කොවිඩ්-19 මරණ වාර්තා කිරීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාවද්‍ය මාර්ගෝපදේශනය

2020 අප්‍රේල් මස 16 වැනි දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “International Guidelines for Certification and Classification (Coding) of Covid-19 as Cause of Death “ නම් ලියැවිල්ලක් නිකුත් කරන ලදි. මෙහි සිංහල තේරුම “මරණයට හේතුව ලෙස කොවිඩ්-19 සහතික කිරීම සහ වර්ගීකරණය (කේතනය) සඳහා වන ජාත්‍යයන්තර මාර්ගෝපදේශනය” යන්නයි. මේ  මගින් කොවිඩ්-19 මරණ ලියාපදිංචි කිරීමේ දී  ක්‍රියා කළ යුතු ආකාරය ගැන ලෝකයේ සියලුම රටවලට දැඩි නීතිරීති පනවා ඇති අතර මෙම ලේඛනය මගින් හඳුන්වා දෙන ලද නීතීරීති සහ ක්‍රමවේදයන් එතෙක් කල් මරණ ලියාපදිංචි කිරීම සඳහා භාවිතා කළ පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිති සහ නීතිරීතිවලින් මුළුමණින්ම වෙනස්ය.

(මරණයට හේතුව ලෙස කොවිඩ්-19 සහතික කිරීම සහ වර්ගීකරණය (කේතනය) සඳහා වන ජාත්‍යයන්තර මාර්ගෝපදේශනය- සිංහල පරිවර්තනයට ඔබට මෙතැනින් ප්‍රවේශ විය හැකිය. මෙම පරිවර්තනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ  ශ්‍රී ලංකා රජයේ නිල පරිවර්තනයක් නොව නොව අධ්‍යයන අවශ්‍යතා මත සිදුකරන ලද්දක් බව කරුණාවෙන් සළකන්න)

උපතක් ලියා පදිංචිකිරීම මෙන්ම මරණයක් ලියාපදිංචි කිරීමද සමාජයක පැවැත්ම සඳහා විවිධ ආකාරයෙන් බලපාන අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සැළකේ. මරණ ලියාපදිංචිය පිළිබඳ දත්ත විවිධ ක්ෂේත්‍රයන් තුළ භාවිත කෙරේ. ජනගහනය සහ ජනගහන වර්ධන වේගය , මරණ අනුපාතය, ළදරු මරණ අනුපාතය, ජීවන අපේක්ෂාව ආදිය ගණනයේදී මෙම දත්ත භාවිතා වේ. එයට අමතරව රෝග සහ ඒවායේ ව්‍යාප්තිය නිරීක්ෂණය, හදිසි අවස්ථා සහ වසංගත රෝගවලදී සිදුවන මරණ පිළිබඳ සොයාබැලීම සහ වාර්තා කිරීම, විශේෂිත සහ සාමාන්‍ය තත්ත්වයන් සඳහා සෞඛ්‍ය සැලසුම් සම්පාදනය, අදාළ සැලසුම් සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම ආදිය සඳහා ද මරණ ලියාපදිංචිය අතිශයින් වැදගත් දත්ත සපයන මුලාශ්‍රයක් වේ. මරණ පිළිබඳ දත්ත රැස්කිරීමේ දී ඒවා පිළිබඳ අසත්‍ය තොරතුරු වාර්තා කිරීම විකෘති කිරීම පෙරළා සමාජයක පැවැත්මට විවිධ අයුරින් අහිතකර ප්‍රතිඵල ලබා දෙයි. මරණ ලියාපදිංචි කිරීම් පිළිබඳ දත්ත භාවිතා කර ගොඩනගනු සමස්ත චිත්‍රයේ වෙනසක් නිර්මාණය කිරීමට එක් පුද්ගලයෙකුගේ මරණ සහතිකයක අන්තර්ගත දත්ත සම්බන්ධයෙන් සිදු කරන අසත්‍ය වාර්තාකිරීමක් හෝ විකෘති කිරීමක් එතරම් බල නොපායි. නමුත් දෛනිකව මරණයට පත්වන සිය ගණනකගේ මරණවලට අදාළව ඒවාට හේතු සහතික කරන ලේඛන මත සංවිධානාත්මකවම අදාළ බලධාරින් විසින් ම සාවද්‍ය තොරතුරු ඇතුළත් කරන්නේ නම් එය විසින් අදාළ මරණ පිළිබඳව සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රයක් සමාජය හමුවේ නිර්මාණය කරනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 මරණ වාර්තා කිරීම සඳහා ලෝකයේ සියලු රටවලට නිකුත් කර ඇති මාර්ගෝපදේශනය එබඳු විකෘතිකිරීම් ගෝලීය පරිමාණයෙන් සිදුවීමට දැනුවත්ව මං සලසා ඇත.

A. මරණ සහතිකයක් යනු නීතිමය වාර්තාවකි

මරණය සිදු වූ බව ප්‍රකාශ කිරීමද එය සහතික කිරීමද සිදුකරනු ලබන්නේ වෛද්‍යවරයෙකු විසිනි. මරණ සහතිකයක් යනු නීතිමය වාර්තාවකි. මරණ සහතිකය සහතික කරන්නා වශයෙන් වෛද්‍යවරයෙකු මරණයට හේතු වූ සෞඛ්‍යමය තත්ත්වයන් හා සම්බන්ධ සිදුවීම් දාමය නිගමනය කරමින් නිවැරදි ලෙස වාර්තා කළ යුතුය. අදාළ පුද්ගලයා මරණයට පත්වූයේ මරණ සහතිකය මත සඳහන්කර ඇති හේතූන් වලින් බව වෛද්‍යවරයා සිය දැනුමට
අනුව නීත්‍යානුකූලව සහතික කරයි.

මරණයට හේතු දක්වන වෛද්‍ය සහතිකය [Medical Certificate of Cause of Death (MCCD)]
මරණයට හේතුව සඳහන් කරන කොටස 1 සහ 2 යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇත. ඉහළ නිල් පැහැති පළමු කොටස තුළ මරණයට බලපාන ලද ප්‍රධාන හේතූන් සහ සිදුවීම් අදාළ abcd පේළි තුළ අනුක්‍රමිකව වාර්තා කළ යුතුය. පහළ කොළ පැහැයෙන් ලකුණු කර ඇති 2වන කොටස තුළ මරණයට දායක වී ඇති වෙනත් වැදගත් රෝගී තත්ත්වයන් වාර්තා කළ යුතුය
මරණ සහතිකයක අතිශය වැදගත්ම කොටස වන්නේ මරණයට බලපෑ හේතුව (Cause of Death) දක්වන කොටසය. මක් නිසාද යත් එය මත පදනම්ව සංඛ්‍යා ලේඛන අති විශාල සංඛ්‍යාවක් ගොඩනැගෙන බැවිනි. එහෙයින් මේ කොටස පිරවීමේදී අතිශය ඉහළ නිරවද්‍යතාවක් සහ නිරවුල්භාවයක් අපේක්ෂා කෙරේ. මෙම කොටස පිරවීමේදී “අසවල් රෝගය යැයි සැක කරනු ලැබේ..අසවල් රෝගය වීමට බොහෝ දුරට ඉඩ තිබේ… නැතහොත් අසවල් රෝගයැයි අනුමාන කරනු ලැබේ” යැයි සඳහන් කිරීම නිවැරදි ක්‍රමයක් ලෙස පිළිගනු නොලබයි. මක් නිසාද යත් මරණ සහතිකයක් යනු නීතිමය ලියැවිල්ලක් වන බැවින් එවැනි අවිනිශ්චිතතාවන් වලට නීතිමය පදනමක් නැති බැවිනි.

B. කොවිඩ්-19 මරණය  නිර්වචනයකිරීම

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 අප්‍රේල් 16 වැනි දා නිකුත් කරන ලද “International Guidelines for Certification and Classification (Coding) of Covid-19 as Cause of Death ” නම් ඉහත ලේඛනය විසින් මෙම පිළිගත් ක්‍රියා පරිපාටිය කොවිඩ්-19 සඳහා වෙනස් කර අවිනිශ්චිතතාවන් නීතිගත කිරීම සඳහා අවකාශයක් විවෘත කරනුලබයි. එම ලේඛනය තුළ කොවිඩ්-19 හේතුවෙන් සිදුවන මරණයක් පහත පරිදි නිර්චනය කර ඇත.

“යම් අයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු යැයි අනුමානයට ලක් වූ හෝ කොවිඩ්-19 ආසාදිතයෙකු යැයි තහවුරු කෙරී ඇති පුද්ගලයෙකු නම් ද එම පුද්ගලයා සායනිකව ගැලපිය හැකි රෝග ලක්ෂණ සහිත රෝගයක ප්‍රතිඵලයක් ලෙස මරණයට පත් ව ඇත්නම් ද එම පුද්ගලයාගේ මරණය කොවිඩ්-19 රෝගයට සම්බන්ධ කළ නොහැකි වෙනත් පැහැදිලි හේතුවක් නොමැති නම් ද රෝගී බව සහ මරණය අතර කාලය තුළ එම පුද්ගලයා කොවිඩ්-19 වලින් සම්පූර්ණ සුවය ලබා නොසිටියේ නම් ද පරීක්ෂණ කටයුතුවල අවශ්‍යතාව සඳහා එම පුද්ගලයාගේ මරණය කොවිඩ්-19 මරණයක් ලෙස නිර්වචනය කෙරේ.”

මෙම නිර්වචනය අනුව කොවිඩ්-19 ආසාදානය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයෙකු මරණයට පත් වූ විට එම මරණය වෙනුවෙන් නිකුත් කරන සහතිකයේ 1 කොටසේ මරණයට බලපෑ ප්‍රධාන හේතුව (Underline cause of death) ලෙස කොවිඩ්-19 සැක කරන බවට නව (suspected COVID-19) ඇතුළත් කිරීමට උපදෙස් දී ඇත. කොවිඩ්-19 සඳහා නව ICD-10 කේත ඇතුළත් කොට ඇත. මේ අනුව වෛරසය හඳුනා නොගත් නමුත් කොවිඩ්-19 යැයි බොහෝ දුරට අනුමාන කරන හෝ සැක කෙරෙන [“probable” or “suspected,”] අවස්ථාවලදී භාවිතා කරන කේතය වන්නේ U07.2. වේ. වෛරසය හඳුනාගත් අවස්ථාවල කොවිඩ්-19 සඳහා භාවිතා කරන කේතය වන්නේ U07.1 යි. (p. 8/14)

එක්සත් ජනපදයේ වසංගත රෝග මර්දන මධ්‍යස්ථානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය අනුව එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 මරණ වාර්තා කිරීම සඳහා  Guidance for Certifying Deaths Due to Coronavirus Disease 2019 (COVID–19)  නම් ලේඛනය මගින් උපදෙස් නිකුත් කර ඇත. මරණයට බලපෑ ප්‍රධාන හේතුව [Underlying Cause of Death (UCOD)] මරණ සහතිකයේ 1 කොටසේ පහළම පේළියේ වාර්තා කළ යුතු යැයි එමගින් උපදෙස් දෙනු ලබයි. හැකියාවක් තිබේ නම් කොවිඩ්-19 ආසාදිතදැයි තහවුරු කිරීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස එහි සඳහන්ව තිබුණද මරණ සහතිකය සම්පූර්ණ කිරීම සඳහා එය අවශ්‍යතාවක් නොවන බවද එහි සඳහන් වේ

