්වා දී ඇත්තේ අප්‍රිකානු වෙළෙඳපොළ එක්සත් ජනපදයේ කෘෂි ව්‍යාපාරය වෙත විවෘත කිරීමයි. මෙම ප්‍රවේශය පදනම වී ඇත්තේ අප්‍රිකාවේ කුසගින්නට හේතුව ධනය අසමාන ලෙස බෙදීයාම සහ සූරාකෑම නොව බටහිර තාක්ෂණය නොමැති කම නිසා යන විශ්වාසයයි

බිල් ගේට්ස් සහ රොකෆෙලර් පදනම්වල හරිත විප්ලව මෙහෙයුම පිළිබඳව ජෛව-ආරක්ෂාව සඳහා වන අප්‍රිකානු මධ්‍යස්ථානය විසින් සකසන ලද (African Center for Biosafety) වාර්තාවකට අනුව “ මෙම කිසිදු විප්ලවයක පෙරමුණු බලඇණිය අප්‍රිකානුවන් නොවීම අප කම්පනයට පත්කරවයි. එය අප්‍රිකාව යටත්විජිතයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතියෙන් වෙනස් නොවේ. මෙම නව විප්ලවය ප්‍රචණ්ඩ ලෙස උපදෙස් දෙනු ලබන්නේ සාගින්න සහ දිළිඳුභාවය නැමැති විලංගුවෙන් අප්‍රිකානුවන් මුදාගැනීමට පැමිණියේ යැයි පවසන සුදු මිනිසුන් විසිනි.”

AGRA සන්ධානය හරහා ගේට්ස් පදනම විසින් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබන්නාවූත් පේටන්ට් හිමිකම ඔවුන් සතුව පවතින්නාවූත් ජානමය වෙනස්කම්වලට ලක් කරන ලද්දාවූත් (Genetically Modified – GM) බීජ සහ පොහොර භාවිතයට ගොවීන්ට බලකරනු ලබයි. මෙම තාක්ෂණය බීජ සහ කෘෂි රසායනික ව්‍යාපාරයේ දැවැන්තයන් වන මොන්සැන්ටෝ වැනි සමාගම්වලට ලාභ ගැරීමට උදව්වන නමුත් එය විසින් නිතරම මහජනතාවගේ ආහාර සුරක්ෂිතතාවඅවදානමේ හෙළයි.
ආචාර්ය වන්දනා ශිවා ගේ ස්ථාවරය වනුයේ “ජාන වෙනස්කරන ලද බීජ විසින් අස්වැන්න ඉහළ දමනු ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රලාපයක් ” බවයි. තවත් අයෙකුට අනුව “දුප්පත්කම සහ සාගින්නට එරෙහිව සැබෑ විසඳුමක් සඳහා යෙදවිය හැකි සම්පත් ගේට්ස් පදනම විසින් ඉවතට අදිමින් සිටියි.”
The Ecologist ට අනුව “ ගේට්ස් සහ මොන්සැන්ටෝ හවුල් කරුවන් විසින් කුසගින්න සහ ආහාර ආහාර හිඟයට හේතුවන ව්‍යුහාත්මක ගැටළුවලට විසඳුම් සෙවීම වෙනුවට අනුමත කළ නොහැකි සහ ප්‍රෝඩාකාරි ජාන වෙනස්කම් කරන ලද ආහාර නිෂ්පාදන ව්‍යාපෘති (GMO project) හරහා තාක්ෂණික ක්ෂණික විසඳුම් පෙරට දමයි.”
ගේට්ස් පදනම මේ වනවිට කෘෂිකර්මය සඳහා බලපාන නීති වෙනස් කරන ලෙස අප්‍රිකානු ආණ්ඩු වෙත බලපෑම් කරමින් සිටියි.

Grain.org: නම් සංවිධානයට අනුව

“පුද්ගලික අංශයේ පුළුල් මැදිහත්වීමක් සඳහා ඇති බාධක මොනවාදැයි සොයා බැලීමේ අරමුණ සහිතව රටේ බීජ ප්‍රතිපත්තිය යළි විමර්ශනය කිරීමට AGRA සන්ධානය විසින් ඝානා ආන්ඩුවට උදව් කරන ලදි. 2010 වසරේ මැද දී AGRA සන්ධානයෙහි තාක්ෂණික සහ මුල්‍ය සහයෝගය සහිතව ඝානා රජය විසින් රටේ බීජ පිළිබඳ නීතිරීති වෙනස් කරමින් පුද්ගලික සමාගම්වලට හිතවාදි නව බීජ නීති සම්මත කරන ලදි. ඔවුන් විසින් සම්මත කරන ලද අනෙක් නීති අතර විකිණීමට අවසර ඇති බීජ ප්‍රභේද ලැයිස්තුවක් ද විය. ටැන්සානියාවේදී AGRA සන්ධානය සහ ආණ්ඩුවේ නියෝජිතයන් අතර සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස බීජ නිෂ්පාදනය පෞද්ගලීකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිරීමට පහසුකම් සැලසිණි. මලාවිහිදී ඉරිඟු මිල සහ වෙ‍ලෙඳ ප්‍රතිපත්ති යළි සළකා බැලීමට AGRA සන්ධානය විසින් මලාවි ආණ්ඩුවට සහාය දෙන ලදි.”

කෘෂිකාර්මික වෙළෙඳපොළ යළි හැඩගැස්වීමට ගේට්ස් විසින් සිදුකරමින් සිටින භූමිකාව ගැන අදහස් දක්වමින් වන්දනා ශිවා Grayzone වෙත මෙසේ පැවසුවාය.
“ඔබ නව ක්ෂේත්‍රයක් නිර්මාණය කරනවා. ඔබ එහි ආයෝජනය කර ඔබ විසින් ඉලක්ක කරන ලද රටේ ආණ්ඩුවට එහි ආයෝජනය කරන ලෙස බලකරනවා. ඔබ පාලන නීතී රෙගුලාසි විනාශ කරනවා. ඔබ පවත්නා සියලු විකල්ප විනාශ කරනවා, ඔබ විද්‍යාඥයන්ට පහර දෙනවා. අනතුරුව ඔබ විසින් ඔබගේ ඒකාධිකාරය සඳහා අවශ්‍ය යාන්ත්‍රණය ගොඩනගනවා.”

