RT-PCR පරීක්ෂණයේ දෝෂ 10ක් – බාහිර විමර්ශන කණ්ඩායමක් පෙන්වා දෙති

මෙම බාහිර විමර්ශන වාර්තාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ PDF පිටපත මෙම සබඳතාවෙන් ලබා ගන්න

යමෙකු SARS-CoV-2 වෛරසය නැතහොත් කොරෝනා වෛරසය මගින් ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමට ලොව පුරා යොදා ගනු ලබන පරීක්ෂණය PCR පරීක්ෂණය නමින් හැඳින්වේ. මෙම පරීක්ෂණය ජර්මනියේ වෛරස් විද්‍යාඥ කෝර්මන් වික්ටර් සහ ඩ්‍රෝස්ටන් ක්‍රිස්ටියන් දෙදෙනා ඇතුළු කණ්ඩායම විසින් හඳුන්වා දෙන ලද පරීක්ෂණයකි. මෙම පරීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර 2020 ජ නවාරි 13 දින එහි වෙබ් අඩවියට ඇතුළත් කරන ලද්දේ එහි ප්‍රොටෝකෝලය ප්‍රතිවිමර්ශනයක් (peer review) සඳහා අදාළ විශේෂඥයන් වෙත 2020 ජනවාරි 21 ඉදිරිපත් කිරීමටත් පෙරය.

කෙටි කලකින්ම චීනයේ සිට වෙනත් රටවලට මෙම කොරෝනා වසංගතය පැතිර ගිය බව ජනමාධ්‍ය විසින් වාර්තා කළ අතර ඒ සඳහා ඉහත සඳහන් විද්‍යාඥයන් දෙදෙනා සහ කණ්ඩායම විසින් ඉදිරිපත් කළ ප්‍රොටෝකෝලයට අනුව සැලසුම් කළ පරීක්ෂණය යොදා ගන්නා බව ද පළ විය. මෙම පරීක්ෂණය RT-PCR පරීක්ෂණය හෙවත් කොර්මන්-ඩ්‍රෝස්ටන් පරීක්ෂණය ලෙස හඳුන්වනු ලැබේ.කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව මත පදනම්ව සැලසුම් කරන ලද RT-PCR පරීක්ෂණයේ පවත්නා දෝෂ 10ක් පිළිබඳව ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් විසින් බාහිර විමර්ශනයක්  සිදු කරන ලදි. මෙම බාහිර විමර්ශන වාර්තාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ PDF පිටපත මෙම සබඳතාවෙන් කියවිය හැකිය.

A- “ටෙස්ට්, ටෙස්ට්, ටෙස්ට්”

2020 මාර්තු මාසයේදී ජීනිවාහිදී පැවැත්වුණු පුවත් සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රියේසුස් මෙසේ පැවසීය
“ලෝකයේ සියලු රටවලට දීමට පණිවිඩයක් අපට තිබේ. එනම් ටෙස්ට්, ටෙස්ට්, ටෙස්ට් යන්නයි. සියලු රටවල් සැක සහිත පුද්ගලයන් පරීක්ෂාවට ලක් කළ යුතුය. ඇස් දෙක වසාගෙන මෙම වසංගතය හා සටන් කළ නොහැකිය.“
මෙම පුවත් සාකච්ඡාවේදී ඔහු ඖෂධ සමාගම්වලට විශාලවශයෙන් PCR ටෙස්ට් කට්ටල නිපදවන ලෙස ආයාචනා කළේය.
ඔහුගේ මෙම “ටෙස්ට්, ටෙස්ට්, ටෙස්ට් සහ ටෙස්ට්“ මන්ත්‍රයඉන් පසුව යුරෝපයේත් ඇමෙරිකාවේත් රාජ්‍ය නායකයන් සහ වසංගත රෝග මර්දන ආයතන වල ප්‍රධානීන් උදේ හවා ජප කරන්නට පටනු ගනු ලැබිණි. මෙම RT-PCR පරීක්ෂණ කට්ටල නිපදවන ඖෂධ සමාගම් වල ලාභ අනුපාතයන් යුරෝ හෝ ඩොලර් බිලියන ගණනින් ඉහළ යද්දී එම ටෙස්ට් කට්ටල වලින් පරීක්ෂාවට ලක් කරනු ලැබ කොරෝනා ආසාදිතයන් ලෙස නම් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව මාස කීපයක් තුළ මිලියන ගණනින් ඉහල ගියේය. 2020 ජනවාරි මාසයේ 22 වැනි දින ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් 987ක් හඳුනා ගන්නා ලදි. එම මාසයේම 30 වැනි දින RT-PCR මගින් දෛනිකව අසාදිතයන් ලෙස හඳුනාගන්නා ලද සංඛ්‍යාව 1286ක් විය.
ලෝකය පුරා පවත්වන ලද RT-PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යාමට සාපේක්ෂව කොරෝනා ආසාදිතයන් යැයි නම් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව ද ඉහළ ගියේය. උදාහරණ කීපයක් පහත දැක්වේ.
2020 ජූනි 19 – 185,107
2020 ඔක් 7 – 352,183
2020 නොවැ 6 – 631,935
2020 දෙසැ 16 – 727,966
2020 දෙසැ 31 – 761,077
2021 අප්‍රේල් 23-901,979

චීනයේ කොරෝනා වසංගතය ආරම්භයේදී චීනයේ සිදුවන දෙය බටහිර මාධ්‍ය වාර්තා හොලිවුඩ් හි නිපදවන වසංගත ව්‍යසනයන් පිළිබඳ බිහිසුණු සොම්බි චිත්‍රපට පිළිබඳ දසුන් වලට සමාන විය. නහයෙන් කටින් සෙම කෙල ලේ පෙරාගෙන මහමග ඇද වැටෙන මිනිසුන් සහිත ඡායාරූප සහ විඩියෝ පට ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යවලත් සමාජ මාධ්‍ය ජාලාවලත් සංසරණය විය. සිය ජීවිත කාලය තුළ මෙවැනි බිහිසුණු වසංගතයකට කිසිදිනෙක මුහුණ නුදුන් ලොව පුරා ජනතාව මහත් සේ බියට සහ කම්පනයට පත් වූහ. ආරම්භයේදී මෙම වසංගතයේ සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස අධික උණ, නහයෙන් කටින් ලේ වහනය සිදුවීම, පෙණහලු තුළ සෙම සිර වී මරණයට පත්වීම ආදිය දැක්විණි. ඉහත දක්වන ලද රෝග ලක්ෂණ සමහරක් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඉතා අසාධ්‍ය වී නිව්මෝනියා වැනි තත්ත්වයන්ට පත් වූ රෝගීන් විසින් දක්වන ලබන ඒවා නමුත් මාධ්‍ය විසින් ඒවා කොරෝනා ආසාදනයේ සාමාන්‍ය ලක්ෂණ ලෙස ප්‍රචාරය කෙරිණි.
නමුත් ලොව පුරා බොහෝ ජනයා මෙම ආරම්භක කම්පනයෙන් මිදීමට සමත් විය. ඒ තමන් හෝ තමන් අතර මෙම පරීක්ෂණය මගින් කොරෝනා ආසාදිතයන් ලෙස නම් කරන ලද පුද්ගලයන් අතර මෙම බිහිසුණු රෝග ලක්ෂණ පහළ නොවීම නිසාත් ඇතැම් අය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණෙහි රෝග ලක්ෂණ පමණක් දැක්වීම නිසාය. ඉතාම අසාධ්‍ය තත්ත්වයට පත් වූයේත් මරණයට පත්වූයේත් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි. එම පුද්ගලයන්ද ඉතා වයස්ගත හෝ වෙනත් රෝගවලින් පෙලුන හෝ ප්‍රතිශක්තිය ඉතා දුර්වල අය විය. මෙම තත්ත්වය ක්‍රමානුකූලව විශාල පිරිසක් අවබෝධ කරගැනීම හේතුවෙන් වසංගත ආඛ්‍යානයේ ග්‍රහණය කෙමෙන් ගිලිහී යන්නට පටන් ගත්තේය. ඒත් සමගම හෙමින් සීරූවේම රෝග ලක්ෂණ ලැයිස්තුව සංස්කරණය කෙරිණි. සංස්කරණය කරන ලද නව ලැයිස්තුවෙන් 90%ක් ලක්ෂණ සමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යා රෝගවල ලක්ෂණ විය. ඉතිරි 10% වෙනත් ඕනෑම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් බැරෑරුම් වන විට පෙන්නුම් කරන ලක්ෂණයන්ය.

ක්‍රිස්ටියන් ඩ්‍රෝස්ටන්

මෙම තත්ත්වය සෑම ශිත සෘතුවකම පැමිණෙන ශ්වසන පද්ධති ආශ්‍රිත වසංගත තත්ත්වයන්ට පොදු දෙයකි. මෙවැනි ශ්වසන පද්ධතීන් ආශ්‍රිත රෝගවලින් පමණක් නොව වෙනත් සුව කළ හැකි රෝගවලින් ද මිලියන ගණන් පුද්ගලයන් මිය යමින් සිටිය දී ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර කෘර ලෙස සෞඛ්‍ය පද්ධතිය සඳහා කෙරෙන වියදම් කපා හරිමින් ඒවා පුද්ගලිකකරණය කරමින් සිටි ලොව පුරා පාලකයෝ හිටි හැටියේ කොරෝනා වසංගතය මගින් පමණක් මරණයට පත්වන රෝගීන් පිළිබඳ සංඛ්‍යා ලේඛන හුවා දැක්වීම වෙනත් ඕනෑම හේතුවක් නිසා සිදු විය හැකි නමුත් ඔවුන් පිළිබඳ අනුකම්පාවකින් නම් සිදුවන්නේ යැයි සීතීමට නොහැකිය.

පහතින් දැක්වෙන්නේ 2017 වසර තුළ පමණක් විවිධ රෝග වලින් මියගිය සංඛ්‍යාව මිලියන 56කි. පහත දැක්වෙන්නේ ඒ අතරින් කීපයකි.
හෘදය රෝග මිලියන 17.79
පිළිකා මිලියන 9.56
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග මිලියන 3.91
පෙනහළු ආසාදනය වීම මිලියන 2.56
ඩිමෙන්ෂියා මිලියන 2.51
ජීර්ණ රෝග මිලියන 2.38
දරු උපත්වලදී සිදුවන ආසාදන මිලියන 1.78
පාචනය මිලියන 1.57
දියවැඩියාව මිලියන 1.37
අක්මා රෝග මිලියන 1.32
වකුගඩු රෝග මිලියන 1.23
ක්ෂය රෝගය මිලියන 1.18
ඒඩ්ස් 954, 492
සිය දිවි නසාගැනීම් 793,823
මැලේරියා 619,827
පාර්කින්සන් රෝගය 340,639
මෙනින්ජයටිස් 288,021
මන්ද පෝෂණය 269,997

Causes of Death 

මේ කිසිදු රෝගයක් සම්බන්ධව දෛනිකව රෝහල්ගත කරන හෝ මරණයට පත්වන පුද්ගලයන් පිළිබඳව සංඛ්‍යා ලේඛන උදේ හවා ජනමාධ්‍ය වලින් ඔබට අසන්නට දකින්නට ලැබේද?

B. RT-PCR පරීක්ෂණ සහ වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්වීම

2020 මාර්තු 11 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. රටවල් 110කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයන් 118000 කට ආසන්න සංඛ්‍යාවක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රියේසුස් ප්‍රකාශ කළේය. මේ වනවිට RT-PCR පරීක්ෂණ ලොව පුරා හඳුන්වා දෙමින් ඒවා භාවිතයට ගනිමින් තිබිණි. එහෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ආසාදනය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීම පසුබිමෙහි RT-PCR පරීක්ෂණය විසින් පොසිටිව් යැයි හඳුනාගන්නා ලද පුද්ගල සංඛ්‍යාවන් විශාල බලපෑමක් කළ බව පැහැදිලිය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2010 පෙබරවාරි 14 වැනි දින වසංගතයක් (pandemic) පිළිබඳ සිය අර්ථකතනය වෙනස් කර තිබිණි.

” වසංගතයක් යනු ලෝකය පුරා පැතිර යන නව රෝගයකි.”මෙහිදී එම නව රෝගය කොතෙක් දුරට මාරාන්තිකද යන සාධකය යන්න එම නිර්වචනයට අයත් නොවේ. කොරෝනා ආසාදනය නව රෝගයක් වූ අතර එමගින් ඉහත නිර්වචනයට අනුව එය වසංගතයක් (pandemic)වීමට අවශ්‍ය එක් කොන්දේසියක් සම්පූර්ණ වූ විය. RT-PCR පරීක්ෂණයේ ගෝලීය භාවිතය විසින් එය ලෝකය පුරා පැතිරුණ රෝගයක් වීමට අවශ්‍ය සංඛ්‍යාවන් ලබා දීම මගින් අනෙක් කොන්දේසිය සම්පූර්ණ කෙරිණි
ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමගම ලෝකයේ බොහෝ රටවල ආණ්ඩු නව වසංගත පාලන නීති ක්‍රියාත්මක කළහ. නැතහොත් දශක ගණනාවක් හෝ සියවසක් පැරණි වසංගත නීති යළි බලාත්මක කළහ. මේ නීති රීති විසින් ලෝකය පුරා ජනතාවන්ගේ සිවිල් සහ දේශපාලන නිදහස ද මූලික මානව අයිතීන්ද බරපතල ලෙස සීමා කෙරිණි.මේ යටතේ රැස්වීමෙහි සහ සංචරණයේ අයිතීන් සීමා කිරීමටද ආසාදිත යැයි හඳුනාගන්නා ලද පුද්ගලයන් හෝ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් හඹා ගොස් ඔවුන්ව අත් අඩංගුවට ගෙන බාහිර සමාජයෙන් මුළුමණින්ම වෙන් කර රඳවාගනීමටද, කොරෝනා ආසාදිතයෙකු යැයි සැකයට ලක්වන හෝ පරික්ෂණය මගින් කොරෝනා ආසාදිතයෙකු යැයි සැ‍ළකෙන පුද්ගලයෙකු මියගිය විට ඔහුගේ හෝ ඇයගේ සිරුර ඥාතීන්ට භාර නොදී විනාශ කිරීමේ බලයද රාජ්‍ය වෙත පැවැරීණි. අදහස් පළ කිරීමේ අයිතිය සාමාන්‍යයෙන් වසංගතයක් ව්‍යාප්තවීමට අදාළ සාධකයන් නොවන නමුත් එය ද සීමා කෙරිණි. ඒ වසංගතය සහ එය මර්දනයෙහි ලා ආණ්ඩු විසින් ගෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජනයා අතර සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීමේ මුවාවෙනි. ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය පමණක් නොව සියලු සමාජ මාධ්‍ය ජාලා ද මේ මාධ්‍ය වාරණයේ සක්‍රිය සහ උද්‍යෝගීමත් හවුල් කරුවන් බවට පත් වූහ. මේ අනුව වසංගතය සම්බන්ධයෙන් ආණ්ඩුවල නිල මතයට පිටින් මහජනයා වෙත තොරතුරු ලබාගැනීමේ අයිතිය ද ඔවුන්ට සිය අත්දැකීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද සීමා විය. රාජ්‍යයන් විසින් පුරවැසියන්ගේ පුද්ගලිකත්වයේ සීමා උල්ලංඝණය කරමින් විද්‍යුත් නිරීක්ෂණ පද්ධතීන් දැඩි ලෙස ව්‍යාප්ත කරන ලදි. ආසාදිතයන් යැයි RT-PCR මගින් නම් කරන ලද පුද්ගලයන් සහ ඔවුන් ඇසුරු කළවුන් හඹා යාමට ඔවුන්ගේ පුද්ගලික දුරකතන ටැප්කරමින් ඇතැම් විට හමුදා සහ පොලිස් බුද්ධි අං‍ශ ද යොදවමින් සිටිති.