යම් කිසි රෝගී පුද්ගලයෙකු මරණයට පත් වූ පසුව එම පුද්ගලයා කොවිඩ්-19 මගින් ආසාදනය වී ඇති අයෙකුදැයි නිශ්චිතව නිර්ණය කළ නොහැකි නමුත් ඒ බවට සැක කළ හැකි හෝ එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු යැයි සහේතුක ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් සාධක ඇත්නම් මරණ සහතිකය මත “කොවිඩ් ආසාදිතයෙකු යැයි අනුමාන කෙරේ” (“presumed.”) යනුවෙන් හෝ “කොවිඩ්-19 ආසාදිතයෙකු වීමට බොහෝ දුරට ඉඩ ඇත”(“probable” ) යනුවෙන් සඳහන් කිරීමට එය විසින් උපදෙස් දෙනු ලබයි. මරණයට පත්  යම් පුද්ගලයෙකු  සම්බන්ධව කොවිඩ්-19 කවර ආකාරයකින් සම්බන්ධ වී ඇත්නම් මරණයට බලපෑ හේතුව ලෙස කොවිඩ්-19 මරණ සහතිකයේ 1 කොටසේ භාවිතා කරන පේළිවල පහලම පේළියේ සඳහන් කළ යුතුයැයිද එහි සඳහන් වේ
මෙහිදී එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව යමින් නිශ්චිතව තහවුරු කළ නොහැකි රෝගී තත්ත්වයක් මරණයට බල පෑ ප්‍රධාන හේතුව ලෙස මරණ සහතිකයට ඇතුළත් කරන ලෙස මරණ සහතිකය පුරවන්නා සහ සහතික කරන්නා හට එනම් වෛද්‍යවරයා හට උපදෙස් දෙනු ලබයි. මෙම එක්සත් ජනපදයේ පමණක් සිදුවන දෙයක් නොව කොවිඩ්-19 පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපැදීමට බැඳි සිටින සහ ඒවා ක්‍රියාත්මක කරවන සියලු රාජ්‍යයන් තුළ සිදුවන දෙයකි.
අනෙක් අතට යමෙකුගේ කොවිඩ්-19 ආසාදිත බව තහවුරු කිරිමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යොදාගනු ලබන විද්‍යාගාර පරීක්ෂණය RT-PCR පරීක්ෂණයයි. එම පරීක්ෂණය පරීක්ෂණ දෝෂ ගණනාවකින් සමන්විත බව බාහිර විමර්ශන කණ්ඩායමක් විසින් පෙන්වා දී ඇත. එමෙන්ම පෘතුගිසි අධිකරණය විසින් දෙන ලද තීන්දුවක සඳහන් වනුයේ කොවිඩ්-19 නිශ්චය කිරීම සඳහා RT-PCR පරීක්ෂණය නුසුදුසු එකක් බවත් එය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවත්ය.

C.මරණයට හේතු දක්වන වෛද්‍ය සහතිකය පිරවීමේ ක්‍රමවේදය

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මරණයට හේතු දක්වන වෛද්‍ය සහතිකය [Medical Certificate of Cause of Death (MCCD)] මුල්වරට හඳුන්වා දෙනු ලබන්නේ 1948 දීය. මෙහි අරමුණ වූයේ ඒ වන විට පැවැති මරණ සහතික කිරීමේ ක්‍රමය වූ මරණයට බලපෑ ආසන්නතම හේතුව පමණක් සඳහන් කිරීමේ ක්‍රමය වෙනුවට මරණය කරා යොමු වීමට හේතු වූ රෝගී තත්ත්වයන්ගේ සිදුවීම් දාමය විස්තරාත්මකව මරණ සහතිකයට ඇතුළත් කිරීමය.

ඉහත දැක්වෙන A රාමුව මරණයට හේතු දක්වන වෛද්‍ය සහතිකයේ අතිශයින්ම වැදගත් කොටසයි. මරණයට අදාළ අතිශයින් වැදගත් තොරතුරු වාර්තා කළ යුත්තේ මෙහිය. A රාමුව කොටස් දෙකකට බෙදා ඇත. 1 කොටස මරණයට හේතුව වාර්තා කිරීම සඳහාය. 2 කොටස තුළ මරණයට දායක වූ වෙනත් හේතුන් සඳහන් කරනු සඳහාය. 1 කොටස තුළ එනම් මරණයට බලපෑ හේතු දක්වන කොටසේ a,b,c,d, යනුවෙන් පේලී 4 ක් තිබේ.
ඉන් ඉහළම පෙළ එනම්  a භාවිතා කළ යුත්තේ මරණයට බලපෑ ආසන්නතම හේතුව වාර්තා කිරීමටයි. ඉතිරි b,c,d පේලී යොදාගත යුත්තේ මරණයට බල පෑ ආසන්නතම හේතුව වෙත යොමු කිරීමට බලපෑ රෝගී තත්ත්වයන් වාර්තා කිරීමටය. අවසාන පෙළ තුළ වාර්තා කරනුයේ මරණයට බල පෑ ප්‍රධාන හේතුව එනම් ඉහත පේළීවල සඳහන් තත්ත්වයන් ඇති කිරීමට බලපාන ලද මූලික හේතුව වාර්තා කිරීමටය. පුද්ගලයා මරණය කර යොමු කිරීමට බල පාන ලද සිදුවීම් අනුක්‍රමය මෙම ආකෘතිය මගින් වඩාත් පැහැදිලිව කළ හැකිය.

උදාහරණයක් ලෙස දියවැඩියාව සහිත පුද්ගලයෙකු හෘදයාබාධයකින් මරණයට පත්වීමේදී මරණයට හේතුව ලෙස සැළකෙන්නේ හෘදය රෝගයකි. 1 කොටසේ පළමු පෙළ ඇතුළත් කර ඇත්තේ හෘදායාබාධයයි. ( Myocardial Infarction).  මක් නිසා ද යත් හෘදයාබාධය මරණයට බලපෑ ආසන්නතම හේතුව වන බැවිනි. දෙවන පෙළට ඇතුළු කර ඇත්තේ හෘදය පේශීන්ට රුධිරය සපයන නාල අවහිර වීමේ හෘදය රෝගී තත්ත්වයයි(Ischaemic Heart Disease). මක් නිසාද යත් මරණයට බලපෑ ප්‍රධාන හේතුව එය බැවිනි. පුද්ගලයාගේ මරණයෙන් අවසන් වන සිදුවීම් දාමය ආරම්භවනුයේ මෙම රෝගී තත්ත්වයත් සමගය. මෙම හෘදය රෝගය විසින් හෘදයාබාධයක් ඇති කරන ලද අතර එය විසින් පුද්ගලයා මරණයට පත් විය
1 කොටසේ ඉතිරි පේළී හිස්ව තබා ඇත. ඒ මෙම පුද්ගලයා මරණය කරා යොමු කිරීමට බලපෑ සිදුවීම් දාමයට දායක වූ වෙනත් රෝගී තත්ත්වයකින් මෙම පුද්ගලයා නොපෙළෙමින් සිටි හෙයිනි. දියවැඩියාව 2 කොටසේ වාර්තා කොට ඇත.මක් නිසාද යත් එය මරණය සඳහා දායක වූ වෙනත් වැදගත් හේතූවක් ලෙස මිසෙක මරණයට සෘජුවම බලපෑ සිදුවීම් දාමයට අයත් රෝගී තත්ත්වයක් ලෙස නොසැළකෙන බැවිනි. මෙම මරණය ලියාපදිංචි කරනු ලබන්නේ හෘදය පේශීන්ට රුධිරය සපයන නාල අවහිර වීමේ රෝගය ((Ischaemic Heart Disease) හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස නැතහොත් හෘදය රෝගයක් (heart disease) හේතුවෙන් සිදු වූ මරණයක් ලෙසිනි.

තවත් උදාහරණයක් ලෙස රිය අනතුරක් හේතුවෙන් රුධිර ධමනි බිඳි තුවාල වීම හේතුවෙන් සිදු වූ අභ්‍යන්තර රුධිරවහනය නිසා පුද්ගලයෙකු මරණය පත් වීම ගත හැකිය.

මෙහිදී 1 කොටසේ පළමු පේළියේ අන්තර්ගත වන්නේ “අභ්‍යන්තර රුධිරවහනයයි“ (Internal Bleeding). මක් නිසාද යත් මරණයට බලපෑ ආසන්නතම හේතුව එය වන බැවිනි. දෙවන පේළියේ වාර්තා කර ඇත්තේ රුධිර ධමනීන්ට තුවාල සිදුවීමයි (Ruptured Artery). මක් නිසාද යත් රුධිර ධමනින්ට සිදු වූ තුවාල හේතුවෙන් අභ්‍යන්තර රුධිරවහනය සිදුවූ හෙයිනි. තුන්වන පේළියේ අන්තර්ගත වන්නේ මහාමාර්ග රිය අනතුරක් (Road Traffic Accident) යන්නයි. මෙහි දී මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස සැළකෙන්නේ මහාමාර්ග රිය අනතුර යන්නයි. මක් නිසාද යත් පුද්ගලයාගේ මරණින් අවසන් වන සිදුවීම් දාමය ආරම්භවන්නේ මෙම සිදුවීමත් සමග වන හෙයිනි.

මෙම සිදුවීමේ දී 2 කොටස හිස්ව තබනු ලැබේ. මක් නිසාද යත් මරණයට දායක වූ වෙනත් වැදගත් තත්ත්වයන් නොමැති හෙයිනි. රිය අනතුර විසින් ධමනිවලට තුවාල සිදු කරනු ලැබූ අතර එම තුවාල හේතුවෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනය විසින් පුද්ගලයා මරණයට පත් කරන ලදි. එහෙයින් මෙම මරණය ලියාපදිංචි කරනු ඇත්තේ මහාමාර්ග රිය අනතුරකින් සිදු වූ මරණයක් ලෙසය.

D. කොවිඩ්-19 සහ සායනිකව ගැලපිය හැකි රෝග ලක්ෂණ සහිත රෝග

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 හේතුවෙන් සිදුවන මරණයක් නිර්වචනය කර ඇත්තේ මෙසේය.
” යම් අයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු යැයි අනුමානයට ලක් වූ හෝ කොවිඩ්-19 ආසාදිතයෙකු යැයි තහවුරු කෙරී ඇති පුද්ගලයෙකු නම් ද එම පුද්ගලයා සායනිකව ගැලපිය හැකි රෝග ලක්ෂණ සහිත රෝගයක ප්‍රතිඵලයක් ලෙස මරණයට පත් ව ඇත්නම් ද එම පුද්ගලයාගේ මරණය කොවිඩ්-19 රෝගයට සම්බන්ධ කළ නොහැකි වෙනත් පැහැදිලි විකල්ප හේතුවක් (උදා-තුවාල) නොමැති නම් ද රෝගී බව සහ මරණය අතර කාලය තුළ එම පුද්ගලයා කොවිඩ්-19 වලින් සම්පූර්ණ සුවය ලබා නොසිටියේ නම් ද පරීක්ෂණ කටයුතුවල අවශ්‍යතාව සඳහා එම පුද්ගලයාගේ මරණය කොවිඩ්-19 මරණයක් ලෙස නිර්වචනය කෙරේ.”

මෙම නිර්වචනයේ පවතින අවිනිශ්චිත තැන් නිසා කොවිඩ්-19 හේතුවෙන් සිදුවන මරණයක් නිර්වචනය කිරිමේ අති විශාල පරාසයක් නිර්මාණය කරයි.
HSE වෙබ් අඩවියේ සහ මහා බ්‍රිතාන්‍යයේ NHS වෙබ් අඩවියේද ලෝකයේ බොහෝ රාජ්‍යවල සෞඛ්‍ය සහ වසංගත රෝග අංශ විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වලද  සඳහන් වන අන්දමට කොවිඩ්-19, ඉන්ෆ්ලුවන්සා සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන රෝගවල රෝග ලක්ෂණ බොහෝවිට සමාන වේ.
මෙම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වලින් කවරක් වුව ද ඉහත නිර්වචනයට අනුව කොවිඩ්-19 සමග “ සායනිකව ගැලපිය හැකි රෝග ලක්ෂණ සහිත“ (clinically compatible illness) ඒවා වේ. මේ අනුව යම් කිසි පුද්ගලයෙකු සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆලුවන්සා ආසාදනයට ලක් වී එම රෝග ලක්ෂණ පෙන්වුවද එම රෝග ලක්ෂණ සහ කොවිඩ්-19 රෝග ලක්ෂණ අතර පොදු පරාසයක් පවතින බැවින් එම පුද්ගලයන් කොවිඩ්-19 ආසාදිතයෙකු යැයි සැකයට ලක්වී ඇති අයෙකු නම් ද හෝ RT-PCR පරීක්ෂණය මගින් එය තහවුරු වී ඇත් නම් ද එම පුද්ගලයා මරණයට පත්වු විට එය කොවිඩ්-19 මගින් සිදු වූ මරණයක් ලෙස වාර්තා කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියලුම රාජ්‍යයයන් වෙත උපදෙස් දී ඇති බව පැහැදිලිය.