ගේට්ස් පදනම සහ දැවැන්ත ඖෂධ සමාගම්වල පවත්නා සම්බන්ධතාවයේදී මෙන්ම මෙම ක්‍රියාවන් ගේට්ස් පදනමේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් (conflicts of interest) ලෙස විස්තර කළ හැකිය. කලින් පරිදිම මේ සඳහා බොහෝ නිදසුන් දැක්විය හැකිය.

ගේට්ස් පදනමේ කෘෂිකාර්මික වැඩ සටහනේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක රොබර්ට් හෝර්ෂ් (Robert Horsch) කලින් මොන්සැන්ටෝ සමාගමේ ඉහළ විධායක නිලධාරියෙක් ලෙස වසර 25ක් සේවය කර ඇත. එහි දී ඔහු විසින් කෘෂිකාර්මික දීමනාවන් කළමණාකරණය කළ කණ්ඩායමක් මෙහෙයවන ලදි. ගෝලීය ප්‍රතිපත්ති සංසදයට (Global Policy Forum) අනුව “ගේට්ස් පදනමට සම්බන්ධවන ලෙස ඔහුට විශේෂයෙන් ආරාධනා කර ඇත්තේ මොන්සැන්ටෝහිදී ඔහු විසින් සිදු කරමින් සිටි පර්යේෂණ දිගටම සිදුකිරීම සඳහාය.”
ගේට්ස් පදනමේ කෘෂිකාර්මික වැඩසටහනේ හිටපු අධ්‍යක්ෂ සෑම් ඩ්‍රිඩන් කලින් ජාන වෙනස්කම් කිරීමේ නිරත විශාල බීජ සමාගම් දෙකක් වන Emergent Genetics සහ Agragentics Corporation යන සමාගම් මෙහෙයවා තිබේ. 2005 දී සමාගම මොන්සැන්ටෝ සමාගම විසින් මිලදී ගන්නා ලද අතර සෑම් ඩ්‍රිඩන් මොන්සැන්ටෝ සමාගම යටතේ ද මාස 6ක් තවදුරටත් සේවය කළේය. ඔහු ගේට්ස් පදනමේ සේවය කරද්දි ගාඩියන් පුවත්පත විසින් ඔහුව හැඳින්වූයේ “ ගෝලීය දකුණේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ වඩාත් බලගතුම පුද්ගලයා” ලෙසය.
ගේට්ස් පදනමේ කෘෂිකාර්මික වැඩසටහනේ හිටපු වැඩසටහන් නිලධාරි ඩොන් ඩූරින්ග් (Don Doering) කලින් මොන්සැන්ටෝ ජීවතාක්ෂණික උපදේශක කවුන්සිලයේ ( Monsanto’s Biotechnology Advisory Council) ආරම්භක සාමාජිකයෙකු විය. ඔහු විසින් කෘෂිකාර්මික සංවර්ධන කණ්ඩායමකට නායකත්වය දුන්නේය. එම කණ්ඩායමේ කාර්ය භාරය වූයේ “උප සහරා අප්‍රිකන් සහ ආසියානු දුප්පත් ගොවීන්ට උදව් කිරීම සඳහා” මුදල් ලබාදීමය.

“අප්‍රිකාව නවීකරණය” (Modifying Africa) නම් පොත ලියන ලද ෆ්ලෝරන්ස් වම්බුගු (Florence Wambugu) “ අප්‍රිකාවේ මොන්සැන්ටෝ අපොස්තුලුවරිය” ලෙස ද හැඳින්විණි. USAID ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ලැබීමෙන් පසුව වම්බුගු මොන්සැන්ටෝහි පර්යේෂකවරියක් ලෙස කටයුතු කළාය. පසුව ඇය ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන මණ්ඩලයට තෝරා පත් කරගන්නා ලදි.

මොන්සැන්ටෝ සමාගම විසින් අප්‍රිකාව තුළ භාවිතයට යොදවන ලද ජාන විකෘතිකිරීම්වලට ලක් කරන ලද බීජ භාවිතය හේතුවෙන් හානියට පත් පුද්ගලයන් සහ ප්‍රජාවන් වෙනුවෙන් සිවු පුද්ගල ස්වාධීන විනිශ්චය සභාවක් විසින් 2016 ඔක්තෝබරයේදී හේග් හිදී පවත්වන ලද මහජන අධිකරණ සභාව Photo courtesy: Monsanto Tribunal /The Ecologist

ගේට්ස් පදනම ඖෂධ නිෂ්පාදනයේදී USAID සමග හවුල් වැඩ සටහන් සිදුකරන අයුරින්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ද එවැනි හවුල් වැඩසටහන් USAID. සමග පවත්වාගෙන යයි. පැමලා කේ. ඇන්ඩර්සන්(Pamela K. Anderson) දැන් ගේට්ස් පදනමේ කෘෂිකර්ම සංවර්ධන අධ්‍යක්ෂවරිය වන අතරම USAID. හි විධායක සභාවේද කටයුතු කරයි.
දුප්පත්කම හේතුවෙන් සෑම දිනෙකම ළමුන් 22,000ක් මරණයට පත් වේ. නමුත් සෞඛ්‍ය ගැටළුවලට හේතුවන සමාජ ආර්ථික ගැටළු නොසළකා හැර තිබේ. මක් නිසාද යත් විසඳුම කුමක්දැයි තීරණය කරන්නේ ඒ මගින් ලාබ උපයන නිෂ්පාදන සමාගම් විසින් බැවිනි. ලෝක සෞඛ්‍ය වේදිකාව තුළ ගේට්ස් පදනම දී ඇති ප්‍රමුඛතාවද එයම වේ.
කෙටියෙන් පවසන්නේ නම්, මීට කලින් පැවැති ගෝලීය සෞඛ්‍ය පිළිබඳ උත්සාහයන්හිදී ගේට්ස් පදනමේ නායකත්වය විසින් ප්‍රදර්ශනය කළේ ඔවුන්ගේ පක්ෂපාතිත්වය මහජන සෞඛ්‍යය වෙත නොව ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතාවන් වෙත බවයි. ඔවුහු වඩාත් කැමැත්ත දක්වන්නේ රටවල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමෙන් වැළැකී සිටීමටය. නමුත් සියළු රටවල් විශාල ඖෂධ සමාගම් සහ කෘෂි නිෂ්පාදන සමාගම් මත යැපෙන තත්ත්වයක පවත්වාගෙන යාම එහි අවශ්‍යතාවයයි.

