යුද්ධ සහ යුද්ධෝත්ප්‍රේරක

මහාචාර්ය ග්‍රේම් මැක්කුවීන් Triggering War. A Manufactured “Catalytic Event” Which Will Initiate An All Out War? Are We Going to Let this Happen Again? ගේ ලිපියේ පරිවර්තනයකි. මෙම ලිපිය Global Research වෙබ් අඩවියේ 2018 මාර්තු 18 දින පළ වූවකි. රුසියාවේ සහ චීනයේ නව නැගී ඒමත් සමගම එක්සත් ජනපදය විසින් තම නායකත්වයේ යටතේ ඒකධ්‍රැවීය ලෝකයක් පිළිබඳ ගොඩ නගන ලද සැළසුම් අභියෝගයට ලක් වී තිබේ. ලෝකයේ බල කඳවුරු අතර ප්‍රතිවිරෝධතාවන් උත්සන්න වෙමින් පවතින අතර මෙම උණුසුම්කාරි වාතාවරණය හමුවේ 3 වන ලෝක යුද්ධයක අවදානම මිනිස් වර්ගයා හමුවේ මතු වී තිබේ. බලවත් රටවල් අතර වර්ධනය වන මෙම යුද උණුසුම පිළිබඳව මෙන් ම ඒවායේ බලපෑමට යටත් ලංකාව වැනි රටවල ද සිදුවන්නේ කුමක් දැයි වටහා ගැනීමේ එක් මානයක් මෙම ලිපිය විසින් සපයයි.

ග්ලෝබල් රිසර්ච් වෙබ් අඩවියේ සංස්කාරකගේ සටහන
මහාචාර්ය ග්‍රේම් මැක්කුවීන් විසින් කරන ලද සියුම් අධ්‍යයනයක ප්‍රතිඵලයක් වූ මෙම ලිපිය වර්තමාන ගෝලීය යුද අවදානම තේරුම් ගැනීම සදහා ඉවහල්වන ඓතිහාසික දෘෂ්ටිමය විවරණයක් ලෙස සැළකිය හැකිය. මෙම ලිපිය ප්‍රධාන ධාරාවන්ගේ මාධ්‍ය විසින් පමණක් නොව අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර විසින් ද දැඩි ලෙස වාරණය කර තිබේ. තුන්වන ලෝක යුද්ධයක අවදානම පළමු පිටුවේ ප්‍රවෘත්තියක් බවට පත් වී නැත. මහාචාර්ය මැක්කුවීන්ගේ මෙම ලිපිය විකල්ප මාධ්‍ය ධාරාවන්, බ්ලොග් අඩවි මගින් ඔබගේ මිතුරන් සහ සගයන් අතර බෙදාහරින ලෙස අපි කාරුණික ඉල්ලා සිටිමු.
තුන්වන ලෝක යුද්ධයක් පිළිබඳ අවදානම යථාර්ථයක් වුව ද යුද විරෝධී ව්‍යාපාරයක් පෙනෙන තෙක් මානයක නැත. එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ යුරෝපයේ සාම ව්‍යාපාරය වූකලී අක්‍රියවූත් සහ න්‍යෂ්ටික යුද්ධයක ප්‍රතිවිපාක පිළිබඳ නොසැළකිළිමත්වූත් එකකි.
කරුණු එසේ හෙයින් ආදරණීය පාඨකයෙනි අපි ඔබගේ සහයෝගය අපේක්ෂාකරමු. යුද්ධයක් ආරම්භ කිරීම සඳහා සැබෑ ලෙස ම “කුමන්ත්‍රණයක්“ දියත් වෙමින් පවතී. සත්‍යය එයයි. සමාජ සංවිධාන ජාලා ගොඩ නගන ලෙසත් බිම් මට්ටමින් සංවිධානය වන ලෙසත් මෙම අනතුර ගැන සියලු දෙනා දැනුවත් කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

මහාචාර්ය මැක්කුවීන් සිය ලිපිය තුළ මෙසේ ආයාචනා කරයි.
“ අපගේ ඉලක්කය පැහැදිලිය. අපි අපගේ පර්යේෂණාත්මක සහ සන්නිවේදනාත්මක සම්පත් භාවිතාවේ යොදමින් යුද්ධයේ ආරම්භක ප්‍රේරකයන් ගොඩනැංවීමට හා දිරිගැන්වීමට උත්සාහ දරන විශේෂඥයන් සහ යුද යාන්ත්‍රණය ශක්තිමත් කරන්නවුන් පරාජය කළ යුතු වෙමු. විසිවන සියවසේ යුද්ධයේදී අපට මිනිස් ජීවිත මිලියන සියයකට වඩා අහිමි විය. සැබැවින්ම අප එය නැවතත් සිදුවීමට ඉඩ හරිනවාද?
මිෂේල් චොසුඩොවුස්කි, සංස්කාරක ග්ලෝබල් රිසර්ච් 2018 මාර්තු 18