මෙහිදී අවධානයට ගත යුත්තේ යම් පුද්ගලයෙකු කොවිඩ්-19 මගින් ආසාදනයට ලක්ව ඇතැයි සැකයට ලක්වීම පමණක් ඔහු හෝ ඇය මිය ගිය පසුව එම මරණය කොවිඩ්-19 මරණයක් ලෙස ලේබල් කිරීම සඳහා ප්‍රමාණවත් බවයි.

නිර්වචනයේ පළමු කොටසේ දී කොවිඩ්-19 මරණයක් හඳුනාගනු ලබන ආකාරය ගැන උපදෙස්වලට අනුව යම් අයෙකු කොවිඩ්-19 සමග සායනිකව ගැලපිය හැකි රෝග ලක්ෂණ සහිත රෝගයක් හේතුවෙන් මරණයට පත්ව ඇත් නම් ද ඔහු හෝ ඇය කොවිඩ්-19 ආසාදිත යැයි සැකයට ලක්වූ අයෙක් නම් ද එම මරණය කොවිඩ් 19 මරණයක් ලෙස සැළකේ. මේ අනුව සායනිකව ගැලපිය හැකි රෝගවන ඉන්ෆ්ලුවන්සා, හෝ සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව මගින් යම් අයෙකුගේ පිළිකා, හෘදය රෝග වැනි පූර්ව රෝගී තත්ත්වයන් සංකූල වී එම පුද්ගලයා මරණයට පත්වුවහොත් එම මරණය කොවිඩ් මරණයක් ලෙස වාර්තා කළ යුතුය.
ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනයේ කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ මරණ නිර්වචන කිරීම යටතේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.

“කොවිඩ්-19 නිසා සිදු වූ මරණයක් වෙනත් රෝගවලට (උදා-පිළිකා) ආරෝපණය නොකළ යුතු අතර කොවිඩ්-19 නිසා උත්සන්න වන්නට ඇතැයි සැක කෙරෙන පූර්වරෝගී තත්ත්වයන්ගෙන් ස්වාධීනව සැළකිල්ලට ගත යුතුය.”
මෙම වාක්‍ය මගින් වැඩි දුරටත් දෙන උපදේශය නිවැරදිව තේරුම් ගැනීම වැදගත්ය. මේ අනුව යමෙකු ගේ පූර්ව රෝගී තත්ත්වයන් කුමක් වුව ද එම පුද්ගලයා සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆලුවන්සා වැනි කුමකින් ආසාදනය වී එම පූර්ව රෝගී තත්ත්වයන් උත්සන්න වී ඔහු මරණයට පත් වුව ද ඒ කිසිවක් වැදගත් දත්ත නොවේ. සියලු රෝගී තත්ත්වයන්ගෙන් ස්වාධීනව එම මරණය සැ‍ළකිල්ලට ගෙන එම මරණය කොඩිඩ් 19 මගින් සිදු වූ මරණයක් ලෙස වාර්තා කළ යුතුය. ඔහුට කොවිඩ් -19 වැළැඳී ඇතැයි යන්න සායනිකව හෝ විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරු කිරීම අවශ්‍ය නොවේ. ඔහු හෝ ඇය කොවිඩ්-19 වැළැඳී ඇතැයි සැකයට ලක්වීම ප්‍රමාණවත්ය. සැකයට ලක්වීම යනු අවදානම් කලාපයක දින 14ක් ඇතුළත කාලය ගත කර තිබීම, කොවිඩ් 19 ආසාදිත යැයි සැක කරන හෝ තහවුරු කෙරී ඇති පුද්ගලයෙකු ලඟින් ඇසුරු කර තිබීම යනාදියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම මාර්ගෝපදේශනය මරණයට හේතු වාර්තා කිරීම පිළිබඳ සියලු ප්‍රඥප්තීන්ට එරෙහිය.

හෘදය රෝග සහ රිය අනතුරු සම්බන්ධව වාර්තා කිරීමේදී එය නිවැරදිව සිදු කරන ලෙසට උපදෙස් දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත්තේ එවැනි සිදුවීම් කොවිඩ්- මරණ ලෙස වාර්තා කළහොත් සිදුවන ප්‍රෝඩාව විවෘතවම සියලු දෙනාටම දැකගත හැකිවන බැවිනි. එහෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය උපදෙස් මාලාව මගින් මරණ වාර්තාකරණය විකෘති කිරීමට උත්සාහ කරනු ලබන්නේ එතරම් පැහැදිලිව සාමාන්‍ය ජනයාට වටහාගත නොහැකි රෝගී තත්ත්වයන් ගෙන් සිදුවන මරණවලටය‍.

මෙම මාර්ගෝපදේශනය  MCCD [Medical Certificate of Cause of Death ] ආකෘති පත්‍රය පිරවීමේදී අනුගමනය කළ යුතු කලින් පැවති නීතිරීතිවලට පටහැනි වන්නේ කෙසේද? අප විසින් කලින් දක්වන ලද උදාහරණය වන යමෙකු රිය අනතුරකින් මිය යාම සහ හෘදය රෝගයකින් මිය යාම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය කලින් පැවති MCCD උපදෙස් වලට වලට සමානය. මෙම සිදුවීම් දෙකට අදාළ මරණ කොවිඩ්- මරණ ලෙස වාර්තා නොකළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී පමණක් පැහැදිලිව සහ නිවැරදිව දක්වා තිබේ. නමුත් ලෝකය පුරා රිය අනතුරු, හෘදයාබාධ, සිය දිවි නසාගැනීම්වලින් සිදුවන මරණ කොවිඩ්-19 බැරකිරීම නතර කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහත උදාහරණ දෙක සම්බන්ධ උපදෙස් වලට හැකි වී නැත. හෘදය රෝග සහ රිය අනතුරු සම්බන්ධව වාර්තා කිරීමේදී එය නිවැරදිව සිදු කරන ලෙසට උපදෙස් දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත්තේ එවැනි සිදුවීම් කොවිඩ්- මරණ ලෙස වාර්තා කළහොත් සිදුවන ප්‍රෝඩාව විවෘතවම සියලු දෙනාටම දැකගත හැකිවන බැවිනි. එහෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය උපදෙස් මාලාව මගින් මරණ වාර්තාකරණය විකෘති කිරීමට උත්සාහ කරනු ලබන්නේ එතරම් පැහැදිලිව සාමාන්‍ය ජනයාට වටහාගත නොහැකි රෝගී තත්ත්වයන් ගෙන් සිදුවන මරණවලටය‍.

E. මරණ සහතිකය තුළ පූර්ව රෝගී තත්ත්වයන් නොසළකාහැරීම

මෙම උපදෙස් මාලාව අනුව ඇතැම් රෝගවලින් සිදුවන මරණ සහතික කරන ආකාරය සාමාන්‍ය ජනයාට වටහා ගැනීම අපහසුය. එවැනි රෝග සම්බන්ධයෙන් මේ සාවද්‍ය මරණ ලියාපදිංචි කිරීම් බොහෝ විට සිදුවෙයි.
උදාහරණයක් ලෙස  පහත සිදුවීම ගනිමු. යම් පුද්ගලයෙකු නිව්මෝනියාව හේතුවෙන් මරණයට පත්වෙයි. මෙම නිව්මෝනියා තත්ත්වය ඇතිවීමට බලපාන්නේ අජංගමිකත්වය(immobilisation) නැතහොත් ශරීර අවයව චලනය කිරීමේ සහ ඇවිදීමේ නොහැකියාවයි. මෙම තත්ත්වය ඇතිවීමට බලපා ඇති හේතුව බහුවිධ ස්ක්ලිරොසිස් (multiple sclerosis)නම් ස්නායු ආබාධයයි.

මෙම මරණයට බලපෑ ප්‍රධාන හේතුව බහුවිධ ස්ක්ලිරෝසිස් නම් රෝගී තත්ත්වයයි. මක් නිසාද යත් පුද්ගලයා අජංගමිකත්වයකට පත්කරන ලද හේතුව එය බැවිනි. එම අජංගමිකත්වය නිව්මෝනියාව ඇති කිරීමට හේතු වූ අතර එය විසින් පුද්ගලයා මරණයට පත් කෙරිණි.
මෙතෙක් පිළිගත් ක්‍රමයට එම මරණය සහතික කරන්නේ නම් අදාළ ආකෘති පත්‍රය තුළ එය දැක්වෙන්නේ මෙලෙසය.

දැන් මෙම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකුයැයි පරීක්ෂණයේ පොසිටිව් ප්‍රතිඵල මගින් නිගමනය කළේ යැයි සිතමු. එවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව උපදෙස් අනුව මෙම ආකෘති පත්‍රය පිරවිය යුත්තේ මෙලෙසය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදෙශනයට අනුව මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස බහුවිධ ස්ක්ලිරෝසිස් නම් රෝගී තත්ත්වය තවදුරටත් නොසැළකේ. ඒ වෙනුවට මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස සැළකෙන්නේ කොවිඩ්-19 ය. බහුවිධ ස්ක්ලිරෝසිස් සහ එමගින් ඇතිවන අජංගමිකත්වය ආකෘති පත්‍ර යේ දෙවන කොටසට මාරු කර ඇත. එනම් දැන් එය ඇතුලත් වනුයේ මරණයට දායක වූ වෙනත් වැදගත් හේතු යන වර්ගයටය.මෙම මරණය දැන් කොවිඩ්-19 නිසා සිදු වූ මරණයක් ලෙස වාර්තා කරනු ඇත.
නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මාලාවේ මේ වගන්තිය සිහිපත් කර ගනිමු.

“කොවිඩ්-19 නිසා සිදු වූ මරණයක් වෙනත් රෝගවලට (උදා-පිළිකා) ආරෝපණය නොකළ යුතු අතර කොවිඩ්-19 නිසා උත්සන්න වන්නට ඇතැයි සැක කෙරෙන පූර්වරෝගී තත්ත්වයන්ගෙන් ස්වාධීනව සැළකිල්ලට ගත යුතුය.”

මේ අනුව මෙම අවාසනාවන්ත මරණයට ලක් වූ පුද්ගලයා දීර්ඝකාලීනව පෙළෙමින් සිටි රෝගී තත්ත්වයන් සම්පූර්ණයෙන්ම නොසළකා හැර සාවද්‍ය පොසිටිව් ලබා දෙන ලෙස සැලසුම් කර ඇති RT-PCR පරීක්ෂණය විසින් ලබා දෙන පොසිට්ව් ප්‍රතිඵල අනුව මෙම මරණය කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස වාර්තා කෙරේ.
මෙහිදී අවධානයට ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මෙහිලා අත්‍යවශ්‍ය කරුණක් ලෙස නොසලකන බවයි. කොවිඩ්-19 සඳහා සායනික කේත පිළිබඳ උපදෙස් වලට අනුව හුදෙක් RT-PCR පරීක්ෂණයෙන් පොසිටිව් ප්‍රතිඵල ලබා දීම ඒ සඳහා ප්‍රමාණවත්ය.