ඉහත දක්වන ලද තොරතුරු විසින් සපයනු ලබන ආලෝකය මත “කොවිඩ්-19 වසංගතයට” එරෙහි සටන සඳහා ගේට්ස් විසින් දෙනු ලබන නායකත්වය කුමන වර්ගයේ එකක්වනු ඇත් දැයි තේරුම් ගත හැකිය.

කොරෝනා එන්නත් සෙවීමේ අධි වේගී මෙහෙයුම (Operation Warp Speed) විසින් ඖෂධ සමාගම්වලට නීතිමය මුක්තිය ලබාදෙයි.
මැයි මස මැද දී ට්‍රම්ප්ගේ ගේ රජය විසින් සිය නව කොරෝනා එන්නත් ව්‍යාපෘතිය නිරාවරණය කරන ලදි. එන්නත පිළිබඳ නව ව්‍යාපෘතිය නිවේදනය කරන අතරම ට්‍රම්ප් පුරසාරම් දෙඩවූයේ සිය රජය විසින් “ එන්නත පිළිබඳ පරීක්ෂණ ඉක්මන් කිරීම සඳහා පවත්නා සියලු නෛතික බාධාවන් ඉවත්කරන බවයි. එනම් එන්නත අත්හදා බැලීමේ අදියරේදී හෝ ඉන් පසුව හෝ කිසියම් අයෙකු එන්නත නිසා අතුරු ආබාධයන්ට ලක් වූයේ නම් ඒ පිළිබඳව අදාළ සමගමට එරෙහිව කිසිවෙකුට නඩු පැවැරීය නොහැකි බවට නීතිමය මුක්තියක් ලබාදීමයි.

ට්‍රම්ප් පරිපාලනය මෙන් ම බිල් ගේට්ස් විසින්ද උපදෙස් දෙනු ලැබුවේ කොවිඩ්-19 ඖෂධ අනුමැතිය සඳහා වන කාල සටහන වේගවත් කිරීමටය. බිල් ගේට්ස් විසින් මෙසේ ලියන ලදි.“ ලෝකයේ බිලියන 7ක් ජනයා හට එන්නත ලබා දීම සඳහා ආණ්ඩු විසින් ඔවුන් සාමාන්‍යයෙන් ඖෂධවලට අවසර දීමට ගන්නා ක්‍රියා පටිපාටිය අත්හිටුවිය යුතුය. මේ න්‍යාය පත්‍රය සඳහා වෙනත් විකල්ප නැත”
මාර්තුවේදී එක්සත් ජනපද රජය විසින් නව ෆෙඩරල් නීතියක් සම්මත කරන ලදි. ඒ මගින් කොරෝනා වෛරස් සඳහා එන්නත් සහ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම්වලට සහ ඒවා බෙදාහරින සියලුම ආයතන සහ පුද්ගලයන්ට නීතිමය මුක්තියක් හිමිවන අතර ඒ අනුව එම එන්නත් හෝ ඖෂධ මගින් හානියට පත්වන පුද්ගලයන්ට හෝ ඔවුන්ගේ පවුල්වල අයට යුක්තිය ඉල්ලා ඖෂධ සමාගම්වලට එරෙහිව අධිකරණය හමුවට යා නොහැකිය.
දැනට ඖෂධ සමාගම් 100 ක් පමණ කොරෝනා එන්නත් සඳහා පරීක්ෂණ පවත්වමින් සිටිති. මේ එන්නත් නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව නඩු පැවරිය නොහැකිවන ලෙස ඔවුන්ට නීතිමය මුක්තියක් සැබැවින්ම ලෝකය පුරා ආණ්ඩු විසින් ලබා දී ඇත්නම් එහි තේරුම මේ සමාගම්වලට සිය ඖෂධවලින් සාමාන්‍ය ජනයාට කිසියම් හානියක් වේයැයි කිසිදු බියකින් තොරව හිතුමතයේ කටයුතු කිරීමට නිදහස ලැබෙන බවයි. එනම් අතීතයේදී සිදුවූ පරිදි ලෝකයේ දුප්පත් රටවල ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට මේ ඖෂධ සමාගම් විසින් පත් කරනු ඇත.

ඖෂධ සමාගම්වලට නීතිමය මුක්තියක් ලැබිය යුතු යැයි බිල්ගේට්ස් විසින් පවසමින් සිටියේ 2015 සිටය. එබෝලා වසංගතය පැතිරීම ගැන සිය කම්පාව පළ කරමින් ඔහු පැවසුවේ “ නීතිමය වගකීම්වලින් වලින් මිදී කටයුතු කිරීමට හැකිවන පරිදි ආරක්ෂාවක් සපයනු ලබන කිසිදු පැහැදිලි ක්‍රියාදාමයක් නැත. ගෝලීය වසංගතයකදී ඖෂධ සොයාගැනීමේ දී සහ සංවර්ධනය කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමට නම් ඖෂධ සමාගම්වලට නීතිමය ආරක්ෂාව ලබා දිය යුතුයි.”

දැන් ඔහුගේ මෙම ඔහුගේ යෝජනාව පල දරා තිබේ.