C.  ලංකාව

ලංකාව තුල 1897 වසංගත රෝග මර්දන පනත (Quarantine and Prevention of Diseases Ordinance No.03 of 1897 (QPDO)) යළි බලාත්මක කරන ලදි.
මහාමාරිය, කොලරා, කහඋණ, ටයිෆස් වැනි වසංගත රෝග සම්බන්ධයෙන් මෙම පනත 1925,1933, 1946 සහ 1960 වසරවලදී වරින්වර සංශෝධනය කර තිබේ. නමුත් එම සංශෝධන මගින් ඉදිරිපත් කෙරෙන විධිවිධාන කොරෝනා වසංගතය මර්දනයෙහිලා ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව කොරොනා පාලනයට අවශ්‍ය වෙතැයි ඔවුන් සිතන වගන්ති ඇතුළත් කරමින් 1897 නිරෝධායන සහ වසංගත රෝග වැළැක්වීමේ පනත 2020.03.20 අංක 2167/18 අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධනය කරමින් නව නිරෝධායන රෙගුලාසි ඊට ඇතුළත් කළහ. අනතුරුව අනතුරුව එම පනතේ 2 සහ 3 වගන්ති යටතේ 2020 ඔක්තෝබර් මස 15 වැනි දින අංක 2197/25 අති විශේෂ ගැසට් පත්‍රය මගින් එයට නව රෙගුලාසි ඇතුළත් කරන ලදි. කොරොනා ආසාදිතයන් යැයි හඳුනාගත් හෝ සැක කරන පුද්ගලයෙකු මිය ගියවිට එම මල සිරුර ආදාහනය කළ යුතු යැයි මෙම සංශෝධනයේ සඳහන් වේ.
මෙම බලතල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 55F වගන්තියට සමාන වන අතර ඕනෑම පුද්ගලයෙකු වසංගත මර්දන බලතල යටතේ අත් අඩංගුවට ගැනීමට පොලිසියට හා හමුදාවට හැකි අතර එම සිදුවීම්වලදී හෝ ආරක්ෂක අංශ විසින් සැලසුම් සහගතව පුද්ගලයන් ඝාතනය කරන ලද විට ඔවුන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණවලින් තොරවම පුළුස්සා දැමීමේ බලතල අදාළ අංශවලට හිමි වේ. මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතනය මීට උදාහරණයක් පමණි.
පාලක පන්තිය විසින් මෙවැනි අණපනත් ගෙන එනු ලබන්නේ ඇතැම් විට “ජාතික ආරක්ෂාවේ” නාමයෙන් විය හැකිය. ඇතැම් විට “ත්‍රස්තවාදය මර්දනය කිරීමේ ” නාමයෙන් විය හැකිය. නැතහොත් “වසංගත මර්දනයේ” නාමයෙන් විය හැකිය. පාලකයන්ගේ මේ “පරම පිවිතුරු අරමුණු” කුමක් වුවද සාමාන්‍ය ජනතාවට නම් සෑම විටෙකම හිමිවනුයේ එකම බිහිසුණු ඉරණමකි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසිනීති රෙගුලාසි යන දෙකම මරණ පරීක්ෂණයකින් තොරව මළසිරුරු විනාශ කිරීමේ බලතල ප්‍රදානය කරයි. ඒවා ඇතුළත් කර ඇත්තේ ” වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරන පරීක්ෂණ මගින් ආරක්ෂක අංශ වෙත අනවශ්‍ය නීතිමය සංකීර්ණතා මතුවීම වැළැක්වීම” අරමුණු කොට ගෙනය. මෙය විසින් පුද්ගලයන් අතිවිශාල සංඛ්‍යාවක් අතුරුදන් කරනු ලැබීමට මග පෑදීණි. මෙම අතුරුදහන් කිරීම්වල ගොදුරු බවට පත් වූවන් ජීවතුන් අතර සිටින්නේ ද නැතහොත් මියගොස් ඇත්දැයි ඔවුන්ගේ ඥාතීන් නොදන්නා අතර මේ දක්වාම ඔවුන්ට ජීවත් වීමට සිදුව ඇත්තේ මේ අවිනිශ්චිත බව තුළය. මෙම “පහසුව” ආරක්ෂක අංශවලට පවරන ලද හදිසි නීති රෙගුලාසිවල 55 F වගන්තිය ඉතාම බියකරු නීතිමය ප්‍රතිපාදනයයි.
මෙවැනි ප්‍රතිපාදන විසින් කෙළවරක් නැති සමූහ මිනීවල්වල නිර්මාණය කිරීමේ මාවත් විවර කරනු ලැබිණි. දෙමළ සටන්කාමීන් සඳහා වූ චෙම්මනී සමූහ මිනීවලද සිංහල සටන්කාමීන් සඳහා වූ ඇඹිලිපිටිය සහ සූරියකන්ද සමූහ මිනීවලද මීට උදාහරණ වේ.“

(Counterterrorism Legislation in Sri Lanka: Evaluating Efficacy N. Manoharan පිටු 36-37)

ලංකාව තුළ කොවිඩ්-19 මර්දනය කිරීම සඳහා රජය කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් (NOCPCO) පිහිටවූ අතර එහි ප්‍රධානියා ලෙස පත් කරන ලද්දේ  හමුදාපතිවරයා වන ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වාය. මේ අනුව “වසංගතය වැළැක්වීම “ මුළුමණින්ම හමුදා මෙහෙයුමක් බවට පත් කරමින් ආසාදිතයන් යැයි සැක කෙරෙන්නවුන් හඹා ගොස් අත් අඩංගුවට ගැනීම සඳහා හමුදා සහ පොලිස් බුද්ධි අංශ යොදවන ලදි. ආසාදිතයන් හෝ ඔවුන් ඇසුරු කළ අයට එරෙහිව වෛරී ප්‍රචාරක ව්‍යාපාරයක් රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල ද දියත් විය. ආසාදිතයන් යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ ඡායාරූප පොලිස් වෙබ් අඩවි වල සහ පුවත්පත්වල පළ කරමින් ඔවුන්ගේ පුද්ගලිකත්වය සහ මිනිස් ගරුත්වය උල්ලංඝණය කරනු ලැබිණි. වරෙක වසරක් පමණ වයස දරුවෙකුගේ ඡායාරූපයක් ද  ශ්‍රී ලංකා පොලිසිය විසින් වෙබ් සහ පුවත්පත් වල පළ කර තිබිණි.  මැද පෙර දිග සේවය කරමින් සිටි කාන්තාවන් නැවත පැමිණෙන විට ඔවුන්ව RT-PCR පරීක්ෂණයට ලක් කර එහි පොසිටිව් ප්‍රතිඵල අනුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වල ගාල් කරන ලදි.  කිසිදු සනීපාරක්ෂක පහසු කමක් තබා කෑමක් බීමක්වත් හරියට ලබා නොදෙන මෙම  එක්  කඳවුරකදී හෘදයාබාධයකින් පෙළෙමින් සිටි කාන්තාවක් මරණයට පත් වූ බවට වාර්තා පළ විය. “ කොරෝනා දෙවන රැල්ලේ“  භීෂණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු ගොදුර වූයේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කම්කරුවන්ය. නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් සිඩ්නි මාකස් ප්‍රනාන්දු 2020 ඔක්තෝම්බර 07 වන දින නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සඳහන් වේ.

“මේ අතර, මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලේ ඛේදවාචකය සේවක සේවිකාවන් නූතන වහලූන් ලෙස යොදා ගැනීම ගැන බොහෝ දේ කියන්නකි. මෙය කෙටුම්පත් කරන මොහොත වනවිට, 1,600 ක පමණ සේවක සංඛ්‍යාවකින් 832 ක් කෝවිඞ්-19 ආසාධිතයින් යැයි දින 03 ක් ඇතුළත සනාථ විය. අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක පියවර සකී‍්‍රයව පැවතියේ නම්, සේවකයින්ගෙන් අඩකටම කෝවිඞ්-19 වයිරසය පැතිරෙන්නට ඉඩක් නැතැයි අපි තරයේ විශ්වාස කරමු. මෙරට ප‍්‍රධාන වසංගතරෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර නිල වශයෙන් පවසා ඇත්තේ ‘‘ආසාදිතයැයි සනාථ වූ පළමු සේවිකාවගේ රෝග ලක්ෂණ සැප්තැම්බර 28 වන දින හඳුනා ගත්තත් සැප්තැම්බර 20 වන දින සිට ස්වසන පද්ධතියේ රෝග තිබූ සේවකයින් කම්හලේ සිටිය බව සේවකයින්ගේ විස්තර පරීක්ෂා කිරීමේදී අපට දැන ගැනීමට ලැබුණා.’’ යැයි කියා ය. ඉන් කියවෙන්නේ සැප්තැම්බර 20 වන දින සිට පළමු වරට ඔක්තෝම්බර 04 වන ඉරිදා පළමු සේවිකාව රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරන තෙක් බ‍්‍රැන්ඩික්ස් සමාගම රෝග ලක්ෂණ තිබූ කිසිදු සේවකයෙකු සම්බන්ධයෙන් කිසිදු වැදගත් පියවරක් නොගත් බවය.“

කොවිඩ්-19 වසංගත භීතිකාව විසින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදනයන් කිසි දිනෙක දැක නැති ලෙසට හැසිරෙන මිනිස් සමූහයක් බවට සමාජය පත්  කෙරි ඇති බව මෙයින් පැහැදිලිය. කහින්නට කිඹුහමක් අරින්නට පෙර දෙවරක් සිතන්නට මිනිසුන්ට සිදු වන කාලයක් එලැඹ තිබේ. ඒ  සිය අසල්වැසියා විසින් කොරෝනා මර්දන හමුදා බලකායන්ට ඔත්තු දෙතැයි බිය වන  හෙයිනි. සිඩ්නි මාකස්ගේ ප්‍රකාශයෙන් තහවුරු වන පරිදි RT-PCR පරීක්ෂණ මගින් සොයාගන්නා තෙක්  කිසිවෙකු තමන් මේ අති භයානක කොවිඩ්-19 මගින් ආසාදනය වී ඇතැයි 1600ක් වන බ්‍රැන්ඩික්ස්  කම්කරුවන්ගෙන් 832ක් පුරා සති දෙකක කාලයක් තුළ එනම් සැප්තැම්බර් 20 සිට ඔක්තෝබර් 04 වන දා වන තෙක්   දැන නොසිටි බව සනාථ වේ.

පොලිස් ප්‍රකාශක නි යෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දෙසැම්බර් 01 වැනි ප්‍රකාශයක් නිකුත් කරමින්  දින PCR  පරීක්ෂණ මගහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සළකා නිරෝධායන නීතිය යටතේ  නඩු දමන බව කියා සිටියේය. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ වැසියන් පිරිසක්  කොවිඩ්-19 මගින් ආසාදනය වී ඇතැයි ද ඔවුන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටින්නේ යැයි ද යනුවෙන් ලද තොරතුරක් සම්බන්ධවය.

D. කොරෝනා මර්දන ක්‍රියාමාර්ග, විරැකියාව, සාගත

කොරෝනා වසංගතය විසින් ලෝකයේ සියලුම රටවල පහල සමාජ පන්තීන් ආර්ථිකමය වශයෙන් දැඩිලෙස පීඩනයකට පත් කර ඇතැයි යන්න සත්‍යයෙන් තොර ප්‍රකාශයකි. සැබැවින්ම මෙම ජනතාවන්ගේ ආර්ථික ජීවිතය විනාශ කර දමා ඇත්තේ මෙම වසංගතය මැඩ පැවැත්වීමට යැයි කියමින් ඒ ඒ රාජ්‍යයන් විසින් දියත් කර ඇති ලොක්ඩවුන් සහ වෙනත් සීමා කිරීම් හේතුවෙන් සැපයුම් මාර්ග බිඳවැටීම, නිෂ්පාදනය ඇණ හිටීම ආදිය නිසා මිසෙක වෛරසයේ සෘජු බලපෑමක් නිසා නොවේ. වසංගතයක් විසින් එවැනි තත්ත්වයක් ඇති කිරීමට නම් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ යෙදී සිටින ශ්‍රම බලකායෙන් විශාල ප්‍රතිශතයක් වසංගතයට ගොදුරු වී නිෂ්පාදන සහ බෙදාහැරීමේ ක්‍රියාවලීන් තවදුටත් පවත්වාගත නොහැකිව එය බිඳවැටෙන මට්ටමකට පත් විය යුතුය. නමුත් සිදු වෙමින් ඇත්තේ එය ද නැතහොත් රාජ්‍යයන් විසින් සිය සමස්ත පොලිස් සහ මිලිටරි බලහත්කාරය යොදමින් පවත්වාගෙන යන ලොක්ඩවුන් වැනි “වසංගත මර්දන ක්‍රියාමාර්ග ” ද?
මේ පිළිබඳව පර්යේෂණ පවත්වන බොහෝ සහන සේවා සංවිධාන මතුවෙමින් පවත්නා විරැකියාව සහ සාගත තත්ත්වයන් ගැන බොහෝ දුරට නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන නමුත් එයට හේතු වී ඇත්තේ රාජ්‍යයන්ගේ ඊනියා වසංගත මර්දන පි‍ළිවෙත් යන්න ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවෙයි.

අතිවිශාල ජනකායක් ඔවුන්ගේ ගම්බිම් බලා නැවත ගමන් කර සිටිති. මක් නිසාද යත් ඔවුන් වැඩ කරමින් සිටි නගර වසා දමා ඇති හෙයිනි

ඉන්දීය රජය සිය පළමු “ලොක් ඩවුන්” ක්‍රියාමාර්ගය ප්‍රකාශ කර එය ක්‍රියාත්මක කිරීමට හුදෙක් පැය 04කට පෙර නාගරික දිළිඳු වැඩකරන ජනතාවට සිය ගම්බිම් බලා යන ලෙස නියෝග කළ අවස්ථාව ගැන ඩිමොක්‍රසි නව් හි මාධ්‍යවේදිනි ඒමි ගුඩ්මාන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු වූ නෝම් චොම්ස්කි මෙසේ පැවසීය.
” එය ජනසංහාරයක් බව ඔබට මුළුමණින්ම පැවසිය හැකිය.සම්පූර්ණ ලොක්ඩවුන් එක ක්‍රියාත්මක කිරීමට පැය 4 කට පෙරයි මෝදි එය දැනුම් දුන්නේ. එය බිලියනයකට වැඩි පිරිසක බලපාන දෙයක්. ඔවුන්ගෙන් සමහරකට යා හැකි කිසිම තැනක් නැහැ.”
ඔහු වැඩි දුරටත් මෙසේ පවසයි.
“අසංවිධිත ආර්ථික ක්‍රමයක් තුළ ජීවත් වන අති විශාල ජනකායක් මුළුමණින්ම එමගින් නෙරපා දැමුණා. ඔබට ඔබගේ ගමට යාමට සිදුවෙයි, සමහර විට එය සැතපුම් දහස්ගණනක් ඈත නමුත් ඔබ පයින්ම හෝ යායුතුයි. මහමග වැටී මිය යාමට සිදුවුවත්, මේ සිදුවෙමින් පවතින්නේ අති විශාල ඛේදවාචකයක්”

ඉන්දියාවේ පළමු ලොක් ඩවුන් ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵල ගැන පී සායිනාත් විසින් Peoples Archive of Rural India හි පල කළ ලිපියක නගර කරා සංක්‍රමණය වී සිටි කම්කරු ජනයාගේ ශෝකජනක තත්ත්වය මෙසේ විස්තර කරයි.