මෙහිදී අවධානයට ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ පරීක්ෂණයෙන් ලැබෙන පොසිටිව් ප්‍රතිඵලවලින් පමණක් රෝග නිශ්චය සිදු නොකරන ලෙසත්, රෝගියාගේ රෝග ඉතිහාසය, සායනික ලක්ෂණ, සහ සෙසු විද්‍යාගාර පරීක්ෂණ ආදි සියල්ල රෝග නිශ්චයේදී සැළකිල්ලට ගත යුතු බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය යමෙකු මරණයට පත් වූ විට එම මරණය කොවිඩ් -19 මරණයක් ලෙස වාර්තා කිරීමට උපදෙස් දෙන ආකාරය ඊට සපුරාම වෙනස් බවයි.
එනම්

  1. යම් මරණයක් කොවිඩ්-19 මරණයක් බවට තහවුරුකරන ලද මරණයක් ලෙස වාර්තා කිරීමට RT-PCR පරීක්ෂණයේ පොසිටිව් ප්‍රතිඵල ප්‍රමාණවත්ය.
  2. යම් මරණයක් කොවිඩ්-19 මගින් සිදුවූවා යැයි සැක කෙරෙන මරණයක් ලෙස වාර්තා කිරීමට මියගිය පුද්ගලයා කොවිඩ්-19 ආසාදිත යැයි සැළකෙන හෝ අනුමාන කෙරෙන පුද්ගලයෙකු සමග ඇසුරු කර තිබීම සහ මරණයට පෙර දින 14ක කාලයක් තුළ කොවිඩ්-19 අවදානම් කලාපයක ගත කර තිබීම ආදිය ප්‍රමාණවත් වේ.
  3. මෙම අවස්ථා දෙකෙහිම පුද්ගලයා රෝග ලක්ෂණ දක්වන්නේද නැත්ද යන්න නොසලකා හරින ලද කාරණාවකි.

තවත් උදාහරණයක් සළකා බළමු.

මෙම උදාහරණයේ පුද්ගලයාගේ මරණයට බලපාන ආසන්නතම හේතුව උග්‍ර ශ්වසන දුෂ්කරතා සහලක්ෂණය [Acute Respiratory Distress Syndrome (ARDS)] වේ. එම තත්ත්වය ඇතිකිරීමට හේතුවී ඇත්තේ නියුමෝනියාවයි. මෙම නියුමෝනියා තත්ත්වය ඇතිවීමට බලපාන ලද හේතුව වන්නේ නිදන්ගත පෙණහලු අවහිරකම් පිළිබඳ ආබාධයන්ය [ Chronic Obstructive Pulmonary Disorder (COPD)].

මේ අනුව ඔබට පෙනී යනු ඇත්තේ මරණයට බලපෑ ප්‍රධාන හේතුව නිදන්ගත පෙණහලු අවහිරකම් පිළිබඳ ආබාධයන් (COPD) බවයි. මක් නිසාද එය විසින් නිව්මෝනියාව ඇති කරන ලදි. නිව්මෝනියාව විසින් මරණයට බල පෑ ආසන්නතම හේතුව වන උග්‍ර ශ්වසන දුෂ්කරතා සහලක්ෂණය(ARDS) ඇති කරන ලදි. මේ අනුව මරණය ලියාපදිංචි කරනු ඇත්තේ නිදන්ගත පෙණහලු අවහිරකම් පිළිබඳ ආබාධයන් (COPD) හේතුවෙන් සිදුවූවක් ලෙසය. නමුත් මෙම පුද්ගලයා මරණයට පෙර කොවිඩ් ආසාදිතයෙකු යැයි සැළකෙන පුද්ගලයෙකු හෝ ඒ බවට සැකයට ලක් වූ පුද්ගලයෙකු සමග ඇසුරු කර තිබුනේ නම් මරණ සහතිකයට සිදුවන්නේ කුමක් ද ?

මේ අනුව දැන් මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව ලෙස සැළකෙන්නේ කොවිඩ්-19 ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සායනික කේතනය පිළිබඳ උපදෙස් මාලාව විසින් අවධාරණය කරන පරිදි කොවිඩ් -19 ආසාදිතයෙකු යැයි තහවුරු කරන ලද හෝ ඒ බවට සැකයට ලක් වූ පුද්ගලයෙකු ඇසුරු කර ඇති නම් එය කොවිඩ්-19 මරණයක් ලෙස වාර්තා කළ යුතුය. මෙහි දී තහවුරු කරන ලද කොවිඩ් -19 මරණයක් සැළකිල්ලට ගන්නා ආකාරය සහ කොවිඩ්-19 යැයි සැක කරන මරණයක් සැළකිල්ලට ගන්නා ආකාරයේ කිසිදු වෙනසක් නැති බව වටහාගත යුතුය. දැන් එය ඔබට රූපවාහිනි පුවත්වලින් අසන්නට ලැබෙන කොවිඩ්-19 මරණ සිය දහස් ගණනින් එකකි.
මේ අනුව මෙම පුද්ගලයා මරණය කරා යොමු කළ නිව්මෝනියාව ඇතිවීමට හේතු වූ නිදන්ගත පෙණහලු අවහිරකම් පිළිබඳ ආබාධයන් (COPD) තවදුරටත් මරණය ඇතිවීමට හේතු වූ සිදුවීම් දාමයේ වැදගත් සාධකයක් ලෙස නොසැළකේ. දැනට ලෝකය පුරා කොවිඩ්-19 මරණ වාර්තා කිරීම වර්ගීකරණය සහ ලේඛණ ගත කිරීම සිදුවන්නේ මේ අයුරෙනි.

යම් කිසිවෙකු හෘදයරෝගයකින්, අක්මා රෝගයකින් , ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයකින් පිළිකාවකින්, හෝ වෙනත් එවැනි බරපතල රෝගයකින් මරණයට පත්වුව හොත් එම පුද්ගලයා පරීක්ෂණය මගින් පොසිටිව් වී ඇත් නම් හෝ කොවිඩ්-19 ආසාදිතයෙකු යැයි සැක කරන පුද්ගලයෙකු ඇසුරු කර ඇත් නම් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම මරණ වාර්තා කිරීමට උපදෙස් දී ඇත්තේ කොවිඩ්-19 හේතුවෙන් සිදු වූ මරණ ලෙසය.

කවර බරපතල පූර්ව රෝගී තත්ත්වයක් පැවතියේ වුවද එමගින් පුද්ගලයා මරණය කරා යොමු කරවීමට සිදුවන බලපෑම කොතෙක් බරපතල වුවද එය මරණයට බල පෑ ප්‍රධාන හේතුව ලෙස වාර්තා නොකරයි. මේ අනුව එය වාර්තා කළ යුත්තේ මරණ සහතික ආකෘති පත්‍ර යේ 2 කොටසේ “මරණය සඳහා බලපෑ අනෙකුත් රෝගී තත්ත්වයන්” යටතේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ ” මරණය සඳහා බලපෑ වෙනත් රෝගී තත්ත්වයන්” (Comorbidities) සිරස්තලය යටතේ මියගිය පුද්ගලයා දිගුකාලීනව රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටියේ නම් …එය වාර්තා කළ යුත්තේ මරණයට හේතු දක්වන සහතික පත්‍ර යේ 2 වන කොටස තුළය.”

මරණයට හේතු සහතික කරන වෛද්‍ය සහතිකය (MCCD ) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1945 දී හඳුන්වා දී වසර 70 කට ආසන්න කාලයක් ගත වී තිබේ. මෙම සමස්ත කාලය පුරාම මරණයට බලපෑ ප්‍රධාන හේතුව [Underlying Cause of Death (UCOD)] ලෙස වර්ගීකරණය කරන ලද රෝගී තත්ත්වයන් 2020 ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 මරණ වාර්තා කිරීම පිළිබඳ ජාත්‍යන්තර උපදෙස් මාලාව විසින් වෙනස් කරමින් එම රෝගී තත්ත්වයන් මරණයට දායක වූ වෙනත් වැදගත් රෝගී තත්ත්වයන් (Other significant conditions contributing to death) යන වර්ගීකරණය යටතේ වාර්තා කිරීමට ලෝකයේ සියලු රටවලට උපදෙස් දී ඇත.

F. අයර්ලන්ත අත්දැකීම

අයර්ලන්තයේ මයෝ ප්‍රාන්තයේ මරණ පරීක්ෂක සහ නීතිඥ පැට්‍රික් ඕ කොනර් ප්‍රකාශ කර සිටියේ  මහජන සෞඛ්‍ය සඳහා වන ජාතික හඳිසි අවස්ථා කණ්ඩායම (National Public Health Emergency Team -Nphet) විසින් සිදු කරන ලද කොවිඩ්-19 මරණ වාර්තා කිරීම් නිවැරදි නොවන බවය. එමෙන්ම වාර්තා කර ඇති මරණ සම්බන්ධ සංඛ්‍යා ලේඛන වලට විද්‍යාත්මක පදනමක් නැතැයි ද ඔහු ප්‍රකාශ කර සිටියේය.

යථාර්ථය නම් බොහෝ පුද්ගලයන් අසාධ්‍ය පිළිකා රෝගවලින් සහ මරණයට බල පෑ හැකි වෙනත් බහුවිධ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටි අයයි. මිනිසුන් කොවිඩ් හේතුවෙන් මරණයට පත් විය හැකිවාක් මෙන්ම මරණයට පත් වූ මිනිසුන් තුළ කොවිඩ් තිබීම ද සිදු විය හැකිය. “මම හිතනවා කොවිඩ් මරණ ලෙස වාර්තා කර ඇති සංඛ්‍යා ලේඛන වැරදි මෙන්ම ඒවාට විද්‍යාත්මක පදනමක් ද නොමැති බව” යි ඕ කොනර් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
” ඉතා කෙටි කාලයක් තුළ තමන් මරණය කරා යොමු කර විය හැකි බොහෝ රෝගී තත්ත්වයන්ගෙන් පුද්ගලයෙකු පෙළෙමින් සිටින විට අවාසනාවත් ලෙස කොවිඩ් වලින් ඔහු ආසාදනය වූයේ නම් සහ ඔහු කොවිඩ් සඳහා පොසිටිව් බව තහවුරු කරනු ලැබ ඇත් නම් එම පුද්ගලයා එවැනි කොවිඩ් පරීක්ෂණයකට ලක්වීමට පෙර සිටම වෙනත් රෝගවලින් අසාධ්‍ය ලෙසින් රෝගාතුරව ඉතා කෙටිකලක් තුල මරණයට පත්වීම ඉඩ ඇතැයි    අපේක්ෂා කළ හැකි මට්ටමේ පසු වූ අයෙකු වුවත් මරණය සඳහා බලපාන ප්‍රධාන හේතුව ලෙස වාර්තා කරනුයේ කොවිඩ්ය.”

කිල්ඩෙයාර් ප්‍රාන්තයේ මරණ පරීක්ෂක ආචාර්ය ඩෙනිස් කුසැක් වාර්තාවක් ඉදිරිපත් කරමින් කිල්ඩෙයාර්හි සිදු වූ කොවිඩ්-19 සම්බන්ධ මරණවලින් 99%ක්ම වෙනත් රෝගාබාධවලින් පෙළෙමින් සිටි පුද්ගලයන්ගේ මරණ බවට සාක්ෂි ඉදිරිපත් කරනලදි. එම වාර්තාවට අනුව  මරණ 230න් 228ක් ම එනම් 99%ක් වෙනත් අසාධ්‍ය රෝගවලින් පෙළෙමින් සිටි අය වෙති. ඉන් 132 දෙනෙකු එනම් 57%ක් හෘදයාබාධ සහ අධිරුධිර පීඩනයන්ගෙන් පෙළෙමින් සිටි අය වෙති. 120දෙනෙකු එනම් 52%ක් ඩෙමෙන්ෂියා වලින් පෙළුණ අය වූහ. 58 දෙනෙකු එනම් 25%ක් ශ්වසනාබාධවලින් පෙළෙමින් සිටි අයයි. දියවැඩියාවෙන් 25දෙනෙකු ද එනම් 11%ක් ද ස්නායු ආබාධවලින් 20 දෙනෙකුද එනම් 13%ක් ද යනාදි වශයෙනි.