ගේට්ස් විසින් ඔහුගේ ස්ථාවරය සාධාරණීකරණය කළේ “ජනතාවගේ ජීවිත ගලවා ගැනීම සඳහා සමාගම් විසින් ඔවුන්ට හැකිතාක් ඉක්මණින් ඖෂධ නිෂ්පාදනය කළ යුතුව තිබේ. සමහර විට මේ අලුත් ඖෂධ සෑම විටෙකම සුරක්ෂිත ඒවා නොවිය හැකියි. සුරක්ෂිතතාව යන්න තේරුම් ගැනීම ඉතා අපහසු දෙයක්. අවදානමක් තිබිය හැකියි. සමාගම්වලට නීතිමය ආවරණයක් ලබා දිය යුත්තේ ඖෂධය නිකුත් කිරීමට පළමුවයි.” යනුවෙන් ඔහු CBS පුවත් සේවයට පැවසීය.
සාමාන්‍යයෙන් නව ඖෂධයක් නිකුත් කිරීමට පෙර එහි භාවිතයේදී එහි ඵලදායිකත්වය නැතහොත් කාර්යක්ෂ්මතාව ද එයින් සිදුවිය හැකි හානිකර අතුරු ආබාධ ද පිළිබඳව ඇගයීම සඳහා විවිධ අදියර ගණනාවකින් යුතු අත්හදා බැලීමේ පරීක්ෂණ ගණනාවක් කරනු ලබයි.එහි මුල් පියවර වන සතුන් යොදා කරනු ලබන පරීක්ෂණ අවධිය සාර්ථකව සමත් විය යුතුය. ඉන් අනතුරුව එළැඹෙන්නේ මනුෂ්‍යයන් යොදාගනිමින් සිදු කරන පරීක්ෂණ අවධියයි. මෙහිදී පරීක්ෂණයට යොදාගනු ලබන පුද්ගලයන් ව එම ඖෂධයේ අඩංගු රසායනික් සංඝටක, ඒවායේ අතුරු ආබාධ ආදිය පිළිබඳ පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතු අතර රෝගීයාගේ පූර්ව රෝග ඉතිහාසය සහ අසාත්මිකතා පිලිබඳවද අවශ්‍යවන තොරතුරු පුද්ගලයා හෝ ඔහුගේ වෛද්‍යවරයා මගින් ලබාගැනීම පර්යේෂකයා සතු වගකීමකි. පර්යේෂණයට ලක්වන ඖෂධය මගින් රෝගියා තුළ අසාත්මිකතාවන් ඇතිවීමට හෝ ඔහුගේ හෝ ඇයගේ පූර්ව රෝගී තත්ත්වයන් උත්සන්න වීමට ඉඩ ඇත්නම් එම පුද්ගලයා අදාල පර්යේෂණය සඳහා සහභාගි කරවා ගැනීමෙන් වැළකිය යුතුය. එමෙන්ම ඖෂධය ලබාදීමෙන් පසු සෑම පුද්ගලයෙකුම උපරිම වෛද්‍ය නිරීක්ෂණය යටතේ නිශ්චිත කාලයක් තබාගනිමින් සියලු තත්ත්වයන් වාර්තාගත කළ යුතුය. මනුෂ්‍යයන් යොදා කරනු ලබන පරීක්ෂණ අවධිය අදියර තුනකින් සිදු කරනු ලැබේ
1. ප්‍රාථමික අදියර (phase I) මනුෂ්‍යයන් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් යොදාගනිමින් පර්යේෂණය සිදු කරන අදියර
2. මධ්‍යම අදියර (phase II), මනුෂ්‍යයන් මධ්‍යම සංඛ්‍යාවක් පමණක් යොදාගනිමින් පර්යේෂණය සිදු කරන අදියර
2. පුළුල් අදියර(phase III), මනුෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් යොදාගනිමින් පර්යේෂණය සිදු කරන අදියර

නමුත් කොවිඩ් එන්නත් සඳහා ගේට්ස්ට අවශ්‍ය වූයේ සත්වයන් මිනිසුන් යොදාගෙන කරනු ලබන පරීක්ෂණ එකම අවස්ථාවේදී සිදු කිරීමටය.

“අද එක්සත් ජනපදය විසින් එන්නත් සංවර්ධනයේදී අවුරුදු 10ක් තුළ සිදුකළ යුතු දේ ඉතා කෙටි කලකට හකුළා තිබෙනවා ”යි ජාතික සෞඛ්‍ය ආයතනයේ (National Institute of Health – NIH) ප්‍රධානියා පැවසීය.

මෙය විසින් යම් ගැටළුකාරී ප්‍රතිඵල ඇතිකළ හැකිය. ඇතැමුන්ට අනුව සාර්ථක කොරෝනා එන්නතක් තවමත් නිපදවා නැති අතර නව එන්නතක් මාරාන්තික ප්‍රතික්‍රියා දැක්විය හැකිය. ඝර්ම කලාපීය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පීටර් හෝටෙස් (Peter Hotez) කලක් තවත් කොරෝනා වෛරස් ආසාදනයක්වන සාර්ස් (coronavirus – SARS) සඳහා එන්නතක් නිර්මාණය කිරීමෙහි පර්යේෂණවල නිරත වූ අයෙකි. ඔහුට අනුව අත්හදාබැලීමේ කාලය තුළදී ඒ සඳහා යොදාගත් සතුන් වැක්සීන්- ප්‍රේරිත ප්‍රතිශක්ති බහුලීකරණයට (immune enhancement) ගොදුරුවී තිබේ. මෙම සතුන්ට දෙන ලද්දේ එන්නත් නොකරන ලද සතුන්ට දුන්නාක් මෙන් කිහිපගුණයක් මාරාන්තික වෛරස් ප්‍රභේදයන්ය.
රොයිටර්ස් වෙත හොටේස් මෙසේ පැවසීය.“ මිනිසුන්ට ඖෂධය ලබාදීමේ අවදානම අඩු කළ හැක්කේ එය පළමුව විද්‍යාගාර පරීක්ෂණවලට යොදාගන්නා සතුන්ට ලබාදී එහිදී හානිකර ප්‍රතිඵල නොලැබෙන්නේ නම් පමණක් මිනිසුන් සඳහා අනුමත කිරීමෙන් පමණි.” එන්නත් නිෂ්පාදනයේ කාල සටහන ඉක්මන් කළ යුතු බවට මෙම වෛද්‍ය විශේෂඥයා එකඟතාව පළකළ නමුත් “ මේ එන්නත් සඳහා එය කළ නොහැකි බව“ පැවසීය.

mRNA එන්නත් තාක්ෂණය සහ පෙන්ටගනයේ උසස් ආරක්ෂක පර්යේෂණ ඒජන්සියේ මැදිහත්වීම්

එන්නතක් වෙළෙඳපොල සඳහා නිකුත්කිරීමට පෙර සිදු කළ යුතු ආරම්භක සත්ව පරීක්ෂණ අවධියවත් පසු නොකළ එන්නතක් සඳහා මොඩර්නා සමාගම දැන් මිනිසුන් යොදා කොවිඩ්-19 එන්නත් සඳහා පරීක්ෂණ සිදු කරමින් සිටි. මොඩර්නා සමාගමේ mRNA වර්ගයේ එන්නත මීට පෙර මනුෂ්‍යයන් සඳහා ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරිය (FDA) විසින් අනුමත නොකළ එකකි.
මෙම තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සපයා ඇත්තේ ගේට්ස් පදනම සහ පෙන්ටගනයේ උසස් ආරක්ෂක පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (Defense Advanced Research Projects Agency – DARPA) විසිනි. මොඩර්නා විසින් පවසනු ලබන්නේ තම සමාගම සහ DARPA අතර “උපායමාර්ගික සන්ධානයක්” පවතින බවයි. DARPA විසින් මොඩර්නා සමාගමට අදාළ පර්යේෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන 25ක් දී තිබිණි.
මොඩර්නා සමාගමේ mRNA තාක්ෂණය බිල්ගේට්ස් විසින් තෝරා ගන්නා ලද්දේ “ කොවිඩ් සඳහා වන හොඳම විසඳුම් අතරින් එකක්” බව පවසමිනි. එමෙන්ම ඔහු විසින් මොඩර්නා සහ ගේට්ස් පදනම අතර පවතින “ ගෝලීය සෞඛ්‍ය ව්‍යාපෘති පදනම් ගිවිසුම ” (global health project framework agreement) යටතේ ඩොලර් මිලියන 100ක් මොඩර්නා වෙත ගෙවීමට නියමිත අතර ඒ වෙනුවට බිල් ගේට්ස්ට මෙම එන්නත් සඳහා විශේෂිත පොදු බලපත්‍රයක් හිමිවනු ඇත.