” …එසේ වුවද විවිධ නගරවලින් ලැබෙන වාර්තා අනුව අතිවිශාල ජනකායක් ඔවුන්ගේ ගම්බිම් බලා නැවත ගමන් කර සිටිති. මක් නිසාද යත් ඔවුන් වැඩ කරමින් සිටි නගර වසා දමා ඇති හෙයිනි. ඔවුන්ගෙන් බොහොමයකට සිය ගම්බිම්බලා යාමට භාවිතා කිරීමට සිදුව ඇත්තේ දැනට ඉතුරුව ඇති එකම ප්‍රවාහන සේවය වන පයින්ම ඇවිද යාම පමණි. සමහරු බයිසිකල් වලින් ගමන් කරති. හිටිහැටියේ මහමගදි අක්‍රිය වන දුම්රිය බස් සහ වෑන්. මේ තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එය මිහිපිට අපායක් බවට පත්වනු ඇත. සිය ගමිබිම් බලා යන අති විශාල ජනකායක් ගැන සිතේ මවා ගන්න.ගුජරාටයේ නගරවල සිට රාජස්ථානයේ ගම්බිම් වෙත, හයිද්‍රාබාද්හි සිට තෙලංගානා සහඅන්ද්‍රා ප්‍රදේශ්වල ඈත ගම්බිම් වෙත, දිල්ලියේ සිට උත්තර්ප්‍රදේශ් කරා මුම්බායිහි සිට කිසිවෙකුත් නොදන්නා ගමනාන්තයන් වෙත. ඔවුන්ට ආධාර නොලැබෙන්නේ නම් ආහාර සහ ජලය හිඟකමින් මහා ඛේදවාචකයක් සිදුවනු ඇත. කොලරා, පාචනය වැනි ඉපැරණි වසංගත යලි මතුව ඔවුන්ව බිලිගනු ඇත….”

අප්‍රිකාවේ පවතින තත්ත්වය ගැන “welthungerhilfe“ සංවිධානය මෙසේ පවසයි.
“යුරෝපයට හෝ එක්සත් ජනපදයට වඩා අප්‍රිකාවේ තත්ත්වය බෙහෙවින් අවදානම් සහගතය. COVID-19 වසංගතයේ ප්‍රතිවිපාක බෙහෙවින් දුප්පත් ජනකොටස් කෙරෙහි විනාශකාරී ලෙස බලපා ඇත. COVID-19 හා සම්බන්ධ සීමා පැනවීම් නිසා ඔවුන්ට ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී ඇති අතර ඔවුන්ගේ අහිමි වීම් වීම්වලට සහනයක් සලසන සමාජ ආරක්ෂණ ක්‍රමයක් මෙම බොහෝ රටවල නොපවතී.ආර්ථිකයට සිදුව ඇති බලපෑම පාලනය කිරීමට අත්‍යවශ්‍ය මුල්‍ය ව්‍යුහයන් නැත. ආර්ථිකයන් ශීඝ්‍රවශයෙන් කඩාවැටෙමින් පවතින අතර ආහාර ද්‍රව්‍ය වල මිල විශාලවශයෙන් ඉහළ යමින් පවතී. ජනතාව සාගත තත්ත්වයකට ගොදුරු වෙමින් සිටිති. එක්සත් ජාතින්ගේ කෘෂිකාර්මික සහ ආහාර සංවිධානයට අනුව විසින් දරුණු ලෙස කුසගින්නෙන් පෙලෙන ජනයාගේ සංඛ්‍යාව දෙගුණයක් බවට පත් කර ඇත.”

පාසල් වසාදැමීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියේ කඩා වැටීමක් සිදුව ඇත. අන්තර් ජාලය හරහා සිදුකරන දුරස්ථ අධ්‍යාපනයක් හඳුන්වා දී තිබුනද සංවර්ධිත යුරෝපයේ පවා එය විසින් විශේෂ උපකාර අවශ්‍ය ළමුන් ඉතා අතරමංකර දමා තිබේ. අන්තර්ජාල යටිතල පහසුකම් නැති, ස්වභාෂා අධ්‍යාපනය සඳහා අවශ්‍ය තරම් විද්‍යුත් අධ්‍යාපනික පොත්පත් සහ වීඩියෝ අන්තර්ජාලයේ නොපවතින, අන්තර් ජාල සේවා හෝ පරිගණකයක් මිලදී ගැනීමට වත්කමක් නැති ළමුන් බහුතරයක් වෙසෙන රටවල ලමුන්ගේ තත්ත්වය ඉතා කණගාටුදායකය.

ඉහත සඳහන් කරන ලද සියලු තත්ත්වයන් COVID-19 වසංගතයේ ප්‍රතිඵල ලෙස හුවා දැක්වීමට ආණ්ඩුවල නිල ආඛ්‍යානය පිළිගනු ලබන බොහෝ දෙනා වෑයම් කරන නමුත් ඇත්ත තත්ත්වය එය නොවන කරුණු පැහැදිලිව විමසා බලන විට පෙනී යයි. මේ වූකලී වසංගතය මර්දනය කිරීමට යැයි කියමින් ලොව පුරා ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක් මිසෙක රෝගය එය විසින්ම ඇති කරන ලද තත්ත්වයක් නොවේ. නිෂ්පාදනය සහ බෙදාහැරීම් කඩා වැටී ඇත්තේ එහි නිරතවන ශ්‍රම බලකාය වසංගතයේ ගොදුරු බවට පත්වීම නිසා නොවේ. පාසල් වසා දමා ඇත්තේ පාසල් සිසුන් හෝ ගුරුවරුන් ඒවා පවත්වාගෙන යාමට බැරි තරම් වසංගතයට ගොදුරුව ඇති නිසා නොවේ. කොරොනා වැළඳීම හේතුවෙන් මරණයට පත් වී යැයි සැක කරන ලද මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු සිය ආගමික චාරිත්‍රානුකූලව භූමදානය කිරීමට ඔවුන්ගේ ඥාතින්ට හිරිහැර කරමින් බාධා පමුණුවන ලද්දේ වසංගතය භූගත ජලය තුලින් සංක්‍රමණය වන නිසා නොවේ. ආණ්ඩු විසින් සිය සියලු ක්‍රියාමාර්ග යුක්තියුක්ත කරනුයේ වසංගතය ශීඝ්‍රයන් පැතිර යන බවට ඇති සංඛ්‍යා ලේඛන උපුටා දක්වමිනි. මේ සංඛ්‍යා ලේඛන ඔවුන් ලබාගනුයේ RT-PCR පරීක්ෂණය මගිනි. මෙම පරීක්ෂණය පදනම්ව ඇති ප්‍රොටෝකෝලය සැලසුම් කර ඇත්තේමෙහි මුලින් සඳහන් කළ වෛරස් විද්‍යාඥයන් වන කෝර්මන් වික්ටර් සහ ඩ්‍රෝස්ටන් ක්‍රිස්ටියන් යන දෙදෙනා ඇතුළු කණ්ඩායම විසින් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවකට අනුවයි. මෙම පරීක්ෂණය භාවිතය විසින් සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල ලබා දෙන්නේ යැයි බොහෝ විද්‍යාඥයන් විසින් පෙන්වා දෙනු ලැබුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය තවමත් නිර්දේශ කරමින් සිටී. ලෝකයේ බොහෝ රටවල් තවමත් භාවිතා කරන්නේ කොර්මන්-ඩ්‍රෝස්ටන් ප්‍රොටොකෝලයට අනුව සැලසුම් කරන ලද RT-PCR පරීක්ෂණයයි.

E. කෝර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව සහ  RT-PCR පරීක්ෂණය

පීටර් බෝර්ගර්

කොර්මන්-ඩ්‍රෝස්ටන් කණ්ඩායම  SARS-CoV-2 වෛරසය හඳුනාගැනීම සඳහා සැලසුම් කරන ලද සිය  පරීක්ෂණයේ ප්‍රොටොකෝලය  යුරෝසර්වේලන්ස් ජර්නලය වෙත ප්‍රතිවිමර්ශනය (peer-review) සඳහා බාර දී ඇත්තේ 2020 ජනවාරි    21 වැනි දාය. යුරෝසර්වේලන්ස් ජර්නලය විසින් එය ප්‍රසිද්ධ කිරීමසඳහා අනුමැතිය දී ඇත්තේ 2020 ජනවාරි 22 වැනිදාය. එනම් පැය 24ක් වැනි කෙටිකාලයක් තුළ එයට අනුමැතිය හිමිව තිබේ. එය තරමක් අමුතු දෙයක් වන අතර ඊටත් වඩා පුදුම සහගත දෙය වන්නේ කෝර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව ප්‍රතිවිමර්ශනයක් සඳහා යුරෝසර්වේලන්ස් වෙත භාරදීමටත් පෙර  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය අනුමත කර සිය වෙබ් අඩවිය තුළ  2020 ජනවාරි 13 වැනිදා පළ කර තිබීමය.  ලොව පුරා බිලියන ගණන් ජනයාගේ ජීවිතවලට බලපාන වසංගතයක් හඳුනාගැනීම සඳහා එම වසංගතයට හේතුවන වෛරසය හඳුනාගැනීමේ පරීක්ෂණය මෙතරම් කඩිමුඩියේ කිසිදු ප්‍රතිවිමර්ශණයක් පවා සිදු නොකර අනුමත කිරීමට යුරෝසර්වෙලන්ස් ජර්නලය පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයත් කටයුතු කර ඇත්තේ මන්ද?මෙම ප්‍රශ්නයට පිළිතුරු සපයාගැනීම පසුවට කල් තබමු. කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව පිළිබඳ ව එය අනුමත කළ යුරෝසර්වේලන්ස් ජර්නලය ප්‍රතිවිමර්ශනයක් සිදු නොකළද ස්වාධීන බාහිර විද්‍යාඥයන් පිරිසක්  විමර්ශනයක් සිදු කරන ලදි. එම විමර්ශනය  සිදු කරන ලද්දේ පීටර් බොර්ගර්, මයිකල් යීඩන් සහ ක්ලෙයා ක්‍රෙග් ඇතුළු කණ්ඩායමයි.මෙම බාහිර විමර්ශන වාර්තාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ PDF පිටපත ට මෙම සබඳතාවෙන් පිවිසිය හැකියසිය විමර්ශනයේ අරමුණු මෙම පිරිස විසින් මෙසේ දක්වා ඇත.”මෙම පත්‍රිකාව විසින් ලෝකය පුරා SARS-CoV-2 වෛරසය හා සම්බන්ධ  ආසාදනයන් හා ඒ මගින් ඇති කරන  COVID-19 රෝගය පිළිබඳව සාවද්‍ය රෝග විනිශ්චයයන්ට හේතු වූ කෝර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව (Corman-Drosten paper) තුළ පවතින බරපතල දෝෂ විශාල සංඛ්‍යාවක් පෙන්නුම් කරනු ලැබේ. බොහෝ ජනතාවන්ගේ ජීවනෝපායයන් විනාශ කරමින් සිටින, අධ්‍යාපන අවස්ථා සීමා කරමින් සිටින,  දැඩි ලොක් ඩවුන්  වලට අපි මුහුණ දෙමින් සිටිමු. එමෙන්ම ආණ්ඩු විසින් පනවා ඇති සීමාවන් ජනතාවගේ මූලික අයිතීන්ට සහ පුද්ගල නිදහසට එල්ල කර ඇති සෘජු ලෙස ප්‍රහාර එල්ල කරමින් සිටින අතර එම සීමා පැනවීම්වල ප්‍රතිඵලයක් ලෙස ගෝලීය පරිමාණයෙන් ආර්ථිකයන්ට හානි සිදුවෙමින් පවතී.”

F.   SARS-CoV-2 වෛරසයේ වෙන්කර හඳුනාගත් ජානමය ද්‍රව්‍ය නොමැතිව RT-PCR පරීක්ෂණය සැලසුම් කිරීම

මෙම බාහිර පර්යේෂකයන් පිරිස විසින් කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාවේ පවතින බරපතල දෝෂ 10ක් එනම් එම පත්‍රිකාව මත පදනම් වූ RT-PCR පරීක්ෂණයේ බරපතල දෝෂ 10ක් පෙන්වා දෙයි.  එම දෝෂ හේතුවෙන් එම පරීක්ෂණය භාවිතයෙන්  COVID-19  ආසාදනය වූවන් හඳුනාගැනීමට කටයුතු කිරීමේ දී  සාවද්‍ය පොසිටිව් ලබාදීමට ඇති ඉඩකඩ ගැන ඔවුහු අනතුරු අඟවති. ඔවුහු විසින් පෙන්වා දෙන ප්‍රධාන දෝෂවලින් එකක් නම් ඒකලනය කරන ලද SARS-CoV-2 වෛරසයේ ජානමය ද්‍රව්‍ය (isolated genetic materialas of SARS-CoV-2)නොමැතිව එම පරීක්ෂණය සැලසුම් කර තිබීමය. මෙය සරලව මෙසේ තේරුම්ගත හැකිය. ඔබ දළ වශයෙන් එක හා සමාන එකිනෙක අතර ඉතා සුළු වෙනස් කම් සහිත දේවල් සිය ගණනක් අතරෙන්  කිසියම් නිශ්චිත දෙයක් සොයන විට ඔබ සොයන දෙයෙහි මූලික හැඩරුව, ව්‍යුහය සහ ගුණාංග පිලිබඳ නිවැරදි අවබෝධයක් ඔබට නැත්නම්, එනම් ඔබ සොයන දෙය සෙසු දේවලින් වෙනස්වන්නේ කවර සාධක මතදැයි ඔබ නොදන්නේ නම්  බොහෝ දුරට  සිදුවීමට ඉඩ ඇත්තේ ඔබ ඒ දෙය සොයාගැනීමට අසමත් වීමයි. නැතහොත් එයට දළ වශයෙන් සමාන දෙයක් වැරදි ලෙස තෝරා ගැනීමයි.තමන් SARS-CoV-2 හඳුනාගැනීම සඳහා මෙම පරීක්ෂණය සැලසුම් කරන විට තමන් සතුව රොගීන්ගෙන් ලබාගත් සාම්පල තුළින් නිශ්චිතව වෙන්කර හඳුනාගත් SARS-CoV-2 වෛරසයේ ජානමය ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු  නොතිබුණු බව කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාවේ කතුවරුන් විසින්ම සිය පත්‍රිකාව තුළ පවසා තිබේ. එසේ නම් ඔවුන් මේ RT-PCR පරීක්ෂණය සැලසුම් කිරීම සඳහා යොදාගත් දත්ත මොනවාද? ඔවුන්ගේ RT-PCR පරීක්ෂණය සැලසුම් කර ඇත්තේ ප්‍රධාන සාධක දෙකක් මතය.

1.SARS-CoV-2 වෛරසය 2003-SARS-CoV වෛරසය සමග සමීප ජානමය සම්බන්ධතාවක් දක්වන බවට ඔවුන් විසින් සිදු කර ඇති අනුමානය

2. චීනයේ වුහාන් හි විද්‍යාගාරයක් විසින් එවනු ලැබූවායි කියන පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද (in silico) ජාන අනුක්‍රම

මේ පිලිබඳව කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව පිළිබඳ විමර්ශනය කරන පර්යේෂක කණ්ඩායම සිය විවේචනය තුළ මෙසේ සඳහන් කරයි.