G. “පේන්නේ කොවිඩ් වගේ නම් ඒ කොවිඩ් තමයි”

ඩොක්ටර් නෝ යනු ජාතික සෞඛ්‍ය සේවය තුළ(NHS) සහ බාහිරව සේවය කළ වසර 35ක අත් දැකීම් සහිත වෛද්‍යවරයෙකි.  Bad Medicine යනු ඔහු විසින් 2009 සිට පවත්වාගෙන යනු ලබන බ්ලොග් අඩවියකි. එහි දී ඔහු වෛද්‍ය විද්‍යාව, ප්‍රතිකාර ක්‍රම සහ රජයේ සෞඛ්‍ය පිළිවෙත් විවේචනයට ලක්කරනු ලබයි. කොවිඩ් 19 මරණ වාර්තා කිරීම පිළිබඳ  ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2020 මාර්ගෝපදේශනය විවේචනය කරමින් ඔහු මෙසේ ලියයි.

“ONS (Office for National Statistics)විසින් නිරන්තරව වාර්තා කරන දළ වශයෙන් සියලුම කොවිඩ් සම්බන්ධිත මරණ වලදී , මරණ සහතිකය මත කොවිඩ් සඳහන් වන සෑම තැනෙකම 90%ක්ම කොවිඩ් වාර්තා කරනුයේ මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව ලෙසය. මෙහි තේරුම මේ මරණ ගණන් ගනු ලබන්නේ කොවිඩ් මරණ ලෙස යන්නයි. මෙහි කිසියම් අමුතු දෙයක් සිදුවන බවට “ඩොක්ටර් නෝ” ට දැනිණි. මක් නිසාද යත් කොවිඩ්වලින් මියගිය අති විශාල සංඛ්‍යාවක් අයත්වනුයේ වැඩිහිටි සහ ඉතාම මහළු අය බැවින් සහ මෙම අසරණ මිනිසුන්ගෙන් බහුතරයක් සැළකිය යුතු මට්ටමේ රෝගාබාධවලින් පෙළෙන අය බැවිනි. මෙම දිගුකාලීන රෝගාබාධ හේතුවෙන් ද වයස්ගතවීම හේතුවෙන් ද ඉතා දුර්වලව ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටින අයෙකු මරණය කරා යොමු කරන අවසන් හේතුව ලෙස කොවිඩ්හි බලපෑම සිදු වූ  විට මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව කොවිඩ් ලෙස වාර්තා කිරීම කොතෙක් දුරට යථාර්ථයට ගැළපේද? එක් පැත්තකින් එහි ඇත්තක් තිබේ. කොවිඩ් විසින් ඔවුන් මරණයේ දොරටුව වෙත තල්ලු කරනු ලැබ ඇත. එමෙන් ම කොවිඩ් හට එය කළ හැකි වූයේ මේ අතිශයින් වයස්ගත පුද්ගලයන් විවිධ රෝගබාධ වලින් පෙළෙමින් දුර්වලව සිටි නිසාය. මරණ වාර්තාකිරීමේ, වර්ගීකරණයේ සහ කේතනයේ දී අනුගමනය කරන සාමාන්‍ය මූලධර්මය නම් මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව මරණයට හේතුව ලෙස වාර්තා කිරීමයි. යම් රෝගීයෙකු අල්සයිමර් රෝගය හේතුවෙන් ගන්නා අජංගමිකත්වය සහ ක්ෂය වීම් වල ප්‍රතිපලයක් ලෙස හටගන්නා බ්‍රොන්කෝ නිව්මොනියාවෙන් මරණයට පත් වූ විට මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව වන්නේ අල්සයිමර් රෝගය මිසෙක බ්‍රොන්කෝනිව්මොනියාව නොවේ. ONS විසින් මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව ලෙස කේතනය කරන්නේ ද අල්සයිමර් රෝගයයි.

මෙහි මූලධාර්මික අර්ථයක් තිබේ. කෙළින්ම පවසන්නේ නම් යම් තත්ත්වයක් පළමු කොටුව තුළට ඇතුළත් කළ යුත්තේ එම තත්ත්වය විසින් තව තත්ත්වයක් ඇති කිරීමට හේතුවන එකිනෙක සම්බන්ධිත සිදුවීම් දාමයකින් සමන්විත වන්නේ නම්ය. අල්සයිමර් රෝගය සම්බන්ධ උදාහරණයේදී බොහෝකල් සිට භාවිතා කරන නිල මාර්ගෝපදේශනයට අනුව, අල්සයිමර් රෝගය විසින් රෝගියා අජංගමිකත්වයක් කරා යොමු කරන අතර එය විසින් බ්‍රොන්කෝනියුමෝනියාව ඇති කරයි. අනෙක් අතට රෝගියෙකු දිගුකාලීන රෝගී තත්ත්වය විසින් දුර්වල බවට පත් කරයි. එමගින් කොවිඩ්-19 ආසාදනය වීමේ අවදානමට මුහුණ දෙයි. නමුත් රෝගියා දුර්වලකරමින් ඔහුගේ මරණයට හේතු වූ ඉහතින් සඳහන් කළ දිගුකාලීන රෝගී තත්ත්වයන්ට අදාළ සිදුවීම් දාමයේ කොටසක් ලෙස සළකනු ලැබීම සඳහා වන අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට කොවිඩ්-19 අසමත්ය. අප විසින් මෙම සිදුවීම් දාමය වෙනත් අකාරයකට පවසන්නේ නම් මෙසේ දැක්විය හැකිය. රෝගියා දිගුකාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටි අතර එම තත්ත්වය හේතුවෙන් ඇති වූ කායික දුර්වලත්වය විසින් ඔහු හෝ ඇය කොවිඩ්-19 වලින් ආසාදනය වීමේ අවදානමකට පත් කරයි. ඇතැම් විට අවසානයේදී මරණයට යොමුකරයි. මේ අයුරින් ප්‍රශ්නය ඉදිරිපත් කළ විට එය අල්සයිමර් රෝගය සම්බන්ධ ඉහත උදාහරණයට සමාන කම් දක්වයි. එවිට එය සිදුවීම් දාමයක් ලෙස සළකනු ලැබීම සඳහා වන අවශ්‍යතාවන් සම්පූර්ණ කරන ආකාරයේ අනුක්‍රමයක් සහිත බව පෙනී යයි. අල්සයිමර් රෝගය මරණයට බල පෑ දිගුකාලීන තත්ත්වය ලෙස සැළකිය හැකි නමුත් කොවිඩ්-19 ඒ අයුරින් මරණයට බලපාන හේතුවක් ලෙස සැළකිය නොහැකිය.

….නව වෛරසය මතුවීමත් සමගම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 මරණයට හේතුව ලෙස සහතික කිරීමේ දී සහ කේතනය කිරීමේ දී පිළිපැදිය යුතු රීතින් ඇතුළත් කරමින් අතිරේක මාර්ගෝපදේශනයක් නිකුත් කරන ලදි. උනන්දුව දනවන දේවල් සිදුවීමට පටන්ගන්නේ මින් පසුවය. මෙම මාර්ගෝපදේශනය විසින් කොවිඩ්-19 නිසා සිදුවන මරණයක් අර්ථ දක්වන්නේ ඉතා අපැහැදිලි ලෙසය. මූලික වශයෙන් ගත් කළ විකල්ප හේතුවක් සඳහා ඉඩක් ඉතුරු කර නැත. “කොවිඩ් වගේ නම් පේන්නේ ඒ කොවිඩ් තමයි” යන න්‍යාය අනුගමනය කරන බව පෙනේ
“කොවිඩ්-19 නිසා සිදු වූ මරණයක් වෙනත් රෝගවලට (උදා-පිළිකා) ආරෝපණය නොකළ යුතු අතර කොවිඩ්-19 නිසා උත්සන්න වන්නට ඇතැයි සැක කෙරෙන පූර්වරෝගී තත්ත්වයන්ගෙන් ස්වාධීනව සැළකිල්ලට ගත යුතුය.”

මාර්ගෝපදේශනයේ මෙම කොටස තීරණාත්මකය. එය විසින් මූලිකවම පවසන්නේ කොවිඩ්-19 මරණයට හේතුව ලෙස (“කොවිඩ් වගේ නම් පේන්නේ ඒ කොවිඩ් තමයි” යන න්‍යාය අනුගමනය කරමින් ) හඳුනාගත් පසුව මරණයට බලපා ඇති සෙසු සියලු හේතුන් යට කරමින් කොවිඩ්-19 විජයග්‍රාහිව ඉදිරියට එයි. ඉන් පසුව කොවිඩ්-19 බරපතල වීමට බලපාන පූර්ව රෝගී තත්ත්වයන් පැවතුනද එම මරණ කොවිඩ් මරණ ලෙස ගණන් ගැනීමට පටන් ගැනේ. මෙය මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව හඳුනාගැනීම සඳහා වන සියලු සාමාන්‍ය මූලධර්මයන්ට එරෙහිය. යම් තත්ත්වයක් මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව තෝරාගනු ලබන්නේ නම් එය ඇතුළත් කළ යුත්තේ MCCD හි 1 කොටසේ භාවිතා කරන පේළි අතුරෙන් පහළම පෙළිය තුළය. නමුත් කොවිඩ්-19 මරණයට ලැයිස්තුවේ ඉහළ පෙළක අන්තර්ගත කර ඇති නමුත් එය මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව ලෙස සැළකීමට වැරදි ලෙස උපදෙස් දෙනු ලබයි. කොවිඩ්-19 මරණයට හේතුව ලෙස සහතික කිරීමේ සහ කේතනය කිරීම සඳහා වන බ්‍රිතාන්‍ය මාර්ගෝපදේශනයේ දී සිදු වන්නේ මෙයයි.

මෙහි එකම ප්‍රතිඵලය විය හැක්කේ කොවිඩ්-19 මරණ අතිශයෝක්තියෙන් දැක්වීම පමණි. යම් පුද්ගලයෙකු පෙණහලු පිළිකාවක් හෝ වෙනත් ඕනෑම පිළිකාවක් , නිදන්ගත හෝ බෝ නොවෙන ශ්වසන රෝගයක් හෝ වකුගඩු රෝගයක් විසින් මරණයේ ගැට්ටෙන් එපිටට තල්ලු කරනු ලැබුවද එය ගණන් ගනු ලබන්නේ කොවිඩ්-19 මරණයක් ලෙසය. මෙම පූර්ව රෝගී තත්ත්වයන් කොතෙක් බරපතල වුවද වැදගත් වුව ද ඒවායේ වැදගත්කම පිරිහෙළා 2 කොටසට ඇතුළත් කරනු ලබයි.

උපදේශන මාලාවේ මෙය පැහැදිලිව දක්වා ඇත.

“මියගිය පුද්ගලයා මෙවැනි නිදන්ගත රෝග වලින් පෙළෙමින් සිටියේ නම් ඒවා 2 කොටස තුළ වාර්තා කළ යුතුය.”

මරණ සහතිකයේ මරණයට බලපාන ප්‍රධාන හේතුව දක්වන 1 කොටස තුළ කොවිඩ්-19 මහ රජුට සිය ආධිපත්‍යය පතුරුවා හරිමින් විරාජමානවීමට අවස්ථාව සලසමින් සෙසු දිගුකාලීන බරපතල රෝගී තත්ත්වයන් පුද්ගලයා මරණය වෙත යොමු කිරීමට සිදු කරන බලපෑම නොසළකා හරිමින් ඒවා 2 කොටසේ වාර්තා කරන ලෙස උපදෙස් දී තිබේ.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ 4වන අංකය යටතේ විස්තර කරන්නේ “කොවිඩ්-19 මරණ වර්ගීකරණය සඳහා මාර්ගෝපදේශනය” යන තේමාවයි.