මොඩර්නා හි සම නිර්මාතෘ රොබර්ට් ලාන්ගර් බිල් ගේට් සමග හවුල් ව්‍යාපෘතියක යෙදෙමින් ස්ත්‍රින්ගේ ශරීරය තුළ රෝපණය කරන උපත්පාලන ක්ෂුද්‍ර පරිපථ (Contraceptive MicrochipImplant) නිෂ්පාදනය කිරීමේ වැඩ සටහනක් හවුලේ දියත් කරන ලදි මෙම පරිපථ ගුවන් විදුලි සංඥා මගින් සක්‍රිය කළ හැකි ඒවා විය.

මැයි 18 වැනි දින පළමු අදියර පරීක්ෂණ සාර්ථකව අවසන් බවට නිවේදනය කළ විට සමාගම්කාර ජනමාධ්‍ය විසින්ද “මොඩර්නාහි ශුභාරංචිය” ගිරවුන් මෙන් ප්‍රතිරාවය කරන ලදි. නමුත් මෙම පරීක්ෂණය පිළිබඳ වාර්තාවලට අනුව එන්නත ලබාදුන් පුද්ගලයන් 15 ක් අතුරෙන් තුන්දෙනෙකුටම ඉහළම මාත්‍රාව එන්නත් කරන ලද අතර ඔවුන්ගේ තත්ත්වය “ඉතා බරපතල ”සහ “ආබාධ ඇති කරවන සුළු” විය. එමෙන්ම ඔවුන්ව “රෝහල් ගත කරවා ප්‍රතිකාර කිරීමට” ද සිදු විය. එසේ වුව ද එම වාර්තාවට සුපුරුදු පරිදි “අදාළ පුද්ගලයන්ගේ ජීවිතවලට අවදානමක් එල්ලවන තත්ත්වයක් මතු නොවිණි ” යන්න ද ඇතුළු කර තිබිණි.

මැයි 15 වැනි දින ජනාධිපති ට්‍රම්ප් විසින් මොන්සෙෆ් ස්ලාඔයිව (Moncef Slaoui)එක්සත් ජනපදයේ කොවිඩ් සඳහා එන්නත් සෙවීමේ පරීක්ෂණ කටයුතුවල ප්‍රධාන විද්‍යාඥයා ලෙස පත් කරන ලදි. ඔහු මොඩර්නා සමාගමේ විධායක සභා සාමාජිකයෙකු වන අතර මැයි 19 වැනිදා වනවිට ඔහු සතුව මොඩර්නා සමාගමේ ඩොලර් මිලියන 10.3ක වටිනාකමක් සහිත කොටස් හිමිව තිබිණි. මොන්සෙෆ් ස්ලාඔයි ඒඩ්ස් සඳහා එන්නත් සෙවීමේ ජාත්‍යන්තර වැඩසටහනේ (International AIDS Vaccine Initiative – IAVI) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. මෙම IAVI වැඩසටහන පොදු ( එනම් රාජ්‍ය ආයෝජන සහිතව) සහ පුද්ගලික හවුල්කාරිත්වයෙන් පවත්වාගෙන යන්නකි. එයට ගේට්ස් පදනම විසින් ඩොලර් මිලියන 359ක මුදලක් ප්‍රදානය කර තිබිණි.

ස්ලාඔයි විසින් ගලැක්සෝස් ස්මිත් ක්ලයින් (GSK) සමාගමේ ද නායකත්ව මට්ටමේ තනතුරු දරා තිබිණි. ඔහු විසින් එම සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ ප්‍රධානියාව සිටින කාලය තුළ ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගමට එරෙහිව ඇමෙරිකාවේ නීතිපති දෙපාර්තුමේන්තුව විසින් බරපතල දූෂණ චෝදනා ගණනාවක් සම්බන්ධව නඩු පවරා තිබිණි. ඒ අතරින් එකක් නම් නම් පැක්සිල් (Paxil) නම් ඖෂධය ලබාදුන් රෝගීන් විශේෂයෙන්ම ළමයින් සිය දිවිනසාගැනීමට පෙළැඹීම සහ වෙනත් මානසික අවපීඩන තත්ත්වයන් පිළිබඳ තොරතුරු සහ දත්ත වසන් කිරීමයි. තවත් එක් චෝදනාවක් නම් ඇවන්ඩියා ( Avandia ) ඖෂධය සහ හෘදයාබාධ අතර සම්බන්ධය වසන් කිරීමට කටයුතු කිරීමයි. ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධයට අදාළව බරපතල හෘදයාබාධ 83000කට අධික ප්‍රමාණයක් ඇස්තමේන්තු කර තිබිණි. එමෙන් ම තවත් අල්ලස් දීම් සහ දූෂණ ගණනාවක් සම්බන්ධවද ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගමට චෝදනා එල්ල වී තිබිණි. මෙම චෝදනාවන් සම්බන්ධයෙන් ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගම වරද පිළිගත් අතර ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක වන්දියක් ගෙවීමට සිදු විය. මෙම සිදුවීම ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම සෞඛ්‍ය ප්‍රෝඩාව සහ එය සම්බන්ධ සමථය ලෙස සැළකේ.