“පළමු සහ ප්‍රධානතම ගැටළුව වන්නේ SARS-CoV-2 නව කොරෝනා වෛරසය (පත්‍රිකාවේ සඳහන් වනුයේ 2019-nCoV ලෙසින් වන අතර 2020 පෙබරවාරි මාසයේදී වෛරස් පිළිබඳ විශේෂඥයන්ගේ ජාත්‍යන්තර සාමූහිකයක් විසින් SARS-CoV-2 නම් කරන ලද වෛරසය)  පදනම් වනුයේ  චීන විද්‍යාගාරයක් විසින් (1)  සපයන ලද පරිගණක ඇසුරෙන් නිපදවන ලද  (in silico) සෛද්ධාන්තික ජානමය අනුක්‍රමය මතය. මක්නිසාදයත් යත් ඒ වනවිට පාලක නිදර්ශක අමුද්‍රව්‍ය (ආසාදනයට ලක්  ජීවමාන පුද්ගලයෙකු ) හෝ අක්‍රිය SARS-CoV-2 වෛරසයක් හෝ වෙන්කරගන්නා ලද  SARS-CoV-2 වෛරසයේ ගෙනෝම RNA හෝ කෝර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාවේ කතුවරුන් සතුව නොපැවති හෙයිනි.  වෙන් කර හඳුනාගත් SARS-CoV-2 වෛරසයේ සම්පූර්ණ   RNA දාමය ඉදිරිපත් කිරීම මගින් සිය පත්‍රිකාවට වලංගුබවක් ලබාදීමට  මේ දක්වාම  කෝර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාවේ නිර්මාතෘවරුන් විසින් අසමත්ව ඇත”

“..කෙසේ වුවද මෙම පරිගණක ආශ්‍රයෙන් නිර්මිත ජාන අනුක්‍රම කලින් සඳහන් කළ වෛරසය හඳුනාගැනීම සඳහා වන  RT-PCR පරීක්ෂණ ක්‍රමවේදය සංවර්ධනය කිරීම සඳහා යොදාගෙන ඇත. මෙම පරීක්ෂණ ආකෘතිය පදනම් වී ඇත්තේ මෙම නව වෛරසය 2003 වසරේ  SARS-CoV වෛරසයට බොහෝ සෙයින් සමානය යන අනුමානය මතය. මක් නිසාදයත් මෙම වෛරස් දෙකම බීටා – කොරෝනා වෛරස්  (beta-coronavirus) ලෙස සළකන බැවිනි. ඒ අනුව  PCR පරීක්ෂණය සැලසුම් කර ඇත්තේ, Sarbeco සංරචක සඳහා 2003- SARS-CoV වෛරසයේ ජාන ගෙනෝමය  පාලක පරීක්ෂණ ද්‍රව්‍ය  (control material) ලෙස යොදාගනිමිනි…”

SARS-CoV-2 ආකෘතිය ගොඩ නැංවීමේ මෙම විධික්‍රමය කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාවේ විස්තර වනුයේ මෙලෙසය.
“2019-nCoV (පසුව  SARS-CoV-2 ලෙසින් නම් කරන ලද වෛරසය) නිවාරක පිරික්සුම්  (screening) සහ විශේෂිත තහවුරු කිරීම්  සඳහා වන නිර්ණ ක්‍රියාදාමයක්   ස්ථාපනය කිරීම  සහ වලංගුකරණය සැලසුම් කරන ලද්දේ  රෝගීන් වෙතින් ඒකලනය (isolate) කරන ලද  සැබෑ වෛරස් නිදර්ශකවලින් තොරවය. සැලසුම සහ වලංගුකරණය සිදුකිරීමේ හැකියාව  ලැබුණේ 2003-SARS-CoV වෛරසය සමග වන ඉතා සමීප ජානමය සම්බන්ධය නිසා වන අතර, කෘත්‍රිම නියුක්ලික් අම්ල තාක්ෂණය ඊට  ආධාර පිණිස යොදා ගන්නා ලදි.”
ඔවුහු පළමුව  SARS-CoV-2 වෛරසය 2003-SARS-CoV වෛරසයේ ජානමය ව්‍යුහයට සමාන කම් දක්වන බව උපකල්පනය කරයි. එහෙයින් දැන් ඔවුන්ට  2003-SARS-CoV වෛරසයේ ජානමය ද්‍රව්‍ය සිය පරීක්ෂණයට සපයාගැනීමට අවශ්‍යය.  SARS වර්ගයේ කොරෝනා වෛරස වල ප්‍රභවය ආසියාතික වවුල් විශේෂයක් වන Rhinolophus affinis යැයි සැළකේ. එහෙත් කොර්මන් ඩ්‍රොස්ටන් පත්‍රිකාවේ කතුවරුන් මෙම වවුලන්ගෙන් අදාල සාම්පල ලබාගැනීමට කටයුතු නොකරයි. ඔවුහු ඒ වෙනුවට  Rhinolophus affinis වවුල් විශේෂය අයත්වන Rhinolophidae වවුල් පවුලට අයත් යුරෝපීය  rhinolophid වවුලන්ගේ මල පහ මගින් වෙන්කරගත් වෛරසයේ ජානමය ද්‍රව්‍ය යොදාගනිති. මෙමගින් SARS-CoV-2 වෛරසය නිශ්චිතව හඳුනාගැනීමට අවශ්‍ය ජානමය දත්ත නොසැපයෙනවා පමණක් නොව කොරොනා වෛරස් පවුලට අයත් සිය ගණනක් වෛරස් වර්ග සඳහා පරීක්ෂණයේ  ප්‍රතිඵල පොසිටිව් වීමේ පරාසය පුළුල් කරනු ලබයි. කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාවේ මේ පිළිබඳව මෙසේ සඳහන් වේ.

” අනෙකුත් වවුලන් ආශ්‍රිත SARS සම්බන්ධ වෛරස් හඳුනාගැනීම සඳහා පරීක්ෂණය සමත් බව පෙන්වීමට, ඩ්‍රෙක්ස්ලර් සහ කණ්ඩායම […] සහ මුත් සහ කණ්ඩායම […] සතුව පැවැති  වවුල් මලපහ මගින් ලබාගත් සාම්පල 6ක්  පරීක්ෂා කිරීමට අපි  E gene පරීක්ෂණය උපයෝගී කොටගතිමු. මෙම වෛරස්- පොසිටිව් සාම්පලවල ප්‍රභවය යුරෝපීය රයිනෝෆිඩ් වවුලන්ය. SARS සම්බන්ධ CoV කාණ්ඩය තුල  මෙම වංශප්‍රවේණික බාහිරස්ථ (phylogenetic outliers) හඳුනාගැනීම විසින් සියලු ආසියානු වෛරස හඳුනාගැනීමට ඇති හැකියාව යෝජනා කරනු ලබයි. සත්ව සමූහයක් වෙතින් වෙන්ව වෙන්ව ස්වාධීනව සිදු කෙරෙන බහුවිධ  සාම්පල ලබාගැනීම් වලට අදාළව වුව ද  පුළුල් සංවේදීතාවක් දක්වන බව  මෙමගින් සෛද්ධාන්තිකව තහවුරු කෙරෙයි.”

මේ සම්බන්ධයෙන් බාහිර පර්යේෂක කණ්ඩායම මෙසේ පවසයි.

“කෝර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව විසින් විස්තර කරන අන්දමට RT-PCR පරීක්ෂණය තුළ භාවිතා කළ E ජානය  SARS-CoV-2 වෛරසය හඳුනාගැනීම සඳහා විශේෂිත වූවක් නොවන බව මෙම ප්‍රකාශනය මගින් පෙන්නුම් කරයි. E ජානය සඳහා  වන ප්‍රයිමර විසින් විශාල පරාසයකින් යුතු අනෙකුත් SARS වෛරස් ද හඳුනාගැනේ.”

මෙයින් පැහැදිලිවන්නේ කුමක්ද?  SARS-CoV-2 ආසාදිතයන්ගෙන්  ලබාගත් සාම්පල තුළින් නිශ්චිතව වෙන්කර හඳුනාගත් SARS-CoV-2 වෛරසයේ ජානමය ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු  RT-PCR පරීක්ෂණය සැලසුම් කළ කොර්මන්-ඩ්‍රෝස්ටන් කණ්ඩායම සතුව නොපැවති බවය. ඔවුහු සිය පරීක්ෂණය සැලසුම් කර ඇත්තේ චීනයේ විද්‍යාගාරයකින් සපයන ලදැයි බව පැවසෙන පරිගණක ආශ්‍රයෙන් (in silico) නිපදවන ලද  SARS-CoV-2 වෛරසයේ ජාන අනුක්‍රම දත්ත සහ SARS-CoV වෛරසයේ ජාන අනුක්‍රම දත්ත මත පදනම්වය. මෙමගින් සිදු විය හැක්කේ SARS වෛරස පවුලට අයත් සියලුම වෛරස සඳහා පරීක්ෂණය පොසිටිව් ප්‍රතිඵල ලබා දීමය.
කෝර්මන් සහ අනෙකුත් කතුවරුන්ට අනුව,  “වෛරසයේ අන්තර්ගත ද්‍රව්‍ය නොමැතිවම මහජන සෞඛ්‍ය විද්‍යාගාර සැකසුම් තුළ ඉතා නිරවද්‍ය නිශ්චය ක්‍රමවේදයක් සංවර්ධනය කර භාවිතයේ යෙදවීම අපගේ අරමුණ විය.”
ඉහත ප්‍රකාශකරන ලද අරමුණු දෙක පිළිබඳව මෙහි ලා කේන්ද්‍රීය අවධානය යොමු විය යුතුය.

එනම්  මහජන සෞඛ්‍ය සැකසුම් තුළ  භාවිතාවේ යෙදිය හැකි රෝග නිශ්චය පරීක්ෂණයක්

a) සංවර්ධනය සහb) භාවිතයේ යෙ‍දෙවීම  යන අරමුණු පිළිබඳවය.

එහෙත් කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාවේ දෝෂ පෙන්වා දෙන විමර්ශක කණ්ඩායමට අනුව සැබෑ වෛරසයේ අන්තර්ගතය නොමැතිව මෙම අරමුණු සාක්ෂාත් කරගත නොහැකිය. එනම් ආසාදක රෝග නිශ්චයේදී අත්‍යවශ්‍ය සාධකයක් වන  ආසාදකාරක වෛරස් භාරය- (viral load) තීරණය කිරීම කොහෙත්ම සිදු කළ නොහැකිය. මේ දක්වා සිදු කරන ලද සංස්කරණයන් මගින් හෝ කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව තුළ  SARS-CoV-2 වෛරසයේ අන්තර්ගතය ඇකුළත් කර නොමැති බව ඔවුහු වැඩි දුරටත් පවසති.

G. PCR ප්‍රතික්‍රියාව සිදුකරන චක්‍ර සංඛ්‍යාව  (Ct value) 25 ට වැඩි නම් පරීක්ෂණය විසින් සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල ලබා දිය හැකිය.

RT-PCR පරීක්ෂණය විසින් ලබාදෙන පොසිටිව් ප්‍රතිඵල සහ එහිදී ක්‍රියාත්මක කරව ප්‍රතික්‍රියා වාර ගණන නැතහොත් බහුගුණන වාර ගණන (Ct value/threshold cycle) අතර සම්බන්ධය  ගැන මෙම විමර්ශක කණ්ඩායම මෙසේ කරුණු ඉදිරිපත් කරයි. ඔවුන්ට අනුව ප්‍රතික්‍රියාවේ බහුගුණන වාර සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතුය.එය චක්‍ර 35කට වැඩි නම් සාවද්‍ය ප්‍රතිඵල ලැබීමේ ප්‍රතිශතය ශීඝ්‍ර යෙන් ඉහළ යන අතර 35ට වැඩි චක්‍ර සංඛ්‍යාවක ප්‍රතිඵල කෙරෙහි කිසිසේත් විශ්වාසය තැබිය නොහැකිය.
“මෙම වර්ගයේ වෛරස්වේදී රෝග නිශ්චය කිරීමේ පරීක්ෂණ  ප්‍රමිතිගත ක්‍රියා පරිපාටියක් (standard operating procedure-SOP) මත පදනම් විය යුතුය. කුමන සාම්පලයක් පොසිටිව් හෝ නෙගටිව් වන්නේ ද යන්න තීරණය කරනු ලබන වලංගු සහ ස්ථීර  PCR චක්‍ර සංඛ්‍යාව  (Ct value/threshold cycle) ද එයට අන්තර්ගත විය යුතුය. සහේතුක ලෙස විශ්වාසය තැබිය හැකි  උපරිම බහුගුණන චක්‍රසංඛ්‍යාව (Ct value) චක්‍ර 30කි.  චක්‍ර 35කට වැඩි වන විට ලැබෙන සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම අපේක්ෂා කළ යුතුය. චක්‍ර 35කට වැඩියෙන් සිදුකර ලබා ගන්නා PCR දත්ත මගින් පොසිටිව් ලෙස සිදුකරන නිශ්චය කිරීම් මුළුමණින්ම සැක සහිතය.වෙනත් වචනවලින් පවසතොත් ඉහල චක්‍ර සංඛ්‍යාවන් යොදාගනිමින් සිදුකරන පරීක්ෂණවලදී SARS-CoV-2 වෛරසය සාර්ථකව වෙන්කර හඳුනාගත නොහැකිය. විද්‍යාත්මක අධ්‍යයනයන් විසින් වැඩිදුරටත්  පෙන්වනු ලබන්නේ ආසාදකාරක නොවන මියගිය වෛරස් පමණක් බහුගුණන චක්‍ර 35 (Ct = values-35) දී නිරීක්ෂණය වන බවය. චක්‍ර 30 සහ 35 අතර ඇත්තේ අපැහැදිලි කලාපයකි. එම කලාපය තුළ පොසිටිව් පරීක්ෂණ විශ්වාසනීයත්වයකින් යුතුව තහවුරු කළ නොහැකිය. මෙම කලාපය ඉවත් කළ යුතුය. සත්තකින්ම යමෙකුට කොර්මන්-ඩ්‍රොස්ටන්- ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රොටොකෝලය  (රූපය 7)  විසින් නිර්දේශ කර ඇති අන්දමට බහුගුණන චක්‍ර  45ක් ක්‍රියාත්මක කළ හැකිය. නමුත් එවිට  සහේතුක චක්‍ර සංඛ්‍යාව (  reasonable Ct value-එය  චක්‍ර 30 නොඉක්මවිය යුතුය යන්න දැනට පිළිගෙන ඇති ස්ථාවරයයි) නිර්වචනය කිරීමට ඔබට සිදුවනු ඇත.  නමුත් චක්‍ර 45ක් යොදාගනිමින් ලබාගන්නා විශ්ලේෂණාත්මක ප්‍රතිඵල විද්‍යාත්මකව සහ නිර්ණයාත්මකව මුළුමණින්ම අරුත් විරහිතය ( සහේතුක චක්‍ර සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතුය) ”
ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවේද භාවිතාවන RT-PCR කට්ටලවල  ප්‍රතික්‍රියා බහුගුණන චක්‍ර සංඛ්‍යාව 35ට වැඩිය. එහෙයින් එම චක්‍ර සංඛ්‍යාව හෝ ඊට ඉහළින් යොදාගෙන කරනු ලබන පරීක්ෂණයක් මගින්   යමෙකු  SARS-CoV-2 සඳහා පොසිටිව් යැයි කෙරෙන නිගමනය විශ්වාසනීය නොවේ. අනෙක් අතට මෙහිදී  අප විසින් නැවතත් සිහි තබා ගත යුත්තේ  එය පොසිටිව් වුව ද ඉහත දී පෙන්වා දුන් පරිදි ඒ සියලු වර්ගයේ වෛරස්වලට පොදු  E ජානය සඳහා මිසෙක නිශ්චිතව  SARS-CoV-2 වෛරසයට සුවිශේෂි ජානයක් සඳහා නොවන බවය. වෙනත් වචනවලින් කිවහොත් චක්‍ර සංඛ්‍යාව 30 කට අඩුවෙන් ප්‍රතික්‍රියාව සිදුකළද එය වර්ගයේ වෙනත් ඕනෑම SARS වෛරසයක් සඳහා පොසිටිව් ප්‍රතිඵල ලබා දෙනු ඇත.