H.”කොවිඩ් නූනත් කොවිඩ්ම තමයි”

මේ යටතේ මෙසේ දැක්වේ.
“A- ICD-10 අනුව මරණයට බලපාන ලද හේතුව ලෙස කොවිඩ්-19 කේතනය කිරීම
සහතික කරන්නන් විසින් මරණයට හේතුව ලෙස කොවිඩ්-19 විස්තර කරන විට විශාල පරාසයකින් යුතු වචන භාවිතා කරනු ලබයි.මේ සම්බන්ධ සාම්පලයක් මෙම ලේඛනයේ ඇමිණුම තුළ ඉදිරිපත් කර ඇත. එසේ වුවද මෙම ප්‍රභේද දෙකම එනම්, U07.1 (කොවිඩ්-19, වෛරසය හඳුනාගත් විට) සහ U07.2 (කොවිඩ්-19,වෛරසය හඳුනා නොගත් විට) මරණයේ හේතු කේතනය සඳහා සුදුසු වේ. බොහෝ රටවල් තුළ කොවිඩ්-19 සඳහා විද්‍යාගාර තහවුරුකිරීම් වැනි සවිස්තරාත්මක තොරතුරු වාර්තා නොකරනු ඇති බවට හඳුනාගෙන තිබේ. මෙම විස්තර නොපවතින තත්ත්වයක් තුළ “අනුමාන කරන (probable) හෝ සැකසහිත (suspected”) ලෙස එහි සඳහන්ව නැත්නම් මරණ වලට අදාළව පමණක් කොවිඩ්-19 ලෙස තාවකාලිකව U07.1 ලෙස කේතනය කළ යුතුය.”

මෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන උපදෙස විශ්මය දනවන සුළුය. එනම් රෝගියා සම්බන්ධයෙන් වෛරසය හඳුනාගත්තේ යැයි තහවුරු කරන විද්‍යාගාර තොරතුරු නොපවතින්නේ නම් එය වෛරසය හඳුනාගත් බවට වන කේතය යටතේ එනම් U07.1 (කොවිඩ්-19, වෛරසය හඳුනාගත් විට) මරණයට හේතුව වාර්තා කරන ලෙසය. සැබෑ තත්ත්වයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙය වාර්තාවලට ඇතුළත් කරන ලෙස ඔවුන් මෙහි දී උපදෙස් දෙනු ලබයි.

මෙමගින් සිදුවන්නේ කුමක් ද කිසියම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් විද්‍යාගාර පරීක්ෂණ එනම් RT-PCR පරීක්ෂණයේ වාර්තාව හෝ නොපවතින්නේ නම් ද එම සහතිකය තුළ කොවිඩ්-19 මගින් ආසාදිත යැයි අනුමාන කරන හෝ කොවිඩ්-19 මගින් ආසාදිත යැයි සැක සහිත යැයි සඳහන්ව නැත් නම් ද එම මරණය කෙලින්ම කොවිඩ් මරණයක් ලෙස වාර්තා කරන ලෙසය. මෙම වගන්තිය යටතේ ඕනෑම මරණයක් කොවිඩ්-19 මරණයක් ලෙස වර්ගීකරණයට සෞඛ්‍ය බලධාරින්ට අසීමාන්තිකව අවස්ථාව සලසා දෙයි.

J. චක්‍රලේඛ මගින් ඉන්ෆ්ලුවන්සා මිහිපිටින් තුරන් කිරීම

පහත දැක්වෙන්නේ තවත් උපදේශයකි.

“කොවිඩ්-19 මරණ සහතිකය මත වාර්තා කර ඇති විට සංඛ්‍යාත්මක වගුගතකරණ සඳහා මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව තෝරාගැනීමේ ජාත්‍යන්තර රෙගුලාසි සහ මාර්ගෝපදේශනය භාවිතා කරන නමුත් මහජන සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා ඕනෑකරනු ලබන දත්ත සඳහා වන බරපතල අවශ්‍යතාව සැළකිල්ලට ගන්නා විට ඉන්ෆ්ලුවන්සා සඳහා භාවිතා කරනු ලබන වර්ගීකරණ රීතීන් වලට සමානත්වයක් දක්වන වෙනත් කිසිවක් හේතුවෙන් හෝ එවැන්නක පැහැදිලි ප්‍රතිඵලයක් ලෙස හෝ කොවිඩ්-19 සළකනු නොලබයි. මෙය වැඩිදුරත් විස්තර කරන්නේ නම් කොවිඩ්-19 වෙනත් හේතුන් සමග සම්බන්ධ කිරීමට හෝ එහි කේතනය වෙනස් කිරීමට වර්ගීකරණය තුළ ප්‍රතිපාදන නැත.”

මෙම ඡේදය මගින් දෙනු ලබන උපදෙස් මීට පෙර දී ඇති උපදෙස් මගින් සිදු කරන සැබෑ දත්ත විකෘතිකරණ ක්‍රියාදාමයේදී මතුවිය හැකි ගැටළු යටපත් කිරීම සඳහා යොදාගැනීමේ අරමුණින් ඉදිරිපත් කර තිබේ. ඉහත හිදී අප දුටුවේ යම් මරණයක් සම්බන්ධව විද්‍යාගාර වාර්තා නොපවතින්නේ නම් එය කොවිඩ්-19 හඳුනාගෙන ඇති බවට වන කේතය එනම් U07.1 භාවිතා කරන ලෙස උපදෙස් දී ඇති අයුරුයි. මෙහිදී මරණයට හේතුව සහතික කරන ඇතැම් වෛද්‍යවරුන්ට ගැටළුවක් මතුවිය හැකිය. එනම් විද්‍යාගාර පරීක්ෂණ වාර්තා නොපවතීනම් පවත්නා සායනික ලක්ෂණ පිළිබඳ වාර්තා අනුව එය වර්ගීකරණයට යාමේදී කොවිඩ්-19 නොව ඒ හා සමාන සායනික ලක්ෂණ සහිත වෙනත් රෝගයක් එනම් ඉන්ෆලුවන්සා වැනි රෝගයක් මරණයට හේතුව වීමට ඉඩක් නොතිබිණිද යන්නයි. මෙහිදී මියගිය පුද්ගලයාගේ පූර්ණ රෝග ඉතිහාසය, වෙනත් විද්‍යාගාර වාර්තාවන්, රෝගී තත්ත්වයන්ගේ සිදුවීම් අනුක්‍රමය සහ මරණයට බල පෑ ආසන්නතම හේතුව පිළිබඳ සමාලෝචනයකින් පසුව මරණයට බල පෑ හේතුව නිගමනය කිරීමට එය සහතික කරන වෛද්‍යවරයාට භාහිර බලපෑමකින් තොරව හැකි විය යුතුය. ඉහත ඡේදයේ සඳහන් ” …ඉන්ෆ්ලුවන්සා සඳහා භාවිතා කරනු ලබන වර්ගීකරණ රීතීන් වලට සමානත්වයක් දක්වන වෙනත් කිසිවක් හේතුවෙන් හෝ එවැන්නක පැහැදිලි ප්‍රතිඵලයක් ලෙස හෝ කොවිඩ්-19 සළකනු නොලබයි. මෙය වැඩිදුරත් විස්තර කරන්නේ නම් කොවිඩ්-19 වෙනත් හේතුන් සමග සම්බන්ධ කිරීමට හෝ එහි කේතනය වෙනස් කිරීමට වර්ගීකරණය තුළ ප්‍රතිපාදන නැත “ යන්න මගින් මරණයට හේතු දක්වන සහතිකය මත සිය සහේතුක නිගමනය සඳහන් කරමින් සිය රාජකාරිමය වගකීම ඉටු කිරීමට බාධාකරයි.

K. වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ටිකෝණය තවදුරටත් වලංගු නැත-WHO

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ මෙම කොටස කියවන්න

“ICD-10 හි 4.2.3 කොටසේ දෙවන වෙළුමේ දැක්වෙන් ආකාරයට, මරණ වර්ගීකරණයේ (coding-කේතනය) අවශ්‍යතාව වන්නේ බෙහෙවින් ප්‍ර යෝජනවත් වන ආකාරයෙන් මරණයට හේතුවන සංඛ්‍යා හේතු පිළිබඳ සංඛ්‍යා ලේඛනඉදිරිපත් කිරීමය. එහෙයින් සිදුවීම් දාමයක් “ප්‍රතික්ෂේප කරන ලදි” හෝ “අනුමත කරන ලදි” යනුවෙන් ලැයිස්තු ගත කරනු ලැබුවද එය විසින් පිළිබිඹු වීමට ඉඩ ඇත්තේ හුදු වෛද්‍ය විද්‍යාත්මක දෘෂ්ඨිකෝණයකින් බලන කළ පිළිගත හැකි දෙයකට වඩා මහජන සෞඛ්‍ය අවශ්‍යතාවන්ගේ වැදගත්කමය. එහෙයින් වෛද්‍ය විද්‍යාත්මකව හරි හෝ වැරදි යැයි සැළකෙන අවස්ථාවක දී වුව සෑම විටෙකම මෙම උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා සිටිනු ලැබේ. එක් එක් රටවල් විසින් යමක් වැරදි යැයි අනුමාන කළ ද එය නිවැරදි කිරීමට නොයා යුතුය. මක් නිසාද යත් ජාතික මට්ටමේ දී සිදු කරන වෙනස් කම් විසින් එම දත්ත ලෝකයේ වෙනත් රටවල දත්ත සමග සන්සන්දනය කිරීමේ හැකියාව අඩු වනු ඇත. එමගින් විශ්ලේෂණයේදී ඒවායේ ප්‍රයෝජනවත් බව අඩුවනු ඇත.”

මේ මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ට හෝ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා තමන් විසින් මෙහෙයවනු ලබන ඒ ඒ රටවල සෞඛ්‍ය බලධාරින් හට තම අභිමතය සාක්ෂාත් කර ගැනීමට බාධාවන මරණ සහතික සහ ඒවායේ අන්තර්ගත දත්ත ප්‍රතික්ෂේප කිරීමට බලය පවරා ගනී. වෛද්‍ය විද්‍යාත්මකව නිවැරදි සහතිකයක් වුව අවශ්‍ය නම් මහජන සෞඛ්‍ය අවශ්‍යතාවන්ගේ නාමයෙන් ප්‍රතික්ෂේප කිරීම කළ හැකි බවට මෙහිදී පවසනු ලබයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම උපදෙස් වෛද්‍ය විද්‍යාත්මකව වැරදි යැයි යම් රටක වෛද්‍ය විශේෂඥයන්ට සහ විද්‍යාඥයන්ටද අදාළ සෞඛ්‍ය බලධාරින්ටද පෙනී ගිය ද ඒවා නිවැරදි කිරීමට ඉදිරිපත් නොවන ලෙස මේ ඡේදය මගින් අනතුරු අඟවයි. තමන් මේ මාර්ගෝපදේශනය මගින් දෙනු ලබන උපදෙස් සහ බලපෑම් මුළුමණින්ම නීති විරෝධී සහ අවිද්‍යාත්මක ඒවා බව ලෝක සෞඛ්‍ය සංවිධානය දනී. ඔවුන් තම ප්‍රෝඩාව සැඟවීමට වෑයම් වෑයම් කරන්නේ දත්තවල සමරූපි බවේ අවශ්‍යතාව අවධාර්ණය කරමිනි.

මේ තවත් උපදේශයකි.
“කොවිඩ්-19 වාර්තා කර ඇති සහතිකවල, එනම් විශේෂයෙන්ම කොවිඩ්-19 වාර්තා කර ඇති නමුත් එය සංඛ්‍යාත්මක වගුගත කරණයේදී මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස තෝරා ගෙන නැති සහතික කිරීම් සඳහා දත්තවල නිරවද්‍යතාව පුද්ගලිකව පරීක්ෂා කිරීමක් නිර්දේශ කෙරේ.”