ස්ලාඔයි විසින් ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගමේ එන්නත් අංශය භාර ප්‍රධානියාව සිටි කාලයේදී ඔහු ඌරු උණ(swine flu ) නම් වෛරස් ආසාදනය සඳහා සංවර්ධනය කරන ලද Pandemrix නම් එන්නත පිළිබඳ කටයුතු බාරව සිටියේය. මෙම එන්නත නිසි ලෙස පූර්ව පරීක්ෂණ අවධි සම්පූර්ණ නොකර වෙළෙඳ පොලට නිකුත් කරන ලදි. මෙම ප්‍රතිඵලය වූයේ මෙම අනතුරුදායක එන්නත විසින් පුද්ගලයන් 800කගේ මොළයට හානි සිදු කිරීමයි. ඉන් 80%ක් ළමුන් වූහ.මෙම එන්නත රටවල්වලට ලබාදීමේදී සමාගම විසින් ඉදිරිපත් කරන ලද එක් කොන්දේසියක් වූයේ Pandemrix නම් එන්නතේ අතුරු ආබාධ සහ හානි පිළිබඳව වන්දි ඉල්ලා නඩු දැමිය නොහැකිවන ලෙස නීතිමය මුක්තියක් සමාගමට හිමි විය යුතු බවයි. එමෙන්ම වන්දි මුදල් ගෙවීම රජය විසින් සිදු කළ යුතු බවයි. බ්‍රිතාන්‍ය තුළ දී ඌරු උණ එන්නත් වලින් හානියට පත්වූවන්ට වන්දි ලෙස පවුම් මිලියන 60ක් ගෙවනු ලැබූයේ බ්‍රිතාන්‍ය රජය විසින් බදු ගෙවන්නන්ගේ මුදල්වලිනි.
ට්‍රම්ප්ගේ ආණ්ඩුව විසින් සිය එන්නත් වැඩ සටහන මෙහෙයවන්නා ලෙස ස්ලාඔයි ව සේවයට යොදාගත්තේ කොන්ත්‍රාත් පදනමින් මිසක රජයේ සේවකයෙකු ලෙස නොවේ. Public Citizen නම් වෙබ් අඩවිය පවසන අන්දමට මේ මගින් තමන්ගේ අවශ්‍යතා පිළිබඳ ගැටුම් හෙළිදරවු කිරීමකින් තොරව ද තමන් වෙත දූෂණ වංචා පිළිබඳ චෝදනා එල්ලවීමෙන් වැළකෙමින් ද සහ ඔහුට ගැටළු සහගත පුළුල් මුල්‍යමය අවශ්‍යතාවන් ජාලයක් නඩත්තුකරගෙන යාමට හැකියාව ලැබෙන බවය.

සමාගම්කාර ජනමාධ්‍ය විසින් පින්තාරු කිරීමට කැමැත්තේ කොවිඩ්-19 සඳහා වන ප්‍රතිචාරය විද්‍යා විරෝධී ට්‍රම්ප් වැනි උද්ධච්ඡ මුග්ධ දක්ෂිණාංශිකයන් සහ “විද්‍යාවේ ප්‍රදීපස්ථම්භයන්” බඳු බිල් ගේට්ස් වැන්නවුන් අතර මාරාන්තික යුද්ධයක් ලෙසය. ස්ලාඔයි සහ රොබර්ට් ලාන්ගර් වැන්නවුන් සිය කොවිඩ් සඳහා නව එන්නත් සෙවීමේ අධිවේගී වැඩ පිළිවෙළේ ප්‍රධාන වගකිවයුත්තන් ලෙස පත්කිරීමට ට්‍රම්ප් කටයුතු කිරීම විසින් පෙන්නුම් කරන්නේ ගේට්ස් පදනම සහ ට්‍රම්ප්ගේ ආණ්ඩුව එකම කණ්ඩායමකට අයත්වූවන් බවයි
ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ ඉහළ වැඩසටහනට ඇතුළත් වීමෙන් පසුව ස්ලාඔයි විසින් නිවේදනය කර සිටියේ මොඩර්නා සමාගමේ කොවිඩ් එන්නතට අදාල සායනික පරීක්ෂණවල දත්ත පිළිබඳ තමන් සෑහිමකට පත්වන බවයි.“ 2020 අවසන්වන විට එන්නත් මිලියන සිය ගණනක් ලබාදීමේ හැකියාව අපට ලැබෙනු ඇත” යනුවෙනි.
ගෝලීය එන්නත් ධාවන තරඟයේ අවසන් වටයට තේරුණු ක්‍රීඩකයන් පස්දෙනා අතරින් එකෙකු ලෙස එක්සත් ජනපද රජය විසින් මොඩර්නා සමාගම තෝරා ගනු ලැබුවද සමාගමේ විධායක නිලධාරින් තමන් සතු සමාගමේ කොටස් විකුණා දැමීමට පටන්ගත්තේ සමාගම සිය එන්නත පළමු අදියරේ ප්‍රතිඵල සාර්ථකව නිම කර ඇතිබවට නිවේදනය කිරීමට දින කීපයක් පෙරය.
මුල්‍ය සුරැකුම් සහ හුවමාරු කොමිෂන් (SEC filings) දත්තවලට අනුව මොඩර්නා සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරි ලෝරන්ස් කිම් (Lorence Kim) ඔහුගේ සමාගම් කොටස් 214,000ක් ඉහත පුවත් නිවේදනය නිකුත් කළ දින විකුණන ලදි. ඒ මගින් ඔහු ක්ෂණිකව මිලියන 16ක් ලාභ ලැබීය.

නොර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණය පිළිබඳ මහාචාර්යවරයෙකු වන තෝමස් ලිස් (Thomas Lys)ව උපුටා දක්වමින් Stat News විසින් ප්‍රකාශ කළේ එය කිසියම් මුල්‍ය ද්‍රවශීලතාවක් ලබාගැනීම සඳහා මොඩර්නා සමාගම විසින් ගත් මුල්‍යමය තීරණයක් විය හැකි බවයි. නමුත් තවත් දෙයක් සිදුවීමට ද ඉඩ තිබේ. එනම් මෙම පුද්ගලයන් මේ සියල්ල ප්‍රෝඩාවක් බව දන්නා හෙයින් අනාගතයේදී කොටස් මිල පහළ යාමට ප්‍රථම මිල ඉහළ ගිය අවස්ථාවේදී විකිණීම මගින් ලාභ ලැබීමට කල්පනාකරන්නට ඉඩ ඇති බවයි.”
මොඩර්නා සමාගමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ටැල් සැක්ස් (Tal Zaks) 2020 ආරම්භයේදී තමන් සතුව තිබු මොඩර්නා කොටස් 100,000 ක් සිය කොටස් විකුණා දැමීම ආරම්භ කළේ මොඩර්නා කොවිඩ් එන්නත මිනිසුන් මත පරීක්ෂණයට ලක් කිරීමට සුදානම් බව නිවේදනය කිරීමට දින කිහිපයක් පෙර සිටමය. එමගින් ඔහු ඩොලර් මිලියන 18 ක් ලාභ ලැබීය. දැන් ඔහු සතුව එකම කොටසක්වත් නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැවැන්ත ඖෂධ සමාගම්ව මත යැපෙන තත්ත්වයට පත්කිරීමට මධ්‍යගත ඖෂධ හා ප්‍රතිකාර සංචිතයක් ගොඩනැගීමේ යෝජනාව