අද ඉරානය, හෙට උතුරු කොරියාව ඉන් පසුව රුසියාව සහ චීනය ආදි වශයෙන් අපගේ බටහිර රාජ්‍යයන් විසින් සිය විරුද්ධවාදීන් කොනිත්තමින් ඔවුන්ගේ යුද සුදානම පරීක්ෂාවට ලක් කරන ආකාරය අපි හුස්ම නොහෙළා බලා සිටිමු. අප මේ සන්ත්‍රාසයෙන් යුතුව බලා සිටින්නේ යුද්ධය පටන් ගැනීමට හේතුවන යුද්ධාරම්භක-උත්ප්‍රේරක ගැටුම සිදුවන තෙක්ය. මෙවැනි යුද්ධෝත්ප්‍රේරක සිදුවීම් පිළිබඳ තේරුම්ගැනීමට සහ ඒවා වළක්වනු වස් සුදානම් වීමටත් එවැනි සිදුවීම් නැවත විමසා බැලීමට දැන් කාලය එළැඹ තිබේ.
ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා 1914 ජූනිමස 28 දින සරායෙව් හිදී ඝාතනයට ලක්වීම පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට හේතු විය. 1964 අගොස්තු 04 ටොන්කින් බොක්කේ සිදුවීම වියට්නාම් යුද්ධය ඇරඹීමට හේතු විය.
මෙම සිදුවීම් දෙකම යුද්ධෝත්ප්‍රේරකයන්ය. “යුද්ධෝත්ප්‍රේරකයක් “යන යෙදුම මා විසින් භාවිතා කරන්නේ යුද්ධය ආරම්භ වීමට හෝ යුද ක්‍රියාවලියේ සක්‍රිය ඝාතනයන් සිදුවන අවධිය කරා ව්‍යාප්ත වීමට හේතුවන සිදුවීම හැඳින්වීමටයි.
යුද්ධෝත්ප්‍රේරක සිදුවීම් විසින් එහි බලපෑමට යටත්වන ජනතාව ඔවුන්ගේ විවේචනාත්මක චින්තනය හෝ ආණ්ඩුවේ නිල ස්ථාවරයන් සමග වන විසම්මුතිය පසෙක දැමීමක් දක්වා මෙහෙයවයි. ජනතාවගේ සදාචාරාත්මක වටිනාකම් මෙන් ම මතවාදීමය පක්ෂපාතිත්වයන්ද නිෂ්ක්‍රීය කිරීමට එම සිදුවීම්වලට හැකිය. පළමු ලෝක යුද්ධය ආරම්භවීමත් සමගම සාම ව්‍යාපාරය, ස්ත්‍රී ව්‍යාපාරය සහ සමාජවාදී ව්‍යාපාරයේ බිඳීයාම සිදු විය.
පලමු ලෝක යුද්ධාරම්යේ යුරෝපයේ පැවැති වියරුවේ පරිමාණය ගැන අද විද්‍යාර්ථීන් අතර විවාදයක් පවතින අතර එම වියරුව ඇසින් දුටු සාක්ෂිකාරියක වන රෝසා ලක්සම්බර්ග් ඒ ගැන විවරණය කර ඇත්තේ මෙසේය.
“ වියරු උන්මාදය, දේශප්‍රේමී වීදී පෙළපාලි, ගී ගයමින් රැස් කන ජනයා, දේශප්‍රේමී ගී වාදනය කරන අවන්හල්, ප්‍රචණ්ඩකාරී මැරයන්, ප්‍රසිද්ධියේ සිදු කරන ශාපකිරීම් සහ හෙළාදැකීම්, ගැහැණුන්ට වධ බන්ධන පැමිණවීමේ සුදානම, සෑම දූෂමාන ආරංචියක් සහ කටකතාවක් පාසාම තමන් විසින් වියරු ආවේශයක ගොදුරක් බවට පත් කිරීමේ සුදානම, මහා මිනිස් බිලිපූජාවන් සඳහා සැකසුණ වාතාවරණය“. (Luxemburg, 261)
රෝසා ලක්සම්බර්ග් මෙහි දී විස්තර කර ඇත්තේ සාර්ථක යුද්ධෝත්ප්‍රේරක සිදුවීමක් විසින් ගොඩ නගන ලද්දාවූත් , ජනතාවක් උපරිම ලෙස මාරාන්තික බවට පත්කරමින් සිය සතුරා හඹා යාමට පමණක් නොව එයට එරෙහිව කිසිදු හෝ විසම්මුතියක් දැක්වීමට තරම් නිර්භය වන තමන් අතර සිටින පුද්ගලයන්ද විනාශකිරීමටද බලපාන්නාවූත් මානසික තත්ත්වයක් ගැනය.

“ අගෝස්තුවේදී සහ සැප්තැම්බරයේදී දුම්රිය වලට පටවන ලද කාලතුවක්කු උණ්ඩවල ඉලක්ක (බවට පත් කරන ලද මිනිසුන්) දැන් බෙල්ජියමේ සහ වොස්ගස් හි යුදබිම්වල කුණු වී යමින් සිටිති. නගර වධකාගාර පත් කර ඇත. මුළුමහත් දේශයන් කාන්තාර බවට පත් කර ඇත. ගම්මාන සොහොන් පිටි බවට ද සමස්ත ජාතීන් යාචකයන් බවට ද දේවස්ථාන ස්තාල බවට ද , මහජන අයිතීන්, ගිවිසුම්, සන්ධාන ,අති පාරිශුද්ධ වචන සහ උත්තරීතර බලාධිකාරය සුන්බුන් බවට ද පත් කර ඇත“.
-රෝසා ලක්සම්බර්ග්

ලක්සම්බර්ග් මෙම තත්ත්වයට එරෙහිව නිර්භයව නැගී සිටියාය. එහි ප්‍රතිඵලය වූයේ ජර්මන් සිරකුටියක වසර දෙකහමාරක් සිරගතව සිටීමට ඇයට සිදු වීමයි. මෙම කාලය තුළ ඇය විසින් ජර්මනියේ සමාජවාදි නායකයන් යුද්ධෝන්මාදයට යටත්වීම විවේචනය කරමින් ද ඔවුන්ගේ අමනකම්වල ප්‍රතිවිපාකයන් කෙරෙහි අවධානය යොමු කරමින්ද වූ Junius Pamphlet https://www.marxists.org/archive/lenin/works/1916/jul/junius-pamphlet.htm#bkV22E095 නම් පත්‍රිකාව ලියුවාය.
“ අගෝස්තුවේදී සහ සැප්තැම්බරයේදී දුම්රිය වලට පටවන ලද කාලතුවක්කු උණ්ඩවල ඉලක්ක (බවට පත් කරන ලද මිනිසුන්) දැන් බෙල්ජියමේ සහ වොස්ගස් හි යුදබිම්වල කුණු වී යමින් සිටිති. නගර වධකාගාර පත් කර ඇත. මුළුමහත් දේශයන් කාන්තාර බවට පත් කර ඇත. ගම්මාන සොහොන් පිටි බවට ද සමස්ත ජාතීන් යාචකයන් බවට ද දේවස්ථාන ස්තාල බවට ද , මහජන අයිතීන්, ගිවිසුම්, සන්ධාන ,අති පාරිශුද්ධ වචන සහ උත්තරීතර බලාධිකාරය සුන්බුන් බවට ද පත් කර ඇත“. (Luxemburg, 261)