මෙයින් කියන්නේ කුමක් දැයි පැහැදිලිය. කොවිඩ්-19 මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස මරණ සහතිකයේ 1 කොටස තුළ වාර්තා නොකර එය මරණයට දායක වූ වෙනත් හේතූන් යටතේ 2 වන කොටස තුළ වාර්තා කරනු ලැබ ඇත්නම් එය “පුද්ගලිකව පරීක්ෂා කර” අවශ්‍ය පරිදි 1 කොටස තුළ ස්ථානගත කරන ලෙසට කෙරෙන ඇඟවීමකි මෙය.
මෙම උපදෙස් මාලාවේ සමස්තයම එක් අරමුණක් ඉටු කර ගැනීම සඳහා නාභිගත කර තිබේ. එනම් කොවිඩ්-19 මරණ වාර්තා කිරීමේ දී තමන්ගේ වසංගත ආඛ්‍යානය පවත්වාගෙන යාමට අවශ්‍ය මරණ සංඛ්‍යාවන් ලබාගැනීම සඳහා එතෙක් පැවති මරණයට හේතු දක්වන වෛද්‍ය සහතිකය සම්බන්ධයෙන් පිළිගත් ක්‍රමවේදයන් ප්‍රෝඩාකාරි ලෙස විකෘති කිරීමය.

L. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  මරණ සහතික පිරවීම පිළිබඳ දෙනු ලබන උපදෙස් පිළිබඳ නිදසුන්

ලෝක සෞඛ්‍ය සංවිධානය “මරණයට හේතුව ලෙස කොවිඩ්-19 සහතික කිරීම සහ වර්ගීකරණය (කේතනය) සඳහා වන ජාත්‍යයන්තර මාර්ගෝපදේශනය” නම් සිය ලියැවිල්ල තුළ මරණ සහතිකය සඳහා යොදාගන්නා ආකෘති පත්‍රය පුරන ආකාරය පිළිබඳ නිදසුන් කීපයක් ඇතුළත් කොට ඇත. එම නිදසුන් සහ පහත දැක්වේ. මෙම MCCD ආකෘති පත්‍රය තුළ අදාළ යෙදුම් සිංහලට පරිවර්තනය කර තිබේ. මෙම පරිවර්තනය කරන ලද ආකෘති පත්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ශ්‍රී ලංකාණ්ඩුවේ නිල පරිවර්තනයක් නොවන බවත් එය හුදෙක් අධ්‍යයන අවශ්‍යතාවන් මත කරන ලද්දක් බවත් කරුණාවෙන් සළකන්න. මෙම ආකෘති පත්‍රවලඉංග්‍රිසි මුල් පිටපත්  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහත ලියැවිල්ලේ PDF පිටපතේ අන්තර්ගත වේ.

උදාහරණ 1

මෙම උපදේශාත්මක උදාහරණය තුළ දැක්වෙන්නේ මරණයට ආසන්නතම හේතුව ලෙස උග්‍ර ශ්වසන දුෂ්කරතා සහලක්ෂණයේ  බලපෑමෙන් (Acute Respiratory Distress Syndrome) මරණයට  පත් අයෙකුගේ මරණයට හේතු දක්වන වෛද්‍ය සහතිකයයි. මෙම සහතිකයේ 1 කොටසේ (එනම් මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව කාලනුක්‍රමිකව සඳහන් කිරීම සඳහා වෙන් කර ඇති කොටසේ ) a,b,c,d  පේළි තුළ  මරණයට බලපෑ සිදුවීම් මාලාව කාලානුරූපව ඇතුළත් කොට ඇත.  උග්‍ර ශ්වසන දුෂ්කරතා සහලක්ෂණයේ  මරණයට බලපාන ලද ආසන්නතම හේතුව වන අතර එය ඉහළම a පේළියේ  අන්තර් ගත කොට ඇත. එම තත්ත්වය කරා යොමු කරන ලැබ ඇත්තේ නිව්මෝනියාව විසින් වන අතර එය පේලියේ b අන්තර්ගත කොට ඇත. නිව්මෝනියාව ඇතිවීමට හේතුව කොවිඩ්-19 යැයි සැක කරන බව භාවිතා කරන ලද පේළි අතරෙන් පහළම  පේළියේ එනම් c පේළියේ ඇතුළත් කර ඇත. මෙහිදී අවධානයට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මරණයට පත්ව ඇති පුද්ගලයා වසර 5ක් තිස්සේ  හෘදයාබාධයකින්ද, වසර 14ක් තිස්සේ දියවැඩියාවෙන් ද වසර 8ක් තිස්සේ නිදන්ගත ශ්වසන දුෂ්කරතා රෝගයෙන්ද  පෙලෙමින් සිටි අයෙකු නමුත් මෙම සියලු රෝගී තත්ත්වයන් මරණයට බලපෑ වෙනත් වැදගත් රෝගී තත්ත්වයන් දැක්වෙන 2 කොටසට ඇතුළත් කර තිබීමයි. මෙතෙක් පැවැති  MCCD පිරවීමේ පිළිගත් ක්‍රමයට අනුව ඉහත හෘදයාබාධ, දියවැඩියාව, හෝ නිදන්ගත ශ්වසන දුෂ්කරතා රෝගය ඇතුළත්විය යුත්තේ 1 කොටසට  එනම් මරණයට  බලපෑ ප්‍රධාන හේතුව කරා යොමු කරන ලද සිදුවීම් දාමයේ සංරචකයන් ලෙසය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම රෝග විසින් මරණයට කරන ලද බලපෑම අවතක්සේරු කර කොවිඩ්-19  මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙසින් දක්වන ලෙස උපදෙස් දෙයි. මෙහි දී අවධානයට ගත යුතු තවත් දෙයක් නම් මෙය තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදනයක් පවා නොව එයින් ආසාදනය වී ඇතැයි හුදෙක් සැක කෙරෙන තත්ත්වයක් බවයි. වසර ගණනාවක් තිස්සේ බරපතල පූර්වරෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටි අයෙකු එනිසාම දුර්වලව සිටින තත්ත්වයක් තුළ කොවිඩ්-19 ආසාදනයට ලක්වීම (සැක සහිත) සහ එය විසින් කලින් පැවැති රෝගී තත්ත්වයන් සංකූල කිරීම හේතුවෙන් සිදුවන මරණයකදී   කොවිඩ්-19  (සැක සහිත) ඇතුළත් විය යුත්තේ ආකෘති පත්‍ර යේ 2 කොටසේ මරණයට බල පෑ වෙනත් වැදගත් හේතුන් යටතට මිසෙක මරණයට බල පෑ ප්‍රධාන හේතුව ලෙස නොවේ.

උදාහරණ 2

මෙම උදාහරණයේදී මරණයට පත් පුද්ගලයා වසර 5ක් තිස්සේ  පෙළන ලද එච්.අයි.වී රෝගය මරණයට බලපෑ වෙනත් හේතුන් යටතේ 2 කොටසට  ඇතුළත් කොට කොවිඩ්-19 මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස 1 කොටසට ඇතුළත් කොට තිබේ.මෙම පුද්ගලයා එච්.අයිවී රෝගයට ගොදුරු නොවිණි නම්  කොවිඩ්-19 ආසාදනය විසින් ඔහුගේ ජීවිතය බිලි නොගන්නට ඉඩ තිබිණි. කොවිඩ්-19 ආසාදනය සිදුවීමේ අවස්ථාවන් නිර්මාණය කර ඇත්තේ එච්.අයි.වී ආසාදනය විසිනි. මෙම ප්‍රධානතම සාධකය  මරණයට බලපෑ වෙනත් හේතුන් යටතේ දෙවන කොටසට ඇතුළත් කර තිබේ.

උදාහරණ 3

මෙම උදාහරණයේදී මරණයට පත් පුද්ගලයා වසර 10 ක් තිස්සේ  මස්තිෂ්කය හා සම්බන්ධ පක්ෂඝාතය ( Cerebral Palsy) නම් රෝගයෙන් පෙළෙමින් සිට ඇත. මෙහි දී  මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙසින් කොවිඩ්-19  1 කොටසේ පහළම c පේළියේ ඇතුළත් කොට ඇති අතර එය හේතුකොටගෙන ඇති වූ නිව්මෝනියා තත්ත්වය b  පේළිය තුල ඇතුළත් කොට ඇත. මරණයට බලපෑ ආසන්නතම හේතුව ලෙස උග්‍ර ශ්වසන දුෂ්කරතා සහලක්ෂණය  ඉහළම a පේළිය තුල අන්තර්ගත කොට ඇත. Cerebral Palsy රෝගයෙන් පෙළෙන ළමුන් බහුතරයක් ශ්වසන රෝග පද්ධතිය ආශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතින අතර ආබාධිත ළමා මරණවලින්  77%ක් සිදුව ඇත්තේ නියුමෝනියාව මගිනි.   Cerebral Palsy රෝගයෙන් පෙළෙන වයස්ගත පුද්ගලයන්ද ආහාර සහ දියර ගැනීමේ අක්‍රමිකතාවන් හේතුවෙන් ද ජංගමශීලිතාව අඩුවී බොහෝවිට වැතිර කාලය ගත කිරීමට සිදුවීම හේතුවෙන්ද නිරන්තරව නියුමෝනියාව කරා යොමුවීමේ අවදානමක් පවතී.  එහෙත් මෙහිදී  මෙම රෝගය මරණයට බලපෑ වෙනත් හේතුන් යටතට ඇතුළත් කරන ලෙස උපදෙස් දී තිබේ. මෙම මරණ සහතිකයේ එක් එක් රෝගී තත්ත්වයන්ට අදාළ ICD-10 කේත ඇතුළත් කොට ඇත.

උදාහරණ 4

මෙම උදාහරණයෙන් දැක්වෙන්නේ  ගර්භණී තත්ත්වය කොවිඩ්-19 හේතුවෙන් සංකූල වී එමගින් නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් හටගත් ශ්වසන දුෂ්කරතා හේතුවෙන් මරණයට පත් කාන්තාවකගේ මරණ සහතිකයකි. මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ්-19 හේතුවෙන් ගර්භණී තත්ත්වයේ හටගත් සංකීර්ණතාවන්ය.  මරණයට දායක වූ වෙනත් වැදගත් රෝගී තත්ත්වයන් නොමැති හෙයින්  2 කොටස හිස්ව තබා ඇත. එක් එක් රෝගී තත්ත්වයන්ට අදාළ ICD-10 කේත ඇතුළත් කොට ඇත.

උදාහරණ 5

මෙහි දැක්වෙන්නේ වසර 5ක් එච්.අයි.වී රෝගයෙන් පෙළෙමින් සිට කොවිඩ්-19  ආසාදනයට ලක්වී හේතුවෙන් හටගත් උග්‍ර ශ්වසන දුෂ්කරතා සහලක්ෂණය (ARDS)  හේතුවෙන් මරණයට පත් අයෙකුගේ මරණ සහතිකයකි. සාමාන්‍යයෙන්  මරණ සහතිකයක මරණයට බල පෑ ප්‍රධාන හේතුව දැක්වීමට වෙන් කර ඇති 1 කොටසේ  ඇති a,b,c,d යන පේළිවලින් පහලම පේළියට ඇතුළු කරනු ලබන්නේ අවසානයේදී පුද්ගලයා මරණයට පත්කිරීමට හේතුවන රෝගී තත්ත්වයන්ගේ ආරම්භක රෝගී තත්ත්වයයි. එමෙන්ම මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව (Underlying cause of death) ලෙස තෝරාගනු ලබන්නේ ද මෙම පහළම පෙළට ඇතුළු කරනු ලබන රෝගී තත්ත්වයයි. මෙම නිදසුන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ දක්වා ඇත්තේ වැරදි ලෙස පුරවන ලද මරණ සහතිකයක් ලෙසයි.