2019 ඔක්තෝබර් මාසයේදී සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජෝන් හෝප්කින්ස් මධ්‍යස්ථානය (Johns Hopkins Center for Health Security)විසින් “Event 201” නම් අනාගත වසංගතයක් ගැන කියැවෙන පුරෝකතනයක් රඟ දක්වන ලදි. මෙම අනාගත පෙරහුරුව සුදානම් කරන ලද අනෙකුත් හවුල්කරුවන් අතර ලෝක ආර්ථික සංසදය(World Economic Forum) සහ ගේට්ස් පදනම ප්‍රධාන තැනක් ගත්තේය. මෙම පෙරහුරුව රඟදැක්වුණේ චීනයේ කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වූවායැයි කියන දිනවලට මාසයකට පමණ පෙරය.

සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජෝන් හෝප්කින්ස් මධ්‍යස්ථානයේ හිටපු මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු ට්‍රම්ප් පරිපාලනයේ සංචිත ප්‍රධානියා ලෙස පත් කරනු ලැබිණි. ජෝන් හෝප්කින්ස් වෛද්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඖෂධ සමාගමක් වන මර්ක්හි (Merck) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ලැබේ.

Event 201 වූකලී නව කොරෝනා වෛරසයක් ව්‍යාප්තවීම පිළිබඳව සිදුකරන ලද අනාගත පෙරහුරුවකි. එයට ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ (United States National Security Council) නියෝජිතයන් මෙන්ව තවත් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ජොන්සන් සහ ජොන්සන් (Johnson & Johnson) සමාගමේ නායකයන්ද සහභාගි වූහ.
වත්මන් සැබෑ “කොවිඩ් වසංගතයේ” සහ Event 201 හි රඟ දක්වන ලද වසංගත පෙරහුරුව අතර සමානකම් විසින් බිල් ගේට්ස්ගේ “ කොවිඩ්-19 වසංගතය පිළිබඳව පුරෝකතන හැකියාව” පිළිබඳව විවිධ මත ඉදිරිපත්වී ඇති අතර ඒවායේ සත්‍ය අසත්‍යතාව කුමක්වුවද එක් දෙයක් පැහැදිලිය. එනම් මේ ව්‍යාජ වසංගත පෙරහුරුවේදී ඉදිරිපත් කරන ලද වසංගත මර්දන ක්‍රියාමාර්ගම “සැබෑ කොවිඩ්-19” මර්දනය සඳහා ද යොදාගනිමින් පවතින බවය.

Event 201 පෙරහුරුවට පසුව සැබෑ පුවත් සාකච්ඡාවක් සමග ඇඟ කිළිපොළන සමානත්වයකින් යුතු ව්‍යාජ පුවත් සාකච්ඡාවක් රඟදක්වන ලදි. GNN නම් කල්පිත රූපවාහිනි පුවත් සේවයක් හරහා එම පුවත් සාකච්ඡාව විකාශනය කරන අයුරු ද Event 201 වැඩසටහනේ අන්තර්ගතය. මෙහිදී මෙම පුවත් සාකච්ඡාවට සහභාගි වූ සංවිධාන තුන විසින් මෙම “ බිහිසුණු වසංගතයට” එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරන ලදි. ඉන් එකක් නම් “වෛරසයට එරෙහිව යොදාගත හැකි එන්නත්වල ශක්තිමත් ස්ථාවර සංචිතයක් ජාත්‍යන්තර වශයෙන් පවත්වාගෙන යාමය”.
මෙම Event 201 අනාගත සිදුවීම් පූර්ව රංගනය තුළ ගේට්ස් පදනමේ ගොලීය සෞඛ්‍ය සභාපති ක්‍රිස් එලියාස් (Chris Elias) විසින් එවැනි එන්නත් සංචිතයක් සඳහා ආයාචනා කරන ලදි. “ ගෝලීය එන්නත් සංචිතයක් විසින් නිසැක ලෙසම සහේතුක සහ උපායමාර්ගින බෙදාහැරීමක් තහවුරු කිරීමට සහාය වනු ඇත.” නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පුද්ගලික අංශය අතර සහයෝගිතාව එවැන්නක් ඵලදායිකිරීමට හේතුවනු ඇත.”

වාස්තවික දෘෂ්ටිකෝණයකින් සළකා බලන කළපොදු සෞඛ්‍ය පිළිබඳ අර්බුදයකදී මධ්‍යගත ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම සංචිතයකට වටිනා මෙහෙයක් ඉටු කළ හැකි වනු ඇත. එහෙත් ප්‍රශ්නය වනු ඇත්තේ එවැනි සංචිතයක් පාලනය සහ මෙහෙයවීම සිදුකරන්නේ කවුරුන් විසින් ද යන්නයි.
ආචාර්ය ඩේවිඩ් ලෙගේ Grayzone වෙත මෙසේ පැවසුවේය. “එලියාස් ගේ යෝජනාව විසින් ඖෂධ සමාගම්වල බලපෑම් කිරීමේ හැකියාව තවත් ඉහළ යන බවයි. මක් නිසාද යත් නිසැකවම විශාල ඖෂධ සමාගම් සම්බන්ධවන සැපයුම් සහ බෙදාහැරීම් වලට ප්‍රමුඛතාව දෙන පොදු සහ පුද්ගලික හවුල්කාරිත්වයක් විසින් ලෝක ෙසෞඛ්‍ය සංවිධානය එම සමාගම් මත යැපෙන තත්ත්වයක් නිර්මාණය කරන බැවිනි.”