Figure 1 :  RT-PCR පරීක්ෂණ කට්ටල සඳහා වන  නිල කොර්මන්-ඩ්‍රොස්ටන් – ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රොටොකෝලයේ සඳහන්  නිර්දේශ [8]. මෙහි “Cycler”-value  (චක්‍ර)  සංඛ්‍යාව 45ක් ලෙස දක්වා ඇත. ඒ  විද්‍යාත්මකව සහේතුක චක්‍ර සංඛ්‍යාවට අනුරූප නොකරමිනි. වර්තමාන කෝර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව තුළ මෙම චක්‍ර සංඛ්‍යා අගය  හෝ වෙනත් කිසිදු  චක්‍ර සංඛ්‍යා අගයක් ගැන  කිසිදු තැනක දැකිය නොහැකිය

H.  ප්‍රයිමර් සැලසුම් දෝෂ

PCR පරීක්ෂණයක ඉතා වැදගත් සංරචකයක් වනුයේ ප්‍රයිමර්ය. DNA දාමයක ඉලක්ක කරන ලද කලාපයක් පිටපත් කිරීමට අවශ්‍ය වූ විට එම කලාපය හා සම්බන්ධ විය හැකි අනුක්‍රමයක් සහිත මොලිකියුලවලින් ප්‍රයිමර් නිෂ්පාදනය කරනු ලැබේ. අදාල DNA සහ ප්‍රයිමර් අඩංගු ද්‍රාවණය DNA වල ද්‍රවක  (melting temperature) උෂ්ණත්වය දක්වා රත් කළ විට DNA ද්විත්ව දාම දෙක සම්බන්ධවන හයිඩ්‍රොක්සිල් බන්ධන බිඳි ඒවා තනි දාම දෙකක් බවට පත් වේ. ද්‍රාවණය නැවත සංශ්ලේෂක උෂ්ණත්වය (annealing temperature) දක්වා සිසිලනය කල විට  DNA වල  පිටපත් කිරීම සඳහා ඉලක්ක කරන ලද  කලාපයට ගැලපෙන ප්‍රයිමරය එම කලාපය සමග සම්බන්ධ වේ. කිසියම් වෛරසයක්  දෙන ලද සාම්පලයක් තුළ පවතී දැයි පරීක්ෂා කිරීමට PCR පරීක්ෂණයක් සැලසුම් කිරීමේ දී එම වෛරසයේ සම්පූර්ණ ජාන ගෙනෝමය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. එමෙන් ම එම වෛරසයේ ගෙනෝමයේ කවර කලාප ඒ හා සමාන සෙසු වෛරස වලින් වෙනස් වන්නේ දැයි නිශ්චය කරගත යුතුය. ප්‍රයිමර් සැලසුම් කරන්නේ එම කලාපයන් සමග සම්බන්ධ විය හැකි වන පරිදිය. නිවැරදි පරීක්ෂණයක් සඳහා අවම තරමින් ප්‍රයිමර් 3ක්වත් සැලසුම් කළ යුතු අතර ඒවා වෛරස් ගෙනෝමයේ දෙකෙලවරින් සහ මැදින් සම්පූර්ණ ගෙනෝමයම ආවරණය වන පරිදි තෝරාගත යුතුය.

කෝර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාවේ ප්‍රයිමර සැලසුමේ දෝෂ පිළිබඳව බාහිර විමර්ශක කණ්ඩායමේ නිරීක්ෂණ මෙසේය.

“විශ්වාසනීය සහ නිරවද්‍ය PCR පරීක්ෂණ ප්‍රොටෝකෝල සාමාන්‍යයෙන් සැලසුම් කරන්නේ ප්‍රයිමර් සඳහා  100 nM සහ 200 nM අතර සාන්ද්‍රණ අගයන් යොදාගනිමිනි. [7]. කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව තුළ අපට නිරීක්ෂණය කළ හැකි වූයේ අසාමාන්‍ය ලෙස ඉහළ අගයන් සහිත සහ සමහර ප්‍රයිමර සඳහා වෙනස් ප්‍රයිමර් සාන්ද්‍රණයන්ය. ( වගුව 1-සිංහල පරිවර්තනයේ PDF පිටපත බලන්න) RdRp_SARSr-F සහ  RdRp_SARSr-R ප්‍රයිමර යුගල සඳහා පිළිවෙළින් 600 nM සහ  800 nM යොදා ඇත. ඒ හා සමානවම   N_Sarbeco_F සහ N_Sarbeco_R primer ප්‍රයිමර සඳහා ඔවුහු පිළිවෙළින්  600 nM සහ  800nM නිර්දේශ කර ඇත. [1]. ඉලක්ක කරන ලද ජානවල නිශ්චිත බහුගුණනයන් සඳහා අවශ්‍ය ප්‍රශස්ත මට්ටමට වඩා   මෙම සාන්ද්‍රණයන් ඉතා ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි විය යුතුය. මෙම ප්‍රොටෝකෝලය තුළ ප්‍රයිමර් සඳහා මෙම අධි සාන්ද්‍රණයන් යොදාගැනීම ගැන කිසිදු විශේෂිත හේතුවක් ඉදිරිපත් කර නැත. එහෙත් මෙම අධි සාන්ද්‍රණයන් විසින් නිශ්චය කළ නොහැකි  PCR නිෂ්පාදන බහුගුණනයටද බන්ධන ඇති කිරීමට ද හේතු වනු ඇත”

“..එහි දැක්වෙන අන්දමට  N ජානය සඳහා වන පරීක්ෂණය  අනිවාර්ය සහ තීරණාත්මක  තුන්වන තහවුරුකාරක- පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ තුළ යෝජනා කර නැතිවාක් මෙන්ම කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව විසින් එය  “විධිමත් ක්‍රියාදාමයක් සඳහා” වැදගත්වන අතිරේක පුනර්-ආරක්ෂණයක් ලෙස   අවධාරණය ද කර නැත.  මෙහි ප්‍රතිඵලයක් ලෙස ආසන්න වශයෙන්  සමස්ත ලෝකයේම පරීක්ෂණ ක්‍රියාදාමයන්  විසින් ප්‍රයිමර ගැළපුම් 3ක් වෙනුවට හුදෙක් ප්‍රයිමර ගැලපුම් දෙකක් පමණක් යොදාගෙන ඇත. මෙම දෝෂය විසින් මුළු පරීක්ෂණ- ප්‍රොටොකෝලයම දැනට පවතින වසංගතයට අදාළව වැදගත්වන නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමේ දී කිසිදු ප්‍රයෝජනයක් නැති තත්ත්වයකට පිරිහෙළා ඇත…”

“..කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව විසින් ප්‍රයිමර 3ක් ගැන විස්තර කර තිබුණද එම ප්‍රයිමරවලින් ආවරණය වන්නේ දළ වශයෙන් වෛරස් ගෙනෝමයේ අර්ධයක් පමණි. මෙම සාධකය විසින්    COVID-19 වෛරසයේ  RNA නිවැරදිව   හඳුනාගැනීම සඳහා වන සුවිශේෂි බව අඩු කරනවාක් මෙන්ම  පරීක්ෂණ ප්‍රතිඵලවල සාවද්‍ය පොසිටිව් අනුපාතය වැඩිකරනු ද  ලබයි. එහෙයින්, අප විසින් සාම්පලයක් තුළ දී පොසිටිව් සංඥා 3ක් ලබාගත්ත ද (උදා – ප්‍රයිමර් යුගල 3 විසින් වෙනස් පිටපත් නිෂ්පාදන තුනක් ලබා දෙයි)  එය විසින් වෛරසය එය තුළ පවතින බව ඔප්පු නොකරයි. වඩාත් නිවැරදි ප්‍රයිමර් සැලසුමකදී  වෛරස් ගෙනෝමයේ දෙකෙළවර සඳහා ආන්තික ප්‍රයිමර් (terminal primers)සැලසුම් කෙරෙනු  ඇත. මක් නිසාද යත් පොසිටිව් සංඥා 3ක් විසින්  සමස්ත වෛරස් ගොනෝමයම ආවරණය කෙරෙන බැවින් සහ ආසාදනයට හේතුව වීමට ඉඩ ඇති සම්පූර්ණ වෛරසයම, වෛරස් ගෙනෝම කැබැලිති  (ආසාදනයක් ඇති කිරීමෙහිලා අසමත් අක්‍රිය වෛරස් ජානමය කැබැලිති ) වලින් වඩාත් හොඳින් වෙන්කර හඳුනාගැනීමට හැකියාව ලැබෙන බැවිනි. වෛරසයේ ආසාදක බව ගැන කිසියම් වැදගත් තීරණයකට එළැඹීමට නම්  SARS-CoV වෛරසයේ  ප්‍රතිවලිතකාරක එන්සයිමය (replicase enzyme) සඳහා කේත  අඩංගු  Orf1 ජානය ඉලක්කයක් ලෙස ඇතුළත් කළ යුතුය (රූපය 4). ප්‍රොටොකෝලයේ අඩංගු තවත් දුර්වලතාවක් වන්නේ  වෛරස් ගෙනෝමය තුළ ඉලක්කගත කරන ලද  කලාප ඉතා බරපතලව සහ විචල්‍ය ලෙස පිටපත්වීමය.”
මෙම පරීක්ෂණයේ ප්‍රයිමර් සැලසුම්වල දෝෂ හේතුවෙන් එම පරීක්ෂණය විසින් වෙනත් වර්ගයේ වෛරස, වෛරස වල හෝ වල කැබැලිති, මියගිය හෝ අක්‍රිය වෛරස්  සඳහාද සමහර බැක්ටීරියා වර්ග සඳහාද පොසිටිව් ප්‍රතිඵල ලබා දීමට ඉඩ ඇති බව මෙම බාහිර පර්යේෂක කණ්ඩායම සිය විමර්ශන වාර්තාව තුළ පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රයිමර්වල අවශ්‍ය මට්ටමට වඩා  අධික ප්‍රමාණයකින් ප්‍රයිමර යෙදීම නිසා සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල ලැබීමට ඇති ඉඩ තවදුරටත් ඉහළ යන බව ද ඔවුහු පෙන්වා දෙති. 

 ප්‍රයිමරයක GC-අන්තර්ගතය යනු එහි අඩංගු භස්ම 4 වන ඇඩිනින්, තයමින්, ග්වානින් යන සමස්ත භස්ම ප්‍රමාණයේ ප්‍රතිශතයක්  ලෙස සයිටෝසින් සහ ග්වානින් අන්තර්ගතය දැක්වීමයි. කාර්යක්ෂම සහ නිශ්චිත ලෙස පිටපත් කිරීම සඳහා ප්‍රයිමරයක් සඳහා GC-අන්තර්ගතය 40%-60% අතර අගයක් ගත යුතුය. කොර්මන් ඩ්‍රෝස්ටන් ප්‍රොටෝකෝලයේ ප්‍රයිමර දෙකක් සඳහා ඇත්තේ ඉතා අසාමාන්‍ය GC-අන්තර්ගතයක් බව බාහිර විමර්ශක කණ්ඩායම පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රතික්‍රියාවේ ද්‍රවක උෂ්ණත්වය (melting temperature) සහ සංශ්ලේෂක උෂ්ණත්වයන් (annealing temperature) සඳහා අන්තරය නිවැරදි අගයක් නොගන්නා බව ද පෙන්වා දෙන ඔවුහු එමගින් සාවද්‍ය ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාව ඉහළ යන බව පෙන්වා දෙති.

I.    පොසිටිව් සහ නෙගටිව් පාලක පිළිබඳ දෝෂ

කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව විසින් විස්තර කරන අන්දමට ඔවුන්ගේ  RT-PCR පරීක්ෂණය මගින් පොසිටිව් ලෙස හඳුනා ගනු ලබන සියලු පුද්ගලයන් SARS-CoV-2  ආසාදිතයන් ලෙස අනුමාන කරනු ලබයි. මෙම අනුමානයේ ඉතා බරපතල දෝෂ 3ක් ඇති බව බාහිර විමර්ශක කණ්ඩායම සිය වාර්තාවේ සඳහන් කරයි. ඉන් පළමු වැන්න ලෙස ඔවුන් සඳහන් කරන්නේ කෝර්මන්-ඩ්‍රෝස්ටන් RT-PCR  පරීක්ෂණයෙන්  පොසිටිව් ප්‍රතිඵල ලැබීම විසින් තහවුරු කරන්නේ සාම්පලය තුළ SARS-CoV-2 වෛරසය පවතින බව නොව එහි හුදෙක් වෛරස් RNA මොලිකියුල ඇති බව පමණක් වීමයි . එයට හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ මෙම පරීක්ෂණය සැලසුම් කර ඇත්තේ සමස්ත වෛරසය පිණිස නොව එහි එක් කැබැල්ලක් හඳුනාගැනීම සඳහා පමණක් වීමය. දෙවන කරුණ ලෙස ඔවුහු දක්වන්නේ වෙන්කර හඳුනාගන්නා ලද (isolated) SARS-CoV-2 වෛරසයේ  RNA මෙම පරීක්ෂණය පොසිටිව්  පාලක පරීක්ෂණය ලෙස යොදාගෙන නොමැති වීමයි. ඔවුහු පෙන්වා දෙන තෙවන කරුණ නම් RT-PCR පරීක්ෂණය තුළ භාවිතා කළ E ජානය  SARS-CoV-2 වෛරසය හඳුනාගැනීම සඳහා විශේෂිත වූවක් නොවන බවත් E ජානය සඳහා  වන ප්‍රයිමර විසින් විශාල පරාසයකින් යුතු අනෙකුත් SARS වෛරස් සඳහාද පොසිටිව් ප්‍රතිඵල ලබා දෙන බවත්ය.  ඔවුහු වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ

“මනුෂ්‍යයන් ආසාදනය කරන සියලු RNA වෛරස් අතරින් විශාලතම ජාන ගෙනෝමය සහිතවන්නේ කොරෝනා  වර්ගයේ වෛරස්වල වන අතර ඒවා සියල්ලන් සතුව ඇත්තේ ඉතා සමාන මොලිකියුල ව්‍යුහයකි. එසේ වුවද  SARS-CoV1 සහ SARS-CoV2 සතුව ඒවා සෙසු කොරෝනා වෛරස්වලින් වෙන් කෙරෙන අධි විශේෂිත ජානමය “ඇඟිලි සළකුණු“ ඇත.  පළමුව  ඉතා පැහැදිලි අනන්‍ය  ජානදාම අනුක්‍රම සළකුණක් වන (KTFPPTEPKKDKKKK) නම් ජානදාම අනුක්‍රමය   SARS-CoVවෛරසය සහ SARS-CoV-2 වෛරසය තුළ පවතින N-ප්‍රෝටීනයේ පවතී [13,14,15].  දෙවනුව SARS-CoV1 වෛරසය සහ  SARS-CoV2 වෛරසය යන දෙකෙහිම HE  ප්‍රෝටීනය අඩංගු නොවන අතර සෙසු සියලු කොරෝනා වෛරස්වල එම ප්‍රෝටීනය අන්තර්ගතය.   [13,14]. එහෙයින් SARS-CoV1 සහ SARS-CoV2 වල  PCR නිෂ්පාදන  විශේෂයෙන් හඳුනාගැනීම සඳහා   ඉහත N ජානය සහිත කලාපය බහුගුණනය සඳහා විශේෂිත ඉලක්කයක් ලෙස තෝරාගත යුතුව තිබිණි. නිශ්චය කිරීම් සඳහා වන  විශ්වාසනීය පරීක්ෂණයකදී මෙම N ජානය සහිත  විශේෂිත කලාපය තහවුරුකාරක පරීක්ෂණයක් ලෙස  අවධානයට ගත යුතුය. SARS-CoV1 සහ SARS-CoV-2 යන වෛරස් දෙක තුළම  HE ජානය අන්තර්ගත නොවීම හේතුවෙන් එම ජානය අනෙකුත් කොරෝනා වෛරස්වලින් ඒවා වෙන්කර හඳුනාගැනීමට සුදුසු පරමාදර්ශී නෙගටිව් පාලක පරීක්ෂණයක් වේ. කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව තුළ මෙම නෙගටිව් පාලක පරීක්ෂණය අඩංගු කර නැතිවා පමණක් නොව වෙනත් කිසිදු නෙගටිව් පාලක පරීක්ෂණයක්ද එහි අඩංගු කර නැත. අනෙකුත් වෛරස සාම්පලය තුළ අඩංගු නොවන බවට සහතික කිරීම සඳහා  කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව මගින් ඉදිරිපත් කරන PCR පරීක්ෂණය තුළ පැහැදිලි පොසිටිව් පාලක පරීක්ෂණයක් හෝ නෙගටිව් පාලක පරීක්ෂණයක් අඩංගු නොවේ. මෙම කරුණ මෙම  RT-PCR පරීක්ෂණය SARS-CoV-2  නිශ්චයකාරකයක් ලෙස  නුසුදුසු යැයි නිගමනය කිරීමට බලපාන තවත් මූලික දෝෂයකි.”