“..සහතික කරන්නා විසින් එච්.අයි.වී රෝගය මරණයට බල පෑ වෙනත් හේතූන් යටතේ සහතිකයේ 2 වන කොටස තුළ ඇතුළත් කළ යුතුව තිබිණි. කෙසේ වුව ද ICD හි තෝරාගැනීමේ නීතී විසින් කොවිඩ්-19 මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස හඳුනා ගැනීමට ඉඩ දෙනු ලබයි. කොවිඩ්-19 වාර්තා කර ඇත්තේ කොවිඩ්-19 හේතුවෙන් හටගන්නා අසාධ්‍ය ශ්වසන දුෂ්කරතා සහ ලක්ෂණයෙන් කෙළවර වන සිදුවීම් අනුක්‍රමයක් තුළය.  1 කොටසේ එක් පේළියකට වඩා භාවිතා කරමින් හේතූන් කීපයක් වාර්තා කර ඇති හෙයින් ද පහළ සිට ඇති පළමු පෙළ භාවිතා කරමින් සඳහන් කර ඇති රෝගී තත්ත්වය (එච්.අයි.වී රෝගය) සෙසු තත්ත්වයන් ඇතිවීමට හේතු නොවිය හැකි බැවින් ද මරණ කේතනය කිරීමේ SP4 පියවර භාවිතා කරනු ලැබේ..”

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් දෙනු ලබන්නේ රෝගී තත්ත්ව අනුක්‍රමයේ මැද ඇති රෝගී තත්ත්වයක් එනම් කොවිඩ්-19 මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව ලෙසින් තෝරාගන්නා ලෙසයි.

උදාහරණ 6

මෙහි ඇත්තේ රිය අනතුරකට ලක් වීම හේතුවෙන් මහාධමනියට හානිවීමෙන් සිදු වූ රුධිරවහනය නිසා අ්‍ය්‍යන්තර  ඉන්ද්‍රියයන්ට හානිසිදුවීමෙන් හටගත් කම්පනය නිසා මිය ගිය පුද්ගලයෙකු ගේ මරණ සහතිකයකි. මේ පුද්ගලයා කොවිඩ්-19 පොසිටිව් වුවද මෙම මරණය කොවිඩ්- 19 නිසා සිදු වූ මරණයක් ලෙස වාර්තා නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි.

උදාහරණය 7

මෙහි දක්වා ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත්  පුද්ගලයෙකුගේ මරණ සහතිකයකි.  මෙම පුද්ගලයා කොවිඩ්-19 සඳහා පොසිටිව් වුවද මෙය  කොවිඩ්-19 මරණයක් ලෙස වාර්තා නොකරන ලෙස ලෝක  සෞඛ්‍ය සංවිධානය විසින්  උපදෙස් දෙනු ලබයි

M. ශ්‍රි ලංකාවේ කොවිඩ් මරණ වාර්තා කිරීම් සහ අදාළ චක්‍රලේඛ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන

කොවිඩ්-19 මරණයට බලපෑ හේතුවක් ලෙස මරණය සහතික කරන වෛද්‍ය සහතිකය මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම ප්‍රෝඩාකාරී මාර්ගෝපදේශනය විසින් ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය අංශවල ව්‍යාකූලත්වයක් ඇති කළේ එය එතෙක් පැවැති පිළිගත් විද්‍යාත්මක ක්‍රමයට සම්පූර්ණයෙන්ම පටහැනි උපදෙස් මාලාවක් බැවිනි.. ලංකාවේ ද කොවිඩ්-19 මරණ වාර්තා කිරීම සහ ලේඛන ගත කිරීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් 24.05.21 දාතමින් යුතුව නිකුත් කරන ලද චක්‍ර ලේඛය තුළද මෙම ව්‍යාකූලතාවන් පරාවර්තනය වන අයුරු දැකිය හැකිය.

මෙම චක්‍ර ලේඛය නිකුත් කිරීමට අදාළ මාධ්‍ය නිවේදනය පිළිබඳ දිනමිණ පුවත්පත වාර්තා කර ඇත්තේ මෙසේය.
“පුද්ගල මරණයක් කොවිඩ් ආසාදිත මරණයක් දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා නිර්ණායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු වෛද්‍යවරුන් වෙත නිකුත් කර තිබේ.
යම් කිසි පුද්ගලයෙකු කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බවට සායනිකව තහවුරු කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු බව එම නිර්ණායක වලට ඇතුළත්ය.
දීර්ඝකාලීන රෝග ලක්ෂණ වලින් පෙළෙන පුද්ගලයෙකු මරණයට පත් වූ අවස්ථාවේ දී ඔහු කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණ ද එම මරණ වෙනම ගණනය කර ඔහුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොවිඩ්-19 ආසාදනය වීම අදාළ මරණයට ප්‍රධානම හේතුව බවට සාක්ෂි ඇත්නම් පමණක් එය කොවිඩ්-19 මරණයක් ලෙස තහවුරු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත. කොවිඩ්-19 ආසාදිත මරණයක් බවට තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද අනුගමනය කළයුතු අතර, මරණ සහතිකය සටහන් කිරීමේ දී එය කොවිඩ්-19 ආසාදිත මරණයක් ලෙස සටහන් කිරීම අනිවාර්යය කර තිබේ.”

යම් කිසි පුද්ගලයෙකු කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බවට සායනිකව තහවුරු කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද පිළිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ චක්‍ර ලේඛයේ සඳහන් වන බව දිනමිණ පවසයි.
අපි දැනටමත් මේ ලිපිය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අධ්‍යයනය කර ඇත්තෙමු. ඒ නිර්දේශවලට අනුව අප දුටුවේ යම් මරණයක් කොවිඩ්-19 මරණයක් ලෙස මරණ සහතිකය මත වාර්තා කිරීමට මරණයට පත් පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු යැයි සැකයට ලක්වීම, නැතහොත් ඒ බවට අනුමාන කිරීම, නැතහොත් RT-PCR පරීක්ෂණය මගින් පොසිටිව් ප්‍රතිඵල ලැබීම ප්‍රමාණවත් බවයි. ඒ අයුරින් පුරවන ලද ආදර්ශ ආකෘති පත්‍ර ගණනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ අන්තර්ගත කොට ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පිළිපදින්නේ නම් සායනික පරීක්ෂණයක් නොමැතිවම ඉහත දැක්වූ අවස්ථාවලදී එනම් සැකයට ලක් වූ, අනුමාන කරනු ලබන සහ පරීක්ෂණය මගින් පොසිටිව් වූ පුද්ගලයන් මරණයට පත් වූ විට ඔවුන්ගේ මරණ සහතිකය මත මරණයට බලපෑ ප්‍රධාන හේතුව ලෙස කොවිඩ්-19 වාර්තා කිරීමට සිදු වේ. එහෙයින් ඔහුගේ සායනික පරීක්ෂණයක් පැවැත්වීම මගින් මරණ තහවුරු කරන්නේ යැයි යන කතාව හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් ලෙස නිගමනය කිරීමට සිදු වේ.
පහත දැක්වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් 24.05.21 දාතමින් යුතුව නිකුත් කරන ලද චක්‍ර ලේඛයෙන් අපුටාගත් කොටසකි.

“…In the deaths where post mortem covid diagnostic test become positive but Covid infection has not contributed to the death the term” COVID-19 (Test Positive-Incidental Finding)” Should be clearly mentioned.”
මෙම කොටසේ සිංහල පරිවර්තනය මෙයයි.

“පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් නිර්ණ පරීක්ෂණයේ ප්‍රතිඵල පොසිටිව් නම් සහ එනමුත් කොවිඩ් ආසාදනය මරණයට දායක වී නැත්නම් කොවිඩ්-19 (පරීක්ෂණයෙන් පොසිටිව් ප්‍රතිඵල ලබා දී ඇත-අතිරේක නිගමනය) යන්න පැහැදිලිව සඳහන් කළ යුතුය.”

හේතු 3ක් නිසා මෙම RT-PCR පරීක්ෂණයේ ප්‍රතිඵල මරණ සහතිකයට ඇතුළත් කිරීම වැරදිය.

1-පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකරන ලද RT-PCR පරීක්ෂණය පොසිටිව් වුව ද රෝගීයා මරණයට පෙර කොවිඩ්- 19 සායනික ලක්ෂණ කිසිවක් දක්වා නැති බැවින් [එනම් මෙහි සඳහන් වන ආකාරයට කොවිඩ්-19 මරණයට දායක වී නැතැයි (not contributed )වෛද්‍යවරුන් විසින් තීරණය කර ඇති තත්ත්වයක් තුළ] මෙම RT-PCR පරීක්ෂණයේ ප්‍රතිඵල මරණ සහතිකයට අදාළ නොවේ..
හුදෙක් RT-PCR පරීක්ෂණයේ ප්‍රතිපල මගින් පමණක් යම් පුද්ගලයෙකුගේ ආසාදිත බව තීරණය කිරීම රෝග නිශ්චයේදී RT-PCR පරීක්ෂණ භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ සියළු පිළිගත් සම්මතයන්ට පටහැනිය. එනම් ආසාදිත බව තීරණය කළ යුතු අනෙකුත් සාධක නම් සායනික ලක්ෂණ, රෝගයේ ඉතිහාසය, වෙනත් විද්‍යාගාර පරික්ෂණ සහ ඖෂධ වලට දක්වන ප්‍රතිචාර ආදියයි. මේ අනුව මෙම නිදසුනේදී වෛද්‍යවරුන් විසින් කොවිඩ් ආසාදනය මරණයට දායක වී නැතැයි තීරණය කරන්නේ රෝගීයා සිය අවාසනාවන්ත මරණයට පෙර කොඩිඩ්-19 වලට අදාළ කිසිදු සායනික ලක්ෂණයක් නොපෙන්වා ඇති හෙයිනි. එහෙයින් පශ්චාත් මරණ RT-PCR පරීක්ෂණයේ ප්‍රතිඵල පොසිටිව් වුවද එම ප්‍රතිඵල වල අදාළත්වයක් හෝ වලංගුභාවයක් නැත.

2- මෙම මරණ සහතික පත්‍රයේ මරණයට බලපාන ලද ප්‍රධාන හේතුව (Cause of death) සඳහන් කරන පළමු කොටුව තුළ කොවිඩ්-19 සඳහන් කළ නොහැකිය. මක් නිසාද යත් මරණයට කොවිඩ්-19 දායක වී නැති බැවිනි
3-මෙම මරණ සහතික පත්‍රයේ මරණයට දායක වූ අනෙකුත් වැදගත් රෝගී තත්ත්වයන් (Other significant conditions contributing to death) සඳහන් කළ යුතු 2 වන කොටුව තුළ ද කොවිඩ් 19 ඇතුළත් කළ නොහැකිය. මක් නිසාද යත් මරණයට කොවිඩ්-19 දායක වී නැති (not contributed) බැවිනි.

එසේ නම් මෙවැනි නිදසුනක් සඳහා මරණ සහතිකයේ කොවිඩ්-19 යැයි සඳහන් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍යවරුන්ට උපදෙස් දෙන්නේ කුමන හේතුවක් නිසාද?

මෙමගින් සිදුවිය හැක්කේ මියගිය අසරණයාගේ අවමගුල් කටයුතු වත් නිසිලෙස කරගත හැකි තත්ත්වයකට පවුලේ ඥාතීන් සහ හිතවතුන් පත්වීම නොවන්නේද? මරණයෙන් දුකට පත් ඒමිනිසුනට අවසන් සමුගැනීමවත් නිසි පරිදි සිදු කිරීමට ඉඩ නොදීම නොවේද? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ට මේවා හුදු චක්‍රලේඛයක වචන පමණි. එහෙත් ඒ වචන මගින් කිව නොහැකි තරම් දුක්වේදනාවන්ට පීඩිත ජනයා පත් කරමින් පවතී.
ඒ ඊනියා වසංගත ආඛ්‍යානය පවත්වාගැනීමට මේ අසරණයන්ගේ මළකඳන් යොදාගැනීමේ උවමනාව වෙනුවෙනි.

 

අජිත් සී හේරත්