රෝසා ලක්සම්බර්ග්ගේ සහේතුක කෝපාන්විත විරෝධයට හේතු වූයේ යුරෝපයේ පැතිර ගිය “ අගෝස්තු උන්මාදය“ ලෙස හැඳින්වූ යුද්ධෝන්මාදයයි. නිදසුනක් ලෙස 1914 අගෝස්තු 03 වැනි දින, එනම් යුද්ධය පටන් ගත් විගසම මෙන් බැවේරියාවේ විශ්වවිද්‍යාලවල ඉහළ අධිකාරීන් විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වෙත පහත දැක්වෙන දැනුම් දීම කරන ලදි.
“ශිෂ්‍යයෙනි! ශාස්ත්‍රයට අධිපති දෙවිවරුන් නිහඬව ඇත. ප්‍රස්තූතය සංග්‍රාමයයි. නැගෙනහිර සිට පැමිණෙන ම්ලේච්ඡයන්ගේ තර්ජනයට ලක්ව ඇති ජර්මන් සංස්කෘතියද බටහිර සිටින අපගේ සතුරන්ගේ ඊර්ෂ්‍යාවට හේතු වී ඇති ජර්මානු වටිනාකම් ද සුරැකීම වෙනුවෙන් වන සංග්‍රාමයයි. ටොයිටොන් රණකාමීත්වයේ ගිනිදැල් නැවතත් ඇවිළෙයි. විමුක්ති යුද්ධය පිළිබඳ උද්වේගයේ අග්නිජාලාවන් බුර බුරා දැල්වෙයි. ශුද්ධ වූ යුද්ධය ආරම්භ වී තිබේ“. (Keegan, 358)

මෙම උමතු ආයාචනාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ජර්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳුණහ. කිසිදු පුහුණුවක් නොමැතිව යුද බිමට යවන ලද ඔවුන්ගෙන් 36000ක් පමණ සති තුනක් ඇතුළත මරණයට පත් විය.
මෙය ජර්මනියට පමණක් අදාළ අවදානම් සහගත තත්ත්වයක් නොවීය. රැන්ඩොල්ෆ් බෝර්න් විසින් ඔහුගේ “ යුද්ධය රාජ්‍යයේ සෞඛ්‍යයට හේතු වේ“ යන නිම නොවූ රචනාවේ ඔහු විසින් විස්තර කර ඇත්තේ පසු කලෙක ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දුටු දේය. එම රට යුද විරෝධී ස්ථාවරයක සිට යුදවාදී මාරු වෙමින් ගෝලීය විනාශයට දායක වූ අයුරු ඔහු විස්තර කර ඇත. ඔහුගේ නිරීක්ෂණයන්ට අනුව රටේ ඉහළ විධායකය යුද්ධයට යාමට තීරණය කළ විට සමස්ත ජනතාවම ක්ෂණිකව තම මනස වෙනස් කරමින් එයට පක්ෂපාතී වේ. “යුද්ධය ප්‍රකාශ කරන ලද මොහොතේදී, යුද්ධය ඔවුන්ගේම උවමනාවක් බවත් සහ එම කාර්යය ඔවුන් විසින් ම ක්‍රියාවට නැගිය යුතු බවත් බහුජනයා වෙත කිසියම් ආත්මීය රසායනයක් මගින් ඒත්තු ගන්වයි“.

“ ව්‍යතිරේඛයන් ලෙස සැළකිය හැකි විසම්මුතිවාදීන් කීප දෙනෙකු හැරෙන්නට, බහුජනයා තමන්ව හමුදාවට බඳවාගනු ලැබීමටත් බලාත්කාරයට යටත් කිරීමටත්, තම ජීවන පරිසරයේ සියල්ල ව්‍යාකූල කරනු ලැබීමටත්, විනාශයේ නිෂ්පාදකයා බවට පත් කිරීමටත් සිය කැමැත්තෙන්ම රාජ්‍යයට ඉඩහරී.“

පළමු ලෝක යුද්‍ධය සමග පැමිණි වර්ගයේ යුද්ධෝන්මාදයක් සමග සන්සන්දනය කරන විට පසුකාලීනව දක්නට ලැබෙන සමානකම් බෙහෙවින් අඩු බව සෑබෑවකි. එම යුද්ධය විශාල විනාශකාරීත්වයක් අත්කර දුන් බැවිනි. එහෙත් වර්තමාන අධිතාක්ෂණික සහ ඩිජිටලීකෘත යුද අවධියේදී ජනතාව තුළ යුදකාමී මානසිකත්වය වර්ධනය කිරීම අනපේක්ෂිත හෝ අනවශ්‍ය දෙයක් ලෙස සැළකෙන බව සිතීම සහමුලින්ම සාවද්‍ය බව මම සිතමි. කර්නල් හැරී සමර්ස් වියට්නාම් යුද්ධයේ උපාය මාර්ගය පිලිබඳව මීට වසර කීපයකට පෙර කරන ලද අතිශය බලපෑම් සහගත විශ්ලේෂණය විසින් වියට්නාම් යුද්ධයේදී ඇමෙරිකාව ලද පරාජයට හේතුවක් ලෙස ජනයාගේ ආවේගයන් අවදි කිරීමට ඇමෙරිකානු නායකත්වයට නොහැකිවීම යැයි නිගමනය කර තිබිණි. ඇමෙරිකානුවන්ට අනුකම්පා විරහිත ලෙස ලේවැකි යුද්ධයක නිරතවීමට බල කෙරුණු බවත් ඔවුන් එය දුටුවේ දරාගත නොහැකි දෙයක් ලෙස බවත් සමර්ස් පවසයි. සැබැවින්ම පවසතොත් ජනතාව තුළ යුදවාදී ආවේගයන් අවදි කිරීමට අසමත් වීම පිළිබඳ සමර්ස්ගේ මෙම නිගමනය බොහෝ ඇමෙරිකානු විශ්ලේෂණ වලට පදනම් වූ අතර ඒවා “වියට්නාම් සින්ඩ්‍රෝමය“ ලෙස හැඳින්වෙන මානසික තත්ත්වය පිළිබඳ සිද්ධාන්තය ගොඩනැගීමට ඉවහල් විය. වියට්නාම් සින්ඩ්‍රෝමය යනු වෙනත් රටක කටයුතුවලට මැදිහත්වීමට දක්වනු ලබන මානසික පසුබටතාවයයි. මෙය අධිරාජ්‍යවාදී බලවේගයකට නුසුදුසු අන්දමේ බයාදුකමක් ලෙස ඔවුන් විසින් දක්නා ලදි.