J.  ජීව මොලිකියුල වලංගුකරණයක් නොමැති වීම

මෙම කෝර්මන්-ඩ්‍රෝස්ටන් ප්‍රොටෝකෝලයේ ජීව මොලිකියුල වලංගුකරණයක් (Biomolecular validations) සහ ප්‍රමිතිගත ක්‍රියාපරිපාටියක් ((Standard Operational Procedure-SOP))අන්තර්ගත නොවීම එහි තවත් බරපතල දෝෂ දෙකක්  ලෙස මෙම විමර්ශකයෝ සිය වාර්තාව තුළ පෙන්වා දෙති. ජීව මොලිකියුල වලංගුකරණ පරීක්ෂණයකින් තොරව RT-PCR පරීක්ෂණය මගින් පිටපත් කරන ලද වෛරසයේ ජානමය ද්‍රව්‍ය නිශ්චිතව හඳුනාගත නොහැකිය. එම පිටපත් ඕනෑම දෙයක් විය හැකිය.  (වැඩි විස්තර සඳහා සිංහල පරිවර්තනයේ සම්පූර්ණ පිටපත කියවන්න)

K.කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව  ප්‍රතිවිමර්ශනයකට ලක් නොවීම සහ එහි කතුවරුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්

කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව යුරෝසර්වේලන්ස් ජර්නලය විසින්  ප්‍රතිවිමර්ශනයකට ලක් කර නැතැයි යනුවෙන් විවේචනයක් මෙම බාහිර විමර්ශක කණ්ඩායම ඉදිරිපත් කරයි. එයට හේතු ව වී ඇත්තේ එම පත්‍රිකාව ජනවාරි 21 වැනි දින යුරෝ සර්වේලන්ස් වෙත ඉදිරිපත් කර පැය 24ක් ඇතුළත එනම් එය ජනවාරි 22 වැනි දින යුරෝසර්වේලන්ස් විසින් අනුමත කර ප්‍රසිද්ධ කිරීම සඳහා අනුමැතිය ලබා දීමයි. ජනවාරි 23 වැනි දින එය අන්තර් ජාලයට එක් කර තිබිණි.  2020 ජනවාරි 13 වැනි දින ප්‍රොටොකෝලයේ   1-0 සංස්කරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය තුළ ප්‍රසිද්ධ කර තිබිණි. එය පසුව 2020 ජනවාරි 17 වැනි දින  ලිපියේ සංස්කරණ 2-1 ලෙස  යාවත්කාලීන කර තිබේ .ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම කෝර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව පිළිගෙන ඇත්තේ එය ජනවාරි 23  වැනිදින යුරෝසර්වේලන්ස් විසින් ප්‍රසිද්ධියට පත් කිරීමට පවා පෙරය.මේ පිළිබඳව විමර්ශක කණ්ඩායම වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

“සාමාන්‍යයෙන්  ප්‍රතිවිමර්ශනයක් වූ කලී බොහෝසෙයින් කාලය වැයවන ක්‍රියාවලියක් වන අතර අඩුම වශයෙන් අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥයන් දෙදෙනෙකු විසින්වත් ඉදිරිපත් කරන ලද පත්‍රිකාව විවේචනාත්මක කියැවීමකට ලක් කර ඒ පිළිබඳව අදහස් දැක්විය යුතුව තිබේ. අපගේ අදහස අනුව මෙම කෝර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව ප්‍රතිවිමර්ශනයකට ලක් කර නැත. සම්පූර්ණ ප්‍රතිවිමර්ශනයක් සිදු කිරීමට පැය 24ක් කොහෙත්ම ප්‍රමාණවත් නොවේ. අපගේ නිගමනයට ආධාර සපයන්නේ  අප විසින්  සොයා ගන්නා ලද,   SARS-CoV-2 වෛරසය හඳුනාගැනීම සඳහා  මෙම PCR පරීක්ෂණය  නිර්ණය මෙවලමක් ලෙස සම්පූර්ණයෙන්ම  නොගැලපෙන්නක් බවට පත් කිරීමට හේතු වී ඇති,  එය තුළ පවත්නා  බරපතල සැලසුම් දෝෂ අතිවිශාල සංඛ්‍යාවයි. RT-PCR පරීක්ෂණ සැලසුම්  පිළිබඳ අවබෝධයක් ඇති  ඕනෑම මොලිකියුල ජීව විද්‍යාඥයෙකු කෝර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව තුළ ඇති බරපතල වැරදි ඉතා පහසුවෙන් සැබෑ ප්‍රතිවිමර්ශන ක්‍රියාදාමයකට පෙර නිරීක්ෂණය කරනු ඇත. 2020 ඔක්තෝබර් 26 වැනි දින අප වෙත ප්‍රතිවිමර්ශන වාර්තාවේ පිටපතක් එවන ලෙස යුරෝසර්වේලන්ස් වෙතින් ඉල්ලා සිටියෙමු. මේ දක්වාම එම වාර්තාව අප වෙත ලැබී නැති අතර යුරෝසර්වේලන්ස් හි සත්කාරකයා ලෙස වසංගත රෝග වැළැකීම සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය (The European Centre for Disease Prevention and Control- ECDC) විසින් 2020 නොවැම්බර් 18 වැනි දින අප වෙත එවන ලද ලිපියක් මගින් කිසිදු වාස්තවික සහ විද්‍යාත්මක හේතු දැක්වීමකින් තොරව අපගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබිණි. එයට ප්‍රතිවිරුද්ධ ලෙස ඔවුන් ලියා තිබුණේ “තොරතුරු අනාවරණය මගින් විද්‍යාත්මක පරීක්ෂණයේ අරමුණුවලට බාධා පමුණුවනු ඇත.”යි යන්නයි.කෙසේවුවද කෝර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාවේ කතුවරුදෙදෙනෙකු වන ඩ්‍රෝස්ටන් ක්‍රිස්ටියන් සහ ෂන්තාල් රොයිස්කන් යුරෝසර්වේලන්ස් ජර්නලයේ සංස්කාරක මණ්ඩලයේද සාමාජිකයන් බව හෙළිදරවි විය [ මෙය අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්කාරී තත්ත්වයක් (conflict of interest) මතු කරන අතර එය විසින් මෙම පත්‍රිකාව ප්‍රතිවිමර්ශනයකට ලක් කර නැතැයි යන සැකය තවදුරටත් ශක්තිමත් කරයි. කඩිමුඩියේ පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබී ඇත්තේ පත්‍රිකාවේ කතුවරුන් යුරෝසර්වේලන්ස් ජර්නලයේ සංස්කාරක මණ්ඩලයේ සාමාජිකයන් ද වීම නිසා බව පැහැදිලිය. මෙම භාවිතය විසින් විද්‍යාත්මක ගෞරවය කෙලෙසා දමා තිබේ.”
මෙයට අමතරව කෝර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාවේ තවත් කතුවරුන්  ගණනාවකට එරෙහි අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් පවතින බව විමර්ශකයො සඳහන් කර තිබේ
“අවම වශයෙන් පත්‍රිකාවේ කර්තෘවරුන් 4 දෙනෙකු සම්බන්ධයෙන් ඉතා බරපතල“අවශ්‍යතා පිළිබඳ ගැටුම්කාරී තත්ත්වයන්” (conflicts of interest)  මතුව ඇති බව අපට හමුවිය. ඒ කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාවේ කතුවරුන් දෙදෙනෙකු  (ක්‍රිස්ටියාන් ඩ්‍රොස්ටන් සහ ෂන්තාල් රොයිස්කන්) යුරෝසර්වේලන්ස් ජර්නලයේ සංස්කාරක මණ්ඩල සාමාජිකත්වය ද දැරීමට අමතරවය. 2020 ජූලි 29 වැනි දින තවත් “අවශ්‍යතා පිළිබඳ  ගැටුමක්” එක් විය. එනම් ඔල්ෆර්ට් ලාන්ඩ්ට් TIB-Molbiol සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) වන අතර මාර්කෝ කයිසර් GenExpress සමාගමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙක් ලෙස කටයුතු කරන අතරම TIB-Molbiol සමාගම  සඳහා විද්‍යා උපදේශකයෙකු ලෙස ද කටයුතු කිරීමය. මෙම තොරතුරු පළමු සංස්කරණය තුළ ප්‍රකාශයට පත් කර නොතිබිණ. (එමෙන්ම PubMed සංස්කරණය තුළ තවමත් එම තොරතුරු අඩංගු කර නැත) .  TIB-Molbiol සමාගම වූ කලී කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාවේ අත්පිටපතේ වූ ප්‍රොටොකෝලය මත පදනම් ව  PCR ටෙස්ට් කට්ටල නිෂ්පාදනය (Light Mix) ආරම්භ කරන ලද පළමු සමාගමයි. ඔවුන්ගේම වදන්වලට අනුව, ඔවුහු මෙම ටෙස්ට් කට්ටල බෙදාහැරීම ආරම්භ කළේ පත්‍රිකාව ඉදිරිපත් කිරීමටත් පෙරය.[20];    වික්ටර් කෝර්මන් සහ ක්‍රිස්ටියන් ඩ්‍රොස්ටන් ඔවුන්ගේ තවත් සම්බන්ධයක් පිළිබඳ සඳහන් කිරීමට අසමත්ව තිබේ. එනම් වාණිජ පරීක්ෂණ විද්‍යාගාරයක් වන “Labor Berlin” සමාගම සමග ඔවුන්ට ඇති සබඳතාවයි. ඔවුන් දෙදෙනාම එම සමාගම තුළ වෛරස් නිර්ණ කටයුතු සම්බන්ධයෙන් වගකීම් දරන අතර [21]  එම සමාගම යථාකලීන  PCR පරීක්ෂණ සිදු කරයි.”

SARS-CoV-2 වෛරසය හඳුනාගැනීම සඳහා කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව විසින් විස්තර කරනු ලබන පරීක්ෂණ ප්‍රොටොකෝලය සම්බන්ධයෙන් තමන් විසින් සිදු කරන ලද පුනර්පරීක්ෂණයේ ආලෝකය තුළ හඳුනාගන්නා ලද සැළකිල්ලට ගත යුතු ඉහත සඳහන් දෝෂ සහ ආවේණික දුර්වලතා නිසා  SARS-CoV-2 PCR පරීක්ෂණය අප්‍රයෝජනවත් දෙයක් බව තමන් විසින් නිගමනය කළ බව පවසන මේ නිරීක්ෂණ කණ්ඩායම  ඒ අනුව එයට ලබා අනුමැතිය ඉවත් කරගැනීම හැරෙන්නට යුරෝසර්වේලන්ස් ජර්නලයට වෙනත් විකල්පයක් ඉතුරුව නැතැයි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කොර්මන්-ඩ්‍රොස්ටන් පත්‍රිකාව මත පදනම් ව ලෝකය පුරා භාවිතයට ගනු ලබන RT-PCR පරීක්ෂණය විසින් පුද්ගලයෙකු ආසාදිතයෙකු දැයි නැත්දැයි තීරණය කිරීමට භාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කර ඇත්තේ මෙම විමර්ශක කණ්ඩායම පමණක් නොවේ. ලෝකය පුරා විවිධ රටවල මොලිකියුල ජීව විද්‍යාඥයන්, වෛරස් පිළිබඳ විද්‍යාඥයන්, වෛද්‍ය විශේෂඥයන් ඒ ගැන සිය විරෝධය පළ කර තිබේ. එහෙත් ඒ සියලු විවේචන ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය විසින් යටපත් කර ඇතිවා පමණක් නොව මෙම විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ අදහස් සමාජ මාධ්‍ය  මගින් සන්නිවේදනය වීම ද වළකා ඇත. ඒ එම පුද්ගලයන්ගේ එකී මාධ්‍යවලට අදාල ගිණුම් වසා දමමිනි. එපමණක් නොව එවැනි විවේචනයක් සම්බන්ධයෙන් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ඇසුරෙන් සොයන යමෙකුට  හමුවන්නේ අදාළ විශේෂඥයන්ගේ  විවේචනාත්මක අදහස් හෝ පර්යේෂණ පිළිබඳව නොව ඒවා සම්බන්ධයෙන් අවිද්‍යාත්මක සහ අවලාදමය පිළිතුරු සපයන අන්තර්ජාල වසංගතයක් වන “ෆැක්ට් චෙකර්ස්” වරුන්ය.

L.  RT-PCR පරීක්ෂණයට එරෙහිව අධිකරණමය තීන්දු

කෙසේ වුවද මෙම RT-PCR පරීක්ෂණය විසින් තමන් ආසාදිතයන් ලෙස නම් කර තම මූලික මානව අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව ලෝකයේ විවිධ රටවල පුද්ගලයන් විසින් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර ඒ නඩු තීන්දු සියල්ලක්ම විසින් මෙම  RT-PCR පරීක්ෂණය රෝග නිර්ණයෙහිලා සුදුසු නොවන බව තීරණය කර ඇත.මෙයින් එක් වැදගත් තීන්දුවක් දෙන ලද්දේ පෘතුගාල අධිකරණය විසිනි. පෘතුගාලයේ සිය නිවාඩුව ගත කරමින් සිටි ජර්මන් සංචාරකයන් පිරිසක් නිරෝධායනයට ලක්කරමින් ඔවුන් ඔවුන්ට සිය හෝටල් කාමරවලින් බැහැරවීම තහනම් කරමින් පෘතුගාල පොලිසිය මහ සෞඛ්‍ය බලධාරින් ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව ඔවුහු පෘතුගාල අධිකරණයේ ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සමක් විභාගයට ගත් ලිස්බන් අභියාචනාධිකරණය  පහල උසාවිය විසින් මෙම සංචාරකයන් වහාම නිදහස් කරන ලෙස පෘතුගිසි රජයට දෙන ලද නියෝගය අනුමත කරමින් සිය තීන්දුව මගින් එය තහවුරු කරන ලදි. ඒ 2020 නොවැම්බර් 11 වැනිදාය.
මෙම තීන්දුවේ සඳහන් ඉතා වැදගත් ප්‍රකාශයක් නම් “යමෙකු රෝගීයෙකු බව තීරණය කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණක්” බවයි.  RT-PCR පරීක්ෂණය විසින් ආසාදිතයන් යැයි නම් කර පුද්ගලයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව මෙම ප්‍රකාශය ඉතා වැදගත් එකකි. මෙම තීන්දුවේදී පෘතුගාල අධිකරණ විසින් පරීක්ෂණය පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුරෝපීය විශේෂඥයන් කණ්ඩයමකගේ වාර්තාවක්   (jaafar et.al.2020)     උපුටා දක්වන ලදි. මෙම විමර්ශන වාර්තාවට අනුව

” පරීක්ෂණයේ බහුගුණන චක්‍ර සංඛ්‍යාව 35 හෝ ඊට වැඩි නම් එමගින් පරීක්ෂණයට ලක් කර ආසාදිතයෙකු යැයි නම් කරන ලද පුද්ගලයෙකු සැබැවින්ම ආසාදිතයෙකු වීමට ඇත්තේ 3%ක සම්භාවිතාවකි. එනම් සාවද්‍ය පොසිටිව් ප්‍රතිඵල ලැබීමේ ඉඩ 97%කි.”