එවැනි ඖෂධ සහ සහ සේවා සම්පත් සංචිතයන් පාලනය සහ බෙදාහැරීම ක්‍රියාවලියට නේටෝ (NATO) සංවිධානය වැනි බටහිර ආයතනවල මැදිහත්වීම ද සිදු විය යුතු බවට ගේට්ස් විසින් සමහර විට තර්ක කරනු ඇත.
2015 දී බිල් ගේට්ස් මෙසේ ලියා තිබේ. “ බරපතල වසංගතයක් පවතින කාලයක් තුළ ඒ සඳහා දක්වන ප්‍රතිචාර ක්‍රම පද්ධතීන් සම්බන්ධීකරණය සමහර ගෝලීය ආයතන බලාත්මක කිරීම සහ ඒවාට මුල්‍ය සම්පත් සැපයීම මගින් සිදු කළ හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් සංවිධාන (ලෝක බැංකුව සහ G7 රටවල් ද ඇතුළුව) අතර අධිකාරි බලය බෙදාගැනීම සම්බන්ධව සාකච්ඡාවක් පැවැතිය යුතුය. එමෙන්ම එවැනි සංවාදයක් තුළට නේටෝ වැනි මිලිටරි සන්ධානයන් ද ඇතුළත් කළ යුතුය.”
“කොවිඩ්-19 එන්නත් පළමුවෙන් ලබාදිය යුත්තේ අඩු ආදායම් ලබන රටවල් වලට ය.” යනුවෙන් ද ගේට්ස් තර්ක කර තිබේ. එන්නත් පාලනය සහ බෙදාහැරීම පිළිබඳව නෙටෝ සංවිධානය භූමිකාවක් ඉටු කරන්නේ නම් අතීතයේදී එවැනි ආධාර මානුෂික මැදිහත්වීම් සඳහා බටහිර විසින් යොදාගත් අන්දමටම එවැනි ආධාර බටහිර මිලිටරි න්‍යායපත්‍රය සඳහා යොදාගැනීමට ඉඩ තිබේ.
ජාතික සහ ජාත්‍යන්තර යන තල දෙකම තුළ මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳ යථාව මුළුමණින්ම වාගේ බිල් ගේට්ස් විසින් සිය ඒකාධිකාරයට නතු කරගෙන තිබේ. ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් කොවිඩ් වසංගතයට දක්වන ලද ප්‍රතිචාරය සහ ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (National Institute of Allergy and Infectious Diseases) අධ්‍යක්ෂ ඇන්තනි පවුචී ගැන සඳහන් කරමින් “ෆවුචි සහ මා අතර අඛණ්ඩ ලෙස සම්බන්ධකම් පවතී” යි බිල්ගේට්ස් විසින් ප්‍රකාශ කර ඇත.
ඒ අතරම මෙම මෙගා ප්‍රකෝටිපතියා විසින් ඖෂධ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් සමග මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානින් යන කණ්ඩායම් දෙකම සමග “දිනපතා” කතාබහ කරන බව පෙනී යයි.
ආණ්ඩුවේ ප්‍රධානින් සමග මෙන්ම ලාභ ගැරීමේ යෙදී සිටින පුද්ගලික අංශය සමගද සබඳතා පවත්වාගෙන යන අතරම ගෝලීය කොවිඩ්-19 ප්‍රතිචාර පිටිය තුළ වඩාත් බලපෑම් සහගතම ක්‍රීඩකයා බවට ගේට්ස් පදනම පත්ව තිබේ. අතීතයේදී ගේට්ස් පදනම ක්‍රියාත්මක වී ඇත්තේ පොදු ජන සෞඛ්‍යය විනාශ කරමින් බටහිර බහුජාතික සමාගම් වෙනුවෙන් නම් මෙවර ඊට වඩා වෙනස් ලෙස ඔවුන් ක්‍රියා කරනු ඇතැයි කිසිවෙකු විසින් හෝ අපේක්ෂා කළ යුත්තේ මන්ද?

ඉතිහාසයේ පුනරාවර්තනය

මෙම (2020) ජූලිමස ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය විසින් වාර්තා කළේ ජොහැන්නස්බර්ග් නගරයේදී දකුණු අප්‍රිකානුවන් විසින් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ අදියර III පරීක්ෂණ අප්‍රිකාවේ පැවැත්වීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නිරත වූ බවයි. ගේට්ස් පදනම විසින් මෙම එන්නත සංවර්ධන සඳහා පසුගිය මාසයේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 750ක් ලබාදී තිබේ. විරෝධතාකරුවන් විසින් ප්‍රදර්ශනය කළ බැනර් මත “ අපි පරීක්ෂණාගාර මීයන් නොවෙමු.” සහ ගේට්ස්ගේ විෂ අපිට එපා” යන සටන්පාඨ දක්නට වූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් වාර්තා කර ඇත.
මෙම විරෝධතාවය සංවිධානය කළ පපානෝ පාෂා පුවත් සේවය වෙත පැවසුවේ සමාජයේ දුප්පත් ජන කොටස් නොමග යවමින් මෙම එන්නත්වල අත්හදාබැලීමේ පරීක්ෂණ සඳහා යොදාගෙන ඇති බවයි. එය එම පරීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන් එහි අවදානම සහ පිළිබඳ දැනුවත් කිරීමකින් පසුව ගත් ස්වේච්ඡා සහගත තීරණයක් ලෙස සැළකිය නොහැකි බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

The Grayzone වෙබ් අඩවිය විසින් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Bill & Melinda Gates Foundation), එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ගෝලීය සන්ධානය (Global Alliance for Vaccines and Immunization – GAVI) සහ උචිත සෞඛ්‍ය සහ තාක්ෂණය සඳහා වන වැඩ සටහන (Program for Appropriate Health and Technology – PATH) යන සංවිධාන වලින් මෙම ලිපිය සම්බන්ධව අදහස් දක්වන ලෙස ආරාධනා කළ ද ඔවුන්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නැත.

මිෂෙල් ග්‍රීන්ස්ටයින්
එක්සත් ජනපදයේ වොෂින්ටනයේ පදනම්ව ජනමාධ්‍ය කටයුතුවල නිරතවන අතර ඇය කලින් RT America පුවත් සේවයේ සේවය කොට ඇත.
ජෙරමි ලොෆ්රෙඩෝ   ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනය පදනම්ව සිය මාධ්‍ය වෘත්තියේ නිරතවෙයි. ඔහු RT America සඳහා විවිධ වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කොට ඇත

 

 

 

 

 

 

 

පරිවර්තනය – අජිත් සී හේරත්