මට පෙනෙන ආකාරයට 2001 සැප්තැම්බර් 11 මෙහෙයුමේ අවශ්‍යතාවය වූ කලී ඒකාන්ත ලෙසම ඉහත තත්ත්වය වෙනස් කිරීමයි. එනම් සියලු ආකාරයේ වියට්නාම් සින්ඩ්‍රෝමයන් සදහටම පරාජය කරමින් ඇමෙරිකානුවන් තුළ එක්සත් බව පිළිබඳ හැඟීම්, ආක්‍රමණශීලී බව සහ රාජ්‍යය වෙත දක්වන සහයෝගය ආදිය ඉහළ නැංවීම ද, එමගින් දැඩි ශක්තියකින් සහ ජවයකින් යුතුව නව ගෝලීය අර්බුද සහ ඝට්ටන ආකාරයක් දියත් කරමින් 21 වන සියවස මිලිටරිය පෙරටු කොටගත් ඇමෙරිකානු සියවසක් බවට පත්කිරීමේ අවශ්‍යතාවය ඉටු කරගැනීමයි.
එසේ වුවද සෑම යුද්ධෝත්ප්‍රේරක සිදුවීමක් එකම ගණයෙහි ලා සැළකිය නොහැකි අතර අප විසින් ඒවා වර්ගීකරණය කළ යුතු වේ. අහඹු යුද්ධෝත්ප්‍රේරක, පාලිත යුද්ධෝත්ප්‍රේරක සහ නිර්මිත යුද්ධෝත්ප්‍රේරක (accidental war triggers, managed war triggers and manufactured war triggers) වශයෙන් පුළුල් වර්ගීකරණයන් 3ක් තුළ ඒවා හඳුනාගත හැකිය.

ෆර්ඩිනන්ඩ් ආදිපාද ඝාතනය ගැන පුවත්පත් වාර්තා කළ අන්දම

අහඹු යුද්ධෝත්ප්‍රේරක වූකලී යුද්ධයක් ඇරඹීමේ චේතාන්විත අරමුණක් රහිත තත්ත්වයක් තුලදී යුද්ධයක් හට ගැනීමට ඉවහල් වන ප්‍රේරක සිදුවීම්ය. සිද්ධීන් විසින් ඇති කරනු ලබන පීඩනය, අහඹු ගැටුම්, භෞතික අවශ්‍යතාවන් ඉටුකර ගැනීමේ දෛනික තරඟය වැනි කරුණු හේතුවෙන් යුද්ධයක් සඳහා චේතාන්විත අරමුණක් රහිතව වුවද යම් සිදුවීමක් යුද්ධෝත්ප්‍රේරක බවට පත් විය හැකිය. සිදුවීම ආරම්භ වූ පසුව සවිඥානක කුමන්ත්‍රණයකින් තොරවම අදාළ පාර්ශවයන් අතර බිහිසුණු ප්‍රචණ්ඩ යුද්ධයක් කරා එය වර්ධනයවනු ඇත.

ඉතිහාසය පුරාම දක්නට ඇති බොහෝ යුද්ධෝත්ප්‍රේරක සිදුවීම් අහඹු යුද්ධෝත්ප්‍රේරක ගණයෙහි ලා සැළකිය හැකි බව පෙනී යයි. එහෙත් මිනිස් වර්ගයා අතර ඇති වූ යුද්ධ පිළිබඳ වැඩි වැඩියෙන් අධ්‍යයනය කරත්ම මා හට වැටහී ගිය කරුණක් නම් ඒවාට තුඩුදුන් යුද්ධෝත්ප්‍රේරක සිදුවීම් අහඹු ඒවා ලෙස සැළකීමේ ඉඩ ප්‍රස්ථා අඩු බවය.
වසර ගණනාවකට ප්‍රථම යුද්ධෝත්ප්‍රේරක පිළිබඳ දේශන පවත්වන විට ෆර්ඩිනන්ඩ් ආදිපාද ඝාතනය මවිසින් ඉදිරිපත් කළේ අහඹු යුද්ධෝත්ප්‍රේරකයකට නිදසුනක් ලෙසය. ආදිපාදවරයාගේ ඝාතකයා ක්‍රියාත්මක වූයේ තනිවම නොවන බව මට වැටහිණි. ගව්රිලෝ ප්‍රින්සිප් නම් තරුණ සර්බියානු ජාතිකවාදියා නිශ්චිතවම “හුදෙකලා වෘකයෙකු “ නොවීය. ඔහු ආදිපාදවරයාගේ ගේ රථය ගමන්ගත් මග රැක සිටි සෙසු කීප දෙනාගෙන් එක් අයෙකි. ඔහු මේ සැලසුම වෙනුවෙන් කැප වී සිටි අතර එමෙන්ම ඉහළ සම්බන්ධකම් සහිත කණ්ඩායමක් ඔහුව මේ ඝාතනය සදහා යොදා ගත් බවද ඉතා පැහැදිලිය. එසේ වුව ද පසුව මෙම ඝාතනය නිසා සිදු වූ ආකාරයේ මහාපරිමාණ යුද ගිනි ඇවිලයාමක් මේ සැලසුම් කරුවන්ගේ අරමුණ නොවූ බව මට හැ‍ඟෙයි. “බොල්කන් කල්දේරමේ“(Balkan cauldron) රටවල් තුළ තර්කාන්විත සැලැසුමක් තිබූ බවට ප්‍රතික්ෂේප කෙරෙන විවිධ මූලාංග විසින් මා මවිතයට පත්කෙරිණි. මා මවිතයට පත් කරන ලද්දේ මේ සිදුවීම වන මොහොත වනවිට ක්‍රියාත්මක වෙමින් පැවැතුන සහ එම සිදුවීම හා යුද්ධයක් දක්වා යොමු කිරීම ට හේතු වූ විවිධ පද්ධතිගත සාධක, එනම් හතු පිපෙන්නාක් මෙන් වර්ධනය වෙමින් පැවැති යුද අවි නිෂ්පාදන කර්මාන්තයේ සිට අවංක ලෙස ම රැවටීමේ ගොදුරු බවට පත් පාලක පන්තීන් සහ එකිනෙක වෙළෙමින් පැවැති රාජ්‍ය සන්ධාන, පළමුව ජංගමශීලී වන පාර්ශ්වය බවට පත්වීමේ වාසිය අත්කර දෙන දුම්රිය මාර්ග පද්ධති ආදිය විසිනි. සියල්ල සැළකිල්ලට ගත් කළ මට හැඟී ගියේ චේතාන්විත සාධකවලට වඩා අචේතනික සාධක තීරණාත්මක වී ඇති බවයි. එහෙයින් මම මෙය අහඹු යුද්ධෝත්ප්‍රේරකයක් ලෙස හැඳින්වූයෙමි.