පෘතුගාල අධිකරණයේ පිටු 34කින් යුත් තීන්දුවේ මෙසේ ද සඳහන්වේ.

“..පරීක්ෂණයේ විශ්වාසනීයත්වය රඳා පවතිනුයේ එහි දී සිදු කරනු ලබන බහුගුණන චක්‍ර සංඛ්‍යාව (Threshold Cycle- Ct Value) මතය. එමෙන්ම එය රඳා පවතිනුයේ පවත්නා වෛරස් භාරය (viral load)මතය…”

“…මෙම පරීක්ෂණයේ අපැහැදිලි තැන් ගණනාවක් පවතී. මෙම සංචාරකයන් සම්බන්ධව සිදු කළ පරීක්ෂණවල චක්‍ර සංඛ්‍යාව වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර නැති අතර එය කිසිවෙකුත් නොදනී…”

පෘතුගාලය යුරෝපීය සංගමයට අයත් රාජ්‍යයකි. එහි අභියාචානාධිකරණයක් විසින් දෙන ලද තීන්දුවක් යුරෝපීය නීති පද්ධතියට පහසුවෙන් ඉවත දැමිය නොහැකිය. එහෙත්  මෙම තීන්දුව පිළිබඳ පුවත යුරෝපීය ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය විසින් යටපත් කරන ලද අතර රාජ්‍යයන් විසින් එය නොතකා හැරිණි.

M.  වෙනත් විශේෂඥයන්ගේ මත

PCR පරීක්ෂණ ක්‍රමය නිර්මාණය කරන ලද කාරි මුලිස්ට 1993 දී ඒ සඳහා නොබෙල් ත්‍යාගය හිමිවිය. වරෙක ඔහු මෙසේ පැවසීය

“විද්‍යාඥයන් විසින් ලෝකයට උදව් කිරීමේ නාමයෙන්  එයට භයානක හානියක් කරමින් සිටී. මම මගේ වෘත්තීය සගයන්ට පහර දීමට මැලි නොවෙමි. මක් නිසාද යත් ඔවුන් සිදු කරමින් සිටින දෙය මට ලජ්ජාවක් බැවිනි.”

ඔහු තමන් විසින් සොයාගන්නාලද  PCR විධික්‍රමය වෛරස් ආසාදනයන් නිර්ණය කිරීම සඳහා සුදුසු මෙවලමක් නොවන බව ප්‍රකාශ කළේය.  එය  DNA අනුක්‍රම නැත හොත් ජානමය කලාපයන් වල පිටපත් බිලියන ගණනින් නිෂ්පාදනය සඳහා යොදාගන්නා ක්‍රමයක් මිසෙක සම්පූර්ණ වෛරස ගෙනෝමයක් වෙන් කර හඳුනාගත හැකි ක්‍රමයක් නොවන බැවිනි.
PCR පරීක්ෂණය මත පදනම්ව  වසංගත රෝග ලෙස නම් කිරීමෙන් සිදුවන අයහපත් ප්‍රතිඵල ගැන ජිනා කොලාටා 2007ජනවාරි 22 වැනි දින නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ “Faith in Quick Test Leads to Epidemic That Wasn’t” යන තේමාව යටතේ පලකරන ලද ලිපියකින් පෙන්වා දෙයි.

SARS-CoV-2 වෛරසයෙන් ආසාදිත යැයි අනුමාන කෙරෙන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා භාවිතා කරන RT-PCR පරීක්ෂණය වලංගු  gold standard පරීක්ෂණයක් ලෙස සැළකිය නොහැකිය. මක් නිසාද යත් එම පරීක්ෂණයේ නිර්මාතෘවරුන් වන කොර්මන්-ඩ්‍රෝස්ටන් සහ කණ්ඩායම  සිය පර්යේෂණ පත්‍රිකාවෙන්ම පිළිගෙන ඇති ආකාරයට ඔවුන් සිය පරීක්ෂණය සැලසුම් කර ඇත්තේ රෝගීයෙකුගෙන් ලබාගත් සාම්පලයක් තුළින් වෙන් කර හඳුනාගත්  SARS-CoV-2 වෛරසයේ ජාන ගෙනෝමය මත පදනම්ව නොවන බැවිනි. ඔවුන්ගේ පරීක්ෂණය පදනම්ව ඇත්තේ චීනයේ විද්‍යාගාරයකින් එවන ලදැයි කියන සෛද්ධාන්තික ජාන ආකෘතියක් මත සහ පොදුවේ  SARS වෛරස් පවුල නියෝජනය කරන ජාන අනුක්‍රමයන් මත පදනම් හෙයිනි.  සෑම පරීක්ෂණයක නිවැරදිතාව ඇගයීමට ලක්කළ යුත්තේ එහි සංවේදීතාව සහ නිශ්චිත බව වඩාත් නිවැරදි විධික්‍රමයක් එනම්  gold standard පරීක්ෂණයක්  සමග සන්සන්දනය කිරීම මගිනි. ඔස්ට්‍රේලියාවේ  වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය සේනානායක ABC පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී  “වර්තමානයේ භාවිතාවන පරීක්ෂණ කොතෙක් දුරට නිවැරැදිදැයි“ අසන ලද පැනයට පිලිතුරු දෙමින්  මෙසේ පැවසීය.

” එය දැනගැනීමට ඉතා අසීරු දෙයක්. අපි අපගේ ලේ වල ගොල්ඩන් ස්ටැෆ් නැමැති බැක්ටීරියාව සොයාගැනීමට නව පරීක්ෂණයක්  යොදාගන්නා විට එය හා සන්සන්දනය කිරීමට  රුධිර රෝපණයන් තුළ වර්ධනය කරන ලද ගෝල්ඩ් ස්ටැෆ් බැක්ටීරියාව අප සතුව තියෙනවා. දශක ගණනාවක් තිස්සේ අප විසින් භාවිතා කළ gold standard පරීක්ෂණය එයයි. නමුත් COVID-19 සඳහා අප සතුව එවැනි gold standard පරීක්ෂණයක් නැහැ.”

බෙඩා එම් ස්ටාඩ්ලර් ස්විට්සර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවිද්‍යා ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයාය.  2020 ජූනි 10 වැනි දා ඔහු Weltwoche නම් ස්විස් සඟරාවට ” ප්‍රතිශක්තියක් නොමැති වීම පිළිබඳ සුරඟන කතා” නමින් ලිපියක් ලියමින් SARS-CoV-2 වෛරසය සඳහා මිනිසුන් තුළ ප්‍රතිශක්තිය අඩු යැයි යන මතය දැඩිව විවේචනය කළේය.

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිට සෑම ෆේස්බුක් වෛරස් විද්‍යාඥයෙකුම ඉදිරිපත් කරන මතය නම් මෙම SARS-CoV-2 වෛරසය නිශ්චිතවම භයානක බවයි. මක් නිසාද යත් එයට එරෙහිව අප තුළ ප්‍රතිශක්තියක් නැති නිසාය. ඒ එය නව වෛරසයක් බැවිනි. ට්‍රම්ප් ආණ්ඩුවේ ඉතා වැදගත්ම උපදේශකයා වූ  වෛද්‍ය ඇන්තනි ෆවුචී පවා  සිය සෑම පුවත් හමුවකදීම අවධාරණය කළේ මෙම වෛරසයට එරෙහිව අප තුළ ප්‍රතිශක්තියක් නොමැති බැවින් එය ඉතා භයානක බවයි. නමුත් අවසන් පැන්සය ද බිම වැටුනේ SARS-CoV-2 හඳුනාගැනීම සඳහා  වෙළෙඳපොලට නිකුත් කරන ලද ප්‍රථම ප්‍රතිදේහ පරීක්ෂණය (antibody test)මෙයට පෙර  Sars-1 හඳුනාගැනීම සඳහා භාවිතා කරන ලද  පැරණි ප්‍රතිදේහ පරීක්ෂණයම බව මා විසින් තේරුම් ගත් විටය.”

එහි දී ඔහු විසින් පෙන්වා දුන්නේ  නව SARS-CoV-2වෛරසය SARS-CoV-1 වෛරසය ඇතුළු SARS පවුලේ අනෙකුත් වෛරස් සමග සමානත්වයක් දක්වන්නේ නම් අපගේ ප්‍රතිශක්ති පද්ධතියට එම නව වෛරසය ද හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවද ඇති බවයි. එසේනම් යමෙකුගේ සිරුර තුළ ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිශක්ති පද්ධතිය විසින් මීට පෙර විනාශ කරන ලද SARS පවුලට අයත් වෛරස්වල ජානමය සුන්බුන් පවතින්නේ නම් ඒ හේතුවෙන් RT-PCR පරීක්ෂණය විසින් ඔහු හෝ ඇය SARS-CoV-2 සඳහා පොසිටිව් ලෙස හඳුනාගැනීමට ඉඩ තිබේ.   ඔහු මෙසේ පවසයි. “ප්‍රතිශක්තිය සහිත පුද්ගලයෙකු අප විසින් කොරෝනා පරීක්ෂණයට ලක්කළ හොත්  අපට හමුවනු ඇත්තේ වෛරසය නොවේ. වෛරස් ගෙනෝමයේ විසිර ගිය කැබැලිතිය. වෛරසයේ මෙම සුන්බුන් පවතින තාක් පරීක්ෂණය විසින් පොසිටිව් ප්‍රතිඵල ලබාදෙනු ඇත. ආසාදකාරක වෛරසය මියගොස් බොහෝ කලක් ගතවුවද කොරෝනා පරීක්ෂණය පොසිටිව් ප්‍රතිඵල ලබා දිය හැකිය. මක් නිසාද යත් පරීක්ෂණය විසින් ඉතා කුඩා වෛරස් ජානමය කොටස් පවා හඳුනාගැනීමට ප්‍රමාණවත් තරම් පිටපත් කරන බැවිනි…
“ ..එහෙයින් SARS-CoV-2 වෛරසය කොහොමටත් සම්පූර්ණයෙන්ම අළුත් එකක් නොවේ. නමුත් හුදෙක් වාර්ෂික උණ සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකි.  සියලු උණ සෙම්ප්‍රතිශ්‍යා වෛරස වලට සිදුවන පරිදි එය වෙනස්වීම්වලට භාජනය වී  සහ ගිම්හානයේ දී අතුරුදන්වෙයි. අපි දැන් ලෝකය පුරා අත්දකිමින් සිටින්නේ එයයි. උණ සෙම්ප්‍රතිශ්‍යා වෛරසය මීට වඩා බොහෝ සෙයින් වෙනස් කම්වලට භාජනය වේ. නමුත් කිසිවෙකු එම නව ප්‍රභේදය සම්පූර්ණයෙන්ම නව උණ සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකැයි කිසි දිනෙක නොපවසනු ඇත…”

බෙල්ජියමේ, විශේෂ සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වූත්, මහජන සෞඛ්‍ය පිළිබඳ විශ්ලේෂකයෙකු සහ ගත්කතුවරයෙකු වූත් ගෝලීයකරණය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ  (CRG) පර්යේෂකයෙකුවූත් පැස්කල් සැක්‍රේ   RT-PCRපරීක්ෂණ ගැන මෙසේ පවසයි.
“SARS-CoV-2 හඳුනාගැනීම සඳහා RT-PCR පරීක්ෂණය විශ්වාසනීයත්වයකින් තොරය. සමහරුන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර සමහරුන් සරල රෝග ලක්ෂණ පෙන්වති. පරීක්ෂණ ප්‍රතිඵල පොසිටිව් වීමෙන් “රෝගී බවක්“ අදහස් නොවන්නේ යැයි දැනටමත්  අර්ථකතනය කර තිබේ. එසේ පවසන වෛරස් පිළිබඳ විද්‍යාඥයන්ද ඇතුළුව අනෙකුත් වෛද්‍යවරුන් නිල ආයතන විසින් පවත්වාගෙන යන ව්‍යාකූලත්වය පිළිබඳ අනතුරු අඟවති. RT-PCR පරීක්ෂණයේ පොසිටිව් ප්‍රතිඵලයක්  යනු යමෙකු COVID-19 රෝගීයෙකු බව නොවේ. PCR පරීක්ෂණය පිළිබඳ විශේෂඥයන් මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල වල වලංගුතාව  පරීක්ෂණයට ලක් කරන ලද පුද්ගලයාගේ සායනික ලක්ෂණ පිළිබඳ වාර්තා සමග සන්සන්දනය කළ යුතුයැයි පැහැදිලිව පෙන්වා දී ඇත. මාධ්‍ය විසින් මෙම නව පරීක්ෂණයේ පොසිටිව් ප්‍රතිඵල ඒවායේ  වෙනස්කම් හෝ සංදර්භය නොතකා හරිමින්  සාවද්‍ය අන්දමින්  COVID-19 දෙවන රැල්ලක් ලෙස සමීකරණය කරමින් සියල්ලන් බියගන්වමින් සිටී….මෙම පරීක්ෂණ විසින් සංකේතවත් කරන්නේ තාක්ෂණික වෛද්‍ය විද්‍යාවේ සහ තාක්ෂණයේ සර්වබලධාරිත්වය පිළිබඳ අන්ධ සහ පූර්ණ විශ්වාසයයි. මෙම මායාව ඖෂධ කර්මාන්තය, සමහර වෛද්‍යවරුන් සහ මාධ්‍ය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.එන්නත්කරණය පිළිබඳවද ඇත්තේ මහජන අදහස් නොමග යැවීමට බලපාන  අධි-සාමාන්‍යකරණයකි. අධි- සාමාන්‍යකරණයකට උදාහරණ ලෙස මානව ප්‍රතිශක්තිය ප්‍රතිදේහවලට ලඝු කිරීමත්  RT-PCR පරීක්ෂණයේ පොසිටිව් ප්‍රතිඵල SARS-CoV-2 වෛරසයෙන් ආසාදනය වීමක් ලෙසට සිතීමට මහජනතාව පෙළැඹවීමත් දැක්විය හැකිය.”

N.   RT-PCR පරීක්ෂණ පිලිබඳ නිල උපදෙස්

කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාව මත පදනම් වූ RT-PCR පරීක්ෂණයෙ‍හි පවත්නා බරපතල පරීක්ෂණ සැලසුම් දෝෂත් පොදුවේ සියලු පරීක්ෂණ පිළිබඳවත්  අදහස් දක්වන ලද විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් බොහෝ දෙනෙකු අතරින් කිහිප දෙනෙකුගේ අදහස් ඉහතදී අවධානයට ලක් කළෙමු. මෙම පරීක්ෂණයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු නිල ආයතන කිහිපයක මාර්ගෝපදේශ පිලිබඳවද අවධාන යොමු කිරීම අතිශයින් වැදගත්ය. එම මාර්ගෝපදේශ විමසුමට ලක් කරන විට පෙනී යන්නේ මුලින් කී විමර්ශන කණ්ඩායම් සහ විවිද වෛද්‍යවරුන් සහ විවේචකයන් විසින් එල්ල කර ඇති විවේචනයන්ගේ සහේතුක බවයි.
එක්සත් ජනපදයේ වසංගත රෝග මර්ධන මධ්‍යස්ථානය  විසින් 2019 නව කොරෝනා වෛරස්  (2019-nCoV) පිළිබඳ  Real-Time RT-PCR  නිර්ණය කිරීමේ පැනලයේ මෙසේ සඳහන් වේ.
“ඇතැම් විට වෛරසයේ RNA හඳුනාගැනීම 2019-nCoV සායනික රෝග ලක්ෂණවලට  හේතු වන  වෛරසය පවත්නා බවට දර්ශකයක් නොවීමට ඉඩ ඇත.”