මෙම උමතු ආයාචනාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ජර්මන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳුණහ. කිසිදු පුහුණුවක් නොමැතිව යුද බිමට යවන ලද ඔවුන්ගෙන් 36000ක් පමණ සති තුනක් ඇතුළත මරණයට පත් විය.
– බර්ලින් නුවර වීදිවල පැතිර ගිය යුද්ධෝන්මාදය

කෙසේවුවද මවිසින් මෑත කාලයේ කියවන ලද දේවල් හේතුවෙන් මගේ මේ ස්ථාවරය පිළිබද මා තුළ වූයේ අඩු විශ්වාසයකි. විශේෂයෙන් ඩොෂර්ටි සහ මැක්ග්‍රෙගර් විසින් ලියන ලද, “සැඟවුණු ඉතිහාසය: පළමු ලෝක යුද්ධයේ රහස් ප්‍රභවයෝ“ ( Hidden History: the Secret Origins of the First World War) නම් කෘතිය කියවීමත් සමගම පළමු ලෝක යුද්ධය, පාලිත යුද්ධෝත්ප්‍රේරක (managed war triggers) ගණයට ඇතුළත් කරමින් නැවත වර්ගීකරණයක් කරා මම යොමුවීමි.

පාලිත යුද්ධෝත්ප්‍රේරකයක් යනු යුද්ධයක් සඳහා වන සම්භාවිතාවන් ඉහළ නැංවීම අරමුණු කොටගෙන බලපෑම් සහගත පාර්ශ්වය විසින් දියත් කරනු ලබන සවිඥානක ක්‍රියාමාර්ගයකි. එක්කෝ යුද්ධෝත්ප්‍රේරක පැන නැගීමට ඉඩ ඇති තැන් වල ඒ සඳහා චේතාන්විතවම තත්ත්වයන් නිර්මාණය කිරීම මගින් හෝ නැතහොත් ඒ සඳහා යොදාගත හැකි සිදුවීමක් උපයෝගී කොටගනිමින් එය යුද්ධෝත්ප්‍රේරකයක් බවට හැඩගැස්වීම මගින් එය සිදු වේ.
පළමු ලෝක යුද්ධයේ යුද්ධෝත්ප්‍රේරක, අහඹු යුද්ධෝත්ප්‍රේරක වර්ගීකරණයේ සිට පාලිත යුද්ධෝත්ප්‍රේරක වර්ගීකරණයට මාරු කළ යුතුව ඇත් නම්, දැනටමත් නිදසුන් බහුල එම වර්ගීකරණයට ඇතුළත් කළ යුතු සිදුවීම් සංඛ්‍යාව තවදුරටත් බෙහෙවින් ඉහළ යනු ඇත. දෙවන ලෝක යුද‍්ධයට ඇමෙරිකාව ඇතුළුවීමට හේතූ වූ පර්ල් වරායට පහරදීම නිසැකවම පාලිත යුද්ධෝත්ප්‍රේරකයකි. පර්ල් වරායට ජපනුන් විසින් පහරදීමේ සම්භාවිතාව ඉහළ දැමීමට බලපාන සාධක ද එමගින් ඇමෙරිකන් ජනතාව මෙම යුද්ධයට අවතීර්ණවීමට දැක් වූ විරෝධතාව අභිභවනය කිරීමේ ශක්‍යතාවන් ද අධ්‍යයනය කර එමගින් අරමුණු සහගත සැළැස්මක් සකස් කෙරිණි. ජපනුන්ට පර්ල් වරාය කරා පැමිණීමට දැනුවත්ව ඉඩහරිනු ලැබිණි. ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම මෙම පාලිත ප්‍රහාරයේ ක්ෂණික ඵලදාවයි.
වියට්නාමයේ ටොන්කින් බොක්කේ සිදුවීම ද මෙම පාලිත යුද්ධෝත්ප්‍රේරක වර්ගයට අයත් වේ. ටොන්කින් බොක්කේ සිදු වූයේ අහඹු ගැටුමක් නොවේ. එක්සත් ජනපද නායකයෝ උතුරු වියට්නාමයේ ප්‍රතිචාර උද්දීපනය කරනු වස් සැලසුම් සහගත ක්‍රමානුකූල නාවික හමුදා වැටලීම් ගණනාවක් උතුරු වියට්නාම් වෙරළ තීරයේ දියත් කරන ලදි. කොතෙක් දුරට මෙම සිදුවීම සැලසුම් කරන ලද්දැක්දැයි යන කරුණ පිළිබඳව තවමත් විවාදයන් පවතින අතර මා සිටින්නේ මෙම සිදුවීම, එක්සත් ජනපද නායකයන් විසින් යුද්ධයක් ඇරඹීම සදහා නිර්මාණය කර භාවිතා කරන ලද සැලසුම් සහගත ප්‍රකෝපකරණයක් ලෙස දකිනවුන්ගේ පැත්තේය. ටර්නර් ජෝයි සහ මෑඩොක්ස් නම් එක්සත් ජනපද යුද නෞකාවන්ගේ අනවසර ඇතුළුවීමට එරෙහිව උතුරු වියට්නාමය දැක් වූ ප්‍රතිචාරය විශ්මයජනක ලෙස මුදු එකක් වූ නමුත් එක්සත් ජනපදය විසින් මෙම සිදුවීම විකෘති කර විශාලනය කර මවා පාන ලද්දේ එය දැඩි ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් හිමිවිය යුතු කොමියුනිස්ට් ආක්‍රමණයක් ලෙස හුවා දක්වනු සඳහාය.
මෙම අවසාන පාලිත යුද්ධෝත්ප්‍රේරක දෙකෙහි සාර්ථකත්වය එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ ඡන්ද විමසීම් වාර්තාවල පෙන්නුම් කෙරෙයි. 1941 දෙසැම්බර් 8 වැනි දින ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමේ යෝජනාව සඳහා කොංග්‍රස් ඡන්ද විමසීමේදී එරෙහිව දී ඇත්තේ එක් ඡන්දයක් පමණි. 1964 අගෝස්තු 07 දින නියෝජිත මන්ත්‍රි මණ්ඩළ රැස්වීමේදී ටොන්කින් බොක්කේ යෝජනාව ඒකච්ඡන්දයෙන් අනුමත වූ අතර සෙනේට් මණ්ඩලයේ දී එයට පක්ෂව ඡන්ද 88ක් ලැබුණ අතර විපක්ෂව ඡන්දය භාවිතා කළේ දෙදෙනෙකු පමණි.
මෙම ඡන්ද පිලිබඳ සංඛ්‍යාත්මක දත්ත බරපතලය. ප්‍රශ්නයට අදාළ සාධක වල නිරවද්‍යතාව පිළිබඳ කිසිදු බැරෑරුම් සහතිකයක් නොමැතිව, බරපතල ප්‍රතිවිපාක ලැබිය හැකි ආක්‍රමණකාරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පූර්ව තාර්කික චින්තන අවදිය දක්වා පසුබැසීමට කණ්ඩායම් මානසිකත්වය විසින් ප්‍රකට කෙරෙන මෙම සුදානම මිනිස් වර්ගයා බරපතල අවදානමකට පත්කරයි.

වියට්නාමයේ ටොන්කින් බොක්කේ සිදුවීම ද මෙම පාලිත යුද්ධෝත්ප්‍රේරක වර්ගයට අයත් වේ. ටොන්කින් බොක්කේ සිදු වූයේ අහඹු ගැටුමක් නොවේ.
-ටොන්කින් ප්‍රහාරය ගැන පුවත් වාර්තා

පාලිත යුද්ධෝත්ප්‍රේරක විසින් ජනතාවන් නොමග යැවීමේ ක්‍රියාවලිය නොකඩවා පෙරට ගෙන යයි. මෙහිදී සුපරික්ෂාකාරිත්වය උපරිම වේ. එය එක් හෝ තවත් සිදුවීමක් සිදුවීමට ඇති සම්භාවිතාව ඉහළ නැංවීම පිළිබඳව හෝ සිදුවීමෙන් පසුව තුඹහකින් කන්දක් මැවීමක් පිලිබඳව සරල ගැටළුවක් නොවේ. මෙහි දී මෙම යුදවාදීන් පිටපත සකස් කර, දෙබස් සහ රංගනයන් වේදිකා ගත කරමින් ප්‍රතිඵලය සැලසුම් කර තථ්‍ය සිදුවීම දියත් කරයි, නැතහොත් අනුකොන්ත්‍රාත්තුවක් වශයෙන් කිසිවෙකුට හෝ භාර දෙයි. එමෙන් ම ඔවුහු සුපුරුදු ලෙස ම ඔවුන් විසින් ලෝකයට ඉදිරිපත් කෙරෙන ආඛ්‍යානය අභියෝගයට ලක් කිරීමට තරම් නිර්භය වන ඕනෑම අයෙකු යක්ෂාරූපණය කිරීමටත් කොන්කිරීමටත් අවශ්‍ය කටයුතු ද සුදානම් කරයි.