මෙහි තේරුම RT-PCR පරීක්ෂණයේ පොසිටිව් ප්‍රතිඵල විසින් යමෙකු  2019-nCoV හෝ දැන් SARS-CoV-2 නමින් හඳුන්වන වෛරසයෙන් ආසාදනය වී ඇති බවට සහතික නොකරන බවයි. වෙනත් වචනවලින් කිවහොත් RT-PCR පරීක්ෂණය මගින් පොසිටිව් යැයි  තීරණය කරන ලද පුද්ගලයාගේ ශරීරය තුළ කොහෙත්ම මේ SARS-CoV-2 (2019-nCoV ) වෛරසය අඩංගු නොවී තිබීමටද ඉඩ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය: ” කොරෝනා වෛරස් රෝගය   (COVID-19) ට  අදාළ තාක්ෂණික මාර්ගෝපදේශය: මානවයන් තුළ පවතින  2019-nCoV සඳහා විද්‍යාගාර පරීක්ෂණය”

”  2019-nCoV හඳුනා ගැනීම සිදු කරනු ලබන පරීක්ෂණ කීපයක් දැනට ආයතන මට්ටමින් සහ වාණිජ මට්ටමින් සංවර්ධනය කරමින් පවතී. සමහර පරීක්ෂණ විසින් නව වෛරසය පමණක් හඳුනාගනු ලබන අතර සමහරක් පරීක්ෂණ  විසින් සමහර විට ජානමය වශයෙන් සමාන ඇති අනෙකුත් ප්‍රභේදයන්ද   (උදා- SARS-CoV)හඳුනාගැනීමට ද ඉඩ ඇත.”
මෙයින් කියැවෙන්නේ කුමක්ද?  RT-PCR මගින් පොසිටිව් වීම සහ  SARS-CoV-2(2019-nCoV ) සඳහා සැබෑ ලෙසම  පොසිටිව් වීමත් අතර සම්බන්ධයක් සැකයකින් තොරව තහවුරු කිරීමට මෙම පරීක්ෂණ අසමත් බව නොවේද? ඉහත දී බාහිර විමර්ශක කණ්ඩායම සිය වාර්තාවෙන් පෙන්නුම් කර දී ඇති පරිදි කොර්මන්-ඩ්‍රෝස්ටන් පත්‍රිකාවේ ප්‍රධාන දෝෂයක් වන ප්‍රයිමර් සැලසුමේ දී  SARS පවුලට අයත් බහුතරයක් වෛරස්වලට පොදු  ජාන අනුක්‍රම තෝරාගැනීමේ ප්‍රතිඵලය මෙය නොවේද?  කොර්මන්-ඩ්‍රෝස්ටන් කණ්ඩායම වැනි අත්දැකීම් සහිත පරිණත විද්‍යාඥයන් අතින් සිදුවන මෙවැනි දෝෂයක් හුදෙක් අත්වැරැද්දක් ලෙසින් සැලකීමට නොහැකිය. මෙම පරීක්ෂණ මගින් පොසිටිව් ප්‍රතිඵල ලබා දීමට ඉඩ ඇත්තේ හුදෙක් දැනට SARS පවුලේ ඕනෑම වෛරසයක් මගින් ආසාදනය වී ඇති අය පමණක් නොව මීට පෙර ඕනෑම  අවස්ථාවකදී ඒවා මගින්  ආසාදනය වී සුව වී ඇති අයද පොසිටිව් ලෙස නම් කිරීමේ ඉඩ අති විශාල බවයි.මක් නිසාද යත් වෛරසයකින් වරක් ආසාදනය වී සුව වූ පසුවද එම වෛරසයේ දාමවල සුන්බුන් යමෙකුගේ සිරුර තුළ පවතින බැවිනි.

එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරිය  FDA විසින්  COVID-19 RT-PCR test පරීක්ෂණ පිළිබඳ සිය උපදෙස් මාලාව තුළ මෙසේ සඳහන් කර තිබේ.
“…The SARS-CoV-2RNA (කොවිඩ් වෛරසය) සාමාන්‍යයෙන්  ආසාදනයේ බරපතල අවදියේදී   ශ්වසන පද්ධතිය ආශ්‍රිත නියැදි තුළ හඳුනාගත හැකිය. පොසිටිව් ප්‍රතිඵල SARS-CoV-2 RNA පවතින බවට දර්ශකයක් වේ.  රෝගියාගේ  ආසාදිත තත්ත්වය තීරණය කිරීමට  රෝගියාගේ ඉතිහාසය සහ අනෙකුත් රෝග නිශ්චය පිළිබඳ තොරතුරු ගැලපීමක් අවශ්‍ය වේ. ඇතැම් විට හඳුනාගනු ලබන කාරකය රෝගයට තුඩු දුන් හේතුව නොවීමට ඉඩ තිබේ.  එක්සත් ජනපදය තුළ සහ එයට අයත් ප්‍ර දේශ තුළ සියලු විද්‍යාගාර විසින් සියලු පොසිටිව් ප්‍රතිඵලවලට අදාළ විස්තර  අදාළ සෞඛ්‍ය බලධාරින් වෙත වාර්තා කළ යුතුය”
මෙහිදී ඔවුහු එක් අතෙකින් රෝගීයෙකු තුළ පවතින වෛරසය”සාමාන්‍යයෙන් “හඳුනාගත හැකි බව පවසන අතර අනෙක් අතින් පවසන්නේ  ශ්වසන පද්ධතිය ආශ්‍රිතව “ආසාදනයේ බරපතල අවදියේදී” එය සිදු කළ හැකි බවය. එනම් මෙම පරීක්ෂණය මගින් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් (asymptomatic)  පරීක්ෂාවට ලක් කිරීම මගින් ලැබෙන ප්‍රතිඵල නිවැරදි නොවේ. එමෙන්ම මෙම පරීක්ෂණය මගින් “හඳුනාගනු ලබන දෙය (කාරකය) රෝගයට තුඩු දුන් හේතුව නොවීමට ඉඩ ඇති” බව ද පවසයි. “රෝගියාගේ  ආසාදිත තත්ත්වය තීරණය කිරීමට  රෝගියාගේ ඉතිහාසය සහ අනෙකුත් රෝග නිශ්චය පිළිබඳ තොරතුරු ගැලපීමක් අවශ්‍ය වේ” යන සඳහනේ අර්ථය මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මගින් පමණක්  රෝග නිර්ණය නොකළ යුතු යැයි යන්නය. එහෙත් අවසනදී ඔවුන් පවසන්නේ සියලු පොසිටිව් ප්‍රතිඵල අදාළ සෞඛ්‍ය බලධාරින් වෙත වාර්තා කළ යුතු බවයි. ඒ ඔවුන්ගේ දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව  මාධ්‍ය මගින් පුම්බා දැක්වීම සඳහාය. පසුව සායනික පරීක්ෂණවලින් මෙම පුද්ගලයන් ආසාදිත නොවූවන් බව තීරණය කළ ද මෙම දෛනික වාර්තාවන් වල ඒවා නිවැරදි කරනු නොලබයි.
ටෙස්ට් කට්ටල නිෂ්පාදක සමාගමක් වන Creative Diagnostics විසින් නිෂ්පානය කරනු ලබන SARS-CoV-2 Coronavirus Multiplex RT-qPCR Kit(CD019RT) කට්ටලයේ විස්තර පත්‍රිකාවේ මෙසේ සඳහන් කර ඇත.
“නියාමක තත්ත්වය- පර්යේෂණයන් සඳහා පමණි.  රෝග නිර්ණයට භාවිතා කිරීම සඳහා නොවේ.”
මෙය පැහැදිලිය. කරුණාකර මෙමගින් පුද්ගලයන් ආසාදිතයන් ලෙස නම් කිරීමෙන් වළකින්න.

එහි මෙසේද සඳහන් වේ.
“ඉන්ෆ්ලුවන්සා  A වෛරසය (H1N1), ඉන්ෆ්ලුවන්සා B වෛරසය, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන වලට බලපාන RS වෛරසය (Respiratory Syncytial Virus),ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඇඩෙනෝ වෛරස්  (type 3  සහ type 7 ),  පැරා ඉන්ෆ්ලුවන්සා වෛරසය(type 2)  මයිකෝප්ලාස්මා නියුමොනියා,ක්ලැමිඩියා නිව්මොනියා වැනි නිශ්චය කළ නොහැකි ආසාදනවලින් මෙම පරීක්ෂණයට බාධා විය හැකිය.”
මෙයින් කියන්නේ කුමක් ද? Covid-19 හඳුනාගැනීම සඳහා භාවිතා කරන මෙම පරීක්ෂණය භාවිතයෙන් ඉහත ආසාදනවලින් එකක් හෝ කීපයකින් පෙලෙන තැනැත්තෙකු පරීක්ෂණයට ලක් කළ හොත් ඔහු හෝ ඇය සඳහා පොසිටිව් ප්‍රතිඵල ලැබෙනු ඇති බවයි. යමෙකු මෙම පරීක්ෂණය මගින් පොසිටිව් වුව හොත් ඔහු ආසාදනය වී ඇති රෝගය තීරණය කිරීමට කොරෝනා හෝ මෙම රෝග අතරින් එකක් තෝරා ගැනීමේ හොඳම ක්‍රමය සමහර විට කාසියක් උඩ දැමීම විය හැකිය.

මේ එම උපදෙස් පත්‍රිකාවේ තවත් උපදෙසකි

“මෙම පරීක්ෂණය මගින් සිදු කරන හඳුනාගැනීමේ ප්‍රතිඵල සායනික විමර්ශනයන් සඳහා පමණක් සීමා වන අතර  සායනික නිර්ණය  සහ ප්‍රතිකාර සඳහා එකම සාක්ෂිය ලෙස මෙම ප්‍රතිඵල භාවිතා නොකළ යුතුය. රෝගීයාගේ සායනික කළමණාකරණය ඔවුන්ගේ රෝග ලක්ෂණ, ඉතිහාසය, අනෙකුත් විද්‍යාගාර පරීක්ෂණ, ප්‍රතිකාර සඳහා දක්වන ප්‍රතිචාර  ආදිය සමග ගැලපීමකින් යුතුව සිදු කළ යුතුය. මෙම පරීක්ෂණය විසින් සිදුකරන හඳුනාගැනීමේ ප්‍රතිඵල සායනික නිර්ණය සඳහා සෘජු සාක්ෂියක් ලෙස යොදා නොගත යුතු අතර එය හුදෙක් වෛද්‍යවරයාගේ විමර්ශනය සඳහා පමණක් වේ.”
මේ සියල්ලන් විසින් දෙන පොදු උපදේශයක් වන්නේ පරීක්ෂණයක පොසිටිව් ප්‍රතිඵල වලින් පුද්ගලයෙකු රෝගීයෙකු යැයි තීරණය කිරීමෙන් වැළකිය යුතු බව සහ  රෝග විනිශ්චයක් කළ යුත්තේ පුද්ගලයාගේ රෝග ලක්ෂණ, ඉතිහාසය, අනෙකුත් විද්‍යාගාර පරීක්ෂණ, ප්‍රතිකාර සඳහා දක්වන ප්‍රතිචාර ආදියේ සමස්තය සැළකිල්ලට ගෙන බවයි. එසේ නම් රෝග ලක්ෂණ නොදක්වන පුද්ගලයන් සම්බන්ධව මෙම පරීක්ෂණය භාවිතා කිරීම එහි නිෂ්පාදකයා විසින් සිය නිෂ්පාදනය භාවිතා කිරීම පිණිස නිකුත් කරන ලද උපදෙස්වලට පටහැනිය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය රසායනාගාර වෘත්තීය සමිති සංගමයේ සභාපති  රවි කුමුදේශ් රට තුළ සිදුවන RT-PCR පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කර සිටියේය.  ඔහු පවසන අකාරයට ආසාදිතයන් හමුවීමේ ප්‍රමාණය සැබෑ ආසාදිතයන් ප්‍රමාණයට වඩා RT-PCR පරීක්ෂණ සිදු කරන ප්‍රමාණයට අනුව විචලනය බව ඔහු විසින් කර ඇති සරල දත්ත අධ්‍යයනයකදී ඔහුට පෙනී ගොස් තිබේ. රජයේ ප්‍රධාන තම වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ තාක්ෂණික ශිල්පියෙකු ලෙස කටයුතු කරන ඔහු  RT-PCR පරීක්ෂණය මගින්  පොසිටිව් ප්‍රතිඵල ලබා දෙන පුද්ගලයන් සියලු දෙනා කොවිඩ්-19  ආසාදිතයන් යැයි යන වැරදි නිගමනයේ සිටින බව පැහැදිලිය.

ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කරයි.

“මේ අතර රසායානාගාර සේවාවේ නිල දත්තයන්ට අනුව 2021.04.03 දින  වන විට  ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොඩිඩ් ආසාදිත සංඛ්‍යාව 1003640ක් බව වාර්තා වේ. කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය විසින් නිකුත් කරනු ලබන නිල වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ලෙස දක්වා ඇත්තේ 96000ක පමණ ප්‍රමාණයකි.“

ඔහුගේ මෙම ප්‍රකාශය ඔහු විසින් නියෝජනය විද්වත් සංගමයේ සමස්ත එකඟතාව අනුව “ සාමූහික වගකීම“ යටතේ නිකුත් කරන ලද්දැක් ද නැතහොත් ඔහුගේ පුද්ගලික අදහසක් දැයි පැහැදිලි නැත.  එය ඔවුන් සියලු දෙනාගේම අදහස නම් එයින් බරපතල ගැටළුවක් මතුවන බව පෙනෙයි. එනම් මෙම විද්වත් අයවලුන්  කිසිවෙකු  පරීක්ෂණයට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති උපදෙස් මාලාව හෝ අඩු තරමින් පරීක්ෂණ කට්ටල නිපදවන්නන් විසින් නිකුත් කරන උපදෙස් පත්‍රිකාව හෝ කියවා නැති බවයි.

එම උපදෙස් අනුව “මෙම පරීක්ෂණය මගින් සිදු කරන හඳුනාගැනීමේ ප්‍රතිඵල සායනික විමර්ශනයන් සඳහා පමණක් සීමා වන අතර  සායනික නිර්ණය  සහ ප්‍රතිකාර සඳහා එකම සාක්ෂිය ලෙස මෙම ප්‍රතිඵල භාවිතා නොකළ යුතුය. රෝගීයාගේ සායනික කළමණාකරණය ඔවුන්ගේ රෝග ලක්ෂණ, ඉතිහාසය, අනෙකුත් විද්‍යාගාර පරීක්ෂණ, ප්‍රතිකාර සඳහා දක්වන ප්‍රතිචාර  ආදිය සමග ගැලපීමකින් යුතුව සිදු කළ යුතුය. මෙම පරීක්ෂණය විසින් සිදුකරන හඳුනාගැනීමේ ප්‍රතිඵල සායනික නිර්ණය සඳහා සෘජු සාක්ෂියක් ලෙස යොදා නොගත යුතු අතර එය හුදෙක් වෛද්‍යවරයාගේ විමර්ශනය සඳහා පමණක් වේ.”

රවිකුමුදේශ් සිතා සිටිනුයේ තමන් සහ තම විද්වත් සංගමය එක් වී  පොසිටිව් යැයි සළකුණු කර යවන ලද සියලු සාම්පලවලට අදාළ  පුද්ගලයන් කොඩිඩ්-19 ආසාදිත යැයි වෛද්‍යවරුන් විසින් ඉහත සායනික ක්‍රියා පරිපාටිය අනුගමනය නොකරම  නිගමනය කළ යුතු බවද? යමෙකුගේ  රෝගී බව නිශ්චය කිරීමේ වගකීම ඇත්තේ වෛද්‍යවරයෙකුට පමණි. රසායනාගාර ශිල්පීන්ගේ වගකීම විය යුත්තේ තමන් වෙත ලැබෙන සාම්පල පිළිබඳ පූර්ව විනිශ්චයකින් තොරව අදාළ පරීක්ෂණය නිරවද්‍ය ලෙස සිදු කොට අදාළ වාර්තාව වෛද්‍යවරුන් වෙත  සැපයීම පමණි.

අජිත් සී හේරත්