ත්‍රස්තයට එරෙහි යුද්ධය වූ කලී නිෂ්පාදිත සහ පාලිත යුද්ධෝත්ප්‍රේරකයන් (managed war triggers and manufactured war triggers)තුළ ඉහළම පන්තියට අයත් වන්නකි. මගේ අධ්‍යයනයන් තුළ අවධානයට ලක්කර ඇත්තේ කොටස් දෙකකින් යුතු වූ 2001 සරත් සෘතු මෙහෙයුමයි. එනම් සැප්තැම්බර් 11 ගුවන්යානා සිදුවීම සහ ඒ සමගම දියත් වූ අන්ත්‍රැක්ස් වෛරසය අඩංගු වූ ලියුම් මගින් දියත් කළ ප්‍රහාරය පිළිබඳ සිදුවීමයි. මේවා නිෂ්පාදිත යුද්ධෝත්ප්‍රේරකයන්ය. එමෙන්ම ඒවා එක්සත් ජනපදයේ ජනතාවගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ සහයෝගය විදේශ යුද්ධ සඳහා ද රට තුළ සිවිල් අයිතීන් සීමා කිරීම සඳහා ද දිනාගැනීමේදී අතිශයින් සාර්ථක විය.
වොෂින්ටන් පොස්ට් සහ ඒබීසි ආයතන විසින් 9/11 සිදුවීම පිළිබඳව පවත්වන ලද ජනමත විමසුමක ප්‍රතිඵල මෙලෙස වාර්තා කරයි.
“ පුද්ගලයන් 10 දෙනෙකු ගෙන් 9 දෙනෙකුම ඊයේ ප්‍රහාරය දියත් කළ කණ්ඩායම් හෝ රටවලට එරෙහිව යුද්ධමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා එය යුද්ධයක් දක්වා වර්ධනය වුව ද සහයෝගය පළ කරති. ඔවුන්ගෙන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුම ඔවුන්ගේ සිවිල් අයිතීන් වුවද ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා කැපකිරීමට සුදානම්ය. “
(MacQueen, 36)
මේ අතර සැප්තැම්බර් 11 වැනි දින අගනුවර දෙසට ගුවන්යානාවක් එන ආරංචියෙන් සංත්‍රස්ත වූ කොංග්‍රස් සාමාජිකයෝ දිවි බේරාගනුවස් පලා ගියහ. එදින හවස නගරයට එක් වූ ඔවුහු “ගෝඩ් බ්ලෙස් ඇමෙරිකා “ගීතය ගයමින් මෙම යුද්ධෝත්ප්‍රේරකය නිෂ්පාදනය කළවුන්ට සම්පූර්ණයෙන්ම යටත් වූහ.
2001 සැප්තැම්බර් 14 වැනි දින මිලිටරි බලය යෙදීම බලාත්මක කිරීම සෙනේට් මණ්ඩලයේ දී 98-0 ලෙස ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙදී 422-1 ලෙසද ඡන්ද ලබමින් සම්මත විය.

රටේ ඉහළ විධායකය යුද්ධයට යාමට තීරණය කළ විට සමස්ත ජනතාවම ක්ෂණිකව තම මනස වෙනස් කරමින් එයට පක්ෂපාතී වේ.- බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා නොවිචොක් රසායනික අවි ප්‍රහාරය ගැන රුසියාවට චෝදනා කරමින්

පසුව එළැඹී ඔක්තෝබරයේදී සමහර කොන්ග්‍රස් සභිකයන් ප්‍රකෘති සිහිය ලබන්නට පටන් ගනිමින් සිටින බව පෙනිණි. සිවිල් අයිතීන් සීමා කරන එක්සත් ජනපද දේශප්‍රේමී පනත ඉදිරිපත් කරන විට එයට කලින් මිලිටරි බලය යෙදවීම පිළිබඳ පනතට වඩා තරමක විරෝධයකට ලක්වීමට සිදු විය. එය සම්මත වූයේ 357-66 වශයෙනි. එහෙත් එය සෙනේට් මණ්ඩලයේදී සම්මත වූයේ මෙවැනි කරුණු වලදී සුපුරුදු ලෙසම සිදුවන පරිදි 98-1ක් ලෙසය.
කෙටි කාලීනව වුව ද 2001 සරත් සමයේදී නිෂ්පාදිත යුද්ධෝත්ප්‍රේරක විසින් කොංග්‍රසය තුළ ලද මෙවැනි ප්‍රතිඵල විසින් පෙන්නුම් කරන්නේ සැළකිය යුතු සාර්ථකත්වයකි. කෙසේවුව ද මෙවැනි මෙහෙයුම්වල බලපෑම තාවකාලිකය. එහෙයින් මෙම අපරාධකරුවන්ට සිය ප්‍රෝඩාකාරි “ත්‍රස්තයට එරෙහි යුද්ධය“ දිගටම ගෙනයාම සඳහා යුද්ධෝත්ප්‍රේරක නිෂ්පාදනය කිරීමද පාලනය කිරීම ද දිගටම කිරීමට සිදුවේ. FBI (සහ සමාන්තර අනෙකුත් බටහිර රටවල ඔත්තු සේවා ඒජන්සි විසින්) ඉතා කාර්යක්ෂම ලෙස තරුණ පිරිස් මුළා කරමින් ඔවුන් බඳවාගනිමින් ද ඔවුහු සිය ත්‍රස්තයට එරෙහි යුද්ධයේ ගොදුරු බවට පත් කරමින් සිටී. ඒ අතරම විවිධ අවස්ථාවලදී මහා පරිමාණ ලෙස නව උපක්‍රම යොදමින් කුමන්ත්‍රණකාරී ප්‍රහාර (False Flag attacks) දියත් කරති. මෙම උත්සාහයන් විසින් ලබා දී ඇත්තේ මිශ්‍ර සාර්ථකත්වයකි. නිදසුනක් ලෙස බොස්ටන් මැරතන් බෝම්බ සිදුවීම පිළිබඳ රජයේ නිල ප්‍රකාශන, ඒවායේ ප්‍රතිවිරෝධතා සහ අභූතභාවයන් පවතිද්දීම පුළුල් පිළිගැනීමකට ලක් විය. නමුත් 2013 සිරියාවේ සිදු වූ රසායනික අවි ප්‍රහාරයට, එහි අපේක්ෂිත ඉලක්කය එනම්, සිරියාවට සෘජු සහ පුළුල් ලෙස මිලිටරිමය ලෙස මැදිහත් වීමට අවස්ථාවක් ඇමෙරිකන් හමුදාවන්ට ලබා ගැනීම සාර්ථක කර ගැනීමට නොහැකි විය. එමෙන්ම මෑත දී බ්‍රිතාන්‍යයේ සිදු වූ “නොවිචොක් ප්‍රහාරය“(novichok)සම්බන්ධවද බ්‍රිතාන්‍ය රජයේ නිල ස්ථාවර සහ ප්‍රකාශන කෙරෙහි දැනටමත් සැකමුසු ආකල්ප පළ වී තිබේ.

මෙහි දී මෙම යුදවාදීන් පිටපත සකස් කර, දෙබස් සහ රංගනයන් වේදිකා ගත කරමින් ප්‍රතිඵලය සැලසුම් කර තථ්‍ය සිදුවීම දියත් කරයි, නැතහොත් අනුකොන්ත්‍රාත්තුවක් වශයෙන් කිසිවෙකුට හෝ භාර දෙයි. එමෙන් ම ඔවුහු සුපුරුදු ලෙස ම ඔවුන් විසින් ලෝකයට ඉදිරිපත් කෙරෙන ආඛ්‍යානය අභියෝගයට ලක් කිරීමට තරම් නිර්භය වන ඕනෑම අයෙකු යක්ෂාරූපණය කිරීමටත් කොන්කිරීමටත් අවශ්‍ය කටයුතු ද සුදානම් කරයි.
බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායකයා නොවිචොක් ප්‍රහාරය සම්බන්ධව ඇති රජයේ ස්ථාවරය පක්ෂ කිරීම හෙතුවෙන් බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය විසින් කම්කරු පක්ෂ නායක ජෙරමි කොර්බින්ව රුසියානු ඕත්තු කරුවෙකු ලෙස චිත්‍රනය කළ අවස්ථාවක්

අප විසින් හොඳින් මතක තබාගත යුතු කරුණක් නම් වර්තමානයේ දියත් වන පාලිත සහ නිෂ්පාදිත යුද්ධෝත්ප්‍රේරක (managed war triggers and manufactured war triggers) මෙහෙයුම් සදහා භෞතික සහ මානව සම්පත් විශාල ප්‍රමාණයක් යොදා ගනු ලබන බවත්, එහෙයින්ම ඒවා පිළිබඳ සත්‍යයය සදහටම වසන් කර තැබීමට නොහැකි වන බවත්ය. එය නිතරම යුද සැලසුම් කරුවන් වෙත බරපතල අවදානම් සහගත තත්ත්වයක් ඇති කරයි. මෙවැනි ප්‍රෝඩාවන් ගැන ලෝක ජනතාව හමුවේ කෙරෙන සාර්ථක සහ නිශ්චිත හෙළිදරවු කිරීම් එක් රැයක් තුළ දී බලතුලනය වෙනස් කිරීමට බලපානු ඇත.
අපගේ ඉලක්කය පැහැදිලිය. සවකීය යුද යාන්ත්‍රණය ශක්තිමත් ලෙස පවත්වාගැනීම සඳහා යුද්ධෝත්ප්‍රේරක ගොඩ නැංවීමේ සහ දිරිගැන්වීමේ විශේෂඥයන් දරන උත්සාහයන් ව්‍යර්ථ කර දැමීම සදහා අපි අපගේ ගවේෂණාත්මක සහ සන්නිවේදන සම්පත් උපරිම ලෙස යොදාගත යුතුවෙමු . අපට මිනිස් ජීවිත මිලියන 100ක් 20 වන සියවසේ යුද්ධ තුළ අහිමි විය. අපි සැබැවින් ම එය නැවතත් සිදුවීමට ඉඩ හරිනවාද?

ග්‍රේම් මැක්කුවීන්

 

 

ග්‍රේම් මැක්කුවීන් කැනඩාවේ මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ සාම අධ්‍යයන මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂවරයාය. එමෙන්ම 9/11 පිලිබඳ එකඟතා මණ්ඩලයේ සාමාජිකයෙකුද වන ඔහු Journal of 9/11 Studies හි සම සංස්කාරකයෙකුද වෙයි.

 

 

 

සටහන්

Junius Pamphlet-රෝසා ලක්සම්බර්ග් ද ඇතුළත් වූ යුද විරෝධී වාම රැඩිකල් පාර්ශ්වය Junius යනුවෙන් හදුන්වන ලදි Junius යනු ලතින් භාෂාවෙන් කණිෂ්ඨයා හෝ ආධුනිකයා යන තේරුම ගෙන දෙන වචනයකි.
Furor Teutonicus- ටොයිටොන් යනු ක්‍රි.පූ. පළමු සියවසේදී රෝමවරුන්ට එරෙහිව සටන් වැදුණා වූ ජර්මන් ගෝත්‍රයකි. රෝමානු ආක්‍රමණිකයන්ට එරෙහිව වූ යුද්ධයේදී මෙම ගෝත්‍රය විසින් විදහා දැක්වූ අනුකම්පා විරහිත සටන්කාමීත්වය හැදින්වීමට මෙම ලතින් වදන යෙදේ.
Balkan cauldron බෝල්කන් කලාපයේ රටවල් හැදින්වීමට යෙදෙන වදනකි. ක්‍රොඒෂියා, බොස්නියා, සර්බියා, මැසිඩෝනියා, කොසෝවෝ, බල්ගේරියා, අල්බේනියා සහ ග්‍රිසිය බොල්කන් කල්දේරමට අයත් රටවල්ය. මීට අමතරව රුමේනියාවේ සහ ස්ලෝවේනියාවේ විශාල කොටසක් ද එයට අයත් වන අතර තුර්කිය සහ හංගේරියාවද අඩ වශයෙන් මෙම බොල්කන් කල්දේරමට අයත් වේ.

Sources

The Junius Pamphlet: The Crisis in the German Social Democracy, in Rosa Luxemburg Speaks, edited by Mary-Alice Waters. New York: Pathfinder Press, 1970.

John Keegan, A History of Warfare. New York: Alfred Knopf, 1993.

Randolph Bourne, “The State (‘War is the Health of the State’)”, 1918.

Col. Harry Summers, On Strategy: A Critical Analysis of the Vietnam War. Presidio Press, 1982.

Gerry Docherty and Jim MacGregor, Hidden History: The Secret Origins of the First World War. Edinburgh: Mainstream Publishing, 2013

Robert B. Stinnett, Day of Deceit: The Truth about FDR and Pearl Harbor. New York: Touchstone, 2001.

Graeme MacQueen, The 2001 Anthrax Deception: The Case for a Domestic Conspiracy. Atlanta: Clarity Press, 2014.
The original source of this article is Global Research

Leave a Reply